Saturday, November 26, 2011

සුදු නෙළුම කෝ...........


"පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ" කියන කියමන තදින්ම හිතට දැනුන දවසක් තමා අද. ඒ අවුරුදු 6ක් වයසැති පුංචි මලිති නොඑන ගමන ගිය හැටි ඇහැව්වම.

පුංචි මලිති මේ ඉල් පෝය දා අම්මයි තාත්තයි එක්ක කැලණි පන්සල් ගිහිල්ල එහෙම ගෙදර එද්දි රෑ වුණා. මහන්සි නිසාම රෑ කෑම කන්නෙත් නැතුවම එයා නිදා ගත්ත.

මහ රෑ මලිති කෙඳිරිගාන සද්දෙට තාත්ත නැඟිටල බලනකොට බල්ලෙක් හපා කාල වගේ මලිතිගේ කකුළෙන් ලේ ගලනව දැකල. අම්මයි තාත්තයි මැද නිදන් හිටිය මලිතිගෙ කකුළ කාළ තිබුණෙ පොළඟෙක් !

මදුරු දැල ඇඳ මෙට්ටෙට යටකරල තිබිලත් ඒ කාලකණ්නි සතා මලිති හොයා ගෙන ආපු හැටි තමා කාටත් පුදුමෙ.....

කොළඹ මහ රෝහලට මලිතිව ඉක්මනටම ඇතුළු කළා.

ඒ පුංචි කෙල්ලගෙ වෙලාව !!! පොළොං විස නසන්න දීපු එන්නත් එයාට ඔරොත්තු දුන්නෙනෑ. ඇඟ ඉදිමිලා, ඇස් විකෘති වෙලා ගොඩක් දුක් වින්ද. දවස් 13ක් ම උහුලගත්ත වේදනාව තවත් උහුලගන්න බැරිව, අද උදේ පුංචි මලිති එයාගෙ සිරුර අතහැරල යන්න ගියා.....


මීට පැයකට විතර කලින් මං මලිතිගෙ මුලින්ම ගන්න වුණ අවසන් මංගල්ලයට යද්දි, මුළු ගමේම අය එයාගෙ ගෙදරට ඇවිත්. කතා නායිකා පුංචි මලිති සුදු ළමා සාරියක් ඇඳන් සාලෙ මැද සුදු මලින් සරසපු, ජීවත්ව ඉන්න කෙනෙක් නිදන්නෙනැති සයනයක නිදන් උන්න.

ඒ මූණෙ තිබුණෙ පුදුම පැහැපත් ගතියක්.හැබැයි විස නිසා වූ ඉදිමුම නම් එහෙම්මම තිබුණ.

ඇත්තමයි මේ කියන්නෙ, කවමදාකවත් මං ඒ වගේ ජීවී බවක් තියෙන මෘතදේහයක් දැකළ නෑ. අවසන් කටයුතු හැකිතාක් ඉක්මනට කරන්න කියන්න ඇත්තෙ ඒ ලස්සන වැඩි වෙලා තියෙන්නෙ නැති නිසා......

පුංචි මලිතිට නිවන් සුව පතන කොට මට මතක් උණේ සොරබොර වැවේ නෙළුම් මල් කඩද්දි දියේ ගිලී අකලට වියෝ වූ පුංචි දැරිවියක ගැන රත්න ශ්‍රී විජේසිංහ මහත්තය ලියපු කවිය

සුදු නෙළුම කෝ සොරබොර වැවේ...
මල් සුවඳ දුන් මහියංගණේ...
පුන් පෝය දා පාලොස්වකේ...
මල් නෙළා විකිණූ පන්සලේ..........

පසු සටහන : කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ධනූෂ ප්‍රේමරත්න සොයුරා ලියන ලද මේ කතාව ඔහුගේ අවසරය ඇතිව මෙලෙස පල කරන ලදී.

ස්තුතියි ධනූෂ මල්ලී :)

Saturday, November 19, 2011

සුදු කොඩි නඩුව සහ සරත් ෆොන්සේකා


අපි උපදින දවස්වලත් ලංකාවේ තිබුණේ යුද්ධයක්. අපි හැදුණේ වැඩුණෙත් යුද්ධයත් එක්ක. අපේ තාත්තා හමුදා නිලධාරියෙක් වුණු නිසා පොඩි කාලේ ඉදන්ම යුද්දේ කියන එක අයියටයි මටයි සමීප දෙයක් වෙලා තිබුණේ. අපි දෙන්නා සෙල්ලමටත් කළේ බංකර් හදන එක. ඒ වුණත් ටික ටික ලොකු වෙද්දී අපිට තේරුණා හරියටම යුද්දේ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම තාත්තා උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ ඉද්දී තාත්තා ගැනත් බයක් අපේ හිතේ තිබුණා.

අපි ඉස්කෝලේ ගියෙත් යුද්දේ තියෙද්දී. බෝම්බ පත්තු වෙන එකත් ඒ කාලේ සාමාන්‍ය දෙයක් වෙලා තිබුණේ. පෙර පිනකට වගේ අපේ තාත්තාට බෝම්බෙකින් කරදරයක් නොවුණත් අපි හිතේ බයකින් ජීවත් වුණේ. අපිට එහෙම වුණාට මේ කුරිරු යුද්ධය නිසා තමන්ගේ තාත්තා, අම්මා, පුතා, දුව ආදී ඥාතීන් අහිමි වුණු ලාංකිකයෝ ලංකාවේ හැමතැනම ඉන්නවා. ඒ තරමටම යුද්ධය අපිව වෙලාගෙන හිටියේ.

එක එක රාජ්‍ය නායකයෝ එක එක හමුදා නායකයොත් එක්ක එක එක විදිහට මේ යුද්දේ අවසන් කරන්න කටයුතු කළා. අන්තිමට 2005 දී බලයට ආපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් හමුදා නායකයන්ගේ මෙහෙයවීමෙන් යුද්ධය නිමා වුණා.


කවුරු මොනවා කිව්වත් මේ යුද්ධය නිමා කරන්න ඒ කාලේ යුධ හමුදාපතිවරයා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ( එතුමාව ජෙනරාල් ධූරයෙන් පහ කෙරුණත් මගේ හදවතේ එතුමා තාමත් ජෙනරාල් සරත් ෆොන්සේකා ) විශාල කාර්යයක් ඉටු කළා කියන එක කවුරුත් පිළිගන්න දෙයක් වගේම පිළිගන්න ඕන දෙයක්. පත්තරවලින්, ටීවී එකෙන් කියනවාටත් වඩා කවුරු මොනවා කිව්වත්, එතුමන්ගේ නායකත්වය යටපත් කරන්න උත්සහ දැරුවත් අපේ තාත්තත් හමුදා නිලධාරියෙක් වුණු නිසා ජෙනරාල් ෆොන්සේකා දක්ෂ නායකත්වය ගැන මම අහලා තියෙනවා.

ඉතින් යුද්ධය ජයග්‍රහණය කිරීමේ කාර්යය සාමූහික ප්‍රයත්නයක් වුණා වගේම ඒ සාමූහික ප්‍රයත්නයේ වැදගත් භූමිකාවක් ජෙනරාල් ෆොන්සේකාට ඒ නිසා අනිවාර්යයෙන්ම හිමිවෙනවා. ඒක ලඝු කරලා කවුරු හරි කතා කරනවා නම් ඒක ඇත්තටම වැරදියි කියලයි මගේ හැඟීම. ජයග්‍රහණයට පියවරු ගණනාවක් ඉන්නවා කියන එකත් ලාංකිකයන් සිහියේ තබාගන්න ඕනේ.

යුද්ධය නිමාවීමත් එක්ක සිදුවුණු යම් යම් කරුණු කාරණාත් එක්ක සිදුවෙන සිද්ධි දාමයක අවසන් ප්‍රතිඵලය වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා සිරභාරයට පත්වෙන එක. නඩු විභාග කීපයකුත් එක්ක වසර කීපයක සිර දඬුවම් එතුමාට නියම වෙනවා. ඒ වගේම ඊයේ ප්‍රකාශයට පත් කරපු සුදු කොඩි නඩු තීන්දුව තුළිනුත් තවත් වසර 3 කට එතුමාට සිර දඬුවම් නියම වෙනවා.


