Showing posts with label ජීවිතයට යමක්. Show all posts
Showing posts with label ජීවිතයට යමක්. Show all posts

Monday, October 29, 2012

බඩුමිළ වැඩියි කියලා කෑ ගහලා හරි යන්නේ නැහැ - තවත් අපූරු මනුස්සයෙක්ගේ කතාවක්


එදා 4 කණුවේ බස් හෝල්ට් එකෙන් 138 කඩවත කොටුව බස් එකකට නැග ගත්තේ ඉක්මණට කැම්පස් එකට එන්න හිතාගෙන. බස් එකේ සාමාන්‍ය ප්‍රමාණයකට සෙනඟ හිටියත් පිටිපස්සේ දොර ගාව සීට් එකක් හිස් වෙලා තිබුණු නිසා මම එතනින් වාඩි වුණා. මම වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් කොණේ වාඩිවෙලා හිටියේ අවුරුදු 50 ක විතර පෙනුම තිබුණු වයසක පිරිමි කෙනෙක්. අතේ පාර්සලේකුත් තිබුණා. 

"බලන්න මහත්තයා දැන් ටිකකට කලින් බස් එකට නැග්ග ගෑණු ළමයා ෆෝන් එකක් කනේ තියාගෙන බර කතාවක ඉන්න ගමන්ම තමා බස් එකට නැග්ගේ. ඒ ගමන් අනික් පැත්තට බස් එකෙන් බැස්සත් එක්ක. 

ෆෝන් කෝල් එකේ සිහියෙන් ඉදලා බස් එකෙන් වැටුණා නම් මිනිස්සු ටික එකතු වෙලා ඩ්‍රයිවර්ට ගහනවා මිනිහා බලන්නේ නැතුව බස් එක ඇද්දුවා කියලා. සමහරු පාර පනින්නෙත් ෆෝන් කෝල් ගන්න ගමන්. අන්තිමට අනතුරු"  කියලා එයා මාත් එක්ක කතාවට වැටුණා. 

"ඒක නම් ඇත්ත තමා" මාත් හූමිටියක් තිබ්බා. 

"ඔය ෆෝන්වලින් මිනිස්සු කරන ජාති තමා ජාති මහත්තයා. ළඟදී ෆිල්ම් එකක් ආවා නේද දරුවනේ කියලා. කවුරු හරි ෆෝන් එකෙන් ඒ ෆිල්ම් එක විඩියෝ කරලා ඒක සීඩීවලට දාලා දැන් විකුණනවා. ඔන්න ඒකෙත් හැටි. ඒත් අපි නම් කවුරු හරි එහෙම ෆෝන් එකකින් ෆිල්ම් එකක් වීඩියෝ කරනවා දැක්කොත් දෙපාරක් අවවාද කරනවා. ඒත් අහන්නේ නැත්තම් එළියට දානවා"

කතා බහ කරන විදිහෙන් ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක් කියලා තේරෙන නිසා මම ඇහුවා "මේ මහත්තයා ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක්ද ?" කියලා.

"ඔව් මහත්තයා. මම තමා දළුගම Contras ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් ප්‍රොජෙක්ට් කරන එක කරන්නේ" කියලා එයා උත්තර දුන්නා.



බස්වලදී නානා ප්‍රකාර මිනිස්සු හම්බෙලා තිබුණත් මේ වගේ කෙනෙක් හම්බෙලා නැති නිසා මාත් හරිබරි ගැහිලා කතාවට මුල පිරුවා. 

"නියමයිනේ. කොහොමද මේ දවස්වල පෙන්නන කර්ම ෆිල්ම් එක එහෙම ? මම ඒක බලන්න එන්න හිතාගෙන ඉන්නේ"

"ෆිල්ම් එක නම් හොඳයි මහත්තයා. ප්‍රසන්න අලුත් විදිහට ෆිල්ම් කරන කෙනෙක්නේ. හැබැයි මේ ෆිල්ම් එක බලන්න ටිකක් අමාරුයි. එකම ෂොට් එක විනාඩි 5 ක් 10 ක් විතර ඔහේ තියෙනවා. එතකොට බලන්න අමාරුයිනේ. ඒ වගේමයි කතාවත් ටිකක් තේරුම් ගන්න අමාරුයි" කියලා එයා කිව්වා නිසා මේ මනුස්සයත් කාලයක් තිස්සේ ෆිල්ම්ස් බලලාම හොඳ අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තියෙන බව මට තේරුණා.

ඒක නිසා ඒ හැකියාව මම අගය කෙරුවා.

"ඔයාටත් චිත්‍රපටි විචාරකයෙක් වෙන්න පුලුවන් වගේ. ඔයා හුඟක් ෆිල්ම්ස් බලලා ඇති නේද ?"

"ඔව් මහත්තයා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි ෆිල්ම් හුඟක් බලලා තියෙනවා. සෙක්ස් ෆිල්ම්ස් ඇරෙන්න"

"දැනට ෆිල්ම්ස් කීයක් විතර බලලා ඇද්ද ? 500 ක් 600 ක් විතර ?"

"ඊට වැඩියි මහත්තයා. 2000 ක් විතර ඇති. මගේ සර්විස් එක අවුරුදු 39 ක්.යාපනේ,කොළඹ රීගල් ඇරෙන්න හුඟක් ෆිල්ම් හෝල්වල මම වැඩ කරලා තියෙනවා"

"අවුරුදු 39 ක සර්විස් එකක් කියන්නේ ලොකු කාලයක්නේ"

ගෑණුන්ගේ වයසයි පිරිමින්ගේ පඩියයි අහන්න එපා කියලා කතාවක් තිබුණත් මගේ කට කසනවා කීයක් විතර පඩි තියෙනවද කියලා අහන්න. ඒක නිසා මම ඇහුවා "ඉතින් කීයක් විතර පඩි තියෙනවාද ?" කියලා

"ලොකු පඩියක් නැහැ මහත්තයා රුපියල් 12,000 ක් තමා පඩිය. ඕටීත් එක්ක 15,000 ක් විතර පඩි තියෙනවා මාසෙකට"

මට පුදුම හිතුණා. මෙච්චර සර්විස් එකක් තිබිලත් පඩිය මෙච්චර අඩුද කියලා. පස්සේ මම ඇහුවා "ඉතින් ඒ ගාණෙන් ජීවත් වෙන්න පුලුවන්ද?" කියලා. ඒකට ලැබුණු උත්තරේ නම් හරිම වටිනා කියන එකක්. 

"අපි ඒ පඩියෙන් ජීවත් වෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වුණා මහත්තයා. බඩු මිළ වැඩියි පඩි මදියි කියලා හැමදාම කෑ ගගහා ඉදලා හරියන්නේ නැහැනේ මහත්තයා. අපි දැනගන්න ඕනේ හම්බෙන විදිහට වියදම් කරලා ජීවත් වෙන්න. 

සමහරු ඉන්නවා කෑම කද්දී කොකා කෝලා එකක් බොන්නම ඕනේ. කාලා ඉවර වෙලා සිගරට් එකක් බොන්නම ඕනේ. ඒත් මම නම් මහත්තයා තියෙන විදිහට කාලා බීලා ඉන්නවා. අතේ තියෙන මුදලට වියදම් කරනවා. එහෙම නැතුව 15,000 ක් පඩි අරගෙන 25,000 ක වියදම් තියා ගත්තොත් හරියන්නේ නැහැනේ. 

සමහරු ඉන්නවා හෝටල්වලින් කන්න පුරුදු වෙච්ච. ඒත් ගෙදරින් ඔතාගෙන එන්න පුලුවන් සම්බෝලයි බතුයි හරි කනවා නම් කීයක ඉතුරුවක්ද. මම හැමදාම උදේට බත් එක්ක එක වෑංජනයක් හදනවා. ඒකෙන් උදේටයි දවල්ටයි කනවා. රෑට කඩෙන් පාන් එක්ක හොඳි එකක් ගෙනල්ලා කනවා. 

හැමදාම රෑට එදා දවසේ ඉතුරු වුණු මාරු සල්ලි කැටේකට දානවා. මාසේ අන්තිමට ගෙදර යද්දී ඒ සල්ලිත් ගෙනිහින් දුවට දෙනවා." කියලා බොහොම උපේක්ෂාශීලී විදිහට එයා කිව්වා. 

අපි දෙන්නගේ කතාවෙන් කතාවෙන් කැම්පස් හෝල්ට් එක කිට්ටුවට බස් එක ඇවිත් තිබුණේ. 

"එහෙනම් මහත්තයා මම ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. හම්බෙමුකෝ" කියලා එයත් බස් එකේ ඉස්සරහට ගියා. 

මමත් කැම්පස් හෝල්ට් එකෙන් බැහැලා කැම්පස් ගියා. 

අපි දෙන්නාගේ කතා බහ එහෙම ඉවර වුණත් ඒ කතාවෙන් ගන්න පුලුවන් දේ නම් ඉවර වෙන දෙයක් නෙමෙයි කියලයි මට හිතුණේ. 

ප.ලි.: ටික දවසක් තිබුණු විරාමය පුංචි කොමාවක් තමා මේ :D


Sunday, September 30, 2012

කුණු ගඳ එන කටවල් අතරේ මහනෙල් මල් සුවඳ එන කටක්


උදේ නැගිට්ට ගමන්ම කටෙන් එන ගඳ වගේම තවත් සමහරුන් දත් මැදලා මොන ජාති කළත් කටෙන් එන ගඳ ගැන අපි කාට කාටත් අත්දැකීම් ඇති. එහෙම කටෙන් ගඳක් එන එක සමහර රෝග තත්ව නිසාත් වෙන්න පුලුවන්. මහ වෙදනා, ගිමන් නිවන්නා වගේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපේ හිතවතුන් ඒ ගැන කරුණු පැහැදිලි කරාවි. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න Mouth Spray පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් මහනෙල් මල් සුවඳ උපතේ ඉදන් ආපු පුද්ගලයෙක් ගැන. 

ඉතින් මේ විදිහට කටෙන් එන ගඳවල් හංග ගන්න පාවිච්චි කරන අයත් ඉන්නවා නොවැ. ඒත් අද මම කියන්න යන කතාවේ කියවෙන්නේ තමන්ගේ කටෙන් උපතේ ඉදන්ම මහනෙල් මල් සුවඳ ආපු පුද්ගලයෙක් ගැන.

බුද්ධ කාලයේ සැවැත් නුවර හතළිස් කෝටියක් විතර සල්ලි තිබුණු සිටුතුමෙක්ට දාව සිටු දේවියට පුතෙක් ඉපදෙනවා. මේ සිටු කුමාරයා මුඛය විවෘත කරන වාරයක් පාසාම ගෙදර පුරාම මහනෙල් මල් සුවඳ පැතිරිලා යනවා. ඒ නිසා සිටු කුමාරයාට දෙමාපියෝ තියෙන නම තමා "උත්පලගන්ධ" කියන එක. 

නිසි වයසට එළඹිලා විවාහයකුත් කරගෙන උත්පලගන්ධ සිටුතුමා කල් ගත කරද්දී බුදු හාමුදුරුවන්ව මුණ ගැසීමත් එක්ක ධර්මය ශ්‍රවණය කරන උත්පලගන්ධ සිටුතුමා ගිහි ගෙය ගැන කළ කිරිලා තමන්ගේ හතළිස් කෝටියක් විතර සල්ලිත් සිටු තනතුරත් ගිහි සැපතත් අත් හැරලා පැවිදි වෙනවා. 

ටික දවසකින්ම විදර්ශනා භාවනාව වඩපු උත්පලගන්ධ හාමුදුරුවෝ රහත් වෙලා උත්පලගන්ධ රහතන් වහන්සේ කියලා ප්‍රසිද්ධ වෙනවා.

සැවැත් නුවර ඇතුළු කෝසල ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල රජතුමා උත්පලගන්ධ සිටුතුමා මහණ වුණු බව අහලා හිමියෙක් නැති භාණ්ඩයක් තියෙනවා නම් ඒවා රජු සන්තක දෙයක් වෙනවා කියලා උත්පලගන්ධ සිටුතුමාගේ සිටු දේවිය තමන්ගේ අන්තඃපුර බිසවක් බවට පත් කරගන්නවා :)


දවසක් දා රජතුමාට මල් ගේන මාලාකාරයෝ රජතුමාට මහනෙල් මල් ගෙනත් දෙනවා. රජතුමා ඒ මල් තමන්ගේ අන්තඃපුර බිසෝවරු 500 අතරේ බෙදා දෙනවා. 

ඒ වෙලාවේ මහනෙල් මල් සුවඳ ආඝ්‍රණය කරපු සිටු දේවියට සිහිපත් වෙනවා තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමාගේ මුඛයෙනුත් මේ ආකාරයෙන්ම මහනෙල් මල් සුවඳක් පිටවුණා නේද කියලා.

ඒක සිහිපත් වුණු නිසා හුඟක් සතුටු වුණු සිටු දේවිය ඊළඟට ඒ වගේ ස්වාමියෙක්ගේ වෙන් වෙන්න වුණු එක ගැන සිහිපත් වෙලා දුක් වෙනවා. මේක දැකපු කොසොල් රජතුමා සිටු දේවිය මේ ආකාරයෙන් හිනාවුණු එකට වගේම අඬපු එකට හේතුව විමසනවා. 

සිටු දේවිය කියනවා මහනෙල් මල්වල සුවඳ ආඝ්‍රණය කිරීමත් එක්ක තමන්ගේ කලින් ස්වාමියා වුණු උත්පලගන්ධ සිටුතුමා සිහිවුණු බවත් ඔහුගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමපු බවත්. ඒක නිසා සතුටු වුණත් ඔහුගෙන් වියෝවුණු දුකට අඬපු බවත්. 

ඒත් කොසොල් රජතුමා විශ්වාස කරන්නේ නැහැ මනුස්සයෙක්ගේ මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා කියන එක. 

පස්සේ සිටු දේවිය කියනවා "ඔබතුමාට මම කියන එක විශ්වාස නැත්නම් දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කරන උත්පලගන්ධ මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්න යන්න එතකොට මම කිව්වේ ඇත්ත කියලා වැටහෙයි. එහෙම වුණේ නැත්නම් ඔබතුමා කැමති දඬුවමකට ලක් වෙන්න මම කැමතියි" කියලා.

කොසොල් රජතුමා මේ ගැන හොයලා බලන්න තීරණය කරලා පහුවෙනිදා උදෑසන දානයට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ උත්පලගන්ධ රහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා 500 නමකට රජ මාළිගාවට ආරාධනා කරනවා. 


දානයට මාළිගාව සූදානම් කරද්දී මාළිගාවේ තිබුණු සුවඳ භාණ්ඩ සියල්ලම මාළිගාවෙන් බැහැර කරවන්න වගේම බණ අහන්න එන අයටත් සුවඳ මල් පළඳින්නේ නැතුව සුවඳ ගල්වන්නේ නැතුව පැමිණෙන්න කියලාත් කොසොල් රජතුමා අණ කරනවා. රජතුමාත් ස්නානය කරලා සුවඳ ගල්වන්නේත් නැතුව සුවඳ මල් පළඳින්නේත් නැතුව දානය සඳහා සම්බන්ධ වෙනවා. 

දානයට වැඩම කරපු බුදු හාමුදුරුවන්ට කොසොල් රජතුමාගේ අදහස පෙනුණු නිසා රජතුමාගේ සැකය දුරු කරවන්න ඕනේ කියලා හිතලා උත්පලගන්ධ රහතන් වහන්සේට නියම කරනවා දානයේදී ධර්ම දේශනාව සිදු කරන්න කියලා.

බුදු හාමුදුරුවන්ට වැඳලා අවසර ගත්තු උත්පලගන්ධ රහතන් වහන්සේ ධර්ම දේශනාව පවත්වන්න මුඛය විවෘත කරපු සැණින් රජ මාළිගාවේ සෑම තැනම උන්වහන්සේගේ මුඛයෙන් විහිදෙන මහනෙල් මල් සුවඳ පැතිරිලා ගියා. 

 බුදුරදුන්ට ගෞරව දක්වන කොසොල් රජතුමා

රජතුමාත් තමන්ගේ සැකය දුරු කරගෙන සතුටින් බණ අහලා අවසානයේදී බුදුන් වහන්සේ සමීපයට ගිහින් උත්පලගන්ධ රහතන් වහන්සේ මුඛයෙන් මේ ආකාරයෙන් මහනෙල් මල් සුවඳ හමන්න හේතුව විමසනවා. 

ඒ අවස්ථාවේදී බුදු හාමුදුරුවෝ උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයක කරපු කුසල කර්මයක් ගැන දේශනා කරනවා. මීට කල්ප ලක්ෂයකට පමණ කලින් ලොව පහල වුණු පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේදී ඉතාමත්ම දුප්පත් වෙලා ඉපදිලා හිටිය පුරුෂයෙක් හැමදාම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරපු බවත් ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් හැමෝටම කලින් සාදුකාර දෙමින් ධර්මය ශ්‍රවණය කරපු කුසල කර්මයෙන් දෙව් මිනිස් සැප විඳලා මේ කාලයේදී උත්පලගන්ධ නමින් ඉපදිලා ඒ කුසල කර්මයෙන් මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන්න තරම් භාග්‍යවන්ත වුණු බව බුදු හාමුදුරුවෝ දක්වනවා. 

ඒ වෙලාවේ සිටු දේවිය තමන් ගාවට කැඳවපු රජතුමා දේවිය නිසා තමන්ට වුණු ධර්ම ලාභය ගැන ඇයටත් ප්‍රශංසා කරනවා.

කතාව අවසානයි. මේ වගේ කතා කියවද්දී සමහර අයට ගැටළු ඇති වෙන්නත් පුලුවන් මේ දේවල් ඇත්තටම වෙන්න පුලුවන්ද කියලා. ඒකට සරල උත්තරයක් දෙන්නම්. 

උත්පලගන්ධ රහතන් වහන්සේ පෙර භවයේ කරපු කුසල කර්මය වෙන්නේ ධර්මය ශ්‍රවණය කරද්දී ධර්මාලම්භන ප්‍රීතියෙන් සාදුකාර දීපු එක. ඒක සරලව විග්‍රහ කළොත් යහපත් දෙයක් ගැන සතුටු වෙලා ඒ දේ යහපත් කියලා අගය කරපු එක. ඉතින් ඒ ගුණාංගය අපේ ජීවිතේට අපි ඇතුළත් කර ගනිමු.

මේ කතාව උපුටා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයේ 20 වන පරිච්ඡේදය-අසදෘශ මහා දාන පූජා කතා කොටසෙන්. 

ප.ලි.: කලින් දවසකත් කිව්වා වගේ තවමත් අපේ Logic මිස්ගේ පොත ටයිප් කරමින් ඉන්නේ. ඒක නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබෙන කාල වේලාව හරිම අඩුයි. ඒ ගැන සමාව භජනය කරත්වා.... 

මේ දවස්වල බුදු දහම ගැන වගේම බෞද්ධ සාහිත්‍යය ගැනත් බ්ලොග් කීපයකට ලියවිලා තිබුණා. ඒ ගැන නම් හුඟක් සතුටුයි. මෙන්න ඒ කීපෙකට යන්න පාරවල්. 

Thursday, September 20, 2012

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ.

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

ප.ලි.: මම facebook එකේ දාපු status එකක් පාදක කරගෙන තමා මේ කතාව ලියවුණේ. ඒකට පොහොර දමාපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ සහෘදයෙක් වුණු ඉසුරු මදනායක සගයාට විශේෂ ස්තුතිය :)

ප.ප.ලි.: මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක. 

අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් posts දෙකේම අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් එකතු කරන්න ප්‍රමාද වුණා. මේකටත් එහෙමම වෙයි. ඒත් පොතේ වැඩේ ඉවර වුණු ගමන් මට කරන්න තියෙන වැඩවලින් මුල්ම වැඩේ තමා posts තුනටම උත්තර බඳින එක. 

ඒක නිසා එතෙක් ගැත්තාට අනුකම්පා කළ මැනවි.... :)

Monday, September 17, 2012

කපිලවස්තු සර්වඥ ධාතු වැඳීම, වැන්දවීම සහ තවත් කතා ගොඩා...ක්


මේ දවස්වල ලංකාවේ ඉන්න පොඩි ළමයාගේ පටන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝම වගේ කපිලවස්තුපුරය ගැන දන්නවා හරියට කපිලවස්තුපුරේ ජීවත් වුණු මිනිස්සු වගේ. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. ඒකට හේතුව හැමෝම දන්නවා. කපිලවස්තුපුරයේ ස්ථූපයකින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා සතර නමක් පහුගිය දවසක ලංකාවට වැඩම කරවීමත් ලංකාවේ ස්ථාන කීපයකම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ලංකාවේ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න හැමෝම වගේ මේ ගැන දැනගත්තා.

ඒ වගේමයි ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න හුඟක් බෞද්ධ ජනතාව ඒ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරපු ස්ථානවලට ගිහින් වන්දනා කරගත්තා. ඒ වගේමයි මම දැක්ක විදිහට අබෞද්ධ ජනතාව පවා මොකක්ද මේ කියලා බලන්න ආවා. 

මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමත් එක්ක ඒ ගැන හුඟක් කතා එහෙට මෙහෙට ගියා. ලොකුම කතාව වුණේ ධාතු පෙන්නලා ඡන්දේ දිනන්න යනවා කියන එක. ඒ වගේමයි රනිල් ලොක්කා කියපු මේ සර්වඥ ධාතු නෙමේ කියන කතාවත් නැඟලා ගියා. බ්ලොග් අවකාශයෙත් ඒ ගැන නම් කතා ගියා. 

මේ කතා ඔක්කොම ටික එහෙම මෙහෙට කෙටියෙන් වනා ගෙන ගියේ සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධ මගේ කතාව කියන්න පාර හදාගන්න. 


අගෝස්තු මාසේ බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ මුලින්ම සර්වඥ ධාතු ප්‍රදර්ශනය තියෙද්දී අපේ ගෙවල් පැත්තට කිට්ටුව වුණත් මම ගියේ නැහැ. පෝලිම්වල තෙරපිලා බොරු කලබල කරලා සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා මලක් පහනක් පූජා කරන එක හොඳයි කියලා තමා මම හිතාගත්තේ. 

අපේ Logic මිස්ටත් මානෙල්වත්ත විහාරයේ සර්වඥ ධාතු වඳින්න යන්න VIP Pass එකක් ලැබිලා මට යන්න කතා කළත් මට යන්න හිතුණේ නැහැ. පස්සේ පෝලිම අල්ලගෙන එන්න කියලා කතා කළත් මම ගියේ නැහැ. 

ඔය කතාව දැනගත්තු කීප දෙනෙක් මට බැන්නත් එක්ක "උඹ මහ බෞද්ධයා වුණාට සර්වඥ ධාතු වඳින්නවත් ගියේ නැහැ. වැඩක් නැහැ උඹගෙන්" නම් වගේ කතා කියලා. එයාලටත් මම දීපු උත්තරේ වුණේ පෝලිම්වල තෙරපිලා හිත් නරක් කරගෙන සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා වඳින එක සැපයි කියලා. 

ඔයින් මෙයින් මානෙල්වත්ත පන්සලෙන් අනිත් තැනට සර්වඥ ධාතු වැඩැම්මුවාට පස්සේ තමා ටිකක් හරි කනක් ඇහිලා ඉන්න පුලුවන් වුණේ. ඒත් අන්තිමට කැලණි රාජ මහා විහාරෙට සර්වඥ ධාතු වඩම්මන කතාව ප්‍රසිද්ධ වීමත් එක්ක ආයි කට්ටියගෙන් බර බරේ කැලණියටවත් ගිහින් සර්වඥ ධාතු වැඳලා වරෙන් කියලා.

කලින් ප්‍රතිපත්තියේම සුපුරුදු විදිහට ඉන්න හිතුවත් ඒක ටිකක් වෙනස් කරන්න වුණා "රාජකාරිය දේවකාරිය වගේ" නිසා. කැලණි පන්සලේ සර්වඥ ධාතු අන්තිම වතාවට ප්‍රදර්ශනය කරන්න තීරණය කිරීමත් එක්ක එතැන ප්‍රථමාධාර කටයුතු ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකයට පැවරුණා. මමත් ඒකේ සාමාජිකයෙක් වගේම නිලධාරියෙකුත් වෙන නිසා කැලණි පන්සලේ ප්‍රථමාධාර රාජකාරියට පිටත් වුණා. 


සර්වඥ ධාතු ප්‍රදර්ශනය පටන් ගත්තු අඟහරුවාදා උදේ 9 ට විතර අපි කැලණි පන්සලට ඇවිත් මකර තොරණ ඉස්සරහ අපි හැමදාම කැලණි පෙරහැරේ ප්‍රථමාධාර කටයුතුවලට ආපුවාම අපේ මධ්‍යස්ථානේ හදාගන්න තැනම tent එකත් ගහගෙන අපේ සේවය පටන් ගත්තා.


හිටපු සෙනඟ තමා සෙනඟ. දැනගන්න ලැබුණු විදිහට එක පෝලිමක කොණ තිබුණේ බොල්ලෑගල මානෙල්වත්ත පන්සල හරියේ. තව පෝලිමක කොණක් තොරණ හන්දිය කිට්ටුවට වෙනකම් ඇවිත් තිබුණලු. ඒ වගේමයි මානෙල්වත්ත පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනේටත් ආවාට වඩා වැඩි පිරිසක් එදා කැලණියට ඇවිත් ඉන්න බව තමා ආරංචි වුණේ. 

අපිත් එක්ක කතා බහකට එකතු වුණු පොලිස් අධිකාරීතුමෙක් කිව්වේ කලින් දවසේ රෑ පෝලිම අල්ලන්න 50,000 කට කිට්ටු පිරිසක් පන්සලට ඇවිත් හිටියා කියලා. කොහොමද සර්වඥ ධාතු වඳින්න තියෙන උවමනාව.

පොලිසීයේ අය වගේම STF එකේ අය ගොඩක් මහන්සි වුණා පෝලිම්වල තෙරපීම් අඩු කරන්න, සෙනඟ පාලනය කරන්න වගේම හොරෙන් පෝලිම් පනින අයව වළක්වන්න.

අපි අපේ කට්ටියව කණ්ඩායම්වලට බෙදලා කැලණි පන්සලේ උඩ මළුවට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධාන දොරටු 3 ගාවට වගේම පහළ මළුවේ තැන් කීපෙකටම යොමු කළා. ක්ලාන්තය හැදුණු අය, කොන්දේ කැක්කුම්, කකුල් කැක්කුම්, ඔළුවේ කැක්කුම් තියෙන අය එමටයි. ඒ අයටත් පුලුවන් ආකාරයෙන් ප්‍රථමාධාර ලබාදෙන්න අපේ අය කටයුතු කළා. 


පෝලිම්වල තෙරපෙන තෙරපිල්ලට තමා හුඟක් අයට අමාරු. පෝලිමක් තල්ලු වුණු වෙලාවක වැටිලා ඔළුවක් පලා ගත්තු ආච්චි කෙනෙකුටත් අපේ අය ප්‍රථමාධාර දීලා කිරිබත්ගොඩ මූලික රෝහලෙන් කරපු සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිහින් තිබුණා. 

ප්‍රථමාධාර කටයුතු වගේම අපි කරපු වටිනාම දේ වුණේ ඇවිදින්න අමාරු වගේම ශාරීරික ආබාධ තියෙන අයව අරගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරවන්න ධර්ම ශාලාවටම අරගෙන ගිය එක. පෝලිම්වල අමාරුවෙන් ඇවිත් අන්තිමට මකර තොරණ ගාව තියෙන පඩිපෙළ නගින්නවත් සමහර වයසක සීයලාට ආච්චිලාට පණ නැහැ. 


අපි කළේ එයාලව පඩි පෙළා නග්ගවලා එතන ඉදන් ධර්ම ශාලාවට යන්න තියෙන පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන යන එක.  

හැබැයි මේ වැඩේ අපි කළේ අපේ හිතු මනාපෙට නෙමෙයි. මකර තොරණ ඉස්සරහ ප්‍රදේශය භාරව හිටිය පොලිස් අධිකාරීතුමාගේ අවසරයෙන්.

ඒ වගේමයි ධර්ම ශාලාව ඇතුළේ ඉදන් ආපහු ප්‍රධාන මාර්ගය ඇවිදින්න අමාරු ආච්චිලා සීයලා අරගෙන යන එකත් අපි කළා. එක වෙලාවක් ඇවිදින්න අමාරු ආච්චි කෙනෙක්ව වඩාගෙනත් අරගෙන ගියා. ඒ ආච්චී අන්තිමට හොඳටම පින් දුන්නා අපිට. 

ඒ වගේමයි තව ආච්චි කෙනෙක්ව පහළ ඉදන්ම ධර්ම ශාලාව ගාවටම වත්තම් කරගෙන ආවාට පස්සේ අඬ අඬා "මහත්තයා මේ කරපු පිනෙන් බුදු බව ලබන්නම ඕනේ" කියලා කියපු එකත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. 

පෝලිම ගැනත් යමක් කියන්න ඕනේ. උදේ ඉදන් හවස 3 වෙනකම් VIP පෝලිමේ ගිහින් සර්වඥ ධාතු වන්දනා කරන්න ඉඩකඩ ලැබුණේ කැලණි පන්සලේ දායක දායිකාවන්ට. ඒත් ඒකෙත් හුටපටයක් වෙලා ටික වෙලාවක් ඒ පෝලිමත් නතර කරලා තිබුණා. 

ඔය වෙලාවේම තමා අපේ දවල් කෑම ලැබෙන්න කොහොමද කියලා බලන්න අපි හාමුදුරුවන්ගේ ආවාසේ පැත්තට ගියාම මට බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වෙන කස්සගේ මැස්ස ලියන කසුන් අනුරාධ මලයාවත් හම්බවුණේ. මිනිහා කැලණි පන්සලේ සැරම දායකයෙක්. 

දවල්ට කෑම නිකුත් කරන්න එක කරන්නේ ඇමති ආචාර්යතුමාගේ කට්ටිය කියලා තමා දැනගන්න ලැබුණේ. අන්තිමට වුණේ අපිට දවල්ට කෑම නැතිවුණු එක. පාන් ගෙනල්ලා තමා වේල පිරිමහ ගත්තේ.

හවස 3 න් පස්සේ අනෙක් VIP Pass පාස් හම්බවුණු අය පෝලිමට එකතු වුණා. අන්තිමට VIP පෝලිමත් පන්සල් වත්තෙන් එළියටම ඇවිත් සාමාන්‍ය පෝලිමක් ගාණටම දික් වුණා. මොකද පුලුවන් හැම මනුස්සයාම කොහෙන් හරි VIP Pass එකක් හොයාගෙන ඒකෙන් පස් දෙනෙක් යන්න පුලුවන් නිසා පෝලිමට ඇවිත් තිබුණේ.

සාමාන්‍ය පෝලිම්වලත් නොතිබුණු හුටපට තමා ඒ පෝලිමේ වුණේ. එක පාරක් පන්සල වටේ යද්දී පෝලිම් පැනලා මොකක් හරි හුටපටයක් වෙලා කට්ටියක් හොඳටම බැන ගන්නවා. එකෙක් මහ හයියෙන් කිව්වා "තොපිලට ධාතු නෙමෙයි පෙන්නන්න ඕනේ, හොර හැත්ත" කියලා.... ඕන් අපේ අයගේ සම්මා වාචා :D

රෑ බෝ වෙද්දී පෝලිමේ අගක් හොයාගන්න නැහැ මිනිස්සු එක පොදියක් වෙලා පොර කනවා. ඒ වෙලාවේ එතන හිටිය අපි ඇහුණා STF එක්කෙනෙක් කෑ ගහනවා මේ පොඩි ළමයා කාගෙද කියලා. පේනවනේ පොර කන පොර කෑමට ළමයි පවා අතරමං වෙලා. මතක් වුණු වෙලාවේ මේකත් කියන්න ඕනේ FM දෙරණෙන් කරපු කාර්යාලයෙන් හැම තිස්සෙම වගේ කිව්වේ අතරමං වුණු කට්ටිය ගැන. ඕන් වෙන වැඩ


පෝලිමේ වුණු හුටපට නිසා අන්තිමට VIP Pass කැන්සල් කරපු බවත් දැනගන්න ලැබුණා. ඒත් මිනිස්සු පොරකනවා. තල්ලු කරගන්නවා එකී මෙකී නොකී විගඩම්. මේකට කට්ටිය බැහැලා තමා තත්වය සමනය කළේ. 

රෑ කෑමත් ඔයින් මෙයින් අපිට ලැබුනේ නැහැ. ඒක නිසා අපි කීප දෙනෙක් එළියෙන් මොනවා හරි කන්න යද්දී පොලිසිය ගාව ආච්චි කෙනෙක් ක්ලන්තේ දාලා වැටිලා ඉන්නවා. එයාට අමාරු පාට පෙනුණු නිසා බඩගිනි පැත්තක දාලා එයාවත් පුටුවක ඉන්දෝගෙන සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගියා. ඒකෙන් මේකෙන් බඩගිනිත් නැතුව ගියා. 

ඊට පස්සේ ආයි එළියට ආපු වෙලාවේ ළමයෙක් හම්බෙන්න ඉන්න අක්කා කෙනෙක්ට අමාරු වෙලා ඉන්නවා දැක්කා. එයාව රෝහලකට යවන්න අපි කීප දෙනෙක්ම පාරට වෙලා වාහනවලට අත දදා නවත්තන්න හැදුවත් වැඩක් වුණේ නැහැ. 

නවත්තපු කීප දෙනෙක්ම විස්තරේ ඇහුවාට පස්සෙත් "අපි හයර් එකක් ඇවිත් ඉන්නේ අපිට බෑ" වගේ "අමන කතා" කියලා මග ඇරලා ගියා. ඕන් අපේ අයගේ මහ ලොකු මනුස්සකම. ශ්‍රද්ධාව දෝරේ ගලනවා ධාතු වඳින්න ඒත් ජීවිත දෙකක් බේරගන්න එන්නේ නැහැ. අපේ කටට හොඳ කුණුහරුප ආවත් කට පියාගෙන හිටියා. 

අන්තිමට මනුස්සකම දන්න මනුස්සයෙක් එයාගේ වාහනේ ඒ අක්කාව රෝහලකට ගෙනිච්චා.

පාරේ පෝලිම්වල ඉන්න සමහර අයත් එක්ක අපි කතා කරද්දී සමහරු පාන්දර දෙකේ තුනේ ඉදන් පෝලිම්වල ඉන්නේ. අපි එයාලා එක්ක කතා කරද්දිත් වෙලාවට හතට අටට විතර ඇති. හිතාගන්න පුලුවන්නේ පෝලිම්වල දිග.

තවත් සමහරු පෝලිම් පටලවාගෙන ධාතු වැඳිල්ලත් එපා වෙලා ගෙදර යන්න හදනවා. ඕන් ඔය වගේ ජාති ගොඩයි. 


රෑ 12 කිට්ටු වෙද්දී අපේ අයගෙනුත් හුඟක් අයට අමාරු එහෙට මෙහෙට ඇවිදලාම රාජකාරිය කරලා. අන්තිමට අමාරුම පොඩි එවුන්ට නිදාගන්න කියලා මකර තොරණ ගාව පඩිපෙළේ රාජකාරිය අපි භාර ගත්තා. අර කලින් කිව්ව එතැන හිටිය පොලිස් අධිකාරීතුමා පෝලිමේ ඉන්න නැතුව යන්න කියන සීයලා ආච්චිලාව අපි වත්තම් කරගෙන පඩිපෙළ නග්ගවලා පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන ගියා. 

ඔය වෙලාව වෙද්දී අපිටත් හොඳ ගණන් හරියට කෑමකුත් නැහැ හිටගෙන ඉදලා යටි පතුල් එහෙම හොඳටම රිදෙනවා. ඒ ඔක්කෝටම වඩා නිදිමතයි. ඒත් වාඩිවුණොත් නින්ද යන නිසා ඇවිද ඇවිද මූණ හෝද හෝද පුලුවන් විදිහට වාරු නැති අයට උදව් වුණා. 

කියන්නත් අමතක වුණා ඒ රාජකාරියේ ඉන්න ගමන්ම තුන් හතර පාරක්ම සර්වඥ ධාතූන් වහන්සේලාත් වන්දනා කරගත්තා. 


ඊට පස්සේ පාන්දර ධර්ම ශාලාව සර්වඥ ධාතූන් වහන්සේලා ගාව ඉන්න වගේම ෆොටෝ කීපයකුත් ගන්න ලැබුණා. ඒ විදිහට ධර්ම ශාලාව ඇතුළේ හිටියේ කීප දෙනෙක්ම ඇතුළේදීත් ක්ලාන්ත වුණු නිසා එතනටත් අපේ සේවය ඕනේ වුණු නිසා. 

උදේ පාන්දර 5 ට විතර පැය භාගයක් විතර නිදාගන්න පුලුවන් වුණා. ඒත් ඇඟේ පතේ අමාරුව නම් ගියේම නැහැ.


උදේත් පුලු පුලුවන් විදිහට අපේ සේවය කළා. හැබැයි ඇත්තම කිව්වොත් ඒ වෙද්දී හොඳ ගණන්. හරියට කකුල් දෙකෙන් එල්ලලා කකුල්වලටයි යටි පතුල්වලටයි හොඳට පොලුවලින් ගැහුවා වගේ තමා කැක්කුම 

කොහොම නමුත් මම හුඟක් තැන්වල කිව්වා වගේම ධාතු වඳින්න ගිහින් හුඟක් අය කරගත්තේ පව්. ලෝභය, ද්වේෂය, පරුෂ වචන කීම වගේ නොයෙක් ජාතියේ පව් වැඩ තමා ධාතු වඳින්න ආපු එකෙන් හුඟක් අය කරගත්තේ.. 

ඒ වගේමයි ලංකාවේ මලය තෙරුනට හමුවුණු මෛත්‍රී බෝසතුන් කතාවේදී කිව්ව මේ ප්‍රකාශයම තමා මට ආයිත් කියන්න හිතෙන්නේ.  

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති


අන්තිමටම මේ ටික කියන්න ඕනේ. සර්වඥ ධාතූන් වහන්සේලා ඒ විදිහට තෙරපිලා පොරකාලා වඳින්න යන්න මම කැමති වුණේ නැතත් ඒකට මට පහසුවෙන් යන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මොකක් හරි බලවේගයකට පෙනුණු නිසා හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසා හරි මට හුඟක් පහසුවෙන් සර්වඥ ධාතූන් වහන්සේල එක පාරක් නෙමේ කීප පාරක්ම වන්දනා කරගන්න පුලුවන් වුණා. ඒ වගේමයි පැය කීපයක් ඒ අසළම ඉන්න පුලුවන් වුණා.  

අනෙක් කතාව තමා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළාටත් වඩා සතුටක් මගේ හිතට එන්නේ අපි උදව් කරපු සීයලා ආච්චිලා අපිට පින් දීපු හැටි මතක් වෙද්දී. මොකද අපි ඒ දේවල් කළේ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හරියටම කිව්වොත් නිස්සරණාධ්‍යාශයෙන්. ඉතින් ඒ නිසා නිරාමිස සතුටක් මට ලබන්න පුලුවන් වුණා. ඒක මට හැමදාම මතක තියේවි.

ඩඩ්ලි සේනානායකගේ අවමඟුලට සෙනඟ ආ හැටි

ප්‍රථමාධාරකරුවෙක් විදිහට මගේ අවුරුදු 8 ක සේවා කාලය ඇතුලේ සහභාගි වුණු ලොකුම රාජකාරිය තමා මේක. ඉතින් රාජකාරි පැත්තෙනුත් මට මේක ලොකු අත්දැකීමක්. අපේ ප්‍රථමාධාර සර් කියපු විදිහට සර්ත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක අභාවයට පත්වුණු වෙලාවේ එතැන ප්‍රථමාධාර රාජකාරි ගියාට පස්සේ මේ වගේ රාජකාරියකට ආවාමලු.

ප.ලි.: මට කලින් කියන්නත් අමතක වුණා. මේ කතාවේ විශේෂ පිදුම අපේ කැම්පස් එකේ සගයෙක් වගේ බ්ලොග් අවකාශයේත් සගයෙක් වෙන අමිල ගම්මුදලිට. 

පහුගිය දවස් ටිකේ ලියපු කතා ගැන මිනිහා කිව්වේ ඒවා නෙමෙයි මොකක් හරි ආතල් කතාවක් ලියපන්කෝ කියලා. මේ කතාවත් ඉතින් ආතල් කතාවක්ද මන්දා. උඹම කියවලා හිතපන් ලොක්කා 

Thursday, September 13, 2012

මට හිතෙන හැටි ලෙස මීමන ප්‍රේමතිලක සිතූ දෑ ලියූ හැටි


ලංකාවේ හිටිය ප්‍රවීණ ලේඛකයෙක්, කොළඹ යුගයේ කවියෙක් ඒ වගේම පුවත්පත් කලාවේදීයෙක් තමා මීමන ප්‍රේමතිලක කියන්නේ. පරිසරයට සොබා දහමට ලොකු ලෙංගතුකමක් තිබුණු පුද්ගලයෙක් විදිහටත් ඔහුව හඳුන්වන්න පුලුවන්. වසර 47 ක් වැනි කෙටි කාලයක් ජීවත් වුවත් ඔහු කළ කී දෑ නම් විශාලයි. 

මේ මට අපේ පන්සලේ පුස්තකාලයෙන් හමුවුණු මීමන ප්‍රේමතිලක ලියූ මට හිතෙන හැටි පොත් පෙළේ තුන්වැනි කොටස. බොහොම සිත් ඇදගන්නා සුළු කරුණු මේ පොතේ තියෙන නිසා ඒ උපුටා ගැනීමක් තමා මේ.


දිව්‍ය ලෝකය යනු කිමෙක් ද ?

අපි දිව්‍ය ලෝක ගැන කතා කරමු. බෞද්ධයන්ටත් දෙව් ලෝ ඇත. ක්‍රිස්තු භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. හින්දු භක්තිකයන්ටත් දෙව් ලෝඅ ඇත. මහමද් භක්තිකයන්ටත් දෙව් ලෝ ඇත. අනෙක් සෙසු සියලු ම ලබ්ධිකයන්ටත් දෙව් ලෝ ගැන උගන්වනු ලැබේ.

මේ දිව්‍ය ලෝක මොනවා ද ? බෞද්ධයන්ට උගන්වනු ලබන දිව්‍ය ලෝක ගැන සිතන විට ඒවා හොඳට කෑම බීම ඇති සැප පහසුකම් ඇති, සුරංගනාවන් පිරිවරාගෙන සිටිය හැකි කොටින්ම කිව හොත් සුඛෝපභෝගී ජීවිතයෙහි ඉමක් කොනක් නැති තැන් ය.

තිරිසන් සතුන් ද ජීවීන්ට ඇතුළත් ය. බුද්ධාගමේ උගන්වන පරිදි ඌරෙකුටත්, අලියකුටත්, ගොනකුටත් ආදී හැම සතකුට ම මිනිසත් බවක් ද ලැබිය හැකි ය. අපි ඌරකු ගනිමු. ඌරා යාමට කැමති කිනම් දෙව් ලොවකට දැයි අපි ප්‍රශ්න කරමු. අපේ භාෂාවෙන් ඌට කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකියි.

"මා යන්නට කැමති හොඳට මඩ ගොහොරු ඇති ජරාවෙන් පිරී පවතින දිව්‍ය ලෝකයට ය."

අපි ගොනකුගෙන් ඌ යාමට කැමති දිව්‍ය ලෝකය ගැන ප්‍රශ්න කරමු. ඌට අපේ භාෂාවෙන් කතා කළ හැකි නම් ඌ දෙන පිළිතුර මෙසේ විය හැකි ය.

"මා කැමති හොඳට තණ කොළ තිබෙන ජලය තිබෙන පුන්නක්කු උවමනා තරම් තිබෙන දිව්‍ය ලෝකයට ය."

මේ නයින් බලන විට මිනිසා පටන් තිරිසනා දක්වා කවුරුත් කැමති හොඳට කා බී සනීපයෙන් කාලය ගෙවිය හැකි දිව්‍ය ලෝකවලට ය. බුද්ධාගමේ හැටියට දිව්‍ය ලෝක සම්පූර්ණයෙන් තහනම් කළ යුතු තැන් ය. ඒත් දිව්‍ය ලෝක කියා ලෝක ඇත් නම් ය. අපේ තර්කයට අපි දිව්‍ය ලෝක ඇතැයි කල්පනා කරමු. 

ඒ ඇතැයි කල්පනා කරන ලෝක සුඛෝපභෝගී තැන් ය. තණ්හාව උපදවන තැන් ය. තණ්හාව උපදවන තැන්වල සිට බෞද්ධයකුට තණ්හාව නැති කර ගැනීම පහසු නො වේ. තණ්හාව නැති කර ගැනීම බෞද්ධයකු ගේ පරමාර්ථය විය යුතු ය.

අද බෞද්ධයන් තණ්හාවට පොළොඹවනුයේ සමහර බෞද්ධ භික්ෂූන් යැයි මට සිතේ. බෞද්ධ භික්ෂුවකට දානයක් දුන් විට පුණ්‍යානුමෝදනාවේ දී කියන්නේ කිමෙක් ද ? මේ දුන් දනෙහි පිනින් ඊ ළඟ ආත්මයේ දී දෙව් ලොව ගොස් දිවඟනන් පිරිවරා අමෘතය වළඳන්නට හේතු වාසනා සම්පත් ලැබේ වායි කියායි.

සැප විඳීමට ඇති තණ්හාව නිසා බෞද්ධයෝ තව තවත් දන් දෙති. ඒ සැප විඳීමට ඇති තණ්හාව නිසා බුද්ධාගමේ පදනමට පයින් ගසති. දෙවියන්ට වඩා උතුම් වූ මිනිසකු වී ඉපිද සිටින කෙනකු මිනිසත් බවෙන් ඈත්ව යළිත් දෙව් ලොව ඉපදිය යුත්තේ කුමක් නිසා ද ? පාපයක් නිසා නො වේ ද ?

මේ නයින් බලන විට පන්සලින් බණ පොතින් ධර්ම දේශනයෙන් දෙව් ලොව යන වචන වහා ම ඉවත් කර දැමිය යුතු යැයි මට කල්පනා වෙයි. 

ඔන්න ඔහොමයි ඒ කතාව තිබුණේ........

මීමන ප්‍රේමතිලකයන් ගැන මෙතනින් තවත් කියවන්න.

ප.ලි.: ඉදිරියේදීත් මීමන ප්‍රේමතිලකයන්ගේ මට හිතෙන හැටි කෘතියෙන් උපුටා ගැනීම් දක්වන්න බලාපොරොත්තු වෙනවා.

ප.ප.ලි.: පෙරේදා උදේ ඉදන් ඊයේ උදේ වෙනකම් කැලණි රාජ මහා විහාරයේ තිබුණු කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට සහභාගි වෙලා හොඳ අත්දැකීම් ටිකක් අරගෙන ආවා.

ඒ කතාව ලියන්න හිතාගෙන හිටියත් තියෙන මහන්සියට ඒ කතාව කොටාගන්න බැරිවුනා. මේ කතාව කලින් කොටලා තිබුණු නිසා අද පළ කළත් ඉක්මණටම කපිලවස්තුපුර ධාතු වැඳීමේ කතාව කියන්නයි අදහස

Thursday, August 23, 2012

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන්

සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්

මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.

අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. 

ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා මලය මහ තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණු.

දවසක් දවල් දානය ලබාගන්න පිණ්ඩපාතයේ වැඩම කරපු මලය හාමුදුරුවෝ දැකපු මානෙල් මල් කඩන්න ගිය මනුස්සයෙක් තමන් ගාව තිබුණු මානෙල් මල් මිටි 8 ක් හාමුදුරුවන්ට පූජා කළා.


ඒ එක මල් මිටියක මානෙල් මල් 16 ක් පමණ තිබුණා. මේ මානෙල් මල් මිටි අටේ දඬු පාත්‍රය ඇතුළට තිබෙන විදිහට තබාගත්තු මලිය හාමුදුරුවන්ට මේ මානෙල් මල්වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම්කළු සොබාවයත් එක්ක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙනවා.

ඒ නිසාම උන්වහන්සේ කල්පනා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවද ? රුවන්මැලි සෑයට පූජා කරනවද ? එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා.

අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදු හාමුදුරුවන්ගේ දකුණු දළදාව වගේම සිදුහත් කුමාරයා තවුස් වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතු තැන්පත් කරලා තියෙන තව්තිසා දිව්‍ය ලෝකයේ "සිළුමිණි" සෑයට පූජා කරන්න. 

බුද්ධාලම්භන ප්‍රීතියත් එක්ක ක්ෂණිකව අහසට වඩින මලිය හාමුදුරුවෝ සුලු වේලාවකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාළිගාව වෙන වෛජන්ති ප්‍රාසාදය ඉදිරියට වැඩම කරවනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

යොදුනක වට ප්‍රමාණය තියෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලිය හාමුදුරුවෝ සෑ මළුවේ ඉද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් උන්වහන්සේට නමස්කාර කරනවා.

උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා "ශක්‍ර දෙව් රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවාද?" කියලා

ශක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දෙනවා "ස්වාමිනී, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව් වරක් සිළුමිණි සෑය වන්දනා කරන්න පැමිණෙනවා. අදත් එවැනි දිනයක්. ඔබවහන්සේ මඳක් රැඳී සිට බෝසතුන්වත් හමුවෙන්න" කියලා

ටික වේලාවකින් බලසම්පන්න දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක සෑ මළුවට පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා. 

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානපති හරිතාල තිස්ස කියලා.

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒකාවන්තිස්ස මහ රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු සද්ධාතිස්ස මහ රජතුමා කියලා. 

හතරවෙනියට බොහොම ප්‍රභාෂ්වර දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු දුටුගැමුණු මහ රජතුමා කියලා.


අවසාන වශයෙන් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන බොහොම ප්‍රභාෂ්වරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනට පැමිණෙනවා.

මලය හාමුදුරුවෝ දැකපු බෝසතුන් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා "ඔබවහන්සේ කුමන රටකින් වැඩියාද? කියලා. මලය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා තමන්වහන්සේ ලංකාද්වීපයේ ඉදන් වැඩම කළා කියලා.

ඊට පස්සේ ලංකාද්වීපයේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතුන් අහපුවාම මලය හාමුදුරුවෝ කියනවා "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" කියලා ප්‍රකාශ කරලා සිළුමිණි සෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලොව බලා පිටත් වෙනවා. මලය හාමුදුරුවෝත් සෘද්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා.

සීහලවත්ථු කතාවෙන් මේ කතාව උපුටාගෙන කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ සකස් කරපු මෛත්‍රී බුදු පියාණෝ කියන කෘතියෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.

කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න ඕනේ බුදුන් වහන්සේ දුටු පමණින් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන එකයි. 

බුද්ධ කාලීනව සිටිය වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධකාය දැකලා හැමදාම බුදුන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාවට පාරට වෙලා ඉන්න පටන් ගත්තා. ඊළඟට ඒකත් මදිවෙලා බුදුන් වහන්සේ වැඩ වසන ආරාමයේ පැවිදි වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න ඉන්න පටන් ගත්තා.


අවසානයේදී බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "කිං තෙ වක්ඛලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්ඛලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සෝ මං පස්සති" 

ඒ කියන්නේ "ඇයි වක්ඛලී මාගේ මේ කුණු සිරුර දිහා බලාගෙන ඉන්නේ. වක්ඛලී ධර්මය දකින්නා මා  [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි" කියලා

මේ අවවාදය අහපු වක්ඛලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ තමන්ට බැණ වැදුණා කියලා අතිශය කම්පා වෙලා ගිජ්ඣකූඨ පර්වතයට නගිනවා ඒක උඩින් පැනලා සිය දිවි නසාගන්න හිතලා. ගිජ්ඣකූඨය මුදුනින් බිමට පනින වක්ඛලී හාමුදුරුවන්ව බුදු හාමුදුරුවන්ගේ මහා කරුණා ඇසට හසුවෙලා උන්වහන්සේ සෘද්ධිමය බුදු රුවක් ඒ අසළ මවනවා.

 ගිජ්ඣකූඨය

ඒ අවස්ථාවේදී බිමට පතිත වෙමින් හිටිය වක්ඛලී හාමුදුරුවන්ට කතා කරන සෘද්ධිමය බුදු රුව "වක්ඛලී, මගේ අත ගන්න" කියලා ප්‍රකාශ කිරීමත් එක්ක බුද්ධාලම්භන ප්‍රීතියත් එක්කම වක්ඛලී හාමුදුරුවන්ගේ සිතේ ඇතිවන අධික ආකාරවතී ශ්‍රද්ධාවත් එක්කම උන්වහන්සේ උතුම් වූ රහත් බවට පත්වෙනවා.

අවසානයේදී තමන් වහන්සේගේ සෘද්ධිමය බලයෙන් වක්ඛලී හාමුදුරුවෝ බිමට වැඩම කරනවා.

ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දුටු පමණින් ධර්මය අවබෝධ කරගන්න නොහැකි බවත් අපි වටහා ගන්න ඕනේ.

ප.ලි.: කැලණිය මානෙල්වත්ත විහාරයේ මේ දිනවල ප්‍රදර්ශනය කරපු කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න යන්න කීප දෙනෙක්ම මට කතා කළත් ඇත්තම කිව්වොත් මට යන්න හිතුණේ නැහැ.

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති

Wednesday, August 1, 2012

A/L results ආවට පස්සේ මෙහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා


අගෝස්තු මාසෙත් පටන් ගත්තා. ලබන සතියේ ඉදන් අ.පො.ස. උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ළමයෙක් මූණ දෙන තීරණාත්මකම විභාගය ආරම්භ වෙනවා. ඉතින් ගිය සතියේ මම කියපු "සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ" කතාව කියවලා අපේ නංගිලා මල්ලිලා යමක් හිතට ගත්තා නම් හොඳයි [මේ විභාගේ කටේ මොන බ්ලොග් කියවිලිද. ඒත් කමක් නැහැ කවුරු හරි ඒකෙන් ආදර්ශයක් ගන්න ඇතිනේ] 

මේත් ඒ වගේම මට හිතෙන විදිහට නම් ඊටත් වඩා ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.

ළඟදී දවසක මට facebook chat එකකට වුණා අපේ ඉස්කෝලේ යාලුවෙක්ව. මිනිහත් මම වගේම A/L වලට Arts subjects කළේ. ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමයෙක් විදිහටත් අනිත් විදිහටත් ගන්න පුලුවන් උපරිම fun එක ඌ ගත්තා. ඒ ගැන අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ. හැබැයි ඌ මොනවා කළත් හිතේ එකක් කටේ එකක් නැහැ. හිත හොඳ එකා. 

මිනිහා සාමාන්‍ය විදිහට A/L පාස්වෙලා ඊට පස්සේ CINEC එකට ගියා. ඒකේ කටයුතු හමාර කරලා තමා දැන් නැවක වැඩ කරන්න set වෙලා ඉන්නේ. 

 යාලුවා වැඩ කරන නැව

ඌ කිව්ව විදිහට උන්ගේ නැව චීනෙන් පිටත් වෙලා ශාන්තිකර සාගරය හරහා ඇවිත් පැනමා ඇලෙන් මැක්සිකෝවෙන් කොළොම්බියා පැත්තෙන් ආයි ඉන්දියන් සාගරය හරහා චීනෙට බඩු අරන් යනවා. කන්ටේනර් 4000 ක් විතර පටවන්න පුලුවන් ලොකු නැවක්ලු ඒක.

මගේ යාලුවයි මායි අතර ගිය කතාවේ වැදගත්ම කොටස් ටිකක් තමා මේ දැන් කියන්න යන්නේ..... 

මේ ජොබ් එකේ ලෙසටම කට්ට මචං. වැඩ තියෙනවා බරටම. උඹලට නම් මොනවා කලත් කොහේ ගියත් හවසට ගෙදර ඇවිල්ලා, අම්මා උයපු දෙයක් කාලා නිදිය ගන්න පුලුවන්නෙ. ඒත් අපිට නම් රැයක් දවාලක් නෑ, අව්ව වැස්ස නෑ වැඩ වැඩ. 

උඹලටනම් ආතල් වගෙ නේද? අඩෝ උඹගේ කැම්පස් ෆොටෝ දකිනකොට අවංකවම ඉරිසියත් හිතෙනවා බන්. අපි කවුරුවත් පේන්න නැති මුහුද මැද්දේ කන පැලෙන්න ගහල ඉන්නව. 

ඇත්තටම ඔය ටික කලින් තේරුනා නම් ඉගෙනගන්න තිබ්බා බන්. ඉස්කෝලේ කාලේ වගේ එකක් නම් ඉතින් ආයේ එන්නේ නෑ බන්. මුහුද මැද්දෙදී ඕවා මතක් වෙනකොට ආපහු ගෙදර එන්න හිතෙනවා.

අපෙ එවුන් එක්ක කසිප්පු බිව්වත් සැපයි බන් පිස්සු සේලර්ස්ලා ටිකක් එක්ක රම් බොනවට වඩා. හැබැයි අපරාදේ කියන්ඩ බෑ මේ ජොබ් එක නම් අපි වගෙ එවුන්ටම සෙට් වෙන ජොබ් එකක්...........

කතාවේ තැනින් තැන bold කරලා තියෙන්නේ මට නම් හොඳටම හිතට වැදුණු තැන්. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැනේ. පසුතැවෙන්න සිද්ධවෙන වැඩ කරන්න ඕනේ නැහැනේ....  


ඒක නිසා A/L හරියට ගොඩ දාගන්න. 

ප.ලි.: මෙතන කතාව සාපේක්ෂ එකක්. සමහර විට කැම්පස් එකට ගිහින් ස්ට්‍රයික් නිසා මාස ගණන් ගෙදරට වෙලා ඉන්නවාට වඩා මෙහෙම ජොබ් එකකට ගිහින් ලෝකේ බලන්න පුලුවන් වෙන එක හොඳයි කියලා කාට හරි හිතෙන්න පුලුවන්. 

ඒත් මේ කතාවෙන් මම කියන්න උත්සහ කළේ ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්නේ නැතුව පස්සේ දුක්වෙන්න තියාගන්න එපා කියන එක මගේ යාලුවාට සාපේක්ෂව

විශේෂයි : කතාවෙන් ආදර්ශ ගැනීමේදී කසිප්පු බීම, රම් බීම වැනි දේවල් තුළින් ආදර්ශ නොගන්න ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි :D

Thursday, July 26, 2012

සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ


අපිත් එක්ක St. John Ambulance එකේ වැඩ කරපු පොරක් ගියා Navy එකට. Navy කිව්වට Navy පොලිසියට තමා ගියේ. පූනෑවේ තමා training එක තිබුණේ. මැදවච්චිය හරියෙලු ඕක තියෙන්නේ. 

ඉතින් training ගිහින් මාස 6 කට පස්සේ man නිවාඩු ආවා. එද්දී කට්ට කලුවෙලා ඒ මදිවට බට පතුර වගේ. එහෙ කාෂ්ඨක අවුවලු. ඒ මදිවට training එක කරන විදිහට හරියට කන්න බොන්නවත් වෙන්නේ නැහැලු. 

දවසකට වතුර ලීටර් 5 [මට මතක විදිහට] හම්බෙනවාලු. දවස පිරි මහගන්න ඕනේ ඒකෙන්ලු. කොටින්ම ශරීර කෘත්‍යය, මුහුණ කට සේදීම වගේ ඔක්කෝටම. සමහර වෙලාවට එකෙක්ට වතුර මදි වුණොත් අනිත් එවුන්ගේ වතුර හොරෙන් උස්සනවාලු :))

උදේ 4 ඉදින් රෑ 10 වෙනකම් වැඩලු. ඊට පස්සේ රෑ 10 ට lights නිව්වට පස්සේ මුන් ඇඳන් හදනවාලු. බූට් පොලිෂ් කරනවාලු එකී මෙකී නොකී වැඩලු. නිදා ගද්දී අඩුම ගාණේ පාන්දර දෙකවත් වෙනවලු. 

ආයි පාන්දර 4 ට ඉදන් වැඩලු. උදේ හරියට කන්න ගියොත් drill යන්න වෙන්නේ නෑලු. දවල් විතරලු නිස්කලංකේ කන්න තියෙන්නේ. රෑට කන්නේ හවස 6 ටලු. ඊට පස්සෙත් වැඩලු... ඕන් training එකේ හැටි. 

තව තව කතා කිව්වා ඒවා නම් අදාළ නැහැ. මිනිහා මට කිව්ව කතාවලින් සිරාම කතාව මේකයි. 

දවල්ට පාඩම් කියා දෙද්දී හොඳට අහන් ඉන්න ඕනෙලු මොකද පහුවෙනිදාට ඒවායින් ප්‍රශ්න අහනවාලු. බැරි වෙලාවත් උත්තර දෙන්න බැරිවුනොත් හරි පාඩම වෙලාවට නින්ද ගියොත් හරි පාඩම් කියාදෙන තැන තියෙන ගහේ කකුල් දෙකෙන් එල්ලලා තියෙනවාලු දවල් වෙනකම්

කොහොමද එල්ලිලා ඉද්දී පැය දෙක තුනක් කකුල් දෙකෙන් :))

මොකෙක් හරි ඒකට හිනා වුණොත් ඌවත් එල්ලනවාලු. ඒ වගේමයි ගෑණු පිරිමි භේදයක් නැහැලු. කෙල්ලන්ව වුණත් එල්ලනවලු. [දැන් කැත විදිහට හිතන්න එපා. කෙල්ලොත් බොටම් ඇඳලලු ඉන්නේ]

දවසක් අපේ එකාට පන්තියේදී නින්ද ගිහින් ඒකට punishment එක විදිහට ගහේ එල්ලලා තියෙද්දිත් නින්ද ගියාලු :))


අන්තිමට පහුගිය මාසෙක මෑන්ගේ passing out එක තිබිලා man ගෙදර ආවා. man ගෙදර එන්න කලින් පාඩම් කියාදීපු සර් ගාවට ගිහින් කියලා ආවලු 

"සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus ගිහින්" 

[මේ විදිහට කිව්වේ ගස්වල එල්ලලා ඉගැන්නුව විදිහට]

ප.ලි.: අපේ බුවා නම් කිව්වේ එහෙම training එකක් නැතුව කොහොමද සතුරාට මුහුණ දෙන්න ඝට හදන්නේ කියලා. ඇත්ත තමා ඉතින් යුද්දේ කියලා සෙල්ලමක් නෙමෙයිනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් ජීවිතේ ඉවරයිනේ

ඒ වගේමයි A/L කරන අපේ නංගිලා මල්ලිලා උත්සහයෙන් වැඩ ටික කරගන්න මතක තියාගන්න ඕනේ.  බොහොම ටික දවසයි නොවැ විභාගෙට තියෙන්නේ

Thursday, July 19, 2012

රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා


මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...

කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. 

 බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව

ඒ රජතුමාගේ බිසෝවරුන්ට කාලයක් යනකම්ම පුතෙක් ඉපදුණේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමාට ඉතාමත්ම සතුටට පත්වුණා අග බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තු එකෙන්. මාස 10 ක් ඇවෑමෙන් මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමා අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනඝ කුමාරයා කියලා. 

මේ කුමාරයා උපන්නාම නාවලා කරලා කිරි මවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරි මවගෙන් තව කිරි මවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරි මව්වරුන්ගේ අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජ පුරුෂයෙක් අතට කුමාරයා දෙනවා. 

එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉදන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිමි විතරමයි. කොයියම්ම අවස්ථාවක හරි ගෑණු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. 

කුමාරයාට කිරි පෙව්වා කියන්නේත් කිරි මව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මාට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙමත් නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දී තණ පුඩුව විතරක් කුමාරයාගේ කටට දීලා කිරි පොවනවා. 

මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාමත් ස්ත්‍රීන් සම්බන්ධ කිසිම ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාළිගාවක් ඉදි කරවපු පිය රජතුමා ඒ මාළිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. 

කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ස්ත්‍රීන් සමඟ පංච කාම සම්පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්ගේ පුතා ස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍යය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා


එක දවසක් රජතුමාව බැහැ දකින සිංදු කියන්න දක්ෂ තරුණියක් කුමාරයාගේ ස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමා ඒ තරුණිය කුමාරයා සිටින මාළිගාව ආසන්නයේ ඉදන් විණාව වාදනය කරනවා. 

ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තවත් ආසන්නයට ඇවිත් තරුණිය වීණා වාදනය කරනවා. මේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අණ කරනවා ඒ වීණා වාදනය කරන තැනැත්තාව මාළිගාවට අරගෙන ඇවිත් මාළිගාවේ ඉදන් වීණා වාදනය කරවන්න කියලා. 


ඉතින් මාළිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අවසානයේ ඇය ගැනත් ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදිලා [මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දන්නවානේ] අතිශය සතුටට පත් වෙනවා. 

ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදිහට තමන්ට ලැබුණු සුවය අනික් පිරිමින්ට අත් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවත් අරගෙන වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියෙක්ම කඩුගාන්න පටන් ගත්තා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලා ගෙන ඇවිත් කුමාරයාවයි අර තරුණියවයි නගරයෙන් පිටුවහල් කරනවා 

යන්න එන්න තැනක් නැතිවුනු මේ යුවළ හිමාල වනයට ගිහින් ගංගාවක් අසළ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයට යන බෝසත් කුමාරයා පලවැල ගෙනත් දෙනවා අර තරුණියට. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්නා අනුභව කරනවා. 


දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසයෙක් බෝසත් කුමාරයා පලවැල නෙලන්න කැළේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණියත් තාපසයාට පලවැලෙන් සංග්‍රහ කරලා අවසානයේදී කොහොමින් කොහොම හරි තාපසයා ගැන පිළිබඳ සිතක් පහළ වෙලා දෙන්නා ලෝකාස්වාදරතියේ යෙදෙනවා. 

මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සහ කළත් ඒ වෙද්දී තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණු නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දී මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. 

ඒත් සෘද්ධි බල පිරිහිලා තාපසයාට වුණු දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා 

"ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" යනාදී වශයෙන්. 

මේ කරුණු අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවා ගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. 


මේ ධර්මතාවය සිහි කරපු බෝසත් කුමාරයාත් ධ්‍යාන උපදවා ගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහින් කැමති තැනකට යන්න කියලා තරුණියව අත හැරලා තව දුරටත් භාවනා කරලා පංච අභිඥා ආදිය උපදවා ගෙන මිය පරලොව යනවා. 

ස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ තිබෙන 262 වෙනි ජාත කතාව වන චුල්ලපලෝභන [සංකප්ප] ජාතකයේ තමා මේ කතාව තියෙන්නේ. 

මේ කතාවට අදාළව පින්තූර හොයද්දී කතාව අන්තර්ජාලයේ තියෙන බවත් දැනගන්න ලැබුණා. මෙන්න ඒ කතාව සම්භාව්‍ය සිංහලෙන්

බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා....................

Wednesday, July 4, 2012

මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ


මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.

ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

කවිය කොහොම වුණත් ඔය මත්පැන් බීලා මේ විදිහට කබරයා දාන එක නම් අන්තිම සවුත්තුයි

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මත්පැන් පානය සම්බන්ධව මේ වගේ අදහසක්

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා 

මේ ගාථාවේ තේරුම තමා නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ කියන එක

මේ වගේ පදනමක් මත ඉදන් තමා ගිහියාගේ නිත්‍ය ශීලය වෙන පංචශීලයට "සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" එහෙමත් නැත්නම් මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ ශික්ෂා පදය සමාදන් වෙමි කියලා එකතු වුණේ.

එතකොට මත්පැන් පානයෙන් වැළකීම භික්ෂූන් වහන්සේටත් අදාළ බව වැටහෙනවානේ. ඒත් ඒ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය තහනම් කිරීම සිද්ධ වුණේ වෙනස්ම විදිහකට. ඒක මෙහෙමයි. 

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂා පද පැනවීම කරලා තියෙන්නේ කිසියම් හේතුවක් පාදක කරගෙන. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය අකැප බව උන්වහන්සේ වදාරන්නේ සාගත කියන හාමුදුරුවෝ පාදක කරගත්තු සිද්ධියක් නිසා.

සාගත හාමුදුරුවෝ

සාගත හාමුදුරුවෝ කවුද කියන එක ගැන ටිකක් මුලින්ම කතා කරමු. සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු සාගත කියන බමුණු කුමාරයා තරුණ වියට පත්වුණාම බුදු හාමුදුරුවන් සමීපයේ පැවිදි වෙනවා සාගත කියන නමින්ම. පැවිදි වෙලා ටික කාලෙකින්ම භාවනා කිරීමෙන් අෂ්ට සමාපත්ති උපදවා ගන්න සාගත හාමුදුරුවෝ සමත් වෙනවා.

බුදුන් වහන්සේ තමන් වහන්සේ උදෙසා උපස්ථායකවරයෙක් ස්ථීරව පත්කරගන්නේ වයස අවුරුදු 55 දී. ඒ දක්වා වරින් වර උන්වහන්සේගේ උපස්ථායක විදිහට කටයුතු කරපු භික්ෂූන්ගෙන් එක් අයෙක් වුණෙත් මේ සාගත හාමුදුරුවෝ. පස්සේ තමා ආනන්ද හාමුදුරුවන්ට අග්‍ර උපස්ථායක විදිහට බුදුන් වහන්සේ පත් කරන්නේ.

සාගත හාමුදුරුවන් කරපු දමනය කිරීමක් ගැනත් කියවෙනවා. දඹදිව අම්බතීර්ථය කියන ප්‍රදේශයේ මිනිස්සුන්ට විශාල නාගරාජයෙක්ගෙන් නිරන්තරයෙන්ම කරදර විඳින්න සිද්ධ වුණා. දවසක් බුදුන් වහන්සේ සමඟ මේ ප්‍රදේශයට වැඩම කරපු සාගත හාමුදුරුවන්ට මේ නාගරාජයා ගැන දැනගන්න ලැබිලා නාගරාජයා හිටිය ස්ථානයට සාගත හාමුදුරුවෝ වැඩම කළා.

සාගත හාමුදුරුවෝ දැකපු නාගරාජයා විෂ දුම පිට කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නාගරාජයාගේ විෂ දුමට වඩා ප්‍රබල විෂ දුමක් සාගත හාමුදුරුවෝ නිකුත් කරනවා. ඊළඟට නාගරාජයා කරන්නේ ගිනිජාලා පිටකරන්න ගත්තු එක ඒ අවස්ථාවේ සාගත හාමුදුරුවෝ කරන්නේ තේජෝ ධාතුවට සමවැදිලා ගිනිජාලා නිකුත් කරන්නට පටන් ගත්තු එක. අවසානයේදී නාගරාජයා දමනය වෙනවා වගේම බුදුන් සරණ යනවා. ඒ වගේමයි අම්බතීර්ථයේ ගම්වාසීන් ඊට පස්සේ කරදරයක් නැතුව තමන්ගේ කටයුතු කරගන්නවා

ඉතින් දැන් අද කතාවට ආවොත් දවසක් බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා කොසඹෑ නුවරට වැඩම කරනවා. ඒ වෙද්දී කොසඹෑ නුවරවාසීන්ටත් බලවත් අම්බතීර්ථයේ නාගරාජයා බුදුන් වහන්සේගේ ශ්‍රාවක සාගත හාමුදුරුවෝ දමනය කළා කියන කතා දැනගන්න ලැබිලා තිබුණේ. 

ඒක නිසා බොහෝ දෙනා සාගත හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න පෙළඹුණා. ඒ අවස්ථාවේ මිනිස්සු කියනවා "ස්වාමීනි, ඔබවහන්සේ කැමති දුර්ලභ මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ගෙනවිත් දෙන්නම් කියන්න" කියලා. සාගත හාමුදුරුවෝ ඒ වෙලාවේ නිහඬව හිටියත් එතන හිටිය ඡබ්බග්ගි භික්ෂු කණ්ඩායම කියනවා "දුර්ලභ, මන වඩන පානයක් වුණු කපෝතිකා කියන සුරාව සාගත හිමියන්ට පිළියෙල කරලා දෙන්න" කියලා

කොසඹෑ නුවරවාසීනුත් ඒක පිළි අරගෙන තමන්ගේ ගෙවල්වලට ගිහින් ඉක්මණින් කපෝතිකා කියන සුරාව පිළියෙළ කළා. පස්සේ දවසේ උදෑසන පිඬු සිඟා වැඩිය සාගත හිමියන්ට මේ කපෝතිකා සුරාව ඔවුන් පිළිගන්නනවා. 

බුදුන් වහන්සේත් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් ඒ සුරාව පිළිගත්තු සාගත හාමුදුරුවෝ හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා සුරාව පානය කරලා හොඳටම වෙරිවෙලා කෙලින් හිටගන්නත් බැරිවෙලා නගර දොරටුව ගාව තියෙන කුණු ගොඩකට වැටිලා විකාර දොඩව දොඩව හිටියා.

මේ අවස්ථාවේ එතනින් වැඩම කරපු බුදුන් වහන්සේ මේ කුණු ගොඩේ වැටිලා විකාර දොඩවමින් දගලමින් ඉන්නේ සාගත හාමුදුරුවෝ බව දැකලා සාගත හාමුදුරුවන්ව අනෙක් හාමුදුරුවරු ලවා විහාරයට ගෙන යනවා. විහාරයට අරගෙන ගිය සාගත හාමුදුරුවන්ගේ හිස බුදුන් වහන්සේ ඉන්න පැත්තට වෙන්න දාපු අනෙක් හාමුදුරුවරු සාගත හාමුදුරුවන්ට නිදාගන්න සලස්වනවා. ඒත් ටික වෙලාවකින් වෙරි මතින් දගලන්න ගත්තු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේ හිටිය පැත්තට කකුල් දිගු කරලා නිදාගන්න පටන් ගත්තා

මේ සිද්ධියත් එක්ක බුදුන් වහන්සේත් අනෙක් හාමුදුරුවරුත් අතරේ මේ වගේ සංවාදයක් ඇතිවෙනවා

බුදුන් වහන්සේ : මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?
හාමුදුරුවරු : ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි
බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවන්ට නාගරාජයෙක් නෙමෙයි දිය නයෙක්වත් දමනය කරන්න පුලුවන්ද ?
හාමුදුරුවරු : ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ : මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?
හාමුදුරුවරු : ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ. 

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

පචිති කියන්නේ භික්ෂු විනයේ දක්වන වැරදි වර්ගවලින් එක් වර්ගයක්. පචිති වුණාම ඒ සම්බන්ධව ඇවැත් දේශනා කරලා සංඝයාගෙන් සුදුසු දඬුවමක් ලැබුණාට පස්සේ ඒ වැරැද්දෙන් මිදිලා පිරිසිදු වෙන්න පුලුවන්

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වුණාට පස්සේ තමන් කලින් දවසේ හැසිරුණු හැටි අහලා ලැජ්ජාවට පත්වුණු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා. පස්සේ අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත හාමුදුරුවෝ අවසානයේදී රහත් තත්වයට පත්වෙනවා. 


 අවසානයේදී සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේදී තමන්ගේ සාංසාරික ප්‍රාර්ථනාව පරිදිම තේජෝ ධාතු සමාපත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය බුදුන් වහන්සේගෙන් සාගත මහ රහතන් වහන්සේට හිමිවෙනවා.

තේජෝ ධාතුවට සමවදිනවා කියන එකත් සරලවම පැහැදිලි කරන්නම්කෝ. තේජෝ ධාතුව කියලා කතා කෙරෙන්නේ උණුසුම කියන පදාර්ථය. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමා සිසිලස. තේජෝ ධාතුව භාවනාවේ අරමුණක් විදිහට ගන්න භාවනානුයෝගියාට ඒ අනුසාරයෙන් සිත එකඟ කරගන්න පුලුවන්කම ලැබෙනවා වගේම තමන්ගේ අභිමතය පරිදි තේජෝ ධාතුව පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා.  ඒ යටතේ ගිනිජාලා මැවීම, ගිනිජාලා නිවීම, සිරුරෙන් ගිනි ජාලා නිකුත් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්. ඒ සඳහා තේජෝ ධාතුවට සමවදිනවා කියන්නේ ඒක තමා. 

මේ කතාව තියෙන්නේ මනෝරථපූරණීයේ පාචිත්තිය පාළි කොටසේ භික්ඛු විභංගයේ සුරාපාන වර්ගයේ සුරාපාන ශික්ෂා පදය කොටසේ

මේ ලිපිය ලියන්නත් කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු සාගත හාමුදුරුවෝ කෘතියෙන්. ඔහුටත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතිය සහ සාගල හාමුදුරුවෝ කෘති දෙක මට කියවන්න ලබාදුන් තුෂාන්ත [ජිලෙට්] අයියාටත් පින් සිදුවේවා

ප.ලි.: මීට කලින් ලියපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ ලිපිය අයෙක් මුහුණුපොතේ පළ කර තිබුණා. එහිදී ඔහු එය උපුටා ගැනීමක් කියලා දක්වන්නවත් කාරුණික වෙලා තිබුණේ නැහැ. ඒ ගැන ඔහුට facebook message එකක් හරහා කිව්වාම අන්තිමට ඔහු කළේ මාව block කරපු එක. අවසානයේදී මේ ගැන මම facebook status එකක් විදිහට දාපුවාම ඒකට ප්‍රතිචාර දක්වපු ක්සැන්ඩර් අයියා ඇතුළු සයිබර් මිතුරන්ගේ කටයුතු නිසා ඒක උපුටා ගත්තු කෙනා මේ අඩවියෙන් ඒක උපුටා ගත්තු බව දක්වන්න කටයුතු කළා.  

ඒ ආකාරයෙන් උපුටා ගැනීම් කරන අයගෙන් කරන ඉල්ලීම තමා උපුටා ගැනීමක් කලා නම් ඒ බව සඳහන් කරන්න කාරුණික වෙන්න කියන එක තමා :)