Friday, November 26, 2010

හොරා පොලිස්


ඊයේ හැන්දෑවේ මම කාමරේට වෙලා නිවී සැනසිල්ලේ blogs කියෝ කියෝ ඉද්දී මට ඇහෙනවා මෙහෙම කතාබහක්........

"මම යන්න කලින් රාජගිරියේ ............... office එකට ගෙනිහින් දෙන්න කියලා ලියුමක් අයියාට දීලා ගියේ. එයා ඒක ගෙනිහින් දීලාද ?"

"මම නම් දන්නේ නැහැ තාත්තේ"


"එයාට කියන්න ඒක කරලා තිබ්බේ නැත්නම් ආයි මම ආපුවාම මාත් එක්ක කතා කරන්න එපා කියලා"


"හරි තාත්තේ මම අයියට කියන්නම්"


ඒ කතාබහ ගියේ අපේ තාත්තයි අපේ නංගියි අතර telephone එකෙන්. මෙතන අයියා කියල සඳහන් කරන්නේ මාව නිසා මාත් කන් ඇන්දා මොකක්ද කියන්නේ කියලා බලන්න.

කතාබහ ඉවර වෙද්දී මටත් මතක් වුණා තාත්තා පවරලා ගිය වැඩේ. අපේ තාත්තා මේ දවස්වල first aid training එකකට ගිහින් ඉන්නේ. ගිය සිකුරාදා තමයි ඒකට ගියේ එන්නේ අද. ඉතින් තාත්තා යන්න කලින් රාජගිරියේ office එකකට ගිහින් දෙන්න කියලා ලියුමක් දීලා ගියේ. මට මේ දවස්වල එක දිගට එක එක වැඩ set වුණු නිසා ඒ වැඩේ කරන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුණේ.


මේ දවස් ටිකේම හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බේ ඒ තරමටම වැඩ තිබුණා. දහම් පාසලේ වාර විභාගේ ප්‍රශ්න පත්තර ටික type කරන කොන්ත්‍රාත්තුව අපේ හාමුදුරුවෝ සුපුරුදු පරිදි බාර කළා.

ඒ මදිවට මේ දවස්වල යොවුන් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න යනවා. ඔයාලටත් සමහරවිට ඒකේ news එක එන්න ඇති. ඉතින් ඒ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණෙට අපේ යෞවන සමාජයේ ඉන්න පොඩි හාමුරුවෝ [අර කාමරේ ගිනිගත්තු පොඩි හාමුදුරුවෝ] අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. හාමුදුරුවන්ගේ ලියුම් කියුම් වගයක් type කරන්නත් මට බාර වුණා.

ඒ ඔක්කොමත් එක්ක රහසිගතව වෙන්න ඕනේ විභාග ප්‍රශ්න පත්තරේකුත් type කරන්න set වුණා. මේ විදිහට ලියුම් කියුම්, කොටන වැඩේ නිසා බ්ලොග් ලිවිල්ල සම්පූර්ණයෙන්ම මගඇරිලා ගියා. ඒ වුණත් බ්ලොග් කියවිල්ල නම් අතපසු කළේ නැහැ.

මේ වෙද්දී ප්‍රශ්න පත්තර කෙටිල්ල ඉවරයි. ඒත් යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ඉවර නැහැ. මොකද හෙට තමා ඡන්දේ තියෙන්නේ. තාමත් එක එක ඒවා type කරන්න හම්බෙනවා. මාත් ඉතින් බැහැ නොකියා කරලා දෙනවා.

මේ විදිහට ලෝකෙට සමාජෙට මෙහෙවර කළාට තාත්තාගේ වැඩේ නොකරොත් ගෙදරින් පිටුවහල් වෙන්න තමා වෙන්නේ :)) "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" වෙලා බැහැනේ මම තීරණය කළා හෙට [ ඒ කියන්නේ අද ] අනිවා රාජගිරියේ ගිහින් තාත්තාගේ වැඩේ කරනවා කියලා.

ඉතින් උදේ අම්මයි නංගියි ඉස්කෝලේ ගියා [ අපේ අම්මා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි උගන්වන්න :) ] ඊයේ හිතාගත්තාට රාජගිරි යන්න දැන් නම් කම්මැලියි කම්මැලියි වගේ නොගිහිනුත් බැහැ. මීට කලින් ඒ office එකට මම ගිහිනුත් නැහැ. අනික රාජගිරි යන්න බස් දෙක තුනක් යන්නත් ඕනේ. පයින් ඇවිදිල්ලකුත් තියෙනවා වගේ.

ඒවා මතක් වෙද්දී කම්මැලිකම double වෙනවා වගේ. ඕවා මොනවා වුණත් තාත්තා හැන්දෑවේ එන්න කලින් වැඩේ කරලා තිබ්බේ නැත්නම් තාත්තා එක්ක කතා කරලත් හමාරයි.

මේ තමා අපේ Motor bike රාජයා

මේ සියලු කරුණු කාරණා විශ්ලේෂණය කරලා කිරලා මැනලා ගත්තාට පස්සේ මම තීරණය කළා bus එකේ යන්නේ නැතිව motor bike එකේ රාජගිරි යන්න ඕනේ කියලා. එතකොට පැය ගණන් බස්වල යන්න ඕනෙත් නැහැ. පයින් ඇවිදිලි set වෙන්නෙත් නැහැ. ඒත් motor bike එකේ යන එකෙත් ප්‍රශ්න 2 ක් තියෙනවා. ඒවා ලෙහෙසි පහසු ප්‍රශ්න නෙමෙයි.

