Sunday, July 29, 2012

රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු සමාජය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. 

උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ඒ වගේමයි සමහර භික්ෂූන් ඒ කාලේ දිසාවේ පදවි පවා දරලා තිබෙනවා.

ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක තමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ඇවෑමෙන් එතුමාගේ අග බිසවගේ සොහොයුරා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ. 

උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා. 

 සියම් රට

ඒ අනුව වැලිවිට සරණංකර සාමණේරයන්ගේ උපදෙස් පරිදි 1750 දී විල්බාගෙදරරාලගේ නායකත්වයෙන් දූත පිරිසක් සියම් රටට යවලා සියම් රටෙන් උපසම්පදා විනය කර්මය සිදුකරන්න භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙරටට වැඩම කරවනවා. 

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් රටෙන් වැඩම කළ මහ තෙරවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1753 ඇසළ පොහොය දිනයේදී ලංකාවේ නැවත වරක් උපසම්පදා විනය කර්මය සිදු කරනවා. ඒ යටතේ වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් උපසම්පදාව ලබාගන්නවා.

ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් සරණංකර හිමියන්ගේ ඉටු කරපු කාර්යය අගය කරන්න වගේම ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලනය කරන්න සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමනවා. ඒ වගේමයි ඊට පස්සෙත් සංඝරාජ හිමියන්ගේ උපදෙස් පරිදි වෙහෙර විහාර රාශියක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරවනවා

සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනැමීම

අද කතාවත් එක්ක සම්බන්ධ වෙන  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සමය වැළඳගෙන  හිටියත් තමන්ගේ මුල් ආගම වුණු හින්දු ආගමේ චාරිත්‍ර අත්හැරිය බවක් පේන්න තිබුණේ නැහැ.

ඒක ඉතා හොඳින් අනික් අයටත් දැකගන්න පුලුවන් වුණේ රජතුමා සිරිත් පරිදි දිනපතාම ශුද්ධ වූ අළු ආලේප කරගෙන රාජ සභාවට පැමිණෙන එකෙන්. මේ සම්බන්ධව සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කීප වරක්ම රජතුමාට අවවාද කරපු බවත් කියවෙනවා.

රජතුමාත් නළලේ අළු ගාගෙන ඉන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති

මේ විදිහට රජතුමා හින්දු චාරිත්‍රවලට ඇබ්බැහි වුණු නිසා රජතුමාට විරුද්ධව රජතුමා මරා දමන්න  කුමන්ත්‍රණය කෙරුණු බව තමා ශාසනාවතීර්ණ වර්ණනාව කෘතිය කියන්නේ. අවසන් ප්‍රතිඵලය වුණේ 1760 දී රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය දියත් වුණු එක.

මේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණේ  රජතුමාගේ දෙවෙනි  අදිකාරම්වරයා වුණු සමනක්කොඩි. මෙවැනි කුමන්ත්‍රණයක් කරන්න ඔහු පෙළඹුනේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලයේ ඔහුට තිබුණු බලය හා පිළිගැනීම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී නොතිබුණු නිසා.
 
ඒ හැරෙන්න රජතුමාගේ බත් වඩන නිලමේ වුණු මොලදණ්ඩේත් කුමන්ත්‍රණයේ මූලිකයෙක්. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වුණේ රජතුමාව මරා දාලා ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට උපසම්පදාව පිහිටුවන්න ආපු භික්ෂු කණ්ඩායමක පැවිදි වෙලා හිටිය සියම් රාජ කුමාරයෙක්ව රාජ්‍යත්වයට පත් කරන එක. 

රජතුමාව මරා දමන සැලැස්ම ක්‍රියාත්මක වුණේ මේ විදිහට. ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට වැඩම කරලා හිටිය විදර්ශනාචාරී භික්ෂූන් වහන්සේ නමක්ගේ මල්වතු විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න එන්න කියලා මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවන් වුණු මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් රජතුමාට ආරාධනා කළා.

 මල්වතු මහා විහාරය

රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා. ඒක අපහසු නොවෙන්නේ  කුමන්ත්‍රණයේ මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් වුණු නිසා. මල්වතු මහ නාහිමියන් හරහා මේ කුමන්ත්‍රණය ගැන සරණංකර සංඝරාජ හාමුදුරුවන්වත් දැනුවත් කරන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුලුවන්

ඒත් මේ සැලැස්ම අස්ගිරි විහාරයේ හිටිය යටවත්තේ නම් භික්ෂූන් වහන්සේට දැනගන්න ලැබුණා . උන්වහන්සේ කළේ මේ ගැන රජ ගෙදර හිටිය ගෝපාල මුදියන්සේ කියන රජතුමාට හිතවත් නිලධාරියාට දැනුම් දීපු එක. පස්සේ ගෝපාල මුදියන්සේ හරහා මේ ගැන රජතුමාටත් ආරංචි වෙනවා.

රජතුමා කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ධර්ම දේශනා පිංකමට සහභාගි වුණා. ඒත් තමන්ට වාඩි වෙන්න සකස් කරලා තිබුණු ආසනයේ වාඩි නොවුණු රජතුමා හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මාසනාරූඪ හාමුදුරුවන්ට පිරිකරත් පූජා කලා. පස්සේ තමන්ගේ අතේ තිබුණු ජය කොන්තයෙන් වාඩිවෙන්න සකස් කරලා තිබුණු පුටුවට ඇන්න ගමන් පුටුවත් කඩාගෙන වැටිලා බොරු වළ පේන්න වුණා. යකඩ උල් ගලවලා වළ පස් දාලා වහන්න කියලා නියම කරපු රජතුමා මාළිගාවට පිටත් වුණා

තමන්ට ලැබුණු ආරංචියේ සත්‍යතාව ඒ විදිහට දැනගත්තු රජතුමා මාළිගාවට පිටත් වෙලා සරණංකර සංඝරාජ හිමියන්වත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්වත් කුමන්ත්‍රණයට සම්බන්ධ රදළයන්වත් තමා හමුවට ගෙන්නුවා.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

ඉස්සෙල්ලාම රජතුමා සංඝරාජ හාමුදුරුවන්ගෙන් ඇහුවා "මොකක්ද ඒ අමුතු පිංකම ?" (රජතුමා මරන්න කරපු කුමන්ත්‍රණය) කියලා. ඒත් සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම තමා ඉන්නේ.

රජතුමා නැවත නැවත නැවතත් ප්‍රශ්න කරන නිසා අන්තිමට සංඝරාජ හාමුදුරුවෝ පිළිගන්නවා තමන් ඒ අමුතු පිංකම ගැන කලින්  දැනගෙන හිටියා කියලා.

කෝපයට පත්වෙන රජතුමා ඊළඟට  අහනවා "එහෙම නම් ඇයි මට ඒ ගැන කලින් නොදැන්නුවේ ?" කියලා.

ඒ වෙලාවේ වහන්සේගේ අතේ ඇඟිල්ලක් පෙන්වලා සංඝරාජ හාමුදුරුවෝ කියනවා "දේවයන් වහන්ස, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි ඉන්න පණුවා මැරෙන නිසා. මම ඒතරම්ම පර පණ නසන්නට බිය ඇත්තෙමි. ඉදින් මම මේ සිද්ධිය ගැන ඔබට කිව්වා නම් ජීවිත කීයක් වැනසෙන්න තිබුණාද?" කියලා.

පස්සේ රජතුමා අහනවා "එහෙම නම් මම මැරුණොත් හොඳද?" කියලා

ඒකට සරණංකර හාමුදුරුවෝ කියන්නේ "නොකී නිසා එයට මට වැරැද්දක් නැහැ" කියලා

රජතුමා ආයි අහනවා එවිට "තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද?" කියලා.

සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම හිටිය නිසා හුඟක් කෝපයට පත්වෙන රජතුමා අන්තිමට කියනවා "වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියලා ලෝක ශාසන දෙකම නසාපි" කියලා.

මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා

අවසානයේදී සංඝරාජ හිමියන්ව දුම්බර ප්‍රදේශයේත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ව කුරුණෑගලත් හිර කරලා තියන්න රජතුමා නියෝග කරනවා. මේ සිද්ධියට මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම්ව හිස ගසා මරා දමන්නත් මේකට සම්බන්ධ වුණු මොලදණ්ඩේ  නිළමේ ප්‍රමුඛ අනෙක් රදළයන්ව උල තබා මරා දමන්නත් රජතුමා නියෝග කරනවා.

සමනක්කොඩිගෙන් මරාදැමීමෙන් හිස්වුණු දෙවෙනි අදිකාරම් තනතුරට පිළිමතලව්වේ පත් කරන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ වගේමයි තමන්ගේ ජීවිතය බේරාදුන්නු ගෝපාල මුදලිට මොලදණ්ඩේ  නිළමේ සතුවුණු ඉඩකඩම් පවරා දෙන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ බව 1760 දී රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලිට ප්‍රදානය කරපු ගැටබේරිය සන්නසේ සඳහන් වෙනවා.

සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]

මේ ගෝපාල මුදලි ගැනත් යමක් කිව්වොත් ගැටබේරිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම්  මනුස්සයෙක් වුණු මෙයා අග බිසවට තිබුණු උදරාබාධයකට සාර්ථකව ප්‍රතිකාර කරපු නිසා විරුද නාමයත් එක්ක බෙහෙත් ගෙයි මුහන්දිරම් ධූරයට රජතුමා විසින් පත් කරලා තිබුණා.

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියම් භික්ෂූන්ටත් දඬුවම් කරන්න රජතුමා තීරණය කළත් මීගස්තැන්නේ නිළමේගේ ඉල්ලීම නිසා රජතුමා දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නැතිව ඒ භික්ෂූන්ව මහනුවරින් පිටුවහල් කරවනවා. සියම් රාජ කුමාරයාව සියම් රටට පිටුවහල් කරන්න ලන්දේසීන්ටත් භාර කරනවා.

නැවත වරක් සංඝරාජ හාමුදුරුවන්ට මහනුවරට කැඳවන්නේ සන්නාසියෙක් ඇවිත් කියපු ගාථාවේ තේරුම වටහා ගන්න රජතුමා ඇතුළු රාජ සභාවේ කාටවත් බැරිවුණු නිසා. සංඝරාජ හාමුදුරුවෝ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීමත් එක්ක සතුටට පත්වෙන රජතුමා තමන් අතින් සිදුවුණු වැරැද්දට සංඝරාජ හිමියන්ගෙන් සමාව ගත්තු බවත් කියවෙනවා.

 සංඝරාජ පදවිය වෙනුවෙන් රජු විසින් සරණංකර හිමියන්ට පිරිනැමූ විජිනිපත

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට මූලිකම හේතුව වුණේ තමන් නළලේ අළු ගෑම නිසා බව දැනගෙන රජතුමා ඒ සිරිත අත් හැරියා වගේම ඒ වෙනකම් අළු ගාලා පුස්කොල පොත් මැදීම පවා නවත්තලා කහවලින් පුස්කොළ පත් ඉරු මදින්න පටන් ගන්න කියලා උපදෙස් දුන් බවත් කියවෙනවා.

