Showing posts with label සාහිත්‍ය කෘති. Show all posts
Showing posts with label සාහිත්‍ය කෘති. Show all posts

Thursday, August 9, 2012

ජීවමාන බුදුන් වහන්සේ බුදු පිළිමයකට කතා කරයි - ලොව මුල්ම බුදු පිළිමය නිර්මාණය කළ හැටි


 ලෝකයේ  මුල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොයි කාලෙද කියන එක තවමත් ගැටලුවක්. ඒත් බහුතර පිළිගැනීම වෙන්නේ නම් කුෂාණ රජ පෙළපතේ කණිෂ්ක රජතුමාගේ [ක්‍රි.ව. 78-127] කාලේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්න ඇතියි කියලා. ඒකට සාධකයක් විදිහට ඉදිරිපත් කරන්නේ කණිෂ්ක රජතුමා නිකුත් කරපු කාසියක බුදු රුවක් දැකගන්න ලැබෙන එක. 

 බුදුරුව දැක්වෙන කණිෂ්කගේ කාසිය

ග්‍රීක ප්‍රතිමා නෙලීමේ ආභාෂය මේ රුව නිර්මාණයට ලැබෙන්න ඇති කියලාත් නිගමනය කරන්න පුලුවන් වෙන්නේ බුදු රුවේ සිවුර පෙරවලා තිබෙන  ආකාරය නිරීක්ෂණය කරද්දී.

ඒ කොහොම වුණත් සාහිත්‍ය මූලාශ්‍ර පිරික්සද්දී ඊටත් වඩා පැරණි ඉතිහාසයක් බුද්ධ ප්‍රතිමාවට හිමිවෙන බව පේනවා. මේ නිගමනයට එන්න පාදක වෙන සාහිත්‍ය මූලාශ්‍ර දෙකක් වෙන්නේ සංචාරක භික්ෂූන් ලෙසට ප්‍රකට පාහියන් සහ හියුං සියෑංගේ සංචාරක වාර්තාවන්. 

ඒ වාර්තා දෙකේම දක්වන විදිහට බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වැනි වස් කාලයේදී මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්ම පිටකය දේශනා කරන්නට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා වස් තුන් මාසයම දිව්‍ය ලෝකයේ ගත කරද්දී බුදුන් වහන්සේ නොදැක සංවේගයට පත්වෙන රජතුමෙක් බුදු පිළිමයක් නිර්මාණය කරනවා.

පාහියන්ගේ වාර්තාවට අනුව ඒ රජතුමා කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා. හියුං සියෑංගේ වාර්තාවට අනුව ඒ රජතුමා වත්ස්‍ය ජනපදයේ අධිපතියා වුණු උදයන රජතුමා.

  ඊතලයෙන් දක්වා තියෙන්නේ කෝසල ජනපදය

මේ කතා පුවත් දෙකෙන් පසේනදී කෝසල රජතුමා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරවපු ආකාරය පිළිබඳව තවත් සාහිත්‍ය මූලාශ්‍ර දෙකකම සඳහන් වෙන නිසා ඒ පැත්තට වැඩි බරක් ලැබෙනවා. හැබැයි ඒ සාහිත්‍ය මූලාශ්‍ර දෙකේ කතාව පාහියන්ගේ කතාවට වඩා වෙනස්.

මේ සාහිත්‍ය මූලාශ්‍ර දෙක තමා අග්නිදිග ආසියාතික රටවල ප්‍රචලිතව තිඛෙන පඤ්ඤාස ජාතක නමින් හැඳින්වෙන පන්සිය පනස් ජාතකවලට අමතරව තිබෙන ජාතක කතා පනහෙන් 37 වැනි ජාතක කතාව වෙන වට්ටාංගුලි රාජ ජාතකය සහ තවමත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා නේත්‍රා පිහිටවන්න කලින් ගායනා කරන කෝසල බිම්බ වර්ණනාව.

ඒ කතා දෙකේ සම්මිශ්‍රණය කියන්න තමා මේ සූදානම.

බුදුන් වහන්සේ කෝසල දේශයේ සැවැත් නුවර පිහිටලා තිබුණු ජේතවනාරාමයේ වැඩ වසන කාලයේදී එක දවසක් බැහැර ප්‍රදේශයක ජනතාවට දහම් දෙසන්න වැඩම කරනවා. එදාම කෝසල දේශයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා මල්, සුවඳ ද්‍රව්‍ය ආදියත් අරගෙන තමන්ගේ පිරිස පිරිවරාගෙන බුදුන් වහන්සේ හමුවෙන්න පැමිණෙනවා.