මෙන්න ප්‍රශ්න

ප්‍රශ්න අංක 1 : මට motor bike පදින්න licence නොතිබීම. Motor bike නෙමෙයි කොටින්ම මට විල්බැරෝව ඇරෙන්න වෙන කිසිම වාහනයක් පදවන්න ලංකාවේ වලංගු රිය පැදවීමේ බලපත්තරයක් නැහැ :))

ප්‍රශ්න අංක 2 : අපේ bike එකේ licence එක අප්‍රේල්වලින් ඉවරයි. එතකොට ඒකත් licence කරන එක මාස 7 කින් පරක්කුයි.

කොහොමද සෙල්ලම් ප්‍රශ්න 2ක් නෙමෙයි නේ. පොලිස් මාමලාට අහුවුණොත් අනිවා රුපියල් 10,000 කින් මෙහා ගොඩ ඒමක් නෑ. රුපියල් 10,000 කින් ෂේප් වුණොත් හොඳටම ඇති :))

ඒත් මොන ප්‍රශ්න තිබුණොත් පහුබහින එක සිංහලයගේ සිරිත නෙමෙයිනේ. ඉතින් මාත් අපේ පුතා අයියා දවසක් කිව්වා වගේ "ඕන .........." කියලා motor bike එකේ යන්න ලෑස්ති වුණා.

දෙයියෝ බුදුන් කාරියේ සිහිකරලා තමා කෝකටත් කියලා ගමන් ආරම්භ කළේ. සියඹලාපේ හන්දියෙන් [ඒක වඩාත් ප්‍රසිද්ධ බෙල්ල කපාපු හන්දිය කියලා] බණ්ඩාරවත්තට එතනින් පාලමෙන් කඩුවෙලට. පාලම ගාව Police Check Point එකක් තියෙනවානේ. එතනින් යද්දී බිත්තර තම්බන්න තරම් බොක්ක රත්වෙලා තිබ්බේ.

හොඳ වෙලාවට අවුලක් වුණේ නැහැ. මම හොඳට ඇඳලා කාරියේ jacket එකක් එහෙමත් දාගෙන ගියේ. පස්සේ කඩුවෙලින් මාලබේ හරහා කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය තමා මගේ ගමන් මග.

කඩුවෙලින් මාලබේ පැත්තට යද්දී මම එහෙන් මෙහෙන් දාගෙන තමා ගියේ. එහෙම යද්දී තමා දැක්කේ motor bike වලට යන්න වෙනම track එකක් තියෙනවා වම් පැත්තේ කොනටම වෙන්න. පස්සේ ඉතින් වහා ක්‍රියාත්මක වෙන පරිදි ඒකට පැනගත්තා. නැත්නම් පොලිස් මාමෙක්වත් දැක්ක නම් තමා.


ඔය හරියෙම පොලිස් මාමලා දෙතුන් දෙනෙක් motor bike එහෙම නවත්තලා licence check කරනවා මාම දැක්කා. මම පුලුවන් තරම් පාරේ මැදට වෙන්න ගිය නිසා ඒකත් එච්චරම අවුලක් වුණේ නැහැ.

පාරේ යද්දී මට හිතුණු දෙයක් තමා සමහර පොරවල් යන්නෙත් නැහැ. අනිත් අයට යන්න දෙන්නේත් නැතිව පාර මැද යනවා පාර තමන්ගේ බූදලේ කියලා හිතලා. ඒ වගේමයි සමහර පදිකයෝ ඒ කිව්වේ පයින් යන ඇත්තෝ පාරෙන් පුලුවන් තරම් අයින්වෙලා යන්නේ නැතුව පාරේ මැද යන්නේ. ඉතින් මේ ඔක්කොම අයත් එක්ක අපි පරිස්සමෙන් අපේ වාහනේ අරන් යන්න ඕනේ.

කොහොමින් කොහොම හරි රාජගිරිය හරියට ආවයි කියමුකෝ. පාරේ අඩියෙන් අඩිය පොලිස් මාමලයි, හමුදා මාමලයි. අද පාර්ලිමේන්තුව රැස්වෙන දවසක්. ඒක නිසා තමා එච්චර කට්ටිය නැතිව මාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්න එහෙම නම් නෙමෙයි :))

මගේ පපුව ගැහෙනවා අර මොකක්ද එකකට අහුවුණු ලා දල්ලක් වගේ. ඒත් දැන් ආපහු හැරිලා යන්නද ? ඔන්න ඔහේ යනවා කියලා මාත් ඉස්සරහටම ගියා. රාජගිරියට ආවට මාත් යන්න ඕනේ තැන හරියට දන්නේ නැති නිසා පාර ගාව හිටිය පොලිස් මාමෙක් ගාව bike එක නවත්තලා මම යන්න ඕන තැන address එක පෙන්නලා තැන ඇහුවාම ඒක ඉතාමත් කාරුණිකව ඒ පොලිස් මාමා මට කියාදුන්නා.

හොඳ වෙලාවට එයා දන්නේ නැහැ මටත් licence නැහැ, bike එකටත් licence නැහැ කියලා :))

තාත්තා කිව්ව office එකට ලියුම දීලා ආපු පැත්තෙන් යන්නේ නැතිව බොරැල්ල පැත්තෙන් යන්න මට හිතුණා. මොකද campus එක ගාවටත් යන්න පොඩි උවමනාවක් තිබුණු නිසා. ඉතින් බොරැල්ල හරියට එද්දී නා cutting වැස්ස. Bike එක පාරේ අයිනකින් නවත්තලා ටිකක් වෙලා වැස්ස පායනකම් හිටියා.