මේ කතාවත් එක්ක කියන්න ඕනේ වැදගත් තවත් කතාවක් තමා රජතුමාව ඝාතනය කරන්න භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මේ මුල්ම පාරට නෙමේ කියන එක.

මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න කුමන්ත්‍රණය කරනවා.

ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා. 

පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...

වැලිවිට සරණංකාර සංඝරාජ කෞතුකාගාරය ගැන දැනගන්න මෙතනින් යන්න

මේ සටහන ලියන්න විස්තර හොයාගත්තේ කොටගම වාචිස්සර හිමියන් විසින් රචනා කළ සරණඞකර සඞඝරාජ සමය කෘතිය සහ ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය.

Thursday, July 26, 2012

සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ


අපිත් එක්ක St. John Ambulance එකේ වැඩ කරපු පොරක් ගියා Navy එකට. Navy කිව්වට Navy පොලිසියට තමා ගියේ. පූනෑවේ තමා training එක තිබුණේ. මැදවච්චිය හරියෙලු ඕක තියෙන්නේ. 

ඉතින් training ගිහින් මාස 6 කට පස්සේ man නිවාඩු ආවා. එද්දී කට්ට කලුවෙලා ඒ මදිවට බට පතුර වගේ. එහෙ කාෂ්ඨක අවුවලු. ඒ මදිවට training එක කරන විදිහට හරියට කන්න බොන්නවත් වෙන්නේ නැහැලු. 

දවසකට වතුර ලීටර් 5 [මට මතක විදිහට] හම්බෙනවාලු. දවස පිරි මහගන්න ඕනේ ඒකෙන්ලු. කොටින්ම ශරීර කෘත්‍යය, මුහුණ කට සේදීම වගේ ඔක්කෝටම. සමහර වෙලාවට එකෙක්ට වතුර මදි වුණොත් අනිත් එවුන්ගේ වතුර හොරෙන් උස්සනවාලු :))

උදේ 4 ඉදින් රෑ 10 වෙනකම් වැඩලු. ඊට පස්සේ රෑ 10 ට lights නිව්වට පස්සේ මුන් ඇඳන් හදනවාලු. බූට් පොලිෂ් කරනවාලු එකී මෙකී නොකී වැඩලු. නිදා ගද්දී අඩුම ගාණේ පාන්දර දෙකවත් වෙනවලු. 

ආයි පාන්දර 4 ට ඉදන් වැඩලු. උදේ හරියට කන්න ගියොත් drill යන්න වෙන්නේ නෑලු. දවල් විතරලු නිස්කලංකේ කන්න තියෙන්නේ. රෑට කන්නේ හවස 6 ටලු. ඊට පස්සෙත් වැඩලු... ඕන් training එකේ හැටි. 

තව තව කතා කිව්වා ඒවා නම් අදාළ නැහැ. මිනිහා මට කිව්ව කතාවලින් සිරාම කතාව මේකයි. 

දවල්ට පාඩම් කියා දෙද්දී හොඳට අහන් ඉන්න ඕනෙලු මොකද පහුවෙනිදාට ඒවායින් ප්‍රශ්න අහනවාලු. බැරි වෙලාවත් උත්තර දෙන්න බැරිවුනොත් හරි පාඩම වෙලාවට නින්ද ගියොත් හරි පාඩම් කියාදෙන තැන තියෙන ගහේ කකුල් දෙකෙන් එල්ලලා තියෙනවාලු දවල් වෙනකම්

කොහොමද එල්ලිලා ඉද්දී පැය දෙක තුනක් කකුල් දෙකෙන් :))

මොකෙක් හරි ඒකට හිනා වුණොත් ඌවත් එල්ලනවාලු. ඒ වගේමයි ගෑණු පිරිමි භේදයක් නැහැලු. කෙල්ලන්ව වුණත් එල්ලනවලු. [දැන් කැත විදිහට හිතන්න එපා. කෙල්ලොත් බොටම් ඇඳලලු ඉන්නේ]

දවසක් අපේ එකාට පන්තියේදී නින්ද ගිහින් ඒකට punishment එක විදිහට ගහේ එල්ලලා තියෙද්දිත් නින්ද ගියාලු :))


අන්තිමට පහුගිය මාසෙක මෑන්ගේ passing out එක තිබිලා man ගෙදර ආවා. man ගෙදර එන්න කලින් පාඩම් කියාදීපු සර් ගාවට ගිහින් කියලා ආවලු 

"සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus ගිහින්" 

[මේ විදිහට කිව්වේ ගස්වල එල්ලලා ඉගැන්නුව විදිහට]

ප.ලි.: අපේ බුවා නම් කිව්වේ එහෙම training එකක් නැතුව කොහොමද සතුරාට මුහුණ දෙන්න ඝට හදන්නේ කියලා. ඇත්ත තමා ඉතින් යුද්දේ කියලා සෙල්ලමක් නෙමෙයිනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ජීවිතේ ඉවරයිනේ

ඒ වගේමයි A/L කරන අපේ නංගිලා මල්ලිලා උත්සහයෙන් වැඩ ටික කරගන්න මතක තියාගන්න ඕනේ.  බොහොම ටික දවසයි නොවැ විභාගෙට තියෙන්නේ

Sunday, July 22, 2012

බිසෝවරුන් දෙන්න ආපු නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි - ඉතිහාසයේ අප්‍රකට කතා 12

ලංකාවේ අන්තිම රාජධානිය වුණු කන්ද උඩරට පාලනය ගෙනගිය අන්තිම පෙළපත වුණේ දකුණු ඉන්දියානු සම්භවයක් තිබුණා නායක්/ නායක්කර්/ වඩුග යන නම්වලින් හඳුන්වපු පෙළපත. ඔවුන් ලංකාවේ කටයුතුවලට මුලින්ම සම්බන්ධ වුණු ආකාරය වගේම අවසානයේදී ලංකාවේ සිහසුන දක්වා පැමිණි ගමන ගැනයි අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යය පැතිරී තිබුණු ප්‍රදේශය

මුලින්ම නායක්කර්වරුන්ගේ ප්‍රභවය ගැන හොයලා බැලුවොත් දකුණු ඉන්දියාවට තමා අවධානය යොමු කරන්න වෙන්නේ. 1343 දී දකුණු ඉන්දියාවේ විජයනගර කේන්ද්‍ර කොටගෙන හරිහාර ආරම්භ කරන රාජ්‍යය ක්‍රමයෙන් විජයනගර අධිරාජ්‍යය බවට පත්වෙනවා. ඒ අධිරාජ්‍යයේ ආධිපත්‍යය පිළිගත්තු මදුරා, තංජෝර්, ගිංගි, වෙල්ලෝර්, සෙරිංගපටුන ආදී තෙළිඟු භාෂාව කතා කරපු ප්‍රදේශවල 16 වන සියවසේදී පාලනය  ගෙනගියේ "නායක්" නමින් හඳුන්වපු ප්‍රාදේශික ආණ්ඩුකාරවරු. 

1565 දී නිෂාම් ෂා කියන මුස්ලිම් පාලකයා විසින් තාලිකොට්වලදී සිදුකළ සටනින් විජයනගර අධිරාජයා වූ රාම රාය මියයාමත් එක්ක විජයනගර අධිරාජ්‍යයා බිඳ වැටීම ඇරඹෙනවා. මේ ඒ සමඟම ස්වාධීන පාලකයන් වුණු මේ ආණ්ඩුකාරවරු නායක් යන නමින්ම තම තමන්ගේ ප්‍රදේශවල රජවරු විදිහට පාලනය ගෙන යනවා.

ඊට පෙර විජයනගර අධිරාජ්‍යය තිබුණු කාලයේදී ඉහත දක්වපු තෙළිඟු භාෂාව කතා කරපු නායක් ප්‍රදේශවල ජනතාව වඩාත් දකුණට වෙන්න තිබුණු දෙමළ භාෂාව කතා කරපු ප්‍රදේශවලට සංක්‍රමණය වුණාම ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ වඩුග හෙවත් වඩුක්කන් යන නමින්. ඒ නමේ අර්ථය තමා "උත්තර දේශීන්" කියන එක.

 I විමලධර්මසූරිය රජතුමා

නැවතත් නායක් රජවරු ගෙන කතාවට ආවොත් උඩරට රජවරු මුලින්ම මේ නායක් රජවරුන් සමඟ මිතුරු සබඳතා පවත්වලා තමන්ට අවශ්‍ය කරන යුධ ආධාර ලබාගත් බව පේනවා. ඒ අනුව උඩරට රාජ්‍යය ආරම්භ කරපු I විමලධර්මසූරිය රජතුමාගේ කාලය වන 16 වන සියවසේ අග භාගයේ ඉදන් සෙනරත් සහ රාජසිංහ වැනි රාජ්‍ය කාලවලත් නායක් යුධ ආධාර ලබාගත්තු බවයි පෙනෙන්නේ. 

මේ සම්බන්ධතා වෙනස් මඟක් ගන්නේ සෙනරත් රජ සමයේ. කුසුමාසන දේවියට දාව උපන් කුමාරසිංහ, විජයපාල සහ දේව රාජසිංහ කියන දරුවන් සූර්ය වංශිකයන් නිසා ඔවුන්ගේ අග මෙහෙසියන් සඳහා සම කුලය වෙන සූර්ය වංශයෙන් කුමරියන් අවශ්‍ය වෙනවා. 

ඊට පෙර කෝට්ටේ ආදී රාජධානි කාලවලදී කීරවැල්ලේ නමින් රජ පවුලට නෑකම් කියන පෙළපතකුත් යාපනයේ රජ පවුලකුත් සිටිය නිසා ක්ෂත්‍රීය කුමරියන් සොයා ගැනීමේ ගැටලුවක් නොවුණත් ඒ වෙද්දී ලංකාවේ ඉතුරුව සිටිය එකම රජ පරපුර උඩරට රජ පෙළපත විතරක් නිසා ගැටලුවක් ඇතිවෙනවා.

මේ වගේ තත්වයක් නිසා දේශපාලනික උපාය මාර්ගයක් විදිහටත්, අකීකරු උඩරට රදළ බලය මර්දනය කරන්නත්, රාජාභිෂේක චාරිත්‍රානුකූලව කරන්නත් දකුණු ඉන්දීය ක්ෂත්‍රීය සූර්ය වංශික කුමාරිකාවන් උඩරට රජ කුමාරවරුන්ට ගේනවා. 

සූර්ය වංශය කියන්නේ මොකක්ද කියලාත් කෙටියෙන් දැක්වුවොත් මිනිස් ලොව පහළ වූ පළමු රජතුමා වූ වෛවස්වත මනු සූර්යයාගේ පුතෙක් ලෙස සළකපු නිසා ඔහුගෙන් පැවත එන අය සූර්ය වංශිකයන් විදිහටයි සැළකුවේ. තවත් මතයක් තමා මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක. ඒ පදනම මත ඉදලා තමයි ඉන්දියාවේ තිබුණු බොහෝ රාජ වංශ සූර්ය වංශිකයන් කියලා පිළිගැනුනේ.

ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇරඹුණු වංශය "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. කොහොම නමුත් වැඩි පිළිගැනීම තියෙන්නේ සූර්ය වංශිකයන්ට.