කොහොම නමුත් එතුමා නිවැරදිකරුද වැරදිකරුද කියන එක මම කියන්න අවශ්‍ය නැහැ කරුණු කාරණා ගැන දන්න උදවිය ඒ ගැන හොඳට දන්නවා ඇති. අධිකරණ තීන්දුවලට විරුද්ධව කතා කරන්න ගිහින් S.B මාමාට වුණු දේ කරගන්න ඕනේ නැහැනේ :) ඒ වගේම දෙවියන් වහන්සේ පවා අවසන් මොහොත වන තෙක් මිනිසාව විනිශ්චයට ලක් නොකරන නිසා මමත් කැමති නැහැ තීන්දු කරන්න විනිශ්චයන් ඉදිරිපත් කරන්න.

ඒත් මම ඉදිරිපත් කරන තර්කය තමයි කවුරු අතින් වුණත් වැරදි සිදුවෙන්න පුළුවන්. ඒක නිසා ජෙනරාල් සරත් ෆොන්සේකාගෙන් වැරැද්දක් සිදුවුණා නම් ඒකට එතුමාට ජනාධිපති සමාවක් ලබාදීල එතුමන්ව නිදහස් කරන්න කියන එක. වසර 30 ක් ලංකාව වෙලාගෙන හිටපු කුරිරු ත්‍රස්තවාදයෙන් ලක් මව මුදවා ගන්න තම ජීවිතය පවා වරක් පූජා කරපු ඒ අභීත රණවිරුවාට ලැබෙන්න ඕන උපහාරය ඒකයි.

එහෙම නැතිව බොහොම කුඩා හිර කුටියක, හැරෙන්නවත් ඉඩ නැතුව, එතුමාට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් ශ්වසන ආබාධ තවමත් පවතින නිසා හරියාකාර වාත මාර්ග නැති තැනක එතුමන්ව තියන එකද රටේ උපහාරය විය යුත්තේ කියන එක ???

ඊයේ හවස බස් එකේ එද්දී වගේම මග තොටේ කතාබහ තුළිනුත් අහන්න ලැබුණේ ජෙනරාල්තුමාට ලැබුණු දඬුවම බොහෝ දෙනා අනුමත කරන්නේ නැහැ කියන එක. ඒ වගේම ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පවා ජෙනරාල් ෆොන්සේකාට මේ වුණු දේ ගැන හදවතින්ම කම්පා වෙනවා.


1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 34 වගන්තියෙන් ජනාධිපතිතුමාට බලය පවරලා තියෙනවා ජනරජයේ කවර හෝ අධිකරණයක දී වරදකරුවෙක් වූ අයෙක්ට පූර්ණ සමාව ලබාදීමේ බලයක්. ඒ බලය තුළින් මීට පෙර ජෙනරාල් ෆොන්සේකා කළා යැයි කියන වැරදිවලටත් වඩා වැරදි කරපු අය නිදහස් වෙලා තමන්ගේ කටයුතු සුපුරුදු විදිහට කරගෙන ඉන්න අපි හැමෝටම ඇස් දෙකටම පේන්න තියෙන දෙයක්.

ජනාධිපතිතුමන් ඊයේ එතුමන්ගේ 66 වැනි ජන්ම දිනය සැමරුවා. එතුමන්ට තමන්ගේ රට වෙනුවෙන් දිවි පුදපු ඒ රණවිරුවාට ජනාධිපති සමාවක් යටතේ නිදහස ලබාදෙන්න පුළුවන් නම් ඒක තමයි එතුමා තමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ලක්වාසීන්ට ලබාදෙන ලොකුම තිළිණය කියලයි මම විශ්වාස කරන්නේ.

ජෙනරාල් ෆොන්සේකා හෝ එම මැතිණිය ජනාධිපති සමාවක් ඉල්ලන්න ඉදිරිපත් නොවෙන්න පුළුවන් ඒත් ජනාධිපතිතුමන්ට එහෙම සමාවක් ලබාදෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දස රාජ ධර්ම, දස සක්විති වත් වැනි අංග තුළ අඩංගු කරුණු ජනාධිපතිතුමා ප්‍රකට කළා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම සමාව දීම දේව ගතියක් කියන ලාංකික කියමනත් අනුගමනය කළා වෙනවා.


ඒක නිසා රට නිදහස් කරන්න පුරෝගාමියෙක් වුණු ඒත් දැන් තමන්ගේ පුද්ගලික නිදහස සීමා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ජනාධිපති සමාවක් හිමිවෙලා නැවතත් සුපුරුදු පරිදි නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් මම ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම ඒ තීරණය ගන්න ජනාධිපතිතුමා යොමුවේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

ඒ වෙනුවෙන් තබන මේ බ්ලොග් සටහන ඉතාමත් කුඩා එකක් වෙන්න පුළුවන් ඒත් කුඩා බිංදු එකතු වෙලා මහා සාගරයක් හැදෙනවා කියන එක මතක් කරන්න කැමතියි.

ප.ලි.: කොසොල් රජු දුටුවාය කියන සිහින 16 පිළිබඳව මේ අවස්ථාවේදී කියවීම වටී..........

කොසොල් රජු දුටු සිහින 16


ප.ප.ලි.: ඊයේ උදේ අපේ Logic Class එකේ මිස් කැලණි පන්සලේ බෝධි පූජාවක් කරනවා කියලා මටත් කතා කළා. ගියාට පස්සෙයි අපි දන්නේ ජනාධිපතිතුමත් පන්සලට එනවා කියලා. කොහොම හරි ජනාධිපතිතුමා ආවාට පස්සේ මම ෆොටෝස් 2 ක් 3 ක් ගත්තා.

ඒ වගේම ඒ ගැන කියලා FB Stautus update කළා කට්ටියට මතක ඇති. ඊයේ හවස ගෙදර ඇවිත් ඒක ගැන post එකක් ලියන්න හිතාගෙන හිටියත් ඊයේ හවස ලබාදුන්නු සුදු කොඩි නඩු තීන්දුවත් එක්ක කලින් හිතපු විදිහට කතාව ලියන්න තිබුණු උද්‍යෝගය නැතිවුණා :(

Thursday, November 17, 2011

කරන්න බැරි නම් වහලා දාන්න



මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට ආචාර කරන්න ගේ ඇතුළට ගියාම මියගිය කෙනාගේ බිරිඳත් ඇවිත් අපිව පිළි අරගෙන මියගිය හැටිත් අපිත් එක්ක කතා කළා. පස්සේ ඉතින් අපි දෙන්නා එළියේ තිබුණු hut එකකින් වාඩි වුණා.

මාත් එක්ක ගිය එකා බුලත් විට මරුවා. Man බුලත් විටක් කන්න පටන් ගත්තා. මමත් ඉතින් පොරත් එක්ක chat එක දාගෙන හිටියා. මේ වෙනකොට වෙලාව දවල් 1 ට විතර. හොඳට පායන දාඩිය දාන තිබහ එන වෙලාවනේ. අපි දෙන්නත් බලන් ඉන්නවා දැන් බීම එකක් ගෙනෙයි දැන් බීම එකක් ගෙනෙයි කියලා. කොහෙද ඉතින්

ඔහොම ටික වෙලාවක් යද්දී තව ජෝඩුවක් ආවා මළ ගෙදර. එයාලත් අවසන් ගෞරව එහෙම දක්වලා අපිට ටිකක් ඈතින් තිබුණු පුටුවක වාඩිවෙලා ටික වෙලාවක් ගිය ගමන් ගෙදර කෙනෙක් ඇවිත් බීම දෙකකුත් ඒ ජෝඩුවට දීලා බරටම කදේ.

අපි දෙන්නත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලාගෙන ඉන්නවා අපිටත් බීම ලැබෙයි කියලා. අන්තිමට ඉතින් පැය භාගයක් විතර මළ ගෙදර හිටපු අපි දෙන්නා තව ගමනක් යන්න තිබුණු නිසා එන්න ආවා.

එද්දී තමා යාළුවා කිව්වේ "මචං මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැහැ බන් මුන්. මෙහෙම මළ ගෙවල් වහලා දාන්න ඕනේ" කියලා.

ඒකේ නිධාන කතාව තමා එක බේබද්දෙක් රෑ මළ ගේක ගියාලු. සාමාන්‍යයෙන් මළ ගෙවල්වල රෑට කන්නද බොන්නද ඕන එකක් දෙනවනේ නිදි මරන්න එන මිනිස්සුන්ට. කොහොමින් කොහොම හරි මේ බොනපාට්ට මොකුත් ලැබිලා නැහැ.


