Showing posts with label I විමලධර්මසූරිය. Show all posts
Showing posts with label I විමලධර්මසූරිය. Show all posts

Saturday, April 20, 2013

උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19

සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. 

උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල. 

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව

මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.

ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා. 

I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.

මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා. 


ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.

කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්. 

මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්. 

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්. 

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්

".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."

ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.

ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.  

උඩරට රාජධානි අවසාන සමයේ රාජකීය මුද්‍රාව

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
 
පෘතුගාල රාජකීය ලාංඡනය

උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ. 

ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.

 මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව

ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.

විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.

 මහනුවර නාථ දේවාලය

ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.

ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්. 

 විෂ්ණු දෙවියෝ

මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ  කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.

 කතරගම දෙවියෝ

මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.

 බදුලු කතරගම දේවාලය

මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.

III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.

මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.


අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.

සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.

“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර  මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”

මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.

වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.

හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට

බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින

තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා

දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා

මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.

 දොඩන්වල දේවාලය

පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.

ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.

 දොඩන්වල දේවාලය

විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.

නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.

මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.

ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.

මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.

ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.

නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html   
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062

ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D

ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)

Sunday, August 19, 2012

Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15

 මුල්ලේරියා සටන

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම

මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.

සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම

ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා. 

මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර

මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා. 

මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා

පෙතන්ගොඩ උයන

පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.

රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.

සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.

හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]

ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.

ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න

 
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා

කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක. 

මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.

රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.

ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.

මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.

ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.

දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.

කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.

පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.

ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.

සීතාවක රජ මාළිගය තිබූ තැන වර්තමානයේදී

සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.

පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.

අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.

නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.

දොන් ජෝන් කුමරු Dom Joao de Candia

මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.

ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ  අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.

ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.

ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.

තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය  කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

 කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.

නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.

ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.

සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.

සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.

මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.

සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.

මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්

Sunday, June 10, 2012

I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක් - ඉතිහාසයේ අප්‍රකට කතා 06

 I විමලධර්මසූරිය රජතුමා

කන්ද උඩරට රාජධානිය නිසියාකාරව ආරම්භ කරපු රජතුමා විදිහට සැළකෙන්නේ I විමලධර්මසූරිය රජතුමා. අපි මීට කලිනුත් කතා කීපයකින්ම I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කළානේ. මතකනේ I විමලධර්මසූරිය රජතුමාට කුණුහරුප කියූ ලන්දේසි අද්මිරාල් වගේම කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා කියන සටහන්වලින් සෘජුවම නොවුණත් වක්‍රව මේ රජතුමා ගැන කතා කළා. අද මේ සූදානම රජතුමා ගැන තියෙන කුඩා කුඩා අප්‍රකට කතා කීපයක් කියන්න......

මුලින්ම රජතුමාගේ නම ගැන තිබෙන කතා කීපයක් ගත්තොත් ඔහුගේ මුල් නම කොනප්පු බණ්ඩාර. පසුව 1582 සීතාවක රාජසිංහ රජතුමා තමන්ගේ පියා වුණු වීරසුන්දර බණ්ඩාරව උපායෙන් බොරු වළක දාලා මැරෙව්ව නිසා  බියෙන් පෘතුගීසින් වෙත පලා ඒමත් එක්ක 1588 කතෝලික වෙලා බෞතිස්ම වීමත් එක්ක ඔස්ට්‍රියාවේ දොන් ජෝන්/ අවුස්ත්‍රියාවේ දොන් ජුවන් නමිනුත් හැඳින්වෙනවා.

ඒ හැරෙන්න එතුමාව දොන් ජුවන් අප්පුහාමි නමිනුත් හඳුන්වලා තියෙනවා. මේ අප්පුහාමි කියන යෙදුම වර්තමානයේ නම් හිනාවට ලක් කරන නමක් වුණත් උඩරට රාජධානි සමයේ අප්පුහාමි නමින් හැඳින්වුණේ උසස් රදළ පවුල්වල අයව. 

උසස් පවුල්වල අය තමා රජතුමාගේ පුද්ගලික ආරක්ෂකයන් එහෙමත් නැත්නම් දැන් විදිහට කිව්වොත් ඒ කාලේ යොදාගත්තේ. ඒක නිසා රජතුමාගේ පුද්ගලික සේවකයන් හඳුන්වන්නත් මේ "අප්පුහාමි" යෙදුම භාවිතා වෙලා තියෙනවා.

ඒ වගේමයි ඒ කාලේ රාජ්‍ය සේවයේ යෙදෙන්න මුලින්ම පත්වෙන තනතුරක් විදිහටත් මේක දක්වන්න පුලුවන්. කොටින්ම ඇහැළේපොළ මහ නිළමේත් මුලින්ම දරලා තියෙන්නේ මේ අප්පුහාමිවරයෙක් කරන රජතුමාග පණිවුඩ ගෙනයාම සහ බුලත්විට සැපයීම කියන රාජකාරිය.

මේ රජතුමාගේ පෙළපත ගැනත් කතා කළොත් මෙතුමාගේ තාත්තා තමා වීරසුන්දර බණ්ඩාර කියන මුදලි එහෙමත් නැත්නම් ඒ කාලේ කරලියැද්දේ බණ්ඩාර කියන උඩරට රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කෙනා

මහාවංසය, මන්දාරම්පුර පුවත වගේම රාජාවලිය කියන පොත් I විමලධර්මසූරිය රජතුමා ගම්පොළ සහ පේරාදෙණිය රජ පෙළපත්වල අයෙක් කියලා සඳහන් කළත් සැබවින්ම එවැනි රාජ උරුමයක් එතුමාට තිබුණාද කියන එක සැක සහිතයි. 

ඒකට එක් උදාහරණයක් තමා I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රජවුණු ඥාති සොයුරු සෙනරත් රජතුමා සහ පෘතුගීසීන් අතර 1617 ඇතිවෙන සාම ගිවිසුමේ උඩරට රාජ්‍ය උරුමය ගැන දැක්වෙන කුඩා සටහන. 

ඒක තියෙන්නේ මෙහෙමයි

"කන්ද උඩරට රජු වන සේර [සෙනරත්] කන්ද උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල බිසව වන දෝන කතිරිනා සරණ පාවා ගෙන සිටින් බැවින්ද යටකී බිසවගෙන් ඔහු පුතුන් තිදෙනෙකු ලැබ සිටින බැවින්ද ඔහුගේ ඇවෑමෙන් ඔවුන් රජපැමිණිය යුතුය."

මේකෙන් ගම්‍ය වෙන කරුණක් තමා රජ කුමරුවන් සෙනරත් රජුගේ පුතුන් නිසාම නොව නියම උරුමක්කාරිය වෙන දෝන කතිරිනාගේ දරුවන් නිසයි රජකම හිමිවෙන්නේ කියන එක.

ඒක නිසා ඒ කාලය වන විට ප්‍රාදේශීය වශයෙන් බලවත්ව සිටිය බණ්ඩාර පෙළපතකට කොනප්පු බණ්ඩාර අයිතියි කියලා හිතන්න පුලුවන්. 

බණ්ඩාරවලියක් ලෙස කතා කෙරෙන මේ බණ්ඩාරවරු ඇතිවෙන්නේ ගම්පොල යුගයේ ඉදන් සිටිය රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ගේ දරුවන්ගෙන් කියලත් අදහසක් තියෙනවා. එහෙම බලද්දී නම් සෘජුවම නැතත් වක්‍රව හරි බණ්ඩාරවරුන්ට රාජ උරුමයක් තිබෙන බව පැහැදිලියි

නැවතත් ප්‍රධාන කතාවට ආවොත් කොළඹට පැනලා එන කොනප්පු බණ්ඩාරව ඒ කාලයේ කෝට්ටේ රජතුමා වුණු දොන් ජුවන් ධර්මපාල සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි කෝට්ටේ රාජ්‍යයේ ඒ වනවිට ප්‍රධාන අමාත්‍යවරයා විදිහට හිටිය තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ දියණියව කොනප්පු බණ්ඩාරට සරණ පාවා දෙනවා.

තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ එහෙමත් නැත්නම් තම්මිටරාළ ගැනත් යමක් කිව්වොත් එයා ධර්මපාල රජතුමාගේ සුළු පියා එහෙමත් නැත්නම් බාප්පා. දන්නවනේ ධර්මපාල කුමාරයාගේ තාත්තා වීදිය බණ්ඩාර කියලා. තම්මිට බණ්ඩාර කියන්නේ වීදිය බණ්ඩාරගේ බාල සොයුරා. 

මෙයාලත් රාජ උරුමයක් තිබුණු අය. ඒ මෙහෙමයි කෝට්ටේ පාලකයෙක් වෙලා හිටිය 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වුණු තනියවල්ලභ කුමාරයාගේ දියණියව සොළී කුමාරයෙක්ට සරණ පාවා දීමෙන් උපන් දරුවෝ දෙන්නා තමා වීදිය බණ්ඩාර සහ තම්මිට බණ්ඩාර කියන්නේ

ආයි කතාවට ආවොත් මේ විවාහයෙන් කොනප්පු බණ්ඩාර දාව තම්මිට කුමරියට පුතෙක් උපදිනවා. මේ කුමාරයා සහ තම්මිට කුමරිය කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යය පිහිටවූ කාලයේත් වාසය කළේ පෘතුගීසින් යටතේමයි. I විමලධර්මසූරිය රජතුමා කීප වරක්ම තමන්ගේ පුතා සහ තම්මිට කුමරිය පෘතුගීසීන්ගෙන් ලබාගන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. 

රාජාවලියේ කියන විදිහට නම් තම්මිට කුමරියට උඩරටට යන්න නොදීපු නිසා ඇය දෙවෙනි වරට විවාහ වෙනවා කොළඹ කොටුවේ වාසය කරපු පෘතුගීසි ජාතිකයෙක් වෙන දොන් ෆ්‍රැන්සිස් සමඟ.

1604 I විමලධර්මසූරිය රජතුමා මියයන විට තම්මිට කුමරියගෙන් ලත් පුතා ඉන්දියාගේ ගෝවේහි තිබුණු King's College හි ඉගෙනුම ලබමින් ඉදලා තිබෙනවා. තමන්ගෙන් පසුව උඩරට රාජ්‍යයේ උරුමක්කරුවා විදිහට ඒ කුමාරයා නම් කරලා රාජ්‍යය ලබාදෙන්න I විමලධර්මසූරිය රජතුමා අවසන් වතාවටත් උත්සහ කළත් පෘතුගීසීන් කුමාරයාව උඩරටට එවන එක ප්‍රතික්ෂේප කරනවා. 

ඒ කුමාරයාගේ අවසානය වුණේ කොහොමද කියන එක නම් මට හමුවුනේ නැහැ. ඒක හොයලා බලන්න ඕනේ කාරණයක් විදිහට මම හිතේ තියාගෙන ඉන්නේ.

නැවතත් කතාවට ආවොත් කොළඹ කොටුවේ වාසය කරන කොනප්පු බණ්ඩාර තමන් එක්ක උඩරට ඉදන් කොළඹට පලා ආපු සල්ලප්පු කියන පුද්ගලයාව මරා දමනවා. මේ දාමරික ක්‍රියාව ගැන විභාග කරන ධර්මපාල රජතුමා සහ කොළඹ කොටුවේ පෘතුගීසි කපිතාන් තීරණය කරනවා කොනප්පු බණ්ඩාරව ඉන්දියාවේ ගෝවෙට පිටත් කරන්න.

ගෝවේ වාසය කරන කොනප්පු බණ්ඩාර කරපු වීර ක්‍රියාවක් නිසා මුළු ගෝවේම ප්‍රසිද්ධ වෙන්න කොනප්පු බණ්ඩාරට හැකිවෙනවා. වීර ක්‍රියාව තමා ඒ කාලේ ගෝවේ ඉදලා තියෙනවා දක්ෂ කඩු සටන් කරුවෙක්. එයාගේ නම විදිහට රාජාවලිය දක්වන්නේ ගජබාහු කපිත්තා කියලා. 

ඉතින් කවුරු හරි එයාගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යනවා නම් එයත් එක්ක සටන් කරන්න එන්න ඕනේ. මිනිහාව පරද්දන්න ඒ කාලේ ගෝවේ හිටිය කාටවත් බැරිවෙලා තියෙනවා. ඒ නිසා ගෝවේ හිටිය පෘතුගීසි විසුරේ වුණත් මේ මිනිහගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යන්නේ නැහැලු :))

දවසක් මේ වැඩේට කොනප්පු බණ්ඩාර අහුවෙලා අන්තිමට මේ ගජබාහු කපිත්තා එක්ක ගිය කඩු සටනින් කොනප්පු ජය අරගෙන ගජබාහු කපිත්තාව දෙපළු කරපු නිසා ගෝවේ විසුරේ ඇතුළු සියලු දෙනාම කොනප්පුව වීරයෙක් විදිහට සළකන්න පටන් අරගෙන තියෙනවා.

මේ විදිහට කාය බලයෙන් ගෝවේ ජනප්‍රිය වෙලා හිටිය කොනප්පු බණ්ඩාර එහි සිටිය අනාථ පෘතුගීසි කාන්තාවක් විවාහ කරගත් බවත් ඒ විවාහයෙනුත් පුතෙක් උපන් බවත් විමලධර්මසූරිය 1604 මිය ගියාටත් පසු තවත් දිගු කාලයක් මේ පුත්‍රයා ගෝවේ සිටි බවයි කියවෙන්නේ. ඔහුගේ අවසානය ගැනත් සොයා බලන්න ඕනේ

මේ කාලයේ තමා සීතාවක රාජසිංහ රජතුමා වරින් වර කෝට්ටේ අල්ලා ගන්න කරන කටයුතු නිසා සීතාවක විරුද්ධව උඩරට රාජ්‍යය ඇතිකරන්න පෘතුගීසීන් කටයුතු කරන්නේ. මුලින් උඩරට රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් කරන්න පෘතුගීසීන් කල්පනා කරන්නේ කොනප්පු බණ්ඩාරව. ඒත් මිනිහා දරුණු මනුස්සයෙක් නිසා කෝකටත් කියලා ඒ සඳහා කලින් උඩරට රජතුමා වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වුණු  යමසිංහ බණ්ඩාරව තෝර ගන්නවා.

පස්සේ උඩරට කොනප්පු බණ්ඩාර රජවෙන හැටි ගැන මම මෙතනත් කියල තියෙන නිසා මම කියන්නේ නැහැ. ඒක අමතක උදවිය මෙතනට කොටලා ඒක බලන්නකෝ.

උඩරට ආපු මුල්ම කාලේ කොනප්පු බණ්ඩාර අම්බාලේ ගොඩකුඹුරේ රන්හොටි මුදියන්සේ කියන ප්‍රදේශීය ප්‍රධානියාගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තියෙනවා. 

ඒත් ඒකට රන් හොටි මුදියන්සේ අකමැති වෙලා කියන්නේ "යුරෝපාකරයේ පරංගි කෙල්ලන් එක්ක නඩලන් ගහපු මොහුට මගේ දියණිය දෙන්නේ නැහැ" කියලා. 

මේ නිසා නොයෙක් අතවරවලට ලක්වෙන්න කොනප්පු බණ්ඩාර සිද්ධ වුණත් අවසානයේදී යමසිංහ බණ්ඩාරගෙන් රාජ්‍යය හිමිකරගත්තු කොනප්පු බණ්ඩාර රජ වුණාට පස්සේ කුසුමාසන දේවිය අග බිසෝ කරගන්නකම් අග බිසෝ තනතුරේ ඉන්නේ අම්බාලේ කුමාරිහාමි කියන තරුණිය.

