Showing posts with label Logic Class කතා. Show all posts
Showing posts with label Logic Class කතා. Show all posts

Sunday, October 14, 2012

ක්‍රම ක්‍රමයෙන් වැඩි කාර්ය බහුලත්වයකට


පහුගිය දවස් ටිකේ වගේම තවමත් මම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඇයි කියලා මම කලිනුත් කිව්වා. ආයි පාරක් කිව්වොත් මට A/L Logic උගන්වපු ගුරුතුමිය බහුවරණ ප්‍රශ්නෝත්තර පොතක් හදලා තියෙන්නේ. බහුවරණ ප්‍රශ්නෝත්තර 1000 ක් තියෙන මේ පොත ටයිප් කිරිල්ලේ තමා මේ දවස්වල සැරේටම යෙදිලා ඉන්නේ. 

ඒ වගේමයි මේ පොතේ දොරට වැඩුම කරන දවසට අපේ Logic Class එකේ 2002 ඉදන් මේ දක්වා උසස් ප්‍රතිඵල ලබාගෙන සරසවි වරම් හිමි කරගත්තු අයව ඇගයුමකට ලක් කරන්නත් අපි කටයුතු සංවිධානය කරගෙන යන්නේ. ඉතින් මේ වැඩේ බර පැන හොයාගන්න souvenir එකක් කරන නිසා ඒ කොන්ත්‍රාත් එකත් සෙට් වෙලා තියෙන්නේ.

ඉතින් වැඩ සියල්ලම අවසන් කරලා මේ උත්සවය ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් සිද්ධ කරන්න තමා අපේ අදහස.

ලබන සතියේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා අපේ scout troop එකේ Inter Patrol Competition Camp එක තියෙන නිසා ඒකටත් යන්න තියෙනවා. ඒ කියන්නේ එතැනත් වැඩ

ඒ වගේමයි අපේ Logic Class එකෙන් මහනුවර බඹරැල්ලේ පිහිටලා තියෙන සුමේධ භාවනා මධ්‍යස්ථානයේ වප් පොහොය දවසට සිල් සමාදන් වෙන සිල් ඇත්තන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනැමෙන හීල් දානය සහ දහවල් දානය මේ මාසේ 29 වෙනිදාට යෙදිලා තියෙනවා. ඒක නිසා ඒ කටයුත්තත් සාර්ථකව කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරමින් ඉන්නේ. 

අපේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ජාතික කඳවුරත් මේ මාසේ 26, 27, 28, 29 කියන දවස්වල ත්‍රිකුණාමලයේ පැවැත්වෙනවා. ඒත් අර කලින් කිව්ව  දානමය පිංකම සංවිධානය කිරීමේ ලොකු බරක් මගේ කරට වැටිලා තියෙන නිසා මේ කඳවුරට නොයා ඉන්න තමා හිතුවේ. 

මේ ඔක්කොම ජාති සිද්ධ වෙමින් තියෙද්දී තමා සරසවි ඇඳුරන් මාස තුනක් විතර සිද්ධ කරපු වැඩ වර්ජනය බ්‍රහස්පතින්දා අවසන් වුණේ. ඒක නිසා ලබන සඳුදා ඉදන් ආයි කැම්පස් යන්නත් වෙනවා. 

මේ අධ්‍යයන වාරය අවසන් වෙන්න කලින් ඉතිහාස අධ්‍යනාංශයේ සඟරාව වෙන "ඓතිහාසික ලේඛන සංග්‍රහය" නිකුත් කරන්න අපේ ඉතිහාස ශිෂ්‍ය සංගමය තීරණය කරලා තියෙන නිසා සභාපති විදිහට ඒක සාර්ථක කරගන්නත් ලොකු බරක් අදින්න තියෙනවා. සඟරාව එළි දක්වන දවසට තවත් වැඩක් කරන්න අපේ හිතේ තියෙන නිසා අදින්න තියෙන බර වැඩිවේවි. 

මේ වැඩත් එක්කම field work එකකට මහනුවර යන්නත් තියෙනවා. ගිහින් ආවට පස්සේ ඒකේ reports එහෙමත් හදන්න වෙනවා. මේවත් එක්කම අපේ special 3rd year batch එක වෙනුවෙන් කරන Farewell party එක සංවිධානය කරන්නත් තියෙනවා. මේ ඔක්කොම ඉවර වෙද්දී exam එකත් කිට්ටු වෙලා තියේවි

කැම්පස් එකේ වැඩ එහෙම වෙද්දී වප් පෝයේ ඉදන් කඨින පෙරහැරවල් පැවැත්වෙන නිසා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අපේ අයත් එක්ක ඒ පෙරහැරවල්වල ප්‍රථමාධාර සේවාවලට යන්නත් වෙනවා. ඉල් පෝය වෙනකම්ම ඒක එහෙම්ම තමා.

ලබන මාසේ අපේ යෞවන සමාජය සංවත්සරේ තියෙන නිසා ඒ වෙනුවෙන් කරන උත්සවේ වගේම වාර්ෂික චාරිකාවත් යෙදිලා තියෙනවා. ඒකටත් මහන්සි වෙන්න වෙනවා.

ඉතින් මේ විදිහට බලාගෙන යද්දී ඉස්සරහට බොහොම කාර්ය බහුල කාලයක් එන්න තියෙනවා. මෙච්චර කල් තිබුණු වර්ජනවල ස්තුති වෙන්න බ්ලොග් කෙරුවාව කලින්ට වඩා හොඳින් කෙරුවා. 

ඒත් ඉදිරි තත්වත් එක්ක බ්ලොග් කෙරුවාවට නැවතීමේ තිතක් නෙමේ පොඩි කොමාවක් දාන්න වෙන පාටක් තියෙන්නේ. වෙලාවක් ලැබුණු සැණින් කපිලවස්තුපුර ධාතු ප්‍රදර්ශනය ගැන සටහනට වගේම මීමන ප්‍රේමතිලකගේ කතාවට මගේ අදහස් එකතු කරනවා. කෝකටත් ආයි පාරක් මීමන ප්‍රේමතිලකගේ කතාව කියවලා බලන්න පුලුවන් නම් හොඳයි කියලයි මගේ යෝජනාව. 

පුංචි සරුංගලේ හුළං පාරක පාවෙලා යනවා කියලා හිතුවට ඒක එහෙමමත් නෙමෙයිද මන්දා කියලා පුංචි සරුංගලේට හිතෙනවා.

ඔච්චර තමා කියන්න ඕනේ කියලා මගේ ඔළුවට ආවේ. 

සමුගන්නා බව කිසිදා නොකියමි. නැවත හමුවෙමු.


ප.ලි.: මේ ඔක්කොම වැඩත් එක්ක තමා ඔක්තෝබර් 6 වෙනිදා මගේ උපන් දිනෙත් තිබුණේ. අවුරුදු 23 ක් කියන්නේ සෙල්ලම් වයසක්ද ? අපිත් දැන් නාකි මිනිස්සු තමා :D

ඒකටත් සුභ පැතුම් එක් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි

Thursday, September 20, 2012

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ.

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

ප.ලි.: මම facebook එකේ දාපු status එකක් පාදක කරගෙන තමා මේ කතාව ලියවුණේ. ඒකට පොහොර දමාපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ සහෘදයෙක් වුණු ඉසුරු මදනායක සගයාට විශේෂ ස්තුතිය :)

ප.ප.ලි.: මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක. 

අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් posts දෙකේම අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් එකතු කරන්න ප්‍රමාද වුණා. මේකටත් එහෙමම වෙයි. ඒත් පොතේ වැඩේ ඉවර වුණු ගමන් මට කරන්න තියෙන වැඩවලින් මුල්ම වැඩේ තමා posts තුනටම උත්තර බඳින එක. 

ඒක නිසා එතෙක් ගැත්තාට අනුකම්පා කළ මැනවි.... :)

Saturday, January 28, 2012

ආශ්චර්යයේ මාවතෙන් විසාකාවියන් වෙතට

සටහන සංශෝධනය කර නැවත පළ කර ඇතිබව කරුණාවෙන් සළකන්න


හීනයක්ද කියලා බලන්න අත පොඩ්ඩක් කොනිත්තලා බලන්න උවමනා කළේ නැහැ. මේ ඇත්තම ඇත්ත. Toyota Primeo car එකක මමයි අපේ දුලානි මිසුයි පිටිපස්සේ එකේ. මිස්ගේ මහත්තයා අපේ හේමන්ත සර් ඉස්සරහ seat එකේ. අපේ ආරක්ෂාකාරී, ධාවකයා ගිහාන් driving seat එකේ.

අපි යන්නේ ලංකාවේ තියෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. පිස්සු හැදෙයි සඳ බැබළෙයි කිව්වලූ :))

කතාවට මුල ඉදන්ම එමු. කොළඹ විසාකා විද්‍යාලයේ තියෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමිය ඇතුළු මන්ත්‍රීවරියන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක් බණ්ඩාරගම මොරොන්තුඩුවේ Owinka Lake Resort එකේ තිබුණා.


අන්න hotels කිව්වලූ. පුලූවන් දවසක ගිහින් බලන්න. සුපිරි. කන්නද බොන්නද නාන්නද එකී මෙකී නොකී ඕන එකකට නියමම spot එක. මෙන්න hotel එකේ web site එක.

ආයි කතාවට ආවොත් අපේ දුලානි මිස්ටත් මේ වැඩමුළුවේ ආරම්භක දවසේ උදේ වරුවේ නායකත්වය ගැන කතා කරන්න ප‍්‍රායෝගික සැසියක් භාරවෙලා තිබුණේ. ඒකට ඕන කරන activities හදන්න අපි දවස් කීපයක් මහන්සි වුණා.

පස්සේ මිස් නිකමට වගේද මන්දා මගෙන් ඇහුවා "හසිතටත් එදාට අපිත් එක්ක යන්න එන්න පුලූවන්ද ? මේ කරන්න එහෙම එතකොට ලේසියිනේ" කියලා.

මට එදාට දහසකුත් එකක් වැඩ තිබුණු දවසක්. මගේ හිතවතෙක් වුණු ශෂිත හෙට්ටිආරච්චිගේ කුළුදුල් පොත එළිදක්වනවා කියලා ඒකට මට invite කළා. ඊටත් හපන් අපේ මාසේ පිං පඩිය ගන්න අත්සන් කරන්න තිබුණෙත් එදා.

ඒ මොනවා වුණත් පුරාණ සෘෂිවරු කට කහනවට වගේ කියපු "නාස්ති ස්ත‍්‍රී සමො රසඃ" ඒ කියන්නේ ස්ත‍්‍රිය හා සමාන රසයක් නැත. කාල බලලද දන්නේ නැහැ :)) ඕවා ඔක්කොම නිසා මම ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ අකමැත්තෙන් වුණත් කැමති වුණා මේකට යන්න.

ඊට පස්සේ ඉතින් සුපුරුදු කතාවක්. අපි ඔක්කොම වෙලාවට ලෑස්ති වුණා. මිස් ලෑස්ති වෙන්න පරක්කු වුණා. ඒක නිසා අපිට highway එකෙන් බණ්ඩාරගමට යන්න සිද්ධ වුණා ප්‍රමාදය මග හරහා ගන්න. එහෙන් මෙහෙන් shortcut වලින් දාගෙන ගිහාන් අපිව කොට්ටාවට අරන්ආවා.

Highway එක පටන් ගන්න කොට්ටාව හරියට එද්දී නිකම් වෙසක් පෝයට හදන මහා තොරණ් රාජයෙක්ගේ පිටිපස්ස වගේ බම්බු හිටවලා structure එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. ඒ කොළඹටම උඩින් දාන්න යන highway එකේ ඉදිකිරීම්.


පස්සේ ඉතින් highway එකට ඇතුල්වෙද්දී entrance එකේ හිටිය Man "Good Morning Sir" කියලා ටිකට් එක දුන්නා. ඕන් අපි highway එකේ යන්න පටන් ගත්තා. අපේ ගිහානයාට හයියෙන් යන්න බැහැනේ :))

අන්තිමට කොහොම හරි ගැලණිගම පිටවීමට එන්න විනාඩි 5 කටත් අඩු කාලයක් තමා අපිට ගතවුණේ. හොඳ දේට හොඳයි කියන්න එපැයි. මේ වැඩේ නම් චින්තනෙන් කරපු හොඳ වැඩක්.


ගැටළු නැතිවා නෙමෙයි. කුඹුරු මැද්දෙන් තමා highway එක ගිහින් තියෙන්නේ. එක පැත්තක ලියදි ටික කරලා අනිත් පැත්තේ ලියදි ටික කරන්න ගොවිරාළ ගාණක් වියදම් කරන් එහා පැත්තට යන්න ඕනේ වගේ පොඩි පොඩි scene තියෙනවා. ඒත් ඉතින් මේක ආරම්භයනේ කියලා හිත හදාගමුකෝ.

වැරදි වෙනවනේ කොටින්ම හම්බන්තොට වරාය හැදුවටත් පස්සේලූනේ ලොකු ගලක් තිබිලා කැඩුවා කියන්නේ.



මම සිංගප්පූරුවෙයි, මැලේසියාවෙදියි highway වල ගියාට මේ ලංකාවේ highway එකේ ගිය මුල් පාරනේ. ඉතින් ලංකාවෙත් මේ වගේ ඉදිකිරීම් වෙන එක ගැන ලාංකිකයෙක් විදිහට ආඩම්බරයි.

කතාව අවසානයි. අපි සුන්දර විසාකාවියන් එක්ක සුන්දර හෝරා කීපයක් ගත කරපු හැටි බලන්න කැමති අය ඉන්නවා නම් මෙන්න ඒකට පාර. කෝකටත් මම මේකටත් photos දෙක තුනක් දානවා. ඔයාලා අඳුරන අය එහෙම ඉන්නවාද කියලා බලන්න :))


ඔයාලත් highway එකේ ගිහින් බලන්නකෝ. අපේ දේවල් වටින්නේ අපිටනේ.

ප.ලි.: ගොන්කමට සීමාවක් තිබිය යුතුය. ඇනෝනිමස් අදහස් කීපයකින් සහ තවත් සහෘදයන් කීප දෙනෙක්ගේ අදහස්වලින් ඒ සීමාව වටහා ගත්තෙමි. මාහට එය වටහා දීමට උත්සුක වූ සැමට ස්තුතියි. දැන් කළ හැකි අන්දමට එය නිවැරදි කළෙමි. එයද විනිශ්චය කිරීම ඔබට භාරය

කිසිම අදහසක් වාරණය කිරීමට මා උත්සහ නොදරා ඇත්තේද මෙවන් වූ පාඨක අදහස් බලාපොරොත්තුවෙනි. හුරේ නොදමා හරි දේට හරි යැයිද වැරදි දේට වැරදි යයිද කියන මෙවන් පාඨකයන් බ්ලොග්කරුවන් නිවැරදි මාර්ගයේ ගෙනයාමට දායකවීම ගැන නැවතත් ස්තුතිය :)

සටහන සංශෝධනය කර පළ කර ඇති බව කරුණාවෙන් සළකන්න

Saturday, October 8, 2011

ගුරු දිනය වෙනුවෙන් - විශ‍්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයා


හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙන
හිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැන
පැනලා නොකියමි හඳුනනකං
විස්තර නොකරමි ගුරු ගෝලකං

මතකයි ඇදපු හැටි යටි බඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිනි අව්වේ දණින්
ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩි කෝදුවෙන්

තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණේ සිනාවක්, තෙතක්, දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් වියපත්ය! පැන්ෂන්ය! තැන්පත්ය!

මොළේ ඇති එවුන්වම වරුණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුරුවලයන්ට තලා පෙළා හිංසා කොට
පාසල අපායක් කළ මොහු

නුඹ නිසා තිත්තවුණි මට පාසල් යෑම
නැවතුණෙමි ගෙදර හඬ හඬා
අන්තිමේ ගියෙමි තාත්තා ගිය මග
ටවුමේ එළවළු විකුණන්ට (දැං මට හොඳයි)

නුඹද නුඹේ දක්ෂ අදක්ෂ ගෝලයෝ සැවොමද
දැන් නිතර එති මා ළඟට මගේ කඩයට
එදා බැරිවූ ගණන් දැන් පෙන්වමි නුඹලා සැමට
කිරාදෙමි පන්සීය හාරසීයට


අපේ Logic Class එකේ මිස් A/L Logic ඉගැන්වුවාට සියනෑ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක්. දවසක් මිස් එක්ක උපාධිධාරී ගුරුවරුන්ට දේශනයක් කරන්න ගියා.

ඒකෙදී මේ කවියත් මිස් ඒ ගුරුවරුන්ට කියවන්න දුන්නා. හිතට වදින දෙයක් තිබුණු නිසා තමයි මාත් මේක පළ කළේ.

මේක ලියලා තියෙන්නෙත් ගුරුවරයෙක් වෙන පුෂ්පසිරි දයාවංශ කෝට්ටෙගේ :)

Sunday, September 25, 2011

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකම

මේ ලෝකයෙහි පුද්ගලයන් හා දේවල් තුල නොයෙකුත් වෙනස් කම් ඇති බව අසාමාන්‍ය දෙයක් නොවේ. එය අප ජිවිතයෙහි මුල්කාලයේ සිටම අත්දැක ඇත්තෙමු. නමුත් ඒ වෙනස් කම් ගැන අප වැඩිදුරට සිතා නැතුවා විය හැකිය. ඒ සියළුම වෙනස් කම් බලපවත්වන්නේ ඒ ඒ දෙයට හා පුද්ගලයන්ට ආවේනික ගුණාත්මක බවට අනුවය.

කෙනෙකු නරක ගුණාංගයන්ගෙන් යුක්ත වන අතර තව කෙනෙකු යහපත් ගුණයෙන් යුක්තව පවතී. මෙසේ ‍හොද හා නරක ගුණයන් ලෙසින් ලොව පුරා විසිරී පැතිරී පවතී. මේ දේවල් හා පුද්ගලයන් පිළිබද ඇති ගුණාත්මක බව ලෝකයට විටෙක යහපත පිණිසද තව විටෙක විනාශය පිණිසද පවතින අතර ඒවා නිසා යහපත නපුරු දෙකම සිදුවිය හැකිය.

මේ අතර අසාමාණ්‍ය ගුණ දරණ පුද්ගලයන් හා දේවල්ද මේ ලෝකය තුල විටින් විට විද්‍යාමාන වේ. ඒ අතර මානුෂීය හැකියාවන් ඉක්මවා ගිය අධිමානුෂීය හැකියාවන්ගෙන් පිරි පුද්ගලයන් ද මේ ලෝකය තුල පහලවීමද අසාමාන්‍ය නමුත් කළාතුරකින් සිදුවන දෙයකි.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා එවැනි අසාමාන්‍ය ගුණ මහත්වයකින් හෙබී උත්තමයන්‍ වහන්සේලායි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා තුල පවතීන ගුණය සාමාන්‍ය ලෝකයා හා සසදා බලන කල්හී අසාමාන්‍යද අසමද වන්නේ ය. ඒ එවන් ගුණ එවැනිම උතුමන් වහන්සේලා අතර පවතින අනෙක් ඉන් මෙහා පුද්ගලයන් කෙරෙහි දැක්ක නොහැකි දේ නිසාය.

අපගේ බුදුරජාණන් වහන්සේ මේ සියළු සත්වයන් අතරින් අග්‍රද ශ්‍රේෂ්ඨමද ගුණ දරණ සේක් උන් වහන්සේ එවැනිම් බුදුවරුන්ට සමාන වන ගුණ ඇති හෙයින් හා, වෙනත් කිසිවෙකුට සමාන කල නොහැකි හෙයින් අසමද, සමද වන සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සයුර අනන්තවත්ව පැතිර පවත්නේ ය. ඒවා මේ මේ යැයි කියා පරිපුර්ණ ලෙස ප්‍රකාශ කල හැකි සමතෙක් මේ ලොව්හී නැත.

එසේ වුවද බුදුරජාණන් වහන්සේ හා තථාගත ශ්‍රාවකයන් වහන්සේලා එම ගුණ ස්කන්ධය ගැන ලෝකයට වටහා දීම පිණිස ගෙනහැර දක්වා ඇති අවස්ථාද ති‍‍බේ. ඒවා සමහරක්, අධික ශ්‍රද්ධාවෙන් යුතුව කරන ප්‍රකාශන ‍වන අතර තව සමහරක් ඒවා ප්‍රඥා සමුදුරෙහි කිමිදි කරන ලද විස්තර වේ. එවන් බුද්ධ ගුණ විග්‍රහයන් ගැන සලකා බලන අපට ඒවා මෙසේ කොටස් වශයෙන් දළ සටහනක් ඉදිරිපත් කල හැකිය.

ෂඩ් අසාධාරණ ඥාණ
චුද්දස බුද්ධ ඤාණ
සෝළස මහා ඥාණ

අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ

එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥාණ

සමපනස් උදයව්‍ය ඥාණ
තෙසැත්තා ඥාණ
සත් සැත්තාඥාණ
අනන්තනය සමන්නාගත සර්වඥතා ඤාණ
යනාදී ලෙසිනි.

මෙම සෑම ඤාණ කොටසක්ම බුදුරජාණන් වහන්සේ තුල පැවැතී අසාමාන්‍ය හා අත්‍යුදාර වු අනු‍පමේය වු ගුණ සයුර ගැන යම්කිසි අවබෝධයක් ඇති කරදීම පිණිස කරන ලද බුද්ධ ගුණ සංග්‍රහයන් ය.

මෙහි එන තෙසැත්තා ඥාණයන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවන් ලෙස සැලකෙන පටිසම්භිදාමග්ග පාලියේ ‍ඥාණ කතා නිර්දේශය පුරා විස්තර සහිතව ලියැවී ඇත්තේ ය. එම තෙසැත්තා ඥාණයන් සිහිකොට බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය පිළිබදව අපට යම් දැනුමක් වැටහීමක් ලබා ගත හැකි වන අතර ඒ තුලින් අප තුල පවතින ශාස්තෲ ගෞරවය තවත් දැඩි කරගැනීමට හා ශ්‍රද්ධාදී ඉදුරන් වඩා ගැනීමට මහත් උපකාර පිණිස පවතිනු ඇත.

