Sunday, September 9, 2012

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 4 කොටස

 ගුරු හර්ගෝබින්ද්

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් තුනකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි


කලින් කතාව නැවැත්තුවේ ගුරු අර්ජන් දේව්ව මෝගල් අධිරාජයා වුණු ජහාන්ගීර්ගේ අණින් 1606 දී දරුණු වධ හිංසා දීලා මරා දැමීමත් එක්ක මීළඟ ගුරු විදිහට ගුරු අර්ජන් දේව්ගේ පුත්‍රයා වුණු ගුරු හර්ගෝබින්ද් පත්වීමත් එක්ක. 

සීක්වරුන්ව සාමකාමී මාර්ගයෙන් ඉවත් කරලා සටන්කාමී තත්වයකට පත් කරන්නේ ගුරු හර්ගෝබින්ද්. ඔහුව ගුරු තනතුරට පත් කරන උත්සවයේදීම ඔහු වම් පසින් සහ දකුණු පසින් කඩු දෙකක් එල්ලා ගන්නවා. ඒ කඩු දෙකෙන් සංකේතවත් කරන්නේ "පිරි" [ආධ්‍යාත්මික බලය] වගේම "මිරි" [ලෞකික බලය] බව ගුරු හර්ගෝබින්ද් දක්වනවා. 

 අකාල් තක්ත්

1608 දී හර්මන්දිර් සහීබ් ආසන්නයේ අකාල් තක්ත් "සර්වබලධාරී සිහසුන" නමින් මාළිගාවක් ඉදි කරපු ගුරු හර්ගෝබින්ද් එයින් ගුරුගේ ලෞකික නායකත්වයත් හර්මන්දිර් සහීබ් තුළින් ගුරුගේ ආධ්‍යාත්මික නායකත්වයත් පෙන්වන බව ප්‍රකාශ කළා.  මේ නිසා සීක්වරු ඔහුව"සව පශාහ්" කියන විරුද නාමයෙන් හඳුන්වනවා. 

අකාල් තක්ත්හි සිටින ගුරු හර්ගෝබින්ද්

ඒ වගේමයි ගුරු හර්ගෝබින්ද් තමන්ගේ රාජ්‍යත්වය සංකේතවත් කරන්න ඡත්‍රයක්, කල්ගියක් හෙවත් කිණිස්සක් සහ මිරි සහ පිරි සංකේතවත් කරන කඩු දෙක භාවිතා කරලා සංකේතයක් නිර්මාණය කළා. අද දක්වාම සීක්වරුන් තමන්ගේ සළකුණ විදිහට භාවිතා කරන්නේ ඒ ලාංඡනය තමා.

සීක්වරුන්ගේ ලාංඡනය

මෝගල් තර්ජනයෙක් සීක්වරුන් වගේම සීක් දහම ආරක්ෂා කරන්න ගුරු හර්ගෝබින්ද් පියවර කීපයක්ම ගත්තා. ඒ යටතේ අම්රිත්සාර්වල "ලෝහ්ගාර්හ්" Fortress of Steel නමින් බලකොටුවක් තැනෙව්වා වගේම සෑම සීක්වරයෙක්ටම තමන්ගේ ආරක්ෂාව උදෙසා ආත්මාරක්ෂක සටන් පුහුණු වෙන්න අණ කරනු ලැබුවා. 

ඒ හැරෙන්න අශ්වයන් 700 ක් පමණ ගුරු හර්ගෝබින්ද්ගේ ඉස්තාලයේ හිටියා වගේම "රිසල්දාරී" නමින් හඳුන්වපු ගුරුගේ හමුදාවේ අශ්වාරෝහකයන් 300 ක් සහ තුවක්කුකරුවන් 60 කගෙන් සමන්විත වුණා.

යුධ වදින ගුරු හර්ගෝබින්ද්

මේ ආකාරයෙන් සන්නද්ධ වුණු ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයට එරෙහි ප්‍රධාන සටන් 4 ක් පමණ සිදු කළත් මෝගල් අධිරාජ්‍යයේ තිබුණු බලවත්කම නිසා ඒවා එතරම් සාර්ථක වෙන්නේ නැහැ. අවසානයේදී ගුරු හර්ගෝබින්ද් මෝගල් අධිරාජ්‍යයේ සිරකරුවෙක් විදිහට ගවාලිඔර් සිර ගෙදර කල් ගත කරනවා. 

 ගුරු හර්ගෝබින්ද්ව සිරෙන් නිදහස් කිරීම

කොහොම නමුත් ගුරු හර්ගෝබින්ද් සහ ජහාන්ගීර් අධිරාජයා අතර සමඟියක් ඇතිවීමත් එක්ක අධිරාජයා ගුරුව නිදහස් කරනවා. මේ සිද්ධිය සීක්වරු හර්මන්දිර් සහීබ් පිහිටි ප්‍රදේශයේ මල් වෙඩිවලින් වගේම පහන් ආදියෙන් ආලෝකමත් කරමින් සමරනවා. අද දක්වාම "දිවාලී උත්සවය" නමින් සීක්වරුන් මේ විශේෂ සිදුවීම සිහිපත් කරනවා. 