1594 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසා යටතේ උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණය නිසා මුල් අවස්ථාවේ රජතුමා පසු බසිනවා. මේ තත්වය ප්‍රයෝජනයට ගත්තු පෘතුගීසීන් තමන් සමඟ ආපු උඩරට කුමරිය වෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියව උඩරට රැජිණ විදිහට පත් කරවනවා. 

 කුසුමාසන දේවිය සහ පෘතුගීසීන්

ඒත් තමන්ගේ රැජිණව දැක බලාගන්න උඩරට වැසියන්ට අවස්ථාවක් නොදීම, කුසුමාසන දේවියව පෘතුගීසි සෙන්පතියෙක් සරණ පාවා ගන්න බව ආරංචි වීමත් එක්ක උඩරට ජනතාව ප්‍රකෝප වෙනවා.

උඩරට ආක්‍රමණය කරපු පේරෝ ලෝපේස් ද සෞසා ඒකට සහභාගි වුණේ කොන්දේසි කීපයක් යටතේ. ඒ කොන්දේසි තමා තමන්ගේ බැණාවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් කපිතාන් මේජර් පදවියට පත් කළ යුතුයි. අනෙක තමා ඒ බැණාට කුසුමාසන දේවියව සරණ පාවා දිය යුතුයි කියන ඒවා. 

ඒ කොන්දේසිවලට රාජ්‍ය සභාව එකඟ වෙලා හිටියේ. ඒත් රාජ්‍ය සභාව පනවපු කොන්දේසිය තමා කන්ද උඩරට යටත් කරගෙන කුසුමාසන දේවියව රාජ්‍යත්වයට පත් කරනකම් ඇගේ විවාහය නොකරනවා කියන එක.

ඒ වගේම තවත් හේතුවක් තමා සීතාවක රාජසිංහ රජතුමාගේ ප්‍රධාන සේනාපති සහ පුරෝහිත වුණු අරිට්ඨකී වෙණ්වු පෙරුමාල් රාජසිංහ රජතුමාගේ මරණින් පස්සේ කෝට්ටේ රාජ්‍යයට එකතු වෙලා තිබුණේ. ඒ යටතේ ධර්මපාල රජතුමා ඔහුව ජයවීර බණ්ඩාර විදිහට නම් කරනවා. එයත් එයාගේ සේනාව එක්ක පෘතුගීසීන්ට එකතු වෙලා හිටියේ 1594 උඩරට ආක්‍රමණයට. 

ජයවීරගේ ඉල්ලීමක් වුණේ තමන්ගේ මස්සිනා කෙනෙක්ට කුසුමාසන දේවියව සරණ පාවා දෙන්න කියලා. ඒක ඉටු නොවුණාම ජයවීර සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒක පෘතුගීසීන්ට අසුවුණු නිසා ජයවීරව මරා දමන්න ඔවුන් කටයුතු කරනවා

ඉතින් උඩරට මිනිස්සුන්ගේ නැගී සිටීම වගේම දේශගුණය ඔරොත්තු නොදීම, ලෙඩ රෝග පැතිරිම වගේ කරුණුත් එක්ක සූසා තීරණය කරනවා තාවකාලිකව පසු බසින්න. මේ අවස්ථාවේ තමා සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා ඇවිත් දන්තුරේදී විශාල ප්‍රහාරයක් එල්ල කරලා පෘතුගීසි සේනාවම සමූල ඝාතනය කරන්නේ.

කොහොම නමුත් I විමලධර්මසූරිය රජතුමාගේ යුක්තිගරුක බව මේ සටනේ අවසානයේ වූ සිද්ධිවලින් පෙන්නුම් කෙරෙනවා. 

ඒ සටනින් දරුණු තුවාල වෙලා හිටිය පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසාට ප්‍රතිකාර කරන්න රජතුමා අණ කිරීමෙන්. සෞසාගේ තුවාල සුව වුණත් තමන්ගේ පිරිස මියයාම වගේ කරුණුත් එක්ක ඔහුගේ මනස ව්‍යාකූල වෙලා තිබුණේ. 

අන්තිමට සෞසා මියයන්නේ තමන්ගේ තරුණ පුතා වුණු දියගෝ ලෝපේස් ද සෞසාව රැක බලා ගැනීම රජතුමාට බාර කරලා. වසර තුනක් උඩරට රඳවා ගෙන සිටි දියගෝ නිදහස් කළාට පසුව ගෝවේට පිටත් වෙලා ගෝවේදී අශ්වයෙක් පිටින් වැටිලා තමා මියයන්නේ.

ඒ වගේම සටනින් දිවි ගලවා ගත්තු සොල්දාදුවන් 50 ක් රජතුමාගේ අණින් කොළඹට පිටත් කරන්නේ එක ඇහැක් උගුල්ලලා සහ කන් කපලා වගේම පුරුෂ ලිංගය කප්පාදු කරලා. ඒකට හේතුව විදිහට රජතුමා දක්වන්නේ උඩරට ස්ත්‍රීන්ට වගේම ගර්භණී ස්ත්‍රියන්ට කළ අතවර සහ ඝාතනය කිරීම්වලට ලැබෙන දඬුවම මේකයි කියලා.

කන්ද උඩරට ඉදිකිරීම් කටයුතු කරන පෘතුගීසීන්

අනිත් දිවි ගලවාගත්තු සොල්දාදුවන්ට ප්‍රතිකාර කළා වගේම ඔවුන් ලවා මාළිගා, වෙහෙර විහාර ඉදිකරවීම් වගේ කටයුතු සිදු කරවා ගෙන පස්සේ ඔවුන්ව රාජකීය ගබඩා ගම්වල සේවයට පිටත් කරලා තියෙනවා.

තවත් විශේෂ කරුණක් තමා රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රණින් සාදපු පේරෝ ලෝපේ ද සෞසාගේ හිස තබා තිබුණා කියන එක.

මීළඟට 1602 රජතුමා හමුවෙන්න පැමිණෙන ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන් සම්බන්ධ රජතුමාගේ අප්‍රකට කතාවක් කියන්නම්. 

 I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

1602 මැයි මාසයේදී සිදුවෙන මේ හමුවීමේදී කතා කෙරෙන්නේ කුරුඳු වගේ ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම සහ පෘතුගීසීන් පලවා හරින්න ලන්දේසි ආධාර ලබාගැනීම වගේ දේවල්. 

ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවමක් 
[ස්පිල්බර්ජන් රජතුමාට දෙන්නේ මොරිස් කුමාරයා යුධ ඇඳුමෙන් ඉන්න සිතුවමක්. සමහර විට ඒ මේක වෙන්නත් පුලුවන්]

මේ සාකච්ඡාව අවසානයේදී ස්පිල්බර්ජන් රජතුමාට ප්‍රදානය කර තිබුණු ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවම තමන්ට නිරතුරුවම පේන්න තමන්ගේ කාමරයේ එල්ලන්න රජතුමා කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන් වගේම බිසව පෙන්වන්න ස්පිල්බර්ජන්ව මාළිගාවේ ඇතුළටම අරගෙන යන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ අවස්ථාවේදී රජතුමාට ස්පිල්බර්ජන්ට කියනවා "ඔබේ මහෝත්තමයාණන් මෙහි අවුත් බලකොටුවක් තනනවා නම් මමත් මගේ බිසවත් කුමාරයා සහ කුමාරිකාවත් අපේම කර උඩ තියාගෙන ගල්, හුණු හා වෙනත් දේවල් ඇද දෙනවා" කියලා

සමහර විට මේක අතිශයෝක්ති ප්‍රකාශයක් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් පෘතුගීසීන් පළවා හරින්න ලන්දේසීන්ගේ උදව් ලබාගන්න ලොකු උවමනාවක් රජතුමාට තිබුණු බව නම් මේ ප්‍රකාශයෙන් පැහැදිලියි.

