Showing posts with label තාත්තාගේ කතා. Show all posts
Showing posts with label තාත්තාගේ කතා. Show all posts

Saturday, March 5, 2011

බොරු පොරොන්දු


ඉස්සරහට තියෙන පළාත් පාලන මැතිවරණේ නිසා ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගොඩයාගන්න වෙන මහන්සිය පේනවානේ. තාප්ප පිරෙන්න පෝස්ටර්, ලයිට් කණු වැහෙන්න කටවුට්, තාර පාර පුරා නමයි අංකෙයි ලකුණයි වගේ නානා ප්‍රකාර සෙල්ලම් දානවානේ ඡන්දේ දමාගන්න.

ඒ මදිවට පොරොන්දු. හොදි ඕන්නෑ කිව්වලු. පොරොන්දු දුන්නාට ඡන්දෙන් දිනුවට පස්සේ හුඟාක් වෙලාවට වෙන්නේ මන්ත්‍රීතුමාව අල්ලගන්න බැරිවෙන එක ඒ පොරොන්දුව ඉටු කරවගන්න. මේ නිසා බොරු පොරොන්දු කියන එක ලංකාවේ දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් වෙලා ඉවරයි.

මේ දවස්වල එහෙම බොරු පොරොන්දු දෙන දේශපානඥයෝ හිටියට ඒ කාලේ වචනයක් දුන්නොත් ඒක අනිවා කරන කට්ටිය තමා දේශපාලනේ කරලා තියෙන්නේ. මේ කතාව අපේ තාත්තා තමා මට කිව්වේ. අපේ තාත්තා ගාව හොඳ හොඳ කතා තියෙනවා කියලා ඔයාලත් දන්නවානේ.

කතාව මෙහෙමයි. ඉස්සර ගම් සභා ක්‍රමය තියෙන කාලේ එක දිගටම අපේ පැත්තේ මැම්බර් මහත්තයා වෙලා තියෙන්නේ සල්ලි බාගේ එහෙම හොඳට තිබුණු "වත්තේ රාළහාමි" කියන එක්කෙනා. හුඟාක් වෙලාවට "වත්තේ රාළහාමි" නිතරඟයෙන් වගේලු මැම්බර් වෙන්නේ.

ඉතින් එක පාරක් මේ මැම්බර්කමට වත්තේ රාළහාමිත් එක්ක ගමේ හිටිය දුප්පත් අඩු කුලේක හිටිය මනුස්සයෙක් ඉල්ලුවාලු. මේකට වත්තේ රාළහාමිට මල පැනලා එයා කිව්වාලු

"ඕකුන්ට පුලුවන්ද මැම්බර්කම් ගන්න ඕකා මාව පරද්දලා මැම්බර් වුණොත් මම දරණගම ඉස්කෝලේ ගාව ඉදන් අපේ ගේ ගාවට පිනුම් ගගහා තමා එන්නේ" කියලා.


වත්තේ රාළහාමි එහෙම කිව්වේ අර මනුස්සයාට තමන්ව පරද්දන්න බැහැ කියන විශ්වාසේ හොඳටම තිබුණු නිසා. අනික ඡන්දේ තියෙන දරණගම ඉස්කෝලේ ගාව ඉදන් වත්තේ රාළහාමිලාගේ ගෙදරට කිලෝ මීටර් 4 ක් විතර තියෙනවා. රාළහාමි ඒවත් ඔක්කොම හිතලා වෙන්න ඕනේ එහෙම කියන්න ඇත්තේ.

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි ඡන්දේ දවසත් ආවය කියමුකෝ. උදේ ඉදන් හවස් වෙනකම් තිබුණු ඡන්දේ ඉවරවෙලා එදා හැන්දෑවේම ඉස්කෝලෙදී ඡන්ද ගණන් කරලා ප්‍රතිඵල නිකුත් කරන එක තමා ඒ කාලේ ක්‍රමේ.

