Sunday, September 30, 2012

කුණු ගඳ එන කටවල් අතරේ මහනෙල් මල් සුවඳ එන කටක්


උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් මහනෙල් මල් සුවඳ උපතේ ඉදන් ආපු පුද්ගලයෙක් ගැන. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් උපතේ ඉදන්ම මහනෙල් මල් සුවඳ ආපු පුද්ගලයෙක් ගැන.

බුද්ධ කාලයේ සැවැත් නුවර හතළිස් කෝටියක් විතර සල්ලි තිබුණු සිටුතුමෙක්ට දාව සිටු දේවියට පුතෙක් ඉපදෙනවා. මේ සිටු කුමාරයා මුඛය විවෘත කරන වාරයක් පාසාම ගෙදර පුරාම මහනෙල් මල් සුවඳ පැතිරිලා යනවා. ඒ නිසා සිටු කුමාරයාට දෙමාපියෝ තියෙන නම තමා "උත්පලගන්ධ" කියන එක. 

නිසි වයසට එළඹිලා විවාහයකුත් කරගෙන උත්පලගන්ධ සිටුතුමා කල් ගත කරද්දී බුදු හාමුදුරුවන්ව මුණ ගැසීමත් එක්ක ධර්මය ශ්‍රවණය කරන උත්පලගන්ධ සිටුතුමා ගිහි ගෙය ගැන කළ කිරිලා තමන්ගේ හතළිස් කෝටියක් විතර සල්ලිත් සිටු තනතුරත් ගිහි සැපතත් අත් හැරලා පැවිදි වෙනවා. 

ටික දවසකින්ම විදර්ශනා භාවනාව වඩපු උත්පලගන්ධ හාමුදුරුවෝ රහත් වෙලා උත්පලගන්ධ රහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධ වෙනවා.

සැවැත් නුවර ඇතුළු කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා උත්පලගන්ධ සිටුතුමා මහණ වුණු බව අහලා හිමියෙක් නැති භාණ්ඩයක් තියෙනවා නම් ඒවා රජු සන්තක දෙයක් වෙනවා කියලා උත්පලගන්ධ සිටුතුමාගේ සිටු දේවිය තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත් කරගන්නවා :)


දවසක් දා රජතුමාට මල් ගේන මාලාකාරයෝ රජතුමාට මහනෙල් මල් ගෙනත් දෙනවා. රජතුමා ඒ මල් තමන්ගේ අන්තඃපුර බිසෝවරු 500 අතරේ බෙදා දෙනවා. 

ඒ වෙලාවේ මහනෙල් මල් සුවඳ ආඝ්‍රණය කරපු සිටු දේවියට සිහිපත් වෙනවා තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමාගේ මුඛයෙනුත් මේ ආකාරයෙන්ම මහනෙල් මල් සුවඳක් පිටවුණා නේද කියලා.

ඒක සිහිපත් වුණු නිසා හුඟක් සතුටු වුණු සිටු දේවිය ඊළඟට ඒ වගේ ස්වාමියෙක්ගේ වෙන් වෙන්න වුණු එක ගැන සිහිපත් වෙලා දුක් වෙනවා. මේක දැකපු කොසොල් රජතුමා සිටු දේවිය මේ ආකාරයෙන් හිනාවුණු එකට වගේම අඬපු එකට හේතුව විමසනවා. 

සිටු දේවිය කියනවා මහනෙල් මල්වල සුවඳ ආඝ්‍රණය කිරීමත් එක්ක තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමා සිහිවුණු බවත් ඔහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමපු බවත්. ඒක නිසා සතුටු වුණත් ඔහුගෙන් වියෝවුණු දුකට අඬපු බවත්. 

ඒත් කොසොල් රජතුමා විශ්වාස කරන්නේ නැහැ මනුස්සයෙක්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා කියන එක. 

පස්සේ සිටු දේවිය කියනවා "ඔබතුමාට මම කියන එක විශ්වාස නැත්නම් දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන උත්පලගන්ධ මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න යන්න එතකොට මම කිව්වේ ඇත්ත කියලා වැටහෙයි. එහෙම වුණේ නැත්නම් ඔබතුමා කැමති දඬුවමකට ලක් වෙන්න මම කැමතියි" කියලා.

කොසොල් රජතුමා මේ ගැන හොයලා බලන්න තීරණය කරලා පහුවෙනිදා උදෑසන දානයට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ උත්පලගන්ධ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 500 නමකට රජ මාළිගාවට ආරාධනා කරනවා. 


දානයට මාළිගාව සූදානම් කරද්දී මාළිගාවේ තිබුණු සුවඳ භාණ්ඩ සියල්ලම මාළිගාවෙන් බැහැර කරවන්න වගේම බණ අහන්න එන අයටත් සුවඳ මල් පළඳින්නේ නැතුව සුවඳ ගල්වන්නේ නැතුව පැමිණෙන්න කියලාත් කොසොල් රජතුමා අණ කරනවා. රජතුමාත් ස්නානය කරලා සුවඳ ගල්වන්නේත් නැතුව සුවඳ මල් පළඳින්නේත් නැතුව දානය සඳහා සම්බන්ධ වෙනවා. 

දානයට වැඩම කරපු බුදු හාමුදුරුවන්ට කොසොල් රජතුමාගේ අදහස පෙනුණු නිසා රජතුමාගේ සැකය දුරු කරවන්න ඕනේ කියලා හිතලා උත්පලගන්ධ රහතන් වහන්සේට නියම කරනවා දානයේදී ධර්ම දේශනාව සිදු කරන්න කියලා.

බුදු හාමුදුරුවන්ට වැඳලා අවසර ගත්තු උත්පලගන්ධ රහතන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්න මුඛය විවෘත කරපු සැණින් රජ මාළිගාවේ සෑම තැනම උන්වහන්සේගේ මුඛයෙන් විහිදෙන මහනෙල් මල් සුවඳ පැතිරිලා ගියා. 

 බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා

රජතුමාත් තමන්ගේ සැකය දුරු කරගෙන සතුටින් බණ අහලා අවසානයේදී බුදුන් වහන්සේ සමීපයට ගිහින් උත්පලගන්ධ රහතන් වහන්සේ මුඛයෙන් මේ ආකාරයෙන් මහනෙල් මල් සුවඳ හමන්න හේතුව විමසනවා. 

ඒ අවස්ථාවේදී බුදු හාමුදුරුවෝ උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයක කරපු කුසල කර්මයක් ගැන දේශනා කරනවා. මීට කල්ප ලක්ෂයකට පමණ කලින් ලොව පහල වුණු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී ඉතාමත්ම දුප්පත් වෙලා ඉපදිලා හිටිය පුරුෂයෙක් හැමදාම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරපු බවත් ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් හැමෝටම කලින් සාදුකාර දෙමින් ධර්මය ශ්‍රවණය කරපු කුසල කර්මයෙන් දෙව් මිනිස් සැප විඳලා මේ කාලයේදී උත්පලගන්ධ නමින් ඉපදිලා ඒ කුසල කර්මයෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්න තරම් භාග්‍යවන්ත වුණු බව බුදු හාමුදුරුවෝ දක්වනවා. 

ඒ වෙලාවේ සිටු දේවිය තමන් ගාවට කැඳවපු රජතුමා දේවිය නිසා තමන්ට වුණු ධර්ම ලාභය ගැන ඇයටත් ප්‍රශංසා කරනවා.

කතාව අවසානයි. මේ වගේ කතා කියවද්දී සමහර අයට ගැටළු ඇති වෙන්නත් පුලුවන් මේ දේවල් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. ඒකට සරල උත්තරයක් දෙන්නම්. 

උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයේ කරපු කුසල කර්මය වෙන්නේ ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් සාදුකාර දීපු එක. ඒක සරලව විග්‍රහ කළොත් යහපත් දෙයක් ගැන සතුටු වෙලා ඒ දේ යහපත් කියලා අගය කරපු එක. ඉතින් ඒ ගුණාංගය අපේ ජීවිතේට අපි ඇතුළත් කර ගනිමු.

මේ කතාව උපුටා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදය-අසදෘශ මහා දාන පූජා කතා කොටසෙන්. 

ප.ලි.: කලින් දවසකත් කිව්වා වගේ තවමත් අපේ Logic මිස්ගේ පොත ටයිප් කරමින් ඉන්නේ. ඒක නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබෙන කාල වේලාව හරිම අඩුයි. ඒ ගැන සමාව භජනය කරත්වා.... 

මේ දවස්වල බුදු දහම ගැන වගේම බෞද්ධ සාහිත්‍යය ගැනත් බ්ලොග් කීපයකට ලියවිලා තිබුණා. ඒ ගැන නම් හුඟක් සතුටුයි. මෙන්න ඒ කීපෙකට යන්න පාරවල්. 

Thursday, September 20, 2012

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ.

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

ප.ලි.: මම facebook එකේ දාපු status එකක් පාදක කරගෙන තමා මේ කතාව ලියවුණේ. ඒකට පොහොර දමාපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ සහෘදයෙක් වුණු ඉසුරු මදනායක සගයාට විශේෂ ස්තුතිය :)

ප.ප.ලි.: මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක. 

අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් posts දෙකේම අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් එකතු කරන්න ප්‍රමාද වුණා. මේකටත් එහෙමම වෙයි. ඒත් පොතේ වැඩේ ඉවර වුණු ගමන් මට කරන්න තියෙන වැඩවලින් මුල්ම වැඩේ තමා posts තුනටම උත්තර බඳින එක. 

ඒක නිසා එතෙක් ගැත්තාට අනුකම්පා කළ මැනවි.... :)

Monday, September 17, 2012

කපිලවස්තු සර්වඥ ධාතු වැඳීම, වැන්දවීම සහ තවත් කතා ගොඩා...ක්


මේ දවස්වල ලංකාවේ ඉන්න පොඩි ළමයාගේ පටන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝම වගේ කපිලවස්තුපුරය ගැන දන්නවා හරියට කපිලවස්තුපුරේ ජීවත් වුණු මිනිස්සු වගේ. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. ඒකට හේතුව හැමෝම දන්නවා. කපිලවස්තුපුරයේ ස්ථූපයකින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා සතර නමක් පහුගිය දවසක ලංකාවට වැඩම කරවීමත් ලංකාවේ ස්ථාන කීපයකම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ලංකාවේ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න හැමෝම වගේ මේ ගැන දැනගත්තා.

ඒ වගේමයි ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න හුඟක් බෞද්ධ ජනතාව ඒ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරපු ස්ථානවලට ගිහින් වන්දනා කරගත්තා. ඒ වගේමයි මම දැක්ක විදිහට අබෞද්ධ ජනතාව පවා මොකක්ද මේ කියලා බලන්න ආවා. 

මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමත් එක්ක ඒ ගැන හුඟක් කතා එහෙට මෙහෙට ගියා. ලොකුම කතාව වුණේ ධාතු පෙන්නලා ඡන්දේ දිනන්න යනවා කියන එක. ඒ වගේමයි රනිල් ලොක්කා කියපු මේ සර්වඥ ධාතු නෙමේ කියන කතාවත් නැඟලා ගියා. බ්ලොග් අවකාශයෙත් ඒ ගැන නම් කතා ගියා. 

