Thursday, May 2, 2013

වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක්


දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ"


මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. 


හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. 


කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි හිතා ගත්තා.


වෘකහාමි එක කිකිළියක් මරන්න හදන කොටම කිකිළියන් දෙන්නාම එකපාරට ඉගිලුණා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා ආයෙත් අල්ල ගත්තා. හිවල්හාමි තවමත් එතැනම කැරකෙනවා. 


වෘකහාමි කෑම පිළියෙල කරන්න පටන් ගත්තා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා භාජනයකට දමලා ලිප උඩ තිබ්බා. ඉමිහිරි සුවඳක් කුස්සිය පුරාම පැතිරෙනවා. 


වෘකහාමි ප්‍රීතියෙන් සිවුරුහන් බබා යාලු වළස්හාමිට රෑ කෑමට ආරාධනා කරන්න ගියා. 


හිවල්හාමි වෘකහාමිගේ කුස්සියට ඇතුළුවෙලා ලිප උඩ තිබෙන භාජනයේ පියන ඉස්සුවා. ප්‍රණීත සූපයේ සුවඳ හරි මිහිරියි. 


හිවල්හාමි සුප් හැළියෙන් කිකිළියෙකු ඇරන් කන්න පටන් ගත්තා. 


කවුදෝ ජනේලයෙන් පිටත් සිවුරුහන් බානවා ඇහිලා හිවල්හාමි බැලුවා. "හා මෙන්න වෘකහාමි එනවා" තමාටම කියාගත්තා. 


හිවල්හාමිට එතැනින් පැනගන්ට වෙලාවක් නැහැ. ඒ නිසා පෙට්ටිය ඇතුළේ හැංගුණා. 


ලිපේ ගින්දර නිවීගෙන යනවා. වෘකහාමි තවත් දර ටිකක් ලිපට ඇතුළු කරලා ගිනි මෙලෙව්වා. 


දර ටික පිච්චිලා ඉවර වුණාට පස්සේ වෘකහාමි තවත් දර ටිකක් පලන්ට මන්නයක් ගත්තා. ඒත් මන්නය මොට්ටයි. 


වෘකහාමි මන්නය පිළිකන්නට ගෙනිහිල්ලා ගලක අතුල්ලනවා, මුවහත් කරන්ට. 


වෘකහාමි එළියට යනවා හිවල්හාමිට ඇහුණා. ඌ පෙට්ටියෙන් එළියට ඇවිත් හැළියෙන් අනෙක් කිකිළිත් ඩැහැ ගත්තා. 


වළස්හාමි වයින් බෝතලයකුත් අරන් ප්‍රීතියෙන් සිංදු කියමින් ආවා. ඌ වෘකහාමිගේ ගෙදරදී ලැබෙන්ට යන කදිම රෑ කෑම ගැන හිතුවා.


හිවල්හාමි කුකුළුමස් රස බලමින් ගහට මුවාවෙලා ඉද්දී ඌට සිංදුව ඇහුණා. වළස්හාමි එනවත් ඌ දැක්කා. 


දැන් මොකද කරන්නේ ? හිවල්හාමිගේ හිත වේගයෙන් වැඩ කළා.


ඌ තමන්ගේ කනට උඩින් කොළයක් අල්ලාගෙන වළස්හාමි ලඟට ගියා. "අනේ මට පිහිට වෙන්න!" හිවල්හාමි ඇඬුවා. 


හිවල්හාමි තමන්ගේ කන පෙන්නලා මෙහෙම කිව්වා. "වෘකහාමි කුකුළු මස් සංග්‍රහයකට මට ආරාධනා කළා. මම එහේ ගියාම මස් කපන මන්නයෙන් මගේ කන කපන්න හැදුවා. මම යන්තම් බේරිලා දුවගෙන ආ එක හොඳට හිටියා"


"ඔය ඇත්තමද?" වළස්හාමි ඇහුවා. "වෘකහාමි මටත් රෑ කෑමට ආරාධනා කරලයි තියෙන්නේ"


"හෝදිසියෙන් ඉන්න එක කොයිකටත් හොඳයි. සමහර විට ඔයාගේ කනත් කපා ගන්න වෘකහාමිට ඕනෑ ඇති" හිවල්හාමි හෙමින් සීරුවේ ලිස්සලා ගියා. දැන් මොනවා කරන්ඩද කියලා වලස්හාමිට තේරෙන්නේ නැහැ. 