මෑත භාගයේ බුදු ගුණ සයුර තුල හැසිරුණු මහා යතිවරයන් වහන්සේලා අතර ප්‍රධාන තැනක් ගන්නා උතුම් ස්වාමීන් වහන්සේලා කීප නමක් වෙති. එයින් මාතර ඥාණාරාම මහෝපාධ්‍යාය නාහිමියෝ ප්‍රධාන තැනක් ගන්න බව කිව යුතුය. උන් වහන්සේගේ පාලී ගාථා ප්‍රබන්ධන හැකියාවෙන් හැඩ ගැන්වෙමින් ඉහත ඥාණ සමුදායෙන් තෙසැත්තෑ ඥාණ ගැන ගාථා සැත්තෑ තුනකින් වර්ණවත් බුද්ධ ගුණ වර්ණනාවක් කර ඇත්තේ ය.

නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

එයින් පසුව ඒ තැන හිමි විය යුත්තේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේටය. නා උයනේ අරිය ධම්ම මාහා නාහිමිපාණෝ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු ගුණ සිහපත් කරන වාර ‍බොහෝය. ඒ මාහිමිපාණන් වහන්සේ විසින් බුදු ගුණ ගැන ලියා ඇති පොත් පත් බොහෝ ඇත්තේ ය. එසේම ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසතොත්, බුද්ධ සහස්සනාමාවලී නැමැති පාලි ගාථා ප්‍රබන්ධයක් කල එස් එම් ගොඑන්කා ජී තුමන් ද මෑත බුදු ගුණ ලෝකය හමුවේ හඩනාගා කියන්නට වෙහෙසුන අය අතරට අයත් වේ.

මහමෙවුනා අසපු නිර්මාතෲ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ

එසේම ඉතාමත්ම මෑත ලක්දිව පුරා පැතිරීගිය මහමෙව්නා භාවනා අසපු තුලින්ද අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන බොහෝ ග්‍රන්ථයන් සම්පාදනය වී ඇත්තේ ය. එයින් උපාලි ගෘහපති තුමන්ගේ ප්‍රකාශය අලලා කරන ලද ග්‍රන්ථ හා බුදු ගුණ සරල සිංහලට පෙරලා ගොඩ නගන ලද කාව්‍යයන් බොහෝමයක් අපගේ සිත් තුල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් උපදවනු ලබන්නේ ය.

මේ ඉහත සදහන් උතුම් ස්වාමීන් වහන්සේලා අතරින් නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුසාසකත්වයෙන් නොඇසි , අභාවිතව යන මේ උතුම් බුදු ගුණ යලිත් සාමාන්‍ය ජනතාව අතර රැව් පිළිරැව් දීම පිණිසත්, ඒවා ගැන ගැඹුරින් විමසන අයට බුදු ගුණ සයුරෙහි කිමිදීම පිණිසත් , එම ගැඹුරු බුදු ගුණයන් සමාජගත කිරීම පිණිසත් තෙසැත්තෑඥාණ පුජා නමින් ආමිසමය බුද්ධ පුජාවක් ලෙස සමාජයට දායාද කරන ලදි.

මෙම තෙසැත්තෑ ඤාණ පූජාවේ මුලාරම්භය කිනම් අවධියකදී සිදුවුවාදැයි කිව නොහැකි මුත් වර්තමානයේ මෙම පුජාවන් පැවැත්වීම පිණිස ජනතාව පෙලගැසුනේ නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හා එම ඇසුරෙහි පසුවන භික්ෂුන් වහන්සේලාගේ ඇසුරින් බව කිව යුතුය.

මෙය උතුම් බුද්ධ වන්දනාවක් සේම බුදු ගුණ සජ්ඣායනා කිරීමේදී එයට සම්පුර්ණ අවධානය යොමු කොට සමාහිත සිතකින් එම පුජාවන්ට සම්බන්ධ විය හැකි නම් එවිට ඒ නිසා කියා ‍නිම කල නොහැකි සහන් සුවයක් හා අමිල වටිනාකමින් යුතු මහා පුණ්‍ය සම්භාරයක්ද රැස් කරගන්නට එය උපකාරවත් වෙනු ඇත. ජිවිතේ නොයෙක් දුක් කම්කටොලු මැද සියල්ල ඉවසා දරා සිටින්නට මහා බලයක් පිටුවහලක් ද වනු ඇත.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජාවේදී සජ්ඣායනය කරන බුද්ධ ඤාණ පිළිවෙලින් මෙසේය

1. සොතාවධානෙ පඤ්‌ඤා සුතමයෙ ඤාණං

2. සුත්‌වාන සංවරෙ පඤ්‌ඤා සීලමයෙ ඤාණං

3. සංවරිත්‌වා සමාදහනෙ පඤ්‌ඤා සමාධිභාවනාමයෙ ඤාණං

4. පච්‌චයපරිග්‌ගහෙ පඤ්‌ඤා ධම්‌මට්‌ඨිති ඤාණං

5. අතීතානාගතපච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං

6. පච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං විපරිණාමානුපස්‌සනෙ පඤ්‌ඤා උදයබ්‌බයානුපස්‌සනෙ ඤාණං

7. ආරම්‌මණං පටිසඞ්‌ඛා භඞ්‌ගානුපස්‌සනෙ පඤ්‌ඤා විපස්‌සනෙ ඤාණං

8. භයතුපට්‌ඨානෙ පඤ්‌ඤා ආදීනවෙ ඤාණං

9. මුඤ්‌චිතුකම්‍යතාපටිසඞ්‌ඛාසන්‌තිට්‌ඨනා පඤ්‌ඤා සඞ්‌ඛාරුපෙක්‌ඛාසු ඤාණං

10. බහිද්‌ධා වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා ගොත්‍රභු ඤාණං

11. දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

12. පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං

13. ඡින්‌නවට්‌ටමනුපස්‌සනෙ පඤ්‌ඤා විමුත්‌ති ඤාණං

14. තදා සමුපාගතෙ ධම්‌මෙ පස්‌සනෙ පඤ්‌ඤා පච්‌චවෙක්‌ඛණෙ ඤාණං

15. අජ්‌ඣත්‌තවවත්‌ථානෙ පඤ්‌ඤා වත්‌ථුනානත්‌තෙ ඤාණං

16. බහිද්‌ධාවවත්‌ථානෙ පඤ්‌ඤා ගොචරනානත්‌තෙ ඤාණං

17. චරියාවවත්‌ථානෙ පඤ්‌ඤා චරියානානත්‌තෙ ඤාණං

18. චතුධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා භූමිනානත්‌තෙ ඤාණං

19. නවධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා ධම්‌මනානත්‌තෙ ඤාණං

20. අභිඤ්‌ඤාපඤ්‌ඤා ඤාතට්‌ඨෙ ඤාණං

21. පරිඤ්‌ඤාපඤ්‌ඤා තීරණට්‌ඨෙ ඤාණං

22. පහානෙ පඤ්‌ඤා පරිච්‌චාගට්‌ඨෙ ඤාණං

23. භාවනාපඤ්‌ඤා එකරසට්‌ඨෙ ඤාණං

24. සච්‌ඡිකිරියාපඤ්‌ඤා ඵුසනට්‌ඨෙ ඤාණං

25. අත්‌ථනානත්‌තෙ පඤ්‌ඤා අත්‌ථපටිසම්‌භිදෙ ඤාණං

26. ධම්‌මනානත්‌තෙ පඤ්‌ඤා ධම්‌මපටිසම්‌භිදෙ ඤාණං

27. නිරුත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා නිරුත්‌තිපටිසම්‌භිදෙ ඤාණං

28. පටිභාණනානත්‌තෙ පඤ්‌ඤා පටිභානපටිසම්‌භිදෙ ඤාණං

29. විහාරනානත්‌තෙ පඤ්‌ඤා විහාරට්‌ඨෙ ඤාණං

30. සමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා සමාපත්‌තට්‌ඨෙ ඤාණං

31. විහාරසමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා විහාරසමාපත්‌තට්‌ඨෙ ඤාණං

32. අවික්‌ඛෙපපරිසුද්‌ධත්‌තා ආසවසමුච්‌ඡෙදෙ පඤ්‌ඤා ආනන්‌තරිකසමාධිම්‌හි ඤාණං

33. දස්‌සනාධිපතෙය්‍යං සන්‌තො ච විහාරාධිගමො පණීතාධිමුත්‌තතා පඤ්‌ඤා අරණවිහාරෙ ඤාණං

34. ද්‌වීහි බලෙහි සමන්‌නාගතත්‌තා තයො ච සඞ්‌ඛාරානං පටිප්‌පස්‌සද්‌ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්‌ඤා නිරොධසමාපත්‌තියා ඤාණං

35. සම්‌පජානස්‌ස පවත්‌තපරියාදානෙ පඤ්‌ඤා පරිනිබ්‌බානෙ ඤාණං

36. සබ්‌බධම්‌මානං සම්‌මා සමුච්‌ඡෙදෙ නිරොධෙ ච අනුපට්‌ඨානතා පඤ්‌ඤා සමසීසට්‌ඨෙ ඤාණං

37. පුථුනානත්‌තතෙජපරියාදානෙ පඤ්‌ඤා සල්‌ලෙඛට්‌ඨෙ ඤාණං

38. අසල්‌ලීනත්‌තපහිතත්‌තපග්‌ගහට්‌ඨෙ පඤ්‌ඤා වීරියාරම්‌භෙ ඤාණං

39. නානාධම්‌මප්‌පකාසනතා පඤ්‌ඤා අත්‌ථසන්‌දස්‌සනෙ ඤාණං

40. සබ්‌බධම්‌මානං එකසඞ්‌ගහතානානත්‌තෙකත්‌තපටිවෙධෙ පඤ්‌ඤා දස්‌සනවිසුද්‌ධි ඤාණං

41. විදිතත්‌තා පඤ්‌ඤා ඛන්‌ති ඤාණං

42. ඵුට්‌ඨත්‌තා පඤ්‌ඤා පරියොගාහනෙ ඤාණං

43. සමොදහනෙ පඤ්‌ඤා පදෙසවිහාරෙ ඤාණං

44. අධිපතත්‌තා පඤ්‌ඤා සඤ්‌ඤාවිවට්‌ටෙ ඤාණං

45. නානත්‌තෙ පඤ්‌ඤා චෙතොවිවට්‌ටෙ ඤාණං

46. අධිට්‌ඨානෙ පඤ්‌ඤා චිත්‌තවිවට්‌ටෙ ඤාණං

47. සුඤ්‌ඤතෙ පඤ්‌ඤා ඤාණවිවට්‌ටෙ ඤාණං

48. වොස්‌සග්‌ගෙ පඤ්‌ඤා විමොක්‌ඛවිවට්‌ටෙ ඤාණං

49. තථට්‌ඨෙ පඤ්‌ඤා සච්‌චවිවට්‌ටෙ ඤාණං

50. කායම්‌පි චිත්‌තම්‌පි එකවවත්‌ථානතා සුඛසඤ්‌ඤඤ්‌ච ලහුසඤ්‌ඤඤ්‌ච අධිට්‌ඨානවසෙන ඉජ්‌ඣනට්‌ඨෙ පඤ්‌ඤා ඉද්‌ධිවිධෙ ඤාණං

51. විතක්‌කවිප්‌ඵාරවසෙන නානත්‌තෙකත්‌තසද්‌දනිමිත්‌තානං පරියොගාහණෙ පඤ්‌ඤා සොතධාතුවිසුද්‌ධිඤාණං