ඒකට හේතුවක් තමා මනුෂ්‍ය ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ සූර්යයා මත. ඒ නිසා සූර්යයාගෙන් පැවැත එන්නන් විදිහට සූර්ය වංශිකයන්ට තියෙන පිළිගැනීම වැඩියි. ඒක භාරතයේ විතරක් නෙමේ අනික් බොහෝ ශිෂ්ටාචාරවලත් දැකගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මිසරයේ පාරාවෝ රජුන් සූර්ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වැනි විරුද නාම භාවිතා කරලා තියෙනවා.

ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ කළායැයි සළකන විජය කුමරුත් සූර්ය වංශිකයෙක් වුණු නිසා ලංකාවේ රජ දරුවනුත් සූර්ය වංශිකයන් විය යුතුයි කියන සංකල්පය ඇති වෙනවා. මුල් යුගවල මේ සූර්ය වංශික සංකල්පය එතරම් තදින් සළකා නොලැබුණත් මහනුවර යුගය වනවිට එය රාජ්‍යත්වයේ ප්‍රධාන පදනම බවට පත් වෙනවා.

මහාවංසයේ I විමලධර්මසූරිය රජතුමා ගැන දක්වන්නේ "ගඟසිරි නම් පුරයෙහි සූර්ය වංශයෙහිම උපන් කුමාරයෙක්" කියලා

II රාජසිංහ රජතුමා

වරෙක II රාජසිංහ රජතුමාට ෆ්‍රන්සුවා කැරන් නම් ලන්දේසි ජෙනරාල්වරයා හිතවත් මිතුර යනුවෙන් ආමන්ත්‍රණය කළාම රජතුමා කෝපයට පත්වෙලා ප්‍රශ්න කරනවා තමා සූර්ය වංශෝද්භූත බව දන්නවාද කියලා.

නැවතත් කතාවට ආවොත් ලක් රජුන්ගේ මදුරාපුර විවාහ සබඳතා ගැන සොයලා බලද්දී මහාවංසය දක්වන විදිහට ලංකාවේ මුල්ම රජතුමා වුණු විජය රජතුමගේ අභිෂේකය සඳහා ක්ෂත්‍රීය කුල කුමරියක් අග මෙහෙසිය කළ යුතු වීම නිසා ඒ කුමරිය ගෙන එන ලද්දේත් දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන්.

දකුණු ඉන්දියාවේ කලින් සඳහන් කරපු නායක් රාජධානිවලින් උඩරට රජුන් විවාහ සබඳතා පවත්වන්නේ මදුරාපුර නායක් පෙළපත සහ තංජෝර් නායක් පෙළපත සමඟයි.

 විශ්වනාථ නායක්

මදුරා නායක් පෙළපත ගැන විස්තර හොයලා බැලූවොත් විශ්වනාථ නායක් යටතේ ආරම්භ වෙන මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා විදිහට පිළිගැනෙන්නේ 1628 බලයට පත්වුණු තිරුමලයි නායක්. 

 තිරුමලයි නායක්

තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්. මේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අය දිගටම මදුරාපුර උප පාලක තනතුරේ කටයුතු කරලා තියෙනවා.

මදුරාපුර නායක් පෙළපතේ අන්තිම රජතුමා වුණු විජය රංග චොක්කනාථට පසුව 1732 දී ඔහුගේ අග බිසව මීනක්ෂි පාලනය ගෙනගියත් අභ්‍යන්තර අර්බුද වගේම මුස්ලිම් ආක්‍රමණ නිසා ඒ පාලනය සාර්ථක වෙන්නේ නැහැ.

නැවතත් සෙනරත් රාජ සමයේ වුණු මේ සිද්ධියට ආවොත් සෙනරත් රජතුමා කුමාරසිංහ සහ විජයපාල කුමාරවරුන්ට යාපන රජ පෙළපතට අයිති ඒ වෙනවිට දකුණු ඉන්දියාවේ හිටිය ද්‍රවිඩ කුමාරිකාවන් දෙදෙනෙක් සරණ පාවා දෙනවා. රාජසිංහ කුමරුට මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්වනවා. 

පසුව II රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු II විමලධර්මසූරියත් මදුරාවෙන් බිසෝවරු ගෙන්වනවා. II විමලධර්මසූරිය රජතුමා ගැන බැලූවොත් ඔහු සිංහල සහ නායක් මිශ්‍ර අයෙක් බව පැහැදිලියි. 

මේ රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත්වෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාටත් 1706 මනාලියක් සොයන්න දූතයන් දෙදෙනෙක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය බලා යනවා. මේ සඳහා ලන්දේසින් නැව් සපයනවා. 

 මදුරේ නායක් රාජ මාළිගාව

ඒ කෙසේ වෙතත් මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති වන්නේ නැහැ. ඉන්පසුව සිදුවුණු දේවල් පිළිබඳ මත කීපයක් පවතිනවා. ලාංකික සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට

මේ පිළිබඳව සමකාලීන ලන්දේසි මූලාශ්‍ර බලද්දී Cornelis Joannes Simonszoon ආණ්ඩුකරුගේ පාලන වාර්තාවක දක්වන විදිහට රජුගේ අග මෙහෙසිය වඩුග කුමරියක් බවත් ඇගේ පියා පිට්ටි නායක්කර් බවත් දක්වනවා. 

මේ සම්බන්ධ වෙන්නේ උඩරට දේශයේ කටයුතු පිළිබඳ පුවත කියන අප්‍රකට ලේඛනයේ කරුණු සමඟ. එහි තිබෙන විදිහට මහනුවර දූතයන්ගේ ඉල්ලීමට කෝපවුණු මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ අහනවා.

"තොපගේ රජු අපගේ කුලයේ අයෙක්ද මේ දක්වා අප අතර ගිවිසුමක් තිබුණේද මෙතැන් සිට ගිවිසුමක් වේද තොප බය නැතිව කුමාරිකාවන් ඉල්ලීමට ආවාහුද?"

පස්සේ නගරයෙන් දූතයන් පිටමං කරලා කිසිම කුමරියක් ඔවුන්ට දෙන්න එපා කියලා නියෝගයක් කරනවා. 

ඒත් දුප්පත් පුද්ගලයෙක් වුණු පිට්ටි නායක්කර් තමන්ගේ දුව මහනුවර රජතුමාට දෙන්න කැමති වෙලා රහසේම  රාමේශ්වරම් දූපතේදී දූතයන්ව හමුවෙලා පසුව සිය පවුලත් එක්කම මහනුවරට ඇවිත් දියණියව රජතුමාට සරණ පාවා දෙනවා.

පසුව රජතුමාට පුතුන් නොවුණු නිසා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා ශ්‍රී විජය රාජසිංහ නමින්.

මේ කතාව උඩරට රජුන්ට අපහාස පිණිස ගොතපු කතාවක්ද කියලා සැක පහළ වුණත් කරුණු අනුව විමසලා බලද්දී ලන්දේසි මූලාශ්‍රවලට අනුව මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති නොවුණු බව පැහැදිලියි. 

කුල ගර්වයෙන් සිටි මදුරා රජතුමා අහන්නේ මීට පෙර එහෙම සබඳතාවක් තිබුණද කියලා. එහෙම බලද්දී II රාජසිංහ සහ II විමලධර්මසූරිය රජුන්ගේ බිසෝවරුන් ගැනත් ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

නායක්කර්වරුන් කුල නීති දේවත්වයෙන් සළකපු පිරිසක් බවයි කියවෙන්නේ. ඒ වගේම නායක් පාලක පෙළපතේ පිට්ටි නායක්කර් නමින් අයෙක් නොවන නිසා ඔහු රාජකීයෙක් නොවන බවත් පැහැදිලියි.

ඒ වගේම ඉහත දක්වපු ද්‍රවිඩ ලිපියේ විදිහට ඔහු දිළින්දෙක් නිසා මීට පෙර ඔහු ධනවතෙක් වෙලා හිටියත් මේ වෙනකොට ඒවා අහිමි වෙලා දුක සේ ජීවිතය ගෙන ගිය අයෙක් කියලා අනුමාන කරන්න පුලූවන්. මේ වගේ තත්වයක් මත තමා පිට්ටි නායක්කර් සහ පවුලේ උදවිය වඩාත් සුවපහසු ජීවිතයක් අපේක්ෂාවෙන් මහනුවරට එන්නේ.

කලින් කිව්ව විදිහට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට පුතුන් නොවුණු නිසා එයාගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා. 

නමුත් රජතුමාට ගොවි කුලයේ යකඩ දෝළියක සිටි බවත් රජතුමාට දාව ඇයට උනම්බුවේ බණ්ඩාර නමින් පුතෙක් වූ බව ලන්දේසි ලේඛනවල පවා සඳහන් වෙනවා. ඒ කුමාරයාට රාජ්‍යත්වයට පත්වෙන්න තිබුණු බාධාව වෙන්නේ මව ක්ෂත්‍රීය වංශික බිසවක් නොවීම. ඒ අනුව කුමාරයා උභය කුල පාරිශුද්ධ අයෙක් නොවුණු නිසා සිහසුන අහිමි වෙනවා.
වැලිවිට සරණංකර හිමියන් [පසුව සංඝරාජ හිමියන්]

අනෙක් අතට උනම්බුවේ බණ්ඩාරට සිහසුන අහිමි වෙන්නෙ උඩරට සිංහල රදළ ප්‍රධානීන් නිසාමයි. 1708 දී පමණ ඉදන් අග බිසවගේ සොයුරා මහනුවර වාසය කළා. සරණංකර සාමණේරයන් යටතේ අධ්‍යාපනය හදාරපු මේ කුමාරයාව හඳුන්වන්නේ නායක්කර් හාමුදුරුවෝ කියලා. 

ඒ වනවිට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් වුණු ඇහැළේපොළ මහ නිළමේ (මේ අපි දන්නා ඇහැළේපොළ මහ නිළමේගේ පියා) සමඟ මේ කුමාරයා ලොකු හිතවත්කමක් තිබුණා. 

උනම්බුවේ බණ්ඩාරගේ හොඳම හිතවතා වුණේ ලෙව්කේ දිසාව. නමුත් ලෙව්කේ දිසාව සහ ඇහැළේපොළ මහ නිළමේ අතර එදිරිවාදිකම් පැවතුණා. කිසියම් විදිහකින් උනම්බුවේ රජ වුණොත් ලෙව්කේගෙන් තමන්ට අනතුරක් වෙන්න පුලූවන් කියලා හිතපු ඇහැළේපොළ මහ නිළමේ උනම්බුවේ රජ කරවීමට විරුද්ධ වුණා.

ඒ වෙද්දී රාජ සභාවේ පැවතුණු මේ ආකාරයේ මතභේද නිසා තව තවත් රදළයන් බෙදිලා හිටියේ. ඒ කාලය තුළ රාජ සභාව තුළ නායක්කර හිතැති, නායක්කර් විරෝධී වශයෙන් කණ්ඩායම් දෙකක් තිබුණා. මේ විදිහට නායක්කර් හිතැති කණ්ඩායමක් බිහිවුණේ නායක්කර්වරුන් සමඟ මුදල් ගනුදෙනු කිරීමේ ඇතිවුණු හිතවත්කම්. 

