Saturday, May 19, 2012

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04

Nossa Senhora das Portas do Ceu දේවස්ථානය

පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය -  Our Lady of Heaven's Door] 

මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් 

"Foi construido pelo Principe de Candia"

මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ කන්දේ කුමාරයා විසින් බවයි.

පෘතුගීසින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට හඳුන්වනු ලැබුවේ මේ Candia වදනින්. උදාහරණ ලෙස දැක්වුවහොත් 1652 දී පෘතුගාල රජු වුණු IV ජෝන් විසින් ලංකාවේ කන්ද උඩරට පාලකයා වුණු II රාජසිංහ රජුට එවූ ලිපියක ආමන්ත්‍රණය යොදන්නේ Nobre e Honrado Rey de Candia [සිංහල අර්ථය උතුම් වූත්, ගරු කටයුතු වූත් උඩරට රජු]
ඊළඟට අපිට නැගෙන ප්‍රශ්නය තමයි පෘතුගාලයේ වාසය කළ උඩරට කුමාරයා කවුද ? මොකක් නිසාද ඒ කුමාරයා පෘතුගාලයේ වාසය කළේ ? ඒ වගේමයි ඒ කුමාරයා පෘතුගාලයේ ක්‍රිස්තියානි පල්ලියක් ඉදිකරන්න හේතුව මොකක්ද ? [මේ අන්තිම ප්‍රශ්නේ නම් හුඟක් වෙලාවට අපිට ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පාලකයා බෞද්ධයෙක් විය යුතුයි කියන පිළිගැනීම තිබෙන නිසා]

අද ආගිය කතාවෙන් එන අප්‍රකට ඉතිහාස කතන්දරය වෙන්වෙන්නේ ඒක කතාව කියන්න.

මේ කතාව ආරම්භ වෙන්නේ 1582 දී සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කිරීමත් සමඟ. ඒ ආක්‍රමණය නිසා උඩරට පාලකයා වුණු කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ බිසව, පුතා, දියණිය වුණු කුසුමාසන දේවියත්, බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතාගෙන ත්‍රිකුණාමලයට පලා යනවා. 

ත්‍රිකුණාමලයේදී සිදුවෙන අභාග්‍ය සම්පන්න තත්වය වෙන්නේ වසූරිය වැළදිලා කරලියැද්දේ බණ්ඩාරත්, ඔහුගේ බිසවත්, පුත්‍රයාත් මියයාම. වසූරියෙන් ගැලවෙන්නේ කරලියැද්දේගේ දියණිය වුණු කුසුමාසන දේවියත් බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පමණයි.

මියයන්නට පෙර කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ දියණිය විවාහ වෙන්න පුලුවන් වයසකට එනතෙක් [ඒ වෙද්දී කුසුමාසන දේවියට වයස අවුරුදු 4 යි] තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට උඩරට පාලනය කිරීමේ බලය යමසිංහ බණ්ඩාරට පවරනවා.

පසුව කොළඹට එන යමසිංහ බණ්ඩාරව ෆ්‍රැන්සිස්කානු ජූජකවරුන් සමඟ ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනු ලබනවා. 1588 ගෝවේදී යමසිංහ බණ්ඩාරව දොන් පිලිප් විදිහට බෞතිස්ම කරනවා. එහිදී යමසිංහ බණ්ඩාරගේ අනුග්‍රාහකයා හෙවත් මඤ්ඤා විදිහට ඉදිරිපත් වෙන්නේ එකල ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු ෆර්නාවෝ තෙල්ලෙස් ද මෙනෙසස්. දේව මෙහෙය පවත්වන්නේ ගෝවේ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු විසෙන්ති ද ෆොන්සේකා. 

