Showing posts with label ඉතිහාස කතා. Show all posts
Showing posts with label ඉතිහාස කතා. Show all posts

Saturday, February 15, 2014

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ නායකයන්ගේ ඡායාරූපයේ ඇති මිථ්‍යාව


අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා. 

ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් විතරයි.

උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්

කාට හරි ඕනේ නම් මේකට ප්‍රති තර්කයක් විදිහට කියන්න පුලුවන් රදළ ප්‍රධානීන් 11 දෙනාම එකම දවසේ නෙමෙයිනේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ කාරණාවත් ඇත්ත තමයි. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම

ඒ ගැන සවිස්තරව කිව්වොත් 1815 මාර්තු 2 වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට අත්සන් තැබුවේ නැහැ. 

යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.

මුල් අවස්ථාවේ ගිවිසුමට අත්සන් තබපු රදළ ප්‍රධානීන් 7 දෙනා තමා මේ ඡායාරූපේ ඉන්නේ කියලා කාට හරි හිතුණත් ඒකත් එක්ක ගැටලු කීපයක් ඇතිවෙනවා. 

ප්‍රධානම ගැටලුව තමා 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණය විධිමත් අන්දමින් තිබුණාද කියන එක. ඡායාරූප ශිල්පයේ ඉතිහාසයට අනුව ලොව පළමු ඡායාරූපය විදිහට පිළිගැනෙන්නේ 1826 දී ගත්ත ඡායාරූපයක්. [මේ සම්බන්ධව මාව නිවැරදි කරපු හැමෝටම ස්තුතියි.]

ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන 1826 දී ගනු ලැබූ ඡායාරූපය

මෙන්න මේ විදිහට කරුණු කාරණා යෙදිලා තියෙද්දී තමා දවසක් මට බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ තිබිලා මෙන්න මේ ඡායාරූපය හම්බෙන්නේ. 


උඩින්ම තියෙන අපැහැදිලි ඡායාරූපයේ හොඳ මට්ටමේ තියෙන ඡායාරූපය මේක කියලා පැහැදිලියිනේ. වෙබ් අඩවියේ තියෙන විස්තරේට අනුව ඒ ඡායාරූපය 1870-1880 අතර කාලයේ ගත්තු එකක් කියලා තමා කියන්නේ. 

දැන් එකින් එකට අපේ කතාවට ආවොත් මේ ඡායාරූපයෙන් අපට පේනවා මේ රදළ ප්‍රධානීන් වාඩිවෙලා ඉන්නේ දළදා මාළිගාවේ වැඩසිටින මාළිගාව ගාව කියලා. ඒ වගේමයි වැඩ සිටින මාළිගාව වටා සකස් කරලා තියෙන පොල් තොරණ් කීපයකුත් පේන්න තියෙනවානේ. 

උඩරට ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ දළදා මාළිගාව අසළ තියෙන මඟුල් මඩුවේ. ඒත් ඒ වෙනුවෙන් දළදා මාළිගාවේ වැඩ සිටින මාළිගාව වටේ පොල් තොරණ් ඉදිකළා වෙන්න බැහැ. ඒ වගේමයි මඟුල් මඩුවේ තිබුණු උත්සවයකට සම්බන්ධ වුණු රදළ ප්‍රධානීන් දළදා මාළිගාව අභ්‍යන්තරයට ඇවිත් ඡායාරූපයකට පෙනී හිටියා වෙන්නත් බැහැ. 

ඒ වගේමයි කලින් මතු කරපු ප්‍රධානම සාධකය වෙන 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණයක් තිබුණේ නැහැ කියන කාරණේත් එක්ක මේ ඡායාරූපය 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු උඩරට රදළ ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපය කියන මතය පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. 

දැන් ඊළඟ එන ප්‍රශ්නය තමා එහෙනම් මේ ඡායාරූපය මොකක්ද කියන එක. මම අනුමාන කරන විදිහට මේ ඡායාරූපයේ ඉන්නේ 1870-1880 කාලයේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු වගේම දළදා මාළිගාවේ නිළධාරීන් කීප දෙනෙක් වෙන්න ඕනේ. ඒ දළදා මාළිගාවේ නිලධාරීන් දෙන්නා කාරියකරවන රාළ සහ ගජනායක නිළමේ වෙන්න ඕනේ.

මේ කාලවකවානුවේ දියවඩන නිළමේ ධූරය හොබවපු කුඩාබණ්ඩා දුනුවිල නිළමේතුමා තමා මැදින් වාඩිවෙලා ඉන්න උපැස් යුවළක් පැළැඳි පුද්ගලයා කියලයි මම අනුමාන කරන්නේ. කණගාටුවට කාරණය තමා එතුමාගේ ඡායාරූපයක් දළදා මාළිගාවේ වෙබ් අඩවියේ පවා දැකගන්න නැති එක.


මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං 

කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ  1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි. 

කවුරුන් හරි ඉදිරියට මේ වරද දකිනවා නම් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතනවා. 

ප.ලි.: ගිය අවුරුද්දේ මැයි ඉදන් blog එක ලියන එක අතෑරිලා තිබුණේ කැම්පස් එකේ තිබුණු වැඩ රාජකාරිත් එක්ක. අපේ අන්තිම අවුරුද්දේ විභාග වගේම උපාධි නිබන්ධිකාවේ වැඩත් එක්ක හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. අපේ department එකෙන් organize කරපු හද බැඳි ගී ප්‍රසංගය නිසා වගේම තාත්තා අසනීප වෙලා සති 2 කට කිට්ටු කාලයක් රෝහල් ගතවෙලා හිටිය නිසා ඒ කාර්යබහුලත්වය තවත් වැඩිවුණා. 

විභාග කටයුතු ජනවාරි 7 ඉවර වුණත් කලින් අවුරුද්දක ගිය සූරියගොඩ නරේන්ද්‍රාරාම රාජ මහා විහාර ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව හදන එක සමුගැනීමේ සාද සංවිධානය කරන එක වගේම සංස්කෘත සහිතක පත්‍ර පාඨමාලාවක් නිසා වැඩ ගොඩ වෙලා තිබුණේ.

ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)

විශේෂ කාරණා දෙකක් කියන්න ඕනේ. පළවෙනි එක තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව සාර්ථක කරගන්න බ්ලොග් අවකාශයේ වගේම මුහුණු පොතේදී හිතවත් වුණු බොහෝ දෙනා උපකාර කළා. විශේෂයෙන්ම පොත් පත් කීපයක් හොයලා දෙන්න ඒ වගේමයි වැදගත් ඡායාරූප වගේම කරුණු හොයලා දෙන්නත් හුඟක් දෙනාගේ උදව් හම්බුණා.

නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...

අන්තිමට මට කියන්න තියෙන්නේ මමිත්‍රස්‍ය කුතඃ සුඛම් (මිත්‍රයන් නැත්තා හට කවර නම් සැපතක්ද ?)

Saturday, April 20, 2013

උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19

සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. 

උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල. 

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව

මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.

ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා. 

I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.

මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා. 


ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.

කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්. 

මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්. 

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්. 

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්

".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."

ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.

ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.  

උඩරට රාජධානි අවසාන සමයේ රාජකීය මුද්‍රාව

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
 
පෘතුගාල රාජකීය ලාංඡනය

උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ. 

ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.

 මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව

ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.

විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.

 මහනුවර නාථ දේවාලය

ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.

ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්. 

 විෂ්ණු දෙවියෝ

මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ  කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.

 කතරගම දෙවියෝ

මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.

 බදුලු කතරගම දේවාලය

මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.

III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.

මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.


අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.

සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.

“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර  මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”

මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.

වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.

හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට

බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින

තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා

දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා

මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.

 දොඩන්වල දේවාලය

පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.

ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.

 දොඩන්වල දේවාලය

විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.

නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.

මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.

ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.

මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.

ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.

නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html   
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062

ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D

ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)

Sunday, April 7, 2013

සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ???


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D

අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.

වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.  

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක.  ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක. 

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය. 

අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ  අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය. 

අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ. 

අං ඇදීම

වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි. 

කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ. 

අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.

උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය. 

කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ. 

මහනුවර රජ මාළිගය

නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත. 

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ. 

II රාජසිංහ රජතුමා සහ රදළ ප්‍රධානීන්

අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත. 

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ. 

රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.

[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]

Sunday, March 24, 2013

එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ???

 පාප්වරු තුන් දෙනෙක්

මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්.

ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල වශයෙන්ම පත් කෙරුණු පාප්වරු තුන් දෙනෙක් එකම කාලෙක හිටියා කියන කතාව නම් ඇත්ත. වැඩි කතා ඕනේ නැහැ අපි කතාවට බහිමුකෝ.

VIII වෙනි බොනිෆස් පාප්තුමා

කතාව පටන් ගන්නේ 1294 දී පාප් ධූරයට පත්වුණු VIII වෙනි බොනිෆස් පාප්තුමාගෙන්. මේ වෙද්දී ක්‍රමයෙන් කතෝලික පල්ලියට දේශපාලනික වගේම ආගමික අතිනුත් විවිධාකාරයේ ගැටලු මතුවෙමින් තිබුණු කාලයක්. මේක නිසා පල්ලියේ බලය තහවුරු කරගන්න ලෞකික අධිකාරයට වඩා ආගමික අධිකාරය උතුම් කියපු බොනිෆස් පාප්තුමා ඒක සනාථ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා. 