වළස් හාමි වෘකහාමිගේ ගෙයි පිළිකන්නට ගියා. ඇත්ත තමයි වෘකහාමි මන්නය මුවහත් කරනවා. වළස් හාමි හොඳටම බය උණා. ක්ලාන්තය හැදුණා.


ටික වේලාවකට පස්සේ වළස්හාමි නැගිටලා දුවන්න පටන් ගත්තා. ගහට මුවාවෙලා හැංගිලා හිටිය හිවල්හාමිට හරි හිනා. ඌ වළස්හාමි ගෙනා වයින් බෝතලේම බීලා දැම්මා. 


ඒ පාර හිවල්හාමි වෘකහාමි ගාවට ගිහින් කිව්වා. "ඔයාගේ කුකුළුමස් සංග්‍රහය වළස්හාමි එනවා මා දැක්කා". "ඔව්, මම වළස්හාමිට ආරාධනා කළා" වෘකහාමි කියනවා. 


"ඔයාගේ කුකුළුමස් සේරම වළස්හාමි දැනටමත් ගිල දාලා හමාරයි" හිවල්හාමි කියාගෙන ගියා. වෘකහාමි හැළිය ඇරලා බැලුවා. උගේ කදිම ලොකු කිකිළියන් ඇත්තටම අතුරුදහන් වෙලා. වෘකහාමි වළස්හාමිට පාඩමක් උගන්වන්න හිතාගෙන ඌ පස්සේ දුවන්න පටන් ගත්තා. 


වළස්හාමිටත් දුවල දුවලම හති. ඒත් වෘකහාමි එනවා දැක්කාම, කෑගහනවා ඇහුණාම ආයෙත් දුවන්න පටන් ගත්තා. 

වළස්හාමි ලෑල්ලක ආධාරයෙන් ගඟෙන් එගොඩවෙලා වෘකහාමිගේ ගමන වළකන්න ලෑල්ල ඉවත් කරන්න හැදුවා. 

ඒත් වළස්හාමි ලෑල්ල අහක් කරන්න ඉස්සෙල්ලා වෘකහාමි පැන්නා. වළස්හාමි වෘකහාමිගේ බඩට වැරෙන් පහරක් දුන්නා. 


වෘකහාමි කේන්තියෙන් පුපුරමින් වළස්හාමිට පහර දුන්නා. 


වෘකහාමි වළස්හාමිට බැණ වැදුණා. "තෝ මගේ කුකුළුමස් සේරම ගිල දාලා දැන් මට ගහන්ඩත් එනවා. තෝ නම් හරිම අපූරු යාලුවෙක්!"


වළස්හාමිට මේක තේරෙන්නේ නැහැ. ඌ ඇහුවා "කවුද කිව්වේ මම කුකුළුමස් ටික හොරෙන් කෑවා කියලා?"


"හිවල්හාමියි කිව්වේ" වෘකහාමි උත්තර දුන්නා. දැනුයි වළස්හාමිට තේරෙන්නේ සිද්ද වුණු හරිය. "හිවල්හාමි අපි දෙන්නාවම රැවැට්ටුවා" වළස්හාමි වෘකහාමිට කිව්වා.

මේ කතාවේ චිත්‍ර මෙයි යිංගේ. සිංහල අනුවාදනය සවිමන් උරුගොඩවත්ත. මුද්‍රණය කරලා තියෙන්නේ චීනයේ විදේශ භාෂා මුද්‍රණාලයේ. ප්‍රකාශනය චීනයේ විදේශ භාෂා ප්‍රකාශන මන්දිරය. ලංකාවේ බෙදා හැරීම මරදානේ අරුණ ප්‍රකාශකයෝ. 

මේ කතා පොත ලබාදෙන්න කටයුතු කළේ රුක්ෂිලා වෙත්තමුණි අක්කා. අක්කාට බොහොම ස්තුතියි :)

මුහුණු පොතේ තියෙන "ළමා කතා සමූහයේ" මේ කතාව වගේම තවත් චීන වගේම රුසියන් ළමා කතා කීපයක්ම තියෙනවා. ඒ සමූහයට එකතු වුණා නම් ඒ කතා ටිකත් කියවන්න පුලුවන්. 

Sunday, April 28, 2013

දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම


චීනයේ යැංසි ගඟට දකුණෙන් පිහිටි කඳුවැටිය පාමුල එක පුංචි ගමක් තියෙනවා. ඒ ගම ඉස්සරහින් ගලා යන කුඩා ඔයේ දංඩි පැටව් එහා මෙහා පීනමින් විනෝද වෙනවා. අප කියන්න යන කතන්දරේ පටන් ගත්තේ, අන්න එතනයි.


කලු දංඩියා ඒ කියන්නේ, මාළු රෑනේ නායකයා දවසක් තමන්ගේ සගයන්ට මෙහෙම කිව්වා. "ඉක්මනට මෙහෙ එන්න. මං ඔයාලට හොඳ ආරංචියක් කියන්නම්!" 


"ඒ මොකක්ද?" "මං අර පේන පුංචි පාලම උඩින් පනින්න උත්සාහ කළා. උත්සාහය හරි ගියා." "ඔය ඇත්තද? ඔයා විහිළු කරනවා" යාලුවෝ කලු දංඩියාට සරදම් කළා. "ඇයි මං බොරු කියන්නේ? ඔය ගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්නම් ඇවිල්ලා බලන්න!" කලු දංඩි පැටියා සගයන්ට කීවා. "හා හොඳයි යමු!" කවුරුත් එකඟ වුණා. 


මාළු රෑන එක්තරා පරණ මිටි පාලමකට ලං වුණා. "බලන්න මං පනින හැටි" කියලා කලු දංඩියා කෑ ගහලා එක පාරට ඔයට පැන්නා. වතුරු හැම තැනම විසි වුණා. වතුර නිසල වුණාම, පුංචි පැටව් පාලම දිහා බැලුවා. ඒ ගොල්ලන්ගේ සහෝදරයා අර ඉන්නේ, පාලමෙන් එහා පැත්තේ. 


එතකොට "පුතාලා මෙහෙ එන්න" කියලා ඈත ඉඳලා අඬ ගහන ආච්චිගේ කට හඬ මාළු පැටවුන්ට ඇහුණා. දංඩි පැටව් වහාම ආච්චි ඉන්න තැනට පීනුවා. 


පාලමෙන් එහා පැත්තට පනින්න කවුද පුතාලට කිව්වේ? ආච්චි ඇහුවා. ඒක හරි භයානක වැඩක්, වැටිලා තුවාල වුණා නම්" කිව්වා. "ආච්චි බය වෙන්න එපා" දංඩි පැටව් විශ්වාස සහගතව කිව්වා.

"හැබැයි තුවාල වුණොත් අඬන්න වේවි. එතකොට පරක්කු වැඩියි. හොඳ දැන් ඉතින් හැමෝම එන්න මං කතන්දරයක් කියන්නම්"


"කොච්චර හොඳ ද අපි ආච්චි කියන කතන්දර අහන්න හරි කැමතියි!" හැමෝම කිව්වා. "ඉක්මනට කියන්න", "කෑ ගහන්න එපා. නිස්සද්දව ඉන්න ඕනෑ" දංඩි ආච්චි කිව්වා. කුඩා දංඩි පැටව්, ආච්චි දෙසට මූණලා අඩ කවයකට වාඩි වුණා.  


දංඩි ආච්චි කතන්දරය කියන්න පටන් ගත්තා. "අපේ මුතුන්මිත්තෝ නිතරම කිව්වා ලෝකේ මහා ගංගාවත් මුහුදත් අතර මකර දොරටුවක් තියෙනවා කියලා. මේක හරි උසයි. ඒක උඩින් පැන්න කෙනෙකුට මකරෙක් වෙන්න පුළුවන්. පුතාලගේ සීයලා කවුරුත් මේ වැඩේ කරන්න උත්සාහ කළා. නමුත් පරාජය වුණා"


"ආච්චියේ, මට පුලුවන්ද ඒකෙන් පනින්න?" කලු දංඩි පැටියා ඇහුවා. "ඔයා තාම පුංචි වැඩියි පනින්න යන්න එපා. ලොකු වුණාට පස්සේ වුණත්, පනින්න පුළුවන්ද කියලා කියන්න බෑ", "මකර දොරටුව කොහේද ආච්චියේ තියෙන්නේ ?" දංඩි පැටව් ඇහුවා. "මේ... මමත් දන්නේ නැහැ" ආච්චි හිස වැනුවා.


