I විමලධර්මසූරිය රජතුමා
කන්ද උඩරට රාජධානිය නිසියාකාරව ආරම්භ කරපු රජතුමා විදිහට සැළකෙන්නේ I විමලධර්මසූරිය රජතුමා. අපි මීට කලිනුත් කතා කීපයකින්ම I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කළානේ. මතකනේ I විමලධර්මසූරිය රජතුමාට කුණුහරුප කියූ ලන්දේසි අද්මිරාල් වගේම කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා කියන සටහන්වලින් සෘජුවම නොවුණත් වක්‍රව මේ රජතුමා ගැන කතා කළා. අද මේ සූදානම රජතුමා ගැන තියෙන කුඩා කුඩා අප්‍රකට කතා කීපයක් කියන්න......
මුලින්ම රජතුමාගේ නම ගැන තිබෙන කතා කීපයක් ගත්තොත් ඔහුගේ මුල් නම කොනප්පු බණ්ඩාර. පසුව 1582 සීතාවක රාජසිංහ රජතුමා තමන්ගේ පියා වුණු වීරසුන්දර බණ්ඩාරව උපායෙන් බොරු වළක දාලා මැරෙව්ව නිසා බියෙන් පෘතුගීසින් වෙත පලා ඒමත් එක්ක 1588 කතෝලික වෙලා බෞතිස්ම වීමත් එක්ක ඔස්ට්‍රියාවේ දොන් ජෝන්/ අවුස්ත්‍රියාවේ දොන් ජුවන් නමිනුත් හැඳින්වෙනවා.
ඒ හැරෙන්න එතුමාව දොන් ජුවන් අප්පුහාමි නමිනුත් හඳුන්වලා තියෙනවා. මේ අප්පුහාමි කියන යෙදුම වර්තමානයේ නම් හිනාවට ලක් කරන නමක් වුණත් උඩරට රාජධානි සමයේ අප්පුහාමි නමින් හැඳින්වුණේ උසස් රදළ පවුල්වල අයව.
උසස් පවුල්වල අය තමා රජතුමාගේ පුද්ගලික ආරක්ෂකයන් එහෙමත් නැත්නම් දැන් විදිහට කිව්වොත් ඒ කාලේ යොදාගත්තේ. ඒක නිසා රජතුමාගේ පුද්ගලික සේවකයන් හඳුන්වන්නත් මේ "අප්පුහාමි" යෙදුම භාවිතා වෙලා තියෙනවා.
ඒ වගේමයි ඒ කාලේ රාජ්‍ය සේවයේ යෙදෙන්න මුලින්ම පත්වෙන තනතුරක් විදිහටත් මේක දක්වන්න පුලුවන්. කොටින්ම ඇහැළේපොළ මහ නිළමේත් මුලින්ම දරලා තියෙන්නේ මේ අප්පුහාමිවරයෙක් කරන රජතුමාග පණිවුඩ ගෙනයාම සහ බුලත්විට සැපයීම කියන රාජකාරිය.
මේ රජතුමාගේ පෙළපත ගැනත් කතා කළොත් මෙතුමාගේ තාත්තා තමා වීරසුන්දර බණ්ඩාර කියන මුදලි එහෙමත් නැත්නම් ඒ කාලේ කරලියැද්දේ බණ්ඩාර කියන උඩරට රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට කටයුතු කරන කෙනා
මහාවංසය, මන්දාරම්පුර පුවත වගේම රාජාවලිය කියන පොත් I විමලධර්මසූරිය රජතුමා ගම්පොළ සහ පේරාදෙණිය රජ පෙළපත්වල අයෙක් කියලා සඳහන් කළත් සැබවින්ම එවැනි රාජ උරුමයක් එතුමාට තිබුණාද කියන එක සැක සහිතයි.
ඒකට එක් උදාහරණයක් තමා I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රජවුණු ඥාති සොයුරු සෙනරත් රජතුමා සහ පෘතුගීසීන් අතර 1617 ඇතිවෙන සාම ගිවිසුමේ උඩරට රාජ්‍ය උරුමය ගැන දැක්වෙන කුඩා සටහන.
ඒක තියෙන්නේ මෙහෙමයි
"කන්ද උඩරට රජු වන සේර [සෙනරත්] කන්ද උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල බිසව වන දෝන කතිරිනා සරණ පාවා ගෙන සිටින් බැවින්ද යටකී බිසවගෙන් ඔහු පුතුන් තිදෙනෙකු ලැබ සිටින බැවින්ද ඔහුගේ ඇවෑමෙන් ඔවුන් රජපැමිණිය යුතුය."
මේකෙන් ගම්‍ය වෙන කරුණක් තමා රජ කුමරුවන් සෙනරත් රජුගේ පුතුන් නිසාම නොව නියම උරුමක්කාරිය වෙන දෝන කතිරිනාගේ දරුවන් නිසයි රජකම හිමිවෙන්නේ කියන එක.
ඒක නිසා ඒ කාලය වන විට ප්‍රාදේශීය වශයෙන් බලවත්ව සිටිය බණ්ඩාර පෙළපතකට කොනප්පු බණ්ඩාර අයිතියි කියලා හිතන්න පුලුවන්.
බණ්ඩාරවලියක් ලෙස කතා කෙරෙන මේ බණ්ඩාරවරු ඇතිවෙන්නේ ගම්පොල යුගයේ ඉදන් සිටිය රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ගේ දරුවන්ගෙන් කියලත් අදහසක් තියෙනවා. එහෙම බලද්දී නම් සෘජුවම නැතත් වක්‍රව හරි බණ්ඩාරවරුන්ට රාජ උරුමයක් තිබෙන බව පැහැදිලියි
නැවතත් ප්‍රධාන කතාවට ආවොත් කොළඹට පැනලා එන කොනප්පු බණ්ඩාරව ඒ කාලයේ කෝට්ටේ රජතුමා වුණු දොන් ජුවන් ධර්මපාල සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි කෝට්ටේ රාජ්‍යයේ ඒ වනවිට ප්‍රධාන අමාත්‍යවරයා විදිහට හිටිය තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ දියණියව කොනප්පු බණ්ඩාරට සරණ පාවා දෙනවා.
තම්මිට බණ්ඩාර හෙවත් තම්මිට සෙම්බහප්පෙරුමාල්ගේ එහෙමත් නැත්නම් තම්මිටරාළ ගැනත් යමක් කිව්වොත් එයා ධර්මපාල රජතුමාගේ සුළු පියා එහෙමත් නැත්නම් බාප්පා. දන්නවනේ ධර්මපාල කුමාරයාගේ තාත්තා වීදිය බණ්ඩාර කියලා. තම්මිට බණ්ඩාර කියන්නේ වීදිය බණ්ඩාරගේ බාල සොයුරා.
මෙයාලත් රාජ උරුමයක් තිබුණු අය. ඒ මෙහෙමයි කෝට්ටේ පාලකයෙක් වෙලා හිටිය 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක් වුණු තනියවල්ලභ කුමාරයාගේ දියණියව සොළී කුමාරයෙක්ට සරණ පාවා දීමෙන් උපන් දරුවෝ දෙන්නා තමා වීදිය බණ්ඩාර සහ තම්මිට බණ්ඩාර කියන්නේ
ආයි කතාවට ආවොත් මේ විවාහයෙන් කොනප්පු බණ්ඩාර දාව තම්මිට කුමරියට පුතෙක් උපදිනවා. මේ කුමාරයා සහ තම්මිට කුමරිය කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යය පිහිටවූ කාලයේත් වාසය කළේ පෘතුගීසින් යටතේමයි. I විමලධර්මසූරිය රජතුමා කීප වරක්ම තමන්ගේ පුතා සහ තම්මිට කුමරිය පෘතුගීසීන්ගෙන් ලබාගන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.
රාජාවලියේ කියන විදිහට නම් තම්මිට කුමරියට උඩරටට යන්න නොදීපු නිසා ඇය දෙවෙනි වරට විවාහ වෙනවා කොළඹ කොටුවේ වාසය කරපු පෘතුගීසි ජාතිකයෙක් වෙන දොන් ෆ්‍රැන්සිස් සමඟ.
1604 I විමලධර්මසූරිය රජතුමා මියයන විට තම්මිට කුමරියගෙන් ලත් පුතා ඉන්දියාගේ ගෝවේහි තිබුණු King's College හි ඉගෙනුම ලබමින් ඉදලා තිබෙනවා. තමන්ගෙන් පසුව උඩරට රාජ්‍යයේ උරුමක්කරුවා විදිහට ඒ කුමාරයා නම් කරලා රාජ්‍යය ලබාදෙන්න I විමලධර්මසූරිය රජතුමා අවසන් වතාවටත් උත්සහ කළත් පෘතුගීසීන් කුමාරයාව උඩරටට එවන එක ප්‍රතික්ෂේප කරනවා.
ඒ කුමාරයාගේ අවසානය වුණේ කොහොමද කියන එක නම් මට හමුවුනේ නැහැ. ඒක හොයලා බලන්න ඕනේ කාරණයක් විදිහට මම හිතේ තියාගෙන ඉන්නේ.
නැවතත් කතාවට ආවොත් කොළඹ කොටුවේ වාසය කරන කොනප්පු බණ්ඩාර තමන් එක්ක උඩරට ඉදන් කොළඹට පලා ආපු සල්ලප්පු කියන පුද්ගලයාව මරා දමනවා. මේ දාමරික ක්‍රියාව ගැන විභාග කරන ධර්මපාල රජතුමා සහ කොළඹ කොටුවේ පෘතුගීසි කපිතාන් තීරණය කරනවා කොනප්පු බණ්ඩාරව ඉන්දියාවේ ගෝවෙට පිටත් කරන්න.
ගෝවේ වාසය කරන කොනප්පු බණ්ඩාර කරපු වීර ක්‍රියාවක් නිසා මුළු ගෝවේම ප්‍රසිද්ධ වෙන්න කොනප්පු බණ්ඩාරට හැකිවෙනවා. වීර ක්‍රියාව තමා ඒ කාලේ ගෝවේ ඉදලා තියෙනවා දක්ෂ කඩු සටන් කරුවෙක්. එයාගේ නම විදිහට රාජාවලිය දක්වන්නේ ගජබාහු කපිත්තා කියලා.