මේ අවස්ථාවේදීම අවුරුදු 10 ක් පමණ වයසැති යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා දොන් ජුවන්/ ජෝන් Dom Joao ලෙසත් වීරසුන්දර බණ්ඩාර මුදලිගේ පුත්‍රයා වුණු කොනප්පු බණ්ඩාර [පසුව I විමලධර්මසූරිය නමින් රජවුණේ] ඔස්ට්‍රියාවේ දොන් ජුවන්/ ජෝන් ලෙසත් බෞතිස්ම කරනවා

කොහොම වුණත් බෞතිස්ම නාමයන් මොකක් වුණත් යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර කියන නම්ම ඉදිරියටත් මම භාවිතා කරන්නම්.

බෞතිස්මයෙන් පසුවත් ගෝවේම සිටි යමසිංහ බණ්ඩාරට මාසෙකට පගෝදි 60 ක දීමනාවකුත් පෘතුගීසින්ගෙන් හිමිවෙනවා. ඒත් ඔහුගේ ඉල්ලීම වුණේ තමන්ගේ උරුමය වුණු කන්ද උඩරට රාජ්‍යය තමන්ට පවරලා දෙන්න කියන එක. කොහොම නමුත් ඒ අවස්ථාවේදී ඒ ඉල්ලීම ඉටුකරන්න පෘතුගීසීන් අපොහොසත් වෙනවා. 

 II පිලිප්

ඒ කාලයේ පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු II පිලිප් හමුවෙලා තමන්ගේ ඉල්ලීම කරන්න යමසිංහ උත්සහ කරද්දී II පිලිප් කරන්නේ මන්නාරම ආසන්නයේ දූපතක් යමසිංහට පවරලා දීපු එක.

මෙතන පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජු කියන යෙදුම ගැටළුවක් වෙන්න පුලුවන් නිසා ඒකත් පහදන්නම්. 1580 දී පෘතුගාල රජු වුණු හෙන්රි අනුප්‍රාප්තිකයෙක් නොමැතිව මියයාම නිසා ඒ වෙනකොට පෘතුගාල රජතුමාගේ සමීප ඥාතියෙක් වුණු ස්පාඤ්ඤයේ II පිලිප් රජතුමා පෘතුගාලයේත් රජතුමා බවට පත්වෙනවා. මේ පාලනය අවසන් වෙන්නේ IV ජෝන් විසින් ස්පාඤ්ඤ පාලනයෙන් පෘතුගාලය මුදවා ගැනීමෙන් පස්සේ

කොහොම නමුත් යමසිංහ සහ ඔහුගේ පුතා බෞතිස්ම වීම රඟපෑමක් දෝ කියන සැකයෙන්ම තමා I පිලිප් රජතුමා හිටියේ. ඒක නිසාත් උඩරට ආක්‍රමණයට පෘතුගීසි සහය ලබාදෙන්න රජතුමා අදිමදි කළා වෙන්න පුලුවන්. 

මේ වගේ තත්වයකදී තමා උඩරට හිටිය දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලි සීතාවක රාජසිංහට විරුද්ධව අරගලයක් ආරම්භ කරලා යමසිංහ බණ්ඩාරට උඩරට සිහසුනට ආරාධනා කරන්නේ.

මන්නාරම

මේ අතර වාරයේදී තමන්ගේ පෘතුගීසි හිතවත්බව පෙන්වන්න යමසිංහ බණ්ඩාර සහ ඔහුගේ පුතා වුණු දොන් ජෝන් නිල සන්නස් පත්‍රයක් සකස් කරලා තමන්ට පිරිමි දරුවන් නොමැතිව මිය ගියොත් උඩරට රාජ්‍යය පෘතුගාල රජුට අයිතියි කියලා පවරා දීමක් සිදු කරනවා. මේකට සාක්ෂි විදිහට මන්නාරමේ පෘතුගීසි කපිතාන් ඇතුළු පිරිසක් අත්සන් තබනවා.