පොර මල පැනලා ඒ පැත්තේම තියෙන තව මල ගෙදරකට ගියාලු. ඒ මළ ගෙදර නිකම් මඟුල් ගෙදර වගේලු. කන්නද බොන්නද ඕන එකක්ලු. පස්සේ මේ හොඳට බීලා සිගරට් එකකුත් බී ගෙන අර මුලින්ම ගිය මළ ගේ ඉස්සරහට වෙලා මෙහෙම කෑ ගැහුවලු

"අයිසේ මෙන්න මළ ගෙවල් කන්නද බොන්නද ඕන දෙයක්. ඕයි මළ ගෙයක් හරියට කරන්න දන්නේ නැත්නම් වහලා දානවා......." :))

ප.ලි.: කොහොම නමුත් සිංහල මනුස්සයාගේ පාරම්පරික සිරිතක්ලුනේ ආගන්තුක සත්කාරය. ඉතින් කොහොමින් කොහොම හරි අන්තිමට මටයි යාළුවාටයි හුළං. පස්සේ අපි දෙන්නා ඒ හරියේ තිබුණු කඩේකින් තැඹිලි දෙකක් බිව්වා තිබහ යන්නත් එක්ක :))


රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවේ හිරගත වෙලා හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලංකාවේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන මෙහෙම කියලා තියෙනවා.

"සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය. ස්වදේශීන් අහට මෙනම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේය"

අරක්කු බොන එක ගැනත් නොක්ස් කියලා තියෙනවා :))

"ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නෝය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස මුවෙහි නොතබන්නේය"
කියලා. මේ තත්ව අද කාලෙත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් තමා හොඳ

Thursday, November 10, 2011

වලස්සු තොප්පි දාන්නේ නැහැනේ බන්

අපේ History Special 1st year බැච් එකේ කොල්ලෝ 5 ක් ඉන්නවා. මම, මැදයා, ස්වීටා, නෝබා සහ පැංචා. පැංචා එච්චර අපිත් එක්ක සෙට් වෙන්න, වළ බහින්න එන්නේ නැහැ. Lectures එනවා, Lectures ඉවර වුණාම library යනවා පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්නවා. ඒත් අනිත් අපි හතර දෙනා ඉතින් එකටම තමයි.

මේකෙන් සිරාම බුවා නෝබා. නෝබා කියන්නේ card එක. ඇත්තම card එක නෝබට්. කෙටි කරලා තමයි නෝබා කියන්නේ.

-------------------------------------------------------------------------------------------------

අපිත් එක්ක ඉන්න Stat Special කරන පොරක් ඉන්නවා මහේෂ් කියලා. පොරගේ card එක මැකා. මේ අවුරුද්ද පටන් ගත්ත මුලම වගේ මැකා කැම්පස් ආවේ කොණ්ඩේ වවාගෙන. කෙල්ලෝ නම් ඌට කිව්වේ werewolf කියලා :)

දවසක් අපේ History set එක bench එකක වාඩිවෙලා ඉද්දී මැකා පාරේ යනවා.

නෝබා : ඒයි වලස් තොප්පියා (මේ හයියෙන් කෑ ගහන්නේ මැකාට )

මැකා : වලස්සු තොප්පි දාන්නේ නැහැනේ නෝබා ( ඊටත් වඩා හයියෙන් හිනාවෙවී ) :))

-------------------------------------------------------------------------------------------------

මේක වුණේ අපි campus ආපු මුල්ම කාලේ වගේ...........

එකෙක් : මචං උඹේ card එක මොකක්ද ?

නෝබා : නෝබට්

තව එකෙක් : ඇයි බන් උඹට නෝබට් කියන්නේ ?

නෝබා : ඒක තමයි බන්. මට මේ card එක දාපු එකාව අල්ලගන්න තමයි මාත් ඉන්නේ බන් ඌට දෙකක් අනින්න :))

-------------------------------------------------------------------------------------------------


අපේ campus එකේ රාගම තියෙන Medical facultyයෙන් Medical Exhibition එකක් කළානේ. ඒකට යන්න ලොකු උවමනාවක් තිබූණා නෝබට.

නෝබා : මචංලා මොකද කියන්නේ අපි කවද්ද Medical Exhibition එක බලන්න යන්නේ ? සෙනසුරාදා තමයි අන්තිම දවස

ස්වීටා : මට නම් එන්න බැහැ බන්. මට ඕවා තේරෙන්නේ නැහැ

නෝබා : ඔව් ඉතින් උඹට ඕවා තේරෙනවා නම් උඹ මෙතන ඉන්න විදිහක් නැහැනේ. එහෙමනම් උඹත් ඉන්න ඕනේ Medical faculty එකේ Medical student කෙනෙක් විදිහටනේ :))

-------------------------------------------------------------------------------------------------


දවසක් අපිට කලින් batch එකක අක්කා කෙනෙක්ගෙන් past papers වගයක් ලැබුණා. ඒකේ එකක් අතින් ලියපු එකක්. ඒකේ ඊශ්‍රායලය කියන එක ලියලා තිබුණේ ඊස්රායලය කියලා.

නෝබා : ඊශ්‍රායලය කියලා ලියන්න දන්නේ නැහැනේ බන් මුන්. චාටර් ආහ්. ඊශ්‍රායලේ කියලා ලියන්න බැරි නම් පලස්තීනේ කියලා ලියපන්. අල්ලපු රටනේ.

ඒ විදිහටම ස්පාඤ්ඤේ කියලා ලියන්න බැරි නම් පෘතුගාලේ කියලා ලියන්න පුලුවන්නේ :)

නෝබා මෙහෙම කියලා ටික දවසකින් මට ලියාගන්න බැරිවුණු note එකක් ලියාගන්න මම නෝබාගෙන් පොත ඉල්ලා ගත්තා.

නෝබා note එකේ පෘතුගාලේ කියන එක ලියලා තියෙන්නේ මේ විදිහට "පුරුතුගාලය" කියලා :))

-------------------------------------------------------------------------------------------------


History Department එකෙන් Fund Raising Project එකක් විදිහට මේ ළඟදී දවසක කඩයක් කළා. මේ කඩේ බෙලි මල්, අයිස්ක්‍රීම්, අච්චාරු එහෙම තිබුණා.

ඉතින් තම්බපු බෙලිමල් වතුර මුට්ටියෙන් ගන්න හැන්දක් ඕනෙනේ. මේ ගැන ප්‍රශ්න ගොඩක් ආවා කට්ටියට. ප්ලාස්ටික් හැඳිවලට රස්නේ ඔරොත්තු දෙයිද ආදි වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න.

පස්සේ මැදයා කිව්වා "ඕකට ටින් එකක් හයියක් පොල්ලක් ගැට ගහලා හැන්දක් හදාගමු. ඒක තමයි සාර්ථක. කෝකටත් පොල්ලට කෝපි ලී තමයි හොඳ" කියලා.

ඊට පස්සේ තව එකෙක් අහනවා "මේ හදිස්සියේ කෝපි ලී හොයන්නේ කොහොමද ? " කියලා.

අපේ නෝබා කියනවා "කෝපි ලී නැත්නම් බෲස් ලී හරි ජෙට් ලී හරි දාපන්. හරි හයියයි" කියලා :))

Saturday, November 5, 2011

මහින්දාගමනයට මහා shot එකක්

2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියත් සමඟ සමගාමීව වෙසක් පොහොයට පසු දින සිට ලංකාව පුරා සිනමාහල්වල මහින්දාගමනය නම් චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්නට පටන් ගැනුණි. මේ වනවිට ප්‍රදර්ශනය කරන්නට පටන් ගෙන දින 200 ද පසු කර ඇති මේ චිත්‍රපටියේ දැන්වීම් ඇලවෙන්නේ "නොබැලූ දෑස් කුමටද" යනුවෙනි. ඉතිහාසය හදාරන සිසුවෙක් නිසාම නොව සිනමා ලෝලියෙක් වශයෙන්ද මහින්දාගමනය නම් චිත්‍රපටිය නැරඹූ මට පුද්ගලිකව හැඟුණේ මහින්දාගමනය "බැලූ දෑස් කුමටද" යන්නයි.

