Showing posts with label චරිත කතා. Show all posts
Showing posts with label චරිත කතා. Show all posts

Saturday, March 8, 2014

උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ


අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.

කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයිති දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේත්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේත් ආදි කර්තෲවරයා වගේම පළමු මහානායක හිමියන් වුණෙත් උන්වහන්සේ නිසා. දැන් තව ගැටලුවක් ඇති කොහොමද නිකාය දෙකක මහානායක ධූරය එක හාමුදුරු නමක් දැරුවේ කියලා. ඒ ගැනත් කියන්නම්කෝ.

ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ

1758 මාතර කපුගම දිනෙස් ද සිල්වා සහ ජයසිංහ කළුහාමි දෙපළට දාව ඉපදුණු නන්දෝරිස් නම් පුත්‍රයා කුඩා කාලයේ ඉදන්ම බුදු දහම ඇල්මක් දක්වනවා වගේම ගාථා පිරිත් ආදිය කියන්නත් සුවිශේෂී දක්ෂකමක් දක්වනවා. ඒ කාලයේ මහබද්දේ මුදලි ධූරය දරපු දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමා දවසක් ඒ ප්‍රදේශයෙන් ගමන් කරද්දී නන්දෝරිස් දරුවාගේ මේ දක්ෂකම් දැකලා පැවිදි කරන්න සුදුසු දරුවෙක් කියලා තේරුම් ගන්නවා.

ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ  සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.

උපසම්පදාවට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගැනීමෙන් පස්සේ දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොටගමුව විජයබාහු පිරිවෙනේ සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයේදී කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ වගේම තවත් සාමණේර හිමිවරුන් කීප නමක්ම උපසම්පදාව ලබාගන්නවා.  

ඒත් ටික කලකින් ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳ ගැටලු ඇතිවුණු නිසා නැවත වතාවක් ඉන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1798 දී තංගල්ලේ දී සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයකදී නැවත වතාවක් කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ උපසම්පදාව ලබා ගන්නවා. 

ඊට පස්සේ කොග්ගල ඔයේ සහ රත්ගම ප්‍රදේශයේ පිහිටා තිබුණු උදකුක්ඛේප සීමාවන්වලදී කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම කුලයකටම අයිති සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදෙන්න කටයුතු සිද්ධ වෙනවා. මේ කාලයේදී ධම්මක්ඛන්ධ හිමියන්ට දඩල්ලේ වාළුකාරාමයේ විහාරාධිපති ධූරය වගේම 1804 දී සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරය හොබවපු මිදිගම ධම්මානන්ද මහානායක හිමියන්ගේ කැමැත්ත මත සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරයත් හිමිවෙනවා.

වැලිතර ඤාණවිමලතිස්ස හිමි

මේ කාලවකවානුවේදී ගොවිගම කුලයේ සාමණේරවරුන්ට පමණක් උපසම්පදාව ලබාදෙමින් සියම් නිකාය ගෙනගිය වැඩපිළිවෙල වගේම උඩරට පහතරට භේදයක් පවා ඇති කරමින් සඟ සසුනේ ඇතිවුණු මතභේද හේතු කරගෙන තමන්ට අහිමි වුණු උපසම්පදාව බුරුමයෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වැලිතර ඤාණවිමලතිස්ස හිමියන් ඇතුළු භික්ෂු කණ්ඩායමක් බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරලා එහි වැඩ වාසය කරපු සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන ලංකාවට වැඩම කරවලා 1803 මැයි 15 බලපිටියේ මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා මංගල්‍යයක් පවත්වලා ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කරනවා. මේ නිසා උන්වහන්සේට බුරුමයෙන් මහාධම්ම රාජාධිරාජගුරු ගෞරව නාමය හිමිවෙනවා වගේම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෲ වශයෙන් පිළිගැනෙන්නේත් උන්වහන්සේ.

මේ උපසම්පදා මංගල්‍යය ගැන ආරංචි වීමත් එක්ක බුරුමයට වැඩම කරලා පිරිසිදු උපසම්පදාව ලබාගැනීමේ ආශාව ධම්මක්ඛන්ධ නාහිමියටත් ඇතිවෙනවා. මේ නිසා ධම්මක්ඛන්ධ නාහිමියෝ දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිගේ සහයෝගය ලබාගෙන තවත් හය දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ 1808 දී ගාල්ලෙන් පිටත් වෙලා බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරනවා. උන්වහන්සේ ඇතුළු කණ්ඩාම ශ්වේතහස්ති ස්වාමි වූ පණ්ඩිත මහාධම්මරාජාධිරාජයා විසින් ගෞරවයෙන් පිළි අරගෙන අශෝකාරාම මහා විහාරයේ වැඩ වාසය කළ ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් සමීපයට වැඩම කරවනවා. 

අමරපුරය

ලාංකීය භික්ෂු පිරිස උපසම්පදාවේ පිහිටවන්න කියලා රජතුමා කරපු ආරාධනය පිළිගත්තු සංඝරාජ හිමියෝ 1809 දී ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රධාන භික්ෂු පිරිසට උපසම්පදාව ලබාදෙනවා. ඒ වගේමයි කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ට සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු ගෞරව නාමයත් සංඝනායක  පදවියකුත් ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් පිරිනමනවා. 1810 දී ආපසු මේ ලාංකීය භික්ෂු පිරිස ලංකාවට වැඩම කරවනවා.

1811 දී ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් එවනු ලැබූ සංදේශයකින් ධම්මක්ඛන්ධ හිමියන්ට සංඝරාජ පදවියකුත් පිරිනැමෙනවා. මේ පිළිබඳව කන්ද උඩරට රාජ්‍ය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දන්වන්න නොහැකි වුණු නිසා මේ සංදේශය ඉංග්‍රිසී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත් එක්ක කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ව අමරපුර නිකායේ ප්‍රථම මහානායක හිමිපාණන් වශයෙන් 1814 ජනවාරි 4 වෙනිදා පත් කෙරෙනවා. 

1812 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ දඩල්ලේ වාළුකාරාමයේ මහා මංගල ඛණ්ඩ සීමාව නමින් සීමාවක් සම්මත කරපු ධම්මක්ඛන්ධ මාහිමියෝ අමරපුරයෙන් රැගෙන ආපු උපසම්පදාව තවදුරටත් පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. මේ වෙද්දී වැලිතර ඤාණවිමලතිස්ස මහානායක හිමියන් විසින් ලංකා අමරපුර නිකාය ආරම්භ කරලා තිබුණු නිසා ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇතිවුණු භික්ෂු පිරිස දඩල්ල විහාරය මුල් කොටගෙන කටයුතු කිරීම නිසා දඩලු පාර්ශවය එහෙමත් නැත්නම් දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය නමින් හඳුන්වනවා.

දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය මේ විදිහට වර්ධනය වෙමින් පවතිද්දී 1845 වුණු සිදුවීමක් පාදක කොටගෙන තමා නිකාය භේදයක් හටගන්නේ. බලපිටියේ මාදු ගඟේ ඉදි කරපු උදකුක්ඛේප සීමා මාලකයේදී තමා මේ නිකායේ උපසම්පදා ඇතුළු විනය කර්ම සිදු කරලා තියෙන්නේ.

ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි. 

1851 දී මේ ගැන අදහස් දක්වපු ලංකාගොඩ ධීරානන්ද හිමියන් ප්‍රකාශ කරනවා සීමා මාලකය වටා ජලය වීසි කරද්දී ඒවා ලී පාලමේ වැදුණු නිසා සීමා මාලකය ගොඩබිමත් එක්ක සම්බන්ධ වීම හේතුවෙන් 1845 සිදු කෙරුණු උපසම්පදා නිවැරදි නැහැ කියලා. මේ නිසා 1845 උපසම්පදා වූ අය නැවත උපසම්පදා කළයුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ නිසා උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ තත්වයේ හිටිය අය කණිෂ්ඨ වුණා විතරක් නෙමේ එතෙක් ඒ හිමිවරුන්ට වන්දනා කරපු කණිෂ්ඨ උපසම්පදා හිමිවරුන් මේ තත්වය යටතේ ජ්‍යෙෂ්ඨ වෙන නිසා ඔවුන්ට වන්දනා කරන්නටත් බල කෙරුණා.

ලංකාගොඩ ධීරානන්ද හිමි

සීමා සංකරවාදය නමින් මේ පිළිබඳව නොයෙක් වාද විවාද වසර ගණනාවක් පැවතුණා. අවසානයේදී ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ අදහස් පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනම පාර්ශවයක් වශයෙන් දඩලු පාර්ශවයෙන් බෙදී ගියා. ඒ පාර්ශවයේ අභිනව මහානායක හිමියන් විදිහට සිරි සද්ධම්මවංසපාල  මහාධම්මරාජාධිරාගුරු ගණාචරිය කියන ගෞරව නාමය සහිතව ලංකාගොඩ ධීරානන්ද හිමියන්ව 1865 දී පත් කරගනු ලැබුවා.

ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මාදු ගඟේ පිහිටි ශ්වේජින් සීමා මාලකය

නැවතත් පළමු කතාවට ආවොත් විශාල ශාසනික සේවාවක් සිදු කරන්න පුරෝගාමී වුණු සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ පසු කාලයේදී උපැවිදි වුණු බව තමා කියවෙන්නේ. මේකට හේතු වුණු කාරණා සම්බන්ධව සළකලා බැලුවොත් ඒ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි වෙස්ලියන් නිකායේ පූජකවරුන්ගේ බලපෑම තමා මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ.

ධම්මක්ඛන්ධ හිමියන් සමඟ දිගු කාලයක පටන් වෙස්ලියන් නිකායේ පූජකයෙක් වුණු කාටර් පියතුමා සමීප ඇසුරක් පවත්වලා තියෙනවා. ඒ නිසා එවකට යටත් විජිතය තුළ ප්‍රධාන දේවගැතියා වශයෙන් කටයුතු කරපු  ජෝර්ජ් බිසෙට් පියතුමා සමඟත් සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා.

මේ සබඳතාත් එක්ක ධම්මක්ඛන්ධ හිමියන් සහ පූජකවරු දෙපළ අතර ආගම සම්බන්ධ වාද විවාද ඇතිවුණු බව කියවෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන් උපැවිදි වීම සහ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීම. මේ අවස්ථාවේදී තමන්ට හීරළුවා කියන නම භාවිතා වෙයි කියන බය උන්වහන්සේට ඇතිවුණු බව කියවෙනවා. මේ නිසා වෙස්ලියන් පූජකවරුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබාදෙන්නත් අවශ්‍ය කටයුතු සලසනවා. [මේ ජෝර්ජ් බිසෙට් පියතුමාගේ මස්සිනා කෙනෙක් තමා එවකට ඉංග්‍රීසී ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්] ඒ අනුව උන්වහන්සේ උපැවිදි වීමෙන් නන්දෝරිස් යන පෙර නමම භාවිතයට ගන්නවා.