අන්තිමට අර දුප්පත් මනුස්සයා වත්තේ රාළහාමිව වැඩි ඡන්ද ගාණකින් පරද්දලා තිබුණේ. රාළහාමිත් කිසි කතාවක් නැතුව ඉස්කෝලේ ගේට්ටුව ගාවින් පාරට බැස්සලු. උඩට ඇඳන් හිටිය කෝට් එක ගලවලා එතන හිටිය වැඩකාර කොල්ලා අතට දුන්නලු.

සරමෙන් අමුඩේ ගහගෙන පිනුම් ගහන්න පටන් ගත්තලු ඉස්සරහට.

මිනිස්සු වටවෙලා "අනේ අනේ රාළහාමි" කියලා විස්සෝප වෙනවාලු.

මේ විදිහට රාළහාමි මීටර් 20 ක් විතර පිනුම් ගගහා ඉස්සරහට යද්දී කොල්ලෝ ටික බලහත්කාරයෙන්ම වත්තේ රාළහාමිව කරේ තියාගෙන ගෙදර එක්කගෙන ගියාලු. ඉතින් කොහොමින් කොහොම හරි වත්තේ රාළහාමි කියපු දේ කළා.

ඒත් දැන් කාලේ ඔහොම දෙයක් වුණා නම් මොකක් හරි බොරුවක් කියලා ෂේප් වෙන්නනේ යන්නේ. පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදී ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂෙට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් තමන් ඉල්ලලා අස්වෙනවා කියලා ඒ දිස්ත්‍රික්කෙම ඉන්න ආචාර්යවරයෙක් වෙන කෙනෙක් කිව්වානේ.

අන්තිමට මන්ත්‍රී ආසන 2 ක් හම්බුණාම ඒක ගැන මාධ්‍යවේදියෙක් ආචාර්යතුමාගෙන් අහපුවාම එතුමා කිව්වේ "මම එහෙම කිව්වේ නැහැනේ. මම කිව්වේ පඩික්කමට [ එයා ඒ පක්ෂේ ලාංඡනය වුණු කුසලානෙට කිව්වේ පඩික්කම කියලා] මන්ත්‍රී ආසන එකක් හරි ආවොත් ඉල්ලලා අස් වෙනවා කියලනේ. ඉතින් කවුරුත් පඩික්කමෙන් ඡන්දේ ඉල්ලුවේ නැහැනේ" කියලා.


කමක් නැහැ ඉතින් රොබට් නොක්ස්ගේ An Historical Relations of The Island of Ceylon [එදා හෙළ දිව] පොතෙත් එයා කියලා තියෙනවා "සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාර්යෙහි තත්පරය. ස්වදේශීන් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය. එනමුදු ඔහු ගේ එක් භයානක නරකක් නම් බොරු කීමයි, එයද අසුවන ලෙසින්ම කීමයි" කියලා

Sunday, February 20, 2011

හෙලෝ........... තාත්තාගේ කතා


අපේ තාත්තාගේ කතා දෙක තුනක් මම කලිනුත් කියලා ඇති.මොකද අපේ තාත්තා ගාවත් හොඳ හොඳ කතා තියෙනවා. මේක තමා අලුත්ම කතාව.

මේක වෙලාත් පැය දෙක තුනකට වැඩිය නැහැ. තාත්තාගේ hand phone එකට call එකක් ආවා. ඒකට තාත්තා උත්තර දෙනවාත් ඇහුණා. පස්සේ තාත්තා කතාව අපිත් එක්ක කිව්වා. මේක තමා තාත්තයි තාත්තට call එක ගත්තු කෙනයි අතර ඇතිවුණු කතා බව

තාත්තා : හෙලෝ

අනිත් කෙනා : මේ කොහෙන්ද කතා කරන්නේ ?

තාත්තා : මේ කටින් කතා කරන්නේ :))

අනිත් කෙනා : හරි හරි ඔයා කොහෙද ? [හිනාවකුත් එක්ක]

තාත්තා : බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියඹලාපේ උතුර ග්‍රාම සේවා වසමෙන්

අනිත් කෙනා : ඔයා කවුද ?