මේ කතා ඔක්කොම ටික එහෙම මෙහෙට කෙටියෙන් වනා ගෙන ගියේ සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධ මගේ කතාව කියන්න පාර හදාගන්න. 


අගෝස්තු මාසේ බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ මුලින්ම සර්වඥ ධාතු ප්‍රදර්ශනය තියෙද්දී අපේ ගෙවල් පැත්තට කිට්ටුව වුණත් මම ගියේ නැහැ. පෝලිම්වල තෙරපිලා බොරු කලබල කරලා සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා මලක් පහනක් පූජා කරන එක හොඳයි කියලා තමා මම හිතාගත්තේ. 

අපේ Logic මිස්ටත් මානෙල්වත්ත විහාරයේ සර්වඥ ධාතු වඳින්න යන්න VIP Pass එකක් ලැබිලා මට යන්න කතා කළත් මට යන්න හිතුණේ නැහැ. පස්සේ පෝලිම අල්ලගෙන එන්න කියලා කතා කළත් මම ගියේ නැහැ. 

ඔය කතාව දැනගත්තු කීප දෙනෙක් මට බැන්නත් එක්ක "උඹ මහ බෞද්ධයා වුණාට සර්වඥ ධාතු වඳින්නවත් ගියේ නැහැ. වැඩක් නැහැ උඹගෙන්" නම් වගේ කතා කියලා. එයාලටත් මම දීපු උත්තරේ වුණේ පෝලිම්වල තෙරපිලා හිත් නරක් කරගෙන සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා වඳින එක සැපයි කියලා. 

ඔයින් මෙයින් මානෙල්වත්ත පන්සලෙන් අනිත් තැනට සර්වඥ ධාතු වැඩැම්මුවාට පස්සේ තමා ටිකක් හරි කනක් ඇහිලා ඉන්න පුලුවන් වුණේ. ඒත් අන්තිමට කැලණි රාජ මහා විහාරෙට සර්වඥ ධාතු වඩම්මන කතාව ප්‍රසිද්ධ වීමත් එක්ක ආයි කට්ටියගෙන් බර බරේ කැලණියටවත් ගිහින් සර්වඥ ධාතු වැඳලා වරෙන් කියලා.

කලින් ප්‍රතිපත්තියේම සුපුරුදු විදිහට ඉන්න හිතුවත් ඒක ටිකක් වෙනස් කරන්න වුණා "රාජකාරිය දේවකාරිය වගේ" නිසා. කැලණි පන්සලේ සර්වඥ ධාතු අන්තිම වතාවට ප්‍රදර්ශනය කරන්න තීරණය කිරීමත් එක්ක එතැන ප්‍රථමාධාර කටයුතු ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකයට පැවරුණා. මමත් ඒකේ සාමාජිකයෙක් වගේම නිලධාරියෙකුත් වෙන නිසා කැලණි පන්සලේ ප්‍රථමාධාර රාජකාරියට පිටත් වුණා. 


සර්වඥ ධාතු ප්‍රදර්ශනය පටන් ගත්තු අඟහරුවාදා උදේ 9 ට විතර අපි කැලණි පන්සලට ඇවිත් මකර තොරණ ඉස්සරහ අපි හැමදාම කැලණි පෙරහැරේ ප්‍රථමාධාර කටයුතුවලට ආපුවාම අපේ මධ්‍යස්ථානේ හදාගන්න තැනම tent එකත් ගහගෙන අපේ සේවය පටන් ගත්තා.


හිටපු සෙනඟ තමා සෙනඟ. දැනගන්න ලැබුණු විදිහට එක පෝලිමක කොණ තිබුණේ බොල්ලෑගල මානෙල්වත්ත පන්සල හරියේ. තව පෝලිමක කොණක් තොරණ හන්දිය කිට්ටුවට වෙනකම් ඇවිත් තිබුණලු. ඒ වගේමයි මානෙල්වත්ත පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනේටත් ආවාට වඩා වැඩි පිරිසක් එදා කැලණියට ඇවිත් ඉන්න බව තමා ආරංචි වුණේ. 

අපිත් එක්ක කතා බහකට එකතු වුණු පොලිස් අධිකාරීතුමෙක් කිව්වේ කලින් දවසේ රෑ පෝලිම අල්ලන්න 50,000 කට කිට්ටු පිරිසක් පන්සලට ඇවිත් හිටියා කියලා. කොහොමද සර්වඥ ධාතු වඳින්න තියෙන උවමනාව.

පොලිසීයේ අය වගේම STF එකේ අය ගොඩක් මහන්සි වුණා පෝලිම්වල තෙරපීම් අඩු කරන්න, සෙනඟ පාලනය කරන්න වගේම හොරෙන් පෝලිම් පනින අයව වළක්වන්න.

අපි අපේ කට්ටියව කණ්ඩායම්වලට බෙදලා කැලණි පන්සලේ උඩ මළුවට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධාන දොරටු 3 ගාවට වගේම පහළ මළුවේ තැන් කීපෙකටම යොමු කළා. ක්ලාන්තය හැදුණු අය, කොන්දේ කැක්කුම්, කකුල් කැක්කුම්, ඔළුවේ කැක්කුම් තියෙන අය එමටයි. ඒ අයටත් පුලුවන් ආකාරයෙන් ප්‍රථමාධාර ලබාදෙන්න අපේ අය කටයුතු කළා. 


පෝලිම්වල තෙරපෙන තෙරපිල්ලට තමා හුඟක් අයට අමාරු. පෝලිමක් තල්ලු වුණු වෙලාවක වැටිලා ඔළුවක් පලා ගත්තු ආච්චි කෙනෙකුටත් අපේ අය ප්‍රථමාධාර දීලා කිරිබත්ගොඩ මූලික රෝහලෙන් කරපු සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිහින් තිබුණා. 

ප්‍රථමාධාර කටයුතු වගේම අපි කරපු වටිනාම දේ වුණේ ඇවිදින්න අමාරු වගේම ශාරීරික ආබාධ තියෙන අයව අරගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරවන්න ධර්ම ශාලාවටම අරගෙන ගිය එක. පෝලිම්වල අමාරුවෙන් ඇවිත් අන්තිමට මකර තොරණ ගාව තියෙන පඩිපෙළ නගින්නවත් සමහර වයසක සීයලාට ආච්චිලාට පණ නැහැ. 


අපි කළේ එයාලව පඩි පෙළා නග්ගවලා එතන ඉදන් ධර්ම ශාලාවට යන්න තියෙන පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන යන එක.  

හැබැයි මේ වැඩේ අපි කළේ අපේ හිතු මනාපෙට නෙමෙයි. මකර තොරණ ඉස්සරහ ප්‍රදේශය භාරව හිටිය පොලිස් අධිකාරීතුමාගේ අවසරයෙන්.

ඒ වගේමයි ධර්ම ශාලාව ඇතුළේ ඉදන් ආපහු ප්‍රධාන මාර්ගය ඇවිදින්න අමාරු ආච්චිලා සීයලා අරගෙන යන එකත් අපි කළා. එක වෙලාවක් ඇවිදින්න අමාරු ආච්චි කෙනෙක්ව වඩාගෙනත් අරගෙන ගියා. ඒ ආච්චී අන්තිමට හොඳටම පින් දුන්නා අපිට. 

ඒ වගේමයි තව ආච්චි කෙනෙක්ව පහළ ඉදන්ම ධර්ම ශාලාව ගාවටම වත්තම් කරගෙන ආවාට පස්සේ අඬ අඬා "මහත්තයා මේ කරපු පිනෙන් බුදු බව ලබන්නම ඕනේ" කියලා කියපු එකත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. 

පෝලිම ගැනත් යමක් කියන්න ඕනේ. උදේ ඉදන් හවස 3 වෙනකම් VIP පෝලිමේ ගිහින් සර්වඥ ධාතු වන්දනා කරන්න ඉඩකඩ ලැබුණේ කැලණි පන්සලේ දායක දායිකාවන්ට. ඒත් ඒකෙත් හුටපටයක් වෙලා ටික වෙලාවක් ඒ පෝලිමත් නතර කරලා තිබුණා. 

ඔය වෙලාවේම තමා අපේ දවල් කෑම ලැබෙන්න කොහොමද කියලා බලන්න අපි හාමුදුරුවන්ගේ ආවාසේ පැත්තට ගියාම මට බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වෙන කස්සගේ මැස්ස ලියන කසුන් අනුරාධ මලයාවත් හම්බවුණේ. මිනිහා කැලණි පන්සලේ සැරම දායකයෙක්. 

දවල්ට කෑම නිකුත් කරන්න එක කරන්නේ ඇමති ආචාර්යතුමාගේ කට්ටිය කියලා තමා දැනගන්න ලැබුණේ. අන්තිමට වුණේ අපිට දවල්ට කෑම නැතිවුණු එක. පාන් ගෙනල්ලා තමා වේල පිරිමහ ගත්තේ.

හවස 3 න් පස්සේ අනෙක් VIP Pass පාස් හම්බවුණු අය පෝලිමට එකතු වුණා. අන්තිමට VIP පෝලිමත් පන්සල් වත්තෙන් එළියටම ඇවිත් සාමාන්‍ය පෝලිමක් ගාණටම දික් වුණා. මොකද පුලුවන් හැම මනුස්සයාම කොහෙන් හරි VIP Pass එකක් හොයාගෙන ඒකෙන් පස් දෙනෙක් යන්න පුලුවන් නිසා පෝලිමට ඇවිත් තිබුණේ.

සාමාන්‍ය පෝලිම්වලත් නොතිබුණු හුටපට තමා ඒ පෝලිමේ වුණේ. එක පාරක් පන්සල වටේ යද්දී පෝලිම් පැනලා මොකක් හරි හුටපටයක් වෙලා කට්ටියක් හොඳටම බැන ගන්නවා. එකෙක් මහ හයියෙන් කිව්වා "තොපිලට ධාතු නෙමෙයි පෙන්නන්න ඕනේ, හොර හැත්ත" කියලා.... ඕන් අපේ අයගේ සම්මා වාචා :D

රෑ බෝ වෙද්දී පෝලිමේ අගක් හොයාගන්න නැහැ මිනිස්සු එක පොදියක් වෙලා පොර කනවා. ඒ වෙලාවේ එතන හිටිය අපි ඇහුණා STF එක්කෙනෙක් කෑ ගහනවා මේ පොඩි ළමයා කාගෙද කියලා. පේනවනේ පොර කන පොර කෑමට ළමයි පවා අතරමං වෙලා. මතක් වුණු වෙලාවේ මේකත් කියන්න ඕනේ FM දෙරණෙන් කරපු කාර්යාලයෙන් හැම තිස්සෙම වගේ කිව්වේ අතරමං වුණු කට්ටිය ගැන. ඕන් වෙන වැඩ


පෝලිමේ වුණු හුටපට නිසා අන්තිමට VIP Pass කැන්සල් කරපු බවත් දැනගන්න ලැබුණා. ඒත් මිනිස්සු පොරකනවා. තල්ලු කරගන්නවා එකී මෙකී නොකී විගඩම්. මේකට කට්ටිය බැහැලා තමා තත්වය සමනය කළේ. 