ඒත් බුදුන් වහන්සේ විහාරයේ නැති බව දැනගන්න රජතුමා බොහොම කම්පාවට පත්වෙලා තමන් අරගෙන ආපු පූජා ද්‍රව්‍ය බුදුන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටියෙන් තැන්පත් කරලා ආපසු යන්න යනවා.

ජේතවනාරාමයේ බුදුන් වැඩ සිටි ශ්‍රී ගන්ධ කුටිය

නැවතත් බුදුන් වහන්සේජේතවනාරාමයට වැඩම කළාම කොසොල් රජතුමා බුදුන් වහන්සේව හමුවෙලා උන්වහන්සේව පසුගිය දවස්වල නොදැකපු නිසා තමන් ඇතුළු ජනතාව අතිශය දුකට පැමිණි බවත් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ නොදැකීමෙන් ඒ විදිහට දුකක් දැනෙනවා නම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ දුක දරාගන්නේ කොහොමද කියලා කියනවා.

ඒ නිසා රජතුමා බුදුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න. බුදුන් වහන්සේත් ලෝක සත්වයාගේ හිත සුව පිණිස බුදු පිළිමයක් නිර්මාණය කරන්න අනුදැන වදාරනවා.
 
ඊට පස්සේ රජතුමා බුදුන් වහන්සේගෙන් අහනවා බුදු පිළිමය කුමන ආකාරයෙන් කළොත්ද යහපත් කියලා. බුදුන් වහන්සේ වදාරනවා ලීයෙන්, තඹයෙන්, රිදීයෙන්, රන්වලින්, මැණික්වලින් ආදී දේවල්වලින් වඩාත් උසත් නැති වඩාත් සිහින් නොවන, වඩාත් මහත් නොවන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ යුතුයි කියලා.

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්, 

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා

මේ දේශනාවන් සියල්ලම මැනවින් අහගෙන හිටපු කොසොල් රජතුමා අවසානයේදී බුදුන් වහන්සේට නමස්කාර කරලා රජ මාළිගයට ගිහින් රාජ භාණ්ඩාගාරයේ තිබුණු සඳුන් දැව කොටයක් ගෙන්වලා සියලුම ලක්ෂණ සහිත බුදු රුවක් කරවලා ඒ ප්‍රතිමාවට සිවුරක් පෙරවලා ජීවමාන බුදුන් වහන්සේගේම ආකාරයට නිම කරනවා.

ඊට පස්සේ රජතුමා ජේතවනාරාමයට පිටත් වෙලා බුදුන් වහන්සේට ප්‍රතිමාව නිර්මාණය කරලා අවසන් බවත් ඒක නරඹන්න වැඩම කරවන්න කියලා ආරාධනා කරනවා.

පස්සේ රජතුමා රාජාංගණයේ සත් රුවන් මණ්ඩපයක් කරවලා රන්, රිදී වගේ වටිනා ද්‍රව්‍යයන්ගෙන් වියන් බැඳලා, දැල් දමලා බිම සුවඳ ගන්වලා සත් රුවන් මණ්ඩපයේ වටිනා සිංහාසනයක් කරවලා ඒ මත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරවනවා.

පස්සේ ජේතවනාරාමයේ ඉදන් මහා පෙරහැරින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලාව රාජාංගණයට වැඩම කරවනවා. 

බුදුන් වහන්සේ රාජාංගණයේ තිබුණු සත් රුවන් මණ්ඩපයට වැඩම කරද්දී සිංහාසනය මත වඩා හිඳුවලා තිබුණු සඳුන් හරින් කරපු සිත් පිත් නැති බුද්ධ ප්‍රතිමාව "සජීවී බුදුන් වහන්සේ වැඩම කරවලා සිටගෙන සිටියදී අජීවමාන වූ මම උස් ආසනයක හිඳීම සුදුසු නොවේ" කියලා වගේ සිංහාසනයෙන් බසින්න වගේ යනවා. 

ඒ මොහොතේදී බුදුන් වහන්සේ වදාරනවා "ඇවැත්නි, ඔබ සිංහාසනයෙන් නොබැසම සිටින්න. මම ටික දවසකින්ම පිරිනිවන් පාන්නෙමි. මා නැති පන්දහසක් අවුරුදු සාසනයෙහි වැඩ පිණිස සිටින්න. ඔබ ආදර්ශයට ගෙන මගේ පරිනිර්වාණයෙන් පසුව සිව්වනක් පිරිස පිළිම නෙලනු ලබති" කියලා.

ඊට පස්සේ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ඉදිරියේ වසර පන් දහසක්ම දෙව් මිනිසුන්ගේ පූජාවට ලක්වෙන බුද්ධ ප්‍රතිමාවට තමන් වහන්සේ මුලින්ම ගරු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ සිතලා දෑ සමන් මල් අට මිටක් පිළිමයට පූජා කරනවා. 