සීබෝල් ද වාර්ට්ගේ පැමිණීම

මීලඟට එන ලන්දේසි නියෝජිතයා වෙන්නේ උප අද්මිරාල් සීබෝල් ද වාර්ට්. එයා ගැන නම් ඔයාලට මතක ඇතිනේ. රජතුමා "මේ බල්ලා බැඳ දමනු" කියලා කියන්නේ එයාටනේ :))

මෙයා සම්බන්ධවත් රජතුමාගේ අප්‍රකට කතාවක් තියෙනවා. මුලින්ම රජතුමා වාර්ට් හමුවුණු අවස්ථාවේ වාර්ට් අඟවනවා රජතුමාගේ අත සිඹින්න කැමතියි කියලා. යුරෝපා රාජ සභාවල චාරිත්‍රයක්ලුනේ රාජකීයයන්ගේ අත සිඹින එක. 

ඒත් රජතුමාට වාර්ට් කොච්චර ප්‍රිය වුනාද කියනවා නම් රජතුමා වාර්ට්ව වැළැඳගන්නවා. වාර්ට් කියන විදිහට රජතුමා කොච්චර තදින් වාර්ට්ව වැළැඳ ගත්තද කියනවා නම් දවස් කීපයක් යනකම් ඉළ ඇටවල වේදනාවකුත් වාර්ට්ට ඇතිවෙනවා :)

රජතුමා පැළැඳි පා සළඹ

රජතුමා හා වාර්ට් අතර වෙන කතා බහවලදී රජතුමා වාර්ට්ට රහසකුත් කියනවා. ඒ කුසුමාසන දේවියව ලබාගන්න තමන් පරාජය කරපු පෘතුගීසි කපිතාන් ජෙනරාල්ගේ සහ කපිතාන්වරුන්ගේ හිස්වල පිළිරූ ජයග්‍රහණයේ නිමිත්තක් විදිහට තමන්ගේ පා සළඹේ පැලැඳගෙන ඉන්නවා කියන එක. 

කලිනුත් මම කිව්වේ රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රනින් කරපු සූසාගේ හිස තබා තිබුණා කියලා. මේ කතාවෙනුත් ඒක තව පැහැදිලි වෙනවා. පා සළඹ කියන්නේ කාන්තා ආභරණයක් කියලා ප්‍රශ්නයක් නැගෙන්නත් පුලුවන්. ඒත් සිංහල රජවරු සූ සැට ආභරණ කියලා ආභරණ 64 ක් පැළැඳගෙන ඉදලා තියෙනවා. ඒකෙන් එකක් තමා පා සළඹ කියන්නේත්.

රජතුමාගේ දරුවන් ගැනත් කතා කළොත් ස්පිල්බර්ජන් කියන විදිහට රජතුමාට සිටියේ කුමාරයෙක් සහ කුමාරිකාවක්. වාර්ට් දක්වන්නේත් ඒකමයි. 1602 නොවැම්බර් පැමිණෙන වාර්ට් දක්වන විදිහට කුමරියට අවුරුදු 6 කුත් කුමාරයාට අවුරුදු 3 කුත් පමණ වෙනවා.

ඒත් රාජාවලිය කියන විදිහට I විමලධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවියට දරුවන් පස් දෙනෙක් ඉදලා තියෙනවා. ඒ කුමාරවරුන් 4 ක් සහ එක් කුමාරිකාවක්

කුමාරවරුන්ගේ නම් තමා
  • රාජසූරිය අස්ථාන
  • උඩුමාලේ අස්ථාන
  • කුමාරසිංහ අස්ථාන
  • විජයපාල අස්ථාන
I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යය භාරගන්න ඥාති සහෝදර [පුංචි අම්මගේ පුතා] සෙනරත් රජතුමා විමලධර්මසූරිය රජතුමාගේ කුඩා දරුවන් වගේම බිසවත් භාරගන්නවා. 

කොහොමත් මම කලින් දවසක කිව්වත් වගේ වාර්ට් සමඟ ඇතිවෙන ප්‍රශ්නයේදී විමලධර්මසූරිය රජතුමා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ 1602 වෙද්දිත් සෙනරත් කුමාරයා සිවුරු හැරලා හිටියා කියන එක වගේම එක ගෙයි කෑම කියන චාරිත්‍රය I විමලධර්මසූරිය සහ සෙනරත් කුසුමාසන දේවිය සමඟ සිදුකළා කියන එක

II රාජසිංහ රජතුමා

සෙනරත් රජුට දාව කුසුමාසන දේවියට උපදින්නේ දේවරාජසිංහ අස්ථාන එහෙමත් නැත්නම් පසුකාලීනව II රාජසිංහ නමින් රජවුණු කුමාරයා. සෙනරත් රජතුමා වුණත් තමන්ගේ පස්සේ රාජ්‍යය පුතුන්ට හිමි කරලා දෙද්දී තමන්ගේ පුතා වුණු දේවරාජසිංහට සෙංකඩගල කියන රාජ්‍යයේ හොඳම කොටස වගේම අග රජ තනතුර දීමෙනුත් කුමාරසිංහට හා විජයපාල කියන වැඩිමහල් කුමාරවරුන්ට ඌව සහ මාතලේ දීමෙනුත් ඒක පැහැදිලියි

එතකොට රාජසූරිය අස්ථාන සහ උඩුමාලේ අස්ථාන කියන කුමාරවරුන්ටත් කුමාරියටත් මොකද වුණේ කියන ප්‍රශ්නය මතු වෙනවා. රාජාවලිය දක්වන විදිහට දිය කෙළිය සඳහා මහවැලි ගඟට ගිය රාජසූරිය අස්ථාන කුමාරයාව දියේ ගිල්වලා මරා දමන්න සෙනරත් රජතුමා කටයුතු කරලා තියෙනවා. උඩුමාලේ අස්ථාන කුමාරයට සිදුවූ දෙයක් සොයාගන්න බැරිවුණා.

රාජසූරිය අස්ථාන කුමාරයාගේ අවමංගල පෙරහැර

රාජසූරිය අස්ථාන කුමාරුගේ දේහය ආදාහනය කළ ආකාරය

I විමලධර්මසූරිය රජතුමාට දාව තමන්ට උපන් දරුවන්ට සෙනරත් රජතුමා කරන අසාධාරණකම් නිසා දරුවන් එක්ක පෘතුගීසින් ගාවට සරණගාතයන් විදිහට පලා එන්න කුසුමාසන දේවිය 1612 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදුට ලිපියක් එව්වත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සිත් තැවුලෙන් සිටිය කුසුමාසන දේවිය මේ නිසාම 1613 ජූලි 20 වැල්මංතොටදී මියයනවා. මියයද්දී එතුමියගේ වයස අවුරුදු 35 ක් පමණ වෙනවා.

කුසුමාසන දේවිය මියයාමත් එක්ක සෙනරත් රජතුමාත් හුඟක් අසනීප වෙලා මරණාසන්න තත්වයට පත්වෙනවා. මේ අවස්ථාවේදී ඇතිවෙන වියවුල් සහගත තත්වයත් එක්ක I විමලධර්මසූරිය රජතුමාගේ දියණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා පෘතුගීසීන් ගාවට පලා යන්න උත්සහ කළත් එහෙම පැනලා යන්න පුලුවන් වෙන්නේ ඇගේ ස්වාමියාට විතරයි. මේ කුමරියව පසුකාලීන සෙනරත් රජතුමා සරණ පාවා ගත්තු බවකුත් කියවෙනවා.