ඒ යටතේ 1298 දී පාප්තුමාගේ අවසරයක් නැතුව පූජකවරුන්ගෙන් බදු අය කරන්න රජවරුන්ට අවසරයක් නැහැ කියලා නියෝගයක් නිකුත් කරන්න එතුමා කටයුතු කරනවා. ඒත් ඒ වෙද්දී ජාතික රාජ්‍ය වශයෙන් නැගී ගෙන ආපු ප්‍රංශය වගේම එංගලන්තය නම් ඒකට කැමති වුණේ නැහැ. 

විශේෂයෙන්ම එංගලන්තයේ I වෙනි එඩව්ඩ් ප්‍රංශයේ IVවෙනි පිලිප් වගේ රජවරු මේ නියෝගයට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිව පල්ලි ඉඩම්වලින් බදු අය කරන්න පටන් ගත්තා. මේ නිසා පාප්තුමාට සිද්ධ වෙනවා ජාතික හදිසි අවස්ථාවන්වලදී පූජකවරුන්ගෙන් බදු අය කරගන්න රජතුමාට පුලුවන් කියලා තමන්ගේ නියෝගය සංශෝධනය කරගන්න. 

ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා

මේ විදිහට පාප්තුමායි රජවරුයි අතරේ ගැටුමකට මුල පිරෙද්දී තමා ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශයේ හිටිය බිෂොප්වරයෙක්ව අත් අඩංගුවට ගන්නේ. මේ වැඩේට විරුද්ධ වුණු පාප්තුමා රජතුමාව කතෝලික ආගමෙන් නෙරපනවා කියලා තර්ජනය කරනවා. 

රජතුමා ඒ තීරණය ගැන කෝපවෙලා VIII බොනිෆස් පාප්තුමාව ඉවත් කරලා වෙන අයෙක්ව පාප් ධූරයට පත් කරන්න තීරණය කරලා 1303 සැප්තැම්බර් මාසයේදී ඉතාලි රදළ පිරිසකගේත් උදව් ඇතුව පාප් මාළිගාවට පහරදීලා පාප්තුමාව සිරභාරයට ගන්නවා. කොහොම නමුත් පස්සේ මේ සිද්ධිය සමථයකට පත්වුණත් සිද්ධිය නිසා ඇතිවුණු කම්පනයෙන් VIII බොනිෆස් පාප්තුමා මාසයකට පමණ පස්සේ ස්වර්ගස්ථ වෙනවා. 

V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා

මේක තමන්ගේ අවස්ථාව කරගන්න ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශ ජාතික පාප්තුමෙක්ව පත් කරගන්න කටයුතු කරනවා. ඒ යටතේ පත්වුණු V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා රෝමයේ පාප් මාළිගාවට යන්නේ නැතුව අග්නිදිග ප්‍රංශ සීමාවේ රොන් ගඟ ගාව තියෙන ඇවිග්නොන් කියන නගරයේ වාසය කරනවා. 1309 ඉදන් 1377 වෙනකම් බැබිලෝනියන් අත් අඩංගුව කියලා හඳුන්වන මේ කාලයේ පත්වුණු හැම පාප්තුමෙක්ම වාසය කරන්නේ මේ නගරයේ.

මේ කාල සීමාවේදී හැම පාප්තුමෙක්ම ප්‍රංශ ජාතිකයන් කාඩිනල්වරුන් විදිහට වැඩි වශයෙන් පත් කරගත්තා වගේම ඒක නිසා හැම විටම වගේ පාප් ධූරය ප්‍රංශ ජාතික කාඩිනල්වරයෙක්ටම හිමිවුණා. මේ නිසාම ප්‍රංශයට හිතැති සහ වාසිදායක වෙන තීරණ පාප්වරු ගත්තා වගේම ක්‍රමයෙන් කතෝලික පල්ලියේ විවිධාකාරයේ ගැටලු ඇතිවෙන්න පටන් ගත්තා. 

  XI වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ කාලයේදීම පාප්තුමාට අයිති වෙලා තිබුණු ඉතාලි ප්‍රදේශ අහිමි වීමේ තර්ජනයක් එහෙමත් ආපු නිසා රෝම වැසියන්ගේ ඉල්ලීමට XI වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී XI වෙනි ග්‍රෙගරි පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක රෝම හෝ ඉතාලි කාඩිනල්වරයෙක් පාප් ධූරයට පත් කරන්න කියලා මහජන මතයක් ගොඩනැගුණු නිසා කාඩිනල්වරු ඉතාලි ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ VI වන අර්බන් පාප්තුමා. 

 VI වන අර්බන් පාප්තුමා

එතුමා උත්සහ කරන්නේ ප්‍රංශ ආදිපත්‍යට නතු වෙලා තිබුණු පාප් ධූරය නැවත වරක් ස්වාධීන කරන්න. ඒ යටතේ එතුමා අලුතෙන් කාඩිනල්වරු 28 ක් පත් කරලා කාඩිනල් මණ්ඩලයේ ප්‍රංශ බලය අවම කරන්න කටයුතු කරනවා. ඒත් ඒ කටයුත්තට එරෙහිව නැගී සිටිය ප්‍රංශ කාඩිනල්වරු VI වන අර්බන් පාප්තුමාගේ පත්වීම වලංගු නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරලා VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්තුමෙක් පත් කරගන්නවා. 

