Saturday, March 5, 2011

බොරු පොරොන්දු


ඉස්සරහට තියෙන පළාත් පාලන මැතිවරණේ නිසා ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගොඩයාගන්න වෙන මහන්සිය පේනවානේ. තාප්ප පිරෙන්න පෝස්ටර්, ලයිට් කණු වැහෙන්න කටවුට්, තාර පාර පුරා නමයි අංකෙයි ලකුණයි වගේ නානා ප්‍රකාර සෙල්ලම් දානවානේ ඡන්දේ දමාගන්න.

ඒ මදිවට පොරොන්දු. හොදි ඕන්නෑ කිව්වලු. පොරොන්දු දුන්නාට ඡන්දෙන් දිනුවට පස්සේ හුඟාක් වෙලාවට වෙන්නේ මන්ත්‍රීතුමාව අල්ලගන්න බැරිවෙන එක ඒ පොරොන්දුව ඉටු කරවගන්න. මේ නිසා බොරු පොරොන්දු කියන එක ලංකාවේ දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් වෙලා ඉවරයි.

මේ දවස්වල එහෙම බොරු පොරොන්දු දෙන දේශපානඥයෝ හිටියට ඒ කාලේ වචනයක් දුන්නොත් ඒක අනිවා කරන කට්ටිය තමා දේශපාලනේ කරලා තියෙන්නේ. මේ කතාව අපේ තාත්තා තමා මට කිව්වේ. අපේ තාත්තා ගාව හොඳ හොඳ කතා තියෙනවා කියලා ඔයාලත් දන්නවානේ.

කතාව මෙහෙමයි. ඉස්සර ගම් සභා ක්‍රමය තියෙන කාලේ එක දිගටම අපේ පැත්තේ මැම්බර් මහත්තයා වෙලා තියෙන්නේ සල්ලි බාගේ එහෙම හොඳට තිබුණු "වත්තේ රාළහාමි" කියන එක්කෙනා. හුඟාක් වෙලාවට "වත්තේ රාළහාමි" නිතරඟයෙන් වගේලු මැම්බර් වෙන්නේ.

ඉතින් එක පාරක් මේ මැම්බර්කමට වත්තේ රාළහාමිත් එක්ක ගමේ හිටිය දුප්පත් අඩු කුලේක හිටිය මනුස්සයෙක් ඉල්ලුවාලු. මේකට වත්තේ රාළහාමිට මල පැනලා එයා කිව්වාලු

"ඕකුන්ට පුලුවන්ද මැම්බර්කම් ගන්න ඕකා මාව පරද්දලා මැම්බර් වුණොත් මම දරණගම ඉස්කෝලේ ගාව ඉදන් අපේ ගේ ගාවට පිනුම් ගගහා තමා එන්නේ" කියලා.


වත්තේ රාළහාමි එහෙම කිව්වේ අර මනුස්සයාට තමන්ව පරද්දන්න බැහැ කියන විශ්වාසේ හොඳටම තිබුණු නිසා. අනික ඡන්දේ තියෙන දරණගම ඉස්කෝලේ ගාව ඉදන් වත්තේ රාළහාමිලාගේ ගෙදරට කිලෝ මීටර් 4 ක් විතර තියෙනවා. රාළහාමි ඒවත් ඔක්කොම හිතලා වෙන්න ඕනේ එහෙම කියන්න ඇත්තේ.

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි ඡන්දේ දවසත් ආවය කියමුකෝ. උදේ ඉදන් හවස් වෙනකම් තිබුණු ඡන්දේ ඉවරවෙලා එදා හැන්දෑවේම ඉස්කෝලෙදී ඡන්ද ගණන් කරලා ප්‍රතිඵල නිකුත් කරන එක තමා ඒ කාලේ ක්‍රමේ.

අන්තිමට අර දුප්පත් මනුස්සයා වත්තේ රාළහාමිව වැඩි ඡන්ද ගාණකින් පරද්දලා තිබුණේ. රාළහාමිත් කිසි කතාවක් නැතුව ඉස්කෝලේ ගේට්ටුව ගාවින් පාරට බැස්සලු. උඩට ඇඳන් හිටිය කෝට් එක ගලවලා එතන හිටිය වැඩකාර කොල්ලා අතට දුන්නලු.

සරමෙන් අමුඩේ ගහගෙන පිනුම් ගහන්න පටන් ගත්තලු ඉස්සරහට.

මිනිස්සු වටවෙලා "අනේ අනේ රාළහාමි" කියලා විස්සෝප වෙනවාලු.

මේ විදිහට රාළහාමි මීටර් 20 ක් විතර පිනුම් ගගහා ඉස්සරහට යද්දී කොල්ලෝ ටික බලහත්කාරයෙන්ම වත්තේ රාළහාමිව කරේ තියාගෙන ගෙදර එක්කගෙන ගියාලු. ඉතින් කොහොමින් කොහොම හරි වත්තේ රාළහාමි කියපු දේ කළා.

ඒත් දැන් කාලේ ඔහොම දෙයක් වුණා නම් මොකක් හරි බොරුවක් කියලා ෂේප් වෙන්නනේ යන්නේ. පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂෙට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් තමන් ඉල්ලලා අස්වෙනවා කියලා ඒ දිස්ත්‍රික්කෙම ඉන්න ආචාර්යවරයෙක් වෙන කෙනෙක් කිව්වානේ.

අන්තිමට මන්ත්‍රී ආසන 2 ක් හම්බුණාම ඒක ගැන මාධ්‍යවේදියෙක් ආචාර්යතුමාගෙන් අහපුවාම එතුමා කිව්වේ "මම එහෙම කිව්වේ නැහැනේ. මම කිව්වේ පඩික්කමට [ එයා ඒ පක්ෂේ ලාංඡනය වුණු කුසලානෙට කිව්වේ පඩික්කම කියලා] මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් ඉල්ලලා අස් වෙනවා කියලනේ. ඉතින් කවුරුත් පඩික්කමෙන් ඡන්දේ ඉල්ලුවේ නැහැනේ" කියලා.


කමක් නැහැ ඉතින් රොබට් නොක්ස්ගේ An Historical Relations of The Island of Ceylon [එදා හෙළ දිව] පොතෙත් එයා කියලා තියෙනවා "සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාර්යෙහි තත්පරය. ස්වදේශීන් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය. එනමුදු ඔහු ගේ එක් භයානක නරකක් නම් බොරු කීමයි, එයද අසුවන ලෙසින්ම කීමයි" කියලා