බුදුන් වහන්සේව අනුගමනය කරපු රහතන් වහන්සේලා පන්සීය නමත් සුවඳ මලින් බුදු පිළිමය පුදනවා. අනෙකුත් භික්ෂූන් වහන්සේලාත් රජතුමා ප්‍රමුඛ කෝසල වාසීනුත් විවිධාකාරයෙන් බුදු පිළිමයට පුද පූජා පවත්වනවා. මේ අවස්ථාවේදී බුදු පිළිමයට පුද පූජා පවත්වන්න දෙව් බඹුන් පවා එකතු වෙනවා.

අවසානයේදී බුදුන් වහන්සේ නැවත වරක් කොසොල් රජතුමාගේ ආරාධනයෙන් බුදු පිළිම කරවීමේ වගේම බුදු පිළිමයට ජීවමාන බුදුන් වහන්සේට කළ පුද පූජා පැවැත්වීමේ ආනිශංස දේශනා කරනවා.


ඉතින් බුදු පිළිම කරවීමේ විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ. 

මේ ආකාරයේ ආමිෂ පූජාවන්ගෙන් ක්‍රමයෙන් ප්‍රතිපත්ති පූජාවට පිවිසිලා අවසානයේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්න සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කෝසල බිම්බ වර්ණනාව සිංහලෙන් කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.

පාලියෙන් කෝසල බිම්බ වර්ණනාව කියවන්න කැමති නම් මෙතනින් ඒක භාගත කරගන්න.
 
මේ කතාව මම උපුටා ගත්තේ මහාචාර්ය යූ.ඩී. ජයසේකර අභිනන්දන සමරු කලාපයට මහාචාර්ය තිස්ස කාරියවසම් ලියපු කෝසල බිම්බ වණ්ණනා සහ කෝසල බිම්බ වර්ණනාව හෙවත් කොසොල් බුදු පිළිමයේ කතාව ලිපියෙන්

ප.ලි.: මේක පොඩි කාලේ අහපු කතාවක්. 

මුල්ම බුද්ධ රූපේ හැදුවේ කවුද කියලා දන්නවාද ? 

උත්තරේ තමා "සකලං" 

ඇයි වන්දනා ගාථාවේ තියෙන්නේ "බුද්ධ රූපං සකලං සදා" කියලානේ. ඒත් හැබෑවටම බුද්ධ රූපං සකලං සදා කියන්නේ සියලු තැන්වල සාදා තිබෙන බුද්ධ ප්‍රතිමා කියන අර්ථයෙන් :D

Thursday, July 19, 2012

රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා


මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...

කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. 

 බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව

ඒ රජතුමාගේ බිසෝවරුන්ට කාලයක් යනකම්ම පුතෙක් ඉපදුණේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමාට ඉතාමත්ම සතුටට පත්වුණා අග බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තු එකෙන්. මාස 10 ක් ඇවෑමෙන් මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමා අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනඝ කුමාරයා කියලා. 

මේ කුමාරයා උපන්නාම නාවලා කරලා කිරි මවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරි මවගෙන් තව කිරි මවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරි මව්වරුන්ගේ අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජ පුරුෂයෙක් අතට කුමාරයා දෙනවා. 

එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉදන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිමි විතරමයි. කොයියම්ම අවස්ථාවක හරි ගෑණු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. 

කුමාරයාට කිරි පෙව්වා කියන්නේත් කිරි මව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මාට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙමත් නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දී තණ පුඩුව විතරක් කුමාරයාගේ කටට දීලා කිරි පොවනවා. 

මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාමත් ස්ත්‍රීන් සම්බන්ධ කිසිම ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාළිගාවක් ඉදි කරවපු පිය රජතුමා ඒ මාළිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. 

කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ස්ත්‍රීන් සමඟ පංච කාම සම්පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්ගේ පුතා ස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍යය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා


එක දවසක් රජතුමාව බැහැ දකින සිංදු කියන්න දක්ෂ තරුණියක් කුමාරයාගේ ස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමා ඒ තරුණිය කුමාරයා සිටින මාළිගාව ආසන්නයේ ඉදන් විණාව වාදනය කරනවා. 

ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තවත් ආසන්නයට ඇවිත් තරුණිය වීණා වාදනය කරනවා. මේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අණ කරනවා ඒ වීණා වාදනය කරන තැනැත්තාව මාළිගාවට අරගෙන ඇවිත් මාළිගාවේ ඉදන් වීණා වාදනය කරවන්න කියලා. 


ඉතින් මාළිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අවසානයේ ඇය ගැනත් ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදිලා [මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දන්නවානේ] අතිශය සතුටට පත් වෙනවා. 

ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදිහට තමන්ට ලැබුණු සුවය අනික් පිරිමින්ට අත් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවත් අරගෙන වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියෙක්ම කඩුගාන්න පටන් ගත්තා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලා ගෙන ඇවිත් කුමාරයාවයි අර තරුණියවයි නගරයෙන් පිටුවහල් කරනවා 

යන්න එන්න තැනක් නැතිවුනු මේ යුවළ හිමාල වනයට ගිහින් ගංගාවක් අසළ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයට යන බෝසත් කුමාරයා පලවැල ගෙනත් දෙනවා අර තරුණියට. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්නා අනුභව කරනවා. 


දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසයෙක් බෝසත් කුමාරයා පලවැල නෙලන්න කැළේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණියත් තාපසයාට පලවැලෙන් සංග්‍රහ කරලා අවසානයේදී කොහොමින් කොහොම හරි තාපසයා ගැන පිළිබඳ සිතක් පහළ වෙලා දෙන්නා ලෝකාස්වාදරතියේ යෙදෙනවා. 

මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සහ කළත් ඒ වෙද්දී තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණු නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දී මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. 

ඒත් සෘද්ධි බල පිරිහිලා තාපසයාට වුණු දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා 

"ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" යනාදී වශයෙන්. 

මේ කරුණු අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවා ගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. 


මේ ධර්මතාවය සිහි කරපු බෝසත් කුමාරයාත් ධ්‍යාන උපදවා ගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහින් කැමති තැනකට යන්න කියලා තරුණියව අත හැරලා තව දුරටත් භාවනා කරලා පංච අභිඥා ආදිය උපදවා ගෙන මිය පරලොව යනවා. 

ස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ තිබෙන 262 වෙනි ජාත කතාව වන චුල්ලපලෝභන [සංකප්ප] ජාතකයේ තමා මේ කතාව තියෙන්නේ. 

මේ කතාවට අදාළව පින්තූර හොයද්දී කතාව අන්තර්ජාලයේ තියෙන බවත් දැනගන්න ලැබුණා. මෙන්න ඒ කතාව සම්භාව්‍ය සිංහලෙන්

බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා....................

Wednesday, July 4, 2012

මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ


මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.

ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

කවිය කොහොම වුණත් ඔය මත්පැන් බීලා මේ විදිහට කබරයා දාන එක නම් අන්තිම සවුත්තුයි

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මත්පැන් පානය සම්බන්ධව මේ වගේ අදහසක්

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා 

මේ ගාථාවේ තේරුම තමා නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ කියන එක

මේ වගේ පදනමක් මත ඉදන් තමා ගිහියාගේ නිත්‍ය ශීලය වෙන පංචශීලයට "සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" එහෙමත් නැත්නම් මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ ශික්ෂා පදය සමාදන් වෙමි කියලා එකතු වුණේ.

එතකොට මත්පැන් පානයෙන් වැළකීම භික්ෂූන් වහන්සේටත් අදාළ බව වැටහෙනවානේ. ඒත් ඒ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය තහනම් කිරීම සිද්ධ වුණේ වෙනස්ම විදිහකට. ඒක මෙහෙමයි. 

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂා පද පැනවීම කරලා තියෙන්නේ කිසියම් හේතුවක් පාදක කරගෙන. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය අකැප බව උන්වහන්සේ වදාරන්නේ සාගත කියන හාමුදුරුවෝ පාදක කරගත්තු සිද්ධියක් නිසා.

සාගත හාමුදුරුවෝ

සාගත හාමුදුරුවෝ කවුද කියන එක ගැන ටිකක් මුලින්ම කතා කරමු. සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු සාගත කියන බමුණු කුමාරයා තරුණ වියට පත්වුණාම බුදු හාමුදුරුවන් සමීපයේ පැවිදි වෙනවා සාගත කියන නමින්ම. පැවිදි වෙලා ටික කාලෙකින්ම භාවනා කිරීමෙන් අෂ්ට සමාපත්ති උපදවා ගන්න සාගත හාමුදුරුවෝ සමත් වෙනවා.

බුදුන් වහන්සේ තමන් වහන්සේ උදෙසා උපස්ථායකවරයෙක් ස්ථීරව පත්කරගන්නේ වයස අවුරුදු 55 දී. ඒ දක්වා වරින් වර උන්වහන්සේගේ උපස්ථායක විදිහට කටයුතු කරපු භික්ෂූන්ගෙන් එක් අයෙක් වුණෙත් මේ සාගත හාමුදුරුවෝ. පස්සේ තමා ආනන්ද හාමුදුරුවන්ට අග්‍ර උපස්ථායක විදිහට බුදුන් වහන්සේ පත් කරන්නේ.