1590 දී සීතාවක රාජසිංහ නැවත වරක් කොළඹ කොටුව වටලලා කරපු හානියත් එක්ක සීතාවක විරුද්ධව තවත් බල කඳවුරක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් පෘතුගීසින් නැවත වරක් උඩරට රාජ්‍යය ඇතිකරන්න කල්පනා කරනවා. ඒ යටතේ යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර සමඟ පෘතුගීසි හමුදාවක් කන්ද උඩරටට පිටත් කරනවා. දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලිගේ සහයත් එක්කම 1591 දී යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් ගන්නෝරුවේදී උඩරට රජතුමා විදිහට පත් කරනවා.

මේකට කොනප්පු බණ්ඩාරගේ නම් එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ටික දිනකින්ම යමසිංහ බණ්ඩාර අසනීප වෙලා මියයනවා. මෙහිදී සිදුවෙන්නේ යමසිංහ බණ්ඩාරට කොනප්පු බණ්ඩාර වසදීලා ඝාතනය කළා කියලත් කියවෙනවා.

 දොන් ජෝන් කුමරු Dom Joao de Candia

යමසිංහ මියයාමත් එක්ක ඔහුගේ පුතා වුණු දොන් ජෝන් උඩරට රජු විදිහට පත්කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ සමඟම කුඩා ළමයෙක් රජ කරවීම, කිතුණුවෙක් රජ කරවීම වැනි කරුණු මුල් කරගෙන උඩරට රදළ ප්‍රභූවරුන්ගේ වගේම නායක භික්ෂූන් වහන්සේලාගෙත් සහය ලබාගත්තු කොනප්පු බණ්ඩාර උඩරට කැරැල්ලක් ඇති කරනවා. 

 I විමලධර්මසූරිය

මේ නිසා දොන් ජෝන් රජතුමා සහ ඔහුගේ මිත්තණියත්, උඩරට සිටිය පෘතුගීසීනුත් ආරක්ෂාව පතා මන්නාරමට පසු බසිනවා. කොනප්පු බණ්ඩාර මේ පිරිසට බාධාවක් කරන්නේත් නැහැ. අවසානයේදී 1592 දී කොනප්පු බණ්ඩාර නොහොත් ඔස්ට්‍රියාවේ දොන් ජෝන් I විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත්වෙනවා. අපි මේ ගැන කලිනුත් කතා කළානේ.

මන්නාරමට පසුබැස්ස දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට පිටත් කරනවා. කොළඹදී ඔහුට තවත් රාජකීය මිතුරෙක් එක්වෙනවා. ඒ සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර. ඔහුත් ඒ වනවිට කිතුණු දහම වැළැදගෙන දොන් පිලිප් නමින් බෞතිස්ම වෙලා හිටියේ. නිකපිටියේ බණ්ඩාරගේ කතාවත් ඉදිරියේදී කියන්නම්

මොවුන් දෙදෙනාව කොළඹ පිහිටි ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න පෘතුගීසීන් කටයුතු කරනවා. පසුව පෘතුගීසීන් විසින් මේ කුමාරයන් දෙදෙනාම ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනවා උසස් අධ්‍යාපනය සඳහා.

මැගී විද්‍යාලයේ දේවස්ථානය

ගෝවේ බාර්ඩෙස්වල පිහිටි මැගී විද්‍යාලයේදී [College of Magi] දේව ධර්මය හා ලතින් භාෂාව මේ කුමාරවරුන් අවුරුදු 15 ක් හදාරනවා. 

පසුව ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා බවට පත්වෙන මේ කුමාරවරු දෙදෙනා තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයාව සිටි කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

 III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා.

අවුරුදු 16 ක් විතර කාලයක් තමන් එක්ක හිටපු සගයාගේ අභාවයෙන් දැඩි කම්පාවකට දොන් ජෝන් පත්වෙනවා. ඒ නිසාමදෝ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරන එක ප්‍රතික්ෂේප කරන දොන් ජෝන් ලිස්බන්වලම රැඳී ඉන්නවා. 