ආයි බේස්ලයින් පාරේ එද්දී වැස්සා. ආයි මුල්ලකට වෙලා ටිකක් වෙලා වැස්ස පායන්කම් හිටියා. අන්තිමට ගන්න දෙයක් නැහැ කලිසම හොඳටම තෙමිලා. හොඳ වෙලාවට jacket එක දාගෙන ආපු නිසා උඩ කොටස වැස්සෙන් බේරුණා. කමිස සාක්කුවේ තමා Phone එකත් දාලා තිබ්බේ.

හිරිපොද වැස්සේ campus එක ගාවට ඇවිත් අර මම කලින් කිව්වේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණේ ගැන ඒකේ ලියුම් කියුම් වගේකුත් print කරගෙන දවල් 12.30 විතර මගේ අඬු මොකවත් කඩාගන්නේ නැතිව, ඒ වගේම පාරේ හිටිය අයගේ අඬු මොකවත් කඩන්නේ නැතිව, ඒ වගේම bike එක හප්ප ගන්නේත් නැතිව යහතින් ගෙදරට වාර්තා කළා.

ගෙදරට ඇවිත් මුලින්ම කළේ ඉෂ්ඨ දේවතාවන්ට පින් දීපු එක මග තොටදී මොනම අතුරු ආන්තරාවක්වත් නැතිව ගෙදරට යහතින් එන්න ලැබුණු එකට.

මේ කතාවෙන් මම ගන්න ආදර්ශේ තමා licence නැතිව පැද්දා හොඳටම ඇති. ඉක්මණට licence ගන්න ඕනේ කියන එකයි.


කොටින්ම තව පොඩ්ඩෙන් මට අද මේක ලියන්න වෙන්නේ නැහැ කූඩුවේ කූරු ගැන ගැන තමා ඉන්න වෙන්නේ :))

ප.ලි.: ඉස්සරහට ආගිය ගමන් කීපයක් ගැන කතා දෙක තුනක් ලියන්න ඉන්නේ. තාම ඒකට වෙලාවක් හම්බුණේ නැහැ. වෙලාවක් හම්බුණු ගමන් ඒවා ලියන්න ඉන්නේ.

ඒවා අතරින් Campus එකේ ජෑම් ගහ යට සංගමෙන් සංවිධානය කරපු Zoo එකට ගිය ගමනත්, ඒ වගේම සාඩම්බර හසී පවුලෙන් මුද්දර කාර්යාංශයේ තිබුණු මුද්දර ප්‍රදර්ශනය බලන්න ගිය ගමන ගැනත් අනිවා ලියන්න ඉන්නේ..............

Friday, November 12, 2010

හොඳම උපයා ගැනීම


අපේ ජීවිතේ අපි නොයෙක් විදිහේ උපයා ගැනීම් කරනවා. ඒ උපයා ගැනීම්වලින් අපි කරන්න ඕනේ හොඳම උපයා ගැනීම විදිහට ඔයාලා හිතන්නේ මොකක්ද ? මට නම් හිතිලා තියෙන්නේ අපි කරන උපයා ගැනීම්වලින් හොඳම උපයා ගැනීම වෙන්නේ විශ්වාසය උපයා ගැනීම කියලා.

ඒ ගැන මම පොඩි කතාවක් කියන්නම්.

මම දොරක් වහන්න ගිහින් දොරේ එක කැඩිලා මගේ අත කැපුණු කතාව
ඔයාලට මතක ඇති. අන්න ඒ දවසේ තමා මේ කතාවත් වුණේ. එදා මගේ අතේ වුණු තුවාලෙට බෙහෙත් දාන්න කට්ටිය මාව එක්කගෙන යන ගමනේදී මගේ phone එකට call එකක් ආවා මාත් එකට අපේ first aid team එකේ ඒ කියන්නේ St. John Ambulance Brigade එකේ වැඩ කරන මල්ලී කෙනෙක්ගෙන්.

අතේ අමාරුවත් තියාගෙන මේ රෑ ජාමේ මෙයා මොකද කතා කරන්නේ කියලා බලන්න මම call එකට answer කළා. මෙන්න ඒ මල්ලියි මායි අතර ඇතිවුණු දෙබස.

මම : "........... මල්ලී කියන්න මොකද මේ රෑ ජාමේ"

මල්ලී : "පොඩි හදිස්සියකට තමා හසිත අයියේ කතා කළේ"

මම: " හරි හරි කියමුකෝ බලන්න මොකක්ද කියලා"

මල්ලී : "මගේ computer එක කැඩිලා හදන්න දාලා තියෙන්නේ අයියේ. ඒක දැන් හදලා ඉවරයි. Shop එකේ ඕක තිබ්බොත් මොන මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ගන්න පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. තාත්තා අතෙත් නැහැ සල්ලි. ඒකයි ඔයාට කතා කරලා බැලුවේ"

මම : "කීයක් විතර වගේද මල්ලී ?"

මල්ලී : " රුපියල් තුන් දාහක් විතර "

මම : " මේකයි මල්ලී කාරණේ [මම එහෙම කියද්දී හිතුවාද දන්නේ නැහැ මම නැහැ කියන්න තමා යන්නේ කියලා] මගේ අතේ මේ වෙලාවේ නම් එච්චර ගාණක් නම් නැහැ. බැංකුවෙත් එච්චර ගාණක් නැහැ මට මතක විදිහට. ඒත් මල්ලී ඔයා තව පැය භාගෙකින් call එකක් ගන්න. මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

මල්ලී : "හරි හසිත අයියේ මම තව පැය භාගෙකින් call එකක් ගන්නම් ඔයාට"


ඒ වෙලාවේ මං ගාව සල්ලි නැති නිසා මට කෙලින්ම කියන්න තිබ්බා "මල්ලී මං ගාව එච්චර ගාණක් නැහැනේ. වෙන කෙනෙක්ගෙන් බලනවාද" කියලා. ඒත් මට එහෙම කියන්න හිතුණේ නැහැ. මොකද ඒ මල්ලීගේ හිතේ මම ගැන තිබුණු විශ්වාසය නිසා.

