Sunday, March 23, 2014

හොර රහසේ කරන වැඩේ හෙළිවේ - ආගිය කතාවෙන් හෙළිදරව්වක්



ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන රුවන්මැලි මහා සෑයටත් බෞද්ධයන්ගේ විශාල ගෞරව සත්කාර හිමිවෙනවා.


මේ අතරිනුත් ලංකාවාසීන් බෞද්ධයන් ප්‍රමුඛත්වයේලා සළකන පූජනීය වස්තුව වෙන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන බුදුන් වහන්සේගේ වම් යටි දළදාව. එයට කෙතරම් ගෞරවාදරයක් ලාංකිකයන් දක්වනවාද කියනවා නම් දළදා හාමුදුරුවෝ, දළදා වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ කියන ගරු නම් එයට යොදා තිබෙනවා. ඒ හැරෙන්නට වර්තමානයේ ලංකාවේ රජෙක් නැති වුණත් ජීවමානව සිටින රජෙක්ට හා සමානව ගරු බුහුමන් ලබන්නේත් දළදා වහන්සේ. 

අනුරාධපුර රාජධානි සමයේදී කළිඟු රටින් හේමමාලා සහ දන්ත යුවළ මෙරටට වැඩම කරවපු දළදා වහන්සේ ක්‍රමයෙන් වන්දනීය තත්වයකටත් වඩා බලවත් තත්වයකට පත්වුණා. ඒ ලක් සිහසුන හිමි තැනැත්තා සතුව අනිවාර්යෙන්ම දළදාව තිබිය යුතුයි කියන මහජන පිළිගැනීමත් එක්ක. 

අනුරාධපුර දළදා මාළිගාව

මේ හේතුව නිසා තමන්ගේ රාජ්‍ය බලය උපදින්නේ දළදා හාමුදුරුවෝ නිසා කියලා පිළිගත්තු රජ දරුවෝ කීප වරක්ම ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කෙරුණා ඒ වගේමයි දළදා වහන්සේට රජුන්ගේත් රජු විදිහට සළකලා පුද සත්කාර කරන්න නියම කළා. මේ නිසා දළදාව වැඩ වසන ගොඩනැගිල්ල "දළදා මාළිගාව" විදිහටත් රජතුමාගේ පුද්ගලික නිලධාරී මණ්ඩලය හා සමානව දළදා වහන්සේටත් පුද්ගලික නිලධාරීන් මණ්ඩලයක් පත් කෙරුණේ. දළදා වහන්සේට කළ යුතු වත් පිළිවෙත් සම්බන්ධව දළදා සිරිත නමින් පොත් පත් වගේම දාඨාවංසය, දළදා පූජාවලිය ආදී පොත් පත් එහෙමත් රචනා වුණා. 

මහනුවර දළදා මාළිගාව

අනුරාධපුරයේ ඉදන් රාජධානි සංක්‍රමණය වීමත් දළදා වහන්සේත් නොයෙක් තැන්වලට වැඩම කරවලා අවසාන වශයෙන් මහනුවර දළදා මාළිගාවේ ස්ථීරවම තැන්පත් කෙරුණා. මේ කරුණු කාරණා තවත් දීර්ඝව විස්තර කරන්න පුලුවන් වුණත් එහෙම නොකරන්නේ මේ විදිහට පඳුරු තලාගෙන ආවේ අද කරන හෙළිදරව්වට ප්‍රවේශය ගන්න ඕනේ නිසා. .

ඒ තමා දළදා වහන්සේට කරන පුද සිරිත් කරන්නේ කොහොමද කියලා කියන එක. මේකෙදී වර්තමානයේ මහනුවර දළදා මාළිගාවේදී දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සිරිත් සම්බන්ධව තමා අද කතාවෙන් හෙළි කරන්න යන්නේ. 

මේ මේ වේලාවන්වලදී ආහාර ගිලන්පස ආදිය පූජා කරලා දළදා පූජාව පවත්වනවා කියලා කියනවා ඇරෙන්න ඒ තොරතුරු සවිස්තරාත්මකව දක්වලා තියෙනවා මම දැකලා නැහැ. ඒ වගේමයි මේ පුද සිරිත් රහසිගතව ඒවාට සම්බන්ධ වෙන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරීම නිසා ඒවා සම්බන්ධ දන්නා පිරිස බොහොම සීමිත වෙලා තිබෙනවා.


ඒ.එම්. හෝකාර්ට්

ඒ කෙසේ වෙතත් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් විදිහට 1922 සිට 1927 දක්වා සේවය කරපු ඉංග්‍රීසි ජාතික ඒ.එම්. හෝකාර්ට් මහතාට මේ සියලු පුද සිරිත් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය හිමිවෙනවා විතරක් නෙමේ ඒ සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධව විමසීමටත් අවස්ථාව උදා වෙනවා. 

දළදාව උදෙසා සිදු කරන පුද සිරිත් සඳහා "තේවාව" කියන වචනය භාවිතා කෙරෙනවා. මේ වචනය සැකසුණාය කියන්නේ "තේවෛයි" කියන දමිළ වදනින් කියලා තමා පිළිගැනෙන්නේ. රජතුමෙක්ට කරන පුද සත්කාර සහ ආවතේව සඳහා තමා තේවෛයි කියන වදන භාවිතා වෙලා තියෙන්නේ. ලංකාවේදී දළදාවටත් රජෙක් හා සමානව පුද සත්කාර කිරීමත් එක්ක "තේවාව" කියන යෙදුම භාවිතා වෙලා තියෙනවා. මේ හැරෙන්නට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරද්දී උන්වහන්සේට අග්‍ර උපස්ථායක ආනනද හාමුදුරුවෝ කරපු පුද සත්කාරත් මේ තේවාවේදී ගුරු කොට ගන්නවා.

මහනුවර දළදා මාළිගාවේ සිදු කෙරෙන දළදා තේවාව ගත්තාම ඒක භික්ෂූන් වහන්සේලාගේ වගේම ගිහි නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් තමා සිදුවෙන්නේ. මේ සඳහා සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලා සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකට තමා අයිති වෙන්නේ.

වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව ද්විත්වය අතර මේ තේවාව හුවමාරු වීම ඇසළ පොහොය දවසට සිදුවෙන වස් සමාදන් වීමත් එක්ක සිදු වෙනවා. තේවාව සඳහා භික්ෂූන් වහන්සේලාව තෝරාගද්දි උන්වහන්සේලාගේ කැපවීම වගේම වගකීම් දැරීම ආදිය සම්බන්ධවත් සොයලා බලන බවයි කියවෙන්නේ. 


පල්ලේමාලේ විහාරයේ පිවිසුම සහ අභ්‍යන්තරය

ඒ වගේමයි එක් වරම දළදා තේවාව සඳහාත් තෝරාගත් භික්ෂූන් වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. මුලින්ම දළදා මාළිගාවේ පත්තිරිප්පුවට පිවිසෙන දොරටුව අසළ තිබෙන පල්ලේමාලේ විහාරයේ තේවාව සඳහා තමා උන්වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ. පල්ලේමාලේ විහාරයේ කටයුතු හොඳින් සිදු කිරීම මත වැඩ සිටින මාළිගාවේ එහෙමත් නැත්නම් ඉහළ මාලයේ වැඩ වසන දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කිරීමේ භාග්‍යය උන්වහන්සේලාට හිමිවෙනවා.

 ගිහි නිලධාරීන්ව ඒ ඒ අවස්ථාවලදී හඳුන්වා දෙන එක කරන්නම්. එක දෙයක් පමණක් මේ අවස්ථාවේ කියන්නම් ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න එක.

වැඩසිටින මාළිගාවේ පැරණි ඡායාරූපයක්

දළදා තේවාව සිදු කරන්නේ දළදා වහන්සේ වෙනුවෙන්නේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනේ. ඒත් දළදා වහන්සේ වැඩ සිටින තැන ගැන හරියටම කියන්න එපැයි. දළදා මාළිගාවේ මධ්‍යයේ තියෙන පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තමා දළදාව තැන්පත් කරලා තිබෙන්නේ.

මේ නිසා ඒ ගොඩනැගිල්ල වැඩසිටින මාළිගය විදිහට හඳුන්වනවා. මේ ගොඩනැගිල්ලට පහළ තට්ටුවෙන් වගේම ඉහළ තට්ටුවෙනුත් පිවිසීමේ හැකියාව තිබෙනවා. [දළදාව වැඩ සිටින මාළිගය සම්බන්ධව ඉදිරියේදී වෙනමම සටහනක් ලියන්න අදහසක් තියෙන නිසා වැඩි විස්තරයක් මෙතනදී කරන්න බලාපොරොත්තුවක් නැහැ]

හේවිසි මණ්ඩපයට වී හේවිසි වාදනය කරන ශිල්පීන්

දළදා තේවාව සුපුරුදු පරිදි දිනපතා කුමන වාතාවරණයකදී වුවත් පැවැත්වෙනවා. මේ දළදා තේවාවේ ආරම්භය සිදුවෙන්නේ උදෑසන 5.15 ට පමණ ආරම්භ වෙන "අලුයම් පූජාවෙන්". දළදා මාළිගාවේ හේවිසි වාදනය භාර වෙලා ඉන්න පිරිස වැඩසිටින මාළිගාවේ ඉදිරියේ තිබෙන හේවිසි මණ්ඩපයේ ඉදන් හේවිසි වාදනය ආරම්භ කිරීමත් එක්ක තමා අලුයම් පූජාව ආරම්භ වෙන්නේ. 

නිල ඇඳුමින් සැරසුණු ගිහි නිලධාරීන් [ඉදිරි පෙළ වම් පස සිට තෙවැන්න කාරියකරවන රාළ]

මුලින්ම ගිහි නිලධාරීන් තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසිලා තේවාව භාර භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන එන්න පිටත් වෙනවා. දළදා මාළිගාවේම කොටසක තේවාව භාරව සිටින මල්වතු පාර්ශවයේ හෝ අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. උන්වහන්සේලාත් ඒ අවස්ථාව වෙද්දී තුන් සිවුරින් සැරසිලා සිවුරු එහා මෙහා යන එක වළක්වන්න පටියකුත් ඉණ වටා බැඳගෙන සූදානම් වෙලා ඉන්නේ. 

මේ ඡායාරූපයේ අස්ගිරි මහනාහිමියන් සහ අනෙක් භික්ෂූන් වහන්සේලා සැරසී සිටින ආකාරය බලන්න

උන්වහන්සේලා තේවාවට එකතු වුණාට පස්සේ සිවුරු සකස් කිරීම දළදා වහන්සේට කරන අගෞරවයක් විදිහටයි සැලකෙන්නේ. ඒ වගේමයි ඒ ආකාරයෙන් සැරසී නොසිටින භික්ෂූන් වහන්සේලාට දළදා තේවාවට සම්බන්ධ වීමත් තහනම්. උදාහරණයක් විදිහට කිව්වොත් එක අවස්ථාවක දළදා තේවාවට අස්ගිරි මහානායක හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා මම දැක්කා. උන්වහන්සේ පවා මේ ආකාරයෙන් තමා සැරසිලා හිටියේ.

ගිහි නිලධාරීන් තේවාව භාර භික්ෂූන් වහන්සේලාට නමස්කර කළාට පස්සේ වට්ටෝරු රාළ [වැඩ සිටින මාළිගාවේ යතුරු ඒ වගේම තේවාව සඳහා භාවිතා කරන භාණ්ඩවල වගකීම භාරව ඉන්න නිලධාරියා] තේවාව භාර ප්‍රධාන භික්ෂූන් වහන්සේගෙන් වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල භාර ගන්නවා. මේ යතුරු කැරැල්ල මිටියක් විදිහට තමා පේන්න තියෙන්නේ ලේන්සුවලින් ඔතලා තියෙන නිසා.

 තේවාව භාර භික්ෂූන් වහන්සේලා සහ දියවඩන නිළමේතුමා ප්‍රමුඛ ප්‍රධාන ගිහි නිලධාරීන් 
[මෙහි දකුණු පස පොදියක් කරේ තබාගෙන සිටිනේ වට්ටෝරු රාළ]

මේ යතුරු කැරලි මිටියේ උඩින්ම තියෙන ලේන්සුව ඉවත් කළාම පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල තියෙන මිටිය තිබෙනවා. ඒකට පස්සේ තියෙන ලේන්සුව ඉවත් කළාම තමා වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල තියෙන්නේ. වට්ටෝරු රාළ යතුරු මිටියේ උරහිසේ රඳවා ගැනීමත් එක්ක පැරණි සම්ප්‍රදායට පන්දම්කරුවෙක් පෙරටු කරගෙන තමා තේවාව  භාර භික්ෂූන් වහන්සේලාව වැඩ සිටින මාළිගාව ඉදිරිපිටට ගිහි නිලධාරීන් විසින් වැඩම කරවා ගෙන එන්නේ.

