Saturday, April 19, 2014

දෙමළාගේ ප්‍රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ



උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා. 

මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා. 

ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out  වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා. 

"සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා.

"කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා. 

සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා. 

දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා. 

එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා. 

තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ. 

"මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා. 

"ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා. 

"මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා. 

"එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ"

තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා. 

"අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා. 

"තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා. 

කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි. 

"ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්‍රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්. 

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා" 

මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා.

උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා. 

"හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා. 

"රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.

"බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා.  

හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා. 

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා.

ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න.

Sunday, March 23, 2014

හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක්



ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන රුවන්මැලි මහා සෑයටත් බෞද්ධයන්ගේ විශාල ගෞරව සත්කාර හිමිවෙනවා.


මේ අතරිනුත් ලංකාවාසීන් බෞද්ධයන් ප්‍රමුඛත්වයේලා සළකන පූජනීය වස්තුව වෙන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන බුදුන් වහන්සේගේ වම් යටි දළදාව. එයට කෙතරම් ගෞරවාදරයක් ලාංකිකයන් දක්වනවාද කියනවා නම් දළදා හාමුදුරුවෝ, දළදා වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ කියන ගරු නම් එයට යොදා තිබෙනවා. ඒ හැරෙන්නට වර්තමානයේ ලංකාවේ රජෙක් නැති වුණත් ජීවමානව සිටින රජෙක්ට හා සමානව ගරු බුහුමන් ලබන්නේත් දළදා වහන්සේ. 

අනුරාධපුර රාජධානි සමයේදී කළිඟු රටින් හේමමාලා සහ දන්ත යුවළ මෙරටට වැඩම කරවපු දළදා වහන්සේ ක්‍රමයෙන් වන්දනීය තත්වයකටත් වඩා බලවත් තත්වයකට පත්වුණා. ඒ ලක් සිහසුන හිමි තැනැත්තා සතුව අනිවාර්යෙන්ම දළදාව තිබිය යුතුයි කියන මහජන පිළිගැනීමත් එක්ක. 

අනුරාධපුර දළදා මාළිගාව

මේ හේතුව නිසා තමන්ගේ රාජ්‍ය බලය උපදින්නේ දළදා හාමුදුරුවෝ නිසා කියලා පිළිගත්තු රජ දරුවෝ කීප වරක්ම ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කෙරුණා ඒ වගේමයි දළදා වහන්සේට රජුන්ගේත් රජු විදිහට සළකලා පුද සත්කාර කරන්න නියම කළා. මේ නිසා දළදාව වැඩ වසන ගොඩනැගිල්ල "දළදා මාළිගාව" විදිහටත් රජතුමාගේ පුද්ගලික නිලධාරී මණ්ඩලය හා සමානව දළදා වහන්සේටත් පුද්ගලික නිලධාරීන් මණ්ඩලයක් පත් කෙරුණේ. දළදා වහන්සේට කළ යුතු වත් පිළිවෙත් සම්බන්ධව දළදා සිරිත නමින් පොත් පත් වගේම දාඨාවංසය, දළදා පූජාවලිය ආදී පොත් පත් එහෙමත් රචනා වුණා. 

මහනුවර දළදා මාළිගාව

අනුරාධපුරයේ ඉදන් රාජධානි සංක්‍රමණය වීමත් දළදා වහන්සේත් නොයෙක් තැන්වලට වැඩම කරවලා අවසාන වශයෙන් මහනුවර දළදා මාළිගාවේ ස්ථීරවම තැන්පත් කෙරුණා. මේ කරුණු කාරණා තවත් දීර්ඝව විස්තර කරන්න පුලුවන් වුණත් එහෙම නොකරන්නේ මේ විදිහට පඳුරු තලාගෙන ආවේ අද කරන හෙළිදරව්වට ප්‍රවේශය ගන්න ඕනේ නිසා. .

ඒ තමා දළදා වහන්සේට කරන පුද සිරිත් කරන්නේ කොහොමද කියලා කියන එක. මේකෙදී වර්තමානයේ මහනුවර දළදා මාළිගාවේදී දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සිරිත් සම්බන්ධව තමා අද කතාවෙන් හෙළි කරන්න යන්නේ. 

මේ මේ වේලාවන්වලදී ආහාර ගිලන්පස ආදිය පූජා කරලා දළදා පූජාව පවත්වනවා කියලා කියනවා ඇරෙන්න ඒ තොරතුරු සවිස්තරාත්මකව දක්වලා තියෙනවා මම දැකලා නැහැ. ඒ වගේමයි මේ පුද සිරිත් රහසිගතව ඒවාට සම්බන්ධ වෙන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරීම නිසා ඒවා සම්බන්ධ දන්නා පිරිස බොහොම සීමිත වෙලා තිබෙනවා.


ඒ.එම්. හෝකාර්ට්

ඒ කෙසේ වෙතත් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් විදිහට 1922 සිට 1927 දක්වා සේවය කරපු ඉංග්‍රීසි ජාතික ඒ.එම්. හෝකාර්ට් මහතාට මේ සියලු පුද සිරිත් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය හිමිවෙනවා විතරක් නෙමේ ඒ සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධව විමසීමටත් අවස්ථාව උදා වෙනවා. 

දළදාව උදෙසා සිදු කරන පුද සිරිත් සඳහා "තේවාව" කියන වචනය භාවිතා කෙරෙනවා. මේ වචනය සැකසුණාය කියන්නේ "තේවෛයි" කියන දමිළ වදනින් කියලා තමා පිළිගැනෙන්නේ. රජතුමෙක්ට කරන පුද සත්කාර සහ ආවතේව සඳහා තමා තේවෛයි කියන වදන භාවිතා වෙලා තියෙන්නේ. ලංකාවේදී දළදාවටත් රජෙක් හා සමානව පුද සත්කාර කිරීමත් එක්ක "තේවාව" කියන යෙදුම භාවිතා වෙලා තියෙනවා. මේ හැරෙන්නට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරද්දී උන්වහන්සේට අග්‍ර උපස්ථායක ආනනද හාමුදුරුවෝ කරපු පුද සත්කාරත් මේ තේවාවේදී ගුරු කොට ගන්නවා.

මහනුවර දළදා මාළිගාවේ සිදු කෙරෙන දළදා තේවාව ගත්තාම ඒක භික්ෂූන් වහන්සේලාගේ වගේම ගිහි නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් තමා සිදුවෙන්නේ. මේ සඳහා සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලා සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකට තමා අයිති වෙන්නේ.

වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව ද්විත්වය අතර මේ තේවාව හුවමාරු වීම ඇසළ පොහොය දවසට සිදුවෙන වස් සමාදන් වීමත් එක්ක සිදු වෙනවා. තේවාව සඳහා භික්ෂූන් වහන්සේලාව තෝරාගද්දි උන්වහන්සේලාගේ කැපවීම වගේම වගකීම් දැරීම ආදිය සම්බන්ධවත් සොයලා බලන බවයි කියවෙන්නේ. 


