Showing posts with label ජෝන් ඩොයිලි. Show all posts
Showing posts with label ජෝන් ඩොයිලි. Show all posts

Sunday, July 15, 2012

සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්.ගේ මී මුත්තා - ඉතිහාසයේ අප්‍රකට කතා 11

 තම සහයකයින් සමඟ සිටින තම්බි මුදලි

පහුගිය දවස්වල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව කියපු කතා කීපයකම තම්බි මුදලි කියන නම එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන කියන නම සඳහන් වුණා ඔයාලට මතක ඇති. ඒ වගේමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසීන්ට පාවා දුන් අයට සාපයක්වැදුනාද කියන කතාවෙන් මම ඇහුවා රජතුමාට කරුණාව දක්වපු තම්බි මුදලිගේ පරම්පරාවට මොකද වුණේ කියලත්. 

ඉතින් අද ඉතිහාසයේ අප්‍රකට කතාවලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ තම්බි මුදලි එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිවරයා ගැන.

 දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරය [වර්ණ ගන්වා ඇති කොටස]

ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන කාලේ දකුණු ඉන්දියාවේ මලබාරයට ආසන්නයේ තිබුණු කොරමැන්ඩල් ප්‍රදේශයේ හිටිය හෙට්ටි නමින් හඳුන්වපු වෙළෙදාම් කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගත්තු පිරිසක්. තමන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා කොළඹට ඇවිත් පදිංචි වෙලා හිටිය හෙට්ටිවරුත් හිටියා.

 කොළඹ හෙට්ටි ජනයා

පරම්පරා කීපයකට පස්සේ මේ හෙට්ටි පවුලක කෙනෙක් ඒ කාලයේ වැදගත් පවුලක් විදිහට පිළිගැනුණු හංවැල්ල වෙල්ගම ප්‍රදේශයේ හිටිය ජයවර්ධන පවුලෙන් දියණියක් සරණ පාවාගෙන තමන්ගේ මුල් නම අත් හැරලා ජයවර්ධන කියන සිංහල නම අරගෙන සිංහල ක්‍රමයට හැඩගැහුණා. 

එයාගේ පුතා තමයි දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන එහෙමත් නැත්නම් තම්බි මුදලි කියලා හඳුන්වන්නේ. 1768 දී හංවැල්ල වෙල්ගම ගමේදී තමා ඔහු උපත ලබන්නේ.

 ඕලන්ද සමයේ කොළඹ කොටුව සහ වරාය

මුලින්ම කොළඹ තිබුණු ලන්දේසි කොටුවේ සේවකයෙක් විදිහට කටයුතු කරපු අදිරියන් ජයවර්ධනව කොළඹ කොටුවේ අණ දෙන්නා වුණු ඩිරිබර්ග්ගේ අණින් ඕලන්ද ලැස්කරින් රෙජිමේන්තුවේ ආරච්චි නිලයකට පත් කෙරෙනවා. ඒ සේවයට වැටුප් විදිහට නාරාහේන්පිට ගමෙන් ඉඩම් ඔහුට ලැබෙනවා.  

අදිරියන් ජයවර්ධන ට "තම්බි මුදලි" කියන නාමය හිමිවෙන්නේත් මේ කාලය තුළ. ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා.




 ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek

1790 දශකය වෙද්දී ලංකාවට ලන්දේසි පාලනයට ඉංග්‍රීසීන්ගෙන් තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ යටතේ මේජර් ජෙනරාල් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් ලංකාවට ගොඩ බැස්ස ඉංග්‍රීසී බල ඇණිය කොළඹ බලා එද්දී ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek ගේ අණින් ඒ භට පිරිසගේ ඔත්තු බලන්න තම්බි මුදලිව යොදා ගන්නවා. 

ඉංග්‍රීසී හමුදා කැළණි ගඟේ උතුරේ තිබුණු මහබොල කියන ගමට එනකම්ම තමන්ට පැවරුණු රාජකාරිය සාර්ථකව ඉටු කරන්න තම්බි මුදලිට පුලුවන් වුණත් පස්සේ මෙයා ඔත්තුකාරයෙක් විදිහට ඉංග්‍රීසී සොල්දාදුවන් හඳුනා ගැනීමත් එක්ක සිරභාරයට පත් වෙනවා. 

ඒ අවස්ථාවේ තම්බි මුදලි ඉංග්‍රීසීන්ට පොරොන්දු වෙනවා 

"මාගේ ජීවිතය බේරුවොත් ලන්දේසීන් ඉංග්‍රීසීන්ට යටත් වූ කලෙක මම ඉංග්‍රීසීන්ට පක්ෂව ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරනවා" 

අන්තිමට යුධ බලයෙන් වගේම ගිවිසුමක් මාර්ගයෙන් 1796 පෙබරවාරි 16 වැනිදා ඉදන් ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ලංකාවේ මුහුදු බඩ පළාත්වල පාලන බලය ඉංග්‍රීසීන් තමන් සතු කරගන්නවා. ඒකත් එක්කම තම්බි මුදලිවත් සිරභාරයෙන් නිදහස් කරනවා. 

ඉංග්‍රීසී පාලනය ලංකාවේ ආරම්භ වීමත් එක්ක උඩරට රදළයන්ගේ පෙළඹවීමෙන් මුහුදු බඩ ප්‍රදේශවල හිටිය ස්වදේශික මුලාදෑනීන් කැරලි ගහන්න සූදානම් වුණත් මේ කුමන්ත්‍රණය ගැන දැනගන්න තම්බි මුදලි ඒ බව තමන්ගේ නව ස්වාමිවරු වුණු ඉංග්‍රීසීන්ට කියලා තමන්ගේ පක්ෂපාතීත්වය තහවුරු කරනවා වගේම හේවාගම්, සල්පිටි, රයිගම් කෝරළවල ඇතිවෙන කැරලි කෝලාහල මර්දනය කරන්නත් තමන්ගේ සහයෝගය ලබාදෙනවා.

මේ ගැන සතුටු වුණු හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ස්ටුවර්ට් තම්බි මුදලිව බ්‍රිතාන්‍ය හමුදාවේ ආරච්චි කෙනෙක් විදිහටත් මාර්ගෝපදේශකයෙක් විදිහටත් පත් කරලා මාසිකව දීමනාවක් ලැබෙන්නත් සලස්වනවා.

 මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ උඩරට දූත ගමන

මේ යටතේ ඔහු කළ පළමු මාර්ගෝපදේශන කාර්යය වෙන්නේ 1800 මාර්තු මාසයේ මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල්ගේ උඩරට දූත ගමනට මාර්ගෝපදේශකයෙක් විදිහට සම්බන්ධ වුණු එක. මේ සේවය අගය කරමින් මොහුව අත්පත්තු මුහන්දිරම්වරයෙක් ලෙස උසස් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා

1803 සිදුකෙරුණු ඉංග්‍රීසීන්ගේ පළමු උඩරට ආක්‍රමණයට මග පෙන්වීම කරන්නේ තම්බි මුදලි. මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ නායකත්වයෙන් මහනුවර ඉංග්‍රීසීන් අත්පත් කරගත්තත් මේ අවස්ථාව වෙද්දී රජතුමා ඇතුලු ප්‍රභූවරු රට මැද්දට පලා ගිහින් හිටියේ.

මේ අවස්ථාවේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් මීගස්තැන්නේ හරහා ඉංග්‍රීසීන්ට සාමදාන යෝජනාවක් එවනවා. මේ සාමදාන යෝජනාව කුමන්ත්‍රණයක් බව තම්බි මුදලි කීවත් මැක්ඩොවල් ඒක පිළිගන්නේ නැහැ. මේ නිසා මේජර් ඩේවි යටතේ හමුදා ඛණ්ඩයක් මහනුවර නවත්වලා මැක්ඩොවල් ඇතුලු පිරිස කොළඹ බලා ආපසු එනවා. 

 
පිළිමතලාවේ අදිකාරම්

අන්තිමට සිද්ධ වෙන්නේ පිළිමතලාවේ මහාදිකාරම්ගේ අණින් මහනුවර නවතා තැබූ ඉංග්‍රීසී සොල්දාදුවන් සමූල ඝාතනය වුණු එක. මේජර් ඩේවි පණ බේරාගන්නේ ඒ අවස්ථාවේ රජු මේ ගැන දැනගෙන මැදිහත් වුණු නිසා. 

ඒ වගේමයි දඹදෙණියේදී පිළිමතලාවේ මහාදිකාරම් උපායෙන් ඉංග්‍රීසී ආණ්ඩුකාරවරයාව තමන්ගේ සිරකරුවෙක් කරගන්න ගිය සැලැස්ම ව්‍යර්ථ කරන්න වගේම සොල්දාදුවන් 31,000 ක සේනාවක් එක්ක උඩරට රජතුමා කොළඹ අල්ලන්න එන පුවත ආණ්ඩුකාරවරයාට ලබාදෙන්නේත් තම්බි මුදලිමයි.

මේ සිද්ධියත් එක්ක මුහුදු බඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇතිවුණු කැරලි මැඩපවත්වන්න වගේම හංවැල්ල බල කොටුව අල්ලා ගන්නත් තම්බි මුදලිගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා.

ඔහුගේ සේවය අගය කරලා ප්‍රදානය කරපු ප්‍රදානයන් ගැන 1805 අප්‍රේල් 23 නිකුත් කරලා තිබෙන ලිපියකින් මෙහෙම කියවෙනවා.

"....මාර්ගෝපදේශකයන්ගේ මුදලි තැන්පත් දොන් අද්‍රියන් නොයෙක් අවස්ථාවන්හිදී කළ ප්‍රශංසනීය උනන්දු සහගත සේවය පිළිබඳ ගරු උතුමාණන් වහන්සේගේ අනුකූලතාව දැක්වීමක් වශයෙන් ඔබ දිස්ත්‍රික්කයේ පිහිටි කලින් මාදම්පේ මුදලි තැනට හිමිව පැවති ඉඩකඩම් ඔහුට ප්‍රදානය කිරීම එතුමාණන්ගේ කැමැත්තයි....."

සර් තෝමස් මේට්ලන්ඩ්

පස්සේ 1808 දී සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම්බි මුදලිව හලාවත ප්‍රදේශය භාර මුදලිවරයා විදිහටත් පත් කරනවා.

1814 උඩරට ආක්‍රමණය දියත් වෙනකම්ම තම්බි මුදලි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලිගේ මෙහෙයවීමෙන් කන්ද උඩරට ප්‍රදේශවල චරපුරුෂ සේවයේ යෙදිලා සාර්ථක ඉංග්‍රීසී ආක්‍රමණයකට අවශ්‍ය වෙන තොරතුරු එක්රැස් කිරීමේ නියැලුණා.

1814 දියත් කෙරුණු උඩරට ආක්‍රමණයට තම්බි මුදලි සම්බන්ධ වුණා වගේම මඟ පෙන්වීමෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ නිසාමයි 1815 ජනවාරි 15 වෙනිදා ජයවර්ධන මුදලිව මාර්ගෝපදේශකයන්ගේ නායක මුදලි තනතුරට පත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. සාර්ථක ආක්‍රමණයකින් පස්සේ 1815 පෙබරවාරි 14 වෙනිදා සෙංකඩගල අගනුවර ඉංග්‍රීසීන් යටතට පත් වෙනවා.

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් මොහොත

අවසානයේදී රජතුමා සොයාගෙන මැද මහනුවරට පිටත් වුණු කණ්ඩායමේ ඔහුත් හිටියා. පස්සේ රජතුමා අල්ලා ගත් වෙලාවේ රාජ්‍ය සළකුණ විදිහට සැලකුණු රන් කඩුව එතැනින් සොයාගෙන ඒක ඩොයිලිට භාර දෙන්නේත් තම්බි මුදලි. (සෙංකඩගල මහ වාසළේ රන් කඩුවේ නාමයෙන් කියලා තමා රජ කාලේ රාජ අණ පනත් ප්‍රකාශ කළා කියන්නේ. ඒ නිසා රන් කඩුව හිමිවීම ඉංග්‍රීසීන්ගේ ලත් ජයග්‍රහණයක්)

රජතුමා ඇතුලූ කණ්ඩායම කොළඹට අරන් ගිය කණ්ඩායමට තම්බි මුදලි වරින් වර සම්බන්ධ වෙනවා. එහෙම වෙන්නේ ඒ වෙද්දී ඩොයිලිගේ අණින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව සෙවීමේ කාර්යයට තම්බි මුදලි සම්බන්ධ වෙලා හිටිය නිසා.