1611 නොවැම්බර් 26 වන දින දොන් ජෝන් ක්‍රිස්තියානි පූජකතුමෙක් ලෙසට උසස් කිරීමත් එක්කම Moorish Quarte හි පිහිටි මාළිගයක් ඔහුගේ වාසස්ථානය බවට පත්වෙනව. එතැන් පටන්  කෘසෝද 4000 ක දීමනාවක් පෘතුගාල රජය විසින් දොන් ජෝන්ට ලබාදෙනවා.

1625 දී Telheiras ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගත්තු දොන් ජෝන් එහි යාඥා ගෘහයක් ඉදි කරනවා. ඒ කාලයේදීම ඔහු Brotherhood Our Lady of Heaven's Door බිහි කරන්නට මූලික වෙනවා. එයින් අපේක්ෂා කෙරුනේ ෆ්‍රැන්සිස්කානු නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමයි

 IV පිලිප්

1626 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වලට යන දොන් ජෝන් පුද්ගලිකවම පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු IV පිලිප්ව හමුවෙනවා. එහිදී කන්ද උඩරට රාජ්‍යය සඳහා තමන්ට ඇති හිමිකම දොන් ජෝන් විසින් IV පිලිප්ට පවරනවා. ඒ වගේම තමන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව දැනුම් දීමත් එක්ක ඒක කෘසෝද 8000 ක් දක්වා ඉහළ නංවන්න IV පිලිප් කටයුතු කරනවා. 

ඒවගේම ස්පාඤ්ඤයේ ග්‍රැන්ඩී තනතුරකටත් දොන් ජෝන්ව පත් කරනවා වගේම රජතුමා ඉදිරියේ ආවරණය වී සිටීමේ අයිතියත් බිෂොප්වරුන්ගේ ආසන පේළියේ අසුන් ගැනීමේ අයිතියත් දොන් ජෝන්ට ලබාදෙනවා.

1580 දී ධර්මපාල රජතුමා විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගාලයේ හෙන්රි රජතුමාට තෑගි ඔප්පුවක් මඟින් පිරිනැමීමෙන් පස්සෙත් මේ ආකාරයටම ධර්මපාල රජතුමාට පෘතුගාල රජය විසින් වාර්ෂිකව දීමනාවක් ලබාදීම සිදුවුණා.

පසුව Telheiras වෙත පැමිණෙන දොන් ජෝන් තමා මිළට ගත්තු ඉඩමේ පල්ලියක් සහ පූජකාරාමයක් ඉදිකරවීමේ කටයුතු ආරම්භ කරනවා ස්වර්ග දොරටුවේ අප ස්වාමි දුවගේ නාමයෙන් [Our Lady of Heaven's Door] නාමයෙන්. 


1639 ඔක්තෝබර් 20 ඉදිකරලා අවසන් වුණු මේ පල්ලිය ෆ්‍රැන්සිස්කානු පූජකවරුන්ට භාර දීපු දොන් ජෝන් දේවස්ථානයට ඒ අසළ තිබුණු උද්‍යානයක් පරිත්‍යාග කරනවා වගේම තමන්ට ලැබෙන දීමනාවෙන් වාර්ෂිකව කෘසෝද 1000 ක් ලැබෙන්න සලස්වනවා.

Moorish Quarte හි පිහිටි නිවහනේ ජීවත් වුණු දොන් ජෝන් සුසානා ද ආබෲ සමඟ ජීවත් වූ බව කියවෙනවා. ඒ සම්බන්ධතාවය නිසා දොන් ජෝන්ට දාව ගැහැණු දරුවෙක් පවා සුසානාට 1634 දී ලැබී තිබෙනවා. මාරියා ඇන්ටෝනියා නම් වූ ඒ ගැහැණු දරුවා පසු කලෙක කන්‍යා සොයුරියක් වූ බවයි කියවෙන්නේ.