52. තිණ්‌ණන්‌නං චිත්‌තානං විප්‌ඵාරත්‌තා ඉන්‌ද්‍රියානං පසාදවසෙන නානත්‌තෙකත්‌තවිඤ්‌ඤාණචරියා පරියොගාහණෙ පඤ්‌ඤා චෙතොපරිය ඤාණං

53. පච්‌චයප්‌පවත්‌තානං ධම්‌මානං නානත්‌තෙකත්‌තකම්‌මවිප්‌ඵාරවසෙන පරියොගාහණෙ පඤ්‌ඤා පුබ්‌බෙනිවාසානුස්‌සති ඤාණං

54. ඔභාසවසෙන නානත්‌තෙකත්‌තරූපනිමිත්‌තානං දස්‌සනට්‌ඨෙ පඤ්‌ඤා දිබ්‌බචක්‌ඛු ඤාණං

55. චතුසට්‌ඨියා ආකාරෙහි තිණ්‌ණන්‌නං ඉන්‌ද්‍රියානං වසීභාවතා පඤ්‌ඤා ආසවානං ඛයෙ ඤාණං

56. පරිඤ්‌ඤට්‌ඨෙ පඤ්‌ඤා දුක්‌ඛෙ ඤාණං

57. පහානට්‌ඨෙ පඤ්‌ඤා සමුදයෙ ඤාණං

58. සච්‌ඡිකිරියට්‌ඨෙ පඤ්‌ඤා නිරොධෙ ඤාණං

59. භාවනට්‌ඨෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

60. දුක්‌ඛෙ ඤාණං

61. දුක්‌ඛ සමුදයෙ ඤාණං

62. දුක්‌ඛ නිරොධෙ ඤාණං

63. දුක්‌ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං

64. අත්‌ථ පටිසම්‌භිදෙ ඤාණං

65. ධම්‌ම පටිසම්‌භිදෙ ඤාණං

66. නිරුත්‌ති පටිසම්‌භිදෙ ඤාණං

67. පටිභාන පටිසම්‌භිදෙ ඤාණං

68. ඉන්‌ද්‍රිය පරොපරියත්‌තෙ ඤාණං

69. සත්‌තානං ආසයානුසයෙ ඤාණං

70. යමක පාටිහීරෙ ඤාණං

71. මහාකරුණාසමාපත්‌තියා ඤාණං

72. සබ්‌බඤ්‌ඤුත ඤාණං

73. අනාවරණ ඤාණං

ඉමානි තෙසත්‌තති ඤාණානි. ඉමෙසං තෙසත්‌තතියා ඤාණානං සත්‌තසට්‌ඨි ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි. ඉමේහී තේ සත්තිතියා ඤාණේහි සමන්නාගතං සම්මාසම්බුද්ධං තං සිරසා නමාමී

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේදී ඒ ඒ බුද්ධ ඤාණයන් මුද්‍රණය කර ඇති කොඩි භාවිත කරන අතර ඒ අසළින් බුද්ධ ප්‍රතිමාවක් තැබීමද සිදු කරනු ලබයි. මේ එක් එක් ඤාණයන්ට පූජාවන් පවත්වන අතර එහිදී අෂ්ට පාන, චතු මධුර ආදී ගිලන්පසද, මල්, සුවඳ දුම්, පහන් ආදිය මෙන්ම පිරිකරද පූජා කරනු ලබයි. පසුව ඉහත දැක්වූ එක් එක් ඤාණය සජ්ඣායනය කරමින් ඒ එක් එක් ඤාණයට පූජා ද්‍රව්‍ය පූජා කරනු ලැබේ.

ඉමහත් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් සිදු කළ යුතු මෙන්ම සිදු කරනු ලබන පිංකමක් ලෙස මේ පිංකම හැඳින්විය හැක. මෙබඳු පිංකමක් සංවිධානය කරනු ලබන පිංවතුන්ගේ හැකියාව මත කරනු ලබන පූජාවන් විවිධ මට්ටම්වලින් කළ හැකි බවද දැක්විය හැක.

කැලණිය තර්ක මැදුරේ සිසුන්ටද උසස් පෙළ විභාගය වෙනුවෙන් ආශිර්වාද පතා මේ පිංකම වාර්ෂිකව පැවැත්වෙන අතර දෙවෙනි වරටත් කැලණිය පෙතියාගොඩ පුරාණ විහාරයේදී පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූප මේ සමඟ ඇත.

එම පිංකම මෙහෙය වන ලද්දේ වාරණ ශාන්ත තපෝවනවාසී පූජ්‍ය එප්පාවල සාගර සුමන හිමිපාණන් වහන්සේය. මේ ලිපිය සැකසීම සඳහාද උන් වහන්සේගෙන් නොමඳ සහයක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන අතරම උන් වහන්සේගේ ශාසනික කටයුතු තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

මේ ලිපිය කියවා, ඡායාරූප දැක පහන් සිත් ඇතිකර ගැනීමට අන් අයට මග පෑදූ හරි අක්කාටත් පුණ්‍යානුමෝදනා එක් කරන අතරම මේ පිංකම සංවිධානය කළ කැලණිය තර්ක මැදුරේ දුලානි දිසානායක මහත්මියත්, හේමන්ත සරත්චන්ද්‍ර මහතා ඇතුලු සියලුම සිසුවියන්ටත්, දායක වූ සැමටත් පින් :)

සියලු දෙනා කරගත්තා වූ මේ උතුම් කුසල කර්මය නිර්වාණ මාර්ගය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා.............

කැලණිය තර්ක මැදුරින් පෙතියාගොඩ පුරාණ විහාරයේ පවත්වන ලද තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

මතුගම සුමග සමාධි අසපුවේ පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

තෙසැත්තෑ බුද්ධ ඤාණවල අරුත සිංහලෙන් දැනගන්න

Tuesday, September 13, 2011

නිකම් කතා තුනක්

පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.

එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)

මිස් car එකෙන් තන්තිරිමලේ කුඹුරක් හාපු හැටි

ආහ් මිස්ගේ car එක කිව්වාම මතක් වුණේ ඒ car එක ගැන ඔයාලා දන්නවා. අර අර තන්තිරිමලේ ගිහින් කුඹුරක් හෑවේ අන්න ඒ car එකෙන් තමයි :))

ඉතින් Book Launch එකට යන එන අතර තුර අපි කීපදෙනායි මිස් සහ සර් අතර වුණු කතා තුනක් තමයි මේ.....

------------------------------------------------------------------------------------------------

කතා අංක 1


මම : මිස් දන්නවාද මට දැන් Phone එකට දෙරණ newa alert එකක් ආවා. ලංකාවේ මිනිස්සු 40 ක් හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න යද්දී Navy එකෙන් අල්ලගෙන......

මිස් :කොහොමද එවුන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් තියෙන්නේ ?? උඩින්ද ???

මම : උඩින් යන එවුන්ව කොහොමද මිස් මුහුදේ ඉන්න Navy එකෙන් අල්ලන්නේ :)) ඔන්න මුහුදෙන් පනින එවුන්ව නම් අල්ලයි :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 2



Book Launch එකට එන්න කියලා අපිට call කරලා තමයි එන්න කිව්වේ. ඉතින් Invite කරන එක එක විදි ගැන කතාවක් ඇදිලා යද්දී තමා මේ කතාවට ආවේ.......

සර් : නුවර පැත්තේ නම් ආරාධනාවක් ලැබෙන්නේ නැතුව මොකක් හරි එකකට ගියාම කෙළින්ම මූණටම අහනවා "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා

ගිහාන් : එහෙම අහද්දී ඉතින් වළක් කපාගෙන පනින්න තමයි හිතෙන්නේ නේද සර්

මම : හැබැයි ඉතින් අපිට මෙහෙමත් කියන්න පුලුවන් චාටර් වෙන්නේ නැතිවෙන්න. එහෙන් අහද්දී "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා කියන්න තියෙන්නේ "නෑ මේ උදැල්ලක් ඉල්ල ගන්න ආවේ" කියලා.

එතකොට උනුත් බලනවානේ මූ මොකටද උදැල්ල ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කියනවා "නෑ මේ පොඩි වළක් කපාගෙන ඒකට පනින්න" කියලා :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 3


Book Launch එක ඉවරවෙලා ආපහු ගෙදර යද්දී සර් එක පාරටම car එක නැවැත්තුවා. අපිත් එක පාරටම ගැස්සුණා මොකද සර් හදිසියේම කාර් එක නැවැත්තුවේ කියලා..........

සර් : බබා දැක්කද deepest sympathy බැනර් එක. අපි මේ මළ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා යමු

මිස් : පිස්සුද බබා ඔයා මේ මනුස්සයාව දන්නවා ???

සර් : නෑ බබා මම මේ නිකමට කිව්වේ [ සිනා :)) ]

ගිහාන් : යමු යමු සර්. අපි ඇඳන් ඉන්නෙත් සුදු ෂර්ට්නේ. අද තමයි දවස

සර් : ඒක නෙමෙයි ඇත්තටම මම මළ ගෙදරකට වැරදිලා ගිහින් තියෙනවා. පස්සේ තමයි දැනගත්තේ මම යන්න ඕනේ මළ ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියලා :))

------------------------------------------------------------------------------------------------

ප.ලි.: අපේ Logic Class එකේ තව හොඳ හොඳ කතා කියවන්න කැමති නම් යන්න Logic Class කතා

ප.ප.ලි.: ඉදිරියේදී පළවීමට නියමිත කතා ලැයිස්තුව මුහුණු පොතට එක් කළෙමි. හුදී පහන් ජන සංවේගයට මෙයටද එක් කරමි :))

1. සඟ රස බස් - 3
2. තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම
3. මහින්දාගමනයට මහා shot එකක්


Bindi අක්කා
කිව්වා හරිය. ලිස්ට්වලට කතා ලිවීම අපහසුය :))

රස කැමැත්තෝ රස විඳිත්වා..........

Friday, June 25, 2010

Card දැමීම, Card දමා ගැනීම සහ Card වැටීම

හුඟක් අයට ඇත්ත නමත් එක්ක එක එක තැන්වල එක එක විදිහට කරපු හරි වුණු හරි වැඩ නිසා Card වැටෙනවානේ. කොහොමත් Campus වල හැම කෙනෙක්ටම ආපු ගමන් කරන්නේ Senior Batch එකේ කට්ටිය විසින් card එකක් දාන එකනේ. ඒක ගැන පස්සේ දවසක කියන්නම්කෝ.

ඉතින් මේ තියෙන්නේ මම දන්න කියන කීප දෙනෙක්ට Card වැටුණු, Card හැදුණු, Card දාගත්තු scenes කීපයක්. ගොඩාක් තිබ්බත් අතිශය සභ්‍ය ටික තමා මේ දාලා තියෙන්නේ. තව තියෙනවා ඒවත් පුලු පුලුවන් විදිහට කියලා දාන්නම්කෝ

මුල්ම කතාව වුණේ ගිය සතියේ දහම් පාසලේදී. අපිත් එක්ක දහම් පාසලේ උගන්වන කෙනෙක් ඉන්නවා අපි කියමුකෝ man ට චාමර කියලා. අපේ වයසේමයි. ගමේ ඉන්න කොල්ලන්ගෙයි වැඩිම card ප්‍රමාණයක් හිමි පුද්ගලයා තමා මෙයා. බුවා කොහෙට මොකට සෙට් වුණත් card එකකුත් දාගෙන තමා එතනින් යන්නේ.