I විමලධර්මසූරිය රජතුමාගේ රූප සොබවය සහ ගතිගුණ ගැන කතා කළොත් ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ 

"විමලධර්මසූරිය උස සිරුරින් යුක්තය. ශක්තිමත් මස් ගොබ සහිත අත් පා ඇත. ඉතා ශක්තිමත්ය. නිර්භීතය. අභිමානවත්ය. ඉතා තියුණු බුද්ධියකින් හෙබියේය. තීරණ ගැනීමේදී බොහෝ පරිස්සම් සහිතය. සාමාන්‍යයෙන් උගත්ය. කිසිවෙකුටත් නොදෙවෙනි සටන් ශිල්ප පුහුණු කොට ඒ අංශයෙන් අද්විතීයය. කවුරුත් ඔහු ගෞරව බහුමානයෙක් සැළකූහ. තමා මනා සේ පාලනය කර ගැනීමටත් සෑම විටම තම මනස සමතුලිතව තබා ගැනීමටත් දක්ෂය"

 ස්පිල්බර්ජන්

ස්පිල්බර්ජන් රජතුමා ගැන කියන්නේ මේ විදිහට. "කතාව ඉතා සිත් ගන්නා සුලු මෙන්ම විචක්ෂණය"  වාර්ට් රජතුමා ගැන කියන්නේ "ඔහුට තිබුණේ ඉතා උස සිරුරකි. අත් පා හැඩි දැඩිය. දිගුය. කාලවර්ණය. කට හඬ ගොරහැඬිය" කියලා.

රජතුමාගේ අවසානය ගැන කතා කළොත් වරින්වර සිදුවුණු පෘතුගීසි සටන් සහ අනෙකුත් ගැටුම් නිසා රජතුමා වෙහෙසට පත්වෙලා හිටියේ. අයෝමය ශරීරයක් රජතුමාට තිබුණත් මේ තත්වය නිසා රජතුමාට වරින් වර උණ රෝගයෙන් පෙළෙන්න වුණා. 

අවසානයේ 1604 මුල් භාගයේදී  උණ රෝගයෙන් I විමලධර්මසූරිය රජතුමා මියයනවා. මිය යන්න කලින් සෙනරත් කුමාරයා මීළඟ රජතුමා විදිහට පත් කරලා දරුවන් සහ බිසව ඔහුට බාර කරනවා. ඒ වගේම පළමුවෙනි අදිකාරම් ප්‍රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සෙනරත් කුමාරයාට පක්ෂපාතී වෙන්න කියලා. 

වයස් ගත රාජ්‍ය නිලධාරීන් වගේම සෙන්පතියන් පවා රජතුමාගේ මරණාසන්න අවස්ථාවේ කඳුළු සැලුවා කියලා තමයි කියවෙන්නේ.

සුවිශේෂීම සිද්ධිය වෙන්නේ ඊට පස්සේ. මහනුවර ආදාහන මළුවේදී මහා චිතකයක් කරවලා I විමලධර්මසූරිය රජතුමාගේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ අරන් යන්න ආපු පිරිස දකින්නේ රජතුමාගේ හදවත ගින්නෙන් නොපිළිස්සී නිරුපද්‍රිතව තියෙන හැටි.

ඒක නිසා තමන්ගේ ජන්ම භූමිය වෙනුවෙන් ස්ඵන්දනය වුණු විමලධර්මසූරිය රජතුමාගේ නිර්භීත, අභීත හදවත ගින්නකින් දවන්න බැහැ කියලයි උඩරැටියන්ගේ පිළිගැනීම වුනේ...

මේ කතාව සමහර විට ප්‍රබන්ධයක් කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් මේ තියෙන්නේ අපේ හිතවත් බින්දි අක්කා ලිව්ව වියට්නාමයේ නොදැවුණු හදවත සටහන


 ඒ සටහනේ විදිහට ඇමරිකානුවන්ට සහ රූකඩ ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමන්ගේ ශරීරයට ගිනි තබා ගත්තු Thich Quang Duc හිමියන්ගේ හදවත ගින්නෙන් පිළිස්සිලා නැහැ. 

 Thich Quang Duc හිමියන්ගේ නොපිළිස්සුණු හදවත

පසුකාලීනව ඒ නොපිළිස්සුණු හදවත තැන්පත් කරලා ඒ හිමියන් ගිනි තබාගත් ස්ථානයේ ස්මාරකයක් හදලා තියෙනවා. 

ඒක නිසා I විමලධර්මසූරිය රජතුමාගේ හදවත නොපිළිස්සි නිරුපද්‍රිතව තිබීම ප්‍රබන්ධයක්ම කියලා බැහැර කරන්න බැහැ

එහෙම නම් අද කතාව අවසානයි. කවුරුත් මට බනින්න එපා කියලා තියෙන කතාවල කිසි ගැළපීමක් නැහැ කියලා. මේ සටහනේ අරමුණ වුණේ I විමලධර්මසූරිය රජතුමා ගැන තියෙන අප්‍රකට කතා ටිකක් කියන එක මිසක් රජතුමාගේ චරිතාපදානය කියන එක නොවන නිසා

ප.ලි.: මේ ලිපියෙන් මම මුලින්ම කියනවා කියලා පොරොන්දු වුණු ඉතිහාසයේ අප්‍රකට කතා list එකේ තිබුණු කතා දෙක තුනක්ම කිව්වා. 

ඒ සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත්‍රයා, සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙතට පලා ගිය කුසුමාසන දේවිය, ගින්නෙන් නොදැවුණු I විමලධර්මසූරිය රජතුමාගේ හදවත. 

මේ වෙනකොට ලියලා අවසන් ඉතිහාසයේ අප්‍රකට කතා මේවා. 
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
ඒවාත් ඉස්සරහට හෙමින් සැරේ කියවමු :)

මේ සටහන ලිපිය පාදක වුණු පොත්පත් තමා මේවා

ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය : පෝල් ඊ. පීරිස්
පරංගි විජිතය : එස්.එෆ්. ද සිල්වා, ඊ.ආර්. එරත්න
රාජාවලිය : සංස්කරණය ඒ.වී. සුරවීර
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පරංගි කෝට්ටේ : ටිකිරි අබයසිංහ
ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය : එස්.ජී. පෙරේරා පියතුමා
උඩරට රාජධානිය : ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ, ජී.පී.වී. සෝමරත්න
මග දිගට ජනකතා : ඩී.පී. වික්‍රමසිංහ

මේ කතාවේ ඒ ඒ තැන්වලට අදාළව එකතු කරලා තියෙන චිත්‍ර රැසක් උපුටා ගත්තේ ඕලන්ද ජාතික Philippus Baldaeus විසින් රචනා කරන ලද Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්.

ඒ හැරෙන්න අනෙක් චිත්‍ර සොයා ගත්තේ අන්තර්ජාලයෙන්. මේ ගැන එක් කරන්න මතක් වුණේ ක්සැන්ඩර් අයියා මතක් කළාට පස්සේ. ඒ ගැන ස්තුතියි :)

Sunday, June 3, 2012

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05

 කන්ද උඩරට රාජධානියේ ධජය

තරගය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරගය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරගාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්‍රදාය. 

ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා කියන්න දන්නේ නැති වුණත් මම දන්න විදිහට බාලදක්ෂ ව්‍යාපාරයේ නම් එහෙම දේවල් සිදුවෙනවා.

ඉස්සර මහා බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබුණු රටවල්වලින් වැඩිම රජුගේ බාලදක්ෂයින් බිහි කරපු බාලදක්ෂ සමූහයට "රජුගේ ධජය" [King's Flag] ලබාදීලා තිබෙනවා. මේ වරප්‍රසාදය මහනුවර ධර්මරාජ විද්‍යාලය 1917, 1918, 1919 කියන අවුරුදු තුනේම ලබාගෙන තිබෙනවා. 

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනාධිපති බාලදක්ෂයන් බිහි කරපු බාලදක්ෂ සමූහයට "ගුලාම් හුසේන් ධජය" ලබාදෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය මේ තරගය ආරම්භ කරපු වසරේ ඉදන්ම කීප වරක්ම එක දිගට මේ ධජය ලබාගත්තු නිසා ඒ සමූහය හැර අනෙක් සමූහවලින්ලු මේ සඳහා ගණනය කිරීම් සිදුවෙන්නේ

ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම අතින්ම හොඳම බාලදක්ෂ සමූහය සඳහා "දිවයින් ශූරතා ධජය" [Island Merit Flag] පිරිනමනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ හොඳම කණිෂ්ඨ බාලදක්ෂ කණ්ඩායමට "නගරාධිපති ධජය" [Mayor's Flag] පිරිනමනවා.

