Monday, October 29, 2012

බඩුමිළ වැඩියි කියලා කෑ ගහලා හරි යන්නේ නැහැ - තවත් අපූරු මනුස්සයෙක්ගේ කතාවක්


එදා 4 කණුවේ බස් හෝල්ට් එකෙන් 138 කඩවත කොටුව බස් එකකට නැග ගත්තේ ඉක්මණට කැම්පස් එකට එන්න හිතාගෙන. බස් එකේ සාමාන්‍ය ප්‍රමාණයකට සෙනඟ හිටියත් පිටිපස්සේ දොර ගාව සීට් එකක් හිස් වෙලා තිබුණු නිසා මම එතනින් වාඩි වුණා. මම වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් කොණේ වාඩිවෙලා හිටියේ අවුරුදු 50 ක විතර පෙනුම තිබුණු වයසක පිරිමි කෙනෙක්. අතේ පාර්සලේකුත් තිබුණා. 

"බලන්න මහත්තයා දැන් ටිකකට කලින් බස් එකට නැග්ග ගෑණු ළමයා ෆෝන් එකක් කනේ තියාගෙන බර කතාවක ඉන්න ගමන්ම තමා බස් එකට නැග්ගේ. ඒ ගමන් අනික් පැත්තට බස් එකෙන් බැස්සත් එක්ක. 

ෆෝන් කෝල් එකේ සිහියෙන් ඉදලා බස් එකෙන් වැටුණා නම් මිනිස්සු ටික එකතු වෙලා ඩ්‍රයිවර්ට ගහනවා මිනිහා බලන්නේ නැතුව බස් එක ඇද්දුවා කියලා. සමහරු පාර පනින්නෙත් ෆෝන් කෝල් ගන්න ගමන්. අන්තිමට අනතුරු"  කියලා එයා මාත් එක්ක කතාවට වැටුණා. 

"ඒක නම් ඇත්ත තමා" මාත් හූමිටියක් තිබ්බා. 

"ඔය ෆෝන්වලින් මිනිස්සු කරන ජාති තමා ජාති මහත්තයා. ළඟදී ෆිල්ම් එකක් ආවා නේද දරුවනේ කියලා. කවුරු හරි ෆෝන් එකෙන් ඒ ෆිල්ම් එක විඩියෝ කරලා ඒක සීඩීවලට දාලා දැන් විකුණනවා. ඔන්න ඒකෙත් හැටි. ඒත් අපි නම් කවුරු හරි එහෙම ෆෝන් එකකින් ෆිල්ම් එකක් වීඩියෝ කරනවා දැක්කොත් දෙපාරක් අවවාද කරනවා. ඒත් අහන්නේ නැත්තම් එළියට දානවා"

කතා බහ කරන විදිහෙන් ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක් කියලා තේරෙන නිසා මම ඇහුවා "මේ මහත්තයා ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක්ද ?" කියලා.

"ඔව් මහත්තයා. මම තමා දළුගම Contras ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් ප්‍රොජෙක්ට් කරන එක කරන්නේ" කියලා එයා උත්තර දුන්නා.



බස්වලදී නානා ප්‍රකාර මිනිස්සු හම්බෙලා තිබුණත් මේ වගේ කෙනෙක් හම්බෙලා නැති නිසා මාත් හරිබරි ගැහිලා කතාවට මුල පිරුවා. 

"නියමයිනේ. කොහොමද මේ දවස්වල පෙන්නන කර්ම ෆිල්ම් එක එහෙම ? මම ඒක බලන්න එන්න හිතාගෙන ඉන්නේ"

"ෆිල්ම් එක නම් හොඳයි මහත්තයා. ප්‍රසන්න අලුත් විදිහට ෆිල්ම් කරන කෙනෙක්නේ. හැබැයි මේ ෆිල්ම් එක බලන්න ටිකක් අමාරුයි. එකම ෂොට් එක විනාඩි 5 ක් 10 ක් විතර ඔහේ තියෙනවා. එතකොට බලන්න අමාරුයිනේ. ඒ වගේමයි කතාවත් ටිකක් තේරුම් ගන්න අමාරුයි" කියලා එයා කිව්වා නිසා මේ මනුස්සයත් කාලයක් තිස්සේ ෆිල්ම්ස් බලලාම හොඳ අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තියෙන බව මට තේරුණා.

ඒක නිසා ඒ හැකියාව මම අගය කෙරුවා.

"ඔයාටත් චිත්‍රපටි විචාරකයෙක් වෙන්න පුලුවන් වගේ. ඔයා හුඟක් ෆිල්ම්ස් බලලා ඇති නේද ?"

"ඔව් මහත්තයා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි ෆිල්ම් හුඟක් බලලා තියෙනවා. සෙක්ස් ෆිල්ම්ස් ඇරෙන්න"

"දැනට ෆිල්ම්ස් කීයක් විතර බලලා ඇද්ද ? 500 ක් 600 ක් විතර ?"

"ඊට වැඩියි මහත්තයා. 2000 ක් විතර ඇති. මගේ සර්විස් එක අවුරුදු 39 ක්.යාපනේ,කොළඹ රීගල් ඇරෙන්න හුඟක් ෆිල්ම් හෝල්වල මම වැඩ කරලා තියෙනවා"

"අවුරුදු 39 ක සර්විස් එකක් කියන්නේ ලොකු කාලයක්නේ"

ගෑණුන්ගේ වයසයි පිරිමින්ගේ පඩියයි අහන්න එපා කියලා කතාවක් තිබුණත් මගේ කට කසනවා කීයක් විතර පඩි තියෙනවද කියලා අහන්න. ඒක නිසා මම ඇහුවා "ඉතින් කීයක් විතර පඩි තියෙනවාද ?" කියලා

"ලොකු පඩියක් නැහැ මහත්තයා රුපියල් 12,000 ක් තමා පඩිය. ඕටීත් එක්ක 15,000 ක් විතර පඩි තියෙනවා මාසෙකට"

මට පුදුම හිතුණා. මෙච්චර සර්විස් එකක් තිබිලත් පඩිය මෙච්චර අඩුද කියලා. පස්සේ මම ඇහුවා "ඉතින් ඒ ගාණෙන් ජීවත් වෙන්න පුලුවන්ද?" කියලා. ඒකට ලැබුණු උත්තරේ නම් හරිම වටිනා කියන එකක්. 

"අපි ඒ පඩියෙන් ජීවත් වෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වුණා මහත්තයා. බඩු මිළ වැඩියි පඩි මදියි කියලා හැමදාම කෑ ගගහා ඉදලා හරියන්නේ නැහැනේ මහත්තයා. අපි දැනගන්න ඕනේ හම්බෙන විදිහට වියදම් කරලා ජීවත් වෙන්න. 

සමහරු ඉන්නවා කෑම කද්දී කොකා කෝලා එකක් බොන්නම ඕනේ. කාලා ඉවර වෙලා සිගරට් එකක් බොන්නම ඕනේ. ඒත් මම නම් මහත්තයා තියෙන විදිහට කාලා බීලා ඉන්නවා. අතේ තියෙන මුදලට වියදම් කරනවා. එහෙම නැතුව 15,000 ක් පඩි අරගෙන 25,000 ක වියදම් තියා ගත්තොත් හරියන්නේ නැහැනේ. 

සමහරු ඉන්නවා හෝටල්වලින් කන්න පුරුදු වෙච්ච. ඒත් ගෙදරින් ඔතාගෙන එන්න පුලුවන් සම්බෝලයි බතුයි හරි කනවා නම් කීයක ඉතුරුවක්ද. මම හැමදාම උදේට බත් එක්ක එක වෑංජනයක් හදනවා. ඒකෙන් උදේටයි දවල්ටයි කනවා. රෑට කඩෙන් පාන් එක්ක හොඳි එකක් ගෙනල්ලා කනවා. 

හැමදාම රෑට එදා දවසේ ඉතුරු වුණු මාරු සල්ලි කැටේකට දානවා. මාසේ අන්තිමට ගෙදර යද්දී ඒ සල්ලිත් ගෙනිහින් දුවට දෙනවා." කියලා බොහොම උපේක්ෂාශීලී විදිහට එයා කිව්වා. 

අපි දෙන්නගේ කතාවෙන් කතාවෙන් කැම්පස් හෝල්ට් එක කිට්ටුවට බස් එක ඇවිත් තිබුණේ. 

"එහෙනම් මහත්තයා මම ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. හම්බෙමුකෝ" කියලා එයත් බස් එකේ ඉස්සරහට ගියා. 

මමත් කැම්පස් හෝල්ට් එකෙන් බැහැලා කැම්පස් ගියා. 

අපි දෙන්නාගේ කතා බහ එහෙම ඉවර වුණත් ඒ කතාවෙන් ගන්න පුලුවන් දේ නම් ඉවර වෙන දෙයක් නෙමෙයි කියලයි මට හිතුණේ. 

ප.ලි.: ටික දවසක් තිබුණු විරාමය පුංචි කොමාවක් තමා මේ :D


115 comments:

  1. ඔය කතාවේ පොඩි ඇත්තක් තියෙනවා
    අපිට තියෙන හැටියට ජිවත් වෙන එක ගොඩක් වටිනවා. නැත්නම් වෙන්නේ කොච්චර පඩි වැඩි වුනත් මදි මදි කිය කියා ඉන්න තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි නෙවෙයි යාලුවා, බරපතල ඇත්තක් තියෙනවා. :-)

      Delete
    2. @ Asanka Udara

      මිනිසා කියන සත්වයාගේ ගතියක් තමා සෑහීමකට පත් නොවීම. ඒක වටහා ගත්තු දා තමයි දිනුම තියෙන්නේ

      Delete
  2. මගේ රාජකාරිය තුල රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම කාර්යාල වලට යැවෙනවා. රාජ්‍ය ආයතනවල වැඩක් නොකර අයිතිවාසිකම් ඉල්ලන පිරිස වැඩියි. (විශේෂයෙන් කාන්තා පාර්ශවය). පෞද්ගලික අංශයේ අය (බොහෝ වෙලාවට ඉහල තලයේ) අය තම තත්ත්වය, ලොකුකම පෙන්නන්න අයිතිවාසිකම් ඉල්ලනවා. ඒත් අපි වගේ කම්පැණි වල අයට වෘත්තීය සමිතිත් නෑ. බලාගන්න එකෙකුත් නෑ. ඉල්ලන්න ගියොත් "කරන්න බැරිනම් පලයන්". ඊට වඩා හොඳයි නේද ලැබෙන දේ වියදම් කරන්න පුරුදු වෙන එක.

    ReplyDelete
    Replies
    1. @ AKM

      පොදුවේ ගත්තාම සුදු කරපටි රස්සා හොයන එක ලාංකිකයන්ගේ ඇඟේම තියෙන දෙයක්ද මන්දා. මේත් මම අහපු කතාවක්. බොහෝ වෙලාවට විදේශිකයෝ අපි කියමුකෝ ජපන් ජාතිකයෙක් කියලා. මොකක් හරි වැඩක් හොඳින් කරලා සතුටු වෙනවලු තමන් කොච්චර හොඳට ඒ වැඩේ කලාද කියලා.

      ඒත් ලාංකිකයෝ හුඟක් වෙලාවට සතුටු වෙන්නේ වැඩක් නොකර මග ඇරලා තමන් කොච්චර හොඳට ඒ වැඩෙන් ලෙස්සකා ගියාද කියලා. මෙතන ලාංකිකයෝ කියන තැනට සිංහලයෝ කියන කොටස ඇතුළත් වෙන එක ගැන නම් කණගාටුයි

      Delete
  3. අන්න මගෙ පොත් මිත්‍රයා වගෙ තමා කරන රස්සාව සතුටින් කරන ගමන් විනොදෙත් ලබන ලද දෙයින් තු‍ටුවන නියම මනුස්සයෙක්.. කොහෙද ඉතින් හසිත අපෙ පැත්තෙ එන එකක්යැ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටිය නිසා ඒ පැත්තේ එන්න වුණේ නැහැ අයියා. ඇත්තටම තමන් කරන වෘත්තිය මැසිවිල්ලක් නැතුව සතුටෙන් කරන්න පුලුවන් නම් ඒ වගේම සරලව ජීවත් වෙන්න පුලුවන් නම් කොයිතරම් දෙයක්ද

      Delete
  4. ආදායමේ ප්‍රමානෙට වියදම දන්න මනුස්සයෙක් ...
    ලංකාවට අඩු මේ වගේ අය ...
    වැඩියෙම්ම ඉන්නේ ගෙවල්/ඉඩකඩම් උගස් කරලා කාර් කටු ගන්න අය නෙව ...
    :)

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මම එකඟ නෑ ටිරාජ්. මිනිස්සු ඔක්කොම මෙහෙම වුනොත් පාලකයින්ට මිනිස්සුන්ව හුරගන කන එක මහා දෙයක් වෙන්නේ නැතිවෙයි.

      Delete
    2. @ Tiraj Adikari

      විශේෂයෙන්ම අල්ලපු ගෙදර මනුස්සයා එක්ක ගේමට තමා අපේ ඇත්තෝ ගොඩක් ඔය වගේ විකාර කරන්නේ..

      Delete
    3. @ Alexander Cage

      මෙතන අයියා පැති කීපයක්ම තියෙනවා. අඩු පඩියට එරෙහිව තමන්ට සටන් කරන්න බැරි නම් ඒ වගේමයි ජයක් ලබන පාටක් පේන්නවත් නැත්නම් තියෙන විදිහට ජීවත් වෙන්න එපැයි. අනික් අතට ඒ පඩිය ඒ මනුස්සයාට ප්‍රමාණවත් කියලා එයාට හිතෙනවා නම් එතැනත් ගැටළුවක් නැහැනේ.

      Delete
  5. //එකම ෂොට් එක විනාඩි 5 ක් 10 ක් විතර ඔහේ තියෙනවා. එතකොට බලන්න අමාරුයිනේ. ඒ වගේමයි කතාවත් ටිකක් තේරුම් ගන්න අමාරුයි"//

    මම හිතුව ම‍ට නොතේරුනේ එක් සම්භාව්‍ය නිසා කියලා :)

    අංකල් ගේ කතාව ඇත්ත. ඇගිල්ලෙ තරමට ඉදිමෙන්නෝනි !

    ReplyDelete
    Replies
    1. මම කර්ම බැලුවෙත් නැහැ, බලන්න හිතන්නෙත් නැහැ. කව්දෝ ලඟදි කිව්වා නේද සම්මානයක් ලබන්න නම් එක්කෝ කුණුහරුප තියෙන්න ඕන, නැත්නම් කාටවත් නොතේරෙන්න ඕන කියලා. පහුගිය අව්රුදුවල සාහිත්‍ය සම්මාන නම් තීරණය වුනේ එහෙමයි කියලයි මගේ වැටහීම.

      Delete
    2. //මම හිතුව ම‍ට නොතේරුනේ එක් සම්භාව්‍ය නිසා කියලා :)//

      උඹට ඒක නොතේරුනේ හරියට බැලුවෙ නැති නිසා. උඹ බැලුවෙත් නෑ අර ගැල්ලමයට බලන්න දුන්නෙත් නෑ.

      Delete
    3. අන්න රාජ්ට තේරුනා..හෙහ්..හෙහ්..!

      Delete
    4. @ sAm (සෑම්)

      අධ්‍යක්ෂවරයාටවත් තේරෙන්නේ නැතිවෙන්න ෆිල්ම් හැදුවාම සම්මාන හම්බෙනවා වැඩියිලු :D

      Delete
    5. @ Chamara Sumanapala

      ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ අයියා. ඒ පොතෙන් හරි ෆිල්ම් එකෙන් හරි කියන දේ නොතේරුණත් තමන්ගේ නොතේරුම්කම එලිවෙයි කියලා බයට ඒකට සම්මාන දෙනවද දන්නේ නැහැනේ :D

      Delete
  6. අංකල්ගේ කථාව ඇත්ත ..ඔය වගේ තේරුම් අරගෙන ජීවත්වෙන මිනිස්සු අඩුයි අද සමාජේ ඒකයි ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. @ චමී4යූ~chami4u

      එහෙම අය අඩු නිසා වෙන්න ඇති සමාජේ මේ විදිහට පවතින්නේ. මොකද එහෙම අය වැඩි වීම සමාජයේ පැවැත්මට ගැටළුවක් වෙන්න පුලුවන්නේ.

      Delete
  7. සම්පූර්ණ ඇත්ත කතාවක් ඒ මනුස්සයා කියලා තියෙන්නේ. අපි හැම තිස්සෙම නැතිදේ ගැන බලනවා මිසක් තියන දේ අගය කරන්නේ නෑ.

    විරාමයකට මේ පැත්තේ ආව එක හොඳයි.:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      නැති දේ ගැන බලනවා කිව්වාමත් කතාවක් මතක් වුණා. වතුර වීදුරුවක් භාගෙට පිරෙන්න වතුර දාලා කෙනෙක්ට දුන්නාම එයා කියලා මේ වීදුරුවේ වතුර භාගයක් අඩුයි කියලා. තව කෙනෙක් කියනවාලු මේ විදුරුවේ වතුර භාගයක් තියෙනවා කියලා. පේනවානේ දෘෂ්ටි දෙකේ වෙනස

      Delete
  8. කර්ම නං මාත් බැලුවා.අපරාධෙ කියන්ඩ බෑ මට හිතුනේ අවුල් සහගත වෙලා තියෙන්නේ සංස්කරණය වෙද්දි කියලා.සමහර තැන්වල කතාව ගලාගෙන යද්දි බාධා එනවා.උදාහරණයක් විදිහට නදීක සංගීත කණ්ඩායමක කෙනෙක් කියලා දක්වන්ඩ යොදාගෙන තියෙන තප්පර ගාණක දර්ශනය.අනිත් එක මිශෙල්ට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා සාමාන්‍ය හුදී ජනයාට තේරුම් ගන්ඩ අමාරුයි අන්තිමට පියයුරක් අයින් කරලා තියෙනවා දකිනකං.

    අංකල්ගේ කතාව ගැන කිව්වොත් කියන්ඩ තියෙන්නේ එහෙම අල්පේච්ඡ වෙන එක හොඳයි.ඒත් ඇත්තටම එහෙම විය යුතුමද කියන ප්‍රශ්නේ මටනං තියෙනවා.ඒ මනුස්සයගේ ශ්‍රමය හූරගෙන කාලා (මේක චිත්‍රපටි ක්ෂේත්‍රයටනම් එච්චර අදාල වෙන්නේ නෑ.මොකද සිනමා ශාලා අදායම් ලබනවා අඩුයිනේ.) වෙන උන් සැප විඳිද්දී ඒ මනුස්සයා හිත හදාගෙන අඩුවෙන් කාලා සතුටු වෙන්ඩ පුරුදු විය යුතුද? මෙහෙම කිව්වම මාත් ජෙප්පෙක් ගාණට වැටෙන්ඩ ඉඩ තියෙනවා උනාට මේක කියන්ඩම ඕනෙ.හැමදාම අඩුම ගෙවීමක් සහ සැළකීමක් ලබන්නේ වැඩියෙන්ම වෙහෙසෙන මිනිස්සු.

    මෙයිට සමාන කියලා සළකන්ඩ පුළුවන් සිද්ධියක් මමත් ලිව්වා.
    http://dinukajayakodi.blogspot.com/2012/10/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      කර්ම ගැන නම් මොකුත් කියන්න දන්නේ නැහැ. මොකද මේ තියෙන කර්ම [වැඩ] නිසා ඒ කර්මේ බලන්න යන්න වුණේ නැහැ. යන්න නම් උවමනාව තියෙනවා.

      අංකල්ගේ කතාව ගැන කිව්වොත් එයා ලද දෙයින් සෑහීමකට පත් වෙන කෙනෙක්. ඒ මනුස්සයාගේ ශ්‍රමයට ඒ මිළ නියම වීම එයාට ගැටලුවක් නෙමේ. අන් අය කරගන්නා දේ ඒ අය හිමිකර ගනීවි.

      ඒ වගේමයි මේ ශ්‍රම සූරාකෑමට එරෙහි වෙන්න හැකියාවක් ඇත්තෙත් නැත්නම් ඒ වගේමයි පඩි වැඩිවීමක් පේන්නත් නැත්නම් ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්නම් එපැයි

      Delete
  9. හුඟක් වෙලාවට අපි අත්‍යවශ්‍ය නොවට දේට වියදම් කරනවා නේ. අංකල් කිව්වා වගේ ආදායමේ හැටියට වියදම බැලන්ස් කරගන්න උත්සාහ කරනවා නම් ආර්ථික ප්‍රශ්න සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගන්න පුළුවන්. නමුත් හුඟක් දෙනෙක් වියදම් කරන්නේ තරඟයට නේ.
    මං මේ ලඟදි දවසක ගෙදරක වෝල් ලෑම්ප් වගයක් සෙට් කළා. තව ලෑම්ප් ෂෙඩ් ටිකකුත් එක්ක. ඒ අයට තරමක ආදායම් තත්වයක් තියනවා. ඕක බලන් ඉඳපු ඊට එහා ගෙදර අයත් පහුවදා මට කියනවා එයාලටත් ඒ වැඩේ කරගන්න ඕනි කියල. ඒ අය ටිකක් අමාරුවෙන් ජීවත් වන කට්ටියක්. ප්‍රමුඛත්වය දෙන්න ඕනි වෙනත් අවශ්‍යතා එමට ඒ අයට.
    ඔන්න ඔය වගේ අනවශ්‍ය තරඟය නිසාත් ලැබෙන ආදායම මදි වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය තරඟය ඇති කරවලා තියෙන්නෙත් වෙළෙඳාම් කරන අය විසින්මයි නේ. ඒ වෙළෙඳපොළ සමාජයක හැටි.

      Delete
    2. @ Chandana

      එක ගාව තියෙන ගෙවල් අතරේ මේ වගේ තරඟේ තියෙන එක හරි සුලභයි. මම දන්න කට්ටියක් අල්ලපු ගෙදර තට්ටු දෙකක් කළා කියලා බොහොම කරදර විඳලා තමන්ගේ ගෙදරත් තට්ටු දෙකක් කළා. තමන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ තියෙන්නේ තරඟය නම් මැරෙනකම් එයාට තරඟ කර කර තමා ඉන්න වෙන්නේ. සැනසීමක් ඇත්තේම නැහැ.

      Delete
    3. @ Chamara Sumanapala

      වෙළෙන්දුන්ගේ දහං ගැටවලට අහු නොවී ඉන්න අනිත් අයට පුලුවන්කම තියෙන්න ඕනේ :)

      Delete
  10. නියම මනුස්සයෙක් මුණ ගැහිල තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. @ සාතන්

      අනිවාර්යයෙන්ම

      Delete
  11. තැනේ හැටියට අනේ ගහන්න පුරුදු උන කෙනෙක් හැබැයි ඒ මනුස්සයාගේ කතාවෙත් අත්තක් තියෙනවා තමන්ගේ තරමට එපැයි වියදම් කොරන්න. කාලෙකට පස්සේ උනත් සිරා පොස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      හැමෝම පුලු පුලුවන් තරමින් ඒකට හුරු වෙන එක හොඳයි වගේ. තමන්ගේ වත්තේ හරි පෝච්චියක හරි මිරිස් පැළ දෙක තුනක් හදාගන්න හරි පටන් ගන්න එක ආරම්භයක් විදිහට

      Delete
  12. ඇත්තටම මචෝ ලංකාවේ අපිට වෙලා තියෙන්නේ පිච්චිය අතේ තියාගෙන මහාරාජා වගේ ඔන්න හදන එක තමයි!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      ගෙදරට මර ගාතේ වුණත් ලෝකේ පරකාසේ කළේ නැත්නම් කොහොමද හීනමානී මානසිකත්වයෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්නේ. කෙල්ලෙක්ටවත් ටෝක් කරන්නේ කොහොමද. ගෙදර කන්න ටිකවත් හරියට නැති වුණත් කෙල්ලට ෆෝන් අරන් දෙන්න පුලුවන්කම තියෙන කොල්ලෝ ඉන්නවානේ :(

      Delete
  13. //සමහරු ඉන්නවා හෝටල්වලින් කන්න පුරුදු වෙච්ච. ඒත් ගෙදරින් ඔතාගෙන එන්න පුලුවන් සම්බෝලයි බතුයි හරි කනවා නම් කීයක ඉතුරුවක්ද.//

    ඇත්ත නේන්නම්.. නියම මනුස්සයෙක් මොනා වුනත්..

    හුඟ කාලෙකින් ඇවිල්ල.. ජය වේවා1!

    ReplyDelete
    Replies
    1. @ හිතුවක්කාරි

      වැඩි තණ්හාවට ගියාම ඔහොම වෙනවා. පංචේන්ද්‍රියම ඕනේවාට වඩා වගේම තමන්ගේ සීමාව ඉක්මවලා පිනවන්න ගියාම වෙන්නේ විනාශයක් තමා

      Delete
  14. මිනිහෙකුට ජීවිතේ දිහා මේතරම් උපේක්ෂාවෙන් බලන්න පුළුවනිද කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      මෙහෙම අය දුලබ වෙන්නේ ඒක නිසානේ..

      Delete
  15. Replies
    1. @ අකලංක

      දළුගම කන්ට්‍රාස් ෆිල්ම් හෝල් එකේ තමා මෙයා ඉන්නේ. බෝඩ් වෙලා ඉන්නවා කිව්වේ තොරණ හන්දිය හරියේ

      Delete
  16. මාරයිනෙ. අනික ඒ මනුස්සයගෙ චිත්‍රපටි විචාරය?

    ඔය ආදායමේ පමනට ජීවත් වෙන එක මාත් ඉගෙන ගන්න ඉන්නවා. තවම බැරිවුනා ඇත්තම කිව්වොත්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. @ Dude

      අයියා ගෙවුම් ශේෂ හිඟය පියවන්නේ ලෝක බැංකු ආධාරවලින්ද :P

      Delete
  17. ඇත්ත..දෙයක් හිතන්න තියෙන ලිපියක් ..

    අම්මෝ බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර් ඒ කෙනා බලල තියන ෆිල්ම්ස් ගාන නම් මට ජීවිතේටම බලන්න වෙන එකක් නැහැ..:)

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ෆිල්ම් හෝල් එකක රස්සාවට ගියොත් ටාගට් එක කවර් කරගන්න බැරිවෙන එකක් නැහැ :P

      Delete
  18. පොළොවෙ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක්... ඔය ප්‍රොජෙක්ටර් රැකියාව කරන මම අදරන කෙනෙකුත් ඉන්නවා... චිත්තර පටියක් බලන්න එන්න කියලා දකින හැමදාම කිව්වත් තාමත් ගියේ නෑ මම... මොකද ලංකාවෙ ගොඩාක් චිත්‍ර‍පටි නරඹලා එළියට එද්දි ගෙවපු මුදල සිහිවෙලා දුක හිතෙන නිසා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      මම නම් හුඟක් වෙලාවට ෆිල්ම් බලන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන. සිංහල ෆිල්ම්ස් නම් ෆිල්ම් හෝල් එකෙන් තමා බලන්නේ. සමහර ඒවා බලලා ගෙවපු ගාන ගැන දුක හිතුණත් මොන්ටිසෝරි ළමයි කවදා හරි ලොකු පංතිවලට එයිනේ කියලා හිතලා එන්න එනවා.

      Delete
  19. මරු කතාව... ඇත්ත තමයි.... ඒත් ඕක කරන්න අමාරුයි... තමන් ගැන විතරක් හිතලා බැලුවොත් ඔය ටික කරන්න පුළුවන්.... අනිත් අය කරන කරන දේම කරන්න යන අයත් ඉන්නවා..

    නමුත් තමන් බඩට නොකා දරුවෝ වැන් එකේ ඉස්කෝලේ යවන දෙමවුපියෝ කොච්චර ඉන්නවද.... එහෙම අයත් මේ වගේ තමා...

    ෆිල්ම් ගැන නම් ඉතිං කුමන කතාද...

    ReplyDelete
    Replies
    1. @ හිරු

      //....නමුත් තමන් බඩට නොකා දරුවෝ වැන් එකේ ඉස්කෝලේ යවන දෙමවුපියෝ කොච්චර ඉන්නවද....//

      ඒ වගේද අක්කා ගෙදර හරියට කන්න නැතුව ඉද්දී කෙල්ලට හොඳ ෆෝන් අරන් දෙන කොල්ලොත් ඉන්නේ :(

      Delete
  20. අපොයි ඒ මනුස්සය එක්ක පැයක් දෙකක් කතා කරන්න තිබුන නම්!

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      ජීවිතේර හොඳ වගේම අපූරු පාඩම් කියලා දෙන අය හම්බෙන්නේ හරිම අහඹු විදිහට වගේම එයාලා හරි ඉක්මනට ඉවත් වෙනවා.

      Delete
  21. සිරාවටම සරල ජීවිත......

    ReplyDelete
    Replies
    1. @ මානවක

      සිරාවටම ආදර්ශයක් ගන්න පුලුවන්

      Delete
  22. ජීවත් වෙනව කියන්නෙ මේක... මේ වගේ මිනිස්සු අඩුයි.

    බොහෝම සතුටුයි මේ වගේ දෙයක් කියවන්න ලැබුනට...

    ReplyDelete
    Replies
    1. @ ගයියා

      අනිවාර්යයෙන්ම. ආදර්ශයක් ගන්න ඇතියි කියලා හිතනවා

      Delete
  23. ඔය අල්පේඡ්ච ජීවිතය අද සමාජය තුල හරි අමාරුයි.
    සමාජය තුල කොන්වෙලා ජීවත් උනොත් පුලුවන් ඇති.
    මාසයකට එක මගුල් ගෙයක් ආවාම ඉවරයි..!
    හැබැයි අදහන්න ඕන මිනිහෙක්..පුදුම කැපවීමක් කරන්න ඕන ඇති..!

    ReplyDelete
    Replies
    1. ////සමාජය තුල කොන්වෙලා ජීවත් උනොත් පුලුවන් ඇති.
      මාසයකට එක මගුල් ගෙයක් ආවාම ඉවරයි..!/////

      ආයිත් අහලා...

      Delete
    2. @ වීපොකුර

      අනිව මඟුල් ගෙයක් කියන්නේ ලොකු ආර්ථික අවපාතයක් තමා. හැබැයි එතනත් සමාජයේ පිළිගැනීමුත් එක්ක කටයුතු කරන්න ගියාම තමා සෝදා පාළුව වෙන්නේ. තමන්ට දෙන්න පුලුවන් ගාණ හරි දේ හරි දීලා ආවාම ගැටළුවක් නැහැනේ. ඒත් අනිත් අය මං ගැන මොනවා හිතයිද වගේ දේවල් නිසානේ මොන පොතක් දාලා හරි තමන්ගේ සමාජ තත්වයත් ආරක්ෂා කරගන්න වැඩේ කරන්නේ.

      Delete
  24. //අල්පේච්ඡ වෙන එක හොඳයි.ඒත් ඇත්තටම එහෙම විය යුතුමද//
    දිනුකගේ අදහසට මාත් එකඟයි.

    "කර්ම" ගැන කියන්න තියෙන්නේ මේ ටික..

    http://thapasgekoloma.blogspot.com/2012/10/blog-post.html

    ReplyDelete
    Replies
    1. @ තපස්

      ලද දෙයින් සතුටු වීම වගේම සරලව ජීවත් වීම කියන දෙකම අල්පේච්ඡතාවයට අයිතියිනේ

      Delete
  25. ලන්කාවෙ බඩගින්නෙ හිටපු අය,මේ අපි ඉන්න යුරෝපයෙ නොවැදගත් රස්සාවල් කරල ලස්සන වාහන තියාගෙන ජීවත් වෙනව.පාර අතුගාන මනුස්සයටත් හොඳ වටිනාකමක් තියෙනව.ලන්කාවෙ මිනිස්සුන්ට ලෙව කකා ජීවත් වෙන්න වෙලා තියෙන හේතුව දන්න කෙනෙක් ඔය මනුස්සයගෙ කීමට කොහෙත්ම එකග වෙන්නෙ නැහැ.හැමෝටම බෙදෙන්න තියෙන දේවල් ටික දෙනෙක් සුරගෙන කනව කියල තේරුම් ගන්න බැරි මෝඩ ජාතියක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. අර මනුස්සයාගේ ජීවන දෘෂ්ටියත් හරි. මේ ඇනෝගේ කතාවත් හරි. ඒත් විසඳුමක් පේන මානෙක නැතිනම්, තනියෙන් කරන්න දේකුත් නැතිනම්, මොනවා කරන්නද , තියෙන ල__කින් ජීවත් වෙනවා මිසක්. හැමෝම හිත හදාගෙන හිටියම චෝයි.. :). අපට හැමදාම චෝයි.


      මේ ඇනෝට හිතෙන දේ හිතෙන එක නවත්තන්න බැහැ වෙන රට වල වෙනස දන්නා අයට.

      Delete
    2. @ AnonymousOctober 30, 2012 12:33 AM

      ඉඳුනිල් කිව්ව දේම තමා මතු කරන්න උත්සහ කළේ. ඒ වගේමයි අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව අවශ්‍ය පමණට සීමාවක් ඇතුව වියදම් කරන එක එහෙමත් නැත්නම් සරලව ජීවත් වීම කියන එකත් මේ කතාව ඇතුළේ තියෙනවා.

      Delete
    3. @ ඉඳුනිල්

      ඇත්තටම ඔයා කිව්ව දේ තමයි මෙතැන මතු කරන්න උත්සහ කළේ. ඒ වගේමයි සරලව ජීවත් වීම කියන එකත් මේ කතාවට ඇතුළත්

      Delete
  26. හරියට හරි, කෙහෙල්මල් අල්පේඡ්ච ජීවිතය, මේකෙන් පෙන්නෙ බහුතරය තාමත් අර බන්දුලල දෙන ගැලරි ටෝක් අනුමත කරල මේ ඉතින් අපි ලබා උපන් හැටි නේ කියල හිත හදගන්න සූදනම් කියලනේ.

    ReplyDelete
    Replies
    1. @ සුජියා

      ඒ තනි පුද්ගලයාට වෙන කරන්න දෙයක් නැත්නම් විසඳුමක් ලැබෙන පාටකුත් නැත්නම් විසඳුමක් ලැබෙනකම් කරන්න ඕනේ ලැබෙන විදිහට ජීවත් වෙන එක නේද ? ඒ වගේමයි මේ කතාවේ සරලකම කියන එකත් ගැබ්වෙලා තියෙනවා

      Delete
  27. අපූරු මනුස්සයෙක් තමා. ඒ වගේම සාර්ථක ජීවිතයක් ගත කරන්නෙක්. අතට කීයක් ආවත් ඒකෙන් හිතෙ සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් නම් ඊට වඩා මොකක්ද!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ඒක හැබෑව. අතට කීයක් ලැබුණත් අනවශ්‍ය වියදම් නොකර අවශ්‍ය ප්‍රමාණයට වියදම් කරලා සරලව සතුටෙන් ජීවත් වෙන එක තමා පාඩම

      Delete
  28. Apuru manusaya oya kiyala mata hitana...tika welawkata muna gahuna kenk gen hoda dayak aragen eka anit ayata bedala dena eka..
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. @ AnonymousOctober 30, 2012 8:28 AM

      කෑ දේ ගඳයි දුන් දේ සුවඳයි :)

      Delete
  29. මට මේ මනුස්සයා ගැන විචාරයක් දෙන්න අමාරුයි. මොකද විවිධ කෝණ වලින් විවිධ විදියට මේ මනුස්සයා ගැන බලන්න වෙනවා ඒකට. ඒත් ආදායමට සරිලන වියදම නම් වටිනා සංකල්පයක්. නමුත් ප්‍රායෝගික පැත්ත ගත්තාම ටිකක් අසීරු දෙයක්. ඒ මොක වුනත් චිත්‍රපට විචාරය නම් මරු. කර්ම බලපු මගේ යාළුවෙක් මරු කතාවක් කිව්වා මේ ලඟදි.
    " වැඩියෙන්ම යන්නේ කොල්ලෝ කෙල්ලෝ බං.. උන්ට ඒ ගානට නිදහසේ ඉන්න තැනකට තියෙන්නේ ඔහොම පාළු ෆිල්ම් හෝල් විතරයි."

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      ඒක ඇත්ත අයියා මම කලිනුත් අයියාට කිව්වා වගේ මේ කතාවේ පැති කීපයක් තියෙනවා. ආදායමට සරිලන වියදම ප්‍රායෝගිකව අසීරු වුණත් කළේ නැත්නම් තමන් ණයකාරයෙක් නොවැ. ඒ වගේමයි සරලව ජීවත් වීම ඇතුළේ වියදම කියන එක එච්චර ගැටලුවෙන් නෙමෙයි.

      පාලු ෆිල්ම් හෝල් කිව්වාම මතක් වුණේ කිව්වත් වගේ අඩු ගාණකට කරදරයක් නැතුව ඉන්න පුලුවන් තැනක් තමා ඒකත් :D

      Delete
  30. කියපු කටට මසුරන් දාන්න ඕනා කතාවක්නේ

    ReplyDelete
    Replies
    1. @ වර්ණා

      කියපු කටට විතරක් නෙමේ කරන මනුස්සයාටත් මසුරන් දෙන්න ඕනේ :D

      Delete
  31. ඇත්ත ඇත්ත, අපිත් මේ ට්‍රේනින් කාලේ බොහෝ ම අමාරුවෙන් කොළඹත් නැවතිලා, කඩවලින් කකා බස් එකටත් වියදම් කර කර මාසේ අන්තිමේට හම්බවෙන ගාණෙන් ෂේප් වෙන එක හැමෝටම කරන්න පුලුවන් දේකුත් නෙවෙයි. ඒත් ඉතින් නොකරත් බැහැනේ.. ඒ මනුස්සයා කියන කතාවෙ ගන්න දෙයක් නැත්තෙමත් නෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      මේ දේ නොකර ඉන්න තාක් අපි හැමදාම ණයකාරයෝ වෙනවා. ආණ්ඩුවෙන් අපි වෙනුවෙන් ගත්තු ණය මදිවට අපිත් වෙනම ණය වෙලා :D

      Delete
  32. අපූරු අත්දැකීමකට යාවුණු වටිනා කතාවක්!

    හසිතයියේ....කොමාවක් දැමීම ඉහලින්ම අගය කරනවා

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. @ වකා - WAKA

      කොමාවට ජය වේවා :)

      Delete
  33. කතාවනම් සම්පූර්ණ ඇත්ත මලයා.. එකගයි..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඉතාලිය වගේ රටක ඉදලා අයියාටත් මේවා ගැන හොඳ අත්දැකීම් ඇතිනේ

      Delete
  34. බඩු මිල කෙසේ වෙතත් "ෆිල්ම් හෝල් " වල නම් පඩි හෙනම අඩුයි ,අත්දැකීමෙන් කියන්නනේ ....

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      කාලයක් ෆිල්ම් හෝල් එකක වැඩ කළාවත්ද ? හැබැයි ආණ්ඩුවේ ඒවායේ පඩි වැඩි වුණත් පුද්ගලික ඒවායේ නම් පඩිය හොඳ ඇති නේද ?

      Delete
  35. තමන්ගෙ ආදායමේ තරමට වියදම සකසා ගන්නෙ නැති එකා සදා වලේ ...! ගෑණිටයි දැරුවන්ටයිත් ඒ අවබෝධය තියෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. @ Gaminie Vijith Samarakoon

      ඒක ඇත්ත අයියේ. ගෙදර වියදම් අඩු කරන්න අම්මයි තාත්තයි කරපු දේවල් පොඩි කාලේ විහිළු වගේ දැනුනත් දැන් තමා ඒ ගැන හොඳටම අවබෝධය තියෙන්නේ.

      Delete
  36. ආගිය කතා වලට කොමාවක් වැටුන එක වටිනවා..

    අදායමට අනුව වියදම සරිකරගන්න එක වටිනවා තමයි..ඒත් එතනින් එහාට ගිහින් ආදායම වැඩි කරගන්න විදිහත් බැලුවොත් තවත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ආදායම වැඩි කරගන්න එකත් හොඳ විදිහට කරගත්තා නම් හරි අක්කේ. මම කලිනුත් කිව්වා වගේ වත්තේ හරි පෝච්චියක හරි මිරිස් පැළ ටිකක් හිටවන එක වගේ පොඩි දේකින් වුණත් වැඩේ පටන් ගන්න පුලුවන්

      Delete
  37. මමනම් හිතන්නේ නැහැ ඒ මනුස්සයාට එතරම් අඩු පැදියක් ලැබෙනවා කියලා. ටිකර්ට් කඩන කෙනාටත් ඊට වඩා වැටුපක් ලැබෙනවා. කොහොම වුනාත් අපිට තියෙන විදියට සරලව ජිවත් වුනොත් ප්‍රශ්න අඩුයි..

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      ඒ මනුස්සයාට බොරුවක් කියන්න තරම් හේතුවක් ඇතියි කියලා මට නම් හිතෙන්නේ නැහැ අයියා. මොකද ඒ කතාව මම පටන් ගත්තු එකක් මිසක් එයා කිව්ව එකක් නෙමෙයිනේ. අනික මෙයා ජොබ් එක කරන්නේ ආණ්ඩුවේ ෆිල්ම් හෝල් එකකනේ. පුද්ගලික අංශයේ නම් පඩි වැඩි ඇති

      Delete
  38. අවශ්යම දේකට විතරක් වියදම් කිරීම තමයි මගේ තියරිය. :)

    ReplyDelete
    Replies
    1. @ මාටියා

      ඒක හොඳයි. ලොකු ඉතිර්යක් ඇති එහෙම නම්

      Delete
  39. දැන් නම් මටත් හිතෙනවා ඒ ක්‍රමයට බහින්න.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      එහෙම නැතුව මේ ආර්ථිකෙත් එක්ක රෝල ගහගන්න නම් අමාරුයි

      Delete
  40. හසිත ඔබ එච්චර "බිසී" නැහැයි කියුව නිසා ලියන්නම්. තමන්ගේ ආදායමේ තරමට වියදම් කිරීම, තනි මිනිහෙකුට හෝ පවුලකට පමණක් නොවේ රටකටත් වැදගත් දෙයක්. හැබැයි, ඒ ගමන්ම තමන්ගේ ආදායමත් වැඩි කර ගන්න උත්සහ කරන්න ඕනේ. මේක කියන තරම් නම් කොරන්න ලේසි නැහැ. විශේෂයෙන් මේ වගේ මනුස්සයෙකුට. හැබැයි රටක තත්වය වෙනස්. උදාහරණයකට ගත්තොත් ගිනි පොලියට හරි ණය අරන් වරායක් හදන්නේ, ආදායමක් ගන්නයි. ඒ ආදායමෙන් තමා අර ණය වාරිකය කොටස් ලෙස ගෙවන්න බලාපොරොත්තු වන්නේ. කාලයකදී ණය සම්පුර්ණයෙන් ගෙවල ඉවර උනත් වරාය ඉතුරුයි. (හැබැයි නැව් එන්න පුළුවන් වරායක් නම් විතරයි). සල්ලි නැතය කියල නිකම් ඉන්නත් පුළුවන් ආදායමේ හැටියට වියදම් කරලා.

    ReplyDelete
    Replies
    1. @ Raigama

      අනිවාර්යයෙන්ම. හොඳ සහ නිවරදි ආකාරයට ආදායම වැඩි කරගන්න ක්‍රමයක් කරන එක තමා කරන්න ඕනේ. සමහර විට ඒ මනුස්සයා කොළඹට වෙලා මෙහෙම ඉතුරු කරද්දී ගෙදර උදවිය ගමට වෙලා එළවළුවක් වවලා හරි තව ආදායමක් උපයා ගන්න ඇති.

      රටක තත්වය ගැන නම් කතා කළොත් තමන්ගේ නම ගහගන්න අමනෝඥ වැඩ වැඩවලට ණය අරගෙන අන්තිමට රටම කරදරේ දාන එක නම් හොඳ මදි

      Delete
  41. හොඳ කොමාවක්...

    පහලොස් දාහකින් කොහොමද ජීවත් වෙන්නෙ කියන එකනම් බරපතල ගැටළුවක්.. ඉස්කෝලෙ යන ළමයි එහෙම හිටියොත් ඒ ගැන හිතන්ඩවත් බෑ.. මට හිතෙන්නෙ ඕක ප්‍රායෝගික නෑ කියලයි හසිත.

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ගාමිණී අයියා කිව්වා වගේ ගෙදර ගෑණිටයි ළමයින්ටයිත් මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අනික ඒ මනුස්සයාගේ ළමයි ඉස්කෝලේ යන්න ඇත්තේ මීට අවුරුදු 15 කට විතර කලින්. ඒ කාලේ ඉස්කෝලේ යන ළමයින්ට මේ තරම් වියදමක් තිබුණේ නැහැනේ

      Delete
  42. ඇත්ත කියන්නෙ එකිනෙක්කෙනාට සාපේක්ෂදෙයක් නෙව එක අතකින් බැලුවාම.. ඔය අතින් බැලුව්වාම ලැදදෙයින සතුටුවෙන එකේ නරකකුත්ග් නෑ අයියේ.. ඒත් මටනම් ලදදෙයින් සතුටුවෙන කලාව සැට් වෙන්නෙ නම් නෑ ඕන්!

    ReplyDelete
    Replies
    1. @ සුළඟිල්ල | pinkie

      ඒක ඇත්ත. එක එක අයගේ ප්‍රතිපත්ති දැක්මවල් ඒ ඒ අයට සාපේක්ෂව නොවැ සකස් වන්නේ. ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව අසීමිතය හොයාගෙන යන එකේ අවසානයක් නැහැ නේද ?

      Delete
  43. ඇත්තටම මෙවැනි චරිත අපේ රටේ තවත් ඉන්නවා. ඔවුන් සතුටින් ඉඳීම තමයි ඉතාම විශ්මයජනක දේ. ඔවුන්ගේ අල්පේච්ඡතාව අපට හිතාගන්නවත් බැරි තරම් පුදුමයි. එය භාවනාවක් වගේ ප්‍රගුණ කලොත් අපිටත් මීටවාද දියුණුවක් ඇතිකරගන්න පුළුවන්. අපි එකවර ග්‍රහණය කරගන්න යන අරමුණු සංඛ්‍යාව වැඩි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. @ විචාරක Wicharaka

      ඒක ඇත්ත. ලද දෙයින් ජීවත් වෙන ගමන් සරලව ජීවත් වෙන එක මැසිවිල්ලක් නැතුව සතුටෙන් කරන එක තමා කරන්න ඕනේ. මැසිවිල්ලක් තියෙනවා නම් එතැන ලද දෙයින් සතුටු වීමක් නැහැනේ. භාවනාවක් වගේ ප්‍රගුණ කිරීම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවටත් හේතුවක්

      Delete
  44. ඔය විදිහට හිතන මෝඩ මිනිස්සු හන්දා තමා පුද්ගලික අංශයේ ශ්‍රම සූරාකෑම වැඩිවෙලා තියෙන්නේ, මිනිස්සු කරබාගන ඉන්න කොට පාලකයෝ කීයක් හරි මිට මොලවලා ෂේ‍ෆ් වෙනවා,

    ඔය මනුස්සයා අනුමතකිරිම කිසිසේත්ම නොකල යුතුයි,

    නිතරම ගැවසෙන ඉසව්වක් හන්දා සමහරක් විට ඔය මනුස්සයාව මම දැකලත් ඇති.

    ප්‍රද්ගලික අංශයේ වැඩිපුරම ශ්‍රමසූරාකෑමට ලක් වෙන්නේ සාප්පු සේවකයෝ,



    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්





    ReplyDelete
    Replies
    1. @ අටම්පහුර

      මේ මනුස්සයා පුද්ගලික අංශයේ සේවකයෙන් නෙමෙයි රජයේ සේවකයෙක්. ඒ වගේමයි මේ වගේ හිතන අය දුලබයිනේ. ඒක නිසා එයාගේ ලද දෙයින් සතුටු වීම අනෙක් අයට බාධාවක් වෙන තරමට හේතුවක් වෙන්නේ නැහැ. ඒ වගේමයි විසඳුමක් පේන හරියකවත් නැත්නම් ලැබෙන දෙයින් ජීවත් වෙනවා ඇරෙන්න මක් කොරන්නද ?

      Delete
    2. දළුගම Contras එක ඉස්සර පුද්ගලික ආයතනයක් , දැන් රජයටද අයිති.

      අනික ඉතින් රජයේ සේවකයෙට්ට උනත් ඕක වලංගුයිනේ හසිත මහත්තයෝ

      Delete
    3. @ අටම්පහුර

      දැන් අවුරුදු කීපෙකට කලින් ෆිල්ම් හෝල් එක රජයට පවරා ගත්තා අයියේ.

      කතාව වලංගු බව හැබෑව. ඒත් ඒක එයාගේ ප්‍රතිපත්තිය නම් ?

      Delete
  45. සකසුරුකම නැත්තන් සල්ලි කොච්චර ලැබුනත් වැඩක් නෑ. ආදර්ශවත් මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. @ de silva

      සකසුරුකම මුදල් සම්බන්ධව විතරක් නෙමේ හැම එකකටම අදාළයි

      Delete
  46. මොනවා උනත් කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන මහත්මයෙක්....

    ReplyDelete
  47. kiyewwa... maath 4 kanuwe kalayak bada gaawa..
    api dakalath athi...
    anikwa gana man katha karanne naha..
    anika karma thaama balanna uneth naha...

    ReplyDelete
    Replies
    1. @ silentsahan

      කොටින්ම මට තාම කර්ම බලන්න වුණේ නැහැ :D

      Delete
  48. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.v

    ReplyDelete
    Replies
    1. @ gurumag.blogspot.com

      ස්තුතියි දැනුවත් කිරීමට

      Delete
  49. කාසි ටික කැටේට දාලා ළමයට ගිහින් දෙනවා කිව්වා එකනම් හිතට වැදුනා මාර විදියට.

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      ආදර්ශෙට ගන්න ආදර්ශෙට ගන්න :D

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................