රජතුමාගේ වගේම බිසෝවරුන්ගේත් වස්ත්‍රාභරණ ඔවුන් අල්ලා ගත්තු වෙලාවේ ඉරලා දමපු නිසා ඔවුන්ට සුදුසු වස්ත්‍රාභරණ සැපයීම ඩොයිලිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මේ අවස්ථාවේදී තම්බි මුදලි තමන් සොයා ගන්න රාජකීය වස්තුවෙන් බිසෝවරුන්ට සුදුසු වස්ත්‍ර කීපයක් සැපයීම කරනවා. පසුව තෙල්දෙණියේදී රජුට අයත් වුණු පෙට්ටගමක් තම්බි මුදලි ඩොයිලිට ගෙනවිත් දෙනවා. එහි තිබුණු වස්ත්‍රත් රාජකීය පිරිසට අදින්න දෙනවා.

ඒ හැරෙන්න උඩරට ඉංග්‍රීසී පාලනයට විරුද්ධ වෙන්න පුලූවන් රදළයන් 18 ක් පිළිබඳව තොරතුරු ඉංග්‍රීසීන්ට ලබාදෙන්න මොහු කටයුතු කරනවා. ආණ්ඩුකාරයා මේ පිළිබඳව එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් අන්තිමට ඔවුන් කැරලි ගසන්න එකතු වුණු නිසා ආණ්ඩුකාරවරයා තම්බි මුදලිගේ සේවය අගය කරලා මරණය දක්වාම මසකට රුපියල් 250 ක දීමනාවක් ලබාදෙන්නත් නියම කරනවා.

මේ විදිහට තමන්ගේ පක්ෂපාතී සේවය නිසා හොඳ නම දිනාගෙන හිටපු තම්බි මුදලිගේ නමට කිසියම් අපකීර්තියක් එක් වෙන්නේ 1816 සිදුවුණු ඉහගම කුමන්ත්‍රණයට ඔහුත් සම්බන්ධයි කියලා චෝදනා එල්ලවීම නිසා

ඉහගම කුමන්ත්‍රණය කියලා සිද්ධ වුණේ මල්වතු විහාරයේ ඉගෙනුම ලබපු ඉහගම උන්නාන්සේ කියන හාමුදුරුවෝ තවත් හාමුදුරුවරු කණ්ඩායමක් සහ උඩරට රදළයන් කීප දෙනෙක් එකතු කරගෙන උඩරටින් ඉංග්‍රීසීන් පන්නලා සියම් රටින් රාජ කුමාරයෙක් ගෙනල්ලා සිංහාසනයට පත් කරන්න සැලසුම් කරපු එක. ඒත් මේ ගැන එක්නැලිගොඩ නිලමේ දැනගත්තු නිසා මේ පිරිස 1816 ජූලි 31 ඉංග්‍රීසීන් අත් අඩංගුවට ගන්නවා. 

මේ කුමන්ත්‍රණයට පිළමතලාවේ මහාදිකාරම්ගේ උපදෙස් පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මරන්න සූදානම් වුණු ආසන කියන ජා මුහන්දිරම්වරයාත් එකතු වූ බවයි කියවෙන්නේ. මේ ආසන කියන්නේ කලින් කතාවකත් කිව්ව වගේජෝන් ඩොයිලිගේ ඔත්තුකාරයෙක්. උඩරටින් පලා ඇවිල්ලා මීගමුවේ ඔහු ජීවත් වුණා. ඔහු නිසාම මේ ඉහගම කුමන්ත්‍රණයට තම්බි මුදලිත් එකතු වුණු බවයි කියවෙන්නේ.

මේ සම්බන්ධව සිදුවුණු නඩු විභාගයේදී ආසන ජා මුහන්දිරම් තම්බි මුදලි කුමන්ත්‍රණයට එකතු වූ ආකාරය කියන්නේ මෙහෙමයි

රජුත් වස්තුවත් අල්ලා ගත් තැනැත්තා මමයි. එහෙත් ඒ සේවය සඳහා මා ලත් කිසිවක් නැත. ඉංග්‍රීසී රජය කලක් මට බෙහෙවින් ගරු කළ නමුත් දැන් එසේ නොකරයි. එම නිසා මට මෙයින් කිසි පාඩුවක් නොවේ. ඔබ සූදානම් වූ විට මම ඔබේ පක්ෂය ගන්නෙමි.

කොහොම නමුත් අන්තිමට හෙළිවෙන්නේ පොද්දල්ගොඩ ප්‍රදේශයේ සඟවවලා තිබුණු රාජකීය වස්තුව තම්බි මුදලි සොයාගත්තු අවස්ථාවේ ඉන් සමහරක් ඔහු පුද්ගලික පරිහරණයට ගත්තා කියලා. විශේෂයෙන් වටිනා බුමුතුරුණු කීපයක්ම තම්බි මුදලිගේ මාදම්පේ ගෙදර තිබිලා හමුවෙනවා. ඒ කොහොම වුණත් ජයවර්ධන මුදලිට සමාවක් ලැබුණු බවයි පෙනෙන්නේ. 

 මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

ජයවර්ධන මුදලි ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ නිසා ක්‍රිස්තියානි දහමටත් උපකාර කරලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ට අයිති වෙලා තිබුණු මාදම්පේ ප්‍රදේශයේ ඉඩමක් මාදම්පේ කතෝලික මීසමට ප්‍රදානය කරලා තියෙනවා. ඒ ස්ථානයේ ඉදි කරපු පල්ලිය 1883 පෙබරවාරි 4 වෙනිදා ශාන්ත සෙබස්තියන් මුනිවරයාට කැප කරලා විවෘත කරලා තියෙනවා.  

කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථානය

ලන්දේසි කාලයේ ඉදන්ම ජයවර්ධන මුදලි ජීවත් වුණු නිසා ඔහු රෙපරමාදු ආගම වැළැඳගෙන හිටිය බව තමා පේන්නේ. ඒක තහවුරු වෙන්නේ ඔහු මියගියාට පස්සේ දේහය වළලන්න කොළඹ වුල්ෆැන්ඩෝල්වල තිබුණු ඕලන්ද රෙපරමාදු පල්ලියේ සුසාන භූමිය යොදාගත්තු නිසා.

අවසන් කාලය සාමකාමීව ගත කරපු ජයවර්ධන මුදලි 1824 ඉදන් රෝගී තත්වයෙන් තමා පසුවෙන්නේ. ඒ වෙද්දී ඔහුට මාසිකව රික්ස් ඩොලර් 200 ක දීමනාවක් ඉංග්‍රීසී ආණ්ඩුවෙන් ලැබෙමින් තිබුණේ. 

අන්තිමට ඔහු මියයන්නේ 1830 පෙබරවාරි 18 වෙනිදා. එදාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන හරියටම වර්ෂ 15 කුත් සම්පූර්ණ වුණා. මියයද්දී ජයවර්ධන මුදලිට  වයස අවුරුදු 62 ක් පමණ වුණා. ජයවර්ධන මුදලිගේ දේහය එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ අණින් හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථාන භූමියේ වළදමනවා. ඔහුගේ බිරිඳ වුණු දෝන දිනේසියාට ඉංග්‍රීසි රජයෙන් පවුම් 18 සිලිම් 15 ක දීමනාවකුත් හිමිවෙනවා.

1830 මැයි 15 පළ කරපු රජයේ ගැසට් පත්‍රයෙනුත් ජයවර්ධන මුදලිගේ සේවය අගය කරන්න බ්‍රිතාන්‍ය රජය අවසාන වශයෙන් කටයුතු කළා
 ජයවර්ධන පවුලේ ලාංඡනය

ඊට පසුවත් ඒ පරම්පරාවේ අය රජයේ ඉහළ නිළතල දැරුවා වගේම නීතීඥ, හමුදා සේවය වගේ රටේ පිළිගත් වෘත්තීන්වල නියැලිලා තිබෙනවා. ජයවර්ධන මුදලිගේ පරපුරේ උච්චතම ස්ථානය සටහන් කරන්නේ ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්.ජයවර්ධන. 


 ඒ ශ්‍රී ලංකාවේ 10 වෙනි අගමැතිවරයා විදිහටත් පසුව ශ්‍රී ලංකාවේ දෙවෙනි ජනාධිපතිවරයා වගේම පළමුවෙනි විධායක ජනාධිපතිවරයා විදිහටත් පත්වීමෙන්. 

කතාව ලියන්න විස්තර හොයාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල - කාණ්ඩය 3 ග්‍රන්ථයෙනුත්, විශ්‍රාමික විදුහල්පති කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා දිවයින පුවත්පතට ලියපු "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළායයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව" ලිපියෙනුත්, කේ.එම්. ද සිල්වා සහ විලියම් හෝවාර්ඩ් ලියපු J.R. Jayewardene of Sri Lanka: 1906-1956 කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්. 

ප.ලි.: ඊළඟට ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්න බලාපොරොත්තු වෙන්නේ නායක්කර් පෙළපත උඩරට රාජධානියේ සිහසුන හිමිකරගත්තු හැටි. ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා නම් මේ ගමන්ම අහන්න පුලුවන්. ඒවාටත් සවිස්තර පිළිතුරු ඊළඟ සටහනෙන් සපයන්න ඒක පහසුවක් වේවි

මේ දක්වා ලියපු ඉතිහාසයේ අප්‍රකට කතා මෙන්න

II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ 

ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි

I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල්

හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක්

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා 

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය

I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක්

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???

රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව

ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?

ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා

Sunday, July 8, 2012

ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා - ඉතිහාසයේ අප්‍රකට කතා 10

සර් ජෝන් ඩොයිලි

මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත්, ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවි.

ඔබ 1815 ඉංග්‍රීසින් උඩරට දිනාගැනීම සම්බන්ධ කතා පුවත් කියවනවා නම් ඔබට අනිවාර්යයෙන්ම හමුවෙන නමක් තමා සර් ජෝන් ඩොයිලි කියන නාමය. කවුද මේ ජෝන් ඩොයිලි කියන එක සොයලා බැලුවොත් 1815 ඉදන් උඩරට ඉංග්‍රීසින්ගේ නේවාසික නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා කියන එකත් දැනගන්න ලැබේවි. 

ඒත් ජෝන් ඩොයිලි කියන්නේ ඊටත් වඩා වැදගත් පුද්ගලයෙක්. සරලවම කිව්වොත් 1815 ඉංග්‍රීසින්ගේ උඩරට ජයග්‍රහණයේ මහ මොළකරු වුනේ ජෝන් ඩොයිලි. අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කෙරෙන්නේ මේ මහා මොළකරු වුණු ජෝන් ඩොයිලි සම්බන්ධව.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

1774 ජූනි 11 එංගලන්තයේ සසෙක්ස්වලදී උපත ලබපු ජෝන් ඩොයිලි දේවගැතිවරයෙක් වුණු මැතියස් ඩොයිලිගේ දෙවෙනි පුත්‍රයා වුණා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරපු ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ පළමු උපාධිය 1796 දී හිමිකරගන්නවා. 

 ලිවර්පූල් සාමිවරයා

ඒ වෙද්දී ඉංග්‍රීසින් යටතේ පාලනය වුණු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන කටයුතු සඳහා ඩොයිලි 1801 දී ලංකාවට එනවා. ඒ වනවිට යටත් විජිත බාර ලේකම් වුණු ලිවර්පූල් සාමිවරයාගේ [පසුව බ්‍රිතාන්‍යයේ අගමැති] නියෝගයක් අනුව ඩොයිලි ලංකාවට පැමිණි බවයි කියවෙන්නේ. 