ඉතිහාසය විෂය කෙරෙහි වර්තමානයේ ඇතිවී තිබෙන රුචිකත්වය හමුවේ මෙවන් වූ ඉතිහාස කතා සිනමාවට නැඟීම තුළින් ඉතිහාසය පිළිබඳ මහජන නැඹුරුව තවත් වර්ධනයක් කිරීමක් සිදුවේ. එහිදී මෙවන් වූ නිර්මාණ සිදු කරන කලාකරුවන් අගය කළ යුතු වුවත් එහිදී ඓතිහාසික කතා පුවත යටපත් කරමින් එකී නිර්මාණයේ නිර්මාණකරුවාගේ කතා පුවතක් දිග හැරෙන්නේ නම් එකී නිර්මාණයේ වටිනාකම පිළිබඳ පැහැදිලි ගැටළුවක් ඇතිවන බව මගේ විශ්වාසයයි.

යථෝක්ත කතා බහට ගැනෙන "මහින්දාගමනය" නම් චිත්‍රපටිය ආරම්භයේදීම ලාංකේය වංසකතා ඇතුළු සාහිත්‍ය මූලාශ්‍රය මෙන්ම සෙල්ලිපිද උපයෝගී කොටගෙන මේ සිනමා නිර්මාණය කර තිබෙන බව දක්වා තිබුණද ඇතැම් සිදුවීම් හා ඇතැම් භාණ්ඩ යටකී මූලාශ්‍රයයන් සියල්ල පසෙක ලා හුදෙක් අධ්‍යක්ෂවරයාගේ [මේ චිත්‍රපටියේ තිර රචකයාද වන්නේ අධ්‍යක්ෂවරයාමය] හෝ කලා අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි සකසා තිබීමෙන් සිදුව ඇත්තේ ඓතිහාසික මහින්දාගමන කතා පුවතට හානි සිදුවීමයි.

ලාංකීය වංසකතා 100% ක්ම නිරවද්‍ය නොවන්නට පුලුවන්. නමුත් වංසකතා පාදක කරගෙන යමක් නිර්මාණය කළා යැයි පවසන්නේ නම් ඒ තුළ වංසකතාවල සඳහන් තොරතුරු පසෙක ලා හෝ වෙනත් සිදුවීම් ඇතුළත් කිරීමෙන් ප්‍රධාන කතා පුවතට වන හානිය සුළුපටු නොවේ. විශේෂයෙන් මෙවන් වූ ඓතිහාසික කතා පුවතකට එහිදී වන හානිය ඉහළය. මෙහිදී ප්‍රමුඛතම වංසකතාව වන මහාවංසය පාදක කරගෙන මේ අඩුපාඩු සාකච්ඡා කිරීම සිදුකර ඇති බවද දැක්විය යුතුය

සිදුවීම් එකිනෙක කතා කළහොත් මුලින්ම දක්වන සිදුවීම වන්නේ අශෝක අධිරාජ්‍යයාගේ කාලිංග යුද්ධය හා සම්බන්ධ යැයි කියන සොල්දාදුවන් පිරිසක් රාත්‍රී කාලයේ ගම්මානයකට කඩා වැදී නිරායුධ ගම්වාසීන් මරා දමා ඔවුන්ගේ ගම ගිනිබත් කරන අයුරුයි. අශෝක තමන්ගේ ප්‍රධානම සංග්‍රාමය වූ කාලිංග යුද්ධය ගැන 13 වෙනි ගිරි ලිපියේ දක්වන්නේ මේ අයුරිනි.

අශෝක අධිරාජ්‍යයාගේ සෙල්ලිපියක්

"දෙවන පියදස් රජු ඔටුණු පලන් අටවැනි වර්ෂයේ කලිඟු රට ජයගන්නා ලදී. එහිදී එක් ලක්ෂ පණස් දහසක් සිරකරුවන් මෙන් ගෙනයන ලදී. ලක්ෂයක් මරණ ලදී. එපමණම සංඛ්‍යාවක් මියයන ලදී."

ඉන්දියාවේ ඈත අතීතයේ සිදුවුණු මහා සංග්‍රාමවලින් සාමාන්‍ය වැසියන්ට හානි සිදුවුණත් සෘජුවම නිරායුධ සිවිල් වැසියන් මරාදැමීමක් සිදුවී නොමැත. විශේෂයෙන් මහාභාරතය වැනි වීර කාව්‍ය තුළ පවා දෙපාර්ශවයේ සොල්දාදුවන් මුහුණට මුහුණලා සටන් කළ යුතු බවත් සමාන අවි දරන අය සටන් කළ යුතු බවත්, නිරායුධ අය හා සටන් නොකළ යුතු බවත් දක්වා ඇත. මෙවැනි යුධ නීති එකල පැවති නිසා මෙලෙස නිරායුධ ගම්වාසීන් මරාදැමීමක් සිදුවුණැයි චිත්‍රපටියෙන් දැක්වීම අභව්‍ය සිදුවීමකි.

පසුව ජම්බුද්වීපයේ සිදුවීම් අවසානයේ ලංකාවේ විස්තරය දිග හැරෙන්නේ තිස්ස රජතුමා දිය නාමින් සිටි තරුණියන් කීප දෙනෙකුගෙන් තම සිත් ගත් තරුණියක්ව රජු විසින් වැවට බැස අල්ලාගෙන ඇයව අන්තඃපුරයට රැගෙන යාමයි. මෙයින් තිස්ස රජු ගැහැණු සොඬෙක්ගේ තත්වයට පත්කර තිබීම ඛේදනීයය. එවන්නක් තිර රචකයාගේ සිතෙහි මැවුණු හිතළුවක් පමණි.

මීළඟට චිත්‍රපටිය පුරා දිවයන ප්‍රධාන පුවත වන්නේ තිස්ස රජතුමාගේ අග මෙහෙසිය යුවරාජ මහානාග මරාදමන්නට කරන කුමන්ත්‍රණයි. තම පුතුට රජකම ලබාදීමේ අරමුණින් මේ කුමන්ත්‍රණ දියත් වෙයි.

තිස්ස රජතුමා සහ අගමෙහෙසිය මහින්දාගමනය චිත්‍රපටියෙන්

එහිදී නාගයෙක් ලවා දෂ්ඨ කරවා මරා දැමීමටත්, රජ බිසව තමන්ම වෙස් වලා ගෙනගොස් කිණිස්සෙන් ඇන මරා දැමීමටත්, අවසාන වශයෙන් මහානාග කුමරුට විෂ යෙදූ අඹ යවා මරා දැමීමටත් රජ බිසව කටයුතු කරයි.

නමුත් ලාංකේය වංස කතා තුළ දක්වා ඇත්තේ ඉහත උපක්‍රමවලින් අවසන් උපාය පමණයි. එහිදී වංසකතා සාහිත්‍යයේ ප්‍රධානතම මූලාශ්‍රය වෙන මහාවංසයේ 22 පරිච්ඡේදයේ 3-5 වෙනි ගාථාවල එය දක්වන්නේ මේ විදිහට.

රඤ්ඤො දෙවි සපුත්තස්ස බාලා රජ්ජාභිකාමිනී
උපරාජවධත්ථාය ජාතචින්තා නිරන්තරං

වාපිං තරච්ඡං නාමායං කාරාපෙන්තස්ස පාහිණී
අම්බං විසෙන යොජෙත්වා ඨපෙත්වා අම්බමත්ථකෙ

තස්සා පුත්තො සහ ගතො උපරාජෙන බාලකො
භාජනෙ විවටෙ යෙව තං අම්බං ඛාදියාමරි

මේ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ චිත්‍රපටිය පුරා 3/4 ක් පමණම මේ අග මෙහෙසිය හා යුවරජතුමා අතර ගැටීම දැක්වීමට අධ්‍යක්ෂවරයා කටයුතු කර තිබුණු නිසායි. මහින්දාගමනය නමින් තැනෙන චිත්‍රපටියක එවන් වූ සිදුවීමකට එතරම් බරක් තැබීම කෙතෙක් දුරට සාධාරණද යන්න තීරණය කිරීම ඔබට භාරය.


දුටුගැමුණු රජුගේ ධජය

මෙහි රජ මාළිගය සහ වීථි සැරසීමට භාවිතා කර ඇති ධජයන්ගේ ඇති ඉර හඳ සහ සිංහ රුව දැක්වෙන ධජය දුටුගැමුණු රජතුමාගේ ධජය ලෙස සැලකේ. එය දඹුළු විහාරයේ සිතුවමක දැක්වෙන බවත් එය එසේ නොවන බවත් මත 2 ක් පවතී.