ඒ කියන්නේ ඒ මල්ලීගෙන මම උපයා ගෙන තිබුණු විශ්වාසය තමා "හසිත අයියාගෙන් හදිසියකදී උදව්වක් ඉල්ලුවොත් එයා මට ඒක කරලා දෙයි" කියන එක. ඒක ආරක්ෂා කරන එක මගේ වගකීම කියලයි මට හිතුණේ.

හරි ඉතින් දැන් රුපියල් 3,000 මම කොහෙන්ද හොයන්නේ. මම ඒ වෙලාවේ හිටියේ මිස් එක්කනේ [මම A/L Logic වලට Tution Class ගිය ගුරුතුමිය] එක්කනේ. මම මිස්ගෙන් රුපියල් 3,000 ක් ඉල්ලුවා. මිස් ඇහුවා මොකද කියලා. මම ඉතින් A-Z විස්තරේ කිව්වා.

පස්සේ මට මිස්ගෙන් රුපියල් 3,000 ක් හම්බුණා. පැය භාගෙකින් පස්සේ මල්ලී කතා කළාම මම කිව්වා.
"වැඩේ හරි. මම ඔයාට උදේට සල්ලි දෙන්නම්. මේ සල්ලි මගෙත් නෙමෙයි මාත් කෙනෙක්ගෙන් loanඑකක් දාලා තමා සල්ලි හොයාගත්තේ ඒක නිසා හැකිතාක් ඉක්මණට මේක බේරන්න ඕනේ" කියලා.

මම එහෙම කිව්වේ මම සාමාන්‍යයෙන් ණය වෙලා ඉන්න හරිම අකමැති නිසා. මල්ලිත් කිව්වා "දවස් 5 ක් ඇතුළත මේක බේරන්නම් අයියේ" කියලා.

අන්තිමට දවස් 5 ක් ගියා. මෙයාගෙන් මොකුත් ආරංචියක් නැහැ. මම දවස් 7 ක් විතර ගියාට පස්සේ මල්ලිට call කළා. ඒත් answer කරන්නේ නැහැ. මම යැව්වා message එකක් "මල්ලී දැන් දවස් 5 ක් නෙමෙයි දවස් 7 ක්ම ගියා" කියලා.


මම ඇත්තට හරිම අපහසුතාවයෙන් හිටියේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. අන්තිමට සති 2 ක් විතර ගියාට පස්සේ මල්ලී ඇවිත් පරක්කු වුණාට කණගාටුව ප්‍රකාශ කරලා සල්ලි දීලා ගියා. මම පරක්කු වුණාට මොකවත් කියන්න ගියේ නැහැ.

මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණු දෙයක් තමා ඒ මල්ලීගෙන් මම විශ්වාසය උපයාගෙන හිටියා "මුදල් හදිසියකදී හසිත අයියාගෙන් සල්ලි ඉල්ලුවොත් ඒක එයා කරලා දෙයි" කියලා. මම ඒක ආරක්ෂා කරන්න කටයුතු කළා. අතේ සල්ලි තිබ්බේ නැතත් කොහෙන් හරි හොයලා ඒක කරලා දුන්නා.

ඒ වගේම ඒ මල්ලී මගෙන් විශ්වාසයක් උපයා ගෙන තිබ්බේ "නියමිත දවසට සල්ලි බේරයි" කියන එක. ඒත් ඒ මල්ලී ඒක් රැකගන්න කටයුතු කළේ නැහැ. නියමිත් දවස පහු වෙද්දී ඒක ගැන කිව්වෙත් නැහැ. මගේ Call, SMS වලට උත්තරයක් දුන්නෙත් නැහැ.

මේවගේ දේවල්වලින් කණගාටුවට පත් වුණත් අනුන්ට උදව් කරන්න ඕනේ, උපයා ගත්තු විශ්වාසය රැකගන්න ඕනේ කියන හැඟීම මගේ හිතෙන් තාම ඉවත්වෙලා නැහැ.

ඔයාලා තාපසතුමා හා නාගයා ගැන කතාව අහලා තියෙනවාද ?

දවසක් නාගයෙක් ගඟේ පාවෙලා යනවා දැක්කාලු තාපසතුමෙක්. නාගයා හිටියේ කොටේක. තාපසතුමා ඒ කොටේ ගොඩට අරන් නාගයාව බේරගන්න උත්සාහ කරද්දී නාගය තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු. තාපසතුමාත් උත්සාහය අත අරින්නේ නැතිව ආයි කොටේ ගොඩට ගන්න යනවාලු. නාගයාත් කලින් විදිහටම තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු.

මේක කීපවතාවක්ම සිදුවෙනවා බලන් හිටිය තවත් තාපසතුමෙක් මුල් තාපසතුමාට කිව්වාලු "ඔබතුමාට පේන්නේ නැද්ද ? ඒ නාගයා ඔබතුමාට දෂ්ඨ කරන්න යන්නේ. ඔය වැඩේ තවදුරටත් කරන්න බැහැ නේද ? " කියලා.

එතකොට තාපසතුමා කිව්වාලු "නාගයාගේ ගතිය තමා දෂ්ඨ කරන එක. ඒත් මගේ ගතිය තමා අනුන්ට උදව් කරන එක" කියලා.

මෙතන තාපසතුමා තමන්ගේ ජීවිතේට හානියක් වුණත් අනුන්ට උදව් කරන්න යන කෙනෙක්. අපි හැමෝටම එහෙම කරන්න අමාරුයි නේ.