ඉතින් කවුරු හරි එයාගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යනවා නම් එයත් එක්ක සටන් කරන්න එන්න ඕනේ. මිනිහාව පරද්දන්න ඒ කාලේ ගෝවේ හිටිය කාටවත් බැරිවෙලා තියෙනවා. ඒ නිසා ගෝවේ හිටිය පෘතුගීසි විසුරේ වුණත් මේ මිනිහගේ ගේ ඉස්සරහින් කඩුවක් අරගෙන යන්නේ නැහැලු :))
දවසක් මේ වැඩේට කොනප්පු බණ්ඩාර අහුවෙලා අන්තිමට මේ ගජබාහු කපිත්තා එක්ක ගිය කඩු සටනින් කොනප්පු ජය අරගෙන ගජබාහු කපිත්තාව දෙපළු කරපු නිසා ගෝවේ විසුරේ ඇතුළු සියලු දෙනාම කොනප්පුව වීරයෙක් විදිහට සළකන්න පටන් අරගෙන තියෙනවා.
මේ විදිහට කාය බලයෙන් ගෝවේ ජනප්‍රිය වෙලා හිටිය කොනප්පු බණ්ඩාර එහි සිටිය අනාථ පෘතුගීසි කාන්තාවක් විවාහ කරගත් බවත් ඒ විවාහයෙනුත් පුතෙක් උපන් බවත් විමලධර්මසූරිය 1604 මිය ගියාටත් පසු තවත් දිගු කාලයක් මේ පුත්‍රයා ගෝවේ සිටි බවයි කියවෙන්නේ. ඔහුගේ අවසානය ගැනත් සොයා බලන්න ඕනේ
මේ කාලයේ තමා සීතාවක රාජසිංහ රජතුමා වරින් වර කෝට්ටේ අල්ලා ගන්න කරන කටයුතු නිසා සීතාවක විරුද්ධව උඩරට රාජ්‍යය ඇතිකරන්න පෘතුගීසීන් කටයුතු කරන්නේ. මුලින් උඩරට රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් කරන්න පෘතුගීසීන් කල්පනා කරන්නේ කොනප්පු බණ්ඩාරව. ඒත් මිනිහා දරුණු මනුස්සයෙක් නිසා කෝකටත් කියලා ඒ සඳහා කලින් උඩරට රජතුමා වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වුණු යමසිංහ බණ්ඩාරව තෝර ගන්නවා.
පස්සේ උඩරට කොනප්පු බණ්ඩාර රජවෙන හැටි ගැන මම මෙතනත් කියල තියෙන නිසා මම කියන්නේ නැහැ. ඒක අමතක උදවිය මෙතනට කොටලා ඒක බලන්නකෝ.
උඩරට ආපු මුල්ම කාලේ කොනප්පු බණ්ඩාර අම්බාලේ ගොඩකුඹුරේ රන්හොටි මුදියන්සේ කියන ප්‍රදේශීය ප්‍රධානියාගේ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තියෙනවා.
ඒත් ඒකට රන් හොටි මුදියන්සේ අකමැති වෙලා කියන්නේ "යුරෝපාකරයේ පරංගි කෙල්ලන් එක්ක නඩලන් ගහපු මොහුට මගේ දියණිය දෙන්නේ නැහැ" කියලා.
මේ නිසා නොයෙක් අතවරවලට ලක්වෙන්න කොනප්පු බණ්ඩාර සිද්ධ වුණත් අවසානයේදී යමසිංහ බණ්ඩාරගෙන් රාජ්‍යය හිමිකරගත්තු කොනප්පු බණ්ඩාර රජ වුණාට පස්සේ කුසුමාසන දේවිය අග බිසෝ කරගන්නකම් අග බිසෝ තනතුරේ ඉන්නේ අම්බාලේ කුමාරිහාමි කියන තරුණිය.
1594 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසා යටතේ උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණය නිසා මුල් අවස්ථාවේ රජතුමා පසු බසිනවා. මේ තත්වය ප්‍රයෝජනයට ගත්තු පෘතුගීසීන් තමන් සමඟ ආපු උඩරට කුමරිය වෙන දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවියව උඩරට රැජිණ විදිහට පත් කරවනවා.
කුසුමාසන දේවිය සහ පෘතුගීසීන්
ඒත් තමන්ගේ රැජිණව දැක බලාගන්න උඩරට වැසියන්ට අවස්ථාවක් නොදීම, කුසුමාසන දේවියව පෘතුගීසි සෙන්පතියෙක් සරණ පාවා ගන්න බව ආරංචි වීමත් එක්ක උඩරට ජනතාව ප්‍රකෝප වෙනවා.
උඩරට ආක්‍රමණය කරපු පේරෝ ලෝපේස් ද සෞසා ඒකට සහභාගි වුණේ කොන්දේසි කීපයක් යටතේ. ඒ කොන්දේසි තමා තමන්ගේ බැණාවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් කපිතාන් මේජර් පදවියට පත් කළ යුතුයි. අනෙක තමා ඒ බැණාට කුසුමාසන දේවියව සරණ පාවා දිය යුතුයි කියන ඒවා.
ඒ කොන්දේසිවලට රාජ්‍ය සභාව එකඟ වෙලා හිටියේ. ඒත් රාජ්‍ය සභාව පනවපු කොන්දේසිය තමා කන්ද උඩරට යටත් කරගෙන කුසුමාසන දේවියව රාජ්‍යත්වයට පත් කරනකම් ඇගේ විවාහය නොකරනවා කියන එක.
ඒ වගේම තවත් හේතුවක් තමා සීතාවක රාජසිංහ රජතුමාගේ ප්‍රධාන සේනාපති සහ
පුරෝහිත වුණු අරිට්ඨකී වෙණ්වු පෙරුමාල් රාජසිංහ රජතුමාගේ මරණින් පස්සේ
කෝට්ටේ රාජ්‍යයට එකතු වෙලා තිබුණේ. ඒ යටතේ ධර්මපාල රජතුමා ඔහුව ජයවීර
බණ්ඩාර විදිහට නම් කරනවා. එයත් එයාගේ සේනාව එක්ක පෘතුගීසීන්ට එකතු වෙලා
හිටියේ 1594 උඩරට ආක්‍රමණයට.
ජයවීරගේ ඉල්ලීමක් වුණේ තමන්ගේ මස්සිනා කෙනෙක්ට
කුසුමාසන දේවියව සරණ පාවා දෙන්න කියලා. ඒක ඉටු නොවුණාම ජයවීර සැඟවෙලා
හිටිය I විමලධර්මසූරිය රජතුමා එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒක පෘතුගීසීන්ට
අසුවුණු නිසා ජයවීරව මරා දමන්න ඔවුන් කටයුතු කරනවා
ඉතින් උඩරට මිනිස්සුන්ගේ නැගී සිටීම වගේම දේශගුණය ඔරොත්තු නොදීම, ලෙඩ රෝග පැතිරිම වගේ කරුණුත් එක්ක සූසා තීරණය කරනවා තාවකාලිකව පසු බසින්න. මේ අවස්ථාවේ තමා සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා ඇවිත් දන්තුරේදී විශාල ප්‍රහාරයක් එල්ල කරලා පෘතුගීසි සේනාවම සමූල ඝාතනය කරන්නේ.
කොහොම නමුත් I විමලධර්මසූරිය රජතුමාගේ යුක්තිගරුක බව මේ සටනේ අවසානයේ වූ සිද්ධිවලින් පෙන්නුම් කෙරෙනවා.
ඒ සටනින් දරුණු තුවාල වෙලා හිටිය පෘතුගීසි කපිතාන් ජෙනරාල් පේරෝ ලෝපේස් ද සෞසාට ප්‍රතිකාර කරන්න රජතුමා අණ කිරීමෙන්. සෞසාගේ තුවාල සුව වුණත් තමන්ගේ පිරිස මියයාම වගේ කරුණුත් එක්ක ඔහුගේ මනස ව්‍යාකූල වෙලා තිබුණේ.
අන්තිමට සෞසා මියයන්නේ තමන්ගේ තරුණ පුතා වුණු දියගෝ ලෝපේස් ද සෞසාව රැක බලා ගැනීම රජතුමාට බාර කරලා. වසර තුනක් උඩරට රඳවා ගෙන සිටි දියගෝ නිදහස් කළාට පසුව ගෝවේට පිටත් වෙලා ගෝවේදී අශ්වයෙක් පිටින් වැටිලා තමා මියයන්නේ.
ඒ වගේම සටනින් දිවි ගලවා ගත්තු සොල්දාදුවන් 50 ක් රජතුමාගේ අණින් කොළඹට පිටත් කරන්නේ එක ඇහැක් උගුල්ලලා සහ කන් කපලා වගේම පුරුෂ ලිංගය කප්පාදු කරලා. ඒකට හේතුව විදිහට රජතුමා දක්වන්නේ උඩරට ස්ත්‍රීන්ට වගේම ගර්භණී ස්ත්‍රියන්ට කළ අතවර සහ ඝාතනය කිරීම්වලට ලැබෙන දඬුවම මේකයි කියලා.
කන්ද උඩරට ඉදිකිරීම් කටයුතු කරන පෘතුගීසීන්
අනිත් දිවි ගලවාගත්තු සොල්දාදුවන්ට ප්‍රතිකාර කළා වගේම ඔවුන් ලවා මාළිගා, වෙහෙර විහාර ඉදිකරවීම් වගේ කටයුතු සිදු කරවා ගෙන පස්සේ ඔවුන්ව රාජකීය ගබඩා ගම්වල සේවයට පිටත් කරලා තියෙනවා.
තවත් විශේෂ කරුණක් තමා රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රණින් සාදපු පේරෝ ලෝපේ ද සෞසාගේ හිස තබා තිබුණා කියන එක.
මීළඟට 1602 රජතුමා හමුවෙන්න පැමිණෙන ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන් සම්බන්ධ රජතුමාගේ අප්‍රකට කතාවක් කියන්නම්.
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව
1602 මැයි මාසයේදී සිදුවෙන මේ හමුවීමේදී කතා කෙරෙන්නේ කුරුඳු වගේ ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම සහ පෘතුගීසීන් පලවා හරින්න ලන්දේසි ආධාර ලබාගැනීම වගේ දේවල්.
ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවමක්
[ස්පිල්බර්ජන් රජතුමාට දෙන්නේ මොරිස් කුමාරයා යුධ ඇඳුමෙන් ඉන්න සිතුවමක්. සමහර විට ඒ මේක වෙන්නත් පුලුවන්]
මේ සාකච්ඡාව අවසානයේදී ස්පිල්බර්ජන් රජතුමාට ප්‍රදානය කර තිබුණු ඕලන්ද පාලක මොරිස් කුමාරයාගේ සිතුවම තමන්ට නිරතුරුවම පේන්න තමන්ගේ කාමරයේ එල්ලන්න රජතුමා කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ දරුවන් වගේම බිසව පෙන්වන්න ස්පිල්බර්ජන්ව මාළිගාවේ ඇතුළටම අරගෙන යන්නත් රජතුමා කටයුතු කරනවා.
