Showing posts with label මෛත්‍රී බෝසතුන්. Show all posts
Showing posts with label මෛත්‍රී බෝසතුන්. Show all posts

Sunday, December 23, 2012

බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ?

බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ.

මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා.
 ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ප්‍රොමිතියස්

ග්‍රීක විශ්වාසය අනුව මැටියෙන් මිනිසාව නිර්මාණය කරලා මානව සමාජය ඇති කරන්න මුල් වෙන්නේ ප්‍රොමිතියස් කියන අර්ධ දෙවියා. බොහොම දක්ෂ කෙනෙක් වුණු ප්‍රොමිතියස් තමන් නිර්මාණය කරපු මිනිසා ගැන බොහොම කරුණාවකින් හිටියේ. ඒක නිසාමයි සියුස් කියන දෙවියන්ගේ රජතුමාට හොරෙන් දිව්‍ය ලෝකයේ තිබුණු ගින්දර මිනිස්සුන්ට දීලා ගින්දර භාවිතා කරන්න මිනිස්සුන්ව පුරුදු කරවන්නේ.

මිනිස් ලෝකයේ ජීවත් වෙන පිරිමියාගේ පාළුව නැති කරන්න සියුස් Hephaestus ලවා පැන්ඩෝරා නමින් බිරිඳකුත් හදලා දෙනවා. මේ කාන්තාව මිනිස් ලෝකෙට එද්දී සියලුම දෙවිවරු ඇ‍යට විවිධ ත්‍යාග දුන්නා කියලා කියවෙනවා. ප්‍රොමිතියස් තමන්ට කරපු ද්‍රෝහී ක්‍රියාවට පළිගැනීමක් විදිහට සියුස් පැන්ඩෝරාට මංජුසාවක් ලබාදීලා කුමන හේතුවක් මතවත් ඒක විවෘත කරන්න එපා කියලා උපදේශයකුත් දෙනවා.

 සියුස් දුන් මංජුසාව අතැතිව සිටින පැන්ඩෝරා

හැබැයි සියුස් දැනගෙන හිටියා පැන්ඩෝරාට තියෙන කුතුහලේට මේක ඇරලා බලනවාමයි කියලා. ඇත්තටම ඒ විදිහටම තමා වැඩේ සිද්ධ වුණේ. ඒ මංජුසාවේ තිබිලා නපුර, අයහපත එළියට ඇවිත් මිනිස් ලෝකය පුරා ව්‍යාප්ත වුණා කියලා කියවෙනවා.

තමන්ගේ අතින් වුණු වැරැද්ද හදා ගන්න පැන්ඩෝරා මංජුසාව වහන්න ගියත් ඒක හරියන්නේ නැහැ. මේ අයහපත් දේවල් ඒ මංජුසාවෙන් පිටතට ගියා වගේම "එල්පිස්" නමින් හැඳින්වුණු බලාපොරොත්තුවේ ආත්මයත් මිනිස් ලෝකයට එක් වෙලා තිබුණේ. ඉතින් මිනිස් ලෝකයේ මොන තරම් අයහපත් දේවල් වුණත් බලාපොරොත්තු කියන එක මිනිස්සුන්ව ජීවත් කරවන්න සමත් වෙලා තියෙනවා.

ලෞකිකව තියෙන නොයෙක් බලාපොරොත්තු අතරේ ලෝකෝත්තර වශයෙනුත් මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. ලෝකෝත්තර වශයෙන් ගත්තාම විවිධ ආගම් වගේම දර්ශනයන් තුළින් ගැලවීමේ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා තියෙනවා. සමහර විටෙක ගැලවීම තමා තුළින්ම උදා කරගන්න හරි එහෙමත් නැත්නම් ගැලවුම්කාරයෙක් මාර්ගයෙන් තමන්ගේ ගැලවිම උදා කරගන්න හැටි ගැන විවිධ දර්ශන වගේම ආගම් තුළින් කතා කෙරෙනවා.

අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්න අනාගතයේ පහළවෙන ගැලවුම්කාරයෝ එහෙමත් නැත්නම් තමන්ට විමුක්තියක් සලසන්න පුලුවන් පුද්ගලයෝ ඒ වගේමයි තමන්ට ලෞකික සමෘද්ධියක් උදාකරන්න පුලුවන් පුද්ගලයෝ ගැනයි.

මතු බුදුවන අපේක්ෂාවෙන් තුසිතයේ වැඩ සිටින මෛත්‍රී බෝසතුන්

මුලින්ම බුදු දහමෙන් පටන් ගත්තොත් බෞද්ධයෝ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව අප්‍රමාණ භක්තියකින් ඉන්න බව බෞද්ධාගමික වතාවත්වලදී හොඳටම දැකගන්න පුලුවන්. බෞද්ධාගමික වතාවත් නිමා කරද්දී පුණ්‍යානුමෝදනාව සිදු කරන හාමුදුරුවෝ හුඟක් වෙලාවට වදාරන්නේ "මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක එකම සද්ධර්ම මණ්ඩපයකදී සදහම් ශ්‍රවණය කර නිවන් අවබෝධ කරගන්නට මේ කළා වූ කුසල කර්මය අප සැමටම හේතුවේවා වාසනා වේවා" කියලා.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව විස්තරයක් කළොත් මේ වෙද්දී කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරුන් පහළ වුණු මහා භද්‍ර කල්පය නමින් හඳුන්වන මේ කල්පයේ අවසානයට පහළ වෙන්නට නියමිත බුදු හාමුදුරුවෝ තමා මෛත්‍රී බුදු හාමුදුරුවෝ. එතුමා මේ වෙද්දී බුද්ධත්වයට පත් වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් පහළ වෙලා මතු බුදුවන අපේක්ෂාවෙන් වැඩ ඉන්නවා.

ගෞතම බුදු හාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් හමුවෙන්න වැඩම කරලා ඔවුන්ගේ මානය බිඳින්න යමක මහා ප්‍රාතිහාර්යය සිදු කළාට පස්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් අනාගත වංශ දේශනාව සිදු කිරීම සිද්ධ කරනවා. ඒ යටතේ තමා මීට පෙර බුදු වුණු බුදුවරුන් සම්බන්ධවත් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් සම්බන්ධවත් උන්වහන්සේ සවිස්තරව කරුණු දේශනා කරන්නේ.

බුදුන් වහන්සේ දේශනා කරන විදිහට ක්‍රමයෙන් මිනිස්සු සාරධර්ම අතින් පිරිහිලා දිව්‍ය ලෝක සැපත උදා කරගන්න මාර්ගය අවහිර කරගෙන අකුසල් ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මේ කාලයේදී තමන්ගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, ඥාතියා කියලා බලන්නේ නැතුව රාගී සිතෙන් හැසිරෙනවා. මේ විදිහට සමාජය ක්‍රමයෙන් දූෂිතම තත්වයට පත් වෙනවා.

එකිනෙකා මරා ගන්නත් මිනිස්සු පටන් ගන්නවා. මේ වගේ ඛේදනීය කාලයක සුළු පිරිසක් ගල් ගුහා ආදියේ සැඟවිලා ජීවිතේ බේරා ගන්න සමත් වෙනවා. එයාලා නැවත වරක් පන්සිල් මූලික කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. මේ සමඟම පිරිහිලා තිබුණු ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩිවෙලා අසංඛ්‍යයක් දක්වාම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණු ආයු අපේක්ෂාව ආයි පාරක් අසූ දහස දක්වා අඩු වෙන කාලයේදී තමා මෛත්‍රී බෝසතාණෝ උපදින්නේ.

