මේ දවස්වල ලංකාවේ ඉන්න පොඩි ළමයාගේ පටන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝම වගේ කපිලවස්තුපුරය ගැන දන්නවා හරියට කපිලවස්තුපුරේ ජීවත් වුණු මිනිස්සු වගේ. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. ඒකට හේතුව හැමෝම දන්නවා. කපිලවස්තුපුරයේ ස්ථූපයකින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා සතර නමක් පහුගිය දවසක ලංකාවට වැඩම කරවීමත් ලංකාවේ ස්ථාන කීපයකම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ලංකාවේ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න හැමෝම වගේ මේ ගැන දැනගත්තා.
ඒ වගේමයි ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න හුඟක් බෞද්ධ ජනතාව ඒ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරපු ස්ථානවලට ගිහින් වන්දනා කරගත්තා. ඒ වගේමයි මම දැක්ක විදිහට අබෞද්ධ ජනතාව පවා මොකක්ද මේ කියලා බලන්න ආවා.
මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමත් එක්ක ඒ ගැන හුඟක් කතා එහෙට මෙහෙට ගියා. ලොකුම කතාව වුණේ ධාතු පෙන්නලා ඡන්දේ දිනන්න යනවා කියන එක. ඒ වගේමයි රනිල් ලොක්කා කියපු මේ සර්වඥ ධාතු නෙමේ කියන කතාවත් නැඟලා ගියා. බ්ලොග් අවකාශයෙත් ඒ ගැන නම් කතා ගියා.
මේ කතා ඔක්කොම ටික එහෙම මෙහෙට කෙටියෙන් වනා ගෙන ගියේ සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධ මගේ කතාව කියන්න පාර හදාගන්න.
අගෝස්තු මාසේ බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ මුලින්ම සර්වඥ ධාතු ප්‍රදර්ශනය තියෙද්දී අපේ ගෙවල් පැත්තට කිට්ටුව වුණත් මම ගියේ නැහැ. පෝලිම්වල තෙරපිලා බොරු කලබල කරලා සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා මලක් පහනක් පූජා කරන එක හොඳයි කියලා තමා මම හිතාගත්තේ.
අපේ Logic මිස්ටත් මානෙල්වත්ත විහාරයේ සර්වඥ ධාතු වඳින්න යන්න VIP Pass එකක් ලැබිලා මට යන්න කතා කළත් මට යන්න හිතුණේ නැහැ. පස්සේ පෝලිම අල්ලගෙන එන්න කියලා කතා කළත් මම ගියේ නැහැ.
ඔය කතාව දැනගත්තු කීප දෙනෙක් මට බැන්නත් එක්ක "උඹ මහ බෞද්ධයා වුණාට සර්වඥ ධාතු වඳින්නවත් ගියේ නැහැ. වැඩක් නැහැ උඹගෙන්" නම් වගේ කතා කියලා. එයාලටත් මම දීපු උත්තරේ වුණේ පෝලිම්වල තෙරපිලා හිත් නරක් කරගෙන සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා වඳින එක සැපයි කියලා.
ඔයින් මෙයින් මානෙල්වත්ත පන්සලෙන් අනිත් තැනට සර්වඥ ධාතු වැඩැම්මුවාට පස්සේ තමා ටිකක් හරි කනක් ඇහිලා ඉන්න පුලුවන් වුණේ. ඒත් අන්තිමට කැලණි රාජ මහා විහාරෙට සර්වඥ ධාතු වඩම්මන කතාව ප්‍රසිද්ධ වීමත් එක්ක ආයි කට්ටියගෙන් බර බරේ කැලණියටවත් ගිහින් සර්වඥ ධාතු වැඳලා වරෙන් කියලා.
කලින් ප්‍රතිපත්තියේම සුපුරුදු විදිහට ඉන්න හිතුවත් ඒක ටිකක් වෙනස් කරන්න වුණා "රාජකාරිය දේවකාරිය වගේ" නිසා. කැලණි පන්සලේ සර්වඥ ධාතු අන්තිම වතාවට ප්‍රදර්ශනය කරන්න තීරණය කිරීමත් එක්ක එතැන ප්‍රථමාධාර කටයුතු ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකයට පැවරුණා. මමත් ඒකේ සාමාජිකයෙක් වගේම නිලධාරියෙකුත් වෙන නිසා කැලණි පන්සලේ ප්‍රථමාධාර රාජකාරියට පිටත් වුණා.
සර්වඥ ධාතු ප්‍රදර්ශනය පටන් ගත්තු අඟහරුවාදා උදේ 9 ට විතර අපි කැලණි පන්සලට ඇවිත් මකර තොරණ ඉස්සරහ අපි හැමදාම කැලණි පෙරහැරේ ප්‍රථමාධාර කටයුතුවලට ආපුවාම අපේ මධ්‍යස්ථානේ හදාගන්න තැනම tent එකත් ගහගෙන අපේ සේවය පටන් ගත්තා.
හිටපු සෙනඟ තමා සෙනඟ. දැනගන්න ලැබුණු විදිහට එක පෝලිමක කොණ තිබුණේ බොල්ලෑගල මානෙල්වත්ත පන්සල හරියේ. තව පෝලිමක කොණක් තොරණ හන්දිය කිට්ටුවට වෙනකම් ඇවිත් තිබුණලු. ඒ වගේමයි මානෙල්වත්ත පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනේටත් ආවාට වඩා වැඩි පිරිසක් එදා කැලණියට ඇවිත් ඉන්න බව තමා ආරංචි වුණේ.
අපිත් එක්ක කතා බහකට එකතු වුණු පොලිස් අධිකාරීතුමෙක් කිව්වේ කලින් දවසේ රෑ පෝලිම අල්ලන්න 50,000 කට කිට්ටු පිරිසක් පන්සලට ඇවිත් හිටියා කියලා. කොහොමද සර්වඥ ධාතු වඳින්න තියෙන උවමනාව.
පොලිසීයේ අය වගේම STF එකේ අය ගොඩක් මහන්සි වුණා පෝලිම්වල තෙරපීම් අඩු
කරන්න, සෙනඟ පාලනය කරන්න වගේම හොරෙන් පෝලිම් පනින අයව වළක්වන්න.
අපි අපේ කට්ටියව කණ්ඩායම්වලට බෙදලා කැලණි පන්සලේ උඩ මළුවට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධාන දොරටු 3 ගාවට වගේම පහළ මළුවේ තැන් කීපෙකටම යොමු කළා. ක්ලාන්තය හැදුණු අය, කොන්දේ කැක්කුම්, කකුල් කැක්කුම්, ඔළුවේ කැක්කුම් තියෙන අය එමටයි. ඒ අයටත් පුලුවන් ආකාරයෙන් ප්‍රථමාධාර ලබාදෙන්න අපේ අය කටයුතු කළා.
පෝලිම්වල තෙරපෙන තෙරපිල්ලට තමා හුඟක් අයට අමාරු. පෝලිමක් තල්ලු වුණු වෙලාවක වැටිලා ඔළුවක් පලා ගත්තු ආච්චි කෙනෙකුටත් අපේ අය ප්‍රථමාධාර දීලා කිරිබත්ගොඩ මූලික රෝහලෙන් කරපු සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිහින් තිබුණා.
ප්‍රථමාධාර කටයුතු වගේම අපි කරපු වටිනාම දේ වුණේ ඇවිදින්න අමාරු වගේම ශාරීරික ආබාධ තියෙන අයව අරගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරවන්න ධර්ම ශාලාවටම අරගෙන ගිය එක. පෝලිම්වල අමාරුවෙන් ඇවිත් අන්තිමට මකර තොරණ ගාව තියෙන පඩිපෙළ නගින්නවත් සමහර වයසක සීයලාට ආච්චිලාට පණ නැහැ.
අපි කළේ එයාලව පඩි පෙළා නග්ගවලා එතන ඉදන් ධර්ම ශාලාවට යන්න තියෙන පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන යන එක.
හැබැයි මේ වැඩේ අපි කළේ අපේ හිතු මනාපෙට නෙමෙයි. මකර තොරණ ඉස්සරහ ප්‍රදේශය භාරව හිටිය පොලිස් අධිකාරීතුමාගේ අවසරයෙන්.
ඒ වගේමයි ධර්ම ශාලාව ඇතුළේ ඉදන් ආපහු ප්‍රධාන මාර්ගය ඇවිදින්න අමාරු ආච්චිලා සීයලා අරගෙන යන එකත් අපි කළා. එක වෙලාවක් ඇවිදින්න අමාරු ආච්චි කෙනෙක්ව වඩාගෙනත් අරගෙන ගියා. ඒ ආච්චී අන්තිමට හොඳටම පින් දුන්නා අපිට.
ඒ වගේමයි තව ආච්චි කෙනෙක්ව පහළ ඉදන්ම ධර්ම ශාලාව ගාවටම වත්තම් කරගෙන ආවාට පස්සේ අඬ අඬා "මහත්තයා මේ කරපු පිනෙන් බුදු බව ලබන්නම ඕනේ" කියලා කියපු එකත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි.
පෝලිම ගැනත් යමක් කියන්න ඕනේ. උදේ ඉදන් හවස 3 වෙනකම් VIP පෝලිමේ ගිහින් සර්වඥ ධාතු වන්දනා කරන්න ඉඩකඩ ලැබුණේ කැලණි පන්සලේ දායක දායිකාවන්ට. ඒත් ඒකෙත් හුටපටයක් වෙලා ටික වෙලාවක් ඒ පෝලිමත් නතර කරලා තිබුණා.
ඔය වෙලාවේම තමා අපේ දවල් කෑම ලැබෙන්න කොහොමද කියලා බලන්න අපි හාමුදුරුවන්ගේ ආවාසේ පැත්තට ගියාම මට බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වෙන
කස්සගේ මැස්ස ලියන කසුන් අනුරාධ මලයාවත් හම්බවුණේ. මිනිහා කැලණි පන්සලේ සැරම දායකයෙක්.
දවල්ට කෑම නිකුත් කරන්න එක කරන්නේ ඇමති ආචාර්යතුමාගේ කට්ටිය කියලා තමා දැනගන්න ලැබුණේ. අන්තිමට වුණේ අපිට දවල්ට කෑම නැතිවුණු එක. පාන් ගෙනල්ලා තමා වේල පිරිමහ ගත්තේ.
හවස 3 න් පස්සේ අනෙක් VIP Pass පාස් හම්බවුණු අය පෝලිමට එකතු වුණා. අන්තිමට VIP පෝලිමත් පන්සල් වත්තෙන් එළියටම ඇවිත් සාමාන්‍ය පෝලිමක් ගාණටම දික් වුණා. මොකද පුලුවන් හැම මනුස්සයාම කොහෙන් හරි VIP Pass එකක් හොයාගෙන ඒකෙන් පස් දෙනෙක් යන්න පුලුවන් නිසා පෝලිමට ඇවිත් තිබුණේ.
සාමාන්‍ය පෝලිම්වලත් නොතිබුණු හුටපට තමා ඒ පෝලිමේ වුණේ. එක පාරක් පන්සල වටේ යද්දී පෝලිම් පැනලා මොකක් හරි හුටපටයක් වෙලා කට්ටියක් හොඳටම බැන ගන්නවා. එකෙක් මහ හයියෙන් කිව්වා "තොපිලට ධාතු නෙමෙයි පෙන්නන්න ඕනේ, හොර හැත්ත" කියලා.... ඕන් අපේ අයගේ සම්මා වාචා :D
රෑ බෝ වෙද්දී පෝලිමේ අගක් හොයාගන්න නැහැ මිනිස්සු එක පොදියක් වෙලා පොර කනවා. ඒ වෙලාවේ එතන හිටිය අපි ඇහුණා STF එක්කෙනෙක් කෑ ගහනවා මේ පොඩි ළමයා කාගෙද කියලා. පේනවනේ පොර කන පොර කෑමට ළමයි පවා අතරමං වෙලා. මතක් වුණු වෙලාවේ මේකත් කියන්න ඕනේ FM දෙරණෙන් කරපු කාර්යාලයෙන් හැම තිස්සෙම වගේ කිව්වේ අතරමං වුණු කට්ටිය ගැන. ඕන් වෙන වැඩ
පෝලිමේ වුණු හුටපට නිසා අන්තිමට VIP Pass කැන්සල් කරපු බවත් දැනගන්න ලැබුණා. ඒත් මිනිස්සු පොරකනවා. තල්ලු කරගන්නවා එකී මෙකී නොකී විගඩම්. මේකට කට්ටිය බැහැලා තමා තත්වය සමනය කළේ.
රෑ කෑමත් ඔයින් මෙයින් අපිට ලැබුනේ නැහැ. ඒක නිසා අපි කීප දෙනෙක් එළියෙන් මොනවා හරි කන්න යද්දී පොලිසිය ගාව ආච්චි කෙනෙක් ක්ලන්තේ දාලා වැටිලා ඉන්නවා. එයාට අමාරු පාට පෙනුණු නිසා බඩගිනි පැත්තක දාලා එයාවත් පුටුවක ඉන්දෝගෙන සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගියා. ඒකෙන් මේකෙන් බඩගිනිත් නැතුව ගියා.
ඊට පස්සේ ආයි එළියට ආපු වෙලාවේ ළමයෙක් හම්බෙන්න ඉන්න අක්කා කෙනෙක්ට අමාරු වෙලා ඉන්නවා දැක්කා. එයාව රෝහලකට යවන්න අපි කීප දෙනෙක්ම පාරට වෙලා වාහනවලට අත දදා නවත්තන්න හැදුවත් වැඩක් වුණේ නැහැ.
නවත්තපු කීප දෙනෙක්ම විස්තරේ ඇහුවාට පස්සෙත් "අපි හයර් එකක් ඇවිත් ඉන්නේ අපිට බෑ" වගේ "අමන කතා" කියලා මග ඇරලා ගියා. ඕන් අපේ අයගේ මහ ලොකු මනුස්සකම. ශ්‍රද්ධාව දෝරේ ගලනවා ධාතු වඳින්න ඒත් ජීවිත දෙකක් බේරගන්න එන්නේ නැහැ. අපේ කටට හොඳ කුණුහරුප ආවත් කට පියාගෙන හිටියා.
අන්තිමට මනුස්සකම දන්න මනුස්සයෙක් එයාගේ වාහනේ ඒ අක්කාව රෝහලකට ගෙනිච්චා.
පාරේ පෝලිම්වල ඉන්න සමහර අයත් එක්ක අපි කතා කරද්දී සමහරු පාන්දර දෙකේ තුනේ ඉදන් පෝලිම්වල ඉන්නේ. අපි එයාලා එක්ක කතා කරද්දිත් වෙලාවට හතට අටට විතර ඇති. හිතාගන්න පුලුවන්නේ පෝලිම්වල දිග.
තවත් සමහරු පෝලිම් පටලවාගෙන ධාතු වැඳිල්ලත් එපා වෙලා ගෙදර යන්න හදනවා. ඕන් ඔය වගේ ජාති ගොඩයි.
රෑ 12 කිට්ටු වෙද්දී අපේ අයගෙනුත් හුඟක් අයට අමාරු එහෙට මෙහෙට ඇවිදලාම රාජකාරිය කරලා. අන්තිමට අමාරුම පොඩි එවුන්ට නිදාගන්න කියලා මකර තොරණ ගාව පඩිපෙළේ රාජකාරිය අපි භාර ගත්තා. අර කලින් කිව්ව එතැන හිටිය පොලිස් අධිකාරීතුමා පෝලිමේ ඉන්න නැතුව යන්න කියන සීයලා ආච්චිලාව අපි වත්තම් කරගෙන පඩිපෙළ නග්ගවලා පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන ගියා.
ඔය වෙලාව වෙද්දී අපිටත් හොඳ ගණන් හරියට කෑමකුත් නැහැ හිටගෙන ඉදලා යටි පතුල් එහෙම හොඳටම රිදෙනවා. ඒ ඔක්කෝටම වඩා නිදිමතයි. ඒත් වාඩිවුණොත් නින්ද යන නිසා ඇවිද ඇවිද මූණ හෝද හෝද පුලුවන් විදිහට වාරු නැති අයට උදව් වුණා.
කියන්නත් අමතක වුණා ඒ රාජකාරියේ ඉන්න ගමන්ම තුන් හතර පාරක්ම සර්වඥ ධාතූන් වහන්සේලාත් වන්දනා කරගත්තා.
ඊට පස්සේ පාන්දර ධර්ම ශාලාව සර්වඥ ධාතූන් වහන්සේලා ගාව ඉන්න වගේම ෆොටෝ කීපයකුත් ගන්න ලැබුණා. ඒ විදිහට ධර්ම ශාලාව ඇතුළේ හිටියේ කීප දෙනෙක්ම ඇතුළේදීත් ක්ලාන්ත වුණු නිසා එතනටත් අපේ සේවය ඕනේ වුණු නිසා.
උදේ පාන්දර 5 ට විතර පැය භාගයක් විතර නිදාගන්න පුලුවන් වුණා. ඒත් ඇඟේ පතේ අමාරුව නම් ගියේම නැහැ.
උදේත් පුලු පුලුවන් විදිහට අපේ සේවය කළා. හැබැයි ඇත්තම කිව්වොත් ඒ වෙද්දී හොඳ ගණන්. හරියට කකුල් දෙකෙන් එල්ලලා කකුල්වලටයි යටි පතුල්වලටයි හොඳට පොලුවලින් ගැහුවා වගේ තමා කැක්කුම
කොහොම නමුත් මම හුඟක් තැන්වල කිව්වා වගේම ධාතු වඳින්න ගිහින් හුඟක් අය කරගත්තේ පව්. ලෝභය, ද්වේෂය, පරුෂ වචන කීම වගේ නොයෙක් ජාතියේ පව් වැඩ තමා ධාතු වඳින්න ආපු එකෙන් හුඟක් අය කරගත්තේ..
මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත්
සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට
හිතුනේ....
අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා
අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා
සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති
අන්තිමටම මේ ටික කියන්න ඕනේ. සර්වඥ ධාතූන් වහන්සේලා ඒ විදිහට තෙරපිලා පොරකාලා වඳින්න යන්න මම කැමති වුණේ නැතත් ඒකට මට පහසුවෙන් යන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මොකක් හරි බලවේගයකට පෙනුණු නිසා හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසා හරි මට හුඟක් පහසුවෙන් සර්වඥ ධාතූන් වහන්සේල එක පාරක් නෙමේ කීප පාරක්ම වන්දනා කරගන්න පුලුවන් වුණා. ඒ වගේමයි පැය කීපයක් ඒ අසළම ඉන්න පුලුවන් වුණා.
අනෙක් කතාව තමා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළාටත් වඩා සතුටක් මගේ හිතට එන්නේ අපි උදව් කරපු සීයලා ආච්චිලා අපිට පින් දීපු හැටි මතක් වෙද්දී. මොකද අපි ඒ දේවල් කළේ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හරියටම කිව්වොත් නිස්සරණාධ්‍යාශයෙන්. ඉතින් ඒ නිසා නිරාමිස සතුටක් මට ලබන්න පුලුවන් වුණා. ඒක මට හැමදාම මතක තියේවි.
ඩඩ්ලි සේනානායකගේ අවමඟුලට සෙනඟ ආ හැටි
ප්‍රථමාධාරකරුවෙක් විදිහට මගේ අවුරුදු 8 ක සේවා කාලය ඇතුලේ සහභාගි වුණු ලොකුම රාජකාරිය තමා මේක. ඉතින් රාජකාරි පැත්තෙනුත් මට මේක ලොකු අත්දැකීමක්. අපේ ප්‍රථමාධාර සර් කියපු විදිහට සර්ත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක අභාවයට පත්වුණු වෙලාවේ එතැන ප්‍රථමාධාර රාජකාරි ගියාට පස්සේ මේ වගේ රාජකාරියකට ආවාමලු.
ප.ලි.: මට කලින් කියන්නත් අමතක වුණා. මේ කතාවේ විශේෂ පිදුම අපේ කැම්පස් එකේ සගයෙක් වගේ බ්ලොග් අවකාශයේත් සගයෙක් වෙන අමිල ගම්මුදලිට.
පහුගිය දවස් ටිකේ ලියපු කතා ගැන මිනිහා කිව්වේ ඒවා නෙමෙයි මොකක් හරි ආතල් කතාවක් ලියපන්කෝ කියලා. මේ කතාවත් ඉතින් ආතල් කතාවක්ද මන්දා. උඹම කියවලා හිතපන් ලොක්කා