ගුරු හර්ගෝබින්ද්ගෙන් සීක් දහමේ ව්‍යාප්තියට වුණු සේවය ගැන කතා කළොත් ඔහු සීක් දහම බිහාර් සහ බෙංගාල් ප්‍රදේශවල ව්‍යාප්ත කරවන්න කටයුතු කරනවා.  තවත් ඔහු කළ විශේෂ කාර්යයක් තමා ටාවුස් නමින් නව සංගීත භාණ්ඩයක් නිර්මාණය කරපු එක. 

 ටාවුස්

ඒකෙන් ගීතිකා ගායනා කරද්දී ඒ සඳහා සුමධුර වාදනයක් ලබාදීම අපේක්ෂා කෙරුණා. ඒ වගේමයි සීක්වරුන් සඳහා කිරාත්පූර් නමින් අලුත් නගරයකුත් ගුරු හර්ගෝබින්ද් නිර්මාණය කරනවා.
මෝගල් අධිරාජ්‍යයේ ජහාන්ගීර් අධිරාජයා සමඟ ගුරු හර්ගෝබින්ද් සමඟියෙන් කටයුතු කළත් ඉන්පසුව අධිරාජයා වුණු ෂාජහාන් සමඟ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක නැවත වරක් සීක් මෝගල් ගැටුම ආරම්භ වෙනවා. 
මේ නිසා අම්රිත්සාර්වලින් කිරාත්පූර්වලට තමන්ගේ මූලස්ථානය අරගෙන යන්න ගුරු හර්ගෝබින්ද් සිද්ධ වෙනවා. ඔහු 1644 මාර්තු 19 මියයන්නේත් කිරාත්පූර්වලදීමයි.

ගුරු හර් රායි

ගුරු හර්ගෝබින්ද්ට පුතුන් කීප දෙනෙක්ම හිටියත් එයා තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන්නේ තම පුත්‍ර බාබා ගුරුදිත්තගේ පුත්‍රයා වුණු ගුරු හර් රායිව. 1644 මාර්තු 19 වෙනිදා ගුරු තනතුරුට පත්වුණු ගුරු හර් රායිගේ වයස අවුරුදු 14 ක් පමණ වුණා. තමන්ගේ පුතුන්වත් පසෙක දාලා මේ ආකාරයෙන් තමන්ගේ මුණුපුරු හර් රායිව ගුරු තනතුරට පත් කරන්න හේතුවුනා කියන්නේ ඔහු තුල තිබුණු ශාන්ත ගති පැවතුම් නිසා.

ගුරු හර් රායි තමන්ගේ සීයා වුණු ගුරු හර්ගෝබින්ද් අනුගමනය කරපු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනගියා. ඒ යටතේ 2200 අශ්වාරෝහක බල ඇණියක් සකස් කරන්න ඔහු කටයුතු කරනවා. කොහොම නමුත් එවකට මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් සමඟ සමඟියෙන් කටයුතු කරපු ගුරු හර් රායි සටන් කරලා තිබෙන්නේ ප්‍රාදේශීයව ඔහුට අභියෝගයක් වුණු කණ්ඩායම් සමඟයි.

ෂාජහන්

ගුරු හර් රායි මාල්වා සහ දෝඅබා ප්‍රදේශවල සංචාරයකින් පස්සේ ආපසු පැමිණියාව ගුරු හර්ගෝබින්ද් විසින් මරා දමපු මුඛ්ලිස් ඛාන්ගේ පුතා වුණු මොහොමඩ් යාර්බෙග් ඛාන් ගුරු සමඟ සටනට ආවා. මේ සටන ගුරු හර් රායි ජයග්‍රහණය කළා වගේම සටන පුරාවට හිංසාවෙන් තොරව වගේම නිරායුධ අයට පහර නොදෙමින් තමා සීක්වරුන් සටන සිදු කළා. "අහිංසා පර්මෝ ධර්මා" තමා ඔවුන්ගේ තේමාව වුණේ

ගුරු හර් රායි දාරා ෂිකෝ වෙනුවෙන් ඖෂධ ලබාදීම

කිරාත්පූර්හි ආයුර්වේද රෝහලක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරපු ගුරු හර් රායි ඒ යටතේ ලොකු සේවාවක් සිදු කළා. විශේෂයෙන් ෂාජහන් අධිරාජයාගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝට වැළදුණු සුව කළ නොහැකි රෝගයක් පවා මේ රෝහලේ ඖෂධවලින් සුව කර දෙන්න ගුරු හර් රායි හැකිවුණා. ඒ වගේ සිදුවීම් හරහා තමා මෝගල් සීක් සුහදත්වයක් ඒ වෙද්දී ගොඩනැගෙමින් තිබුණේ.

ආගමික වශයෙන් සිදුවුණු ගුරු හර් රායිගේ සේවය ගැන කත කළොත් ගුරු අමර් දාස් ආරම්භ කරපු මඤ්ජිස් ක්‍රමය තවත් වැඩි දියුණු කරපු ගුරු හර් රායි මඤ්ජිස් 360 ආරම්භ කරනවා. ඒ වගේමයි ඒ වෙද්දී අඩාළ වෙලා තිබුණු මසන්ද් ක්‍රමය නැවතත් ක්‍රමවත්ව ආරම්භ කරන්නත් කටයුතු කරනවා.