ඒ වුණත් අපිට පුලුවන් හැම අවස්ථාවේදීම අපි අනුන්ගෙන් උපයා ගත්තු විශ්වාසය ආරක්ෂා කරන්න කටයුතු කරමු. ඔබට යහපතක්ම වේවි.

මේ කතාව කියන්න හිතුණේ මාධව හබරකඩ අයියා ලියපු "විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]" කතාව කියවන්න ලැබුණාට පස්සේ. ස්තුතියි මාධව අයියා :)

Tuesday, November 9, 2010

නරක දේක තියෙන හොඳ පැත්ත.

නරක දේක හොඳ පැත්තක් තියෙනවාද ? හොඳ දෙයක් නැති නිසානේ අපි ඒකට නරකයි කියන්නේ. ඒ වගේම හොඳ දේක නරක පැත්තකුත් තියෙනවාද ? එතකොට ඒක නරකයි නම් ඒකට කොහොමද අපි කටක් ඇරලා හොඳයි කියන්නේ.

මේක අහපුවාම නිකම් අපබ්‍රංස වගේ කියලා කාට හරි හිතෙන්නේ පුලුවන් නේද ? හරියට හරි. ඒත් මට මේ වගේ දෙයක් හිතුණේ මේ ඊයේ පෙරේදා දවසක වුණු සිද්ධියකුත් එක්ක.

ඊට කලින් මේ කතාවටම එකතු කරන්න පුලුවන් තව රුවන් වැකියක් තමා "හැම දෙයක්ම වෙන්නේ හොඳටනේ" කියන එක.

ඒක ගැන කට්ටිය මොකද කියන්නේ? එහෙම කියමනක් මම දැනගත්තේ විජය පත්තරේ ගිය කතාවකින්. විජය පත්තරේ කියද්දී මතක් වුණේ මම 2008 උසස් පෙළ කරද්දිත් විජය පත්තරේ වගේම මිහිර පත්තරෙත් නොවරදවාම ගත්තා. [ඊට පස්සේ පත්තරේ ගන්න එක නැවැත්තුවා.]

අපේ පංතියේ කොල්ලෝ මට නක්කලේ දානවා
"උඹ තාම පොඩි එකා වෙන්න යනවා පොඩි එවුන්ගේ පත්තර කියවලා" කියලා.

ඒත් මම ඒ පත්තර ගෙනාපුවාම මට නක්කලේ නොදාපු එවුන් වගේම දාපු එවුනුත් පත්තරේ අනිවා කියවනවා. ඉතින් ආයි කතාවට එමුකෝ.

විජය පත්තරේ තිබුණු කතාව මෙහෙමයි. එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය රජතුමෙක්ගේ ඇඟිල්ලක් දවසක් කැපෙනවා වෙන් වෙන්නම දවසක්දා. හැම ඇමතියාම ඒක ගැන දුක් වෙද්දී එක ඇමතියෙක් විතරක් කිව්වාලු "හැම දේම වෙන්නේ හොඳටයි" කියලා.

මේක අහපු රජ්ජුරුවන්ට ඌරු ජුවල්ලු. ඇඟිල්ල කැපිලා වෙන්වෙලා තියෙද්දී මූ මේක හොඳයි කියනවනේ කියලා. රජතුමා හිතාගත්තලු "දෙන්නම් මුට බැටේ" කියලා.

දවසක්දා රජතුමා අර ඇමතියාට දඩයමේ යන්න එන්න කියලා මේ දෙන්නා විතරක් දඩයමේ ගියාලු. අර පරණ තරහත් හිතේ තියාගෙන හිටිය රජතුමා මේ ඇමතියාව ඒ කැලේ මායිමේ තිබුණු හෙළකින් පහළට තල්ලු කලාලු.


"තෝ මැරිලාම පලයන් මට අනම් මනම් කිව්වාට. හැමදේම වෙන්නේ හොඳටනේ. දැන් එහෙමනම් මැරියන්" කියලා.

රජතුමාට ඇමතියාව හෙළෙන් තල්ලු කරලා ටික දුරයි යන්න වුණේ නිධන් හොරු කට්ටියක් රජතුමාව අල්ල ගන්නවාලු. උන්ට නිධානයක් ගන්න බිල්ලට තියන්න අංගසම්පූර්ණ මනුස්සයෙක්ව ඕන වෙලා තියෙන්නේ.

ඉතින් රජතුමා කියන්නේ අංගසම්පූර්ණ මනුස්සයෙක් නේ හොරු සෙට් එකට මාර happy බිල්ල ළඟටම ආපු එක ගැන. හොරු ටික රජතුමාගේ ආභරණ එහෙම ගලවලා බිලි පූජාවට ලෑස්ති කරද්දිලු දැක්කේ අතේ ඇඟිල්ලක අඩුවක් තියෙනවා. පස්සේ හොරු ටික රජතුමාව නිදහස් කරාලු.

එතනින් බේරිලා එද්දී රජතුමාටත් නිකම් හිතුණාලු ඇත්ත තමා හැමදේම වෙන්නේ හොඳටනේ. අද මගේ ඇඟිල්ල තිබ්බා නම් හොරු ටික මාව බිල්ලට දීල නේ කියලා. පස්සේ රජතුමා හිතුවාලු ඇමතියා හරි තමා මම එයාව බේරගන්න ඕනේ කියලා හිතලා හෙළ ගාවට ගිහින් බලද්දී ඇමතියා වැලක එල්ලිලා ඉන්නවාලු. ඉතින් රජතුමා ඇමතියාව ගොඩට ගත්තාලු.

