Sunday, February 24, 2013

විෂ්ණුගේ දෙවියන්ගේ පාදයෙන් ඉපදුණු ගංගා නම් ගඟ

 ගංගා නම් නදිය

මේ ළඟදී දවසක assignment එකකට කරුණු වගයක් හොයන්න library එකට ගිහින් විශ්වකෝෂය පෙරලලා බැලුවා. ඒ වෙලාවේ විශ්වකෝෂයේ "ග" අකුර යටතේ බලද්දී හම්බුණා ඉන්දියාවේ දිගම ගංගාව වෙන ගංගා නම් නදිය ගැන විස්තර. හින්දූන් ඉන්දියාවේ සෑම නිර්මාණයක්ම වගේ දේවප්‍රභ සංකල්පය යටතේ විස්තර කරලා තියෙන නිසා ගංගා නම් නදිය ඇතිවීමත් එයාලා ඒ විදිහට හින්දු දේවප්‍රභ සංකල්පය යටතේම විස්තර කරලා තියෙනවා.

මෙන්න මෙහෙමයි කතාව. 

හින්දු දේව විශ්වාසයට අනුව සියල්ලේම ආරම්භකයා වෙන විෂ්ණු දෙවියන්ගේ පාදයෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලා එක මතයක් තිබෙනවා. ඒ වගේමයි තවත් මතයක තිබෙන විදිහට බ්‍රහ්ම විසින් ඉතාමත් ගෞරවයෙන් විෂ්ණුගේ පාද ධෝවනය කරලා ඒ ජලය තමන්ගේ කමණ්ඩලු භාජනයට එකතු කරගන්නවා. ඒකෙන් ගංගා නම් නදිය ආරම්භ වුණා කියලත් කියනවා. 

 කමණ්ඩලු බඳුන

ඒ වගේමයි බ්‍රහ්මගේ කමණ්ඩලු භාජනයේ තිබුණු ශුද්ධ ජලය කන්‍යාවක් බවට පත් වුණු බවත් ඇය ගංගා නමින් හඳුන්වපු බවත් තවත් මතයක් තියෙනවා.

මේ මොනයම් ආකාරයකට හරි ආරම්භ වුණු ගංගා නම් නදිය මුල් කාලයේදී ආකාශයේ ගමන් කරපු ගංගාවක්. යාග හෝම කටයුතුවලට වගේම දෙවියන්ගේ කටයුතුවලට භාවිතා කරපු නිසා මේ ගඟ ශුද්ධ ගංගාවක් විදිහට තමා සැලකුවේ.

ඉතින් රාම රජතුමා [රාමායණයේ හිටියේ] පරපුරෙන් පැවත ගෙන ආපු සගර කියන රජතුමා අශ්වමේධ යාගයක් පවත්වන්න කටයුතු සූදානම් කරමින් හිටියා. අශ්වමේධ යාගය කියන්නේ දිග් විජය කරපු රජවරු තමන්ගේ බලාදිපත්‍ය තහවුරු කරගන්න සිදු කරන යාගයක්. 

 අශ්වමේධ යාගයේදී අසු ගමන් කිරීම[මේක නම් මෑත කාලේ එකක්]

ඒකෙදී සිද්ධ වෙන්නේ රජෙක් තමන් දිග් විජය කරලා අල්ලා ගත්තු ප්‍රදේශය තුළ සුදු අශ්වයෙක්ට නිදැල්ලේ ගමන් කරවන එක. ඒකෙදී අශ්වයා නිදැල්ලේ ගමන් කරන සෑම ප්‍රදේශයක්ම ඒ අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාට අයිතියි කියලා පිළිගැනෙනවා. කිසියම් අවස්ථාවක අශ්වයාගේ ගමනට කවුරු හරි බාධා කරනවා නම් ඒකෙන් වක්‍රාකාරව කියන්නේ ඒ පුද්ගලයා අශ්වයාගේ හිමිකරුවා වුණු රජතුමාගේ ආදිපත්‍ය පිළිගන්නේ නැහැ කියලනේ. 