ඒ අවස්ථාවේදී රජතුමාට ස්පිල්බර්ජන්ට කියනවා "ඔබේ මහෝත්තමයාණන් මෙහි අවුත් බලකොටුවක් තනනවා නම් මමත් මගේ බිසවත් කුමාරයා සහ කුමාරිකාවත් අපේම කර උඩ තියාගෙන ගල්, හුණු හා වෙනත් දේවල් ඇද දෙනවා" කියලා
සමහර විට මේක අතිශයෝක්ති ප්‍රකාශයක් වෙන්නත් පුලුවන්. කොහොම නමුත් පෘතුගීසීන් පළවා හරින්න ලන්දේසීන්ගේ උදව් ලබාගන්න ලොකු උවමනාවක් රජතුමාට තිබුණු බව නම් මේ ප්‍රකාශයෙන් පැහැදිලියි.
සීබෝල් ද වාර්ට්ගේ පැමිණීම
මීලඟට එන ලන්දේසි නියෝජිතයා වෙන්නේ උප අද්මිරාල් සීබෝල් ද වාර්ට්. එයා ගැන නම් ඔයාලට මතක ඇතිනේ. රජතුමා "මේ බල්ලා බැඳ දමනු" කියලා කියන්නේ එයාටනේ :))
මෙයා සම්බන්ධවත් රජතුමාගේ අප්‍රකට කතාවක් තියෙනවා. මුලින්ම රජතුමා වාර්ට් හමුවුණු අවස්ථාවේ වාර්ට් අඟවනවා රජතුමාගේ අත සිඹින්න කැමතියි කියලා. යුරෝපා රාජ සභාවල චාරිත්‍රයක්ලුනේ රාජකීයයන්ගේ අත සිඹින එක.
ඒත් රජතුමාට වාර්ට් කොච්චර ප්‍රිය වුනාද කියනවා නම් රජතුමා වාර්ට්ව වැළැඳගන්නවා. වාර්ට් කියන විදිහට රජතුමා කොච්චර තදින් වාර්ට්ව වැළැඳ ගත්තද කියනවා නම් දවස් කීපයක් යනකම් ඉළ ඇටවල වේදනාවකුත් වාර්ට්ට ඇතිවෙනවා :)
රජතුමා පැළැඳි පා සළඹ
රජතුමා හා වාර්ට් අතර වෙන කතා බහවලදී රජතුමා වාර්ට්ට රහසකුත් කියනවා. ඒ කුසුමාසන දේවියව ලබාගන්න තමන් පරාජය කරපු පෘතුගීසි කපිතාන් ජෙනරාල්ගේ සහ කපිතාන්වරුන්ගේ හිස්වල පිළිරූ ජයග්‍රහණයේ නිමිත්තක් විදිහට තමන්ගේ පා සළඹේ පැලැඳගෙන ඉන්නවා කියන එක.
කලිනුත් මම කිව්වේ රජතුමාගේ ජීවිත කාලය පුරාම දෙපා අබියස ඝන රනින් කරපු සූසාගේ හිස තබා තිබුණා කියලා. මේ කතාවෙනුත් ඒක තව පැහැදිලි වෙනවා. පා සළඹ කියන්නේ කාන්තා ආභරණයක් කියලා ප්‍රශ්නයක් නැගෙන්නත් පුලුවන්. ඒත් සිංහල රජවරු සූ සැට ආභරණ කියලා ආභරණ 64 ක් පැළැඳගෙන ඉදලා තියෙනවා. ඒකෙන් එකක් තමා පා සළඹ කියන්නේත්.
රජතුමාගේ දරුවන් ගැනත් කතා කළොත් ස්පිල්බර්ජන් කියන විදිහට රජතුමාට සිටියේ කුමාරයෙක් සහ කුමාරිකාවක්. වාර්ට් දක්වන්නේත් ඒකමයි. 1602 නොවැම්බර් පැමිණෙන වාර්ට් දක්වන විදිහට කුමරියට අවුරුදු 6 කුත් කුමාරයාට අවුරුදු 3 කුත් පමණ වෙනවා.
ඒත් රාජාවලිය කියන විදිහට I විමලධර්මසූරිය රජතුමාට දාව කුසුමාසන දේවියට දරුවන් පස් දෙනෙක් ඉදලා තියෙනවා. ඒ කුමාරවරුන් 4 ක් සහ එක් කුමාරිකාවක්
කුමාරවරුන්ගේ නම් තමා
- රාජසූරිය අස්ථාන
- උඩුමාලේ අස්ථාන
- කුමාරසිංහ අස්ථාන
- විජයපාල අස්ථාන
I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රාජ්‍යය භාරගන්න ඥාති සහෝදර [පුංචි අම්මගේ පුතා] සෙනරත් රජතුමා විමලධර්මසූරිය රජතුමාගේ කුඩා දරුවන් වගේම බිසවත් භාරගන්නවා.
කොහොමත් මම කලින් දවසක කිව්වත් වගේ වාර්ට් සමඟ ඇතිවෙන ප්‍රශ්නයේදී විමලධර්මසූරිය රජතුමා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ 1602 වෙද්දිත් සෙනරත් කුමාරයා සිවුරු හැරලා හිටියා කියන එක වගේම එක ගෙයි කෑම කියන චාරිත්‍රය I විමලධර්මසූරිය සහ සෙනරත් කුසුමාසන දේවිය සමඟ සිදුකළා කියන එක
II රාජසිංහ රජතුමා
සෙනරත් රජුට දාව කුසුමාසන දේවියට උපදින්නේ දේවරාජසිංහ අස්ථාන එහෙමත් නැත්නම් පසුකාලීනව II රාජසිංහ නමින් රජවුණු කුමාරයා. සෙනරත් රජතුමා වුණත් තමන්ගේ පස්සේ රාජ්‍යය පුතුන්ට හිමි කරලා දෙද්දී තමන්ගේ පුතා වුණු දේවරාජසිංහට සෙංකඩගල කියන රාජ්‍යයේ හොඳම කොටස වගේම අග රජ තනතුර දීමෙනුත් කුමාරසිංහට හා විජයපාල කියන වැඩිමහල් කුමාරවරුන්ට ඌව සහ මාතලේ දීමෙනුත් ඒක පැහැදිලියි
එතකොට රාජසූරිය අස්ථාන සහ උඩුමාලේ අස්ථාන කියන කුමාරවරුන්ටත් කුමාරියටත් මොකද වුණේ කියන ප්‍රශ්නය මතු වෙනවා. රාජාවලිය දක්වන විදිහට දිය කෙළිය සඳහා මහවැලි ගඟට ගිය රාජසූරිය අස්ථාන කුමාරයාව දියේ ගිල්වලා මරා දමන්න සෙනරත් රජතුමා කටයුතු කරලා තියෙනවා. උඩුමාලේ අස්ථාන කුමාරයට සිදුවූ දෙයක් සොයාගන්න බැරිවුණා.
රාජසූරිය අස්ථාන කුමාරයාගේ අවමංගල පෙරහැර
රාජසූරිය අස්ථාන කුමාරුගේ දේහය ආදාහනය කළ ආකාරය
I විමලධර්මසූරිය රජතුමාට දාව තමන්ට උපන් දරුවන්ට සෙනරත් රජතුමා කරන අසාධාරණකම් නිසා දරුවන් එක්ක පෘතුගීසින් ගාවට සරණගාතයන් විදිහට පලා එන්න කුසුමාසන දේවිය 1612 දී පෘතුගීසි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදුට ලිපියක් එව්වත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සිත් තැවුලෙන් සිටිය කුසුමාසන දේවිය මේ නිසාම 1613 ජූලි 20 වැල්මංතොටදී මියයනවා. මියයද්දී එතුමියගේ වයස අවුරුදු 35 ක් පමණ වෙනවා.
කුසුමාසන දේවිය මියයාමත් එක්ක සෙනරත් රජතුමාත් හුඟක් අසනීප වෙලා මරණාසන්න තත්වයට පත්වෙනවා. මේ අවස්ථාවේදී ඇතිවෙන වියවුල් සහගත තත්වයත් එක්ක I විමලධර්මසූරිය රජතුමාගේ දියණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා පෘතුගීසීන් ගාවට පලා යන්න උත්සහ කළත් එහෙම පැනලා යන්න පුලුවන් වෙන්නේ ඇගේ ස්වාමියාට විතරයි. මේ කුමරියව පසුකාලීන සෙනරත් රජතුමා සරණ පාවා ගත්තු බවකුත් කියවෙනවා.
I විමලධර්මසූරිය රජතුමාගේ රූප සොබවය සහ ගතිගුණ ගැන කතා කළොත් ෆර්නාඕ ද ක්වේරෝස් රචනා කරපු Conquista Temporale Espiritual da Ceylao, Ordenado pelo Pedre Fernao de Queyroz Da Companhia de Jesus, Da Provincia De Goa, Com muytas outras proveytozas noticias pertencentes a dispocicao e gouverno de Estado de India කෘතියේ ඔහු දක්වන්නේ
"විමලධර්මසූරිය උස සිරුරින් යුක්තය. ශක්තිමත් මස් ගොබ සහිත අත් පා ඇත. ඉතා ශක්තිමත්ය. නිර්භීතය. අභිමානවත්ය. ඉතා තියුණු බුද්ධියකින් හෙබියේය. තීරණ ගැනීමේදී බොහෝ පරිස්සම් සහිතය. සාමාන්‍යයෙන් උගත්ය. කිසිවෙකුටත් නොදෙවෙනි සටන් ශිල්ප පුහුණු කොට ඒ අංශයෙන් අද්විතීයය. කවුරුත් ඔහු ගෞරව බහුමානයෙක් සැළකූහ. තමා මනා සේ පාලනය කර ගැනීමටත් සෑම විටම තම මනස සමතුලිතව තබා ගැනීමටත් දක්ෂය"
ස්පිල්බර්ජන්
ස්පිල්බර්ජන් රජතුමා ගැන කියන්නේ මේ විදිහට. "කතාව ඉතා සිත් ගන්නා සුලු මෙන්ම විචක්ෂණය" වාර්ට් රජතුමා ගැන කියන්නේ "ඔහුට තිබුණේ ඉතා උස සිරුරකි. අත් පා හැඩි දැඩිය. දිගුය. කාලවර්ණය. කට හඬ ගොරහැඬිය" කියලා.