මෛත්‍රී බෝසතුන්

කේතුමතී රාජධානියේ සංඛ කියන සක්විති රජතුමාගේ පුරෝහිතයා වෙන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණිය තමා බෝසතාණන් බිහි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ කුමාර දිවිය වගේම කුමාර දිවියක් ගත කරන මෛත්‍රී බෝසතාණෝ ගිහි ගෙය හැර ගිහින් දුෂ්කර ක්‍රියාව සිදු කරලා අවසානයේදී බුද්ධත්වයට පත් වෙනවා.

මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගැන වගේම ඒ කාලය ගැන ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් රචනා කරපු "මෙතේ බුදු සිරිත නම් වූ  අනාගත වංශය" කෘතියේ විස්තර රැසක් තිබෙනවා. මේ ඒ කෘතියෙන් කරපු උපුටා ගැනීමක්.

"....එසමයෙහි උපන්නා වූ සියලු මනුෂ්‍යයන්ට යස පිරිවර හා සැපයෙන්ද, ආයු වර්ණ බල සමෘද්ධියෙන්ද දිව්‍ය සම්පත්තියක් මෙන් අඩුවක් නොවන්නේය. මෙබඳු සියලු පංච කාම සැප කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිතවූ මුදිතවූ සියලු සත්වයෝ ඒ සැපයෙන් නොපිරිහී පසුව ආයු කෙළවර මරණ මංචකයේ වැද හොත්තාහු සම්පත්තියෙන් උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්වයන්ට අසූ දහසක් අවුරුද්දට ආයුෂ වන්නේය. ඒ තාක් කල් මුලුල්ලෙහ් ජීවත්ව වැඩ හිඳිනා වූ ඒ මෛත්‍රී සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සංසාර සාගරයෙන් එතර කොට නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන සේක..."

ඉතින් මෛත්‍රී බුදුන් පහළ වෙන සමයේ තියෙන සමෘද්ධිමත් බව නිසා වගේම බුදුවරයෙක් ජීවමානව දැකීම නිවන් අවබෝධ කරගන්න පහසුවක් කියලා විශ්වාස කරන මිනිස්සු අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන සවිස්තරාත්මකව මීට කලින් ලියපු සටහන් කීපයකින්ම කියලා තිබෙන නිසා ඒවාත් මෙතනින් ගිහින් බලන්න.

 දියසේන කුමාරයා

ලංකාවේ ගැමි ජන විශ්වාස අතරේ ලංකාවම එක්සේසත් කරලා තමන්ගේ පාලනය පිහිටුවා ගෙන බුදු දහමට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න දියසේන කියලා රජතුමෙක් පහළ වෙනවා කියලා සංකල්පයක් තියෙනවා. 

මේ ගැන මුලින් කරුණු හමුවෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී ලියවුණු කතුවරයා කවුද කියලා හරි හැටි හඳුනා ගෙන නැති පැරකුම්බා සිරිත කියන කාව්‍ය සංග්‍රහයේ දියසෙන් කුමාරයා ගැන සඳහනක් හමුවෙනවා. ඒ 116 වෙනි කවියෙන්.

කියග මැඟියැ එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කිය'මුතු එ දිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙ දෙහස් පන්සිය රජකු එතැ යි දියනා
කියවිණි තන් වැසියැ එ නම් පැරකුම් රජ මෙදිනා

සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ.

බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා. 

කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.

දියසේන කුමාරයා ගැන මුඛ පරම්පරාවෙන් පැවත එන කවි දෙකක් තමා මේ.

දිවයුරු කෙසර රැසැ සුරගුරු කටක රැසේ
සෙනසුරු වණිජ රැස බිඳිනෙතු මිතුන රැසේ
අඟහරු මකර රැසැ සිසිපුතු මීන රැසේ
නිසයුරු මේස රැසැ වත දියසෙන් පිවිසේ

මේ කවියේ තේරුම මේ විදිහට ගන්න පුලුවන්. සූර්යයා මුදුන් වෙලා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ රඳද්දී සෙනසුරු ග්‍රහයා මිථුන රාශියේ රඳයි. අඟහරු ග්‍රහයා මකර රාශියේද චන්ද්‍ර ග්‍රහයා මීන රාදියේද රඳයි. චන්ද්‍ර ග්‍රහයා මේෂ රාශියට පිවිසෙන විටම දියසේනයන් පැමිණේ.

මේ කවියෙන් කියන්නේ දියසේන කුමාරයා පැමිණෙන අවස්ථාවේ තිබෙන ග්‍රහ පිහිටීම කියලා පැහැදිලියිනේ. හැබැයි මෙතන ගැටලුව තමා දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද කියන එක නිශ්චිතව තේරුම් ගන්න බැරි එක.

මහියංගන වෙහෙරැ වැඩ නිමැ වූ දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන්හු සෙට
දෙවියන් විසින් කැඳැවෙති කොත් පැලැඳුමට
හෙයියන් බසක් නො වැ මේ සස් බසෙකි සෙට

මේ කවියේ තේරුම තමා මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක.

මේ දියසේන සංකල්පය කෝට්ටේ රාජධානි කාලෙදී සුළුවෙන් තිබුණත් මහනුවර රාජධානි කාලේ වෙද්දී විශාල පිළිගැනීමක් තිබුණු මතයක් වුණු බව පෙනෙන්නට තිබෙනවා. මේ නිසා උඩරට භික්ෂූන් වහන්සේලා "සුමන සූත්‍රය" කියලා අලුත් සූත්‍රයක් රචනා කරපු බව පේනවා.

බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සමනොළ කන්දේ තිබෙන දිවා ගුහාවේ ඉදන් සුමන සමන් දිව්‍ය රාජයාට මේ සූත්‍රය දේශනා කරපු බව දක්වන්න සුමන සූත්‍රය ආරම්භයට පාලියෙන් "එවං මෙ සුතං එකං සමයං භගවා සුමනකූටං දිවාගුංහ භගවන්තො දෙසිතං සුමන සුත්තංති...." යන කොටස එකතු කරලා තියෙනවා.

ඊට පස්සේ ඒ කාලයේ භාවිතා වුණු සිංහල භාෂාවෙන් බුදුන්ගේ ලංකාගමනය වගේම ලංකාවේ බුදු සසුන පිහිටුවීම සහ ශාසන ඉතිහාසය සම්බන්ධ කතා දක්වලා ඊට පස්සේ ලංකාවට ලන්දේසින් පැමිණෙනකම් ලංකා ඉතිහාසයත් සංක්ෂිප්තව සුමන සූත්‍රයෙන් දක්වලා තියෙනවා.

මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා.

උඩරට සමය වෙද්දී රාජ්‍ය පාලනය වගේම ආගමික කටයුතුවලිනුත් පරිහානිකර තත්වයට ලංකාවට පත්වෙලා හිටිය නිසා අනාගතයේදී ලංකාව බබළවන පාලකයෙන් පහළ වෙන බව පෙන්වලා සියලු දෙනාගේ සිත් සතුටු කරවන එක මේ සූත්‍රය රචනා කරපු අයගේ අපේක්ෂාව වුණා කියලා හිතන්න පුලුවන්.