වැඩ සිටින මාළිගාව ඉදිරියට පැමිණියාම තේවාව භාර භික්ෂූන් වහන්සේලාගේ පා ධෝවනය කිරීම සිදු කෙරෙනවා. ඊට පස්සේ වැඩ සිටින මාළිගාව ඉදිරියේදී යතුරු මිටිය ලෙහන වට්ටෝරු රාළ පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල සහ භික්ෂූන් වහන්සේලාව පල්ලේමාලේ විහාරයේ කටයුතුවලට සම්බන්ධ පල්ලේමාලේ රාළ ඇතුළු නිලධාරීන් එක්ක පිටත් කරනවා.

 වැඩසිටින මාළිගයට පහත මාලයෙන් පිවිසෙන දොරටුව. [දොරටුව අසළ සිටින්නේ දොරකඩ ආරච්චි]

පස්සේ වට්ටෝරු රාළ වැඩ සිටින මාළිගාවේ පහළ මාලයේ දොරටුව විවෘත කරනවා.පහත මාලයට පිවිසෙන තේවාව භාර භික්ෂූන් වහන්සේලා අභ්‍යන්තරයේ තියෙන සෝපානයෙන් දළදාව තැන්පත් කර තිබෙන ඉහළ මාලයට පිවිසෙනවා.

  ඉහළ මාලයේ රිදී දොර සහ රන් දොර පිළිවෙලින්

 ඉහළ මාලයේ වසා ඇති රිදී දොරටුව

වට්ටෝරු රාළ පිළිවෙලින් ඉහළ මාලයේ රිදී දොරත් ඊට පසුව දළදාව වැඩ සිටින ගන්ධ කුටියේ රන් දොරත් විවෘත කරනවා. මේ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙන්න ඝණ්ඨාරය නාද කෙරෙනවා. තේවාව ආරම්භ කරන්න කලින් පත්කඩේ එළලා භික්ෂූන් වහන්සේලා වගේම ගිහි නිලධාරීනුත් පසඟ පිහිටවලා දළදා වහන්සේට නමස්කාර කරනවා.


ඊට පස්සේ දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට තේවාව භාර භික්ෂූන් වහන්සේලා පිවිසෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා දළදාව ඉදිරියේ තිබෙන පූජාසනය ඉදිරියට වෙලා නමස්කාර කරමින් මේ ගාථා තුන සජ්ඣායනා කරනවා. 

යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ 
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදි මහාසමණෝ

තිට්ඨංතෙ නිබ්බුතෙ වාපි - සමචිත්තේ සමං ඵලං 
චේතෝපණි දිට්ඨේහි - සත්ථා ගච්ඡන්ති සුග්ගතිං

යාවතා භගවා ලෝකේ - තිට්ඨ්‍යෙය තව සාසනං 
තාව තත්වාන ගණ්හාතු - පූජං ලෝකානුකම්පයා

මේ ගාථා සජ්ඣායනාව නිමාවීමත් එක්ක නැවත වරක් භිෂූන් වහන්සේලා දළදාවට නමස්කාර කිරීමත් එක්කම කත්තියන රාළ [වැඩ සිටින මාළිගාවට බුද්ධ පූජාව හේම කඳෙන් රැගෙන ඒම, පාත්‍රවලට දානය බෙදීම වගේ කාර්යය ඉටු කරන නිලධාරියා] විසින් දළදා වහන්සේ වෙනුවෙන් රන් කෙණ්ඩි දෙකකට ජලය පුරවලා භික්ෂූන් වහන්සේලාගේ අතට පත් කරනවා.

මහනුවර මහ දේවාලයේ ඇති රිදී පැන් කෙණ්ඩියක්.
දළදා මාළිගාවේද ඇත්තේ මේ ආකාරයේම එකක් විය හැකිය.

මේ එක් කෙණ්ඩියක ජලය පානීය ජලය විදිහටත් තමා සැලකෙන්නේ. ඒ නිසා ඒ කෙණ්ඩිය මදක් ඉහළට ඔසවලා දළදා වහන්සේට පැන් පූජාවක් විදිහට පූජා කරලා භික්ෂූන් වහන්සේලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

මධූ ච තලූනේ නාථ - ජාල චිත්තේ සුලක්ඛණේ 
සභාවා පරිසුද්ධෙන - සෝධෙතු කර පල්ලවේ

මේ පැන් පූජාවෙන් පස්සේ භික්ෂූන් වහන්සේ නමක් රන් මිටකට දැහැටි කූරක් සවි කරලා තුන් වරක් ඉහළට පහළට දැහැටි කූරගෙන අරගෙන ගිහින් දත් මදින ආකාරය දක්වලා දැහැටි කූර දළදාවට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

නාගලතා දන්ත කට්ඨං - අනෝතත්තෝදකං යථා 
පතිගණ්හාතු භගවා - දන්ත පෝනෝදකං ඉමං

ඊට පස්සේ රන් මිටෙන් දැහැටි කූර ඉවත් කරලා රන් මිට නැවත වතාවක් පූජාසනයෙන් තියලා දැහැටි භාවිතා කිරීමෙන් පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය සේදීම සංකේවත් කරමින් අනික් රන් කෙණ්ඩියේ තිබෙන ධෝවනය සඳහා තියෙන ජලය තෙවරක් කලාන්සියට [පඩික්කමට] වත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

භදන්තානන්ද ථෙරෝ ව - සුද්ධ කප්පෙන චාරිනා 
නහාපයං අහං සාක්‍ය - පුංගචං ලෝක සොත්ථියා

ඊට පස්සේ තෙත මාත්තුව සඳහා භාවිතා කෙරෙන සළුව තෙවරක් ඉහළට පහළට අරගෙන ගිහින් බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය පිස දැමීන සංකේතවත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථා සජ්ඣායනා කරනවා. 

ධාවන්ත සර්දබ්බේවා - උපරුපා පාරින්දනා 
විසුද්ධවාසසා තුය්හං - කරොමි මුඛ පුංචනම් 

තනුසෙට්ඨ දුකුලේන - පාටවාස සුගන්ධිනා 
කරොමි මුනිනෝ භන්තෙ - නහනෝදක පුංගවම් 

ඊට පස්සේ රන් හුයෙන් කරපු තුන් සිවුර දළදා වහන්සේට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

කොස්‍යෙය කාසි ජාතෙන - කුංකුමාරට්ඨ කන්තිනා 
තිචීවරෙන භගවන්තං - අච්ඡාදෙමි තථාගත

ඊට පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ධෝවනය කිරීම සංකේතවත් කරමින් තෙවරක් කාලාන්සියට ජලය වත් කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා. 

සබ්බකාර චරෝපේත - චක්ක ලක්ඛණ මණ්ඩිතම් 
නාථ ධෝවාමි පාදේථ - දේවා බ්‍රහ්මාහි වන්දතේ

ඊට පස්සේ දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන කරඬුව තබා තිබෙන මුතු මැණික් සහ රනින් සරසපු ආසනය පූජා කිරීම මේ ගාථාව සජ්ඣායනා කිරීමෙන් සිදු කරනවා.

නානා මණි සුවණ්ණේසි - කාසිතම් චාරු භාසුරං 
මහාරහාමි ඉධං සාධු - ආසනං දෙමි සත්ථුනෝ

 රන් අවාන හෙවත් වටාපත

මේ අවස්ථාවේදීම රනින් කරපු අවානෙන් දළදා වහන්සේට තෙවරක් පවන් සැලීමත් සිදු කරනවා. අවානෙන් පවන් සැලීමෙන් පස්සේ අවාන පසෙකින් තියෙලා චාමරය අරගෙන මේ ගාථාව සජ්ඣායනා කරමින් චාමර සලනවා.

තිලෝක නාථං බුද්ධං - සිද්ධම් සුද්ධ ගුණාකරම් 
මහාරහේන සුගතං - පූජකේ චාමරේනහං 

ඊළඟට සිද්ධ වෙනේ බුදුන් වහන්සේගේ මධුර වුණු ධර්ම දේශනා ස්වරයට පූජෝපහාරයක් විදිහට රන් මිණි ගෙඩියක් නාද කරමින් මිණි පූජාව සිදු කිරීම. එය සිදුවෙද්දි මේ ගාථාව සජ්ඣායනා කරනවා.

ඝංටාර චානුකාරෙන - සරෙන මධුරේනවා 
යං ධම්ම දේසයි සත්ථා - තස්සා ඝංටාය පූජයේ 

 දළදා මාළිගයේ ඇති රිදී පහනක්

මේ පූජාවෙන් පස්සේ මෙතෙක් පූජා කටයුතු සඳහා භාවිතා කරපු පූජා උපකරණ සියල්ලම ගන්ධ කුටියෙන් බැහැරට ගෙනියනවා. ඊට පස්සේ කපුරු ආධාරයෙන් පහන් දල්වලා වර්තමානයේදී පවා පහන් පූජාවේදී සජ්ඣායනා කරන ගාථාව සජ්ඣායනා කරනවා.

ඝනසාරප්ප දිත්තේන - දීපෙන තමදංසිනා 
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තථාගතං

පහන් පූජාවෙන් පස්සේ තේවාව භාර භික්ෂූන් වහන්සේලා කලින් දවසේ සන්ධ්‍යාවේදී පූජා කරපු මල් ඉවත් කරලා සඳුන් කපුරාළ [දළදා වහන්සේට පූජා කරන මල්වලට පැන් ඉසීම, පූජා කටයුතු සඳහා යොදාගන්න සඳුන් ගලගා සකස් කිරීම භාර නිලධාරියා] සකස් කරලා තියෙන සඳුන් දමා ඇති බඳුනෙන් සඳුන් අරගෙන ගන්ධ කුටියේ ඉසීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීත් මේ ගාථාව සජ්ඣායනා කරනවා.

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා අහං ගන්ධෙන - පූජයාමි තථාගතං 


ඊට පස්සේ දළදා මාළිගාවට මල් සපයන්නා විසින් සපයපු මල් රන්තැටියේ තැන්පත් කරනවා. මෙහිදී මල් විදිහට බොහෝ විට පූජා කෙරෙන්නේ පිච්ච, සමන් පිච්ච කියන මල්. මල් පූජාව සිදු කරද්දී මේ ගාථාව සජ්ඣායනා කරනවා.

වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතං කුසුම සන්තතිං 
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ

මල් පූජාවෙන් පස්සේ අලුයම් පූජාවේ මුල් කොටස අවසන් වෙනවා. ඒ සමඟම ඝණ්ඨාරය තෙවරක් නාද කරනවා වගේම හේවිසි වාදනය නවත්වනවා. ඊට පස්සේ දළදා තේවාවට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා පත්කඩේ එළලා පසඟ පිහිටුවලා දළදා වහන්සේට නමස්කාර කරනවා. ඒ සමඟම

ඉහළ මාලයෙන් වැඩසිටින මාළිගයට පිවිසිය හැකි දොරටුව

වැඩ සිටින මාළිගයේ ඉහළ මාළයට පිවිසිය හැකි දොරටුව විවෘත කරලා වන්දනාකරුවන්ට දළදා වහන්සේ තැන්පත් කොට තිබෙන කරඬුව දැක බලා වන්දනා කිරීමට, මල් පූජා කිරීමට අවස්ථාව ලබාදෙනවා. මේ අවස්ථාවේදී දොරටුව අසළ සිටින ගිහි නිලධාරියෙක්ට දළදා වහන්සේට පූජා කිරීම සඳහා මල් ලබාදෙන්නත් වන්දනාකරුවන්ට පුලුවන්.


මේ අවස්ථාවේදී තමා අලුයම් පූජාවේ මීළඟ කොටස ආරම්භ කරන්න කත්තියනරාළ බුද්ධ පූජාව රැගෙන එන්න මුළුතැගෙයට පිටත් වෙන්නේ.

ඊළඟට සිදුවන කටයුතු සහ අනෙකුත් තේවාවන් ගැන මීළඟ සටහනෙන් කියන්නම්. මේ විදිහට කොටස් කරන්නේ එකක් ගොඩක් කරුණු එක පාරම කිව්වාම වෙන ගැටළු අවම කරවන්න. ඒ වගේමයි නොතේරෙන දෙයක් තියෙනවා නම් තවත් සවිස්තරාත්මකව මීළඟ සටහනට ඇතුළත් කරන්න. 

සටහන ලියන්න උපයෝගී කරගත්තේ ඒ.ඇම්. හෝකාර්ට්ගේ වාර්තාවත් ඇතුළත් කරමින් සරත්චන්ද්‍ර ජයකොඩි විසින් රචනා කළ සිරි දළදා පවත කෘතිය, බුදුසරණ, සිළුමිණ හා දිවයින පුවත්පත්වල පළවූ ලිපි කීපයක් සහ මගේ අත්දැකීම් කීපයක්.

ඡායාරූප බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් සොයා ගත්තේ. පූජා භාණ්ඩවල ඡායාරූප ලබාගත්තේ ආනන්ද කුමාරස්වාමි මහතා විසින් රචනා කළ ලද Medieval Sinhalese Art කෘතියේ සිංහල පරිවර්තනය වූ මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙන්.

91 comments:

  1. නවීකරණය හමුවේ හැමදේම වෙනස් වීගෙන යන කාලේක මේ දේවල් මේ විදිහටම පවත්වගෙන යන එක අගය කරනන් ඕනා. ඒවට තරුණ පරපුරත් දායක වෙලා ඒ විදිහටම පවත්වගෙන යන්න හදන එක ඇත්තෙන්ම ප්‍රශංසනීයයි...

    හසිතට ස්තූතියි මේ හෙලි දරව්වට.. දැන් FBI වැඩත් කරනවා නේද ...:D

    << ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න එක. >>

    මිනිස්සුඟේ කුල ගොත් හොයන්නැතුව තමන්ගේ සාසනයේ පැවිද්ද පවා දුන්න බුදු රජාණන්වහන්සේට කරන්න පුළුවන් හොඳ උපහාර පූජාවක් තමා ඒක. මිනිස්සුන්ගේ අමන තකතීරු උද්දච්චකම් නැති කරන්න බුදුවරයෙකුටවත් බෑ කියලද මේ පෙන්වන්නේ.. ?

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත සහෝ..බෞද්ධ දර්ශණය තුල කුල බේදය හෙලාදකිනවා

      Delete
    2. @ සෙන්නා

      නවීකරණය වෙන සමාජයක මේ ආකාරයෙන් පාරම්පරික සිරිත් විරිත් පවත්වා ගෙන එන එක අගය කළ යුතුම තමා අයියේ. ඒ වගේමයි මේ ක්‍රමය තුළ තමන්ගේ ජිවීකාව සරි කරගන්න අයත් ඉන්නවානේ. ඒ නිසා මේ ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යන එකේ වැදගත්කම ඉස්මතු වෙනවා.

      රහස් පරීක්ෂක වැඩමත් නෙමේ ඉතින්. කාලයක් තිස්සේ උනන්දුවෙන් හොයපු කරුණු වගයක් අනික් අයටත් කියන්න ඕනේ කියලා හිතුණා අයියේ.

      බුදුන් වදාළ දෑ ඒ විදිහටම පවත්වාගෙන යන්න අපොහොසත් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ හැම ආගමකටම හෝ දේශනාවකටම පොදුයි. ජේසුතුමා කෙතරම් අල්පේච්ඡ අයෙක් වුණත් පසුකාලීනව ඒ තත්වය වෙනස් වුණු ආකාරය පේනවානේ.

      දේශනාවේ හරයට වඩා වෙනත් දෑ ඉස්මතු වෙන එක සාමාන්‍යයි වගේ. මේ කුල තත්වය හොඳින්ම මහනුවර සමාජයේ පවතිනවා. සියම් නිකායේ ගොවිගම කුලේ හැරෙන්නට අනෙක් කුලයක කෙනෙක් උපසම්පදා කරවන්න එපා කියලා පවා නීති ඇතිවෙන්නේ ඒ නිසා

      Delete
    3. @ Anonymous Wednesday, March 26, 2014 at 10:05:00 AM GMT+5:30

      ඒක හැබෑව. ඒත් ලාංකේය සමාජය ඒක ඉහ මුදුනින් වැලැඳගන්නවා. දැන් නම් ටිකක් අඩුයි :)

      Delete
    4. දළදා වහන්සේ සහ බුද්ධ ශාසනය සම්බන්ධ කටයුතුවලදී කුල භේදය සම්බන්ධ කරුණු ඉස්මතු වීමත්, කාන්තා පක්ෂයට මේ කටයුතු වලට සම්බන්ධවෙන්න සැළකිය යුතු අවස්ථාවක් නොලැබීමත් බෞද්ධ දර්ශනයට පටහැනියි කියන එක මමත් විශ්වාස කරනවා.

      Delete
  2. බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමග වඩින විට කුඹුරක වැටී තිබුණු මුදල්./කහවණු පසුම්බියක් දකිනවා. "ආනන්දය සර්පයා දු‍ටුවෙහිද?" කියා උන්වහන්සේ අහනවා." එසේය ස්වාමිනි සර්පයා දු‍ටුවෙමි" කියා උන්වහන්සෙ පිළිතුරු දෙනවා.ඪැන් දලදා මාලිගාවේ දලදා කරඬුව වටා සර්පයෝ පැටලිලා.. සර්පයෝ සහිත බන්දේසි මල් ආසනය ඉදිරියේ. මිනිස්සු දෙන මුදල් වෙනත් තැනකට යොමු කළයුතුයි නේද ? එතෙනත් හාමුදුරුවරු ගෙනෙන වස්තුවල වටිනාකමේ හැටියට තමයි සැලකිල්ල.. මේවා බුදු හිමියන්ට කරන අපහාස. දලදා මාලිගාව දේවාලයක් බවට පත්වෙමින් යනවා.

    ReplyDelete
    Replies
    1. සත්‍ය වශයෙන්ම. සම්පූර්ණයෙන්ම හරි. මේකට තමයි බන් කියන්නෙ දේව වාදයට යට වුන බුදු දහම කියලා.

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      දළදා කරඬුව වටේට රන්මාල දාලා තියෙන්නේ නම් විවිධ පුද්ගලයන් දළදාවට ඒවා පූජා කරපු නිසා. හැබැයි දේවාලයක වගේ දළදාව ඉදිරියේ තියෙන මල් ආසනයට නම් මුදල් පූජා කරන්නේ නැහැ අයියේ මම දන්නා තරමින්.

      ඒ වගේමයි දේවාලේ වගේ ගෙනෙන වස්තුවල වටිනාකමට අනුව හාමුදුරුවරු සැලකිල්ලක් කරන බවක් පෙනෙන්නෙත් නැහැ. මොකද දළදා කරඬුව ගාවට හැමෝටම එන්න බැහැනේ. එක්කෝ රාජ රාජ මහාමාත්‍යයෙක් වෙන්න ඕනේ. නැත්නම් දලදා පූජාවක් භාරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ලොකු ලොක්කෙක්ගේ හිතවතෙක් වෙන්න ඕනේ :)

      ඒ ආවත් මල් හරි වෙනත් පූජා ද්‍රව්‍යයක් හරි බුද්ධ පූජාව හරි තමා පූජා කරන්නේ,. අනික මහාභාරකාරතුමා යටතේනේ මූල්‍ය පාලනේ වෙන්නේත්

      හැබැයි දේවාලයක් ස්වරූපයෙන් යම් යම් කටයුතු විශේෂයෙන්ම මේ චාරිත වෙන බව නම් හැබෑව අයියේ

      Delete
    3. @ Anonymous Friday, March 28, 2014 at 8:09:00 PM GMT+5:30

      දේවවාදයට යටවුණාය කියලා කියන්න බැහැ. යම් යම් කරුණු අවශෝෂණය කරගත්තා කියලා නම් කියන්න පුලුවන් මට පේන විදිහට :)

      Delete
    4. @සරත් ලංකාප්‍රිය

      //"ආනන්දය සර්පයා දු‍ටුවෙහිද?"

      //ඪැන් දලදා මාලිගාවේ දලදා කරඬුව වටා සර්පයෝ පැටලිලා

      ඕකට තමා කියන්නෙ සර්පයා වලිගෙන් අල්ලගන්නව කියල.

      අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය කරවූවෙ කෝටි ගණනක් ධනය වියදම කරල. ගෞතම බුදුන් වහන්සේට කලින් බුදුන් වහන්සේ නමකට පූජා කරපු විහාරයක ලොකු මැණික් ගල් පවා අල්ලලා තිබුණු බව කියවෙනවා.

      බුදුන් වහන්සේ ධනය සර්පයෙකුට උපමා කලේ පෘථග්ජන මිනිස්සු ධනය නිසා කරදරේ වැටෙන නිසා. බුදු, පසේ බුදු, මහ රහත් ආදී කෙලෙස් රහිත උතුමන්ට එහෙම වෙන්නෙ නෑ. උන්වහන්සේල ලාභ සත්කාර වලට ඇලෙන්නෙ නෑ.

      තමුන් ධර්මය දන්නෙ නැත්නම්, පින් කරන්න ඕන නැත්නම්, නිකන් ඉන්න එකනෙ තියෙන්නෙ. අනුන් කරන පිනට අපහාස කරන්නෙ නැතුව.

      Delete
  3. නියමයි හසිත මලේ
    ඔබ අපව රැගෙන ගිය හොඳම වන්දනා ගමන
    රජ මාලිගාවේ කොටසක නේද දළදා මාලිගය පිහිටා තියෙන්නේ?
    //දලදා මාලිගාව දේවාලයක්
    මෙහෙම නොවුනොත් තමා පුදුමේ අපේ ඉතිහාසයේ මහනුවර යුගයේ දේව සංකල්පය බැලුවාම.සරත් අයියා දන්නවද දළදා සමිඳුන් ගැන මත ගැටුමක් නිසා අනගාරික ධර්මපාල තුමා සහ ඕල්කට් තුමා හා විරසක වූ බව.

    ReplyDelete
    Replies
    1. @ නිකං

      දළදා මාළිගාවේ අභ්‍යන්තරයට හැමෝටම යන්න බැරි නිසා මේක වන්දනා ගමනක් වගේ තමා. රජ මාළිගාවේ කොටසක දළදා මැදුර පිහිටලා නැහැ. ඒ සමීපයේ පිහිටලා තියෙන්නේ. දළදා මැදුරෙන් එළියට ආපුවාම තියෙන්නේ මඟුල් මඩුව. ඊට පස්සේ ගොඩනැගිල්ල රන් ආයුධ මණ්ඩපේ, ඒ අසළම රාජා ඇතාගේ කෞතුකාගාරේ. ඊට එහා පැත්තේ තමා මාළිගාව.

      අනුරාධපුර කාලේ ඉදන්ම රජ මාළිගාව අසළනේ දළදා මාළිගාව හැදුවේ. ඒ සිරිත මහනුවරදීත් එහෙම්ම තමා.

      මහනුවර සමයේ තිබුණු හින්දු ආගමික බලපෑම වැඩි වශයෙන් දළදා තේවාවටත් ඇවිත් තිබෙන බව ඇත්ත. වර්තමානයේ පවා හින්දු කෝවිල්වල දේව රූප නාවලා ඇඳුම් අන්දලා මේ ආකරයෙන්ම පුද පූජා පවත්වනවා.

      ධර්මපාලතුමාගේ සහ ඕල්කට්තුමාගේ කතාව දන්නේ නැහැනේ. කියන්නකෝ බලන්න ඒ කතාව :)

      Delete
  4. මං බුදුවුණු දවසක නම් අනුමත කරන්නේ නෑ මා මල පසු මගේ දතක් කොපු අස්සේ දාලා හංගාගෙන වැඳ වැඳ සිටීම.

    මං හිතන්නේ මේවා සුභද්‍ර ලා ගේ ලිච්චවි ලා ගේ සිලි වැඩ!

    ReplyDelete
    Replies
    1. //සුභද්‍ර ලා ගේ ලිච්චවි ලා ගේ සිලි වැඩ!
      කකා,විමලරත්න කුමාරගම මහත්මයාගේ අයියනායක කවි පන්තිය කියවලා නැතුවා වගේ

      Delete
    2. @ නිකංස්,
      අයියනායක ඇදහීම කියන්නේ ම මිත්‍යා දෘෂ්ඨියක් නේ. ඒක ගැන කුමාරගම කියපු දේ, ඒ ඔහුගේ මතය. කොහාමටත් ඒක නිකං උඹලාගේ දේ උඹලා කර ගනිල්ලා, මට මොකෝ යන කේස් එකක්.