තාත්තා : මම ගාමිණි ගුණසිංහ

අනිත් කෙනා : ආහ් Sorry, wrong number එකක්


අවවාදයයි : ඔය වගේ ප්‍රශ්න අහන්නේ නැතිව call එක ගන්න මනුස්සය තමන් කවුද කියලා කතා කරලා විස්තරේ කිව්වා නම් ඉවරයිනේ කියලයි මට හිතුණේ. එතකොට මේ වගේ චාටර් සීන් වෙන්නේ නැහැනේ.

අපේ මහප්පා නම් එහෙමයි. එයාගෙන් call එකක් ආවොත් මෙහෙම තමා එයා කතා කරන්නේ.

"සුභ උදෑසනක්. මම චන්ද්‍රසේන අම්පාරෙන්. මල්ලී ඉන්නවාද ? "

දැක්කනේ කිසිම කචල් එකක් නැහැනේ


ප.ලි. : මම ලිව්ව පොඩිම කතාව මේකද කොහෙදෝ :))

Saturday, May 15, 2010

චූ බතයි


අපේ කතන්දරශූරීන් දවස් කීපයක්ම චූ කතා දෙක තුනක් කියලා තිබ්බ නිසා මටත් මතක් වුණා ඒ ජාතියේම කතාවක්.

මේ සිදුවීම වෙලත් දැන් අවුරුදු 4 ක් විතර ගිහින් තියෙන්නේ. දවසක් අපි නැදෑයෝ කට්ටියකුත් එක්ක trip එකක් ගියා. ඉතින් වාහනේ drive කලේ අපේ මාමා කෙනෙක්. එයාට හිටියේ පොඩි පුතෙක්. එයාට වයස අවුරුදු 3 ක් විතර වෙනවා ඒ වෙනකොට. එයත් මේ ගමනට සම්බන්ධ වෙලයි හිටියේ.

ඉතින් ටික දුරක් යද්දී පාරේ මොකක් හරි හේතුවක් මත ලොකු traffic එකක් තිබ්බා. ඉතින් වාහනේ හිමින් හිමින් තමා ඉස්සරහට යන්නේ.

මෙන්න මේ වෙලාවේ අර පොඩි man කිව්වා අපේ මාමට "තාත්තේ චූ බතයි" කියලා. තාම පොඩි එකානේ පෙලක් අකුරු එහෙම හරියට කියන්න අමාරුයි ඒකයි එහෙම කිව්වේ.

ඒ වෙලාවේ මාමා කිව්වා "පුතේ අපි දැන් වාහන පෝලිමක ඉන්නේ. වාහනේ අයින් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්න පුතේ" කියලා.

ඉතින් ඒ වෙලාවේ වාහනේ අයිනකට ගන්න විදිහක් තිබ්බේත් නැහැ town එකක් හරියේ නිසා. ඔයින් මෙයින් මාමා කිව්වා කතාව නිසා පොඩි man ටිකක් වෙලා කට පියන් හිටියා.

ටික වෙලාවකින් පොඩි man ආයි කිව්වා "අනේ තාත්තේ චූ බතයි" කියලා.

එතකොට මාමා කිව්වා "පොඩ්ඩක් ඉන්න පුතේ තව චුට්ට දුරක් ගියාම පුතාට චූ කරන්න වාහනේ නවත්තන්නම්" කියලා.

ටික වෙලාවකින් පොඩි man හයියෙන් කෑ ගහලා කිව්වා "තාත්තේ චු චූ බතයි කිව්වහම තාත්තේ චු චූ බතයි" කියලා.

අන්තිමට මාමා කලේ පාරේ වම් පැත්තේ තිබ්බ ෂෙඩ් එකකට වාහනේ හරෝපු එක. ඒකෙන් වාහනේ නවත්තලා පොඩි පුතාට එයාගේ අවශ්‍යතාව ඉටුකරගන්න දීපු එකයි.

ඉතින් දැන් ඒ පොඩි ළමයා ලොකුයි. තාමත් එයා යන trip වලදී ඔය කතාව කිය කිය කට්ටිය පොඩි man ව චාටර් කරනවා.