පල්ලේමාලේ විහාරයේ පිවිසුම සහ අභ්‍යන්තරය

ඒ වගේමයි එක් වරම දළදා තේවාව සඳහාත් තෝරාගත් භික්ෂූන් වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. මුලින්ම දළදා මාළිගාවේ පත්තිරිප්පුවට පිවිසෙන දොරටුව අසළ තිබෙන පල්ලේමාලේ විහාරයේ තේවාව සඳහා තමා උන්වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ. පල්ලේමාලේ විහාරයේ කටයුතු හොඳින් සිදු කිරීම මත වැඩ සිටින මාළිගාවේ එහෙමත් නැත්නම් ඉහළ මාලයේ වැඩ වසන දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කිරීමේ භාග්‍යය උන්වහන්සේලාට හිමිවෙනවා.

 ගිහි නිලධාරීන්ව ඒ ඒ අවස්ථාවලදී හඳුන්වා දෙන එක කරන්නම්. එක දෙයක් පමණක් මේ අවස්ථාවේ කියන්නම් ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න එක.

වැඩසිටින මාළිගාවේ පැරණි ඡායාරූපයක්

දළදා තේවාව සිදු කරන්නේ දළදා වහන්සේ වෙනුවෙන්නේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනේ. ඒත් දළදා වහන්සේ වැඩ සිටින තැන ගැන හරියටම කියන්න එපැයි. දළදා මාළිගාවේ මධ්‍යයේ තියෙන පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තමා දළදාව තැන්පත් කරලා තිබෙන්නේ.

මේ නිසා ඒ ගොඩනැගිල්ල වැඩසිටින මාළිගය විදිහට හඳුන්වනවා. මේ ගොඩනැගිල්ලට පහළ තට්ටුවෙන් වගේම ඉහළ තට්ටුවෙනුත් පිවිසීමේ හැකියාව තිබෙනවා. [දළදාව වැඩ සිටින මාළිගය සම්බන්ධව ඉදිරියේදී වෙනමම සටහනක් ලියන්න අදහසක් තියෙන නිසා වැඩි විස්තරයක් මෙතනදී කරන්න බලාපොරොත්තුවක් නැහැ]

හේවිසි මණ්ඩපයට වී හේවිසි වාදනය කරන ශිල්පීන්

දළදා තේවාව සුපුරුදු පරිදි දිනපතා කුමන වාතාවරණයකදී වුවත් පැවැත්වෙනවා. මේ දළදා තේවාවේ ආරම්භය සිදුවෙන්නේ උදෑසන 5.15 ට පමණ ආරම්භ වෙන "අලුයම් පූජාවෙන්". දළදා මාළිගාවේ හේවිසි වාදනය භාර වෙලා ඉන්න පිරිස වැඩසිටින මාළිගාවේ ඉදිරියේ තිබෙන හේවිසි මණ්ඩපයේ ඉදන් හේවිසි වාදනය ආරම්භ කිරීමත් එක්ක තමා අලුයම් පූජාව ආරම්භ වෙන්නේ. 

නිල ඇඳුමින් සැරසුණු ගිහි නිලධාරීන් [ඉදිරි පෙළ වම් පස සිට තෙවැන්න කාරියකරවන රාළ]

මුලින්ම ගිහි නිලධාරීන් තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසිලා තේවාව භාර භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන එන්න පිටත් වෙනවා. දළදා මාළිගාවේම කොටසක තේවාව භාරව සිටින මල්වතු පාර්ශවයේ හෝ අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. උන්වහන්සේලාත් ඒ අවස්ථාව වෙද්දී තුන් සිවුරින් සැරසිලා සිවුරු එහා මෙහා යන එක වළක්වන්න පටියකුත් ඉණ වටා බැඳගෙන සූදානම් වෙලා ඉන්නේ. 

මේ ඡායාරූපයේ අස්ගිරි මහනාහිමියන් සහ අනෙක් භික්ෂූන් වහන්සේලා සැරසී සිටින ආකාරය බලන්න

උන්වහන්සේලා තේවාවට එකතු වුණාට පස්සේ සිවුරු සකස් කිරීම දළදා වහන්සේට කරන අගෞරවයක් විදිහටයි සැලකෙන්නේ. ඒ වගේමයි ඒ ආකාරයෙන් සැරසී නොසිටින භික්ෂූන් වහන්සේලාට දළදා තේවාවට සම්බන්ධ වීමත් තහනම්. උදාහරණයක් විදිහට කිව්වොත් එක අවස්ථාවක දළදා තේවාවට අස්ගිරි මහානායක හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා මම දැක්කා. උන්වහන්සේ පවා මේ ආකාරයෙන් තමා සැරසිලා හිටියේ.

ගිහි නිලධාරීන් තේවාව භාර භික්ෂූන් වහන්සේලාට නමස්කර කළාට පස්සේ වට්ටෝරු රාළ [වැඩ සිටින මාළිගාවේ යතුරු ඒ වගේම තේවාව සඳහා භාවිතා කරන භාණ්ඩවල වගකීම භාරව ඉන්න නිලධාරියා] තේවාව භාර ප්‍රධාන භික්ෂූන් වහන්සේගෙන් වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල භාර ගන්නවා. මේ යතුරු කැරැල්ල මිටියක් විදිහට තමා පේන්න තියෙන්නේ ලේන්සුවලින් ඔතලා තියෙන නිසා.

 තේවාව භාර භික්ෂූන් වහන්සේලා සහ දියවඩන නිළමේතුමා ප්‍රමුඛ ප්‍රධාන ගිහි නිලධාරීන් 
[මෙහි දකුණු පස පොදියක් කරේ තබාගෙන සිටිනේ වට්ටෝරු රාළ]

මේ යතුරු කැරලි මිටියේ උඩින්ම තියෙන ලේන්සුව ඉවත් කළාම පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල තියෙන මිටිය තිබෙනවා. ඒකට පස්සේ තියෙන ලේන්සුව ඉවත් කළාම තමා වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල තියෙන්නේ. වට්ටෝරු රාළ යතුරු මිටියේ උරහිසේ රඳවා ගැනීමත් එක්ක පැරණි සම්ප්‍රදායට පන්දම්කරුවෙක් පෙරටු කරගෙන තමා තේවාව  භාර භික්ෂූන් වහන්සේලාව වැඩ සිටින මාළිගාව ඉදිරිපිටට ගිහි නිලධාරීන් විසින් වැඩම කරවා ගෙන එන්නේ.

වැඩ සිටින මාළිගාව ඉදිරියට පැමිණියාම තේවාව භාර භික්ෂූන් වහන්සේලාගේ පා ධෝවනය කිරීම සිදු කෙරෙනවා. ඊට පස්සේ වැඩ සිටින මාළිගාව ඉදිරියේදී යතුරු මිටිය ලෙහන වට්ටෝරු රාළ පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල සහ භික්ෂූන් වහන්සේලාව පල්ලේමාලේ විහාරයේ කටයුතුවලට සම්බන්ධ පල්ලේමාලේ රාළ ඇතුළු නිලධාරීන් එක්ක පිටත් කරනවා.

 වැඩසිටින මාළිගයට පහත මාලයෙන් පිවිසෙන දොරටුව. [දොරටුව අසළ සිටින්නේ දොරකඩ ආරච්චි]

පස්සේ වට්ටෝරු රාළ වැඩ සිටින මාළිගාවේ පහළ මාලයේ දොරටුව විවෘත කරනවා.පහත මාලයට පිවිසෙන තේවාව භාර භික්ෂූන් වහන්සේලා අභ්‍යන්තරයේ තියෙන සෝපානයෙන් දළදාව තැන්පත් කර තිබෙන ඉහළ මාලයට පිවිසෙනවා.