පස්සේ තමන්ගේ අතින් වුණු දේ ගැන රජතුමා ඇමතියාට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරද්දී ඇමතියා කිව්වාලු. "දේවයන් වහන්ස, ඒකත් වුණේ හොඳට නේ. බැරිවෙලාවත් එහෙම නොවී මාත් ඔබ වහන්සේ එක්ක ගියා නම් හොරු මාව බිල්ලට අරන් නේ" කියලා.

ඉතින් ඔහොමලු "හැමදේම වෙන්නේ හොඳටයි" කියන කතාව භාවිතයට ආවේ.

ඉතින් මම දැන් මට වුණු සිද්ධිය කියන්නම්කෝ. මේ වගේ ඒවා මට හිතුණේ මම අන්තිමට දාපු "අපගේ බලවත් ශෝකය" කියන post එකට Anonymous කෙනෙක් දාලා තිබුණු comment එකක් නිසා.

ඒකේ තිබුණේ මෙහෙමයි.

"ane p*****a miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k****o...uba h----- eka l----- kanwada k****a....padue hitapn...p****a athal dhenne nathuwa"

මේක දාලා තිබුණේ පෙරේදා හැන්දෑ වරුවේ. මේක දැක්ක ගමන් හසී අයියා මේක ගැන කියලා මට message එකකුත් එවලා තිබුණා. ඒ වෙලේ මම නිදි. මොකද හසී අයියා message එක එවලා තිබුණේ 9 ට විතර වගේ. මම උදේ message එක දැක්කාම blog එකට ගිහින් බැලුවා මොකක්ද මේ ඇනෝ කියලා තියෙන්නේ කියලා.

ඒකට හසී අයියත් හොඳ උත්තරයක් දීලා තිබුණා.

"කවුරුවක්වත් රවට්ටන්න අපිට ඕනි කමක් නෑ... අපි අපේම හසී සහෝදරීට සුභ පතපු එකයි කලේ....ඒක අපේ වැඩක්....ඒ වගේම යුතුකමක්‍‍...තමුන්ගා වගේ ජාතියක් ජන්මයක් නැතිවුන්ට කොහෙද ඉතිං සහෝදර බැදීමක්..... අපි ගැන දන්න අය තමයි අපේ බ්ලොග්වල කමෙන්ට් දැම්මේ..දාන්නේ...නිකන් වලිගේ පාගන් උඩ පනින්න එපා.... උඹේ කොන්ද පණ නෑ කියලා දන්නවා ඇනෝ කමෙන්ට් දානකොටම....අපි අපේ වැඩක් බලාගන්නම්...උඹ නිකන් උඩ පැනලා නහින්නේ නැතිව හිටියොත් හොදයි නේද..."

මට ඇත්තටම ඒ වෙලේ comment එකක් දාන්න හිතුණේ නැහැ. ගැමුණු කුමාරයා උණුවෙන් හුණුසාල් බත් කන්න ගිහින් අත පුච්ච ගත්තලුනේ. මටත් හිතුණා උණු උණුවේ අත දැම්මොත් අත පිච්චෙනවා ඒක නිසා හිමින් සැරේ ගේමට බහින්නම්කෝ කියලා.

පස්සේ ඊයේ දවසත් ගෙවිලා ගියා. මම ඊයේ වැඩ වගේකට මීගමු ගියා. ඉතින් bus එකේ එනකම් යනකම් පැය 2 ක් නිකම්ම තමා ගියේ. මට සාමාන්‍යයෙන් හොඳ හොඳ ideas එන්නේ bus එකේ යද්දී. ඉතින් මීගමු ගිහින් ආපහු එන පැය 2 දී මට හිතුණා මෙහෙම comment කළොත් වගේම post එකකුත් ලිව්වොත් හොඳයි කියලා.

අන්තිමට ඉතින් මේක තමා මගේ අතින් ලියවුණේ........

අන්තර්ජාලය කියන්නේ facebook කියන්නේ ගෝනි බිල්ලෙක් මිනිස්සුගේ ඔළු අවුල් කරනවා, ළමයි විනාස කරනවා කියලා මතයක් අද වෙද්දී සමාජයේ හුඟාක් අය අතර ගොඩනැඟිලා තියෙනවා.

ඒ වුනත් ඒක එහෙම නෙමෙයි කියන්න හසී පවුල කියන එක උදාහරණයක් විතරයි. හසී පවුලේ කට්ටිය එකට එකතු වෙලා මුහුණට මුහුණ හමුවෙලා නැතත් එකම පවුලේ සහෝදර සහෝදරියන් වගේ ඉන්නවා කියන එක කියන්න ඕනේ.

ඒක ඇතිවුණේ මේ සිංහල බ්ලොග් අවකාශය නිසා, facebook එක නිසා. ඒ නිසා අපේ සහෝදරයෙක්ගේ, සහෝදරියක්ගේ උපන් දිනයකට සුභ පතන එක වෙනත් විදිහට අර්ථ ගන්වන්න යන අය ගැන ඇත්තටම කණගාටුයි

කොහොම වුනත් මේ ඇනෝගේ ප්‍රතිචාරය මම අයින් කරන්නේ නැහැ. ඒ මට ඕනේ කරන ප්‍රතිචාර විතරක් දමාගන්න මම blog එකක් කරනවා නම් ඒක ඒකාධිපති සොබාවයක් ගන්නවා කියලා මට හිතෙන නිසා

ඒ මොනවා වුණත් ගැටළුවක් තියෙනවා නම් විරුද්ධත්වයක් තියෙනවා නිර්නාමිකව ඇවිල්ලා කුණුහරුපයක් දෙකක් කියලා යන එක වීරකමක් කියලා මේ ඇනෝ හිතනවද දන්නේ නැහැ. කොහොමත් ඒ ජාතියේ අයගේ හැටි ඔහොම තමා. කොහොමත් මේ වගේ කට්ටිය හැංගිලා ඉදලා තමා ගේම් දෙන්නේ.