ඩී.එස්. සේනානායක අගමැතිවරයා

උඩරට යුගයේත් ඉහළ මට්ටමක තිබුණු දියසේන සංකල්පය නිදහස් ලංකාවේත් පස්සේ කාලේ ඇතිවුණා. නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායක මහත්තයාත් තමන් දියසේන කුමාරයා බව හඟවන්න උත්සහ කරලා තිබෙනවා. තමන්ගේ නමේ මුල් අකුරු වෙන ඩී.එස්. [දොන් ස්ටීවන්] යන්නෙන් දියසේන යන්න හඟවනවා කියලා තමා ඒ කාලේ ප්‍රචාරේ ගිහින් තියෙන්නේ.

මහියංගණ ස්ථූපය

ඒ වගේමයි කලින් දක්වපු කවි දෙකෙන් අන්තිම කවියෙන් කියන විදිහට මහියංගණ දාගැබේ කොත් පැළැඳවිමට දියසේන කුමාරයා දෙවියන්ගේ ආරාධනයෙන් කැඳවෙන බව කිව්වත් මහියංගණ දාගැබේ පිළිසකර කිරීම් ආරම්භ කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා. අවසානයේදී මහියංගණ දාගැබේ කොත් පැළැඳුම සිදු කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින්.

දියසේන කුමාරයා තමන් බව කියපු කෙනෙක් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් පාලන කාලේ ලංකාවේ ඉදලා තියෙනවා. ටිප් ටොප් නමින් හඳුන්වපු දත් බෙහෙත් වර්ගය විකුණපු එයාගේ ඇත්ත නම සිල්වා. 1895 දී විතර ගාල්ලේදී ඉපදුණු ටිප් ටොප් සිල්වා අර කලින් කිව්ව කවි දෙකෙන් මුල් කවියේ කියවෙන විදිහට රාශි පිහිටපු වෙලාවකලු ඉපදුණා කියන්නේ.

පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ. මේන් මෙතනින් ඒ වගේ කතා දෙක තුනක් බලා ගන්න පුලුවන්.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා

1956 දී ලංකාවේ අගමැතිවරයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා දෙස, බස, රැස වෙනුවෙන් කරපු කටයුතු නිසා එතුමා අනාගතයේ පහළ වෙනවායැයි කියවුණු දියසේන කුමාරයා කියලා බොහෝ දෙනා හඳුන්වලා තියෙනවා. 2500 වැනි සම්බුද්ධ ජයන්තියත් ඒ කාලයේ පැවැත්වීම නිසා මේ අදහස බහුතරයක් පිළි අරගෙන තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු බණ්ඩාරනායක අගමැතිතුමා ඒ දියසේන වෙන්නේ තමන් නොව ලංකාවේ පොදු ජනතාව කියලා ප්‍රකාශ කළා.

මේ දියසේන කතාවේ වර්තමාන තත්වය තමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දියසේන කුමාරයා කියන මතය. ඒ ගැන මම කියනවාටත් වඩා මෙන්න "මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද ?" කියන ලිපියෙන් සවිස්තරාත්මකව බලන එක හොඳටම හොඳයි.

අපි ඊළඟට ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ආගම්වල අනාගතයේ පහළ වෙන ශාස්තෲවරුන් ගැන තියෙන කරුණු කාරණා ගැන හොයලා බලමු. පළමුවෙනියටම හින්දු දහම ගැන බලමු.
හින්දු ධර්මයේ ආගමික ග්‍රන්ථ කොටසක් වෙන පුරාණ ග්‍රන්ථවල ත්‍රීමූර්තියට අයත් දෙවියෙක් වෙන විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 පිළිබඳව සඳහන් වෙනවා. මේ අවතාර 10 න් 9 ක්ම මේ වෙද්දී මනුෂ්‍ය ලෝකයේ වරින් වර ධර්මය පරදවලා අධර්මය නැගී සිටපු අවස්ථාවන්වලදී පහළ වෙලා තියෙනවා.

ඒ විදිහට පහළ වුණු අවතාර 9 තමා මත්ස්‍ය, කුර්ම (ඉදිබුවා), වරාහ (ඌරා), නරසිංහ, වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ, බුද්ධ කියන අවතාර.

කල්කි අවතාරය දුර්ජනයන් විනාශ කිරීම

අනාගතයේ පහළ වෙන්න නියමිතව තිබෙන විෂ්ණුගේ අවතාරය තමා "කල්කි" අවතාරය. ඒ ගැන ශ්‍රීමත් භගවතම් ග්‍රන්ථයේ දක්වන්නේ මේ විදිහට.

යර්හ්‍යාලයෙෂ්වපි සතාං හරෙඃ කතාඃ ස්‍යුඃ
පාෂාණ්ඩිනො ද්විජ ජනා වෘෂලා නෘ දේවාඃ
ස්වාහා ස්වධා වෂඩිති ස්ම ගිරෝ න යත්‍ර
ශාස්තා භවිෂ්‍යති කලෙර් භගවාන් යුගාන්තේ

මේ ශ්ලෝකයේ අර්ථය මෙහෙමයි. කලියුගය අවසානය වෙද්දී දෙවියන් සම්බන්ධව කිසිම කතාවක් නැති වෙනවා. ශාන්තුවරු වශයෙන් හැඳින්වෙන පූජනීය පුද්ගලයන්ගේ ගෙවල්වල පවා දෙවියන් සම්බන්ධ කතා කිරීමක් නැතුව යනවා. ඒ වගේමයි මෙතෙක් කල් සමාජයේ බලය හිමිවෙලා තිබුණු බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කියන ද්විජයන් [දෙවරක් උපන්] අතින් බලය අහිමි වෙලා රාජ්‍යයන් පාලනය කිරීමේ බලය හිමිවන්නේ පහත්ම කුලය වෙන ශුද්‍රයන්ට.

ඇමති ධූර ඒ වගේම සමාජයේ ඉහළ තනතුරුවලට පවා තේරී පත්වෙන්නේ ශුද්‍රයන්වයි. මෙහෙම වෙද්දී පරිත්‍යාගය වගේ යහපත් ගුණාංග ගැන මිනිස්සු අමතක කරනවා වගේම එහෙම වචනයක් ගැනවත් මිනිස්සු දන්නේ නැති වෙනවා. මේ කාලයේදී අයහපත පරාජය කරලා නැවත වරක් මිනිස් ලෝකයේ යහපත ස්ථාපනය කරන්න විෂ්ණු දෙවියන් කල්කි විදිහට පහළ වෙනවා.

කල්කි අවතාරය විස්තර කෙරෙන්නේ සුදු අශ්වයෙක් පිට නැගලා එන රතු වස්ත්‍රයකින් සැරසිලා එන පුද්ගලයෙක් විදිහට. කල්කිගේ අතේ තිබෙන කඩුවෙක් අධර්මිෂ්ටයන් මරා දමනවා කියලා තමා හින්දු ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ.

මේ කරුණු නිසා හින්දු බැතිමතුන් අනාගතයේ පහළ වෙන කල්කි අපේක්ෂාවෙන් තමා ඉන්නේ. 