වසර 64 ක් පමණ කාලයක් ජීවත් වුණු දොන් ජෝන්ව පෘතුගාල වැසියන් හඳුන්වන්නේ Black Prince නමින්. අවසානයේදී දොන් ජෝන් 1642  අප්‍රේල් 1 Moorish Quarte හි පිහිටි නිවහනේදී මිය යනවා. ඒත් දොන් ජෝන්ගේ ඉල්ලීම පරිදි ඔහුගේ සිරුර භූමදාන කරන්නේ ඔහු විසින් ගොඩනංවන ලද Nossa Senhora das Portas do Ceu දේවස්ථාන භූමියේ.

ඒ සොහොනේ තිබුණු පාෂාණමය කොටස් දෙකක් මේ වනවිට ලිස්බන්හි තිබෙන කාර්මෝ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙනවා.

දේවස්ථානයේ තුළ ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව

1708 දී පූජකවරුන් දොන් ජෝන්ව මිහිදන් කෙරුණු ස්ථානය කැණීම් කොට ඔහුගේ අස්ථි කොටස් කීපයක් සොයාගන්නවා. පසුව ඒවා මහත් ගෞරවයෙන් දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඬවලින් නිර්මාණය කළ සොහොන් ගැබක තැන්පත් කරනවා. එහි පහත සටහනද සටහන් කර තබනවා

"Quisacram hanc Mariae aedem fundavit hic Candiae Principis ossa Septiantur" 

[සිංහල අර්ථය - මෙහි වළ දමා ඇත්තේ මරියාතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය]

වරින්වර භූමිකම්පා, සිවිල් යුද ප්‍රහාර ආදී ආපදා රාශියකට මුහුණ දීපු පෘතුගාලයේ ලිස්බන් නුවර Telheiras ප්‍රදේශයේ තිබෙන මේ Nossa Senhora das Portas do Ceu දේවස්ථානය කියාපාන්නේ තමන්ගේ මවු රටින් බැහැරව විදෙස් ආගමක් වැළදගෙන ඒ වෙනුවෙන් කටයුතු කරපු උඩරට රාජ්‍යයේ සිංහල රජතුමෙක් වුණු දොන් ජෝන්ගේ කතාන්දරයයි.........

Nossa Senhora das Portas do Ceu දේවස්ථානයේ ඡායාරූප බලන්න කැමති නම් මෙතනින් යන්න

මේ ලිපිය ලියන්නට මග පෙන්වීමක් සිදු කළ මල්මි අක්කාට විශේෂ ස්තුතිය :)

ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්

24 comments:

  1. "සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්" එහෙම නොවේවායි කියා මම පතනවා,තව තවත් අපේ ඉතිහාස කතාව අන්තර් ජලය තුල ලියවෙනවා නම් හොදයි මොකද දැන් කලේ ළමයින්ට අපේ ඉතිහාසේ ගැන තියන දැනුම අඩුයි අනික ඒ අය ඉතිහාසේ හොයන්නෙත් අන්තර් ජලයෙන් නිසා දන්නා සියලු තොරතුරු ඡයා රුප සයිබර් අවකාශයට එක් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.

    ReplyDelete
  2. */සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුළුවන්/*

    එතකොට මේ කතාව ලියන්නේ පොලිසියෙන්ද?

    */නිකපිටියේ බණ්ඩාරගේ කතාවත් ඉදිරියේදී කියන්නම්/*

    විවේක තියන වෙලාවට ලියන්න. අපි එනවා කියවන්න. අතාරින්න එපා.

    ReplyDelete
  3. හොඳ ගානකට ආවොත් ලංකාවට මගේ ඇති උරුමය මාත් කැමතියි පවරලා දෙන්න.

    ReplyDelete
  4. /* සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුළුවන් */

    මෙහෙම ලියල තිබුනහම හොඳයි. වැරදිලාවත් මලොත් වෙන අයට උපුටා දක්වන්න පුළුවනි නේ!

    ReplyDelete
  5. ලංකාවෙන් ගෝවට ගිහිල්ලා එහෙන් පෘතුගාලයට ගිහින් ස්පාඤ්ඤයට ගිහින් ගෙදර ආවේ
    වටිනා කරුණු ගොඩක් දන ගත්තා බොහොම පින්....!!!!

    ReplyDelete
  6. නොදන්න දේවල් බොහොමයි.. ස්තූතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  7. රසවත් සටහන. බොහෝ දේවල් දැනගත්තා. හොඳට මතක තියාගන්ට නම් තව දෙතුන් පාරක් කියවන්ට ඕනේ.

    //ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්//

    ඇයි අනේ මේ වගේ කතා කියන්නේ? අපි නොදන්න කතා කියලා දෙන්ට ඔයා අකැමතිද?:(

    ReplyDelete
  8. හරිම ආසාවෙන් කියෙව්වා . හැබැයි අර මොකෝ ලිවිල්ල නතර කරන්නේ . ඉගෙනීමේ කටයුතු නිසා ටික කලකට නම් කමක් නැහැ . කවුද ඔයාට ලියන එක නවත්වන්න කිව්වේ . එව්වා කොහෙද

    ReplyDelete
  9. මට ඉතිහාසෙ එපා වුණේ ඔය I, II, III, IV, V කෑලි නිසා... ඒ වුණාට ඒ කෑලි අමතක කරලා කතාවක් විධියට කියවගෙන යන්න මේ ලියවෙන විධිය හොඳා.

    ReplyDelete
  10. මොකක්ද මේ අන්තිම ලිපි කතාව?

    ReplyDelete
  11. අනේ මන්දා තමන්ගෙ දෙමව්පියන්ගෙන් උරුම වුනු රාජ්‍ය උරුමය තෑගි ලෙස විකිණිම ගැන නම් කියන්න බැරි තරම් පිළිකුල්..ඒත් සමහර විට ඒ ගැන කරන්න කිසි දෙයක් නොතිබෙන්නත් ඇති දොන් ජුවන්ට..

    පූජකයෙක් වූ කතාව දැන සිටියේ නෑ..ස්තුතියි හසිත..


    මෙච්චර ලස්සනට කතා ලියන එකේ අර අන්තිම ලිපියේ කතාවත් ලිව්වනම් හරිනේ අපිව නොමග නොයවා..!!

    ReplyDelete
  12. රජකාලෙ කතා අහන්න තමයි මම පුංචි කාලෙ ඉඳන්ම කැමති...ලංකාවෙ ඉතිහාසය ගැන ඉතින් දැනගන්න වෙන්නෙ මෙහෙම ඔයාල ලියන දේකින් තමා...නවත්වන්න එපා දිගටම ලියන්න......

    ReplyDelete
  13. මුළු කතාවම ආසාවෙන් කියවන් ආවා මෙන්න මෙතන්නට එනකම්..

    "ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්"

    එහෙම කරන්න එපා මලයා.. පුළුවන් කමක් තියෙනවනම් නොලියා ඉන්න එපා..

    ReplyDelete
  14. Ane mewage wadath katha linayana malli liyana eka nawtthnana epa

    ReplyDelete
  15. ඒ කාලේ ඉඳලම තමන්ගේ බලය තර කරගන්න වෙනත් රටවලින් උදවු අරන් තියෙනවා නේ.තමන්ගේ ප්‍රතිවාදියා පාවා දෙන්න වෙදේශ සහය අරගත්තත් එදත් වැරදුනා අදත් වරදිනවා එත තවම කාටවත් තේරෙන්නේ නැහැ අපිට උදවු කරන්නේ කපටි අදහසකින් කියල.

    මේ වගේ කතා ලියන එක නවත්වන්න එපා.අපිට මේවගේ කතා දැනගනන් තියෙන්නේ බ්ලොග් කිහිපයක් විතරයි.