රජතුමාගේ අවසානය ගැන කතා කළොත් වරින්වර සිදුවුණු පෘතුගීසි සටන් සහ අනෙකුත් ගැටුම් නිසා රජතුමා වෙහෙසට පත්වෙලා හිටියේ. අයෝමය ශරීරයක් රජතුමාට තිබුණත් මේ තත්වය නිසා රජතුමාට වරින් වර උණ රෝගයෙන් පෙළෙන්න වුණා.
අවසානයේ 1604 මුල් භාගයේදී උණ රෝගයෙන් I විමලධර්මසූරිය රජතුමා මියයනවා. මිය යන්න කලින් සෙනරත් කුමාරයා මීළඟ රජතුමා විදිහට පත් කරලා දරුවන් සහ බිසව ඔහුට බාර කරනවා. ඒ වගේම පළමුවෙනි අදිකාරම් ප්‍රමුඛ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා සෙනරත් කුමාරයාට පක්ෂපාතී වෙන්න කියලා.
වයස් ගත රාජ්‍ය නිලධාරීන් වගේම සෙන්පතියන් පවා රජතුමාගේ මරණාසන්න අවස්ථාවේ කඳුළු සැලුවා කියලා තමයි කියවෙන්නේ.
සුවිශේෂීම සිද්ධිය වෙන්නේ ඊට පස්සේ. මහනුවර ආදාහන මළුවේදී මහා චිතකයක් කරවලා I විමලධර්මසූරිය රජතුමාගේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ අරන් යන්න ආපු පිරිස දකින්නේ රජතුමාගේ හදවත ගින්නෙන් නොපිළිස්සී නිරුපද්‍රිතව තියෙන හැටි.
ඒක නිසා තමන්ගේ ජන්ම භූමිය වෙනුවෙන් ස්ඵන්දනය වුණු විමලධර්මසූරිය රජතුමාගේ නිර්භීත, අභීත හදවත ගින්නකින් දවන්න බැහැ කියලයි උඩරැටියන්ගේ පිළිගැනීම වුනේ...
ඒක නිසා තමන්ගේ ජන්ම භූමිය වෙනුවෙන් ස්ඵන්දනය වුණු විමලධර්මසූරිය රජතුමාගේ නිර්භීත, අභීත හදවත ගින්නකින් දවන්න බැහැ කියලයි උඩරැටියන්ගේ පිළිගැනීම වුනේ...
මේ කතාව සමහර විට ප්‍රබන්ධයක් කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් මේ තියෙන්නේ අපේ හිතවත් බින්දි අක්කා ලිව්ව වියට්නාමයේ නොදැවුණු හදවත සටහන.
ඒ සටහනේ විදිහට ඇමරිකානුවන්ට සහ රූකඩ ආණ්ඩුවට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තමන්ගේ ශරීරයට ගිනි තබා ගත්තු Thich Quang Duc හිමියන්ගේ හදවත ගින්නෙන් පිළිස්සිලා නැහැ.
Thich Quang Duc හිමියන්ගේ නොපිළිස්සුණු හදවත
පසුකාලීනව ඒ නොපිළිස්සුණු හදවත තැන්පත් කරලා ඒ හිමියන් ගිනි තබාගත් ස්ථානයේ ස්මාරකයක් හදලා තියෙනවා.
ඒක නිසා I විමලධර්මසූරිය රජතුමාගේ හදවත නොපිළිස්සි නිරුපද්‍රිතව තිබීම ප්‍රබන්ධයක්ම කියලා බැහැර කරන්න බැහැ
එහෙම නම් අද කතාව අවසානයි. කවුරුත් මට බනින්න එපා කියලා තියෙන කතාවල කිසි ගැළපීමක් නැහැ කියලා. මේ සටහනේ අරමුණ වුණේ I විමලධර්මසූරිය රජතුමා ගැන තියෙන අප්‍රකට කතා ටිකක් කියන එක මිසක් රජතුමාගේ චරිතාපදානය කියන එක නොවන නිසා
ප.ලි.: මේ ලිපියෙන් මම මුලින්ම කියනවා කියලා පොරොන්දු වුණු ඉතිහාසයේ අප්‍රකට කතා list එකේ තිබුණු කතා දෙක තුනක්ම කිව්වා.
ඒ සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත්‍රයා, සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙතට පලා ගිය කුසුමාසන දේවිය, ගින්නෙන් නොදැවුණු I විමලධර්මසූරිය රජතුමාගේ හදවත.
මේ වෙනකොට ලියලා අවසන් ඉතිහාසයේ අප්‍රකට කතා මේවා.
- ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
- රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
- 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
ඒවාත් ඉස්සරහට හෙමින් සැරේ කියවමු :)
මේ සටහන ලිපිය පාදක වුණු පොත්පත් තමා මේවා
ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය : පෝල් ඊ. පීරිස්
පරංගි විජිතය : එස්.එෆ්. ද සිල්වා, ඊ.ආර්. එරත්න
රාජාවලිය : සංස්කරණය ඒ.වී. සුරවීර
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පරංගි කෝට්ටේ : ටිකිරි අබයසිංහ
ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය : එස්.ජී. පෙරේරා පියතුමා
ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය : පෝල් ඊ. පීරිස්
පරංගි විජිතය : එස්.එෆ්. ද සිල්වා, ඊ.ආර්. එරත්න
රාජාවලිය : සංස්කරණය ඒ.වී. සුරවීර
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
පරංගි කෝට්ටේ : ටිකිරි අබයසිංහ
ලංකා ඉතිහාසය - පෘතුගීසි යුගය : එස්.ජී. පෙරේරා පියතුමා
උඩරට රාජධානිය : ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ, ජී.පී.වී. සෝමරත්න
මග දිගට ජනකතා : ඩී.පී. වික්‍රමසිංහ
මේ කතාවේ ඒ ඒ තැන්වලට අදාළව එකතු කරලා තියෙන චිත්‍ර රැසක් උපුටා ගත්තේ ඕලන්ද ජාතික Philippus Baldaeus විසින් රචනා කරන ලද Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්.
ඒ හැරෙන්න අනෙක් චිත්‍ර සොයා ගත්තේ අන්තර්ජාලයෙන්. මේ ගැන එක් කරන්න මතක් වුණේ ක්සැන්ඩර් අයියා මතක් කළාට පස්සේ. ඒ ගැන ස්තුතියි :)
මග දිගට ජනකතා : ඩී.පී. වික්‍රමසිංහ
මේ කතාවේ ඒ ඒ තැන්වලට අදාළව එකතු කරලා තියෙන චිත්‍ර රැසක් උපුටා ගත්තේ ඕලන්ද ජාතික Philippus Baldaeus විසින් රචනා කරන ලද Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්.
ඒ හැරෙන්න අනෙක් චිත්‍ර සොයා ගත්තේ අන්තර්ජාලයෙන්. මේ ගැන එක් කරන්න මතක් වුණේ ක්සැන්ඩර් අයියා මතක් කළාට පස්සේ. ඒ ගැන ස්තුතියි :)
ඔබගේ ලිපිය විශිෂ්ඨයි.....!
ReplyDelete@ වීපොකුර
Deleteස්තුතියි ඔබෙන් ලද අගය කිරීමට :)
Hasitha,
DeleteThanks for the artice. The way I heard was that Thammita Suriya Bandara's daughter had died while giving birth to Konappu Bandara's Son and Konappu Bandara had suffered great sorrow due to his wife's death and thereafter, left to Goa. The Son was taken over and brought up by the parents of the Thammita Princes.
Do you have any information on Meegastenne Adhikaram? Is he related to this Son of Konappu Bandara? I am asking this because it was Meegastenne Adhikaram together with Meda Mahanuwara Nilame who defeated the Dutch when they invaded the Kandyan Kingdom and also again it was him that led the forces that defeated the English when they invaded the Kandyan Kingdom and there is not much information regarding him by any of our historians.
Regards
Lalith
@ Lalith
Deleteඔබ දක්වපු කතාව නම් මම මීට කලින් අහලා නැහැ. ඒක ජනප්‍රවාදයක්ද ? කොහොම නමුත් රාජාවලියේ එන සඳහන තමා මම ඒ කරුණු කියන්න පාදක කරගෙන තියෙන්නේ.
මීගස්තැන්නේ අදිකාරම් සම්බන්ධව කරුණු කීපයක් පෝල් ඊ. පීරිස් මහතාගේ ත්‍රිසිංහල කෘතියේ සහ මට මතක විදිහට මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල පොතේ තිබෙනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහගේ අසාධාරණ තීරණ කීපයකට ඔහු එරෙහි වුණු බවත්, ඒ වගේම රජතුමා ඔහු ගැන සැක කරමින් සිරභාරයට අරගෙන නිදහස් කරපු බවත් අවසානයේදී ආහාර නොගෙන මියයන්ට යද්දී රජතුමාම පැමිණ ආහාර දුන් බවත් රජුට ගෞරවයක් විදිහට ඔහු ආහාර ගත්තත් අවසානයේදී මිය ගිය බවත් මතකයි.
කෝකටත් තව විස්තර හොයලා ඒ ගැන ලිපියක්ම ලියන්නයි හිතුවේ. ස්තුතියි කරුණු මතක් කළාට :)
හොඳ ලිපියක්.. මටනම් දිග වැඩී කියලා හිතුනා.. කෑල්ල කෑල්ල කියෙව්වෙ..
ReplyDelete@ හරී
Deleteමේක කොටස් වශයෙන් දානවට වඩා ඒක හොඳයි කියලා හිතුණා. කොටස් කළොත් මුල මැද අග අමතක වුණොත්
බොහොම හොද ලිපියක්, ස්තූතියි ලිපියට. ( කතාව ගලායාම ටිකක් තෙරුම් ගන්න අමාරු වුනා. ඒත් හොද පෝස්ට් එකක්. )
ReplyDelete@ zeeker
Deleteමේක ලියද්දීම මටත් ඒක හිතුණා. ඒක නිසාමයි අන්තිමට වාක්‍යයක් එකතු කළේ මේ විදිහට
"කවුරුත් මට බනින්න එපා කියලා තියෙන කතාවල කිසි ගැළපීමක් නැහැ කියලා. මේ සටහනේ අරමුණ වුණේ I විමලධර්මසූරිය රජතුමා ගැන තියෙන අප්‍රකට කතා ටිකක් කියන එක මිසක් රජතුමාගේ චරිතාපදානය කියන එක නොවන නිසා"
//සෑම විටම තම මස සමතුලිතව තබා ගැනීමටත් දක්ෂය//
ReplyDeleteමස/මනස???
@ ඊ මේල් කවිකාරි
Deleteමනස මනස.... :D
ස්තුතියි ඒක පෙන්නලා දුන්නාට. ඔන්න වැරැද්ද නිවැරදි කළා...
බණ්ඩාරවලියක් ලෙස කතා කෙරෙන මේ බණ්ඩාරවරු ඇතිවෙන්නේ ගම්පොල යුගයේ ඉදන් සිටිය රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ගේ දරුවන්ගෙන් කියලත් අදහසක් තියෙනවා. එහෙම බලද්දී නම් සෘජුවම නැතත් වක්‍රව හරි බණ්ඩාරවරුන්ට රාජ උරුමයක් තිබෙන බව පැහැදිලියි.
ReplyDelete-මඩ සෝදාගත් කල (උඩරට) ගොවියා රජකමටත් සුදුසුය් කියන්නේ මේ නිසා ලු ...
@ Anonymous 1
Deleteමේ සම්බන්ධව කතා කීපයක් තියෙනවා.
මෙහි ගොවියා කියන වචනය ගොවිතැන් කරන පුද්ගලයා කියලාම නෙමෙයි "ගොවි කුල වංශිකයන්" විදිහටයි ගන්න ඕනේ.
සාමාන්‍යයෙන් ගොවි කුළ වංශිකයන් තමා උඩරට රාජ සභාවේ ඉහළ රදළ නායකයන් වුණේ. ඒ වගේමයි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වගේ රජවරු ගොවි කුළයට සම්බන්ධ රජවරු.
විශේෂයෙන් සෙංකඩගල ආශ්‍රිතව තිබුණු උඩු නුවර, යටි නුවර කියන දෙනුවර ඇත්තන්ගේ [මේවාත් ගොවි කුළ වංශිකයන්ගේ පළාත්] කැමැත්ත අලුතෙන් පත්වෙන රජතුමාට අවශ්‍ය වුණා.
අනෙක කලිනුත් කිව්ව විදිහට රජවරුන්ගේ යකඩ දෝළි බිසොවරු හුඟක් ගොවි කුළ වංශිකයන් නිසා ගොවි කුල වංශිකයන් වුණත් රජ කරවන්න පුලුවන් කියන අදහසයි ගම්‍ය කරගන්න ඕනේ.
ඉතින් මේ කතාව නොක්ස් කිව්වේ උපහාසෙකට කියලත් කියනවා. ඕනෙම ගොවි කුළ වංශිකයෙක්ව රජ කරවන්න පුලුවන්. මොකද එයාලට රාජ ලේ තියෙන නිසා :D
ෂික්.. මමත් උඩුනුවර. දැනුත් ඔහොම තිබ්බනම් මමනම් රජා පත් කරන්න කැමති වෙන්නෙම නෑ..
Deleteබණ්ඩාර කියල නම තිබ්බ පලියට ගොවි කුලයේ වෙන්නෙ නෑ. දන්තුරේ සටන මෙහෙයවපු හමුදා නායකයගෙ නම මහ හේවා පේඩිගේ සරණසේවා බණ්ඩාර මෙයා බත්ගම කුලයේ කෙනෙක්.විමලධර්මසූරිය රජ්ජුරුවන්ගෙ තාත්ත තමයි මෙහෙණවර වංශික වීරසුන්දර බණ්ඩාර.මෙහෙණවර වංශිකයන්ට තමයි බෝධි වංශිකයන් කියන්නෙ.විමලධර්මසූරිය රජ්ජුරුවන්ගෙ මව ගොවි කුලයේ කාන්තාවක් බවයි පේන්නෙ. මාතලේ පැත්තෙ හිටිය හෙනරත්හාමි ගමරාලගෙ පුතා සෙනරත් රජකමට පාර කපා ගන්නෙ ඔය විදිහට.මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසු කථාව නොක්ස්ට අහන්න ලැබෙන්නෙ මේ විදිහට. දැන් මේ කථාවෙ ඉන්නව දුම්බර පලාතේ රන්හොටි මුදියන්සේ කියල කෙනෙක්.මගේ වාසගමෙත් රන්හොටි කියල කෑල්ලක් තියෙනව. මම ඉන්නෙත් දුම්බර තමයි. අපේ පවුලෙ කටින් කට එන පුරාවෘත වල හැටියට අපේ මී මුත්තෙක් දුම්බර පලාතේ උසස් නිලයක් දරපු කෙනෙක්. හැබැයි අපි ගමරාල වංශයට අයිති නෑ බෝධි වංශයටයි අයිති.වලව්කාර රදලයොයි ගොවියොයි කියන්නෙ දෙගොල්ලක්. මේ ගොල්ල ආවාහ විවාහ සබදතා පැවැත්තුවෙ නෑ කියල රොබට්ගෙ පොතේ තියෙනව.අනුරාධපුර පොලොන්නරු යුගවල ගොවි කුලය කියන්නෙ පහත්ම කුලයක්.කුඩින් හස්කරුවන් කියල සෙල්ලිපිවල ඉන්න මේ ගොල්ලට සලකල තියෙන්නෙ අද කාලෙ කුලී වැඩට යන අයවගේ තමා. මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.ඒත් මේ වංශෙ කබල් ගාන ගොවි කුලයේ අය මට පේන්න බෑ .
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteදැන් කරන්න දෙයක් නැහැ අයියා :)
අනික උඩු නුවර අයගේ විතරක් නෙමෙයි යටිනුවර, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, තුම්පනේ, උඩ පළාත කියන පැතිවල ඉන්න රදළයන්ගේ කැමැත්තත් බලනවා නොවැ
@ Anonymous 3
Delete"විමලධර්මසූරිය රජ්ජුරුවන්ගෙ තාත්ත තමයි මෙහෙණවර වංශික වීරසුන්දර බණ්ඩාර.මෙහෙණවර වංශිකයන්ට තමයි බෝධි වංශිකයන් කියන්නෙ"
ගම්පොළ රාජධානි සමයේ සිඳුරුවාණේ හිටිය අටළොස් බණ්ඩාරවරුන්ගෙන් කොනප්පු බණ්ඩාර පැවැත ගෙන එනවා කියන කතාව එන්න ඇත්තේ ඒක නිසා වෙන්න ඇති. මේ අටළොස් කුළයෙන් වීරසුන්දර බණ්ඩාර අයිති වෙන්නේ "උරුලෑවතු ගම්පසේ මේණවර වංශයට".
ඒත් රාජාවලියේ දක්වන්නේ පේරාදෙණිය වලියෙන් වීරසුන්දර බණ්ඩාර පැවැත එනවා කියලා. මහාවංසය දක්වන්නේ ගම්පොල රාජ පෙළපතින් විමලධර්මසූරිය පැවත ගෙන එනවා කියලා.
වංසේ කබල් ගාන එක ගැන නම් මගෙත් පැහැදීමක් නැහැ...
මේ සටහනට ඔබත් වටිනා තොරතුරු කීපයක්ම එකතු කරලා තිබුණා ස්තුතියි ඒකට. ඉදිරියටත් ඒ සහය ලබාදෙයි කියලා හිතනවා :)
neyama lepiyak.
ReplyDelete@ Anonymous 2
Deleteස්තුතියි ඔබටත්
අයියෝ......
ReplyDeleteකුසුමාසන දේවිය දෝන කතරිනා.........
කුසුමාසන දේවිය දෝන කතරිනා........//
මම ආසම ඒ පාර්ට් එකට... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteකුසුමාසන දේවිය ගැන පවු කියලා හිතෙන්නේ නැද්ද ? එතුමිය රාජ්‍ය සේවය පිණිසයි වුණු එක ගැන දුක නැද්ද ?
ඉතාමත් වටිනවා. ඔබ ලියන්නේ කාටත් ප්‍රයෝජනවත් දේ. ඉතිහාසය නැති වෙලා යන්න කලින් විද්‍යුත් ලිපි විදිහට මේවා ලියවෙන එක හරිම වටිනවා. අපි ඒ යුතුකම කරමු. නැවත් ඉක්මනට එන්න.
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා
Deleteඔබේ කතාවට මම 100% ක්ම එකඟයි. දැනට හොයා ගන්න පහසු ඒත් ඉස්සරහට හොයාගන්න අපහසු ඒ වගේම දැන් කාලෙත් හොයාගන්න අපහසු පොත්පත්වල තියෙන අප්‍රකට ඉතිහාස කරුණු හැකිතාක් අන්තර්ජාලගත කරන්නයි මගේ අරමුණ....
ඒ කාර්යය අපි ඉදිරියටත් කරමු
සද්කාර්යක්.. ඔබට ජය.
Delete@ ක්සැන්ඩර් | Xander
Deleteස්තුතියි ස්තුතියි :)
අද ලිපිය ටිකක් විතර දිග වැඩි උනාට. ලිපියෙන් ගන්ඩ තියෙන දේවල් බොහෝමයි.
ReplyDeleteකාලයකට උඩදි සිහ ශක්ති ගායක කණ්ඩායමේ ගීයක් මතක් උනා.
පරසිදු කරලියැද්ද
මුව කිරුලිස පැලැන්ද
කුසුමාසන දේවිය
දෝන කතිරිනා
දිග නම් ගම් මොකටද
සිංහාසන කුමටද
සෙන්කඩගල ඇගෙ
රජ මැදුර සමානා
@ මධුරංග
Deleteසිංදුව ලස්සන වුණත් කුසුමාසන දේවිය ගැන නම් මගේ හිතේ තියෙන්නේ කණගාටුවක්. රජුන් තනන්න උදව් වුණු එතුමිය ගැන කවුරුවත් සැළකිලිමත් වුණාද කියන එක ප්‍රශ්නයක්.
ඒ නිසාම වෙන්න ඇති අවුරුදු 35 ක් වගේ අඩු වයසකින් එතුමිය මිය යන්නේ
@මධුරංග
ReplyDeleteපරසිදු කරලියැද්ද
දුව කිරුලිස(කිරුල හිස)පැලැන්ද
@ Anonymous 3
Deleteස්තුති නිවැරදි කරන්න උදව් වුණාට
අප්පො + හාමු = අප්පුහාමි
ReplyDelete@ කතන්දර Kathandara
Deleteආහ් ඔය තියෙන්නේ අප්පුහාමි හැදුණු විදිහත් :)
හරිම වටිනා ලිපියක්...කියවලා ගෙඩොක් කරුණු දැන ගත්තා...නැවත බලන්න ඕනෑ..
ReplyDeleteහදවත ගැන සංවේදී බවක් දැනුනා....
@ දම්මි
Deleteඇත්තටම මටත් මේ ලිපිය ලියන්න ඕනේ කියලා මුලින්ම හිතුණේ විමලධර්මසූරිය රජතුමාගේ හදවත නොපිළිස්සී තිබුණා කියන කතාව දැනගත්තාට පස්සේ තමා
වැදගත් ලිපියක්...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මිත්‍රයා
අති විශිෂ්ටයි හසිත.
ReplyDelete1 රජතුමාගේ පාදයේ ආභරණය පාද ජාල කියන එක නෙවෙයිද?
2. බණ්ඩාරලා ගැන මෙහේ පැරැන්නෝ තවමත් කියන්නේ යකඩ දෝලියන්ගේ පුතුන් කියලා. ඒ හින්දම බණ්ඩාර කියන නම ගන්නත් ඒ නම තියන ය ටිකක් ආඩම්බර වෙන්නත් ඔය හේතුව බලපානවා. (වත්මනේ කෙසේ වලංගුයි සිතා බැලිය යුතුයි.)
3. චිත්‍ර ටිකක් යුරෝපා අභාෂයට වැඩියි නේද?
@ ක්සැන්ඩර් | Xander
Delete1. පාදජාලා කියන්නේ මේස්වලට. රොබට් නොක්ස්ගේ කෘතියේ ඔහු දක්වනවා රාජසිංහ රජතුමා පාදජාලා හා පාවහන් පළඳිනවා කියලා. ඒ කියන්නේ වර්තමාන විදිහට නම් මේස් දාලා සපත්තු දානවා කියන එක
2.අනිවාර්යයෙන්ම ඇත්තටම බණ්ඩාරලා නම් ආඩම්බර වෙන්න ඕනේ. රාජකීය ලේ නොවැ තියෙන්නේ...
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාත් යකඩ දෝළියක පුත්‍රයෙක්ලු. විමලධර්මසූරියගෙන් පස්සේ නරේන්ද්‍රසිංහ කුමාරයාව රජකමට තෝරගන්න රාජ සභාවේ පැවැත්වුණු සාකච්ඡාවට කුමාරයා ආපුවාම රජතුමා කියනවා වැඩිහිටි රදළයන්ට වඳින්න කියලා.
එතකොට කුමාරයා කියනවා "පිය රජතුමනි, මගේ මව් ගොවි කුල රදළ කාන්තාවක්. ඒත් මගේ පියා සූර්ය වංශෝද්භූත ක්ෂත්‍රීය රජෙක්. එතුමා ඉදිරිපිට මෙහි සිටින ගොවි කුල රදළයන්ට රජකම උදෙසා වඳිනවා නම් ඒක රිවිකුල පරපුරට කරන බලවත් නින්දාවක්" කියලා.
කොහොමද අභිමානය :)
3. මට ඒක කලින් සඳහන් කරන්න අමතක වුණා අයියේ. ඔන්න දැන් ඒක සඳහන් කළා. ස්තුතියි මතක් කළාට. මේ රූප ඔක්කොම වගේ ඇඳලා තියෙන්නේ විදෙස් ජාතික චිත්‍ර ශිල්පීන්.
චිත්‍ර රැසක් උපුටා ගත්තේ ඕලන්ද ජාතික Philippus Baldaeus විසින් රචනා කරන ලද Description of The East Indian Countries of Malabar, Coramandel, Ceylon කෘතියෙන්.
ඒ හැරෙන්න අනෙක් චිත්‍ර සොයා ගත්තේ අන්තර්ජාලයෙන්.
අදටත් උඩරැටියෝ ගොඩක් දෙනා හරිම ආඩම්බරකාරයෝ.. සමහර විට ලේ උරුමේ වෙන්නැති. කතාවක් තියනවා අහල තියනවද? උඩරට මිනිස්සු පස්සෙන් යන්නේ නෑ කියල? ඒ කතාව ඇත්ත..
Deleteපාද ජාල කිව්වම දැලක් වෙන්න එපැයි. හරි.. ගොඩක් ස්තුතියි මල්ලි..
(විමලධර්මසුරිය රජතුමාගේ හදවත දැවුනේ නෑ කියන එක මම අහලම නෑ.)
@ ක්සැන්ඩර් | Xander
Deleteඋඩරට මිනිස්සු නම් හරි ආඩම්බරයි තමා. ඒත් අපිට හිටිය අන්තිම රජ්ජුරුවෝ පාවා දුන්නෙත් ඒ මිනිස්සුමයි. ඒ වගේම ඒ රජතුමාව තමන්ගේ වාසියට පත් කරගත්තෙත් ඒ මිනිස්සුමයි. ඒක නිසා ඒ ආඩම්බරේ නම් මම තඹ සතේකට ගණන් ගන්නේ නැහැ.....
ඇත්තටම හසිත හරි රට සුද්දට ගියෙත් උඩරට මිනිස්සු නිසා. එහෙම වෙලාත් බොරු ආටෝපයක් මවාගෙන අපි නුවර කියල හිතන් ඉන්න අය මටත් පෙන්නන්න බෑ...
Delete@ අසරණයා
Deleteඒක ඇත්ත අයියා. ආඩම්බර වෙන්න ඕනේ දේවල් තියෙනවා. ඒත් උඩරැටියන් කරලා තියෙන දේවල් එක්ක බලද්දී එයාලට එහෙම ආඩම්බර වෙන්න පුලුවන්ද කියන එක ඇත්තටම ගැටළුවක්
@ අසරණයා
Deleteවලව්කාරයො කීප පොලක් කල දේට උඩරට මිනිස්සු ඔක්කොම පලිද?. උඩරට මිනිස්සු නැත්නම් මේක අද පෘතුගීසි කොලණියක්.
@ Anonymous 5
Deleteඑක මකුණෙක් කාපුවාම ඔක්කෝම මකුණෝ මරනවා වගේ උඩරැටියන් කීප දෙනෙක් නිසා සමස්ත උඩරැටින්ටම බැනුම් අහන්න වෙනවා තමා.
ඒ වගේමයි උඩරට මිනිස්සු නැත්නම් මේක අද පෘතුගීසි කොළණියක් කිව්වට ඒකේ ගෞරවය උඩරට මිනිස්සුන්ට විතරක් නෙමේ උඩරට රජතුමාටත් හිමිවෙන්න ඕනේ. උඩරට රජතුමා නිසා තමා 1815 වෙනකම් හරි සිංහලකම බුද්ධාගම ඒ ආකාරයෙන් රැකිලා තිබුනේ. 1815 උඩරට රජතුමාව පාවා දුන්නාට පස්සේ මේක ඉංග්‍රීසි කොළණියක් වුණු හැටි මතකනේ.
ඒකට පාර කපා ගත්තේ කවුද කියන එක පැහැදිලියිනේ
සර් අපට අද නිවාඩු දවසේ හෝම් වර්ක් දීලා. එකපාරක් කියවලා ඉවර කලා. ආයම පාරක් කියවන්ට ඔනේ.:D
ReplyDeleteහිත ඇදලා ගත්තේ විමල්ධර්මසුර්ය රජුගේ 'නොදැවුනු හදවත 'කියන කොටස.
නොදන්න කරණු ගොඩාක් රසවත් විදියට ඉදිරිපත් කරලා තියනවට හසිතට ස්තූතියි.
@ Podi Kumarihami
Deleteඔව් ඔව් ළමයෝ. මේ කතාව එක දිගට ගලාගෙන යන්නේ නැති නිසා එක පාරට තේරෙන්නේ නැහැ. උවමනාවෙන් දෙතුන් පාරක් කියවන්න ඕනේ.
රජතුමාගේ නොදැවුණු හදවත කොටස තමා මාත් ආසම කොටස. මේ ලිපිය ලියවුනේත් ඒක නිසාමයි.
විමලධර්මසූරිය රජතුමා හිටියේ නැත්නම් 17 වන සියවසේ ආරම්භයේ ඉදන්ම ලංකාව විජාතිකයින් පාලනය වන රටක් වෙනවා වගේම බුදු දහම සහමුලින්ම නැතිවෙලා කතෝලික රටක් බවට පත්වෙන්නත් හොඳටම ඉඩකඩ තිබුණා
මම අනාවැකියක් කියන්නම්.... සඳරු ගේ හිස් අහසට පස්සේ ඒ තැනට ලගවෙන්න මේ බ්ලොග් එකට තව වැඩි කාලයක් ගතවෙන එකක් නෑ
ReplyDelete@ Anonymous 4
Deleteබොහොම ස්තුතියි ඔබේ අනාවැකියට... මම මේ සටහන් ලියන්නේ ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි. මගෙන් විය යුතු වගකීම විදිහට සළකලා... ඒක තක්සේරු කරලා ඒක වටිනාකමක් දීම හෝ නොදීම පාඨක ඔයාලගේ කාර්යය. නැවත වරක් ස්තුතියි ලබාදුන් සවියට. ඉදිරියේදීත් එකතු වෙන්න
මම ලියන්නෙත් ඉතිහාසය ගැන බං අපේ පැත්තෙත් ඇවිල්ල යන්නකෝ
ReplyDelete@ යසිරු
Deleteඔන්න එක පාරක් නෙමේ තුන් හතර පාරක්ම ඒ පැත්තේ ඇවිත් ගියා :D
මගේ අම්මෝ මේකේ දිග
ReplyDeleteමන්දනං හිටපු ඒවා වගේම නොදැන හිටපු ඒවා ගොඩක් තිබ්බ
හොඳ ලිපියක් ..
@ පුබුදු
Deleteදිග වැඩිවුණාට මලේ අගේ වැඩියිනේ. නොදන්නා යමක් දැනගත්තා නම් ඒ ගැන සතුටුයි :)
දිගේ වැඩියක්නං අනිත් අය කියනකං දැණුනෙ නෑ.. එකදිගට කියවගෙන ආව නෙව... මේ... කුසුමාසන දේවියගෙ පින්තූරයක් හෙම නැද්ද බලාගන්ට! ;-)
ReplyDeleteලංකාවෙ රාජාවලිය රුක් සටහනක් වගේ සටහන් වුණ තැනක් නැද්ද මචෝ හොයාගන්න. ඔය I, II, III කෑලි එක්ක නම් කියවෙනකොට ටැපලෙනවනේ... එහෙම නැත්තං පොඩි යෝජනාවක් විධියට උඹට එහෙම එකක් හදන්න ට්‍රයි කරන්න කියල කියන්න කැමතියි!