සාගත හාමුදුරුවන් කරපු දමනය කිරීමක් ගැනත් කියවෙනවා. දඹදිව අම්බතීර්ථය කියන ප්‍රදේශයේ මිනිස්සුන්ට විශාල නාගරාජයෙක්ගෙන් නිරන්තරයෙන්ම කරදර විඳින්න සිද්ධ වුණා. දවසක් බුදුන් වහන්සේ සමඟ මේ ප්‍රදේශයට වැඩම කරපු සාගත හාමුදුරුවන්ට මේ නාගරාජයා ගැන දැනගන්න ලැබිලා නාගරාජයා හිටිය ස්ථානයට සාගත හාමුදුරුවෝ වැඩම කළා.

සාගත හාමුදුරුවෝ දැකපු නාගරාජයා විෂ දුම පිට කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නාගරාජයාගේ විෂ දුමට වඩා ප්‍රබල විෂ දුමක් සාගත හාමුදුරුවෝ නිකුත් කරනවා. ඊළඟට නාගරාජයා කරන්නේ ගිනිජාලා පිටකරන්න ගත්තු එක ඒ අවස්ථාවේ සාගත හාමුදුරුවෝ කරන්නේ තේජෝ ධාතුවට සමවැදිලා ගිනිජාලා නිකුත් කරන්නට පටන් ගත්තු එක. අවසානයේදී නාගරාජයා දමනය වෙනවා වගේම බුදුන් සරණ යනවා. ඒ වගේමයි අම්බතීර්ථයේ ගම්වාසීන් ඊට පස්සේ කරදරයක් නැතුව තමන්ගේ කටයුතු කරගන්නවා

ඉතින් දැන් අද කතාවට ආවොත් දවසක් බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා කොසඹෑ නුවරට වැඩම කරනවා. ඒ වෙද්දී කොසඹෑ නුවරවාසීන්ටත් බලවත් අම්බතීර්ථයේ නාගරාජයා බුදුන් වහන්සේගේ ශ්‍රාවක සාගත හාමුදුරුවෝ දමනය කළා කියන කතා දැනගන්න ලැබිලා තිබුණේ. 

ඒක නිසා බොහෝ දෙනා සාගත හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න පෙළඹුණා. ඒ අවස්ථාවේ මිනිස්සු කියනවා "ස්වාමීනි, ඔබවහන්සේ කැමති දුර්ලභ මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ගෙනවිත් දෙන්නම් කියන්න" කියලා. සාගත හාමුදුරුවෝ ඒ වෙලාවේ නිහඬව හිටියත් එතන හිටිය ඡබ්බග්ගි භික්ෂු කණ්ඩායම කියනවා "දුර්ලභ, මන වඩන පානයක් වුණු කපෝතිකා කියන සුරාව සාගත හිමියන්ට පිළියෙල කරලා දෙන්න" කියලා

කොසඹෑ නුවරවාසීනුත් ඒක පිළි අරගෙන තමන්ගේ ගෙවල්වලට ගිහින් ඉක්මණින් කපෝතිකා කියන සුරාව පිළියෙළ කළා. පස්සේ දවසේ උදෑසන පිඬු සිඟා වැඩිය සාගත හිමියන්ට මේ කපෝතිකා සුරාව ඔවුන් පිළිගන්නනවා. 

බුදුන් වහන්සේත් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් ඒ සුරාව පිළිගත්තු සාගත හාමුදුරුවෝ හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා සුරාව පානය කරලා හොඳටම වෙරිවෙලා කෙලින් හිටගන්නත් බැරිවෙලා නගර දොරටුව ගාව තියෙන කුණු ගොඩකට වැටිලා විකාර දොඩව දොඩව හිටියා.

මේ අවස්ථාවේ එතනින් වැඩම කරපු බුදුන් වහන්සේ මේ කුණු ගොඩේ වැටිලා විකාර දොඩවමින් දගලමින් ඉන්නේ සාගත හාමුදුරුවෝ බව දැකලා සාගත හාමුදුරුවන්ව අනෙක් හාමුදුරුවරු ලවා විහාරයට ගෙන යනවා. විහාරයට අරගෙන ගිය සාගත හාමුදුරුවන්ගේ හිස බුදුන් වහන්සේ ඉන්න පැත්තට වෙන්න දාපු අනෙක් හාමුදුරුවරු සාගත හාමුදුරුවන්ට නිදාගන්න සලස්වනවා. ඒත් ටික වෙලාවකින් වෙරි මතින් දගලන්න ගත්තු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේ හිටිය පැත්තට කකුල් දිගු කරලා නිදාගන්න පටන් ගත්තා

මේ සිද්ධියත් එක්ක බුදුන් වහන්සේත් අනෙක් හාමුදුරුවරුත් අතරේ මේ වගේ සංවාදයක් ඇතිවෙනවා

බුදුන් වහන්සේ : මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?
හාමුදුරුවරු : ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි
බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවන්ට නාගරාජයෙක් නෙමෙයි දිය නයෙක්වත් දමනය කරන්න පුලුවන්ද ?
හාමුදුරුවරු : ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ : මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?
හාමුදුරුවරු : ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ. 