එතකොට නිදැල්ලේ ගමන් කරන අශ්වයා පිටිපස්සෙන් ගමන් කරන රජතුමාගේ සේනාව ඒ බාධා කරපු තැනැත්තා එක්ක යුද්ධ කරලා ඔහුව යටපත් කරනවා. අවසානයේදී අශ්වයා ගමන් ආරම්භ කරපු ස්ථානයට ආපුවාම ඒ අශ්වයාම මරලා අග්නි දේවතාවට පූජා කරනවා වගේම තවත් අශ්වයන් සහ තවත් සතුන්  අග්නි දේවතාවට පූජා කරනවා.[මේ යාගය ගැන ඉතාමත්ව සරලව තමා කියලා තියෙන්නේ. ඒත් මේක හුඟක් සංකීර්ණ චාරිත්‍ර තියෙන යාගයක්]

අශ්වමේධ යාගය

මේ විදිහට අශ්වයා ගමන් කරලා ආපහු එන්න සමහර වෙලාවට ලොකු කාලයක් වුණත් ගතවෙන්න පුලුවන් නිසා මේ යාගය අවුරුදු 12 ක් විතර පැවැත්වුණු අවස්ථා එහෙමත් තිබිලා තියෙනවා. පස්සේ කාලේ නම් සමහර රජවරු පොඩි පොඩි ජිල්මාට් දාලත් අශ්වමේධ යාගය කළාලු :P

ඉතින් ආයි පාරක් කතාවට ආවොත් සගර රජතුමා මේ විදිහට අශ්වමේධ යාගය කරද්දී දිව්‍ය ලෝකයට අධිපතියා වුණු ඉන්ද්‍ර දෙවියා ගින්නට පුදන්න සූදානම් කරලා තිබුණු අශ්වයෙක්ව හොරකම් කරලා පාතාලයේ කපිල සෘෂිවරයාගේ අසපුවේ හංගනවා. 

මේකට හේතුව තමා බ්‍රාහ්මණ විශ්වාසයක් පැවතිලා තියෙනවා නිවැරදිව අශ්වමේධ යාගය පවත්වන රජතුමාට දිව්‍ය ලෝකයේ අධිපතියා වෙන්න පුලුවන් කියලා. ඒක නිසා කවුරු හරි එහෙම අශ්වමේධ යාගය කරද්දී අශ්වයෝ හොරකම් කරන එක ඉන්ද්‍ර දෙවියන්ගේ සිරිතක් වෙලා තිබිලා තියෙනවා. 

ඉන්ද්‍ර දෙවියන් අශ්වයෙක්ම හොරකම් කරලා පාතාලයේ සැඟවීමත් එක්ක ඒ අශ්වයාව හොයාගෙන එන එක භාරවුණේ සගර රජතුමාගේ පුත්තු 60,000 ට. එයාලා පොළව මහා විශාල විදිහට හාරලා පාතාලයට ගිහින් අශ්වයාව හොයාගන්නවා. පස්සේ අශ්ව හොරා කවුද කියලා බලද්දී ඒ ආසන්නයේ භාවනානුයෝගීව හිටිය කපිල සෘෂිවරයාව දැකලා එයා තමා අශ්ව හොරා කියලා හිතපු සගර රජතුමාගේ පුත්තු කපිල සෘෂිවරයාට හිරිහැර කරනවා. 

 කපිල සෘෂිවරයා කුමාරවරු 60,000 අළු කිරීම

මේක නිසා කෝප වෙන කපිල සෘෂිවරයා ඇස්වලින් ගිනිදැල් පිට කරලා රාජ කුමාරවරු 60,000 දෙනාවම පුච්චලා අළු බවට පත් කරලා අහස් ගඟේ ජලයෙන් ඔවුන්ගේ අළු තෙමන තුරු ඔවුන් ස්වර්ගයේ නූපදීවා කියලා ශාප කරනවා. 

එතැන් පටන් ඒ පරපුරේ රජවරුන් ප්‍රධාන අරමුණ වුණේ අහස් ගංගාව ලබා ගැනීම සඳහා තපස් රකින එක. මොකද බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව කවුරු හරි උග්‍රව තපස් රැකලා දෙවියන්ව සතුටු කරනවා නම් දෙවියන්ගෙන් වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාව තිබුණා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ රාජ පරපුරේ භගීරථ කියන රජතුමා තමන්ගේ උග්‍ර තවුස් දම් පිරීමෙන් විෂ්ණු/බ්‍රහ්ම දෙවියන්ව සතුටු කරවන්න සමත් වෙනවා. 