ජේසුතුමා නැවත මිනිස් ලොවට පැමිණෙන ආකාරය

ක්‍රිස්තියානි එහෙමත් නැත්නම් කතෝලිකයන් අතරේත් මේ ආකාරයේ විශ්වාසයක් පවතිනවා. ජොහාන්තුමා හෝ වෙනත් කතුවරයෙක් විසින් දේවානුභාවයෙන් ලියන ලදැයි සැළකෙන කතෝලිකයන්ගේ ශුද්ධ වූ බයිබලයේ අවසන් කොටස වෙන එළිදරව්වේ ශුභාරංචියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන සඳහන් වෙනවා.

දෙවියන් වහන්සේව විශ්වාස නොකරමින් තමන් කරපු පව් ගැන පසුතැවිලි නොවී අධර්මයේ ගැලිලා ඉන්න මිනිස්සු විනාශ කරලා යහපත නැවත ඇති කරන්න තමා ඒ ආකාරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම සිද්ධ වෙන්නේ.  

එළිදරව්වේ ශුභාරංචියේ 19 කොටසේ ඒ ගැන කියන්නේ මේ විදිහට

"....එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සත්‍යය යන නම් දරණ තැනැන්වහන්සේ [ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ] ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ දැහැමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක.

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

උන්වහන්සේගේ නේත්‍ර අග්නිජාලා මෙනි. උන්වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන්වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ හැඳ සිටිසේක. දෙවියන් වහන්සේගේ ධර්මයාණෝයැයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගික යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පසුපස්සේ ගියහ.

ජාතීන්ට පහර දෙනු පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඩින සේක....."

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

කුරුසයේ ඇණ ගැසීමෙන් දින තුනකට පසුව උත්ථානය වුණු ජේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ට අවවාද ආදිය ලබාදීලා ස්වර්ගය බලා නික්මුණාට පස්සේ නැවත වරක් මේ ආකාරයෙන් මිනිස් ලොවට පැමිණෙනවා කියලා තමා කතෝලිකයන්ගේ විශ්වාසය වෙන්නේ.

ඒත් මේක සිද්ධ වෙන දවසක් සම්බන්ධව නිශ්චිතව දක්වලා නැහැ. ඒක දේව රහසක් කියලයි කියවෙන්නේ. කොහොම නමුත් මිනිසා තුළ දෙවියන් වහන්සේ සම්බන්ධව විශ්වාසය නැතිවෙලා අධර්මයට වැඩි වශයෙන් යොමු වීමත් එක්කම මේ සිදුවීම් සිද්ධ වෙනවා කියලා තමා දැනගන්න ලැබුණේ.

රෝම අධිරාජ්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මයට වුණු පීඩනයෙන් අසහනයට පත්වුණු ජනතාව සැනසීමට එළිදරව්වේ ශුභාරංචියේ කොටස රචනා වුණා කියන අදහස ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතින් බලද්දී ලංකාවේ සුමන සූත්‍රය රචනා වෙන්න හේතු වුණා වගේ තත්වයක් මේ අවස්ථාවේදීත් ඇතිවෙලා තියෙන වග හිතන්න පුලුවන්.

මහ්දිතුමාගේ නාමය මදීනාවේ මුස්ලිම් පල්ලියක සටහන් කර ඇති අයුරු

ඉස්ලාම් භක්තිකයනුත් මේ ආකාරයෙන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා/ මහ්දි අලෙයිහි සලාම්තුමා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙනවා. මෙතුමාගේ නම වෙන මහ්දි යන්නෙන් යහපත කරා කැඳවන්නා කියන එකත්, ඉමාම් යන්නෙන් නායකයා කියන එකත්, අලෙයිහි සලාම් යන්නෙන් අල්ලාගේ ශාන්තිය හිමිවන්නා කියන තේරුමත් ප්‍රකාශ වෙනවා.

ඉස්ලාම් දහමේ මීට පෙර සිටි නබිවරයා වුණු මොහමඩ් නබිතුමාගේ පරපුර වෙන කුරෙයිෂි ගෝත්‍රයේ උපදින මහ්දි අලෙයිහි සලාම්ගේ දෙමාපියන්ගේ නම් පවා මොහොමඩ් නබිතුමාගේ දෙමාපියන්ගේ නම්වලට සමාන වන බවයි කියවෙන්නේ.

ඉස්ලාම් කැලැන්ඩරයට අනුව හජ් මාසයේ 10 වෙනිදා සිකුරාදාවක් වෙන හජ්ජුල් අක්බර් අවුරුද්දකදී ඉමාම් මහ්දිතුමාව ලෝකයට ප්‍රකාශ වෙනවා කියලා තමා හදීස්වල දක්වලා තියෙන්නේ. ඒ වෙද්දී හජ් වන්දනාවේ යෙදෙමින් ඉන්න එතුමා තමා ඉමාම් මහ්දි කියලා මුළු ලෝකයටම ඇහෙන ශබ්දයකින් දැනුම් දෙනු ලැබෙනවා.

ඒ වෙද්දී ඉමාම් මහ්දිතුමාට වයස අවුරුදු 40 ක් පමණ වෙනවා. පුළුල් නළලක් සහ දිග නහයක් ඉමාම් මහ්දිතුමාට තිබෙන බව තමා කියවෙන්නේ.

මේ කාලය වෙද්දී ලෝකය පුරා තිබෙන සියලුම මුස්ලිම් රාජ්‍යයන් එකතු වෙලා මහ්දිතුමාගේ නායකත්වයට පත්වෙනවා. ඒ නිසා මහ්දි මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහටත් සැලකෙනවා. සමස්ත ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහට මුස්ලිම්වරුන්ට නිවැරදි මග පෙන්වීම මහ්දි අලෙයිහි සලාම් විසින් අවුරුදු 7 ක් සිදු කරනවා.

මේ ආකාරයෙන් ඉමාම් මහ්දිතුමා ඊට පසුව පහළ වෙන ඊෂා අලෙයිතුමාට මිනිස් ලොව පහළ වෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. මහ්දිතුමාගේ කාලය අවසන් වීමත් එක්ක ඊෂා අලෙයිතුමා මිනිස් ලොව පහළ වෙනවා. මුස්ලිම්වරු ඊෂා අලෙයිතුමා විදිහට හඳුන්වන්නේ කතෝලික බැතිමතුන් විසින් තමන්ව පාපයෙන් මුදවා ගන්න දෙවියන් වහන්සේගේ මිනිස් ලොවට එවූ තමන්ගේ පුත්‍රයා වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි.

මේ නිසා ඊෂා අලෙයිතුමාගේ පහළ වීමත් එක්ක සමස්ත ලෝකවාසී කතෝලික ප්‍රජාවත් මුස්ලිම්වරුන් එක්ක එකතු වෙලා ඊෂා අලෙයිතුමාගේ නායකත්වය පිළිගන්නවා කියලා තමා මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වෙන්නේ. මේ කාරණය නිසාම කතෝලිකයන් විශ්වාස කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හා මුස්ලිම්වරුන් විශ්වාස කරන ඊෂා අලෙයිතුමාගේ පුනාරාගමනය සමාන බවයි පේන්නේ.

මිනිස් ලොවට පහළ වුණු ඊෂා අලෙයිතුමා මාරයා හෙවත් අයහපත වෙන දජ්ජල්ට එරෙහිව ඉමාම් මහ්දිතුමා එක්ක එකතු වෙලා සටන් කරනවා. දජ්ජල් පරාජය කිරීමෙන් පස්සේ ඉමාම් මහ්දිතුමා තමන්ගේ ජීවිතය අවසන් කරනවා.

ඊට පස්සේ ඊෂා අලෙයිතුමා වසර 40 ක් හෝ 45 ක් මිනිස් ලොව පාලනය කරන බවයි ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය වෙන්නේ. ඊට පස්සේ එතුමාත් මිය යාමෙන් පස්සේ ක්‍රමයෙන් ඉස්ලාමයෙන් මිනිසුන් බැහැර වීමත් එක්ක තමා ඉස්ලාම් දහමේ දැක්වෙන විදිහට ලෝක විනාශය සිද්ධ වෙන්නේ.

අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා සම්බන්ධව වගේම ඊෂා අලෙයිතුමා ගැනත් විස්තර රාශියක්ම හදීස් නමින් හඳුන්වන මොහොමඩ් නබිනායකතුමා විසින් වාචිකව දේශනා කරපු ඒ වගේමයි අනුමත කරපු දේවල් ඇතුළත් රචනා කරපු කෘතිවල ඇතුළත් වෙලා තිබෙනවා.

මේ ආකාරයෙන් හදීස්වල කරුණු තිබුණත් වරින්වර පුද්ගලයන් තමන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දි නමින් හඳුන්වලා කටයුතු කරලා තියෙනවා.ඒ හැරෙන්න මේ වෙද්දිත් තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්නා පුද්ගලයින් ඉන්නා බවයි කියවෙන්නේ.  තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්න එක නම් හරියට තමන් දියසේන කුමාරයා කියලා හඳුන්වා ගන්න තිබුණු වගේම තියෙන ආශාව වගේ කියලයි මට නම් හිතෙන්නේ.

මේ සියලුම අදහස් එකතු කරලා බලද්දී කිසියම් සමානකමක් නැත්තේමත් නැහැ. කොහොම නමුත් තමන්ගේ විමුක්තිය එහෙමත් නැත්නම් ගැලවීම උදා කර ගන්න එක හැමෝගේම වගේ ලොකු ආශාවක් බව නම් පැහැදිලියි.

ප.ලි.: දවස් ගාණක් තිස්සේ ඉදන් මහන්සි වෙලා මේ කතාව ලිව්වේ ආගිය කතාවේ පළවෙනි 200 වෙනි ලිපිය නිමිති කරගෙන. මේ දක්වා මට ලියන්න හයියක් වුණු හැමෝටම මගේ නිමක් නොවන ස්තුතිය :)

ප.ප.ලි.: මේ ලිපිය ලියද්දී හුඟක් වෙලාවට මම ස්වයං අධ්‍යයනයන් තමා සිද්ධ කළේ. ඒත් නොතේරුණු තැන් කියා දෙන්න උදව් වුණු අපේ කැම්පස් එකේ සංස්කෘත අධ්‍යයනාංශයේ හාමුදුරුවරුන්ටත්, ක්‍රිස්තියානි ධර්මය හදාරන මිතුරු මිතුරියන්ටත් ඒ වගේමයි ඉස්ලාම් ධර්මය සම්බන්ධ කරුණු රැසක් හොයාගන්න උදව් කරපු මුහුණු පොතෙන් හඳුනාගත්තු මොහොමඩ් රිසාන් සහ මොහොමඩ් අස්ෆාරන් කියන මිතුරන් දෙදෙනාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. 

Thursday, September 6, 2012

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි

 කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්

මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.

පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. 

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා. 

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා. 


ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා. 

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා. 

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා. 

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා. 

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මට හිතෙන විදිහට නම් එහෙම කතාවක් ඇතිවෙන්න බලපෑවේ ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික වශයෙන් ලොවුතුරා බුදුවරුන්ගේ ආකාර තුනක් පැවතීම වෙන්න ඕනේ. මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ.


හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. 

මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. උන්වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ක් වුණා වගේම උන්වහන්සෙගේ ආයුෂ වසර 80 ක් වුණා. ධර්මය දේශනා කරද්දී විවිධ බාධකවලට මුහුණ දෙන්න උන්වහන්සේට සිදුවුණා.

ඒත් ශ්‍රද්ධාධික බුදුවරුන් පහළ වන කාලය ආයුෂ වගේම පහළ වන කාලයත් ප්‍රඥාධික බුදුවරයෙකුගේ කාලයට වඩා සෞභාග්‍යමත් කාලයක්.

ඊටත් වඩා සෞභාග්‍යමත් කාලයක් වීර්යාධික බුදුවරයෙක් පහළ වන කාලයේදී පවතිනවා. ඒ වගේමයි ඒ කාලයේ පරමායුෂ අවුරුදු 80,000 ක් පමණ වෙනවා. අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක්.

මෙන්න මේ වගේ කරුණු නිසා වෙන්න ඇති හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ.

කේතුමතී පුරය ගැන කියවෙන නන්දා මාලිනී ගායනා කරන ගීතයක් තමා මේ. දේශපාලනික කියවීම පැත්තකින් තියලා කේතුමතී පුරය මොනවගේද කියලා දැනගන්න අහලා බලන්නකෝ

 

මේ ගමන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා වගේම මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගනිපු කතාවත් කියන්නම්.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පළමු වතාවට තමන්ගේ උපන් බිම වුණු කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට පිටත් වුණානේ [කපිලවස්තුව කිව්වාමනේ දැන් හුඟක් අය දන්නේ] ඉතින් උන්වහන්සේ ඇතුළු මහා සංඝයාව සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍ය රජ දරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. හැබැයි මෙහෙම දේකුත් වුණා.

 කපිලවස්තුව

ඒ තමා ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට එයා අපිට වඩා බාලයි. අපි මොකටද එයාට වඳින්නේ කියලා. ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් වැඩේ සවුත්තු වෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා.

යමා මහ පෙළහර කියන එකත් කෙටියෙන් සහ සරලව විස්තර කරන්නම්.

යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම. 

පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.



මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා. 

බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා. 
  • පළමු අවස්ථාව තමා බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
  • දෙවෙනි අවස්ථාව තමා අද කතාවට සම්බන්ධ ශාක්‍යයන්ගේ මානය බිඳපු ආකාරය
  • තුන්වෙනි අවස්ථාව තමා ගණ්ඩබ්බ කියන අඹ රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පාපු අවස්ථාව. 
ඉතින් නැවතත් කතාවට ආවොත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන් කිඹුල්වත් පුරයේදී යමා මහ පෙළහර පාන ආකාරය රජගහ නුවර ගිජුකුළු පර්වතයේ ඉදන් දැක්ක සැරියුත් මහ රහතන් වහන්සේ මේ උත්කර්ෂවත් අවස්ථාවේ එතැනට රැස්වෙලා ඉන්න දෙවි මිනිසුන්ට යහපතක් කරන්න ඕනේ කියන අරමුණෙන් බුදුන් වහන්සේගෙන් බුද්ධවංශ දේශනාව පිළිබඳ විචාරනවා කියලා අරමුණු කරගෙන තමන්වහන්සේ සමඟ හිටිය රහතන් වහන්සේලාත් සමඟ අහසෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා. 

බුදුන් වහන්සේට නමස්කාර කරන සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රථම ප්‍රණිධානයේ ඉදන් බුද්ධත්වය ලැබීම දක්වා වන බුද්ධ වංශය පිළිබඳ දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුන් වහන්සේ තමන්වහන්සේ බෝසත් සමය ගත කරපු ආකාරය වගේම අනියත විවරණ සහ නියත විවරණ ලබාගත් ආකාරයත් දේශනා කරනවා. 