ඒ වගේමයි විශේෂයෙන් උනම්බුවේගේ මව් පාර්ශවයේ ඥාතීන් පවා උනම්බුවේ රජ වෙනවාට විරුද්ධව හිටියේ. මේ වගේ තත්වයක් උඩ නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඇවෑමෙන් සූර්ය වංශික ක්ෂත්‍රීය කුමරෙක් විදිහට පිළිගැනුණු ඒ වගේම සරණංකර සාමණේරයන් යටතේ බුදු දහම ඉගෙන ගන්නා අග බිසවගේ සොයුරාට සිහසුන උරුම කරලා දෙන්න ඇහැළේපොළ මහ නිළමේට අපහසු වෙන්නේ නැහැ. 

මේ විදිහට අග බිසවගේ සොයුරාට සිහසුන හිමිවීමක් ලංකා ඉතිහාසයේ පළමු වරටයි සිදුවෙන්නේ. ඒ වගේමයි මදුරාපුර නායක්වරු අතර පවා ඒ වගේ සිරිතක් පැවතිලා නැහැ. නමුත් මලබාරයේ හිටිය නායක්වරු අතර තිබුණු මරුමක්කාථයම් නීතිය මේ සඳහා අනුබලයක් වෙන්න ඇති කියලත් මත පළවෙනවා.

ඒ අනුව 1739 දී කුසුමාසන දේවිය මූලික කරගෙන I විමලධර්මසූරිය රජතුමා ආරම්භ කළ රාජ වංශය අවසන් වෙලා නායක්කර් වංශික රජ පෙළපතකට සිහසුන හිමිවෙනවා.

නායක්කර් පෙළපතේ ආරම්භක රජතුමා වුණු ශ්‍රී විජය රාජසිංහත් තමන්ට අගබිසවක් ලබාගන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒ වෙද්දී මදුරාවේ තත්වය බැලූවොත් කලිනුත් කිව්වා වගේ මදුරාවේ පාලක විජයරංග චොක්කනාථ මියගිහින් වැන්දඹු බිසව වුණු මීනක්ෂි බලයට ඇවිත් හිටියේ. 

ඒත් මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා වුණු තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අයෙක් වුණු බන්ගාරු තිරුමල නායක් මීනක්ෂිට විරුද්ධව කටයුතු කරමින් සිටියේ. 

මේ කලබල මධ්‍යයේම මදුරාවට එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණයත් එක්ක මදුරාපුර නායක් වංශය අවසන් වෙනවා. මීනක්ෂි අග බිසව සියදිවි නසාගන්නවා. බන්ගාරු තිරුමල නායක තමන්ගේ ජීවිතේ බේරගන්න වෙල්ලයිකුරිච්චි බලකොටුවට පැනලා යනවා. 

අසරණ වෙලා වෙල්ලයිකුරිච්චිවලට වෙලා සැඟවිලා හිටිය බන්ගාරු තිරුමල නායක සහ එයාගේ නෑයන්ට උඩරට රජතුමාට මනමාලියක් යවන්න අවස්ථාවක් ලැබුණු එක ලොකු වාසියක් වුණා. කලින් වගේ ආඩම්බර කතා කියන්න නොගිය බන්ගාරු තිරුමල නායක තමන්ගේ නෑයන් දෙන්නෙක් වුණු රාම ක්‍රිෂ්ණප්පා නායක් සහ නරේනප්පා නායක්ව මහනුවර දූතයන් හමුවට යවනවා. 

අන්තිමට නරේනප්පාගේ තරුණ දියණිය මහනුවර රජතුමාට විවාහ කරදෙන්න කැමතිවෙලා ඒ මඟුලට නරේනප්පා, එයාගේ බිරිඳ, පුත්‍රයන් දෙන්නා, සහෝදරයන් දෙන්නා සහ මස්සිනා ඇතුලූ විශාල කණ්ඩායමක් එක්ක තමා උඩරටට එන්නේ. මේ විවාහයෙන් පස්සෙත් 1746 රජතුමා තවත් මදුරා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ශ්‍රී විජය රාජසිංහගේ අග බිසවටත් දරුවන් නොහිටිය නිසා රාජ්‍යත්වය හිමිවෙන්නේ අග බිසවගේ වැඩිමහල් සොයුරා එහෙමත් නැත්නම් ලොකු මස්සිනා වුණු කීර්ති ශ්‍රී රාජසිංහට. කීර්ති ශ්‍රී රාජසිංහත් තංජෝර් නායක් පෙළපතෙන් බිසෝවරු දෙන්නෙක් ගෙන්වා ගන්නවා.

මේ විදිහට ක්‍රම ක්‍රමයෙන් ලංකාවට නායක්කර්වරු පැමිණීමත් එක්ක අගනුවර වෙනම වීථීයක් පවා ඔවුන්ට වෙන්වෙනවා කුමාරුප්පේ වීථීය කියලා. බ්‍රිතාන්‍ය යුගයේ ඒක හඳුන්වන්නේ මලබාර් වීථීය කියලා.

කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ රජතුමා මරන්න සිංහල රදළයන්ගේ කැරැල්ලක් ඇතිවෙනවා. ඒ වගේමයි නායක්කර්වරුන්ගේත් කුමන්ත්‍රණයක් සිදුවෙනවා. මේ ලිපියෙන් නායක්කර්වරු ගැන කතා කරන නිසා ඒ කුමන්ත්‍රණය ගැන කියන්නම්. අනෙක් කැරැල්ල ගැන ඉදිරියේදී කියන්නම්.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අග බිසවටත් දරුවන් හිටියේ නැතත් රජතුමාග් යකඩ දෝළියක් වුණු මාම්පිටිය් බිසවට  රජතුමට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් උභය කුල පාරිශුද්ධතාව කියන ගැටලුව නිසා රජතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තිබුණේ රජතුමාගේම සහෝදරයා. (නරේනප්පාගේ බාල පුතා)

ඒත් රජතුමාගේ අග බිසවගේ තාත්තා වුණු (රජතුමාගේ මාමණ්ඩි) නාඩුකට්ටු සාමි නායක් උත්සහ කරනවා තමන්ගේ පුතාට රජකම අරන් දෙන්න. කලින් තිබුණු සම්ප්‍රදාය වුණෙත් අග බිසවගේ  සහෝදරයාට රජකම දෙන එකනේ. අන්තිමට රජතුමාව මරන්න නාඩුකට්ටු සාමි කරපු කුමන්ත්‍රණය හෙළිවුණු නිසා රජතුමා මාමණ්ඩිව ලංකාවෙන් පිටුවහල් කරනවා. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් පස්සේ රජවෙන්නේ රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ. එයත් සුපුරුදු විදිහටම මදුරාවෙන් කුමාරිකාවන් බිසෝවරුන් හැටියට ගෙන්නුවත් එයාලටත් දරුවන් හිටියේ නැහැ.

රාජාධිරාජසිංහගෙන් පස්සේ සිහසුන උරුමකම් කියන්න හිටියේ අග බිසවගේ වගේම තවත් බිසෝවරුන් කීප දෙනෙකුගේම සහෝදරයා වුණු මුත්තුසාමි කුමාරයා. ඒත් රජතුමාගේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ රජතුමාගේ බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලුගේ පුත්‍රයා වුණු කන්නසාමිව සිහසුනට පත් කරවන්න සමත් වෙනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

රජතුමා පත් කිරීමේ බලය තිබුණේ රාජ සභාවට කියලා කලින් කතා කළානේ. 


ඒ විදිහට ලංකාවේ පැවතුණු නායක්කර් පෙළපතේ පාලනය අවසන් වෙන්නේ 1815 පෙබරවාරි 14 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගැනීමත් ඊට පස්සේ මැද මහනුවර සැඟවිලා හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු බිසෝවරුන්ව පෙබරවාරි 18 වෙනිදා අල්ලා ගැනීමත් සහ අවසාන වශයෙන් මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමේ තිබුණු මෙන්න මේ වගන්තියෙනුත්

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............." 

මේ සටහන ලියන්න පාදක කරගත්ත කෘති තමා ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල 3 වැනි කාණ්ඩය, ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය. ඒ හැරෙන්න අන්තර්ජාලයෙනුත් කරුණු සොයාගත්තා. 

Thursday, July 19, 2012

රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා


මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...

කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. 

 බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව

ඒ රජතුමාගේ බිසෝවරුන්ට කාලයක් යනකම්ම පුතෙක් ඉපදුණේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමාට ඉතාමත්ම සතුටට පත්වුණා අග බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තු එකෙන්. මාස 10 ක් ඇවෑමෙන් මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමා අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනඝ කුමාරයා කියලා. 

මේ කුමාරයා උපන්නාම නාවලා කරලා කිරි මවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරි මවගෙන් තව කිරි මවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරි මව්වරුන්ගේ අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජ පුරුෂයෙක් අතට කුමාරයා දෙනවා. 

එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉදන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිමි විතරමයි. කොයියම්ම අවස්ථාවක හරි ගෑණු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. 

කුමාරයාට කිරි පෙව්වා කියන්නේත් කිරි මව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මාට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙමත් නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දී තණ පුඩුව විතරක් කුමාරයාගේ කටට දීලා කිරි පොවනවා. 

මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාමත් ස්ත්‍රීන් සම්බන්ධ කිසිම ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාළිගාවක් ඉදි කරවපු පිය රජතුමා ඒ මාළිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. 

කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ස්ත්‍රීන් සමඟ පංච කාම සම්පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්ගේ පුතා ස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍යය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා


එක දවසක් රජතුමාව බැහැ දකින සිංදු කියන්න දක්ෂ තරුණියක් කුමාරයාගේ ස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමා ඒ තරුණිය කුමාරයා සිටින මාළිගාව ආසන්නයේ ඉදන් විණාව වාදනය කරනවා. 

ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තවත් ආසන්නයට ඇවිත් තරුණිය වීණා වාදනය කරනවා. මේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අණ කරනවා ඒ වීණා වාදනය කරන තැනැත්තාව මාළිගාවට අරගෙන ඇවිත් මාළිගාවේ ඉදන් වීණා වාදනය කරවන්න කියලා. 


ඉතින් මාළිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අවසානයේ ඇය ගැනත් ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදිලා [මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දන්නවානේ] අතිශය සතුටට පත් වෙනවා. 

ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදිහට තමන්ට ලැබුණු සුවය අනික් පිරිමින්ට අත් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවත් අරගෙන වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියෙක්ම කඩුගාන්න පටන් ගත්තා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලා ගෙන ඇවිත් කුමාරයාවයි අර තරුණියවයි නගරයෙන් පිටුවහල් කරනවා 

යන්න එන්න තැනක් නැතිවුනු මේ යුවළ හිමාල වනයට ගිහින් ගංගාවක් අසළ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයට යන බෝසත් කුමාරයා පලවැල ගෙනත් දෙනවා අර තරුණියට. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්නා අනුභව කරනවා. 


දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසයෙක් බෝසත් කුමාරයා පලවැල නෙලන්න කැළේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණියත් තාපසයාට පලවැලෙන් සංග්‍රහ කරලා අවසානයේදී කොහොමින් කොහොම හරි තාපසයා ගැන පිළිබඳ සිතක් පහළ වෙලා දෙන්නා ලෝකාස්වාදරතියේ යෙදෙනවා. 

මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සහ කළත් ඒ වෙද්දී තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණු නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දී මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. 

ඒත් සෘද්ධි බල පිරිහිලා තාපසයාට වුණු දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා 

"ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" යනාදී වශයෙන්. 

මේ කරුණු අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවා ගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. 


මේ ධර්මතාවය සිහි කරපු බෝසත් කුමාරයාත් ධ්‍යාන උපදවා ගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහින් කැමති තැනකට යන්න කියලා තරුණියව අත හැරලා තව දුරටත් භාවනා කරලා පංච අභිඥා ආදිය උපදවා ගෙන මිය පරලොව යනවා. 

ස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ තිබෙන 262 වෙනි ජාත කතාව වන චුල්ලපලෝභන [සංකප්ප] ජාතකයේ තමා මේ කතාව තියෙන්නේ. 

මේ කතාවට අදාළව පින්තූර හොයද්දී කතාව අන්තර්ජාලයේ තියෙන බවත් දැනගන්න ලැබුණා. මෙන්න ඒ කතාව සම්භාව්‍ය සිංහලෙන්

බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා....................

Sunday, July 15, 2012

සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්.ගේ මී මුත්තා - ඉතිහාසයේ අප්‍රකට කතා 11

 තම සහයකයින් සමඟ සිටින තම්බි මුදලි

පහුගිය දවස්වල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව කියපු කතා කීපයකම තම්බි මුදලි කියන නම එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන කියන නම සඳහන් වුණා ඔයාලට මතක ඇති. ඒ වගේමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසීන්ට පාවා දුන් අයට සාපයක්වැදුනාද කියන කතාවෙන් මම ඇහුවා රජතුමාට කරුණාව දක්වපු තම්බි මුදලිගේ පරම්පරාවට මොකද වුණේ කියලත්. 

ඉතින් අද ඉතිහාසයේ අප්‍රකට කතාවලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ තම්බි මුදලි එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිවරයා ගැන.

 දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරය [වර්ණ ගන්වා ඇති කොටස]

ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන කාලේ දකුණු ඉන්දියාවේ මලබාරයට ආසන්නයේ තිබුණු කොරමැන්ඩල් ප්‍රදේශයේ හිටිය හෙට්ටි නමින් හඳුන්වපු වෙළෙදාම් කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගත්තු පිරිසක්. තමන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා කොළඹට ඇවිත් පදිංචි වෙලා හිටිය හෙට්ටිවරුත් හිටියා.

 කොළඹ හෙට්ටි ජනයා

පරම්පරා කීපයකට පස්සේ මේ හෙට්ටි පවුලක කෙනෙක් ඒ කාලයේ වැදගත් පවුලක් විදිහට පිළිගැනුණු හංවැල්ල වෙල්ගම ප්‍රදේශයේ හිටිය ජයවර්ධන පවුලෙන් දියණියක් සරණ පාවාගෙන තමන්ගේ මුල් නම අත් හැරලා ජයවර්ධන කියන සිංහල නම අරගෙන සිංහල ක්‍රමයට හැඩගැහුණා. 

එයාගේ පුතා තමයි දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන එහෙමත් නැත්නම් තම්බි මුදලි කියලා හඳුන්වන්නේ. 1768 දී හංවැල්ල වෙල්ගම ගමේදී තමා ඔහු උපත ලබන්නේ.

 ඕලන්ද සමයේ කොළඹ කොටුව සහ වරාය

මුලින්ම කොළඹ තිබුණු ලන්දේසි කොටුවේ සේවකයෙක් විදිහට කටයුතු කරපු අදිරියන් ජයවර්ධනව කොළඹ කොටුවේ අණ දෙන්නා වුණු ඩිරිබර්ග්ගේ අණින් ඕලන්ද ලැස්කරින් රෙජිමේන්තුවේ ආරච්චි නිලයකට පත් කෙරෙනවා. ඒ සේවයට වැටුප් විදිහට නාරාහේන්පිට ගමෙන් ඉඩම් ඔහුට ලැබෙනවා.  

අදිරියන් ජයවර්ධන ට "තම්බි මුදලි" කියන නාමය හිමිවෙන්නේත් මේ කාලය තුළ. ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා.




 ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek

1790 දශකය වෙද්දී ලංකාවට ලන්දේසි පාලනයට ඉංග්‍රීසීන්ගෙන් තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ යටතේ මේජර් ජෙනරාල් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් ලංකාවට ගොඩ බැස්ස ඉංග්‍රීසී බල ඇණිය කොළඹ බලා එද්දී ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek ගේ අණින් ඒ භට පිරිසගේ ඔත්තු බලන්න තම්බි මුදලිව යොදා ගන්නවා. 

ඉංග්‍රීසී හමුදා කැළණි ගඟේ උතුරේ තිබුණු මහබොල කියන ගමට එනකම්ම තමන්ට පැවරුණු රාජකාරිය සාර්ථකව ඉටු කරන්න තම්බි මුදලිට පුලුවන් වුණත් පස්සේ මෙයා ඔත්තුකාරයෙක් විදිහට ඉංග්‍රීසී සොල්දාදුවන් හඳුනා ගැනීමත් එක්ක සිරභාරයට පත් වෙනවා. 

ඒ අවස්ථාවේ තම්බි මුදලි ඉංග්‍රීසීන්ට පොරොන්දු වෙනවා 

"මාගේ ජීවිතය බේරුවොත් ලන්දේසීන් ඉංග්‍රීසීන්ට යටත් වූ කලෙක මම ඉංග්‍රීසීන්ට පක්ෂව ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරනවා" 

අන්තිමට යුධ බලයෙන් වගේම ගිවිසුමක් මාර්ගයෙන් 1796 පෙබරවාරි 16 වැනිදා ඉදන් ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ලංකාවේ මුහුදු බඩ පළාත්වල පාලන බලය ඉංග්‍රීසීන් තමන් සතු කරගන්නවා. ඒකත් එක්කම තම්බි මුදලිවත් සිරභාරයෙන් නිදහස් කරනවා. 

ඉංග්‍රීසී පාලනය ලංකාවේ ආරම්භ වීමත් එක්ක උඩරට රදළයන්ගේ පෙළඹවීමෙන් මුහුදු බඩ ප්‍රදේශවල හිටිය ස්වදේශික මුලාදෑනීන් කැරලි ගහන්න සූදානම් වුණත් මේ කුමන්ත්‍රණය ගැන දැනගන්න තම්බි මුදලි ඒ බව තමන්ගේ නව ස්වාමිවරු වුණු ඉංග්‍රීසීන්ට කියලා තමන්ගේ පක්ෂපාතීත්වය තහවුරු කරනවා වගේම හේවාගම්, සල්පිටි, රයිගම් කෝරළවල ඇතිවෙන කැරලි කෝලාහල මර්දනය කරන්නත් තමන්ගේ සහයෝගය ලබාදෙනවා.

මේ ගැන සතුටු වුණු හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ස්ටුවර්ට් තම්බි මුදලිව බ්‍රිතාන්‍ය හමුදාවේ ආරච්චි කෙනෙක් විදිහටත් මාර්ගෝපදේශකයෙක් විදිහටත් පත් කරලා මාසිකව දීමනාවක් ලැබෙන්නත් සලස්වනවා.

 මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ උඩරට දූත ගමන

මේ යටතේ ඔහු කළ පළමු මාර්ගෝපදේශන කාර්යය වෙන්නේ 1800 මාර්තු මාසයේ මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල්ගේ උඩරට දූත ගමනට මාර්ගෝපදේශකයෙක් විදිහට සම්බන්ධ වුණු එක. මේ සේවය අගය කරමින් මොහුව අත්පත්තු මුහන්දිරම්වරයෙක් ලෙස උසස් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා

1803 සිදුකෙරුණු ඉංග්‍රීසීන්ගේ පළමු උඩරට ආක්‍රමණයට මග පෙන්වීම කරන්නේ තම්බි මුදලි. මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ නායකත්වයෙන් මහනුවර ඉංග්‍රීසීන් අත්පත් කරගත්තත් මේ අවස්ථාව වෙද්දී රජතුමා ඇතුලු ප්‍රභූවරු රට මැද්දට පලා ගිහින් හිටියේ.

මේ අවස්ථාවේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් මීගස්තැන්නේ හරහා ඉංග්‍රීසීන්ට සාමදාන යෝජනාවක් එවනවා. මේ සාමදාන යෝජනාව කුමන්ත්‍රණයක් බව තම්බි මුදලි කීවත් මැක්ඩොවල් ඒක පිළිගන්නේ නැහැ. මේ නිසා මේජර් ඩේවි යටතේ හමුදා ඛණ්ඩයක් මහනුවර නවත්වලා මැක්ඩොවල් ඇතුලු පිරිස කොළඹ බලා ආපසු එනවා. 

 
පිළිමතලාවේ අදිකාරම්

අන්තිමට සිද්ධ වෙන්නේ පිළිමතලාවේ මහාදිකාරම්ගේ අණින් මහනුවර නවතා තැබූ ඉංග්‍රීසී සොල්දාදුවන් සමූල ඝාතනය වුණු එක. මේජර් ඩේවි පණ බේරාගන්නේ ඒ අවස්ථාවේ රජු මේ ගැන දැනගෙන මැදිහත් වුණු නිසා. 

ඒ වගේමයි දඹදෙණියේදී පිළිමතලාවේ මහාදිකාරම් උපායෙන් ඉංග්‍රීසී ආණ්ඩුකාරවරයාව තමන්ගේ සිරකරුවෙක් කරගන්න ගිය සැලැස්ම ව්‍යර්ථ කරන්න වගේම සොල්දාදුවන් 31,000 ක සේනාවක් එක්ක උඩරට රජතුමා කොළඹ අල්ලන්න එන පුවත ආණ්ඩුකාරවරයාට ලබාදෙන්නේත් තම්බි මුදලිමයි.

මේ සිද්ධියත් එක්ක මුහුදු බඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇතිවුණු කැරලි මැඩපවත්වන්න වගේම හංවැල්ල බල කොටුව අල්ලා ගන්නත් තම්බි මුදලිගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා.

ඔහුගේ සේවය අගය කරලා ප්‍රදානය කරපු ප්‍රදානයන් ගැන 1805 අප්‍රේල් 23 නිකුත් කරලා තිබෙන ලිපියකින් මෙහෙම කියවෙනවා.

"....මාර්ගෝපදේශකයන්ගේ මුදලි තැන්පත් දොන් අද්‍රියන් නොයෙක් අවස්ථාවන්හිදී කළ ප්‍රශංසනීය උනන්දු සහගත සේවය පිළිබඳ ගරු උතුමාණන් වහන්සේගේ අනුකූලතාව දැක්වීමක් වශයෙන් ඔබ දිස්ත්‍රික්කයේ පිහිටි කලින් මාදම්පේ මුදලි තැනට හිමිව පැවති ඉඩකඩම් ඔහුට ප්‍රදානය කිරීම එතුමාණන්ගේ කැමැත්තයි....."