දංඩි පැටව් මේ කතාවෙන් කලබල වුණා. ඒ ගොල්ලෝ හැමෝම පැත්තකට වෙලා ගුලි ගැහිලා මේ ගැන කතා කළා. කලු දංඩි පැටියා තමයි මුලින් තමන්ගේ අදහස කිව්වේ. එයා කිව්වා "මං යනවා, මං මකර දොරටුව හොයන්න යනවා. ඔයගොල්ලෝ මාත් එක්ක එනවද ? මං මකර දොරටුව උඩින් පැනලා ගිහින්, ලොකු මකරෙක් වුණොත් කොච්චර හොඳද ? මේ පුංචි ඔයේ ඉන්න එක හරි පාලුයි"

…"මං එනවා", "මං එනවා", "මමත් එනවා" දංඩි පැටව් ඔක්කොම කෑ ගැහුව. එක්කෙනෙකු ඇරෙන්න. 


පුංචිම දංඩි පැටියා විතරක් කිව්වා "මමත් එනවා. හැබැයි මකර දොරටුව උඩින් පැන්නාට පස්සේ මං ආපහු ගෙදර එන්න ඕනෑ", "එහෙනම් ඔයා එන්න එපා. නෑ නෑ ඔයගොල්ලෝ යන ඕනෑම තැනකට මාත් එනවා" කියලා පුංචිම දංඩි පැටියා ස්ථීරවම කිව්වා. 


කලු දංඩි පැටියාගේ මඟ පෙන්වීම යටතේ ඔක්කෝම ගමනට පිටත් වුණා. දංඩි පැටව් කුඩා ඔයේ පීනුවා. 


කලු දංඩි පැටියා පීනන ගමන් වරින් වර හිස උස්සලා මකර දොරටුව තියෙනවාද කියලා බැලුවා. ඒත් එහෙම එකක් කොහේවත් නැහැ. දංඩි පැටව් අධෛර්යමත් වුණේ නෑ. දිගටම ඉදිරියට පීනුවා. දිගටම ගියොත් කවදා හරි මකර දොරටුව හම්බු වෙන කවුරුත් විශ්වාස කළා. 


හුඟක් වංගු පහු කරලා දංඩි පැටව් ඔයේ ඈතට ඈතට පීනුවා. ඒ හරියේ ඔය පළලයි වතුරු ගැඹුරුයි. දිය පාර සැරයි. ඒ අමාරු හරිය පහු කළාට පස්සේ දංඩි පැටව් නිශ්චල හරියකට ආයිත් ඇතුලු වුණා. ඒ ගොල්ලෝ වතුරෙන් උඩට ඔළුව දාලා හුස්ම ගත්තා. කාටත් හොඳ සනීපයක් දැනුණා. 


ඔයින් මෙයින් පුංචිම දංඩි පැටියාත් හති දාගෙන ඇවිල්ලා රෑනට එකතු වෙලා ඇහුවා "අයියලා දන්නවාද මකර දොරටුව තියෙන්නේ කොහේද කියලා ?" තවත් දංඩි පැටියෙක් ඇහුවා. "මකර දොරටුව තියෙන්නේ දකුණු පැත්තේද නැත්නම් උතුරු පැත්තේද ?", "ආච්චි කිව්වානේ මකර දොරටුව හුඟක් උසය කියලා. ඒ හින්දා ඒක ඇත්තේ තවත් හුඟක් ඈත වෙන්න පුලුවන්. අපි ඔය දිගේ ගියොත් කවදා හරි ඒක හම්බ වේවි කියලා මට සහතිකයි" කලු දංඩි පැටියා කිව්වා. 


මේ කතාවට පස්සේ දංඩි පැටව් තවත් ඉදිරියට පීනුවා. ටික වෙලාවකින් ගඟේ පෙඳ පාසි වැවෙන හරියකට ආවා. පැලෑටි පීරාගෙන හැමෝම ඉදිරියට යන කොට, පුංචිම දංඩි පැටියාගේ වලිගය පැලෑටිවල පැටලුණා. දංඩි පැටියා බේරෙන්න දැඟලුවා. අනික් පැටව් උදව් කරන්න හැදුවා. 