අවසාන වශයෙන් නැවත වරක් සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරදුන් සම්බන්ධවත් කරුණු දේශනා කරනවා. අනාගත වංශ  දේශනාව කියලා හැඳින්වෙන්නේ ඒ දේශනාව. 

ඒ යටතේ කල්ප විනාශය, මෛත්‍රී බෝසතුන්ගේ බෝසත් සමය, කේතුමතී පුරය ඇතිවීම, බෝසතුන් කේතුමතියේ පහළවීම, මහබිනික්මන, බුද්ධත්වය වගේ කරුණු කාරණා සියල්ලම බුදුන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කරවීම

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වහන්සේගෙන් අවසන් නියත විවරණය ලබාගත්තු කතාවත් කියන්නම්කෝ. මම කලින් දවසක බුද්ධ කාලයේ මිහිපිට ජීවත්වුණු තව්තිසාවේ දෙවිවරුන් සටහනෙන් බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ. 

මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්. 

ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා. 
  

ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

"මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා" 

යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා. 

ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා..... 

 දඹුළු විහාරයේ මෛත්‍රී බෝසත් ප්‍රතිමාව
 http://www.flickr.com/photos/paulmannix/314067662/

බෝසත් වන්දනාව නිසා මෛත්‍රී බෝසතුන්ගේත් ප්‍රතිමා විහාරවල ඉදිකරලා වන්දනා මාන කරන එක බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. මෛත්‍රී බෝසතුන් වන්දනා කරන ගාථා තමා මේ.

මෙත්ත්‍යෙය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං 

මෛත්‍රී නාමයෙන් බුදු බවට පත්ව නිවන් මඟ පිණිස දහම් දෙසන තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසන ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා...


වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමි තං වීතරාගී මුනින්දං

වීර්යාධික වූ ඒ උතුම් බෝසතුන් අනාගතයේදී කේතුමතී පුරයේ ඉපිද, බුදුව ලෝසතුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන සේක. ඒ වීතරාගී බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....


එහෙම නම් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා අවසානයි. 

තවත් මෛත්‍රී බෝසතුන් ගැන දැනගන්න කැමති නම් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත "මෛත්‍රී බුදුපියාණෝ" කෘතිය මෙතනින් භාගත කරගන්න පුලුවන්....

වැඩිදුර කියවීම සඳහා ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජයාණන් වහන්සේ විසින් රචනා කරපු මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංසය කෘතිය හොයාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. 

Thursday, August 23, 2012

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන්

සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්

මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.

අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. 

ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා මලය මහ තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණු.

දවසක් දවල් දානය ලබාගන්න පිණ්ඩපාතයේ වැඩම කරපු මලය හාමුදුරුවෝ දැකපු මානෙල් මල් කඩන්න ගිය මනුස්සයෙක් තමන් ගාව තිබුණු මානෙල් මල් මිටි 8 ක් හාමුදුරුවන්ට පූජා කළා.


ඒ එක මල් මිටියක මානෙල් මල් 16 ක් පමණ තිබුණා. මේ මානෙල් මල් මිටි අටේ දඬු පාත්‍රය ඇතුළට තිබෙන විදිහට තබාගත්තු මලිය හාමුදුරුවන්ට මේ මානෙල් මල්වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම්කළු සොබාවයත් එක්ක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙනවා.

ඒ නිසාම උන්වහන්සේ කල්පනා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවද ? රුවන්මැලි සෑයට පූජා කරනවද ? එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා.

අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදු හාමුදුරුවන්ගේ දකුණු දළදාව වගේම සිදුහත් කුමාරයා තවුස් වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතු තැන්පත් කරලා තියෙන තව්තිසා දිව්‍ය ලෝකයේ "සිළුමිණි" සෑයට පූජා කරන්න. 

බුද්ධාලම්භන ප්‍රීතියත් එක්ක ක්ෂණිකව අහසට වඩින මලිය හාමුදුරුවෝ සුලු වේලාවකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාළිගාව වෙන වෛජන්ති ප්‍රාසාදය ඉදිරියට වැඩම කරවනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

යොදුනක වට ප්‍රමාණය තියෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලිය හාමුදුරුවෝ සෑ මළුවේ ඉද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් උන්වහන්සේට නමස්කාර කරනවා.

උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා "ශක්‍ර දෙව් රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවාද?" කියලා

ශක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දෙනවා "ස්වාමිනී, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව් වරක් සිළුමිණි සෑය වන්දනා කරන්න පැමිණෙනවා. අදත් එවැනි දිනයක්. ඔබවහන්සේ මඳක් රැඳී සිට බෝසතුන්වත් හමුවෙන්න" කියලා

ටික වේලාවකින් බලසම්පන්න දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක සෑ මළුවට පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා. 

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානපති හරිතාල තිස්ස කියලා.

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒකාවන්තිස්ස මහ රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු සද්ධාතිස්ස මහ රජතුමා කියලා. 

හතරවෙනියට බොහොම ප්‍රභාෂ්වර දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු දුටුගැමුණු මහ රජතුමා කියලා.


අවසාන වශයෙන් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන බොහොම ප්‍රභාෂ්වරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනට පැමිණෙනවා.

මලය හාමුදුරුවෝ දැකපු බෝසතුන් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා "ඔබවහන්සේ කුමන රටකින් වැඩියාද? කියලා. මලය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා තමන්වහන්සේ ලංකාද්වීපයේ ඉදන් වැඩම කළා කියලා.

ඊට පස්සේ ලංකාද්වීපයේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතුන් අහපුවාම මලය හාමුදුරුවෝ කියනවා "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" කියලා ප්‍රකාශ කරලා සිළුමිණි සෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලොව බලා පිටත් වෙනවා. මලය හාමුදුරුවෝත් සෘද්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා.

සීහලවත්ථු කතාවෙන් මේ කතාව උපුටාගෙන කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ සකස් කරපු මෛත්‍රී බුදු පියාණෝ කියන කෘතියෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.

කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න ඕනේ බුදුන් වහන්සේ දුටු පමණින් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන එකයි. 

බුද්ධ කාලීනව සිටිය වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධකාය දැකලා හැමදාම බුදුන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාවට පාරට වෙලා ඉන්න පටන් ගත්තා. ඊළඟට ඒකත් මදිවෙලා බුදුන් වහන්සේ වැඩ වසන ආරාමයේ පැවිදි වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න ඉන්න පටන් ගත්තා.


අවසානයේදී බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "කිං තෙ වක්ඛලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්ඛලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සෝ මං පස්සති" 

ඒ කියන්නේ "ඇයි වක්ඛලී මාගේ මේ කුණු සිරුර දිහා බලාගෙන ඉන්නේ. වක්ඛලී ධර්මය දකින්නා මා  [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි" කියලා

මේ අවවාදය අහපු වක්ඛලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ තමන්ට බැණ වැදුණා කියලා අතිශය කම්පා වෙලා ගිජ්ඣකූඨ පර්වතයට නගිනවා ඒක උඩින් පැනලා සිය දිවි නසාගන්න හිතලා. ගිජ්ඣකූඨය මුදුනින් බිමට පනින වක්ඛලී හාමුදුරුවන්ව බුදු හාමුදුරුවන්ගේ මහා කරුණා ඇසට හසුවෙලා උන්වහන්සේ සෘද්ධිමය බුදු රුවක් ඒ අසළ මවනවා.