ඉතින් ගිය සතියේ දහම් පාසලේ interval එකේදී අපි කෑම කන්න පන්සලේ දාන ශාලාවට ගිය වෙලේ චාමරයගේ අතේ අළුත් phone එකක් තියෙනවා මම දැක්කා. බියගම වෙළෙඳ කලාපේ garment එකක lab එකේ තමා පොර වැඩ කරන්නේ. අතේ මිටේ සල්ලි එහෙමත් වැඩියෙන් ගැවසෙන නිසා මිනිහගේ hobby එක තමා අළුත් අළුත් phone ගන්න එක. හැබැයි ගන්නේ Chinese Phones. සතියෙන් සතිය වගේ phone මාරු කරනවා. මේ සතියෙත් අළුත් phone එකක් අතේ තිබ්බ නිසා මායි චාමරයි අතර වුණු සංවාදය තමා මේ

මම : ෂාහ් සිරා phone එකක් නේ බන්. Blackberry එකක් වගේනේ. කීයක් වුණාද ?

චාමර : සිරා phone එක බන්. 8 ක් විතර ගියා.

මම : උඹ අලුතෙන්මද ගත්තේ ?

චාමර : නැහැ බන් අපේ garment එකේ කොල්ලෙක් ටික දවසක් පාවිච්චි කරපු එකක්.

මම : මචන් මේක චීන එකක්ද ?

චාමර : නැහැ බන් මේක Chinese එකක්

මම : එතකොට Chinese කියන්නේ චීන කියන එක නෙමෙයිද ?

චාමර : ආහ් ඔව් නේ බන්. කලබලේට මතක් වුණේ නැහැ

අන්තිමට පොරගේ අළුත්ම card එක තමා Chinese

----------------------------------------------------------------------------------------


අපේ ඉස්කෝලේ තියෙනවා Library Readers Association කියලා සංගමයක්. ඒකේ කට්ටිය ඉස්කෝලේ Library එකේ වැඩ කටයුතුවලට හෙණ සප් එකක් දෙනවා. ඒක නිසා එයාලට සාමාන්‍ය අයට නැති facilities එහෙමත් තියෙනවා. Library Readers Association එකේ Members ලාට කියන්නේ Reders ලා කියලා. ඉතින් ඒකේ පොරවල් සාමාන්‍යයෙන් interval එකට library එකට වෙලා ඉන්නවා. අපේත් එකෙක් හිටියා Reader කෙනෙක් වුණු.

පොර දවසක් library එකේ ඉද්දී Association එකේ Senior පොරක් අපේ man ගෙන් ඇහුවා " මල්ලී, Reader කෙනෙක්ද ?" කියලා

අපේ එකා කියාපි " නැහැ අයියේ මම පාඨකයෙක්" කියලා

ඉතින් ඒ දවස්වල man ගේ card එක වුණේ පාඨකයා


----------------------------------------------------------------------------------------


මේක වුණේ අපි A/L Logic වලට ගිය තර්ක මැදුරේ. දවසක් අපේ ගුරුතුමිය ගමනක් ගියා අපේ කට්ටියට කරන්න paper එකක් දීලා. අපි ඒක ඉවර කරලා නිකම් ඉන්න නිසා T.V එක දාගත්තා. එදා ටොම් කෲස් ඉන්න The Last Samurai කියන film එක පෙන්නුවා.

ඒකේ ඔය සමුරායිලා යුද්ධවලට යන scene එකකදී අපේ එකෙක් මෙහෙම කිව්වා "ඔය සමුරායිලා යුද්ධ පරදින එක සාධාරණයි බන්"කියලා.

අපි ඇහුවා "මොකද බන් ?" කියලා.

Man කියනවා "බලපන් යුද්දෙකට යද්දී ආවුද ගෙනියන්නේ නැතිව මොන මඟුලටද කොඩි උස්සන් යන්නේ. කොඩි උස්සන් යන්නයි fight කරන්නයි දෙකක් කරන්නේ කොහොමද ? ඒකනේ ඔවුන් පරදින්නේ" කියලා.

ඉතින් එදා ඉදන් පොරගේ card එක සමුරායි

----------------------------------------------------------------------------------------


මේකත් තර්ක මැදුරේම කතාවක්. දවසක් මම කිව්වේ අපේ මලින්ද සර් ගැන කතාවක්. මේකත් පොර ගැනම කතාවක් තමා. මලින්ද දැන් දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ A/L Class එකට Logic උගන්වනවා. ඉතින් තර්ක මැදුරේ පරණ set එක මලින්දට card එකක් දැම්මා ෆ්‍රැන්සිස් කියලා. පෙළක් වෙලාවට ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලත් කියනවා.

ඒ අස්සේ පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක පොඩි කතාවක් ගිහින් පස්සේ අපේ එවුන්ටත් ආරංචි වෙලා අපේ set එක මලින්දයාව මුස්ලිම් කළා. දැන් මලින්දයාගේ සම්පූර්ණ නම තමා

" අලි අක්බර් මලින්ද ෆ්‍රැන්සිස් ඛාන්"

ඔක්කොම එක පාර කියන්න බැරි නිසා හුඟක් වෙලාවට කට්ටිය කියන්නේ එක්කෝ ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලා ඒත් නැත්නම් ඛාන් කියලා...

අපි මේ මොන විහිළුව කළත් මලින්දයාගේ වැඩේ මෝඩ හිනාවක් දාගෙන ඉන්න එක. මොනවා වුණත් මලින්දයා ඔද මුනියා

----------------------------------------------------------------------------------------

ප.ලි.: මම මුලින්ම ලියන්න හිතුවේ පොඩි පොඩි ආගිය කතා ටිකක්. අන්තිමට ලියපු කතා ඔක්කොම ටිකේ තිබ්බේ කට්ටියට card වැටුණු හැටිනේ. ඒක නිසා මුලින්ම ලියපු කතාවේ තිබ්බේ කාටවත් card එකක් හැදුණු හැටි නෙමෙයි නිසා ඒක අයින් කරන්න හිතුවේ. පස්සේ හිතුවා ඔන්න ඔහේ ඒකත් කියලා දානවා කියලා.

මෙන්න අද අතුරුපස කතාව....


මේ කතාව වුණේ 2003 හෝ 2004 වගේ. අපේ සීයත් එක්ක මම නෑයෙක්ගේ ගෙදර තිබුණු දානේ ගේකට ගියා. සීයට ඒ වෙද්දිත් වයස අවුරුදු 93 ක් විතර. ටිකක් අමතක වෙන ගතිය එහෙමත් තිබ්බා. අපි ගිහින් ටික වෙලාවකින් දානෙට හාමුදුරුවන්ව වැඩමවාගෙන ආවා. මෙන්න සීයයි මායි අතර වුණු කතාව

සීයා : පුතේ ?

මම : ඇයි සීයේ ?

සීයා : මේ හාමුදුරුවරු මහණ වෙලාද ඉන්නේ පුතේ ?

මම : ඔව්නේ සීයේ. මහණ වුණු අයටනේ හාමුදුරුවෝ කියන්නේ

සීයා : ආහ් ඔව්නේ පුතේ.....

Saturday, June 19, 2010

සාඩම්බර හසී පවුල සහ චා Group එක


අද මූණු පොතේ කරක් ගහද්දී දැක්කා හෂිකා හෙට්ටිගේ අක්කා මට Request එකක් එවලා තිබ්බා "සාඩම්බර හසී පවුල" කියන මූණු පොතේ Group එකට set වෙන්න කියලා. මගේ නමත් හසිත නේ. ඉතින් මමත් Group එකට ගිහින් බැලුවා. Group එක හදලා තියෙන්නේ අන්තර්ජාලේ සහ බ්ලොග් අවකාශේ කරක් ගහන ඔක්කොම හසීලාට set වෙන්න. ඒක create කරලා තියෙන්නෙත් හසිත හේමරත්න අයියා. මමත් ඉතින් සතුටින් "සාඩම්බර හසී පවුල" ට එක් වුණා.

වත් අක්කාත් දවසක් එයාගේ post එකකට හසිත ජයසූරිය මල්ලී, හෂිකා හෙට්ටිගේ අක්කා සහ මම comments කරපුවට reply එක විදිහට හසී family එකටම ස්තුතියි කරලා තිබ්බා. කොහොමින් කොහොම හරි දැන් සයිබර් අවකාශෙයි බ්ලොග් අවකාශෙයි හසී පවුල හරිම famous.

දැනට අපේ සාඩම්බර හසී පවුලේ කට්ටිය තමා මේ

හසියා හෙවත් හසිත හේමරත්න අයියා. එයාගේ blog එක තමා හසියාගේ නවාතැන

ඉස්සරහට සාඩම්බර හසී පවුලෙන් අපිට හොඳ හොඳ වැඩ ටිකක් කරන්න බැරියෑ.....

මෙහෙම set එකකගේ නමේ මුල් අකුරු සමාන වුණාම එක එක කල්ලි හදාගන්න එකත් සිරා වැඩක්. මම A/L කරන කාලේ Logic වලට Class ගිය කැලණිය තර්ක මැදුරෙත් අපි මේ වගේ පොඩි Group එකක් හදන් හිටියා. ඒ එකේ නම තමා "චා Group" එක.


චා Group කියලා නම හැදුණේ චා වැඩ ඒත් නැත්නම් සවුත්තු වැඩ කරලා නම් නෙමෙයි. මොකද අපේ චා Group එකේ චා වැඩ කරපු අය හිටියේත් නැහැ, චා Group එකෙන් චා වැඩ කලෙත් නැහැ.

ඉතින් අපේ Group එකට චා කියන නම හැදුණේ මෙහෙමයි. චා Group එකේ member වෙලා හිටිය හැමෝගෙම නමේ චා කියලා කෑල්ලක් තිබුණා. ඒකේ හිටිය කට්ටියගේ නම් ටිකත් කියන්නම්කෝ.......

ගිහාන් චාමර
චානිකා තියරංගි
චායා ජයවර්ධන
ගංගිකා චාමලී
චාමිලා නදීශානි
අන්තිමට මම හසිත චාමිකර


ඉතින් අපේ Logic Class එකෙන් බෝධි පූජා එහෙම කළා Exam එකට ලං වුණාම. ඒවාට එහෙම චා Group එකෙන් හෙණම sup එකක් දුන්නා. ඒ වගේම අපේ Logic Class එක තියෙන්නේ අපේ ගුරුතුමියගේම ගෙදර. අපි ඒ ගෙදර paint කරන කොන්ත්‍රාත් එකත් බාරගෙන හොඳට ගේ paint කළා. ඒකේදී ගේ පිටිපස්සේ බිත්තියේ ගාන්න පාට මදි වෙලා අපි කරපු වැඩේ ඉතුරු වුණු පාට ඔක්කොම එකතු කරලා පාටක් හදලා තමා ගෑවේ. අපි ඒ පාට නම් කළා "චා පාට" කියලා.

තාමත් ඉතින් අපි ඉදලා හිටලා අපේ Logic ගුරුතුමියගේ ගෙදරට set වෙනවා චා Group එකේ Meetings වලට.

තව තව තැන්වල තව තව group වල මම හිටියා. ඒවා ගැන ඉස්සරහට කියන්නම්කෝ.......

ඉතින් ඔයාලට මෙහෙම Groups තිබ්බේ නැද්ද ?