Saturday, April 24, 2010

තාත්තගේ අත් අකුරු


අද දවල් අපේ නංගිව class එකෙන් ගන්න තාත්තයි අම්මයි එක්ක මාත් ගියා. ගෙදර අයත් එක්ක හරි කලාතුරකින් තමා මම ගමනක් යන්නේ. මොකද හැමතිස්සේම වගේ මම මොකක් හරි වැඩකට ගෙදරින් පිට යැවෙන නිසා ගෙදර අයත් එක්ක ගමන් යැවෙනවා අඩුයි. මම අද ඔය ගමන ගියෙත් මගේ computer එක කැඩිලා හදන්න දාලා තිබ්බේ ඒක අරන් එන්න ඕනේ නිසා.

ඉතින් නංගිව class එකෙන් ගත්තට පස්සේ අම්මා නංගිගේ පොත් ටික බලන්න ගත්තා. පොත් බලලා අම්මා කියන්න ගත්තා අත් අකුරු හොඳ මදි. ඉස්පිලි පාපිලි එහෙම පැහැදිලිව දාන්න ඕනේ ආදී විදිහට [අපේ අම්මා ගුරුවරියක්. ඒකයි ඔච්චර කියන්නේ].

ඉතින් මාත් නංගිගේ පොත් දිහා බලලා කිව්වා.

"ඔව් ඔව්, ළමයාගේ අත් අකුරු නම් හොඳ මදි. මගේ නම් ඒ කාලේ අත් අකුරු ඔයිට වඩා හොඳයි" කියලා.

ඒ කාලේ කියලා කිව්වේ මම ඉස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ [අපේ නංගී දැන් ඉන්නේ ඉස්කෝලේ 9 වසරේ].

අපේ ගෙදර හොඳටම අත් අකුරු තියෙන්නේ අපේ අම්මාගේ. තාමත් මම මොකක් හරි form එකක්, application එකක් එහෙම පුරවන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඊට පස්සේ අපේ ගෙදර හොඳම අත් අකුරු තියෙන්නේ මගේ. ඊටත් පස්සේ පිලිවෙලින් නංගි, අයියා සහ තාත්තා.

තාත්තා අන්තිමට ආවේ අපේ තාත්තගේ අත් අකුරු එහෙම නියමෙටම නියම නිසායි. තාත්තගේ අත් අකුරු අපිට කියවන්න එහෙම හරි අමාරුයි. මට නම් දැන් ප්‍රශ්නයක් නැහැ මොකද මම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඉන්න නිසා :).

ඉතින් කතාවට එමුකෝ. අම්මගෙයි මගෙයි කතා අහලා තාත්තා කිව්වා නියම කතාවක්. අපේ නෑදෑ කෙනෙක් හිටියා ඉස්සර සෞදි අරාබියේ. අපි එයාට කියන්නේ බිංදු මාමා කියලා. ඉතින් තාත්තා එයාට විස්තර එහෙම කියලා ලියුමක් යවලා තියෙනවා. ඔය කියන්නේ 1994,1995 වගේ කාලේ. Telephone භාවිතයක් එහෙම එච්චර තිබ්බේ නැහැනේ.

ඉතින් තාත්තා යවපු ලියුමට බිංදු මාමා එව්ව පිළිතුරු ලිපියේ අන්තිමට වගේ මෙහෙම තිබ්බාලු.

"හිතවත් ගාමිණී මල්ලී, මම ඔයාගේ ලියුම කියෙව්වේ දවසක්ම නිවාඩු දාලා බෝඩිමට වෙලා. කෝකටත් කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යන එකේ ඔයත් පොඩ්ඩක් ඒ පංතියකවත් ගිහින් අත් අකුරු හදා ගත්තොත් හොඳයි නේද?"

බිංදු මාමා විහිළුවට වගේ කිවවත් ඉතින් කතාව නම් අමූලික ඇත්ත :) :) :) කොහොම වෙතත් අපේ තාත්තගේ ඉංග්‍රීසී අකුරු එච්චරම අවුලක් නැහැ සිංහල අකුරු තමා අවුල. මේ වෙනකොට නම් තාත්තා හුඟක් වෙලාවට ලියුමක් කාරියේ ලිව්වොත් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් මොකක් හරි ලියා ගන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඒ වගේම වැදගත් කියන ලියුමක් එහෙම නම් මට කියලා කරගන්නවා.

Thursday, April 22, 2010

සර් ජෝන් කොතලාවල සහ තේමිස් මන්ත්‍රීතුමා


අද මම කියන්න හිතුවේ අළුත් අවුරුද්දට නෑදෑ ගෙවල්වලට ගිය වෙලාවේ අහපු කතා ටිකක්.

නෑදෑ ගෙවල්වලට ගියාම ඉතින් මොකක් හරි ගැන කතා කර කර ඉන්න ඕනෙනේ. ඉතින් අපේ තාත්තා, මාමලා, බාප්පලා කට්ටිය හුඟක් කතා කලේ දේශපාලනේ ගැන. මේකේදී ඉස්සර හිටපු දේශපාලනඥයන් ගැන සිරා කතා ටිකක් කතා වුණා.

මෙන්න එක කතාවක්. S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා අගමැතිතුමා වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හිටියා මංත්‍රී කෙනෙක් තේමිස් කියලා. එයා කලින් තැපැල් කන්තෝරුවක ලියුම් බෙදන වැඩේ කරපු කෙනෙක්.

ඉස්සර පාර්ලිමේන්තු ගියේ ප්‍රභූ වලව් පැලැන්තියේ, ධනවත් පොරවල් නේ. ඉතින් එක ආසනේක හිටපු සාමාන්‍ය මිනිස්සු ටිකක් ඒ ආසනේට ඡන්දේ ඉල්ලපු සල්ලිකාර, ප්‍රභූ පුද්ගලයත් එක්ක ගේමට තමා මේ තේමිස්ව දාලා තිබ්බේ. අන්තිමට වැඩි ඡන්දෙන් මේ තේමිස් පාර්ලිමේන්තුවට පත්වුණා.

මේ තේමිස් මන්ත්‍රිතුමා දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවක ඇවිදිද්දී දැක්කා ඉස්සරහ සර් ජෝන් කොතලාවල මැතිතුමා ඉන්නවා.

සර් ජෝන් කොතලාවල මැතිතුමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. හමුදාවේ හිටපු, බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් නයිට් පදවියක් ගත්ත ඒ වනවිට අගමැති පදවියත් දරලා UNP ආණ්ඩුවේ පරාජයත් එක්ක විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරමින් හිටියේ.

ඉතින් මේ තේමිස් මන්ත්‍රිතුමා හිතුවා තමනුත් මන්ත්‍රී සර් ජෝන් නුත් දැන් මන්ත්‍රී නේ කියලා හිතලා.

"හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා.

මේක අහපු ගමන් අසූහාරදාහට කේන්ති ගිය සර් ජෝන් කොතලාවල" ඈ යකෝ උඹ මට තට්ටු දාන්න කියලා" තේමිස් මන්ත්‍රීතුමාගේ පිටට හොඳ පාරක් කෙලලා ඇරියා.

පස්සේ තේමිස් මන්ත්‍රීතුමා අඬ අඬ තමන්ගේ පක්ෂේ නායකතුමා වගේම ඒ වෙද්දී අගමැති වෙලා හිටිය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා ගාවට ගිහින් වෙච්ච වැඩේ කිව්වා. මේක අහපු අගමැතිතුමා කිව්වා.


"අයිසේ තමුසෙට පිස්සුද සර් ජෝන්ට මිස්ටර් ජොන් කියලා පිටට තට්ටු දාන්න කොටින්ම මාත් තාමත් සර් ජෝන්ට සර් ජෝන් කියලයි කතා කරන්නේ" කියලා

උඩින්ම තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා. පල්ලෙහා තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා