Sunday, August 14, 2011

ගමට දිවියෙක් ඇවිත්

සි‍යඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ......

එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත පොලීසියේ රාළහාමිලා දෙන්නෙකුත් හිටියා.

මොකක්ද හුටපටේ කියලා හිතන්න කලින්ම නායක හාමුදුරුවෝ කිව්වා

"හසිත, ගෝල්ඩන් එකේ පිට්ටනිය ඉස්සරහ පාරේ කට්ටිය දිවියෙක්ව අල්ලගෙන ඉන්නවා. මේ පොලීසියේ රාළහාමිලාට එතනට යන්න පාර පෙන්නන්න" කියලා.

නයි කයිද රෝස් පාන් කිව්වලු. දිවියෙක් ???? අපේ ගමේ. ලංකාවට තිබුණු කොටි ප්‍රශ්නේ ඉවර වුණු ගමන් සියඹලාපෙට දිවි ප්‍රශ්නේ.......

"හරි එහෙම නම් රාළහාමිලා මගේ පිටිපස්සෙන් එන්න" කියලා මම ආපු මෝටර් බයික් එකට මම නැග්ගා.

පොලිස් ජීප් එක මගේ බයික් එක පිටිපස්සෙන් එනවා. මාත් බයික් එකේ උත්සවවල පෙර ගමන් යන බයික් එකක් වගේ ඉස්සරහින් යනවා.

මට කියන්න අමතකත් වුණා. ඒ වෙලේ මම හෙල්මට් දාලත් නෙමෙයි හිටියේ. කොහොමද ඒක :))

හොඳම කතාව මම කලින් දවසකත් කිව්වා වගේ "මට ලයිෂනුත් නැහැ, බයික් එකට ල‍යිෂනුත් නැහැ" කොහොම වුණත් ගමට දිවියෙක් ආවා කියපුවාම ඕවා වැඩක් තියෙනවාද.

ජාතික අවශ්‍යතාව වෙනුවෙන් සමාවෙන්න ග්‍රාමීය අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙන්න ඕනේ නේ :)

හාමුදුරුවෝ කිව්ව පිට්ටනිය ඉස්සරහ පාර ගාවට යද්දී පාර දෙපැත්තේ සෙනඟ සූ ගාන්න. පාර දිගේ ඉස්සරහට යන්නත් බැහැ. ඒ තරමට සෙනඟ දිවියා බලන්න ඇවිත්. පොලිස් ජිප් එකත් එක්ක ආපු නිසා මාත් ගියා ඉස්සරහටම.

ගිහින් බැලුවාම හිටිය දිවියා මෙන්න................

අනේ අනිච්චං උදේ පාන්දරම දෙන ගොන් ආතල් කියලා මට හිතුණා. ත්‍රාසය භීතිය දනවන සියඹලාපේට ආපු දිවියා තමා මූ.

බළලෙක්ට වඩා ලොකු, බල්ලෙක් සයිස් මුට කියන්නේ හඳුන් දිවියා කියලාලු. මම හිතුවේ සිරාවටටම පෙරිය සයිස් දිවියෙක් කියලා. මෙන්න මේ වගේ

මේ සතා රෑ ඒ ළඟ කෙනෙකුගේ ගෙදර මිදුලේ කපලා තිබුණු වළකට වැටිලා ඉදලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ සතාගෙන් එච්චර හානියක් නැහැ කැලේ කිට්ටුවට අරන් ගිහින් අතාරින්න කියලා පොලිසියේ රාළහාමිලා කියලා එයාලා යන්න ගියා.

මාත් ගෙදර ගිහින් ඉක්මණට කැමරාව අරන් ආවා photos දෙක තුනක් ගන්න. ගමේ මිනිස්සු ටික මේ සතාට දුන්නු වදයක්. කකුල් හතරම බැඳලා, කටත් බැඳලා තිබ්බේ හරියට හෙණ කොටියෙක් අල්ලලා වගේ.


ඒ අස්සේ ගොන් ජොකියෙක් මුගේ වලිගේ අල්ල අල්ල කියනවා "කොටි වලිගේ ඇල්ලුවා කියලා කියමනක් තියෙන්නේ. ඔන්න මම කොටි වලිගෙකුත් ඇල්ලුවා" කියලා.

තව සමහරුන්ට සිහිය ස්වර්ණවාහිනියට කියන්න අටපට්ටමට කියන්න. කියලා ටීවී එකට මූනත් තහඩුව දාගන්න. තව සමහරුන්ගේ කතාව දෙහිවල සත්තු වත්තට ගිහින් මූව බාරදෙන්න.

එතන ඉන්න කාටවත් පොලිසියෙන් කිව්වා වගේ සතා අතාරින්න උවමනාවක් නැහැ. එතන හිටිය පණ්ඩිතයොත් එක්ක ඕවා කතා කරන්න මම ගියේ නැහැ. මම ගෙදර එන්න ආවා.

අපේ උන්දැලා ටික ඒ සතාට මොකක් කළාද මන්දා...... සතා මළාද දන්නෙත් නැහැ අපේ අයියලා සතාට දුන්නු වදවල හැටියට. ඒ සතා ගැහැණු සතෙක් කියලත් පේන්න තිබුණා. පැටව් එහෙමත් ඉන්නවාද දන්නේ නැහැ.

මේ වගේ සත්තු හම්බුණාම ගොන් පාට් නොදා කරන්න ඕනේ දේ ගැන මිනිස්සුන්ගේ දැනුවත් බවේ තියෙන අඩුව නිසා නිරපරාදේ සත්තු මැරෙනවා.

සත්තු වත්තට ගිහින් දෙන එක ඒ වෙලේ කිව්වාම කෙනෙක් කිව්වේ "එයාලගේ වත්තෙන් නයෙක් අල්ලලා ඌව සත්තු වත්තට ගිහින් දුන්නට සතයක්වත් හම්බුණේ නැහැ. ඒ වැඩෙන් වාහනේ ඩීසල් ටිකයි වෙලාවයි තමා නාස්ති වුණේ" කියලා.

මේ ගැන නිසි අවබෝධයක් දෙනවා නම් සතුන්ගේ ජීවිතත් පරිස්සම් වෙයි.

වැඩිදුර හඳුන් දිවියෝ ගැන කියවන්න ඕනේ නම් පත්තරේක ගිය හඳුන් දිවියෙක් ගැන කතාවක් මෙන්න

ප.ලි.: දිවියෝ ඇල්ලුවා කියලා පොඩි සයිස් හඳුන් දිවියෝ අල්ලන එක වගේ නෙමෙයි. මේ නම් රියල් වැඩක්.

කඩුවෙල බෝමිරියේ ඉන්න අපේ බාප්පා කෙනෙක්ගේ වත්තේ ඉදලා අහුවුනු රියල්ම රියල් තිත් පොළඟෙක් තමා මේ. සාමාන්‍යයෙන් තිත් පොළඟාගේ දිග අඩි 4 ක් විතරලු වෙන්නේ. මූ අඩි 6 ක් විතර දිගයි.

ලෝකේ විසකුරු සර්පයන්ගෙන් 7 වෙනියට තමා මූ ඉන්නේ. කොහොමද මේක ????

වැඩිදුර කියවන්න තිත් පොළඟා ගැන අපේ බ්ලොග් සහෘදයෙක් වෙන ප්‍රියන්ත අයියා ලියපු ලිපියක්

Friday, August 12, 2011

දැන් ඉතින්.......


කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ.

මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :)

විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ කුමාර සහෝදරයාට

මේ දවස්වල බරටම වැඩ තිබුණත් "Back to business" කියලා වැඩ පටන් ගන්න ඉන්නේ.

මෙන්න Comming soon කතා සැට් එක
  • මේ දවස්වල හුටපට
    [හුටපට වුණත් ගත යුතු යමක් ඇතැයි සිතමි]
  • තෙසැත්තෑ ඤාණ පූජා පිංකම [හරි අක්කාගේ ඉල්ලීමකට බොහෝ දෙනාගේ හිතසුව පිණිස, දැක සතුටු වීමට ලියන එකක්]
  • මහින්දාගමනයට මහා shot එකක් [නිධාන කතාවක් එක්ක දෙන හොඳ [මම හිතන විදිහට] shot එකක්]
  • ගමට දිවියෙක් ඇවිත් [සියඹලාපේ ග්‍රාමය භීතියෙන් මුසපත් කළ ඒ ලොමු දැහැ ගැන්වෙන දිවියාගේ අන්දරය]