Sunday, August 15, 2010

වේදිකා නාට්‍යයක් බලන්න ගියා


Campus එක ඉස්සරහ මේ සෙනසුරාදා ඒ කියන්නේ 14 වෙනිදා එල්ෆින්ස්ටන් හි නරි බෑනා සහ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නනවා කියලා poster එකක් ගහලා තිබ්බා. මේ දවස් ටිකේම එක දිගට වැඩ ගොඩ ගැහිලා ඒවා කර කර ඉදලා busy වෙලා හිටිය නිසා මම හිතුවා මේක බලන්න යන්න.

ඉතින් තනියෙන් යන්නත් බැහැනේ. Campus එකේ ඉන්න මගේ හොඳම යාළුවෙක්වත් set කරගෙන මම ගියා stage drama එක බලන්න. හැන්දෑවේ 3.30 ට තමා drama එක පටන් ගත්තේ. Tickets ගන්න ගියාම දැක්කා රු.1000, 500, 200 කියන ගණන්වලට tickets තියෙන බව. අපිට කොහෙන්ද රු.1000 tickest ගන්න සල්ලි. ඒක නිසා රු.200 tickets තමා අපි ගත්තේ


රු.200 ticketsවලට තිබ්බේ බැල්කනිය. සාමාන්‍යයෙන් film එකක් බලන්න ගියොත් බැල්කනි එකේනේ ගාණ වැඩි. ඒත් Stage Drama එකක් බලන්න ගියාම බැල්කනිය තමා ගාණ අඩුම :)

පස්සේ බැල්කනි එකට වෙලා වාඩි වෙලා ඉද්දී මම දැක්ක දෙයක් තමා හුඟක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවොත් එක්ක මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය එක. හුඟක් පොඩි ළමයි එහෙමත් ඇවිත් හිටියා.

උදේ පාන්දර ඉස්කෝලේ ගිහින් හැන්දෑවට tution class යන ඒත් නැත්නම් රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කාටූන් බලලා ඊටත් පස්සේ මළ ගෙදරයි අරවයි මේවායි බලන පොඩි එවුන්ව මේ විදිහට හරි හොඳ රස වින්දනයකට හුරු කරන එක ඇත්තටම වැදගත් දෙයක් නේ.


ඇත්තටම නාට්‍ය පටන් ගත්තාට පස්සේ අපිටත් වඩා ඒක රස වින්දේ ඒ පොඩි ළමයි ටික. ඒ කට්ටියගේ කතා බහින් ඒ වගේම හිනා වෙන ඒවායින් මට නම් හිතුණේ රූප පෙට්ටියේ දකින විකාරවලට වඩා මේ නාට්‍ය බලලා ඒ පොඩි ළමයි ඇත්තටම සතුටු වුණා කියලා.

අන්තිමට නරි බෑනා නාට්‍යයෙන් පස්සේ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නුවා. ඒකට නම් එච්චර අය හිටියේ නැහැ. මොනවා වුණත් කෝලම් කියන්නේ ලංකාවේ තියෙන ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ඒවා අභාවයට යන්නේ නැතිව ආරක්ෂා කරන වගකීම අපි සතුවයි තියෙන්නේ. අන්තිමට නාට්‍යය අවසන් වෙලා ගෙදර යන්න එලියට බැස්සේ වෙනදාට වඩා හොඳ හිතකින්

ජසයා හා ලෙන්චිනා කෝලම

හොඳ රස වින්දනයක් තියෙන වැඩකට ආවා කියන සතුටු සිතෙන්. ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක වේදිකා නාට්‍යයක් බලන්න යන්න, චිත්‍ර, ඡායාරූප ප්‍රදර්ශනයක් බලන්න යන්න, හොඳ මට්ටමේ film එකක් බලන්න යන්න. හැමතිස්සේම පොතට හිරවෙලා ඉන්නේ නැතිව ඒ වගේ දේක නිරත වෙන එක නම් හරියට වටිනවා. ඒක තමා ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න මග.