Friday, June 18, 2010

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ - 2

Campus එක පටන් ගත්ත නිසා ඉස්සර වගේ කතා කියන්න එන්න අමාරුයි. වැඩ ගොඩා.......යි. අද නිවාඩුවක් හම්බුණු නිසා ඔන්න අද ඉඩක් ලැබුණා ආගිය කතාවක් කියන්න. මේක වුනේ ඊයේ.


ඊයේ අපේ Logic Class එකේ ගුරුතුමිය මේ අවුරුද්දේ A/L exam ලියන කට්ටියට ආශිර්වාද පතන්න කැලණි පන්සලේ දී බෝධි පූජාවක් සංවිධානය කරලා තිබ්බා. ආදි ශිෂ්‍යයෝ වුණත් අපිත් තාමත් පංතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා අපිටත් එන්න කියලා තිබ්බා මේ බෝධි පූජාවට.

ආදි ශිෂ්‍යයෝ හැටියට මේ බෝධි පූජාවට සම්බන්ධ වුණේ මලින්ද [මතකයිනේ මම දවසක් කතාවක් කිව්වේ මලින්ද සර් කියලා], ගිහාන් [අපේ විදේශ මාධ්‍යවේදියා] සහ මම. ඉතින් බෝධි පූජාවේ මූලික වතාවත් ටික කරලා ඉවර වෙලා වන්දනා ගාථා ටිකත් කියලා ඉවර වෙලා පිරිත් ටිකකුත් සජ්ඣායනය කෙරුණා. මේ වෙලේ ධජග්ග සූත්‍රයත් සජ්ඣායනය කෙරුණා.

මේ පිරිත ගැන දන්න අය දන්නවා ඇති මේ පිරිතෙන් කියවෙන්නේ ආරණ්‍යයකදී හෝ රුක්ෂ මූලයකදී හෝ ජනශුන්‍ය ස්ථානයකදී හෝ සිතේ ඇතිවන බියක්, තැතිගැන්මක්, ලොමු දැහැගැන්මක් දුරුකරගන්න බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන්න කියන එක. මේ සූත්‍රය දේශනා කරන්න මූලික වෙන කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ සුර අසුර යුද්ධයේදී වෙන සිදුවීමකුත් දේශනා කරනවා. ඉතින් මේ සූත්‍රයේ බොහෝ තැන්වල තැතිගැන්ම කියන තේරුම දෙන "ඡම්හිතත්තං වා" කියන පාලි වචනය යෙදෙනවා.


ඉතින් අපි ධජ්ග්ග සූත්‍රය සජ්ඣායනය කරන වෙලාවේ මට එහා පැත්තේ වාඩිවෙලා හිටිය මලින්ද අතේ තමයි පිරුවානා පොත් වහන්සේ තිබ්බේ. Man ඒකත් බල බල ඡම්හිතත්තං වා කියන වචනේ තියෙන "මහප්‍රාණ ඡ" කියන්නේම "ජ" කියලා.

මම ටිකක් වෙලා බැළුවා. මෙයාට දැන් හරි මේ නෙමෙයි මහප්‍රාණ ඡ කියලා පෙනිලා හරියට කියයි කියලා හිතලා. මලින්දයා A/L සිංහල කරලා A එකකුත් ගත්ත එකෙක්. ඒත් හරියන පාටක් නැහැ.

Man ආයි ජම්හිතත්තං වා කියලා කියපු ගමන් මම කරපු වැඩේ මලින්දයාගේ කණට කරලා කිව්වා " ඈ බන් මොකද මේ සැරින් සැරේ ජංගි ජංගි ගාන්නේ. ඇස් ඇරලා බලපන් ඒ වචනේ ඡම්හිතත්තං වා. ඒකේ තියෙන්නේ මහප්‍රාණ ඡ" කියලා

ඊට පස්සේ මලින්දයා හරියට කිව්වා. ඒත් කීප පාරක් ඡම්හිතත්තං වා කියලා කියද්දී හිනා වෙවී තමා කිව්වේ. Man ට මම කිව්ව කතාව මතක් වෙන්න ඇති. ඉතින් ආයි කවදාවත් ඕක වරද්දන්නේ නැහැ මම කිව්ව කතාව මතක් වෙනකම්.

ඉතින් මම විශේෂයෙන් මේ කතාව කිව්වේ මේ කතාව පොදු දෙයක් නිසා. මේ විදිහටම අපි හුඟක් වෙලාවට ගාථාවක් කියද්දී හරියට අකුරු උච්චාරණය කරන්නේ නැතිව වැරදියටමයි කියන්නේ. පොඩි කාලේ ඇහුණු විදිහට ගාථාව කියලා ලොකු වුණාමත් ඒ විදිහටම කියනවා.මම කලින් දවසක ඡත්ත මානවක ගාථා ගැන කතාවක් කිව්වේ. ඒත් මේ සිද්ධියටම නේ.


ඒත් මේ විදිහට නිවැරදි උච්චාරණයෙන් ඈත්වෙලා ගාථා කියන එකෙන් මම හිතන්නේ නැහැ ඒ ගාථාව කියලා අපි අපේක්ෂා කරන යහපත සුභ සිද්ධිය ලැබේවි කියලා. ඒ වගේම මීට කලින් දවසක් මම කිව්වා වගේ කියන්නන් වාලේ ගාථාවක් කිව්වාට වැඩකුත් නැහැ. වඩාත් අර්ථවත් වෙන්නේ තමා කියන ගාථාවේ තේරුම ගැන අවබෝධෙකුත් එක්ක නිවැරදි උච්චාරණයත් ඇතිව ගාථාවක් කියන එක.

ලොකු අයව නිවැරදි කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒත් පොඩි පරම්පරාව නිවැරදි කරන එක නම් පහසුවෙන් කරන්න පුලුවන්. අනාගතේ අපිට ඕන කරන්නේ ගිරව් නෙමෙයි අවබෝධෙන් යමක් කරන කියන පිරිසක්. අනික් ආගම්වල වැරදි හොය හොය ඉන්නේ නැතිව මේ වගේ පොඩි පොඩි කරුණු ගැන අවදානය යොමු කරලා ඒකට අවශ්‍ය කරන කටයුතු තමා බෞද්ධයෝ හැටියට අපි කාගේ කාගේත් වගකීම වෙන්න ඕනේ...

මම මීට කාලෙකට කලින් කොහෙ හරි දැක්කා කියමනක් ඒකේ තිබ්බේ මෙහෙම.

" මිනිසා ආගම වෙනුවෙන් යුධ වදී. වාද කරයි. කල හැකි සෑම දෙයක්ම ඉටු කරයි. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම පමණි"

ප.ලි.: මේ විදිහට අකුරු හරියාකාරව උච්චාරණය නොකරපු කෙනෙක්ට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ කියපු නියම කතාවක් හෙට කියන්නම්.

Thursday, June 3, 2010

මගේ අසනීපය සහ මිතුරුගුණාලංකාරය


කම්මැලිකමේ හිටපු දවසක මගේ මේස ලාච්චුව ටිකක් අස් කරන්න හිතලා අස් කරපු වෙලේ මම ඉස්කෝලේ යන කාලේ ලියපු කවි ??? [නිසදැස්] වගයක් හම්බුණා කියලා මම කිව්වා මතක ඇති. ඒවායෙන් මම A/L General English paper එක දවසේ ලියපුවා ටික ආගිය කවි කියලා ආගිය කතා වෙනුවට ආගිය කවි, ඉවර නැතෝ - ආගිය කවි 2, ආගිය කවි ඉවරා.....යි හැටියට දැම්මත් කට්ටියට මතක ඇති. ඉතින් අදත් දාන්න හිතුවේ එහෙම මේස ලාච්චුවේ තිබිලා හම්බුණු නිදහස් ආකරයකට ලියපු කතාවක් වගේ කවියක්.

මේකෙත් නිධාන කතාව කිව්වොත් මම කරන A/L කාලේ Logic වලට class ගියේ කැලණියේ දිප්පිටිගොඩ පාරේ තිබ්බ class එකකට කියලා මම කලින් කියලා ඇති. ඒ පංතියේ හිටපු මලින්ද කියන කෙනාට කොල්ලෙක් හදපු සිංදුව එහෙමත් ඔයාලට මතක ඇති.

ඉතින් 2008 අවුරුද්දේ මැයි මාසේ 18 [මට මතක විදිහට] උදේ වරුවේ Logic class එකේ ඉද්දී එකපාරටම මගේ පපුව හිර වෙනවා වගේ ගතියක් ආවා. ඒක මම කට්ටියට කියපු ගමන් වහා ක්‍රියාත්මක වන පරිදි තොරණ හන්දීය ඉන්න පෙරේරා දොස්තර මහත්තයා ගාවට මාව එක්කන් ගියා. ඒ වෙලාවේ එයා හිටියේ නැහැ.

මට ඒ වෙලාවේ හොඳටම පපුව රිදෙන්න අරන් තිබ්බේ. හුස්ම ගද්දිත් පපුව රිදෙනවා [පපුව රිදෙනවා කියලා හුස්ම ගන්නේ නැතිව ඉන්නද ? :) පස්සේ ත්‍රීවීල් එකකින් මාව කොළඹ General Hospital එකට එක්කන් ගියා.

මාව කරපු දොස්තර නෝනා කිව්වා මට ගැස්ට්‍රයිටීස් හැදිලා තියෙන්නේ. ඒකෙත් ටිකක් සංකීර්ණ තත්වයක් කියලා. මිරිස් ජාති වැඩියෙන් දාලා තියෙන කෑමෙන් එහෙම පරිස්සම් වෙන්න. හරි වෙලාවට කෑම ගන්න කියලා. පස්සේ එහෙන් බෙහෙත් අරගෙන ආපහු මාව Logic class එකටම එක්කන් ඇවිත් වාහනේකින් මාව පරිස්සමට ගෙදර ගිහින් ඇරලුවා.

එදා හවස මට හොඳටම ආමාරු වුණා. මම නම් හිතුවේ මාව මැරෙයි කියලා [අම්මපා අමූලික ඇත්ත :)] පස්සේ අපේ ගෙවල් පැත්තේ ඉන්න දොස්තර මහත්තයා ගාවට ගියා. එයා General Hospital එකෙන් දීපු බෙහෙත් නවත්තලා සිරප් එකක් දුන්නා පාවිච්චි කරන්න. ඒකෙන් තමා ලෙඩේ අඩුවුනේ.

ඉතින් මේ සිද්ධිය ගැන තමා මම ඒ දවස්වලම ඒ කියන්නේ 2008 මැයි 24 මේ කවි ? ලියලා තියෙන්නේ. කියවලාම බලන්නකෝ


පපුවේ අමාරුවක්
සෑදී උදෑසන
විගසින් බෙහෙත් ගැනුමට
මිතුරා ගෙනගියද
එහි ඇත්තේ පෝලිමකි

පැතුවා උපදෙසක්
දුන්නා අනගි ඔවදන්
එව්වා තව මිතුරෙක්
ගියා අපි මහ රෝහලට

එහිදී නැත බියක්
ගත්තා හනික අංකයක්
නැත එහි පෝලිමක්
විගස අපි හමුවූවා වෙදැදුරු

මම ගත්තා පටන්
කිව්වා ලෙඩේ හැටි මුල සිට
ගත්තා ඇය තේරුම්
ගැස්ට්‍රයිටිස් බවම කීවා මා හට

දැනුනා සැහැල්ලුවක්
ඔසුසලේ පෝලිමක්
බෙහෙත් ගැනුමත්
පසෙකලා තියලා
බීවා නෙස්ටමෝල්ට් කෝප්ප්යක්

නැගලා බස් රියක
ආවා 6 කණුවට
මං බැස්සා එතැන
අනික් දෙදෙනා ගියා ඉදිරියට

ගියා මිස්ගේ ගෙදර
ප්‍රශ්න නම් වැලකි
නමුත් දුන්නා හැමට පිළිතුරු

වාඩිවූවා සැටියේ
මහත් උවටැන් ලැබුණේ
තැඹිලි බීමට
බත් ටික අත ලඟට
අත සේදුමට වතුරද
මෙලෙස ලැබුණා මේ ගිලනාට

අවසන A/C කාරයකින්
ගමනින් අඩකට හෝ
ලැබුණා ප්‍රවාහනයක්

සැන්දෑවේ හොඳටම
අමාරු වී මා හට
දැනුනා මර බියල්
සියල්ල අඳුරු වී ගොස්

නමුත් පෙර පින මට
පෑදී ආවා හනි හනිකට
ගත් බෙහෙත්වලින්
යම්තම් සුවයක් ලදිමි මම

කළණ මිතුරු ගුණ
සිහිවන්නේ මා හට
මිතුරන් නිසාමය
මෙතරම් සුවයක් මට

SMS ගොඩයි
Calls නම් චුට්ටයි
පිළිතුරු දෙන්න අමාරුයි
ඒත් හිතේ සන්තෝසේ

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ
ඒ නම් බුදු බණයි
ඒවා සත්‍යමයි
මිතුරෝ මට සම්පත්

මිතුරන් නොමැති නම්
මෙලොව ජීවත්වන්නේ ඇයි
හනි හනිකටම ගොස්
වහා මිතුරෙක් සොයා ගනු මැන

මාගේ මිතුරෝ නම්
පෙර භවයේ මගේ මිතුරන්
සැමට මම තුති දෙමි
නමා මාගේ හිසත් පපුවත්


ඉතින් මේ වෙලාවේ අපේ Logic class එකේ හිටපු යාළුවෝ ටික වගේම ගුරුතුමියත් වුණු මහන්සිය ගැන ඇත්තටම සතුටුයි. ඉතින් සැබෑ මිතුරුකම කියන්නේ සැපේදී වගේම දුකේදීත් යාළුවාට පිහිටවෙන එකනේ. මාව Hospital එක්කන් යන්න, ගෙදර එක්කන් යන්න, ඊටත් පස්සේ සුව දුක් අහන්න බලන්න වගේ හැම එකකටම මගේ මේ යාළුවෝ ටික සම්බන්ධ වුණා.

ප.ලි.: මට ගැස්ට්‍රයිටිස් හැදෙන එක අතිශය සාධාරණයි. මොකද මට ගැස්ට්‍රයිටීස් හැදුණේ උදේට නොකා ඉදල නෙමෙයි. සැර වැඩි කෑම ජාති කාලමයි. උදාහරණයක් කිව්වොත් ගෙදර තිබ්බ ලුණු දෙහි දාපු බෝතලේකුයි අච්චාරු බෝතලේකුයි මම විතරක් තනියෙන්ම කාලා ඉවර වෙලා තිබ්බා. මම හිතුවේ ඒක ඉවර වුණේ අනිත් අයත් ඒවා කාපු නිසයි කියලා. ඒත් බැලුවාම මම විතරයි කාලා තියෙන්නේ :)

Tuesday, May 11, 2010

අවාසනාවට ඇත්ත කතාවක්


මට ඊයේ වුණු අලකලංචියක් ගැන තමා අද කියන්න හිතුවේ. හැමදාම උදේට මම මගේ phone එකේ calender එකෙන් කාගෙද අද birthday එක තියෙන්නේ කියලා බලලා එයාට wish කරන එක කරනවා. ඉතින් phone එකේ [මගේ phone එක Sony Ericsson W200i ] කාගේ හරි phone number එකක් save කරද්දී එයාගේ details එහෙමත් add කරන්න පුළුවන්කම තියෙන එක මේකට ලොකු උදව්වක්.

මම මෙහෙම යාළුවන්ගේ birthdays හොයාගෙන එදා උදේට wish කරන්න පුරුදු වුණේ දයා රෝහණ අතුකෝරල මහත්මයා translate කරපු ඩේල් කානගී ලිව්ව සිත් දිනා ගැනීමේ රහස් කියන පොත කියවීමෙන් පස්සේ. තමන්ගේ birthday එකට wish කරලා කාගෙන් message හරි එකක් එද්දී සතුටු නැද්ද ? ඉතින් ඒකෙන් ම්ත්‍රත්වය තවත් වැඩිවීමක් නේ වෙන්නේ. ඒකේ තිබ්බ ක්‍රම සහ විධි හුඟක් මම apply කරලා සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා.

ඉතින් ඊයේ උදෙත් මම සුපුරුදු විදිහට අද කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී මට උගන්වපු සර් කෙනෙක්ගේ birthday එකක් තියෙනවා කියලා calender එකට add වෙලා තිබුණා. මම ඉතින් හැරෙන තැපෑලෙන් සර්ට call එකක් ගත්තා wish කරන්න. ඒත් සර්ගේ hand phone එක off කරලා තිබ්බේ. Land phone එක rings යනවා ඒත් answer කරන්නේ නැහැ.

පස්සේ මට campus යන්නත් පරක්කු වෙලා හිටිය නිසා ඉක්මනට ලෑස්ති වෙලා campus ගියා. උදේ වරුවේ තිබ්බ lectures එහෙම ඉවර වෙලා සර්ට call එකක් ගත්තහම සර් phone එක answer කලා.


මම කිව්වා "සර් සුභ උපන් දිනයක් වේවා" කියලා.

සර් කිව්වා "පුතේ අද නෙමෙයි මගේ birthday එක හෙටනේ" කියලා.

මේක අහපු ගමන් මට පොළව පලන් යන්න හිතුණා. පස්සේ ඉතින් මම සර්ට කණගාටුව ප්‍රකාශ කරලා ආගිය කතාවක් දාලා ශේප් න්‍යාය පාවිච්චි කළා.

පස්සේ මම phone එකේ calender එකේ හෙට දවසේ කාගෙද birthdays තියෙන්නේ කියලා බලද්දී හෙටත් සර්ගේ birthday එක කියලා add වෙලා තියෙනවා. කොහොම හරි කොතැන හරි බුලක් වැදිලා තියෙනවා මට පේන විදිහට.

මේකම නිසා campus එකේ lectures ඉවර වෙලා හැන්දෑවේ මම සර්ලගේ ගෙවල් පැත්තේ ගියා. මට උදේ වුණු වැඩෙන් upset. ඒකමයි මම ඒ පැත්තේ ගියෙත්. පස්සේ ඉතින් සර්ට මම phone එකේ වුණු බුල නිසා වෙච්ච වැඩේ කිව්වා. සර්ටත් හිනා.

ඒ ගමන් මම කිව්වා "සර් මට ඇත්තටම මතක මම දන්න කියන අයගෙන් තුන්දෙනෙක්ගේ විතරයි. අනිත් අයගේ birthdays කවද්ද කියලා phone එකේ තමයි save කරලා තියෙන්නේ" කියලා. [ඒ තුන්දෙනාගෙන් දෙන්නෙක්ව නම් හුඟක් අය දන්නවා. අනිත් එක්කෙනා ගැන නම් දන්නෝ දනිති තමා]

සර් ඇහුවා "කවුද මේ තුන්දෙනා?" කියලා.

මම කිව්වා "මුල්ම එක්කෙනා බුදු හාමුදුරුවෝ [බුදු හාමුදුරුවන්ගේ birthday එක කියලා වෙසක් පෝය අපි හැමෝම සමරනවානේ], අනිත් එක්කෙනා ජේසුතුමා [දෙසැම්බර් 25 ජේසුතුමාගේ birthday එක කියලත් හැමෝම වගේ දන්නවනේ], අන්තිම එක්කෙනා මම [මගේ birthday එක තියන දවසෙත් අපරාදේ කියන්න බැහැ මට සමරන්න බැරිවුණත් එදාට හැම ඉස්කෝලෙකම වගේ පොඩියට හරි උත්සවයක් කරලා සමරනවා. මොකද මගේ birthday එක ඔක්තෝබර් 6 ලෝක ගුරු දිනේ දවසේ]

කතාව අහලා එතැන හිටිය අයට හිනා. ඕව තමා මට වෙන ජල්තර වැඩ. ඉතින් ඔයාලත් එහෙම යාළුවන්ගේ birthdays වලට එයාලට wish කරන එක එහෙම කරනවද ?

Tuesday, May 4, 2010

නූතන වප් මඟුල

දවස් ගාණකට පස්සේ තමා මේ පැත්තේ ආවේ. ඒත් අතරින් පතර පුලුවන් වුනු වෙලාවල්වල අනිත් අයගේ බ්ලොග් කියවලා comment එහෙම කලා. ඉතින් අලුත් post එකක් ලියන්න කතා ගොඩක් තිබ්බත් වෙලාවක් නැතිකම තමා ගැටළුව වුණේ. ඔක්කොටම මුල වුණේ නිවාඩුවෙන් පස්සේ campus එක ගිය මාසේ 26 පටන් ගත්ත එක. දැන් ඉතින් වැඩ ටික ටික වැඩිවෙමින් තමා තියෙන්නේ.

26 campus පටන් ගත්තත් 27 වැනිදා campus යන්නේ නැතිව හොඳ වැඩකට set වුණා. අපේ හිතවත් හාමුදුරුවෝ කෙනෙක් තන්තිරිමලේ ඉන්න ළමයි 10 දෙනෙක්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් කලා එයාලගේ අධ්‍යාපන කටයුතුවලට උදව්වක් විදිහට. අපි කට්ටියකුත් ඒ ළමයින්ට දෙන්න පොත් වගයක් අරන් ගියා. මෙතන කෙටුවා නම් ඒකේ photos එහෙම බලන්න පුළුවන්.

ඉතින් අද කියන්න යන කතාවට අදාල සිද්ධිය වුනේ මේ ගමනේ අතරවාරයේදී තමා. මම මේ ගමන ගියේ අපේ ගුරුවරියකට අයිති වුණු car එකක. ගුරුතුමිය කිව්වට අපි කියන්නේ මිස් කියලා. ඒ නිසා ඉස්සරහට තියෙන්නේ මිස් කියලා. ඉතින් ඒ මිස්, එයාගේ මහත්තයයි, මායි, තව යාළුවෙකුයි තමා car එකේ ගියේ. Car එකත් මහ ලොකු car එකක් නෙමෙයි Micro Trend එකක්.

මිස්ට වාහන drive කරන්න තාම ලයිෂන් එහෙම නැහැ. කාලයක් වාහන drive කරන්න පුරුදු වෙන්න ලර්නර්ස් ගිහින් තියෙනවා. ඒත් අවුලකට තියෙන්නේ පාරේ කන්ටේනර් යද්දී මිස් අම්බානකුත් තව පොඩ්ඩක් බයවෙලා වාහනේ පාරෙන් අයිනකට ඉක්මනට ගන්න යන එක පස්සේ මිස් වැඩත් එක්ක වෙලාව අඩු නිසා වාහන කිරීමේ හීනේ අමතක කරලා තියෙනවා.

ඉතින් එදා තන්තිරිමලේ යද්දී පාරේ වාහන එහෙම අඩු නිසා [වාහන අඩුයි කියන්නේ හුඟක් වෙලාවට පාරේ යන්නේ Motor bike. ලොකු වාහනයක් යන්නේ එහෙමත් වෙලාවක] ආයි පාරක් වාහනේ drive කරන්න හිතලා මිස් සුක්කානම අතට ගත්තා. මිස්ගේ මහත්තයා ඉස්සරහ හිටියා, මායි යාළුවයි පිටිපස්සේ හිටියේ.

මේ තියෙන්නේ මිස් car එක drive කරන්න පටන් ගත්ත තැන

මිස් වාහනේ start කරලා ක්ලච් එක පාගන් ඉද්දී මිස්ගේ මහත්තයා ජියර් එක ෆස්ට් එකට දැම්මා. ඒ අතරවාරේ මිස් සුක්කානම දකුණු පැත්තට full කපන ගමන් ඇක්ස්ලේටර් එකත් full පාගන්න ගත්තා. අපි පිටිපස්සේ ඉදන් කිව්වා දැන් හිමින් සැරේ ක්ලච් එක අතාරින්න කියලා.

මේ තියෙන්නේ මිස් ඉස්සෙල්ලාම car එක start කරන් ඉන්න හැටි

මිස් ක්ලච් එක එකපාරටම අත ඇරියා. සුක්කානමත් දකුණට full කපලානේ තිබ්බේ වාහනේ පාරෙන් පිට පැනලා පල්ලම දිගේ ගියා. පල්ලෙහා තිබ්බේ කුඹුරු. හොඳ වෙලාවට වාහනේ කුඹුරට ගියේ නැහැ ඊට කලින් ගැට්ටක් තිබිලා ඒකේ හිරවුණා. මටයි යාළුවටයි මැරෙන්න හිනා. හිනාවෙලා වැඩිවෙලා කඳුළුත් එනවා. මිස්ටත් හිනා.

මේ තියෙන්නේ car එක කුඹුරට යන්න ඔන්න මෙන්න තියෙද්දී පස් කණ්ඩියේ හිරවෙලා නතර වෙලා තිබුණ හැටි

පස්සේ අපි මිස්ව වාහනෙන් අයින් කරලා උඩට පිටත් කලා. හොඳ වෙලාවට එතැනින් CTB බස් එකක් ගියා. ඒකේ Driver මහත්තයා මේක දැක්ක ගමන් බස් එක නවත්තලා බස් එකේ සෙනඟත් එක්ක ආවා. පාරේ motor bike එකක ගිය කොල්ලෝ දෙන්නෙකුත් අපේ උදව්වට ආවා. අන්තිමට කට්ටිය ඔක්කොම එකතුවෙලා පල්ලමේ ඉදන් වාහනේ පාරට තල්ලු කලා. car එකට අත තියන්න බැහැ හොඳටම රත්වෙලා. ඉතින් අත් පිච්චි පිච්චි අපි වාහනේ පාර උඩට තල්ලු කලා.


Car එක හිරවෙලා තිබ්බ තැන car එක උඩට ගත්තට පස්සේ

විදෙස් මාධ්‍යවේදියෙක් සිද්ධිය වාර්තා කරමින්

පස්සේ ඉතින් දීපු සප් එකට අපි ඒ මිනිස්සුන්ට ස්තුති කලා. එයාලා හිටියේ නැත්නම් ඉතින් සොරිම තමා. එයාලටත් අපි ඇත්ත කතාව කියන්න ගියේ නැහැ අනම් මනම් කියලා ෂේප් වුනා. එතනින් පස්සේ ඉදන් අපි ආපහු එනකම්ම ඉතින් ඒක මතක් වෙද්දිත් අපිට හිනා. එහෙම තමා අපේ මිස් නූතන වප් මඟුලේදී කුඹුරු හාන්න ගියේ.

හොඳ වෙලාවට පස් කණ්ඩියක හැපිලා හිරවුණා නැත්නම් කුඹුරටම ගියා නම් කුඹුර අයිතිකාරයට එක කන්නෙක දෙපාරක් තමන්ගේ කුඹුර සී සෑමේ භාග්‍යය හිමිවෙනවා. අනිත් කතාව තමා TV දෙරණින් කරපු ශූර ගොවියා Competition එක ඉවරවෙලා තිබ්බ එක. ඒක තිබ්බා නම් අපේ මිස්ටත් ඒකට apply කරන්න තිබ්බා. සෙල්ලම් වැඩක්ද car එකකින් කුඹුරක් හානවා කියන එක.

Friday, April 9, 2010

මලින්ද සර්


මම A/L Logic වලට ගිය class එක තියෙන්නේ කැලණියේ දිප්පිටිගොඩ පාරේ.

ඒ පංතිය අපිට ජාතක කතාවලින් හමුවන තක්සලා නුවර දිසාපාමොක් ඇඳුරුතුමාගේ තැන වගේ එකක්. මමත් A/L කරන කාලේ අන්තිම මාස 3 එහේ නතර වෙලා හිටියේ. අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා තමා ඒ ගුරුතුමිය අපිට logic ඉගැන්නුවේ.

Logic විතරක්ම නෙමෙයි අපි කරන අනිත් subjects ගැනත් හොයලා බලලා ඒවත් ගොඩ දාගන්න මේ ගුරුතුමිය උදව් කළා. මේ ගුරුතුමියගේ මහත්තයත් ගුරුවරයෙක්. ඉතින් මිස් වගේම ඒ ගුරුතුමත් අපිට හුඟක් උදව් කලා.

Logic උගන්වන ගුරුතුමියගේ නමත් දිසාපාමොක් නෙමෙයි දිසානායක. දිසාපාමොක්ගේ හා දිසානායක ගුරුතුමියගේ එකම වෙනස තමා දිසාපාමොක් තමන්ගේ පංතියේ හිටපු දක්ෂම සිසුවට තමන්ගේ දුව සරණ පාවා දීමත් දිසානායක ගුරුතුමියට ඒක කරන්න දූලා නොසිටීමත් තමා.

ඉතින් මේ පංතියේ ළමයි තුළ පවතින්නෙත් එකිනෙකා ගැන තමන්ගේම සහෝදර සහෝදරියෝ කියන හැඟීම. ඉතින් අද මම කියන්න යන කතාව කියන්නම්කෝ.

මේ class එකට ආපු 2009 A/L කරපු කෙනෙක් ඉන්නවා මලින්ද කියලා. ඉතින් එයාට මේ වනවිට තාවකාලික ගුරු පත්වීමක් හම්බෙලා තියෙන්නේ කැලණිය පැත්තේ තියෙන ප්‍රසිද්ධ පාසලක A/L class එකට logic උගන්නන්න.

මලින්ද ඒ අතරවාරේ අපේ class එකෙත් වැඩ කටයුතුවලට එහෙම උදව් කරනවා. ළමයි ලියපු papers බලන එක වගේ වැඩ මලින්ද කරනවා. ඉතින් මලින්ද සර්ට ඒ පංතියේ ඉන්න සුපුන් කියන ළමයා ලියපු සිංදුව තමා මේ තියෙන්නේ.

මුලින්ම ඉංග්‍රීසි ගීතයක් විදිහට නිමල් මෙන්ඩිස් මහතා ගායනා කරපු මේ ගීතය පස්සේ නිමල් මෙන්ඩිස් මහතා මෙන්ම නීලා වික්‍රමසිංහ මහත්මියත් සිංහල ගීතයක් විදිහට ගායනා කළා. ඒ වගේම මේ වනවිට භාතිය හා සංතුශ් නූතන සංගීතය සමඟ නව්‍යකරණය කරලා ගායනා කරන මාස්ටර් සර් ගීතයට තමා මේ ගීතයත් හදලා තියෙන්නේ.

සුපුන් මේ ගීතය හදලා අපේ class එකේ facebook group එකේ wall එකට දාලා තිබ්බා. පස්සේ මම man ගෙන් අවසර අරගෙන [ බුද්ධිමය දේපළ නේ. ඒකයි අවසර ගත්තේ. කෝකටත් අනුන්ගේ දෙයක් භාවිතා කරදිදී අවසර ගන්න එක සදාචාර සම්පන්නයි නේ] ඒක ටිකක් සංස්කරණය කරලා දැනට පවතින ආකාරයට සකස් කළා.

ගීතයේ තියෙන පෙලක් වචන එහෙම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒවා subject එකත් එක්ක තියෙන වචන. ඒක ගැන හිතන් නැතිව ගීතය රස විඳින්න කියලා තමයි මම යෝජනා කරන්නේ. අකුරු කියවීමට අමාරු නම් රූපය උඩ click කලා නම් හරි.



මේ තියෙන්නේ මාස්ටර් සර් ගීතය ඒකත් එක්ක මුමුනද්දී වඩාත් හොඳට ගීතට රස විඳින්න පුළුවන් වෙයි.

Wednesday, April 7, 2010

අවුරුදු 10 ක Driving Experience


මේ දවස්වල අළුත් අවුරුද්දත් කිට්ටු නිසා ගෙදර දොරේ වැඩ වැඩියි. ඒ අතරවාරයේ පොඩි break එකක් හම්බුණු වෙලාවක තමා මේ කතාව ලියන්න හිතුණේ. මේ කතාවෙන් මම කියන්න අදහස් කරන්නේ කොච්චර දැන උගත්කම් තිබුණට හදිස්සියට හෙනම මෝඩ ideas එන්න පුළුවන් කියන එකයි. ඉතින් සිද්ධිය වුණේ මේ ඊයේ පෙරේදා දවසක.

අපේ යාළුවෙක් ඉන්නවා. Man ට තාම job එකක් නැහැ. job එකක් නැහැ කිව්වාට නෑම නෙමෙයි තියෙනවා No Job Company යේ. පුළුවන් හැම තිස්සෙම හැම තැනටම CV එහෙම දීලත් තාම මොකුත් job එකක් set වුණේ නැහැ. ඒක නිසා තාමත් No Job Company එකේ job එක කරන් ඉන්න පුළුවන්.

ඉතින් අපේ පැත්තේ high way එකක් හදනවා ඒකේ job එකක් අපේ man ට set වුණා. High way එක හදන තැන ඉන්න සුද්දෙක්ගේ වාහනේ driving වැඩේට. ඒත් පොඩි අවුලක් ඒකෙත් තියෙනවා. එතැන job එකට අවුරුදු 10 ක experience ඕනෙලු.

ඉතින් අපේ මිත්‍රයා ඕක ගැන අපේ ගුරුතුමියකටත් කිව්වා.

ඒක අහලා ගුරුතුමිය කිව්වා " ඉතින් අවුරුදු 10 ක experience තියෙනවා කියලා හදා ගත්ත නම් ඉවරනේ" කියලා.

එතකොට අපේ man කිව්වා. " එතකොට මිස් ඒ මිනිස්සු පුදුම වෙයිනේ මම අවුරුදු 11 ඉදන් වාහන එලෙව්ව ද " කියලා.

ඉතින් අපේ මිත්‍රයාට වයස අවුරුදු 21 යි කියලා ඒ ගුරුතුමි හොඳටම දන්නවා. ඒත් හදිස්සියට ඒකක් මතක් වුණේ නැහැ. ඔයාලටත් මේ වගේ වැඩ අම්බානකුත් තව පොඩ්ඩක් වෙලා ඇතිනේ.

නේද ?