VII වන ක්ලෙමන්ට් පාප්තුමා

පාප් ධූරය අත් හරින්න අකමැති වුණු VI වෙනි අර්බන් පාප්තුමා VII වන ක්ලෙමන්ට් පාප්තුමා කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමාත් දැන් නිත්‍යානුකූල පාප්තුමා තමන් කියලා ප්‍රකාශ කරලා VI වෙනි අර්බන් පාප්තුමාව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. 

මේ නිසා එකම කාලේ පාප්වරු දෙන්නෙක් කතෝලික ජනතාව පාලනය කරනවා. VI වෙනි අර්බන් පාප්තුමා රෝමයේ කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයනවා. ඉතාලිය, ජර්මනිය, එංගලන්තය වගේ රටවල් එතුමාට පක්ෂපාතී වෙනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමා ඇවිග්නොන් නගරය කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයවා. ප්‍රංශය, ස්කොට්ලන්තය, නේපල්ස්, ස්පාඤ්ඤය එතුමාට පක්ෂපාතී වෙනවා. 

1389 දී VI වෙනි අර්බන් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකා විදිහට IX වෙනි බොනිෆස් පාප්තුමා පත්වෙනවා.

1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XIII වෙනි බෙනඩික් පාප්තුමා පත් වෙනවා.

1404 ඔක්තෝබර් මාසයේදී IX වෙනි බොනිෆස් පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට VII වෙනි ඉනසන්ට් පාප්තුමා පත් වෙනවා. 1406 දී එතුමා ස්වර්ගස්ථ වීමත් එක්ක XII වෙනි ග්‍රෙගරි පාප්තුමා පත් වෙනවා.

XII වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ තත්වයත් එක්ක කතෝලික සභාව බිඳ වැටීමේ තර්ජනයක් එල්ල වෙන්න පුලුවන් නිසා කතෝලික සභාව බේරා ගැනීමේ අරමුණෙන් සංහිදියා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. පැරිස් විශ්වවිද්‍යාලයේ බුද්ධිමතුන් වගේම ආච් බිෂොප්වරු, බිෂොප්වරු, ඇබට්වරු, එංගලන්ත, ප්‍රංශ, ජර්මන්, පෝලන්ත, සිසිලි රජවරුන්ගේ නියෝජිතයන් කියන මේ සියලු දෙනාම 1409 දී ඉතාලියේ පීසාවලට රැස් වෙනවා. මේ එකතුව Council of Pisa නමින් හැඳින්වෙනවා.

මේ සමුළුවේදී XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් කියන පාප්තුමන්ලා දෙන්නාම ධූරවලින් පහ කරලා ග්‍රීක ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා. ඒත් ගැටලුව වෙන්නේ පීසා සමුළුවේ තීරණය පිළිගන්න XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් පාප්තුමන්ලා අකමැති වීම 

 V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා

මේ නිසා එකම කාල සීමාවේ XII වෙනි ග්‍රෙගරි, XIII වෙනි බෙනඩික්, V වෙනි ඇලෙක්සැන්ඩර් නමින් පාප්තුමන්ලා තුන් දෙනෙක් ඉන්නවා. 1410 දී V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XXIII වෙනි ජෝන් පාප්තුමා පත් වෙනවා. 

Council of Constance

තත්වය තව දුරටත් අවුල් ජාලාවක් වෙන නිසා 1414 ඉදන් 1418 වෙනකම් මීටත් වඩා පුළුල් නියෝජනයක් ඇතුව ශුද්ධ රෝමානු අධිරාජයා වුණු සිගිස්මන්ඩ්ගේ මූලිකත්වයෙන් කොන්ස්ටන්ස් නගරයේදී සම්මේලනයක් පවත්වන්න පිරිස කටයුතු කරනවා. මේ එකතුව Council of Constance නමින් හැඳින්වෙනවා.

 XXIII වෙනි ජෝන් පාප්තුමා

ඒ යටතේ XXIII වෙනි  ජෝන් සහ XIII වෙනි බෙනඩික් කියන පාප්වරුන් Anti Popes විදිහට නම් කරලා ඔවුන්ව ධූරයෙන් පහ කරනවා. ඒ වගේමයි XII වෙනි ග්‍රෙගරි පාප්තුමාවත් ධූරයෙන් පහ කරලා එතුමාට Cardinal Bishop of Porto and Santa Ruffina කියන ගෞරව තනතුර ප්‍රදානය කරනවා. එතුමා මේ සම්මේලනය අතරවාරයේදී ස්වර්ගස්ථ වෙන නිසා අවසානයේදී සම්මේලනයේ එකඟත්වයත් මත එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට V වෙනි මාර්ටින් පාප්තුමා 1417 දී තෝරා පත් කර ගන්නවා.  