මහා රණශූර ජුලියස් සීසර්ටත් කිණිස්සෙන් ඇන්නේ පිටිපස්සෙන් ඉදලා. ඒ මුහුණ මුහුණ ඉදන් එහෙම දෙයක් කරන්න හයියක් නොතිබුණු නිසා. එහෙම දෙයක් කරලා ඒ කට්ටිය fun එකක් ගත්තා සීසර්ටත් අපි බැටේ දුන්නා කියලා. ඒත් අන්තිමට ඒ හැමෝටම වුණේ මියයන්න.


ඒ වගේ මේ ඇනොත් හැංගිලා ගේම් දීලා simple fun එකක් ගත්තාට එයාට වැඩ වරදින දවසකුත් එනවා කියන එකත් මතකයේ තබාගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

ඒක කාගේවත් නීතියක් නෙමෙයි සොබාදහමේ නීතිය.

කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳටයි කියලා සාමාන්‍යයෙන් මම හිතන නිසා මේ තර්ජනයේ තියෙන හැංගුණු හොඳ මොකක්ද කියලා මම හිතද්දී මට හිතුණේ මෙන්න මේකයි.

මීට කලින් අදහස් දක්වපු විපුල මහත්මයාත් [මම හිතන විදිහට විපුල සුමනසේකර] කිව්වා

"හැබැයි ගොයියො මේවා කියවන්ට යන කාලේ ගැන ටිකක් දුකයි... තරහාවෙන්න එපෝ.... "

ඒ වගේම ඇනෝ කියන විදිහට

"ane p****** miinissunawa erawattla blog ekata katttiya genna ganna epa k*****..."

මේ කතා දෙකෙන්ම මට හිතුණේ බ්ලොග් කියවන අය ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා මගෙන්.

ඇත්තටම මේ දවස් ටිකටම හසී අයියගෙයි, හසී අක්කගෙයි උපන් දින සුභ පැතුම් ඇරෙන්නේ වෙන මොකවත් මම ලියලා නැහැ. එතකොට මේ වගේ දේවල් වෙන්නත් පුලුවන් නේද කියලා මට හිතුණා.

මේ වගේ දෙයක් වුනේ මම අළුත් blog එකක් පටන් ගත්ත එකෙන්. ඒක ගැන මම කට්ටියට කිව්වානේ.

http://eatuwawa.blogspot.com/

ඉතින් ඒකට post එකක් ලියද්දී ඒවාට ටික කාලයක් මිඩංගු කරන්න වෙනවා. ඒක නිසා ආගිය කතාවට තිබුණු අවධානය අඩුවුනා කීයලා කිව්වොත් නිවැරදියි.

ඒක නිසා ඉස්සරහට මේ වගේ හුටපට නොවෙන්න blogs දෙක ගැනම සමානව අවධානය යොමු කරලා කටයුතු සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා කියන්න කැමතියි. එතකොට ඔක්කොම හරි නේ.

එහෙම නම් අළුත් කතා එක්ක හමුවෙමු.

http://aagiyakatha.blogspot.com/


ප.ලි.: මේ කතාවේ ආදර්ශය

හොඳින් බලන්න. කරුණෙන් කරුණ විමසමින් බලන්න. නරක දේක වුවත් සැඟව ඇති හොඳක් ඔබට සොයා ගැනීමට හැකිවේවි. [මේක හොඳ දේකට කොහොම වෙයිද දන්නේ නැහැ. මට අත්දැකීමක් හම්බුණු දවසකට කියන්නම් ඔයාලටත් :))]

ප.ප.ලි.: මේ post එක නිසා තව හොඳක් වුණා. විජය පත්තරේට link එක දාන්න නිකමට වගේ Google එකේ search කරද්දී දැක්කේ විජය පත්තරේ අන්තර්ජාලෙටත් එකතු කරලා තියෙන වග. ඒ කියන්නේ ඉස්සරහටත් මට විජය පත්තරේ කියවන්න ලැබෙනවා කියන එක.

ප.ප.ප.ලි.: ඇනෝගේ comment එක මම delete කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් හසී අයියා අද උදේ එවපු message එකක් නිසා ඒ තීරණේ මම වෙනස් කළා. අපේම සහෝදරියක් වගේ ඉන්න හසී අක්කාට ඒකෙන් යම් අපහාසයක් වෙනවා නම් ඒකට පිළියම් යොදන එක මගේ යුතුකමකටත් වඩා වගකීමක් වෙන නිසා.......

Saturday, November 6, 2010

෴ අපගේ බලවත් ශෝකය !!! ෴

සමාවෙන්න ඕනි අද කෂ්ටියට උදෙන්ම ගොඩාක් ශෝකජනක සිද්ධියක් කියන්න වෙන එක ගැන.ඒත් මේක නොකියා කෝමද...හිතේ තියෙන දුක කෂ්ටයත් එක්ක බෙදාගන්න හිතුනා.හිතේ තද කරන් දුක් විදිනවට වඩා හොදයිලුනේ කාට හරි කියලා හිත සනසා ගන්න එක.

අපි අතර සිටි "ඇය".........හ්ම්ම්ම්ම්ම්ම්......

කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද මන්ද.....හිතාගන්න බෑ....හීනයක් වගේ......

ඇය අපිට හමුවුනේ අපේ වාසනාවටද මන්ද....අපි හමුවුන විදිහ හරිම පුදුමයි.හිතාගන්න බෑ.ඇත්තම කිව්වොත් අහම්බෙන් වගේ.....