ෆ්‍රෙඩ්රික් නෝර්ත්

මේ වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ ෆ්‍රෙඩ්රික් නෝර්ත්. ඉංග්‍රීසි සිවිල් සේවකයන්ට සිංහල භාෂාව හොඳින් ඉගැන්විය යුතුයි කියන නෝර්ත්ගේ සංකල්පය නිසා මුල්ම අවස්ථාවේ ඩොයිලිට සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙනවා. ටික දවසක් කොළඹ නගරයේ සිවිල් පාලනය ගැන පුහුණුවක් ලබන ඩොයිලි හා හාපුරා කියලා වැඩ භාරගන්නේ මාතර ප්‍රදේශයේ මුදල් අයකැමියා [Collector] විදිහට. 

ඩොයිලි මාතර හිටිය කාලේ කරතොට ධම්මාරාම කියන උගත් භික්ෂූන් වහන්සේගෙන් යටතේ වැඩිදුරටත් සිංහල භාෂාව, පාලි භාෂාව, සිංහල සංස්කෘතිය ආදී ලාංකික දැනුම් පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ බවයි කියවෙන්නේ

  ගජමන් නෝනා

ඩොයිලි ඒ කාලේ මාතර ප්‍රදේශයේ හිටිය ගජමන් නෝනා සහ ඇලපාත මුදලි වැනි කවියන් එක්ක සමීප ඇසුරක් පැවැත්වුවා වගේම කවි සංවාද පවත්වන්න තරම් හපන්කමක් තිබුණා කියලා තමා කියන්නේ. ගජමන් නෝනාට ඩොයිලිට ලියූ කවි එහෙමත් තියෙනවාලු. ගජමන් නෝනා ගැන පැහැදුණු ඩොයිලි ගජමන් නෝනාට "නෝනාගම" නින්දගමක් විදිහට දුන්නු බවත් කියවෙනවා

ඊට පස්සේ ගාල්ලේ මුදල් අයකැමියා විදිහටත් ඩොයිලි කටයුතු කරනවා. ඒ දවස්වල මේ තනතුරුවලට අධිකරණ බලයක් පවා තිබුණු නිසා මේ තනතුරු වැදගත් තනතුරු කියලා හිතාගන්න පුලුවන්.

තෝමස් මේට්ලන්ඩ්

1805 ලංකාවට පත්වෙලා එන අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් ඩොයිලිව ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට පත් කරනවා. ඒ තනතුරටම තමා කොළඹ දිසාපති ධූරයේ කටයුතුත් ඇතුළත් වුණේ. 

මීට කලින් හිටිය නෝර්ත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය රජයේ උපදෙස වුණේ හැකිතාක් උඩරට සමඟ සුහදව කටයුතු කරන්න ඕනේ වගේම සමඟි ගිවිසුම්වලින් උඩරටත් එක්ක බැදෙන්න ඕනේ කියන එක. ඒත් මේට්ලන්ඩ් නෝර්ත්ට වඩා ඉදිරියට හිතලා යුධ බලයෙන් නැතුව උපායශීලීව උඩරට දිනාගන්න සැලසුම් කරනවා. 

උපක්‍රමශීලී කටයුතුවලට ඒ වෙද්දී ඉංග්‍රීසීන් යටතේ සේවය කරපු මුදලිවරුන්ගේ සහය ගන්න එක ගැන දෙපාරක් හිතන්න මේට්ලන්ඩ්ට සිද්ධ වුණා. මෙයාලා දෙපිට්කාට්ටුවන් කියලා හිතපු මේට්ලන්ඩ් මේ කටයුත්තට සුදුසුම පුද්ගලයා ඩොයිලි කියලා තීරණය කළා. සිංහල භාෂාව, චාරිත්‍ර වාරිත්‍ර වගේම සිංහල මිනිස්සු අතර හොඳ පිළිගැනීමකුත් ඒ වෙද්දී ඩොයිලිට හිමිවෙලා තිබීම ඒකට හේතුවක් වුණා

ඩොයිලි මුලින්ම ලිපි ගනුදෙනු ආරම්භ කරන්නේ ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් විදිහට කටයුතු කරපු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ. මේ ලිපියෙන් ඩොයිලි කියන්නේ මුහුදු බඩ ඉංග්‍රීසි පළාත්වල නව ආණ්ඩුකාරවරයා විදිහට තෝමස් මේට්ලන්ඩ් වැඩ භාරගත් නිසා සුදුසු අවස්ථාවක ඒ බව මහ වාසලට දැනුම් දෙන්න කියලා. මේ විදිහට ක්‍රමයෙන් උඩරට එක්ක හිතවත්කමක් ඇති කරගන්න ඩොයිලි පාර කපා ගන්නවා.

මේ කාලේ ඩොයිලිට පැවරුණු තවත් කාර්යයක් වුණේ 1802 උඩරට ආක්‍රමණයේදී සිරකරුවෙක් වෙලා උඩරට හිටිය මේජර් ඩේවිව ආපසු ගෙන්වා ගන්න එක. ඒ යටතේ කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවන්ට ලොකු කැඩපතකුත් පුස්වැල්ලේ නිළමේට තෑගි බෝගත් යවපු ඩොයිලි ඒ දෙදෙනා මාර්ගයෙන් මේජර් ඩේවිට ලිපි යවන්න සමත් වෙනවා. 1811 දී කොස්කඳවල උන්නාසේට පගෝදි 100 ක් දීලා මේජර් ඩේවිව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකට ගේන්නේ ඩොයිලි උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.

රොබට් බ්‍රවුන්රිග්

මේ විදිහට සුළුවෙන් ආරම්භ කරපු ඩොයිලිගේ වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙන්න පටන් ගත්තේ 1811 නව ආණ්ඩුකරු විදිහට රොබට් බ්‍රවුන්රිග් පත්වීමත් එක්ක. මේ යටතේ උඩරට තමන්ට හිතැති පිරිසක් නිර්මාණය කරගන්න වගේම චරපුරුෂ සේවයක් සාර්ථකව උඩරට නිර්මාණය කරන්න ඩොයිලි සමත් වෙනවා. 

මේ චරපුරුෂ සේවයේ මූලිකයා වුණේ තම්බි මුදලි කියලා හඳුන්වපු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි. ඒ හැරෙන්න 1812 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්නට පිළිමතලාවේ අදිකාරම්ගේ උපදෙස් පරිදි ආපු ආසන නම් මැලේ මුහන්දිරම්වරයාත් ඩොයිලිගේ චරපුරුෂයෙක් බවයි කියවෙන්නේ. 

මේ මැලේ මුහන්දිරම් හරහා උඩරට මරක්කලයන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසින්ට දිනාගන්න ඩොයිලි කටයුතු කළා. ඒ වගේමයි මැලේ මුහන්දිරම් රජතුමා වගේම රජතුමාගේ නායක්කර් ඥාතීනුත් ළඟින්ම ඇසුරු කරපු නිසා ඔවුන් පිළිබඳවත් වැදගත් තොරතුරු ලබාගන්න ඩොයිලිට හැකිවුනා.

කොහොම නමුත් රජතුමා ඝාතන උත්සහය අසාර්ථක වීමත් එක්කම රාජ උදහසින් පැනලා යන්න මැලේ මුහන්දිරම් සමත් වෙනවා.ඊට පස්සේ ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණයට වැදගත් තොරතුරු රැසක් ලබාදීපු ආසන මැලේ මුහන්දිරම් මීගමුවේ වාසය කළ බවයි කියවෙන්නේ.

ඒ හැරෙන්න වත්තල අප්පුහාමි, ගොඩමුන්නේ උන්නාන්සේ කියන චරපුරුෂයොත් ඩොයිලි යටතේ උඩරට ඉදලා තියෙනවා.

උඩරට ඩොයිලි ඇතිකරගත්තු හිතවතුන් අතරේ කලින් කිව්ව මල්වතු මහා විහාරයේ මහානායක මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ වගේම ඊට පස්සේ මහානායක වුණු කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවෝ අස්ගිරි පාර්ශවයේ මහානායක පොතුහැර රතනපාල හාමුදුරුවෝ වගේම පිළිමතලාවේ මහාදිකාරම්, ඇහැලේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ මහාදිකාරම්, කපුවත්තේ මහාදිකාරම්, දුනුවිල දිසාව, මීගස්තැන්නේ නිළමේ, පුස්වැල්ලේ නිළමේ වගේ උඩරට රාජ්‍යයේ ප්‍රබලයෝ රැසක්ම හිටියා.

විවිධාකාරයේ තෑගි බෝග ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ සිත් දිනාගන්න ඩොයිලි සමත් වුණා වගේම උඩරට රදළයන් අතරේ තිබුණු පුද්ගලික එදිරිවාදිකම් හොයා ගන්න සමත් වුණු ඩොයිලි ඒවා තව තවත් වර්ධනය කරන්නත් මේ හරහාම කටයුතු කළා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

ඉතාමත් විනීත විදිහට කටයුතු කරපු ඩොයිලි කෙතරම් දක්ෂ වුණාද කියනවා නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මත්පැන්වලට ඇබ්බැහි කරවීමේ කාර්යයට මොල්ලිගොඩ මහ නිළමේ සමඟ සම්බන්ධ වෙන්නේ ඩොයිලි. රජතුමා කොතරම් බේබද්දෙක් වුණාද කියනවා නම්  1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා.

අවසාන වශයෙන් උඩරට කඩාවැටීමට මග පාදපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැලේපොළ මහාදිකාරම් අතර ගැටුම ඇතිකරවන්නේ මොල්ලිගොඩ මහාදිකාරම්. ඒකට හේතුව වුණු මොල්ලිගොඩ සහ ඇහැලේපොළ ගැටුම සූක්ෂමව නිර්මාණය කරන්නේත් ඩොයිලි. පස්සේ රජතුමා පලවා හැරීම අපේක්ෂාව කරගෙන ඉංග්‍රීසින් ගාවට ආපු ඇහැලේපොළ මාර්ගයෙන් උඩරට යුධ ශක්තිය, යුධ රහස්, රජතුමා ආරක්ෂාවට පලායන ස්ථාන, රජතුමාගේ වස්තුව සඟවන ස්ථාන වගේ සෑම දෙයක් ගැනම තොරතුරු ලබාගන්න ඩොයිලි සමත් වෙනවා.  

ඇහැලේපොළ, මොල්ලිගොඩ සහ කපුවත්තේ මහ නිළමේවරුන් සමඟ සංවාදයක සිටින ජෝන් ඩොයිලි

අන්තිමටම උඩරට ආක්‍රමණය කරන්න බ්‍රවුන්රිග් හේතුව විදිහට දක්වන ඉංග්‍රීසි බල ප්‍රදේශයේ හිටිය වෙළෙඳුන් උඩරට වෙළෙඳාමට ගියාම චරපුරුෂයන් කියලා සැක කරලා කන්, නාස් කපලා දඬුවම් කිරීම උඩරට ආක්‍රමණයට සාධාරණ හේතුවක් දක්වන්න ඩොයිලි කරපු උපායක් බවයි කියන්නේ

මේ යටතේ තමන්ගේ උඩරට ආක්‍රමණය දියත් කරපු ඉංග්‍රීසින් ඩොයිලිගේ සූර උපායන්ට පින් සිදුවන්නට පහසුවෙන් 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නවා. පස්සේ පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලගන්නත් ඉංග්‍රීසින්ට හැකිවෙනවා.

ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ. මේ ගැන අපි ගිය සතියේ කතා කළා නොවැ

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

ඉන්පසුව 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරපු උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තන සකස් කරන්නට කටයුතු කරන්නේත් ඩොයිලි. ඒ ගිවිසුමෙත් ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක විදිහට ජෝන් ඩොයිලි අත්සන් තබනවා.