දුටුගැමුණු එළාර සටන දක්වන දඹුළු විහාර සිතුවම

කෙසේ නමුත් දුටුගැමුණු රාජ්‍යත්වයට පත්වීමට වසර 146 කට පමණ දේවානම් පියතිස්ස රාජ්‍යත්වය දැරූ අතර දුටුගැමුණු භාවිතා කළ ධජය ඒ ලෙසින්ම දේවානම් පියතිස්ස භාවිතා කළාද යන්න සැක සහිතය.

තවත් විශේෂ දෙයක් වන්නේ රාජ සභාව තුළ වගේම ඉන් පිටත තිබෙන සිංහ රූ යාපහු රාජධානිය තිබුණු සමයේ ඉදි කෙරුණු සිංහ රුවට සමාන අන්දමින් චිත්‍රපටියේ පසුතලයන් නිර්මාණය කළ පුද්ගලයා විසින් සකසා තිබීමයි.

යාපහුවේ සිංහ රුව

දෙවන පෑතිස් සමය පසුකර යාපහු රාජධානි සමය ඇරඹීමට වසර 1500 ක් පමණ ගතවන අතර ඒ තරම් කාලයක් තුළ එකම අන්දමින් සිංහ රුවක් පැවතියේ යැයි සිතිය නොහැකිය.

උදාහරණ ලෙස සඳකඩ පහණ ගත්හොත් අනුරාධපුර, පොළොන්නරු සහ අවසාන වශයෙන් මහනුවර යුග තුළ එහි විකාශනය ගත හැක. මෙහිදී චිත්‍රපටියේ කලා අධ්‍යක්ෂවරයා කුට්ටි පිටින් කොපි කිරීමක් කරන්න ගොසින් යාපහු සිංහයා අනුරාධපුර යුගයට ගෙඩි පිටින් ගෙනගොස් ඇති බවක් පෙනේ.

නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහ රුව
අවම වශයෙන් අනුරාධපුරයට යුගයට පසුව එළඹෙන පොළොන්නරු යුගයේ නිශ්ශංකමල්ල රජතුමගේ රාජ සභාවේ නිර්මාණය කර ඇති සිංහ රුව පිළිබඳව අධ්‍යනයක් හෝ අනුරාධපුර යුගයේ නිර්මාණයන්ගේ සිංහ රුව දිස්වූ අයුරු පිළිබඳව අවබෝධයක් ලබාගෙන තම නිර්මාණය කිරීමට ඔහු උත්සුක වූ බවක් නොපෙනේ.

මීළඟට චිත්‍රපටිය තුළ දක්වන්නේ මිනිසුන්ට මුතු හමුවීමක් සහ ඡාත පර්වතය පාමුලින් හමුවුණු යෂ්ඨි තුනක් හමුවීමයි. ඒ සිදුවීම් බැලීමේදී පෙනෙන්නේ තිස්ස කුමරු රාජ්‍යත්වයට පැමිණි ටික කලක් ගතවීමෙන් ඒ සිදුවීම් සිදුවන බවයි. නමුත් මහාවංසයේ 11 පරිච්ඡේදයේ 7-8 ගාථාවල ඇත්තේ

දෙවානම්පිතිස්සො සො රාජාසි පිතු අච්චයෙ
තස්සාභිසෙකෙන සමං බහූනච්ඡරියානහුං

ලංකාදීපම්හි සකලෙ නිධයො රතනාහි ච
අන්තො ඨිතානි උග්ගන්ත්වා පථවිතලමාරුහුං

එනම් රජුගේ අභිෂේකයත් සමඟම පොළවෙහි නිදන් කොට තබන ලද මුතු මැණික් පහළ වුණු බවයි. එසේම ඒ පරිච්ඡේදයේම 9 ගාථාව දක්වන

ලංකාදීපසමීපම්හි භින්නනාවාගතානි ච
තත්‍ර ජාතානි ච ථලං රතනානි සමාරුහුං

එනම් ලංකාව ආසන්න මුහුදේ මුහුදුබත්ව තිබුණු නැවවල තිබුණු වස්තුවද මුහුදේ හටගත් මැණික් වර්ගද වෙරළට ගොඩ ගැසුණු සිද්ධිය චිත්‍රපටියේ තිර රචකයා අමතක කළ බවක් පෙනේ. කෙසේ නමුත් ඉතිහාස කතා පුවතේ සඳහන් සෑම සිදුවීමක්ම එලෙසින්ම සිනමාවට නොනැගීමේ අයිතිය නිර්මාණකරුට ඇති බව පිළිගනිමි.

පසුව තිස්ස රජු වෙතට මේ වස්තු පැමිණවීමෙන් අනතුරුව දඹදිව වෙසෙන නොදුටු මිතුරු අශෝක අධිරාජ්‍යයා වෙත මේ වස්තුව පිටත් කර හරින අතර ඒ දූත කණ්ඩායමට අයත් වන්නේ රජුගේ ඇමති වූ අරිට්ඨ කුමරුත් තාලිපබ්බත බමුණාත්ය.

චිත්‍රපටියේ එලෙස දැක්වුවද මහාවංසයේ 11 පරිච්ඡේදයේ 20 වෙනි ගාථාවෙන් දඹදිවට පිටත් කළ දූත කණ්ඩායම දක්වන්නේ
භාගිනෙය්‍යං මහාරිට්ඨං අමච්චං පමුඛං තතො
දිජං අමච්චං ගණකං රාජා තෙ චතුරො ජනෙ

එනම් රජුගේ බෑණා වූ ඇමති අරිට්ඨ කුමරුත්, තාලිපබ්බත නම් බමුණාත්, මල්ල නම් ඇමතිත්, තිස්ස නම් ගණකයා [භාණ්ඩාගාරික] මේ දූත කණ්ඩායමට අයත් වූ බවයි.

දූත පිරිස නැවත ලක්දිවට පැමිණි පසු ධර්මාශෝක අධිරාජ්‍යයා ලබාදුන් අභිෂේක උපකරණවලින් නැවත වරක් මෞර්ය අභිෂේක ක්‍රමය යටතේ තිස්ස රජුව අභිෂේක කරන අතර එහිදී ක්ෂත්‍රිය කන්‍යාවක රජුගේ හිසට සංඛයකින් ජලය වත් කිරීමෙන් අනතුරව තාලිපබ්බත බමුණා රජුගේ හිස මතට ඔටුන්නක් තබයි.

මේ ඔටුන්න ධර්මාශෝක රජු විසින් එවන ලද භාණ්ඩයක් ලෙස චිත්‍රපටිය තුළ දක්වතත් එවැන්නක් ධර්මාශෝක රජු එවූ භාණ්ඩ අතර නොවුණු බව මහාවංසයේ 11 පරිච්ඡේදයේ 28-32 දක්වා ඇති ගාථාවලින් පෙනේ.

වාළවිජනිමුණ්හීසං ඛග්ගං ඡත්තං ච පාදුකං
මෞලිං වටසං පාමංගං භිංගාරං හරිචන්දනං

අධොවිමං වත්ථකොටිං මහග්ඝං හත්ථපුඤ්ඡනං
නාගාහටං අඤ්ජනං ච අරුණාභං ච මත්තිකං

අනොතත්තොදකාජං ච ගංගාසලිලමෙව ච
සංඛං ච නන්දියාවට්ටං වඩ්ඪමානං කුමාරිකං

හෙමභාජනභණ්ඩං ච සිවිකං ච මහාරහං
හරිතකං ආමලකං මහග්ඝං අමතොසධං

සුකාහටානං සාලීනං සට්ඨිවාහසතානි ච
අභිසෙකොපකරණ පරිවාරවිසෙසිතං

එසේම ආචාර්ය රැල්ෆ් පීරිස් මහතා රචනා කරන ලද සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය කෘතිය තුළ පවා දක්වන්නේ අත්‍යවශ්‍ය රාජකීය ආභරණ අතර ඔටුන්නක් ගැන සඳහන් නොවන බවත් එය පැළඳීම තහනම් නොවූවත් අභිෂේකය සඳහා ඔටුන්න භාවිතා නොකළ බවයි.