1816 ජූනි 16 වෙනිදා කොළඹ කොටුවේ පිහිටි වෙස්ලියන් දේවස්ථානයේ පැවති නන්දෝරිස්ගේ බෞතිස්මයට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, අග විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වෙනවා. නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව ක්‍රිස්තියානි කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා මූලිකව කටයුතු කරපු නිසා. ඉංග්‍රීසි ආණ්ඩුවේ වැලිසර සහ මෝදර ප්‍රදේශවල මුදලි තනතුර නන්දෝරිස්ට හිමිවීමත් සමඟ ඔහුව කොළඹ ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේ නමින් හඳුන්වපු බවත් කියවෙනවා.

1818 කැරැල්ල වකවානුවේදී ඔහු කුරුණෑගල රජයේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරනවා වගේම කැරැල්ල මැඩපවත්වන්නත් සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. එහිදී කැරැල්ල අසාර්ථක වීමත් එක්ක සැඟවිලා හිටිය පිළිමතලව්වේ [කණිෂ්ඨ] නිළමේව අල්ලා ගන්නත් දායකත්වයක් දුන් බව සඳහන් වෙනවා.

ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේගේ අවසානය පිළිබඳව තොරතුරු නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසාම මේ සම්බන්ධව තව දුරටත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මේ ගැන තවත් දන්න කියන අය ඉන්නවා නම් ඒ වැඩේ පහසු වේව්.

කරුණු සොයාගන්න පාදක කරගත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු බුද්ධවංසය සාසනවංසය අමරපුරවංසය කෘතියත්, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය රචනා කළ දෙවුන්දර ඉතිහාසය කෘතිය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාවේ XXVIII කලාපය සඳහා කේ.ඩී. පරණවිතානයන් ලියපු Scholar Monks of the Nineteenth Centuary and the Tragic Transformation of the High Priest Ven. Kapugama DhammankkandA Thero ලිපිය සහ අන්තර්ජාලයේ කරුණු කීපයක්.

අවසානයට දක්වපු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපිය හොයලා දීපු ශානක ඉරෝෂන  පීරිස් අයියාට විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි :)

ප.ලි. : මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ :D

Thursday, September 13, 2012

මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි


ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. 

මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු කරුණු මේ පොතේ තියෙන නිසා ඒ උපුටා ගැනීමක් තමා මේ.


දිව්‍ය ලෝකය යනු කිමෙක් ද ?

අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.

මේ දිව්‍ය ලෝක මොනවා ද ? බෞද්ධයන්ට උගන්වනු ලබන දිව්‍ය ලෝක ගැන සිතන විට ඒවා හොඳට කෑම බීම ඇති සැප පහසුකම් ඇති, සුරංගනාවන් පිරිවරාගෙන සිටිය හැකි කොටින්ම කිව හොත් සුඛෝපභෝගී ජීවිතයෙහි ඉමක් කොනක් නැති තැන් ය.

තිරිසන් සතුන් ද ජීවීන්ට ඇතුළත් ය. බුද්ධාගමේ උගන්වන පරිදි ඌරෙකුටත්, අලියකුටත්, ගොනකුටත් ආදී හැම සතකුට ම මිනිසත් බවක් ද ලැබිය හැකි ය. අපි ඌරකු ගනිමු. ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි.

"මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."

අපි ගොනකුගෙන් ඌ යාමට කැමති දිව්‍ය ලෝකය ගැන ප්‍රශ්න කරමු. ඌට අපේ භාෂාවෙන් කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකි ය.

"මා කැමති හොඳට තණ කොළ තිබෙන ජලය තිබෙන පුන්නක්කු උවමනා තරම් තිබෙන දිව්‍ය ලෝකයට ය."

මේ නයින් බලන විට මිනිසා පටන් තිරිසනා දක්වා කවුරුත් කැමති හොඳට කා බී සනීපයෙන් කාලය ගෙවිය හැකි දිව්‍ය ලෝකවලට ය. බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය. ඒත් දිව්‍ය ලෝක කියා ලෝක ඇත් නම් ය. අපේ තර්කයට අපි දිව්‍ය ලෝක ඇතැයි කල්පනා කරමු. 

ඒ ඇතැයි කල්පනා කරන ලෝක සුඛෝපභෝගී තැන් ය. තණ්හාව උපදවන තැන් ය. තණ්හාව උපදවන තැන්වල සිට බෞද්ධයකුට තණ්හාව නැති කර ගැනීම පහසු නො වේ. තණ්හාව නැති කර ගැනීම බෞද්ධයකු ගේ පරමාර්ථය විය යුතු ය.

අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. බෞද්ධ භික්ෂුවකට දානයක් දුන් විට පුණ්‍යානුමෝදනාවේ දී කියන්නේ කිමෙක් ද ? මේ දුන් දනෙහි පිනින් ඊ ළඟ ආත්මයේ දී දෙව් ලොව ගොස් දිවඟනන් පිරිවරා අමෘතය වළඳන්නට හේතු වාසනා සම්පත් ලැබේ වායි කියායි.

සැප විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක් නිසා ද ? පාපයක් නිසා නො වේ ද ?

මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි. 

ඔන්න ඔහොමයි ඒ කතාව තිබුණේ........

මීමන ප්‍රේමතිලකයන් ගැන මෙතනින් තවත් කියවන්න.

ප.ලි.: ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප.ප.ලි.: පෙරේදා උදේ ඉදන් ඊයේ උදේ වෙනකම් කැලණි රාජ මහා විහාරයේ තිබුණු කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට සහභාගි වෙලා හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ආවා.

ඒ කතාව ලියන්න හිතාගෙන හිටියත් තියෙන මහන්සියට ඒ කතාව කොටාගන්න බැරිවුනා. මේ කතාව කලින් කොටලා තිබුණු නිසා අද පළ කළත් ඉක්මණටම කපිලවස්තුපුර ධාතු වැඳීමේ කතාව කියන්නයි අදහස

Thursday, September 6, 2012

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි

 කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්

මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.

පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. 

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා. 

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා. 


ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා. 

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා. 

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා. 

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා. 

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මට හිතෙන විදිහට නම් එහෙම කතාවක් ඇතිවෙන්න බලපෑවේ ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික වශයෙන් ලොවුතුරා බුදුවරුන්ගේ ආකාර තුනක් පැවතීම වෙන්න ඕනේ. මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ.


හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. 

මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. උන්වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ක් වුණා වගේම උන්වහන්සෙගේ ආයුෂ වසර 80 ක් වුණා. ධර්මය දේශනා කරද්දී විවිධ බාධකවලට මුහුණ දෙන්න උන්වහන්සේට සිදුවුණා.

ඒත් ශ්‍රද්ධාධික බුදුවරුන් පහළ වන කාලය ආයුෂ වගේම පහළ වන කාලයත් ප්‍රඥාධික බුදුවරයෙකුගේ කාලයට වඩා සෞභාග්‍යමත් කාලයක්.

ඊටත් වඩා සෞභාග්‍යමත් කාලයක් වීර්යාධික බුදුවරයෙක් පහළ වන කාලයේදී පවතිනවා. ඒ වගේමයි ඒ කාලයේ පරමායුෂ අවුරුදු 80,000 ක් පමණ වෙනවා. අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක්.

මෙන්න මේ වගේ කරුණු නිසා වෙන්න ඇති හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ.

කේතුමතී පුරය ගැන කියවෙන නන්දා මාලිනී ගායනා කරන ගීතයක් තමා මේ. දේශපාලනික කියවීම පැත්තකින් තියලා කේතුමතී පුරය මොනවගේද කියලා දැනගන්න අහලා බලන්නකෝ

 

මේ ගමන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා වගේම මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගනිපු කතාවත් කියන්නම්.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පළමු වතාවට තමන්ගේ උපන් බිම වුණු කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට පිටත් වුණානේ [කපිලවස්තුව කිව්වාමනේ දැන් හුඟක් අය දන්නේ] ඉතින් උන්වහන්සේ ඇතුළු මහා සංඝයාව සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍ය රජ දරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. හැබැයි මෙහෙම දේකුත් වුණා.

 කපිලවස්තුව

ඒ තමා ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට එයා අපිට වඩා බාලයි. අපි මොකටද එයාට වඳින්නේ කියලා. ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් වැඩේ සවුත්තු වෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා.

යමා මහ පෙළහර කියන එකත් කෙටියෙන් සහ සරලව විස්තර කරන්නම්.

යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම. 

පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.



මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා. 

බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා. 
  • පළමු අවස්ථාව තමා බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
  • දෙවෙනි අවස්ථාව තමා අද කතාවට සම්බන්ධ ශාක්‍යයන්ගේ මානය බිඳපු ආකාරය
  • තුන්වෙනි අවස්ථාව තමා ගණ්ඩබ්බ කියන අඹ රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පාපු අවස්ථාව. 
ඉතින් නැවතත් කතාවට ආවොත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන් කිඹුල්වත් පුරයේදී යමා මහ පෙළහර පාන ආකාරය රජගහ නුවර ගිජුකුළු පර්වතයේ ඉදන් දැක්ක සැරියුත් මහ රහතන් වහන්සේ මේ උත්කර්ෂවත් අවස්ථාවේ එතැනට රැස්වෙලා ඉන්න දෙවි මිනිසුන්ට යහපතක් කරන්න ඕනේ කියන අරමුණෙන් බුදුන් වහන්සේගෙන් බුද්ධවංශ දේශනාව පිළිබඳ විචාරනවා කියලා අරමුණු කරගෙන තමන්වහන්සේ සමඟ හිටිය රහතන් වහන්සේලාත් සමඟ අහසෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා. 

බුදුන් වහන්සේට නමස්කාර කරන සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රථම ප්‍රණිධානයේ ඉදන් බුද්ධත්වය ලැබීම දක්වා වන බුද්ධ වංශය පිළිබඳ දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුන් වහන්සේ තමන්වහන්සේ බෝසත් සමය ගත කරපු ආකාරය වගේම අනියත විවරණ සහ නියත විවරණ ලබාගත් ආකාරයත් දේශනා කරනවා. 