@ hare :-)
Deleteකුසුමාසන දේවියගේ පින්තූර කෑල්ලක් තිබුණේ උඩ හරියේම කුසුමාසන දේවිය සහ පෘතුගීසීන් කියලා.... ඒක තමා මට නම් හම්බුණු පින්තූර කෑල්ල
රාජාවලියේ රුක් සටහනක් නම් එහෙමම නැහැ. හැබැයි මට මතක විදිහට ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පොත් පෙළේ නම් ඒ ඒ රාජධානිවල හිටිය රජවරුන්ගේ රාජාවලිය රුක් සටහන් ක්‍රමයකට දාලා තිබුණා වගේ මතකයි.
ඔයාගේ යෝජනාවත් හොඳයි අයියේ. උත්සහයක් දීලා බලන්නම්... මේ දවස්වල ලියවෙන්නේ උඩරට ගැන නිසා මුලින්ම උඩරට රාජාවලියෙන්ම පටන් ගන්නම්.......
ඉතිහාස කතා කියවන්න ඒ කාලේ ඉඳලම පුදුම ආසාවක් තියෙන්නේ... අර මල්ලී කියල තියෙන පොත් ලිස්ට් එකේ අන්තිමට තියෙන, ඩී. පී. වික්‍රමසිංහ මහත්තයගේ මග දිගට ජනකතා කියන පොත මං බොහොම ආසාවෙන් කියවපු එකක්...
ReplyDeleteඇත්තටම වටින ලිපියක් මලේ...
ගොඩක් වැදගත් දේවල් ටිකක් දැන කියා ගත්තා...
@ sansarasidu
Deleteස්තුතියි අයියේ අදහස්වලට.
මග දිගට ජනකතා පොතේ දෙවෙනි කොටසකුත් නිකුත් කරලා තියෙන්නේ. වික්‍රසිංහ මහත්තයා අවසන් කාලේ තමා ඒ පොත රචනා කරමින් ඉදලා තියෙන්නේ.
ඒක නිසා ඒ කාලේ මුද්‍රණය නොවුනත් දැන් ඒක මුද්‍රණය වෙලා තියෙන්නේ. ඒකත් සූරිය පොතක්. පුලුවන් නම් හොයාගන්න තව හොඳ හොඳ කතා ගොඩක් ඒකෙත් තියෙනවා.
පට්ට ලිපියක් සහෝ.... මේක ලියන්න සෑහෙන්න මහන්සිවෙලා තියන පාටයි... මම ලිපිය වේගයෙන් කියෙව්වා... හැබැයි ආයෙමත් ඇවිල්ලා හිමිහිට නිවී සැනසිල්ලේ කියවන්න ඕන... ඒතරම් වටිනවා
ReplyDelete@ තොටියා
Deleteනිවී සැනසිල්ලේ කියවන්න. ඒ වගේම මේ කරුණු තවත් අයට කියලා දෙන්න. අපේ ඉතිහාසයට ආදරේ කරන පිරිසක් අපි ඒ විදිහට හරි හදමු.
සෑහෙන වටින ලිපියක් මලයා.. මුල ඉදන් කියෙවුවේ හරිම කැමැත්තෙන්.. ඕනම කරන තැන් වල පින්තූරත් තිබ්බ එක මාරම වටිනවා.. දිග වැඩියක් නම් මම දන්නේනෑ.. ඔක්කොම තිබ්බ එක හොදයි කියලයි මම නම් හිතන්නේ..
ReplyDeleteඋඹට ජය මල්ලියේ..
@ Dinesh
Deleteඅපි දෘශ්‍ය මාධ්‍යයට වැඩි අවධානයක් යොමු කරනවානේ. ඒ වගේමයි ඒ සමහර පින්තූර හොයාගන්න එක ලේසි නැහැ.
හොයා ගත්තත් මොකක්ද කියලා දැනගන්නත් ටිකක් අමාරුයිනේ. ඒ ප්‍රශ්න ඔක්කොම මේකෙන් නිරාකරණය කරලා තියෙන්නේ....
ස්තුතියි සුබ පැතුමට අයියේ :)
හදිසි නිසා භාගෙට කියෙව්වෙ. මොන තරන් වැඩ තිබ්බත් මේ වගේ හොඳ දෙයක් අගය නොකර කොහොමද මලේ. උඹට ජය.
ReplyDelete@ ඉන්දික උපශාන්ත
Deleteඉතුරු ටිකත් නිසකලන්කේ කියවන්න අයියා.... ස්තුතිය් වැඩ raajakaari අස්සේ වුනත් ඇවිත් ගියාට :)
බොහෝම වටිනවා ඉතාව අගේ ඇති ලියමනක්..!
ReplyDeleteතවත් ලියන්න..,
ස්තූතියි,
ජය!
@ Lishan Puwakowita
Deleteස්තුතියි අයියා.. මේ වැඩවලට උත්ප්‍රේරක වුණු අය අතරේ ඔයත් එක්කෙනෙක්. දුක්ගන්නාරාළලා ගැන ඔයා කාලෙකට කලින් ලියපු සටහන ගැන මතකයි නේද ??
බොහොම වැදගත්.. ලිපියක්... මම කොච්චර පොඩ්ඩද දන්නෙ මේ ඉතිහාස කතා ගැන.
ReplyDeleteස්තූතියි මේ මහන්සියට. අඩු ගානේ දැන්වත් ඉතිහාසය ඉගන ගන්ඩ.. ( සයුරිගෙන් සහ හසිතගෙන් )
@ Senna
Deleteරෝමේ එක දවසකින් හැදුණේ නැහැලුනේ. අපිත් පොඩ්ඩ පොඩ්ඩ ඉතිහාසේ ඉගේ ගනිමු අයියා.
සයුරි අක්කාගෙන් ප්‍රකට ඉතිහාසය මේ blog එකෙන් අප්‍රකට ඉතිහාසය. ඒ දෙකේ සම්මිශ්‍රණයෙන් ලොකු දැණුමක් ගන්න පුලුවන්
පොඩි කාලේ මගේ ආසම විෂය වෙලා තිබුනේ ඉතිහාසය..එතනිනුත් මම කියවන්න හොයන්න ආසම කරපු චරිතයක් තමා විමලධර්මසූරිය රජතුමා..
ReplyDeleteස්තුතියි හසිත..
ඔක්කොම කියවන්න බැරි වුනත් පස්සෙ දවසක ඉතුරු ටිකත් කියවන්න එන්නම්..
@ රූ....
Deleteමගේ පොඩි කාලේ ඉදන්ම අද දක්වාම ආසම විෂය ඉතිහාසය නොවැ :)
අපි කතා කරන ඉතිහාසයේ ප්‍රධාන තැනක් දෙන රජවරුන්ටත් වඩා ලොකු වැඩ කොටසක් කරපු රජවරු ඉන්නවා. ඒ අතරට මහා විජයබාහු, කාවන්තිස්ස, තුන්වෙනි විජයබාහු, පළවෙනි විමලධර්මසූරිය වගේ රජවරු එකතු කරන්න පුලුවන්
නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි පෝස්ට් එකට
ReplyDelete@ පිණිබිඳු...
Deleteනොදන්නා යමක් දැනගත්තා නම් සතුටුයි අක්කේ. ඒක තව අයටත් kiyaa දෙන්න එතකොට තවත් සතුටුයි :)
I විමලධර්මසූරිය කියන්නේ ඉතිහාසයේ මම ප්‍රියකරන චරිතයක්.උපායශීලීව පෘතුග්‍රීසීන්ගෙන් ගතයුතු දේ අරගෙන නිසි වෙලාවෙදි ඉදිරියට පැමිණ බලය ලබාගෙන ස්ථාවර රාජ්‍යයක් බිහිකළ වීර චරිතයක්.ස්තූතියි ඔබේ වටිනා ලිපියට වගේම පින්තූර වලටත්.
ReplyDeleteකුසුමාසන දේවිය ගැන කණගාටුයි. ඇය දේශපාලන බල අරගලයේ ගොදුරක් වුණු කාන්තාවක්.
@ තපස්
Deleteඅනිවාර්යයන්ම.
1594 කරපු පෘතුගීසි සමූල ඝාතනය වගේම 1603 පෘතුගීසින් විශිෂ්ට පසු බැසිම කියලා හඳුන්වන සටන ජයගන්න විමලධර්මසූරියට පුලුවන් වෙන්නේ පෘතුගීසින් ගාව ඉදලාම යුධ උපායන් හදාරපු නිසා.
1602 උඩරටට එන ස්පිල්බර්ජන් පුදුම වුණාලු සෙංකඩගල ආරක්ෂක සංවිධානය දැකාලා
කුසුමාසන දේවිය ගැන ඔබේ කතාවට එකඟයි මටත් කියන්න උවමනා වුණේ ඒක තමා
හොද පැහැදිලි කිරීමක් මල්ලි. මම අහලා තියෙන විදියට දෝන කතිරිනා බිසවට 1වන විමලධර්මසූරිය රජු හොදින් ආදරයෙන් සලකලා තියෙනවා. දරුවන්ටත් ඒ වගේමයි. කලින් විවාහය ගැන හොද විස්තරයක් ලිපියේ තියෙන්නේ. තවත් ලියන්න මේ වගේ ලිපි. ඉතිහාසය නොදන්න අයට දැනකියාගන්න හොද අවස්ථාවක් මේක.
ReplyDelete@ malmi
Deleteවිමලධර්මසූරිය වගේම සෙනරත් කියන රජවරු කුසුමාසන දේවියට ආදරය කරන්න ඇති. හොඳට සලකන්න ඇති. ඒත් ඇයව තේරුම් ගත්තාද කියන එකයි මට හිතට එන ප්‍රශ්නය.
ඉදිරියටත් පුලු පුලුවන් විදිහට ලියනවා අක්කේ. ඔයාලත් එන්න ඇවිත් යන්න.
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා... ස්තූතියි.