රෑ කෑමත් ඔයින් මෙයින් අපිට ලැබුනේ නැහැ. ඒක නිසා අපි කීප දෙනෙක් එළියෙන් මොනවා හරි කන්න යද්දී පොලිසිය ගාව ආච්චි කෙනෙක් ක්ලන්තේ දාලා වැටිලා ඉන්නවා. එයාට අමාරු පාට පෙනුණු නිසා බඩගිනි පැත්තක දාලා එයාවත් පුටුවක ඉන්දෝගෙන සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගියා. ඒකෙන් මේකෙන් බඩගිනිත් නැතුව ගියා. 

ඊට පස්සේ ආයි එළියට ආපු වෙලාවේ ළමයෙක් හම්බෙන්න ඉන්න අක්කා කෙනෙක්ට අමාරු වෙලා ඉන්නවා දැක්කා. එයාව රෝහලකට යවන්න අපි කීප දෙනෙක්ම පාරට වෙලා වාහනවලට අත දදා නවත්තන්න හැදුවත් වැඩක් වුණේ නැහැ. 

නවත්තපු කීප දෙනෙක්ම විස්තරේ ඇහුවාට පස්සෙත් "අපි හයර් එකක් ඇවිත් ඉන්නේ අපිට බෑ" වගේ "අමන කතා" කියලා මග ඇරලා ගියා. ඕන් අපේ අයගේ මහ ලොකු මනුස්සකම. ශ්‍රද්ධාව දෝරේ ගලනවා ධාතු වඳින්න ඒත් ජීවිත දෙකක් බේරගන්න එන්නේ නැහැ. අපේ කටට හොඳ කුණුහරුප ආවත් කට පියාගෙන හිටියා. 

අන්තිමට මනුස්සකම දන්න මනුස්සයෙක් එයාගේ වාහනේ ඒ අක්කාව රෝහලකට ගෙනිච්චා.

පාරේ පෝලිම්වල ඉන්න සමහර අයත් එක්ක අපි කතා කරද්දී සමහරු පාන්දර දෙකේ තුනේ ඉදන් පෝලිම්වල ඉන්නේ. අපි එයාලා එක්ක කතා කරද්දිත් වෙලාවට හතට අටට විතර ඇති. හිතාගන්න පුලුවන්නේ පෝලිම්වල දිග.

තවත් සමහරු පෝලිම් පටලවාගෙන ධාතු වැඳිල්ලත් එපා වෙලා ගෙදර යන්න හදනවා. ඕන් ඔය වගේ ජාති ගොඩයි. 


රෑ 12 කිට්ටු වෙද්දී අපේ අයගෙනුත් හුඟක් අයට අමාරු එහෙට මෙහෙට ඇවිදලාම රාජකාරිය කරලා. අන්තිමට අමාරුම පොඩි එවුන්ට නිදාගන්න කියලා මකර තොරණ ගාව පඩිපෙළේ රාජකාරිය අපි භාර ගත්තා. අර කලින් කිව්ව එතැන හිටිය පොලිස් අධිකාරීතුමා පෝලිමේ ඉන්න නැතුව යන්න කියන සීයලා ආච්චිලාව අපි වත්තම් කරගෙන පඩිපෙළ නග්ගවලා පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන ගියා. 

ඔය වෙලාව වෙද්දී අපිටත් හොඳ ගණන් හරියට කෑමකුත් නැහැ හිටගෙන ඉදලා යටි පතුල් එහෙම හොඳටම රිදෙනවා. ඒ ඔක්කෝටම වඩා නිදිමතයි. ඒත් වාඩිවුණොත් නින්ද යන නිසා ඇවිද ඇවිද මූණ හෝද හෝද පුලුවන් විදිහට වාරු නැති අයට උදව් වුණා. 

කියන්නත් අමතක වුණා ඒ රාජකාරියේ ඉන්න ගමන්ම තුන් හතර පාරක්ම සර්වඥ ධාතූන් වහන්සේලාත් වන්දනා කරගත්තා. 


ඊට පස්සේ පාන්දර ධර්ම ශාලාව සර්වඥ ධාතූන් වහන්සේලා ගාව ඉන්න වගේම ෆොටෝ කීපයකුත් ගන්න ලැබුණා. ඒ විදිහට ධර්ම ශාලාව ඇතුළේ හිටියේ කීප දෙනෙක්ම ඇතුළේදීත් ක්ලාන්ත වුණු නිසා එතනටත් අපේ සේවය ඕනේ වුණු නිසා. 

උදේ පාන්දර 5 ට විතර පැය භාගයක් විතර නිදාගන්න පුලුවන් වුණා. ඒත් ඇඟේ පතේ අමාරුව නම් ගියේම නැහැ.


උදේත් පුලු පුලුවන් විදිහට අපේ සේවය කළා. හැබැයි ඇත්තම කිව්වොත් ඒ වෙද්දී හොඳ ගණන්. හරියට කකුල් දෙකෙන් එල්ලලා කකුල්වලටයි යටි පතුල්වලටයි හොඳට පොලුවලින් ගැහුවා වගේ තමා කැක්කුම 

කොහොම නමුත් මම හුඟක් තැන්වල කිව්වා වගේම ධාතු වඳින්න ගිහින් හුඟක් අය කරගත්තේ පව්. ලෝභය, ද්වේෂය, පරුෂ වචන කීම වගේ නොයෙක් ජාතියේ පව් වැඩ තමා ධාතු වඳින්න ආපු එකෙන් හුඟක් අය කරගත්තේ.. 

ඒ වගේමයි ලංකාවේ මලය තෙරුනට හමුවුණු මෛත්‍රී බෝසතුන් කතාවේදී කිව්ව මේ ප්‍රකාශයම තමා මට ආයිත් කියන්න හිතෙන්නේ.  

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති


අන්තිමටම මේ ටික කියන්න ඕනේ. සර්වඥ ධාතූන් වහන්සේලා ඒ විදිහට තෙරපිලා පොරකාලා වඳින්න යන්න මම කැමති වුණේ නැතත් ඒකට මට පහසුවෙන් යන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මොකක් හරි බලවේගයකට පෙනුණු නිසා හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසා හරි මට හුඟක් පහසුවෙන් සර්වඥ ධාතූන් වහන්සේල එක පාරක් නෙමේ කීප පාරක්ම වන්දනා කරගන්න පුලුවන් වුණා. ඒ වගේමයි පැය කීපයක් ඒ අසළම ඉන්න පුලුවන් වුණා.  

අනෙක් කතාව තමා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළාටත් වඩා සතුටක් මගේ හිතට එන්නේ අපි උදව් කරපු සීයලා ආච්චිලා අපිට පින් දීපු හැටි මතක් වෙද්දී. මොකද අපි ඒ දේවල් කළේ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හරියටම කිව්වොත් නිස්සරණාධ්‍යාශයෙන්. ඉතින් ඒ නිසා නිරාමිස සතුටක් මට ලබන්න පුලුවන් වුණා. ඒක මට හැමදාම මතක තියේවි.

ඩඩ්ලි සේනානායකගේ අවමඟුලට සෙනඟ ආ හැටි

ප්‍රථමාධාරකරුවෙක් විදිහට මගේ අවුරුදු 8 ක සේවා කාලය ඇතුලේ සහභාගි වුණු ලොකුම රාජකාරිය තමා මේක. ඉතින් රාජකාරි පැත්තෙනුත් මට මේක ලොකු අත්දැකීමක්. අපේ ප්‍රථමාධාර සර් කියපු විදිහට සර්ත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක අභාවයට පත්වුණු වෙලාවේ එතැන ප්‍රථමාධාර රාජකාරි ගියාට පස්සේ මේ වගේ රාජකාරියකට ආවාමලු.

ප.ලි.: මට කලින් කියන්නත් අමතක වුණා. මේ කතාවේ විශේෂ පිදුම අපේ කැම්පස් එකේ සගයෙක් වගේ බ්ලොග් අවකාශයේත් සගයෙක් වෙන අමිල ගම්මුදලිට. 

පහුගිය දවස් ටිකේ ලියපු කතා ගැන මිනිහා කිව්වේ ඒවා නෙමෙයි මොකක් හරි ආතල් කතාවක් ලියපන්කෝ කියලා. මේ කතාවත් ඉතින් ආතල් කතාවක්ද මන්දා. උඹම කියවලා හිතපන් ලොක්කා 

Thursday, September 13, 2012

මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි


ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. 

මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු කරුණු මේ පොතේ තියෙන නිසා ඒ උපුටා ගැනීමක් තමා මේ.


දිව්‍ය ලෝකය යනු කිමෙක් ද ?

අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.

මේ දිව්‍ය ලෝක මොනවා ද ? බෞද්ධයන්ට උගන්වනු ලබන දිව්‍ය ලෝක ගැන සිතන විට ඒවා හොඳට කෑම බීම ඇති සැප පහසුකම් ඇති, සුරංගනාවන් පිරිවරාගෙන සිටිය හැකි කොටින්ම කිව හොත් සුඛෝපභෝගී ජීවිතයෙහි ඉමක් කොනක් නැති තැන් ය.

තිරිසන් සතුන් ද ජීවීන්ට ඇතුළත් ය. බුද්ධාගමේ උගන්වන පරිදි ඌරෙකුටත්, අලියකුටත්, ගොනකුටත් ආදී හැම සතකුට ම මිනිසත් බවක් ද ලැබිය හැකි ය. අපි ඌරකු ගනිමු. ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි.

"මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."

අපි ගොනකුගෙන් ඌ යාමට කැමති දිව්‍ය ලෝකය ගැන ප්‍රශ්න කරමු. ඌට අපේ භාෂාවෙන් කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකි ය.

"මා කැමති හොඳට තණ කොළ තිබෙන ජලය තිබෙන පුන්නක්කු උවමනා තරම් තිබෙන දිව්‍ය ලෝකයට ය."

මේ නයින් බලන විට මිනිසා පටන් තිරිසනා දක්වා කවුරුත් කැමති හොඳට කා බී සනීපයෙන් කාලය ගෙවිය හැකි දිව්‍ය ලෝකවලට ය. බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය. ඒත් දිව්‍ය ලෝක කියා ලෝක ඇත් නම් ය. අපේ තර්කයට අපි දිව්‍ය ලෝක ඇතැයි කල්පනා කරමු. 

ඒ ඇතැයි කල්පනා කරන ලෝක සුඛෝපභෝගී තැන් ය. තණ්හාව උපදවන තැන් ය. තණ්හාව උපදවන තැන්වල සිට බෞද්ධයකුට තණ්හාව නැති කර ගැනීම පහසු නො වේ. තණ්හාව නැති කර ගැනීම බෞද්ධයකු ගේ පරමාර්ථය විය යුතු ය.

අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. බෞද්ධ භික්ෂුවකට දානයක් දුන් විට පුණ්‍යානුමෝදනාවේ දී කියන්නේ කිමෙක් ද ? මේ දුන් දනෙහි පිනින් ඊ ළඟ ආත්මයේ දී දෙව් ලොව ගොස් දිවඟනන් පිරිවරා අමෘතය වළඳන්නට හේතු වාසනා සම්පත් ලැබේ වායි කියායි.

සැප විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක් නිසා ද ? පාපයක් නිසා නො වේ ද ?

මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි. 

ඔන්න ඔහොමයි ඒ කතාව තිබුණේ........

මීමන ප්‍රේමතිලකයන් ගැන මෙතනින් තවත් කියවන්න.

ප.ලි.: ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප.ප.ලි.: පෙරේදා උදේ ඉදන් ඊයේ උදේ වෙනකම් කැලණි රාජ මහා විහාරයේ තිබුණු කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට සහභාගි වෙලා හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ආවා.

ඒ කතාව ලියන්න හිතාගෙන හිටියත් තියෙන මහන්සියට ඒ කතාව කොටාගන්න බැරිවුනා. මේ කතාව කලින් කොටලා තිබුණු නිසා අද පළ කළත් ඉක්මණටම කපිලවස්තුපුර ධාතු වැඳීමේ කතාව කියන්නයි අදහස

Sunday, September 9, 2012

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 4 කොටස

 ගුරු හර්ගෝබින්ද්

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් තුනකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි


කලින් කතාව නැවැත්තුවේ ගුරු අර්ජන් දේව්ව මෝගල් අධිරාජයා වුණු ජහාන්ගීර්ගේ අණින් 1606 දී දරුණු වධ හිංසා දීලා මරා දැමීමත් එක්ක මීළඟ ගුරු විදිහට ගුරු අර්ජන් දේව්ගේ පුත්‍රයා වුණු ගුරු හර්ගෝබින්ද් පත්වීමත් එක්ක. 

සීක්වරුන්ව සාමකාමී මාර්ගයෙන් ඉවත් කරලා සටන්කාමී තත්වයකට පත් කරන්නේ ගුරු හර්ගෝබින්ද්. ඔහුව ගුරු තනතුරට පත් කරන උත්සවයේදීම ඔහු වම් පසින් සහ දකුණු පසින් කඩු දෙකක් එල්ලා ගන්නවා. ඒ කඩු දෙකෙන් සංකේතවත් කරන්නේ "පිරි" [ආධ්‍යාත්මික බලය] වගේම "මිරි" [ලෞකික බලය] බව ගුරු හර්ගෝබින්ද් දක්වනවා. 

 අකාල් තක්ත්

1608 දී හර්මන්දිර් සහීබ් ආසන්නයේ අකාල් තක්ත් "සර්වබලධාරී සිහසුන" නමින් මාළිගාවක් ඉදි කරපු ගුරු හර්ගෝබින්ද් එයින් ගුරුගේ ලෞකික නායකත්වයත් හර්මන්දිර් සහීබ් තුළින් ගුරුගේ ආධ්‍යාත්මික නායකත්වයත් පෙන්වන බව ප්‍රකාශ කළා.  මේ නිසා සීක්වරු ඔහුව"සව පශාහ්" කියන විරුද නාමයෙන් හඳුන්වනවා. 

අකාල් තක්ත්හි සිටින ගුරු හර්ගෝබින්ද්

ඒ වගේමයි ගුරු හර්ගෝබින්ද් තමන්ගේ රාජ්‍යත්වය සංකේතවත් කරන්න ඡත්‍රයක්, කල්ගියක් හෙවත් කිණිස්සක් සහ මිරි සහ පිරි සංකේතවත් කරන කඩු දෙක භාවිතා කරලා සංකේතයක් නිර්මාණය කළා. අද දක්වාම සීක්වරුන් තමන්ගේ සළකුණ විදිහට භාවිතා කරන්නේ ඒ ලාංඡනය තමා.

සීක්වරුන්ගේ ලාංඡනය

මෝගල් තර්ජනයෙක් සීක්වරුන් වගේම සීක් දහම ආරක්ෂා කරන්න ගුරු හර්ගෝබින්ද් පියවර කීපයක්ම ගත්තා. ඒ යටතේ අම්රිත්සාර්වල "ලෝහ්ගාර්හ්" Fortress of Steel නමින් බලකොටුවක් තැනෙව්වා වගේම සෑම සීක්වරයෙක්ටම තමන්ගේ ආරක්ෂාව උදෙසා ආත්මාරක්ෂක සටන් පුහුණු වෙන්න අණ කරනු ලැබුවා. 

ඒ හැරෙන්න අශ්වයන් 700 ක් පමණ ගුරු හර්ගෝබින්ද්ගේ ඉස්තාලයේ හිටියා වගේම "රිසල්දාරී" නමින් හඳුන්වපු ගුරුගේ හමුදාවේ අශ්වාරෝහකයන් 300 ක් සහ තුවක්කුකරුවන් 60 කගෙන් සමන්විත වුණා.

යුධ වදින ගුරු හර්ගෝබින්ද්

මේ ආකාරයෙන් සන්නද්ධ වුණු ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයට එරෙහි ප්‍රධාන සටන් 4 ක් පමණ සිදු කළත් මෝගල් අධිරාජ්‍යයේ තිබුණු බලවත්කම නිසා ඒවා එතරම් සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේදී ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයේ සිරකරුවෙක් විදිහට ගවාලිඔර් සිර ගෙදර කල් ගත කරනවා. 

 ගුරු හර්ගෝබින්ද්ව සිරෙන් නිදහස් කිරීම

කොහොම නමුත් ගුරු හර්ගෝබින්ද් සහ ජහාන්ගීර් අධිරාජයා අතර සමඟියක් ඇතිවීමත් එක්ක අධිරාජයා ගුරුව නිදහස් කරනවා. මේ සිද්ධිය සීක්වරු හර්මන්දිර් සහීබ් පිහිටි ප්‍රදේශයේ මල් වෙඩිවලින් වගේම පහන් ආදියෙන් ආලෝකමත් කරමින් සමරනවා. අද දක්වාම "දිවාලී උත්සවය" නමින් සීක්වරුන් මේ විශේෂ සිදුවීම සිහිපත් කරනවා. 

ගුරු හර්ගෝබින්ද්ගෙන් සීක් දහමේ ව්‍යාප්තියට වුණු සේවය ගැන කතා කළොත් ඔහු සීක් දහම බිහාර් සහ බෙංගාල් ප්‍රදේශවල ව්‍යාප්ත කරවන්න කටයුතු කරනවා.  තවත් ඔහු කළ විශේෂ කාර්යයක් තමා ටාවුස් නමින් නව සංගීත භාණ්ඩයක් නිර්මාණය කරපු එක. 

 ටාවුස්

ඒකෙන් ගීතිකා ගායනා කරද්දී ඒ සඳහා සුමධුර වාදනයක් ලබාදීම අපේක්ෂා කෙරුණා. ඒ වගේමයි සීක්වරුන් සඳහා කිරාත්පූර් නමින් අලුත් නගරයකුත් ගුරු හර්ගෝබින්ද් නිර්මාණය කරනවා.
මෝගල් අධිරාජ්‍යයේ ජහාන්ගීර් අධිරාජයා සමඟ ගුරු හර්ගෝබින්ද් සමඟියෙන් කටයුතු කළත් ඉන්පසුව අධිරාජයා වුණු ෂාජහාන් සමඟ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක නැවත වරක් සීක් මෝගල් ගැටුම ආරම්භ වෙනවා. 
මේ නිසා අම්රිත්සාර්වලින් කිරාත්පූර්වලට තමන්ගේ මූලස්ථානය අරගෙන යන්න ගුරු හර්ගෝබින්ද් සිද්ධ වෙනවා. ඔහු 1644 මාර්තු 19 මියයන්නේත් කිරාත්පූර්වලදීමයි.

ගුරු හර් රායි

ගුරු හර්ගෝබින්ද්ට පුතුන් කීප දෙනෙක්ම හිටියත් එයා තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන්නේ තම පුත්‍ර බාබා ගුරුදිත්තගේ පුත්‍රයා වුණු ගුරු හර් රායිව. 1644 මාර්තු 19 වෙනිදා ගුරු තනතුරුට පත්වුණු ගුරු හර් රායිගේ වයස අවුරුදු 14 ක් පමණ වුණා. තමන්ගේ පුතුන්වත් පසෙක දාලා මේ ආකාරයෙන් තමන්ගේ මුණුපුරු හර් රායිව ගුරු තනතුරට පත් කරන්න හේතුවුනා කියන්නේ ඔහු තුල තිබුණු ශාන්ත ගති පැවතුම් නිසා.

ගුරු හර් රායි තමන්ගේ සීයා වුණු ගුරු හර්ගෝබින්ද් අනුගමනය කරපු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනගියා. ඒ යටතේ 2200 අශ්වාරෝහක බල ඇණියක් සකස් කරන්න ඔහු කටයුතු කරනවා. කොහොම නමුත් එවකට මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් සමඟ සමඟියෙන් කටයුතු කරපු ගුරු හර් රායි සටන් කරලා තිබෙන්නේ ප්‍රාදේශීයව ඔහුට අභියෝගයක් වුණු කණ්ඩායම් සමඟයි.

ෂාජහන්

ගුරු හර් රායි මාල්වා සහ දෝඅබා ප්‍රදේශවල සංචාරයකින් පස්සේ ආපසු පැමිණියාව ගුරු හර්ගෝබින්ද් විසින් මරා දමපු මුඛ්ලිස් ඛාන්ගේ පුතා වුණු මොහොමඩ් යාර්බෙග් ඛාන් ගුරු සමඟ සටනට ආවා. මේ සටන ගුරු හර් රායි ජයග්‍රහණය කළා වගේම සටන පුරාවට හිංසාවෙන් තොරව වගේම නිරායුධ අයට පහර නොදෙමින් තමා සීක්වරුන් සටන සිදු කළා. "අහිංසා පර්මෝ ධර්මා" තමා ඔවුන්ගේ තේමාව වුණේ

ගුරු හර් රායි දාරා ෂිකෝ වෙනුවෙන් ඖෂධ ලබාදීම

කිරාත්පූර්හි ආයුර්වේද රෝහලක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරපු ගුරු හර් රායි ඒ යටතේ ලොකු සේවාවක් සිදු කළා. විශේෂයෙන් ෂාජහන් අධිරාජයාගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝට වැළදුණු සුව කළ නොහැකි රෝගයක් පවා මේ රෝහලේ ඖෂධවලින් සුව කර දෙන්න ගුරු හර් රායි හැකිවුණා. ඒ වගේ සිදුවීම් හරහා තමා මෝගල් සීක් සුහදත්වයක් ඒ වෙද්දී ගොඩනැගෙමින් තිබුණේ.

ආගමික වශයෙන් සිදුවුණු ගුරු හර් රායිගේ සේවය ගැන කත කළොත් ගුරු අමර් දාස් ආරම්භ කරපු මඤ්ජිස් ක්‍රමය තවත් වැඩි දියුණු කරපු ගුරු හර් රායි මඤ්ජිස් 360 ආරම්භ කරනවා. ඒ වගේමයි ඒ වෙද්දී අඩාළ වෙලා තිබුණු මසන්ද් ක්‍රමය නැවතත් ක්‍රමවත්ව ආරම්භ කරන්නත් කටයුතු කරනවා.

මේ විදිහට මුල් කාලය සාමකාමීව ගත කරපු ගුරු හර් රායිට අවසන් කාලය අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකට හේතුව තමා එවකට හිටිය මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් මියයාමත් එක්ක සිහසුනට ඇතිවුණු අරගලවලදී දාරා ෂිකෝ කියන කුමාරයාට ගුරු හර් රායි සහය ලබාදීම නිසා.