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

පචිති කියන්නේ භික්ෂු විනයේ දක්වන වැරදි වර්ගවලින් එක් වර්ගයක්. පචිති වුණාම ඒ සම්බන්ධව ඇවැත් දේශනා කරලා සංඝයාගෙන් සුදුසු දඬුවමක් ලැබුණාට පස්සේ ඒ වැරැද්දෙන් මිදිලා පිරිසිදු වෙන්න පුලුවන්

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වුණාට පස්සේ තමන් කලින් දවසේ හැසිරුණු හැටි අහලා ලැජ්ජාවට පත්වුණු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා. පස්සේ අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත හාමුදුරුවෝ අවසානයේදී රහත් තත්වයට පත්වෙනවා. 


 අවසානයේදී සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේදී තමන්ගේ සාංසාරික ප්‍රාර්ථනාව පරිදිම තේජෝ ධාතු සමාපත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය බුදුන් වහන්සේගෙන් සාගත මහ රහතන් වහන්සේට හිමිවෙනවා.

තේජෝ ධාතුවට සමවදිනවා කියන එකත් සරලවම පැහැදිලි කරන්නම්කෝ. තේජෝ ධාතුව කියලා කතා කෙරෙන්නේ උණුසුම කියන පදාර්ථය. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමා සිසිලස. තේජෝ ධාතුව භාවනාවේ අරමුණක් විදිහට ගන්න භාවනානුයෝගියාට ඒ අනුසාරයෙන් සිත එකඟ කරගන්න පුලුවන්කම ලැබෙනවා වගේම තමන්ගේ අභිමතය පරිදි තේජෝ ධාතුව පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා.  ඒ යටතේ ගිනිජාලා මැවීම, ගිනිජාලා නිවීම, සිරුරෙන් ගිනි ජාලා නිකුත් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්. ඒ සඳහා තේජෝ ධාතුවට සමවදිනවා කියන්නේ ඒක තමා. 

මේ කතාව තියෙන්නේ මනෝරථපූරණීයේ පාචිත්තිය පාළි කොටසේ භික්ඛු විභංගයේ සුරාපාන වර්ගයේ සුරාපාන ශික්ෂා පදය කොටසේ

මේ ලිපිය ලියන්නත් කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු සාගත හාමුදුරුවෝ කෘතියෙන්. ඔහුටත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතිය සහ සාගල හාමුදුරුවෝ කෘති දෙක මට කියවන්න ලබාදුන් තුෂාන්ත [ජිලෙට්] අයියාටත් පින් සිදුවේවා

ප.ලි.: මීට කලින් ලියපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ ලිපිය අයෙක් මුහුණුපොතේ පළ කර තිබුණා. එහිදී ඔහු එය උපුටා ගැනීමක් කියලා දක්වන්නවත් කාරුණික වෙලා තිබුණේ නැහැ. ඒ ගැන ඔහුට facebook message එකක් හරහා කිව්වාම අන්තිමට ඔහු කළේ මාව block කරපු එක. අවසානයේදී මේ ගැන මම facebook status එකක් විදිහට දාපුවාම ඒකට ප්‍රතිචාර දක්වපු ක්සැන්ඩර් අයියා ඇතුළු සයිබර් මිතුරන්ගේ කටයුතු නිසා ඒක උපුටා ගත්තු කෙනා මේ අඩවියෙන් ඒක උපුටා ගත්තු බව දක්වන්න කටයුතු කළා.  

ඒ ආකාරයෙන් උපුටා ගැනීම් කරන අයගෙන් කරන ඉල්ලීම තමා උපුටා ගැනීමක් කලා නම් ඒ බව සඳහන් කරන්න කාරුණික වෙන්න කියන එක තමා :)

Wednesday, June 20, 2012

සක්කර දෙවියෝ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන හැටි.. පට්ට පට පට :D


ගෑණු සම්බන්ධ නඩු මොන රටේද නැත්තේ. ඉතින් ඒක දිව්‍ය ලෝකෙත් නැති වෙන්න විදිහක් නැති හින්දා අපි කියමු ගෑණු සම්බන්ධ නඩු මොන ලෝකෙද නැත්තේ කියලා :)

ලෝකේ කිව්වාම මතක් වුණේ එහෙම නඩු රූපාවචර බ්‍රහ්ම ලෝකවල නම් නැතුව ඇති. මොකද රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැලුනේ. 