පස්සේ විෂ්ණුගේ/බ්‍රහ්මගේ නියෝගය පරිදි ගංගා නම් නදිය මහ පොළොවට ඇද හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ගම් බිම්, කෙත් වතු යට කරමින් මහා විනාශකාරී විදිහට තමා ගංගාව ගලාගෙන යන්නේ. 

 ඊශ්වරගේ ජටාවට ඇද හැලෙන ගංගා නම් නදිය

මේ තත්වය වළක්වා ගන්න භගීරථ රජතුමා ඊශ්වර දෙවියන්ගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඊශ්වර දෙවියන් අහසින් ඇද හැලෙන ගංගාව තමන්ගේ ජටාවෙන් පිළි අරගෙන වේගය අඩු කරලා මහ පොළොවට ලබා දෙන්න එකඟ වෙනවා. ඉතින් ඒ විදිහට මහ පොළොවට ඇද හැලෙන ගංගා නම් ශුද්ධ නදිය සගර රජතුමාගේ පුත්තු 60,000 විසින් පාතාලයට යන්න හාරපු වළට පිරෙනවා. සගරගේ පුතුන් නිසා ඒක ඇතිවුණු නිසා ඒක සාගර නමින් හඳුන්වනවා. 

මේ නදිය ස්වර්ග, පෘථිවි, පාතාල කියන ලෝක තුනටම ගලා යන එකම ගංගාව නිසා ත්‍රිපත්ගා කියන නමත් භගීරථ රජතුමාගේ උත්සහය නිසා මහ පොළොවට ලැබුණු නිසා භගීරථී කියන නමත් හැරුණාම තව නම් කීපයක්ම මේකට භාවිතා කරනවා. 

විෂ්ණුගේ පාදයෙන්, බ්‍රහ්මගේ කමණ්ඩාලු බඳුනෙන් වගේම ඊශ්වරගේ ජටාවේ ස්පර්ශ වෙලා ගලාගෙන එන නිසා මේ ගංගාව හින්දූන්ගේ පරම පූජනීය ගංගාව බවට පත් වෙනවා. ඒ වගේමයි සගර රජතුමාගේ පුතුන් 60,000 ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමුණු නිසා ඔවුන්ට ස්වර්ගයට යන්න පුලුවන් වුණු නිසා හින්දූන් තමන්ගේ ඥාතීන්ගේ භෂ්මාවශේෂ ගංගා නම් නදියේ ජලයෙන් තෙමලා ඔවුන්ට ස්වර්ග සම්පත් ලබාදෙන්න හින්දූන් පුරුදු වෙලා ඉන්නවා. 

 ගංගා නම් නදියේ භෂ්මාවශේෂ පා කිරීම

හින්දි filmsවලින් භෂ්මාවශේෂ ගංගා නම් නදියේ පා කරනවා ඔයාලා දැකලා ඇතිනේ. films වල නම් එහෙම වුණාට හුඟක් වෙලාවට භාගෙට පිච්චුණු මළ සිරුරු පවා ගංගා නම් ගඟේ පාවෙනවා කියලා තමා කියන්නේ. පින්තූර නම් එමට තියේ. ඕන් මම නම් පෙන්නන්නේ නැහැ

ප.ලි.: කතාව ලියන්න විශ්වකෝෂයේ තිබුණු කතාව වගේම විකියෙනුත් කරුණු අරගෙන තියෙන්නේ.

Sunday, February 17, 2013

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි


exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. 

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set  වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා. 

ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර  අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.

මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.

පංච මහා බලවතුන්

පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ. 

ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.

මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා 

මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි

ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා 

මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]

මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ

ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි

මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට 

ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා

මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්

ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා

මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා 

මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු

ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ

මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි
[චූ කතා රැල්ලක් නොවේ :D]

ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා

එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2

මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම

ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය 

මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා

ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි

මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු

ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී
[කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී

මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට

ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි

මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ

ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ

මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්

ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්

ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා

මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි

ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?

මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න

ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P

ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]

ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....