  ඉහළ මාලයේ රිදී දොර සහ රන් දොර පිළිවෙලින්

 ඉහළ මාලයේ වසා ඇති රිදී දොරටුව

වට්ටෝරු රාළ පිළිවෙලින් ඉහළ මාලයේ රිදී දොරත් ඊට පසුව දළදාව වැඩ සිටින ගන්ධ කුටියේ රන් දොරත් විවෘත කරනවා. මේ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙන්න ඝණ්ඨාරය නාද කෙරෙනවා. තේවාව ආරම්භ කරන්න කලින් පත්කඩේ එළලා භික්ෂූන් වහන්සේලා වගේම ගිහි නිලධාරීනුත් පසඟ පිහිටවලා දළදා වහන්සේට නමස්කාර කරනවා.


ඊට පස්සේ දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට තේවාව භාර භික්ෂූන් වහන්සේලා පිවිසෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා දළදාව ඉදිරියේ තිබෙන පූජාසනය ඉදිරියට වෙලා නමස්කාර කරමින් මේ ගාථා තුන සජ්ඣායනා කරනවා. 

යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ 
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදි මහාසමණෝ

තිට්ඨංතෙ නිබ්බුතෙ වාපි - සමචිත්තේ සමං ඵලං 
චේතෝපණි දිට්ඨේහි - සත්ථා ගච්ඡන්ති සුග්ගතිං

යාවතා භගවා ලෝකේ - තිට්ඨ්‍යෙය තව සාසනං 
තාව තත්වාන ගණ්හාතු - පූජං ලෝකානුකම්පයා

මේ ගාථා සජ්ඣායනාව නිමාවීමත් එක්ක නැවත වරක් භිෂූන් වහන්සේලා දළදාවට නමස්කාර කිරීමත් එක්කම කත්තියන රාළ [වැඩ සිටින මාළිගාවට බුද්ධ පූජාව හේම කඳෙන් රැගෙන ඒම, පාත්‍රවලට දානය බෙදීම වගේ කාර්යය ඉටු කරන නිලධාරියා] විසින් දළදා වහන්සේ වෙනුවෙන් රන් කෙණ්ඩි දෙකකට ජලය පුරවලා භික්ෂූන් වහන්සේලාගේ අතට පත් කරනවා.

මහනුවර මහ දේවාලයේ ඇති රිදී පැන් කෙණ්ඩියක්.
දළදා මාළිගාවේද ඇත්තේ මේ ආකාරයේම එකක් විය හැකිය.

මේ එක් කෙණ්ඩියක ජලය පානීය ජලය විදිහටත් තමා සැලකෙන්නේ. ඒ නිසා ඒ කෙණ්ඩිය මදක් ඉහළට ඔසවලා දළදා වහන්සේට පැන් පූජාවක් විදිහට පූජා කරලා භික්ෂූන් වහන්සේලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

මධූ ච තලූනේ නාථ - ජාල චිත්තේ සුලක්ඛණේ 
සභාවා පරිසුද්ධෙන - සෝධෙතු කර පල්ලවේ

මේ පැන් පූජාවෙන් පස්සේ භික්ෂූන් වහන්සේ නමක් රන් මිටකට දැහැටි කූරක් සවි කරලා තුන් වරක් ඉහළට පහළට දැහැටි කූරගෙන අරගෙන ගිහින් දත් මදින ආකාරය දක්වලා දැහැටි කූර දළදාවට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

නාගලතා දන්ත කට්ඨං - අනෝතත්තෝදකං යථා 
පතිගණ්හාතු භගවා - දන්ත පෝනෝදකං ඉමං

ඊට පස්සේ රන් මිටෙන් දැහැටි කූර ඉවත් කරලා රන් මිට නැවත වතාවක් පූජාසනයෙන් තියලා දැහැටි භාවිතා කිරීමෙන් පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය සේදීම සංකේවත් කරමින් අනික් රන් කෙණ්ඩියේ තිබෙන ධෝවනය සඳහා තියෙන ජලය තෙවරක් කලාන්සියට [පඩික්කමට] වත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

භදන්තානන්ද ථෙරෝ ව - සුද්ධ කප්පෙන චාරිනා 
නහාපයං අහං සාක්‍ය - පුංගචං ලෝක සොත්ථියා

ඊට පස්සේ තෙත මාත්තුව සඳහා භාවිතා කෙරෙන සළුව තෙවරක් ඉහළට පහළට අරගෙන ගිහින් බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය පිස දැමීන සංකේතවත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථා සජ්ඣායනා කරනවා. 

ධාවන්ත සර්දබ්බේවා - උපරුපා පාරින්දනා 
විසුද්ධවාසසා තුය්හං - කරොමි මුඛ පුංචනම් 

තනුසෙට්ඨ දුකුලේන - පාටවාස සුගන්ධිනා 
කරොමි මුනිනෝ භන්තෙ - නහනෝදක පුංගවම් 

ඊට පස්සේ රන් හුයෙන් කරපු තුන් සිවුර දළදා වහන්සේට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

කොස්‍යෙය කාසි ජාතෙන - කුංකුමාරට්ඨ කන්තිනා 
තිචීවරෙන භගවන්තං - අච්ඡාදෙමි තථාගත

ඊට පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ධෝවනය කිරීම සංකේතවත් කරමින් තෙවරක් කාලාන්සියට ජලය වත් කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

සබ්බකාර චරෝපේත - චක්ක ලක්ඛණ මණ්ඩිතම් 
නාථ ධෝවාමි පාදේථ - දේවා බ්‍රහ්මාහි වන්දතේ

ඊට පස්සේ දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන කරඬුව තබා තිබෙන මුතු මැණික් සහ රනින් සරසපු ආසනය පූජා කිරීම මේ ගාථාව සජ්ඣායනා කිරීමෙන් සිදු කරනවා.

නානා මණි සුවණ්ණේසි - කාසිතම් චාරු භාසුරං 
මහාරහාමි ඉධං සාධු - ආසනං දෙමි සත්ථුනෝ

 රන් අවාන හෙවත් වටාපත

මේ අවස්ථාවේදීම රනින් කරපු අවානෙන් දළදා වහන්සේට තෙවරක් පවන් සැලීමත් සිදු කරනවා. අවානෙන් පවන් සැලීමෙන් පස්සේ අවාන පසෙකින් තියෙලා චාමරය අරගෙන මේ ගාථාව සජ්ඣායනා කරමින් චාමර සලනවා.

තිලෝක නාථං බුද්ධං - සිද්ධම් සුද්ධ ගුණාකරම් 
මහාරහේන සුගතං - පූජකේ චාමරේනහං 

ඊළඟට සිද්ධ වෙනේ බුදුන් වහන්සේගේ මධුර වුණු ධර්ම දේශනා ස්වරයට පූජෝපහාරයක් විදිහට රන් මිණි ගෙඩියක් නාද කරමින් මිණි පූජාව සිදු කිරීම. එය සිදුවෙද්දි මේ ගාථාව සජ්ඣායනා කරනවා.