XIII වෙනි බෙනඩික් පාප්තුමා

XXIII වෙනි ජෝන් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න කැමති වුණත් XIII වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න අකමැති වෙන නිසා එතුමාව කතෝලික සභාවෙන් නෙරපන්න සම්මේලනය තීරණය කරනවා. ඊට පසුව Perpignan ප්‍රදේශයේ වාසය කරපු XIII වෙනි බෙනඩික් 1423 දී ස්වර්ගස්ථ වෙනකම්ම ප්‍රකාශ කරන්නේ නියම පාප්තුමා තමන් කියලා. 

XXIII වන ජෝන්ගේ සොහොන

පසුව පත්වුණු V වෙනි මාර්ටින් පාප්තුමා යටතේ XXIII වෙනි ජෝන් Tusculum ප්‍රදේශයේ කාඩිනල් බිෂොප් වශයෙන් කටයුතු කරලා 1418 දෙසැම්බර් ස්වර්ගස්ථ වෙනවා. 

 V වෙනි මාර්ටින් පාප්තුමා

සම්මේලනයේදී XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් වගේම VII වෙනි ක්ලෙමන්ට්, V වෙනි ඇලෙක්සැන්ඩර් කියන පාප්වරුත් Anti Popes ලා විදිහට නම් කෙරෙනවා. ඒ විදිහට තමා පාප්වරුන් තුන් දෙනෙක් එකම කාලේ හිටිය ප්‍රශ්නේ නිරාකරණය වුනේ.

 Council of Constance

ඔක්කොම නම් ගම් පැටලෙනවා වගේ නම් පහළින් තියෙන රූප සටහන බලන්නකෝ.


මේ සටහන ගැන අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගිහාන් සහෝදරතුමාට සහ හරී අයියාට යොමු කරනු ලැබේ :D

ප.ලි.: වැස්ස වෙලාවට කරන්න දෙයක් නැති නිසා පරණ ඉතිහාසය පොත් ටිකක් කියවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ යුරෝපයේ ඉතිහාසය පොතේ තිබිලා මේ කතාව හම්බුණේ. පලිප්පු දාන්න විස්තර ගත්තේ විකිපීඩියාවෙන්

ප.ප.ලි.: මුල්ම ෆොටෝ එක ඉස්සුවේ හරී අයියාගෙන් :)

Sunday, March 17, 2013

ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18

අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. 

මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ලැබුණු නිසා. 

පුද්ගලයා කවුද කියලා කිව්වොත් ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්. ඒ කවුද කියලා මතක තියෙන අයට මතක් වෙන්න ඇති මේ කවුද කියලා. ජෝන් පයිබස් කියන්නේ උඩරට රාජධානියේ රජතුමා හමුවෙන්න ආපු පළමුවෙනි ඉංග්‍රීසි නියෝජිතයා. 

මෙයා 1762 දී තමා ලංකාවට එන්නේ. එයාගේ දූත මෙහෙවර ගැන සකසපු වාර්තාව 1862 දී ප්‍රකාශයට පත් වෙනවා. ඒක මේජර් ආර්. රේවන් හාර්ට් විසින් සංස්කරණයට ලක් කරලා The Pybus Embassy to Kandy, 1762 නමින් කෘතියක් නිකුත් කරනවා. රාජේන්ද්‍ර බණ්ඩාර විස්න් ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර නමින් ඒක සිංහලයට පරිවර්තනය කරනවා. ඒක තමා මම කියවපු පොත. 

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ 18 වන සියවස අග භාගය වෙද්දී උඩරට රාජධානියේ ඇතිවෙලා තිබුණු තත්වය, ජෝන් පයිබස්ගේ ආගමනයට වටපිටාව සැකසුණු ආකාරය, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර සහ ජෝන් පයිබස්ගේ අවසානය ගැන.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

18 වන සියවස අග භාගය කියන්නේ කන්ද උඩරට රාජධානියට දේශපාලනික අතින් නම් එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අවුරුදු 13 ක් තරම් ලාබාල වයසේදී රජ වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආගමික ප්‍රතිපත්ති අතිශය සාර්ථක වුණු බව ප්‍රකට කරුණක්නේ. 

1753 දී ලන්දේසි ආධාර ඇතිව සියම් රටින් උපසම්පදා භික්ෂූන් වැඩම කරවලා නැවත වරක් උපසම්පදාව පිහිටුවන්න රජතුමා සමත් වෙනවා. ඒ වගේමයි වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන්නේත් මේ රජතුමාමයි. ඒත් 1760 දී රජතුමාව මරා දාන්න සංඝරාජ හිමියන් ඇතුළු රදළයන් පිරිසක් කරපු කුමන්ත්‍රණය ගැන රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සටහනෙන් කතා කළා මතක ඇතිනේ.