අපිට බනින්න...කෑගහන්න....අපේ වැරදි පෙන්නන්න....විහිළු කරන්න...බයිට් කරන්න......බයිට් වෙන්න (වැඩිපුරම)....රණ්ඩුවෙන්න....අපිව හිනස්සන්න....අපේ දුක බෙදාගන්න....මේ හැමදෙකටම අපි ලගින්ම හිටියේ ඇය......

ඇත්තටම අපි සමග සිටි ඇය ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ....ඒ දුක කියන්න බැරි තරම්.....බ්ලොග් ලියන අපේ සහෝදර සහෝදරියන්ටත් මේක ඇත්තටම දරාගන්න අමුරුයි කියලා අපි දන්නවා.ඒත් මේක තමයි අපේ ජීවිතේ.......අපි ඒකට මුණ දෙන්න වෙනවා....

කවුද ඇත්තටම මේ ඇය....

වෙන කවුරුත් නෙවේ ඇය අපේම කෙනෙක්....මෙන්න මෙතනින් ගිහින් "ඇය" කවුද කියලා බලන්නකෝ.......

දැන් දන්නවනේ කට්ටිය....ඇය හරියට මල් කුමාරියක් වගේ....ඒත් මොනාකරන්නද....මේක තමයි අපි හැමෝටම උරුම දේ.....

ඉතිං ඇයට මොකද වෙලා තියෙන්නේ....?

ම්ම්ම්ම්ම්ම් ඇ...ඇය.... අනේ මන්ද මේවා කොහොම කියන්නද කියලා හිත හදාගන්න බෑ.....

කවදා හරි මේක දැනගන්න වෙනවනේ...ඔන්න එහෙනම් කියන්නම්.....මොනා කරන්නද ඉතිං දුකයි කියලා.....

ඒ තමයි ඇය....ඇය.....තව අවුරුද්දකින් වයසට යනවනේ....

මොකක්.....!!!!

ඔව් ඔව් අද එයාගේ උපන්දිනේ.....ඉතිං දුක නැද්ද අප්පා.....මේ මල් කුමාරි වගේ ඉන්න අපේ මේ හසී (හසී කෙල්ල) තව අවුරුද්දකින් වයසට යන එක ගැන....ඇත්තටම හරිම දුකයි.....(දැනටත් අවුරුදු 80ක් විතර වෙනවා මයේ හිතේ‍‍‍‍...මේකප් එකෙන්නේ ඔය අවුරුදු 40ක විතර පෙනුම අරන් තියෙන්නේ.....)

ඒත් ඉතිං කොච්චර දුක වුනත් ඒක සමරන්න එපායෑ...නැතිනම් දුකෙනුත් වැඩක් නෑනේ......

ඔන්න ඉතිං අපේ "හසී ෆැමිලි" එකේ සෙට් එකයි....ඇයි අනේ මේ එස්.බී.යු. හෙන සෙට් එකයි.... කෂ්ටයම එකතුවෙලා අපේ හසීට හදවතින්ම සහ බොක්කෙන්ම සුභම සුභ උපන්දිනයක් වෙන්නත්, හිතන පතන සියළුම දේ ඒ විදිහටම වෙන්නත්, හිතේ සතුට රැදෙන්නත්, ජීවිතය සාර්ථක වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා...

එහෙනම් ඔන්න අපේ හසීට සුභ පතන්න කෂ්ටිය අමතක කරනවා එහෙම නෙවේ ඕන්...නැතිනම් දුක හිතෙයි එයාට...

කේක්...?? ඉතිං අපෙන් ඉල්ලන්නේ....එයාගෙන්ම ඉල්ලගන්න....
දෙයි දෙයි කෂ්ටියට කේක් එයාම හදලා දෙන්න ඕනි කියලා ඔන්න දැන් මාස ගානක ඉදන් එයා කුකරි ක්ලාස් එකකටත් ගියා......


කෝ කෝ කෂටිය චියර් එක්ක දෙන්න අපේ එසී කෙල්ල කේක් එක කපන්න යන්නේ......එහෙනම් ඉතිං කෂ්ටිය එකතු වෙලා කියන්නකෝ....

(හෙමින් පිඹින්න හසී කෙල්ලේ....නැතිනම් ඉටි පන්දම් නිවෙන එක කෙසේ වෙතත් ඔයා පස්සට විසික්වෙයි...අර නිව්ටොන් අයියගේ කොල කොල දේ පල පල දේ තියොරිය තාමත් මතක ඇතිනේ......)



හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් හසී කෙල්ලේ......
හැපි බර්ත් ඩේ ටූ යූ
.....





ෂා නියමයි....ඔය තියෙන්නේ......

එහෙනම් අපේ හසීට අපි ආයෙත් සුභ පතන ගමන් එයාගේ ගෙවල් පැත්තට යන්න සෙට් වෙමු....අද එහෙ පාර්ටි එකක්ලුනේ....ඔව් ඔව් කන්න බොන්න බැරිනම් නාන්න වුනත් දෙන්නම්ලු......එහෙන්ම කෂ්ටිය තෑගි බෝග අරන් ඒ පැත්තට යමු......අපිත් එක්කම යන්න පුළුහන්නේ.....නඟින්නකෝ මෙහෙන්ම ලොරියට....නෑ නෑ ලොරියක් කිව්වට මේක හෙන දිග කන්ටේනර් එකක්...කෂ්ටියටම යන්න හැදුවේ....කෝ කෝ ඉක්මන් කරන්න....ඔන්න එහෙනම් අපි ගියා......


උදේ සුපිපුණු මලක් බදු
ළපටි අත පය හූඟක් මුදු
අම්මා හරි ආදරෙන් හැදු
අපේ නංඟිගේ නමයි සුදු.....





අපි
හසී පවුලේ සාමාජිකයෝ
(ඔබේම නිවුන් සහෝදරයෝ)