ෂාජහාන්ගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝ ගුරු හර් රායිගේ ඖෂධ නිසා දිවි ගලවා ගත්තු නිසා ගුරු සමඟ හිතවත්කමක් තිබුණා. අනික් කාරණේ තමා ගුරු හර් රායි මේ ආකාරයෙන් දාරා ෂිකෝට සහය දෙන්නේ ඔහු ආගමික සහනශීලීත්වයක් තිබුණු අයෙක් නිසායි.

 ඖරංසෙබ්

ඒත් අවසානයේදී සිදුවෙන්නේ ෂාජහාන්ගේ තවත් පුතෙක් වුණු ඖරංසෙබ් රාජප්‍රාප්ති සටනෙන් ජය ගැනීම. ඒ වගේමයි දාරා ෂිකෝව සහ ඔහුගේ පුතාව අල්ලා ගත්තු ඖරංසෙබ් එයාලව දිල්ලිය පුරාම උසුළු විසුළුවලට ලක් කරමින් ඇවිද්දවලා මරා දමනවා.

මේ සිදුවීම් සමඟම ඖරංසෙබ් ගුරු හර් රායි දාරා ෂිකෝට සහය දීපු නිසා දිල්ලියට ඇවිත් අධිරාජයා හමුවෙන්න නියම කරනවා. නමුත් මේ සඳහා ගුරු හර් රායි පිටත් කරන්නේ තමන්ගේ වැඩිමහල් පුතා වුණු බාබා රාම් රායි. බාබා රාම් රායිට පැවරුණු කාර්යය වුණේ ඖරංසෙබ්ට ගුරු ග්‍රන්ථ් සහීබ් ගැන වැටහීමක් ලබාදීලා ඒ හරහා සීක් දහම ගැන පැහැදීමක් ඇති කරවන එක.

ඒත් බාබා රාම් රායි ගුරු ග්‍රන්ථ් සහීබ්වල සමහර කොටස් විකෘති කරමින් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වෙන විදිහට ඉදිරිපත් කිරීමත් එක්ක ඒවා සියල්ලම ගුරු හර් රායි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේමයි ගුරු නානක්ගේ සිට ඇරඹුණු ගුරු ග්‍රන්ථ සහීබ් සීක්වරුන්ගේ උරුමයක් බවත් ඒකේ මුල් කරුණු විකෘති කිරීම නොකළ යුතුයි කියලා නියමයකුත් පනවනවා.

බාබා රාම් රායි කරපු කාර්යයෙන් ඖරංසෙබ්ගේ හිත දිනාගත්තු නිසා ඖරංසෙබ් ගුරු හර් රායිගෙන් ඉල්ලා සිටිනවා මීළඟ ගුරු ලෙසට බාබා රාම් රායි පත් කරන්න කියලා. බාබා රාම් රායිගේ අරමුණ වෙන්නේත් ඒකම තමා. ඒත් සීක්වරුන්ට එරෙහිව බාබා රාම් රායි කරපු ක්‍රියාව නිසා ඔහු ගුරු තනතුරට සුදුසු නැහැ කියන එක තමා ගුරු හර් රායිගේ අදහස වුනේ.

ගුරු හර් රායි මේ අවස්ථාවේ කියනවා "ගුරු තනතුර කියන්නේ හරියට කොටි දෙනකගේ කිරි තබාගන්න ගන්න රන් බඳුනක් වගේ. දිවි හිමියෙන් ගුරු තනතුරට කැපවෙන අයෙකුටයි ඒක සුදුසු වෙන්නේ. ඒක නිසා ගුරු රායිට නැවත මගේ මුහුණ දකින්නවත් ඉඩ තබන්න එපා" කියලා

ගුරු හර් රායි සහ ගුරු හර් ක්‍රිෂන්

අවසානයේදී 1661 ඔක්තෝබර් 6 ගුරු හර් රායි මියයන්න කලින් මීළඟ ගුරු විදිහට තමන්ගේ අවුරුදු 5 ක් පමණ වයසැති පුත්‍රයා වුණු ගුරු හර් ක්‍රිෂන්ව නම් කරනවා.

මේ අතරවාරයේම ඖරංසෙබ්ගේ සහය ලැබුණු බාබා රාම් රායි තමන්ගේ පිරිසත් එක්ක "රාම්රායියා" නමින් වෙනම පාර්ශවයක් බවට පත්වෙලා තමන්ගේ මූලස්ථානය විදිහට ඩෙහ්රා ඩූන් තෝරා ගන්නවා. ඔවුන් පිළිගන්නේ ගුරු හර් රායිගෙන් පස්සේ ගුරු වෙන්නේ ගුරු රාම් රායි කියලා.

ගුරු හර් ක්‍රිෂන්

ගුරු හර් ක්‍රිෂන් බොහොම ලාබාල වයසේදීම ගුරු තතතුරට පත්වුණු නිසා සීක්වරුන් ඔහුව හඳුන්වන්නේ "බාල් ගුරු" [ළමා ගුරු] විදිහට. ඒ කෙසේ වුණත් බුද්ධිමත්කම සහ අභියෝග සාර්ථකව ජයගැනීමෙන් ගුරු හර් ක්‍රිෂන් වයසට වඩා මුහුකුරා ගිය පරිණත බවක් පෙන්නුම් කරනවා.

මේ අතර වාරයේ බාබා රාම් රායි ගුරු හර් ක්‍රිෂන්ව විනාශ කරන්න උපක්‍රමයක් දියත් කළා. ඒ උපක්‍රමය වුණේ තමන්ගේ හිතවතා වුණු ඖරංසෙබ් අධිරාජයා ලවා අධිරාජයා මුණ ගැසීමට ගුරු හර් ක්‍රිෂන් දිල්ලියට පැමිණිය යුතුයි කියලා නියම කරපු එක. ගුරු හර් රායි මියයන්න කලින් ගුරු හර් ක්‍රිෂන්ට නියම කරනවා කවදාත් ඖරංසෙබ්ව හමුවෙන්න යන්න එපා කියලා.

ඒ නියමය කඩ කරලා ගුරු හර් ක්‍රිෂන් ඖරංසෙබ්ව මුණ ගැහුණොත් ගුරුගේ ඉල්ලීම කඩපු නිසා සීක්වරුන් අතර ගුරු හර් ක්‍රිෂන්ව අප්‍රසාදයට පත් කරන එක තමා බාබා රාම් රායිගේ අදහස වුණේ. අනෙක් අතට ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා මුණ ගැහෙන්න ආවේ නැත්නම් මෝගල් සේනා යවලා අධිරාජයාගේ නියමයට පිටුපෑවා කියලා ගුරු හර් ක්‍රිෂන්ව අත් අඩංගුවට ගන්න බාබා රාම් රායි බලාපොරොත්තු වුණා.

ඒත් මේ සැලස්ම ව්‍යර්ථ වෙන්නේ ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා හමුවෙන්න දිල්ලිය බලා පිටත් වුණු නිසයි. ගුරුව කැඳවාගෙන එන්න ඖරංසෙබ් විසින් පිටත් කරන මිර්සා ප්‍රදේශයේ රාජා වුණු ජායි සිංග් සීක් ගුරුන්ගේ හිතවතෙක් වුණා. ජායි සිංග් කළේ ගුරු හර් ක්‍රිෂන්ව සුරක්ෂිතව දිල්ලියට ගෙනල්ලා ඖරංසෙබ්ට ගුරු හර් ක්‍රිෂන්ව පුද්ගලිකව හමුවෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරපු එක.

බ්‍රාහ්මණ ලාල් චන්දට භගවත් ගීතාව පැහැදිලි කරන ගුරු හර් ක්‍රිෂන්

ඒ අතර වාරයේ ජායි සිංග් ගුරු හර් ක්‍රිෂන්ගෙන් ඉල්ලා සිටිනවා දිල්ලියේ ඉන්න සීක්වරුන් වෙනුවෙන් දේශනාවන් පවත්වන්න කියලා. දේශනාවන් පවත්වන අතරවාරයේ  ලාල් චන්ද් කියන බ්‍රාහ්මණයා ගුරුගේ දැනුම පරීක්ෂා කරන්න කරපු අභියෝගයේදී භගවද් ගීතාව ගැන අලංකාර විස්තරයක් කරමින් ගීතාවේ අර්ථය ගුරු හර් ක්‍රිෂන් පැහැදිලි කරනවා. ගුරුගේ වුණු දැනුම ගැන අවසානයේදී ලාල් චන්ද් අතිශය පුදුමයට පත් වෙනවා.

ගුරු හර් ක්‍රිෂන් වසූරිය රෝගීන්ට ආශිර්වාද කරමින්

මේ කාලයේ දිල්ලිය පුරා වසූරිය පැතිර යමින් තිබුණු වසූරිය නිසා රෝගීවූවන්ට ආශිර්වාද කරමින් සුව කරන්නත් ගුරු හර් ක්‍රිෂන් කටයුතු කරනවා. වැඩි වැඩියෙන් වසූරිය රෝගීන් ගාවට ගියපු නිසා ගුරු හර් ක්‍රිෂන්ටත් වසූරිය වැළදෙනවා.

ජායි සිංගේ මාළිගාවක වාසය කරපු අවසානයේදී 1664 මාර්තු 30 ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයනවා. ගුරු හර් ක්‍රිෂන්ව යමුනා ගඟේ ගං ඉවුරේ ආදාහනය කරන අතර ඒ ස්ථානයේ ගුරු වෙනුවෙන් ගුරුද්වාර බාල සහීබ් නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා. ඒ දෙස බලා සිටීමෙන් පවා රෝග තත්වයන් සුව වෙන බවයි කියවෙන්නේ.

 ගුරුද්වාර බංග්ලා සහීබ්

ගුරු නැවතී සිටි ජායි සිංගේ මාළිගාව "ගුරුද්වාර බංග්ලා සහීබ්" නමින් පූජනීය ස්ථානය බවට පත්වෙනවා. ගුරු හර් රායි දිල්ලියේ වැසියන්ට කරපු සේවාව නිසාම හින්දූන් "බාල්මුකන්ද්" නමිනුත් මුස්ලිම්වරු "බාලා පිර්" නමිනුත් ඔහුව සිහිපත් කරනවා.

ගුරු හර් ක්‍රිෂන්ගෙන් පස්සේ ගුරු තනතුරට පත්වෙන්නේ ගුරු තේජ් බහාදූර්. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. ගුරු හර් ක්‍රිෂන් මියයන්න කලින් අහස දෙසට අත් දිගු කරලා "බාබා බකාලා" කියලා සඳහන් කරනවා. ඒකේ අර්ථය විදිහට ගැනෙන්නේ මීළඟ ගුරු බාබා බකාලා ප්‍රදේශයේ ඉන්නවා කියන එක. ඒ අනුව ඒ ප්‍රදේශයේ වාසය කරපු ගුරු හර්ගෝබින්ද්ගේ පුත්‍රයෙක් වුණු ගුරු තේජ් බහාදූර් මීළඟ ගුරු විදිහට පත්වෙනවා.

ගුරු තේජ් බහාදූර් ගැන වගේම අවසන් ගුරු වුණු ගුරු ගෝබින්ද් සිං ගැන ඊළඟට කියන්නම්..........

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා

Thursday, September 6, 2012

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි

 කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්

මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.

පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. 

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා. 

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා. 


ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා. 

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා. 

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා. 

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා. 

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මට හිතෙන විදිහට නම් එහෙම කතාවක් ඇතිවෙන්න බලපෑවේ ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික වශයෙන් ලොවුතුරා බුදුවරුන්ගේ ආකාර තුනක් පැවතීම වෙන්න ඕනේ. මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ.


හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. 

මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. උන්වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ක් වුණා වගේම උන්වහන්සෙගේ ආයුෂ වසර 80 ක් වුණා. ධර්මය දේශනා කරද්දී විවිධ බාධකවලට මුහුණ දෙන්න උන්වහන්සේට සිදුවුණා.

ඒත් ශ්‍රද්ධාධික බුදුවරුන් පහළ වන කාලය ආයුෂ වගේම පහළ වන කාලයත් ප්‍රඥාධික බුදුවරයෙකුගේ කාලයට වඩා සෞභාග්‍යමත් කාලයක්.

ඊටත් වඩා සෞභාග්‍යමත් කාලයක් වීර්යාධික බුදුවරයෙක් පහළ වන කාලයේදී පවතිනවා. ඒ වගේමයි ඒ කාලයේ පරමායුෂ අවුරුදු 80,000 ක් පමණ වෙනවා. අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක්.

මෙන්න මේ වගේ කරුණු නිසා වෙන්න ඇති හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ.

කේතුමතී පුරය ගැන කියවෙන නන්දා මාලිනී ගායනා කරන ගීතයක් තමා මේ. දේශපාලනික කියවීම පැත්තකින් තියලා කේතුමතී පුරය මොනවගේද කියලා දැනගන්න අහලා බලන්නකෝ

 

මේ ගමන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා වගේම මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගනිපු කතාවත් කියන්නම්.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පළමු වතාවට තමන්ගේ උපන් බිම වුණු කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට පිටත් වුණානේ [කපිලවස්තුව කිව්වාමනේ දැන් හුඟක් අය දන්නේ] ඉතින් උන්වහන්සේ ඇතුළු මහා සංඝයාව සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍ය රජ දරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. හැබැයි මෙහෙම දේකුත් වුණා.

 කපිලවස්තුව

ඒ තමා ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට එයා අපිට වඩා බාලයි. අපි මොකටද එයාට වඳින්නේ කියලා. ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් වැඩේ සවුත්තු වෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා.

යමා මහ පෙළහර කියන එකත් කෙටියෙන් සහ සරලව විස්තර කරන්නම්.

යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම. 

පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.



මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා. 

බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා. 
  • පළමු අවස්ථාව තමා බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
  • දෙවෙනි අවස්ථාව තමා අද කතාවට සම්බන්ධ ශාක්‍යයන්ගේ මානය බිඳපු ආකාරය
  • තුන්වෙනි අවස්ථාව තමා ගණ්ඩබ්බ කියන අඹ රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පාපු අවස්ථාව. 
ඉතින් නැවතත් කතාවට ආවොත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන් කිඹුල්වත් පුරයේදී යමා මහ පෙළහර පාන ආකාරය රජගහ නුවර ගිජුකුළු පර්වතයේ ඉදන් දැක්ක සැරියුත් මහ රහතන් වහන්සේ මේ උත්කර්ෂවත් අවස්ථාවේ එතැනට රැස්වෙලා ඉන්න දෙවි මිනිසුන්ට යහපතක් කරන්න ඕනේ කියන අරමුණෙන් බුදුන් වහන්සේගෙන් බුද්ධවංශ දේශනාව පිළිබඳ විචාරනවා කියලා අරමුණු කරගෙන තමන්වහන්සේ සමඟ හිටිය රහතන් වහන්සේලාත් සමඟ අහසෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා. 

බුදුන් වහන්සේට නමස්කාර කරන සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රථම ප්‍රණිධානයේ ඉදන් බුද්ධත්වය ලැබීම දක්වා වන බුද්ධ වංශය පිළිබඳ දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුන් වහන්සේ තමන්වහන්සේ බෝසත් සමය ගත කරපු ආකාරය වගේම අනියත විවරණ සහ නියත විවරණ ලබාගත් ආකාරයත් දේශනා කරනවා. 

අවසාන වශයෙන් නැවත වරක් සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරදුන් සම්බන්ධවත් කරුණු දේශනා කරනවා. අනාගත වංශ  දේශනාව කියලා හැඳින්වෙන්නේ ඒ දේශනාව. 

ඒ යටතේ කල්ප විනාශය, මෛත්‍රී බෝසතුන්ගේ බෝසත් සමය, කේතුමතී පුරය ඇතිවීම, බෝසතුන් කේතුමතියේ පහළවීම, මහබිනික්මන, බුද්ධත්වය වගේ කරුණු කාරණා සියල්ලම බුදුන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කරවීම

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වහන්සේගෙන් අවසන් නියත විවරණය ලබාගත්තු කතාවත් කියන්නම්කෝ. මම කලින් දවසක බුද්ධ කාලයේ මිහිපිට ජීවත්වුණු තව්තිසාවේ දෙවිවරුන් සටහනෙන් බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ. 

මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්. 

ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා. 
  

ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

"මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා" 

යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා. 

ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා..... 

 දඹුළු විහාරයේ මෛත්‍රී බෝසත් ප්‍රතිමාව
 http://www.flickr.com/photos/paulmannix/314067662/

බෝසත් වන්දනාව නිසා මෛත්‍රී බෝසතුන්ගේත් ප්‍රතිමා විහාරවල ඉදිකරලා වන්දනා මාන කරන එක බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. මෛත්‍රී බෝසතුන් වන්දනා කරන ගාථා තමා මේ.

මෙත්ත්‍යෙය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං 

මෛත්‍රී නාමයෙන් බුදු බවට පත්ව නිවන් මඟ පිණිස දහම් දෙසන තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසන ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා...


වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමි තං වීතරාගී මුනින්දං

වීර්යාධික වූ ඒ උතුම් බෝසතුන් අනාගතයේදී කේතුමතී පුරයේ ඉපිද, බුදුව ලෝසතුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන සේක. ඒ වීතරාගී බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....


එහෙම නම් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා අවසානයි. 

තවත් මෛත්‍රී බෝසතුන් ගැන දැනගන්න කැමති නම් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත "මෛත්‍රී බුදුපියාණෝ" කෘතිය මෙතනින් භාගත කරගන්න පුලුවන්....

වැඩිදුර කියවීම සඳහා ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජයාණන් වහන්සේ විසින් රචනා කරපු මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංසය කෘතිය හොයාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. 

Sunday, September 2, 2012

දෙවිවරු වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් - ඉතිහාසයේ අප්‍රකට කතා 16

 දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝ

තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්‍රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. 

ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක. 

ඒක කාගේවත් අණ කිරීමක්වත් බල කිරීමක්වත් නැතුව සිදුවුණු දෙයක්. ඒ උදාර පුද්ගලයා මියගියත් තමන්ගේ උදව්වට සිටිනවා කියන මිනිස්සුන්ගේ විශ්වාසය නිසාමයි ඒ විදිහට දේවත්වයෙන් සැලකුවේ.

මේ විදිහට දේවත්වයට පත් කරපු රජවරු ගැන හොයලා බැලුවොත් වංස කතා සාහිත්‍ය අනුව දුටුගැමුණු, සිරි සඟබෝ, මහසෙන්, IV අග්බෝ වගේ රජවරුන් දක්වන්න පුලුවන්. 

 මින්නේරි දෙවියන්ගේ යෝධ නිර්මාණය වූ මින්නේරි වැව

හැබැයි මේ රජවරුන්ගෙන් සෘජුවම දෙවි කෙනෙක් විදිහට වන්දනාවට පාත්‍ර වුණේ මහසෙන් රජතුමා විතරයි. අද දක්වාම පොළොන්නරු ප්‍රදේශයේ මින්නේරි දෙවියන් නමින් වන්දනාවට මහසෙන් රජතුමා පාත්‍ර වෙන්නේ ඒ ප්‍රදේශයේ එතුමා ඉදි කරවපු වාරි කර්මාන්ත නිසා වන සේවාව නිසාමයි.

ඒ හැරෙන්න මේ දක්වපු ලේඛනයේ අනෙක් රජවරුන් වන්දනීය පුද්ගලයන් විදිහට සළකපු බව පේන්නේ ඒ රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්ථූප නිර්මාණය කරපු නිසා වගේම භෂ්මාවශේෂ ඖෂධ වශයෙන් පවා මිනිසුන් භාවිත කරපු බවට සාධක හමුවෙන නිසා. 

දක්ඛිණ ථූපයෙන් සොයාගත් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා දක්ඛිණ ථූපය නිර්මාණය කරපු කතාවයි කියවන්න මෙතනින් යන්න

මේ හැරෙන්න සාහිත්‍ය මූලාශ්‍රවලින් හමුවෙන රාවණා රජතුමා, එතුමාගේ සහෝදරයා වුණු විභීෂණ, සමනොළ කන්දට අධිපති සුමන සමන්, කතරගම ප්‍රදේශයට අධිපතියා වූ මහාසේන වැනි පාලකයන්වත් පසුකාලීනව දේවත්වයේලා ඒ ඒ ප්‍රදේශවල වගේම ලංකාව පුරාමත් දැකගන්න පුලුවන්.

රංවල දෙවියෝ

මේ හැරෙන්න මහජනතාවට සේවයක් කරපු අය විදිහට කලා වැව ආසන්නයේ හිටිය කාල "කඩවර දෙවියෝ" නමිනුත්, කැලණි ගඟ අසබඩ සිටිය රංවල මුත්තා "රංවල දෙවියෝ" නමිනුත් වන්දනාවට පාත්‍ර වෙනවා.

මේ විදිහට සංක්ෂිප්තව කරුණු කතා කළේ අද කතාවට ප්‍රවේශයක් ගන්න. අද කතාවෙන් කියන්නේ එකම පවුලේ සහෝදරවරු වගේම එයාලගේ පුතාලා වගේම මුණුබුරාලා පිරිසක් දේවත්වයට පත්වුණු හැටි.

ශිව, පාර්වතී, ගනේෂ, ස්කන්ධ දේව පවුල

මම විශ්වාස කරන විදිහට සැබවින්ම ජීවත්වුණු එකම පවුලක පිරිසක් මේ විදිහට දේවත්වයට පත්වෙලා තියෙන එකම අවස්ථාව මේක වෙන්න ඕනේ. [හින්දු දේව පුරාණයේත් පවුලක් විදිහට දෙවිවරුන්ගේ ඥාති සබඳතා ගැන කතා කළත් ඔවුන් ආරම්භයේදී ඉදලාම දෙවිවරුන් විදිහටනේ හිටියේ]

කෝට්ටේ යුගයේ ලංකාව පාලනය කරපු VIII වීර පරාක්‍රමබාහු කියන රජතුමා ගැන ඔයාලා අහලා ඇතිනේ. අවසන් වරට ලංකාව එක්සත් කරපු රජතුමා වුණු VI පරාක්‍රමබාහු රජතුමාගේ පුතෙක් තමා මේ රජතුමා.