අවසාන වශයෙන් නැවත වරක් සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරදුන් සම්බන්ධවත් කරුණු දේශනා කරනවා. අනාගත වංශ  දේශනාව කියලා හැඳින්වෙන්නේ ඒ දේශනාව. 

ඒ යටතේ කල්ප විනාශය, මෛත්‍රී බෝසතුන්ගේ බෝසත් සමය, කේතුමතී පුරය ඇතිවීම, බෝසතුන් කේතුමතියේ පහළවීම, මහබිනික්මන, බුද්ධත්වය වගේ කරුණු කාරණා සියල්ලම බුදුන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කරවීම

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වහන්සේගෙන් අවසන් නියත විවරණය ලබාගත්තු කතාවත් කියන්නම්කෝ. මම කලින් දවසක බුද්ධ කාලයේ මිහිපිට ජීවත්වුණු තව්තිසාවේ දෙවිවරුන් සටහනෙන් බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ. 

මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්. 

ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා. 
  

ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

"මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා" 

යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා. 

ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා..... 

 දඹුළු විහාරයේ මෛත්‍රී බෝසත් ප්‍රතිමාව
 http://www.flickr.com/photos/paulmannix/314067662/

බෝසත් වන්දනාව නිසා මෛත්‍රී බෝසතුන්ගේත් ප්‍රතිමා විහාරවල ඉදිකරලා වන්දනා මාන කරන එක බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. මෛත්‍රී බෝසතුන් වන්දනා කරන ගාථා තමා මේ.

මෙත්ත්‍යෙය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං 

මෛත්‍රී නාමයෙන් බුදු බවට පත්ව නිවන් මඟ පිණිස දහම් දෙසන තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසන ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා...


වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමි තං වීතරාගී මුනින්දං

වීර්යාධික වූ ඒ උතුම් බෝසතුන් අනාගතයේදී කේතුමතී පුරයේ ඉපිද, බුදුව ලෝසතුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන සේක. ඒ වීතරාගී බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....


එහෙම නම් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා අවසානයි. 

තවත් මෛත්‍රී බෝසතුන් ගැන දැනගන්න කැමති නම් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත "මෛත්‍රී බුදුපියාණෝ" කෘතිය මෙතනින් භාගත කරගන්න පුලුවන්....

වැඩිදුර කියවීම සඳහා ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජයාණන් වහන්සේ විසින් රචනා කරපු මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංසය කෘතිය හොයාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. 

Sunday, August 26, 2012

හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 2 කොටස - ගුරු අංගද් දේව්

ගුරු අංගද් දේව්
මීට පෙර ලියපු ලිපියෙන් හුඟක් දෙනා ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.

ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ලේනා උපත ලබන්නේ 1504 මාර්තු 31 වෙනිදා පංජාබයේ සරේ නාගාවලදී හින්දු ජාතික දෙමව්පියන්ට දාව.

බාබර්ගේ ආක්‍රමණ නිසා සිය පවුලත් එක්ක පංජාබයේ කදූර් සහීබ් ප්‍රදේශයට එන භායි ලේනාට දවසක් ගුරු නානක් දේව් ගැන අහන්න ලැබෙනවා. පසුව ජ්වලමුඛී කෝවිලට වන්දනා ගමනක් යන අතරතුරේදී භායි ලේනා තමන්ගේ කණ්ඩායමට නොදන්වා හොර රහසේම ගුරු නානක් දේව් වාසය කරපු කර්තාර්පූර්වලට එනවා.

එහිදී මුල් වරට ගුරු නානක් දේව් හමුවීමත් සමඟම තම ජීවිතයේ ඉතිරි කාලයේ එතුමා සමීපයේ ගත කරන්න භායි ලේනා තීරණය කරනවා. ඒ අනුව භායි ලේනා ඉතාමත් විශ්වාසීව වගේම හිතෛෂීව ගුරු නානක්ට සේවය කරනවා.

ඒ පිළිබඳව කතා කීපයක් ශීඛ් ග්‍රන්ථවල සඳහන් වෙනවා. පසුකාලීන භායි ලේනාව තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට ගුරු නානක් දේව් නම් කරන්නේත් මෙවැනි සිදුවීම් නිසා.

මඩ වළට විසිකළ ජොග්ගුව ගන්නා භායි ලේනා

එක් අවස්ථාවක ගුරු නානක් දේව් වතුර පුරවපු ජොග්ගුවක් මඩ වළකට විසි කරලා තමන්ගේ පුතුන්ට වගේම ප්‍රධාන අනුගාමිකයන්ට අණ කරනවා ඒක රැගෙන එන්න කියලා.

මෙහිදී ගුරු නානක් දේව්ගේ පුතුන් දෙදෙනා මේ කාර්යය ප්‍රතික්ෂේප කරන්නේ එය ගුරුගේ දරුවන්ට සුදුසු නොවන පහත් ක්‍රියාවක් කියලා. නමුත් භායි ලේනා මඩ වළට බැහැලා ඒ ජොග්ගුව අරන් එය සෝදලා පිරිසිදු කරලා පිරිසිදු වතුර පුරවලා ගුරු නානක් දේව්ට පිළිගන්වනවා.

තවත් අවස්ථාවක ගුරු නානක් අණ කරනවා තමන්ගේ ගෙදර කැඩුණු බිත්තියක් සකස් කරන්න කියලා. ගුරුගේ පුතුන් දෙදෙනා ඒ කාර්යය මග හරිමින් පෙදරේරුවන් ගෙන්වන්න යද්දී ගුරු නානක් කියන්නේ "මට ශිෂ්‍යයන් සිටින නිසා පෙදරේරුවන් අවශ්‍ය නැහැ" කියලා.

පස්සේ භායි ලේනා බිත්තිය හදන්න පටන් ගන්නවා. ලේනා බිත්තිය සාදා නිම කළාට පස්සේ ගුරු නානක් කියනවා ඒක ඇදයි නැවත හදන්න කියලා. බිත්තිය කඩලා නැවත ලේනා බිත්තිය ගොඩ නඟනවා.

මේ විදිහට තුන් පාරක්ම වෙනවා. ඒ වෙලාවේ ගුරු නානක්ගේ පුතුන් භායි ලේනා මෝඩයෙක් කියලා හාස්‍යයට ලක් කරද්දී ලේනා කියන්නේ "ස්වාමියාගේ කාර්යයන්ගෙන් සේවකයන්ගේ දෑත් සැමවිටම කාර්යබහුලව තිබිය යුතුයි" කියලා.

ඒ වගේම තවත් අවස්ථාවක ගුරු නානක්ගේ ගවයින්ට තණකොළ මිටි 3 ක් ගේන්න කියලා එතුමා නියම කරනවා. මෙයත් නිසි පරිදි ඉටු කරන්නේ භායි ලේනා. ඒ තණකොළ මඩ සමඟ තිබුණු නිසා භායි ලේනාගේ ඇඳුම් සියල්ල මඩවලින් තෙත් වෙනවා.

එය දැක්ක ගුරු නානක්ගේ බිරිඳ ඒ ගැන ගුරු නානක්ගෙන් ප්‍රශ්න කළාම එතුමා ප්‍රකාශ කරන්නේ "මේ මඩ නොවෙයි. දෙවියන්ගේ අධිකරණයෙන් නිසි තැනැත්තා තෝරා ගත් බවට පෙන්වන ඝන කහ වර්ණයයි" කියලා.

අවසන් පරීක්ෂණය විදිහට දවසක් ගුරු නානක් කැලෑවේ තමන්ගේ ශිෂ්‍යයන් එක්ක ගමන් කරද්දී රන් සහ රිදී කාසි ඉදිරියට විසි කරනවා. එය අහුලා ගන්න භායි ලේනා සහ භායි බුද්ධාව සොහොන් බිමට අරන් යන ගුරු නානක් එහි තිබෙන මළ සිරුරක් අනුභව කරන්න ඔවුන්ට නියම කරනවා.

බයට පත්වෙන භායි බුද්ධා පැනලා ගියත් භායි ලේනා ගුරු අණට කීකරු වෙලා මළ සිරුර අනුභව කරන්න එය ආවරණය කරලා තිබුණු රෙද්ද ඉවත් කළාම ප්‍රසාද් එහෙමත් නැත්නම් ශුද්ධ වූ ආහාර හමුවෙනවා. ඒව ගුරු නානක්ට පිළිගන්වන භායි ලේනා ගුරු නානක් ඉතුරු කළ කොටස අනුභව කරනවා.

ගුරු නානක් දේව් ගුරු අංගද්ව දෙවෙනි ගුරු ලෙස නම් කිරීම

අවසානයේදී භායි ලේනා තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසට නම් කරන්න තීරණය කරන ගුරු නානක් දේව් 1539 සැප්තැම්බර් 7 වෙනිදා භායි ලේනාව ස්පර්ශ කරලා අංගද් කියලා නම් කරනවා වගේම දෙවෙනි ගුරු විදිහටත් නම් කරනවා. අංගද් කියන එකේ තේරුම තමන්ගේම මසින් සෑදුණු අයෙක් එහෙමත් නැත්නම් තමන්ගේ කොටසක් කියන එකයි.

1539 සැප්තැම්බර් 22 ගුරු නානක් දේව් මියගියාට පසුව නැවතත් තමන්ගේ උපන් ගම වෙන කදූර් සහීබ් වෙත ගුරු අංගද් දේව් පිටත් වෙනවා. ඒ ගුරු නානක් දේව් ලබාදුන් දහමේ ශුද්ධ ලියවිලි වගේම සාරයත් සමඟ.

එහි සිට ශීඛ් දහම ව්‍යාප්ත කිරීමේ කාර්යය පටන් ගන්න ගුරු අංගද් අතින් විශාල වැඩ කොටසක් ඉටුවෙනවා. ඒ යටතේ ගුරු අංගද් දේව් දේව නාගරී එහෙමත් නැත්නම් සංස්කෘත අක්ෂරවලින් "ගුරුමුඛී" නමින් නව අක්ෂර මාලාවක් නිර්මාණය කරන්න සමත් වෙනවා.

ඒ ගුරුමුඛී අක්ෂර මාලාවෙන් "ගුරුභණී" ( ගුරුගේ භාෂිතය ) එතුමා ලියනවා වගේම ගුරු නානක් දේව්ගේ චරිතාපදානය සකස් කරන්න මුල් වෙන්නෙත් ගුරු අංගද් දේව්. ඒ සඳහා බායි බාලාගෙන් කරුණු සපයා ගන්නවා. ඒ වගේම "ගුරු ග්‍රන්ථ සහීබ්" හි අඩංගු වෙන ශ්ලොක් 63 ක් පමණ රචනා කරන්නේ ගුරු අංගද් දේව්.

කුඩා දරුවන්ට උගන්වන ගුරු අංගද්

කුඩා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නත් ගුරු අංගද් දේව් කටයුතු කරනවා. එතුමා ලොකු කැමැත්තක් දක්වලාත් තියෙනවා කුඩා දරුවන්ට උගන්වන්න. තරුණයන් සඳහා "මාල් අඛාරා" නමින් ශාරීරිකව වගේම ආධ්‍යාත්මිකවත් සවිමත් කිරීමේ වැඩසටහනකුත් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා.

මේ විදිහට ශීඛ් දහමේ වර්ධනයට නව අංග හඳුන්වා දෙන ගුරු අංගද් දේව් ගුරු නානක් දේව් ඉදිරිපත් කළ "ගුරු කා ලන්ගාර්" එහෙමත් නැත්නම් එකට හිඳගෙන ආහාර අනුභව කිරීම හෙවත් නිදහස් සහභෝජනය ශීඛ්වරුන් අතර තව තවත් ජනප්‍රිය කරන්න කටයුතු කළා.

නිදහස් සහභෝජනය

මේ යටතේ ගුරුගේ සිටම සෑම ශීඛ්වරයෙක්ම එකට හිඳ ආහාර අනුභව කළා. මේකෙන් කුල භේදය පිටු දකින්න හැකිවුණා වගේම ශීඛ්වරු අතර සහෝදරාත්මක හැඟීම් ව්‍යාප්ත වෙන්න මුල් වුණා.

ගුරු අංගද් දේව්ත් සංචාරය කරමින් ගුරු නානක් දේව් ආරම්භ කරපු ශීඛ් මධ්‍යස්ථානවලට ගියා වගේම තවත් මධ්‍යස්ථාන 100 ක් පමණ ඇති කරන්නත් කටයුතු කළා.

ගුරු තනතුර ශීඛ් දහමේ ප්‍රබලතම වගේම වැදගත්ම තනතුර බවට පත්වෙලා තිබුණු නිසා ගුරු අංගද් දේව් එය මනාව තේරුම් අරගෙන ශීඛ්වරුන්ටම සුවිශේෂ අනන්‍යතාවක් ඇති වෙන විදිහට ශීඛ් දහම සංවිධානාත්මක දහමක් බවට පත් කරන්න මුල් අඩිතාලම දමනවා.

ගුරු අංගද් විසින් ගුරු අමර්දාස්ව තෙවෙනි ගුරු ලෙසට නම් කිරීම

තමන්ගේ ගුරුවරයා තමන් නම් කළා හා සමානවම කටයුතු කරන ගුරු අංගද් දේව් තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට අමර්දාස්ව නම් කරලා තමන්ට ගුරු නානක්ගෙන් හිමිවුණු ශුද්ධ ලියවිලි සියල්ලත් ගුරු අමර්දාස්ට භාර කරනවා.

1552 මාර්තු 29 ගුරු අංගද් දේව් මියයද්දී කදූර් සහීබ් ආසන්නයේ ශීඛ්වරුන් සඳහා නව නගරයක් ඉදිකිරීම ආරම්භ කරලා තිබුණේ එහි වැඩ පරීක්ෂාවට පත් කරලා තිබුණේත් ගුරු අමර්දාස්ව. පසු කාලීනව ශීඛ්වරුන්ගේ ප්‍රධාන මූලස්ථානය වගේම ශුද්ධ නගරය වෙන අම්රිත්සාර් නගරය ඉදිවෙන්න පටන් ගන්නේ ඒ විදිහටයි.

ඉතිරි ගුරුන් 8 දෙනා ගැන විස්තරේ බලාපොරොත්තු වෙන්න

Friday, August 17, 2012

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???


ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.

ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ දොළොස්වන සියවස්වල ඇතිවුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් තමා භක්තිවාදය කියන්නේ. ඒ යටතේ සමානාත්මතාවය, සහෝදරත්වය වගේ කරුණු හුඟක් සාකච්ඡාවට වුණා.

ශංකරාචාර්ය


මේ භක්තිවාදයේ ප්‍රථම දාර්ශනිකයා වුණේ ශංකරාචාර්ය. මෙයාලගේ මූලික අරමුණු වුණේ හින්දු ආගමේ වුණු වෛෂ්ණව සහ ශෛව කියන නිකාය දෙක අතර වුණු පරතරය නැති කිරීම. කොහොම නමුත් ක්‍රමයෙන් භක්තිවාදය ඊටත් වඩා දුරක් ගියා. ඒ යටතේ සිදුවූ එක් දෙයක් තමා ශීඛ් දහම බිහිවීම.

ශීඛ් දහම ආරම්භ වෙන්නේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් විදිහට වගේම පංජාබයේ හිටිය මුස්ලිම් සහ හින්දු දෙකොට්ඨාශය අතර සමඟියක් ඇති කරන්න. මධ්‍යකාලීන ඉන්දියාවේ හිටිය අග්‍රගණ්‍ය සමාජ සහ ආගමික ප්‍රතිසංස්කාරකයෙක් වුණු ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් තමා ශීඛ් දහම බිහිවෙන්න බලපාන්නේ.

ගුරු නානක් දේව්

ගුරු නානක් දේව්ගේ මතය වුණේ ආගම කියන්නේ අදහස්, න්‍යායන් රාශියක එකතුවක් නෙමෙයි ආගමික ගුරු කෙනෙක් යටතේ නිශ්චිත ප්‍රතිපදාවන් සමූහයක් අනුගමනය කරමින් ජීවත්වීමයි කියලා. මේ විදිහට ගුරු නානක් දේව් යටතේ හිටිය අනුගාමිකයෝ ශීඛ් එහෙමත් නැත්නම් ශිෂ්‍යයන් විදිහට හැඳින්වූවා.

වර්තමාන පකිස්ථානයේ බටහිර පංජාබයේ රායි බෝයි දි තල්වන්ද්වලදී (අද ඒ ප්‍රදේශය හඳුන්වන්නේ නන්කානා සහීබ් කියලා) 1469 අප්‍රේල් 15 ඉපදුණු ගුරු නානක් දේව් කුඩා කල හැඳින්වුණේ නානක් රායි නමින්. ඉගෙනීමට අති දක්ෂයෙක් වුණු නානක් සංස්කෘත, පර්සියන් ආදී භාෂාවලට කදිම හුරුකමක් දැක්වුවා. ඒ වගේම ගායනයටත් විශේෂ දස්කමක් දැක්වුවා.

හින්දු චාරිත්‍රයක් වන පුන නූල පැලඳීම පවා ප්‍රතික්ෂේප කළ එතුමා ක්‍රමයෙන් තරුණ වියට ආපු නානක් පවුලේ ව්‍යාපාර කටයුතුවලට උනන්දු නොවී සත්‍ය ඥානය සොයාගෙන යන්න පටන් ගත්තා. ඒ වගේම භාවනාවට විශේෂ ඇලුම්කමක් දැක්වුවා.

එතුමාගේ මේ ජීවන රටාව නිසා පියා සැළකිලිමත් වී විවාහයක් කරදීමට කටයුතු කළත් එතුමාගේ ජීවන රටාවේ වෙනසක් සිදුවුණේ නැහැ. වරක් පියා ව්‍යාපාර කටයුතුවලට ලබාදුන් මුදල්වලින් දුප්පතුන්ට ආහාර ලබාදීම නිසා පියා තදින්ම කෝප වුණා. මෙනිසා මෙතුමාගේ සොයුරියගේ ස්වාමියා සුල්තාන් දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ රැකියාවක් නානක්ට ලබා දෙන්නට කටයුතු කළා.

දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ සේවය කරන නානක්

1507 අගෝස්තු මාසයේදී සුල්තාන්පූර් ලෝදි නගරය අසළ තිබුණු නදියේ ස්නානය කරන්න යන නානක් අතුරුදහන් වෙනවා. දෞලාත් ඛාන් නානක්ව හොයන්න කිමිදුම්කරුවන් යෙදෙව්වත් පලක් වෙන්නේ නැහැ. දින තුනකට පස්සේ ගං ඉවුරේ ඉන්න නානක් මුලින්ම ප්‍රකාශ කරන්නේ "හින්දූන් කියා හෝ මුස්ලිම් කියා හෝ පිරිසක් නැහැ" කියලා.

ඒ සමඟම ඇතිවන අවබෝධයත් සමඟ හින්දු දහම සහ ඉස්ලාම් දහම අතර එකඟතාවක් ඇති කරන්න නානක් කටයුතු කරනවා. එතන් පටන් ඔහුව ගුරු නානක් දේව් නමින් හඳුන්වනවා. රාජ සේවයෙන් ඉවත් වෙන ගුරු නානක් දේව් මර්දානා නම් සගයා සමඟ "උදාසිස්" නමින් හඳුන්වන ආගමික ස්ථාන වන්දනා කිරීමේ චාරිකාව පිටත් වෙනවා.

ඒ යටතේ පර්සියාව, තුර්කිය, ඉරාකය, මැකාවට ගිය ගුරු නානක් දේව් ඉන්දියාව පුරාමත් සංචාරය කලා. මේ චාරිකාවන් එක්ක ලෝකය ගැන හොඳ අවබෝධයක් ගන්න ගුරු නානක් දේව්ට පුළුවන් වෙනවා. මේ චාරිකාවේදී ලංකාවේ අනුරාධපුරයටත් එතුමා පැමිණෙනවා.

ක්‍රමයෙන් මහළු වියට පත්වෙන ගුරු නානක් දේව් පස්සේ පංජාබයේ කර්තාර්පූර්වලට ඇවිත් එහි ඉදන් ශීඛ් දහමේ උන්නතියට කටයුතු කරනවා. වරක් ඉන්දියාව ආක්‍රමණය කරන මෝගල් පාලක බාබුර්ගේ සිරභාරයට පත් වන්නට ගුරු නානක් දේව්ට සිදුවුණත් එතුමන්ම ඉක්මනින්ම නිදහස් කෙරෙනවා.


වර්තමානයේදී ශීඛ් දහම සකස් වෙලා තියෙන්නේ ගුරු නානක් දේව්ගේ සහ තවත් ගුරුන් නම දෙනෙකගේ ඉගැන්වීම්වල එකතුවකින්. ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් වුණේ මේ වගේ කරුණු
  • ඇත්තේ එක දෙවියෙකි (එක් ඔන්කාර්), ඒ දෙවියන් රූපයකින් සිතා ගත නොහැකිය (නිරන්කර්), දෙවියන් සනාතනිකය (අකල්), දෙවියන් වරද නොකරයි (අලක්ඛින්). විවිධ ආගම් විසින් දෙවියන් විවිධ නම්වලින් හැඳින්වූවද ඇත්තේ එකම දෙවියෙකි. මේ ඒකදේවවාදී අදහස ඉස්ලාම් දහමේ මූලිකම කරුණක් වුණා වගේම වෛදික සාහිත්‍යයේත් තිබුණු දෙයක්
  • සියලු ආගම් සමානය. එසේම දෙවියන් එක ආගමික නිකායකට අයත් නොවේ. විශ්ව සාධාරණ ජීවය බෙදන්නාය. "සත්නාම්" හෙවත් සත්‍යයේ නාමයෙන් මුළු ජීවිත කාලය පුරාම කටයුතු කරන්න.
  • දෙවියන් සමඟ එක් විය හැක්කේ යහපත් ක්‍රියාවන් මඟින් පමණි. හින්දු දහමේ එන කර්මවාදය ගැන මේ යටතේ පිළිගන්නවා. ගුරු නානක් දේව්ගේ ප්‍රසිද්ධ කියමනක් තමා "වචනවලින් ශාන්තුවරයකු හෝ පව්කාරයකු බිහි නොවේ. ඉරණම් පොතේ ලියා ඇත්තේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය පමණකි" කියන එක.
  • ප්‍රතිමා වන්දනය ගුරු නානක් දේව් ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කළා වගේම සියලුම ආගම්වල තිබුණු බාහිර පුද පූජා විධිත් ප්‍රතික්ෂේප කළා.
  • කාන්තාවන්ට ගෞරව කළ යුතු බව ගුරු නානක් දේව්ගේ මතය වුණා. ඒ ගැන එතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තමා "ඔවුන් රජුන්ට හා ආගම් කතෘවරුන්ට උපත ලබා දෙන්නේ නම් කාන්තාවන් පහත් යයි කිව හැක්කේ කෙසේද ?"
  • ලෞකික ජීවිතය හැර නොගොස් ගෘහස්ථයෙක් ලෙස ගුරුගේ ඉගැන්වීම් අනුව කටයුතු කර දෙවියන් කරා ළඟා විය හැක.
ගුරු නානක් දේව්ගේ මේ ඉගැන්වීම් "අසා - දි - වාර්" සහ "ජප්ජී සහීබ්" කියන එතුමා විසින්ම ලියපු පොත්වල අඩංගු වෙනවා.

ගුරු නානක් දේව් තම අන්තරගාමියා ලෙස ගුරු අංගද්ව පත් කිරීම

1539 සැප්තැම්බර් 22 දා පංජාබයේ කර්තාර්පූර්වලදී ගුරු නානක් දේව් මිය යනවා. ඊට කලින් තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන අනුගාමිකයන් කීප දෙනෙක්ව පරීක්ෂා කරලා බලන ගුරු නානක් දේව් තමන්ගේ අන්තරාගාමියා විදිහට ගුරු අංගද් දේව්ව නම් කරනවා.

හුඟක් දේවල් කතා කළානේ. ඉතිරි කොටස මීළඟ ලිපියෙන්. මේ ලිපියේ නොතේරුණු දෙයක් තියෙනවා නම් කියන්න. දන්න තරමින් උත්තරයක් දෙන්නම්.

මීළඟ ලිපිය එනකම් මේ පංජාබ් ගීතය අහලා බලන්න :)




මේ සටහන ලියන්න පාදක කරගත්තු මූලාශ්‍ර වුණේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි


ප.ලි.: මෙම ලිපි මාලාව ලිවීම අතපසු වූ නිසා එය නැවැත්වූ කොටස්වල සිට නැවතත් ලිවීම ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිමි. එයට ප්‍රවේශයක් ලෙසට මුල් කොටස් දෙක නැවත පළකිරීමට කටයුතු කළෙමි

Thursday, July 26, 2012

සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ


අපිත් එක්ක St. John Ambulance එකේ වැඩ කරපු පොරක් ගියා Navy එකට. Navy කිව්වට Navy පොලිසියට තමා ගියේ. පූනෑවේ තමා training එක තිබුණේ. මැදවච්චිය හරියෙලු ඕක තියෙන්නේ. 

ඉතින් training ගිහින් මාස 6 කට පස්සේ man නිවාඩු ආවා. එද්දී කට්ට කලුවෙලා ඒ මදිවට බට පතුර වගේ. එහෙ කාෂ්ඨක අවුවලු. ඒ මදිවට training එක කරන විදිහට හරියට කන්න බොන්නවත් වෙන්නේ නැහැලු. 

දවසකට වතුර ලීටර් 5 [මට මතක විදිහට] හම්බෙනවාලු. දවස පිරි මහගන්න ඕනේ ඒකෙන්ලු. කොටින්ම ශරීර කෘත්‍යය, මුහුණ කට සේදීම වගේ ඔක්කෝටම. සමහර වෙලාවට එකෙක්ට වතුර මදි වුණොත් අනිත් එවුන්ගේ වතුර හොරෙන් උස්සනවාලු :))

උදේ 4 ඉදින් රෑ 10 වෙනකම් වැඩලු. ඊට පස්සේ රෑ 10 ට lights නිව්වට පස්සේ මුන් ඇඳන් හදනවාලු. බූට් පොලිෂ් කරනවාලු එකී මෙකී නොකී වැඩලු. නිදා ගද්දී අඩුම ගාණේ පාන්දර දෙකවත් වෙනවලු. 

ආයි පාන්දර 4 ට ඉදන් වැඩලු. උදේ හරියට කන්න ගියොත් drill යන්න වෙන්නේ නෑලු. දවල් විතරලු නිස්කලංකේ කන්න තියෙන්නේ. රෑට කන්නේ හවස 6 ටලු. ඊට පස්සෙත් වැඩලු... ඕන් training එකේ හැටි. 

තව තව කතා කිව්වා ඒවා නම් අදාළ නැහැ. මිනිහා මට කිව්ව කතාවලින් සිරාම කතාව මේකයි. 

දවල්ට පාඩම් කියා දෙද්දී හොඳට අහන් ඉන්න ඕනෙලු මොකද පහුවෙනිදාට ඒවායින් ප්‍රශ්න අහනවාලු. බැරි වෙලාවත් උත්තර දෙන්න බැරිවුනොත් හරි පාඩම වෙලාවට නින්ද ගියොත් හරි පාඩම් කියාදෙන තැන තියෙන ගහේ කකුල් දෙකෙන් එල්ලලා තියෙනවාලු දවල් වෙනකම්

කොහොමද එල්ලිලා ඉද්දී පැය දෙක තුනක් කකුල් දෙකෙන් :))

මොකෙක් හරි ඒකට හිනා වුණොත් ඌවත් එල්ලනවාලු. ඒ වගේමයි ගෑණු පිරිමි භේදයක් නැහැලු. කෙල්ලන්ව වුණත් එල්ලනවලු. [දැන් කැත විදිහට හිතන්න එපා. කෙල්ලොත් බොටම් ඇඳලලු ඉන්නේ]

දවසක් අපේ එකාට පන්තියේදී නින්ද ගිහින් ඒකට punishment එක විදිහට ගහේ එල්ලලා තියෙද්දිත් නින්ද ගියාලු :))


අන්තිමට පහුගිය මාසෙක මෑන්ගේ passing out එක තිබිලා man ගෙදර ආවා. man ගෙදර එන්න කලින් පාඩම් කියාදීපු සර් ගාවට ගිහින් කියලා ආවලු 

"සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus ගිහින්" 

[මේ විදිහට කිව්වේ ගස්වල එල්ලලා ඉගැන්නුව විදිහට]

ප.ලි.: අපේ බුවා නම් කිව්වේ එහෙම training එකක් නැතුව කොහොමද සතුරාට මුහුණ දෙන්න ඝට හදන්නේ කියලා. ඇත්ත තමා ඉතින් යුද්දේ කියලා සෙල්ලමක් නෙමෙයිනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ජීවිතේ ඉවරයිනේ

ඒ වගේමයි A/L කරන අපේ නංගිලා මල්ලිලා උත්සහයෙන් වැඩ ටික කරගන්න මතක තියාගන්න ඕනේ.  බොහොම ටික දවසයි නොවැ විභාගෙට තියෙන්නේ

Wednesday, June 27, 2012

තවමත් සුරක්ෂිතව පවතින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය

 මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ

බුදු හාමුදුරුවන්ට රූපයෙන් බොහෝ දුරට සමාන වුණු රහතන් වහන්සේ නමක් ගැන කතාව හුඟක් වෙලාවට ඔයාලා අහලා ඇති. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මගධ රාජ්‍යයේ මහාතීර්ථ බමුණු ගමේ කෝසියගොත්ත බමුණාට සහ සුමනාදේවී බැමිණියට දාව ඉපදුණු පිප්ඵලී කියන බමුණු කුමාරයා තමා පසුකාලීනව බුදුන් සරණ ගිහින් මහා කාශ්‍යප නමින් ප්‍රකට වුණේ.

ධූතාංගධාරී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය වගේම බුදුන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අගසව් දෙනමම පිරිනිවන් පාලා හිටිය නිසා තෘතීය ශ්‍රාවකයා විදිහටත් කටයුතු කළේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
බුදුන් වහන්සේ නමකට පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් මහා කාශ්‍යප හාමුදුරුවන්ටත් පිහිටලා තිබුණා වගේම රූපයෙනුත් බොහෝ දුරට උන්වහන්සේ බුදුන් වහන්සේට සමාන වුණා. ඒත් උන්වහන්සේ බුදුන් වහන්සේට වඩා අඟල් 4 කින් උස අඩුයි. කෙසේ නමුත් එක්වරම දෙදෙනා වහන්සේලාව හඳුනාගන්න නොහැකි නිසා නොයෙක් ගැටලු ඇතිවුණා.

එක කතාවක් තමා හැමදාම මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වඩිද්දී බත් හැන්දක් පුදන කාන්තාවන් බුදුන් වහන්සේ එතනින් වඩිද්දී මහා කාශ්‍යප හාමුදුරුවෝ කියලා හිතාගෙන බත් හැන්ද පූජා කළත් පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩිය නිසා දුවගෙන ගිහින් බුදුන් වහන්සේට පුදපු බත් හැන්ද පාත්‍රයට අත දාලා අරගෙන මහා කාශ්‍යප හාමුදුරුවන්ට පූජා කරපු එක

මේ විදිහට තමන් නිසා බුදුන් වහන්සේ අපහසුතාවලට ලක්වෙන නිසා මහා කාශ්‍යප හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක්ම හිමාලයේ වැඩ වාසය කරනවා.

