Showing posts with label ඇත්තට වුණු එව්වා. Show all posts
Showing posts with label ඇත්තට වුණු එව්වා. Show all posts

Wednesday, July 20, 2016

වීමන් අලියා නිවන් ගියේ ය.......



මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. 

ඔහු කෙතරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා කල පටන් මා සිතට වැටී තිබුණේ 'ගෝල්ඩන් විලා' නමින් නම් කර තිබූ ඔහුගේ නිවසේ ආලින්දයේ එල්වා තිබූ ඡායාරූප හේතුවෙනි. බුදු සිරිත සිතුවම් කොට තිබෙන සාර්ලිස්ගේ සුප‍්‍රකට සිතුවම් කීපයක් සමග එක පෙළටම වාගේ ආලින්දයේ එල්ලා තිබූ ඡායාරූපයක් වූයේ බත් දුන් පියා වූ ඩඞ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන නායකයන් අසුන්ගෙන සිටින වේදිකාවක කෙළවරකට වන්නට සිටි වීමන් හාමි ද අසුවන සේ ගත් ඡායාරූපයකි. 

මේ තරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' නිවන් යන්නට සිදුවූයේ 1970 දී පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූ හෙයිනි. බලවත් සමගි පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැකි වූ හෙයින් ලත් ජයග‍්‍රහණයෙන් උදම් වූ ගමේ සිරි ලංකාකාරයෝ යූ.ඇන්.පී. කාරයන්ට ද පාඩමක් ඉගැන්වීමට අමතක නොකළහ. 

දික්වෙල හන්දියේ කඩයක බිත්තියේ "වීමන් අලියාට නිවන් සුව ලැබේවා" යනුවෙන් සඳහන් පෝස්ටරයක් ඇලවුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන් නොනැවතුණු සිරි ලංකාකාරයෝ පොත් අතු, කිතුල් අතු ආදිය ද ඒ අසළට ගෙනවිත් දමා තිබුණි. 

මෙය සැලවුණු 'වීමන් අලියා' එවකට තමා සන්තකයේ තිබූ ලයිෂන් තුවක්කුව මෝටර් රථයේ ඉදිරි අසුනේ පෙනෙන්නට දමාගෙන දික්වෙල හන්දියට පැමිණ පෝස්ටරය ඉරා සාක්කුවේ දමාගන්නට නොපසුබට විය. එපමණක් නොව ඒ අසළ ඇති ප‍්‍රධාන නගරය වූ මාවරමංඩියට ද පැමිණ වටයක් ගසා සියඹලාපේ නිවෙසට 'වීමන් අලියා' පැමිණියේ පරාජය මහ කජ්ජක් නොවන බව සිරි ලංකාකරයන්ට පෙන්වමිනි. 

ඉන් පසුවද සුපුරුදු ලෙස පක්ෂයට හිතැතිව කටයුතු කළ 'වීමන් අලියා' බොහෝ යූ.ඇන්.පී. කාරයන් පක්ෂය අමතක කළ මහින්ද රාජපක්ෂ යුගයේ වුව ද පක්ෂය සමග රැඳී සිටියේ ය. දෙවන වරටත් ඔහුට නිවන් සුව පතා දික්වෙල හන්දියේ පෝස්ටරයක් ඇලවුණේ 2003 වසරේ ය. ඒ සැබවින්ම ඔහු මියයාම හේතුවෙනි. 


කැපුවත් කොළ යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' අවසන් ගෞරව දක්වන්නට යූ.ඇන්.පී. අලි රැළේ මහ අලියා වන රනිල් වික‍්‍රමසිංහ පවා පැමිණියේ බියගම මන්තී‍්‍රවරයා සිටි කාලයේදී 'වීමන් අලියා' හිතවතෙකුව සිටි නිසා ය. රනිල් වික‍්‍රමසිංහ පක්ෂය දමාගිය ද පක්ෂය දමා නොයන කැපුවත් යූ.ඇන්.පී. කාරයන් වන 'වීමන් අලියාගේ' දරුවන් ඇතුළු සියලු ඥාතීන් ඉන් අමන්දානන්දයට පත් වූ වග අමුතුවෙන් කිවයුතු නොවේ. 'වීමන් අලියාගේ' කථාව ලේඛකයාට දැනගන්නට ලැබුණේ ද මේ අතරවාරයේදී ය.

ප.ලි. කලකට පසු නැවතත් ආගිය කතාවකින් ආගිය කතාවට පිවිසීම පිළිබඳ මා හට නිරතුරුව තර්ජන කරමින් වරෙක මරණීය තර්ජන පවා කළ ධනුල මල්ලී ඇතුළු සහෘදයන් අහිතක් සිතතැයි නොසිතමි :D

Saturday, April 19, 2014

දෙමළාගේ ප්‍රශ්නය-අපි දෙමළ තමා මහත්තයා ඒත් දෙමළ දන්නෑ



උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා. 

මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා. 

ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out  වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා. 

"සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා.

"කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා. 

සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා. 

දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා. 

එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා. 

තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ. 

"මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා. 

"ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා. 

"මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා. 

"එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ"

තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා. 

"අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා. 

"තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා. 

කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි. 

"ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්‍රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්. 

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා" 

මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා.

උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා. 

"හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා. 

"රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.

"බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා.  

හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා. 

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා.

ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න.

Saturday, March 8, 2014

උපැවිදිව කිතුණුවෙක් වී මියගිය මහානායක හාමුදුරුවෝ


අද ආගිය කතාවෙන් කියන්න යන කතාවේ මාතෘකාව දැක්කාම බොහෝ දෙනෙක් කලබලයට පත් වෙන්න පුලුවන්. සාමාන්‍ය හාමුදුරු නමක් උපැවිදි වුණත් මහානායක හිමි නමක් උපැවිදි වුණාය කියන එක හුඟක් අයගේ විශ්මයට හේතුවේවි. ඒකටත් වඩා ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීමට වැඩි විශ්මයට හේතුවේවි.

කතාව ආරම්භ කළොත් මේ විදිහට උපැවිදි බවට පත්වෙන මහානායක හාමුදුරුවෝ බොහොම සුවිශේෂී පුද්ගලයෙක්. ඒකට හේතුව තමා වර්තමානය දක්වාම පැවත එන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයිති දඩලු පරම්පරායත්ත අමරපුර මහා නිකායේත්, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේත් ආදි කර්තෲවරයා වගේම පළමු මහානායක හිමියන් වුණෙත් උන්වහන්සේ නිසා. දැන් තව ගැටලුවක් ඇති කොහොමද නිකාය දෙකක මහානායක ධූරය එක හාමුදුරු නමක් දැරුවේ කියලා. ඒ ගැනත් කියන්නම්කෝ.

ඉතින් මේ සුවිශේෂී මහානායක හිමියන් තමා සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ

1758 මාතර කපුගම දිනෙස් ද සිල්වා සහ ජයසිංහ කළුහාමි දෙපළට දාව ඉපදුණු නන්දෝරිස් නම් පුත්‍රයා කුඩා කාලයේ ඉදන්ම බුදු දහම ඇල්මක් දක්වනවා වගේම ගාථා පිරිත් ආදිය කියන්නත් සුවිශේෂී දක්ෂකමක් දක්වනවා. ඒ කාලයේ මහබද්දේ මුදලි ධූරය දරපු දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමා දවසක් ඒ ප්‍රදේශයෙන් ගමන් කරද්දී නන්දෝරිස් දරුවාගේ මේ දක්ෂකම් දැකලා පැවිදි කරන්න සුදුසු දරුවෙක් කියලා තේරුම් ගන්නවා.

ඒ නිසා දෙමාපියන්ගේ අවසරය අරගෙන මේ දරුවාව තමන්ගේ ගමේ පන්සලට රැගෙන ආපු මුදලිතුමා නන්දෝරිස්ව පැවිදි බිමට පත් කරන්න භාර දෙනවා. ඒ අනුව දඩල්ලේ පියදිගම වාළුකාරාමයේදී කපුගම ධම්මක්ඛන්ධ කියන නමින් පැවිදි කරවනවා. ඒ කාලයේදී පහතරට සිටි දක්ෂතම ගිහි ගුරුවරුන් දෙදෙනා වුණු වීරගුලේ ගුරුතුමා සහ වල්පොළ ගුරුතුමා යටතේ අධ්‍යාපනය හදාරපු ධම්මක්ඛන්ධ සාමණේරයෝ  සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවල ප්‍රවීණයෙක් බවට පත්වෙනවා.

උපසම්පදාවට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරගැනීමෙන් පස්සේ දික්වැල්ලේ බුද්ධරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොටගමුව විජයබාහු පිරිවෙනේ සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයේදී කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ වගේම තවත් සාමණේර හිමිවරුන් කීප නමක්ම උපසම්පදාව ලබාගන්නවා.  

ඒත් ටික කලකින් ඒ උපසම්පදා විනය කර්මය පිළිබඳ ගැටලු ඇතිවුණු නිසා නැවත වතාවක් ඉන්ද්‍රජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1798 දී තංගල්ලේ දී සිදුකෙරුණු උපසම්පදා මංගල්‍යයකදී නැවත වතාවක් කපුගම ධම්මක්ඛන්ධ සාමණේරයෝ උපසම්පදාව ලබා ගන්නවා. 

ඊට පස්සේ කොග්ගල ඔයේ සහ රත්ගම ප්‍රදේශයේ පිහිටා තිබුණු උදකුක්ඛේප සීමාවන්වලදී කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සෑම කුලයකටම අයිති සාමණේරවරුන්ට උපසම්පදාව ලබාදෙන්න කටයුතු සිද්ධ වෙනවා. මේ කාලයේදී ධම්මක්ඛන්ධ හිමියන්ට දඩල්ලේ වාළුකාරාමයේ විහාරාධිපති ධූරය වගේම 1804 දී සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරය හොබවපු මිදිගම ධම්මානන්ද මහානායක හිමියන්ගේ කැමැත්ත මත සියම් මහා නිකායේ පහතරට සංඝනායක ධූරයත් හිමිවෙනවා.

වැලිතර ඤාණවිමලතිස්ස හිමි

මේ කාලවකවානුවේදී ගොවිගම කුලයේ සාමණේරවරුන්ට පමණක් උපසම්පදාව ලබාදෙමින් සියම් නිකාය ගෙනගිය වැඩපිළිවෙල වගේම උඩරට පහතරට භේදයක් පවා ඇති කරමින් සඟ සසුනේ ඇතිවුණු මතභේද හේතු කරගෙන තමන්ට අහිමි වුණු උපසම්පදාව බුරුමයෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන් වැලිතර ඤාණවිමලතිස්ස හිමියන් ඇතුළු භික්ෂු කණ්ඩායමක් බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරලා එහි වැඩ වාසය කරපු සංඝරාජ හිමියන්ගෙන් උපසම්පදාව ලබාගෙන ලංකාවට වැඩම කරවලා 1803 මැයි 15 බලපිටියේ මාදු ගඟේ උදකුක්ඛේප සීමාවේදී උපසම්පදා මංගල්‍යයක් පවත්වලා ලංකාවේ අමරපුර නිකාය ආරම්භ කරනවා. මේ නිසා උන්වහන්සේට බුරුමයෙන් මහාධම්ම රාජාධිරාජගුරු ගෞරව නාමය හිමිවෙනවා වගේම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි කර්තෲ වශයෙන් පිළිගැනෙන්නේත් උන්වහන්සේ.

මේ උපසම්පදා මංගල්‍යය ගැන ආරංචි වීමත් එක්ක බුරුමයට වැඩම කරලා පිරිසිදු උපසම්පදාව ලබාගැනීමේ ආශාව ධම්මක්ඛන්ධ නාහිමියටත් ඇතිවෙනවා. මේ නිසා ධම්මක්ඛන්ධ නාහිමියෝ දඩල්ලේ අද්‍රියන් ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිගේ සහයෝගය ලබාගෙන තවත් හය දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සමඟ 1808 දී ගාල්ලෙන් පිටත් වෙලා බුරුමයේ අමරපුර රාජධානියට වැඩම කරනවා. උන්වහන්සේ ඇතුළු කණ්ඩාම ශ්වේතහස්ති ස්වාමි වූ පණ්ඩිත මහාධම්මරාජාධිරාජයා විසින් ගෞරවයෙන් පිළි අරගෙන අශෝකාරාම මහා විහාරයේ වැඩ වාසය කළ ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් සමීපයට වැඩම කරවනවා. 

අමරපුරය

ලාංකීය භික්ෂු පිරිස උපසම්පදාවේ පිහිටවන්න කියලා රජතුමා කරපු ආරාධනය පිළිගත්තු සංඝරාජ හිමියෝ 1809 දී ධම්මක්ඛන්ධ හිමියන් ප්‍රධාන භික්ෂු පිරිසට උපසම්පදාව ලබාදෙනවා. ඒ වගේමයි කපුගම ධම්මක්ඛන්ධ හිමියන්ට සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු ගෞරව නාමයත් සංඝනායක  පදවියකුත් ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් පිරිනමනවා. 1810 දී ආපසු මේ ලාංකීය භික්ෂු පිරිස ලංකාවට වැඩම කරවනවා.

1811 දී ඤාණභිවංස ධම්මසේනාධිපති මහා ධම්මරාජගුරු සංඝරාජ හිමියන් විසින් එවනු ලැබූ සංදේශයකින් ධම්මක්ඛන්ධ හිමියන්ට සංඝරාජ පදවියකුත් පිරිනැමෙනවා. මේ පිළිබඳව කන්ද උඩරට රාජ්‍ය කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට දන්වන්න නොහැකි වුණු නිසා මේ සංදේශය ඉංග්‍රිසී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමත් එක්ක කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ව අමරපුර නිකායේ ප්‍රථම මහානායක හිමිපාණන් වශයෙන් 1814 ජනවාරි 4 වෙනිදා පත් කෙරෙනවා. 

1812 වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දවසේ දඩල්ලේ වාළුකාරාමයේ මහා මංගල ඛණ්ඩ සීමාව නමින් සීමාවක් සම්මත කරපු ධම්මක්ඛන්ධ මාහිමියෝ අමරපුරයෙන් රැගෙන ආපු උපසම්පදාව තවදුරටත් පවත්වා ගෙන යන්න කටයුතු කරනවා. මේ වෙද්දී වැලිතර ඤාණවිමලතිස්ස මහානායක හිමියන් විසින් ලංකා අමරපුර නිකාය ආරම්භ කරලා තිබුණු නිසා ධම්මක්ඛන්ධ මාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇතිවුණු භික්ෂු පිරිස දඩල්ල විහාරය මුල් කොටගෙන කටයුතු කිරීම නිසා දඩලු පාර්ශවය එහෙමත් නැත්නම් දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය නමින් හඳුන්වනවා.

දඩලු පරම්පරායත්ත අමරපුර නිකාය මේ විදිහට වර්ධනය වෙමින් පවතිද්දී 1845 වුණු සිදුවීමක් පාදක කොටගෙන තමා නිකාය භේදයක් හටගන්නේ. බලපිටියේ මාදු ගඟේ ඉදි කරපු උදකුක්ඛේප සීමා මාලකයේදී තමා මේ නිකායේ උපසම්පදා ඇතුළු විනය කර්ම සිදු කරලා තියෙන්නේ.

ඒකෙදී ගොඩබිම ඉදන් සීමා මාලකය ඉදි කරපු ලෑලි පාලමකින් සීමා මාලකයට භික්ෂූන් වහන්සේලා පිවිසීමත් සීමා මාලකය සහ ගොඩබිම අතර තියෙන සම්බන්ධ නැති කරන්න සීමා මාලකය හා සම්බන්ධ වෙන පාලමේ ලෑලි ඉවත් කරලා තියෙනවා. ඒත් 1845 දී සිදු කරපු උපසම්පදා මංගල්‍යයේදී සීමා මාලකයේ සීමාව ලකුණු කරන්න ගඟේ ජලය සීමා මාලකය වටා වීසි කරලා සීමාව පෙන්නුම් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී පාලමේ ලෑලි ඉවත් කරන්නේ නැතිව හරි එහෙමත් නැත්නම් පාලමේ ලෑලි ඉවත් කරලා තිබුණද කියන එක නම් පැහැදිලි මදි. 

1851 දී මේ ගැන අදහස් දක්වපු ලංකාගොඩ ධීරානන්ද හිමියන් ප්‍රකාශ කරනවා සීමා මාලකය වටා ජලය වීසි කරද්දී ඒවා ලී පාලමේ වැදුණු නිසා සීමා මාලකය ගොඩබිමත් එක්ක සම්බන්ධ වීම හේතුවෙන් 1845 සිදු කෙරුණු උපසම්පදා නිවැරදි නැහැ කියලා. මේ නිසා 1845 උපසම්පදා වූ අය නැවත උපසම්පදා කළයුතු බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ නිසා උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ තත්වයේ හිටිය අය කණිෂ්ඨ වුණා විතරක් නෙමේ එතෙක් ඒ හිමිවරුන්ට වන්දනා කරපු කණිෂ්ඨ උපසම්පදා හිමිවරුන් මේ තත්වය යටතේ ජ්‍යෙෂ්ඨ වෙන නිසා ඔවුන්ට වන්දනා කරන්නටත් බල කෙරුණා.

ලංකාගොඩ ධීරානන්ද හිමි

සීමා සංකරවාදය නමින් මේ පිළිබඳව නොයෙක් වාද විවාද වසර ගණනාවක් පැවතුණා. අවසානයේදී ලංකාගොඩ ධීරානන්ද හිමියන්ගේ අදහස් පිළිගත් භික්ෂූන් වහන්සේලා වෙනම පාර්ශවයක් වශයෙන් දඩලු පාර්ශවයෙන් බෙදී ගියා. ඒ පාර්ශවයේ අභිනව මහානායක හිමියන් විදිහට සිරි සද්ධම්මවංසපාල  මහාධම්මරාජාධිරාගුරු ගණාචරිය කියන ගෞරව නාමය සහිතව ලංකාගොඩ ධීරානන්ද හිමියන්ව 1865 දී පත් කරගනු ලැබුවා.

ධීරානන්ද නාහිමියන්ගේ අපවත් වීමත් එක්ක 1871 දී ධීරානන්ද නාහිමියන් වැඩ වාසය කරපු කාලයේදීත් මහානායක ධූරයේ ක්‍රියාකාරීව වැඩ බලපු කරපුටුගල ධම්මදින්න නාහිමියන් මහානායක ධූරයට පත් කරගැනෙනවා. ඒ සමඟම තමා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය යන නාමය ඒ පාර්ශවය සඳහා භාවිතා කෙරෙන්නේ. ඒ නම යොදා ගැනෙන්නේ ආදි කර්තෲ මහානාහිමියන් වුණු කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන්ට බුරුම රටින් ලැබුණු ගෞරව නාමයේ සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා වගේම පාර්ශවය ඇතිවෙන්න මුල්වුණු ලංකාගොඩ ධීරානන්ද නාහිමියන්ට පිරිනැමුණු ගෞරව නාමයේත් සද්ධම්මවංස යන කොටස යෙදී තිබුණු නිසා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායට අයත් මාදු ගඟේ පිහිටි ශ්වේජින් සීමා මාලකය

නැවතත් පළමු කතාවට ආවොත් විශාල ශාසනික සේවාවක් සිදු කරන්න පුරෝගාමී වුණු සද්ධම්මවංසපාල මහාධම්මරාජාධිරාජගුරු කපුගම ධම්මක්ඛන්ධ මහානායක මාහිමිපාණන් වහන්සේ පසු කාලයේදී උපැවිදි වුණු බව තමා කියවෙන්නේ. මේකට හේතු වුණු කාරණා සම්බන්ධව සළකලා බැලුවොත් ඒ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වුණු ක්‍රිස්තියානි වෙස්ලියන් නිකායේ පූජකවරුන්ගේ බලපෑම තමා මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ.

ධම්මක්ඛන්ධ හිමියන් සමඟ දිගු කාලයක පටන් වෙස්ලියන් නිකායේ පූජකයෙක් වුණු කාටර් පියතුමා සමීප ඇසුරක් පවත්වලා තියෙනවා. ඒ නිසා එවකට යටත් විජිතය තුළ ප්‍රධාන දේවගැතියා වශයෙන් කටයුතු කරපු  ජෝර්ජ් බිසෙට් පියතුමා සමඟත් සමීප සම්බන්ධයක් ගොඩනැගෙනවා.

මේ සබඳතාත් එක්ක ධම්මක්ඛන්ධ හිමියන් සහ පූජකවරු දෙපළ අතර ආගම සම්බන්ධ වාද විවාද ඇතිවුණු බව කියවෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ කපුගම ධම්මක්ඛන්ධ නාහිමියන් උපැවිදි වීම සහ ක්‍රිස්තියානි දහම වැළඳ ගැනීම. මේ අවස්ථාවේදී තමන්ට හීරළුවා කියන නම භාවිතා වෙයි කියන බය උන්වහන්සේට ඇතිවුණු බව කියවෙනවා. මේ නිසා වෙස්ලියන් පූජකවරුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබාදෙන්නත් අවශ්‍ය කටයුතු සලසනවා. [මේ ජෝර්ජ් බිසෙට් පියතුමාගේ මස්සිනා කෙනෙක් තමා එවකට ඉංග්‍රීසී ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්] ඒ අනුව උන්වහන්සේ උපැවිදි වීමෙන් නන්දෝරිස් යන පෙර නමම භාවිතයට ගන්නවා.

1816 ජූනි 16 වෙනිදා කොළඹ කොටුවේ පිහිටි වෙස්ලියන් දේවස්ථානයේ පැවති නන්දෝරිස්ගේ බෞතිස්මයට ඉංග්‍රීසි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්, අග විනිසුරු ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් ඇතුළු ප්‍රභූ පිරිසක් සහභාගි වෙනවා. නන්දෝරිස්ගේ බෞතිස්ම නාමය විදිහට ජෝර්ජ් නාමය හිමිවෙන්නේ ඔහුව ක්‍රිස්තියානි කරන්න ජෝර්ජ් බිසෙට් පියතුමා මූලිකව කටයුතු කරපු නිසා. ඉංග්‍රීසි ආණ්ඩුවේ වැලිසර සහ මෝදර ප්‍රදේශවල මුදලි තනතුර නන්දෝරිස්ට හිමිවීමත් සමඟ ඔහුව කොළඹ ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේ නමින් හඳුන්වපු බවත් කියවෙනවා.

1818 කැරැල්ල වකවානුවේදී ඔහු කුරුණෑගල රජයේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරනවා වගේම කැරැල්ල මැඩපවත්වන්නත් සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. එහිදී කැරැල්ල අසාර්ථක වීමත් එක්ක සැඟවිලා හිටිය පිළිමතලව්වේ [කණිෂ්ඨ] නිළමේව අල්ලා ගන්නත් දායකත්වයක් දුන් බව සඳහන් වෙනවා.

ජෝර්ජ් නන්දෝරිස් ද සොයිසා සමරනායක මොහොට්ටි මුදියන්සේගේ අවසානය පිළිබඳව තොරතුරු නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒ නිසාම මේ සම්බන්ධව තව දුරටත් සොයා බැලිය යුතුයි කියන එකයි මගේ අදහස. මේ ගැන තවත් දන්න කියන අය ඉන්නවා නම් ඒ වැඩේ පහසු වේව්.

කරුණු සොයාගන්න පාදක කරගත්තේ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු බුද්ධවංසය සාසනවංසය අමරපුරවංසය කෘතියත්, ගන්දර පී.ඩී.ඇස්. වීරසූරිය රචනා කළ දෙවුන්දර ඉතිහාසය කෘතිය, රාජකීය ආසියාතික සමිතියේ ශ්‍රී ලංකා ශාඛාවේ XXVIII කලාපය සඳහා කේ.ඩී. පරණවිතානයන් ලියපු Scholar Monks of the Nineteenth Centuary and the Tragic Transformation of the High Priest Ven. Kapugama DhammankkandA Thero ලිපිය සහ අන්තර්ජාලයේ කරුණු කීපයක්.

අවසානයට දක්වපු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ලිපිය හොයලා දීපු ශානක ඉරෝෂන  පීරිස් අයියාට විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමතියි :)

ප.ලි. : මේ ලිපිය කියෙව්වාට පස්සේ හුඟක් අයට උපසම්පදාව සහ සීමා මාලක ගැනත් දැනගන්න උවමනා වෙයිද දන්නේ නැහැ :D

Wednesday, March 20, 2013

හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි



මෙන්න චුට්ටි "හලාල්" කතාවක්...

කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක්

"ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න.

කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන...

අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට යවා අපේ ලක් මෑණියන් මුසල්මානුවන්ගෙන් බේරා ගනිමු."

ඕන් ඕකයි මැසේජ් එක, මම රිප්ලයි කළා මේන් මෙහෙම

"මේ ආර්ථිකේ හැටියට ගමේ පොළට ගිහින් සරමක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක නෙමෙයි පැට්‍රල්, ඩීසල් ගන්න හොඳද ?? ඒවාත් එන්නේ මුස්ලිම් රටවල්වලින්නේ"

ඒකට එයාට මෙහෙම රිප්ලයි කළා

"ඒක නම් ඇත්ත තමා. මට ආපු මැසේජ් එක ෆෝවඩ් කළේ. පැට්‍රල්, ඩීසල් ගැන කතා කරන්න තව ටික කාලයක් යයි"

මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්

"මුස්ලිම් කඩවලින් බඩු ගත්තාම උන්ට යන ලාබෙට වඩා ලොකු ලාභයක් මේ විදිහට මුස්ලිම් රටවල්වලින් තෙල් ගත්තාම තම්බින්ට යනවානේ"

එයා අන්තිමට මෙහෙම මැසේජ් කරනවා.

"ඒක ගැනත් දන්න හැමෝටම අපි මැසේජ් කරමු..."

ඕන් ඔහොමලු කතාව :D
  

-------------------------------------------------------------------------------------------------------------

මෙන්න "හලාල්" කතා අංක 02

අපේ යෞවන සමාජයෙන් මේ පාර ගමේ අලුත් අවුරුදු උත්සවය ලොකුවටම කරන්න තමා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ හවසට කට්ටිය පන්සලට එකතු වෙලා වැඩ කටයුතු ගැන කතා කරලා සල්ලිකාරයන්ගෙන් "දත්"ගලවන්න යනවා :D

පහුගිය ගිය දවසක කට්ටිය පන්සලට එකතු වුණු වෙලාවේ පොඩි හාමුදුරුවන්ගෙන් යෝගට් සංග්‍රහයක් අපි කට්ටියට ලැබුණා. නිව්ඩේල්, අඹේවෙල, හයිලන්ඩ් කියන ජාති තුනෙන්ම යෝගට් මෙතන තිබුණා.

අපි ඉක්මණට යෝගට් එක්ක අරගෙන කන්න පටන් ගත්තාම තව එකෙක් [මෙයා අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ සභාපතීත්වයෙන් ගමේ පිහිටුවලා තියෙන හලාල් විරෝධය සඳහා වෙන සංවිධානයේ බල කණුවක්] හලාල් මාක් එක නැති යෝගට් එකක් තෝරන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තව එකෙක් [මිනිහත් අර සංවිධානේ බල කණුවක්] කිව්වා මෙහෙම.

"මොකටද හලෝ ඕකේ හලාල් තියෙනවද නැද්ද කියලා බලන්නේ. දැන් ඕකේ හලාල් තිබ්බා නැතා කියලා වෙනසක් තියෙනවද. යෝගට් සල්ලිවලට ගත්තු මනුස්සයා දැන් හලාල්වලට ගෙවලා තියෙන්නේ. දැන් අපි ඕකේ හලාල් තියෙනවා කියලා නොකා හිටියේ අපේ බඩටයි පාඩුව"

පස්සේ එයා තවත් මේ කතාව විස්තර කළා...

"හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒත් මොකෙක් හරි හලාල් මාක් එක තියෙන කෑමක් සල්ලි දීලා අරගෙන මටත් දුන්නොත් ඒක මම නොකා ඉන්නවා කියන්නේ මගේ ගොන්කම"

ඒ මොනවා වුණත් අපේ යාලුවා යෝගට් මල්ල තෝරලා අඹේවෙල යෝගට් එකක් අතට අරගෙන කිව්වා.

"මගේ ප්‍රතිපත්තිය හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නෙත් නැහැ, නිකම් දුන්නත් කන්නේ නැහැ"

එහෙම කියලා මිනිහා හලාල් නැති අඹේවෙල යෝගට් එක කන්න පටන් ගත්තා....

ඕන් එහෙමලු ඒ කතාව :D

---------------------------------------------------------------------------------------------------------------

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 3

අර විදිහට හලාල් නැති යෝගට් හොයන්නයි, සල්ලි දීලා ගත්තේ නැත්නම් හලාල් කෑමට අවුලක් නැහැ කියන එකටයි අපි කට්ටිය දාන ශාලාවට වෙලා යෝගට් කන ගමන්ම හෙණ වාදේ. කෙස් පැලෙන තර්ක ගොඩායි.

මේ වෙලාවේ එතැනට වැඩිය අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වා

"කොල්ලනේ උඹලා හලාල් බැරි යකඩ හරි කාපල්ලා. හැබැයි කෑ ගහන්න එපා උඩහ බෝධි පූජාව. මිනිස්සු ගාථා කියනවා"

මේක අහපු ගමන් හලාල් නැති යෝගට් එක හොයපු එකාව බයිටට අල්ල ගත්තු අනික් එවුන් කියන්න පටන් ගත්තා

"මොකක්ද බන් මේකේ තේරුම. උඹලාගේ සංවිධානේ සභාපතිම කියනවා හලාල් බැරි නම් යකඩ හරි කාපන් කෑ නොගහ කියලා. මොකක්ද බන් මේකේ තේරුම" :D

හැබැයි ඉතින් මේක නම් නායක හාමුදුරුවෝත් කිව්වේ විහිළුවට, අපිත් අරූට කිව්වේ විහිළුවට. හරිද ???

------------------------------------------------------------------------------------------------------------=

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4

ගමේ තියෙන හලාල් විරෝධී සංවිධානේ තව බල කණුවකුයි [කලින් දෙන්නා නෙමේ, වෙන කෙනෙක්] තව එකෙකුයි තව වාදයක්. ඒ සංවාදය කියවීමේ පහසුවට චරිත දෙක මෙහෙම කෙටි කරන්නම්. හ.වි.සං.බ සහ අනෙකා කියලා

හ.වි.සං.බ : අපි මේ විදිහට හලාල් විරෝධය දියත් කරලා මුස්ලිම් ව්‍යාප්තිවාදය වළක්වන්න යන්නේ. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න යන්නේ

අනෙකා : එහෙම කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලානේ තියෙන්නේ "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී" කියලා. එතකොට හරියට ධර්මයේ හැසිරෙන කෙනාව දහමෙන්ම ආරක්ෂා කරනවා. ඒක ඔයාලා පිළිගන්නේ නැහැ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයටත් ඔයාලා අභියෝග කළා කියන එකනේ

අනෙක මේ වගේ ව්‍යසන බෞද්ධයන්ට වෙනවා කියන එක බුදු හාමුදුරුවෝ අනාගතය දකිනා නුවණින් දැක්කේ නැති ගාණටනේ ඔයාලා කතා කරන්නේ. මට පේන විදිහට ඔයාලා බුදු හාමුදුරුවන්ගේ තුන් කල් දකින ඥානයටත් අභියෝග කරන පාටයි

තව දෙයක් හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?

හ.වි.සං.බ : ඔව්, අපි ඒක නිසා තමා අපේ සංවිධානේ ඉන්න තරුණ අයව හැම පෝයට පන්සලට එකතු කරන්නේ. පන්සලේ ආගමික වැඩවලට සම්බන්ධ වෙන්නේ

අනෙකා : විහිළුනේ බන් ඕවා. මට කියපන් ඔය එකතු වෙන එවුන්ගෙන් හරියට පන්සිල් රකින පස් දෙනෙක්ව. උඹම ගනින් උඹ මස්, මාලු කනවා නේද ? ඔතැන ඉන්න කී දෙනෙක් සිගරට්, අරක්කු බොන එවුන්ද ??

අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්.

හ.වි.සං.බ : යකෝ මේවා වැරදි නම් මේකට හාමුදුරුවරුම මූලිකත්වය ගනීද ??

අනෙකා : ඔන්න ඔන්න වරද්ද ගත්තු අනිත් තැන. උඹ බුදු හාමුදූවෝ දේශනා කරපු කාලාම සූත්‍රය කියවලා නැද්ද ?? ඒකේ මොකක්ද කියන්නේ ? බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා ඒකේ තියෙන්නේ. තමන්ගේ සිහි නුවණින් හිතලා බලලායි පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ. එතකොට හාමුදුරුවෝ මුල් වුණා කියලා වැඩේ හරියි කියන එක හරි බොළඳයි

හ.වි.සං.බ : උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි

අනෙකා : අනේ බන් උඹ ෆේස්බුක් නැද්ද? ඒකෙත් ඔය සැරට වාද ගිහින් කියාගන්න දෙයක් නැති වුණාම ප්ලේ කරන තැටිය තමා ඕක

ඒ සංවාදයත් නිමායි :D

Sunday, February 17, 2013

exams අස්සේ කවි මඩු තියන්න තමුසෙට පිස්සුද ඕයි


exams කාලේ කියන්නේ අපිට [අපිට කිව්වේ අපේ special batch එකේ කොල්ලෝ 4 දෙනාට. තව පොරක් අපිත් එක්ක ඉන්නවා. හැබැයි මිනිහා බොහොම නිෂ්ක්‍රීය චරිතයක්] නම් මහා අපල කාලයක්. Notes complete කරන්න, photocopy degree එක කරන්න, library ගිහින් පොත් හොයන්න, assignments, tutorilas ලියන්න වගේ කුදු මහත් කටයුතු රාශියයි. 

විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දේ තමා exam එකට පාඩම් කරන්න කියලා ලැබෙන study leave සති දෙකෙත් බයිලා ගගහා ඉන්න අපි 4 දෙනා අන්තිමට පාඩම් කරන්න set  වෙන්නේ exam එක පටන් ගත්තාම කියන එක. දෙයියනේ කියලා හැම පාරම අපේ exam time table එක හදන දෙයියා අපේ exam time table එක හදන්නේම හැම paper එකක් මැද්දට අඩුම ගාණේ සතියකවත් gap එකක් තියලා. 

ඉතින් මේ විදිහට papers මැද්දෙන් gap එකක් විදිහට තියෙන කාලේ අතරතුර  අධ්‍යාපනික ගැටලු ගැන sms, දුරකතන සංවාද යනවා වගේම පුරුදු තැටිය වෙන බයිලා වාදනත් නොයනවා නෙමෙයි.

මටත් මේ දවස්වල පොඩි කික් එකක් ගිහින් exam stress නිසාම පොඩි කවියක් නිර්මාණය කළා.

පංච මහා බලවතුන්

පස්සේ නිකම් ඉන්න බැරුවට අනිත් උන් තුන් දෙනාටත් මේ කවිය sms කළා. අනිත් උන් තුන් දෙනාගෙන් කවියට බර, කවියට හිතැති, කවිකාමී ස්වීටාගෙන් තමා කවියෙන්ම උත්තර ආවේ. අන්තිමට මේ කවි sms කිරිල්ල කවි මඩුවක් කවි හටනක් වෙලා තමා නතර වුණේ. 

ඔන්න ඉතින් ඒ කවි මඩුව, කවි හටන තමා මේ තියෙන්නේ.

මම
පාඩමට තම සිත
නිතර යොමු කරනා අය
ගනී හොඳ ප්‍රතිඵල
ඔවුන් සැමවිට යන්නේ ඉහළට

ස්වීටා
සැණෙකින් මෙසේ පවසමි ඔබෙ පණිවුඩය අසා
ලීවෙමි මිතුර මහ රෑ නිදි කිරන නිසා
කොපමණ කළත් නොකළා මෙන් දැනෙන නිසා
නින්දක් දාන්නයි හිතුවෙ පොත පසෙක තියා 

මම
සරසවි සිසුන් හර මාරයා විභාගයයි
මාරයා සමඟ එන්නේ මර නින්ද තමයි
මාරය පැරදුමට සවි බල ලැබගන්නයි
මම නිති පතමි අප සැම මින් ගොඩයන්නයි

ස්වීටා
ඉන්නේ කොහිද බැලුවෙමි නිදි ගැට පිසදා
බැලුවම මතක් වුණි පැදුරේ බව විමසා
කියවා ඔබගේ කවි සිතුවිලි සකි හසිතා [ඕන් මූ එළිසමය රැක්ක හැටි]
බැලුමට දුවමි පොත් විභාගෙ සතුට පතා 

මම
කදිමයි මගේ මිතුරාණනි කවි මඩුව
[ඉතුරු පද ටික මට ආවේ නැහැ]

මම
කෙලෙසද ඔබේ පාඩම් කටයුතුවල තත්වේ
මේ පේපර් එක මහ ඇණයක් වීලා ඇත්තේ
තාඹු, නෝබා දෙදෙනත් මෙහිදී හිරවී ඇත්තේ [මේ අපේ අනිත් උන් දෙන්නා]
හොඳ පාඩම් අපිටත් මේවා කියමින්නේ

ස්වීටා
පාඩම් පසෙකලා කාමරයක් අස් කළෙමි
පාඩම් කරන්නට හිත නෑ කම්මැලෙමි [මූ හදන අලුත් වචන :D]
කුමක් කොරන්ටද මට දැන් නොතේරෙමි
බැඳගත් බෙරේ ගසමුකෝ අපි හීනියෙනි

මම
අපි පොරවල් යැයි නිරතුරු සිතුවාට
අපි කොර වෙන්නේ මේ වාගේ වෙලාවට
දවසක් දෙකක් තව ඉතුරුව තිබුණාට
බැරි දේ පුලුවන්ද දත් මිටි කෑවාට 

ස්වීටා
කුමක් කරන්නද යාලුවේ අපි මේවා
කරමු කොහොම හරි ඩම් එක ෆුල් දාලා
සැමදා කෙල වුනත් ඒ ගැන නොසිතාලා
පෙන්වමු අපිත් exam එක ගොඩ දාලා

මම
නිතර talk දෙන්නට අපි උපන් හපන්
කවුරුත් සිටින්නේ අපි සැම දිහා බලන්
චා ප්‍රතිඵල ආවොත් නම් හුටං පටං
අපි හට සිදුවේය දුවනට කඩන් බිඳන්

ස්වීටා
එවන් දෙයක් සිදුවන්නේ නැතිවේවා
ගණ දෙවි නුවණ අප සිත් තුළ පෑදේවා
පේපර් එක එළ කිරි වගේ සෑදේවා
සියලු පැතුම් එක ලෙස අපේ ඉටුවේවා

මම
ඒක සැබැයි සැබැයි සැබැයි
ආවඩා ආයු බොහෝ වේවා 

මම
අපි පාඩම් කරනෙමු
විභාගේ ගොඩ දාගමු
හොඳ ප්‍රතිඵල අරගමු
අපෙ වැඩ කිඩ පෙන්වමු

ස්වීටා
මීරිගම ස්විට එළකිරි කවියානේ
අළුයම එකටලු ඌ දොයිය ගන්නේ
උදේ තමයි මැසේජ් එක දැක්කානේ
එළිවැට ගලවාපු කවි නම් මේවානේ

මම
නැත නැත මිතුර මේ කවියත් හරිම අගෙයි
එළිසමයත් මරුවට මෙහි රැකිලා තියෙයි
උදයේ නැගිටේටේ මම මේ දැන්ම තමයි
එන්නම් මචෝ චූ කරලයි තේ බීලයි
[චූ කතා රැල්ලක් නොවේ :D]

ස්වීටා
චූ කරලා තේ බීලා පැමිණීලා
පොත පත අතට ගෙන ඒවා කියවාලා
exam එක ගොඩ දමනට එක සැරසීලා
ලියමුකෝ අපි 6 වෙනිදා සෙට් වීලා

එදා paper එක කොහොම හරි ලියාගත්තය කියමුකෝ. මේ ඊට පස්සේ කවි මඩුව season - 2

මම
අප සැම ලියා ගත්තද අද පේපරය
දුම් විසිවෙන එක එන්නේ දාහතර
ගොඩ දමනට නම් අපි ඒ පේපරය
ගිල දැම යුතුය මහවංසය පොත් පෙළම

ස්වීටා
පුරාතනට මහාවංස පොත් පෙළය
ආණ්ඩුක්‍රම වමාර කයි නූතනය
චන්දන මැතිඳු හා සිල්වා මැතිඳුන්ය
වැලන්ටයින් එක නම් මට නැති සේය 

මම
වැලන්ටයින් ඇත ඒ මුළු දිනය පුරා
අපේ මීටිමත් නිම කරදෙමි කල් නොමරා
වැලන්ටයින් හවසට උඹලා සමරා
අපිටත් පාටියක් දීපන් කළගුණ සිහි කරලා

ස්වීටා
පාටි තමයි සිහිවන විට මට සල්ලි
කෙල්ල නිසා එදාට ලොකු වියදම් මල්ලි
පාටි නෙමෙයි දෙන්නයි වෙන්නේ නෙල්ලි
දුකම තමයි මක් කරමුද අයියෝ සල්ලි

මම
උඹ ගොඩ ගියා අප හට නැත කිසි පාටි
ඉන්නෙත් කොල්ලෝ තිදෙනයි උඹ හට ලේසි
දැන්ම දුන්නොතින් උඹ හට වෙයි වාසි
කල් දම දම හිටපන් උඹ හට දෝදු

ස්වීටා
කනින් කනට ගොස් දැමුවා මා පාටි
කියලා මගේ ඔළුවම කයි කෙල්ලන් සැරසී
[කෙල්ලන් කිව්වේ අපේ batch එකේ අය]
පින්නි, රෝයල්, ලෝටස් සමඟින් පැඟිරී
නොමරා මා කාවි සැකයක් නැහැ රොක්වී

මම
බිය නොම මැනවි මිතුරාණනි කිසි දිනෙක
මේ ගැන කෙළ බිඳක් නොහළමි කිසි දිනෙක
උඹ හට අවැසි නම් දමනට ලොකු පාටි
සංවිධාන කර දෙන්නෙමි සුපිරියට

ස්වීටා
මගේ දෙයියෝ මට නම් ඇවැසි නැත ලොකු පාටි
දීලා කොහොම බේරෙන්නද මුන්ගෙන් පාටි
පාටි පාටි පාටි හැමදාමත් ලොකු පාටි
බලමුකෝ මචෝ පොඩි එකකට එහෙනම් පාටි

මම
පාටි දමන්නේ අපි බන් සතුටටනේ
අනුන් සතුටු කරනා එක හරි හොඳනේ

ස්වීටා
කියලා වැඩක් නෑ සල්ලි යන්නේ මටනේ
කමක් නැහැ මචෝ අපි කොහොමත් ෆිට් එකනේ

මම
ගොඩ ගියේ උඹ නිසයි උඹ හට මේ වියදම්
දැන්වත් උඹට මොළේ පැදුනා හරි එහෙනම්

ස්වීටා
ගොඩ යෑමත් එක පාරයි වෙන්නේ නම්
සල්ලි සල්ලි යැයි නොබලමි කිසිදා නම්

ස්වීටා
මැසේජ් කවි කොටා මා හට පෙළඹූවා
පෙළඹී මාත් පාටියකට හා කිව්වා
ගොඩ ගිය එකෙත් පාපය මට හිමිවූවා
කාට කියන්නද දෙයියනි දුක මෙව්වා

මම
උඹ ගොඩ ගියේ දෙවියන්ගෙන් අසා නෙමෙයි
එහෙනම් දෙවියන්ට මේවා කියන්නේ ඇයි
උඹ පොළඹන්න උඹ පොඩි අත දරුවෙක්යැයි
උඹ හට ඔබින්නේ ඇන්කර් වන් ප්ලස්මයි

ස්වීටා
නෝනා ගියා බණ්ඩේ බලා කුමකටද [බණ්ඩේ-කෙල්ලන්ගේ හොස්ටල් එකක්]
මැසේජ් කෙටුවේ ඒ හම්බුණු ඇසිල්ලට
නැවතත් පැමිණ ඇත ඇය ඇගේ බෝඩිමට
එහෙනම් මිතුර සමුගන්නට අවසරද ?

මම
අවසර ලබාදෙමි ඔබ හට සමුගන්න
දාහතර වෙනිද ආයේ හමුවෙමු ඔන්න
පාටිය දෙන්න දිනයක් බලලා එහෙම
කියපන් මචෝ හැකි විගසින් සැරසෙන්න

ඕන් ඔහොමයි කවි මඩුව/කවි හටන ඉවර වුණේ. 14 වෙනිදායින් එකත් ඉවර වුණා. තාම පාටිය ගැන ස්වීටා සද්දයක්වත් නැහැ :P

ප.ලි.: exam එක වෙලාවෙත් කවි ලියපු මට exam එකට පාඩම් කරද්දී කවි ලියන්න බැරිද :D [තව කතා දෙකකට link නොවන්නේ නොවේ]

ප.ප.ලි.: කාලෙකට පස්සේ මෙහෙම ෆන් කතාවක් ලිව්වමද කොහෙදෝ....

Monday, October 29, 2012

බඩුමිළ වැඩියි කියලා කෑ ගහලා හරි යන්නේ නැහැ - තවත් අපූරු මනුස්සයෙක්ගේ කතාවක්


එදා 4 කණුවේ බස් හෝල්ට් එකෙන් 138 කඩවත කොටුව බස් එකකට නැග ගත්තේ ඉක්මණට කැම්පස් එකට එන්න හිතාගෙන. බස් එකේ සාමාන්‍ය ප්‍රමාණයකට සෙනඟ හිටියත් පිටිපස්සේ දොර ගාව සීට් එකක් හිස් වෙලා තිබුණු නිසා මම එතනින් වාඩි වුණා. මම වාඩි වෙලා හිටිය සීට් එකේ අනිත් කොණේ වාඩිවෙලා හිටියේ අවුරුදු 50 ක විතර පෙනුම තිබුණු වයසක පිරිමි කෙනෙක්. අතේ පාර්සලේකුත් තිබුණා. 

"බලන්න මහත්තයා දැන් ටිකකට කලින් බස් එකට නැග්ග ගෑණු ළමයා ෆෝන් එකක් කනේ තියාගෙන බර කතාවක ඉන්න ගමන්ම තමා බස් එකට නැග්ගේ. ඒ ගමන් අනික් පැත්තට බස් එකෙන් බැස්සත් එක්ක. 

ෆෝන් කෝල් එකේ සිහියෙන් ඉදලා බස් එකෙන් වැටුණා නම් මිනිස්සු ටික එකතු වෙලා ඩ්‍රයිවර්ට ගහනවා මිනිහා බලන්නේ නැතුව බස් එක ඇද්දුවා කියලා. සමහරු පාර පනින්නෙත් ෆෝන් කෝල් ගන්න ගමන්. අන්තිමට අනතුරු"  කියලා එයා මාත් එක්ක කතාවට වැටුණා. 

"ඒක නම් ඇත්ත තමා" මාත් හූමිටියක් තිබ්බා. 

"ඔය ෆෝන්වලින් මිනිස්සු කරන ජාති තමා ජාති මහත්තයා. ළඟදී ෆිල්ම් එකක් ආවා නේද දරුවනේ කියලා. කවුරු හරි ෆෝන් එකෙන් ඒ ෆිල්ම් එක විඩියෝ කරලා ඒක සීඩීවලට දාලා දැන් විකුණනවා. ඔන්න ඒකෙත් හැටි. ඒත් අපි නම් කවුරු හරි එහෙම ෆෝන් එකකින් ෆිල්ම් එකක් වීඩියෝ කරනවා දැක්කොත් දෙපාරක් අවවාද කරනවා. ඒත් අහන්නේ නැත්තම් එළියට දානවා"

කතා බහ කරන විදිහෙන් ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක් කියලා තේරෙන නිසා මම ඇහුවා "මේ මහත්තයා ෆිල්ම් හෝල් එකක වැඩ කරන කෙනෙක්ද ?" කියලා.

"ඔව් මහත්තයා. මම තමා දළුගම Contras ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් ප්‍රොජෙක්ට් කරන එක කරන්නේ" කියලා එයා උත්තර දුන්නා.



බස්වලදී නානා ප්‍රකාර මිනිස්සු හම්බෙලා තිබුණත් මේ වගේ කෙනෙක් හම්බෙලා නැති නිසා මාත් හරිබරි ගැහිලා කතාවට මුල පිරුවා. 

"නියමයිනේ. කොහොමද මේ දවස්වල පෙන්නන කර්ම ෆිල්ම් එක එහෙම ? මම ඒක බලන්න එන්න හිතාගෙන ඉන්නේ"

"ෆිල්ම් එක නම් හොඳයි මහත්තයා. ප්‍රසන්න අලුත් විදිහට ෆිල්ම් කරන කෙනෙක්නේ. හැබැයි මේ ෆිල්ම් එක බලන්න ටිකක් අමාරුයි. එකම ෂොට් එක විනාඩි 5 ක් 10 ක් විතර ඔහේ තියෙනවා. එතකොට බලන්න අමාරුයිනේ. ඒ වගේමයි කතාවත් ටිකක් තේරුම් ගන්න අමාරුයි" කියලා එයා කිව්වා නිසා මේ මනුස්සයත් කාලයක් තිස්සේ ෆිල්ම්ස් බලලාම හොඳ අත්දැකීම් ගොඩක් එකතු කරගෙන තියෙන බව මට තේරුණා.

ඒක නිසා ඒ හැකියාව මම අගය කෙරුවා.

"ඔයාටත් චිත්‍රපටි විචාරකයෙක් වෙන්න පුලුවන් වගේ. ඔයා හුඟක් ෆිල්ම්ස් බලලා ඇති නේද ?"

"ඔව් මහත්තයා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි ෆිල්ම් හුඟක් බලලා තියෙනවා. සෙක්ස් ෆිල්ම්ස් ඇරෙන්න"

"දැනට ෆිල්ම්ස් කීයක් විතර බලලා ඇද්ද ? 500 ක් 600 ක් විතර ?"

"ඊට වැඩියි මහත්තයා. 2000 ක් විතර ඇති. මගේ සර්විස් එක අවුරුදු 39 ක්.යාපනේ,කොළඹ රීගල් ඇරෙන්න හුඟක් ෆිල්ම් හෝල්වල මම වැඩ කරලා තියෙනවා"

"අවුරුදු 39 ක සර්විස් එකක් කියන්නේ ලොකු කාලයක්නේ"

ගෑණුන්ගේ වයසයි පිරිමින්ගේ පඩියයි අහන්න එපා කියලා කතාවක් තිබුණත් මගේ කට කසනවා කීයක් විතර පඩි තියෙනවද කියලා අහන්න. ඒක නිසා මම ඇහුවා "ඉතින් කීයක් විතර පඩි තියෙනවාද ?" කියලා

"ලොකු පඩියක් නැහැ මහත්තයා රුපියල් 12,000 ක් තමා පඩිය. ඕටීත් එක්ක 15,000 ක් විතර පඩි තියෙනවා මාසෙකට"

මට පුදුම හිතුණා. මෙච්චර සර්විස් එකක් තිබිලත් පඩිය මෙච්චර අඩුද කියලා. පස්සේ මම ඇහුවා "ඉතින් ඒ ගාණෙන් ජීවත් වෙන්න පුලුවන්ද?" කියලා. ඒකට ලැබුණු උත්තරේ නම් හරිම වටිනා කියන එකක්. 

"අපි ඒ පඩියෙන් ජීවත් වෙන්න ඒ කාලේ ඉදන්ම පුරුදු වුණා මහත්තයා. බඩු මිළ වැඩියි පඩි මදියි කියලා හැමදාම කෑ ගගහා ඉදලා හරියන්නේ නැහැනේ මහත්තයා. අපි දැනගන්න ඕනේ හම්බෙන විදිහට වියදම් කරලා ජීවත් වෙන්න. 

සමහරු ඉන්නවා කෑම කද්දී කොකා කෝලා එකක් බොන්නම ඕනේ. කාලා ඉවර වෙලා සිගරට් එකක් බොන්නම ඕනේ. ඒත් මම නම් මහත්තයා තියෙන විදිහට කාලා බීලා ඉන්නවා. අතේ තියෙන මුදලට වියදම් කරනවා. එහෙම නැතුව 15,000 ක් පඩි අරගෙන 25,000 ක වියදම් තියා ගත්තොත් හරියන්නේ නැහැනේ. 

සමහරු ඉන්නවා හෝටල්වලින් කන්න පුරුදු වෙච්ච. ඒත් ගෙදරින් ඔතාගෙන එන්න පුලුවන් සම්බෝලයි බතුයි හරි කනවා නම් කීයක ඉතුරුවක්ද. මම හැමදාම උදේට බත් එක්ක එක වෑංජනයක් හදනවා. ඒකෙන් උදේටයි දවල්ටයි කනවා. රෑට කඩෙන් පාන් එක්ක හොඳි එකක් ගෙනල්ලා කනවා. 

හැමදාම රෑට එදා දවසේ ඉතුරු වුණු මාරු සල්ලි කැටේකට දානවා. මාසේ අන්තිමට ගෙදර යද්දී ඒ සල්ලිත් ගෙනිහින් දුවට දෙනවා." කියලා බොහොම උපේක්ෂාශීලී විදිහට එයා කිව්වා. 

අපි දෙන්නගේ කතාවෙන් කතාවෙන් කැම්පස් හෝල්ට් එක කිට්ටුවට බස් එක ඇවිත් තිබුණේ. 

"එහෙනම් මහත්තයා මම ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. හම්බෙමුකෝ" කියලා එයත් බස් එකේ ඉස්සරහට ගියා. 

මමත් කැම්පස් හෝල්ට් එකෙන් බැහැලා කැම්පස් ගියා. 

අපි දෙන්නාගේ කතා බහ එහෙම ඉවර වුණත් ඒ කතාවෙන් ගන්න පුලුවන් දේ නම් ඉවර වෙන දෙයක් නෙමෙයි කියලයි මට හිතුණේ. 

ප.ලි.: ටික දවසක් තිබුණු විරාමය පුංචි කොමාවක් තමා මේ :D


Sunday, August 12, 2012

බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි


ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්‍රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. 


අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි

ලංකාවේ තිබෙන ස්ථූප අතුරින් උසින් තෙවැනි ස්ථානයට පත්වුණත් වැඩි වශයෙන් වන්දනාවට ලක්වෙන ස්ථූපය වුනේ ඇයි කියන එකත් ටිකක් විමසලා බලමු. ඒකට හේතුව තමා ලෝකය පුරා තිබෙන බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් නිධන්ව පවතින්නේ රුවන්මැලි සෑය තුළ වීම. 

ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා බෙදීම

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කොටස් 8 කට වෙන් කෙරුණු සර්වඥ ධාතුවලින් රාම ග්‍රාමයට ලැබුණු සර්වඥ ධාතු ද්‍රෝණය පසුව තැන්පත් කෙරුණු ස්ථූපය මුහුදට සෝදාගෙන ගිහින් ඒ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබුණු බවත් රුවන්මැලි සෑයේ ධාතු නිධානෝත්සවයට මේ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් වැඩමවූ බව තමා වංස කතා කියන්නේ.

මේ විශේෂත්වය නිසාම මහා ථූපය, අසදෘශ ථූපය නමින් රුවන්මැලි සෑය ගෞරව පිණිස නම් භාවිතා කෙරෙනවා. ඒ වගේමයි පෙර රජ දරුවන්ගේ පටන් මේ දක්වාම විවිධාකාරයේ පුද පූජාවන්ටත් රුවන්මැලි සෑය පාත්‍රවෙලා තිබෙනවා. 

රුවන්මැලි මහා සෑයේ හරස්කඩ සටහනක්
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka  කෘතියෙන්]

ඉතින් රුවන්මැලි සෑය ගොඩනගන්න ආරම්භ කරපු ආකාරය, ධාතු නිධන් කළ ආකාරය වගේම ස්ථූපයේ කටයුතු නිමා කළ ආකාරය ගැන වංස කතා තුළ කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධව විස්තර ඇතුළත් කෘතියක් පහත තිබෙන සබැඳියකින් භාගත කරගන්න ඔබට පුලුවන්]

ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව. 

රජරට රාජධානි බිඳවැටිලා නිරිත දිගට වෙන්න රාජධානි ගොඩනැගීමත් එක්ක ක්‍රමයෙන් රුවන්මැලි සෑය වගේම අනෙකුත් සිද්ධස්ථානවලට එතරම් රාජ අනුග්‍රහයක් වුණු බව පෙනෙන්න නැහැ. ඒත් නොවුණාම නෙමේ. ඒත් රජරට රාජධානි තිබුණු සමයේ තිබ්බ ශ්‍රී විභූතියට පත්කරන එක නම් බොහොම අසීරු වුණා. අවසානයට සිද්ධ වුණේ මේ ප්‍රදේශ ක්‍රමයෙන් වල් බිහිවෙලා මහජනයාගේ මතකයෙන් ඈත්වෙලා යන එක. 


වල් බිහිව පැවති රුවන්මැලි මහා සෑය

මේ වගේ පසුබිමක තමා 1873 දී ගම්පොළ ප්‍රදේශයේ ඉදන් අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන අවුරුදු 23 ක් පමණ වුණු තරුණ හාමුදුරුවෝ වල් බිහිවෙලා තිබුණු මේ මහා ථූපය දැකලා බොහොම කම්පාවෙලා නැවත වරක් පෙර රජ දරුවන්ගේ කාලයේ රුවන්මැලි සෑය තිබුණු ශ්‍රී විභූතියටම පත්කරන්න අධිෂ්ඨාන කරගන්නේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ සහයත් මේ කටයුත්තේදී උන්වහන්සේට හිමිවෙනවා.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි

ඒ අනුව 1884 දී රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී අනුරාධපුර දිසාපතිතුමාගේ දැනුවත් කිරීමෙන් මේ ගැන බලන්න ආපු ඒ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි තමන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් 1000 ක් රුවන්මැලි සෑය සංවර්ධනයට පරිත්‍යාග කරලා තිබුණේ. [ගිරිගෝරිස් රජ්ජුරුවෝ කියලා මිනිස්සු හඳුන්වපු මේ ආණ්ඩුකාරතුමා ලංකාවේ පැරණි උරුමය සුරකින්න හුඟක් කැපවුණු කෙනෙක්. 1876 දී කොළඹ ජාතික කෞතුකාගාරය ආරම්භ කරන්න මුල් වෙන්නේත් මෙතුමාම තමා] ඒ වගේමයි එවකට හිටිය බෞද්ධ දානපතියන් රාශියකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

 සෑ රදුන් වන්දනාවට පිවිසීමට තිබූ දොරටුව

මේ විදිහට කටයුතු සිදුවෙද්දී 1912 දී හදපු බැමිවල තිබුණු දෝෂයක් නිසා චෛත්‍යය කඩාවැටීමත් එක්ක සුමනසාර හාමුදුරුවෝ රුවන්මැලි මහ සෑ පිළිසකර කිරීමේ කටයුත්ත තාවකාලිකව නවත්තනවා. 

 කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි

ඒත් ඒ අවුරුද්දේම තමන් වහන්සේගේ සහයට ආපු ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි සම්බන්ධ වීමත් එක්ක එතුමාගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.

රුවන්මැලි සෑය සොයාගන්නා විට වූ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අයුරු පෙන්වන සැලසුමක්
[උපුටා ගැනීම James G. Smither ගේ Architectural Remains: Anuradhapura, Ceylon කෘතියෙන්]

රන්සිරිනෙල් වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඉරිදා දිවයිනේ ලිපි මාලාවක් පළවුනා. මෙන්න ඒවත් කියවන්නකෝ.

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03 
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04

දොන් හෙන්ද්‍රික් සිටුගේ

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අකුරැස්ස ප්‍රදේශයේ ධනවතෙක් වුණු දොන් හෙන්ද්‍රික් සිටුගේ රුවන්මැලි සෑයේ ඉදිකිරීම් කටයුතුවලට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීමත් සුවිශේෂී සිදුවීමක්. මේ ඒ ගැන ලංකාදීපේ තිබුණු කතාව. 

රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙන්න පෙර නාරංවිට සුමනසාර හාමුදුරුවෝ අපවත් වෙනවා. මීළඟට 1932 අවුරුද්දේදී මේ යෝධ ව්‍යාපෘතියට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු ඒ වගේම ඊට පස්සේත් සම්බන්ධ වෙලා හිටිය දොන් හෙන්ද්‍රික් සිටුගේත් මියයනවා. 

ගර්භ කොටසේ පිළිසකර කිරීමේ කටයුතු

ඊට පස්සේ මහා ථූපයේ හතරැස් කොටුවට මුල්ගල තැබීමෙන් පස්සේ රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ සභාපති විදිහට අමිල මෙහෙයක් කරපු කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිත් 1935 දී පමණ මියයනවා.

ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. 

රුවන්මැලි මහ සෑයේ ලෝහමය කොත

ඒ වෙද්දී රුවන්මැලි සෑයට පළඳවන්න කොතක් නිර්මාණය කිරීමේ බරපතළ කාර්යයටත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් අත ගහලා තිබුණේ. ඒ කාර්යය පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ යෙදෙන පිරිසකට රන්සිරිනෙල් වෙද රාළහාමි භාර කරලා තිබුණේ. ඒ යටතේ අඩි 26 ක් උස ඒ වගේම ටොන් 6 ක් පමණ බර ලෝහමය කොතක් නිර්මාණය කරවන්න ඔවුන් සමත් වුණා.

පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.

මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.

බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමියන්

කොත් වහන්සේ ඒ විදිහට නිර්මාණය කරගෙන යද්දී ගැටලුව වුණේ මේ කොතට ගැලෙපන චූඩා මාණික්‍යයක් හම්බ නොවුණු එක. පත්තරවල දැන්වීම් පළ කරලා අවුරුදු කීපයක්ම කොතට ගැළපෙන චූඩා මාණික්‍යයක් කපා ගන්න පළිඟුවක් හෙව්වත් හම්බුණේ නැති නිසා මේ සඳහා පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සහ දෙමටගොඩ මකුටාරාමයේ නිර්මාතෲ වගේම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක බුරුමයේ විනයාලංකාර නාහිමියන් හමුවෙලා මේ සම්බන්ධව උදව්වක් ඉල්ලන්න චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් කටයුතු කරනවා. 

මේ කාර්යයේ වටිනාකම තේරුම් ගත්තු විනයාලංකාර හාමුදුරුවෝ 1933 දී බුරුමයට වැඩම කරලා විශාල ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. රැන්ගුන් නුවරින් මැණික් සම්බන්ධ ප්‍රකට මෝගොක් නගරයට වඩින උන්වහන්සේට අවසානයේදී තමන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයේ පළිඟුවක් හම්බවෙනවා. යූ.ටො, දෝනන්ටේ, ෂන්ඨිදස් සහ  යූ.මට් කියන හතර දෙනාට අයිති වුණු මේ පළිඟුවේ වටිනාකම රුපියල් 6000 ක් පමණ වුණා. 


එයාල හතර දෙනා විනයාලංකාර හාමුදුරුවන්ට මේ පළිඟුව පරිත්‍යාග කිරීමත් එක්ක 1938 හාමුදුරුවෝ පළිඟුවත් අරගෙන ලංකාවට වඩිනවා. චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් ලංකාවේ පළිඟුවලට වඩා වැඩි දීප්තියක් තියෙන මේ පළිඟුව දැකලා හුඟක සතුටු වෙනවා. ඒත් ඊට පස්සේ ඇතිවෙන ගැටළුව තමා මේ තරම් විශාල පළිඟුවක් කපන්න තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබුණු එක. 

ඒ නිසා මේ පළිඟුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චූඩා මාණික්‍යය කැපීමේ ආධාරය චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විනයාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමත් එක්ක උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරලා මෝගොක් නගරයේ පළිඟු කපන ශිල්පීන්ට ඒ කාර්යය භාර කරනවා. 

පළිඟුව කපාගෙන යද්දී එක් පැත්තකින් අවශ්‍ය ප්‍රමාණය නොතිබුණු නිසා චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය ඇණ හිටිනවා. උත්සහවන්ත භික්ෂුවක් වුණු විනයාලංකාර හාමුදුරුවෝ පසුබට වෙන්නේ නැතුව ආයි පාරක් චූඩා මාණික්‍යයට අවශ්‍ය වෙන ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. 

කලින් පළිඟුව පරිත්‍යාග කරපු හතර දෙනාටම මේ පාරත් පළමු පළිඟුවටත් වඩා විශාල ප්‍රමාණයේ පළිඟුවක් ලැබිලා තිබුණා. ඒ තරම් විශාල පළිඟුවක් මීට පෙර මෝගොක් ආකරවලින් නොලැබුණු බව තමා කියවෙන්නේ. වටිනාම රුපියල් 8000 ක් පමණ වුණු ඒ පළිඟුව ඔවුන් විනයාලංකාර හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා. 

ඊට පස්සේ විනයාලංකාර හාමුදුරුවෝ පළිඟු කපන ශිල්පීන් ලවා උස අඟල් 18 ක් වට ප්‍රමාණය අඟල් 25½ වන විදිහට චූඩා මාණික්‍යයක් කප්පවනවා. මේ චූඩා මාණික්‍යයේ බර රාත්තල් 12½ ක් වුණා.

පළිඟුව කපලා අවසන් වුණාට පස්සේ ඒක නිකම්ම ලංකාවට භාර දෙන්නේ නැතුව රත්තරන් ආධාරකයක චූඩා මාණික්‍ය පිහිටවලා ඒක උඩ ධාතු කරඬුවක් කරවන්න විනයාලංකාර හාමුදුරුවෝ තීරණය කරනවා. ඒ යටතේ බුරුම බෞද්ධයන් බොහෝ දෙනා රත්තරන්, රිදී, මැණික් වගේම මුදල් මේ කටයුත්තට පරිත්‍යාග කළා. 

විනයාලංකාර හිමියන්ගෙන් මේ කටයුත්ත බාර ගත්තු මෝගොක් නුවර හිටිය ධනවත් බෞද්ධයෙක් මේ කාර්යයට අවශ්‍ය වෙන උපකරණ අලුතින්ම මිළයට අරගෙන රන්කරුවන් වගේම මැණික් කපන්නන් තමන්ගේ නිවසේ නවතාගෙන කටයුතු ආරම්භ කරනවා. 

ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ සැලැස්ම

මේ ආධාරකය රිදියෙන් වාත්තු කරලා රන් ආලේප කරලා ඒ ආධාරකය පුරාම මැණික් අල්ලලා ඒ මත චූඩා මාණික්‍යය පිහිටවලා චූඩා මාණික්‍යය මුදුනේ රත්තරනින් ධාතු කරඬුවක් නිර්මාණය කරලා ඒකත් රත්තරනින් ආවරණය කරලා ඒ මත ඉදන් සතර දිශාවට මැණික් වැල් හතරක් එන විදිහට තමා නිර්මාණය කරන්නේ. මාස 9 ක් කාලයක් මේ සඳහා ගතවෙනවා. 

මේ ස්වර්ණමය ආධාරකයේ උස අඟල් 13 ක් වෙනවා. මේ කටයුත්තට රත්තරන් රාත්තල් 12½ ක් රිදී රාත්තල් 152 ක් යොදා ගෙන තියෙනවා. ස්වර්ණමය ආධාරකයට මැණික් ගල් 4796 ක් සවි කරලා තියෙනවා. ඒ සෑම මැණික් ගලක්ම රුපියල් 25 කට වඩා වටිනාකමින් යුක්ත වුණා වගේම රුපියල් 12,000 ක වටිනාකමක් තියෙන මැණිකකුත් මේ අතර තිබෙනවා.

චූඩා මාණික්‍යය මුදුනේ තැන්පත් කරන්න විනයාලංකාර හාමුදුරුවෝ සර්වඥ ධාතූන් වහන්සේලා එකුන් දස නමක් [9] සූදානම් කරගෙන තබාගන්නවා. ධාතු කරඬුව සවිකරන්න බලාපොරොත්තු වුණු දවසේ ඒක කරන්න බැරිවුණු නිසා පසුවදා ඇවිත් ඒ සඳහා ධාතු තැන්පත් කරලා තිබුණු භාජනය විවෘත කළාම සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක් දැකගන්න පුලුවන් වෙනවා.  මේ සියල්ලමත් චූඩා මාණික්‍යය මුදුනේ තිබෙන ධාතු කරඬුවේ විනයාලංකාර හාමුදුරුවෝ තැන්පත් කරනවා. 

ශ්වේදගොන් චෛත්‍යය

අවසානයේදී නිර්මාණ කටයුතු නිමා කරපු ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය මෝගොක් නුවර ඉදන් විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනුවරට වැඩම කරවලා රැන්ගුන් නුවර පිහිටි ශ්වේදගොන් චෛත්‍යය සමීපයේ තිබෙන ගොඩනැගිල්ලක තැන්පත් කරලා බුරුමයේ ජනතාවට ප්‍රදර්ශනය කරනවා.

පස්සේ බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා වුණු ශ්‍රීමත් Archibald Douglas Cochrane විසින් රාජකීය භාණ්ඩයක් විදිහට මේ චූඩා මාණික්‍යය 1940 දී ලංකාණ්ඩුකාර ශ්‍රීමත් Andrew Caldecott ට විනයාලංකාර නාහිමියන් සහ බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා තුන් නමකුත් රුවන්මැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න බුරුම ශිල්පීන් පිරිසකුත් සමඟ පිටත් කර හරිනවා.

1940 මාර්තු 4 වෙනිදා මේ පිරිස ලංකාවට සැපත් වෙනවා. ඒ සමඟම රතු මැණික් කැට එබ්බවූ රිදී මල් බඳුනක්, ආධාරකයක් සහ වැස්මක් සහිත රිදී පාත්‍රයක්, චූඩා මාණික්‍යය වැසීමට වීදුරු ආවරණයක්, දළදාව ආවරණයට වීදුරු ආවරණයක් පරිත්‍යාග වශයෙන් බුරුමයෙන් ලංකාවට හිමිවෙනවා.

දෙමටගොඩ මකුටාරාමයේදී ප්‍රදර්ශනයට චූඩා මාණික්‍යය තබලා පසුව අනුරාධපුරය බලා වැඩම කරවනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජූනි 17 වෙනිදා පැවැත්වෙන රුවන්මැලි මහා සෑයේ කොත් වහන්සේ පැළැඳවීමේ පිංකමේදී බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ රුවන්මැලි මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්.

මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා. 

2011 වසරේදී ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය පිළිසකර කිරීමෙන් පසු

වසර 70 කට විතර පස්සේ මේ ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ පිළිසකර කිරීම් පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැල්පොල රාහුල හාමුදුරුවෝ විසින් සිදු කරලා 2012 මාර්තු 11 වෙනිදා ඒ කටයුතු නිමා කරනවා. 

පිළිසකර කිරීම් සිදුකළ ආකාරය

ඒ දවසේ නොමිලේ බෙදා හැරුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ  රචනා කරපු චූඩාමාණික්‍ය වර්ණනාව කියන සටහනෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.  

ඒ සමඟම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ රචනා කරපු "රුවන්මැලි මහා සෑය" ග්‍රන්ථයත් බෙදා හැරියා. ඒ කෘතිය මේ සබැඳියෙන් ගිහින් භාගත කරගන්න පුලුවන්. [මෙය ලබාදුන් ටිරාජ් අධිකාරි අයියාට පිං]

රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්න මෙතනින් යන්න.

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)

Wednesday, August 1, 2012

A/L results ආවට පස්සේ මෙහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා


අගෝස්තු මාසෙත් පටන් ගත්තා. ලබන සතියේ ඉදන් අ.පො.ස. උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ළමයෙක් මූණ දෙන තීරණාත්මකම විභාගය ආරම්භ වෙනවා. ඉතින් ගිය සතියේ මම කියපු "සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ" කතාව කියවලා අපේ නංගිලා මල්ලිලා යමක් හිතට ගත්තා නම් හොඳයි [මේ විභාගේ කටේ මොන බ්ලොග් කියවිලිද. ඒත් කමක් නැහැ කවුරු හරි ඒකෙන් ආදර්ශයක් ගන්න ඇතිනේ] 

මේත් ඒ වගේම මට හිතෙන විදිහට නම් ඊටත් වඩා ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.

ළඟදී දවසක මට facebook chat එකකට වුණා අපේ ඉස්කෝලේ යාලුවෙක්ව. මිනිහත් මම වගේම A/L වලට Arts subjects කළේ. ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමයෙක් විදිහටත් අනිත් විදිහටත් ගන්න පුලුවන් උපරිම fun එක ඌ ගත්තා. ඒ ගැන අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ. හැබැයි ඌ මොනවා කළත් හිතේ එකක් කටේ එකක් නැහැ. හිත හොඳ එකා. 

මිනිහා සාමාන්‍ය විදිහට A/L පාස්වෙලා ඊට පස්සේ CINEC එකට ගියා. ඒකේ කටයුතු හමාර කරලා තමා දැන් නැවක වැඩ කරන්න set වෙලා ඉන්නේ. 

 යාලුවා වැඩ කරන නැව

ඌ කිව්ව විදිහට උන්ගේ නැව චීනෙන් පිටත් වෙලා ශාන්තිකර සාගරය හරහා ඇවිත් පැනමා ඇලෙන් මැක්සිකෝවෙන් කොළොම්බියා පැත්තෙන් ආයි ඉන්දියන් සාගරය හරහා චීනෙට බඩු අරන් යනවා. කන්ටේනර් 4000 ක් විතර පටවන්න පුලුවන් ලොකු නැවක්ලු ඒක.

මගේ යාලුවයි මායි අතර ගිය කතාවේ වැදගත්ම කොටස් ටිකක් තමා මේ දැන් කියන්න යන්නේ..... 

මේ ජොබ් එකේ ලෙසටම කට්ට මචං. වැඩ තියෙනවා බරටම. උඹලට නම් මොනවා කලත් කොහේ ගියත් හවසට ගෙදර ඇවිල්ලා, අම්මා උයපු දෙයක් කාලා නිදිය ගන්න පුලුවන්නෙ. ඒත් අපිට නම් රැයක් දවාලක් නෑ, අව්ව වැස්ස නෑ වැඩ වැඩ. 

උඹලටනම් ආතල් වගෙ නේද? අඩෝ උඹගේ කැම්පස් ෆොටෝ දකිනකොට අවංකවම ඉරිසියත් හිතෙනවා බන්. අපි කවුරුවත් පේන්න නැති මුහුද මැද්දේ කන පැලෙන්න ගහල ඉන්නව. 

ඇත්තටම ඔය ටික කලින් තේරුනා නම් ඉගෙනගන්න තිබ්බා බන්. ඉස්කෝලේ කාලේ වගේ එකක් නම් ඉතින් ආයේ එන්නේ නෑ බන්. මුහුද මැද්දෙදී ඕවා මතක් වෙනකොට ආපහු ගෙදර එන්න හිතෙනවා.

අපෙ එවුන් එක්ක කසිප්පු බිව්වත් සැපයි බන් පිස්සු සේලර්ස්ලා ටිකක් එක්ක රම් බොනවට වඩා. හැබැයි අපරාදේ කියන්ඩ බෑ මේ ජොබ් එක නම් අපි වගෙ එවුන්ටම සෙට් වෙන ජොබ් එකක්...........

කතාවේ තැනින් තැන bold කරලා තියෙන්නේ මට නම් හොඳටම හිතට වැදුණු තැන්. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැනේ. පසුතැවෙන්න සිද්ධවෙන වැඩ කරන්න ඕනේ නැහැනේ....  


ඒක නිසා A/L හරියට ගොඩ දාගන්න. 

ප.ලි.: මෙතන කතාව සාපේක්ෂ එකක්. සමහර විට කැම්පස් එකට ගිහින් ස්ට්‍රයික් නිසා මාස ගණන් ගෙදරට වෙලා ඉන්නවාට වඩා මෙහෙම ජොබ් එකකට ගිහින් ලෝකේ බලන්න පුලුවන් වෙන එක හොඳයි කියලා කාට හරි හිතෙන්න පුලුවන්. 

ඒත් මේ කතාවෙන් මම කියන්න උත්සහ කළේ ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්නේ නැතුව පස්සේ දුක්වෙන්න තියාගන්න එපා කියන එක මගේ යාලුවාට සාපේක්ෂව

විශේෂයි : කතාවෙන් ආදර්ශ ගැනීමේදී කසිප්පු බීම, රම් බීම වැනි දේවල් තුළින් ආදර්ශ නොගන්න ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි :D

Sunday, July 29, 2012

රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු සමාජය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. 

උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ඒ වගේමයි සමහර භික්ෂූන් ඒ කාලේ දිසාවේ පදවි පවා දරලා තිබෙනවා.

ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක තමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ඇවෑමෙන් එතුමාගේ අග බිසවගේ සොහොයුරා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ. 

උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා. 

 සියම් රට

ඒ අනුව වැලිවිට සරණංකර සාමණේරයන්ගේ උපදෙස් පරිදි 1750 දී විල්බාගෙදරරාලගේ නායකත්වයෙන් දූත පිරිසක් සියම් රටට යවලා සියම් රටෙන් උපසම්පදා විනය කර්මය සිදුකරන්න භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙරටට වැඩම කරවනවා. 

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් රටෙන් වැඩම කළ මහ තෙරවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1753 ඇසළ පොහොය දිනයේදී ලංකාවේ නැවත වරක් උපසම්පදා විනය කර්මය සිදු කරනවා. ඒ යටතේ වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් උපසම්පදාව ලබාගන්නවා.

ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් සරණංකර හිමියන්ගේ ඉටු කරපු කාර්යය අගය කරන්න වගේම ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලනය කරන්න සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමනවා. ඒ වගේමයි ඊට පස්සෙත් සංඝරාජ හිමියන්ගේ උපදෙස් පරිදි වෙහෙර විහාර රාශියක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරවනවා

සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනැමීම

අද කතාවත් එක්ක සම්බන්ධ වෙන  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සමය වැළඳගෙන  හිටියත් තමන්ගේ මුල් ආගම වුණු හින්දු ආගමේ චාරිත්‍ර අත්හැරිය බවක් පේන්න තිබුණේ නැහැ.

ඒක ඉතා හොඳින් අනික් අයටත් දැකගන්න පුලුවන් වුණේ රජතුමා සිරිත් පරිදි දිනපතාම ශුද්ධ වූ අළු ආලේප කරගෙන රාජ සභාවට පැමිණෙන එකෙන්. මේ සම්බන්ධව සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කීප වරක්ම රජතුමාට අවවාද කරපු බවත් කියවෙනවා.

රජතුමාත් නළලේ අළු ගාගෙන ඉන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති

මේ විදිහට රජතුමා හින්දු චාරිත්‍රවලට ඇබ්බැහි වුණු නිසා රජතුමාට විරුද්ධව රජතුමා මරා දමන්න  කුමන්ත්‍රණය කෙරුණු බව තමා ශාසනාවතීර්ණ වර්ණනාව කෘතිය කියන්නේ. අවසන් ප්‍රතිඵලය වුණේ 1760 දී රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය දියත් වුණු එක.

මේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණේ  රජතුමාගේ දෙවෙනි  අදිකාරම්වරයා වුණු සමනක්කොඩි. මෙවැනි කුමන්ත්‍රණයක් කරන්න ඔහු පෙළඹුනේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලයේ ඔහුට තිබුණු බලය හා පිළිගැනීම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී නොතිබුණු නිසා.
 
ඒ හැරෙන්න රජතුමාගේ බත් වඩන නිලමේ වුණු මොලදණ්ඩේත් කුමන්ත්‍රණයේ මූලිකයෙක්. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වුණේ රජතුමාව මරා දාලා ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට උපසම්පදාව පිහිටුවන්න ආපු භික්ෂු කණ්ඩායමක පැවිදි වෙලා හිටිය සියම් රාජ කුමාරයෙක්ව රාජ්‍යත්වයට පත් කරන එක. 

රජතුමාව මරා දමන සැලැස්ම ක්‍රියාත්මක වුණේ මේ විදිහට. ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට වැඩම කරලා හිටිය විදර්ශනාචාරී භික්ෂූන් වහන්සේ නමක්ගේ මල්වතු විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න එන්න කියලා මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවන් වුණු මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් රජතුමාට ආරාධනා කළා.

 මල්වතු මහා විහාරය

රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා. ඒක අපහසු නොවෙන්නේ  කුමන්ත්‍රණයේ මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් වුණු නිසා. මල්වතු මහ නාහිමියන් හරහා මේ කුමන්ත්‍රණය ගැන සරණංකර සංඝරාජ හාමුදුරුවන්වත් දැනුවත් කරන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුලුවන්

ඒත් මේ සැලැස්ම අස්ගිරි විහාරයේ හිටිය යටවත්තේ නම් භික්ෂූන් වහන්සේට දැනගන්න ලැබුණා . උන්වහන්සේ කළේ මේ ගැන රජ ගෙදර හිටිය ගෝපාල මුදියන්සේ කියන රජතුමාට හිතවත් නිලධාරියාට දැනුම් දීපු එක. පස්සේ ගෝපාල මුදියන්සේ හරහා මේ ගැන රජතුමාටත් ආරංචි වෙනවා.

රජතුමා කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ධර්ම දේශනා පිංකමට සහභාගි වුණා. ඒත් තමන්ට වාඩි වෙන්න සකස් කරලා තිබුණු ආසනයේ වාඩි නොවුණු රජතුමා හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මාසනාරූඪ හාමුදුරුවන්ට පිරිකරත් පූජා කලා. පස්සේ තමන්ගේ අතේ තිබුණු ජය කොන්තයෙන් වාඩිවෙන්න සකස් කරලා තිබුණු පුටුවට ඇන්න ගමන් පුටුවත් කඩාගෙන වැටිලා බොරු වළ පේන්න වුණා. යකඩ උල් ගලවලා වළ පස් දාලා වහන්න කියලා නියම කරපු රජතුමා මාළිගාවට පිටත් වුණා

තමන්ට ලැබුණු ආරංචියේ සත්‍යතාව ඒ විදිහට දැනගත්තු රජතුමා මාළිගාවට පිටත් වෙලා සරණංකර සංඝරාජ හිමියන්වත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්වත් කුමන්ත්‍රණයට සම්බන්ධ රදළයන්වත් තමා හමුවට ගෙන්නුවා.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

ඉස්සෙල්ලාම රජතුමා සංඝරාජ හාමුදුරුවන්ගෙන් ඇහුවා "මොකක්ද ඒ අමුතු පිංකම ?" (රජතුමා මරන්න කරපු කුමන්ත්‍රණය) කියලා. ඒත් සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම තමා ඉන්නේ.

රජතුමා නැවත නැවත නැවතත් ප්‍රශ්න කරන නිසා අන්තිමට සංඝරාජ හාමුදුරුවෝ පිළිගන්නවා තමන් ඒ අමුතු පිංකම ගැන කලින්  දැනගෙන හිටියා කියලා.

කෝපයට පත්වෙන රජතුමා ඊළඟට  අහනවා "එහෙම නම් ඇයි මට ඒ ගැන කලින් නොදැන්නුවේ ?" කියලා.

ඒ වෙලාවේ වහන්සේගේ අතේ ඇඟිල්ලක් පෙන්වලා සංඝරාජ හාමුදුරුවෝ කියනවා "දේවයන් වහන්ස, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි ඉන්න පණුවා මැරෙන නිසා. මම ඒතරම්ම පර පණ නසන්නට බිය ඇත්තෙමි. ඉදින් මම මේ සිද්ධිය ගැන ඔබට කිව්වා නම් ජීවිත කීයක් වැනසෙන්න තිබුණාද?" කියලා.

පස්සේ රජතුමා අහනවා "එහෙම නම් මම මැරුණොත් හොඳද?" කියලා

ඒකට සරණංකර හාමුදුරුවෝ කියන්නේ "නොකී නිසා එයට මට වැරැද්දක් නැහැ" කියලා

රජතුමා ආයි අහනවා එවිට "තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද?" කියලා.

සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම හිටිය නිසා හුඟක් කෝපයට පත්වෙන රජතුමා අන්තිමට කියනවා "වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියලා ලෝක ශාසන දෙකම නසාපි" කියලා.

මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා

අවසානයේදී සංඝරාජ හිමියන්ව දුම්බර ප්‍රදේශයේත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ව කුරුණෑගලත් හිර කරලා තියන්න රජතුමා නියෝග කරනවා. මේ සිද්ධියට මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම්ව හිස ගසා මරා දමන්නත් මේකට සම්බන්ධ වුණු මොලදණ්ඩේ  නිළමේ ප්‍රමුඛ අනෙක් රදළයන්ව උල තබා මරා දමන්නත් රජතුමා නියෝග කරනවා.

සමනක්කොඩිගෙන් මරාදැමීමෙන් හිස්වුණු දෙවෙනි අදිකාරම් තනතුරට පිළිමතලව්වේ පත් කරන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ වගේමයි තමන්ගේ ජීවිතය බේරාදුන්නු ගෝපාල මුදලිට මොලදණ්ඩේ  නිළමේ සතුවුණු ඉඩකඩම් පවරා දෙන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ බව 1760 දී රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලිට ප්‍රදානය කරපු ගැටබේරිය සන්නසේ සඳහන් වෙනවා.

සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]

මේ ගෝපාල මුදලි ගැනත් යමක් කිව්වොත් ගැටබේරිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම්  මනුස්සයෙක් වුණු මෙයා අග බිසවට තිබුණු උදරාබාධයකට සාර්ථකව ප්‍රතිකාර කරපු නිසා විරුද නාමයත් එක්ක බෙහෙත් ගෙයි මුහන්දිරම් ධූරයට රජතුමා විසින් පත් කරලා තිබුණා.

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියම් භික්ෂූන්ටත් දඬුවම් කරන්න රජතුමා තීරණය කළත් මීගස්තැන්නේ නිළමේගේ ඉල්ලීම නිසා රජතුමා දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නැතිව ඒ භික්ෂූන්ව මහනුවරින් පිටුවහල් කරවනවා. සියම් රාජ කුමාරයාව සියම් රටට පිටුවහල් කරන්න ලන්දේසීන්ටත් භාර කරනවා.

නැවත වරක් සංඝරාජ හාමුදුරුවන්ට මහනුවරට කැඳවන්නේ සන්නාසියෙක් ඇවිත් කියපු ගාථාවේ තේරුම වටහා ගන්න රජතුමා ඇතුළු රාජ සභාවේ කාටවත් බැරිවුණු නිසා. සංඝරාජ හාමුදුරුවෝ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීමත් එක්ක සතුටට පත්වෙන රජතුමා තමන් අතින් සිදුවුණු වැරැද්දට සංඝරාජ හිමියන්ගෙන් සමාව ගත්තු බවත් කියවෙනවා.

 සංඝරාජ පදවිය වෙනුවෙන් රජු විසින් සරණංකර හිමියන්ට පිරිනැමූ විජිනිපත

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට මූලිකම හේතුව වුණේ තමන් නළලේ අළු ගෑම නිසා බව දැනගෙන රජතුමා ඒ සිරිත අත් හැරියා වගේම ඒ වෙනකම් අළු ගාලා පුස්කොල පොත් මැදීම පවා නවත්තලා කහවලින් පුස්කොළ පත් ඉරු මදින්න පටන් ගන්න කියලා උපදෙස් දුන් බවත් කියවෙනවා.

මේ කතාවත් එක්ක කියන්න ඕනේ වැදගත් තවත් කතාවක් තමා රජතුමාව ඝාතනය කරන්න භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මේ මුල්ම පාරට නෙමේ කියන එක.

මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න කුමන්ත්‍රණය කරනවා.

ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා. 

පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...

වැලිවිට සරණංකාර සංඝරාජ කෞතුකාගාරය ගැන දැනගන්න මෙතනින් යන්න

මේ සටහන ලියන්න විස්තර හොයාගත්තේ කොටගම වාචිස්සර හිමියන් විසින් රචනා කළ සරණඞකර සඞඝරාජ සමය කෘතිය සහ ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය.