Saturday, May 5, 2012

සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන එක හරිද ???


Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුබ වෙසක් දිනයක් වේවා කියලා.

ඉතින් දැන් මගේ ප්‍රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුබ පතන්න පුලුවන්ද කියන එක.

අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුබ පතනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. උපන් දිනයක් දවසට අපි සුබ පතනව සුබ උපන් දිනයක් වේවා කියලා. එහෙම සුබ පතන්නේ අලුත් අවුරුද්ද හරි උපන් දිනය හරි නරක පැත්තට යන්න පුලුවන් නිසා. 

තව විදිහකට කිව්වොත් මේ මනුස්ස ජීවිතේට ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක කියන අටලෝ දහම පොදු දෙයක් වෙන නිසා. මේවායින් යහපත් දේවල් විතරක්ම වෙන්න කියලයි ඒ සුබ පැතීමෙන් අපි අදහස් කරන්නේ.

ඒත් වෙසක් දවසට එහෙම සුබ පතන්න ඕනේද ??? 


බෞද්ධයෝ පමණක් නෙමෙයි සමහර අන්‍යාගමිකයොත් පිළිගන්න විදිහට මේ දක්වා ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ ඉපදීම සිදුවුණේ වෙසක් පොහොය දවසේ.

ඒ වගේමයි මිනිස් සිතකට අවබෝධ කරගන්න පුලුවන් උතුම්ම සත්‍යය වගේම මිනිසෙකුට පත්වෙන්න පුලුවන් උතුම්ම තත්වයට ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා පත්වුණේ වෙසක් පොහොය දවසේ.

අවසාන වශයෙන් සොබා දහමට ගරු කරමින් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දවසේ.


මේ වගේ උතුම් සිදුවීම් හැරෙන්න වැදගත් සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනවලදී සිදුවෙලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කිරීම වගේම සොළොස්මස්ථානයට අයත් මුල් ස්ථාන දෙක හැරෙන්න අනෙක් ස්ථානවලට වැඩම කරවන්නේ බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ වෙසක් පොහොය දිනයේදී. සමනොළ කන්දේ ශ්‍රී පාදය පිහිටුවන්නේත් මේ ගමනේදී. රුවන්මැලි සෑයේ මූලික ඉදිකිරීම් කටයුතු දුටුගැමුණු රජතුමා අරඹන්නේත් වෙසක් පොහොය දිනයේදී.

ඉතින් මේ කරුණු සමාලෝචනය කරලා බලද්දී පැහැදිලියිනේ වෙසක් දිනය උතුම් වගේම සුබ දවසක් කියලා.

එතකොට ඒ වගේ සුබ දවසකට අමුතුවෙන් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන්න ඕනේද ????

සමරන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් සමරන හැමදේම එකම අච්චුවට දාලා සාමාන්‍යකරණය කරන්න පුරුදු වුණු මිනිස්සු වෙසක් දවසටත් "සුබ වෙසක් මංගල්‍යයක් වේවා" සුබ පතන්න ගත්තේ ඔන්න ඔහොම වෙන්න ඇති. 

ඒ විදිහට බෞද්ධයන්ට වැදගත්කමක් තියෙන කොහොමත් සුබ දවසක් වුණු වෙසක් පොහොය වාණිජකරණයට හසුවුණු හැටි ගිය අවුරුද්දේ වෙසක් පෝය දවසේ මම කතා කළානේ "වෙසක් පෝය market වුණු හැටි" කියලා. 

ඉතින් සුබ දවසක් වුණු වෙසක් පෝය දවසේදීවත් බොරුවට හැමතැනම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා කිය කිය ඉන්නේ නැතුව ආමිෂ පූජාවක් කරන්න එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කරන්න. ඒ නැත්නම් මේ කතාවේ ඉන්න මනුස්සයායි ඔයයි අතර කිසිම වෙනසක් නැතිවෙයි. ඒ මොකද ඒ මනුස්සයා හරියට බුදු හාමුදුරුවෝ හඳුනාගෙනත් නැහැ උන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුනාගෙනත් නැහැ

වෙසක් පෝය දවසේ බාර් වහලා නිසා හොර spot එකකින් සප්පායම් වුණු බොනපාට් කෙනෙක් පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ටයි ඒවට මේවට බැන බැන යද්දී දැක්කලු බුදු පිළිමයක්.

බුදු පිළිමේ දිහා බලාගෙන man කියනවලු " ඕන් බලන්නකෝ ඒ වැඩෙත් හැටි. ඔබ වහන්සේ ඉපදුණු, බුදුවුණු, පිරිනිවන් පාපු එකට අද බාර් වහල, මස් කඩ වහලා. මොකක්ද අප්පා මේකේ තේරුම ? මස් කෑල්ලක් කන්න අරක්කු ටිකක් බොන්නවත් නෑ"  කියලා කියවන්න ගත්තලු. 

ඒ ගමන් මිනිහා දැක්කාලු ඈතින් ජේසුතුමාගේ පිළිමෙකුත්. 

Man ජේසුතුමාගේ පිළිමේ ගාවට ගිහින් කියනවාලු "ඒකට ඔබතුමා නම් නම් රත්තරන්. ඉපදුණත් party, කුරුසේ ඇණ ගහලා මැරුවත් party" කියලා

එහෙම නම් කතාව අවසානයි. මේ කතාවේ සාරංශය මෙන්න


කිච්ඡො මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං - කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම දුර්ලභයි. සත්වයින්ගේ ජීවිතය දුෂ්කරයි. ධර්මය ඇසීමද දුර්ලභයි. බුදුන් වහන්සේගේ උපතද දුර්ලභයි


ප.ලි.: බුදු දහම යැයි කියමින් බෞද්ධයන් කරන දේවල් ගැන මම මීට පෙර ලියපු සටහන් කියවන්න කැමති නම් මෙතනින් යන්න

25 comments:

  1. කතාව සහතික ඇත්ත !!
    අද හැම දෙයක්ම වාණිජකරනය වෙලා. සමහරු හදන්නේ ඒ වාණිජකරණය බුදු දහමටත් එකතු කරන්න. ඒකට ඉඩ දෙන්න හොද නෑ.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      අකමැත්තෙන් වුණත් බුදු දහම වාණිජකරණයට හසුවුණු බව කියන්න ඕනේ. වෙසක් වගේම ප්‍රධාන පොහොයකදී පන්සල්වල වගේම බොහෝ තැන්වල බුදු හාමුදුරුවන්ගේ නාමය භාවිතා කරමින් වෙන කාර්යයන් ඔබත් දැකලා ඇති.

      Delete
  2. එකඟයි ...ඒත් .පොඩිකාලේ වෙසක් කාඩ් ඇන්ද නේද ප්‍රීති වෙසක් කියල . වෙසක් ආගමික විදිහට සහ සංස්කෘතික විදිහට දෙවිදියටම නියෝජනය වෙනවා . වෙසක් කුඩු වෙසක් කාඩ් දෙවනි ගොඩට වැටෙන්නේ .

    ReplyDelete
    Replies
    1. බින්දි සමග එකගයි .

      Delete
    2. @ Bindi, Gimhani

      වෙසක් ආගමික වගේම සංස්කෘතික උත්සවයක් වන බව හැබෑව.

      සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියා සුභ පැතීම වගේම ප්‍රීති වෙසක් කියා කීමෙන් වැඩි වෙනසක් නැති බවයි මගේ හැඟීම.

      "සුඛො බුද්ධානං උප්පාදො - බුදුන්ගේ පහළවීම සුවයක්" සුවයක් නම් එතන ප්‍රීතියක් තියෙන්නත් පුලුවන්නේ. එහෙම බලද්දී ප්‍රීති වෙසක් කීමෙත් ගැටළුවක් තිබෙනවා.

      ඒත් බුදුරදුන් දේශනා කළ ආකාරයට ඒ කිව්වේ ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා සිදුකිරීමෙන් සතුටු වෙන්න පුලුවන් නම් ඒක "ප්‍රීති වෙසක්" කියල සළකන්නත් පුලුවන්.

      ඒත් "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියල සුභ පතන එක නම් අරුත් සුන් ක්‍රියාවක් කියලා මම අදහස් කළේ එහෙම සුභ පැතීමක් වෙසක් දිනය හරහා කරන්න පුලුවන්කමක් නැති නිසා

      Delete
    3. @ Bindi

      ආහ් කියන්න අමතක වුණා අක්කේ. වෙසක් කූඩු වෙසක් කාඩ් කියන්නේ අපේ සංස්කෘතිය වගේම ඒක ආමිෂ පූජාවක් තමා බුදුන් සිහිපත් කරලා කරන කාර්යයක් නේ

      Delete
  3. මේ පෝස්ට් එකට උඩින්ම එකඟයි සහෝ... ආමිස හා ප්‍රතිපත්ති කියලා දෙවිදියක් තියෙනවා... ඇත්තටම දැන් නම් වෙසක් කියන්නේ සැනකෙළියක් වෙලා... ඇත්තටම සමහරු දන්නවද දන්නෙත් නෑ වෙසක් දවසේ ඇත්තම හරය මොකක් ද කියලා...

    මෙත්මල් පිබිදේවා.... පින්බර වෙසක් සතියක් !!!

    ReplyDelete
    Replies
    1. @ Chathuranga Perera

      අනිවාර්යයෙන්ම ආමිෂ පූජා හා ප්‍රතිපත්ති පූජා කියන දෙකේම පුලු පුලුවන් ආකාරයෙන් යෙදෙන්න ඕනේ. ඒ වගේමයි වෙසක් දවසේ හරය වගේම බුදු දහමේ හරය වගේම නියමාකාරයෙන් බුදුන් වහන්සේව හඳුනාගන්න ඕනේ.

      එතකොටවත් සම්මා දිට්ඨිය ඇතිකරගන්න ඒක පාදක වෙයි

      Delete
  4. තේරුමක් නොදැන කරන්නන් වාලේ කරපු වැරැද්දක් පෙන්නලා දුන්නට ස්තූතියි. මේ වැරැද්ද ආයෙත් නොකරන්න අදිෂ්ඨාන කොට ගතිමි.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. @ Senna

      කුමක් හෝ වටහා ගත්තා නම් ඒ ගැන සතුටුයි

      Delete
  5. ඔව්වා ඇතිවත් බැහැ නැතිවත් බැහැ මලයා.. ආමිසෙයි ප්‍රතිපත්තියයි දෙකම ඕන..හැබැයි ඔය උඹ කිව්ව වගේ සුභ පැතීමනං ආමිසේට අහුවෙන එහෙකුත් නෙවෙයි මට තේරෙන තරමටනං..

    නොදන්නා කාලවල ඔහොම කලාට දැනගත්තට පස්සෙවත් ඒ ගැන කල්පනා කරලා ඒ වරද අතෑරගන්න ඇහැකිනං ඒක තමා වඩා හොඳ... කොහොම උනත් වෙසක් මංගල්‍යය කියන්නේ වේවා වේවා කියලා සුභ පතන දවසක්නං නෙවෙයි...

    "සමරන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් සමරන හැමදේම එකම අච්චුවට දාලා සාමාන්‍යකරණය කරන්න පුරුදු වුණු මිනිස්සු වෙසක් දවසටත් "සුබ වෙසක් මංගල්‍යයක් වේවා" සුබ පතන්න ගත්තේ ඔන්න ඔහොම වෙන්න ඇති. "

    ඒක තමා වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. @ මාරයාගේ හෝරාව

      අනිවාර්යයෙන්ම අයියේ ආමිෂ පූජා වගේම ප්‍රතිපත්ති පූජා කියන දෙකම ඕනේ. ඒ වගේමයි සුභ පැතීම කියන එක කිසිම අරුතක් නැති එකක් කියලයි මම කියන්න උත්සහ කළේ......

      දැනගත්තට පස්සේ වුණත් අත් හරීද කියන එක නම් සැක සහිතයි. තම තම නැණ පමණින් නොවැ ක්‍රියාත්මක වෙන්නේ

      Delete
  6. හැම විශේෂ අවස්ථාවම මිනිසා යොදාගෙන තියෙන්නෙ ඉන්ද්‍රියන් පිනවීමට..අපිට අමතක වුනු දේ තමයි අඩුම ගානෙ අද දවසවත් කෙලෙස් තැවීමට යොමු කරන්න ඕන කියන එක..

    රැල්ලට නොයා තර්කානුකූලව හැකි නම් වෙසක් දිනයක් අවුරුද්දේ අනිත් දවස් ඔක්කොමත් සාර්ථක වේවි..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අනිවාර්යයෙන්ම අක්කේ. රැල්ලට යන්නේ නැතුව තමන් කවුද ? මොනවද කරන්නේ කියන එක ගැන අවබෝධයක් ඇතිකරගන්න ඕනේ.

      ඒ වගේමයි බුදු හාමුදුරුවෝ කවුද ? උන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ මොකක්ද කියන එක ගැන වැටහීමක් ඇතිකරගන්න ඕනේ.

      එහෙමත් නැත්නම් හැමදාම මිච්ඡා දිට්ඨිය තමා

      Delete
  7. වෙසක් දිනය කියන්නෙ "ප්‍රීති වෙසක්" කියලා සරලව සුභපතන්න පුලුවන් දවසක් නොවන බව ඇත්ත. එත් මම හිතන්නෙ එවැනි ප්‍රාර්ථනාවන් වචනාර්තයෙන්ම ගන්න එකයි වැරැද්ද..

    වෙසක් දිනවල බෞද්ධයො බහුතරය විශේෂ ආගමික කටයුතු වල නිරත වෙනවා..ආමිස හෝ ප්‍රතිපත්ති පූජා වශයෙන්..මේ වගේ ප්‍රාර්ථනයකින් අදහස් වෙන්නෙ එවැනි කටයුතු සාර්තක වේවා එවැන්නකට සම්භන්ධ වුනා හෝ නොවුනා ඔබටත් ඉන් කිසියම්වූ මානසික සුවයක් ලැබේවා කියන එකයි මට හිතෙන්නෙ..
    මූනුපොතේ තියන වැඩිමනක් වෙසක් සිතුවිලි පාරෙදි හම්බ වෙලා " හැපි වෙසක් " කියන මට්ටමෙන් එහාට ගිය ගැඹුරක් ඇති ප්‍රාර්ථනා විදියටයි මම නං දකින්නෙ. රටෙන් සහ තමන්ගෙ හුරුපුරුදු ආගමික සංස්කෘතික තත්වයන්ගෙන් ඈත්වෙලා ඉන්න බොහෝ දෙනෙක්ට තමන්ගෙ සමීප අයගෙන් ලැබෙන මෙවැනි පැතුමකින් හදවතට කිසියම් වූ සිසිල් හැගීමක් එකතුවෙනවා..ඒ නිසා එවැනි දේ මේ තරම් සරල ආකාරයට විවේචනය කිරීම නම් තරමක් නුසුදුසු බවයි මගේ හැඟීම..
    ඒ වගේම ඔබ මෙතන අන්‍යාගමික නායකයෙක් සම්භන්ධව කර ඇති විහිලුව තැනට නොගැලපෙන්නක් බවත් නොකියාම බැහැ. විශේෂයෙන්ම මම ඔබගේ පෝස්ට් එක දුටුවෙත් මගේ කතෝලික මිතුරෙක් ඒ ගැන කණස්සල්ල පල කල නිසා.

    ReplyDelete
    Replies
    1. @ ලකී සිරි

      මගේ ප්‍රස්තුතය වුණේ "ප්‍රීති වෙසක්" නෙමෙයි "සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියන සුභ පැතීම.

      රටෙන් වගේම තමන්ට හුරුපුරුදු සංස්කෘතික තත්වයන්ගෙන් ඈත්වෙලා ඉන්න අයට එහෙම සුභ පැතීමක් හරහා හදවතට සිහිල් හැඟීමක් එනවායි කියමුකෝ.

      ඒත් ඒ සුභ පැතීම ඇතුලේ බුදු දහමේ මූලික හරයන් ගැබ්වෙලා තියෙනවාද කියන එකයි ගැටළුව... දහමක් පවත්වාගෙන යද්දී ඒ දහමට අනුගත වූවන්ගේ යහපතට ඒ දහමේ හර පද්ධතිය පාවා දෙන්න ඕනේද ???

      මම කලින් දැක්වූ ආකාරයට වෙසක් දිනය කියන්නේ කොහොමත් "සුභ දිනයක්" ඒ නිසා අමුතුවෙන් ඒ දවස සුභ දවසක් කීම අවශ්‍යද ? ඒ වගේමයි "අලුත් අවුරුද්ද, උපන් දිනය" වගේ ලෞකික දේවල් සමඟ සම මට්ටමේ ලා එවැනි උතුම් දිනයක් "සුභ පැතීමකට" සීමා කරන්න පුලුවන්ද ???

      දුරු රටක ඉන්නා අයෙක්ට වුවද ඒ උතුම් දවස සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින්, බුදු ගුණ සිහිකරමින් පහනක් හෝ දල්වන්නට හැකි නම් එතැන හදවතට සිසිලක් ඇති කරවන බවයි මගේ විශ්වාසය

      මම දක්වපු කතාව තුළින් ඔබේ කිතුණු යහළුවාට සේම අන් කිතුණු බැතිමතුන්ට හිත් වේදනාවක් ඇතිවුණා නම් ඒ ගැන මම කණගාටුව ප්‍රකාශ කරනවා.

      ඒත් එතැන ජේසුතුමාට අපහාස වුණා කියන පදනම ගන්නවා නම් එතැනින් බුදු හාමුදුරුවන්ටත් අපහාසයක් වෙනවා. ඒත් ඒ කතාව හොඳින් වටහා ගත්තා නම් එය මතුපිටින් කියෙව්වාට වඩා එහි ගැඹුර වටහා ගන්න තිබුණා.

      ඒ බේබදු මිනිසා බුදුන් වහන්සේ වගේම බුදුන් වහන්සේගේ දේශනාවත් නියමාකාරයෙන් වටහාගෙන තිබුණේ නැහැ. ඒ වගේමයි ජේසුතුමා වගේම ජේසුතුමාගේ දේශනාවා නිවැරදිව වටහා ගෙන තිබුණේ නැහැ. ඒ නිසායි එවන් හැසිරීමක් ඔහු දැක්වූවේ.

      නියමාකාරයෙන් දහම වටහා නොගෙන අරුත් සුන් කාර්යය කරන පිරිස වගේම ඒ බේබදු මිනිසා අතර සමානකමක් ආවේ ඒ නිසායි.

      වරෙක බුදුන් වහන්සේද වදාළ පරිද්දෙන්ම දහම පරිහානියට පත්වන්නේ "බාහිර පුද්ගලයින් නිසා නොව අභ්‍යන්තරයේම සිටින පිරිසගේ ක්‍රියාකාරකම්" නිසාය

      Delete
  8. ඔකට හරි වචනය "ප්‍රිති වෙසක්" කියන එක මම හිතන්නෙ, මොකද බුදු ඉපදිමත් මඟුලක් (ලෝක සත්වයා දුකින් ගලවා ගන්නා ගුරුවරයකු උපත ලබන බැවින්) , බුදුවිමත් මඟුලක් (මාර පරාජය කර බුදුබව ලබා ජයගන්නා බැවින්), පරිනිර්වාණයත් මඟුලකි (එතුමා සම්පුර්ණයෙන්ම නිවනට යැම - ජරාජිර්ණ වන ශරීරය අතහැර යන බැවින්)... එබැවින් ඉපදිම,බුදුවීම,පිරිනිවන් පැම යන තුනම මඟුල් බැවින් "ප්‍රිති වෙසක්"වචනය ගැලපේ

    ReplyDelete
    Replies
    1. @ Kushi

      ඔබ මතු කටන කරුණත් හරි. ඒත් වෙසක් කියන වදන තුළම සුභ කියන කරුණ වගේම ප්‍රීතිය කියන කරුණු ගැබ්ව පවතිනවා. මම කලින් දක්වපු විදිහට බුදුන්ගේ පහලවීම සුවයක්. සුවයක් නම් එතැන ප්‍රීතියක් පවතින්න පුලුවන්නේ.

      ඒ වගේමයි මම කලින් බින්දි අක්කාට කිව්වා වගේ වෙසක් පොහොය දිනයේ ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා සිදු කරලා නිරාමිස ප්‍රීතිය ලබන්න පුලුවන් නම් ඒක වටිනවා

      Delete
  9. මාරයා කිව්වාවගේ ආමිස පූජාවයි ප්‍රතිපත්ති පූජාවයි දෙකම ඕනෙ. අපිත් පුංචි කාලෙ හුඟාක් මහන්සි වෙලා වෙසක් කූඩුවක් හැදුවට පස්සෙ හාමුදුරුවො ඇතුලු වැඩිහිටියො කියන දේ අපි කලින් ඉඳන්ම දැනගෙන හිටියා. ඒ තමයි "හොඳයි. සෑහෙන මහන්සි වෙලා තියෙනවා. නමුත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට අපි තැනක් දෙන්න ඕනෙ! කියන එක.
    හොඳයි අපි එහෙම හිතලා අපි වෙසක් කූඩුව නොහදා හිටියොත් මෙන්න මෙහෙම අහන්න පුලුවන්. "යකෝ උඹලා බෞද්ධයො වෙලා පොල්තෙල් පානක්වත් පත්තු කරලා නෑනෙ!"

    මමනම් හිතනවා වෙසක් කූඩුත් හදන්නම ඕනෙ කියලා. අපි නොහැදුවොත් කවුද වෙසක් කූඩු හදන්නෙ? වානිජකරණය ඕනෙම දෙකට කාන්දු වෙනවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක නත්තල් ගහටත් පොදුයි, වැලන්ටයින් කාඩ් එකටත් පොදුයි.

    ඕක ඇති වෙලා ඇත්තෙ Merry Christmas! Happy New Year! වගෙ සුභ පැතුම් ඇතිවුනා වගේමයි! ප්‍රීති වෙසක් කියලා ලියපු බකට් එලිය පෙට්ටි කොල දසක ගනනාවකට ඉස්සරත් තිබ්බා.

    ඇයි "Happy Independence Day!" කියලත් සුභ පතන්නෙ!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. @ Dude

      ආමිෂ පූජාව වගේම ප්‍රතිපත්ති පූජාව කියන දෙකම තියෙන්න ඕනේ තමා අයියේ. මේ පෝස්ට් එකේ ඒ දෙක ප්‍රතික්ෂේප කරලා හෝ ඉන් එකක් උසස් කරලාවත් කතා කරලා නැහැ.

      මම කියන්න උත්සහ කළේ සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියල සුභ පැතීම අරුත් සුන් බවත් ඒ වෙනුවට ඒ දවසේදිවත් ආමිෂ පූජාවක් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කරන්න කියලා

      වෙසක් කූඩු හැදීම සිද්ධ වෙන්න ඕනේ. ඒක අපේ සංස්කෘතිය. ඒක අපිට පුලු පුලුවන් ආකාරයෙන් මීළඟ පරම්පරාවට දායාද කරන්න ඕනේ. මම ඒක ප්‍රතික්ෂේප කරලත් නැහැ.

      ඒත් පරම්පරාවෙන් ආපු මැණිකක් පෙට්ටගමේ දාගෙන පරිස්සම් කරනවා වගේ ඉන්නේ නැතුව මේ වගේ ආමිෂ පූජාවන් වගේම ප්‍රතිපත්ති පූජාවත් ඊළඟ පරම්පරාවට දායාද කරන්න ඕනේ

      ප්‍රීති වෙසක් ගැන මගේ අදහස මේ ප්‍රතිචාරවල ඇති. ඒත් ඔයා කිව්ව විදිහට "ඒක දසක ගණනාවකට කලින් ඉදන්ම තිබුණා කියන්නේ" ඒක නිවැරදි වෙන්නම හේතුවක් නෙමෙයි

      happy Independence Day ගැන කිව්වොත් ලෞකික සැමරීම වගේම ලෝකෝත්තර සැමරීම් පටලවාගන්න හොඳ නැහැනේ. වෙසක් දිනයේ ඊට වඩ අර්ථයක් තියෙනවානේ

      Delete
  10. මෙතන මම හිතන විදිහට ඔහොම කථාවක් කියන එක නම් අසාධාරනයි.. සුභ පතනවා කියන්නේ වැරදි දෙයක් නෙමේනේ....

    වචනයකින් හරි තවත් කෙනෙක්ගේ හිතට පහන් සිතුවිල්ලක් ඇති කරන්න පුලුවන්නම් ඒකත් ගොඩාක් වටින දෙයක් විදිහටයි මම නම් දකින්නේ.. සුභ පැතිමකින් වෙන්නේ එහෙම දෙයක් නේද?

    මාකට් වෙන ලොකෙක මාකට් නොවි ඉන්න පුලුවන්නම් වටිනවා...

    ReplyDelete
    Replies
    1. @ දේවා ගේ අඩවිය

      සුභ පතනවා කියන්නේ වැරදි දෙයක් නෙමෙයි. ඒත් අදාළ දේවල්වලටයි සුභ පැතීම එක් කරන්න ඕනේ.

      වෙසක් දිනය වගේ ලෝකෝත්තර දිනයකට "අලුත් අවුරුද්ද, උපන් දිනය" වගේ ලෞකික දිනයන්වලට දෙන වටිනාකම දෙන්නේ ඇයි ???

      ඒ වගේමයි කොහොමත් සුභ දේකට ආයේ අමුතුවෙන් සුභ පතන්නේ ඇයි ?

      ඒ වගේමයි සුභ පැතීමෙන් පහන් සිතුවිල්ලක් ඇතිකරනවා කියන එකටත් වඩා පහන් සිතුවිල්ලක් ඇතිකරගන්න පුලුවන් "සුළු මොහොතක හරි තුනුරුවනේ ගුණ සිහිපත් කිරීමෙන්"

      මාකට් වෙන ලෝකෙක මාකට් නොවී ඉන්න පුලුවන් නම් වටිනවා. බුදු දහම මාකට් වෙලා තියෙන විදිහ ගැන මේ විදිහට හරි ලියන්නේ ඒකෙන් බුදු දහම ගලවා ගන්න මට හැකි දේ කරන්න

      Delete
  11. Malli kiyana kathawath atha thamaiy. Siyallama Varnija Karanayata path karanawa wage Budu Dahamatath esse karanawa.
    Danna nam neha wage bar ekatath Budda Bar Kiya damma.
    Hamoma bite ekata ganne ape argama.
    Buddha Sasanaya anagathayata reka ganeema etha wedagath wena da tath wada..
    Siyalloma eyata dayaka wemu.

    ReplyDelete
  12. @ Bandula

    අනිවාර්යයෙන්ම අයියේ.

    ඒ වගේමයි බුද්ධ ශාසනය පරිහානියට පත් කරවන්නේ බාහිර බලවේගවලටත් වඩා අභ්‍යන්තර පිරිස්මයි කියන කතාවත් තරයේ සිහියේ තබාගත යුතුයි.

    ඒ කෙසේ නමුත් ලොව පවතින සොබාවය වන අනිත්‍යතාවය බුදු දහමටත් අදාළ වන එකක් සිහියේ තබා ගනිමු.

    ReplyDelete
  13. ලිපිය වගේම කොමන්ටු වලත් වටිනාකම අමිලයි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................