ඉර හඳ කොඩිය

ඉතින් මේ අද කතාවට ආවොත් මහනුවර යුගයේදීත් මේ වගේම හොඳම දිසාව සඳහා ඉර හඳ කොඩිය පිරිනමන එක රජතුමා විසින් සිදු කරලා තිබෙනවා. 

ඒ ඒ දිසාව භාරව හිටිය දිසාවේ, නිළමේවරු වගේම සාමාන්‍ය ජනතාව කරපු වීර ක්‍රියා ආදිය ගැන සළකලා බලපු රජතුමා දක්ෂතා දක්වපු දිසාවට ඒක අගය කිරීමක් විදිහට ඉර හඳ කොඩිය පිරිනමලා තිබෙනවා.

ඉර හඳ කොඩිය පැවරීමත් එක්කම ඒ දිසාව කන්ද උඩරට රාජ්‍යය තුළ ඒ කාලේ තිබුණු දිසා 12 න් ප්‍රධාන දිසාව බවට පත්වෙනවා. මේ ඉර හඳ කොඩිය ප්‍රධාන දිසාවට හිමි ධජය නිසා තමා එදා පටන් අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ දිසාවන්හින් කොඩි අරගෙන යද්දී පළමු කොඩිය විදිහට ඉර හඳ කොඩිය අරගෙන යන්නේ

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේදී ඉර හඳ කොඩිය මාතලේ දිසාවටත් සෙනරත් රජතුමාගේ කාලයේදී සත් කෝරළයටත් II රාජසිංහ රජතුමාගේ කාලයේදී සතර කෝරළයටත් හිමිවෙලා තියෙනවා. සතර කෝරළයට ඉර හඳ කොඩිය හිමිවීමත් එක්ක උඩරට රාජධානියේ අවසානය වෙනකම්ම තමන්ගේ දිසාව තුළ ඉර හඳ කොඩිය තබාගන්න සතර කෝරළය සමත් වෙලා තිබෙනවා.

සතර කෝරළේ ගැනත් ටිකක් කිව්වොත් ඒ දිසාවේ තිබුණු කෝරළ 4 වුණේ ගල්බඩ කෝරළේ, පරණ කුරු කෝරළේ, කිනිගොඩ කෝරළේ, බෙලිගල් කෝරළේ.

 දිසාවේවරයෙක්

අර කලින් කිව්ව විදිහට දිසා 12 ක් කන්ද උඩරට රාජධානියේ තිබුණත් ඒවායිනුත් සතර කෝරළය, සත් කෝරළය, ඌව සහ මාතලේ මහ දිසා විදිහට හඳුන්වපු නිසා ඒවායේ භාර දිසාවේවරුන්ව හඳුන්වලා තියෙන්නේ "මහ දිසාවේ" නමින්.

මේ දිසාවන් 4 මහ දිසාවේකම බොහෝ විට හිමිවෙලා තියෙන්නේ කන්ද උඩරට රාජධානියේ හිටිය මහා අදිකාරම්වරුන් දෙදෙනාට හරි ජ්‍යෙෂ්ඨතම රදළයෙක්ට. උඩරට පරිපාලන ව්‍යුහයේ රජතුමාට පස්සේ හිටියේ මහා අදිකාරම්වරු.

මහා අදිකාරම්වරයෙක්

මහා අදිකාරම්වරුත් දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් පල්ලේ ගම්පහ මහා අදිකාරම් තමා පළවෙනි අදිකාරම්. උඩ ගම්පහ මහා අදිකාරම් තමා දෙවෙනි අදිකාරම්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සිය පත්තුවේ මහා අදිකාරම් කියලා තනතුරක් තමන්ගේ පාලන කාලයේ ඇති කරනවා

දිසාවන් 12 තමා සතර කෝරළය, සත් කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව

රටේ මහත්තයෙක්

මහනුවර නගරය ආසන්නයේ තිබුණු ප්‍රදේශ 9 ක් රටවල් නමින් හඳුන්වලා තියෙනවා. ඒවා තමා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම. රටවල් පාලනය කළේ රටේ මහත්තයා එහෙමත් නැත්නම් රටේරාළ කියන කෙනා

අවබෝධය පිණිස ඉතුරු දිසාවන් ටිකෙත් කොඩි ටික දාන්නම්. හැබැයි ඔක්කෝම නම් නැහැ

 සත් කෝරළය සිංහයා කොඩිය

ඌව දිසාව හංසයා කොඩිය

වෙල්ලස්ස දිසාව කොටියා කොඩිය

වලපනේ දිසාව මයුර කොඩිය

 නුවරකලාවිය දිසාව ගජසිංහ කොඩිය
 
 තුන් කෝරළය භේරුණ්ඩ මහ කොඩිය

මේ දිසාවන්වල කොඩි නම් හම්බුණේ නැහැ. ඒත් ඒ ඒ දිසාවන්වල කොඩි ටික මෙන්න

මාතලේ - සුදු මහ කොඩිය
සබරගමුව - පට රෙදි මහ කොඩිය
උඩ පළාත - නෙලුම් මල් මහ කොඩිය
බින්තැන්න - ගිරවා මහ කොඩිය
තමන්කඩුව - වලහා මහ කොඩිය


කොඩි ටික උපුටා ගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා ලියපු උඩරට මහ කැරැල්ල III කාණ්ඩය පොතෙන්

නිලධාරීන්ගේ පින්තූර ටික උපුටා ගත්තේ මහාචාර්ය රැල්ෆ් පීරිස් මැතිතුමා ලියපු සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

ප.ලි.: අද කතාව නම් ටිකක් අවුල් කියලයි මට හිතෙන්නේ. ඒත් අතරින් පතර වැදගත් තොරතුරු ටිකක් ඔයාලට කියවන්න ලැබුණා කියලා හිතනවා.

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම

Saturday, May 19, 2012

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04

Nossa Senhora das Portas do Ceu දේවස්ථානය

පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය -  Our Lady of Heaven's Door] 

මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් 

"Foi construido pelo Principe de Candia"

මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ කන්දේ කුමාරයා විසින් බවයි.

පෘතුගීසින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට හඳුන්වනු ලැබුවේ මේ Candia වදනින්. උදාහරණ ලෙස දැක්වුවහොත් 1652 දී පෘතුගාල රජු වුණු IV ජෝන් විසින් ලංකාවේ කන්ද උඩරට පාලකයා වුණු II රාජසිංහ රජුට එවූ ලිපියක ආමන්ත්‍රණය යොදන්නේ Nobre e Honrado Rey de Candia [සිංහල අර්ථය උතුම් වූත්, ගරු කටයුතු වූත් උඩරට රජු]
ඊළඟට අපිට නැගෙන ප්‍රශ්නය තමයි පෘතුගාලයේ වාසය කළ උඩරට කුමාරයා කවුද ? මොකක් නිසාද ඒ කුමාරයා පෘතුගාලයේ වාසය කළේ ? ඒ වගේමයි ඒ කුමාරයා පෘතුගාලයේ ක්‍රිස්තියානි පල්ලියක් ඉදිකරන්න හේතුව මොකක්ද ? [මේ අන්තිම ප්‍රශ්නේ නම් හුඟක් වෙලාවට අපිට ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පාලකයා බෞද්ධයෙක් විය යුතුයි කියන පිළිගැනීම තිබෙන නිසා]

අද ආගිය කතාවෙන් එන අප්‍රකට ඉතිහාස කතන්දරය වෙන්වෙන්නේ ඒක කතාව කියන්න.

මේ කතාව ආරම්භ වෙන්නේ 1582 දී සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කිරීමත් සමඟ. ඒ ආක්‍රමණය නිසා උඩරට පාලකයා වුණු කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ බිසව, පුතා, දියණිය වුණු කුසුමාසන දේවියත්, බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතාගෙන ත්‍රිකුණාමලයට පලා යනවා. 