 ගිජ්ඣකූඨය

ඒ අවස්ථාවේදී බිමට පතිත වෙමින් හිටිය වක්ඛලී හාමුදුරුවන්ට කතා කරන සෘද්ධිමය බුදු රුව "වක්ඛලී, මගේ අත ගන්න" කියලා ප්‍රකාශ කිරීමත් එක්ක බුද්ධාලම්භන ප්‍රීතියත් එක්කම වක්ඛලී හාමුදුරුවන්ගේ සිතේ ඇතිවන අධික ආකාරවතී ශ්‍රද්ධාවත් එක්කම උන්වහන්සේ උතුම් වූ රහත් බවට පත්වෙනවා.

අවසානයේදී තමන් වහන්සේගේ සෘද්ධිමය බලයෙන් වක්ඛලී හාමුදුරුවෝ බිමට වැඩම කරනවා.

ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දුටු පමණින් ධර්මය අවබෝධ කරගන්න නොහැකි බවත් අපි වටහා ගන්න ඕනේ.

ප.ලි.: කැලණිය මානෙල්වත්ත විහාරයේ මේ දිනවල ප්‍රදර්ශනය කරපු කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න යන්න කීප දෙනෙක්ම මට කතා කළත් ඇත්තම කිව්වොත් මට යන්න හිතුණේ නැහැ.

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති

Wednesday, June 27, 2012

තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය

 මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.

ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.

එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක

මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.

බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා. 

 සම්බුද්ධ පරිනිර්වාණය

මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා. 

අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.

මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම. 

තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.   

 අජාසත් රජතුමා

ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා. 

පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.

කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.

අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා. 

පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා. 

 කුක්කුට සම්පාත පර්වත

අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා. 

එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.

මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්

"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය" 

ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.

එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා 

කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.

අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා. 

 පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා. 

අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.

ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ. 

කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු

වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා. 

කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය

සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා. 

 බෙන්තර ගලපාත විහාර ස්ථූපය

දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.

මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා

Friday, April 6, 2012

පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක්


පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය කට්ටිය එහෙමත් නැත්නම් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම දිව්‍ය ලෝකේ ගිය කට්ටිය ගැන අහලා තියෙනවද කියලා ඇහුවොත් උත්තරේ සමහර වෙලාවට ඔව් වෙන්න පුලූවන් සමහර විට නැහැ වෙන්නත් පුලූවන්.

ඔව් කියලා උත්තරේ දෙන අයට ගුත්තිල ජාතකයේ කියවෙන ගුත්තිල පඬිතුමාව මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න. ඒ හැරෙන්න නන්ද හාමුදුරුවන්ව බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට එක්ක ගෙන ගිහින් දිව්‍යාංගනාවෝ පෙන්නපු කතාවත් අහලා ඇතිනේ.

මේ ඔක්කොමත් එක්කම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා වරින් වර දිව්‍ය ලෝකවලට වගේම බ්‍රහ්ම ලෝකවලටත් වැඩිය බවට ත්‍රිපිටකය වගේම අනෙක් බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයවලින් අපිට විස්තර හමුවෙනවා.

මේ පිරිස් වගේම තවත් පණ පිටින්ම දිව්‍ය ලෝකේ ගිය පුද්ගලයෙක් ගැන විස්තරයක් හමුවෙනවා ගම්පොල යුගයේදී දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ චූලගල්ල වග්ගයේ පළමු කතාව වෙන චූලගල්ල වස්තුවේ. ඒ පුද්ගලයා තමයි සුළුගලු උපාසක. හුදී පහන් ජන සංවේගය උදෙසා බක් පොහොය නිමිති කොටගෙන ඒ කතා වස්තුව කියන්නයි මේ සූදානම.

ලංකාවේ දැදුරු ඔය ආසන්නයේ තියෙන ගමක් වුණු සුළුගලු ගමේ ඒ ගමේ නමින්ම විශාල විහාරයක් තිබුණා. ඒ විහාරයේ වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේලාට නිරතුරුවම ගම් වැසියන් සිව්පසයෙන්ම පුද පූජා කළා. එක

දවසක් මේ විහාරයේ වැඩ වාසය කරපු මලියදේව මහ රහතන් වහන්සේට ( මේ මලියදේව මහ රහතන් වහන්සේ සම්බන්ධවත් කතා රැසක් තිබෙනවා. ලංකාවේ වැඩ සිටි අවසන් රහතන් වහන්සේ උන් වහන්සේ කියලයි විශ්වාස කරන්නේ) රාත්‍රියේදී බඩේ අමාරුවක් හට ගන්නවා.

ඒ බඩේ අමාරුව මීට පෙරත් හැදුණු අවස්ථාවක ඖෂධ වර්ග එකොළහක් දාලා හදන එකාදසයාගු කියන බෙහෙත් කැඳ වැළඳුවාම සනීප වුණු නිසා උන්වහන්සේ මේ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කොහෙන්ද කියලා දිවැසින් බලද්දී පෙනෙන්නේ සුළුගලු උපාසකගේ නිවසට වැඩම කළොත් ඒ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කියලා.

උදෑසන කරන බෝ මළු ඇමදීම් වගේ වත් නිමා කරපු උන්වහන්සේ සුළුගලු උපාසකගේ නිවෙසට පිඬු සිඟා වඩිනවා. විහාරස්ථානයේ ඉදන් සුළුගලු ගමට අහසින් වැඩිය ආකාරය වගේම ගමනේ වේගය උපමා තුනකින් දක්වනවා

නිල් නෙලුමක් තුඩින් අරගෙන අහසට නැඟුණු ගරුඬරාජයෙක් වගේ දික් කරපු අතක් නමා ගන්නා වෙලාවටත් කලින් සක්විති රජතුමාගේ අතට ගමන් කරන සිතුමිණි මැණික වගේ අහසින් සුළුගලු ගමට වැඩම කළා කියලා


පිළිවෙලින් පිඬු සිඟා වැඩිය මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසක දන්දීමටම හදලා තිබුණු ආසන ශාලාවට වැඩම කරලා අසුන් ගන්නවා. සුළුගලු උපාසක මලියදේව මහ රහතන් වහන්සේව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කතා බස් කරද්දී උන්වහන්සේට ශරීරාබාධයක් තිබෙන බව පෙනිලා ඒ බව ප්‍රශ්න කරනවා . උන්වහන්සේ තමන් වහන්සේට බඩේ අමාරුවක් තිබෙන බව හඟවනවා

එතකොට සුළුගලු උපාසක උන්වහන්සේට එකාදසයාගු කියන බෙහෙත් කැඳ තනන තෙක් වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. මේ උපාසක අනාගතයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදින නිසා ඒකට අනුග්‍රහයක් විදිහට බෙහෙත් කැඳ පිසින තෙක් තව්තිසා දිව්‍ය ලෝකයට ගිහින් සිළුමිණි සෑය ( සිළුමිණි සෑය කියන්නේ සිදුහත් කුමාරයා තවුස් දම් පුරන්න ආරම්භ කරද්දී හිසකෙස් කපලා අහසට විසිකළ අවස්ථාවේ ඒ කේශ ධාතු තැන්පත් කරලා ශක්‍ර දේවේන්ද්‍රයා තනපු දාගැබ. පසුකාලීනව බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කරපු සර්වඥ ධාතු බෙදීමේදී ලබා ගනිපු දන්ත ධාතුවකුත් මේ තුළ තැන්පත් කර තිඛෙනවා ) වන්දනා කරලා එමු කියලා මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකට කියනවා.