බුදුන් වහන්සේ පිරිනිවන් පාපු බව උන්වහන්සේ දැනගන්න හරි අපූරු විදිහකට මොකද ඒ කාලේ අද කාලේ වගේ ටෙලිග්‍රෑම්, ටෙලිෆෝන් තිබ්බ එකක්යැ. ඒ විදිහ බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දවසට තමන් වහන්සේ වැඩ සිටින ගල් ලෙන ඉස්සරහ තියෙන ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටේවා කියලා අධිෂ්ඨාන කරපු එක. 

බුදුන් වහන්සේ පිරිනිවන් පෑමත් එක්කම ගහේ මල් සියල්ලම පරවෙලා බිමට වැටුණා. කාරණේ තේරුම් ගත්ත මහා කාශ්‍යප හාමුදුරුවෝ තමන් වහන්සේ එක්ක හිටිය හාමුදුරුවරුන් එක්ක කුසිනාරා නුවර බලා වඩිනවා. 

 සම්බුද්ධ පරිනිර්වාණය

මේ වෙද්දී බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න මල්ල රජවරුන් සූදානම් වුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒකට හේතුව හොයලා බලද්දී දිවැස්ලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබපු අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ මෙතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කරනකම් ගිනි නොඅවුලවන්නයි දෙවියෝ අපේක්ෂා කරගෙන ඉන්නේ කියලා. 

අවසානයේ මහා කාශ්‍යප හාමුදුරුවෝ එතනට වැඩම කරලා බුදුන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් එක්කම ඉබේම චිතකයට ගිනි දැල්වෙනවා.

මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් ඉටුවුණු සුවිශේෂී මෙහෙය විදිහට දක්වන්න පුලූවන් වෙන්නේ මගධයේ පාලක අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් වේභාර පර්වතය පාමුළ සප්තපර්ණී ගල් ගුහාවේ පළමු ධර්ම සංගායනාව පැවැත්වීම. 

තැන් තැන්වල විසිරිලා තිබුණු ධර්ම කොටස් එකතු කරලා ඒවා සංගායනා කරලා නිකාය 5 කට බෙදලා භික්ෂු පරම්පරාවන්ට ඒ ධර්ම කොටස් කටපාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන්න කටයුතු සිදුවුණේ මේ ධර්ම සංගායනාව නිසා. ඒ නිසාමයි මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවිශේෂී මෙහෙය විදිහට ඒක සඳහන් කළේ.   

 අජාසත් රජතුමා

ඒ වගේමයි සර්වඥ ධාතු කොටස් රාජ්‍යයන් 8 කට ඒ වෙද්දී බෙදලා තිබුණත් අනාගතයේ ඒ ධාතූන් වහන්සේලාට මිසදිටුවන්ගෙන් වෙන්න පුලූවන් අනතුරු ගැන වටහා ගත්තු මහා කාශ්‍යප හාමුදුරුවෝ රාම ග්‍රාමයේ සර්වඥ ධාතූන් හැරෙන්න අනෙක් රාජ්‍යය 7 සර්වඥ ධාතූන් වහන්සේලා එකතු කරලා අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් විශේෂ ආරක්ෂක උපක්‍රම සහිතව ස්ථූපයක තැන්පත් කරනවා. 

පස්සේ කාලේ අශෝක රජතුමා තමන්ට අවශ්‍ය ධාතූන් වහන්සේලා ලබාගන්නේ මේ ස්ථූපයෙන්. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබිලා පසුව ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්මැලි සෑයේ තැන්පත් කරන්න දුටුගැමුණු රජතුමා ගෙන්වා ගන්නවා.

කතාවෙන් කතාවෙන් අද කියන්න ආපු කතාව ප්‍රමාද වුණා. කලින් කියලා තියෙන කතාවල තව විස්තර තියෙනවා. ගැටලු සහිත තැන මතු වෙද්දී ඒවාත් කියන්නම්.

අවුරුදු 120 ක කාලයක් වැඩවාසය කරපු මහා කාශ්‍යප හාමුදුරුවෝ එක දවසක් තමන් වහන්සේගේ ආයුෂ බලද්දී ආයුෂ අවසන් බව දැකලා තමන් වහන්සේ හෙට දිනයේ කුක්කුට සම්පාත පර්වතයේදී පිරිනිවන් පානවා කියලා තීරණය කරලා ඒ බව අනෙක් හාමුදුරුවරුන්ටත් දැනුම් දෙනවා. බොහෝ භික්ෂූන් වහන්සේලා ඒ බව අහලා කම්පා වෙනවා. 

පස්සේ මහා කාශ්‍යප හාමුදුරුවෝ පිඬු සිඟා වැඩලා දානය අරගෙන තමන් පිරිනිවන් පාන වග අජාසත් රජතුමාට දැනුම් දෙන්න මාළිගාවට වඩිනවා. රජතුමා ඒ වෙද්දී දිවා ආහාරය අරගෙන නිදාගෙන ඉන්නේ. රාජ පුරුෂයන්ට තමන් වහන්සේ අද සවසට කුක්කුට සම්පාත පර්වත භූමියේ පිරිනිවන් පාන වග දැනුම් දීලා නැවත විහාරයට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ විහාරය අතු පතු ගාලා වතාවත් කරනවා. 

 කුක්කුට සම්පාත පර්වත

අවසානයේදී කුක්කුට සම්පාත පර්වත භූමියට වඩින මහා කාශ්‍යප හාමුදුරුවෝ සෘද්ධි ප්‍රාතිහාර්යය පාලා රැස්වෙලා හිටිය පිරිසට අවවාද ලබාදීලා කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිනිවන් පාන්න අදහස් කරද්දී දෙවියෝ එතැන ඇඳක් අතුරලා ඒ ඇඳේ පාද 4 ගාව මල් පුරවපු පුන් කලස් සහ පහන් තබනවා. 

එතනට වැඩම කරන මහා කාශ්‍යප හාමුදුරුවෝ සමාපත්තියට සම වැදිලා මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරනවා.

මම පිරිනිවන් පෑ කල්හි මගේ සිරුරට අනතුරක් නොවන විදිහට මේ පර්වත තුන එකට එක්වේවා. මා වටා තිබෙන සුවඳ මල් පර නොවේවා. දල්වා ඇති පහන් නොනිවේවා. අනාගතයේ ලොව පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තම පිරිස් සමඟ මෙතනට වැඩම කර මගේ සිරුර දකුණ අත්ලේ තබාගෙන භික්ෂු සංඝයා ඇතුලූ දෙව් මිනිසුන්ට සිරුර පෙන්වමින්

"පින්වත්නි මේ තෙරුන් වහන්සේ ගැන ඔබ දන්නවාද මේ මාගේ දෙටු සොයුරා වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් මහා ශ්‍රාවකයායි. ධූතාංගධාරී භික්ෂූන් අතර අගතැන්පත් වෙමින් පිරිනිවන් පාන තෙක්ම ධූතාංග රකිමින් මේ භික්ෂුව කටයුතු කළේය" 

ආදී වශයෙන් මහ පොළොව කුඩා කර මගේ ගුණ මහත් කොට දේශනා කරන සේක්වා. එවිට උන්වහන්සේගේ හස්තයේදීම මගේ මේ සිරුර ගිනිගෙන දැවේවා.

එසේම මා පිරිනිවන් පෑ බව අසා මා වන්දනා කිරීමට මෙහි පැමිණෙන අජාසත් රජතුමාට මේ පර්වත තුන විවෘත වේවා. රජතුමා වන්දනා කර අවසන් වූ පසු පර්වත තුන තිබූ පරිදිම එකට එක්වේවා 

කියලා අධිෂ්ඨාන කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පානවා.

අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා. 

 පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා. 

අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.

ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහය විනාශ නොවී මතු බුදුවන මෛත්‍රී බුදුන්ගේ කාලය තෙක්ම පවතිනවා. මේ කතාව ඇතුළත් වෙන්නේ සම්පිණ්ඩිත මහා නිදානය කියන පාළි ග්‍රන්ථයේ මහාකස්සපථෙර පරිනිබ්බාන කතා කොටසේ. 

කුක්කුට පාදගිරිය ඈතට දිස්වෙන අයුරු

වර්තමානයේ මේ කුක්කුටසම්පාත පර්වතය හඳුන්වන්නේ ගුරුපාදගිරි/ කුක්කුට පාදගිරි නමින්. ඒක බුද්ධගයාවේ ඉදන් කිලෝ මීටර් 33 ඈතින් තියෙන ගුරුපා තියන ගමේ තමා පිහිටලා තියෙන්නේ. මේ පර්වතය මුදුනේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිය බවටත් නොයෙකුත් සාදක එහෙමත් හම්බවෙලා තියෙනවා. 

කුක්කුට පාදගිරියේ තිබෙන මහා කාශ්‍යප විහාරය

සුවිශේෂි කරුණක් තමා මේ පර්වතය මුදුනේ මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ පිළිමයක් තැන්පත් කරපු කුඩා විහාරයක් තිබෙන එක.
ප.ලි.: මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් ශ්‍රී ලංකාවේ බෙන්තර ගලපාත රාජ මහා විහාර ස්ථූපයේ තැන්පත් කරලා තිබෙනවා. 

 බෙන්තර ගලපාත විහාර ස්ථූපය

දුටුගැමුණු, සද්ධාතිස්ස, මහා පරාක්‍රමබාහු, නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු වගේ රජවරු මේ විහාරයට අනුග්‍රය කළා වගේම මහා කාශ්‍යප දළදාවට පුද පූජා එහෙමත් පවත්වලා තියෙනවා.

මේ ලිපිය ලියන්න කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතියෙන්. ඔහුටත් පින් සිදුවේවා

Monday, May 14, 2012

හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක්


 වස් කවියෙන් හරි හරි වැඩ කරපු මහනුවර යුගයේදී වැඩ වාසය කරපු කුංකුණාවේ හාමුදුරුවන් ගැන කලින් දවසක කතා කළානේ. ඒකෙන් කතා කළේ හාමුදුරුවෝ කියපු හොඳ හොඳ වස් කවිනේ. අද කියන්නේ හාමුදුරුවන් සම්බන්ධ හොඳ හොඳ කතා ටිකක්.

මතකනේ එදත් මම කිව්වා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක හිත හොඳ නැති හාමුදුරුවරු එහෙමත් හිටියා කියලා. ඒ වගේමයි ගිහියොත් හිටියා කුංකුණාවේ හාමුදුරුවොත් එක්ක එච්චර හිත හොඳ නැති. ඒ එක් කෙනෙක් තමා "ලෙව්කේ" දිසාව. 