ත්‍රිකුණාමලයේදී සිදුවෙන අභාග්‍ය සම්පන්න තත්වය වෙන්නේ වසූරිය වැළදිලා කරලියැද්දේ බණ්ඩාරත්, ඔහුගේ බිසවත්, පුත්‍රයාත් මියයාම. වසූරියෙන් ගැලවෙන්නේ කරලියැද්දේගේ දියණිය වුණු කුසුමාසන දේවියත් බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පමණයි.

මියයන්නට පෙර කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ දියණිය විවාහ වෙන්න පුලුවන් වයසකට එනතෙක් [ඒ වෙද්දී කුසුමාසන දේවියට වයස අවුරුදු 4 යි] තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට උඩරට පාලනය කිරීමේ බලය යමසිංහ බණ්ඩාරට පවරනවා.

පසුව කොළඹට එන යමසිංහ බණ්ඩාරව ෆ්‍රැන්සිස්කානු ජූජකවරුන් සමඟ ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනු ලබනවා. 1588 ගෝවේදී යමසිංහ බණ්ඩාරව දොන් පිලිප් විදිහට බෞතිස්ම කරනවා. එහිදී යමසිංහ බණ්ඩාරගේ අනුග්‍රාහකයා හෙවත් මඤ්ඤා විදිහට ඉදිරිපත් වෙන්නේ එකල ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු ෆර්නාවෝ තෙල්ලෙස් ද මෙනෙසස්. දේව මෙහෙය පවත්වන්නේ ගෝවේ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු විසෙන්ති ද ෆොන්සේකා. 

මේ අවස්ථාවේදීම අවුරුදු 10 ක් පමණ වයසැති යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා දොන් ජුවන්/ ජෝන් Dom Joao ලෙසත් වීරසුන්දර බණ්ඩාර මුදලිගේ පුත්‍රයා වුණු කොනප්පු බණ්ඩාර [පසුව I විමලධර්මසූරිය නමින් රජවුණේ] ඔස්ට්‍රියාවේ දොන් ජුවන්/ ජෝන් ලෙසත් බෞතිස්ම කරනවා

කොහොම වුණත් බෞතිස්ම නාමයන් මොකක් වුණත් යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර කියන නම්ම ඉදිරියටත් මම භාවිතා කරන්නම්.

බෞතිස්මයෙන් පසුවත් ගෝවේම සිටි යමසිංහ බණ්ඩාරට මාසෙකට පගෝදි 60 ක දීමනාවකුත් පෘතුගීසින්ගෙන් හිමිවෙනවා. ඒත් ඔහුගේ ඉල්ලීම වුණේ තමන්ගේ උරුමය වුණු කන්ද උඩරට රාජ්‍යය තමන්ට පවරලා දෙන්න කියන එක. කොහොම නමුත් ඒ අවස්ථාවේදී ඒ ඉල්ලීම ඉටුකරන්න පෘතුගීසීන් අපොහොසත් වෙනවා. 

 II පිලිප්

ඒ කාලයේ පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු II පිලිප් හමුවෙලා තමන්ගේ ඉල්ලීම කරන්න යමසිංහ උත්සහ කරද්දී II පිලිප් කරන්නේ මන්නාරම ආසන්නයේ දූපතක් යමසිංහට පවරලා දීපු එක.

මෙතන පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජු කියන යෙදුම ගැටළුවක් වෙන්න පුලුවන් නිසා ඒකත් පහදන්නම්. 1580 දී පෘතුගාල රජු වුණු හෙන්රි අනුප්‍රාප්තිකයෙක් නොමැතිව මියයාම නිසා ඒ වෙනකොට පෘතුගාල රජතුමාගේ සමීප ඥාතියෙක් වුණු ස්පාඤ්ඤයේ II පිලිප් රජතුමා පෘතුගාලයේත් රජතුමා බවට පත්වෙනවා. මේ පාලනය අවසන් වෙන්නේ IV ජෝන් විසින් ස්පාඤ්ඤ පාලනයෙන් පෘතුගාලය මුදවා ගැනීමෙන් පස්සේ

කොහොම නමුත් යමසිංහ සහ ඔහුගේ පුතා බෞතිස්ම වීම රඟපෑමක් දෝ කියන සැකයෙන්ම තමා I පිලිප් රජතුමා හිටියේ. ඒක නිසාත් උඩරට ආක්‍රමණයට පෘතුගීසි සහය ලබාදෙන්න රජතුමා අදිමදි කළා වෙන්න පුලුවන්. 

මේ වගේ තත්වයකදී තමා උඩරට හිටිය දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලි සීතාවක රාජසිංහට විරුද්ධව අරගලයක් ආරම්භ කරලා යමසිංහ බණ්ඩාරට උඩරට සිහසුනට ආරාධනා කරන්නේ.

මන්නාරම

මේ අතර වාරයේදී තමන්ගේ පෘතුගීසි හිතවත්බව පෙන්වන්න යමසිංහ බණ්ඩාර සහ ඔහුගේ පුතා වුණු දොන් ජෝන් නිල සන්නස් පත්‍රයක් සකස් කරලා තමන්ට පිරිමි දරුවන් නොමැතිව මිය ගියොත් උඩරට රාජ්‍යය පෘතුගාල රජුට අයිතියි කියලා පවරා දීමක් සිදු කරනවා. මේකට සාක්ෂි විදිහට මන්නාරමේ පෘතුගීසි කපිතාන් ඇතුළු පිරිසක් අත්සන් තබනවා.

1590 දී සීතාවක රාජසිංහ නැවත වරක් කොළඹ කොටුව වටලලා කරපු හානියත් එක්ක සීතාවක විරුද්ධව තවත් බල කඳවුරක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් පෘතුගීසින් නැවත වරක් උඩරට රාජ්‍යය ඇතිකරන්න කල්පනා කරනවා. ඒ යටතේ යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර සමඟ පෘතුගීසි හමුදාවක් කන්ද උඩරටට පිටත් කරනවා. දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලිගේ සහයත් එක්කම 1591 දී යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් ගන්නෝරුවේදී උඩරට රජතුමා විදිහට පත් කරනවා.

මේකට කොනප්පු බණ්ඩාරගේ නම් එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ටික දිනකින්ම යමසිංහ බණ්ඩාර අසනීප වෙලා මියයනවා. මෙහිදී සිදුවෙන්නේ යමසිංහ බණ්ඩාරට කොනප්පු බණ්ඩාර වසදීලා ඝාතනය කළා කියලත් කියවෙනවා.

 දොන් ජෝන් කුමරු Dom Joao de Candia

යමසිංහ මියයාමත් එක්ක ඔහුගේ පුතා වුණු දොන් ජෝන් උඩරට රජු විදිහට පත්කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ සමඟම කුඩා ළමයෙක් රජ කරවීම, කිතුණුවෙක් රජ කරවීම වැනි කරුණු මුල් කරගෙන උඩරට රදළ ප්‍රභූවරුන්ගේ වගේම නායක භික්ෂූන් වහන්සේලාගෙත් සහය ලබාගත්තු කොනප්පු බණ්ඩාර උඩරට කැරැල්ලක් ඇති කරනවා. 

 I විමලධර්මසූරිය

මේ නිසා දොන් ජෝන් රජතුමා සහ ඔහුගේ මිත්තණියත්, උඩරට සිටිය පෘතුගීසීනුත් ආරක්ෂාව පතා මන්නාරමට පසු බසිනවා. කොනප්පු බණ්ඩාර මේ පිරිසට බාධාවක් කරන්නේත් නැහැ. අවසානයේදී 1592 දී කොනප්පු බණ්ඩාර නොහොත් ඔස්ට්‍රියාවේ දොන් ජෝන් I විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත්වෙනවා. අපි මේ ගැන කලිනුත් කතා කළානේ.