සර් තෝමස් මේට්ලන්ඩ්

පස්සේ 1808 දී සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම්බි මුදලිව හලාවත ප්‍රදේශය භාර මුදලිවරයා විදිහටත් පත් කරනවා.

1814 උඩරට ආක්‍රමණය දියත් වෙනකම්ම තම්බි මුදලි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලිගේ මෙහෙයවීමෙන් කන්ද උඩරට ප්‍රදේශවල චරපුරුෂ සේවයේ යෙදිලා සාර්ථක ඉංග්‍රීසී ආක්‍රමණයකට අවශ්‍ය වෙන තොරතුරු එක්රැස් කිරීමේ නියැලුණා.

1814 දියත් කෙරුණු උඩරට ආක්‍රමණයට තම්බි මුදලි සම්බන්ධ වුණා වගේම මඟ පෙන්වීමෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ නිසාමයි 1815 ජනවාරි 15 වෙනිදා ජයවර්ධන මුදලිව මාර්ගෝපදේශකයන්ගේ නායක මුදලි තනතුරට පත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. සාර්ථක ආක්‍රමණයකින් පස්සේ 1815 පෙබරවාරි 14 වෙනිදා සෙංකඩගල අගනුවර ඉංග්‍රීසීන් යටතට පත් වෙනවා.

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් මොහොත

අවසානයේදී රජතුමා සොයාගෙන මැද මහනුවරට පිටත් වුණු කණ්ඩායමේ ඔහුත් හිටියා. පස්සේ රජතුමා අල්ලා ගත් වෙලාවේ රාජ්‍ය සළකුණ විදිහට සැලකුණු රන් කඩුව එතැනින් සොයාගෙන ඒක ඩොයිලිට භාර දෙන්නේත් තම්බි මුදලි. (සෙංකඩගල මහ වාසළේ රන් කඩුවේ නාමයෙන් කියලා තමා රජ කාලේ රාජ අණ පනත් ප්‍රකාශ කළා කියන්නේ. ඒ නිසා රන් කඩුව හිමිවීම ඉංග්‍රීසීන්ගේ ලත් ජයග්‍රහණයක්)

රජතුමා ඇතුලූ කණ්ඩායම කොළඹට අරන් ගිය කණ්ඩායමට තම්බි මුදලි වරින් වර සම්බන්ධ වෙනවා. එහෙම වෙන්නේ ඒ වෙද්දී ඩොයිලිගේ අණින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව සෙවීමේ කාර්යයට තම්බි මුදලි සම්බන්ධ වෙලා හිටිය නිසා.

රජතුමාගේ වගේම බිසෝවරුන්ගේත් වස්ත්‍රාභරණ ඔවුන් අල්ලා ගත්තු වෙලාවේ ඉරලා දමපු නිසා ඔවුන්ට සුදුසු වස්ත්‍රාභරණ සැපයීම ඩොයිලිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මේ අවස්ථාවේදී තම්බි මුදලි තමන් සොයා ගන්න රාජකීය වස්තුවෙන් බිසෝවරුන්ට සුදුසු වස්ත්‍ර කීපයක් සැපයීම කරනවා. පසුව තෙල්දෙණියේදී රජුට අයත් වුණු පෙට්ටගමක් තම්බි මුදලි ඩොයිලිට ගෙනවිත් දෙනවා. එහි තිබුණු වස්ත්‍රත් රාජකීය පිරිසට අදින්න දෙනවා.

ඒ හැරෙන්න උඩරට ඉංග්‍රීසී පාලනයට විරුද්ධ වෙන්න පුලූවන් රදළයන් 18 ක් පිළිබඳව තොරතුරු ඉංග්‍රීසීන්ට ලබාදෙන්න මොහු කටයුතු කරනවා. ආණ්ඩුකාරයා මේ පිළිබඳව එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් අන්තිමට ඔවුන් කැරලි ගසන්න එකතු වුණු නිසා ආණ්ඩුකාරවරයා තම්බි මුදලිගේ සේවය අගය කරලා මරණය දක්වාම මසකට රුපියල් 250 ක දීමනාවක් ලබාදෙන්නත් නියම කරනවා.

මේ විදිහට තමන්ගේ පක්ෂපාතී සේවය නිසා හොඳ නම දිනාගෙන හිටපු තම්බි මුදලිගේ නමට කිසියම් අපකීර්තියක් එක් වෙන්නේ 1816 සිදුවුණු ඉහගම කුමන්ත්‍රණයට ඔහුත් සම්බන්ධයි කියලා චෝදනා එල්ලවීම නිසා

ඉහගම කුමන්ත්‍රණය කියලා සිද්ධ වුණේ මල්වතු විහාරයේ ඉගෙනුම ලබපු ඉහගම උන්නාන්සේ කියන හාමුදුරුවෝ තවත් හාමුදුරුවරු කණ්ඩායමක් සහ උඩරට රදළයන් කීප දෙනෙක් එකතු කරගෙන උඩරටින් ඉංග්‍රීසීන් පන්නලා සියම් රටින් රාජ කුමාරයෙක් ගෙනල්ලා සිංහාසනයට පත් කරන්න සැලසුම් කරපු එක. ඒත් මේ ගැන එක්නැලිගොඩ නිලමේ දැනගත්තු නිසා මේ පිරිස 1816 ජූලි 31 ඉංග්‍රීසීන් අත් අඩංගුවට ගන්නවා. 

මේ කුමන්ත්‍රණයට පිළමතලාවේ මහාදිකාරම්ගේ උපදෙස් පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මරන්න සූදානම් වුණු ආසන කියන ජා මුහන්දිරම්වරයාත් එකතු වූ බවයි කියවෙන්නේ. මේ ආසන කියන්නේ කලින් කතාවකත් කිව්ව වගේජෝන් ඩොයිලිගේ ඔත්තුකාරයෙක්. උඩරටින් පලා ඇවිල්ලා මීගමුවේ ඔහු ජීවත් වුණා. ඔහු නිසාම මේ ඉහගම කුමන්ත්‍රණයට තම්බි මුදලිත් එකතු වුණු බවයි කියවෙන්නේ.

මේ සම්බන්ධව සිදුවුණු නඩු විභාගයේදී ආසන ජා මුහන්දිරම් තම්බි මුදලි කුමන්ත්‍රණයට එකතු වූ ආකාරය කියන්නේ මෙහෙමයි

රජුත් වස්තුවත් අල්ලා ගත් තැනැත්තා මමයි. එහෙත් ඒ සේවය සඳහා මා ලත් කිසිවක් නැත. ඉංග්‍රීසී රජය කලක් මට බෙහෙවින් ගරු කළ නමුත් දැන් එසේ නොකරයි. එම නිසා මට මෙයින් කිසි පාඩුවක් නොවේ. ඔබ සූදානම් වූ විට මම ඔබේ පක්ෂය ගන්නෙමි.

කොහොම නමුත් අන්තිමට හෙළිවෙන්නේ පොද්දල්ගොඩ ප්‍රදේශයේ සඟවවලා තිබුණු රාජකීය වස්තුව තම්බි මුදලි සොයාගත්තු අවස්ථාවේ ඉන් සමහරක් ඔහු පුද්ගලික පරිහරණයට ගත්තා කියලා. විශේෂයෙන් වටිනා බුමුතුරුණු කීපයක්ම තම්බි මුදලිගේ මාදම්පේ ගෙදර තිබිලා හමුවෙනවා. ඒ කොහොම වුණත් ජයවර්ධන මුදලිට සමාවක් ලැබුණු බවයි පෙනෙන්නේ. 

 මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

ජයවර්ධන මුදලි ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ නිසා ක්‍රිස්තියානි දහමටත් උපකාර කරලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ට අයිති වෙලා තිබුණු මාදම්පේ ප්‍රදේශයේ ඉඩමක් මාදම්පේ කතෝලික මීසමට ප්‍රදානය කරලා තියෙනවා. ඒ ස්ථානයේ ඉදි කරපු පල්ලිය 1883 පෙබරවාරි 4 වෙනිදා ශාන්ත සෙබස්තියන් මුනිවරයාට කැප කරලා විවෘත කරලා තියෙනවා.  

කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථානය

ලන්දේසි කාලයේ ඉදන්ම ජයවර්ධන මුදලි ජීවත් වුණු නිසා ඔහු රෙපරමාදු ආගම වැළැඳගෙන හිටිය බව තමා පේන්නේ. ඒක තහවුරු වෙන්නේ ඔහු මියගියාට පස්සේ දේහය වළලන්න කොළඹ වුල්ෆැන්ඩෝල්වල තිබුණු ඕලන්ද රෙපරමාදු පල්ලියේ සුසාන භූමිය යොදාගත්තු නිසා.

අවසන් කාලය සාමකාමීව ගත කරපු ජයවර්ධන මුදලි 1824 ඉදන් රෝගී තත්වයෙන් තමා පසුවෙන්නේ. ඒ වෙද්දී ඔහුට මාසිකව රික්ස් ඩොලර් 200 ක දීමනාවක් ඉංග්‍රීසී ආණ්ඩුවෙන් ලැබෙමින් තිබුණේ. 

අන්තිමට ඔහු මියයන්නේ 1830 පෙබරවාරි 18 වෙනිදා. එදාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන හරියටම වර්ෂ 15 කුත් සම්පූර්ණ වුණා. මියයද්දී ජයවර්ධන මුදලිට  වයස අවුරුදු 62 ක් පමණ වුණා. ජයවර්ධන මුදලිගේ දේහය එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ අණින් හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථාන භූමියේ වළදමනවා. ඔහුගේ බිරිඳ වුණු දෝන දිනේසියාට ඉංග්‍රීසි රජයෙන් පවුම් 18 සිලිම් 15 ක දීමනාවකුත් හිමිවෙනවා.

1830 මැයි 15 පළ කරපු රජයේ ගැසට් පත්‍රයෙනුත් ජයවර්ධන මුදලිගේ සේවය අගය කරන්න බ්‍රිතාන්‍ය රජය අවසාන වශයෙන් කටයුතු කළා
 ජයවර්ධන පවුලේ ලාංඡනය

ඊට පසුවත් ඒ පරම්පරාවේ අය රජයේ ඉහළ නිළතල දැරුවා වගේම නීතීඥ, හමුදා සේවය වගේ රටේ පිළිගත් වෘත්තීන්වල නියැලිලා තිබෙනවා. ජයවර්ධන මුදලිගේ පරපුරේ උච්චතම ස්ථානය සටහන් කරන්නේ ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්.ජයවර්ධන. 


 ඒ ශ්‍රී ලංකාවේ 10 වෙනි අගමැතිවරයා විදිහටත් පසුව ශ්‍රී ලංකාවේ දෙවෙනි ජනාධිපතිවරයා වගේම පළමුවෙනි විධායක ජනාධිපතිවරයා විදිහටත් පත්වීමෙන්. 

කතාව ලියන්න විස්තර හොයාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල - කාණ්ඩය 3 ග්‍රන්ථයෙනුත්, විශ්‍රාමික විදුහල්පති කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා දිවයින පුවත්පතට ලියපු "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළායයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව" ලිපියෙනුත්, කේ.එම්. ද සිල්වා සහ විලියම් හෝවාර්ඩ් ලියපු J.R. Jayewardene of Sri Lanka: 1906-1956 කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්. 

ප.ලි.: ඊළඟට ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්න බලාපොරොත්තු වෙන්නේ නායක්කර් පෙළපත උඩරට රාජධානියේ සිහසුන හිමිකරගත්තු හැටි. ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා නම් මේ ගමන්ම අහන්න පුලුවන්. ඒවාටත් සවිස්තර පිළිතුරු ඊළඟ සටහනෙන් සපයන්න ඒක පහසුවක් වේවි

මේ දක්වා ලියපු ඉතිහාසයේ අප්‍රකට කතා මෙන්න

II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ 

ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි

I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල්

හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක්

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා 

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය

I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක්

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???

රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව

ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?

ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා

Sunday, July 8, 2012

ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා - ඉතිහාසයේ අප්‍රකට කතා 10

සර් ජෝන් ඩොයිලි

මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත්, ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවි.

ඔබ 1815 ඉංග්‍රීසින් උඩරට දිනාගැනීම සම්බන්ධ කතා පුවත් කියවනවා නම් ඔබට අනිවාර්යයෙන්ම හමුවෙන නමක් තමා සර් ජෝන් ඩොයිලි කියන නාමය. කවුද මේ ජෝන් ඩොයිලි කියන එක සොයලා බැලුවොත් 1815 ඉදන් උඩරට ඉංග්‍රීසින්ගේ නේවාසික නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා කියන එකත් දැනගන්න ලැබේවි. 

ඒත් ජෝන් ඩොයිලි කියන්නේ ඊටත් වඩා වැදගත් පුද්ගලයෙක්. සරලවම කිව්වොත් 1815 ඉංග්‍රීසින්ගේ උඩරට ජයග්‍රහණයේ මහ මොළකරු වුනේ ජෝන් ඩොයිලි. අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කෙරෙන්නේ මේ මහා මොළකරු වුණු ජෝන් ඩොයිලි සම්බන්ධව.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

1774 ජූනි 11 එංගලන්තයේ සසෙක්ස්වලදී උපත ලබපු ජෝන් ඩොයිලි දේවගැතිවරයෙක් වුණු මැතියස් ඩොයිලිගේ දෙවෙනි පුත්‍රයා වුණා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරපු ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ පළමු උපාධිය 1796 දී හිමිකරගන්නවා. 

 ලිවර්පූල් සාමිවරයා

ඒ වෙද්දී ඉංග්‍රීසින් යටතේ පාලනය වුණු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන කටයුතු සඳහා ඩොයිලි 1801 දී ලංකාවට එනවා. ඒ වනවිට යටත් විජිත බාර ලේකම් වුණු ලිවර්පූල් සාමිවරයාගේ [පසුව බ්‍රිතාන්‍යයේ අගමැති] නියෝගයක් අනුව ඩොයිලි ලංකාවට පැමිණි බවයි කියවෙන්නේ. 

ෆ්‍රෙඩ්රික් නෝර්ත්

මේ වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ ෆ්‍රෙඩ්රික් නෝර්ත්. ඉංග්‍රීසි සිවිල් සේවකයන්ට සිංහල භාෂාව හොඳින් ඉගැන්විය යුතුයි කියන නෝර්ත්ගේ සංකල්පය නිසා මුල්ම අවස්ථාවේ ඩොයිලිට සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙනවා. ටික දවසක් කොළඹ නගරයේ සිවිල් පාලනය ගැන පුහුණුවක් ලබන ඩොයිලි හා හාපුරා කියලා වැඩ භාරගන්නේ මාතර ප්‍රදේශයේ මුදල් අයකැමියා [Collector] විදිහට. 

ඩොයිලි මාතර හිටිය කාලේ කරතොට ධම්මාරාම කියන උගත් භික්ෂූන් වහන්සේගෙන් යටතේ වැඩිදුරටත් සිංහල භාෂාව, පාලි භාෂාව, සිංහල සංස්කෘතිය ආදී ලාංකික දැනුම් පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ බවයි කියවෙන්නේ

  ගජමන් නෝනා

ඩොයිලි ඒ කාලේ මාතර ප්‍රදේශයේ හිටිය ගජමන් නෝනා සහ ඇලපාත මුදලි වැනි කවියන් එක්ක සමීප ඇසුරක් පැවැත්වුවා වගේම කවි සංවාද පවත්වන්න තරම් හපන්කමක් තිබුණා කියලා තමා කියන්නේ. ගජමන් නෝනාට ඩොයිලිට ලියූ කවි එහෙමත් තියෙනවාලු. ගජමන් නෝනා ගැන පැහැදුණු ඩොයිලි ගජමන් නෝනාට "නෝනාගම" නින්දගමක් විදිහට දුන්නු බවත් කියවෙනවා

ඊට පස්සේ ගාල්ලේ මුදල් අයකැමියා විදිහටත් ඩොයිලි කටයුතු කරනවා. ඒ දවස්වල මේ තනතුරුවලට අධිකරණ බලයක් පවා තිබුණු නිසා මේ තනතුරු වැදගත් තනතුරු කියලා හිතාගන්න පුලුවන්.

තෝමස් මේට්ලන්ඩ්

1805 ලංකාවට පත්වෙලා එන අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් ඩොයිලිව ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට පත් කරනවා. ඒ තනතුරටම තමා කොළඹ දිසාපති ධූරයේ කටයුතුත් ඇතුළත් වුණේ. 

මීට කලින් හිටිය නෝර්ත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය රජයේ උපදෙස වුණේ හැකිතාක් උඩරට සමඟ සුහදව කටයුතු කරන්න ඕනේ වගේම සමඟි ගිවිසුම්වලින් උඩරටත් එක්ක බැදෙන්න ඕනේ කියන එක. ඒත් මේට්ලන්ඩ් නෝර්ත්ට වඩා ඉදිරියට හිතලා යුධ බලයෙන් නැතුව උපායශීලීව උඩරට දිනාගන්න සැලසුම් කරනවා. 

උපක්‍රමශීලී කටයුතුවලට ඒ වෙද්දී ඉංග්‍රීසීන් යටතේ සේවය කරපු මුදලිවරුන්ගේ සහය ගන්න එක ගැන දෙපාරක් හිතන්න මේට්ලන්ඩ්ට සිද්ධ වුණා. මෙයාලා දෙපිට්කාට්ටුවන් කියලා හිතපු මේට්ලන්ඩ් මේ කටයුත්තට සුදුසුම පුද්ගලයා ඩොයිලි කියලා තීරණය කළා. සිංහල භාෂාව, චාරිත්‍ර වාරිත්‍ර වගේම සිංහල මිනිස්සු අතර හොඳ පිළිගැනීමකුත් ඒ වෙද්දී ඩොයිලිට හිමිවෙලා තිබීම ඒකට හේතුවක් වුණා

ඩොයිලි මුලින්ම ලිපි ගනුදෙනු ආරම්භ කරන්නේ ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් විදිහට කටයුතු කරපු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ. මේ ලිපියෙන් ඩොයිලි කියන්නේ මුහුදු බඩ ඉංග්‍රීසි පළාත්වල නව ආණ්ඩුකාරවරයා විදිහට තෝමස් මේට්ලන්ඩ් වැඩ භාරගත් නිසා සුදුසු අවස්ථාවක ඒ බව මහ වාසලට දැනුම් දෙන්න කියලා. මේ විදිහට ක්‍රමයෙන් උඩරට එක්ක හිතවත්කමක් ඇති කරගන්න ඩොයිලි පාර කපා ගන්නවා.

මේ කාලේ ඩොයිලිට පැවරුණු තවත් කාර්යයක් වුණේ 1802 උඩරට ආක්‍රමණයේදී සිරකරුවෙක් වෙලා උඩරට හිටිය මේජර් ඩේවිව ආපසු ගෙන්වා ගන්න එක. ඒ යටතේ කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවන්ට ලොකු කැඩපතකුත් පුස්වැල්ලේ නිළමේට තෑගි බෝගත් යවපු ඩොයිලි ඒ දෙදෙනා මාර්ගයෙන් මේජර් ඩේවිට ලිපි යවන්න සමත් වෙනවා. 1811 දී කොස්කඳවල උන්නාසේට පගෝදි 100 ක් දීලා මේජර් ඩේවිව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකට ගේන්නේ ඩොයිලි උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

රොබට් බ්‍රවුන්රිග්

මේ විදිහට සුළුවෙන් ආරම්භ කරපු ඩොයිලිගේ වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙන්න පටන් ගත්තේ 1811 නව ආණ්ඩුකරු විදිහට රොබට් බ්‍රවුන්රිග් පත්වීමත් එක්ක. මේ යටතේ උඩරට තමන්ට හිතැති පිරිසක් නිර්මාණය කරගන්න වගේම චරපුරුෂ සේවයක් සාර්ථකව උඩරට නිර්මාණය කරන්න ඩොයිලි සමත් වෙනවා. 

මේ චරපුරුෂ සේවයේ මූලිකයා වුණේ තම්බි මුදලි කියලා හඳුන්වපු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි. ඒ හැරෙන්න 1812 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්නට පිළිමතලාවේ අදිකාරම්ගේ උපදෙස් පරිදි ආපු ආසන නම් මැලේ මුහන්දිරම්වරයාත් ඩොයිලිගේ චරපුරුෂයෙක් බවයි කියවෙන්නේ. 

මේ මැලේ මුහන්දිරම් හරහා උඩරට මරක්කලයන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසින්ට දිනාගන්න ඩොයිලි කටයුතු කළා. ඒ වගේමයි මැලේ මුහන්දිරම් රජතුමා වගේම රජතුමාගේ නායක්කර් ඥාතීනුත් ළඟින්ම ඇසුරු කරපු නිසා ඔවුන් පිළිබඳවත් වැදගත් තොරතුරු ලබාගන්න ඩොයිලිට හැකිවුනා.

කොහොම නමුත් රජතුමා ඝාතන උත්සහය අසාර්ථක වීමත් එක්කම රාජ උදහසින් පැනලා යන්න මැලේ මුහන්දිරම් සමත් වෙනවා.ඊට පස්සේ ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණයට වැදගත් තොරතුරු රැසක් ලබාදීපු ආසන මැලේ මුහන්දිරම් මීගමුවේ වාසය කළ බවයි කියවෙන්නේ.

ඒ හැරෙන්න වත්තල අප්පුහාමි, ගොඩමුන්නේ උන්නාන්සේ කියන චරපුරුෂයොත් ඩොයිලි යටතේ උඩරට ඉදලා තියෙනවා.

උඩරට ඩොයිලි ඇතිකරගත්තු හිතවතුන් අතරේ කලින් කිව්ව මල්වතු මහා විහාරයේ මහානායක මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ වගේම ඊට පස්සේ මහානායක වුණු කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවෝ අස්ගිරි පාර්ශවයේ මහානායක පොතුහැර රතනපාල හාමුදුරුවෝ වගේම පිළිමතලාවේ මහාදිකාරම්, ඇහැලේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ මහාදිකාරම්, කපුවත්තේ මහාදිකාරම්, දුනුවිල දිසාව, මීගස්තැන්නේ නිළමේ, පුස්වැල්ලේ නිළමේ වගේ උඩරට රාජ්‍යයේ ප්‍රබලයෝ රැසක්ම හිටියා.

විවිධාකාරයේ තෑගි බෝග ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ සිත් දිනාගන්න ඩොයිලි සමත් වුණා වගේම උඩරට රදළයන් අතරේ තිබුණු පුද්ගලික එදිරිවාදිකම් හොයා ගන්න සමත් වුණු ඩොයිලි ඒවා තව තවත් වර්ධනය කරන්නත් මේ හරහාම කටයුතු කළා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

ඉතාමත් විනීත විදිහට කටයුතු කරපු ඩොයිලි කෙතරම් දක්ෂ වුණාද කියනවා නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මත්පැන්වලට ඇබ්බැහි කරවීමේ කාර්යයට මොල්ලිගොඩ මහ නිළමේ සමඟ සම්බන්ධ වෙන්නේ ඩොයිලි. රජතුමා කොතරම් බේබද්දෙක් වුණාද කියනවා නම්  1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා.

අවසාන වශයෙන් උඩරට කඩාවැටීමට මග පාදපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැලේපොළ මහාදිකාරම් අතර ගැටුම ඇතිකරවන්නේ මොල්ලිගොඩ මහාදිකාරම්. ඒකට හේතුව වුණු මොල්ලිගොඩ සහ ඇහැලේපොළ ගැටුම සූක්ෂමව නිර්මාණය කරන්නේත් ඩොයිලි. පස්සේ රජතුමා පලවා හැරීම අපේක්ෂාව කරගෙන ඉංග්‍රීසින් ගාවට ආපු ඇහැලේපොළ මාර්ගයෙන් උඩරට යුධ ශක්තිය, යුධ රහස්, රජතුමා ආරක්ෂාවට පලායන ස්ථාන, රජතුමාගේ වස්තුව සඟවන ස්ථාන වගේ සෑම දෙයක් ගැනම තොරතුරු ලබාගන්න ඩොයිලි සමත් වෙනවා.  

ඇහැලේපොළ, මොල්ලිගොඩ සහ කපුවත්තේ මහ නිළමේවරුන් සමඟ සංවාදයක සිටින ජෝන් ඩොයිලි

අන්තිමටම උඩරට ආක්‍රමණය කරන්න බ්‍රවුන්රිග් හේතුව විදිහට දක්වන ඉංග්‍රීසි බල ප්‍රදේශයේ හිටිය වෙළෙඳුන් උඩරට වෙළෙඳාමට ගියාම චරපුරුෂයන් කියලා සැක කරලා කන්, නාස් කපලා දඬුවම් කිරීම උඩරට ආක්‍රමණයට සාධාරණ හේතුවක් දක්වන්න ඩොයිලි කරපු උපායක් බවයි කියන්නේ

මේ යටතේ තමන්ගේ උඩරට ආක්‍රමණය දියත් කරපු ඉංග්‍රීසින් ඩොයිලිගේ සූර උපායන්ට පින් සිදුවන්නට පහසුවෙන් 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නවා. පස්සේ පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලගන්නත් ඉංග්‍රීසින්ට හැකිවෙනවා.

ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ. මේ ගැන අපි ගිය සතියේ කතා කළා නොවැ

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

ඉන්පසුව 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරපු උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තන සකස් කරන්නට කටයුතු කරන්නේත් ඩොයිලි. ඒ ගිවිසුමෙත් ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක විදිහට ජෝන් ඩොයිලි අත්සන් තබනවා.

1815 ඉදන් ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා [Resident] විදිහට ජෝන් ඩොයිලි 1815 මාර්තු 2 තමන්ගේ කටයුතු ආරම්භ කරනවා.

බැරනට්වරුන්ට බ්‍රිතාන්‍ය රජු පිරිනමන පදක්කම

උඩරට ජයග්‍රහණය උදෙසා ජෝන් ඩොයිලිගෙන් ලැබුණු සේවය අගය කරන්න රාජ්‍යාධිකාරී කුමාරයා වුණු ජෝර්ජ් කුමාරයා [පසුව IV ජෝර්ජ් නම්න් රජවුණු] ඩොයිලිට බැරනට් [Baronet] තනතුරක් [කණිෂ්ට සාමි] පිරිනමනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව හොයාගන්න කටයුතු ආරම්භ වෙන්නේත් ඩොයිලිගේ මූලිකත්වයෙන්. අවසානයේ ගල් ලෙන් කීපයක සඟවලා තිබුණු සුවිශාල වස්තු සම්භාරයක් ඉංග්‍රීසි ආණ්ඩුව යටතට ගන්න ඩොයිලිගේ දක්ෂතාවය නිසා පුලුවන් වෙනවා. මේ වස්තුව අයත් වුණු ආභරණ, මුතු මැණික්, විවිධ උපකරණ ආදිය ඒ සොයාගත් භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් 1820 දී ලන්ඩනයේ කිං නම් පුද්ගලයාට අයත්ව තිබුණු වෙන්දේසියේදී වෙන්දේසි කරනු ලැබුවා. ඒකෙනුත් විශාල ආදායමක් ලබාගන්න ඉංග්‍රීසි රජයට හැකිවුණා

1816 පිහිටවපු උඩරට පළාත් පිළිබඳ කොමසාරිස් මණ්ඩලයේ පළමු කොමසාරිස්වරයා වෙන ඩොයිලි මියයන තෙක්ම ඒ තනතුරු දරනවා. ඩොයිලි විසින් රචනා කරපු A Sketch of The Constitution of The Kandyan Kingdom කෘතියෙන් උඩරට ආණ්ඩු ක්‍රමය වගේම උඩරට සිරිත් විරිත් සම්බන්ධව විග්‍රහයක් ඔහු කරනවා. 

මහනුවර කච්චේරියේ තිබී හමුවුණු ඩොයිලිගේ දිනපොතෙන් එකල උඩරට සමාජය වගේම ඉංග්‍රීසි පාලනය ගැන වටිනා තොරතුරු රැසක් හෙළිදරව් කරගන්න පුලුවන් වුණු නිසා රාජකීය ආසියාතික සංගමය ඒ දිනපොත පාදක කරගෙන 1917 දී Diary of Mr. John D'oyly කෘතිය නිකුත් කරනවා. මේ වනවිට ඩොයිල්ගේ සැබෑ දිනපොත මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙනවා

ජෝන් ඩොයිලි ගැන 1810 දී ඔහුව මුණ ගැසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියන්නේ මෙහෙම විස්තරයක්.

"සිවිල් සේවයේ සිටින එකම සිංහල උගතා [ඩොයිලි] ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම්වලින්  මුළුමනින්ම පාහේ ස්වදේශිකයෙකු බවට පත්ව සිටියි. ඔහු කිසිවෙකු තම ගෙදරට නොකැඳවයි. වසරකට වරක් වුව රාත්‍රී භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝභන නමුදු ගුණවත්, අවංක තාපසයෙක් බව පෙනේ. එසේ සලකනු ලැබේ. ඔහු වූඩ් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි විට කේම්බ්‍රිජ්  [විශ්වවිද්‍යාලයීය] තරුණ ගැටයෙකු මා තරම් වයස පෙනෙන සිංහල තාපසයෙකු බවට වෙනස්වීම ගැන මවිත වීමි"  

මේ සටහන ලියපු පුද්ගලයා ඒ වෙද්දී 45 වෙනි වියේ ඉද්දී ඩොයිලි හිටියේ 31 වෙනි වියේ. 

ඩොයිලිගේ සොහොන

අවිවාහකයෙක් වුණු ජෝන් ඩොයිලි මියයන්නේ 1824 මැයි 25 වෙනිදා මහනුවරදී. ඔහුගේ මරණයට හේතුව වෙන්නේ අධික උණ. මියයද්දී ඔහුගේ වයස අවුරුදු 49 යි. ඩොයිලිගේ දේහය රාජ්‍ය ගෞරව යටතේ තැන්පත් කරන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ මෘත දේහ තැන්පත් කරන්න සකස් කරපු මහනුවර ගැරිසන් සුසාන භූමියේ.

 ඩොයිලිගේ සොහොනේ වූ ඵලකය

ඒ වගේමයි ඩොයිලිගේ සොහොනේ වූ ඵලකයේ තවත් පිටපතක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේත් තැන්පත් කරනු ලබනවා.

අදටත් ඩොයිලිගේ සොහොන ඒ සුසාන භූමියේදී දැකගන්න පුලුවන්. ඒ ගැන නඩේ ගුරා කණ්ඩායම ලියපු ලිපියක් තමා මේ.

ටික කලක් යද්දී ඩොයිලිගේ අවතාරය මහනුවර සංචාරය කරන්න පටන් ගත්තාලු. අශ්වයෙක් පිටේ නැගලා සම්පූර්ණ යුධ හමුදා නිළ ඇඳුමකින් [?] සැරසිලා යන මේ අශ්වාරෝහකයා මලබාර් වීදියේ යන හැටි තමා මිනිස්සු දැකලා තියෙන්නේ. 

ඩොයිලිගේ මරණයත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිත හෙවත් රෙසිඩන්ට් ධූරය අහෝසි වුණත් ඩොයිලිගේ මොළයෙන් කරපු කටයුතුවල පලවිපාක නම් ලේසියෙන් අහෝසි වුණේ නැහැ

ප.ලි.: මේ ලිපිය ලියන්න පාදක කරගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියූ උඩරට මහ කැරැල්ල - 3 වෙනි කාණ්ඩය කෘතිය, 2012 මැයි 2 ඉරිදා දිවයින පුවත්පතට සුජීව දිසානායක ලියූ උඩරට යටත් කරගත් චරපුරුෂයා ලිපිය, කොටගම වාචිස්සර හිමියන් ලියූ සරණඞකර සඞඝරාජ සමය කෘතිය.

ඩොයිලිගේ හොල්මන ගැන කතාව දැනගන්න ලැබුණේ ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මග දිගට ජනකතා - 2 කෘතියෙන් සහ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ක්සැන්ඩර් අයියාගෙන්. ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ ලිපිය සම්පූර්ණ කරන්නට දුන්නු දායකත්වයට :)

ප.ලි.: ඊළඟට ලියවෙන සටහන මේවා ඔක්කෝටම කලින් ලියවෙන්න ඕනේ එකක් වුණත් ඒක ලියන්න හේතු කාරණා යෙදුණේ පස්සේ. මොකද ඒ ගැනත් ලියන්න කියලා ඉල්ලීමක් ආපු නිසා. ඒක නිසා ලබන සතියේ අපි කියවලා බලමු "කවුද මේ නායක්කර්වරු කියන්නේ ? කොහොමද එයාලට උඩරට සිහසුන හම්බවුණේ" කියන එක ගැන

ප.ප.ලි : ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනේදී උදාන ජීවන්ත සොයුරාට කතන්දර දීපු පිළිතුරක් නිසා රජතුමාගේ මුණුබුරු මිණිබිරියන් ගැන විස්තර රාශියක් හොයාගන්න පුලුවන් වුණා. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පරම්පරාවේ වර්තමාන පුරුක් ගැනත් සටහනක් ඉදිරියේදී ලියවේවි