සිළුමිණි සෑය
වදින්න කැමති වුණත් අහසින් යන්නේ කොහොමද කියලා සුළුගලු උපාසක අහද්දී තමන්වහන්සේගේ ආනුභාවයෙන් කැඳවා ගෙන යන්නම් කියලා තමන් වහන්සේ වැඩ හිඳින සම්කඩේ වාඩි කරවලා අහසින් ගිහින් සිළුමිණි සෑයේ සත්රුවනින් කරපු සත්වෙනි දොරටුව ගාවට වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

ඒ අවස්ථාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු දිව්‍ය සේනාව පූජා භාණ්ඩත් අරගෙන පෙරහැරින් තුසිත පුරයේ ඉදන් සිළුමිණි සෑයට වන්දනා කරන්න වඩිනවා. ඒ දිව්‍ය පිරිසේ ඉදිරියෙන්ම වඩින දේවතාවෝ පස් දෙනෙක් මහ ආශ්චර්යකින් යුක්ත වෙනවා.

අලංකාර දිව්‍ය වස්ත්‍ර, දිව්‍යාභරණ, ශරීරාලෝකය, අලංකාර දිව්‍ය රථ යුක්තව ධජ පතාක දිව්‍ය සංගීත භාණ්ඩ ගත්ත දිව්‍ය පුත්‍රයෝ වගේම දිව්‍යාංගනාවන් පිරිවරා ගෙන තමයි මේ දේවතාවෝ පස් දෙනාම වඩින්නේ. අන් දෙවිවරුන්ට වඩා විශාල ආශ්චර්යක් මේ දේවතාවන්ට හිමිවුණේ ඇයි කියලා සුළුගලු උපාසක කරුණු විමසද්දී මලියදේව මහ රහතන් වහන්සේ ඒ දේවතාවන් පෙර අත් භවයේ කරපු පින්කම් දක්වනවා.

පෙර අත් භවයේ ලංකාවේ ඉපිදී සිටි මේ දේවතාවන්ගෙන් අවසාන දේවතාව හැර අනෙක් සිව් දෙනාම විවිධ ගම්මානවල සිටපු ගොපලූ දරුවෝ. මුල් ගොපලූ දරුවා හරකුන්ට තණ කවලා ආපසු එද්දී මල් දැකලා ඒවා කඩාගෙන පැළැඳගෙන එද්දී තුඹසක් දැකලා තමන් පැළැඳගෙන හිටි මල් සියල්ල බුදුන්ට පූජා වේවා කියලා හිතලා තුඹසට පූජා කරලා ඒ මල්වලට වතුරත් ඉසිනවා.

දෙවෙනි ගොපලූ දරුවා දැදුරු ගං ඉවුරේ වැල්ලෙන් දාගැබක් හදලා ඒකට මල් පූජා කරලා ඒ මල්වලට වතුර ඉසලා කොළ මඩුවක් හදලා සෙවණත් සපයනවා. තෙවැනි සහ සිව්වෙනි ගොපලූ දරුවන් කරන්නේ පෙර දක්වපු ක්‍රියාවමයි.

අවසන් දිව්‍ය පුත්‍රයා උපාසකයෙක්ව ඉදලා සංඝයාට ආසන ශාලාවක් කරවලා දන් දුන්නා වගේම ඒ වගේ ශාලා ඉදිකරන්නන්ට උදව් කරනවා. ඒ හැරෙන්න පොකුණු තනන්න වගේම බෝධි ප්‍රාකාර තනන්න උදව් කරනවා. බණ අසන්න මිනිසුන්ට ධර්මඝෝෂා කරනවා ඒ පිනෙන් මිහිර කට හඬ වගේම වගේම පන්සිල් ආරක්ෂා කරනවා ඒ පිනෙන් දිව්‍ය පිරිස්ද උතුරු සළුවක් ධර්මයට පූජා කළ පිනෙන් කප්රුක් පහල වුණු බවයි. මේ කරපු පින්කම් නිසා මේ ආකාරයේ දිව්‍ය සම්පත් ඒ දේවතාවෝ ලැබුවා කියලා මලියදේව මහ රහතන් වහන්සේ දක්වනවා.

අවසානයටම මහ පිරිස් සමඟ මහත් දිව්‍යානුභාවයෙන් වැඩම කරන්නේ මෛත්‍රී බෝසතාණෝ. උන්වහන්සේව මලියදේව මහ රහතන් වහන්සේ විසින් සුළුගලු උපාසකට හඳුන්වා දෙනවා. පස්සේ මෛත්‍රී බෝසතාණන් සමඟ සිළුමිණි සෑය වන්දනා කරන මලියදේව මහ රහතන් වහන්සේ සහ සුළුගලු උපාසක ආපසු පිටත් වෙන්න යද්දී තව තවත් පින්කම් කරන්නැයි සුළුගලු උපාසකට අවවාද කරන මෛත්‍රී බෝසතාණෝ දිව්‍ය වස්ත්‍ර යුගළයක් පිරිනමනවා.

අවසානයේ නැවතත් මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකගේ ගෙදරට දෙදෙනාම පැමිණිලා බෙහෙත් කැඳ වළඳලා නැවතත් විහාරයට වැඩම කරනවා.

මේ දිව්‍ය වස්ත්‍ර දකින ගම්වාසීන් විස්තර අහද්දී සුළුගලු උපාසක ඒවා ලැබුණු ආකාරය වගේම මෛත්‍රී බෝසතාණෝ සම්බන්ධව විස්තර කියලා සත් දවසක් ගම්වාසීන් සමඟ එක්වෙලා පින්කම් කරනවා. අවසානයේ අටවෙනි දිනයේ මියයන සුළුගලු උපාසක තුසිත දෙව් පුරයේ මෛත්‍රී බෝසතාණෝ සමීපයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදිනවා.

ඉතින් මේ ආකාරයේ සුලු පින්කම් කරලා ලබාගත්තු දිව්‍ය සම්පත්ති ගැන සිතලා බලලා ඔබත් හැකිතාක් පින්කම් කරන්න. ඒ හැමවිටම පැහැදුණු සිතින් ඒවා සිදු කරලා යහපතක් ඉටු කරගන්න.

අවසානයේ නිර්වාණාවබෝධය පිණිස මේ කුසල සම්භාරයන් හේතුවේවා !!!

සද්ධර්මාලංකාරය කියවන්න කැමති නම් මෙන්න ඒකට පාර

ලංකාවේ තියෙන සිළුමිණි සෑය ගැන විස්තර මෙතනින්


මේ කළ සත් කාර්යයෙන් කිසියම් කුසලයක් මට වේ නම් මට සද්ධර්මාලංකාරය කියවන්න ලබාදුන් තිස්ස ලියනාරච්චි සොයුරාටත් එයින් කොටසක් අත්වේවා !!!

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියවෙමින් පවතී