1815 ඉදන් ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා [Resident] විදිහට ජෝන් ඩොයිලි 1815 මාර්තු 2 තමන්ගේ කටයුතු ආරම්භ කරනවා.

බැරනට්වරුන්ට බ්‍රිතාන්‍ය රජු පිරිනමන පදක්කම

උඩරට ජයග්‍රහණය උදෙසා ජෝන් ඩොයිලිගෙන් ලැබුණු සේවය අගය කරන්න රාජ්‍යාධිකාරී කුමාරයා වුණු ජෝර්ජ් කුමාරයා [පසුව IV ජෝර්ජ් නම්න් රජවුණු] ඩොයිලිට බැරනට් [Baronet] තනතුරක් [කණිෂ්ට සාමි] පිරිනමනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව හොයාගන්න කටයුතු ආරම්භ වෙන්නේත් ඩොයිලිගේ මූලිකත්වයෙන්. අවසානයේ ගල් ලෙන් කීපයක සඟවලා තිබුණු සුවිශාල වස්තු සම්භාරයක් ඉංග්‍රීසි ආණ්ඩුව යටතට ගන්න ඩොයිලිගේ දක්ෂතාවය නිසා පුලුවන් වෙනවා. මේ වස්තුව අයත් වුණු ආභරණ, මුතු මැණික්, විවිධ උපකරණ ආදිය ඒ සොයාගත් භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් 1820 දී ලන්ඩනයේ කිං නම් පුද්ගලයාට අයත්ව තිබුණු වෙන්දේසියේදී වෙන්දේසි කරනු ලැබුවා. ඒකෙනුත් විශාල ආදායමක් ලබාගන්න ඉංග්‍රීසි රජයට හැකිවුණා

1816 පිහිටවපු උඩරට පළාත් පිළිබඳ කොමසාරිස් මණ්ඩලයේ පළමු කොමසාරිස්වරයා වෙන ඩොයිලි මියයන තෙක්ම ඒ තනතුරු දරනවා. ඩොයිලි විසින් රචනා කරපු A Sketch of The Constitution of The Kandyan Kingdom කෘතියෙන් උඩරට ආණ්ඩු ක්‍රමය වගේම උඩරට සිරිත් විරිත් සම්බන්ධව විග්‍රහයක් ඔහු කරනවා. 

මහනුවර කච්චේරියේ තිබී හමුවුණු ඩොයිලිගේ දිනපොතෙන් එකල උඩරට සමාජය වගේම ඉංග්‍රීසි පාලනය ගැන වටිනා තොරතුරු රැසක් හෙළිදරව් කරගන්න පුලුවන් වුණු නිසා රාජකීය ආසියාතික සංගමය ඒ දිනපොත පාදක කරගෙන 1917 දී Diary of Mr. John D'oyly කෘතිය නිකුත් කරනවා. මේ වනවිට ඩොයිල්ගේ සැබෑ දිනපොත මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙනවා

ජෝන් ඩොයිලි ගැන 1810 දී ඔහුව මුණ ගැසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියන්නේ මෙහෙම විස්තරයක්.

"සිවිල් සේවයේ සිටින එකම සිංහල උගතා [ඩොයිලි] ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම්වලින්  මුළුමනින්ම පාහේ ස්වදේශිකයෙකු බවට පත්ව සිටියි. ඔහු කිසිවෙකු තම ගෙදරට නොකැඳවයි. වසරකට වරක් වුව රාත්‍රී භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝභන නමුදු ගුණවත්, අවංක තාපසයෙක් බව පෙනේ. එසේ සලකනු ලැබේ. ඔහු වූඩ් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි විට කේම්බ්‍රිජ්  [විශ්වවිද්‍යාලයීය] තරුණ ගැටයෙකු මා තරම් වයස පෙනෙන සිංහල තාපසයෙකු බවට වෙනස්වීම ගැන මවිත වීමි"  

මේ සටහන ලියපු පුද්ගලයා ඒ වෙද්දී 45 වෙනි වියේ ඉද්දී ඩොයිලි හිටියේ 31 වෙනි වියේ. 

ඩොයිලිගේ සොහොන

අවිවාහකයෙක් වුණු ජෝන් ඩොයිලි මියයන්නේ 1824 මැයි 25 වෙනිදා මහනුවරදී. ඔහුගේ මරණයට හේතුව වෙන්නේ අධික උණ. මියයද්දී ඔහුගේ වයස අවුරුදු 49 යි. ඩොයිලිගේ දේහය රාජ්‍ය ගෞරව යටතේ තැන්පත් කරන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ මෘත දේහ තැන්පත් කරන්න සකස් කරපු මහනුවර ගැරිසන් සුසාන භූමියේ.

 ඩොයිලිගේ සොහොනේ වූ ඵලකය

ඒ වගේමයි ඩොයිලිගේ සොහොනේ වූ ඵලකයේ තවත් පිටපතක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේත් තැන්පත් කරනු ලබනවා.

අදටත් ඩොයිලිගේ සොහොන ඒ සුසාන භූමියේදී දැකගන්න පුලුවන්. ඒ ගැන නඩේ ගුරා කණ්ඩායම ලියපු ලිපියක් තමා මේ.

ටික කලක් යද්දී ඩොයිලිගේ අවතාරය මහනුවර සංචාරය කරන්න පටන් ගත්තාලු. අශ්වයෙක් පිටේ නැගලා සම්පූර්ණ යුධ හමුදා නිළ ඇඳුමකින් [?] සැරසිලා යන මේ අශ්වාරෝහකයා මලබාර් වීදියේ යන හැටි තමා මිනිස්සු දැකලා තියෙන්නේ. 

ඩොයිලිගේ මරණයත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිත හෙවත් රෙසිඩන්ට් ධූරය අහෝසි වුණත් ඩොයිලිගේ මොළයෙන් කරපු කටයුතුවල පලවිපාක නම් ලේසියෙන් අහෝසි වුණේ නැහැ

ප.ලි.: මේ ලිපිය ලියන්න පාදක කරගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියූ උඩරට මහ කැරැල්ල - 3 වෙනි කාණ්ඩය කෘතිය, 2012 මැයි 2 ඉරිදා දිවයින පුවත්පතට සුජීව දිසානායක ලියූ උඩරට යටත් කරගත් චරපුරුෂයා ලිපිය, කොටගම වාචිස්සර හිමියන් ලියූ සරණඞකර සඞඝරාජ සමය කෘතිය.

ඩොයිලිගේ හොල්මන ගැන කතාව දැනගන්න ලැබුණේ ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මග දිගට ජනකතා - 2 කෘතියෙන් සහ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ක්සැන්ඩර් අයියාගෙන්. ඉතින් මේ හැමෝටම බොහොමත්ම ස්තුතියි මේ ලිපිය සම්පූර්ණ කරන්නට දුන්නු දායකත්වයට :)

ප.ලි.: ඊළඟට ලියවෙන සටහන මේවා ඔක්කෝටම කලින් ලියවෙන්න ඕනේ එකක් වුණත් ඒක ලියන්න හේතු කාරණා යෙදුණේ පස්සේ. මොකද ඒ ගැනත් ලියන්න කියලා ඉල්ලීමක් ආපු නිසා. ඒක නිසා ලබන සතියේ අපි කියවලා බලමු "කවුද මේ නායක්කර්වරු කියන්නේ ? කොහොමද එයාලට උඩරට සිහසුන හම්බවුණේ" කියන එක ගැන

ප.ප.ලි : ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ කියන සටහනේදී උදාන ජීවන්ත සොයුරාට කතන්දර දීපු පිළිතුරක් නිසා රජතුමාගේ මුණුබුරු මිණිබිරියන් ගැන විස්තර රාශියක් හොයාගන්න පුලුවන් වුණා. ඒ නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පරම්පරාවේ වර්තමාන පුරුක් ගැනත් සටහනක් ඉදිරියේදී ලියවේවි

Sunday, July 1, 2012

ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ? - ඉතිහාසයේ අප්‍රකට කතා 09

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් අයට සාපයක් වැදුණාද කියන සටහනත්, රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව කියන සටහනත් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා දෙක කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවි

ලංකාවේ රාජාවලියේ අන්තිම රජතුමා එහෙමත් නැත්නම් කන්ද උඩරට තිබුණු ලංකාවේ අන්තිම රාජධානියේ අන්තිම රජතුමා වුණේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. රජතුමාගේ පසුබිම සම්බන්ධව කෙටියෙන් කතා කළොත් රජතුමාගේ මුල් නම වුණේ කන්නසාමි. මේ කුමාරයාගේ මව රාජාධිරාජසිංහ රජතුමාගේ නායක්කර් බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලු. පියා වුණේ රජ වාසළ දූතයෙක් විදිහට සේවයේ නියැලුණු වෙන්කඩ පෙරුමාල් ස්වාමි. 

කෙසේ නමුත් තමන්ගේ ස්වාමියා මිය ගියාට පස්සේ කන්නසාමිගේ මව රාජාධි රාජසිංහ රජු සමඟත් ඒ වගේම රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් හෙවත් පළමුවෙනි අදිකාරම්වරයා වුණු පිළිමතලාවේ සමඟත් අනියම් සබඳතාවක් පැවැත්වූ බවයි කියවෙන්නේ. මේ සම්බන්ධයෙන් උපන් දරුවා වුණේ කන්නසාමි.

 පිළිමතලාවේ අදිකාරම්

රාජාධිරාජසිංහ රජතුමා මේ දරුවා තමන්ගේ බව සිතුවත් සැබවින්ම මේ දරුවාගේ පියා වුණේ පිළිමතලාවේ අදිකාරම් බවයි කියවෙන්නේ. කෙසේ නමුත් පසුව සිදුවුනු කුමන්ත්‍රණයක් මත රාජාධිරාජසිංහ රජතුමා මියයන අතරම පිළිමතලාවේ අදිකාරම්වරයා උපායශීලීව ඒ වනවිට රාජ්‍යත්වයට උරුමකම් කීමට සිටි අග බිසවගේ සහ  තවත් බිසෝවරුන් දෙදෙනෙකුගේම සොයුරා වුණු මුත්තුසාමි පලවා හැර කන්නසාමිට රජකම ලබාදීමට සමත් වෙනවා. 

ඒ අනුව වයස අවුරුදු 18 ක් වුණු කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 1798 දී රාජ්‍යත්වයට පත් වෙනවා. ඒ කතාව සවිස්තරව කියන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ලහිරු ලියපු ඒ කතාව.

කෙසේ නමුත් වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමය තුළ රජතුමාගේ කෲරත්වය ඉස්මතු වෙන ක්‍රියාකාරකම් කීපයක්ම සිදුවුණා. ඒ අතරින් සුවිශේෂී සිද්ධිය වෙන්නේ ඇහැළේපොළ මහ නිළමේතුමාගේ පවුලේ අයව ඝාතනය කළ සිදුවීම. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්

ඒ සිදුවීම් හැරුනාම වරින් වර එල්ල වුණු ඉංග්‍රීසි ආක්‍රමණයන් කීපයකුත් මේ කාලේ සිද්ධ වුණා. එක් අවස්ථාවක ඉංග්‍රීසින්ගේ උදව් ලබාගත්තු මුත්තුසාමි කුමාරයා 1803 මාර්තු මාසයේ සෙංකඩගල අල්ලාගෙන සිහසුනට පත් වුණත් ටික කලකින් නැවත වරක් පසු බසින්න සිද්ධ වුණා. මේ විදිහට ගෙවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය අවසන් වෙන්නේ 1814 දී ඉංග්‍රීසින් දියත් කළ උඩරට ඇල්ලීමේ සංග්‍රාමය හරහා

මීට පෙර උඩරට ඇල්ලීමට ගිය පෘතුගීසි, ලන්දේසි වගේම ඉංග්‍රීසි සේනාවන්ට නොතිබුණු වාසි සහගත තත්ව රැසක්ම මෙවර හිමිවෙලා තිබුණා. විශේෂයෙන්ම උඩරට රජතුමා කෙරෙහි තිබුණු රදළ සහ මහජන පක්ෂපාතීත්වය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් ගිලිහිලා තිබුනේ. රජතුමාගේ අදිකාරම්වරු දෙදෙනෙක් වුණු ඇහැළේපොළ සහ මොල්ලිගොඩ අදිකාරම්වරු මේ යුධ ප්‍රයාණයට සම්බන්ධ වුනා වගේම සියලුම යුධ රහස් ඉංග්‍රීසින්ට ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ.

මෙවන් වූ තත්වයක් හමුවේ ලේ වැගිරීම් හැකිතාක් අඩුවෙන් සිදු කරමින් 1815 පෙබරවාරි මාසය වෙද්දී ඉංග්‍රීසින් සෙංකඩගල ආසන්නයටම පැමිණිලා හිටියේ. පෙබරවාරි 11 රජතුමා සෙංකඩගල අතහැර පලා ගියා කියන ආරංචිය ඉංග්‍රීසීන්ට ලැබීමත් එක්කම තමන්ගේ කටයුතු ඔවුන් ඉක්මන් කරනවා. ඒ අනුව 1815 පෙබරවාරි 14 වෙනිදා මේජර් මොෆට් යටතේ පැමිණි ඉංග්‍රීසීන්ගේ දෙවෙනි බල ඇණිය වැසියන් අත් හැර දමා ගොස් පාළු වී තිබුණු කන්ද උඩරට රාජධානියේ අගනුවර වුනු සෙංකඩගල නගරය අල්ලා ගන්න සමත් වෙනවා. 

 සෙංකඩගල රජ මාළිගය

කෙසේ නමුත් රජතුමාව අල්ලා ගන්නා තෙක් සටන අවසන් නොවන නිසා ඉංග්‍රීසින් ඒ ගැන අවදානය යොමු කරනවා. ඒ යටතේ රජතුමා ඌවට පලායෑම වළක්වන්න කටයුතු යොදන ගමන්ම රජතුමා ඉන්නවා කියලා සැක කරපු දුම්බර ප්‍රදේශයට ජෝන් ඩොයිලි සහ ඇහැළේපොල මහ නිළමේගේ මූලිකත්වයෙන් භට කණ්ඩායම් පෙබරවාරි 16 වෙනිදා පිටත් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා.

ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණය ආරංචී වීමත් එක්කම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ කකුධ භාණ්ඩ, සිංහාසනය ඇතුළු වටිනා භාණ්ඩ දුම්බර පොද්දල්ගොඩ කඩතුරා ලෙනේ වගේම තවත් ආරක්ෂිත ස්ථානවලට පිටත් කරනවා. 


ඊට පස්සේ බිසෝවරුන් සහ හිතවත් සේවකයන් පිරිසක් එක්ක උඩු දුම්බර තිබෙන ආපදා අවස්ථාවලදී රජවරුන් භාවිතා කරන ගල් ලෙනකට පිටත් වෙනවා. මේ ලෙන අද හුන්නස්ගිරි නගරාසන්නයේ තියෙන ගලේ නුවර කන්දේ තිබෙනවා කියලයි කියන්නේ.

කොහොම නමුත් මේ අවස්ථාවේ රජතුමා ගල් ගුහාව අසළට ගිහින් තල් අත්ත ඇල්ලුවත් පලක් වෙන්නේ නැහැ. රජතුමා ඇහැලේපොළ පවුල ඝාතනය කිරීම නිසා දේව කෝපයෙන් වතුර පහර සැර වැඩිවුනු බවයි කියවෙන්නේ. ඒ නිසා රජතුමා තීරණය කරනවා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න. ඒත් රෑ බෝවීම වගේම වර්ෂාවක් ඇතිවීම නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා. 

රජතුමා භාවිතා කළ තුවක්කුවක්

රජතුමා ඇතුළු පිරිසව ගෞරවයෙන් පිළිගන්න උඩුපිටියේ ආරච්චිල රජතුමා ඇතුළු පිරිසට හැකි පමණින් සත්කාර කරනවා. පසුවදා උදෑසන රජතුමා ගල උඩ බලකොටුවට යන්න සූදානම් වුණත් ඉංග්‍රීසින් මේ ප්‍රදේශයට පැමිණි ආරංචිය දැනගත්තු උඩුපිටියේ ආරච්චිල රජතුමාව ඒ බව දැනුම් දීමත් එක්ක රජතුමා ඒ දවසෙත් බෝමුරේ නතර වෙන්න තීරණය කරනවා.

රජතුමා සොයාගෙන බෝමුරේට ආපු එක්නැලිගොඩ නිළමේ ඇතුළු පිරිසට දකින්න හම්බවෙන්නේ පාලුවට ගිය බෝමුරේ ගම. ගමේ මිනිස්සු ආරක්ෂාවට කැළෑ හැංගිලා ඉන්නේ. මේ වෙලාවේ කැළෑවේ හැංගෙන්න යමින් හිටිය කොලු ගැටයෙක් මේ පිරිස දැකලා පැනලා දුවද්දී අල්ලා ගන්න එක්නැලිගොඩගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ කොලු ගැටයා බයට පත් වෙලා කියනවා

"අනේ හාමුදුරුවනේ, මා මරන්න එපා, දෙවියන් වහන්සේ සැඟවී සිටින ස්ථානය මම පෙන්වන්නම්" කියලා

තමන් ආපු කාර්යය සාර්ථකයි කියලා වටහා ගත්තු එක්නැලිගොඩ සතුටට පත්වෙලා ලණුවකින් කොලු ගැටයාගේ ඉණ බැඳලා අරගෙන යනවා "හා ඉතින් දෙවියන් වහනසේ ඉන්නා තැන පෙන්නාපිය" කියලා
කොලුවා උඩුපිටියේ ආරච්චිලගේ ගේ ගාවට ඇවිත් "මෙන්න මේ ගෙයි ඇතුළේ දෙවියන් වහන්සේ ඉන්නවාය" කියලා කියනවා.

කොලුවාට යන්න හරින එක්නැලිගොඩ ගේ වටේට රැකවල් දාලා ගේ ගාවට යද්දී දකිනවා උඩුපිටියේ ආරච්චිල හෙල්ලක් අතේ තියන් දොර අබියස මුර කරනවා. 

එක්නැලිගොඩ දැක්ක උඩුපිටියේ ආරච්චිල උපහසාත්මකව අහනවා "එක්නැලිගොඩ නිළමේ කාලෙකින් මේ පැත්තේ මොකදැ" කියලා. 

"ඔහේලාගේ සැප දුක් බලාගෙන යන්න ආවා නොවැ" කියලා උපහාසාත්මකව පිළිතුරු දීපු එක්නැලිගොඩ තවත් ඉස්සරහට යද්දී රාජපාක්ෂික භාවය නිසා උඩුපිටියේ රජතුමාව ගලවා ගන්නා අදහසින් එක්නැලිගොඩට හෙල්ලෙන් අනිනවා. 

ඒත් එක්නැලිගොඩ පස්සට ගිහින් බේරෙනවා. අවසානයේදී හේවායෙක්ගේ කඩු පහරින් උඩුපිටියේ ආරච්චිල රජතුමා වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා.

තවත් තැනක සඳහන් වෙන්නේ දොරටුව අබියස සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් සිටිය බවත් එයා එක්නැලිගොඩට හෙල්ලෙන් ඇන්නත් ඒක අසාර්ථක වෙන නිසා ඊට පස්සේ ඒ අප්පුහාමිව අල්ලා ගන්නවා කියලා. මේ සැතපෙන ගෙයි අප්පුහාමිලා ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවානේ.

පස්සේ දොර අරින්න කියලා එක්නැලිගොඩ නියම කළත් දොර රජතුමා අරින්නේ නැහැ. ඒත් රජතුමා ජනේලයකින් රිදී ආලේපිත තුවක්කු තුනකුත්, කිණිසි දෙකකුත් පිටතට දානවා. ඒත් රාජ්‍ය සංකේතය වුණු රන් කඩුව දෙන්නේ නැහැ. 

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කඩු කස්ථාන

ඒක නිසා එක්නැලිගොඩගේ නියමයෙන් වංගෙඩියක් ආධාරයෙන් දොර කඩා දැම්ම මේ පිරිස ගේ ඇතුලට කඩා පනිනවා. ඇතුළේ ස්වර්ණාභරයෙන් සැරසුණු රජතුමා, අග බිසව සහ තවත් එක් බිසවක් ඉන්නවා.

තමන් අල්ලන්න එන පිරිස දැක්කාම රජතුමා රාජ තේජසින් කියනවා "තොපගේ රජ්ජුරුවන්ගේ ඇඟට අත නොතබවු" කියලා

රාජකීය සිරිත් විරිත් අනුව රජතුමාගේ ඇඟට අත තියෙන්න හැමෝටම පුලුවන්කමක් නැහැ. දියවඩන නිළමේ සහ සළුවඩන නිළමේ, රාජකීය වෛද්‍යවරයා වගේ කීප දෙනෙක්ට විතරයි රජතුමාගේ ඇඟට අත තියන්න පුලුවන්. දැන් අහන්න එපා අග බිසවටයි අනෙක් බිසෝවරුන්ටයිත් රජතුමාගේ ඇඟට අත තියන්න බැරිද කියලා :)  

රජතුමාගේ අවසරයක් නැතුව රජතුමාගේ ඇඟට අත තැබීම වරදක් විදිහට සැලකුණා වගේම සමහර වෙලාවට ඒ නිසා මරණීය දණ්ඩනය පවා හිමිවුණු මිනිස්සු ඉන්නවා. අහලා ඇතිනේ II රාජසිංහ රජතුමා ගැන කතාව

ආයි කතාවට ආවොත් රජතුමාගේ මේ කතාවෙන් භය වුණු පිරිස පස්සට ගියත් පස්සේ එක්නැලිගොඩගේ අණින් මේ පිරිස ඉස්සරහට යනවා. පළමුවෙන්ම ගිය වැලි අංගා කියන මනුස්සයාගේ කතාව මම කලින් කතාවෙන් කිව්වනේ.

රජතුමා ඇතුළු පිරිසගේ ඇඳුම් ඉරා දමලා ස්වර්ණාභරණ ගලවාගන්න මේ පිරිස කටයුතු කරනවා.  මේ විදිහට වස්ත්‍රාභරණ ගලවා ගනිද්දී රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ ලේ තැවරුනු වස්ත්‍ර ගන්න කිරිපෝරුවේ මොහොට්ටාල ඒවා තමන්ගේ නිවසේ පෙට්ටගමක ප්‍රවේශමට තබනවා. පසු කාලීනව ඒ පරපුරේ සාමාජිකයන් ඒවා 1941 දී කොළඹ ජාතික කෞතුකාගාරයට භාර දෙන්න කටයුතු කරනවා. 



දැනට කොළඹ සහ මහනුවර ජාතික කෞතුකාගාරවල තබා ඇති රජතුමාගේ වස්ත්‍ර කීපයක්

රජතුමා සහ පිරිස පත්වෙලා හිටිය තත්වය විස්තර කරන ඉංග්‍රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා වුණු දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක මුදලි කියන්නේ තමන් ගෙයි ඇතුළේ හිටිය බිසෝවරුන්ට "අම්මාවරුන්" ලෙස ගෞරවයෙන් කතා කරලා පිටතට කැඳවා ගත්තා කියලා.

ඇඳුම් ඉරා දමලා කන් පෙති ඉරලා කර්ණාභරණ ගලවා ගත්තු නිසා කන් පෙතිවලින් ලේ ගලමින් හිටිය බිසෝවරුන් "අනේ අප බේරගන්න" කියමින් එළියට ඇවිත් තියෙනවා. ඔවුන් හිටිය ආකාරය ඩයස් මුදලි දක්වන්නේ "හරියට ගෙල කඩා දමන ලද කිකිළියන් වගේ" කියලා.

මේ තුවාලවලට ඖෂධ කොළ වර්ගයක් තියලා ඉඹුලන්වල ආරච්චි ලවා ප්‍රතිකාර කරන්න ඩයස් මුදලි කටයුතු කරනවා. වස්ත්‍රාභරණ කොල්ල කාපු පිරිස රජතුමා ඇතුළු පිරිසට විලි වසාගන්න වියතක් පමණ වුණු රෙදි කැබලි දීලා තිබුණේ

රජතුමා බිම පෙරළා ගෙන හිටිය සිංහල සෙබළු රජතුමාට පහර දෙමින් කෙළ ගසමින් අපහාස කරමින් සිටියා කියල තමා කියවෙන්නේ. මේ අවස්ථාවේදී එක්නැලිගොඩ තමන්ගේ මිනිස්සුන්ට අණ කරනවා "වැල් පටක් කඩාගෙන ඇවිත් මේ ඌරා බැඳ ඇඳ ගෙනයව්" කියලා. 

ඒ වගේම නොයෙක් විදිහට රජතුමාට අපහාස කරන්න ඔහු පටන් ගන්නවා. 

මේ තත්වය ඉවසා ගත නොහැකි වුණු ඩයස් මුදලි කියනවා "අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියෙකුට මෙන්, දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරවයක් පෙන්වූයේ නැහැ" 

කියලා තමන්ගේ විරෝධය දක්වලා ඊට පස්සේ කියනවා 

"දැන් රජතුමා අත් අඩංගුවට අරගෙන තිබෙන නිසා අවශ්‍ය වෙන්නේ ඔහුට අපහාස කිරීම නෙවෙයි, ආරක්ෂා සහිතව රැගෙන යාමයි. ඇයි මේ වැල් පටින් බැඳ රජුට අවමාන කරන්නේ" කියලා

පස්සේ රජතුමාට විළි වසාගන්න තමන්ගේ සළුව ඩයස් මුදලි විසින් ලබාදෙනවා. ඒත් එක්නැලිගොඩ ඩයස්ටත් කෝපයෙන් බැණ වැදිලා කියන්නේ තමන්ට කාගේවත් උපදෙස් අනවශ්‍ය බවයි. පස්සේ එක්නැලිගොඩගේ අණින් රජතුමාව වැල් පටින් බැඳ දාලා රජතුමාට ඇවිදගෙන යන්න අපහසු වුණු නිසා බිම දිගේ ඇදගෙන යනවා. 


 රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය

මේ ශෝචනීය තත්වය ඉවසාගන්න බැරිවුණු ඩයස් මුදලි ජෝන් ඩොයිලිට හදිසි පණිඩියක් යවමින් දෝළාවක් සහ ඇඳුම් පැළඳුම් අරගෙන වහාම එන්න කියලා ඉල්ලා සිටිනවා. පැයකුත් විනාඩි 20 ක් ඇතුළත හමුදා භටයන් පිරිසක් මේජර් හාඩි සහ හූක්ගේ නායකත්වයෙන් පැමිණෙනවා.

හිස්වැසුම් ගලවලා රජතුමාට ආචාර කරන මේජර්වරුන් දෙදෙනාගේ නියෝගයෙන් ඉංග්‍රීසි සොල්දාදුවන් රජතුමාව බැඳලා තිබුණු බැමිවලින් නිදහස් කරනවා වගේම රජතුමාට පහර දෙන්න ආපු සබරගමුවේ ජනතාව කස පාවිච්චි කරමින් හසුරුවන්නත් කටයුතු කරනවා. 

ඩයස් මුදලි කියන විදිහට අඩි 6 ක් පමණ උස දර්ශනීය රූප සොබාවයක් තිබුණු රජතුමාගේ දේහය හැම තැනම තුවාල වෙලා ලේ ගලමින් තිබුණු අතර රජතුමා ඒ අවස්ථාවේ අහනවා "රජෙකුට සැලකිය යුත්තේ මෙසේද?" කියලා. 

රජතුමාට ඒ අවස්ථාවේ පිපාසයක් තිබුණු නිසා මිදි යුෂ සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා. බිසෝවරුන්ට රතු වයින් සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා.

පසුව දෝලාකරුවන් පැමිණිය නිසා හදිසියේ එකතු කරගත්තු සුදු ඇඳුම්වලින් රජතුමා ඇතුළු පිරිස සරසවලා සෙංකඩගලට පිටත් කරනවා. රජතුමා දෝලාවට නඟින්න කලින් ඩයස් මුදලිට කියනවා "පුතා, සුද්දන් විසින් නිසැකවම මට මරණීය දණ්ඩනය දෙනු ඇත. එහෙත් බිසෝවරුන්ට අභය දානය දෙනු ඇත. මා නුඹෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට රැකවරණයත්, ආරක්ෂාවත් ලබාදෙනු ලෙසයි" කියලා. 

ඒ වෙද්දි හංවැල්ලේ හිටිය රජතුමාගේ මව සහ තවත් බිසෝවරුන් දෙන්නෙක් දෝලා යවලා රජතුමා සිටිය තෙල්දෙණියට කැඳවා ගන්නත් ඉංග්‍රීසින් කටයුතු කරනවා.

මේ ආකාරයෙන් උඩරට අවසන් රජතුමා 1815 පෙබරවාරි 18 වෙනිදා ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වෙනවා.

1815 දී සෙංකඩගල නගරය සහ අවට ප්‍රදේශය

විශේෂ කරුණක් තමා රජතුමා අල්ලා ගත් පසුව ඒ සඳහා මුල්ම පියවර තියපු ඇහැළේපොළ මහ නිළමේ රජතුමාව කිසිම අවස්ථාවක මුණගැසීමට නොපැමිණීම. ඒත් තමන්ගේ පවුලට ඉමහත් හානියක් කරපු රජතුමා වෙනුවෙන් පුදුමාකාර වූ ආත්ම දමනයක් සහ මනුෂ්‍යත්වය පෙන්වපු ඇහැළේපොළ නිළමේ ඉංග්‍රීසින්ගෙන් ඉල්ලා සිටින්නේ රජතුමාගේ ජීවිතයට හානියක් කරන්න එපා කියලා.

නමුත් තවත් කතාවක් තමා ඇහැළේපොළ තමා හමුවන්න එන්නේ සිනාසීමට නිසා තමා සමීපයට එන්න ඔහුට ඉඩ දෙන්න එපා කියලා  රජතුමා ඉංග්‍රීසීන්ගෙන් ඉල්ලා සිටියා කියන එක

ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්

රඹුක්වැල්ලේදී රජතුමා හමුවෙන ඩොයිලි රජතුමා සහ පිරිසට ආහාර පාන සහ නවාතැන් පහසුකම් සළසනවා. ඒ වගේම රජතුමා අල්ලා ගත් පුවත ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ට දැනුම් දෙනවා. පෙබරවාරි 19 වෙනිදා රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේදී මේ ආරංචිය ලැබීමත් එක්කම අතිශය ප්‍රීතියට පත්වෙන බ්‍රවුන් රිග් සතුටු කඳුළු වගුරවමින් තමන් එක්ක හිටිය පිරිසට අත දෙමින් දෙමින් යුරෝපා ජාතීන් තුනක් වසර 300 ක් පමණ වෑයම් කළ කාර්යය ජයගන්න හැකිවීම ගැන හැමෝටම ස්තුති කරනවා.

කොහොම නමුත් මුලින් රජතුමාව සෙංකඩගලට යවන්න හිටියත් තමන්ගේම අගනුවරදී පරාජිතයෙක් විදිහට ඉන්න සිදුවීමෙන් රජතුමා වෙන අපහසුතාව තේරුම් ගත්තු බ්‍රවුන්රිග් රජතුමාව කොළඹට පිටත් කරන්න නියම කරනවා. 

රජතුමා කොළඹට පිටත් කරන අතරතුරේදී ඒ කණ්ඩායමට රජතුමාගේ ඥාති සහෝදරයෙක් වෙන වෙන්ගඩ සාමි සහ නායක්කර් කුමාරවරු තුන් දෙනෙකුත් ඊටත් පසුව ගම්පොළ දෙවියෝ සහ දෙගල් දෙවියෝ කියලා හඳුන්වපු රජතුමාගේ මාමණ්ඩිලා දෙන්නෙක් සහ බෑණාවරු තුන් දෙනෙකුත් එකතු වෙනවා.

අවසානයේදී කොළඹ බලා පිටත් කෙරුණු රජතුමාගේ කණ්ඩායමට රජතුමාගේ විශාල ඥාති පිරිසක් එකතු වෙනවා. ඔවුන්ට ප්‍රමාණවත් තරම් දෝලා නොතිබුණු නිසා පයින් ගමන් කරන්නත් වෙනවා. කෙසේ නමුත් රජතුමා ගමන් කරන්නේ ඩොයිලි ලබාදුන්නු දෝලාවේ. අන්තිමට බ්‍රවුන්රිග් දෝලා තුනක් මේ කණ්ඩායමට ලබාදෙනවා.

රජතුමා ගමන් ගත්තු දෝලාව දෙපසින් ප්‍රධාන නිලධාරීන් දෙන්නෙක් අසු පිටින් ගමන් ගන්නවා වගේම දෝලාව ඉදිරියෙන් හා පසුපසින් අශ්වාරෝහක භටයන් වගේම පාබල සෙබළ පිරිසකුත් ගමන් ගන්නවා. ඒ පිරිසත් එක්කම ඩයස් මුදලි සහ තම්බි මුදලි ලෙස හැඳින්වුණු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි ගමන් කරනවා.

ජෝන් ඩොයිලි

රජතුමා සඟවා තබා තිබෙන රාජකීය වස්තුව ඇති ස්ථාන ගැන ඩොයිලිව දැනුවත් කරනවා. ඒවා ඇහැලේපොළ අතට පත්වනු වැළැක්වීමයි රජතුමාගේ මූලික අරමුණ වෙන්නේ. 

රජතුමා ඒ අවස්ථාවේ ඩොයිලිට දෙන අවවාදය තමා

"ඇහැළේපොළ සහ මොල්ලිගොඩ ගැන පරිස්සම් වෙන්න. ඔව්හු මා රැවටූහ. ඔබද රවටන්නාහ. ඇහැලේපොළගෙන් ප්‍රවේශම් වන්න. ඔහුට පියෙකුට මෙන් කරුණු කාරණා ඉටුකළ මා හට ද්‍රෝහී වූවා නම් යම් කිසි දිනෙක ඔබද රවට්ටනු ඇත. ඔහුගේ ආත්මය අකෘතඥතාවයෙන් සහ බල ලෝභයෙන් පිරී ඇත. රටේ නීතිය අනුව දෙවතාවක් ඔහුට මරණීය දණ්ඩනය නියම කිරීමට තිබුණද මාගේ අනුග්‍රහය යටතේ ඔහුට ජීවිත දානය ලබාදුන්නෙමි" 

ඒවගේම රජතුමා තමන්ගේ මව සහ බිසෝවරුන් හතර දෙනාගේ අත් ඩොයිලිගේ අත මත තබා භාරදීලා ආරක්ෂාව සලසන්න කියලා ඉල්ලා සිටියත් රජතුමාගේ ජීවිතයට වගේම බිසෝවරුන්ගේ ජීවිතයට ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා ඩොයිලි සහතික වෙනවා.

මාර්තු 6 වෙනිදා කොළඹට ළඟා වෙන රජතුමා ඇතුළු පිරිසව පිළිගන්නේ කොළඹ නගරාරක්ෂක බල ඇණියේ නායක ජෙනරාල් කර් විසින්. රජතුමාට වාසය කරන්න ගාලු මුවදොර ආසන්නයේ සකස් කරලා තිබුණු විශාල නිවසට පසුව රජතුමා රැගෙන ගියාම රජතුමා "මට රජෙකු වීමට අවසර නැති හෙයින් මට දක්වන ලද කරුණාවන්තභාවය ගැන ස්තුතිවන්ත වෙමි" කියලා කියනවා. 

රජතුමා භාරව කොළඹ දක්වා පැමිණි මේජර් හූක්ට රජතුමා ස්තුතිවන්ත වෙන අතරම රජතුමා ඔහුට රන් මුද්දක් පිරිනමනවා. ඒ මුද්ද මේ වනවිට මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙන බවයි කියන්නේ.

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

මේ වනවිට මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී කියෙව්ව උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."

හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.


රජතුමා කොළඹ රඳවා සිටි ස්ථානයේ සකස් කර ඇති ස්මාරකය 
[මේක තියෙන්නේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සෙලින්කෝ ගොඩනැගිල්ල අසළ]

1816 ජනවාරි 24 දක්වා කොළඹ වාසය කරපු රජතුමා ඇතුළු පිරිස පසුව ඉන්දියාවට පිටුවහල් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා. ඒ අනුව රජතුමා සමඟ 100 ක පමණ පිරිසක් H.M.S.Cornwallis නෞකාවෙන් ජනවාරි 25 කොළඹ වරායෙන් මදුරාසිය බලා පිටත් කර හරිනවා.

විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගේ තිබෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු

ආදී වශයෙන් තිබෙන කවි පෙළ රජතුමා කියන්නේ මේ විදිහට කොළඹින් පිටත් වෙන අවස්ථාවේ කියලයි කියන්නේ. ඒත් ඒ කවි රජතුමා ගායනා කරපුවා නොව අඥාත කවියෙක් විසින් රචනා කරපු එකක් කියලත් කියනවා.

නෞකාවේ ගමන් කරන රජතුමාගේ භාරකාරීත්වය පැවරිලා තිබුණේ ඉංග්‍රීසි ජාතික සිවිල් සේවක විලියම්  ග්‍රැන්විල්ය. එක් අවස්ථාවක නැවේ සිටිය නිලධාරීන්ට රජතුමා විසින් පවත්වපු භෝජන සංග්‍රහයට අවශ්‍ය සමහර ආහාර පාන රජතුමා සියතින්ම සකස් කරලා තියෙනවා.

ඉන්දියාවේ මදුරාසියට පැමිණි මේ රාජකීය සිරකරුවන්ව පසුව වෙල්ලෝරයට පිටත් කර හරිනවා. වෙල්ලෝර් කොටුව තුළ පිහිටලා තිබුණු විශාල නිවාසයක් තමා ඉංග්‍රීසින් විසින් රජතුමා සහ රජ පවුලට ලබා දෙන්නේ. 

 ටිපු සුල්තාන්

ඒ නිවසේ තිබුණු විශේෂත්වය තමා ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරලා 1799 දී මියගිය මයිසූරයේ සුල්තාන් වුණු ටිපු සුල්තාන්ගේ පවුලේ අයව රඳවලා තිබුනේත් මේ නිවසේ වීමයි. ඒ කාලයේදී මේ නිවස "හයිදර් මහල්/ ටිපු මහල්" කියලා හැඳින්වුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු පිරිස පැමිණීමත් එක්ක "කැන්ඩි මහල්" නමින් හඳුන්වලා තියෙනවා.

රජතුමා වාසය කළ කැන්ඩි මහල් සඳහා මග පෙන්වන පුවරුව

වෙල්ලෝර් කොටුව

ඒ වගේම වෙල්ලෝර් කොටුව මුලින්ම 1533 දී නායක්කර් වංශිකයන් වුණු චින්න බොම්බි නායක් සහ තිම්මා රෙඩ්ඩි නායක් වීම තවත් සුවිශේෂී කරුණක්

අත් අඩංගුවේ පසුවෙන රජතුමා හමුවුණු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයා වුණු වෛද්‍ය හෙන්රි මාර්ෂල් තමන්ගේ කෘතිය වුණු Ceylon, A General Description of The Island and Its Inhabitants with a Historical Sketch of The Conquest of The Colony by The English ට ඇතුලත් කරන ලද රජතුමා ගැන කරන විස්තරයක් තමා මේ.

රජතුමාගේ රූ සොබාවය ඔහු විස්තර කරන්නේ මෙහෙමයි.

"මහනුවර සිහසුනෙන් පහ කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහල් අඟල් 9 ක් 10 ක් පමණ උසය. මඳක් ස්ථූලය. ශක්තිමත්ය. මනාව වැඩුණු මාංශ පේශින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුළක් ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණි. ඔහුගේ දේහය පෞරුෂය විදහා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහුගේ බුද්ධි හීන පුද්ගලයෙක් යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහ කර හිරභාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍යයෙන් ප්‍රියවාදී හා සොම්නස් සහගත විය"

මේ මාර්ෂල් සහ රජතුමා අතර ඇතිවුණු සංවාද කීපයක්.

රජතුමා : මගේ වැසියෝ නිසි ලෙස හැසිරුණාහු නම් මම පිරිමියෙක්ද ගැහැණියක්ද යන වග  ඔබට පෙන්වන්ට තිබිණි. මගේ රාජ්‍ය කාලයේදී ඔබ දෙවරක් මහනුවර නගරය අල්ලාගත්ත්තාහුය. එහෙත් ඒ දෙවතාවේම බොහෝ සතුටින් ඔබ මහනුවර හැර ගියාහුය.

මාර්ෂල් : ඔබේ වැසියන් මහනුවර කරා වැටී තිබුණු සමහර මාර්ගවලදී අපට බලවත් විරෝධයක් නොපෑ බව ඇත්තයි. එහෙත් තුන් කෝරළේ සහ සතර කෝරළයේ සෙනඟ සෑහෙන තරම් හොඳින් ක්‍රියා කළහ.

රජතුමා : ආහාර අනුභව කිරීමෙන් පසු එහි රස ගැන කතා කිරීම නිෂ්ඵලය

රජතුමාගේ කෲර දඬුවම් ගැන විමසපු අවස්ථාවක රජතුමා පිළිතුරු දෙන්නේ "මේ නීතීය මා නිර්මාණය කළ එකක් නොවේ. මම මගේ රාජ්‍ය රාජ ධර්මවලට අනුකූලව පාලනය කළෙමි" කියලා

රජතුමාගේ අත්සන

රජතුමාට ඉංග්‍රීසි රජයෙන් කිසියම් දීමනාවක් හිමිවුණු අතර රජතුමා සුපුරුදු පරිදි අභිමානයෙන් ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් තමා 1830 දි වෙල්ලෝරයේ සංචාරයකට පැමිණි මදුරාසි ආණ්ඩුකාර ලුෂින්ටන්ව හමුවීම රජතුමා ප්‍රතික්ෂේප කරපු එක.

මේ විදිහට ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවේ රාජකීය සිරකාරයෙක් විදිහට අවුරුදු 16 ක් ගත කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය යනවා. මියයන කොට රජතුමාට වයස අවුරුදු 52ක් වෙනවා.

 1832 ජනවාරි මාසයේ මුල ඉදන්ම රජතුමාගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රීඩ් රජතුමාව පරීක්ෂා කරපු අවස්ථාව රජතුමාට උදරාබාධයක් පෙළෙන බව දකිනවා. මුලින් රජතුමා බටහිර බෙහෙත් ලබාගත්තත් පසුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹෙනවා.

පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත රජතුමාගේ ආදාහනයට යුද්ධාරක්ෂක මණ්ඩලයේ සාමාජිකයනුත් පිරිමි ඥාතීනුත් එකතු වෙනවා. රජතුමාගේ දේහය ආදාහනය කරන්නේ වෙල්ලෝරයේ පිහිටි පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.

 පලාර් නදිය

පසුව රජතුමාගේ  භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කරනවා. රජතුමාගේ බිසෝවරුන්ගේ භෂ්මාවශේෂත් පසුකාලීනව තැන්පත් කරන්නේ ඒ ස්ථානයේමයි. ඒ ස්ථානය හැඳින්වෙන්නේ මුතු මණ්ඩපම් නමින්.


 මුතු මණ්ඩපම් ස්මාරකය

මේ ස්මාරකය පිළිසකර කරන්න ශ්‍රී වික්‍රම රජතුමාගේ මී මුණුපුරෙක් වෙන A. වික්‍රම රාජසිංහ 1932 දී කටයුතු කරනවා. ඒ රජතුමා මියගිහින් වසර 100 ක් ගියාට පස්සේ. පසුව 1990 දී තමිල්නාඩු මහ ඇමති කරුණානිධි විසින් මුතු මණ්ඩපම් නැවත වරක් ප්‍රතිසංස්කරණය කරවලා විවෘත කරනු ලබනවා

මුතු මණ්ඩපම් වර්තමානයේ දිස්වෙන අයුරු

මියගිය රජතුමාට දාව අග බිසව වුණු වෙන්කත රංගම්මාල්ට වෙල්ලෝර් කොටුවේදී උපන් පුත්‍රයෙක් සිටියත් වයස අවුරුදු 11 ක් වෙද්දී ඒ කුමාරයා 1843 දී මියයනවා. ඒ හැරෙන්නට රජතුමාට දාව මුතුකම්මමා බිසවට දූවරුන් දෙදෙනෙක් ලැබෙනවා.මේ එක දුවෙක්ගේ පුත්‍රයාට ඉංග්‍රීසි රජය "අලගිය මනවල සිංහල රජු" කියන විරුද නාමය දුන්නු බව මහාවංසය දක්වනවා.

 වෙන්කත රංගම්මාල් අග බිසව

මේ දූවරුන් දෙදෙනාගේ දරුවන් 1965 දක්වා ලංකාණ්ඩුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පවුලට ගෙවන ලද දීමනාව ලබාගත් බවයි කියවෙන්නේ. 1932 දී රජතුමාගේ සොහොන පිළිසකර කළ A. වික්‍රම රාජසිංහත් මේ දියණියකගේ පරපුරේ අයෙක්

අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජතුමාගේ චරිත සොබාවය සම්බන්ධව. බොහෝ දෙනා කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර පාලකයෙක් කියලා. ඒත් මේ කරුණු කාරණා ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු.

මුල් කාලීනව රජතුමා වෙනුවට පාලන කටයුතු රැසක්ම සිදු කළේ පිළිමතලාවේ මහාදිකාරම. ඒ යටතේ රජතුමා නොදැනුවත්ව ඝාතන කීපයක්ම කරන්න පවා පිළිමතලාවේ කටයුතු කරනවා. 1803 බ්‍රිතාන්‍ය භටයින් සාහසිකව ඝාතනය කිරීම වගේම ඇරැව්වල දෙවෙනි අදිකාරම් සහ දඹගමුවේ දිසාව ඝාතනය දක්වන්න පුලුවන්.

 නමුත් ඒවාත් හුඟක් වෙලාවට රජු කරවූ දේවල් විදිහටයි මහජනතාව අතරට ගියේ. ඒ වගේමයි බාහිරින් එන පැමිණිලි රජු වෙතට ගෙන ඒමට බාධා පැමිණවීමේ හැකියාවත් මහාදිකාරමට තිබුණා.

රජතුමා ඉන්දියාවට රැගෙන යන අතරවාරයේදී විලියම් ග්‍රැන්විල් 1803 වුණු ඉංග්‍රීසි භටයන් සමූල ඝාතනය ගැන රජතුමාගෙන් ඇහුවාම රජතුමාගේ පිළිතුර වුණේ මේක.

"එම සිද්ධියට මාගේ සම්බන්ධයක් නැත. එම වරද පිළිමතලව්වේ භාරග ගත යුතුය. මාගේ පළමු අදිකාරමගේ වැඩකටයුතුවලට අතර මැදිවීමට මා ළාබාල වැඩිවිය. [ඒ වෙද්දී රජතුමාගේ වයස අවුරුදු 23 ක් පමණ වුණා] මට ඒ සිද්ධිය දැනගන්නට ලැබෙන විට සියලු දෙයම සිදුවි හමාරය. මා මේජර් ඩේවිගේ ජීවිතය ගලවා ගත්තා. ඔහුගේ කණ්ඩායම අදිකාරම් භාරයේ සිට විනාශ වුණා. මේජර් ඩේවිට මාගෙන් ලැබිය යුතු සියලුම උදව් ලැබුණා. මා ඔහුට උදව් දුන්නා. එමෙන්ම ඔහුට අවැසි පමණට කෑම දුන්නා. ඔහුට බිරියන් තබා ගැනීමට අවසර දුන්නා. එයට වැඩියමක් දීමට නීතියෙන් ඉඩක් නැහැ. මෙම නීති හැදුවේ මමද ? "

රජතුමාගේ කාරුණික බවට තවත් උදාහරණයක් විදිහට පිළිමතලාවේ සිද්ධිය දක්වන්න පුලුවන්.

රජතුමාව පත් කරන්න මුල්වුණු පිළිමතලාවේ මහාදිකාරමම පස්සේ රජතුමාව මරන්න කුමන්ත්‍රණ කලානේ. ආසන කියන මැලේ මුහන්දිරම් ලවා රජතුමා ඝාතනය කරවන්න ගිය කුමන්ත්‍රණය හෙළිවීමත් එක්ක 1812 දී රජතුමා පිළිමතලාවේව හිස ගසා මරා දමනවා.

ඒ අවස්ථාවේ එයාගේ පුතා වුණු පිළිමතලාවේ [කණිෂ්ඨ] රාජ සේවයෙන් පහ කරන්න රජතුමා නියම කරනවා. එහෙම පහ කළත් කිසියම් ඉල්ලීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න කියලා කියපු අවස්ථාවේ පිළිමතලාවේ [කණිෂ්ඨ] රජතුමාගෙන් ඉල්ලනවා තමන්ට දළදා හාමුදුරුවන්ට වන්දනා කරන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා.

පස්සේ රජතුමා ඒකට අවස්ථාවක් ලබාදෙනවා විතරක් නෙමෙයි පිළිමතලාවේ [කණිෂ්ඨ] දළදා මාළිගාවේ දියවඩන නිළමේ විදිහට පත් කරලා සෑම දිනකම දළදාවට වන්දනා කිරීමේ පුද සත්කාර කිරීමේ වගකීම පවරනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රාජ සභාව

ඇහැළේපොළ හබය ගැන කතා කළොත් ඒක ගැටුමක් දක්වා වර්ධනය කරන්නේ රාජ සභාවේ සිටිය ඇහැළේපොළගේ ප්‍රතිවාදියා වුණු මොල්ලිගොඩ. ඔහු ඇහැළේපොළ රජුට එව්ව ලියුම් විකෘති කරමින් රජු හා ඇහැළේපොළ කෙටවීමේ වැඩපිළිවෙලක් ගෙන ගියා. අවසානයේ සිදුවූ දේ අපි හැමෝම දන්නවානේ.

ඇහැලේපොළ දරුවන් මැරීම නමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන පුස්කොළ පොතේ දක්වන්නේ ඒ ගැන කියන්නේ මෙහෙම.

"........රාජද්‍රෝහීකම් කොට පැන ගිය වුන්ට  සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් [රජු] ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජද්‍රෝහීකම් කොට පැන ගිය උන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහ දමන්ටත් ගැහැණු දියේ ගිල්වා මරන්ටත් නීතිය තිබේ යයි කීවේය....."

මේ කරුණෙන් පැහැදිලි වෙන්නේ රජතුමා අමුතු දඬුවමක් නොව එකල පැවති දඬුවමක් ක්‍රියාත්මක කළ බව. රජතුමා මාෂල්ට දීපු උත්තරෙනුත් ඒ බව පැහැදිලියිනේ. රජ කාලේ තිබුණු දෙතිස් වධ ක්‍රම ගැන හොයලා බැලුවොත් අතිශය අමානුෂික දඬුවම් සිංහලයන් සතුව තිබුණු බවත් පැහැදිලියි.

ඒ වගේමයි මෙහි අනිත් කතාව වෙන්නේ රජතුමා කෲර පාලකයෙක් බව පෙන්නන්න ඉංග්‍රීසින් මේ කතාවට තාර බරක් දැම්මා කියන එක. සමකාලීන ඉංග්‍රීසි ලේඛකයන් මේ සිදුවීම විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙන එකෙන් මේ සිදුවීම ගැන නිවැරදිව කරුණු ඉංග්‍රීසින් අතට ලැබුණාද කියන එක සැක සහිතයි.

මේ කරුණුවලින් මම කියන්නේ නැහැ ඇහැලේපොළ දරුවන්ගේ හිස ගසාදාලා කුමාරිහාමිව දියේ ගිල්ලලා මැරුවේ නැහැ කියලා. නමුත් දරුවන්ගේ හිස් වංගෙඩියේ දා කෙටවීම වගේ කරුණු අතිශයෝක්තියෙන් රජුව ජනතාවට කළකරවීමට ගොතපු බවයි පෙනෙන්නේ.

රජතුමා හොඳ කලාකාමියෙක් බව පෙනෙන්නේ පත්තිරිප්පුව, මඟුල් මඩුව, කිරි මුහුද වගේ නිර්මාණ කරවමින් නගර අලංකාරයට කටයුතු කරවපු එකෙන්. ඒ වගේම සංගීතය, කාව්‍යකරණයටත් රජතුමා ඇල්මක් වගේම හැකියාවක් දක්වපු බවයි කියවෙන්නේ.

රජතුමාගේ ආගමික අංශයට කළ දායකත්වය ගැනත් සඳහනක් කරන්නම්.

පිළිමතලාවේ මහාදිකාරම් අස්ගිරිය විජයසුන්දරාරාමයේ නව විහාර ගෙයක් ඉදි කරනවා. ඒකේ තිබුණු විශේෂත්වය තමා තනි කලු ගලෙන් නෙළපු වඩු රියන් 12 ක් දිග සැතපෙන බුදු පිළිමයක් එහි තිබීම. ඒ විහාරයේ විවෘත කිරීමට ආපු රජතුමා උඩ අස්ගිරිය සහ කහවත්ත ගම් විහාරයට පූජා කරනවා.

ඊට පස්සේ සැතපෙන බුදු පිළිමය අසළ ගලේ තවත් ඉඩ තිබුණු නිසා ඒ ප්‍රදානය ඒ ස්ථානයේ සටහන් කරන්න කියලා ගල් වඩුවන්ට නියම කරනවා. මාස දෙකකට පස්සේ එතනට නැවතත් ආපු රජතුමා ගල් වඩුවන් රාජ නියෝගය ඉටු කරලා තියෙනවා දැකලා සතුටු වෙලා ඔවුන්ට මහ අරමුදලෙන් ගෙවීම් කරලා තියෙනවා

කලින් දක්වපු විදිහට  ඉහළ පෙළේ රදළයන් රජතුමාට එරෙහිව සිටියත් විශේෂම කරුණ වෙන්නේ මධ්‍යම හා පහළ පංතිවල නිලධාරීන් රජුට දැඩි පක්ෂපාතීතවයක් දැක්වීමයි. ඒකට හේතුව වුණේ රජතුමා ඉහළ රදළයන් කරපු දූෂණ හා අසාධාරණකම්වල විරුද්ධ වෙමින් රදළ බලය බිඳ දමන්න කටයුතු කිරිම.

උදාහරණයක් විදිහට රජතුමා 1805 දී තමන්ගේ යටත් වැසියන්ව දැඩි පීඩාවකට ලක් කරලා අධිකව පොලී අනුපාත අය කරමින් මුදල් දුන්නු දිසාවේවරු තුන් දෙනෙක්ට දැඩි දඬුවම් දීලා තනතුරෙන් පහ කරලා ඔවුන්ගේ ඉඩම් යටත් වැසියන්ට පවරා දුන් බව කියවෙන සීට්ටුවක් හමුවෙලා තියෙනවා.

රදළයන් හැකිතාක් උත්සහ කළේ රජතුමා රූකඩයක් ලෙස ඔවුන්ගේ සිතැඟි පරිදි ක්‍රියා කරන අයෙක් විදිහට තබාගන්න. උඩරට රාජ සභාව තුළ රදළයන් සතු වුණු බලය මීට කලින් "රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව" කියන සටහනෙන් අපි කතා කළානේ

අවසානයේ සිද්ධ වුනේ රජතුමාට වඩා ඉහළ රදළයන් බලවත් වීම නිසා රජතුමාට සිහසුන අහිමිවීම.

බෝමුරේ උඩුපිටියේ ආරච්චිල රජු වෙනුවෙන් දිවි පිදීම වගේම රජතුමා කොළඹට කැඳවාගෙන යන අවස්ථාවේදී එතනට පැමිණි පුවක්ගොල්ලේ මැණික් රාළ හා පුංචිරාළ කියන මොහොට්ටාලවරු රජතුමාගේ දෙපා සිඹිමින් හැඬූ බව දැක්වෙන සඳහනෙන් පහළ නිලධාරීන් තුළ වුණු රාජපාක්ෂිකභාවය තේරුම් ගන්න පුලුවන්

ඒ කොහොම වුණත් රජතුමාව මත්පැන්වලට ගිජු කරවන්න ඉංග්‍රීසින් සමත් වීමත් එක්ක සිහිමඳ තත්වයකින් රජතුමා අවසන් කාලයේ දී ගත කරලා තිබෙනවා. 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලියි රජතුමාගේ තිබුණු බේබදුකම.

ඉහත දක්වපු ඇහැලේපොළ ඛේදවාචකයට මුල්වුණු තීන්දුවට රජතුමාට අත්සන් කරන්නේ බීමතින් සිටිය අවස්ථාවක කියලත් කියවෙනවා.  

ඒ වගේමයි මේ රජතුමා සහ රදළයන් අතරත් ඒ වගේම රදළයන් රදළයන් අතරත් වුණු ගැටුම් අවුලන්න කටයුතු කරපු, ඒ වගේම රජතුමා අපහසුතාවයට පත් කරන්න කට කතා ගොතපු මහ මොළකාරයා වුණේ ඒ කාලේ ඉංග්‍රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලි. එයා ගැනත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්නයි බලාපොරොත්තුව.

මේ කරුණු කීපයත් මීලඟට ලියවෙන ජොන් ඩොයිලි ගැන ලිපියත් කියවලා බලලාම ඔයාල තීරණය කරන්න රජතුමා කෲර කෙනෙක්ද කියලා.

ලබන සතිය වෙනකම් ඉන්න වෙන නිසා මෙන්න පොඩි තෑග්ගක්. මේ 1906 දී ජෝන් ද සිල්වා මහතා නිෂ්පාදනය කරපු "ශ්‍රී වික්‍රම" නූර්තියේ එන ගීතයක්. මේකේ විදිහට නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හුඟක් හොඳ පාලකයෙක්


මේ ලිපිය ලියන්න පාදක කරගත්තු පොත් තමා

උඩරට මහ කැරැල්ල - තුන්වෙනි කාණ්ඩය : ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද
මඟ දිගට ජනකතා : ඩී.පී වික්‍රමසිංහ
ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ : මහාචාර්ය අනුර මනතුංග
එදා උඩරට : කරුණාරත්න දසනායක
ත්‍රි සිංහලය : පෝල් ඊ. පීරිස්
උඩරට විත්ති : පී.එම්.පී. අභයසිංහ
සිංහලේ : ඇල්ලේපොල එච්.එම්. සෝමරත්න
සරණඞකර සඞඝරාජ සමය : කොටගම වාචිස්සර හිමි
සහ අන්තර්ජාලයෙන් කියෝපු ලිපි කීපයක්ම. ඡායාරූපත් සෑහෙන ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ලබාගත්තු ඒවා

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ ඔක්කොම පින්තූරෙ බලන්න මෙතනින් යන්න පුලුවන්

ප.ලි.: මේ ලිපියෙන් කතාව ඉවර කරන්න හිතුවත් ජෝන් ඩොයිලි ගැනත් ලියන්න කියලා ඉල්ලීම කීපයක් ආවා. එයාත් මේ කතාවේ ලොකු කොටස්කාරයෙක් නිසා එයා ගැනත් කියවන එක හොඳයි මේ කතාව තව හොඳින් තේරුම් ගන්න