මෙම සිදුවීමවලින් අනතුරුව රජු පොසොන් මාසයේ දඩ කෙළිය සඳහා මිස්සක පව්වට යාම චිත්‍රපටියේ දැකිය හැකි අතර රජු සහ ප්‍රධාන ඇමතිවරුන් අසුන් පිට නැගී දඩයමට පිටත් වෙති. නමුත් මහාවංසයේ 14 පරිච්ඡේදයේ 2 ගාථාවෙන් දක්වන්නේ

චත්තාලීසසහස්සෙහි නරෙහි පරිවාරිතො
ධාවන්තො පදසා යෙව අගමා මිස්සකං නගං

රජු ඇතුළු 40,000 ක් පිරිස පයින්ම නුවරින් නික්ම මිස්සක පව්වට ආ බවයි.

මීළඟට සිදුවන්නේ මුවෙක් පසු පස හඹායන රජුට මිහිඳු හිමියන් ඇමතීමත් සමඟ රජු මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්ඩායම පර්වතයක් මුදුනේ වැඩ සිටිනු දැකීමයි. නමුත් මහාවංසයේ 14 පරිච්ඡේදයේ 6 ගාථාවේ දැක්වෙන්නේ

ථෙරො බහුසු දිට්ඨෙසු අතිභායිස්සතීති සො
අත්තානං එව දස්සෙසි පස්සිත්වා තං මහීපති

එනම් බොහෝ දෙනෙක් දුටුවහොත් රජු බොහෝ සෙයින් බියට පත්වේයැයි සිතා රජුට තමන් වහන්සේ පමණක් පෙනේවා, අන් පිරිස නොපෙනේවා කියා මිහිඳු හිමියන් අධිෂ්ඨාන කළ බවයි.

එසේම මහාවංසයේ 14 පරිච්ඡේදයේ 8 වෙනි ගාථාව වන

සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා
තවෙ'ව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා

එනම් මිහිඳු මාහියෝ තමන් වහන්සේ ඇතුලු පිරිස හඳුන්වා දීම මහාවංසයේ පාලියෙන් දක්වා ඇති ගාථාව කුට්ටි පිටින් චිත්‍රපටියට ඇතුළත් කර ඇති අතර මේ ගාථාවෙන් අනතුරුව මිහිඳු හිමියෝ සුපුරුදු සිංහලෙන් රජු සමඟ කතා බස් කරති.

පසුව රජු භණ්ඩුක උපාසකගෙන් "තෙරුවන් යනු කුමක්ද ?" ඇසූ ප්‍රශ්නයේදී ඔහු පිළිතුරු දෙන්නේ "තෙරුවන් යනු බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සඟුන් සරණ යාම" ලෙසයි.

මේ ප්‍රකාශය තුළින් බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීමක් විකෘති කර ඇති බව මගේ හැඟීමයි. තෙරුවන් යනු බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නය වන අතර බෞද්ධයෙක් වශයෙන් සැළකෙන්නේ මේ තෙරුවන් සරණ යාම තුළිනි. එනම් ඉහත දක්වා ඇති චිත්‍රපටිය තුළ භණ්ඩුක උපාසක දක්වන "බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සඟුන් සරණ යාම" තුළිනි.

තෙරුවන් සහ බෞද්ධයෙක් වීම යන මූලිකම සංකල්ප දෙක පවා නිවැරදිව වටහා නොගන්නා තත්වයකට බෞද්ධයන් පත්ව තිබීම කණගාටුදායකය.

රජු ඇතුළු පිරිස මිහින්තලයෙන් නික්ම ගිය පසු භන්ඩුක උපාසකයා පැවිදි කළ බව මහාවංසයේ 14 පරිච්ඡේදයේ 32 ගාථාවෙන්

ථෙරො තං ගාමසීමායං තස්මිං යෙව ගණෙ අකා
භණ්ඩුකස්ස කුමාරස්ස පබ්බජ්ජං උපසම්පදා


දක්වන නමුත් චිත්‍රපටිය ඒ සිදුවීම ඇතුළත් නොවේ.

දහම් අසන රජතුමා ඇතුළු පිරිස

එසේම ඊට පසු දින නගරයට වැඩම කළ මිහිඳු මාහිමියන් නගරයට වැඩම කර රජ මාළිගයේදී දහම් දෙසන සිදුවීම චිත්‍රපටියෙන් දක්වතත් ඊට පෙර සිදුවූ මහාවංසයේ 14 පරිච්ඡේදයේ 55 ගාථාවෙන් දක්වන

තෙ යාගුඛජ්ජභොජ්ජෙහි සයං රාජා අතප්පයි
නිට්ඨිතෙ භත්තකිච්චම්හි සයං උපනිසීදිය

රජතුමා විසින් මිහිඳු හිමියන් ඇතුළු පිරිසට දන් පිළිගැන්වීම චිත්‍රපටයෙන් මග හැරී ඇත.

රජතුමාගේ ඇත්හළේදී දහම් දෙසන මිහිඳු මාහියෝ අහසේ පාවෙන ආකාරයේ පෙළහරක් දක්වන අතර එමඟින් එකළ ලංකාවේ ප්‍රධාන ඇදහීම් දෙකක් වූ යක්ෂ වන්දනාව හා නාග වන්දනාව කළ පූජකයන් දෙදෙනෙක් තෙරුවන් සරණ යාම චිත්‍රපටිය තුළ දක්වතත් එවන්නක් වංස කතා සාහිත්‍ය තුළ නම් හමු නොවේ.

එසේම ලක්දිව බුදු සසුනේ සිදුවූ වැදගත්ම සිදුවීමක් වුණු මහමෙවුනා උයන පූජා කිරීම මහාවංසයේ 15 පරිච්ඡේදයේ 24, 25 ගාථාවල දක්වන්නේ

සාධූති වත්වා ගණ්හිත්වා රාජා හිංගාරමුත්තං
මහාමෙඝවනුය්‍යානං දම්මි සංඝස්සිමං ඉති

මහින්දථෙරස්ස කරෙ දක්ඛිණොදකමාකිරි
මහියා පතිතෙ තොයෙ අකම්පිත්ථ මහාමහී

රජතුමා රන් කෙණ්ඩියකින් මිහිඳු හිමියන්ගේ අත්ලට පැන් වත් කරමින් මේ මහමෙවුනා උයන සංඝයා හට දෙමි කියමින් පැන් වත් කළ බවයි. ඒ සිදුවීමද චිත්‍රපටියෙන් මග හැරී ඇත.

ඉන්පසුව 27 ගාථාවේ සිට 180 ගාථාව දක්වා විස්තර කරන්නේ මිහිඳු මාහිමියන් මහමෙවුනා උයනේ එක් එක් පූජනීය ස්ථාන සළකුණු කිරීමයි. එහිදී සීමා මාලකය, ශ්‍රී මහා බෝධිය, චතුස්සාලාව, මහා සෑය ආදී ස්ථාන ඉදි කිරීමට යෝජිත ස්ථාන සළකුණු කරනු ලබයි. පෙර කී සිද්ධියත් සමඟම මේ සිදුවීමද තිර රචකයාට මග හැරී ඇත.

එසේම එම පරිච්ඡේදයේම 188 ගාථාවේ සිට 194 ගාථාව දක්වා විස්තර කරන ඇතුන් දෙදෙනෙක් අදින ලද නඟුලකින් සී සාමින් රජු සීමා ලකුණු කරන සිදුවීමටද ඉහත තත්වයම උදා වී ඇත.

පසුව වස් කාලය එළඹීමත් සමඟ මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස වස් සමාදන්ව වස් විසීමට මිහින්තලයට වැඩම කරන අතර 16 පරිච්ඡේදයේ 12 ගාථාවේ දක්වන

කණ්තකචෙතියට්ඨානං පරිතො තදහෙව සො
කම්මානි ආරභාපෙත්වා ලෙණානි අට්ඨසට්ඨියො

එනම් ලෙන් 68 ක් පිරිසිදු කරවා භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම ආදියද මෙලෙස මග හැරුණු තවත් ප්‍රධාන සිදුවීමකි.

මහාවංසයේ 17 පරිච්ඡේදයේ 2 ගාථාවේ දක්වන

චිරදිට්ඨො හි සම්බුද්ධො සත්ථා නො මනුජාධිප
අනාථවාසං වසිම්හ නත්ථි නො පූජියං ඉධ

වස් කාලය අවසානයේදී මිහිඳු මාහිමියන් විසින් රජුට තමන් වහන්සේලාට වන්දනා කිරීමට බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් ස්ථූපයක් නොමැති බව දක්වා ථූපාරාම දාගැබ ඉදිකිරීම සඳහා කටයුතු සූදානම් කිරීම මිහිඳු හිමියෝ රජ මාළිගයට වැඩම කළ මුල්ම දිනයේ වන සිදුවීමක් ලෙස චිත්‍රපටිය තුළ පෙන්වුවද ඒ සිදුවීමද සිදුවන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස වස් කාලය ගත කිරීමෙන් පසුවය.