ප.ලි.: මම ඊළඟට බඹර වළල්ල film එක බලන්න යන්න ඉන්නේ. හුඟක් අය කියනවා හොඳ film එකක් කියලා. ඉතින් ගිහිල්ලාම බලන්න ඉන්නේ.


http://bambarawalalla.com/

Sunday, August 8, 2010

Campus එකේ picketings


මේ දවස් ටිකේ Campus එකේ එක දිගටම picketings තිබ්බා. දැනට මාසෙකට විතර කලින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට විරුද්ධව campus එක ඉස්සරහ නුවර පාරේ picketing එකක් තිබුණා. මාත් ඉතින් නිකම් ඉන්න බැරුවට අපේ set එකත් එක්ක ඕකට ගියා. කැම්පස් ගිහිනුත් picketing එකකට ගියේ නැහැ කියන්නේ වැඩක් නැහැ මම හිතන විදිහට. මොකද කැම්පස් කියන්නේ picketing කරන අයගේ නිජබිම නිසා.

Picketing එකට යන උදවිය set වුණේ තෙල් බැම්ම ගාවට. එතනදී මහා ශිෂ්‍ය සංගමෙන් කෑ ගහන්න ඕනේ සටන් පාඨ තියෙන කොළ, පෝස්ටර් එහෙම බෙදලා දුන්නා. ඊට පස්සේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අයියා මේ picketing එකේ අරමුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් සටන් පාඨ කියමින් අපි කන්ද බැහැගෙන මහ පාරට ආවා.


සටන් පාඨ ටිකත් කියන්නම් නැත්නම් කිසි ගතියක් නැහැනේ මේ කතාවේ

අම්මේ තාත්තේ - මේ අහන්න
ඇදුරුතුමනි - මේ අහන්න
සේවක සොයුරනි - අහන්න
අධ්‍යාපනේ - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

IMF - ණය අරගෙන
උපාධි කඩ - ඇරඹෙනවා
අධ්‍යාපනේ - විකුණන්නට
සුදු බණ්ඩා - සැරසෙනවා

අපට ඉන්න - හොස්ටල් නෑ
ඉගෙන ගන්න - ශාලා නෑ
උගන්වන්න - ගුරුවරු නෑ
කෑම කන්න - කැන්ටින් නෑ
මුන්ට මේවා - තේරෙන් නෑ
සුදු බණ්ඩට - ඔළුවක් නෑ

පාසල්වල - විෂමතාව
ඇති කෙරුවේ - ආණ්ඩුවයි
කොමිස් ගිලින - නිලධරයන්
විෂමතාවේ - ප්‍රතිඵලයයි
විෂමතාව - නැතිකරන්න
දුන් පිළිතුරු - හරි කදිමයි

ගොවි කම්කරු - දරුවන් හට
සරසවි බිම - දැන් අහිමියි
කොළඹට කිරි - ගමට කැකිරි
අපි කිව්වේ - ඕක තමයි

මෙන්න මෙන්න - පුදුම වැඩක්
සුදු බණ්ඩගේ - පුදුම වැඩක්
සරසවි ටික - වහන වැඩක්
අධ්‍යාපනේ - නහන වැඩක්

සමරයාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මලකඩ ඇත
ඇමතියාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මොළයක් නැත

දියව් දියව් - අපට දියව්
ඉගෙන ගන්න - අපට දියව්
දමව් දමව් - ඉහළ දමව්
මහපොළ තව - ඉහළ දමව්
දමව් දමව් - පහළ දමව්
බඩු මිල තව - පහළ දමව්
සිසුන් පෙළන - ජඩ මැරයන්
යවව් යවව් - ගෙදර යවව්

මහින්ද ලොක්කට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
සෙවල සමරෙටත් - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
බැරි නම් හකුළන් - යන්න කියාපිය

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ


මෙහෙම කෑ ගහමින් පහළට ගිය අපි පාර අයිනට වෙලා පැය භාගයක් විතර බොහොම සාමකාමී විදිහට අපේ විරෝධතාව දැක්වූවා. පස්සේ අපේ ශිෂ්‍ය සංගම් නායකයෝ කීප දෙනෙක් අදහස් දැක්වූවා. අවසානයේදී අපි විසිර ගියේ "ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා!!!" කියලා තුන් පාරක් කෑ ගහලා.