ඒ වගේමයි මේ රජතුමා යාපනය කෝට්ටේ පාලනයට යටත් කළ සපුමල් කුමාරයාගේ සහෝදරයෙක්. කෝට්ටේ පාලනයට කන්ද උඩරට යටත් කරලා අම්බුලුගල ප්‍රදේශයේ තමන්ගේ පාලනය ගෙනගිය නිසා මේ කුමාරයාව මුලින් හැඳින්වුණේ අම්බුලුගල කුමාරයා කියලා.

කොහොම නමුත් තවත් මතයක් තමා සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයාගේ පරාක්‍රමබාහු රජතුමාගේ දරුවන් නෙමෙයි හදාගත්තු දරුවන් කියලා. කොහොමින් කොහොම හරි VI පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් රජතුමා වුණේ එතුමාගේ දියණිය වුණු උලකුඩය දේවියගේ පුත්‍රයා වුණු ජයබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා ජයබාහුව මරලා VI බුවනෙකබාහු නමින් රජවුණා.

එයාගේ ඇවෑමෙන් රජවුනේ පුත්‍රයා වුණු VII පණ්ඩිත පරාක්‍රමබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා එහෙමත් නැත්නම් බුවනෙකබාහුගේ සහෝදරයා වුණු අම්බුලුගල කුමාරයා VII පණ්ඩිත පරාක්‍රමබාහුව මරලා VIII වීර පරාක්‍රමබාහු නමින් රජවෙනවා.

මේ VIII වීර පරාක්‍රමබාහු එහෙමත් නැත්නම් අම්බුලුගල කුමාරයට බිසෝවරුන් දෙදෙනෙක් ඉන්නවා. මේ බිසෝවරුන් දෙන්නා සහෝදරියන්. අග බිසවට දාව ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු කියලා දරුවෝ තුන් දෙනෙකුත් අනෙක් බිසවට දාව සකලකලා වල්ලභ සහ තනිය වල්ලභ කියලා දරුවෝ දෙන්නෙකුත් හිටියා. ඒ හැරෙන්න රජතුමාට දියණියකුත් සිටි බව කියවෙනවා.

රජතුමා තමන්ගේ දරුවන්ට පාලනය කරන්න කෝට්ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ භාරදීපු බව කියවෙනවා. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු පියරජතුමා වෙනුවෙන් අගනුවරත් විජයබාහු රයිගමත් ශ්‍රී රාජසිංහ මැණික්කඩවරත් සකලකලා වල්ලභ උඩුගම්පොළත් තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයේත් පාලනය ගෙනියනවා.

කෝට්ටේ අගනුවර

පිය රජතුමාගේ ඇවෑමෙන් ධර්ම පරාක්‍රමබාහු කුමාරයා IX ධර්ම පරාක්‍රමබාහු නමින් රජවෙනවා. හැබැයි ඒක එහෙම නොවුණා කියලාත් ප්‍රබල විරෝධයක් තියෙනවා. කොහොම නමුත් මේ සහෝදර රජවරු පස් කට්ටුව බොහොම සමඟියෙන් පාලනය අරගෙන ගිය බව කියවෙනවා.

විශේෂයෙන් ලංකාවට පෘතුගීසීන් පැමිණියාට පස්සේ ඔවුන් සමඟ සබඳතා පවත්වද්දී වගේම ගිවිසුම්වලට එළඹෙද්දී සහෝදර රජුන් පස් කට්ටුව එකා මෙන් කටයුතු කරපු බව දැක්වෙනවා. 

විශේෂම කරුණක් දැක්වුවහොත් ධර්ම පරාක්‍රමබාහු ඇවෑමෙන් ඒ වෙද්දී හිටිය වැඩිමහල්ම කුමාරයා වුණු සකලකලා වල්ලභගෙන් සිහසුන් භාරගන්න කියලා ඉල්ලීමක් කරපු අවස්ථාවේ ඒක ප්‍රතික්ෂේප කරලා සිහසුන විජයබාහු කුමාරයට භාර කරන්නත් සකලකලා වල්ලභ ක්‍රියා කරනවා. තමන් අග බිසවගේ පුත්‍රයා නොවුණු නිසා ඉදිරියේදී රාජ්‍යයේ වියවුල් සහගත තත්වයක් ඇතිවෙයි කියලා එතුමා දූර්දර්ශීව ක්‍රියා කරපු බව පේනවා. 

අපේ අද කතාවට සම්බන්ධ වෙන්නේ මේ සකලකලා වල්ලභ කුමාරයාත්, තනිය වල්ලභ කුමාරයාත් ඔවුන්ගේ දරුවනුත් තමා.

ධර්ම පරාක්‍රමබාහු සමයේ හලාවත ප්‍රදේශයට ගොඩ බැහැපු කයාල් පටුනෙන් ආපු අදිරාස රායන් කියන මුදලි සහ මුස්ලිමරුන් පිරිස රජතුමාගේ මුතුපරවල මුතු ලබාගන්නත් අලි ඇතුන් අල්ලන්නත් පටන් ගත්තා. ඒක වළක්වන්න රජතුමාගේ අණින් උඩුගම්පොළ හිටිය සකලකලා වල්ලභ තමගේ සහෝදර මාදම්පේ පාලකය වුණු තනිය වල්ලභත් එක්ක පිටත් වුණා.

අශ්වයෙක් පිට නැගුණු සකලකලා වල්ලභ සහ ඇතෙක් පිට නැගුණු තනිය වල්ලභ සේනාව මෙහෙයවලා අදිරාස රායන් ඇතුළු මුස්ලිම්වරුන්ව මරා දමනවා. ඒ ජයග්‍රහණය රාජාවලිය දක්වන්නේ "ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැඳ ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන..." ආදී වශයෙන්. 

මේ කාලයේදීම උඩරට හිටිය සාමන්ත පාලකයා වාර්ෂික දැකුම් ගෙවන්නේ නැතුව ඔටුන්නක් තනාගෙන ස්වාධීන පාලකයෙන් වෙන්න යන ආරංචිය ලැබුණු නිසා මැණික්කඩවර හිටිය ශ්‍රී රාජසිංහ කුමාරයා ඒ තත්වය සමනය කරවලා නැවත වරක් උඩරට ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ යටතට පත් කරවනවා. 

ඒත් ටික කාලකින්ම නැවත වරක් උඩරට කැරලි සහගත තත්වයක් ඇතිවෙන නිසා ඒක මර්දනය කරන්න පිටත් වෙන්නේ උඩුගම්පොළ සකලකලා වල්ලභ. කැරලිකරුවන් මර්දනය කරපු සකලකලා වල්ලභ කුමාරයා නැවතත් කෝට්ටේ බලය ඒ ප්‍රදේශවල පතුරවනවා.

මේ විදිහට දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකරන්න වගේම ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරන්නත් සකලකලා වල්ලභගෙන් ලොකු සේවයක් වූ බව පෙනෙනවා.

 මුතුරාජවෙල වර්තමානයේදි

අත්තනගලු ඔයේ අතු ගංගාවක් වෙන කුඩා ඔය මිනුවන්ගොඩ වැගොව්ව ප්‍රදේශයේදි විශාල වේල්ලක් බැඳීමෙන් හරස් කරලා කෘෂිකර්මයට ජලය ලබාදෙන්න සකලකලා වල්ලභයන් කටයුතු කළා වගේම මුතුරාජවෙල සංවර්ධනය කරලා ඒ රාජකීය වෙල් යායෙන් විශාල අස්වැන්නක් ලබාගන්නත් කටයුතු කරපු බව කියවෙනවා.  

ඒ හැරෙන්න උඩුගම්පොළ රාජධානියට අයත් වෙලා තිබුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කරලා තියෙනවා. 


සකලකලා වල්ලභයන් ස්නානය කළ පොකුණ තිබූ තැන වර්තමානයේදී

මේ ආකාරයෙන් රටවැසියා වෙනුවෙන් ඉමහත් සේවයක් කරපු සකලකලා වල්ලභයන්ව මරන්න කුමන්ත්‍රණයක් එතුමාගේම පුතුන් සත් දෙනා විසින් දියත් කරනවා. ඒ අනුව සකලකලා වල්ලභයන් ස්නානය සඳහා භාවිතා කරන පොකුණේ උල් සිටුවලා තියෙනවා පොකුණට බැස්සාම ඇනිලා මියයන විදිහට. 

ඒත් පොකුණේ වතුරේ කළු බඹරෙක් ඉන්න ආකාරය දැකලා හොයලා බලද්දී මේ කුමන්ත්‍රණය හෙළිකරගන්න පුලුවන් වෙනවා. පුත්තු 7 දෙනා මරාදමන්න පියා තීරණය කලත් මවගේ උදව්වෙන් කුමාරවරු 7 දෙනා මාළිගාවෙන් පැනලා ගිහින් අලගල ප්‍රදේශයේ තිබෙන මහකන්ද ප්‍රදේශයේ සැඟවිලා ජීවත් වෙනවා. 

මේ කුමාරවරුන් 7 දෙනාගෙන් එක් කෙනෙක් තමන්ට පුද සත්කාර කරන ජනතාවට පිහිට වෙනවා කියලා හිතාගෙන පර්වතයකින් පැනලා සියදිවි නසා ගන්නවා. පස්සේ ඒ කුමාරයා "කළු කුමාර දේවතා බණ්ඩාර " නමින් ප්‍රසිද්ධ වෙනවා. 

තවමත් ඒ ප්‍රදේශවල වී අස්වනු කපාගෙන ඒවා ගෙවල්වලට ගන්න කලින් කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න කියලා කළු කුමාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්න කටයුතු කරනවා. 

මේ තියෙන්නේ ඒ කියනවාය කියන කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න

"අවසර පස්වාන් දහසකට තිරහත් කාලයක් කප්පන් තිරයක් අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළු කුමාර දේවතා බණ්ඩාර දේවයන් වහන්ස, ඔබ වහන්සේ සකලකලා වල්ලකබාහු රජ්ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්ත නම් පියරජ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සළු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත් ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කේර්තියක් පාගෙන ඊරිය ගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මළුවේ තිබුණු තල්ගස් දෙක එකට ලණු අඹරවාපු තෙද කේර්තියක් පාගෙන අඩුක්කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළුකුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්ෂ උපද්‍රවල් දුරු කරවලා ආයෙත් එන අවුරුද්දේ අඟුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක්ෂ දෝෂයක් දේවදෝෂයක් පේන්ඩ ඉඩක් තියන්නේ නැතිව සකල ශරීර පංචස්කන්ධවල් දේවාරක්ෂාව බන්දවා දෙන්ඩ කළු කුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝ වේවා......"

කුමාරවාරුන් 7 දෙනාගෙන් බාලම කුමාරයා මේ සිද්ධි වෙද්දී බොහොම ලාබාල වයසේ තමා ඉදලා තියෙන්නේ ඒක නිසා ඒ කුමාරයාව හඳුන්වලා තියෙන්නේ "කිරි බොන ඈපාණෝ" කියලා. තරුණ වයසට ආපු මේ කුමාරයා මහකන්ද අසළ වුණු ගමකින් තරුණියක් සරණ පාවා ගන්න ගියත් ඒ තරුණියගේ දෙමාපියෝ මේ තරුණයා කාගේ කවුද කියලාවත් තොරතුරු දන්නේ නැති නිසා ඒ විවාහයට කැමති වෙන්නේ නැහැ. 

ඒ නිසා තමන් තරුණියට අරගෙන ආපු මාලය ඒ ගෙදර දොරේ එල්ලලා කුමාරයා ආපහු යන්න යනවා. ඒ සිද්ධියත් එක්ක දුන්නුමාලේ නමින් ඒ ගම හැඳින්වෙනවා. පස්සේ කාලේ ඒ ගමේ නම "දුනුමාලේ" බවට පත්වෙනවා.

මේ සිදුවීමෙන් පස්සේ ඉදන් ගමේ හරක් නැතිවෙන්න පටන් ගන්නවා. රාත්‍රියට අත්භූත හඬකින් ගමේ මිනිස්සුන්ට කියනවා නැතිවුණු හරක් හොයාගන්න නම් කිසියම් ස්ථානයක වුණු විශාල ගහක් මුල බත් මුට්ටියක් ගෙනත් තියන්න කියලා. බත් මුට්ටිය ගෙනත් තිබ්බාම පහුවදාම නැතිවුණු හරකා ලැබෙනවා. 

මේ වැඩේ කළා කියන්නේ අර "කිරි බොන ඈපාණෝ" කියන කුමාරයාමලු. පස්සේ තමන්ගේ හිත ගත්තු තරුණියව ලබාගන්න හිතපු කුමාරයා දුනුමාලේ ගමෙන් ළමයෙක් පැහැර ගෙන ඇවිල්ලා එදා රෑ ගමේ මිනිස්සුන්ට අවතාරයක් වගේ ඇවිත් කිව්වලු නැතිවුණු ළමයා ඕනේ නම් තරුණියගේ නම කියලා එයා අතේ බත් මුට්ටියක් කැලෑවට එවන්න කියලා. 

අන්තිමට නැතිවුණු ළමයාත් ලැබෙනවාලු. කොහොමින් කොහොම හරි මේ කුමාරයාගේ සෙල්ලම නිසා මිනිස්සු මේ බොරුව ඇත්තක් කියලාම හිතලා "දුනුමාලේ දේවතා බණ්ඩාර" නමින් හඳුන්වලා ඒ දෙවියන්වත් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම නමුත් මේ දුනුමාලේ දේව වන්දනාව ආරම්භ වුණු වෙනත් ආකාරයක් ගැනත් කතාවකුත් තියෙනවා. 

පුත් කුමාරවරුන් මේ විදිහට දේවත්වයට පත් වෙද්දී එයාලගේ තාත්තා වුණු සකලකලා වල්ලභ දේවත්වයට පත්වුණු හැටිත් කියන්නම්. 

කලින් කිව්ව විදිහට සකලකලා වල්ලභයක් කරපු විශාලම වාරි නිර්මාණය වුණු අත්තනගලු ඔයේ අතු ගංගාවක් වුණු කුඩා ඔය හරස් කරලා බැන්ද වේල්ල හඳුන්වලා තියෙන්නේ "අස්වානේ වේල්ල" කියලා. 

ඉතින් මේ වේල්ල කාලයක් ගත වෙද්දී කීප වරක්ම අබලන් වෙලා තියෙනවා. සකලකලා වල්ලභයක් ලොකු වෙහෙසක් අරගෙන තියෙනවා මේ වේල්ල පිළිසකර කරන්න. අවසන් වතාවේ ඒක අසාර්ථක වීමත් එක්කම වේල්ල කඩාගෙන යනවා දැකපු සකලකලා වල්ලභ කම්පාවට පත්වෙලා ඒ වතුර පාරට පැනලා සිය දිවි නසා ගන්නවා. ඒක දැකපු එතුමාගේ බිසෝවරුත් ඒ වතුර පාරටම පැනලා මියයනවා.

අස්වානේ දෙවියන්

ඉතින් සකලකලා වල්ලභයන්ගේ මරණෙන් පස්සේ මිනිස්සු "අස්වානේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේමයි තවත් ජනප්‍රවාදයක් තමා සකලකලා වල්ලභයක් සමඟම මියගිය බිසෝවරු සත්දෙනාව තමා දුනුමාලේ බිසෝ බණ්ඩාර සත් දේවතා කට්ටුව නමින් වන්දනා කරන්නේ කියලා.

කොහොම නමුත් තවමත් ඒ ප්‍රදේශයේ පූජනීය ස්ථානවල කරන ආගමික කටයුතු අවසානයේදි ඒ ප්‍රදේශයට අධිපතිව වැඩ වාසය කරන "අස්වානේ" දෙවියන්ට පිං පැමිණවීමට ඒ ප්‍රදේශයේ ජනතාවගේ සිරිතක්.

මේ අතරේ සකලකලා වල්ලභයන්ගේ සහෝදරයා වුණු තනිය වල්ලභත් කලින් දක්වපු විදිහට රාජ්‍යයේ දේශපාලනික ස්ථාවරත්වයට ලොකු වැඩ කොටසක් කළා වගේම ආර්ථික ස්ථාවරත්වයටත් වැඩ කටයුතු කරලා තියෙනවා.

 මහවැව

තමන්ගේ පාලන ප්‍රදේශය වුණු මාදම්පේ ප්‍රදේශයේ වාරි කර්මාන්ත කීපයක්ම කරවලා කෘෂි කර්මයට අවශ්‍ය ජලය ලබාදෙන්න තනිය වල්ලභයනුත් කටයුතු කරලා තියෙනවා. ඉන් ප්‍රධාන වාරි කර්මාන්තයක් වෙන්නේ "මහවැව" යි.

තනිවැල්ලේ දෙවියන්

ඉතින් තනිය වල්ලභයනුත් මරණයෙන් පස්සේ ජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිටේ නැඟිලා සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිලා වේගයෙන් තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම වෙන්නේ.


තනිවැල්ලේ දෙවියන්ගේ අශ්වයා

මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කරලා තිබෙන දේවාලය තමා මේ තනිවැල්ලේ දෙවියන්ගේ දේවාලය වෙන්නේ. කෝට්ටේ යුගයේ පටන් තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දී.



ඒ කෙසේ නමුත් දේවාලයේ පෞරාණිකත්වය පෙන්වන වසර 250 ක් පමණ පැරණි බෝධි වෘක්ෂයකුත් දේවාල භූමියේ දක්නට ලැබෙනවා.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේත් එතුමාගේම මුණුබුරා අතින්. තනිය වල්ලභයන්ට හිටියේ දියණියක්. ඇය විවාහ වුණේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්.

අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේත් කලින් කිව්වා වගේ තමන්ගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතින්.

වීදිය බණ්ඩාර කියන්නේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක්. කෝට්ටේ බුවනෙකබාහු රජතුමාගේ දියණිය වුණු සමුද්‍රදේවි විවාහ කරගත්තු වීදිය බණ්ඩාර කෝට්ටේ රජ වාසලේ ප්‍රබල තනතුරු පවා දැරුවා. කෝට්ටේ රාජධානියේ අවසන් රජතුමා වුණු ධර්මපාල රජතුමා මේ දෙපළගේ දරුවෙක්.

සමුද්‍රදේවිගේ වියෝවෙන් පස්සේ වීදිය බණ්ඩාර සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණියක් වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ව විවාහ කරගන්නවා.

කෝට්ටේ රාජධානිය සමඟත් සීතාවක රාජධානිය සමඟත් අවසානයේදී ගැටුම් ඇතිකරගත්තු වීදිය බණ්ඩාර දැඩි පෘතුගීසි විරෝධියෙකුත් වුණා. තමන්ගේ සටන්වලට සහය ලබාගන්න යාපනයට පිටත් වුණු වීදිය බණ්ඩාර යාපනයේ රජතුමා සමඟ යුධ ආධාර ලබාගන්න ගිවිසුමකට එළඹුණා.

පස්සේ වීදිය බණ්ඩාරගේ පැමිණීම නිමිත්තෙන් නල්ලූර් කෝවිලේ පැවැත්වුණු උත්සවයකදී අත් වැරැද්දකින් යාපන සෙබළෙක්ගේ ගිනි අවියක් පත්තු වුණා. කුමන්ත්‍රණයක් දෝ කියලා සැක හිතුව වීදිය බණ්ඩාර කඩුව අතට අරගෙන සටන් කරන්න පටන් ගත්තා. කොහොම නමුත් අවසානයේදී වීදිය බණ්ඩාරවත් ඔහුගේ අනික් පුත්‍රයා වුණු විජයපාලත් මරා දමන්න යාපන සෙබලුන්ට හැකිවුණා.

නල්ලූර් කෝවිල

වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි "වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.

වීදිය බණ්ඩාරගේ දෙවෙනි විවාහය වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ගේ සොහොයුරෙක් වුණු ඒ වගේම සීතාවක මායාදුන්නේ රජතුමාගේ ශූර වීර පුත්‍රයා වුණු සීතාවක රාජසිංහ රජතුමා ගැනත් අපි හැමෝම හොඳින් අසා තිබෙනවා.

Arts Degeree එකක් කළ මුල්ම සහ අවසන් රජතුමා සටහනෙන් කිව්වා වගේම 1592 මාර්තු මාසයේදී සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යය පුරා ඇතිවෙන්නේ වියවුල් සහගත තත්වයක්. කෙසේ නමුත් ඒ රජතුමාවත් "ගනේගොඩ දෙවියන්" නමින් දේවත්වයට පත් කරන්න ජනතාව කටයුතු කරපු බව පෙනෙනවා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

හාපිටිගම කෝරළයේ ගනේගොඩ දේවාලය සීතාවක රාජසිංහ රජතුමා ඉදිකළ දේවාලයක් වන අතර පසුව එතුමා දේවත්වයට පත් කළ පසුව වැඩ වාසය කරන්නේ එම දේවාලයේ යැයි ජනතාව විශ්වාස කර ඇති බව පේනවා.

මේ දෙවිවරුන්ගේ නෑකම් පැටලෙනවා නම් මේ ඡායාරූපය උඩ click කරලා බලන්න


මේ සහෝදර දරු මුණුබුරන්ගෙන් පසුව දේවත්වයට පත්වුණු පාලකයන් ගැන නම් සඳහනක් නැහැ. ඒත් කලින් කතාවකත් කිව්වා වගේ 1818 කැරැල්ලේ නායකයා වුණු කැප්පෙටිපොළ මහ දිසාවේතුමාව හිස ගසා මරා දැමීමෙන් පස්සේ උඩ දුම්බර බිම්බියේ මොනරවිල අලුත් දෙවියෝ නමින් දේවත්වයට පත් කරපු බව පේනවා.

ඊට පස්සේත් හුඟක් පාලකයෝ දෙවිවරු වෙන්න උත්සහ කළා. තවමත් ඒකේ නම් අඩුවක් පේන්න නැහැ :D

සටහන ලියන්න පාදක කරගත්තේ දිවයින පුවත්පතේ පළවුණු පෘතුගීසීන්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය, ලංකාදීප පුවත්පතේ පළවුණු උඩුගම්පොළ රජුගේ හද දිනූ සම්බාගම, Daily News හි පළවුණු Sacred Festival at Thaniwella Devala කියන ලිපි වගේම රාජාවලිය, අලකේශ්වර සහ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය කියන පොත් කීපයයි.

ප.ලි.: මේ ලිපිය ලියවෙන්නේ කවදාදැයි උනන්දුවෙන් සොයා බැලුව හරී අයියාටත් ස්තුතියි :)