ඒ වගේමයි රජතුමා මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළත් මේකට ලන්දේසීන්ගේ සහය ලැබෙන්න ඇති කියලා හිතලා ඒ අවුරුද්දේම හාපිටිගම්, අලුත්කුරු, සියනෑ, හේවාගම් කෝරළවලත් මාතර සහ ගිරුවාපත්තුවේ ලන්දේසීන්ට විරුද්ධව කැරලි ඇතිවුණාම ඒවාට විශාල වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ යටතේ මහාදිකාරම් ගලගොඩ ලවා 1761 දී රජතුමා මාතර ලන්දේසි කොටුව අල්ලා ගන්නවා වගේම දුම්බර රාලහාමි ලවා හංවැල්ල කොටුව විනාශ කරවනවා. 

මුල් වටයේ රජතුමාට මේ ආකාරයෙන් ජයග්‍රහණය ලැබුණත් ලන්දේසි ආණ්ඩුකාර Jan Schreuderගේ උපායන් අනුව 1762 පෙබරවාරි වෙද්දී ලන්දේසීන් හේවාගම්, හාපිටිගම්, අලුත්කුරු, සියනෑ කෝරළවලත් මාතරත් ඇතිවෙලා තිබුණු අරගලකාරී තත්වය සමනය කරලා තමන්ගේ ආදිපත්‍ය නැවත තහවුරු කරගන්නවා. 

මේ වගේ අර්බුදකාරී තත්වයක් දේශපාලනික වශයෙන් පවතිද්දී තමන්ගේ පූර්වගාමීන් අනුගමනය කරපු පිළිවෙතටම යන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සිදුවුණා. ඒ තමයි තවත් බලවත් ජාතියක් ලවා ලන්දේසීන් පරාජය කරවන එක. II රාජසිංහ රජතුමාත් පෘතුගීසීන් මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ගේ වුණේ ඒකනේ.

ශාන්ත ජෝර්ජ් බලකොටුව

මේ යටතේ රජතුමා 1762 දී ඉන්දියාවේ මදුරාසියේ පිහිටි ඉංග්‍රීසීන්ගේ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාරයා වුණු George Pigot ට පණිවුඩයක් යවලා ලන්දේසීන් මර්දනය කරන්න ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලනවා වගේම ඉංග්‍රීසින්ගේ වෙළෙඳාම් කටයුතුවලට රාජානුග්‍රහය ලබාදෙන්න කැමති බව ප්‍රකාශ කරනවා. 

මේ ඉල්ලීමත් එක්ක රජතුමා සමඟ සාකච්ඡා කරන්න මදුරාසියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්ව ලංකාවට පිටත් කරන්න 1762 අප්‍රේල් 6 වෙනිදා තීරණය කරනවා. ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා.

එතැනදී පයිබස්ව පිළිගන්නා රජතුමාගේ නියෝජිතයන් එක්ක පයිබස් විටෙක පා ගමනිනුත් තවත් විටෙක දෝලාවෙනුත් බොහොම කම්කටොලු මධ්‍යයේ මැයි 18 වෙනිදා මහනුවරට ළඟා වෙනවා. කෙසේ නමුත් ජෝන් පයිබස්ට මදුරාසියේ ආණ්ඩුකාරවරයා රජතුමාට එවන ලද සංදේශයත් සමඟ රජතුමා බැහැ දකින්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා. මේ පිළිබඳව විස්තර කතා කරන එක හොඳයි උඩරට සිංහල රාජ සභාවේ කටයුතු සිදුවුණු ආකාරය ගැන දැනගන්නත් එක්කම. 

ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා. 


ඒ බන්දේසිය පයිබස් හිසේ තියාගෙන ගමන් කරද්දී පාවඩ එලනවා වගේම චීන සේද රෙද්දෙන් කරපු වියනකුත් ඒ බන්දේසියට ඉහළින් අල්ලනවා.  පයිබස් ඉදිරියෙන් සංගීත භාණ්ඩ වාදනය කරන පිරිසක් ඉන්නවා වගේම මේ පෙරහැර ආරම්භ වීමත් එක්ක ආචාර වෙඩි මුර 11 ක් නිකුත් කරනවා.  

මහ වැසි ඇද හැලෙද්දී රෑ 7 ට විතර මේ පෙරහැර රජ මාළිගයට පිටත් වෙනවා. මේ වැඩෙන් පයිබස් හොඳටම හෙම්බත් වෙලා දෝලාවක් ඉල්ලුවත් රජු බැහැ දකින්න යද්දී පාගමනින් යන්න ඕනේ කියලා සිංහල නිලධාරීන් කියනවා. ටික වේලාවකින් රජ වාසළ ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලට මේ කණ්ඩායම පැමිණෙනවා. එතැනින් ඉදිරියට ගමන් කරන මහ රජතුමාගෙන් අවසර ලැබෙනකම් මද වේලාවක් එතැන රැඳෙන්න වෙනවා. 