      මං මෙතන කියන්නේ බුදුන් නැති කල එක එකා කරන බොරු ෂෝ ගැනයි. මා සහ බුදු දහම අතර තියෙන්නේ යකෙක්/දෙයියෙක් සහ කුමාරගම අතර තිබුණු දුරස්ථකම නොවෙයි.

      බුදුන්ගේ දත අයිතිකරගෙන ඉන්න අය දාන පඩ ෂෝ ඔබ දකින්නේ යකෙකුට කරන ඇදහිලි ගැණ කුමාරගම දැකපු විදිහටද? පුදුමයි! (සමහර විට ඔබ බුදු දහමට සම්බන්ධ නැති අයෙක් වෙන්න ඇති?)

      බුද්ධාගං පොතේ තිබුණු බුද්ධචරිතය අපි කියෝලා තියෙනවා. මේ විකාර දැක්කා නං බුදු සාදු ආපහු පාරිල්‍යෙය වණේ තමයි නතරවෙන්නේ!

      Delete
    3. උඹලාගේ දේ උඹලා කර ගනිල්ලා, මට මොකෝ යන කේස් එකක්//
      එහෙමද මට නම් ඒ කවි පන්තිය තේරුනේ මා ඇදහුයේ නැති වුවත් මිනිස්සු පුජනීයත්වයෙන් සලකන දෙයක් නිගරු නොකරන්න ලියු කවි ලෙස

      Delete
    4. ඕකට තමයි බන් කියන්නේ 'දේව වාදයට යටවුන බුදු දහම කියලා'. සිංදුවක් තියෙනවා 'බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි' කියලා.

      Delete
    5. @ කතන්දර කාරයා

      බුදුන් අනුමත කළ දේම නොවෙයිනේ සිද්ධ වෙන්නේ. බුදුන් වහන්සේට වෙනුවෙන් වන්දනා කරන්න ශාරීරික ධාතුවක් විදිහට දළදාව යොදාගෙන තිබෙනවා. මේකෙදී දළදාවට අනෙක් ධාතුන් වහන්සේලාට වඩා වැඩි වැදගත්කමක් ලැබිලා තිබෙනවා බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තිබුණු නිසා. විස්තරවලදී කියනවනේ බුදුන්ගේ ශ්‍රී මුඛයේ වැඩ වසමින් අසූහාරදහසක් ධර්මස්කන්ධයේ පහස ලැබූ උතුම් දළදාව කියලා.

      ඉතින් දළදාව ස්ථුපයක තැන්පත් කරනවාට වඩා කරඬුවක තබාගන්න එකට කටයුතු කෙරිලා තියෙනවා. ඒකෙදී වැඩි ආරක්ෂාවට කොපුවක තැන්පත් කරලා තියෙනවා,

      සුභද්‍රලාගේ ලිච්ඡවිලාගේ වැඩවලටත් වඩා පසුකාලීනව දේවාගම්වල බලපෑමෙන් මේවා වැඩිවෙන්න ඇති. මොකද දේවාගම් සියල්ලේම දෙවියන් ජීවමානයි. ඒත් බුදුන්වහන්සේ පිරිනිවන් පාලා නිසා උන්වහන්සේගේ දළදාව වැඩි බලයක් අරෝපණය කෙරෙන්න ඇති

      Delete
    6. @ Anonymous Friday, March 28, 2014 at 8:12:00 PM GMT+5:30

      කලිනුත් කිව්වා වගේ යටවීම කියනවාට වඩා බලපෑම කියන එක උචිතයි කියලයි මගේ හැඟීම

      Delete
    7. @ කතන්දර කාරයා

      //මං බුදුවුණු දවසක නම් අනුමත කරන්නේ නෑ මා මල පසු මගේ දතක් කොපු අස්සේ දාලා හංගාගෙන වැඳ වැඳ සිටීම.

      ඒකනෙ උතුම් බෝසත්වරු විතරක් බුදු වෙලා උඹ වගෙ එවුන් නිරයට යන්නෙ.

      Delete
  5. හසිතත් එක්ක ගිහින් දළදා වැඳගෙන ආවා වගේ දැනුණේ. :)

    අපි මේ දිගට ඇදගෙන යන්නේ භක්තිය නේද හසිත? බුදුහාමුදුරුවෝ හිටියා නම් මේ කිසිදයක් අනුමත නොකරන්නට ඉඩ තිබුණා. අනෙක් අතට එතුමාගෙන් අපිට ඉතිරිවෙච්ච යමක් වෙනුවෙන් මෙහෙම පුද පූජා කිරීමේ වැරැද්දක් නෑ කියලත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අර රතුපාට කරපටියක් දාගෙන, උඩබලාගෙන, දොරක් ලඟ හිටගෙන ඉන්නේ මාලිගාවේ රාජකාරි කරන කෙනෙක්ද? :D

      Delete
    2. කුරහන් සාටකේ මතක් වෙනවද?

      Delete
    3. /* අපි මේ දිගට ඇදගෙන යන්නේ භක්තිය නේද හසිත? */

      ඕක මෙහෙමයි කියන්න ඕනෑ!

      අපි මේ දිගට ඇදගෙන යන්නේ භක්තිය නේද හසිත මහත්තයෝ? බලන්න ආශ්චර්යය!

      Delete
    4. @ Podi Kumarihami

      භක්තියමත් නෙමේ නේද ? මේක භක්තියත් එක්ක එන සම්ප්‍රදාය, සංස්කෘතිය කියලාත් පේනවා කාලයක් ගත වෙලාත් මොන ප්‍රශ්න ආවත් සුපුරුදු විදිහටම කටයුතු පවත්වා ගෙන යන නිසා.

      බුදුන් වහන්සේ වැඩ සිටියා නම් මේ තත්වය අනුමත කරන්නේ නැහැ. මතකනේ උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් තමන්වහන්සේට මල් සුවඳ දුම් පුදමින් හිටිය භික්ෂූන්ට වඩා තමන්වහන්සේ පිරිනිවන් පාන්න කලින් රහත් වෙන්න අධිෂ්ඨානයෙන් කටයුතු කරපු භික්ෂූන් වහන්සේව බුදුන් වහන්සේ අගය කරපු හැටි.

      දේවාගම්වල බලපෑමත් එක්ක වැඩි වශයෙන්ම බුදුන් වහන්සේ පිරිනිවන් පාලා හිටියත් උන්වහන්සේට හා සමානව උන්වහන්සේගේ දළදාවට ජීවමාන අයෙක්ට හා සමානව පුද සත්කාර කිරීම ඇරඹෙන්න ඇති. විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයෝ ගොඩක් වෙලාවට අධික ශ්‍රද්ධාවත් වෙලාවකට අධික භක්තියකටත් යන උදවියනේ :) ඒ වගේමයි ධාතු පූජාවේත් අනුසස් ගොඩක් තියෙනවලුනේ

      වැඩ සිටින මාළිගාවේ දොරකඩ රතු පාට පටියක් දාගෙන ඉන්න කෙනා දොරකඩ ආරච්චි කෙනෙක්. දළදා මාළිගාවේ දොරටුවල ඉදගෙන ආරක්ෂක කටයුතු භාරවෙලා තියෙන්නේ ඔවුන්ට

      Delete
    5. @ කතන්දර කාරයා

      මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා කතන්දර මහත්තයෝ :D

      Delete
  6. විස්තරය අගෙයි. වෙහෙසට තුති :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      සාදු සාදු අයියණ්ඩිය :)

      Delete
  7. මිනිසාට මනසින් වඩා දියුණු මට්ටමට පැමිණීමට කාලාන්තරයක් පෙරුම්පුරමින් පුරා සූදානම් විය යුතුයි. ඒ සූදානමට මග සලසා දෙන්නේ භක්තිය ශ්‍රද්ධාව වැනි හැඟීම් විසින් බව හැ‍ෙඟෙන හෙයින් මේ ලිපිය ඉතාම වටිනා එකකි. හසිතට ස්තුතියි.
    හසිතට කිරි ආහාර බුද්ධ පූජාව පිළියෙල කිරීමේ විස්තර සොයා ලියන්න පුළුවන්ද ? මේ ගැන ඇදහිය නොහැකි තරමේ විස්තර අසා තිබෙනවා. එහෙත් ඒවා නිවැරදි විස්තර දැයි නෙදන්නෙමි.

    ReplyDelete
    Replies
    1. /* මිනිසාට මනසින් වඩා දියුණු මට්ටමට පැමිණීමට කාලාන්තරයක් පෙරුම්පුරමින් පුරා සූදානම් විය යුතුයි. */

      ඔව්, අවුරුදු 2,500ක් ගිහිනුත් තාම ප්‍රාඨමික ඇදහිලි ක්‍රම අනුගමනය කරන්නේ ඒ හින්දා විය යුතුයි.

      ඔහොම යං, ඔහොම යං!

      Delete
    2. මේවා සියල්ල බුදු දහම වියකුණු විට පහළවූ දේ මිසක්කා අපරටේ අරහතුන් වහන්සේලා වැඩ සිටි කාළයක වූවා නොවේ.

      Delete
    3. @ MPP Gunasinghe

      කිරි ආහාර බුද්ධ පූජාව සම්බන්ධව නම් මම විස්තර දන්නේ නැහැ. ඔබතුමාගේ විස්තර එකතු කරන්න. මම දන්නා දෙයක් තියෙනවා නම් ඒකට එකතු කරන්නම් :)

      Delete
    4. @ කතන්දර කාරයා

      මෙතන වසර 2500 කිව්වාම ගැටලුවක් තියෙනවානේ. මුල් කාලීනව මෙතරම් පුද සිරිත් පැවතුණාය කියලා හිතන්න බැහැ. ක්‍රමයෙන් වෙනත් ආගම්වලත් ආභාෂ ඇවිත්නේ යම් යම් දෑ ඇතිවෙලා තියෙන්නේ.

      අනික වසර 2500 ම එකම මිනිස්සු හිටියේ නැහැනේ. ඉතින් තව කාලයක් යාවි මේවා වැටහෙන්න. ඒ අතින් බලද්දී බටහිර රටවල බෞද්ධයන් පෙරමුණේ ඉන්නවා.

      Delete
    5. @ Anonymous Friday, March 28, 2014 at 8:15:00 PM GMT+5:30

      ඇත්ත. කාලානුරූපව වෙනත් ආගම්වලින් මතවාදවලින් බොහෝ දෑ බෞද්ධයන් අවශෝෂණය කරගෙන තිබෙනවා

      Delete
    6. බුදු දහම වටා මෙවැනි සැරසිලි නොතිබුණේ නම් මේ වන විට බුදු දහම නැතිවී ගෙස් තිබීමට ඉඩ තිබුණ බව සිතිය හැකියි නේද ? බුද්ධියට අමතන ගැඹුරු දහමක් වූ මේ දර්ශනය රැක ගන්නට වසර ගණනාවක් තිස්සේ පැවති දුර්භික්ෂ අවදියකදී ඉතා දිළිඳු ආහාරවලින් යැපෙමින් ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය පිළිබඳ තොරතුරු සහ සතුරු උවදුරු බහුලව පැවති දුෂ්කර සමයක දී ගනින්නාන්සේලාගෙන් සිදු වූ සේවාව වැනි කැප කිරීම් නොවී නම් මේ දහම අතු ගෑවී යාමට ඉඩ තිබුණා. ඒ වටා භක්තියේ සළු පිළි දවටමින් ඇතැමුන් වංචනික ලෙස විකුණාගෙන කමින් හෝ රැකුණේ නැතිනම් ! හසිතගේ මේ වෑයමට නැවත නැවතත් තුති පුදමි

      Delete
  8. ඒ මනුස්සය කියපු දේවල් පඩේකටවත් ගනන් නොගෙන ඒකෙ අනිත් පැත්තම කොර කොර පුක උඩ දාගෙන පූජා පැවැත්තුවාම හරි..බුද්ධිය පැත්තකින් තියල භක්තිය කරේ තියාගෙන... ඒ මනුස්සය අද හිටියනං.. අෆ්ෆේ... බඩ කපාගෙන, බෙල්ලෙ වැල දාගෙන, ගිනිතියාගෙන, වහත් බීල, පුකත් පොලේ ගහං මැරෙන්නෙ ඒ මනුස්සයගෙ ද්ර්ශනයට කරන නිග්‍රහයට.. හෙහ්... හෙහ්......

    ReplyDelete
    Replies
    1. @ X - Porter

      ඇත්ත. ඒක බුදු දහමට විතරක් නෙමේ අනික් හුඟක් ආගම්වලත් දැකගන්න පුලුවන්. ආගමික උන්මාදේ නොවැ බොහෝ වෙලාවට තියෙන්නේ.