    ReplyDelete
  16. @ All

    මේ ලිපිය මගේ අන්තිම ලිපිය වෙන්න ගියේ පහුගිය දවසක කොළඹ ජාතික කෞතුකාගාරයේ වුණු පුරාවස්තු මංකොල්ලය ගැන කට උත්තරයක් දෙන්න පහුගිය අඟහරුවාදා [22] එන්න කියලා නියෝගයක් මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් [CID] ආපු නිසා

    ReplyDelete
  17. කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මිය ගිය උඩරට රජතුමා post එක මගේ අන්තිම post එක වෙන්න ගියේ මෙන්න මේ නිසයි....

    "මේ ගුණසිංහ මහත්තයාද ?

    ඔව් එයා තමා. කවුද මේ ?

    අපි මේ CID එකෙන් කතා කරන්නේ. කොළඹ ජාතික කෞතුකාගාරයේ සිද්ධ වුණු සොරකම ගැන ඔයාගෙන් statement එකක් අපිට ගන්න උවමනා වෙලා තියෙනවා. අපි දැන් ........... පාරේ ඉන්නේ. කොහොමද ඔයාලගේ ගෙදර එන්නේ ???"

    http://aagiyakatha.blogspot.com/2012/05/cid.html

    ReplyDelete
  18. මමත් ලිපිය කියෙවුවා. අදමයි මේ පැත්තට ආවේ ඔයා ලින්ක් එක දාලා තිබුන නිසා. අනේ නොලියා ඉන්න එපා. බලන්නකො කොතරම් වැදගත් දේවල්ද කියලා අපි නොදන්නේ. ඒ වගේම රසවත්නේ. තමන්ගේ දැනුම අනිත් අය එක්ක බෙදාගමු. එහෙම හොදයි නේද? මතකයත් අලුත් වෙනවා. මගේ ලිපියේ නැති කරුණු බොහෝමයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. @ malmi

      බොහොම ස්තුති අක්කා මේ පැත්තේ ආවට. අක්කා තමා මේ ලිපිය ලියන්න මූලික වුණු පුද්ගලයා. අක්කාගේ ලිපිය නිසාමනේ මම මේ ගැන හෙව්වේ.. ඒකට නැවත වරක් ස්තුතියි....

      ලියන එක නතර කරන්න නම් තාම අදහසක් නැහැ. ඒත් ඒ දවස්වල එහෙම එකක් කිව්වේ CID එකට යන්න වෙලා පොඩි ප්‍රශ්නයක් වුණු නිසා.

      මේ තියෙන්නේ ඒ කතාවත්

      http://aagiyakatha.blogspot.com/2012/05/cid.html

      Delete
  19. තමන් ඉගෙන නොගත් (ඉතිහාසය පසලෙන් පන්නලා තිබුණ අවදියේ ඉගෙනගත්) ගුරුවරුන් ඉතිහාසය විෂය උගන්වන්න ගිහින් තිත්තවෙලා ඉන්න අපේ මල්කැකළුවලට මේ වගේ කියවන්න අසා හිතෙන තාලෙන් ලියන්න හැකිවීම දස්කමක්.! ගුරවරයෙකුට කියවන්න ලැබුණොත් උගන්වන්න ඕන කොහොමද කියල තේරුම් ගනීවි.!! ඒ හින්ද මේ ලිපිවලින් සිදුවෙන්නේ විශාල මෙහවරක්.!!! ඔබේ ලිපි වරින්වර ඉතා උවමනාවෙන් කියවමින් ඉන්නෙ ගොඩක් ස්තුති යි

    ReplyDelete
    Replies
    1. @ MPP Gunasinghe

      ස්තුතියි ඔබට :)

      Delete
  20. I accidentally step on your page while browsing internet. මල්ලි ඹයාට තේරැවන් සරණයි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................