එතකොට "කවුද මගේ කැලෑවට කඩා වැදුණේ?" කියන ගොරෝසු කටහඬක් එක පාරටම ඇහුණා. දංඩි පැටව් වටපිට බැලුවා. ඒගොල්ලනට කකුළුවෙක් පෙනුණා. "පලයල්ලා මගේ වැයික්කියෙන් පලයල්ලා" කියලා කකුළුවා කෑ ගැහුවා. 


කලු දංඩි පැටියා බය නැතිව මෙහෙම කිව්වා. "අපි දංඩි පැටව්". අනිත් දංඩි පැටව් කිව්වා. "අපි මේ යන්නේ මකර දොරටුව හොයන්නයි. අපි මකර දොරටුව උඩින් පනින්නයි හදන්නේ"


දංඩි පැටවුන්ගේ කතාව අහපු ලොකු කකුළුවා ගලෙන් බැහැලා ඇවිත් මෙහෙම කිව්වා. "මකර දොරටුවෙන් පනින්න? හොඳයි කැමති නම් පලයල්ලා. ඒත් කවුද උඹලාට මකර දොරටුව හොයන්න කිව්වේ?", "අපිමයි තීරණය කළේ" කලු දංඩි පැටියා ආඩම්බරයෙන් උත්තර දුන්නා. 


"හක් හක්" ගාලා ලොකු කකුළුවා හිනාවුණා. එයා කිව්වා "හොඳයි මං උඹලාට උදව්වක් කරන්නම්". ලොකු කකුළුවා එයාගේ අඬු දිග ඇරලා පුංචි දංඩි පැටියාගේ වලිගයේ වෙලී තියෙන පෙඳ පැලෑටි කපලා දැම්මා. 


කුඩා දංඩි පැටව් කකුළුවාට ස්තුති කරලා ආයිත් තමන්ගේ ගමන පටන් ගත්තා. 


ටික දුරක් යන කොට "හූ හූ හූ..." කියන ගී හඬක් ඒගොල්ලනට හදිසියෙන් ඇහුණා. දංඩි පැටව් ටික වතුරින් එළියට පැනලා ප්‍රීතියෙන් කෑගැහුවා. "අන්න අන්න මකර දොරටුව. ඒක තමයි මකර දොරටුව". ඇත්තටම ඒ ගොල්ලෝ දැක්කේ රේල් පාලමක්. 


දංඩි පැටව් සතුටින් කෑ ගැහුවා. උඩ පැන්නා. ඒ දිග යකඩ පාලම මකර දොරටුව කියලා හිතාගෙන ඒක උඩින් පැනලා යන්න හිතුවා. හැබැයි පාලම උඩින් පනින්නේ නැතුව, ඒක යටින් රිංගලා එහා පැත්තට යන්න පුළුවන් බව ඉක්මනින්ම ඒ ගොල්ලන්ට වැටහුණා. 

තමන් හොයන මකර දොරටුව මේකද කියලා ඒගොල්ලන්ට පොඩි සැකයකුත් ඇතිවුණා. එතකොටම දිගට දිගේ කෝච්චියක් දුම් දාගෙන හූ කියාගෙන පාලම උඩින් ආවා. මේ තමයි ලොකු මකරා කියලා හිතපු දංඩි පැටව් හොඳටම බයවෙලා දිය යටට ගියා. කෝච්චිය ඈතට ගියාට පස්සේ ඒ ගොල්ලෝ ආයෙත් දිය මතුපිටට ඇවිල්ලා බැලුවා. 

ඒ ආවේ ලොකු මකරාය කියලා හිතපු දංඩි පැටව් කෝච්චිය ආපහු එන්න ඉස්සෙල්ලා වහා එතැනින් ඈත් වෙන්න තීරණය කළා.


දංඩි පැටව් හෙමින් හෙමින් ඉදිරියට පීනන කොට, සැර දියපාරක දඟලන ලොකු මාළුවෙක් ඒගොල්ලනට හදිසියෙන් හමුවුණා. ලොකු මාළුවා කුඩා දංඩි පැටව් දැකලා අනතුරු අඟවමින් මෙහෙම කිව්වා. "අනේ පොඩිත්තනේ, තව ඉස්සරහට යන්න එපා. ඒ හරියේ වතුර සැරයි. ඔයාලට තුවාල වේවි. ආපහු යන්න". "අපි මකර දොරටුව උඩින් පැනලා යන්ඩයි හදන්නේ" කියලා දංඩි පැටව් ඔක්කෝම කිව්වා. 


ලොකු මාළුවාට මේ කතාව විශ්වාස කරනන් බැරිවුනා. ඌ හිස වනලා මෙහෙම කිව්වා. "මොනවා ඔයාලා මකර දොරටුවෙන් පනින්න හදනවා. මේ මොන බොරු කතාවක්ද ?" ලොකු මාළුවා වහාම තමන්ගේ පැටව් ටිකත් අරගෙන එතනින් ඈත්වුණා. දංඩි පැටව් ලොකු මාළුවාගේ කතාවෙන් පසුබැස්සේ නෑ. මාළුවා කියපු සැර වතුර පාර පැනලා අන්තිමේදී ජලාශයක බැම්මකට ආවා. 

පුදුම දර්ශනයක්. දිය කඳ ගොරව ගොරවා උඩට නැඟී නැගීනේ දුව යනවා. එහි තියෙන මහ වේල්ල තමන් හොයන මකර දොරටුව කියලා ඒගොල්ලෝ හිතුවා. එක පුංචි දංඩි පැටියෙක් කීප වරක්ම ඒක උඩින් පැනලා යන්න උත්සහ දැරුවා. නමුත් පරාජය වුණා. 


අධෛර්යමත් නොවුණ මේ දංඩි පැටියා නැවත නැවතත් උත්සහ කළා. මේ සැරේ මහා රළ ගෙඩියකින් ඌ උඩට ඉස්සුණා. ඒ අවස්ථාවේ දංඩි පැටියාට අදහසක් පහළ උණා. වේල්ල උඩින් ඔක්කෝටම පැනලා යන්න පුළුවන් ක්‍රමයක්. මොකක්ද ඒ ක්‍රමය, එක් කෙනෙක් ඉස්සෙල්ලා රළ පහරේ පිහිටෙන් අහසට පනිනවා. එයා පතට වැටෙන කොට තවත් කෙනෙක් උඩ පැනලා එයාව වේල්ල එහා පැත්තට තල්ලු කරනවා. 

මේ ක්‍රමයෙන් දංඩි පැටව් ඔක්කෝම වේල්ල එහා පැත්තට පැන්නා. අන්තිමයා උස්සන්න කවුරුවත් හිටියේ නෑ. ඌ අධෛර්යමත් නොවි නැවත නැවතත් උත්සාහ කළා.අන්තිමට ඌ පැන්නේ ලොකුම ලොකු රළ පහරකින් එයාව හුඟක් උඩට ඉස්සුණු වෙලාවෙයි.


ලොකු වේල්ල එහා පැත්තේ දිය තලාව ඉතාම නිසලයි. දංඩි පැටව් හිස වතුරෙන් උස්සලා එහා මෙහා බැලුවා. ඉවුරු ඉතා ලස්සනයි. පිරිසිදුයි. ඒවා පිහියෙන් හොඳට කපලා ඔප දැම්මා වගෙයි. ඉවුරු දෙපැත්තේ වවා තිබෙන්නේ විලෝ සහ පීච් ගස්. රතු මල් සහ කොළ පාට අතු පතර හරියට චිත්‍රයක් වගේ. වැවේ අනිත් පැත්තට පීනපු දංඩි පැටව් කටින් පෙන බුබුළු දම දමා සෙල්ලම් කළා. මෙතන ආච්චි කිව්වාට වඩා වැඩිය ලස්සනයි කියලා හැමෝම හිතුවා. දංඩි පැටව් එතනට කැමති වුණා. 


පහන් එළිය වැව් වතුරට වැටිලා දිළිසෙනවා. වැව් වතුර හරියට දවල් කාලෙදී වගේ ආලෝකමත්. දංඩි පැටව් හරියට පුදුම වුණා. සතුටු උණා. ඒත් එළිය විහිදුවන මේ දේවල් ඔක්කොම තාරකාද ? නැතිනම් අපි ඇවිත් ඉනේ දිවිය ලෝකෙටද ඔවුන්ට වටහා ගන්නට බැරි උණා. 


ඒ වෙලාවේ ලිහිණියෙක් ඉගිලිලා ආවා. එයා දංඩි පැටව් දැකලා පුදුම වෙලා ඇහුවා. "පුංචි මාලු පැටව්නේ. ඔයාලා මෙහාට ආවේ කොහොමද?". "අපි වතුර උඩින් පැනලා ආවා. අපි ඉගිලිලා ආවා" ඒගොල්ලෝ එක හඬින් උත්තර දුන්නා. 


අර දිළිසෙන එළි තාරකාද කියලා ඒ ගොල්ලන් ලිහිණි නැන්දාගෙන් අහනකොට ඈ හිනාවෙලා මෙහෙම කිව්වා. "ඒ ඔක්කෝම රාත්‍රියේ එළිය විහිදුවන මුතු ඇට". කුඩා දංඩි පැටව් ප්‍රීතියෙන් කෑ ගහන්න පටන් ගත්තා. "හා දිළිසෙන මුතු ඇට කොච්චර තියෙනවාද ?"


"එන්න ඈතට බලන යන්න" කියලා ලිහිණියා ඒ ගොල්ලනට අඬ ගැහුවා. එහායින් තියෙන පහන් වඩාත් ලස්සනයි. හරියටම තාරකා වගෙයි. දැන් ලිහිණි නැන්දා ගෙදර යන්න ලෑස්තියි. කුඩා දංඩි කණ්ඩායමේ නායක කලු දංඩි පැටියාගේ හිතට අදහසක් ආවා. 


එයා ඇහුවා "ලිහිණි නැන්දේ, ඔයාට පුලුවන්ද අපේ ආච්චිට ආරංචියක් ගෙනියන්න". ලිහිණි නැන්දා එකඟ වුණා. "ආච්චිට කියන්න අපි ඔක්කෝම මකර දොරටුව උඩින් පැනලා ගියා කියලා. මේ තැන ලස්සනයි. අපේ ආච්චිට කියන්න අපේ මුළු පවුලම මෙහාට ගෙන එන්න කියලා" තව දංඩි පැටියෙක් කිව්වා. 

[මෙතනින් එහාට කතා පොතේ පිටු ටික නැහැ. ඒත් මට මතක විදිහට මෙහෙමයි] 

මේ කතා ඔක්කෝම අහගෙන හිටිය ලිහිණි නැන්දා ඒවා ආච්චිට කියන්න පොරොන්දු වුණා. ඒ වගේමයි එයා අන්තිමට මෙහෙමත් කිව්වා. "ඔයාලා පැනලා ආවේ මකර දොරටුවෙන් නම් නෙමෙයි. ඒත් මේ ජලාශෙට කියන්නේ නම් මකර දොරටු ජලාශය" කියලා. අන්තිමට ලිහිණි නැන්දා දංඩි ආච්චිට පණිවිඩේ කියන්න ඉගිල්ලිලා යන්න ගියා. දංඩි පැටව් සතුටින් ඒ ජලාශේ ජීවත් වුණා. 

අපි පොඩි කාලේ පොත් ප්‍රදර්ශනවලදී හරියට මේ වගේ චීන කතාන්දර පොත් ගන්න තිබුණා. ජින්සෙන් කුමාරිගේ කතාව, අශ්ව පැටියාගේ කතාව, වානර රජ්ජුරුවන්ගේ කතාව ඒ අතරින් මට මතක් වෙන තවත් කතා පොත් කීපයක්. ඒ වගේමයි රුසියන් කතා පොත් එහෙමත් තිබුණා. හිම මිනිසාගේ කතාව, බළල් පැටවු දෙන්නාගේ කතාව කියලා පොත් දෙකක් ගැනත් මතකයි. මෑත කාලයේ නම් ඒ පොත් මම දැකලා නැහැ.

මේ දංඩි පැටව් මකර දොරටුව උඩින් පැනයාම කතාව ලියලා තියෙන්නේ ජින් ජින්. චිත්‍ර යාං ශැන්ත්සිගේ සහ ඩින් රොංලින්ගේ. සිංහල අනුවාදනය පීකිං ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ ලී චෙන්ෂිං. මුද්‍රණය කරලා තියෙන්නේ බෙයිජිංවල ලිතෝ මුද්‍රණ මන්දිරයේ. ප්‍රකාශනය විදේශ භාෂා මුද්‍රණාලය බෙයිජිං. බෙදා හැරීම චීන ජාත්‍යන්තර පොත් වෙළෙඳ සංස්ථාව. ලංකාවේ බෙදා හැරීම මරදානේ අරුණ ප්‍රකාශකයෝ.