ථූපාරාම දාගැබ

චිත්‍රපටිය තුළ දක්වන මහානාග උයනට වැඩම කරන සුමන සාමණේරයන් වර්තමානයේ බෝධි පූජාවන්වලදී භාවිතා කරන ආකාරයේ වැකි කීපයක් කීමෙන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේලා උන් වහන්සේගේ අතට වැඩම කරන අතර පසුව එය රජුට භාර කරනු ලබයි.

නමුත් මහාවංසයේ 17 පරිච්ඡේදයේ 10, 18, 19 ගාථාවල දැක්වෙන්නේ

එහිං ත්වං භද්‍ර සුමන ගන්ත්වා පුප්ඵපුරං වරං
අය්‍යකං තෙ මහාරාජං එවං නො වචනං වද

ථෙරස්ස වචනං වත්වා රාජතො ලද්ධධාතුයො
පත්තපූරා ගහෙත්වාන හිමවන්තං උපාගමිං

චූළාමණිචෙතියම්හා ගහෙත්වා දක්ඛිණක්ඛකං
සාමණෙරස්ස පාදාසි සක්කො දෙවානමිස්සරො

මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දඹදිව පුෂ්පපුරයට වැඩම කරන සුමන සාමණේරයන් තම මුත්තණුවන් වූ ධර්මාශෝක රජු හමුවී පාත්‍රා ධාතුව පුරවා සර්වඥ ධාතූන් වහන්සේලා ලබාගන්නා අතර ඒවා හිමවත තැන්පත් කර දිව්‍ය ලෝකයට වැඩම කොට ශක්‍ර දේවරාජයාගෙන් සිළුමිණි සෑයේ නිදන් කර තිබූ දකුණු අකු ධාතුවද රැගෙන නැවත ලංකාවට වැඩම කළ බවයි.


සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය සමඟ ලංකාවට වැඩම කරවීමේ පුවත චිත්‍රපටිය තුළද නිවැරදිව නිරූපණය කිරීමට අසමත් වීම දැකගත හැක. බොහෝ තැන්වල රන් පාත්‍රයක බහා ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන ලද බව කීවත් එය පාත්‍රයක් නොව කළසක් බව මහාවංසය දක්වයි.

මහාවංසයේ 18 පරිච්ඡේදයේ දක්වන පරිදි ඒ රන් කළස ප්‍රමාණයන් දක්වන්නේ

නවහත්ථපරික්ඛෙපං පංචහත්ථං ගභීරතො
තිහත්ථවික්ඛම්භයුත්තං අට්ඨංගුලඝනං සුභං

එනම් හාත්පස වට ප්‍රමාණය නව රියන්ද විෂ්කම්භය තුන් රියන්ද ලෙස ගනකම්ව රන් කළස නිම වූ බවයි.

කැලණි විහාරයේ සෝලියස් මැන්දිස් කළ දුමින්දාගමන සිතුවමේ පමණක් එය නිවැරදිව ඇඳ තිබෙනු දැකගත හැක.

නමුත් ඉන් අනතුරුව සිදුවුණු තවත් වැදගත් සිදුවීම් කීපයක් වන සංඝමිත්තා තෙරණිය පැමිණි නැවේ කොටස් තැන්පත් කර මන්දිර 3 ක් ඉදිකිරීම, එසේම ලක්දිව බුදු සසුන නිත්‍ය වශයෙන් ස්ථාපනය වූවායැයි සැළකෙන ථූපාරාමයේදී අරිට්ඨ හිමියන් මිහිඳු මාහිමියන් සමඟ සම අසුන් ගෙන පැවැත්වූ විනය සංගායනාව වැනි සිදුවීමද චිත්‍රපටියේ දැකගත නොහැක.

චිත්‍රපටියක් තුළ මේ සියලු සිදුවීම් ඇතුළත් කිරීම ප්‍රායෝගික නොවන බවක් විටෙක පෙනෙන්නට පුලුවන. නමුත් වංස කතා පාදක කොටගෙන චිත්‍රපටිය තන්නේ නම් මූලිකව පාදක වන සිදුවීම් හෝ ඒ අයුරින් ඇතුළත් කිරීම සහ වංසකතාවල නොදැක්වෙන සිදුවීම් හිතලු ලෙස දැක්වීමේදී ප්‍රවේශම් වීම යුක්තියුක්ත වන බව මගේ හැඟීමයි.

අබා චිත්‍රපටියේ ආ හබරා සහ ගුම්භකභූතා යුවළ

එසේම බොහෝ දෙනා මීට පෙර චෝදනා කළ පරිදි ජැක්සන් ඇන්තනී නිර්මාණය කළ "අබා" චිත්‍රපටිය තුළින් පණ්ඩුකාභය කතා පුවතටත් වඩා හබරා සහ ගුම්භකභූතා පෙම් පුවත හුවා දැක්වූවාක් මෙන් මහින්දාගමනය චිත්‍රපටිය තුළින් ඉසිගිලි සහ සේරු පෙම් පුවත මෙන්ම දෙවන පෑතිස් අග මෙහෙසියගේ කුමන්ත්‍රණ පෙන්වීමට යාමෙන් මහින්දාගමනය යන නාමයට අනන්‍ය වූ කතා පුවත් චිත්‍රපටිය තුළින් ඉදිරිපත් වුණාද යන්න සැක සහිතය.

එසේම පහත දැක්වෙන මහින්දාගමනය චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු සඳහා දුමින්දාගමනය සඳහා යොදා ගැනෙන නැවේ ඉදිරි පස කොටස යොදා ගත්තේ කුමන පදනමකින්ද යන්න තවමත් මට ඇති ගැටළුවකි.


මහින්දාගමනය චිත්‍රපටියෙන් සැබවින්ම දේශයක පිබිදීම දැක්වුණේද යන්න පිළිබඳව ඔබේ අදහස් එකතු කරන්න.

මහින්දාගමනය චිත්‍රපටියේ නිල වෙබ් අඩවිය : http://www.mahindagamanaya.lk/

ප.ලි.: මහින්දාගමනය චිත්‍රපටිය ලාංකේය ජන විඥානයට කර ඇති හානිය සුලුපටු නොවන බව මට හොඳ හැටි අවබෝධ වූයේ පසුගිය දිනකය. අප දහම් පාසලේ නිවාසාන්තර තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ චිත්‍ර මාතෘකාවක් වූයේ මහින්දාගමනයයි. එක් ළමයෙක් එය සිතුවමට නගා තිබුණේ මෙලෙසිනි.

එයින්ම මා පෙර දැක්වූ හානිය මොනවට පැහැදිලි වේ.

මහින්දාගමනය චිත්‍රපටිය ගැන මා දුටු තවත් ලිපි 2 ක්

මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope
මහින්දාගමනය බැලුවෙමු

Wednesday, November 2, 2011

Exam කාලේ වැඩ කෙරුව තාලේ


Exam කාලේ කියන්නේ නිකම් පිස්සු හැදුණා වගේ කාලයක්. මේ දවසට මේ paper එක අර දවසට අර paper එක කියලා මතක් වෙලා මෙච්චර, අච්චර පාඩම් කරන්න ඕනේ කියලා මතක් වෙද්දී නිකම් මොළෙන් පටන් අරගෙන මුළු ඇඟම හිරි වැටෙනවා වගේ.

කොහොම වුණත් මම මුලින්ම වැඩ කටයුතු පටන් ගත්තේ facebook එකට තිතක් තියලා. ඒත් පස්සේ ඒකට කොමාවක් වැටුණා :))

කොහොම නමුත් exam ලං වෙන්න ලං වෙන්න අනම් මනම් වැඩි වැඩියෙන් හිතෙද්දී ලියවුණු එකක් තමයි මේ.......

මගේ කාමරේ
පොත් ගොඩක් පෙරළා ගෙන
විභාගෙත් අත ළඟ
ඒත් සිංදුවක් අහගෙනම
මොනවද මේ කරන්නේ මම
පිස්සු වගේද මට
හිතා ගන්න බැරි වෙද්දී
මෙහෙම එකකුත් ලියවුණා........