දවසක් දා දිසාව හිතා ගත්තා හාමුදුරුවන්ට හොඳ වැඩක් කරන්නම් කියලා සාංඝික දානයකට කටයුතු සූදානම් කරලා කුංකුණාවේ හාමුදුරුවන්ටත් ඒකට ආරාධනා කළා.

ඉතින් මේ දානයට කුංකුණාවේ හාමුදුරුවොත් වැඩම කළා. දානේ වෙලාවෙදී කුංකුණාවේ හාමුදුරුවන්ව අපහසුතාවයට පත් කරන්න හිතා ගත්තු ලෙව්කේ දිසාව කෑලිවලට කපන්නේ නැතුව කන්න අපහසු වෙන ලොකු මස් කුට්ටියක් කුංකුණාවේ හාමුදුරුවන්ට පිළිගැන්නුවා

මේ විශාල මස් කුට්ටිය වළඳන්න බැරුව හාමුදුරුවන් අපහසුතාවයකට මූණ දෙන්න වෙයි කියලා ලෙව්කේ දිසාව බලන් ඉද්දී එයා දැක්කා කුංකුණාවේ හාමුදුරුවෝ මස් කුට්ටිය අතින් අල්ලාගෙන අත පුරා මූණ පුරා ගාගෙන දත්වලින් ඉරාගෙන වළදන්න පටන් ගන්නවා. 

මේ වෙලාවේ සමච්චල් හිනාවක් දාපු ලෙව්කේ දිසාව මහ හයියෙන් හැමෝටම ඇහෙන්න  කිව්වා "මොකද හාමුදුරුවනේ මේ සුනඛ සෙයියාවෙන් දන් වළදන්නේ"   කියලා. 

ඒකට උත්තර විදිහට කුංකුණාවේ හාමුදුරුවෝ ක්ෂණිකව කිව්වා "  සුනඛයන් දුන් දානේ සුනඛ සෙයියාවෙන් වළදන්න එපැයි දිසාවේ"     කියලා :))

තවත් දවසක් දා තවත් හාමුදුරුවරු කණ්ඩායම එක්ක කුංකුණාවේ හාමුදුරුවොත් රජ මාළිගාවේ දානෙකට වැඩම කළා. සග මහලු පිළිවෙලට හාමුදුරුවරු අසුන් ගනිද්දී උපසම්පදාවෙන් වැඩි වස් ගණනාවක් නොතිබුණු කුංකුණාවේ හාමුදුරුවෝ තමා අන්තිමයාට වාඩි වෙලා හිටියේ. 

මෙදා දානෙට බිත්තර තම්බලා එහෙමත් තිබුණාලු. රජතුමා මුලින්ම නායක හාමුදුරුවන්ට බිත්තරයක් බෙදන්න ගියත් උන් වහන්සේ පාත්‍රය අතින් ආවරණය කළා. ඔයාලත් දන්නවනේ හාමුදුරුවෝ ඒ විදිහට පාත්‍රය අතින් ආවරණය කරන්නේ ඒ ආහාරය අවශ්‍ය නැහැ හරි ලැබුණු ප්‍රමාණය ප්‍රමාණවත් කියන්න හරිනේ

මේක නම් ප්‍රධාන කතාව මැද්දේ යන පොඩි කුණු කතාවක්. අපේ එකෙක් දානෙකට ගිහින් හාමුදුරුවන්ට දානේ බෙදද්දී හාමුදුරුවෝ ඇතියි කියන්න පාත්‍රය අතින් ආවරණය කළාලු. මූ හාමුදුරුවන්ගේ අත අයින් කරලා තව හොඳි ටිකක් පාත්‍රයට බෙදුවලු. 

පස්සේ මූ කියනවලු "  බලපන් බන් හාමුදුරුවෝ කරන කෝලම් වැඩ. හොඳි බෙදද්දී පාත්තරේට අත අල්ලලා අතත් පුච්ච ගත්තා ඇඟ පුරා හොඳිත් හලා ගත්තා"   කියලා :))

ආයි ප්‍රධාන කතාවට ආවොත් නායක හාමුදුරුවෝ ඒ විදිහට බිත්තර ප්‍රතික්ෂේප කරපු නිසා අනිත් හාමුදුරුවරුත් බිත්තර පිළිගත්තේ නැහැ.  රජ්ජුරුවෝ අන්තිමට හිටිය කුංකුණාවේ හාමුදුරුවන්ට බිත්තරයක් පිළිගන්වන්න යද්දී උන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. අතින් පාත්‍රය ආවරණය කරපු නැති නිසාත් රජතුමා තව තව බිත්තර බෙදුවා. 

අන්තිමට එක බිත්තරයි ඉතුරුයි. ඒක බෙදන්න යද්දී කුංකුණාවේ හාමුදුරුවෝ පාත්‍රය ආවරණය කළා. එතකොට රජතුමා කියනවලු "  හාමුදුරුවනේ මේ අන්තිම බිත්තරේත් වළදන්න කියලා.

ඒ වෙලාවේ කුංකුණාවේ හාමුදුරුවෝ කියනවලු "රජතුමනි. මම මේ කලින් පිළිගත්තේ අනික් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තම්බපු බිත්තර. ඒක නිසා ඒවා වැළඳුවාට මට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒත් මේ අන්තිම බිත්තරේ මං වෙනුවෙන් තම්බපු නිසා ඒක වළදලා පව් කරගන්න ඕනේ නැති නිසා ඒක මම වළදන්නේ නැහැ" කියලා :))

වැලිවිට සරණංකර සංඝරාජ හිමි

මේ කාලේ වරින්වර කන්ද උඩරටට ලන්දේසි ආක්‍රමණ දියත් වුණු කාලයක්. එක පාරක් ලන්දේසි ආක්‍රමණයක් උඩරට එල්ල වෙද්දී ඔක්කොම වගේ ආරක්ෂාව හොයාගෙන කන්ද උඩරටින් පැනලා ගියා. ඒත් වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ අසනීපෙන් සහ වයස්ගතව හිටිය නිසා ආරක්ෂිත ස්ථානයකට යන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. 

මේ වෙලාවේ එතනට වැඩම කරන කුංකුණාවේ හාමුදුරුවන්ට සඟරජ හාමුදුරුවෝ තමන්ගේ දුක කියන්නේ මේ විදිහට

ඉතින් පිහිට දැන් මට නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගේ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී

දෙන්ඩ ගන්ඩ දෙයකුත් නැති වෙච්චී
සිරුර දිරා දැන් ජරපත් වෙච්චී
අත පය දැන් මගෙ සවි නැති වෙච්චී
අසූ වයස දැන් මෙමට පිරිච්චී

කටු පහුණේ මම කොහොමද යන්නේ
අරිටු සිහිල් නල කොහෙද විඳින්නේ
පවිටු ලෙඩක් මට නිබඳ තිබෙන්නේ
තුටු කළ උවටන් කවුද කරන්නේ

සංඝරාජ හාමුදුරුවෝ පත්වෙලා හිටිය දුක්මුසු තත්වයේ නිසා කම්පවට පත්වෙන කුංකුණාවේ හාමුදුරුවෝ සංඝරාජ හාමුදුරුවන්ට පයින් වැඩම කරන්න බැරි නිසා කරේ තියාගෙන සූරියගොඩ කැලෑවෙන් මැණික්දිවෙල පන්සලට අරගෙන ආවා. 

කුංකුණාවේ හාමුදුරුවෝ කරපු උපකාරයට කෙළෙහි ගුණ දැක්වීමක් විදිහට සංඝරාජ හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට වැල්ලාගල පන්සල පවරා දෙනවා.

ඒකට අද මම දෙමි වැල්ලාගල
මා ළඟ සිටියට දෙමි වැල්ලාගල
ලියමන් කියමන් දෙමි වැල්ලාගල
දෙමි දුන්නෙමි ඔබටම වැල්ලාගල

මේ විදිහට කුංකුණාවේ හාමුදුරුවන්ට උරුම වුණු වැල්ලාගල පන්සල තමා මොරතොර හාමුදුරුවෝ කුංකුණාවේ හාමුදුරුවන්ට අහිමි කරන්නේ. ඒක ගැන එදා කිව්වනේ

එහෙම නම් කතා අවසානයි :)

ප.ලි.: මීළඟ ඉතිහාසයේ අප්‍රකට කතාව කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමෙක් ගැනයි.........

Saturday, May 12, 2012

I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල් - ඉතිහාසයේ අප්‍රකට කතා 03

I විමලධර්මසූරිය රජතුමා

ඔස්ට්‍රියාවේ දොන් ජුවන් නමින් බෞතිස්ම ලබලා පෘතුගීසීන් යටතේ වැඩුණු උඩරට රදළ ප්‍රභූවරයෙක් වගේම උඩරට පාලක කරලියැද්දේ බණ්ඩාරගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනප්පු බණ්ඩාර 1592 උඩරට බලා පිටත් වුණේ සීතාවක රාජසිංහ රජතුමාට එරෙහිව කන්ද උඩරට පෘතුගීසි හිතවත් පාලනයක් ඇති කරලා සීතාවක බලය මර්දනය කරන්න.

මේ යටතේ උඩරට සිටි පාලක කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ බෑණා වූ දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු විදිහට පෘතුගීසින් ප්‍රකාශයට පත් කරනවා. ඒ වුණත් ක්‍රමයෙන් දෙවනගල රතනාලංකාර හාමුදුරුවෝ වගේම නායක භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයත් උඩරට රදළ ප්‍රභූවරුන්ගේ සහයත් ලබාගන්න කොනප්පු බණ්ඩාර  යමසිංහ බණ්ඩාරව බලයෙන් පහ කරනවා. මේ සම්බන්ධ ප්‍රකට කතාව වෙන්නේ කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාරට වසදීලා ඝාතනය කළා කියන එක.

ඊට පස්සේ උඩරට පාලකයා බවට පත් කරන්නේ යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන්. ඒත් මේ කුමාරයා බොහොම ලාබාල වියේ සිටි අයෙක්. මේ වගේ තත්වයක් තුළ කොනප්පු බණ්ඩාරගේ කැරලි, ආහාර හිඟය, සිංහලයන් නව රජුට පක්ෂපාතී නොවී මියයාම වගේ කරුණුත් එක්ක පෘතුගීසීන් මේ කුමාරයාත් එක්ක මන්නාරමට පසු බසිනවා. මේ කුමාරයට මොකද වුණේ කියන කතාව ඉදිරි දවසක ඉතිහාසයේ අප්‍රකට කතා තුළින්  කියන්නම්

මේ වගේ අරාජික තත්වයක් ඇතුළේ කොනප්පු බණ්ඩාර 1592 දී විමලධර්මසූරිය නම්න් උඩරට රජවෙනවා. තමන්ගේ රාජ්‍යත්වය නීත්‍යානුකූල උරුමයකින් තහවුරු කරගන්න එතුමාට පුලුවන් වෙන්නේ 1594 දන්තුරේ සටනින් පෘතුගීසින් සමූලඝාතනය කරලා උඩරට නියම උරුමක්කාරිය වුණු කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ දියණිය වුණු කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනාව ලබාගෙන සරණ පාවා ගැනීමෙන්.

දළදාව මහනුවරට වඩමවා ගෙන දළදා මැදුරක් කරවලා තැන්පත් කරවීමෙන් මහජන පිළිගැනීම තමන්ගේ රාජ්‍යත්වයට ලබාගත්තා වගේම රජතුමා කන්ද උඩරට ස්ථාවරත්වයට ආර්ථික අංශය දියුණු කිරීම, හමුදා සංවිධානය තර කිරීම, ආගමික අනුග්‍රහ කිරීම වගේ කරුණු කාරණා කළ බවත් කියවෙනවා.

පෘතුගීසීන් සම්බන්ධව රජතුමාගේ ප්‍රතිපත්තිය සකසද්දී රජතුමා තේරුම් අරන් හිටියේ තමන්ට තනිවම පෘතුගීසීන් පරද්දන්න බැරිවග. නාවුක හමුදාවක් නොමැතිවීම කන්ද උඩරටට තිබුණු මූලික අඩුවක් වුණා. ඒ නිසා උඩරටට හානියක් නොවන තාක් පහතරට පෘතුගීසින්ට නිදැල්ලේ ඉන්නට හැරීමත්, පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කරනවා නම් පහතරට කැරලි ඇතිකරවීමෙන් හරි කන්ද උඩරට ආසන්නයේ වුණු පෘතුගීසී පළාත්වල මිනිසුන් ලවා පෘතුගීසින්ට හානි පැමිණවීමෙන් රජතුමා ඒවා වැළැක්වූවා.

ඒ වගේමයි හැකිතාක් සටන් මග හැරීම හෝ කල් දැමීම රජතුමා කළෙත් තමන්ගේ යුධ ශක්තිය සම්බන්ධව මනා අවබෝධයක් තිබුණු නිසා

 I විමලධර්මසූරිය රජු හා ලන්දේසි අද්මිරාල් ස්පිල්බර්ජන් හමුව
කොහොම නමුත් පෘතුගීසීන් පලවා හැරීමට වෙනත් විදේශ ජාතියක සහය ලබාගන්න රජතුමාගේ වුණු අපේක්ෂාව නිසාම 1602 මැයි 31 වෙනිදා ලන්දේසි ජාතික අද්මිරාල්වරයෙක් වුණු ජොරිස් වාන් ස්පිල්බර්ජන් ඇතුළු පිරිස මඩකලපුවට ගොඩ බැහැලා උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහෙනවා. ස්පිල්බර්ජන්ව රජතුමා සාදරයෙන් පිළිගන්නවා වගේම වෙළෙඳාම සම්බන්ධවත් යුද ආධාර සම්බන්ධවත් සාකච්ඡා පැවැත්වෙනවා.

ස්පිල්බර්ජන් මේ කටයුතුවලින් පස්සේ නැවත ලංකාවෙන් පිටත් වීමත් එක්කම නොවැම්බර් 28 ලන්දේසි උප අද්මිරාල්වරයෙක් වුණු සීබෝල් ද වාර්ට් තවත් පිරිසක් එක්ක ලංකාවට ඇවිත් උඩරටට ගිහින් රජතුමාව මුණ ගැහිලා සාකච්ඡා පවත්වනවා

ලන්දේසි උප අද්මිරාල් සීබෝල් ද වාර්ට් ලංකාවට පැමිණීම

ඒ පාර පිටත්වෙලා ගිය වාර්ට් නැවත වරක් 1603 දී මැයි නැවත ලංකාවට එනවා. ඒ අවස්ථාවේදී රජතුමා මැණික්කඩවර පෘතුගීසින්ට එරෙහි සටනක නියැලිලා ජයග්‍රාහීව මඩකළපුවට එනවා වාර්ට්ව හමුවෙන්න. මෙ අතරවාරයේ පෘතුගීසී නැව් කීපයක් අල්ලා ගන්න වාර්ට් ඇතුළු පිරිස සමත්වුණු නිසා රජතුමා වාර්ට්ට නියම කරනවා ඒ යාත්‍රා සහ ඒවායේ සිට අල්ලා ගත්තු පෘතුගීසින් නිදහස් කරන්න එපා කියලා.

ඒත් රජතුමා මඩකළපුවට එද්දී අල්ලාගත්තු පෘතුගීසි සිරකරුවන් වාර්ට් නිදහස් කරලා තිබුනු නිසා රජතුමා වාර්ට් සමඟ කෝපයෙන් ඉන්නේ. රජතුමා වාර්ට හමුවෙන අවස්ථාවේ වාර්ට් හුඟක් බීමතින් ඉන්නේ. වාර්ට් මේ අවස්ථාවේ රජතුමාට තමන්ගේ නැවට එන්න කියලා කීපවරක්ම ආරාධනා කළත් රජතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා.

ඒ නිසා වාර්ට් කියනවා රජතුමා නැවට එන්නේ නැති නිසා පෘතුගීසීන් මර්දනයට තමන් උදව් දෙන්නේ නැහැ කියලා. පස්සේ රජතුමා කියනවා වාර්ට් කලින් පොරොන්දු වුණු විදිහට ගාල්ලට ගිහින් පහරදීම කරන්න කියලා.

ඒ වගේම තමන්ගේ ඥාති සොයුරා වුණු සෙනරත් කුමාරයා කඩවත් නිරීක්ෂණයට පිටත් වෙලා නිසා අග බිසව සිටින්නේ තනියම නිසා තමන් හැකි ඉක්මණින් උඩරටට යායුතුබවත් ඊට පසුව තමන්ගේ සේනාත් අරගෙන ගාල්ලට එන්නම් කියලා. [ඒ ප්‍රකාශයෙන් ඒ වෙද්දි විමලධර්මසූරිය රජතුමා සහ ඥාති සොයුරු සෙනරත් කුමාරයා උඩරට පවතින විවාහ සිරිතක් වන "එකගෙයි කෑම" කළ බවයි පෙනෙන්නේ]

මේ වෙලාවේ සුරා මතින් සිහි විකල් කරගෙන හිටිය ලන්දේසි උප අද්මිරාල සීබෝල් ද වාර්ට් කියනවා "අග බිසවට මිනිහෙකුගෙන් හිඟයක් වෙන එකක් නැහැ" කියලා.

වාර්ට් තමන්ගේ අගබිසවට කරපු අසභ්‍ය ප්‍රකාශයත් තමන්ගෙ අණට අකීකරු වීමත් කියන කරුණු නිසා කෝපයට පත් වෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ නිලමේවරුන්ට අණ කරනවා " මේ බල්ලා බැඳ දමවු"  කියලා.

එහෙම කියලා රජතුමා එතනින් බැහැර වීමත් එක්කම වාර්ට් තමන්ගේ තුවක්කුවත් අරන් කාමරයෙන් පැනලා යන්න ගියත් නිලමේවරුන් හතර දෙනා වාර්ට්ව අල්ලා ගන්නවා. වාර්ට් තමන්ගේ කඩුව අරන් එතන කලබල කරන්න වීමත් එක්ක නිලමේවරුන් වාර්ට්ගේ බෙල්ල කපා මරා දානවා

උඩරට නිලමේවරුන් විසින් ලන්දේසි උප අද්මිරාල් සීබෝල් ද වාර්ට්ව මරා දැමීම

හැමෝම මේ සිදුවීම් රජතුමාට කියන්න බිය වුණත් අවසානයේදී ඒ ගැන දැනුවත් කරන්න ඕනේ නිසා ඌවේ කුමාරයා ඒ ගැන රජතුමාට කියනවා. ඒ වෙලේ රජතුමා අහනවා ඇයි තමන් කියපු විදිහට සිරභාරයට ගත්තේ නැත්තේ කියලා. ඒකට ඌවේ කුමාරයා කියනවා වාර්ට් කඩුව ඇදගත්ත නිසයි මරාදැම්මේ කියලා.

පස්සේ රජතුමා ඒ ගැන පසුතැවිලි වෙලා කියනවා " එහෙම නම් හාම්පුතාට අත්වුණු ඉරණම අනිත් අයටත් අත්විය යුතුයි. ඒ නිසා අනිත් අයවත් මරා දමන්න" කියලා. ඒ යටතේ ලන්දේසින් 50 ක් විතර සිංහල හේවායේ මරාදමනවා. සමහර අය නැව්වලට් පීනාගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා. අභය දානය ලබපු අයිසැක් ෆ්ලේවියර් කියන ලන්දේසී ජාතිකයා රාජ සේවයට එක් වෙනවා

මේ සිද්ධියට කිසියම් හේතුවක් ඇති කියලා හිතලා ලන්දේසි නැව්වල කපිතාන්ලා රජතුමාට හසුනක් එවනවා. රජතුමා ඒ හසුනට පිළිතුරු විදිහට එවනවා 

Que bebem vinho ho noa. Dues fes justica, se quisiere pas, pas; se quires guerra, guerra

"සුරා බොන්නා හොඳ නැත, දෙවියන් වහන්සේ යුක්තිය ඉෂ්ට කොට තිබේ. ඔබට ඕනෑ සාමය නම් එය එසේ වනු ඇත. අවශ්‍ය යුද්ධය නම් එය ද එසේ වනු ඇත" කියලා.

රජතුමා ඊට පස්සේ මහනුවට බලා පිටත් වෙනවා. කෙසේ නමුත් ලන්දේසීන් මළ සිරුරු මිහිදන් කරන්න වගේ අවසර ලැබුණත්, ඊට පසුවත් සාකච්ඡා පැවතුණත් කලින් කියපු සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව්වෙන්  පෘතුගීසි බලය මර්දනය කරන්න රජතුමා ගන්න උත්සහය අසාර්ථක වෙනවා


ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවන්ගේ බිත්තර වැළැඳූ කතන්දරය, ලෙව්කේ දිසාවෙගේ ගෙදර දානයට වැඩිය හැටි සහ කුංකුණාවේ හාමුදුරුවෝ සරණංකර සඟරජ හිමියන් බේරගත්තු හැටි ගැන කතා ඊළඟ post එකෙන් බලාපොරොත්තු වෙන්න