      ශ්‍රද්ධාව වැඩිවෙලා ප්‍රඥාව අඩු උපාසකම්මා කෙනෙක් මිදුල අතුගාපු ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කරලා හාමුදුරුවන්ට වැන්ද කතාවක් එහෙම අහලා ඇතිනේ :)

      Delete
    2. “බුද්ධිය මිතුරෙකැයි සිතූ මම මගේ දෙවියන් මරා හෙලීමි“ මේ පැදි පෙළේ මට තක තියෙන්නෙ ඔය වදන් කීපය විතරයි. ඉතිරි ටික දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්යටුවක් විදිහට මෙතනට එක් කරන ලෙස ඉල්ලා සිටිනවා.ඉතාම ප්‍රබුද්ධ වියතෙක් හා යථාර්ථ වාදියෙක් විදිහට මා සමග විවිධ තර්ක විතර්ක කරමින් සිටි මගේ හොඳම මිතුරෙක් (බෞද්ධයකු නොවේ) විවිධ කරදර හා අසනීපවී ඒවායින් මිදී ගිය පසු දිනක වරක් මා සමග පැවසුවේ තමාගේ ප්‍රබුද්ධ බවම තමාට විශාල තනිකමක් බියක් ගෙන දෙන බවයි. බුදු දහම ගැන නැවත සාකච්ඡා කරද්දී තමාට බුදු දහමෙන් හෝ පිළිසරණක් ලැබිය නොහැකි බව පැවසිනි. ඒ නිසා ඔහු දැන් තමන්ගේ දෙවියන් වහන්සේ සොයා යමින් සිටිනවා. අවසාන මොහොතේ තමාව බියෙන් මුදවනවා ඇත්තේ දේවියන්වහන්සේ බවයි ඔහුගේ වර්තමාන විශ්වාසය. ඒ කියන්නේ භක්තිය ඉවත දමා සිටි ඔහු නැවතත් කැරකී එතනටම පැමිණ ඇති බව නොවේද ?

      Delete
    3. දෙවියන් මැරීම - ජී බී සේනානායක

      බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මම
      දිනක් මග රැක සිට
      මගේ දෙවියන් මරා හෙලීමි,
      දැවැන්තයකු වන බුද්ධිය
      අඳුරෙහි මහ අඩි තබමින්
      මා පිටි පසින් එනු
      මට ඇසෙයි.

      එහෙත් දෙවියන් සිටි කල මෙන්
      දැන් මට
      සැක හැර ගමන් කළ නොහැක
      මා වැටුණු කල
      දැන් දෙවියන් නැති හෙයින්
      මම
      නැඟී සිටිය යුතු ය.

      යළිත් දෙවියන් සොයා ගිය මට
      උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
      මඟ අසල,
      නුග ගස යට තිබී සම්බ විය
      ස්වාමීනි, යළිත් නැඟී සිට
      මා හා පෙර මෙන්
      එනු මැනවයි මම කීමි
      උන්වහන්සේ නැඟී නොසිටින්නේ...
      බුද්ධියතම
      දත් දෙපළ පෙන්නා
      විලිස්සමින්
      මා පිටිපස සිටින හෙයින් බව
      මම දනිමි

      "එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
      ඔහු මා අතහැර නොයයි. "

      (From: http://dasunxd.blogspot.com/2014/07/blog-post.html)

      Delete
  9. නියම විස්තරයක් හසිත. මේ බොහෝ දෙවල් දැනගෙන හිටියෙ නෑ.

    නමුත් දැං දළදාවට වැඩිය ඒක බලාගන්න කට්ටිය පූජනීය වෙලා කියල හිතෙනව. හේමමාලා කුමරිය ලංකාවට දළදාව වැඩමෙවුවෙ කෙස් වැටියෙ හංගගෙන කියන එක අමතක වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      හේමමාලාගේ කෙස්වැටියේත් කුඩා කරඬුවක දළදාව වැඩ සිටිය බව කියවෙනවා. මේ වගේම කතාවක් තමා ශ්‍රී මහා බෝධියටත් වෙලා තියෙන්නේ සංඝමිත්තා මෙහෙණිය තමා ලංකාවට වැඩම කෙරෙව්වේ. ඒත් කාන්තාවන්ට බෝ ගහ අසළට යන්න හොඳ නෑ කියලා තමා සමාජයේ තියෙන්නේ අයියා

      Delete
  10. ඉතා අගනා විස්තරයක් හසිත. බොහොම ස්තුතියි දරපු වෑයමට. බෞද්ධ ජනයා තුල තිබෙන අසීමිත ශ්‍රද්ධාව පැහැදිලි වෙනවා මේ පූජා විධි තුල. ඉහත කොමෙන්ටු තුල දක්වා ඇති පරිදි, (ඉහල කුල වලින් නිලධාරීන් තෝරා ගැනීම වැනි) ඇතැම් සිරිත් විරිත් බිහි වී ඇත්තේ මේ අසීමිත වූ ශ්‍රද්ධාව නිසා මයි. (බුදු හාමුදුරුවෝ අද හිටියා නම්, මේ සිරිත් විරිත් බිහි කරපු අයට අනුකම්පා කරාවි) කොහොම උනත්, මේ උතුම් පූජාව දිනපතා සිදු කරන අය කොයි තරම් නම් වාසනාවන්තද..

    සෝමාවතියේ වැඩ වසන දකුණු දළඳාව, තේවාව වෙලාවට දෙවිවරුන් විසින් මහනුවර දළඳා මාලිගාවට රැගෙන එන බවත්, ඊට ඉඩ දී එයට ගැලපෙන විදියට මහනුවර දළඳා මාලිගාවේ තේවාවේ සිරිත් විරිත් සැකසී ඇති බවත් මම අසා තිබෙනවා. ඒ ගැනත් දන්නවා නම් ලියන්න හසිත.

    ReplyDelete
    Replies
    1. අහේතු කාළේන... කඡ්ඡේන පුහුලං ;-)

      Delete
    2. @ එක් මානවිකාවක්

      ලාංකේය බෞද්ධයන් තුළ තිබෙන අසීමිත ශ්‍රද්ධාව නිසා දළදා පූජාව උසස්ම අයුරින් සකස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකට මතක් වෙනවා හොඳ උදාහරණ දෙකක්. එකක් තමා කෝට්ටේ සමයේදී සියමේ හරි බුරුමයේ හරි රජ පවුල ඔවුන්ගේ කෙස්වලින් කරපු කොසු එවනවා දළදා මාළිගාව අමදින්න. ඒ ආකාරයෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් කොස්සක් හැදුවාය කියනවා. රටේ හැමදෙනාම ඉමහත් ගරු කරන පාලකයා පවා මේ ආකාරයෙන් දළදාව ගරු කිරීම අසිමීත ශ්‍රද්ධාව වගේම ගෞරවේ තමා පෙන්නන්නේ.

      සෝමාවතියේ කතා පුවත නම් මම අහලා නැහැ. හැබැයි සෝමාවතී සෑයේ දළදා තේවාව සකස් කරලා නම් තියෙන්නේ මහනුවර දළදා මාළිගාවේ තේවාවට අනුරුපීව කියලා නම් දන්නවා. ඒකෙදී මහනුවර දළදා තේවාවෙන් මද වේලාවකට පස්සේ තමා සෝමාවතියේ දළදා තේවා අරඹනෙන

      Delete
    3. @ prabath's blog, Anonymous Friday, March 28, 2014 at 8:17:00 PM GMT+5:30

      කලියුගේනේ :)

      Delete
  11. බොහොම වටිනා විස්තරයක් වැඩසිටින මාලිගාව ගැනත් නිවාඩු පාඩුවේ ලියන්න

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      අනිවාර්යෙන්ම. එතකොට තමා මේ විස්තරේ සම්පූර්ණ වෙන්නේ :)

      Delete
  12. ඔන්න කාලෙකට පස්සෙ ප්‍රශ්න පත්තරයක් අහන්න හිතුනා..

    …1. //බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්// මම සිරිපාදෙ ගිහිල්ලා නම් නෑ හසිත. ඒත් පින්තූරුවලින් දැකලා තියෙන විදිහට සිරිපාද ලාංඡනය සාමාන්‍ය මිනිසෙකුගේ පාදයකට සාපේක්ෂව හරිම විශාලයි. මෙය බුදුන් වහන්සේගේම පාදය තැබීමෙන් ඇතිවූ ලාංඡනය යැයි විශ්වාස කරනවාද? නැතිනම් උන් වහන්සේගේ වෙනත් බලයකින් ඇතිවුනා කියා විශ්වාස කෙරෙනවාද? නැතිනම් පාදයේ තිබූ සළකුණු ඇසුරින් කවුරුන් හෝ කරපු නිර්මාණයක්ද?

    …2. //රජ දරුවෝ කීප වරක්ම ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කෙරුණා // මෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

    …3. දළදා වහන්සේට වන්දනා මාන කිරීමෙන් මිනිස්සු පිහිටක් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනවද හසිත? තමුන්ගෙ ආගමික ශාස්තෘවරයාට ගෞරව කිරීම වරදක් නොවුනත් එමඟින් පිහිටාශිර්වාදයක් බලාපොරොත්තු වීම වැරදියි කියලයි මට නම් හැඟෙන්නෙ. බුදු දහමට අනුව තමන්ගේ ගැලවීම තමන්ම නේද?

    …4. //මේ සඳහා සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලා සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකට තමා අයිති වෙන්නේ.// මේකට විශේෂ හේතුවක් තියෙනවාද?

    …5. //එක දෙයක් පමණක් මේ අවස්ථාවේ කියන්නම් ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න ////ඊට පස්සේ දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන කරඬුව තබා තිබෙන මුතු මැණික් සහ රනින් සරසපු ආසනය පූජා කිරීම මේ ගාථාව සජ්ඣායනා කිරීමෙන් සිදු කරනවා. // මේ ටික ගැන නම් ඉහලින් ගොඩක් අය කියලා තියෙන දේවල්ම තමයි හිතුනෙ. අද කාලෙ වනවිට ආගමික කතෘවරු හැමෝගෙම වගේ ධර්මයන් වල විකෘතීන් ක්‍රියාත්මක වෙන බව පේනවා.

    …6. //වට්ටෝරු රාළ // මේ නම ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

    …7. මේ ළඟදි දළදා මාළිගාවට ගිය වෙලාවේ කෙළවරක ඉඳන් කෞතුකාගාර ඔක්කොම බැලුවා මහන්සි නොබලා..

    …8. //භික්ෂූන් වහන්සේලා අභ්‍යන්තරයේ තියෙන සෝපානයෙන් දළදාව තැන්පත් කර තිබෙන ඉහළ මාලයට පිවිසෙනවා.// රජ කාලෙත් තිබ්බද?

    …9. දැන් ඔය ජනපති මැති ඇමතිවරු ඔය අස්සේ යනවනෙ. ඒගොල්ලොත් පේවස් වෙලාද යන්නෙ. මට මතකයි ප්‍රේමදාස ජනපති පත්තිරිප්පුවට නැගලා වස් වැදුනාද මොකක්ද කතාවක්..

    ReplyDelete
    Replies
    1. 1. අපිට පේන්නට ඇත්තේ නිස්සන්ක මල්ල විසිනි කෙටූ සිරි පතුලයි. සැබෑ පතුල එම ගලට යට කර ඇති බව ජනප්‍රවාදයේ එයි.

      2. දළදවට මල් පහන් වගේ රට පූජ කරනව. ඒක කරන්න ඇත්තෙ ඔය ව්‍යවස්ථාව වගේ එකක් බන්දේසියක තියල පූජ කිරීමකින් හෝ ඔබවහන්සේට රට පූජ කරනවා කියන වක්‍යයෙන් වෙන්න පුළුවන්. රටේ අයිතිය රජාට නිසා එයා එහෙම වාක්‍යක් කිව්වොත් එක බලාත්මකයි.

      3. ඔබ හරි. දළදව තියාගෙන අරන්නෙ ආගමික සංකේතයකට වැඳීමක්. ඒක මානසික සුවය පිනිස මවා ගත් දෙයක් මිස බුදු දහමේ එන ඉගැන්වීමක් නෙමෙයි.

      4. ඔව්, සුද්දො දළදාවෙ අයිතිය ආපහු ලාන්කිකය්න්ට දෙනකොට දාපු නීතියක්. සුද්දට බැන බැන තාම කරගෙන යනව.

      9. අමු බොරු. ගිය පාර නිවාඩුවට ගියම අපිත් ඔය පත්තිරිප්පුවට නැග්ග. විදේසීය කාන්තාවක් ඕකෙ උඩඉන්නවත් මම දැක්ක, ෆොටෝත් ගත්ත.

      Delete
    2. @ හරී

      ඉන්දික අයියාත් උත්තර දීලා තියෙන නිසා මමත් ඒවායේ අඩුවැඩිය එකතු කරන්නම් :)

      1. බුදු හාමුදුරුවෝ තුන්වැනි වතාවට ලංකාවට වැඩම කරපු වෙලාවේ සමනළ කන්දටත් වැඩම කරලා ඒ මුදුනේ තිබුණු චන්ද්‍ර කාන්ති පාෂාණයක තමන්වහන්සේගේ වම් සිරිපතුල් සටහන තැබුවාය කියලා තමා කියන්නේ.

      ඉතින් මේ සිරිපතුල ආරක්ෂාවක් විදිහට මුල් කාලවල යම් යම් වැස්මවල් එහෙම තියෙන්න ඇති. පස්සේ කාලේ නිශ්ශංකමල්ල රජතුමා සිරිපතුල ආරක්ෂාවට ගල් පුවරුවකින් ආවරණය කරලා ඒ මත සිරි පතුල් සටහනක් කෙටෙව්වා කියලා කියනවා. ඊට කලින් වුණත් ඒ සිදුවීම සිදුවුණා වෙන්න පුලුවන්. මොකද ඊට කලින් මහා විජයබාහුත් සිරිපාදයට ගොඩක් අනුග්‍රහ එහෙමත් කරලා තියෙන නිසා.

      2. ඒක දළදාවට වගේම ශ්‍රී මහා බෝධියටත් ගෞරවයක් පිණිස සිදු කරපු දෙයක්. ලංකාවේ රාජාණ්ඩුවක් පැවතුණු කාලේ ලංකා භූමිය ඒ වගේම ඒකේ තියෙන සියලුම දේ රජතුමාට අයිතිනේ. ඉතින් රජතුමා මේ පූජනීය වස්තු වෙනුවෙන් තමන්ගේ හිතේ ඇතිවන අධික ශ්‍රද්ධාව නිසා මුළු ලංකාවම ඒ වස්තුව පූජා කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් ඒක සංකේතාත්මක සිදුවීමක්.

      දළදාගම් සහ ශ්‍රී මහා බෝධියට පූජා කෙරුණු ගම් පසුකාලීන රජවරු නිශ්චිතව දක්වලා තියෙනවා. ඒවා තවමත් තියෙනවා වගේමයි ඒවායේ ජනතාව ඒ වෙනුවෙන් තමන්ගේ සේවාව මේ පූජනීය වස්තුවලට සපයනවා.

      3. බුදුන්වහන්සේගේ සරණ යන බෞද්ධයන් දළදා වහන්ස්ගේ පිහිට ඉල්ලා සිටිනවා. සැබවින්ම ඒක වැරදියි තමා. නමුත් කාලාන්තරයක් තිස්සේ දළදාව විසින් සිදු කරපු පෙළහර සහ යම් යම් විශ්මයජනක කාරණා නිසා දළදා වහන්සේට ලොකු බලයක් තිබෙන බව බෞද්ධයන් විශ්වාස කරනවා. ඒ අනුව තමා දළදාවෙන් පිහිටක් ඉල්ලා සිටින්නේ.

      කෙසේ වෙතත් කාලාන්තරයක් තිස්සේ නොමඳ ගෞරවයට පාත්‍රවීමත් සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ රැකවරණය දළදාවට හිමිවීමත් බුදුන්වහන්සේගේ අධිෂ්ඨාන ඒ සමඟ තිබීමත් එක්ක කිසියම් ශක්තියක් ඒ තුළ නොතිබෙන්න බැරිකමකුත් නැහැ. ඒවා පාරභෞතික දේවල්

      4. මහනුවර රාජධානි සමය තුළ ඒ රාජ්‍යයේ පැවතුණේ සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශවය විතරයි. ඒ පාර්ශව දෙකෙන් තමා දළදා පූජාව සිදු කෙරුණේ.

      පසුව ඉංග්‍රීසින්ගේ භාරයේ තිබුණු දළදාව නැවත වරක් ලාංකිකයන්ට පවරද්දිත් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සහ දියවඩන නිළමේවරයාට තමා දළදාව අයිතියේ නැවත වරක් පෙර පරිදිම පවරන්නේ. ඒක නිසා දළදා තේවාව ඒ පාර්ශව දෙකේ ඒකාධිකාරයක් බවට පත්වෙලා තියෙනවා.

      5. හොඳම දෙයින් ඉහළම දෙයින් දළදාව හෝ පූජනීය වස්තුව පිදීම සිදු කරන්න ඕනේ කියන අදහසින් තමා ඒක සිදුවෙලා තියෙන්නේ. ඒකෙදී දේශනාවේ හරය විකෘති වෙනවද කියන එක ගැන නම් සැලකිලිමත් වෙලා අඩුයි තමා

      6. වට්ටෝරු කියන එකෙන් ලේඛන, ලැයිස්තු වගේ අදහසක්නේ එන්නේ. ඉතින් මේ නිලධාරියාත් දළදා මාළිගාවේ භාණ්ඩ භාරව ඉන්න එක, යතුරු භාරව ඉන්න එක වගේ රාජකාරි කරන නිසා මේ නම ඇවිත් තියෙනවා.

      7. කෞතුකාගාර කීයක් බැලුවද අයියා ? මහනුවර කෞතුකාර ගොඩක් තියෙනවා. දළදා මාළිගාවේ කෞතුකාගාරේ, රාජා ඇතාගේ කෞතුකාගාරේ, ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාරේ, ජාතික කෞතුකාගාරේ.

      8. වැඩසිටින මාළිගාව ඒ කාලේ ඉදන්ම තට්ටු දෙකයි තමා. ඒක නිසා පාත මාලේ ඉදන් උඩු මහළට යන්න ඇතුලින්ම පඩිපෙළක් තියෙනවා. පස්සේ කාලේ තමා වැඩසිටින මාළිගාව වටේට තිබුණු ගොඩනැගිල්ල උස් කරලා ඒකෙන් කෙලින්ම වැඩසිටින මාළිගාවේ උඩු මහළා යන්න පුලුවන් වෙන්නත් හදන්නේ.

      ඒත් තාමත් තේවා කටයුතුවලදී වගේම ප්‍රභූ අමුත්තන් දළදාව වදින්න එන්නෙත් පාතමාලයේ ඉදන් පඩි පෙළෙන්

      9. මැති ඇමතිවරුන් පේවෙලා යන්නේ කියලා නම් දන්නේ නැහැ. ඒත් ගොඩක් වෙලාවට එහෙම කරනවා ඇති කියලා හිතෙනවා.

      පත්තිරිප්පුවට නැග්ගාය කියන්නේ එතුමා පත්තිරිප්පුවේ ඉදන් [ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ලේ සදළුතලේ ඉදන්] පේන්න තමා තමා ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දුන්නේ. සාමාන්‍යයෙන් රජතුමා මහජනතාව ඉදිරියේ පෙනි සිටියේ එතනදී නිසා ජනාධිපතිතුමා රාජ්‍යත්වයක් ආරෝපණය කරගන්න ඒක කළාය කියලා කතාවක් ඇතිවුණා. ඒකත් එක්ක තමා රජතුමෙක් කරන දෙයක් කරන්න ගිහින් වස් වැදුණාය කියන කතාව ඇතිවුණේ.

      සාමාන්‍ය සංචාරකයන්ටත් පත්තිරිප්පුවට යන්න පුලුවන්. ඒකේ තියෙන්නේ පුස්තකාලයක්. හැබැයි ඒකේ සදළුතලයට යන්න නම් බැහැ මම හිතන විදිහට.

      Delete
    3. @ ඉන්දික උපශාන්ත

      ස්තුතියි අයියාගේ පිළිතුරුවලට :)

      Delete
    4. දෙදෙනාටම ස්තුතියි පිළිතුරුවලට

      …1. ඔය නිස්සංක මල්ල කියන්නෙ අනුන් කරපුවට පව තමුන්ගේ නම ගහගන්න දඟල්පු කෙනෙක් විදිහටයි මට යාන්තම් මතකයක් තියෙන්නෙ.. අර කොටා සුරංගනාවියො අල්ලපු කතාව කියවෙන්නෙත් නිස්සංක මල්ලගෙ කාලෙ කියලනෙ කියන්නෙ. එතකොට විජයබාහු කොහොමද ඊට කලින් සිරිපාදෙට අනුග්‍රහ කරන්නෙ.. ?

      …3. ඒ උත්තරයත් එක්ක හිතුනෙ ද්වියන්ට අපිට පිහිට වෙන්න පුළුවන්ද කියලා.. :)

      7. එදා පෝය දවසක් හින්දා ජාතික කෞතුකාගාරෙ වහලා තිබුනේ. මාළිගාව වටේ තියෙන අනික් ඔක්කොම කෞතුකාරගාර ඔක්කොම බැලුවා කකුල් දෙකට පින් දිදී..

      …9. සාමාන්‍ය සංචාරකයන්ට යන්න පුළුවන් බවක් දැන හිටියෙ නෑ..

      …ස්තුතියි..

      Delete
    5. @ හරී

      1. ඔව් ඔව්. මහා පරාක්‍රමබාහු කරපු නිර්මාණ කීපයකටම තමන්ගේ නම ගහගන්න නිශ්ශංකමල්ල කටයුතු කළාය කියලා කියනවා.

      කොටාගේ කතාව සුරංගනාවියෝ ඉන්න එක නිශ්ශංකමල්ලත් එක්ක සම්බන්ධ වෙලා කියවුණත් ඊට කලින් හිටිය මයා විජයබාහුගේ කාලේ සිරිපාදේට අනුග්‍රහ කරපු බවට මහා විජයබාහුගේ අඹගමුවේ ලිපියේ දැක්වෙනවා. ගිලීමලේ කියන ගම සිරිපා වඳින්න එන වන්දනාකරුවන්ගේ පහසුකම් වෙනුවෙන් රජතුමා පූජා කරලා තියෙනවා. ඒ වගේමයි පහළ කුලවල අය වෙනුවෙන් සිරිපාදේ මාලක ඉදි කරන්නටත් මහා විජයබාහු කටයුතු කරපු බව දැක්වෙනවා.

      3. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කතා පුවත් එක්ක බලද්දී නම් යහපත් අයට දෙවියන්ගේ උපකාර හිමිවෙනවා. ඒත් හැම තිස්සේම දෙවියන්ට හැමදේම භාර කරලා දීලත් හරියන්නේ නැති වගත් වැඩිදුරටත් කියවෙනවා.

      මෙතන දෙවියෝද එහෙමත් නැත්නම් විශ්ව ශක්තිය ද එහෙමත් නැත්නම් වෙනත් බලවේගයක්ද කියන එක තම තමන්ගේ නුවණින් සිතා බලන්න ඕනේ.

      9. පත්තිරිප්පුවට යන්න වගේම ඒකේ තියෙන පුස්තකාලේ බලන්න පුලුවන්. ඒත් පත්තිරිප්පුවෙන් පිටතට ඒ කිව්වේ සඳළුතලේට යන්න නම් හැමෝටම බෑ මම දන්න තරමින්

      Delete
    6. //සාමාන්‍ය සංචාරකයන්ටත් පත්තිරිප්පුවට යන්න පුලුවන්. ඒකේ තියෙන්නේ පුස්තකාලයක්. හැබැයි ඒකේ සදළුතලයට යන්න නම් බැහැ මම හිතන විදිහට.//

      දැන්නම් පත්තිරිප්පුවේ සඳළුතලයට යන්න දෙන්නේ නැහැ. නමුත් ඉස්සර යන්න දුන්නා. ඒ විතරක් නෙවේ ඉස්සර වැඩසිටින මාලයේ දළදා කරඩුව තැන්පත් කර තිබෙන කුටියට යන්න හැකියාව තිබුනා. දළදා කරඩුව ඉද්රිපස මල් පුජා කිරීමේ හැකියාව තිබුනා.ඒ දිනවල වම්පස ඇති කුඩා දොරටුවෙන් ඇතුල් වී වන්දනා කර දකුණු පස දොරටුවෙන් පිටවීම් තමා සිදී වුනේ. නමුත් දැන් රිදී දොරටුවට පිටින් ඉඳන් තමයි වන්දනා කරන්න ලැබෙන්නේ..

      Delete
    7. එකක් පැහැදිලියි.
      මේ ආකාරයට දන්ත ධාතුව ට මිනිසුන්ව දුරස්කර තැබීමෙන් එය කෙරෙහි සැමගේ සිත් තුල අනිසි ගූඨ බවකුත් මෝඩයින් ගේ සිත් තුල අනිසි සර්ථාවකුත් ඇති කළ හැකියි.

      එය අද කාලේ දන්ත ධාතුව නිසා සැප විඳින අයගේ පැවැත්මට ඉතා හොඳයි.

      එහෙම ණැතුව ඕක නිකං ඕපන් ඩිස්ප්ලේ එකේ දාලා තිබුණොත් ඔය තියෙන බිය, ගෞරවය ටික ටික අඩුවෙලා යන්න ඉඩ තියෙනවා!

      Delete
    8. @ Ayilas A

      අතීතයේ ඒ වගේ අවස්ථාවක් වන්දනාකරුවනට ලැබුණා කියලා දැණ සිටියේ නැහැ ස්තුතියි අයියාට ඒ විස්තර කිව්වාට. දැන් වන්දනාකරුවන්ට වන්දනා කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා.

      එකක් තමා තේවාවක් මැදදී සහ අවසානයේදී දළදා කරඬුව උඩුමාලේ දිග්ගෙයි ඉන්න වන්දනාකරුවන්ට දැක බලා ගන්න හම්බෙන අවස්ථාවේදී පෝලිමේ ගිහින් වැඩසිටින මාළිගාවේ උඩුමහලට ඇතුලත් වෙන්න තියෙන දොරටුව ගාව ඉදන් වන්දනා කරන එක.

      ඊටත් වඩා ළඟ ගිහින් වඳින්න පුලුවන් දළදා පූජාවක් භාරගත්තොත්. එතකොට දළදාව බුද්ධ පූජාව පූජා කරන්න වැඩසිටින මාළිගාවට උඩු මහලේ දොරටුවෙන් ඇතුල් වෙලා රිදී දොරටුවත් පහු කරලා රන් දොරටුවත් පහු කරලා කරඬුව ඉදිරිපස තියෙන පූජාසනේම භාජනය තැන්පත් කරන්න පුලුවන්.

      ඒ හැරෙන්න ඒ නඩේ අනික් ඇත්තන්ට රන් දොරටුව පහු කරන්නේ නැතුව මල් පූජා කිරීමේ අවස්ථාව එහෙම තියෙනවා.

      Delete
    9. @ කතන්දර කාරයා

      කකා කියන කතාව සමාජ විද්‍යාවේ එන Totemism කියන සංකල්පය යටතේ මැනවින් විග්‍රහ කරනවා

      Delete
  13. කුඩාම දරුවන්(අවුරුද්දට අඩු) අරගෙන දළදා කරඬුව ගාවටම අරන් යන්න ලැබෙනවා තේවාව වෙලාවට..එහිදි යම් පූජා විදියක් තියෙනවා...මට නම් යන්න බැරි උනා අපේ හාමිනේ තමයි දරුවන් අරගෙන ගියේ කීප වතාවෙම.
    එක අතකින් දළදා වහන්සේට ඇප උපස්ථාන කරන කුලයක ඉපදුනානම් කොච්චර පින්වන්තද කියල හිතුන වාර එමටයි..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      උඩරට ප්‍රදේශයේ දරුවන්ව දළදාවට පූජා කරන ඒ ප්‍රදේශවල ඈත ඉදන්ම එන චාරිත්‍රයක්. ඒකෙදී දළදා වහන්සේ වැඩ සිටින ගන්ධකුටිය ආසන්නයේ බිම තබලා ආශිර්වාද කිරීම සිදු කෙරෙනවා. දැන් නම් අනික් පළාත්වල ළමයිනුත් මේ විදිහට දළදාවට පූජා කිරීම සිද්ධ කරනවා.

      මේ වගේම සිරිතක් කරනවා කැලණි පන්සලේදිත්. කැලණි විහාර මන්දිරයේ සැතපෙන පිළිමය තිබෙන කොටසේ තියෙන පංචායුධය උඩින් කුඩා දරුවන්ව තියලා තියෙනවා ආරක්ෂාවට

      අයියාට හිතුණු එක මටත් නම් හිතිලා තියේනවා :D

      Delete
  14. හසිතගේ ව්‍යායාමය ඉහලින්ම අගය කරනවා. මටත් ඔය කකා කියනව වගේ ඕවා ගැන ඒ තරං ලොකු හැගීමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. @ දේශක යා

      ස්තුති අගය කිරීමට. ආමිෂ පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජා අගය කරන අයත් ඉන්නවානේ :)

      Delete
  15. අවුරුදු 28ක් විතර වෙලා රටින් එනකන්ම්, දලදා මාලිගාව සැදැසිතින් වැන්දා,සියදහස්වර.ඒත් ඒකේ තේවාව ස්වරුපය හරියටම දන්නේ අද.
    ඇයි මට මේක මහ විකාරයක් කියල හිතෙන්නෙ.
    මෙවා ඇත්තටම විකාරයක් නෙවෙද?
    මෙච්චර දරුවෝ බඩගින්නෙ ඉන්න රටෙ, මෙවගේ දෙයකට මෙච්චර මුදල් වැය කරන්නෙ මිලේච්ච කම නෙමේද හසිත.
    අර දත් මදිනවා,මුහුන පිහිනවා වගේ දේවල්, කොයි ලෝකෙන් ආව චාරිත්ත්‍රද?
    බුදුන් හිටියානම් මොනවා කරයිද?

    දෙය්යෝ සාක්කි, මට නම් දැන් හිතෙන්නෙම ආශොක කාරයා අපිව ඇන්දුවමයි කියල.

    ReplyDelete
    Replies
    1. well said.
      "ආශොක කාරයා අපිව ඇන්දුවමයි කියල."

      Delete
    2. //දෙය්යෝ සාක්කි, මට නම් දැන් හිතෙන්නෙම ආශොක කාරයා අපිව ඇන්දුවමයි කියල.//

      නෑ, අසෝක අපිට පාරක් පෙන්නුව. අපි ටික දුරක් ඒකෙ ගිහින්, පස්සෙ මග ගස්වල හිටිය පණුවන්ගෙන් නූල් අරන්, රෙදි කපල, මහල, ඇන්ද.

      Delete
    3. @ boo pale

      තේවාවේ ස්වරූපය සැකසිලා තියෙන්නේ ජීවමාන බුදුන්වහන්සේට කරන පූජාවක් විදිහට දළදා පූජාව කරන්න ඕනේ කියන ආකල්පයෙන්. හින්දු කෝවිල්වලත් මේ ආකාරයේ චාරිත්‍ර දේව පිළිමවලට කරනවානේ. ඒකේදීත් කිරි, තැඹිලිවලින් බොහෝ වේලා නාවලා, ඊලඟට කහ වගේ පිරිසිදු කරන දේවල්වලින් නාවලා අවසානයට වතුරෙන් නාවල, වස්ත්‍ර අන්දවලා, ධජ, චාමර ආදිය පූජා කරලා පහන් දල්වලා සුවඳ දුම් දීලා පූජා වට්ටි පූජා කිරීමත් සිද්ධ වෙනවා.

      ඉතින් මේ ආභාෂ ලැබුණා වෙන්න ඕනේ දළදා පූජාවටත්. විකාරයක් වගේ පෙනුනත් බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛයේ තිබුණු අසූහාරදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ වුණු දළදාවට මේ ආකාරයෙන්ම පූජා පවත්වන්න ඕනේ කියන සංකල්පයෙන් මේ සිරිත් හදලා තියෙනාව.

      මේ සඳහා මුදල් වැය කිරීම ගැන කිව්වොත් දළදා තේවාව උදෙසා රජකාලේ පටන් වෙන් කරපු ඉඩම් හෝ පූජා භාරගත්තු උදවියගෙන් තමා මේ පූජාව සිදුවෙන්නේ. අනෙක් සේවා සැපයීම් වුණත් ඒ පරිද්දෙන්ම තමා. දළදා පූජාවට ගත්තු ආහාර පවා සතුන් වෙනුවෙන් [නුවර වැඩේ මාළුන්ට] කොටසක් වෙන් කෙරෙන බවයි කියවෙන්නේ.

      ඒ වගේමයි දළදා වහන්සේ වෙනුවෙන් ලැබෙන ආධාර මුදල්වලින් ප්‍රජා සේවා රාශියකුත් සිදු කෙරෙන බව තමා කියවෙන්නේ. ඒ වගේමයි දළදා තේවාව නිසා තමන්ගේ ජීවිකාව පවත්වාගන්න බොහෝ දෙනෙකුත් සිටිනවානේ

      ඒක නිසා එහෙම පැත්තකුත් තිබෙනවා හිතලා බලන්න .

      අසෝකගේ ඇන්දිල්ලක් නෙමේ අපේ අයියලා වෙන වෙන පාරවල්වල ගිය නිසා වුණු දෙයක් විදිහටයි මම මේක දකින්නේ.

      Delete
    4. @ ඉන්දික උපශාන්ත

      අයියාගේ කතාව හරි. ඒ විතරක් නෙමේ අපේ පොරවල් වෙන වෙන පාරවල්වලත් යන්න ගිය එක තමා හේතුව :)

      Delete
  16. අපුරු ලිපියක්.. ස්තුතියි තොරතුරු වලට :)

    ReplyDelete
  17. මෙයා දැන් CID එකේද වැඩ..????? :p ලිපිය නම් මාරෙට වටිනවා. අගයන්න වචන නෑ. මෙච්චර කල් හිතාගෙන හිටපු ගොඩක් දේවල් වැරදී කියලා, ලිපිය කියවන කොට තේරුණා.

    මෙච්චර කල් හිතන් හිටියේ තේවාව කියන්නෙ බෙර ගහලා, හොරණෑ පිඹලා කරන ශබ්ද පූජාවට කියලා. තේවාව භාර හාමුදුරුවො ගැන ප්‍රවෘත්තිවල කියනවා නිතරම ඇහෙනවා. එතකොට ආපු ප්‍රශ්නයක් තමයි "හාමුදුරුවො කෙනෙක් මොකටද බෙර ගහන එව්වා භාරව ඉන්නෙ?" කියන එක. ඒ වගේම සිවුර පටියකින් ගැට ගහන් ඉන්නෙ මොකක් හරි නිළයක් දරන හාමුදුරු පිරිසක් කියලා තමයි හිතන් හිටියේ. වට්ටෝරු රාළ කියන්නෙ මුළුතැන්ගෙය භාරව ඉන්න කෙනාට කියලත් හිතන් හිටියා. ඒ ඔක්කොම නිවැරදි කර ගන්න මේ ලිපිය කියවලා පුලුවන් වුණා. ඒකට බොහොම පිං. ඒ වගේම උඩුමහල සහ පහත මහළ අතර තියෙන සම්බන්ධය ගැන වගේම, පූජාව උඩුමහළට අරගෙන යන්නෙ නැතුව පහත මාලයට අරගෙන යන්නෙ ඇයි? කියලා හිතේ තිබ්බ ප්‍රශ්නයටත් දැන් උත්තර ලැබුණා.

    ලිපියේ අනුරාධපුරයේ දළදා මන්දිරයේ පින්තූරයක් දාලා තිබ්බා නේද? ඒ දළදා මන්දිරය ගැනත් කරුණු හෙව්වද? අනුරාධපුරයේ දළදා මන්දිරය පිහිටලා තියෙන තැන හරියටම දන්නවද (ඇතුළු නුවර වගේ තමයි මතක නම්).

    ඒ වගේම පූජාව මහ නුවර දළදා මන්දිරයේ පහළ මාලයට ගෙනිච්චායින් පස්සෙ හේවිසි ගහන අයත් හේවිසි ගහන අතරතුර විටින් විට පහළ මාලය ඇතුළට යනවා. එහෙම යන්නෙ ඇයි කියලත් දැන ගන්න කැමතියි :)

    ReplyDelete
    Replies
    1. @ Danula Wickramaarachchi

      මල්ලිගේ ගැටලු ගොඩකට පිළිතුරු සපයන්න පුලුවන් වුණු එක ගැන සතුටුයි. මුළුතැන්ගෙයි භාරව ඉන්න කෙනා මුළුතැන්ගෙයි රාළ. ඒක වෙනමම නිළයක්.