ඉතින් ආයි අද කතාවට ආවොත් ස්ත්‍රීන් සම්බන්ධ නඩු කිව්වාම දන්නවනේ ඉතින් ඒ නඩු ලේසි පහසු නැහැ කියලා. නිකම් ස්ත්‍රීන්ගේ එහෙම නම් දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු කොයි තරම් අමාරු ඇද්ද ?

ඒත් දිව්‍ය ලෝකේ ලොක්කා වෙන සක්කර දෙයියන්ට නම් ඕවා විසඳන එක හරිම simple plan එකක්. 

මෙන්න ඒ විදිහට විසඳපු නඩුවක කතාවක්

දෙවිවරු පහළ වෙනවා කියන්නේ ඕපපාතිකවනේ. එතකොට දිව්‍ය ස්ත්‍රීන් ඕපපාතිකව පහළ වෙද්දී කවුරු හරි දෙවි කෙනෙක්ගේ ඇඳක හරි සීමාවේ හරි පහළ වුණොත් ඒ දිව්‍ය ස්ත්‍රිය ඒ දෙවියන්ගේ බිරිඳ බවට පත් වෙනවා.

ඒත් සමහර වෙලාවල්වලට ඔය සීමාවල කෙළවර එහෙමත් නැත්නම් සීමා කීපයක් එකතු වෙන තැන්වල වගේ දිව්‍ය ස්ත්‍රීන් පහළ වුණාම දෙවිවරුවත් යුද්ධ කරගන්නවාලු දිව්‍ය ස්ත්‍රිය අත්පත් කරගන්න. එහෙම බලද්දී ඉතින් මනුස්ස ලෝකේත් එක්ක වැඩි වෙනසක් නැහැ :))

මේ වගේ යුද්ධ සිද්ධ වෙද්දී අන්තිමට වෙන්නේ දෙවිවරුන්ගේ නායක වුණු සක්කර දෙයියෝ මැදිහත් වෙලා මේවා  විසඳන එක. මේ නඩු විසඳිල්ල සිද්ධ වෙන්නේ "සුධර්මා" කියන දිව්‍ය සභාවේ.


පොත්පත්වල තියෙන විස්තරවලට අනුව මේ දිව්‍ය සභාවේ බිම ඉන්ද්‍රනීල මාණික්‍යවලින්ලු හදලා තියෙන්නේ. ඝන රන් බිත්ති සහ කණු තියෙන 500 යොදුන් උස ශාලාවක්ලු මේ සුධර්මා දිව්‍ය සභාව.

මේ වගේ අලංකාර දිව්‍ය සභාවක් පහළ වුණා කියන්නේ මිනිස් ලෝකේදී අම්බලමක් කරන්න රියනක් දිග ලී කැබැල්ල සුධර්මා කියන කාන්තාව පරිත්‍යාග කරපු පුණ්‍ය කර්මය නිසාලු

ඔන්න එක දවසක් බුදු හාමුදුරුවන්ගේ කාලයේදී කිඹුල්වත් නුවර හිටිය රෝහිණී කියන රාජ කුමාරිකාව මිය ගිහින් තුන් ගවුවක් උස රශ්මි ධාරා විහිදුවන දිව්‍ය ශරීරයක් යොදුන් 12 ක් දිග දිව්‍ය සළුවකින් වසාගෙන දිව්‍ය ලෝකයේ දෙවිවරුන් හතර දෙනෙක්ගේ සීමාවන්ට මැදිවෙලා පහළ වෙනවා.

මේ ආකාරයෙන් දිව්‍ය ශරීරයක් පහළ වෙන්න හේතුව තමා එයා මනුස්ස ලෝකේ හිටිය කාලෙදී විශාල භෝජන ශාලාවක් ඉදි කරලා තමන්ම ශාලාව පිරිසිදු කරලා අනෙක් කටයුතුවලටත් තමන්ම දායක වෙලා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තමන් මියයන තෙක්ම දන් පිළිගන්වපු එක

කොහොම හරි මේ දිව්‍ය ස්ත්‍රිය "මට හිමිය, මට හිමිය" කියලා අර දෙවිවරු හතරදෙනාම පොරේ. අන්තිමට යුද්ධෙකටත් යන්න ලෑස්තිත් වෙලා පස්සේ කෝකටත් කියලා සක්කර දෙවියෝ ගාවට ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලා සිටිනවා.

සක්කර දෙයියෝ

සක්කර දෙවියන්ටත් තුන් කෙළක් විතර දිව්‍ය ස්ත්‍රීන් හිටියත් මේ දිව්‍ය ස්ත්‍රිය දැක්ක ගමන් එයා ගැන අධික ලෝභයක් ඇති කරගෙන මමම මෙයාව හිමි කරගන්නවා කියලා හිතපු සක්කර දෙවියෝ දෙවියෝ සතර දෙනාගෙන් මේ ප්‍රශ්නය ඇහුවා

ඒවා ටික පොතේ තිබුණු විදිහටම දාන්නම්. එච්චර අමාරු සිංහල නෙමෙයි :)

"මෑ දුටු වේලෙහි පටන් තොපට කුමක් සිතේද" කියලා

මෙන්න දෙවිවරු හතර දෙනා දීපු උත්තර හතර

"මෑ දුටු වේලෙහි පටන් ආකාශ ගංගාවක් නොපැකිළ දිවන්නා සේ මාගේ ප්‍රේම නමැති ගංගාව මෑගේ රූප නමැති තියග්ගලෙහි ධාරානිපාත වෙමින් සිටියේමයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝ යි යන ශෝකයනෙ මාගේ ළය පට පටයා ගැසෙන පරිදි සටන් බෙරක් ගසන්නා වැන්නැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑගේ කේශාන්තය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්‍රී බලා මාගේ ඇස් හයා ගතත් නොහෙමි. දෑසි පිය සොලවා ගතත් නොහෙමි. එසේ හෙයින් ඇස් දෙක කකුළුවෙකුගේ ඇස් සේ මෑ කරාම නෙරී ගියේයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝයි යන සෝ දුකින් වැනි වැනී තිබෙන පරිදිත් දාගැබ් කැරැල්ලක් අග බැඳලු පතාකයක් හැම වේළෙහිම සුළං පහරින් පට පටයා ගැසි ගැසී ඔබ මොබ වැනි වැනී සැලෙන්නා වැන්නැ"

ඊට පස්සේ සක්කර දෙවියෝ අහනවා

"පින්වත්නි, මෑ නොලදුව නම් තෙපි සතර දෙනා මිය ද නොමියා ද" කියලා [මෙයා හම්බුණේ නැත්නම් තොපිලා 4 දෙනා මැරෙනවාද මැරෙන්නේ නැද්ද ?. මේ ප්‍රශ්නේ නම් මනුස්ස ලෝකෙත් අහනවා නේද ?? ඒකි හම්බුණේ නැහැ කියලා තෝ මැරෙනවාද කියලා කොල්ලෝ අහන්නේ :))  ]

ඒ ප්‍රශ්නේ දෙවිවරු හතර දෙනාම කියනවා නැහැ නැහැ අපි මැරෙන්නේ නැහැ කියලා.

පස්සේ සක්කර දෙවියෝ කියනවා

"පින්වත්නි, මේ දේවතා දුව දැන් ඉතින් මම නොලදිම් නම් මට මාගේ ශක්‍ර සම්පත්තියෙනුත් කම් නැත, වෛජයන්ත නම් ප්‍රසාදයෙනුත් කම් නැත, පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනුත් කම් නැත, දෙකෙළ පනස් ලක්ෂයක් පමණ ඇති මාගේ දිව්‍යංගනාවන්ගෙනුත් කම් නැත, දැන්ම මියෙන්නෙම් වේදැ" කියලා [කොහොමද සක්කර දෙයියන්ගේ තියෙන තණ්හාසේ]

මේ උඩින් ඉන්න හැන්ඩි කොල්ලා සක්කර දෙයියෝ

පස්සේ දෙවිවරු හතර දෙනාම මුහුණට මුහුණ බලාගෙන හිනාවෙලා සිරා කතාවක් කියනවා

"අපිත් තොපගේමය, මේ දෙවු ලොවත් තොපගේමය, එහි උපන් කෙනෙකුන් තොපගේමය, එක් දෙවු දුවක නිසා තොප වැනි දිව්‍යරාජයෙකු මළෝතින් අපටම අලාභය, සියලු දෙවියන්ගේ කාර්යාකාර්යයෙහි අප්‍රමාද වූ තොප වැනි දිව්‍යරාජයෙක් ලැබගත නොහැක්කේමය. ස්වාමීනි නොමියව, තොපට හිමි සැපත තෙපිම ගනුව, අප සතරදෙනාගෙන්ම තොපට සරණ දෙම්හ" කියලා ඒ දිව්‍යාංගනාව සක්කර දෙවියන්ටම සරණ පාවා දෙනවා. 

පස්සේ සක්කර දෙවියොයි, දිව්‍යාංගනාවයි, අර දෙවිවරු හතර දෙනයි සන්තෝසෙන් ජීවත් වුණාලු.........

ඊට පස්සේ තමා සක්කර දෙයියෝ මේ සිංදුව කියන්නේ :P


ඔන්න ඔහොමයිලු සක්කර දෙයියෝ දිව්‍ය ලොකේ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන්නේ :)

ප.ලි.: මේ කතාව උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයෙන්. ග්‍රන්ථය සංස්කරණය කරලා තියෙන්නේ පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්