ඝංටාර චානුකාරෙන - සරෙන මධුරේනවා 
යං ධම්ම දේසයි සත්ථා - තස්සා ඝංටාය පූජයේ 

 දළදා මාළිගයේ ඇති රිදී පහනක්

මේ පූජාවෙන් පස්සේ මෙතෙක් පූජා කටයුතු සඳහා භාවිතා කරපු පූජා උපකරණ සියල්ලම ගන්ධ කුටියෙන් බැහැරට ගෙනියනවා. ඊට පස්සේ කපුරු ආධාරයෙන් පහන් දල්වලා වර්තමානයේදී පවා පහන් පූජාවේදී සජ්ඣායනා කරන ගාථාව සජ්ඣායනා කරනවා.

ඝනසාරප්ප දිත්තේන - දීපෙන තමදංසිනා 
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තථාගතං

පහන් පූජාවෙන් පස්සේ තේවාව භාර භික්ෂූන් වහන්සේලා කලින් දවසේ සන්ධ්‍යාවේදී පූජා කරපු මල් ඉවත් කරලා සඳුන් කපුරාළ [දළදා වහන්සේට පූජා කරන මල්වලට පැන් ඉසීම, පූජා කටයුතු සඳහා යොදාගන්න සඳුන් ගලගා සකස් කිරීම භාර නිලධාරියා] සකස් කරලා තියෙන සඳුන් දමා ඇති බඳුනෙන් සඳුන් අරගෙන ගන්ධ කුටියේ ඉසීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීත් මේ ගාථාව සජ්ඣායනා කරනවා.

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා අහං ගන්ධෙන - පූජයාමි තථාගතං 


ඊට පස්සේ දළදා මාළිගාවට මල් සපයන්නා විසින් සපයපු මල් රන්තැටියේ තැන්පත් කරනවා. මෙහිදී මල් විදිහට බොහෝ විට පූජා කෙරෙන්නේ පිච්ච, සමන් පිච්ච කියන මල්. මල් පූජාව සිදු කරද්දී මේ ගාථාව සජ්ඣායනා කරනවා.

වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතං කුසුම සන්තතිං 
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ

මල් පූජාවෙන් පස්සේ අලුයම් පූජාවේ මුල් කොටස අවසන් වෙනවා. ඒ සමඟම ඝණ්ඨාරය තෙවරක් නාද කරනවා වගේම හේවිසි වාදනය නවත්වනවා. ඊට පස්සේ දළදා තේවාවට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා පත්කඩේ එළලා පසඟ පිහිටුවලා දළදා වහන්සේට නමස්කාර කරනවා. ඒ සමඟම

ඉහළ මාලයෙන් වැඩසිටින මාළිගයට පිවිසිය හැකි දොරටුව

වැඩ සිටින මාළිගයේ ඉහළ මාළයට පිවිසිය හැකි දොරටුව විවෘත කරලා වන්දනාකරුවන්ට දළදා වහන්සේ තැන්පත් කොට තිබෙන කරඬුව දැක බලා වන්දනා කිරීමට, මල් පූජා කිරීමට අවස්ථාව ලබාදෙනවා. මේ අවස්ථාවේදී දොරටුව අසළ සිටින ගිහි නිලධාරියෙක්ට දළදා වහන්සේට පූජා කිරීම සඳහා මල් ලබාදෙන්නත් වන්දනාකරුවන්ට පුලුවන්.


මේ අවස්ථාවේදී තමා අලුයම් පූජාවේ මීළඟ කොටස ආරම්භ කරන්න කත්තියනරාළ බුද්ධ පූජාව රැගෙන එන්න මුළුතැගෙයට පිටත් වෙන්නේ.

ඊළඟට සිදුවන කටයුතු සහ අනෙකුත් තේවාවන් ගැන මීළඟ සටහනෙන් කියන්නම්. මේ විදිහට කොටස් කරන්නේ එකක් ගොඩක් කරුණු එක පාරම කිව්වාම වෙන ගැටළු අවම කරවන්න. ඒ වගේමයි නොතේරෙන දෙයක් තියෙනවා නම් තවත් සවිස්තරාත්මකව මීළඟ සටහනට ඇතුළත් කරන්න. 

සටහන ලියන්න උපයෝගී කරගත්තේ ඒ.ඇම්. හෝකාර්ට්ගේ වාර්තාවත් ඇතුළත් කරමින් සරත්චන්ද්‍ර ජයකොඩි විසින් රචනා කළ සිරි දළදා පවත කෘතිය, බුදුසරණ, සිළුමිණ හා දිවයින පුවත්පත්වල පළවූ ලිපි කීපයක් සහ මගේ අත්දැකීම් කීපයක්.

ඡායාරූප බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් සොයා ගත්තේ. පූජා භාණ්ඩවල ඡායාරූප ලබාගත්තේ ආනන්ද කුමාරස්වාමි මහතා විසින් රචනා කළ ලද Medieval Sinhalese Art කෘතියේ සිංහල පරිවර්තනය වූ මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙන්.

Saturday, March 8, 2014

උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ


අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.

කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයිති දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේත්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේත් ආදි කර්තෲවරයා වගේම පළමු මහානායක හිමියන් වුණෙත් උන්වහන්සේ නිසා. දැන් තව ගැටලුවක් ඇති කොහොමද නිකාය දෙකක මහානායක ධූරය එක හාමුදුරු නමක් දැරුවේ කියලා. ඒ ගැනත් කියන්නම්කෝ.

ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ

1758 මාතර කපුගම දිනෙස් ද සිල්වා සහ ජයසිංහ කළුහාමි දෙපළට දාව ඉපදුණු නන්දෝරිස් නම් පුත්‍රයා කුඩා කාලයේ ඉදන්ම බුදු දහම ඇල්මක් දක්වනවා වගේම ගාථා පිරිත් ආදිය කියන්නත් සුවිශේෂී දක්ෂකමක් දක්වනවා. ඒ කාලයේ මහබද්දේ මුදලි ධූරය දරපු දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමා දවසක් ඒ ප්‍රදේශයෙන් ගමන් කරද්දී නන්දෝරිස් දරුවාගේ මේ දක්ෂකම් දැකලා පැවිදි කරන්න සුදුසු දරුවෙක් කියලා තේරුම් ගන්නවා.

ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ  සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.

උපසම්පදාවට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගැනීමෙන් පස්සේ දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොටගමුව විජයබාහු පිරිවෙනේ සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයේදී කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ වගේම තවත් සාමණේර හිමිවරුන් කීප නමක්ම උපසම්පදාව ලබාගන්නවා.  

ඒත් ටික කලකින් ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳ ගැටලු ඇතිවුණු නිසා නැවත වතාවක් ඉන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1798 දී තංගල්ලේ දී සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයකදී නැවත වතාවක් කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ උපසම්පදාව ලබා ගන්නවා. 

ඊට පස්සේ කොග්ගල ඔයේ සහ රත්ගම ප්‍රදේශයේ පිහිටා තිබුණු උදකුක්ඛේප සීමාවන්වලදී කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම කුලයකටම අයිති සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදෙන්න කටයුතු සිද්ධ වෙනවා. මේ කාලයේදී ධම්මක්ඛන්ධ හිමියන්ට දඩල්ලේ වාළුකාරාමයේ විහාරාධිපති ධූරය වගේම 1804 දී සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරය හොබවපු මිදිගම ධම්මානන්ද මහානායක හිමියන්ගේ කැමැත්ත මත සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරයත් හිමිවෙනවා.