 මහනුවර රජ මාළිගාව

අවසර ලැබුණාට පසුව ඉදිරියට ගමන් කරන මේ පිරිස රජ වාසළ දොරටුවෙන් ඇතුළු වෙලා චතුරස්‍රාකාර පරිශ්‍රයකට එනවා. එතැන රාජකීය ඇතුන් වගේම අසුන් සරසලා පෙළගස්වලා තිබුණු බව පයිබස් දක්වනවා. මේ වෙලාවේ රජතුමාගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු ගලගොඩ පයිබස්ව හමුවට එන නිසා පාවහන් ගලවා ඉවත් කරන්න කියලා සිංහල නිලධාරීන් පයිබස්ට කියනවා. අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීමටත් එකඟ වෙන්න පයිබස්ට සිදුවෙනවා. මහාදිකාරම්තුමා සුභ පැතුම් එක් කරලා පයිබස් එක්ක ගමනේ තොරතුරු කතා කරනවා. මේ සංවාදයෙන් පස්සේ පිරිස රාජ්‍ය ශාලාවට පිටත් වෙනවා. 

ලන්දේසීන් 1783 දී රාජධි රාජසිංහ රජු බැහැ දැකීම

රාජ්‍ය ශාලාවේ ඉදිරි දොරටුව දොර රෙද්දකින් වහලා තිබෙන්නේ. පස්සේ අනු පිළිවෙලින් දොර රෙදි එසවෙන්න පටන් ගන්නවා. මේ විදිහට තිර රෙදි 6 ක් වුණු බව තමා පයිබස් දක්වන්නේ. අවසාන තිර රෙද්ද එසවීමත් එක්ක අඩි 3 ක් පමණ උස මල් ලියකම්වලින් අලංකාර කරපු ස්වර්ණාලේපිත සිංහාසනයක ඉන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දැකගන්න පයිබස්ට පුලුවන් වෙනවා. 

ඒ වෙලාවේ සංදේශය සහිත බන්දේසිය හිසේ තියාගෙන ඉන්න පයිබස්ව බලයෙන්ම සිංහල නිලධාරීන් විසින් දණ ගස්වනවා වගේම සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙල හය පාරක් රජතුමාට නමස්කාර කරලා ආශිර්වාද වාක්‍යයක් ප්‍රකාශ කරනවා. රජතුමාත් ඒකට පිළිතුරු විදිහට කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරනවා කියලා පයිබස් දක්වනවා. 

1656 ලන්දේසි ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් දෙවන රාජසිංහ රජුව බැහැ දැකීම

මේ සුභාශිංසනවලින් පස්සේ තමා රජතුමා හමුවට යන ජෝන් පයිබස් රජතුමාගේ ඉදිරියේ එලලා තිබුණු පර්සියානු පලසේ දණ ගහලා හිස මත තබාගෙන හිටිය බන්දේසියේ තිබුණු සංදේශය රජතුමාගේම අතට පිළිගන්වන්නේ. ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා. 

ශාලාවේ හොඳ හැටි ආලෝකයක් නොතිබුණු නිසා රජතුමාගේ ඇඳුම් පැළඳුම් හරියාකාරව දැකගන්න බැරිවුණත් ඒ ගැන පයිබස් විස්තර කරන්නේ මේ විදිහට

".... රජු රනින් වැඩ දැමූ විවෘත කබායක් හැඳ සිටි අතර ඊට යටින් බැනියමක් වැන්නක් විය. ඉණ වටා රනින් එම්බ්‍රොයිඩර් කළ බඳ පටියකි. රජුගේ හිස මත රත් පැහැයට හුරු රෙද්දකින් සෑදූ රනින් වැඩ දැමූ හිස් වැස්මකි. ඒ මත මැණික් ඇල්ලූ කුඩා මුදුන් සැරසිල්ලක් විය. ඇඟිලිවල මුදු කිහිපයක්ම විය. මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ මිටක් සහිත කිණිස්සක් රජුගේ වම් අතෙහි විය. රජුගේ දකුණු පසින් සිංහාසනය මත මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ අලංකාර මිටක් සහිත පැතලි විශාල අසිපතකි. චීන පාවහන්වල හැඩය ගත් රන් නූලෙන් වැඩ දැමූ තද රතු පැහැති පාවහන් යුවලක් රජු පැළැඳ සිටියේය. එම පාවහන්වල අඩිය වටේට රන් පටියක් සවිකර තිබුණු බවක්ද පෙනිණ...."

පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට. රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා. 

මේ විදිහට රජතුමා මදුරාසි නිලධාරීන්ගේ සුවදුක් අහනවා වගේම තමන්ට සහය පළ කරන්න ඉංග්‍රීසින් සූදානම් වීම ගැන ස්තුතිය පළ කරනවා. මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා. 

ඒ වෙලාවේදී ආයි පාරක් කලින් විදිහටම බිම දිගාවෙලා නමස්කාර කරද්දී ඇඟ පත රිදෙන නිසා පයිබස්ට ඉඳගෙන ඉන්න අවසර ලැබෙනවා. රාජ්‍ය ශාලාවෙන් බැහැර වුණු ගමන්ම පයිබස් සිංහල නිලධාරීන්ට දොස් පවරනවා රාජ සභාවේදී පිළිපදින්න ඕනේ සිරිත් විරිත් ගැන තමන්ට මුලින්ම නොකියපු නිසා. 

කොහොම නමුත් ඊට පස්සේ අදිකාරම්වරුන් එක්ක පයිබස් සිද්ධ කරපු සාකච්ඡාවලදී අදිකාරම්වරුන්ට මූලිකව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක යුද්ධ කරන්න එකඟ වෙනවාද කියන කාරණේ. ඒත් ඒ වගේ දේකට එකඟ වෙන්න හරි ගිවිසුමකට එළඹෙන්න හරි තමන්ට බලයක් නැති වග පයිබස් කියනවා. මේ වගේ පයිබස්ගේ වැනෙන සුළු උත්තර නිසා සිංහල ප්‍රධානීන් අසතුටට පත් වෙනවා. 

අවසානයේදී ජූනි 22 ජෝන් පයිබස්ට ආපසු යාමට රජතුමා අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ත්‍යාග වශයෙන් රජතුමා විසින් මුද්දක්, කඩුවක්, මැණික් ඇල්ලූ මාලයක්, බෙංගාලි මස්ලින් රෙදි දෙකක් සහ තවත් සුළු ත්‍යාග කීපයක් ජෝන් පයිබස්ට ප්‍රදානය කරනවා ජූනි 24 ගමන් අරඹන පයිබස් ජූලි 4 වෙනිදා නැවත වරක් නැවට පැමිණෙනවා. රජතුමා වෙනුවෙන් පැමිණි අදිකාරම්වරයා විසින් නැවේ අද්මිරාල්වරයාටත් රජතුමා විසින් ප්‍රදානය කළ මුද්දක්, රත්තරන් මාලයක් සහ තවත් ත්‍යාග කීපයක් ලබා දෙනවා.

මදුරාසි ආණ්ඩුකාරවරයාට රජතුමා විසින් එවපු ලිපියකුත් අදිකාරම විසින් මේ අවස්ථාවේදී පයිබස්ට භාර දෙනවා. එදාම දවල් ජෝන් පයිබස් ඇතුළු පිරිස ආපසු මදුරාසිය බලා යාත්‍රා කරනවා. 

ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාර නිල නිවස

ආපසු පැමිණි ජෝන් පයිබස් මදුරාසි ආණ්ඩුකාර George Pigot ප්‍රමුඛ මදුරාසි පාලක මණ්ඩලයට සිංහලේ රාජධානිය පිළිබඳව වගේම තමන්ගේ දූත මෙහෙවර ගැන සකස් කරපු සම්පූර්ණ වාර්තාව ඔක්තෝබර් මාසයේදී භාර දෙනවා. 

ජෝන් පයිබස්ගේ පුද්ගලික තොරතුරු ගැන කතා කළොත් 1727 දී එංගලන්තයේ ඩෝවර් ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා වුණේ කපිතාන් බ්‍රයන් පයිබස්. 1753 ඔක්තෝබර් 20 මාර්තා ස්මෝල් සමඟ විවාහ වුණු පයිබස් දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණා. ඉන්දියාවේ මසුලිපටම් ප්‍රදේශය භාර බ්‍රිතාන්‍ය නිලධාරියා විදිහට කටයුතු කරපු පයිබස් මදුරාසි පාලක මණ්ඩලයේත් සාමාජිකයෙක් වුණා. 

 Lumley Chaple

1768 දී ඉන්දියාවේ ඉදන් නැවත වරක් මව්බිම වෙත ආපු ජෝන් පයිබස් 1789 ජූනි 22 මියයනවා. ඔහුගේ දේහය තැන්පත් කරන්නේ සරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාන්ත ඩන්ස්ටන් දේවස්ථානයේ [Lumley Chaple].මේ දේවස්ථානයේ ප්‍රභූන් රාශියකගේ සොහොන් කොත් දැකගන්න පුලුවන්.




ඔහුගේ සොහොන් ගැබේ දැකගන්න ලැබෙන වංශ සළකුණෙන් වගේම එහි තිබෙන විස්තරයෙන් පයිබස්ගේ සේවය විශාල ඇගයීමකට ලක්ව තිබුණු බව පැහැදිලියි.

ලිපිය ලියන්න කරුණු ගත්තේ රාජේන්ද්‍ර බණ්ඩාර සිංහලයට පරිවර්තනය කරපු ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය 3 වන කොටස සහ අබේසිංහ, දේවරාජා, සෝමරත්න තුන් කට්ටුවේ උඩරට රාජධානිය කියන පොත්. ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් තමා