ReplyDelete// යවීරගේ ඉල්ලීමක් වුණේ තමන්ගේ මස්සිනා කෙනෙක්ට කුසුමාසන දේවියව සරණ පාවා දෙන්න කියලා. ඒක ඉටු නොවුණාම ජයවීර සැඟවෙලා හිටිය I විමලධර්මසූරිය රජතුමා එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒක පෘතුගීසීන්ට අසුවුණු නිසා ජයවීරව මරා දමන්න ඔවුන් කටයුතු කරනවා. මෙතනදි I විමලධර්මසූරිය රජතුමා උපායෙන් තමයි ජයවීර ව මරවන්නෙ. හිතලා ම ඒ ලියුමක් පෘතුගීසීන් ට අහුකරවනවා.
රන්හොටී මුදියන්සෙ ගේ දුව බලන්න ගිහින් කොනප්පු බණ්ඩාර ව ගමේ මිනිස්සු එකතු වෙලා ගස් බැන්ද කතාවකුත් තියෙනවා.
කුසුමාසන දේවිය මියයන්නෙත් තමන්ගේ පුත් කුමාරයා ගඟේ ගිල්වලා මරලා දැම්ම ශෝකයෙන්. නමුත් සෙනරත් රජතුමා බිසවට ගොඩ ආදරය කරලා තියෙනවා. රජතුමාගේ මරණයටත් මේ සිද්ධිය ගොඩක් බලපෑවා කියන්න පුළුවන්.
@ ලහිරු
Deleteජයවීර මරවන එක රජතුමාගේ උපායශීලිත්වය. රජෙක් වුනාම චතුර්විධ උපායෙන් [සාම, දාන, භේද, දණ්ඩ] රාජ්‍ය පාලනය කරන්න ඕනෙලු..
කොනප්පු බණ්ඩාරව ගස් බැන්දට පස්සේ එයාව බේරගන්න දඩයක්කාරයෙක්. රජවුණාට පස්සේ ඔහුට කළගුන සළකනත් රජතුමා අමතක කරන්නේ නැහැ. මේ කතාව මගදිගට ජනකතා පොතේ සවිස්තරාත්මකව තියෙනවා. මම හුඟක් කෙටියෙන් ඒක ලිව්වේ.
විමලධර්මසූරිය වගේම සෙනරත් කියන රජවරු කුසුමාසන දේවියට ආදරය කරන්න ඇති. හොඳට සලකන්න ඇති. ඒත් ඇයව තේරුම් ගත්තාද කියන එකයි මට හිතට එන ප්‍රශ්නය.
ස්තුති ඔබත් එකතු කරපු පැහැදිලි කිරීමවලට :)
විමලධර්මසුරිය රජතුමා ගැන හොය හොය හිටියේ.. මම සමාජ අධ්‍යනය ගොඩ දා ගත්තේත් ඔය ටිකෙන් එල අයියේ එල.. ගොඩක් වටිනවා ...
ReplyDeleteගරිල්ලා සටන් ක්‍රම ගැනත් ලියන්නකෝ
@ ....ජනියා....
Deleteමොකටද මලයා විමලධර්මසූරිය රජතුමා ගැන හොය හොය හිටියේ ??
ගරිල්ලා සටන් ක්‍රම ගැන නම් මම එච්චර දන්නේ නැහැනේ.ඒත් බලමුකෝ කෝකටත් උත්සහයක් දාලා
ඒක හුස්මට කියවගෙන ගියා. අපි නොදන්නා කරුණු මෙච්චර හොයාගෙන ලේසියෙම් අපිට කියවන්න සැලැස්වීමට ගොඩාක් ස්තුතියි. ඉතුරු කතා ටිකත් එනකන් ඉන්නේ.
ReplyDelete@ අසරණයා
Deleteස්තුතියි අයියා. අප්‍රකට කතා එනකම් බලාගෙන ඉන්න අයගේ ලිස්ට් එකට ඔන්න ඔයාවත් දාගත්තා :D
විශිෂ්ඨයි
ReplyDelete@ ශානු
Deleteස්තුතියි :)
Super post. Loved reading it.
ReplyDeleteWho are these concubines you speak of? Are they the ordinary non-royal women of the king's harem? I haven't heard the term "yakada dholi biso" before.
Always felt sad about Kusumasana Devi. I dont suppose anyone ever asked for her opinion.
@ shammi
Deleteරජෙක්ට ලැබිය යුතු පංච කාම සම්පත්තියෙක් එකක් විදිහට දක්වන්නේ බිසෝවරුන් නාටක ස්ත්‍රීන් ආදිය පිරිවරාගෙන ලබන සැපය. ලංකාවේ රජවරුන්ටත් බිසෝවරු කීප දෙනෙක් හිටියා වගේම අන්තඃපුර පැවති බවත් කියවෙනවා.
බිසෝවරුන් කීප දෙනෙක් හිටියත් ක්ෂත්‍රීය කුලයේ සූර්ය වංශික කුමාරිකාවක් රජතුමාගේ අග බිසව වීම අනිවාර්යය කරුනක් වුණා. ඒක ඉෂ්ට වුණොත් තමයි රාජාභිෂේකය නිසි පරිදි කරන්න පුලුවන් වුණේ.
ඒ වගේමයි අග බිසව ඒ කොන්දේසි සපුරාලීමෙන් අග බිසවගේ පුතා උභය කුල පාරිශුද්ධ අයෙක් වන නිසා පිය රජතුමාගෙන් පසුව රජකමට පත්වීමටත් ඒ කුමාරයට ප්‍රශ්නයක් වුනේ නැහැ
අග බිසව රජතුමාගේ අන්තඃපුරයේ සිටි සියලුම බිසෝවරුන්ගේ නායිකාව වුණු නිසා ඇයට "රන්දෝළිය" කියන නම භාවිතා වෙලා තියෙනවා.
අනික් සියලුම බිසෝවරුන්ට භාවිතා වුණු නම වුනේ "යකඩ දෝළි" කියන එක. ඒ නමින්ම ඒ බිසෝවරු අප්‍රධාන බව හඟවලා තිබෙනවා.
බොහෝ වෙලාවට රජවරුන්ගේ යකඩ දෝළි වුණේ ගොවි කුල වංශික කාන්තාවන්. මේ හැරෙන්න සාමාන්‍ය කාන්තාවන්, වැදි කාන්තාවන් පවා රජතුමාගේ යකඩ දෝළියන් අතර සිටි බවයි කියවෙන්නේ. මේ බිසෝවරුන්ව අනියම් බිසෝවරු නමිනුත් හඳුන්වලා තිබෙනවා
මේ නිසා රජතුමාගේ යකඩ දෝළි පුත් කුමාරවරුන්ට රජකම ලැබුණු අවස්ථාව අතිශය දුර්ලභයි. ඒකට හේතුව වුණේ අර කලින් කිව්ව යකඩ දෝළි කුමාරවරු උභය කුල පාරිශුද්ධ අය නොවුනු නිසා.
මේ කුමාරවරුන් බොහෝ වෙලාවට ප්‍රාදේශීය පාලනය සම්බන්ධ වූ බව තමා කියවෙන්නේ. මේ කුමාරවරුන්ගේ නමේ අගට "බණ්ඩාර" යන්න යෙදී තිබෙනවා.
Hey, thanks :)
DeleteI'm learning a lot!
@ shammi
DeleteMy pleasure :)
ඉතා සතුටින් ඔයාගෙ බ්ලොග් එක කියවන්නෙ හසිත. තව අවුරුදු කීපයකින් පස්සෙ අපේ රටෙ නමගිය history professor කෙනෙක් වෙයි නේද???
ReplyDelete@ ඊ මේල් කවිකාරි
Deleteබොහොම ස්තුතියි ඔබතුමිය දුන් ශක්තියට. අපි ඉස්සරහට බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා :)
ස්තුතියි සහෝදරයා මම ඉතිහාසය උගන්වන ගුරුවරෙයෙක් අපිට අමතර පොත් නෑ ළමයිනට අමතර දේ හොය දෙන්න.බෙහොම පින්
ReplyDelete@ bandula
Deleteමේ ප්‍රතිචාරය ගැන මම අතිශය සතුටු වෙනවා. මගේ වගකීම නිසි පරිදි ඉටු කළා කියන පහන් හැඟීම තමයි මේක දැක්කාම මට එන්නේ.
ඔබතුමාගේ පාසලේ ළමයින්ට ඉතිහාසය සම්බන්ධ පොත් පත් හොයාගන්න බැරි එක ගැන කණගාටුයි.
මේ මගේ ඊ මේල් ඇඩ්‍රස් එක. hachagu@gmail.com මට ඊ මේල් එකක් එවන්න ඉස්කෝලේ විස්තර වගේම ඉස්කෝලෙට ඕනේ කරන ඉතිහාස පොත් ගැන කියලා. ඒ අඩුව පුරවන්න අපිටත් යමක් කරන්න පුලුවන් වෙයි.
Very informative and interesting article.i too have always been interested in history.
ReplyDeleteDo you have a collection of your articles?
Menaka from Nugegoda
ReplyDeleteඒක කරුණක් වෙනස් වෙයි මා අසා ඇත්තෙ.
ReplyDeleteජයවීර ට තමා ලොකු ම සේනාව ඉදලා තියෙන්නෙ. ඒ නිසා ජයවිර සමග රජු සම්බන්ධ බවපෘතුගීසීන්ට ඇගවූයෙ රජතුමායි. ඒවගේම පෘතුගීසින්ට අහුවෙන්නටම, උන්ට විරුද්ධව රජු සමග ජයවවීර කුමන්ත්රණ කරණ බව ඇතුලත් සංදේශයක් පණිවිඩකරුවකු අතේ යවනිනෙ රජතුමායි. ඔහු හිතාමතාම පෘතුගීසි විට අහවෙලා, සංදේශ වත් දෙනවා. මෙය දුටු පෘතුගීසි න් ජයවීර මරණවා. පරාජයට ඉන් මග පෑදෙනවා.
අනෘක උඩරට පාවාදීම. උඩරට මිනිසුන් වසර 300ක් අමාරුවෙන් නිදහස අල්ලාගෙන හිටියෙ. මල්වෑනේ ගිවිසුමෙන් අසවේදු ට මටහිමි රාජ්‍යය පෘතුගාලයේ රජුට පවරමි කියලා ධර්මපාල ලියලා දුන්නා. ඒ වගේම උඩරට ආක්‍රමණය ට ආ විදේශීය හමුදාවල පහතරට සිංහලයෝ විවෘත තනතුරු දැරුවා. තම රටට විරුද්ධව පිටරටට ගැතිව සටන් කලා. උනුත් එක්ක සටන් කරපු කන්ද උඩරැටියන් ශ්‍රේෂ්ඨ නැද්ද.