වැලිතර ඤාණවිමලතිස්ස හිමි

මේ කාලවකවානුවේදී ගොවිගම කුලයේ සාමණේරවරුන්ට පමණක් උපසම්පදාව ලබාදෙමින් සියම් නිකාය ගෙනගිය වැඩපිළිවෙල වගේම උඩරට පහතරට භේදයක් පවා ඇති කරමින් සඟ සසුනේ ඇතිවුණු මතභේද හේතු කරගෙන තමන්ට අහිමි වුණු උපසම්පදාව බුරුමයෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වැලිතර ඤාණවිමලතිස්ස හිමියන් ඇතුළු භික්ෂු කණ්ඩායමක් බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරලා එහි වැඩ වාසය කරපු සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන ලංකාවට වැඩම කරවලා 1803 මැයි 15 බලපිටියේ මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා මංගල්‍යයක් පවත්වලා ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කරනවා. මේ නිසා උන්වහන්සේට බුරුමයෙන් මහාධම්ම රාජාධිරාජගුරු ගෞරව නාමය හිමිවෙනවා වගේම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෲ වශයෙන් පිළිගැනෙන්නේත් උන්වහන්සේ.

මේ උපසම්පදා මංගල්‍යය ගැන ආරංචි වීමත් එක්ක බුරුමයට වැඩම කරලා පිරිසිදු උපසම්පදාව ලබාගැනීමේ ආශාව ධම්මක්ඛන්ධ නාහිමියටත් ඇතිවෙනවා. මේ නිසා ධම්මක්ඛන්ධ නාහිමියෝ දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිගේ සහයෝගය ලබාගෙන තවත් හය දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ 1808 දී ගාල්ලෙන් පිටත් වෙලා බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරනවා. උන්වහන්සේ ඇතුළු කණ්ඩාම ශ්වේතහස්ති ස්වාමි වූ පණ්ඩිත මහාධම්මරාජාධිරාජයා විසින් ගෞරවයෙන් පිළි අරගෙන අශෝකාරාම මහා විහාරයේ වැඩ වාසය කළ ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් සමීපයට වැඩම කරවනවා. 

අමරපුරය

ලාංකීය භික්ෂු පිරිස උපසම්පදාවේ පිහිටවන්න කියලා රජතුමා කරපු ආරාධනය පිළිගත්තු සංඝරාජ හිමියෝ 1809 දී ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රධාන භික්ෂු පිරිසට උපසම්පදාව ලබාදෙනවා. ඒ වගේමයි කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ට සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු ගෞරව නාමයත් සංඝනායක  පදවියකුත් ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් පිරිනමනවා. 1810 දී ආපසු මේ ලාංකීය භික්ෂු පිරිස ලංකාවට වැඩම කරවනවා.

1811 දී ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් එවනු ලැබූ සංදේශයකින් ධම්මක්ඛන්ධ හිමියන්ට සංඝරාජ පදවියකුත් පිරිනැමෙනවා. මේ පිළිබඳව කන්ද උඩරට රාජ්‍ය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දන්වන්න නොහැකි වුණු නිසා මේ සංදේශය ඉංග්‍රිසී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත් එක්ක කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ව අමරපුර නිකායේ ප්‍රථම මහානායක හිමිපාණන් වශයෙන් 1814 ජනවාරි 4 වෙනිදා පත් කෙරෙනවා. 

1812 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ දඩල්ලේ වාළුකාරාමයේ මහා මංගල ඛණ්ඩ සීමාව නමින් සීමාවක් සම්මත කරපු ධම්මක්ඛන්ධ මාහිමියෝ අමරපුරයෙන් රැගෙන ආපු උපසම්පදාව තවදුරටත් පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. මේ වෙද්දී වැලිතර ඤාණවිමලතිස්ස මහානායක හිමියන් විසින් ලංකා අමරපුර නිකාය ආරම්භ කරලා තිබුණු නිසා ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇතිවුණු භික්ෂු පිරිස දඩල්ල විහාරය මුල් කොටගෙන කටයුතු කිරීම නිසා දඩලු පාර්ශවය එහෙමත් නැත්නම් දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය නමින් හඳුන්වනවා.

දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය මේ විදිහට වර්ධනය වෙමින් පවතිද්දී 1845 වුණු සිදුවීමක් පාදක කොටගෙන තමා නිකාය භේදයක් හටගන්නේ. බලපිටියේ මාදු ගඟේ ඉදි කරපු උදකුක්ඛේප සීමා මාලකයේදී තමා මේ නිකායේ උපසම්පදා ඇතුළු විනය කර්ම සිදු කරලා තියෙන්නේ.

ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි. 

1851 දී මේ ගැන අදහස් දක්වපු ලංකාගොඩ ධීරානන්ද හිමියන් ප්‍රකාශ කරනවා සීමා මාලකය වටා ජලය වීසි කරද්දී ඒවා ලී පාලමේ වැදුණු නිසා සීමා මාලකය ගොඩබිමත් එක්ක සම්බන්ධ වීම හේතුවෙන් 1845 සිදු කෙරුණු උපසම්පදා නිවැරදි නැහැ කියලා. මේ නිසා 1845 උපසම්පදා වූ අය නැවත උපසම්පදා කළයුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ නිසා උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ තත්වයේ හිටිය අය කණිෂ්ඨ වුණා විතරක් නෙමේ එතෙක් ඒ හිමිවරුන්ට වන්දනා කරපු කණිෂ්ඨ උපසම්පදා හිමිවරුන් මේ තත්වය යටතේ ජ්‍යෙෂ්ඨ වෙන නිසා ඔවුන්ට වන්දනා කරන්නටත් බල කෙරුණා.

ලංකාගොඩ ධීරානන්ද හිමි

සීමා සංකරවාදය නමින් මේ පිළිබඳව නොයෙක් වාද විවාද වසර ගණනාවක් පැවතුණා. අවසානයේදී ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ අදහස් පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනම පාර්ශවයක් වශයෙන් දඩලු පාර්ශවයෙන් බෙදී ගියා. ඒ පාර්ශවයේ අභිනව මහානායක හිමියන් විදිහට සිරි සද්ධම්මවංසපාල  මහාධම්මරාජාධිරාගුරු ගණාචරිය කියන ගෞරව නාමය සහිතව ලංකාගොඩ ධීරානන්ද හිමියන්ව 1865 දී පත් කරගනු ලැබුවා.

ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මාදු ගඟේ පිහිටි ශ්වේජින් සීමා මාලකය

නැවතත් පළමු කතාවට ආවොත් විශාල ශාසනික සේවාවක් සිදු කරන්න පුරෝගාමී වුණු සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ පසු කාලයේදී උපැවිදි වුණු බව තමා කියවෙන්නේ. මේකට හේතු වුණු කාරණා සම්බන්ධව සළකලා බැලුවොත් ඒ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි වෙස්ලියන් නිකායේ පූජකවරුන්ගේ බලපෑම තමා මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ.

ධම්මක්ඛන්ධ හිමියන් සමඟ දිගු කාලයක පටන් වෙස්ලියන් නිකායේ පූජකයෙක් වුණු කාටර් පියතුමා සමීප ඇසුරක් පවත්වලා තියෙනවා. ඒ නිසා එවකට යටත් විජිතය තුළ ප්‍රධාන දේවගැතියා වශයෙන් කටයුතු කරපු  ජෝර්ජ් බිසෙට් පියතුමා සමඟත් සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා.

මේ සබඳතාත් එක්ක ධම්මක්ඛන්ධ හිමියන් සහ පූජකවරු දෙපළ අතර ආගම සම්බන්ධ වාද විවාද ඇතිවුණු බව කියවෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන් උපැවිදි වීම සහ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීම. මේ අවස්ථාවේදී තමන්ට හීරළුවා කියන නම භාවිතා වෙයි කියන බය උන්වහන්සේට ඇතිවුණු බව කියවෙනවා. මේ නිසා වෙස්ලියන් පූජකවරුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබාදෙන්නත් අවශ්‍ය කටයුතු සලසනවා. [මේ ජෝර්ජ් බිසෙට් පියතුමාගේ මස්සිනා කෙනෙක් තමා එවකට ඉංග්‍රීසී ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්] ඒ අනුව උන්වහන්සේ උපැවිදි වීමෙන් නන්දෝරිස් යන පෙර නමම භාවිතයට ගන්නවා.

1816 ජූනි 16 වෙනිදා කොළඹ කොටුවේ පිහිටි වෙස්ලියන් දේවස්ථානයේ පැවති නන්දෝරිස්ගේ බෞතිස්මයට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, අග විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වෙනවා. නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව ක්‍රිස්තියානි කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා මූලිකව කටයුතු කරපු නිසා. ඉංග්‍රීසි ආණ්ඩුවේ වැලිසර සහ මෝදර ප්‍රදේශවල මුදලි තනතුර නන්දෝරිස්ට හිමිවීමත් සමඟ ඔහුව කොළඹ ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේ නමින් හඳුන්වපු බවත් කියවෙනවා.

1818 කැරැල්ල වකවානුවේදී ඔහු කුරුණෑගල රජයේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරනවා වගේම කැරැල්ල මැඩපවත්වන්නත් සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. එහිදී කැරැල්ල අසාර්ථක වීමත් එක්ක සැඟවිලා හිටිය පිළිමතලව්වේ [කණිෂ්ඨ] නිළමේව අල්ලා ගන්නත් දායකත්වයක් දුන් බව සඳහන් වෙනවා.

ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේගේ අවසානය පිළිබඳව තොරතුරු නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසාම මේ සම්බන්ධව තව දුරටත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මේ ගැන තවත් දන්න කියන අය ඉන්නවා නම් ඒ වැඩේ පහසු වේව්.

කරුණු සොයාගන්න පාදක කරගත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු බුද්ධවංසය සාසනවංසය අමරපුරවංසය කෘතියත්, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය රචනා කළ දෙවුන්දර ඉතිහාසය කෘතිය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාවේ XXVIII කලාපය සඳහා කේ.ඩී. පරණවිතානයන් ලියපු Scholar Monks of the Nineteenth Centuary and the Tragic Transformation of the High Priest Ven. Kapugama DhammankkandA Thero ලිපිය සහ අන්තර්ජාලයේ කරුණු කීපයක්.

අවසානයට දක්වපු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපිය හොයලා දීපු ශානක ඉරෝෂන  පීරිස් අයියාට විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි :)

ප.ලි. : මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ :D

Saturday, March 1, 2014

රුපියල් 140 කට පාඩු නැහැ

ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා මම ගියා ජාතික පුස්තකාලෙට.

ජාතික පුස්තකාලේ කියන්නේ බොහොම වටින කියන තැනක්. 1978 ඉදන් [???] මේ දක්වා ලංකාවේ පළවෙන හැම පත්තරයක්ම සඟරාවක්ම එයාලා ගාව තියෙනවා. ඒ වගේමයි හුඟා...ක් පොත් එහෙමත් එතන තියෙනවා. ඒ ගැන විස්තර වෙන දවසක කියන්නම්කෝ. 

ඉතින් හවස 1 විතර වෙනකම් කරන්න වැඩකුත් නැති නිසා ජාතික පුස්තකාලෙන් පොත් දෙක තුනක් බලලා මම ගියා ඒකේ තියෙන පොත් වෙළෙඳසැලට. 


ඒකෙදී හම්බුණු වටිනා කියන පොතක් ගැන තමා මේ කියන්න සූදානම. පොතේ නම පාඨශාලීය සද්ධර්ම කෝෂය. ඒක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ගිහි පැවිදි උගතුන් රාශියකගේ දායකත්වයෙන් රචනා කරලා තියෙන මේ කෘතිය හැමෝටම බොහොම වටිනවා කියලයි මට හිතුණේ. 

"අ" අකුරේ ඉදන් "හේ" අකුර වෙනකම් බුදු දහම, ශාසන ඉතිහාසය එක්ක සම්බන්ධ වෙන විවිධ කරුණු ගැන කෙටියෙන් අවබෝධයක් ගන්න මේ පොතෙන් පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ පොත ආරම්භ කරන්නේ "අ" අකුරෙන් එන අක්කෝසකභාරද්වාජ ගැන කෙටි විස්තරයකින්. තව මැද්දෙන් මැද්දෙන් කිව්වොත් දසබල, වජ්‍රාසනය, සමාපත්ති වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන සාමාන්‍ය සරල විස්තරයක් මේ පොතේ පිටු 272 ක් පුරාවට තියෙනවා. 

නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙන එක තමා හොඳම දේ මේ පොතෙන් සිද්ධ වෙන. 

උදාහරණයක් ගත්තොත් මේකේ තිබිලා මට වචනයක් අහුවුණා "අනුග්‍රහ බුද්ධිය" කියලා. දුගී මගී යාචකයන්ගේ දුක දැකලා අනුග්‍රහයක් විදිහට ආහාර, වස්ත්‍ර දෙන එකට තමා අනුග්‍රහ බුද්ධිය කියන්නේ. ඒකේ අනික් එක "පූජා බුද්ධිය". බුදුන්ට. සඟුන්ට. සසුනට හරි පිදිය යුත්තෙක්ට හරි යම් වස්තුවක් පූජා වේවා කියන සිතුවිල්ලෙන් කරන පූජාව පූජා බුද්ධිය. 

ඒ වගේමයි සමහර වෙලාවට අපිට පොත් කීපයක් පෙරලලා හොයාගන්න වෙන දෙතිස් කතා, දස බල, අසුභානුස්සති 10, ධූතාංග 13 වගේ කාරණා ගොඩකුත් මේ පොතේ තියෙන නිසා එක තැනකින් ඔක්කොම හොයාගන්න පුලුවන් වෙන එකත් ලොකු පහසුවක්

ඉතින් දහම් පාසල් යන දරුවන්ට වගේමයි අනික් ලොකු කුඩා බාල මහළු හැමෝටම වටිනා කියන මේ පොත අරගෙන බලන්න. මිළ රුපියල් 140 යි. මට ඩිස්කවුන්ට් එකකුත් එක්ක රුපියල් 126 කට. කරන සමහර වියදම් එක්ක බලද්දී මේ ගාණ නම් මහ ගාණකුත් නෙමෙයි. අනික මේ පොත ගන්න එක නාස්තියකුත් නෙමෙයි කියලා තමා මගේ හැඟීම

Saturday, February 15, 2014

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව


අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. 

ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් විතරයි.

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්

කාට හරි ඕනේ නම් මේකට ප්‍රති තර්කයක් විදිහට කියන්න පුලුවන් රදළ ප්‍රධානීන් 11 දෙනාම එකම දවසේ නෙමෙයිනේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ කාරණාවත් ඇත්ත තමයි. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම

ඒ ගැන සවිස්තරව කිව්වොත් 1815 මාර්තු 2 වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට අත්සන් තැබුවේ නැහැ. 

යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.

මුල් අවස්ථාවේ ගිවිසුමට අත්සන් තබපු රදළ ප්‍රධානීන් 7 දෙනා තමා මේ ඡායාරූපේ ඉන්නේ කියලා කාට හරි හිතුණත් ඒකත් එක්ක ගැටලු කීපයක් ඇතිවෙනවා. 

ප්‍රධානම ගැටලුව තමා 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණය විධිමත් අන්දමින් තිබුණාද කියන එක. ඡායාරූප ශිල්පයේ ඉතිහාසයට අනුව ලොව පළමු ඡායාරූපය විදිහට පිළිගැනෙන්නේ 1826 දී ගත්ත ඡායාරූපයක්. [මේ සම්බන්ධව මාව නිවැරදි කරපු හැමෝටම ස්තුතියි.]

ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන 1826 දී ගනු ලැබූ ඡායාරූපය

මෙන්න මේ විදිහට කරුණු කාරණා යෙදිලා තියෙද්දී තමා දවසක් මට බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ තිබිලා මෙන්න මේ ඡායාරූපය හම්බෙන්නේ. 


උඩින්ම තියෙන අපැහැදිලි ඡායාරූපයේ හොඳ මට්ටමේ තියෙන ඡායාරූපය මේක කියලා පැහැදිලියිනේ. වෙබ් අඩවියේ තියෙන විස්තරේට අනුව ඒ ඡායාරූපය 1870-1880 අතර කාලයේ ගත්තු එකක් කියලා තමා කියන්නේ. 

දැන් එකින් එකට අපේ කතාවට ආවොත් මේ ඡායාරූපයෙන් අපට පේනවා මේ රදළ ප්‍රධානීන් වාඩිවෙලා ඉන්නේ දළදා මාළිගාවේ වැඩසිටින මාළිගාව ගාව කියලා. ඒ වගේමයි වැඩ සිටින මාළිගාව වටා සකස් කරලා තියෙන පොල් තොරණ් කීපයකුත් පේන්න තියෙනවානේ. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ දළදා මාළිගාව අසළ තියෙන මඟුල් මඩුවේ. ඒත් ඒ වෙනුවෙන් දළදා මාළිගාවේ වැඩ සිටින මාළිගාව වටේ පොල් තොරණ් ඉදිකළා වෙන්න බැහැ. ඒ වගේමයි මඟුල් මඩුවේ තිබුණු උත්සවයකට සම්බන්ධ වුණු රදළ ප්‍රධානීන් දළදා මාළිගාව අභ්‍යන්තරයට ඇවිත් ඡායාරූපයකට පෙනී හිටියා වෙන්නත් බැහැ. 

ඒ වගේමයි කලින් මතු කරපු ප්‍රධානම සාධකය වෙන 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණයක් තිබුණේ නැහැ කියන කාරණේත් එක්ක මේ ඡායාරූපය 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු උඩරට රදළ ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපය කියන මතය පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. 

දැන් ඊළඟ එන ප්‍රශ්නය තමා එහෙනම් මේ ඡායාරූපය මොකක්ද කියන එක. මම අනුමාන කරන විදිහට මේ ඡායාරූපයේ ඉන්නේ 1870-1880 කාලයේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු වගේම දළදා මාළිගාවේ නිළධාරීන් කීප දෙනෙක් වෙන්න ඕනේ. ඒ දළදා මාළිගාවේ නිලධාරීන් දෙන්නා කාරියකරවන රාළ සහ ගජනායක නිළමේ වෙන්න ඕනේ.

මේ කාලවකවානුවේ දියවඩන නිළමේ ධූරය හොබවපු කුඩාබණ්ඩා දුනුවිල නිළමේතුමා තමා මැදින් වාඩිවෙලා ඉන්න උපැස් යුවළක් පැළැඳි පුද්ගලයා කියලයි මම අනුමාන කරන්නේ. කණගාටුවට කාරණය තමා එතුමාගේ ඡායාරූපයක් දළදා මාළිගාවේ වෙබ් අඩවියේ පවා දැකගන්න නැති එක.


මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං 

කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ  1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි. 

කවුරුන් හරි ඉදිරියට මේ වරද දකිනවා නම් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතනවා. 

ප.ලි.: ගිය අවුරුද්දේ මැයි ඉදන් blog එක ලියන එක අතෑරිලා තිබුණේ කැම්පස් එකේ තිබුණු වැඩ රාජකාරිත් එක්ක. අපේ අන්තිම අවුරුද්දේ විභාග වගේම උපාධි නිබන්ධිකාවේ වැඩත් එක්ක හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. අපේ department එකෙන් organize කරපු හද බැඳි ගී ප්‍රසංගය නිසා වගේම තාත්තා අසනීප වෙලා සති 2 කට කිට්ටු කාලයක් රෝහල් ගතවෙලා හිටිය නිසා ඒ කාර්යබහුලත්වය තවත් වැඩිවුණා. 

විභාග කටයුතු ජනවාරි 7 ඉවර වුණත් කලින් අවුරුද්දක ගිය සූරියගොඩ නරේන්ද්‍රාරාම රාජ මහා විහාර ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව හදන එක සමුගැනීමේ සාද සංවිධානය කරන එක වගේම සංස්කෘත සහිතක පත්‍ර පාඨමාලාවක් නිසා වැඩ ගොඩ වෙලා තිබුණේ.

ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)

විශේෂ කාරණා දෙකක් කියන්න ඕනේ. පළවෙනි එක තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව සාර්ථක කරගන්න බ්ලොග් අවකාශයේ වගේම මුහුණු පොතේදී හිතවත් වුණු බොහෝ දෙනා උපකාර කළා. විශේෂයෙන්ම පොත් පත් කීපයක් හොයලා දෙන්න ඒ වගේමයි වැදගත් ඡායාරූප වගේම කරුණු හොයලා දෙන්නත් හුඟක් දෙනාගේ උදව් හම්බුණා.

නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...

අන්තිමට මට කියන්න තියෙන්නේ මමිත්‍රස්‍ය කුතඃ සුඛම් (මිත්‍රයන් නැත්තා හට කවර නම් සැපතක්ද ?)

Thursday, May 2, 2013

වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක්


දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ"


මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. 


හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. 


කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි හිතා ගත්තා.


වෘකහාමි එක කිකිළියක් මරන්න හදන කොටම කිකිළියන් දෙන්නාම එකපාරට ඉගිලුණා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා ආයෙත් අල්ල ගත්තා. හිවල්හාමි තවමත් එතැනම කැරකෙනවා. 


වෘකහාමි කෑම පිළියෙල කරන්න පටන් ගත්තා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා භාජනයකට දමලා ලිප උඩ තිබ්බා. ඉමිහිරි සුවඳක් කුස්සිය පුරාම පැතිරෙනවා. 


වෘකහාමි ප්‍රීතියෙන් සිවුරුහන් බබා යාලු වළස්හාමිට රෑ කෑමට ආරාධනා කරන්න ගියා. 


හිවල්හාමි වෘකහාමිගේ කුස්සියට ඇතුළුවෙලා ලිප උඩ තිබෙන භාජනයේ පියන ඉස්සුවා. ප්‍රණීත සූපයේ සුවඳ හරි මිහිරියි. 