මගේ යාළු හිත මිත්‍රාදීන් කීප දෙනෙක්ටම මේ හෑල්ල sms කළා. උනුත් ඉන්නේ මගේ බෝට්ටුවෙමයි කියලා තමයි පිළිතුරු සමාසවල තිබුණේ. අනිච්චේ දුක්ඛේ. ගහට ගහක් එකතු වෙනවා වගේ, එක වල්ලේ පොල් කියනවා වගේ හරිම සෙට් එකක් තමා :)

මේ දවස්වලම තමා මම facebook එකෙත් දාලා තිබුණු ගද්‍ය පාඨ ඔළුවට ආවේ. ලංකා ඉතිහාසය පාඩම් කරද්දී මේ semester එකේ අපිට තියෙන්නේ දඹදෙණි රාජධානි සමයේ ඉදන් කෝට්ටේ රාජධානි සමය වෙනකම්.

ඔයාලගේ මතකය හොඳ නම් මතක ඇති දඹදෙණි රාජධානිය පටන් ගන්නේ කාලිංග මාඝ කියන දරුණු ආක්‍රමණිකයා නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් එක්ක කියලා. එතකොට ලංකාවේ වංස කතා විශේෂයෙන් මහාවංසය මේ මාඝ කරපූ විනාශය දක්වලා තිබුණු පාඨ ටික අපිට මේ දවස්වල වෙලා තියෙන විනාසෙට convert කළා....

"........... ඉන් පසු ඉතිහාස විෂය හදාරන ශිෂ්‍යයෝ අපි ඉතිහාසය විශේෂවේදි ශිෂ්‍යයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් පාඩම් කළහ. ෂෝට් නෝට් ගැසූහ. බොහොමයක් පුස්තකාලවලට වැදුණහ. පොත් පත් තමන් සතු කරගත්හ. නෝට් සතු ජ්‍යෙෂ්ඨ ජනයාගෙන් සියලු නෝට් ලබාගෙන ඔවුන් දිළින්දන් කළහ.

නිවෙස් හැරදා නේවාසිකාගාරවල පදිංචි වූහ. කරදර කරන්නවුන්ට පහර දුන්හ. මනසට තැලූහ. බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් කාමරවල තන්හි තන්හි විසිරූහ. උගතුන්ගේ කිත් සිරුරු බඳු පුස්තකාල ආදියේ ජීවය බඳු වූ බොහෝ පොත් අතුරුදහන් කළහ.............
"

මේවාට අදාල ඇත්ත ඒවා ටිකත් කියන්නම්කෝ................

"............ ඉන් පසු ඔහුගේ ලෝ වැසියන් පෙළන කුරිරු මහා යෝධයෝ අපි කේරළ යෝධයෝ වම්හ යි අතන මෙතන වහසි බස් කියමින් මිනිසුන්ගේ සළු පළඳනා කොල්ලකෑහ. අත් පා සිඳ ලූහ. ඔවුන්ගේ ගෙවල් බොහොමයක් බිඳ ලූහ. ගව මහිෂාදීන් තමන් සතු කොට බැඳ ගත්හ. මහ ධනවත් වස්තු හිමි ජනයා බැඳ වධ දී සියලු ධනය පැහැර ගෙන ඔවුන් දිළින්දන් කළහ........

විහාරවල පදිංචි වූහ. උපාසකයන්ට පහර දුන්හ. දරුවන්ට තැලූහ.......... බොහෝ වැඩ කරවූහ. ප්‍රසිද්ධ ප්‍රශස්ත බොහෝ පොත් ලණුවෙන් මුදා තන්හි තන්හි විසිරූහ. ශ්‍රද්ධාවන්ත පෙර දරුවන්ගේ කිත් සිරුරු බඳු වූ රත්නාවලී ආදී ශෝභාසම්පන්න සුවිශාල චෛත්‍ය බිඳ හෙළා සුන් කොටැ ඒ චෛත්‍යවල ජීවය බඳු වූ බොහෝ ශාරීරික ධාතු අතුරුදහන් කළහ........"



දවසක් රෑ වෙනකම් පාඩම් කරද්දී ආහ් ඔය රෑ කිව්වේ 11 ට විතර වගේ පට්ට නිදිමත time එකනේ. ඒත් කවියක් වගේ එකක් කෙටුණා. කෙටුණා කියලා කිව්වේ මේවා කොළවල ලිය ලිය ඉන්නේ නැහැ. එතකොට කපන්න කොටන්න ඕනෙනේ. ඒක නිසා phone එකෙන් type කරලාම දාපුවාම වැඩේ ඉවරනේ. වන් රොක් ටූ බර්ඩ්ස්නේ :))

රාත්‍රිය සුන්දරයි
දෙනෙත් මගේ නිදිබරයි
මගේ ඇඳ මට පෙනෙයි
පාඩම්ද කළ යුතුයි
නමුදු
නිදියන්න කාලයයි

අන්තිමටම exam එකට හොඳටම ලං වෙද්දී ලියුවුණු කවියක් වගේ එකක් තමා මේ

නිදි මැරුවා නම් දෑසින් පෙනේවි
බත් කෑවා නම් කුසයෙන් දැනේවි

වෙහෙස මහන්සි නම් ගත පෙන්නාවි

පාඩම් කළා නම් results එනවිට පෙනේවි


අන්තිමට වගේ ලියුවුණු කවිය ටිකක් ලස්සනට rhyme වෙලා ආපු නිසා හිතුණා ඒකත් facebook එකට දාන්න. ඒකෙන් තමා හරි වැඩේ වුණේ.

පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

මේක wall එකේ ලිව්වත් හරි සුභාෂිණී අක්කා කින්ඩියට වගේ අහලා තිබ්බා මම නොවැම්බර් 1 වෙනකම් facebook එන්නේ නැහැ කියලා ඇයි මේ ආවේ කියලා. ඊටත් වඩා හොඳම දේ තමා එයත් මේ කවියට return කවියක් ලියලා තිබුණා.

පාඩමට නැත සිත
ෆේස්බුක්මයි බැළුව හැමවිට

වැදි බණ කියවමින

ඉන්න අය කොහේ යයිද ඇත්තට

කොහොමද ඒක......................

කොහොමින් කොහොම හරි යහතින් විභාගේ ලියා ගත්තා. Resluts එනකොට හැංගෙන්න බිත්තර කට්ටක් කෝකටත් හොයා ගන්න ඕනේ. කොහොමත් results එන්න ටිකක් කල් යයි. නොවැම්බර් 15 අපේ 3rd year එකත් පටන් ගන්නවාලු. මේ නිවාඩු පාඩු දවස් ටිකෙත් වැඩ එමට.

මේ හෑලි කියවලා මහන්සිත් ඇති. මේ අන්තිම චුට්ට කියන්න යන්නේ. පහුගිය දවස් ටිකෙත් හොඳ හොඳ කතා ටිකක් එකතු වුණා. ඒ වගේම පරණ ලියපු කතා ටිකකුත් ඇති. ඒ ඔක්කොමත් එක්ක එනවා එනවාමයි. අම්මපා, ඇස් දෙකපා, දෙයියම්පා :))

-----------------------------------------------------------------------------------------------

අතුරුපස කතාව

Exam කාලෙට ඉතින් දෙයියො බුදුන් මතක් වෙනවානේ. කොහොම නමුත් මගේ අතේ පිරිත් නූල් ගොඩක් තියෙනවා exam කාලෙට. පේෂ කර්ම සංස්ථාවෙන් මාව අල්ල ගනී කියලා ඒ කාලෙට මම හැංගිලා ඉන්නේ :))


කොහොම හරි මගේ මේ අතේ තියෙන පිරිත් නූල් ටික දැක්කාම අපේ campus එකේ කෙල්ලෙක් කියනවා

"හසිතගේ අතේ මහ පිරිතයි, අනිත් පිරිත් ටිකයි විතරක් නෙමෙයි 84,000 ක් ධර්මස්කන්ධෙම තියෙනවානේ" කියලා.

බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි :))

මම මීට අවුරුද්දකට කලිනුත් මෙහෙම අතුරුපස කතාවක් කිව්වා. කැමති නම් ඒකත් බලන්නකෝ

ප.ලි.: අද ලියලා තියෙන්නේ මම exam එකට කලින් ලියපු කවිනේ. මේ තියෙන්නේ exam එක වෙලාවේ මම ලියපු කවි. කොහොමද ඒක :))