මේ විදිහට මුල් කාලය සාමකාමීව ගත කරපු ගුරු හර් රායිට අවසන් කාලය අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒකට හේතුව තමා එවකට හිටිය මෝගල් අධිරාජයා වුණු ෂාජහාන් මියයාමත් එක්ක සිහසුනට ඇතිවුණු අරගලවලදී දාරා ෂිකෝ කියන කුමාරයාට ගුරු හර් රායි සහය ලබාදීම නිසා.

ෂාජහාන්ගේ වැඩිමහල් පුතා වුණු දාරා ෂිකෝ ගුරු හර් රායිගේ ඖෂධ නිසා දිවි ගලවා ගත්තු නිසා ගුරු සමඟ හිතවත්කමක් තිබුණා. අනික් කාරණේ තමා ගුරු හර් රායි මේ ආකාරයෙන් දාරා ෂිකෝට සහය දෙන්නේ ඔහු ආගමික සහනශීලීත්වයක් තිබුණු අයෙක් නිසායි.

 ඖරංසෙබ්

ඒත් අවසානයේදී සිදුවෙන්නේ ෂාජහාන්ගේ තවත් පුතෙක් වුණු ඖරංසෙබ් රාජප්‍රාප්ති සටනෙන් ජය ගැනීම. ඒ වගේමයි දාරා ෂිකෝව සහ ඔහුගේ පුතාව අල්ලා ගත්තු ඖරංසෙබ් එයාලව දිල්ලිය පුරාම උසුළු විසුළුවලට ලක් කරමින් ඇවිද්දවලා මරා දමනවා.

මේ සිදුවීම් සමඟම ඖරංසෙබ් ගුරු හර් රායි දාරා ෂිකෝට සහය දීපු නිසා දිල්ලියට ඇවිත් අධිරාජයා හමුවෙන්න නියම කරනවා. නමුත් මේ සඳහා ගුරු හර් රායි පිටත් කරන්නේ තමන්ගේ වැඩිමහල් පුතා වුණු බාබා රාම් රායි. බාබා රාම් රායිට පැවරුණු කාර්යය වුණේ ඖරංසෙබ්ට ගුරු ග්‍රන්ථ් සහීබ් ගැන වැටහීමක් ලබාදීලා ඒ හරහා සීක් දහම ගැන පැහැදීමක් ඇති කරවන එක.

ඒත් බාබා රාම් රායි ගුරු ග්‍රන්ථ් සහීබ්වල සමහර කොටස් විකෘති කරමින් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වෙන විදිහට ඉදිරිපත් කිරීමත් එක්ක ඒවා සියල්ලම ගුරු හර් රායි ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේමයි ගුරු නානක්ගේ සිට ඇරඹුණු ගුරු ග්‍රන්ථ සහීබ් සීක්වරුන්ගේ උරුමයක් බවත් ඒකේ මුල් කරුණු විකෘති කිරීම නොකළ යුතුයි කියලා නියමයකුත් පනවනවා.

බාබා රාම් රායි කරපු කාර්යයෙන් ඖරංසෙබ්ගේ හිත දිනාගත්තු නිසා ඖරංසෙබ් ගුරු හර් රායිගෙන් ඉල්ලා සිටිනවා මීළඟ ගුරු ලෙසට බාබා රාම් රායි පත් කරන්න කියලා. බාබා රාම් රායිගේ අරමුණ වෙන්නේත් ඒකම තමා. ඒත් සීක්වරුන්ට එරෙහිව බාබා රාම් රායි කරපු ක්‍රියාව නිසා ඔහු ගුරු තනතුරට සුදුසු නැහැ කියන එක තමා ගුරු හර් රායිගේ අදහස වුනේ.

ගුරු හර් රායි මේ අවස්ථාවේ කියනවා "ගුරු තනතුර කියන්නේ හරියට කොටි දෙනකගේ කිරි තබාගන්න ගන්න රන් බඳුනක් වගේ. දිවි හිමියෙන් ගුරු තනතුරට කැපවෙන අයෙකුටයි ඒක සුදුසු වෙන්නේ. ඒක නිසා ගුරු රායිට නැවත මගේ මුහුණ දකින්නවත් ඉඩ තබන්න එපා" කියලා

ගුරු හර් රායි සහ ගුරු හර් ක්‍රිෂන්

අවසානයේදී 1661 ඔක්තෝබර් 6 ගුරු හර් රායි මියයන්න කලින් මීළඟ ගුරු විදිහට තමන්ගේ අවුරුදු 5 ක් පමණ වයසැති පුත්‍රයා වුණු ගුරු හර් ක්‍රිෂන්ව නම් කරනවා.

මේ අතරවාරයේම ඖරංසෙබ්ගේ සහය ලැබුණු බාබා රාම් රායි තමන්ගේ පිරිසත් එක්ක "රාම්රායියා" නමින් වෙනම පාර්ශවයක් බවට පත්වෙලා තමන්ගේ මූලස්ථානය විදිහට ඩෙහ්රා ඩූන් තෝරා ගන්නවා. ඔවුන් පිළිගන්නේ ගුරු හර් රායිගෙන් පස්සේ ගුරු වෙන්නේ ගුරු රාම් රායි කියලා.

ගුරු හර් ක්‍රිෂන්

ගුරු හර් ක්‍රිෂන් බොහොම ලාබාල වයසේදීම ගුරු තතතුරට පත්වුණු නිසා සීක්වරුන් ඔහුව හඳුන්වන්නේ "බාල් ගුරු" [ළමා ගුරු] විදිහට. ඒ කෙසේ වුණත් බුද්ධිමත්කම සහ අභියෝග සාර්ථකව ජයගැනීමෙන් ගුරු හර් ක්‍රිෂන් වයසට වඩා මුහුකුරා ගිය පරිණත බවක් පෙන්නුම් කරනවා.

මේ අතර වාරයේ බාබා රාම් රායි ගුරු හර් ක්‍රිෂන්ව විනාශ කරන්න උපක්‍රමයක් දියත් කළා. ඒ උපක්‍රමය වුණේ තමන්ගේ හිතවතා වුණු ඖරංසෙබ් අධිරාජයා ලවා අධිරාජයා මුණ ගැසීමට ගුරු හර් ක්‍රිෂන් දිල්ලියට පැමිණිය යුතුයි කියලා නියම කරපු එක. ගුරු හර් රායි මියයන්න කලින් ගුරු හර් ක්‍රිෂන්ට නියම කරනවා කවදාත් ඖරංසෙබ්ව හමුවෙන්න යන්න එපා කියලා.

ඒ නියමය කඩ කරලා ගුරු හර් ක්‍රිෂන් ඖරංසෙබ්ව මුණ ගැහුණොත් ගුරුගේ ඉල්ලීම කඩපු නිසා සීක්වරුන් අතර ගුරු හර් ක්‍රිෂන්ව අප්‍රසාදයට පත් කරන එක තමා බාබා රාම් රායිගේ අදහස වුණේ. අනෙක් අතට ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා මුණ ගැහෙන්න ආවේ නැත්නම් මෝගල් සේනා යවලා අධිරාජයාගේ නියමයට පිටුපෑවා කියලා ගුරු හර් ක්‍රිෂන්ව අත් අඩංගුවට ගන්න බාබා රාම් රායි බලාපොරොත්තු වුණා.

ඒත් මේ සැලස්ම ව්‍යර්ථ වෙන්නේ ගුරු හර් ක්‍රිෂන් අධිරාජයා හමුවෙන්න දිල්ලිය බලා පිටත් වුණු නිසයි. ගුරුව කැඳවාගෙන එන්න ඖරංසෙබ් විසින් පිටත් කරන මිර්සා ප්‍රදේශයේ රාජා වුණු ජායි සිංග් සීක් ගුරුන්ගේ හිතවතෙක් වුණා. ජායි සිංග් කළේ ගුරු හර් ක්‍රිෂන්ව සුරක්ෂිතව දිල්ලියට ගෙනල්ලා ඖරංසෙබ්ට ගුරු හර් ක්‍රිෂන්ව පුද්ගලිකව හමුවෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරපු එක.

බ්‍රාහ්මණ ලාල් චන්දට භගවත් ගීතාව පැහැදිලි කරන ගුරු හර් ක්‍රිෂන්

ඒ අතර වාරයේ ජායි සිංග් ගුරු හර් ක්‍රිෂන්ගෙන් ඉල්ලා සිටිනවා දිල්ලියේ ඉන්න සීක්වරුන් වෙනුවෙන් දේශනාවන් පවත්වන්න කියලා. දේශනාවන් පවත්වන අතරවාරයේ  ලාල් චන්ද් කියන බ්‍රාහ්මණයා ගුරුගේ දැනුම පරීක්ෂා කරන්න කරපු අභියෝගයේදී භගවද් ගීතාව ගැන අලංකාර විස්තරයක් කරමින් ගීතාවේ අර්ථය ගුරු හර් ක්‍රිෂන් පැහැදිලි කරනවා. ගුරුගේ වුණු දැනුම ගැන අවසානයේදී ලාල් චන්ද් අතිශය පුදුමයට පත් වෙනවා.

ගුරු හර් ක්‍රිෂන් වසූරිය රෝගීන්ට ආශිර්වාද කරමින්

මේ කාලයේ දිල්ලිය පුරා වසූරිය පැතිර යමින් තිබුණු වසූරිය නිසා රෝගීවූවන්ට ආශිර්වාද කරමින් සුව කරන්නත් ගුරු හර් ක්‍රිෂන් කටයුතු කරනවා. වැඩි වැඩියෙන් වසූරිය රෝගීන් ගාවට ගියපු නිසා ගුරු හර් ක්‍රිෂන්ටත් වසූරිය වැළදෙනවා.

ජායි සිංගේ මාළිගාවක වාසය කරපු අවසානයේදී 1664 මාර්තු 30 ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයනවා. ගුරු හර් ක්‍රිෂන්ව යමුනා ගඟේ ගං ඉවුරේ ආදාහනය කරන අතර ඒ ස්ථානයේ ගුරු වෙනුවෙන් ගුරුද්වාර බාල සහීබ් නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා. ඒ දෙස බලා සිටීමෙන් පවා රෝග තත්වයන් සුව වෙන බවයි කියවෙන්නේ.

 ගුරුද්වාර බංග්ලා සහීබ්

ගුරු නැවතී සිටි ජායි සිංගේ මාළිගාව "ගුරුද්වාර බංග්ලා සහීබ්" නමින් පූජනීය ස්ථානය බවට පත්වෙනවා. ගුරු හර් රායි දිල්ලියේ වැසියන්ට කරපු සේවාව නිසාම හින්දූන් "බාල්මුකන්ද්" නමිනුත් මුස්ලිම්වරු "බාලා පිර්" නමිනුත් ඔහුව සිහිපත් කරනවා.

ගුරු හර් ක්‍රිෂන්ගෙන් පස්සේ ගුරු තනතුරට පත්වෙන්නේ ගුරු තේජ් බහාදූර්. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. ගුරු හර් ක්‍රිෂන් මියයන්න කලින් අහස දෙසට අත් දිගු කරලා "බාබා බකාලා" කියලා සඳහන් කරනවා. ඒකේ අර්ථය විදිහට ගැනෙන්නේ මීළඟ ගුරු බාබා බකාලා ප්‍රදේශයේ ඉන්නවා කියන එක. ඒ අනුව ඒ ප්‍රදේශයේ වාසය කරපු ගුරු හර්ගෝබින්ද්ගේ පුත්‍රයෙක් වුණු ගුරු තේජ් බහාදූර් මීළඟ ගුරු විදිහට පත්වෙනවා.

ගුරු තේජ් බහාදූර් ගැන වගේම අවසන් ගුරු වුණු ගුරු ගෝබින්ද් සිං ගැන ඊළඟට කියන්නම්..........

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා

61 comments:

  1. "ඒ නියමය කඩ කරලා ගුරු හර් ක්‍රිෂන් ඖරංසෙබ්ව මුණ ගැහුණොත් ගුරුගේ ඉල්ලීම කඩපු නිසා සීක්වරුන් අතර ගුරු හර් ක්‍රිෂන්ව අප්‍රසාදයට පත් කරන එක තමා බාබා රාම් රායිගේ අදහස වුණේ."

    මේ ඉල්ලීම කඩ වෙනවා නේද?

    අපූරු විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. @ හරී

      ගුරුවරුන් කටයුතු කරන්නේ සීක්වරුන්ගේ යහපත උදෙසා කියන එක එයාලා පිළිගන්න දෙයක්. ඒක නිසා ඒ අවස්ථාවේ හැටියට ගුරු හර් ක්‍රිෂන් කරන්නේ කළ යුත්ත කියලා සීක්වරුන් විශ්වාස කරන්න ඇති.

      අනෙක් අතට ගුරු හරි ක්‍රිෂන් දිල්ලියට ගියාත් රාජා ජාය් සිංගේ මැදිහත් වීම නිසා ඖරංසෙබ්ව මුණ ගැහෙන්නේ නැහැනේ. ඒක නිසා ඉල්ලීම කඩ වුනේ නැහැ කියලත් ගන්න පුලුවන්නේ..

      Delete
  2. කතා ටික එක දිගට නොබැලෙන හන්දා පොඩ්ඩක් පැටලෙන ගතියක් තියෙනවා. මේ ආගම හා ඉස්ලාම් ආගම අතර සමානකමක් තියෙනවද? මම හසිතගෙන් ඔය ප්‍රශ්නය කලිනුත් ඇහුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ඔය ප්‍රශ්නයට උත්තරෙත් මම කලින් දුන්නා වගේ මතකයි :D

      ආයි පාරක් කිව්වොත් ඉන්දියාවේ ඉන්න හින්දු සහ මුස්ලිම්වරු අතර සමඟියක් ඇතිකරන්න තමා ගුරු නානක් සීක් දහම ඇතිකරන්නේ. ඒක නිසා ඉස්ලාම් වගේම හින්දු දහමේත් යම් යම් ආභාෂ සීක් දහම තුළ දැකගන්න පුලුවන්.

      ඒ වගේමයි ගුරු නානන් පෙරදිග ප්‍රදේශ [අනුරාධපුරේ පවා ඇවිත් තියෙනවා] වගේම අපරදිගත් තිබුණු පූජනීය තැන් වඳින්න ගිහින් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල තිබුණු ආගම්වලිනුත් කරුණු සීක් දහමට අරගෙන තියෙන බව පේනවා..

      Delete
  3. "ගුරුද්වාර බංග්ලා සහීබ්"......ඉතා රමනීය..ගෝඩ නැගිල්ලක්නෙ.
    ඉන්දියාවෙ විවිදත්වය ගැන පුදුමයි..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      ඉන්දියාවේ විවිධත්වය කිව්වාම මතක් වුණේ ඉස්සරහට ඉන්දියාවේ තවමත් ප්‍රධාන පෙළේ දහමක් වෙන ජෛන දහම ගැනත් ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  4. හින්දි පිචර් වල දීවාලි උත්සව දැකලා තිබ්බට අතීත කතාව දන්නේ අදනේ බොලේ.
    පෝස්ට් එක නම් මරු !

    ReplyDelete
    Replies
    1. දීවාලි නැත්නම් දීපවාලි උත්සවේ පටන් ගන්නෙ මේ කතාවෙන් නෙවි..ඒක රාම කුමාරයා අවුරුදු 14ක වන වාසය අවසන් කරලා රාවණා පරද්දලා ආපහු අයෝධ්‍යා ආපු එක සමරන්න..මේක සමරන්නෙ හින්දු භක්තිකයෝ..
      http://en.wikipedia.org/wiki/Diwali

      සීක් ආගමික අයත් මේක සමරන්න පටන් ගත්තා හසිත තේරුම් කරපු හේතුව නිසා..

      Delete
    2. @ මධුරංග

      දීපවාලි/ දිවාලු උත්සවය ඉන්දියාවේ විවිධ ආගමිකයන් විවිධ හේතු පාදක කරගෙන සමරනවා. කොහොම නමුත් හින්දූන්ගේ ප්‍රධාන උත්සවයක් විදිහට තමා මේක සැලකෙන්නේ. හින්දුවරු මේක සමරන්නේ විෂ්ණු අසුරයෙක්ව පරාජය කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන්. ඒ වගේම රූ අක්කා කිව්ව හේතුව නිසාත් මේක සැමරෙනවා.

      ජෛනයන් මහාවීරගේ නිවන සිදුවූ දිනය ලෙස සළකලා මේක සමරනවා වගේම නේපාලයේ බෞද්ධයෝත් මේක සමරනවාලු.

      මෙන්න අයියා වැඩි විස්තර තියෙන තැන

      Delete
    3. @ රූ....

      මට විස්තර ටිකක් හම්බවුණා සිංහල විකියෙන්. පොඩ්ඩක් ඒකත් බලන්න අක්කේ. උඩ තියෙන්නේ ඒකේ ලින්ක් එක.

      Delete
  5. Replies
    1. @ Anonymous September 9, 2012 4:09 PM

      ස්තුතියි

      Delete
  6. හරිම රසවත්ව කරුණු පෙළගස්වලා තියෙනවා... කොටසින් කොටස ආශාවෙන් කියවනවා...
    මගේ ගැටලුවට තාමත් පිළිතුරු නෑ... මම හිතන්නෙ ඊළග කොටසෙදි පිළිතුරු ලැබේවි... සීක් ජාතිකයින් තලප්පාව පළදින්නෙ ඇයි... ඔන්න ඕකයි ප්‍ර‍ශ්නෙ....

    මම සිරාගෙ කාමරේ සිරා

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      මේ කතා මාලාවේ තව එක ලිපියයි තියෙන්නේ. ඒකෙන් ඔය ප්‍රශ්නෙට වගේම අද කාලේ සීක්වරුන් සම්බන්ධ හුඟක් දේවල් ගැනත් කියනවා අයියා :)

      Delete
  7. සුපිරි ඈ....
    වෙන මොන කතාද????

    ReplyDelete
  8. කාලෙකින් පස්සෙ ආවේ. දන්නවානේ සිද්දිය...... මම අළුතින් ම ලිව්වා http://lekssammuthiworld.blogspot.com/2012/09/blog-post.html

    මාත් ඔය සීක් වරුන්ගේ කතාව කියවලා තියෙනවා අසිරිමත් ඉන්දියාව පොතේ(වෙන්න ඇති ) දැන් නම් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. @ Uditha Lekamge

      කලකට පස්සේ ගොඩබැහැලා තියෙන්නේ සන්තෝෂයි සන්තෝෂයි :)

      අසිරිමත් ඉන්දියාව පොතේ ලොකු විස්තරයක් නැහැ සීක්වරුන් ගැන මට මතක විදිහට නම්. ඉතිහාස ධාරා පොතෙන් වෙන්න ඕනේ කියවන්න ඇත්තේ..

      Delete
  9. ඔබ මහන්සියෙන් ලියන පොස්ට් කොහොමත් වටිනවා..
    ජය!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ස්තුතියි මහන්සිය අගය කළාට :)

      Delete
  10. කතාව එළ.ඒත් ආගම් කිව්වම ලේ වැගිරීම් නැත්තේ නෑ නේද? බල ලෝභය තමා අන්තිමට.ඔය ආගම් බලෙං ලෙඩ හොඳ කරන එකත් හරි ආතල් නේද?

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      ආග්ම් කිව්වාම ඒක ව්‍යාප්ත කරද්දී වගේම ඒකට එරෙහිව කට්ටිය ඉද්දී සටනක් ඇතිවෙනවා නොවැ. ආගම් බලෙන් ලෙඩ හොඳ කරන එක නම් පිස්සුවක් තමා.

      හැබැයි මෙතනදී වෙන්නේ ආගම ගැන විශ්වාසයෙන් ලෙඩ සුව වෙන එක. කොවූර් ශුද්ධ වූ ජලය ගෙනල්ලා ගමේ අයගේ ලෙඩ සනීප කරපු කතාව අහලා තියෙනවාද ? ඒ වගේ තමා මෙතනත් විශ්වාසය නිසා ලෙඩ සනීප වෙනවා..

      Delete
  11. ඉතාමත් ආශාවෙන් කියෙව්වෙමි .

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      එය මාගේ සතුටයි :)

      Delete
  12. මේ ලියවෙන කතාවනම් හැම දෙයක්ම අළුත් නිසා ගොඩක් ඕනකමින් කියවන් යන්නේ..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      තැන්කු අයියණ්ඩි . කියවීම මිනිසා සම්පූර්ණ කරයි :)

      Delete
  13. මේ ටික මාත් මුල ඉඳලම කියන්වන්න ඔනෙ මචන්

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      කියවලා බලන්න අයියා. සිංලා ඕස්ට්‍රේලියාව පැත්තෙත් ඉන්න එකේ දැනගෙන ඉන්න එක හොඳයි නොවැ...

      Delete
  14. මේ විදිහට සාමය සඳහා සැදු සැම ආගමක්ම අවසානයේදී යුද්ධයට අතවනන මිනිසුන් තවත් භේද භින්න කරන ආගමක් බවට පත් උනා. මේ සියලු ආගම් පරදවා උතුන්ම දර්ශනයක් හඳුන්වා දුන බුදු සමයත් අද ඒ තත්වයටම පත් වෙලා. ඒකයි දුක..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      එකඟයි අයියා. ප්‍රායෝගික භාවිතයේ තියෙන දුර්වලතා තමා මේවා... අවිහිංසාව කියවුණු බුදු දහට වුණු දේම මදෑ...

      Delete
  15. කතාව ටිකක් සංකීර්ණ වෙලාද මන්දා. ආයෙත් මුල ඉදන් ලිපි 3ම හෙමින් කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මුල ඉදන් කියවන එක හොඳයි අයියා. සංකීර්ණ ටික සරල වේවි :)

      Delete
  16. දීවාලී අපි දීපාවලී නමින් හඳුන්වනහින්දු උත්සවයම කියලා මම හිතුවෙ. මේක දෙගොල්ලම සමරනවා කියලාකියලා මම මේ දැන් ලඟ ඉන්න ඉන්දියානුවන්ගෙන් අහලා දැනගත්තා.
    මේ ගුරුලගෙත් ඔලුව වටේට හේලෝ එක අඳිනවා චිත්‍රවල නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. @ Dude

      දීපවාලි/ දිවාලි හින්දු, සීක්, ජෛන, නේපාල බෞද්ධයන් කියන කට්ටි කීපයම තම තමන්ගේ ආගමත් එක්ක සම්බන්ධ විශේෂිත සිදුවීම් මුල් කරගෙන සමරන බව තමා දැන ගන්න ලැබුණේ අයියා..

      ගුරුලත් පූජනීය කට්ටිය වගේම දෙවියන්ගේ පණිවුඩය කියන අය නිසා එහෙම අඳිනවා වෙන්න ඕනේ..

      Delete
  17. මේ ෂාජෙහාන්, ටජ්මහල් හැදුව කෙනාමද?

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      ඔව් ඔව් අයියා. මේ ඒ ෂා ජහන්ම තමා :)

      Delete
  18. අපුරු විස්තරයක්.. ගුරු තනතුර බෙදුනා නම් අර බෙදුණු අයට මොකද වුනේ? අද ඒ තනතුර වෙනුවෙන් මොකක්ද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      ගුරු තනතුර බෙදුණා කියනවාටත් වඩා වුණේ සීක්වරුන්ගේ බෙදීමක්. ඒ බෙදුණු අයට ලොකු පිළිගැනීමක් ලැබුණු බවක් නම් පේන්නේ නැහැ. ඒත් මෝගල් අධිරාජයාගෙන් ලැබුණු ප්‍රදේශයක තමන්ගේ මධ්‍යස්ථාන එයාලා පිහිටුවා ගෙන හිටිය බව කියවෙනවා.

      ගුරු තනතුර ගුරු ගෝබින්ද් සිං ගෙන් ඉවර වෙනවා. ඊට පස්සේ නම් සීක්වරුන් වෙනුවෙන් නායකයන් හිටියත් ගුරු තනතුරට සමාන තනතුරක් නම් ඇතිවෙන්නේ නැහැ.

      ගුරු ගෝබින්ද් සිං තමන්ගෙන් පස්සේ ගුරු තනතුරු ඉවර වෙන බවත් ඊට පස්සේ සීක්වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා වෙන්නේ ගුරු ග්‍රන්ථ සහීබ් කියලා නම් කරන නිසා තමා එහෙම වුණේ..

      Delete
  19. ඉතිහාසය විෂය මොන තරම් පුළුල් සහ ගැඹුරට විහිද ගිය ඉතිහාසය ගැන දැනුමක් නෑ විෂ්‍යක්වශයෙන් හදාරා නැති නිසා.
    යම් තරමින් හෝ දැනගත්තේ මේ සටහනින්

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      මෙහෙම හරි යමක් දැන්ගත්තා නම් හොඳයි අයියා. මේවා ඉතින් ආගමික ඉතිහාසයනේ :)

      Delete
  20. //"අහිංසා පර්මෝ ධර්මා"//
    තවත් සුදු කොඩි කේස් එකක් වගේ..:)

    හැමදාම වගේ හසිතට ගොඩක් ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      සුදු කොඩි කේස් වෙන්නේ දැන් කාලෙනේ අක්කේ. මට මතක විදිහට නිරායුධ අයට පහර නොදෙන එක වගේම සම තත්වයේ අයත් එක්ක සටන් කරන එක [හෙල්ලක් ගත්තු කෙනා හෙල්ලක් ගත්තු කෙනෙක් එක්ක වගේ] යුධ නීති ග්‍රන්ථ වගේම ක්ෂත්‍රීය ධර්මවලත් තියෙන දෙයක්...

      Delete
  21. මූගල් ඉන්දියාව වගේම සවිස්තර ඉන්දීය ඉතිහාසය කියන පොතෙත් සික් ආගමේ නැගීම ගැන හොඳ විස්තරයක් හොයා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. @ මානවක

      සවිස්තර ඉන්දීය ඉතිහාසය පොත නම් හොයාගන්න බැරිවුණා. ඒත් මේ සටහන ලියන්න මූගල් ඉන්දියාව පොත පාදක කරගෙන තියෙන්නේ. ඒ පොත වගේ පාදක කරගත්තු අනෙක් පොත් ගැනත් මේ සටහනේ අන්තිමට කියලා තියෙන්නේ

      Delete
  22. මට ඉන්දියානුවන්ගේන් දැන ගන්න බැරි දේ ඔබ අපරුවට විස්තර කරනවා. ඉතාම උනන්දුවෙන් කියවනවා.

    ReplyDelete
    Replies
    1. @ සුදීක

      නියමයි තව ටික දවසකින් අයියාට මේ ගැන ඉන්දියානුවන්ට කියලා මේ සටහන්වලට තව දේවල් එකතු කරන්න පුලුවන් වේවි :)

      Delete
  23. අපූරු විස්තරයක්.. මේක කියවන්න එන්න නම් වෙනදට වඩා පරක්කු උනා මට. ස්තුතියි හසිත මල්ලි හැමදාම වගේ අපේ දැනුමට අලුත් යමක් එකතු කලාට.

    ReplyDelete
    Replies
    1. @ Chandana

      කිසිම පරක්කුවක් නැහැ අයියා. කියවලා දැනුමට යමක් එකතු කරගත්තා නම් ඒ හොඳටෝම ඇති :)

      Delete
  24. ඇත්තටම මටත් පරක්කු උනා එන්න.
    නියම ලිපයක් වෙනදා වගේම.බොහම වටිනවා.ජය !

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      ප්‍රමාදයක් නැහැ නොවැ. කියෙව්වා නම් හොඳටෝම ඇති. සමය සමයාන්තර දැනුම හරි වටිනවානේ :)

      Delete
  25. Replies
    1. @ කෝරලේ මහත්තයා

      ස්තුතියි කෝරලේ මහත්තයාටත් :)

      Delete
  26. ඉක්මනට අනිත් කොටසත් දෙන්න.

    ReplyDelete
    Replies
    1. @ ශාක්‍ය

      අන්තිම කොටස් දෙකම පල කරලා අවසන්

      Delete
  27. උපරිමයි . . .ඇහැක් නම් මුල ඉඳන් හිටපු ගුරු ලගේ ලිස්ට් එකක් වයස සහ ගුරු තනතුරේ හිටි කාලය එක්ක සඳහන් කරලා දාන්න . . පුලුවන් නම් ඒ අයගේ කාලවල හිටි අධිරාජයන්ගේ නමත් සඳහන් කරන්න . . එතකොට නම් වල පැටලිලි ගතිය නැතිවෙයි . . නියමයි මල්ලී . ..

    ReplyDelete
    Replies
    1. @ දුකා

      ඒක හොඳ යෝජනාවක් අයියා. මෙන්න ඒ ගැන විස්තර

      1. ගුරු නානක් දේව් මියගියේ 1539 මියයද්දී වයස අවුරුදු 70 - මෝගල් පාලකයා හුමායුන්
      2. ගුරු අංගද් දේව් ගුරු තනතුරේ හිටියේ 1539-1552 මියයද්දී වයස අවුරුදු 48 - මෝගල් පාලකයා හුමායුන්, ෂේර් ෂාහ් සූරි නැවත හුමායුන්
      3. ගුරු අමර් දාස් ගුරු තනතුරේ හිටියේ 1552-1574 මියයද්දී වයස අවුරුදු 95 - මෝගල් පාලක හුමායුන් පසුව අක්බාර්
      4. ගුරු රාම් දාස් ගුරු තනතුරේ හිටියේ 1574-1581 මියයද්දී වයස අවුරුදු 47 - මෝගල් පාලක අක්බාර්
      5. ගුරු අර්ජන් දේව් ගුරු තනතුරේ හිටියේ 1581-1606 මියයද්දී වයස අවුරුදු 43 - මෝගල් පාලක අක්බාර් පසුව ජහාන්ගීර්
      6. ගුරු හර්ගෝබින්ද් ගුරු තනතුරේ හිටියේ 1606-1644 මියයද්දී වයස අවුරුදු 49 - මෝගල් පාල ජහන්ගීර් පසුව ෂාජහාන්
      7.ගුරු හර් රායි ගුරු තනතුරේ හිටියේ 1644-1661 මියයද්දී වයස අවුරුදු 31 - මෝගල් පාලක ෂාජහාන්
      8. ගුරු හර් ක්‍රිෂන් ගුරු තනතුරේ හිටියේ 1661-1664 මියයද්දී වයස අවුරුදු 8 යි - මෝගල් පාලක ඖරංසෙබ්
      9. ගුරු තේඝ් බහදූර් ගුරු තනතුරේ හිටියේ 1664-1675 මියයද්දී වයස 54 - මෝගල් පාලක ඖරංසෙබ්
      10. ගුරු ගෝබින්ද් සිං ගුරු තනතුරේ හිටියේ 1675-1708 මියයද්දී වය්ස අවුරුදු 42 - මෝගල් පාලක ඖරංසෙබ් පසුව බහදූර් ෂා

      මෙතැන් පටන් ගුරු වෙන්නේ ආගමික ග්‍රන්ථය වෙන ගුරු ග්‍රන්ථ් සහීබ්

      Delete
    2. බොහෝම ස්තූතියි මල්ලී

      Delete
  28. පෝස්ට් හතරම කියෙව්වා. අපූරු විස්තරයක්. බොහොම වටිනවා.

    ReplyDelete
  29. ගුරුගෙදර වෙබ් අඩවියෙහි යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................