      අනුරාධපුරේ දළදා මාළිගාවේ පින්තුරේ ගත්තේ අපේ මාමා කෙනෙක් අපිට අනුරාධපුරේ තියෙන අප්‍රකට තැන් කීපයක් පෙන්නන්න එක්කගෙන ගිය වෙලාවේ. පාර නම් මට එහෙම්ම මතකයක් නැහැ මල්ලී.

      හේවිසි ගහන අය ගැන අහපු ප්‍රශ්නය පැහැදිලි මදි. පොඩ්ඩක් ආයි ඒ ගැන කියන්න හරියට

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. තේවාව ගහන අය තේවාව ගහන "අතරතුර" මාරුවෙන් මාරුවට පහත මාලයේ ගොඩනැගිල්ල ඇතුළට යනවා මම වීඩියෝ වලින් දැකලා තියෙනවා. තේවාව යන අතර තුර ඒ අයට පහත මාලයේ ගොඩනැගිල්ල ඇතුලෙ තියෙන ගනුදෙණුව මොකක්ද කියලා තමයි දැන ගන්නයි ඕන....

      Delete
    4. පහත වලට ගිහින් වීඩියෝ ටික සම්පූර්ණයෙන්ම බැලුවම, මං කියන්න තටමන දේ තේරෙයි :)

      1. http://www.youtube.com/watch?feature=player_embedded&v=jrJfkAsE29c

      2. http://www.youtube.com/watch?feature=player_embedded&v=LLz1EilAtXM

      ගොඩක් වීඩියෝ තිබ්බා. ඔච්චරයි මතක :3

      Delete
    5. @ Danula Wickramaarachchi

      මේ වීඩියෝ එකෙන් නම් මට පෙනුණේ මොකක් හරි කාරියකට එයා පාත මාළයෙන් වැඩ හිටින මාළිගයට ඇතුල් වෙලා ඉක්මණටම තමන්ගේ රාජකාරියට ආවා වගේ. මාරුවෙන් මාරුවට යන බවක් නම් පෙනුණේ නැහැනේ මලයා

      Delete
    6. පළවෙනි වීඩියෝ එකේ අන්තිම හරිය ටිකක් හොදට බලන්න. ඇතුලෙ ඉදන් එක්කෙනෙක් ඇවිත් බෙරේ ගැට ගහගෙන ඒක ගහන්න ගන්න කොට, එයාට ඉස්සරහා ඉන්න එක්කෙනා ගැට ගහගෙන ඉන්න බෙරේ ලිහනවා :)

      Delete
    7. කොහොම හරි මට දැන ගන්න ඕන වුණේ මොකක්ද ඒ "කාරිය" කියලා

      Delete
    8. @ Danula Wickramaarachchi

      පළවෙනි වීඩියෝ එකේ හැටියට ඇතුළේ ඉදන් ආපු කෙනෙක් නෙමෙයි පැත්තක හිටිය කෙනෙක් තමා ඇවිත් දවුල බැඳගෙන ගහන්න පටන් ගන්නේ. එක් කෙනෙක්ට වාදනය කරද්දී එන මහන්සිය නිසා මාරුවෙන් මාරුවට දවුල ගහනවා කියලයි මට නම් පෙනුණේ මලයා

      Delete
  18. හසිත මල්ලි ආයෙ ලියන්න ගත්තු එක ගැන මුලින්ම සතුටුයි. කාලෙකින් මේ පැත්තේ ආවෙ.
    මම දන්න තරමින් නම් බුදු කෙනෙක් වෙනුවෙන් අපට කරන්න පුලුවන් උපරිම පූජාවල් කිරීමේ කිසිම වරදක් නැහැ. ධාතු වන්දනාව විශේෂයෙන් ප්‍රචලිත වෙන්නේ අපේ ගෞතම බුදු රජාණන්වහන්සේ වගේ අල්ප ආයුෂ සහිත බුද්ධ සාසන වල. එහෙම බුදුවරු ධාතු විසිරෙන්න අධිෂ්ඨාන කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවෙසෙන කාලෙ බොහෝ පිරිසකට වන්දනා කරල පින් රැස් කරගන්න අවස්ථාව නොලැබෙන නිසා කියල මම අහල තියෙනවා. අනිත් කාරණේ තමයි ගිහියන් විදියට අපි අගේ කරන රන් රිදී මුතු මැණික් පූජා කිරීම. මේ දෙවල් පුජ කරන්නේ අපිට කරන්න පුලුවන් උපරිම විදියේ පූජාවන් කිරීමේ අරමුනින් නම් මට ඒකෙ වරදක් පේන්නේ නැහැ. එහෙම වන්දනාවක් මමත් සතුටින් අනුමොදන් වෙනවා. අපි ඒ පූජාව කරන්නෙ නිකෙලෙස් උත්තමයෙක් වෙනුවෙන්. මේ පූජාවල් නිසා උන්වහන්සේගේ සිතේ කෙලෙස් ඇති වෙන්නෙ නැහැ.
    මේ වන්දනා සිරිත් ගැන අපිව දැනුවත් කරාට හසිත මල්ලිට බොහෝ පින් අත්වේවා!!!

    ReplyDelete
    Replies
    1. @ rvajee

      අක්කාගේ කරුණුවලටත් බොහොම ස්තුතියි. දීර්ඝායුෂ තිබුණු බුදුවරුන්ගේ ධාතු එක කැටියක් වෙනවා කියලා තමා මාත් අහලා තියෙන්නේ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා එක ස්ථූපයක් තැන්පත් කර පුද පූජා පවත්වනවාලු.

      මේ කතාවේ තව කොටසක් තිබෙනවා. ඒකත් කියවන්න කියලා ආරාධනා කරනවා අක්කාටත්. ඔන්න පිනත් අනුමෝදන් කරගත්තා :)

      Delete
  19. apuru lipiyak saho..mehema deyak gana hoyala balala liwata godak sthuthi !!!

    Ihalin tiyana comment walin kiyala tiyanawb wagema matath me thewawe samahara dewal harayak na kiyala hithuna.kula balala tanaturu walata ganillanam budu dahamata anuwath patahani ne.

    Budun wahanse piriniwan manchayedi kiwwe unwahanse wenuwata darmaya guruwaraya,nayakaya karaganna kiyalane.

    aamisa pujawata wada prathipaththi pujawata thanak denna kiyalane unwahanse deshana kalet.

    Kohoma unath ape kama raka gena me tewawan kerena eka gana sathutui.namuth budun wahanse jiwamanawa hitiyanam me taram dewal anumatha karana ekak na.shaddawak gawurawayk athi kirimata me wage tewawan pitiwahalak kiyalai mata nam hithenne.

    ReplyDelete
    Replies
    1. @ Damith Sriyantha

      ඇත්ත. බුදුන් වහන්සේ ප්‍රතිපත්ති පූජාව අනුදැන වදළා තමා. නමුත් කාලානුරූපිව අනෙක් ආගම්වලත් ආභාෂය ඇතිව මේ ආකාරයෙන් යම් යම් පුද සිරිත් ඇතිවෙලා තිබෙන බව පැහැදිලියි.

      කෙසේ නමුත් කාලාන්තරයක් තිස්සේ අපේ සංස්කෘතියත් එක්ක මේ සිරිත් පැවතුණා වගේමයි අද දක්වාම ආරක්ෂා කෙරුණා. ඉදිරියටත් පවත්වාගෙන යන්න කටයුතු සිදු කෙරෙනවා. මේ තත්වය හරි වැදගත්.

      පුද්ගල චරිත වෙනස් නිසා ඇතිවන සිතුවිලි විවිධාකාරයි. ඒත් මේ ආකාරයෙන් උතුම් පුද පූජා පවත්වන්නේ අපේ බුදු හාමුදුරුවන්ට නේද ? මෙතරම් පුදපූජාවලට ලක්වෙන්න උන්වහන්සේ කෙතරම් නම් ශ්‍රේෂ්ඨද කියලා හිතලා හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගන්න උදවිය නැතුවාම නොවේ

      Delete
  20. ඇත්තටම වටින ලිපියක්... නොදන්න තොරතුරු බොහෝමයක් ඉගෙන ගත්ත...
    දන්නවද ලංකා ඉතිහාසයේ වැඩියෙන්ව ලේ හෙල්ලිලා තියෙන්නෙත් දළදා වහන්සේ සම්බන්ධ සිදිවීම් වලික් වග

    ReplyDelete
    Replies
    1. @ Mahesh Rathnayaka

      ස්තුතියි අගය කළාට. දළදා වහන්සේ සම්බන්ධ සිදුවීම්වලින්ම වැඩි වශයෙන් ලේ සෙලවිලා තියෙනවාය කියන එක ටිකක් ගැටලු සහගතයි නේද ? ඒ නිසා ඔබේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා.

      Delete
  21. ඊට පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ධෝවනය කිරීම සංකේතවත් කරමින් තෙවරක් කාලාන්සියට ජලය වත් කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා.
    කාලාන්සිය කියන්නේ මොකක් ද??


    දළදා වහන්සේට හාල් සේරු 32 ක් හා ව්‍යාන්ජන 32 පූජා කරනවා ලු. මම අහල තියෙන වදිහට චක්‍රවර්ති රජෙකුට කෙරෙන පූජාවන් සමානව සලකනවා ලූ... රාජ්‍යත්වයෙන් පිදීම යනු රටේ රාජ්‍යත්වය පැවරීම.. ඒ නිසානෙ ආදි සිංහලයා දළදා වහන්සේ ලග ඇත්නම් පමණක් රාජයේ රජ වශයෙන් පිලි ගත්තේ.. ඒකනෙ සුස්දෝ දළදා වහන්සේව සෙව්වේ...

    ReplyDelete
    Replies
    1. @ Lakshitha Perera

      කාලාන්සිය කියන්නේ පඩික්කමට කියන නමක් කියලා ඒ බව සඳහන් කළ මුල් අවස්ථාවේදීම සඳහන් කළා. පඩික්කම කියන්නේ දමිළ වචනයක් මට මතක විදිහට.

      දළදා වහන්සේට ආහාර පූජා කිරීම ගැන මීළඟ ලිපියෙන් කියවෙන නිසා හාල් සේරු 32 වෑංජන 32 සම්බන්ධව ඊළඟ ලිපියෙන් තමා කතා කෙරෙන්නේ. දළදාවට සක්විති රජ කෙනෙක්ට සමානව පුද පූජා කරනවා කීමටත් වඩා බුදුන් දවස ආනන්ද හිමියන් බුදුන් වහන්සේට සිදු කළ පුද සත්කාර හා රජෙක්ට පරිවාර ජනයා සිදු කරන පුද සත්කාර සිදු කරනවා කියන එකයි වඩා නිවැරදි වෙන්නේ.

      රාජ්‍යත්වයෙන් පිදීමක් දළදාවට සිදු කෙරුණේ නැහැ. සිදුවුණේ ලංකා රාජ්‍යය දළදාවට පූජා කිරීම. ඒ අනුව ලංකාවේ හිමිකරුවා බවට දළදාව පත් වෙනවා. ඒ අනුව දළදාව ලංකාවේ රජු බවට පත්වෙනවා. ඒත් ඒක සංකේතාත්මකව සිදු කෙරෙන්නක්. ලංකාවේ රජු බුදු සසුනට මුල් තැන දෙමින් කටයුතු සිදු කෙරෙන බව පෙන්වීමටයි ඒ බව සිදු කෙරුණේ.

      අනික් අතට ඒ පිදීම නීත්‍යානුකූලයි කියලා අපි හිතා බැලුවත් ඒක පිළිගන්න බැරි ඊට පෙර ලංකා රාජ්‍යය ශ්‍රී මහා බෝධියට පුදලා තිබෙන නිසා.

      Delete
  22. බොහොම ස්තුතියි. මේ දීර්ග විස්තරේට. දළදා මාලිගාවේ දානය සාමාන්‍ය කෙනෙකුට බාර ගන්න පුළුවන්ද. ගොඩක් දෙනා ශ්‍රද්ධාවට ගරහලා තිබ්බට සෝවාන් වීමේ පළමු පියවර පටන්ගන්නෙත් ශ්‍රද්ධාවෙන් බව අමතක වීම ගැන නම් දුකයි.

    ReplyDelete
  23. ලිපියේ සාරවත් බව දැක,එයට එවා තිබූ Comment සියල්ල ත් කියවන්න සිතුණා. කියෙව්වා. ඔබගේ දැනුම බෙදාදුන්නාට පිං ඇදුරුතුමනි

    ReplyDelete
  24. දළදා හාමුදුරුවෝ වැඩ වසන තැන ගැන ලිපියක් තාම දාල නෑ නේඩ්ග

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................