හිවල්හාමි සුප් හැළියෙන් කිකිළියෙකු ඇරන් කන්න පටන් ගත්තා. 


කවුදෝ ජනේලයෙන් පිටත් සිවුරුහන් බානවා ඇහිලා හිවල්හාමි බැලුවා. "හා මෙන්න වෘකහාමි එනවා" තමාටම කියාගත්තා. 


හිවල්හාමිට එතැනින් පැනගන්ට වෙලාවක් නැහැ. ඒ නිසා පෙට්ටිය ඇතුළේ හැංගුණා. 


ලිපේ ගින්දර නිවීගෙන යනවා. වෘකහාමි තවත් දර ටිකක් ලිපට ඇතුළු කරලා ගිනි මෙලෙව්වා. 


දර ටික පිච්චිලා ඉවර වුණාට පස්සේ වෘකහාමි තවත් දර ටිකක් පලන්ට මන්නයක් ගත්තා. ඒත් මන්නය මොට්ටයි. 


වෘකහාමි මන්නය පිළිකන්නට ගෙනිහිල්ලා ගලක අතුල්ලනවා, මුවහත් කරන්ට. 


වෘකහාමි එළියට යනවා හිවල්හාමිට ඇහුණා. ඌ පෙට්ටියෙන් එළියට ඇවිත් හැළියෙන් අනෙක් කිකිළිත් ඩැහැ ගත්තා. 


වළස්හාමි වයින් බෝතලයකුත් අරන් ප්‍රීතියෙන් සිංදු කියමින් ආවා. ඌ වෘකහාමිගේ ගෙදරදී ලැබෙන්ට යන කදිම රෑ කෑම ගැන හිතුවා.


හිවල්හාමි කුකුළුමස් රස බලමින් ගහට මුවාවෙලා ඉද්දී ඌට සිංදුව ඇහුණා. වළස්හාමි එනවත් ඌ දැක්කා. 


දැන් මොකද කරන්නේ ? හිවල්හාමිගේ හිත වේගයෙන් වැඩ කළා.


ඌ තමන්ගේ කනට උඩින් කොළයක් අල්ලාගෙන වළස්හාමි ලඟට ගියා. "අනේ මට පිහිට වෙන්න!" හිවල්හාමි ඇඬුවා. 


හිවල්හාමි තමන්ගේ කන පෙන්නලා මෙහෙම කිව්වා. "වෘකහාමි කුකුළු මස් සංග්‍රහයකට මට ආරාධනා කළා. මම එහේ ගියාම මස් කපන මන්නයෙන් මගේ කන කපන්න හැදුවා. මම යන්තම් බේරිලා දුවගෙන ආ එක හොඳට හිටියා"


"ඔය ඇත්තමද?" වළස්හාමි ඇහුවා. "වෘකහාමි මටත් රෑ කෑමට ආරාධනා කරලයි තියෙන්නේ"


"හෝදිසියෙන් ඉන්න එක කොයිකටත් හොඳයි. සමහර විට ඔයාගේ කනත් කපා ගන්න වෘකහාමිට ඕනෑ ඇති" හිවල්හාමි හෙමින් සීරුවේ ලිස්සලා ගියා. දැන් මොනවා කරන්ඩද කියලා වලස්හාමිට තේරෙන්නේ නැහැ. 

වළස් හාමි වෘකහාමිගේ ගෙයි පිළිකන්නට ගියා. ඇත්ත තමයි වෘකහාමි මන්නය මුවහත් කරනවා. වළස් හාමි හොඳටම බය උණා. ක්ලාන්තය හැදුණා.


ටික වේලාවකට පස්සේ වළස්හාමි නැගිටලා දුවන්න පටන් ගත්තා. ගහට මුවාවෙලා හැංගිලා හිටිය හිවල්හාමිට හරි හිනා. ඌ වළස්හාමි ගෙනා වයින් බෝතලේම බීලා දැම්මා. 


ඒ පාර හිවල්හාමි වෘකහාමි ගාවට ගිහින් කිව්වා. "ඔයාගේ කුකුළුමස් සංග්‍රහය වළස්හාමි එනවා මා දැක්කා". "ඔව්, මම වළස්හාමිට ආරාධනා කළා" වෘකහාමි කියනවා. 


"ඔයාගේ කුකුළුමස් සේරම වළස්හාමි දැනටමත් ගිල දාලා හමාරයි" හිවල්හාමි කියාගෙන ගියා. වෘකහාමි හැළිය ඇරලා බැලුවා. උගේ කදිම ලොකු කිකිළියන් ඇත්තටම අතුරුදහන් වෙලා. වෘකහාමි වළස්හාමිට පාඩමක් උගන්වන්න හිතාගෙන ඌ පස්සේ දුවන්න පටන් ගත්තා. 


වළස්හාමිටත් දුවල දුවලම හති. ඒත් වෘකහාමි එනවා දැක්කාම, කෑගහනවා ඇහුණාම ආයෙත් දුවන්න පටන් ගත්තා. 

වළස්හාමි ලෑල්ලක ආධාරයෙන් ගඟෙන් එගොඩවෙලා වෘකහාමිගේ ගමන වළකන්න ලෑල්ල ඉවත් කරන්න හැදුවා. 

ඒත් වළස්හාමි ලෑල්ල අහක් කරන්න ඉස්සෙල්ලා වෘකහාමි පැන්නා. වළස්හාමි වෘකහාමිගේ බඩට වැරෙන් පහරක් දුන්නා. 


වෘකහාමි කේන්තියෙන් පුපුරමින් වළස්හාමිට පහර දුන්නා. 


වෘකහාමි වළස්හාමිට බැණ වැදුණා. "තෝ මගේ කුකුළුමස් සේරම ගිල දාලා දැන් මට ගහන්ඩත් එනවා. තෝ නම් හරිම අපූරු යාලුවෙක්!"


වළස්හාමිට මේක තේරෙන්නේ නැහැ. ඌ ඇහුවා "කවුද කිව්වේ මම කුකුළුමස් ටික හොරෙන් කෑවා කියලා?"


"හිවල්හාමියි කිව්වේ" වෘකහාමි උත්තර දුන්නා. දැනුයි වළස්හාමිට තේරෙන්නේ සිද්ද වුණු හරිය. "හිවල්හාමි අපි දෙන්නාවම රැවැට්ටුවා" වළස්හාමි වෘකහාමිට කිව්වා.

මේ කතාවේ චිත්‍ර මෙයි යිංගේ. සිංහල අනුවාදනය සවිමන් උරුගොඩවත්ත. මුද්‍රණය කරලා තියෙන්නේ චීනයේ විදේශ භාෂා මුද්‍රණාලයේ. ප්‍රකාශනය චීනයේ විදේශ භාෂා ප්‍රකාශන මන්දිරය. ලංකාවේ බෙදා හැරීම මරදානේ අරුණ ප්‍රකාශකයෝ. 

මේ කතා පොත ලබාදෙන්න කටයුතු කළේ රුක්ෂිලා වෙත්තමුණි අක්කා. අක්කාට බොහොම ස්තුතියි :)

මුහුණු පොතේ තියෙන "ළමා කතා සමූහයේ" මේ කතාව වගේම තවත් චීන වගේම රුසියන් ළමා කතා කීපයක්ම තියෙනවා. ඒ සමූහයට එකතු වුණා නම් ඒ කතා ටිකත් කියවන්න පුලුවන්.