මන්නාරමට පසුබැස්ස දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට පිටත් කරනවා. කොළඹදී ඔහුට තවත් රාජකීය මිතුරෙක් එක්වෙනවා. ඒ සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර. ඔහුත් ඒ වනවිට කිතුණු දහම වැළැදගෙන දොන් පිලිප් නමින් බෞතිස්ම වෙලා හිටියේ. නිකපිටියේ බණ්ඩාරගේ කතාවත් ඉදිරියේදී කියන්නම්

මොවුන් දෙදෙනාව කොළඹ පිහිටි ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න පෘතුගීසීන් කටයුතු කරනවා. පසුව පෘතුගීසීන් විසින් මේ කුමාරයන් දෙදෙනාම ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනවා උසස් අධ්‍යාපනය සඳහා.

මැගී විද්‍යාලයේ දේවස්ථානය

ගෝවේ බාර්ඩෙස්වල පිහිටි මැගී විද්‍යාලයේදී [College of Magi] දේව ධර්මය හා ලතින් භාෂාව මේ කුමාරවරුන් අවුරුදු 15 ක් හදාරනවා. 

පසුව ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා බවට පත්වෙන මේ කුමාරවරු දෙදෙනා තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයාව සිටි කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

 III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා.

අවුරුදු 16 ක් විතර කාලයක් තමන් එක්ක හිටපු සගයාගේ අභාවයෙන් දැඩි කම්පාවකට දොන් ජෝන් පත්වෙනවා. ඒ නිසාමදෝ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරන එක ප්‍රතික්ෂේප කරන දොන් ජෝන් ලිස්බන්වලම රැඳී ඉන්නවා. 

1611 නොවැම්බර් 26 වන දින දොන් ජෝන් ක්‍රිස්තියානි පූජකතුමෙක් ලෙසට උසස් කිරීමත් එක්කම Moorish Quarte හි පිහිටි මාළිගයක් ඔහුගේ වාසස්ථානය බවට පත්වෙනව. එතැන් පටන්  කෘසෝද 4000 ක දීමනාවක් පෘතුගාල රජය විසින් දොන් ජෝන්ට ලබාදෙනවා.

1625 දී Telheiras ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගත්තු දොන් ජෝන් එහි යාඥා ගෘහයක් ඉදි කරනවා. ඒ කාලයේදීම ඔහු Brotherhood Our Lady of Heaven's Door බිහි කරන්නට මූලික වෙනවා. එයින් අපේක්ෂා කෙරුනේ ෆ්‍රැන්සිස්කානු නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමයි

 IV පිලිප්

1626 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වලට යන දොන් ජෝන් පුද්ගලිකවම පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු IV පිලිප්ව හමුවෙනවා. එහිදී කන්ද උඩරට රාජ්‍යය සඳහා තමන්ට ඇති හිමිකම දොන් ජෝන් විසින් IV පිලිප්ට පවරනවා. ඒ වගේම තමන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව දැනුම් දීමත් එක්ක ඒක කෘසෝද 8000 ක් දක්වා ඉහළ නංවන්න IV පිලිප් කටයුතු කරනවා. 

ඒවගේම ස්පාඤ්ඤයේ ග්‍රැන්ඩී තනතුරකටත් දොන් ජෝන්ව පත් කරනවා වගේම රජතුමා ඉදිරියේ ආවරණය වී සිටීමේ අයිතියත් බිෂොප්වරුන්ගේ ආසන පේළියේ අසුන් ගැනීමේ අයිතියත් දොන් ජෝන්ට ලබාදෙනවා.

1580 දී ධර්මපාල රජතුමා විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගාලයේ හෙන්රි රජතුමාට තෑගි ඔප්පුවක් මඟින් පිරිනැමීමෙන් පස්සෙත් මේ ආකාරයටම ධර්මපාල රජතුමාට පෘතුගාල රජය විසින් වාර්ෂිකව දීමනාවක් ලබාදීම සිදුවුණා.

පසුව Telheiras වෙත පැමිණෙන දොන් ජෝන් තමා මිළට ගත්තු ඉඩමේ පල්ලියක් සහ පූජකාරාමයක් ඉදිකරවීමේ කටයුතු ආරම්භ කරනවා ස්වර්ග දොරටුවේ අප ස්වාමි දුවගේ නාමයෙන් [Our Lady of Heaven's Door] නාමයෙන්. 


1639 ඔක්තෝබර් 20 ඉදිකරලා අවසන් වුණු මේ පල්ලිය ෆ්‍රැන්සිස්කානු පූජකවරුන්ට භාර දීපු දොන් ජෝන් දේවස්ථානයට ඒ අසළ තිබුණු උද්‍යානයක් පරිත්‍යාග කරනවා වගේම තමන්ට ලැබෙන දීමනාවෙන් වාර්ෂිකව කෘසෝද 1000 ක් ලැබෙන්න සලස්වනවා.

Moorish Quarte හි පිහිටි නිවහනේ ජීවත් වුණු දොන් ජෝන් සුසානා ද ආබෲ සමඟ ජීවත් වූ බව කියවෙනවා. ඒ සම්බන්ධතාවය නිසා දොන් ජෝන්ට දාව ගැහැණු දරුවෙක් පවා සුසානාට 1634 දී ලැබී තිබෙනවා. මාරියා ඇන්ටෝනියා නම් වූ ඒ ගැහැණු දරුවා පසු කලෙක කන්‍යා සොයුරියක් වූ බවයි කියවෙන්නේ.

වසර 64 ක් පමණ කාලයක් ජීවත් වුණු දොන් ජෝන්ව පෘතුගාල වැසියන් හඳුන්වන්නේ Black Prince නමින්. අවසානයේදී දොන් ජෝන් 1642  අප්‍රේල් 1 Moorish Quarte හි පිහිටි නිවහනේදී මිය යනවා. ඒත් දොන් ජෝන්ගේ ඉල්ලීම පරිදි ඔහුගේ සිරුර භූමදාන කරන්නේ ඔහු විසින් ගොඩනංවන ලද Nossa Senhora das Portas do Ceu දේවස්ථාන භූමියේ.

ඒ සොහොනේ තිබුණු පාෂාණමය කොටස් දෙකක් මේ වනවිට ලිස්බන්හි තිබෙන කාර්මෝ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙනවා.

දේවස්ථානයේ තුළ ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව

1708 දී පූජකවරුන් දොන් ජෝන්ව මිහිදන් කෙරුණු ස්ථානය කැණීම් කොට ඔහුගේ අස්ථි කොටස් කීපයක් සොයාගන්නවා. පසුව ඒවා මහත් ගෞරවයෙන් දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඬවලින් නිර්මාණය කළ සොහොන් ගැබක තැන්පත් කරනවා. එහි පහත සටහනද සටහන් කර තබනවා

"Quisacram hanc Mariae aedem fundavit hic Candiae Principis ossa Septiantur" 

[සිංහල අර්ථය - මෙහි වළ දමා ඇත්තේ මරියාතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය]

වරින්වර භූමිකම්පා, සිවිල් යුද ප්‍රහාර ආදී ආපදා රාශියකට මුහුණ දීපු පෘතුගාලයේ ලිස්බන් නුවර Telheiras ප්‍රදේශයේ තිබෙන මේ Nossa Senhora das Portas do Ceu දේවස්ථානය කියාපාන්නේ තමන්ගේ මවු රටින් බැහැරව විදෙස් ආගමක් වැළදගෙන ඒ වෙනුවෙන් කටයුතු කරපු උඩරට රාජ්‍යයේ සිංහල රජතුමෙක් වුණු දොන් ජෝන්ගේ කතාන්දරයයි.........

Nossa Senhora das Portas do Ceu දේවස්ථානයේ ඡායාරූප බලන්න කැමති නම් මෙතනින් යන්න

මේ ලිපිය ලියන්නට මග පෙන්වීමක් සිදු කළ මල්මි අක්කාට විශේෂ ස්තුතිය :)

ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්