මේ picketing එක තියලා සති 2 ක් යන්න කලින් තවත් picketing එකක් තිබ්බා. ඒක තියන්න හේතුව වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයාගේ මරණය.

මට මේ picketing එකට සහභාගි වෙන්න නම් බැරිවුණා. කැස්ස, හෙම්බිරිස්සාව වගේම උණ කියන තෑගි තුනම එක පාර හම්බවෙලා මම හරිම අමාරුවෙන් හිටියේ. Picketing එකකට ගියොත් අනිවා කෑ ගහන්න ඕනේ. අසනීප තියාගෙන කෑ ගහන්න බැරි නිසා මම මේකට නොගිහින් හිටියා. ඒත් ඒකේදී කියපු සටන් පාඨ තියෙන කොළයක් හම්බවුණා. ඒකේදී කෑ ගහලා තියෙන්නේ මේ විදිහට


අම්මේ තාත්තේ - මේ අහන්න
අයියේ අක්කේ - මේ අහන්න
සිසු ජීවිත - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

සරසවි ටික - වනසනවෝ
අහිංසකයෝ - මරවනවෝ
පොලිස් බ.......... - ගොරවනවෝ
පරිපාලනේ - බුදියනවෝ

මෙන්න බොලේ - ආණ්ඩුවක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
අපට ඕනේ - තීන්දුවක්
සාධාරණ - තීන්දුවක්

සංවේදී - පියා පියා
ආඩම්බර - පියා පියා
දැයේ එකම - පියා පියා
සිසුන් මරලා - ගියා ගියා

මෙන්න බොලේ - පොලීසියක්
මිනී මරණ - පොලීසියක්
සිසුන් මරණ - පොලීසියක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
පරිපාලනේ - ගේම් එකක්

රැකවරණය - ඉල්ලුවේ
ඇයි අපේ ලේ - හෙල්ලුවේ
අහිංසකයෝ - මරන්නේ
පොලීසියේ - බ..........නේ

කාගෙද මේ - ජීවිතේ
බිලි ගත්තේ - මාවතේ
මස් කන්නට - හාමතේ
සිසුන්ගේ ලේ - තොපෙ අතේ

මහින්ද ලොක්කට - එන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
පොලිස් මහින්දට - එන්න කියාපිය
නිවැරදි දඩුවම් - දෙන්න කියාපිය

කපා කපා - කෑලි කපා
අප වළකනු - සිතනු එපා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ



මේවා තමා සටන් පාඨ. පොලිසියට සුනඛයාට සාමාන්‍යයෙන් භාවිතා කරන වචනේ දාලා තමා මේකෙදී ආමන්ත්‍රණය කළේ. කෝකටත් ඒක මම භාවිතා කරන්න ගියේ නැහැ. මොකද මේ ශිෂ්‍ය ඝාතනය හෙලා දකිමින් පෝස්ටර් අලවමින් හිටිය අපේ 1st year දෙන්නෙක්ව පොලිසියෙන් අල්ලන් ගිහින් හොඳ සබ්බුවක් දීලා තමා අත ඇරලා තිබ්බේ. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි නේ.

මේ කතාව කියන්න හේතුව වගේම මේ කතාවේ සමාලෝචනය ආදී විස්තරත් එක්ක මේ කතාවේ ඉතුරු ටික ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

ප.ලි.: මේ සටන් පාඨ දැමීමේ අරමුණ වුණේ මේ සිද්ධිය වාර්තා කිරීමක් විදිහට පමණයි. නැතුව මහා ශිෂ්‍ය සංගමේ හඬ සයිබර් අවකාශයේ පැතිරවීමක් හැටියට නෙමෙයි. ඒත් වක්‍රාකාරව ඒක සිදු නොවෙනවාත් නෙමෙයි.