Saturday, March 8, 2014

උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ


අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.

කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයිති දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේත්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේත් ආදි කර්තෲවරයා වගේම පළමු මහානායක හිමියන් වුණෙත් උන්වහන්සේ නිසා. දැන් තව ගැටලුවක් ඇති කොහොමද නිකාය දෙකක මහානායක ධූරය එක හාමුදුරු නමක් දැරුවේ කියලා. ඒ ගැනත් කියන්නම්කෝ.

ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ

1758 මාතර කපුගම දිනෙස් ද සිල්වා සහ ජයසිංහ කළුහාමි දෙපළට දාව ඉපදුණු නන්දෝරිස් නම් පුත්‍රයා කුඩා කාලයේ ඉදන්ම බුදු දහම ඇල්මක් දක්වනවා වගේම ගාථා පිරිත් ආදිය කියන්නත් සුවිශේෂී දක්ෂකමක් දක්වනවා. ඒ කාලයේ මහබද්දේ මුදලි ධූරය දරපු දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමා දවසක් ඒ ප්‍රදේශයෙන් ගමන් කරද්දී නන්දෝරිස් දරුවාගේ මේ දක්ෂකම් දැකලා පැවිදි කරන්න සුදුසු දරුවෙක් කියලා තේරුම් ගන්නවා.

ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ  සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.

උපසම්පදාවට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගැනීමෙන් පස්සේ දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොටගමුව විජයබාහු පිරිවෙනේ සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයේදී කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ වගේම තවත් සාමණේර හිමිවරුන් කීප නමක්ම උපසම්පදාව ලබාගන්නවා.  

ඒත් ටික කලකින් ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳ ගැටලු ඇතිවුණු නිසා නැවත වතාවක් ඉන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1798 දී තංගල්ලේ දී සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයකදී නැවත වතාවක් කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ උපසම්පදාව ලබා ගන්නවා. 

ඊට පස්සේ කොග්ගල ඔයේ සහ රත්ගම ප්‍රදේශයේ පිහිටා තිබුණු උදකුක්ඛේප සීමාවන්වලදී කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම කුලයකටම අයිති සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදෙන්න කටයුතු සිද්ධ වෙනවා. මේ කාලයේදී ධම්මක්ඛන්ධ හිමියන්ට දඩල්ලේ වාළුකාරාමයේ විහාරාධිපති ධූරය වගේම 1804 දී සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරය හොබවපු මිදිගම ධම්මානන්ද මහානායක හිමියන්ගේ කැමැත්ත මත සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරයත් හිමිවෙනවා.

වැලිතර ඤාණවිමලතිස්ස හිමි

මේ කාලවකවානුවේදී ගොවිගම කුලයේ සාමණේරවරුන්ට පමණක් උපසම්පදාව ලබාදෙමින් සියම් නිකාය ගෙනගිය වැඩපිළිවෙල වගේම උඩරට පහතරට භේදයක් පවා ඇති කරමින් සඟ සසුනේ ඇතිවුණු මතභේද හේතු කරගෙන තමන්ට අහිමි වුණු උපසම්පදාව බුරුමයෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වැලිතර ඤාණවිමලතිස්ස හිමියන් ඇතුළු භික්ෂු කණ්ඩායමක් බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරලා එහි වැඩ වාසය කරපු සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන ලංකාවට වැඩම කරවලා 1803 මැයි 15 බලපිටියේ මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා මංගල්‍යයක් පවත්වලා ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කරනවා. මේ නිසා උන්වහන්සේට බුරුමයෙන් මහාධම්ම රාජාධිරාජගුරු ගෞරව නාමය හිමිවෙනවා වගේම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෲ වශයෙන් පිළිගැනෙන්නේත් උන්වහන්සේ.

මේ උපසම්පදා මංගල්‍යය ගැන ආරංචි වීමත් එක්ක බුරුමයට වැඩම කරලා පිරිසිදු උපසම්පදාව ලබාගැනීමේ ආශාව ධම්මක්ඛන්ධ නාහිමියටත් ඇතිවෙනවා. මේ නිසා ධම්මක්ඛන්ධ නාහිමියෝ දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිගේ සහයෝගය ලබාගෙන තවත් හය දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ 1808 දී ගාල්ලෙන් පිටත් වෙලා බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරනවා. උන්වහන්සේ ඇතුළු කණ්ඩාම ශ්වේතහස්ති ස්වාමි වූ පණ්ඩිත මහාධම්මරාජාධිරාජයා විසින් ගෞරවයෙන් පිළි අරගෙන අශෝකාරාම මහා විහාරයේ වැඩ වාසය කළ ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් සමීපයට වැඩම කරවනවා. 

අමරපුරය

ලාංකීය භික්ෂු පිරිස උපසම්පදාවේ පිහිටවන්න කියලා රජතුමා කරපු ආරාධනය පිළිගත්තු සංඝරාජ හිමියෝ 1809 දී ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රධාන භික්ෂු පිරිසට උපසම්පදාව ලබාදෙනවා. ඒ වගේමයි කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ට සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු ගෞරව නාමයත් සංඝනායක  පදවියකුත් ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් පිරිනමනවා. 1810 දී ආපසු මේ ලාංකීය භික්ෂු පිරිස ලංකාවට වැඩම කරවනවා.

1811 දී ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් එවනු ලැබූ සංදේශයකින් ධම්මක්ඛන්ධ හිමියන්ට සංඝරාජ පදවියකුත් පිරිනැමෙනවා. මේ පිළිබඳව කන්ද උඩරට රාජ්‍ය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දන්වන්න නොහැකි වුණු නිසා මේ සංදේශය ඉංග්‍රිසී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත් එක්ක කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ව අමරපුර නිකායේ ප්‍රථම මහානායක හිමිපාණන් වශයෙන් 1814 ජනවාරි 4 වෙනිදා පත් කෙරෙනවා. 

1812 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ දඩල්ලේ වාළුකාරාමයේ මහා මංගල ඛණ්ඩ සීමාව නමින් සීමාවක් සම්මත කරපු ධම්මක්ඛන්ධ මාහිමියෝ අමරපුරයෙන් රැගෙන ආපු උපසම්පදාව තවදුරටත් පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. මේ වෙද්දී වැලිතර ඤාණවිමලතිස්ස මහානායක හිමියන් විසින් ලංකා අමරපුර නිකාය ආරම්භ කරලා තිබුණු නිසා ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇතිවුණු භික්ෂු පිරිස දඩල්ල විහාරය මුල් කොටගෙන කටයුතු කිරීම නිසා දඩලු පාර්ශවය එහෙමත් නැත්නම් දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය නමින් හඳුන්වනවා.

දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය මේ විදිහට වර්ධනය වෙමින් පවතිද්දී 1845 වුණු සිදුවීමක් පාදක කොටගෙන තමා නිකාය භේදයක් හටගන්නේ. බලපිටියේ මාදු ගඟේ ඉදි කරපු උදකුක්ඛේප සීමා මාලකයේදී තමා මේ නිකායේ උපසම්පදා ඇතුළු විනය කර්ම සිදු කරලා තියෙන්නේ.

ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි. 

1851 දී මේ ගැන අදහස් දක්වපු ලංකාගොඩ ධීරානන්ද හිමියන් ප්‍රකාශ කරනවා සීමා මාලකය වටා ජලය වීසි කරද්දී ඒවා ලී පාලමේ වැදුණු නිසා සීමා මාලකය ගොඩබිමත් එක්ක සම්බන්ධ වීම හේතුවෙන් 1845 සිදු කෙරුණු උපසම්පදා නිවැරදි නැහැ කියලා. මේ නිසා 1845 උපසම්පදා වූ අය නැවත උපසම්පදා කළයුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ නිසා උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ තත්වයේ හිටිය අය කණිෂ්ඨ වුණා විතරක් නෙමේ එතෙක් ඒ හිමිවරුන්ට වන්දනා කරපු කණිෂ්ඨ උපසම්පදා හිමිවරුන් මේ තත්වය යටතේ ජ්‍යෙෂ්ඨ වෙන නිසා ඔවුන්ට වන්දනා කරන්නටත් බල කෙරුණා.

ලංකාගොඩ ධීරානන්ද හිමි

සීමා සංකරවාදය නමින් මේ පිළිබඳව නොයෙක් වාද විවාද වසර ගණනාවක් පැවතුණා. අවසානයේදී ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ අදහස් පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනම පාර්ශවයක් වශයෙන් දඩලු පාර්ශවයෙන් බෙදී ගියා. ඒ පාර්ශවයේ අභිනව මහානායක හිමියන් විදිහට සිරි සද්ධම්මවංසපාල  මහාධම්මරාජාධිරාගුරු ගණාචරිය කියන ගෞරව නාමය සහිතව ලංකාගොඩ ධීරානන්ද හිමියන්ව 1865 දී පත් කරගනු ලැබුවා.

ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මාදු ගඟේ පිහිටි ශ්වේජින් සීමා මාලකය

නැවතත් පළමු කතාවට ආවොත් විශාල ශාසනික සේවාවක් සිදු කරන්න පුරෝගාමී වුණු සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ පසු කාලයේදී උපැවිදි වුණු බව තමා කියවෙන්නේ. මේකට හේතු වුණු කාරණා සම්බන්ධව සළකලා බැලුවොත් ඒ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි වෙස්ලියන් නිකායේ පූජකවරුන්ගේ බලපෑම තමා මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ.

ධම්මක්ඛන්ධ හිමියන් සමඟ දිගු කාලයක පටන් වෙස්ලියන් නිකායේ පූජකයෙක් වුණු කාටර් පියතුමා සමීප ඇසුරක් පවත්වලා තියෙනවා. ඒ නිසා එවකට යටත් විජිතය තුළ ප්‍රධාන දේවගැතියා වශයෙන් කටයුතු කරපු  ජෝර්ජ් බිසෙට් පියතුමා සමඟත් සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා.

මේ සබඳතාත් එක්ක ධම්මක්ඛන්ධ හිමියන් සහ පූජකවරු දෙපළ අතර ආගම සම්බන්ධ වාද විවාද ඇතිවුණු බව කියවෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන් උපැවිදි වීම සහ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීම. මේ අවස්ථාවේදී තමන්ට හීරළුවා කියන නම භාවිතා වෙයි කියන බය උන්වහන්සේට ඇතිවුණු බව කියවෙනවා. මේ නිසා වෙස්ලියන් පූජකවරුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබාදෙන්නත් අවශ්‍ය කටයුතු සලසනවා. [මේ ජෝර්ජ් බිසෙට් පියතුමාගේ මස්සිනා කෙනෙක් තමා එවකට ඉංග්‍රීසී ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්] ඒ අනුව උන්වහන්සේ උපැවිදි වීමෙන් නන්දෝරිස් යන පෙර නමම භාවිතයට ගන්නවා.

1816 ජූනි 16 වෙනිදා කොළඹ කොටුවේ පිහිටි වෙස්ලියන් දේවස්ථානයේ පැවති නන්දෝරිස්ගේ බෞතිස්මයට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, අග විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වෙනවා. නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව ක්‍රිස්තියානි කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා මූලිකව කටයුතු කරපු නිසා. ඉංග්‍රීසි ආණ්ඩුවේ වැලිසර සහ මෝදර ප්‍රදේශවල මුදලි තනතුර නන්දෝරිස්ට හිමිවීමත් සමඟ ඔහුව කොළඹ ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේ නමින් හඳුන්වපු බවත් කියවෙනවා.

1818 කැරැල්ල වකවානුවේදී ඔහු කුරුණෑගල රජයේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරනවා වගේම කැරැල්ල මැඩපවත්වන්නත් සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. එහිදී කැරැල්ල අසාර්ථක වීමත් එක්ක සැඟවිලා හිටිය පිළිමතලව්වේ [කණිෂ්ඨ] නිළමේව අල්ලා ගන්නත් දායකත්වයක් දුන් බව සඳහන් වෙනවා.

ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේගේ අවසානය පිළිබඳව තොරතුරු නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසාම මේ සම්බන්ධව තව දුරටත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මේ ගැන තවත් දන්න කියන අය ඉන්නවා නම් ඒ වැඩේ පහසු වේව්.

කරුණු සොයාගන්න පාදක කරගත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු බුද්ධවංසය සාසනවංසය අමරපුරවංසය කෘතියත්, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය රචනා කළ දෙවුන්දර ඉතිහාසය කෘතිය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාවේ XXVIII කලාපය සඳහා කේ.ඩී. පරණවිතානයන් ලියපු Scholar Monks of the Nineteenth Centuary and the Tragic Transformation of the High Priest Ven. Kapugama DhammankkandA Thero ලිපිය සහ අන්තර්ජාලයේ කරුණු කීපයක්.

අවසානයට දක්වපු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපිය හොයලා දීපු ශානක ඉරෝෂන  පීරිස් අයියාට විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි :)

ප.ලි. : මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ :D

98 comments:

  1. // මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ //

    ඔව් ඔව් ඕනෙ ඕනෙ :D

    ReplyDelete
    Replies
    1. @ Chanaka Munasinghe

      ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න අයියා :)

      Delete
    2. මම කලින්ම ඉල්ලලා තියෙන්නේ ....

      Delete
    3. @ හරී

      ඉවසිල්ලෙන් බලා සිටිනු :)

      Delete
    4. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අමරපුර නිකාය ආරම්භ කලේ කුලීනයටත් උපසම්පදාව ලබාදීමේ අරමුණින්. ඒත් දැන්නං එකේ මහන කරන්නේ උඩරට, කුලවත් උදවිය විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      කුලයෙන් අඩු - කුලහීන
      කුලයෙන් ඉහල - කුලීන නේද?
      මම වැරදි නම් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
    2. ඕක පදනමක් නැති කතාවක් නේද ?
      අමරපුර නිකායට අයිති පන්සල් තියෙනවා දකුණේ බලපිටිය , අම්බලන්ගොඩ වගේ ප්‍රදේශ වල
      ඔබතුමා කියන විදියට අපේ ගම් පළාත් වල ඉන්නේ උඩරට ඊනියා කුලවත් අය වෙන්න ඕනේ

      Delete
    3. @ Anonymous Saturday, March 8, 2014 at 7:43:00 AM GMT+5:30

      කුලීන සහ කුලහීන කියන වචන දෙකේ තේරුම මානවිකාවි පැහැදිලි කරලා තිබෙන නිසා ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඒත් නිවැරදි විය යුතු කරුණු කීපයක් තිබෙන බවයි මට පෙනෙන්නේ.

      එකක් තමා අමරපුර නිකාය ඒ වගේමයි රාමඤ්ඤ නිකාය ආරම්භ වෙන්නේ කුලහීනයන්ට පැවිද්ද සහ උපසම්පදාව ලබාදීමේ අරමුණින් නෙමේ. මොකද කුලහීන වශයෙන් හැඳින්වෙන රොඩී පදු අය පමණක් මේ නිකායවල මහණ නොකෙරුණු නිසා. මේ නිකාය ද්විත්වයම ආරම්භ කෙරෙන්නේ ගොවිගම නොවන අන් සියලු කුලවලට පැවිද්ද සහ උපසම්පදාව ලබාදීමේ අරමුණින්. මෙහිදී කරාව සහ සලාගම කුල ප්‍රමුඛ වුණු බව නම් පෙනෙනවා.

      උඩරට කුලවත් අය පැවිදි කිරීමක් පමණක් සිදුවනවාය කියන එකත් සාවද්‍ය කරුණක්. අමරපුර සහ රාමඤ්ඤ නිකායන් තුළ ඕනෑම කුලයක අයෙක්ට පැවිදි වෙන්න පුලුවන්. මෙහිදී උඩරට අමරපුර නිකාය නමින් අමරපුර නිකායේ පාර්ශවයක් උඩරට ප්‍රදේශවල කටයුතු කරනවා. ඒ හැරෙන්න ඒ නිකාය දෙක ආරම්භක අරමුණුවලින් බැහැරට ගිහින් නැහැ කිසිසේත්ම

      Delete
    4. @ එක් මානවිකාවක්

      ඔබ නිවැරදියි :)

      Delete
    5. @ Asanka Udara

      ඇනෝ දක්වා ඇති කරුණු සාවද්‍යයයි. ඒ වගේමයි අමරපුර නිකායේ පන්සල් දකුණු පළාතේ විතරක් නෙමේ උඩරට පවා ක්‍රියාත්මක වෙනවා අමරපුර නිකායේ පාර්ශවයක් වෙන උඩරට අමරපුර නිකාය මාර්ගයෙන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අමරපුර නිකායේ ඕනෑම කුලයක අයෙක්ට පැවිදි වෙන්න පුලුවන්.

      කෙසේ නමුත් කරාව සහ සලාගම කුල අමරපුර වගේම රාමඤ්ඤ නිකායන් ආරම්භ කරන්න පුරෝගාමී දායකත්වයක් ලබාදීපු නිසා කිසියම් විශේෂිත තත්වයක් උසුලනවා.

      ඒ හැරෙන්නට අමරපුර නිකායේ යම් පන්සලක් ඉදි කරන්න සහය දුන්නු කුලය පදනම් කරගෙන ඒ කුලයට අයිති පන්සලක් විදිහට ඒ ක්‍රියාත්මක වෙන ආකාරය දැකගන්න පුලුවන්

      Delete
  3. ඇයි සීමා මාලකයත් ගොඩබිමත් අතර සම්බන්ධය නැති කරන්නෙ ? එහෙම දෙයකින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
    ප/ලි ය හරි නේද :D

    ReplyDelete
    Replies
    1. @ Chandana

      සීමා මාලකයක සහ භූමිය අතර සම්බන්ධය නැති කිරීමෙන් ඒ කාර්යය සඳහා නිශ්චිත ප්‍රදේශයක් පෙන්වීමේ හැකියාව ගන්නවා. ඒ වගේමයි ඒ නිශ්චිත ප්‍රදේශය තුළ භික්ෂූන් වහන්සේලා [උපසම්පදාව ලත් හෝ උපසම්පදා අපේක්ෂිත] අය පමණක් රඳවා ගන්න පුලුවන් වෙන නිසා ගිහියන්ගේ සම්බන්ධයක් නැතුව භික්ෂූන් වහන්සේලාට පමණක් සීමා වුණු ස්වරූපයක් ඒ කාර්යයට ලබාදෙන්න පුලුවන්

      ප.ලි.ය ඉදිරියට අයියා :D

      Delete
  4. බොහොම වැදගත් ඓතිහාසික කරුණු එකතුවක්. මේ පිළිබඳව තව දුරටත් එකතු කරගතහැකි කරුණු සොයා ලිපියක් හෝ කීපයක් ලියනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. @ Wicharaka Asami Dakimi Soyami

      මෙවන් කරුණු රචනා නොවී අප්‍රකට පැවතීමයි මේ සම්බන්ධව සොයා බලද්දී ගැටලුවක් විදිහට මතුවන්නේ. ඒ නිකායෙන් කරන ප්‍රකාශනවල පවා එවැන්නක් සඳහන් කර ඇති බවක මට හමුවුණේ නැහැ

      Delete
  5. ඉතා විටනා ලිපියකි. මෙරට සංඝ ශාසන ඉතිහාසය සම්බන්ධ මෙවැනි සැඟවුන පුවතක් දැනගන්නට ලැබුණේ අදයි ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ MPP Gunasinghe

      මේ හා සමානව තවත් පුවත් ඇති ගැටලුව මේවා අප්‍රකට වීම වගේම අප්‍රකටවම තිබෙන්නට ඉඩ සලසා තිබීම

      Delete
  6. අර උඩ කමෙන්ට්ස් දාපු අයට දැන ගන්න ඕනේ ටික මටත් දැන ගන්න ඕනේ.. :) ඒවා ගැනත් විස්තර ලියන්න.. ඔබ නැවත ලියන එක නම් සෑහෙන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      කැම්පස් එකේ වැඩ කටයුතු ඉවරෙටම ඉවර නිසා දැන් තියෙන විවේකෙත් එක්ක ආයේ ලියන්න ආවා අයියා.

      දැනගන්න අවශ්‍ය වුණු තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න :)

      Delete
  7. ඉතා වටිනා ධාරණය විය යුතු ඓතිහාසික කරුණු රාශියක් තියෙනවා.. ඔබේ මහන්සිය අපතේ යන්නෑ. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. @ දේශක යා

      වෙහෙස මහනිස්ය අගය කළාට ස්තුතියි :)

      Delete
  8. Merci beaucoup. Des informations très utiles.

    ReplyDelete
    Replies
    1. මර්සිගේ බ්‍රසියර් කප් දසයින් ට්‍රිස් ගාලා උලෙන් ගලවනවා. මාර ආතල්

      Delete
    2. @ Anonymous Saturday, March 8, 2014 at 11:06:00 AM GMT+5:30

      je vous remercie beaucoup pour votre aimable appréciation

      Delete
    3. @ Anonymous Saturday, March 8, 2014 at 11:47:00 AM GMT+5:30

      Google traduction mon ami... :D

      Delete








  9. //The photo of the signatories of Kandyan Convention 1815
    By Hasitha Gunasinghe
    Sunday, 02 March 2014
    - See more at: http://www.nation.lk/edition/lens/item/26383-the-photo-of-the-signatories-of-kandyan-convention-1815.html#sthash.VF6JBZCM.dpuf// WOW Hasitha :)

    ReplyDelete
  10. //මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ//
    ඇයි බං අපි ඔටුවොද? අපිට දැනගන්ඩ ඕනේ තමයි.

    හසිත ගියේ නැද්ද සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ අවුරුදු තුනේ කෝස් එකෙන් රහත් වෙන්ඩ?

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      ඉවසා වදාරන්න මහත්තයෝ ලියන්නම් ලියන්නම් :D

      ආහ් මට එච්චර ඉක්මණට රහත් වෙන්න ඕනේ නැහැ කියලා හිතුණා :P

      Delete
  11. රාහුල හාමුදුරුවොත්, කතෝලික පියතුමෙක් වුනා කියනවා නේද ? අර බීපු තෙලෙ මහිමයෙන් එතුමගේ සිරුර තාමත් යහතින් තියනවලු.

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      රාහුල හාමුදුරුවෝ කතෝලික පිය නමක් වුණේ නැහැ. ඒක සාවද්‍ය කරුණක්. උන්වහන්සේ අවසන් කාලයේදී ඉඳුරුව කියන ගල් ලෙනේ අප්‍රකටව වාසය කරද්දී සිද්ධාලෝක රසය කියන ඖෂධය පානය කරපු නිසා සිරුර දින දස ලක්ෂයක් සුරක්ෂිතව පවතින බව කියවෙනවා. මේ දේහය ගල් ලෙනේ තියෙනවා දැක්ක පෘතුගීසි භට කණ්ඩායමක් ගෝවට අරගෙන ගිය බවත් පෙරදිග කතෝලික දහම පතුරවන්න මුල්වුණු ශාන්ත ෆ්‍රැන්සිස් ක්ෂේවියර් මුනිතුමාගේ දේහය කියල සලකලා ගෞරවයට පාත්‍ර කළ බවත් කියවෙනවා. දැනට දේහය තැන්පත් කර තිබෙන්නේ ගෝවේහි බොම් ජේසුස් බැසිලිකාවේ.

      මේ ලින්ක් එකෙන් ගිහින් දේහයේ ඡායාරූප රාශියක් දැකබලාගන්න පුලුවන් අයියා

      https://www.google.lk/search?q=St.+francis+xavier+body&newwindow=1&safe=off&client=firefox-a&hs=TtU&rls=org.mozilla:si:official&source=lnms&tbm=isch&sa=X&ei=h90hU-LJGrCfiAeyyoD4Ag&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=656

      Delete
    2. Please write about the Rahula hamuduro as well. That would be very interesting and thanks for these valuable information as well.

      Delete
    3. @ Anonymous Tuesday, April 1, 2014 at 9:39:00 AM GMT+5:30

      රාහුල හාමුදුරුවෝ සම්බන්ධව මොන වගේ දෙයක්ද දැනගන්න අවශ්‍ය ??

      Delete
  12. කිව්වත් වගේ සීමා මාලක සහ උපසම්පදාව යනු කුමක්ද කියලත් ලිපියක් ලියුවානම් වටිනවා හසිත

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න එහෙම නම් :)

      Delete
  13. ලියන්න ඕනද කියල අහපු තොරතුරු ටිකත් ලියල දාන්නකෝ ඉතින්..

    ReplyDelete
    Replies
    1. @ එක් මානවිකාවක්

      අනිවාර්යෙන්ම ඉස්සරහට ඒ ගැනත් ලියන්නම්කෝ :)

      Delete
  14. හැමදාමත් වගේ නොදන්නා කතාවක් ඔබෙන් දැන ගත්තා.බොහොමත්ම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. @ Manoj Fernando

      ඒ පිළිබඳව මාගේ බලවත් ප්‍රීතිය :D

      Delete
  15. එක එක කාලෙට එක එක ජාතියේ හාමුදුරු ගොල්ලොත් බිහි වෙනවා ... මට ලඟදි හම්බ උනා මිට අවරුදු 10කට 15කට කලින් ඇමරිකාවේ ගිහින් ඉන්න තැනක් නැතිව පල්ලියක නැවතිලා එතනට එන අයට (කතෝලිකයන්ට) භාවනා කරන හැටි කියලා දිලා අන්තිමට අද වෙන කොට ඒ පල්ලියම සල්ලිවලට අරන් (ඒ කතෝලික දායකයන්ගේම මුදල් උපකාර වලින්) එතන පන්සලක් කරගෙන යන හාමුදුරු කෙනෙක්
    http://www.bluelotustemple.org/about/

    ReplyDelete
    Replies
    1. @ S. L. මැලේ රාළ

      බොහොම දක්ෂ හාමුදුරු නමක්. ඔයා කිව්වත් වගේ එක එක හාමුදුරුවරුන්ගේ දක්ෂතා විවිධයිනේ. වර්තමානයේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වෙන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගේ කතාවත් හොඳ ආදර්ශයක් :)

      Delete
  16. ධර්මපාල කුමාරයා කතෝලිකයකු වූ බව නම් අපි දන්නවා. ඒ වගේම දෝන කතරිනා හා සම්බන්ධ සිද්ධි ත් අසා තිබෙනවා. ඒත් මහා නායක හිමි නමක් උපැවිදි වෙලා තව අන්යාගමිකයකු වූ බව නම් ලෝමහංස පුවතක්. ඒ මදිවට 18ටේ කැරැල්ලට නායකත්වය දීපු පිළිමතලව්වේ වත් අල්ලා දීල. පුදුමසහගත වෙනස්වීමක්. මෙවැනි තොරතුරු අප වෙත ගෙන ඒම ගැන හසිත මල්ලිට පිං.

    ReplyDelete
    Replies
    1. @ පොත් ගුල්ලා

      මේ කතෝලික වුණු අයගේ ලිස්ට් එකට තවත් ප්‍රධාන පෙලේ කීප දෙනෙක් ඇතුළත් වෙන්න ඕනේ.

      1. තම්මිට සූරිය බණ්ඩාර - ධර්මපාල කුමාරයාගේ බාප්පා වගේම කෝට්ටේ එවකට ප්‍රධාන ඇමතිවරයා
      2. නිකපිටියේ බණ්ඩාර සහ ඇගේ සොයුරිය - සීතාවක රාජසිංහගේ සොහොයුරියගේ දියණියගේ පුත්‍රයා සහ දියණිය [නිකපිටියේ තමා සීතාවක අන්තිම රජතුමා]
      3. යමසිංහ බණ්ඩාර සහ ඔහුගේ පුත්‍රයා
      4. දෙවන රාජසිංහ රජුගේ වැඩිමහල් සොයුරු විජයපාල

      ඒ අතරින් කීප දෙනෙක්

      Delete
  17. ඔව් ඔව් උපසම්පදාව ගැන ලියන්න ..මේ කතාව මන් අහල තිබ්බෙත් නැහැ .

    ReplyDelete
    Replies
    1. @ Bindi

      ලියන්නම් අක්කේ අනිවාර්යෙන්ම :)

      Delete
  18. තව දෙයක් තමා මේ දිය මත උපසම්පදා කතාව. මේක අමරපුර සම්ප්‍රදායක් පමණද? මා දන්නා හඳුනන හිමිවරු සියම් නිකායික භික්ෂූන්. ඒ නිසා මා දුටු සියම් නිකායික උපසම්පදා කිසිවක් දිය මත පැවැත්වූ ඒවා නොවෙයි. මල්වතු විහාරයේ නම් විහාර භූමියේම පිහිටි පොහොය ගෙය තුල තමා උපසම්පදාව සිදුකරන්නේ. හසිත මල්ලි මේ දිය මත උපසම්පදාව ගැන වඩා පැහැදිලි කරනවා නම් පිං.

    ReplyDelete
    Replies
    1. @ පොත් ගුල්ලා

      //..දිය මත උපසම්පදා කතාව. මේක අමරපුර සම්ප්‍රදායක් පමණද?...//

      ජලාශයක ඉදි කෙරුණු සීමා මාලකය හඳුන්වන්නේ උදකුක්ඛේප සීමාව කියලා. ඒ ආකාරයත් බුදුන් වහන්සේ අනුදැන වදාළ එකක්. එවැනි සීමා මාලක බොහෝවිට අමරපුර වගේම රාමඤ්ඤ නිකායේත් උපසම්පදා කර්ම සඳහා භාවිතා කරන බව හැබෑව. හැබැයි ඔවුන්ටත් පන්සලක සීමා ගල් මාර්ගයෙන් සීමාව පෙන්වලා තියෙන සීමා මාලක හෙවත් විහාර සීමාත් නොතිබෙනවා නොවේ. මම ඡායාරූපයකින් දක්වලා තියෙන අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උදකුක්ඛේප සීමාව ජරාවාස වෙලා තිබුණු කාලයේදී උපසම්පදා කර්ම සඳහා කුප්පියවත්තේ ජයශේඛරාරාමේ තියෙන විහාර සීමාව තමා භාවිතා කරලා තියෙන්නේ

      //.. ඒ නිසා මා දුටු සියම් නිකායික උපසම්පදා කිසිවක් දිය මත පැවැත්වූ ඒවා නොවෙයි. මල්වතු විහාරයේ නම් විහාර භූමියේම පිහිටි පොහොය ගෙය තුල තමා උපසම්පදාව සිදුකරන්නේ...//

      ඒක හැබෑව, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උපසම්පදාව සඳහා මල්වතු විහාරයේ විහාර සීමාවක් වගේම අස්ගිරි පාර්ශවයේ උපසම්පදාව සඳහ අස්ගිරි විහාරයේත් විහාර සීමාවක් හදලා තියෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ. ඉතින් අද දක්වාම ඒ පාර්ශව දෙකට අයිති විහාරවල උපසම්පදා අපේක්ෂකයන් දුර බැහැර ගෙවාගෙන ඒකට එන්න ඕනේ.

      හැබැයි සියම් නිකායටම අයිති රංගිරි දඹුලු, වනවාස, කල්‍යාණ සාමන්ග්‍රී ධර්ම සභාව සහ රෝහණ පාර්ශවයේ උපසම්පදා සඳහා මොන ආකාරයේ සීමා මාලක තිබෙනවාද කියලා මම නම් දන්නේ නැහැ. බොහෝ විට විහාර සීමා වෙන්න ඇති. හැබැයි රෝහණ පාර්ශවයේ නම් උදකුක්ඛේප සීමාවකුත් වෙන්න පුලුවන් සමහර විට

      //..මේ දිය මත උපසම්පදාව ගැන වඩා පැහැදිලි කරනවා නම් පිං...//

      ස්ථානයේ වෙනස මිසක් කරන උපසම්පදාවේ වෙනසක් නැහැ අයියා. එකක සීමා ගල් හිටවලා සීමාව පෙන්වනවා. අනෙකේ සීමාව වටේ තිබෙන ජලාශයෙන් සීමාව පෙන්වනවා. මේ ගැන ලියන සටහනෙන් තවත් ගැටලු තැන් පැහැදිලි වේවි :)

      Delete
    2. හසිත මල්ලි දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරලා. හුඟක් ස්තුතියි. දිය මත උපසම්පදාව පැහැදිලි කරන්න කියන එකෙන් මා අදහස් කළේ උපසම්පදා කරන අයුරු ගැනම නෙවෙයි. මෙය කුමන රටකින් ආරම්භ වූවක්ද? ලංකාවට මේ සම්ප්‍රදාය ආවේ කොහොමද? ඔය සීමාවක් වෙන් කර ගැනීමට හේතුව කුමක්ද? ආදී දේ යි. ඒවත් හසිත මල්ලි විස්තර කර තිබෙනවා.
      තව එක දෙයක් දැනගන්න කැමතියි. බුදු හිමියන් මේ උදක සීමා අනුමත කළා නම්, බුද්ධ චරිතය ඇසුරේ හමුවන උදකුක්ඛේප සීමා සිදුවීමක් තියෙනවාද යන්න.

      Delete
    3. @ පොත් ගුල්ලා

      ආරම්භ වුණු රටක් කියලා එහෙම එකක් නම් මම දන්නේ නැහැ අයියේ. බුදුන් වහන්සේ විනය පිටකයේ සංඝයා වහන්සේලාගේ විනය කර්ම සඳහා සීමා මාලක සකස් කරන්න ඕනේ ආකාර කියද්දී උදකුක්ඛේප සීමාවක් සාදා ගන්නා ආකාරය දේශනා කරලා තියෙනවා. ඒත් බුද්ධ කාලීනව තිබුණු ඒ ආකාරයේ සීමාවක් ගැන මට නම් මතක් වෙන්නේ නැහැ අයියා.

      ඒ ක්‍රමය ආරම්භ වුණු රටක් කියලා එකකුත් නිශ්චිතව සඳහන් කරන්න බැහැ අයියේ. ඒ ප්‍රදේශයේ භූ විෂමතාව අනුව වගේම පහසුව මතනේ එහෙම ඉදි කිරීමකට එන්නේ.

      ලංකාවේ නම් මුල් කාලීනව පැවතිලා තියෙන්නේ විහාර සීමා නැත්නම් බද්ධ සීමා. දෙවනපෑතිස් රජතුමා අලින් යොදා ඇද්ද රන් නගුලකින් මහා විහාරයේ සීමා ලකුණු කරලා සීමාව පිහිටෙව්වා කියනවා. එතකොට මුල් කාලේ මහමෙවුනාවේ සීමා මාලකයක් තියෙනවා. පස්සේ කාලේ ලෝවාමහාපාය ඒකට යොදාගන්නවා. නිකාය භේදයත් එක්ක රත්න ප්‍රසාදය අභයගිරියේ විනය කර්මවලට ඉදි කෙරෙනවා.

      පොළොන්නරු සමයේත් පොළොන්නරුවේ බද්ධ සීමා ප්‍රාසාදය කියලා විහාර සීමාවක් තියෙන්නේ. පසුකාලීනව වුණත් විහාර සීමා තියෙන්නේ ඇති කියලා තමා හිතෙන්නේ. ඒත් දඹදෙණි සමයේ දහස්තොට කරපු උපසම්පදා මංගල්‍යය උදකුක්ඛේප සීමාවක සිදු කරන්න ඇත්තේ.

      කෝට්ටේ සමයේ උදකුක්ඛේප සීමා බහුලව හමුවෙනවා. කල්‍යාණි උපසම්පදාව සිදු කරලා බුරුමයේ සීහළ සංඝ නිකාය ඇති කරද්දී කැලණි ගඟේ උදකුක්ඛේප සීමාවකදී තමා ඒ කාර්යය වෙන්නේ.

      උඩරට මුල් කාලීනව ගැටඹේ තොටේදී උපසම්පදාවක් වෙනවා ඒක උදකුක්ඛේප සීමාවක් වෙන්න පුලුවන්. ඒත් සියම් උපසම්පදාව සිදු වෙන්නේ විහාර සීමාවක. ඒ නිසා මල්වතු අස්ගිරි විහාර ඒ සම්ප්‍රදායට හුරු වෙන්න ඇති.

      බුරුමයෙන් උපසම්පදාව ගෙනාපු අමරපුර නිකායේ පිරිස් වුණත් බුරුමයේ විහාර සීමාවක තමා උපසම්පදා වෙලා තියෙන්නේ. ඒත් ඒ හාමුදුරුවරු ලංකාවේදී බුරුමයට කෝට්ටේ රාජධානි සමයේදී උදකුක්ඛේප සීමාවකදී උපසම්පදාව ලබාදීපු නිසා ඒ ක්‍රමය යළිත් ලංකාවේත් ස්ථාපනය කළා කියලා අනුමාන කරන්න පුලුවන්

      සීමා වෙන් කරන්න හේතු කලිනුත් පොඩ්ඩ පොඩ්ඩ කිව්වා. ඒ ගැන ලියන සටහනේදී වැඩි විස්තර එක්ක ලියන්නම් අයියේ. බොහොම ස්තුතියි ප්‍රශ්න අහලා තවත් කරුණු මතු කරවනවාට :)

      Delete
    4. මල්ලි මෙ උපසම්පදා චාරිත්‍ර ඇතිවුන හැටි ගැනත් හැකි වෙලාවක හොයල බලන්නකෝ... මම අහල තියනවා ප්‍රජාපතී තෙරනින් වහන්සේගේ උපසම්පදාව අෂ්ට ගරු ධර්ම පිලිගැනීම කියලා. ඒ වගේමයි ඒහි භික්ඛු භාවය ලබපු රහතන් වහන්සේලටත් විශේෂිත සීමාවල් තිබිලා නෑ. එකට හේතුව ඒ උපසම්පදා බුදුරජානන් වහන්සේ විසින්ම දේශනා කිරීමද?

      Delete
    5. @ rvajee

      උපසම්පදා චාරිත්‍ර ක්‍රමයෙන් ඇතිවුණු ඒවා. මුල්කාලීනව ඒහිභික්ඛුභාවයෙන් බුදුන් වහන්සේ විසින්ම ශ්‍රාවකයන් පැවිද කරවපු නිසා එයම තමා උන්වහන්සේලාගේ පැවිද්ද සහ උපසම්පදාව වුනේ. ඒත් ක්‍රමයෙන් පිරිස වැඩිවීමත් එක්ක තමා පැවිද්ද සහ උපසම්පදාව සම්බන්ධව ක්‍රමවේදයක් සකස් වෙන්නේ.

      කොහොම වෙතත් පසුකාලීනව බුදුන් වහන්සේ පනවපු විනය නීතී පවා රහතන් වහන්සේලා ඇතුළු සියලු ශ්‍රාවකයන්ට පොදු වෙලා තියෙනවා. හැබැයි තමන්වහන්සේටම හැරෙන්න

      ප්‍රජාපතියගේ සිද්ධිය අක්කාගේ කතාව හරි. ඒ පිරිස කහ වස්ත්‍ර හැදගෙනනේ ආවේ. ආනන්ද හාමුදුරුවන්ගේ මැදිහත් වීමත් එක්ක බුදුන් වහන්සේ අෂ්ට ගරු ධර්මය දේශනා කරලා එයම ඒ පිරිසගේ පැවිද්ද හා උපසම්පදාව වෙනවා කියලා ප්‍රකාශ කළා කියලා තමා මටත් මතක

      Delete
  19. මේ හාමුදුරුවරු නං එදා දහනමවෙනි ශතවර්ශේත් එකයි, විසිවන සියවසේත් එකයි (විමලතිස්ස හාමුදුරුවන!ගේ මුදල් පෙට්ටිය බලන්න), අද විසි එක්වෙනි සියවසේත් එලෙසමයි.

    දුද්ධ ධෛර්මයට වඩා ලොකු තමන් ගේ පැවැත්මයි. නැත්තං ඔය වතුර ටිකක් ඉහුණාය, ලැල්ලක් කැඩුණාය අරකය මේකය කියන ඒවාත් මොන කේස්ද, ධර්මය කියාදීලා, බණ බාවනා කරලා, අනුන්ටත් යහපත සලසාගෙන සාසනේ ඉන්නවා මිසක?

    මිත්‍යා විශ්වාස වගෙයි මට පේන්නේ උපසම්පදා චාරිත්‍ර!

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණා වගේම නීති රීති පසුකාලීනව එක්කෝ තවත් සංකීර්ණ කෙරුණා එහෙමත් නැත්නම් ඒවා අමතක කළා. ඒ කතෝලික දහමට වුණත් පොදු තත්වයක්.

      ලංකාගොඩ හිමියන් මේ ආකාරයෙන් විනය ප්‍රශ්නයක් මතු කිරීමේ අරමුණ ගැටළුවක් ඇති කිරීම කියලා අපිට පෙනුණත් මීටත් වඩා වෙනස් පැතිකඩක් තියෙන්න බැරිකමකුත් නැහැ.

      නීති රීති වුණත් පමණ ඉක්මවා කරන්න ගියාම ඒවා අවැඩදායකයි කියලා බුදුන් වහන්සේම පෙන්වා දීලා තියෙනවා

      Delete
    2. සමහර විට කුඩා අනුකුඩා සිකපද වෙනස් කරගන්න උපදෙස් දුන්නෙත් ඔය නිසා වෙන්න ඇති.

      Delete
    3. @ පොත් ගුල්ලා

      වෙන්න පුලුවන් අයියේ. ඒත් කියවෙන විදිහට ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් ඛුද්දානුඛුද්දක ශික්ෂා පද කියන්නේ මොනවද කියලා නො විචාරීමත් එක්ක පළමු සංගායනාවේදී එන තීරණය තමා බුදුන් පැනවූ නීති අනුගමනය කිරීමත් නොපැනවූ නීති අනුගමනය නොකිරීමත් කියන එක. ඒක නිසා මේ ගැටලුව ඒ කාලේ නම් සමථයකට පත්වුණා

      Delete
  20. මමත් මෙහෙම කතාවක් අහපු පළවෙනි වතාව... මගෙ අම්මේ... අර හාමුදුරුවොන්ගෙ නම් මතක තියාගන්න බැරුව නමින් නමට ආපහු ගිහින් ගිහින් බලන්න උනානෙ... :D

    ReplyDelete
    Replies
    1. @ Miyuru

      නම කියාගන්න බැරි කතාව කිව්වාම මතක් වුනේ කුලපති ධූරය හාමුදුරුවරු හොබවන විශ්වවිද්‍යාලවල ප්‍රථම වසර ශිෂ්‍යයන් කන කට්ට :P නම්බු නාම ඔක්කෝමත් එක්ක නම දැනගෙන ඉන්න ඕනේ :D

      Delete
  21. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා. ලියන්න ඕනද කියල අහපු ටිකත් ලියල දාන්න කම්මැලි නැතිව

    ReplyDelete
    Replies
    1. @ itnishantha

      ලියනවා ලියනවා :D

      Delete
  22. උපසම්පදා විනය කර්ම ...ඔය කලුතර,බලපිටියෙ ගඟක ඉදිකරපු සීමා මාලයක කලාට...මල්වතු අස්ගිරි විහාර වලනම් සාමාන්‍ය බිමේ ගොඩක් උස්කර හදපු සීමාමාලකයක් තමා තියෙන්නෙ. මමත් එකකට සහබාගී වෙන්න ලැබුන ගොඩක් ඉස්සර.

    අපේ පැත්තෙ පන්සලක ඉදිකරපු සීමා මාලකයක් තියෙනව. ජරාවාසවෙලා තිබිල මේ ලඟ කාලෙක මම සැලසුමක් ඇන්දා පරන ගල්පුවරු තිබුනු විදියටම. ඒත් එහි වෙන්නෙ වෙනම විනය කර්ම කොටසක්. නමුත් ඒගැන මට දැනුමක් නෑ... වෙලාවක හාමුදුරුවන්ගෙන් අහන්න ඕන.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      ඔව් ඒක හැබෑව අයියා. සාමාන්‍යයෙන් අවම වශයෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම වගේ තියෙන පන්සල් ගත්තොත් සීමා මාලක එකක් හෝ දෙකක් දැකගන්න පුලුවන්.

      බුදුන් වහන්සේ අනුදැන වදාළ භික්ෂූන් වහන්සේලා මාසිකව කරන්න ඕනේ පොහොය කිරීම කියන විනය කර්මය සිදු කරන්නේ මේ සීමා මාලකවලදී. දැන් නම් මේ විනය කර්මය සිද්ධ වෙන්නේ වස් තුන් මාසේ විතරයි. ඒ වගේමයි වස් සමාදන් වෙන එක ප්‍රාදේශීය වශයෙන් වෙන රැස්වීම් ප්‍රාදේශීය මට්ටමෙන් තියෙන සීමා මාලකවල සිද්ධ වෙනවා.

      ඒත් හාමුදුරු නමකගේ උපසම්පදා කර්මය කියන්නේ බොහොම වැදගත් අවස්ථාවක්. ඒ වගේමයි හාමුදුරු නමකට පදවියක් පිරිනැමීමත් වැදගත් අවස්ථාවක්. ඒවා ප්‍රාදේශිය වශයෙන් තියෙන සීමා මාලකවල සිද්ධ වෙන්නේ නැහැ. ඒවා සිද්ධ වෙන්නේ නිකායේ ප්‍රධාන සීමා මාලකයේදී නිකායේ මහානායක හිමියන් හෝ ඒ හිමියන් නොමැති අවස්ථාවල අනුනායක හිමියන් සහ කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්.

      ඒ යටතේ උදාහරණයක් ගත්තොත් ලංකාවේ කොතැනක හෝ තියෙන සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ පන්සලක සාමණේර නමකගේ උපසම්පදාව කරනවා නම් මහනුවර අස්ගිරි පන්සලේ සීමා මාලකයේ තමා සිදු කරන්නේ.

      මේ වගේ ප්‍රධාන සීමා මාලක විදිහට සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ ඒ විහාර දෙකේම පිහිටා තියෙන සීමා මාලක දෙක, අමරපුර සද්ධම්මවංශික මහා නිකායේ අර ඡායාරූපයෙන් දක්වලා තියෙන සීමා මාලකය දක්වන්න පුලුවන්. අනික් නිකායවල ප්‍රධාන සීමා මාලක නම් මාත් දන්නේ නැහැ :)

      Delete
  23. මල්ලි, ලිපියනම් අපූරුයි. නමුත් පොඩි පරහකට තියෙන්නේ ඔය කතෝලික සහ වෙස්ලියන් යන කිතුනු නිකායන් අතර පටලවීමක් කර ගෙන ඇතිබව මට හැගීමයි. වෙස්ලියානු නිකය කතොලික සභාවට අයති නැති අතර 18 වැනි සියවසේ මද භාගයේ ජීවත් වූ ජෝන් වෙස්ලි කියන දේවගැති වරයා විසින් පිහිට වූ සභාවක්. http://en.wikipedia.org/wiki/John_Wesley
    කතෝලික සභාව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින්ම පිහිටවූවක්. එකම ක්‍රිස්තුන් වහන්සේ අදහුවට සැහෙන්න වෙනස් කොටින්ම කියනවනම් බයිබලය පවා වෙනස්. මට හිතෙන විදියට ඔය කතාවේ එන්නේ වෙස්ලියානු ක්‍රිස්තියානු නිකාය ගැන මිස කතෝලිකයන් ගැන නෙවේ
    විශේසෙන්ම මේ කාලය වෙද්දී කතොලිකයන්ට සැහෙන්න අපහසුතා තිබ්බ කාලයක්. ඕලන්ද සමයේ සිරිලක කතෝලිකයන්ට අගමැ ඇදහීමේ නිදහස නැතිව ගොස් නැවත කතෝලික ආගමික නිදහස ලැබෙන්නේ ඉංග්‍රීසි සමයේ 1834 වසරේ . ඒ නිසා මෙම සිදු වීම කතෝලික සභාවටකිසිම සම්බන්දයක් තිබිය හැකි දෙයක් කියල හිතන්න අමාරුයි. නමුත් නොදැන සිටි ගොඩක් කාරණා දැන ගත්ත. ස්තුති .

    ReplyDelete
    Replies
    1. කලබල අස්සේ මටත් ටිකක් අව්රුද්ද වැරදුන... ආගමික නිදහස ලැබුණු අව්රුද්ද 1834 නෙවෙයි. "In 1796 the Dutch settlements in the island passed into the hands of the British. Although the British government had its own form of Christianity identified with it, the Church of England, as the Dutch had the Dutch Reformed Church and the Portuguese the Catholic Church, it showed great tolerance towards the Catholics from the early days of British rule in Lanka. The first governor, Frederick North (1798-1805) was given special instructions in this regard by the home government. The next governor, Thomas Maitland (1805-1811), passed in Council a Regulation on 27 May 1806, restoring full religious freedom to Catholics, which was to take effect on 4 June that year, the birthday of the king George III (1760-1820). Thus Lanka's Catholics their religious freedom even before freedom was restored to the Catholics of Britain, which was done only in 1829." http://xoomer.virgilio.it/alperera/british.html

      Delete
    2. @ Anonymous Sunday, March 9, 2014 at 12:50:00 AM GMT+5:30

      ඔබතුමාට බොහොම ස්තුතියි සදොස් තැන් නිදොස් කරන්න උදව් කළාට. මම නිවැරදි කළ යුතු තැන් කීපය නිවැරදි කළෑ :)

      Delete
  24. මේ ලිපිය කියවද්දී මට මතක් වුනේ 2012 අව්රුද්දෙ සැප්තැම්බර් මාසයේ විතර මහනුවර මල්වතු විහාරේ තිබුන උපසම්පදා උළෙලකට මම සහභාගී වුන හැටි.ඇත්තම කිව්වොත් වෙච්ච වැඩි දෙයක් නම් මට තේරුනේ නෑ. එත් උපසම්පද ලබන ස්වාමින්වහන්සේලා උඩරට මුල් ඇදුම් අන්දලා අවබව වගේනම් මට මතකයි. තව චාරිත්‍රයේම කොටසක් හැටියට එක මොහොතක ශාලාව තුලට ගත් අය එලියට යාමත් එළියේ හිටි අය ඇතුලට ඒමත් නැවැත්තුව පස්සේ සේරම අහවර වුනාම නාද පරපුරම පින්තුර ගත්ත. ලස්සන අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. @ Anonymous Sunday, March 9, 2014 at 1:21:00 AM GMT+5:30

      උඩරට මුල් ඇඳුමේ කලිසම විතරයි ඒකේ ඇඳුමට අයිති වෙන්නේ. උඩින් සාටකයක් වැනි යමක් පෙරවලා ආභරණ පළඳවලා හිසට වාහල නාග ඔටුන්න නමින් හැඳින්වෙන හිස්වැස්ම පළන්දනවා. අවසන් වරට ගිහි ඇඳුම් ඇන්දවීම තමයි එයින් සංකේතවත් කරන්නේ. සිදුහත් කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණයත් මෙයින් නිරූපණය කරනවා.

      ඊට පසුව ඒවා ඉවත් කර නැවතත් සිවුරු පෙරවලා තමා උපසම්පදාව ලබාදීම සිදු කරන්නේ. ඒ ගැන දීර්ඝ වශයෙන් ලියන්න බලාපොරොත්තු වෙන මේ ගැන තියෙන සටහනේදී කියන්නම් :)

      Delete
    2. මල්වතු සම්ප්‍රදයේදී නම් හැමෝම වාහල නාග වෙන්නේ නැහැ. 'වාහල නාග' ලෙස හඳුන්වන්නේ මල්වතු විහාරයේ ම සාමණේර නමක් උපසම්පදා වන විටක පමණයි. මල්වතු පාර්ශවයට අයත් වෙනත් වෙනත් විහාරයක සාමණේර නමක් උපසම්පදා වන විට නිකන්ම 'නාග'. අර හසිත මල්ලි කියාපු ඔටුන්න වාහල නාගයන්ට පමණයි. අනෙක් යට රනින් වැඩ දැමූ සුදු රෙද්දකින් හිසට අන්දවන ජටාවක් පමණයි. හරියට නත්තල් සීයගෙ තොප්පිය වගේ එකක්.

      Delete
    3. ඉහත කමෙන්ටුවේ සිව්වන පෙළෙහි අවසන් වදන, අයට ලෙස වෙනස් විය යුතු බව කරුණාවෙන් සලකන්න.

      Delete
    4. @ පොත් ගුල්ලා

      //...මල්වතු සම්ප්‍රදයේදී නම් හැමෝම වාහල නාග වෙන්නේ නැහැ. 'වාහල නාග' ලෙස හඳුන්වන්නේ මල්වතු විහාරයේ ම සාමණේර නමක් උපසම්පදා වන විටක පමණයි....//

      මම මේ වාහල නාග කතාව දැනගත්තේ කෝ. ආනන්ද හාමුදුරුවෝ ලියපු "හේ සිද්ධාර්ථ නම් විය" කියන කෘතියෙන්. ඒකේ විදිහට සියම් නිකායේ [මල්වතු පාර්ශවයද කියලා හරියටම මතක නැහැ] හැම පන්සලකටම වගේ ඒක අදාළයි. හැබැයි ශිෂ්‍යයෝ කීප දෙනෙක් උපසම්පදා කරද්දී සීනියර් කෙනාට තමා ඔටුන්න දෙන්නේ. ඒ කතාවේදී ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගේ කතා බහකදී කියවෙනවා එක පන්සලකට වාහල නාග ඔටුන්න තමන්ට දුන්නේ නැහැ කියලා එක ගෝලයෙක් නායක හාමුදුරුවන්ට ගහපු කතාවක් ගැන

      අපේ බැච් එකේ මල්වත්තේ පන්සලේ හාමුදුරු නමක් ඉන්නවා. මම හාමුදුරුවන්ගෙන් මේ කතාව හරියටම අහගෙන කියන්නම් අයියේ :)

      Delete
    5. නාගයානං මල්වත්තටම හිමි... :D

      සාමාන්‍යයෙන් මල්වත්තේ උපසම්පදාව කෙරෙන්නේ ඇසල මාසයට කලින් මාසයක වගේ කාලයක්.. එක දිගට.. හැමදාම ඉතිං දහයක් වටේ ගානක් උපසම්පදා කරලා දානවා... වාහල නාග කේස් එක හැමදාම වෙන්නේ නැහැ.. ඔය මාසේට අහු වෙන හතර පෝයට විතරද කොහේද වාහල නාග ගන්නේ... ඒකත් ඉතිං මල්වත්තට සම්බන්ධ පන්සල් පණස් ගානෙන් එකක ගෝලයෙකුට තමා.. අනිත් උදවිය නිකං නාග.. මල්වත්තෙනං වාහල නාග.. එතැනදි ඔය සීනියර් කේස් එක එන්නේ මල්වත්තේම දෙතුන් දෙනෙක් වාහල නාග අදින්න බලං හිටියම තමා. එහෙම නැතිව ඉතිං වාහල නාග ඇන්දැකි අනිත් අයටත්.. හැබැයි ඉතිං පිදේනි තට්ටුව අසාමාන්‍ය බරක් තියෙන්න ඕන... :D

      Delete
    6. @ මාරයාගේ හෝරාව

      අයියාගේ කතාවට සංශෝධන එකතු කරන්න උවමනා බව පෙනෙනවා අපේ හිතවත් මල්වතු හාමුදුරුවන්ගේ තොරතුරු වගේම තවත් තැන් කීපයකින්ම මට ලැබුණු තොරතුරු නිසා.

      උපසම්පදාවේදී උපසම්පදා අපේක්ෂක සාමණේර හිමියන් හඳුන්වන්නේ "නාග" කියන නාමයෙන්. මේක හැම නිකායටම පොදුයි. ඒත් "වාහල නාග" කියලා හඳුන්වන උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් ඉන්නේ සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශව දෙකේ පමණයි. ඒ කාරණය පැහැදිලි කළොත් වාහල/වාසල කියන්නේ රජතුමා, රජ මාළිගය වගේ දේවල් අර්ථ ගන්වන්න ගන්න වචනයක්. එතකොට වාහල නාග සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශව දෙකට විතරක් අනන්‍ය වෙන්නේ ඒවා ආරම්භ වෙන්න රජතුමා මුල්වුණු නිසා වගේම මේ වාහල නාග සාමණේරවරුන් රන් ඔටුන්නක් පැළඳීමත් ඒ හිමිවරුන්ට අටපිරිකර රජතුමා විසින්ම පූජා කිරීමත් කියන කාරණා නිසා.

      එතකොට මේ වාහල නාග වෙන ආකාරය ගැන බැලුවොත් සෑම අවුරුද්දකම වෙසක් පෝයේ ඉදන් පොසොන් පෝය දක්වා තියෙන පෝය පහේදී [වෙසක් පසළොස්වක, වෙසක් අව අටවක, අමාවක, පොසොන් පුර අටවක, පොසොන් පසළොස්වක] මල්වතු පාර්ශවයෙන් සහ අස්ගිරි පාර්ශවයෙන් තෝරා ගත්තු සාමණේරවරු එක් කෙනා බැගින් පෝය 5 තුළ දස නමක් උපසම්පදා කෙරෙනවා. මේකෙදී ඔවුන්ගේ උපාධ්‍යාය වෙන්නේ ඒ ඒ පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ. ඒ වගේමයි අටපිරිකර පූජා කරන්නේ රජතුමා. දැන් දියවඩන නිළමේ. ඒ වගේමයි උපසම්පදාවට දළදා මාළිගාවේ ඉදන් පෙරහැරේ තමා ඔවුන්ව ගේන්නේ. රන් ඔටුන්නක් පළඳින්න ඔවුන්ට පුලුවන්. මේ විදිහට පෝය 5 දී උපසම්පදා කෙරෙන අය තමා වාහල නාගයෝ වෙන්නේ.

      පෝය 5 අතරතුර කාලයේ උපසම්පදා කෙරෙන අනික් සාමණේරවරු නාග. වාහල නාග තෝරද්දී මල්වත්තේ හෝ අස්ගිරියේ ප්‍රධාන විහාරයට මුල් අවස්ථාව හිමිවෙනවා. උපසම්පදාවට ඒ විහාරවල සාමණේරවරු නැත්නම් ඒ ඒ පාර්ශවවලට අයත් වෙනත් විහාරයටකට අවස්ථාව හිමිවෙනවා.

      Delete
  25. ලිපිය නං මසුරන්. එක හුස්මට කියවගෙන ගියා.

    මෙච්චර සේවාවක්, මහානායක හිමි නමක්. උපැවදි වෙලා, ක‍තෝලික ආගමට හැරීම නං පුදුමයක්. කතාවෙ හැටියට, නිකායවල් අතර ඇතුවු භේදය නිසා ඇතු වෙච්ච කලකිරීමක් මෙයට හේතු වුනා වත්ද?

    මේ කතාවෙ ඉතිරි කොටස හොයාගැනීමට තියන ඉඩ ඉතා සීමිතයි කියලයි මට හිතෙන්නෙ. මොකද, මේ නිසා වෙන අවනම්බුව මත එව්වා යට ගහලා ඇති

    ReplyDelete
    Replies
    1. @ D.G.M බස්සා

      නිකාය වශයෙන් භේදය වගේමයි උපසම්පදාව සම්බන්ධව එක් එක් කණ්ඩායම් පවත්වාගෙන බලාධිකාරයත් යම් කිසි බලපෑමක් එක් කරන්න ඇති. ඊට අමතරව මේ හිමියන්ට බුද්ධ දේශනාව සම්බන්ධව නිරවුල් අවබෝධය නොතිබීමක් හෝ ඒ හිමියන් කිතුණුවෙක් බවට පත් කරන්න කටයුතු කළ ක්‍රිස්තියානු පූජකවරයාගේ තිබුණු දක්ෂ කතා විලාශයක් නොඅඩුව මේකට බලපෑමක් කරන්න ඇති

      //..මේ කතාවෙ ඉතිරි කොටස හොයාගැනීමට තියන ඉඩ ඉතා සීමිතයි කියලයි මට හිතෙන්නෙ. මොකද, මේ නිසා වෙන අවනම්බුව මත එව්වා යට ගහලා ඇති..//

      මට පෙනුණු විදිහට නම් නිකායේ විසින් ප්‍රකාශට පත් කරලා තියෙන ලිපි ලේඛනවල මේ බවක් නම් සඳහන් කරලා නැහැ

      Delete
  26. මේකෙන් කියවෙන්නේ, නිසි අවබෝධයකින් තොරව කෙනෙකුට යම් ක්ෂේත්‍රයක ඉහලටම යන්න පුලුවන් කියන එකනේ. ඒක අදටත් වලංගුයි. එක අතකට දිගටම බොරුව කර කර ඉන්නවට වඩා එකත් තමන්ටයි සාසනේටයි දෙකටම හොඳයි.

    ReplyDelete
    Replies
    1. @ Henry Blogwalker

      නිසි අවබෝධයකින් තොරව ඉහළට යාමමත් නෙමේ අයියා මෙතන වෙලා තියෙන්නේ. පිරිසිදු උපසම්පදාවක් ලබාගන්න උන්වහන්සේ කැපවුණා. ඒකට උත්සහවන්ත වුණා. ඒක නිසා උන්වහන්සේට නායක පදවිය හිමිවුණා. ඒක දැනුම පරීක්ෂා කර බලලා දීපු තනතුරක් නෙමෙයිනේ. උන්වහන්සේගේ උත්සහවන්ත බවට දීපු තනතුරක්. ඒත් කල් යද්දී ක්‍රිස්තියානි දහමට යෑමෙන් පේන්නේ බුදු දහම සම්බන්ධව නිරවුල් අවබෝධයක් නොතිබුණු බව වගේම ක්‍රිස්තියානි පූජකවරුන්ගේ තිබුණු දක්ෂතාව.

      //.. එක අතකට දිගටම බොරුව කර කර ඉන්නවට වඩා එකත් තමන්ටයි සාසනේටයි දෙකටම හොඳයි....//

      මේක නම් ඇත්ත. බුදුන් වහන්සේ උපමාවකින් දක්වනවා දුසිල් ජීවිතයක් ගත කරමින් චීවරය දැරීම රත් කළ යකඩු තහඩු ඔතාගෙන සිටීමක් විදිහටත් දායකයන් ලබාදෙන දානය වැළඳීම රත් කළ යකඩ ගුලි අනුභව කළා හා සමාන වෙන බව

      Delete
  27. කාලයකට පස්සෙ වටිනා යමක් ලියලා තියෙන්නෙ. සීමා මාලක, උප සම්පදා විනය කර්මය ගැන වැඩි දැනුමක් නෑ. පුංචිම එකා කාලෙ කිරි අම්මත් එක්ක ගම්පහ අස්ගිරියෙ ඔය වගේ ජලාශයක් මැද හදලා තිබුන සීමා මාලකයක් බලන්න ගියා හොදට මතකයි. මම ලංකාවෙ සේවය කරන කාලෙ උපසම්පදාව ලබන හිමිනමක වෙනුවෙන් ආරාධනා පත්‍රයක් නිර්මාණය කර දුන්නා. ඒ අය උපසම්පදාව ලබන විට ඥාතීන්ට ආරාධනා කරනවා හිමිනමගෙ දෙමාපියන් විසින්.

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      අයියා බලන්න ගිහින් තියෙන්නේ ඒ කියන්නේ උදකුක්ඛේප සීමා මාලකයක් :)

      //..උපසම්පදාව ලබන හිමිනමක වෙනුවෙන් ආරාධනා පත්‍රයක් නිර්මාණය කර දුන්නා. ඒ අය උපසම්පදාව ලබන විට ඥාතීන්ට ආරාධනා කරනවා හිමිනමගෙ දෙමාපියන් විසින්....//

      හාමුදුරු නමකගේ උපසම්පදාව කියන්නේ ගිහියෙකුගේ මඟුල් ගෙයක් හා සමානයි. ඒ විදිහටම තමා ලෑස්ති වෙන ඒවා සිද්ධ කරන්නේ. ලොකුම වෙනස තමා ඉතින් මනමාලි නැති එකත් පෝරුවක් නැති එකත් විතරයි :D

      Delete
  28. විශ්මයජනක සිදුවීමක් හරිම රසවත් ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. ඕල්ඩර් පෝස්ට් වලටත් ගියා. ඔයාගෙ බ්ලොග් එක දැනුම් සාගරයක් .මට ඇත්තටම ඇති වුන හැඟීම කියන්නද? ඔයාට හිනහත් යයි. අපි වගෙ ඕනම මැටි හරකෙක් ඇතුලට අරගෙන පන්ඩිතයෙක් කරල එළියට දාන මැශිමක් වගෙයි ඔයාගෙ බ්ලොග් එක හෙහෙ හෙහෙ. මම බ්ලොග් රෝලටත් දා ගත්තා

    ReplyDelete
    Replies
    1. @ යකා

      දැනුම බෙදාදෙන්න තමා මගේ උපරිම උත්සාහය. මගේ කාර්යය සාර්ථක වෙනවා නම් මට සතුටුයි. ඔබ යමක් ඉගෙන ගත්ත නිසයි ඒ සතුට ඇතිවෙන්නේ :)

      Delete
  29. මේ ගැන ඇහුවාමයි හසිත. ඔයා ඉතිහාසේ වෙච්ච දේව්ල ඉදිරිපත් කරන හැටි අපූරුයි. කාගෙවත් බලපෑමකට සිවුරු ඇරියා කියන එක නම් හිතට ඇල්ලුවේ නෑ. තිබුණු ප්‍රශ්න හන්දා සාසනය එපාවෙලා ගියා නම් ඒක වෙනම කතාවක්...

    ඇත්තට ඔය උපසම්පදාව ගැනත් ලියන්ටකෝ...:)

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      //..කාගෙවත් බලපෑමකට සිවුරු ඇරියා කියන එක නම් හිතට ඇල්ලුවේ නෑ. තිබුණු ප්‍රශ්න හන්දා සාසනය එපාවෙලා ගියා නම් ඒක වෙනම කතාවක්...//

      ඒක ගැන කලිනුත් කිව්වා වගේ උපසම්පදාව සම්බන්ධයෙන් පිරිසක් පවත්වා ගෙන ගිය ඒකාධිකාරය වගේ හේතු මත උන්වහන්සේට කළකිරීමක් ඇතිවෙලා තිබුණා වෙන්න පුලුවන්. ඒත් අටලෝ දහමින් කම්පා නොවෙන්නටනේ බුදු දහමෙන් උපදෙස් දෙන්නේ. ඒ කෙසේ වෙතත් උන්වහන්සේ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමෙන් පේන්නේ බුදු දහම නිරවුල්ව නොදැන සිටීම වගේම එවකට ක්‍රිස්තියානි පූජකයන්ගේ තිබුණු දක්ෂතාවය.

      හැබැයි මේ අපිට පේන පැති. නොදකින දෙයක් වුණත් වෙන්න පුලුවන්. ඇතිවුණු කළකිරීම් එක්ක උපැවිදි වුණත් එවකට තියෙන තත්වෙත් එක්ක රැකියාවක් හොයාගන්න අපහසු නිසා රජයේ රැකියාවක් ලබාගැනීමේ හැකියාව වඩාත් ලබාගන්න සමාජයට පේන්න ක්‍රිස්තියානි වෙලා රහසේ බුදු දහමට අනුව කටයුතු කරන්න ඇති කියලාත් අනුමාන කරන්න පුලුවන් අවශ්‍ය නම්

      Delete
  30. හසිත හරියටම සුවර්ද කතෝලිකද එංගලන්ත සභාවද කියලා...කොහොමත් අද ලිපියත් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      ඉහළින් අපේ හිතවත් පියතුමෙක් පැහැදිලි කරපු විදිහට ක්‍රිස්තියානි පූජකවරුන් තමා මේ කාර්යයට සම්බන්ධ වෙලා තියෙන්නේ. රෝමානු කතෝලික පල්ලියට අයත් පිරිසක් නෙමේ මේ වෙස්ලියන් නිකායේ පූජකවරුන්

      Delete
  31. හිතන්නත් අමාරු වුනත් ලිපියේ තිබූ දේ අදටත් අදාලයි.

    ReplyDelete
    Replies
    1. @ සාගර

      අනිවාර්යෙන්ම පැහැදිලි අවබෝධය වගේම අවස්ථාවාදී බව බැහැර කිරීම තමා ඒකට විසඳුම :)

      Delete
  32. ලිපියේ තියනකරුනු ගැන තව හොයන්න ගිය මට තවත් බොහොම රසවත් කරුණු අඩංගු පොතක කොටසක් හමු වුන මේ තම ඒ පොතේ සබැදිය විශේෂයෙන්ම 50 ඉදලා 53වෙනකම් තියන පිටු කියන්නේ අමරපුර නිකාය සහ එකල කිතුනු සභා අතර තිබ්බ සම්බන්ධය ගැන .. http://www.lib.sjp.ac.lk/Documents/Past%20Publications/V.1%20No.2%20July%201987/Article%204.pdf

    ReplyDelete
    Replies
    1. @ Anonymous Monday, March 10, 2014 at 6:35:00 AM GMT+5:30

      බොහොමත්ම ස්තුතියි ඔබතුමාට නැවත වරක් වටිනා කරුණු කීපයක් එකතු කළාට. අද කාලේ වගේම තමා ඒ කාලෙත් :)

      Delete
  33. මේ ගැන වැඩිය අහලා තිබුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      දැන් හරිනේ අයියා :)

      Delete
  34. ඒ දවස්වල ෆේස්බුක් බ්ලොග් නොතිබ්බ නිසා හොඳයි..නැත්තං ඔය හාමුදුරුවන්ට ඇඳුමක් ඇඳගෙන ඉන්න ලැබෙන්නෑ...

    ආගම කියන දේ උපතින් උරුම කරගන්නවට වැඩිය තමන්ට වාසි (ලෞකික හෝ ලෝකොත්තර) තියන ආගම තෝර ගන්න ලැබෙනවා නම් සමාජය කොහොම වෙයිද කියලයි මට කල්පනා වුනේ..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ඒවා නොතිබුණත් කැලෑ පත්තර වගේ ඒවා ඒ කාලේ තියෙන්න ඇතිනේ අක්කේ. අනික කතාවේ විදිහට තමන්ට හීරළුවා කියන නම පටබඳිද කියන බියත් නන්දෝරිස්ට තිබිලා තියෙනවානේ. ඒ නිසාම වෙන්න ඇති රජයේ ඉහල රැකියාවකට පත් වෙන්නත් ඇත්තේ.

      පොඩ්ඩිටත් කිව්වා වගේ අපිට මෙහෙම හිතන්නත් පුලුවන් අවශ්‍ය නම්

      //..හැබැයි මේ අපිට පේන පැති. නොදකින දෙයක් වුණත් වෙන්න පුලුවන්. ඇතිවුණු කළකිරීම් එක්ක උපැවිදි වුණත් එවකට තියෙන තත්වෙත් එක්ක රැකියාවක් හොයාගන්න අපහසු නිසා රජයේ රැකියාවක් ලබාගැනීමේ හැකියාව වඩාත් ලබාගන්න සමාජයට පේන්න ක්‍රිස්තියානි වෙලා රහසේ බුදු දහමට අනුව කටයුතු කරන්න ඇති කියලාත් අනුමාන කරන්න පුලුවන් අවශ්‍ය නම්...//

      ආගම උපතින් හිමිවුණත් ඒක ගැන තමන්ට පසුකාලීනව හරි හිතලා බලලා නිවැරදි තීරණයක් ගන්න හැකි වෙන්න ඕනේ

      Delete
  35. ගොඩාක් නොදන්න දේ දැනගත්තා මේ ලිපියෙන්. මටත් ලිපිය කියවගෙන යද්දී ආව ප්‍රශ්නෙ තමා මේ කතා කරන්නේ කතෝලික නොවන වෙනත් කිතුණු කොටසක් ගැන කියලා. ඒ සේරම ඉහතින් සඳහන් කරලා තියනවා වගේම හසිත ත් ලිපිය නිවැරදි කරලා තියනවා කියලා දැක්කා.

    ස්තූතියි මේ වගේ අපි නොදන්න දේ කියා දෙනවාට.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      ඇත්තටම වෙස්ලියන් නිකාය රෝමානු කතෝලික සභාව යටතේ තිබෙන එකක් කියන අදහසේ ඉදන් මේ කරුණු ලියපු එකෙන් තමා වැරදීම වුණේ. ඒත් ඒක නිවැරදි කරගන්න පුලුවන් වුණා ඇනෝමනිස් විදිහට තමන්ගේ වටිනා අදහස් එකතු කරපු පියතුමෙක්ට ස්තුතිවන්ත වෙන්න .

      Delete
  36. "නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව කතෝලිකයෙක් කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා කටයුතු කරපු නිසා."

    ඒකට මුල්වුනේ වෙස්ලියන් පූජකයන් නම් නන්දෝරිස් කතෝලිකයෙක් විය නොහෑකියි නේද? වෙස්ලියන් අය ප්‍රොතෙස්තන්ත ආගමේ. වෙස්ලියන්ලගෙ එක මම හිතන්නෙ මෙතඩිස්ට්.

    ගොඩක් ක්‍රිස්තියානි නොවන අය හිතන්නෙ ක්‍රිස්තියානි සියල්ල කතෝලික කියල.
    කතෝලික, ප්‍රොතෙස්තන්ත (ඈන්ග්ලිකන්, මෙතෝදිස්ත යනාදී හුගක්) ඕතඩොක්ස් ( ග්‍රීක් රුසියානු සිරියානු ) ආදී ක්‍රිස්තියානි denominations ගොඩක් තියනව

    ReplyDelete
    Replies
    1. @ Pra Jay

      ඔව් ඔබ හරි.

      වෙස්ලියන් නිකාය රෝමානු කතෝලික සභාවේ එකක් නොවෙන බව ඉහළින් ඇනෝනිමස් විදිහට තමන්ගේ වටිනා අදහස් එකතු කරපු පියතුමා [රෝමානු කතෝලික] නිසා හැකිවුණා.

      එතුමාගේ උපදෙස් පරිදි කතෝලික කියලා තියෙන තැන් ටික මම ක්‍රිස්තියානි කියලා සංශෝධනය කළා. ඒත් මේ ස්ථානය මට මග හැරිලා වගෙයි. මම ඒකත් දැන්ම නිවැරදි කරන්නම්.

      ස්තුතියි ඔබ ඒක පෙන්වා දුන්නාට :)

      Delete
  37. ලිපිය අනුව මේ හිමියන්ට උපසම්පදා පිස්සුවක් තිබුණුබවක් හැඟෙනවා. ඉගෙනගෙන දැනුම ලබාගත්තත් නියම බුද්ධ ධර්මය අවබෝධ කරගෙන නැහැ. මහනායක කෙනෙක් උනත් මොක්පුර නොදැකීම ගැන සංවේගයට පත්වෙමි.

    ReplyDelete
  38. මේ වගේම තමයි සබරගමු අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ පුරාවෘතයත් තරමක් අප්‍රකටයි.විශේෂයෙන්ම ආදිකර්තෘ"බෝගහපිටියේ ධම්මජ්ජෝති මහ නාහිමි" පිළිබදව තොරතුරු අප්‍රකටයි.ඡායාරූප සහිතව තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනවි.තෙරුවන් සරණයි ෴

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................