පසුගියදා අපවත් වුණු මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ පිළිබඳ බොහෝ දෙනා බොහෝ දේ මේ දිනවල කතා කරනවානේ. ඒ නිසා ඒ පිළිබඳ ආයේ අමුතුවෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ.
ඒත් බොහෝ දෙනාට මේ වෙද්දී දැනගන්න අවශ්‍ය වෙලා තියෙන ඒ වගේම දැනගත යුතු කරුණු කීපයක් පිළිබඳ කතා කරන්නයි කාලෙකට පස්සේ මේ සූදානම. ඒ තමා අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියේ පුරප්පාඩුව සිදුවීම සහ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා කීපය ගැන. මේ කරුණු කීපය මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයට විතරක් නෙමේ මල්වතු පාර්ශවයටත් පොදු වෙන බවත් මුලින්ම කියන්න ඕනේ.
මහානායක පදවියේ ආරම්භය පිළිබඳ සුළුවෙන් යමක් කිව්වොත් අස්ගිරි මල්වතු උභය පාර්ශවය ආරම්භක කාල වකවානුවේ ඉදන්ම ගණනායක නමින් හැඳින්වෙන නායක පදවියක් තිබුණු බවට සාදක හමුවෙනවා. ඒත් කීර්ති ශී්‍ර රාජසිංහ රජතුමාගේ මැදිහත්වීමෙන් වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් විසින් සියම් උපසම්පදාව ලංකාවේ පිහිටුවන්න කටයුතු කිරීමත් එක්ක රජතුමා වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමනවා.
ඒ වගේමයි සියම් උපසම්පදාව ලබපු මල්වතු පාර්ශවයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශවයේ මහානායක පදවියත්, අස්ගිරි පාර්ශවයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හිමියන්ට අස්ගිරි පාර්ශවයේ මහානායක පදවියත් රජතුමා විසින් පිරිනමනවා. එදා පටන් තමා මල්වතු අස්ගිරි උභය විහාරයේ මහානායක පදවි පැවත එන්නේ. මේ සඳහා ගෞරවනීය යෙදුමක් විදිහට "මහ පදවිය" කියලත් භාවිත වෙනවා.
දැන් නැවතත් අපේ කතාවට ආවොත් අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේ නමක් අපවත් වීමත් එක්ක රැස්වෙන සංඝ සභාව රාජකාරි කීපයක් කරනවා (මේ සංඝ සභාව ගැන ඉදිරියේදී කතා කෙරෙන නිසා දැන් මුකුත් කියන්නේ නැහැ) මුල්ම වගේම වැදගත් කාර්යය තමා දියවඩන නිලමේතුමාගේත් සහභාගීත්වයෙන් අස්ගිරි මහනාහිමියන් භාරයේ තිබුණු දළදා කරඬුවේ රන් යතුර අනුනායක හිමියන්ට හෝ වෙනත් වගකිව යුතු කාරක සංඝ සභික හිමිපාණන් වහන්සේ නමකට භාර දෙන එක.
මීළ`ගට මහනායක හිමියන්ගේ අපවත්වීම පිළිබඳ මල්වතු මහනාහිමියන්ට දැනුම්දීම සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන එක සිද්ධ කරනවා. ඊට පස්සේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු සාකච්ඡා කෙරෙනවා. රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන මේ ආදාහන පූජෝත්සවයේදී ප්‍රධානත්වය ගන්නේ මල්වතු පාර්ශවයේ අනුනාහිමියන් (අපවත් වුණේ මල්වතු මහනාහිමියන් නම් ප්‍රධානත්වය ගන්නේ අස්ගිරි අනුනාහිමියන්)
ඉන්පස්සේ අපවත් වුණු මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරලා අවසන් වෙලා මහානාහිමියන් වැඩ සිටිය අස්ගිරි විහාර සංකීර්ණයේ තිඛෙන පන්සලට (අපවත් වුණු මහානාහිමියන් වැඩසිටියේ උඩුගම පන්සලේ) රැස්වෙලා සත් දවසේ මතක බණ සහ දානමය පිංකම පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂ කරුණක් තමා සත් දවසේ මතක බණ සඳහා වැඩම කරන ධර්ම දේශකයාණන් වහන්සේ වැඩම කරවන්නේත් මල්වතු මහා විහාරයෙන් වෙන එක. (මල්වතු මහානාහිමියන්ගේ අපවත් වීමකදී වැඩම කරවන්නේ අස්ගිරි පාර්ශවයෙන්)
මේ පිංකම් සියල්ල සිදුකරලා නිමාවීමෙන් පස්සේ සති තුනකින් පමණ අනුනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වයෙන් පොහොය ගෙයට රැස්වෙන කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා අපවත් වුණු මහානායක හිමියන්ගේ ශාසනික, ජාතික සේවය පිළිබඳ ඇගයීමක් සිදුකරලා උන්වහන්සේට පිං අනුමෝදන් කරනවා. ඊට පස්සේ අභිනව මහානායක හිමිපාණන් වහන්සේ පත්කරගන්න දිනයක් නියම කරගන්නවා.
මින් පස්සේ අභිනව මහනායක පදවිය සඳහා තමන්ගේ සුදුසුකම් ඇතුළත් කරලා කාරක සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලාට පමණක් අයදුම්පත්‍ර යොමුකරන්න පුලූවන්. දැන් මේ කාරක සංඝ සභාව පිළිබඳ කතා කළොත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මල්වතු අස්ගිරි උභය විහාර මහානායක හිමිවරුන් පත්කරපු දවසේම තමා කාරක සංඝ සභා ඇතිකිරීම සිද්ධ වෙන්නේ (ඊට පෙරත් මේ ආකාරයේ සංඝ සභා නොතිබුණා නෙමේ). මහානායක හිමියන්ගේ කටයුතු සඳහා සහයෝගය ලබාදීම තමා කාරක සංඝ සභාවෙන් සිද්ධ කරන්නේ. මේ කාරක සංඝ සභාව විංශත්වර්ගික රාජුපස්ථානීය පරමධර්ම සභාව නමින් තමා හඳුන්වන්නේ.
වර්තමානයේ මෙම කාරක සංඝ සභාවේ සාමාජිකයන් ගණන 20 යි. මහනායක හිමියන්, අනුනායක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 18 නමක් තමා මේ කාරක සංඝ සභාවට අයත් වන්නේ. කාරක සංඝ සභාවට පත්වෙන්නෙත් වියත්, බහුශ්‍රැත, පෞරාණික සංඝ පරම්පරාවකට අයත් වන වැඩිමහලූ භික්ෂූන් වහන්සේලා. කාරක සංඝ සභාවේ පුරප්පාඩු ඇතිවන්නේ අපවත් වීමකින්. එතකොට කාරක සංඝ සභාවේ එක`ගත්වයත් මහනාහිමියන්ගේ අනුමැතියත් ඇතිව තමා පුරප්පාඩු පිරවීම සිදුවෙන්නේ.
ඉතින් පැහැදිලියිනේ කාරක සංඝ සභාවට පත්වෙන්නේ විහාර පාර්ශවයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නායක හිමිපාණන් වහන්සේලා කියන එක. ඉතින් මහානායක පදවියට කාරක සංඝ සභාවේ සාමාජිකත්වය දරණ හිමිපාණන් වහන්සේලා අයදුම් පත්‍රය යොමු කරද්දී ඒකට තමන්ගේ සුදුසුකම් ආදිය, තමන් වහන්සේ මහානාහිමි පදවියට පත්වුවහොත් සිදුකරන කාර්යය, තමන්වහන්සේ සිදුකර තිඛෙන ශාසනික, ජාතික සේවාව ආදිය ඇතුළත් කරන්න ඕනේ.
ඒ වගේමයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ තමන්වහන්සේ අයිති වෙන සංඝ පරම්පරාව මොකක්ද කියන එක. අස්ගිරි මහා විහාරයේ සංඝ පරම්පරා ඇතිවෙලා තියෙන්නේ පළමුවැනි, දෙවැනි හා තෙවැනි මහානායක හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවලින්. මේ සංඝ පරම්පරා හැඳින්වෙන්නේ උන්වහන්සේලා ග්‍රාම නාමවලින්.
ඉතින් මේ සංඝ පරම්පරා තුන තමා
උරුලෑවත්තේ (පහළ පන්සල් පාර්ශවය), ඉඳවලුගොඩ (මැද පන්සල් පාර්ශවය) සහ පොතුහැර (පහළ පන්සල් පාර්ශවය) කියන සංඝ පරම්පරා. මේ එක එක සංඝ පරම්පරාවලට අයිති පන්සල් තියෙනවා.
දැනගැනීම පිණිස ඒවාත් කිව්වොත්
උරුලෑවත්තේ සඟ පරපුරට ගලගෙදර, ගුන්නෑපාන, යටවත්ත, උරුලෑවත්ත, ගොඩමුන්නේ, උකුවෙල, මුල්ලේගම හා අරත්තන කියන පන්සල් ටික අයිති වෙනවා.
උරුලෑවත්තේ සඟ පරපුරට ගලගෙදර, ගුන්නෑපාන, යටවත්ත, උරුලෑවත්ත, ගොඩමුන්නේ, උකුවෙල, මුල්ලේගම හා අරත්තන කියන පන්සල් ටික අයිති වෙනවා.
ඉඳවලුගොඩ සඟ පරපුරට ආදාහන මළුව පන්සල, තලගහමුල, මැද පන්සල, වැල්ලව, නාථ දේවාල පන්සල, අස්ගිරි මහා විහාර පිරිවෙන හා යටවර කියන පන්සල ටික අයිති වෙනවා.
පොතුහැර සඟ පරපුරට පොතුහැර, මඩුගල්ලේ, උඩුගම හා ලේනාවල කියන පන්සල ටික අයිති වෙනවා (අපවත් වුණු මහානායක හාමුදුරුවෝ පොතුහැර සඟ පරපුරේ උඩුගම පන්සලේ) මේ සඟ පරම්පරාවල වැදගත්කම තමා මහානායක සහ අනුනායක පදවි හිමිවෙන්නේ මේ සඟ පරම්පරාවල භික්ෂූන් වහන්සේලාට පමණක් වීම.
අස්ගිරි මහා විහාර පොහොය ගෙය
මීළඟට අභිනව මහානාහිමියන් පත් කරගන්න කාරක සංඝ සභාව නියම කරගත්තු දවසක පොහොය ගෙට රැස්වෙනවා. මුලින්ම කාරක සංඝ සභාව සිදුකරන්නේ මහනාහිමියන්ගේ අපවත්වීමෙන් කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවිය අහෝසි වෙලා තියෙන නිසා කාරක සංඝ සභාවේ එකඟත්වයෙන් තාවකාලිකව සභාවේ කටයුතු පවත්වා ගෙන යන්නේ සභාපති හිමිනමක් සහ ලේඛකාධිකාරී හිමිනමක් පත්කරගන්න එක. මීට පස්සේ මහානායක ධූර අපේක්ෂක කාරක සංඝ සභිකයන් විසින් අයදුම්පත්‍ර සභාපති හිමියන්ට ලබා දෙනවා.
මේ අවස්ථාවේදී කාරක සංඝ සභාවේ ඒකච්ඡන්දයෙන් මහානායක හිමියන් පත්කරගන්න එක සභාපති හිමියන්ගේ වගකීම. ඒ නිසා අයදුම්කරුවන් කීප දෙනෙක් ඉද්දී නැවත වරක් සිතා බලා එක් අයෙක් ඉදිරිපත් වෙන්න කියලා ඉල්ලා සිටීම සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ නැත්නම් සඟමහලු පිළිවෙලට ලැබුණු අයදුම්පත්‍ර කියවීම සිදුකරලා ඡන්ද වීමසීමක් සිදුකරන්න කටයුතු කරනවා.
ඒ අවස්ථාවේදී පොහොය ගෙයි ප්‍රධාන බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තිඛෙන මේසයේ තීරුවලට ඛෙදපු හිස් කඩදාසියක අයදුම්කරුවන්ගේ නම් ලියලා තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් අත්සන් කරන්න කියලා ලේකම් හිමියන් විසින් ඉල්ලා සිටිනවා. එහිදී එක් ඡන්දයක් පමණක් කාරක සංඝ සභිකයන්ට හිමිවෙනවා. බුදු පිළිමය ඉදිරියේ මේ කටයුත්ත සිදුකිරීමෙන් බුදුන්වහන්සේ හා ධර්ම විනය සාක්ෂි කොටගෙන කටයුතු කළ බව සංකේතවත් කරනවා.
ඒකෙනුත් සම ඡන්ද ලැබිලා මහානායක හිමිනමක් පත්කරගන්න අපහසු නම් සම ඡන්ද ගත්තු අපේක්ෂකයන් දෙනම අතර එකඟතාවක් ඇතිකරලා ඒක ලිඛිත ප්‍රකාශයක් බවට පත්කරලා සභා සම්මත කිරීමෙන් මහානායක පදවිය සඳහා භික්ෂූන් වහන්සේ නමක් තෝරාගැනෙනවා. සභාපති හිමියන් විසින් අභිනව මහානායක හිමියන්ගේ නම ප්‍රකාශයට පත්කිරීමෙන් පස්සේ අභිනව මහනාහිමියෝ සූදානම් කරලා තිඛෙන පිච්ච මල් වට්ටිය ප්‍රධාන බුදුපිළිම වහන්සේට පූජා කරනවා.
අස්ගිරි විහාර පොහොයගෙයි අභ්‍යන්තරයේ මහනාහිමියන් සහ කාරක සංඝ සභිකයන් වැඩ සිටින අන්දම
ඊට පස්සේ කාරක සංඝ සභාවේ සිටින තමන්වහන්සේට වඩා වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාට නමස්කාර කරන අභිනව මහනාහිමියෝ වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියන් අනුස්මරණය කරන ශෛල ස්ථම්භයට පිටදීලා වාඩිවෙන්න තියෙන මහානායක හිමියන්ගේ අසුනට වැඩම කරලා කෙටි අනුශාසනාවක් සිදු කරනවා. ඉන් පස්සේ සියලූ දෙනා වහන්සේම අභිනව මහනාහිමියන්ට සෙත් පිරිත් සජ්ඣායනය කරලා ආශිර්වාද කරනවා.
මේ කාර්යයෙන් පස්සේ කාරක සංඝ සභිකයන් සමග සේසත් මුරායුධ සහිත පෙරහැරකින් පොහොයගෙය පැදකුණු කරන අභිනව මහානායක හිමියන් තමන්වහන්සේගේ ආරාමයට වැඩම කරවලා සියලූ දෙනා වහන්සේට ගිලන්පස පූජාවක් පවත්වනවා. ඒ දවසේම සවස් භාගයේදී දළදා මාළිගාවට වැඩම කරවලා දළදා වහන්සේට වන්දනා කිරීමත් අභිනව මහානායක හිමියන් සිදුකරනවා.
අභිනව මහානායක හිමියන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අස්ගිරි මහානාහිමියන්ට පූජා කළ සධාතුක කරඬුව, දළදා කරඬුවේ රන් යතුර, පිරිත්හුය, පිරිත් පොත් වහන්සේ, ඇත්දත් වටාපත සහ කාම්බෝජ සිවුරු කට්ටලය කියන මහානායක පදවියට හිමි භාණ්ඩ ලබාදීමත් සිද්ධ වෙන වැදගත් කාර්යයක්.
මීළඟට සිදුවෙන වැදගත් කාර්යය තමා අභිනව මහනාහිමියන් පිළිබඳ මල්වතු පාර්ශවයට නිල වශයෙන් දැනුම් දෙන්න අනුනාහිමියන් සහ සංඝ සභාවේ කීප නමක් දැහැත් වට්ටිද සමග පෙරහැරින් මල්වතු මහා විහාරයට පිටත් කෙරෙන එක. මේ අවස්ථාව වෙද්දී මල්වතු මහනාහිමියන් ඇතුළු මල්වතු මහා විහාර කාරක සංඝ සභාව පොහොය ගෙයි රැස්වෙලා ඉන්නේ. පිරිස සාදරයෙන් පිළිගන්න ගිලන්පස පූජා කිරීමෙන් පසුව මල්වතු මහානාහිමියන්ට සුභ පණිවුඩය ලබාදීම සිදුකෙරනවා.
අභිනව මහානාහිමියන්ට දීර්ඝායුෂ පතන මල්වතු මහනාහිමියන් සුභාශිංසනය එක්කරනවා. ඊට දින කීපයට පස්සේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් ඇතුළු දූත පිරිසක් දැහැත් වට්ටිත් අරගෙන පෙරහැරින් අස්ගිරි විහාරයට වැඩම කරලා අභිනව මහනාහිමියන්ට සුභ පැතුම් එක් කරලා ආශිර්වාද කිරීම සිද්ධ කරනවා.
මේ කාර්ය පටිපාටියේ අවසන් වැදගත් කාර්යය තමා අභිනව මහානායක හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිරිනමන එක. කාරක සංඝ සභාවේ තාවකාලික සභාපති වශයෙන් පත්කෙරුණු හිමියන් විසින් අත්සන් තබන අභිනව මහානායක හිමියන්ගේ ශ්‍රී සන්නස් පත්‍රය දිස්ත්‍රික් ලේකම් මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත පිටත් කෙරෙනවා. එතුමන් විසින් අත්සන් කරලා රාජ්‍ය මුද්‍රාව තබපු සන්නස් පත්‍රය රාජ්‍ය උත්සවයක් මඟුල් මඩුවේ පවත්වලා අභිනව මහානායක හිමියන් වෙත ජනාධිපතිතුමා විසින් පිරිනමනවා.
මේ අවස්ථාවෙන් පස්සේ කාරක සංඝ සභාවත් සමග දළදා වහන්සේ වන්දනා කරන අභිනව මහානායක හිමියන් මහ පෙරහැරින් අස්ගිරි ගෙඩිගේ විහාරයට වැඩම කරවලා වන්දනා කිරීමෙන් පස්සේ අස්ගිරි පොහොය ගෙට වැඩම කරවනවා. එහිදීත් අභිනව මහානාහිමියන්ට ආශිර්වාද පිරිත් සජ්ඣායනය කිරීමක් සිද්ධ වෙනවා.
මේ තමා අභිනව මහානායක හිමිනමක් පත්කිරීම පිළිබඳ විස්තරයක් සංක්ෂිප්තව.
අවසාන වශයෙන් අපවත් වී වදාළ අතිගෞරවාර්හ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ලිපිය සම්පාදනය උදෙසා කරුණු සොයාගනු ලැබුවේ ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගේ සංස්කාරකත්වයෙන් ප්‍රකාශයට පත් කෙරුණු සත්සිය වස් සපිරි අස්ගිරි මහා විහාරය කෘතියෙනි.
හරිම වටිනා ලිපියක් ඔබට ස්තුතියි . මී ළඟ මහා නායක පදවිය කරදරයක් නැතුව ශාසනයට අපකීර්තියක් නොවී අසමගියකින් තොරව සම්මත කර පත් කරගැනීමට හැකිවේවායි පතනවා. සිරීපාදේ නායක පදවියට පත් වීම සිදුවු ආකාරය ගැන කවුරුත් කතා කළේ නෑ. ඒත් ඒක පිළිකුල් සහගත අපකීර්තිමත් පුවතක් වුනා. ඒ හින්දයි වේදනාවෙන් යුතුව මෙහෙම පැතුමක් පතන්න සිදුවුනේ.
ReplyDeleteසාරිකා විචාරනී,
Deleteමීළඟ මහානායක පදවියට ගලගොඩ මහනාහිමියන් තෝරාගැනීම කිසිම අර්බුදයක් නැතුව වුණු බව දන්නවා නොවැ. ඒත් මේ වසරේදී උන්වහන්සේගේ අපවත්වීමත් එක්ක අනුනායක පදවියේ හිටිය වරකාගොඩ නාහිමියන් වගේම වේඬරුවේ නාහිමියනුත් මහානායක තනතුරට අයදුම් කළා. ඒත් අවසානයේදී වේඬරුවේ නාහිමියන් තරගයෙන් ඉවත් වුණා. සංඝ සභාවේ භේදයක් ඇති නොවෙන්න ඒ ගත්තු ක්‍රියාමාර්ගය හරි වටිනවා. අන්තිමට වරකාගොඩ හාමුදුරුවෝ මහානායක තනතුරට නිතරගයෙන් පත්වුණා. ඒ වගේමයි පුරප්පාඩු වුණු අනුනායක පදවියට කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී විදිහට කටයුතු කරපු, අපවත් වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වුණු ආණමඩුවේ හිමියන්ව පත්කළා.
අපේ උරුමයන් පිළිබඳ දුර්ලභ පුවත් රාශියක් ශාස්ත්‍රීය අගයක් ඇතිවන ආකාරයෙන් පැහැදිලි කිරීම ඉතාම අගනා මෙහෙවරක් ! හසිතට ස්තුතියි
ReplyDeleteMPP Gunasinghe,
Deleteබොහොම ස්තුතියි ඔබතුමාගේ අගය කිරීමට
ලිපිය අප හා බෙදා ගත්තාට ස්තුතියි. ඒ වගේම ඔබ යළිත් ලියන්න පටන් ගත් එකටත් සතුටුයි
ReplyDeleteධර්මය දකින්න,
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට. ඒත් ආයේ ලියන එක නම් කලින් තරම් වුණේ නැහැ කියලා පේනවනේ :D
ස්තුතියි
ReplyDeletePra Jay,
Deleteබොහොම ස්තුතියි
බොහොම හොඳ විස්තරයක්. බොහොම ස්තුතියි ඔබට.
ReplyDeleteවිචාරක - Wicharaka,
Deleteබොහොම ස්තුතියි ඔබතුමාගේ අගය කිරීමට
ඉතාම වැදගත් ලිපියක්
ReplyDeleteනාඩියා නාඩිරත්න,
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට
කාරක සංඝ සභාවේ සහ වෙනත් ස්ථානවල හිමිවරු අසුන් ගැනීමේදී මහානායක හිමියන්ට වඩා වැඩිමහලු හිමිවරු සිටියොත් සඟමහලු පිළිවෙලට නැතුව මහානායක හිමියන්ට ප්‍රමුඛ තැනක් ලැබෙනවාද ?
ReplyDeleteChanaka Munasinghe,
Deleteහොඳ ප්‍රශ්නයක් ඒක. සංඝ ශාසනයේ සඟමහලු පිළිවෙල සලකා බලන්නේ උපසම්පදාවෙන් පසු වස් ගණනින්. මොන තනතුරු ආදියට පත්වුණත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. බුද්ධකාලයේ පවා එහෙමයි. උදාහරණයක් වශයෙන් අයියට් මතක ඇති අග්‍රශ්‍රාවක සැරියුත් හාමුදුරුවෝ හැමදාම සැතපෙන්න කලින් අස්සජි හාමුදුරුවන්ගේ කුටිය දෙසට නමස්කාර කළා කියන කථාව. ඒකක් තමන්වහන්සේව සසුනට යොමු කළ තැනැත්තා වගේම ජ්‍යෙෂ්ඨයෙක් නිසා.
ඉතින් මහානායක තනතුරට පත්වුණත් උපසම්පදාවෙන් වැඩමහලු භික්ෂූන් වහන්සේලා වැඩම කරද්දී අසුනින් නැඟිටලා නමස්කාර කිරිම සිද්ධ කරන්න වෙනවා. ඒත් බොහෝ වෙලාවට වැඩිමහලු අයව ඒ තනතුරුවලට පත්වෙන නිසා වැඩි ගැටළුවක් නැහැ.
අසුන් ගනිද්දී නම් ප්‍රධාන බුදු පිළිමයේ වම්පසට වෙන්නට (ඡායාරූප්යේ තියෙන විදිහට ) තියෙන මුල්ම කණුවට පිටදීලා මහානායක හාමුදුරුවෝ අසුන් ගන්නවා. ඊට ඉදිරිපසින් තියෙන කණුව එහෙමත් නැත්නම් බුදු පිළිමයට දකුණු පැත්තේ ජ්‍යෙෂ්ඨ අනුනායක හාමුදුරුවෝ අසුන් ගන්නවා. මීළඟ අනුනායක හාමුදුරුවෝ මහානායක හාමුදුරුවනට දකුණු පසින් අසුන් ගන්නවා.
කාරක සංඝ සභාවේ හාමුදුරුවන්ගේ ආසන පනවද්දිත් මෙට්ට මගින් උස් පහත් කිරීමක් වෙනවා කියලා හිතනවා..
සෑහෙන්න වටින විස්තරයක් මලයා.. අවංකවම අපිට ඉතින් මේවා දැන ගන්න ඉන්නේ උඹම තමයි..
ReplyDeleteDinesh,
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට අයියා :D
අගනා තොරතුරු සමුදායක්
ReplyDeleteNaleen Dilruksha,
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට අයියා :D
හසිතගේ ඉතිහාස කතා ආසවේන් කියෙව්වේ....නැවැත ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි!
ReplyDeleteMy life as a Gaijin!,
Deleteසන්තෝෂයි. හැබැයි පරණ විදිහටම ලියවුනේ නැති වග පේනවා නේද :D
කාලෙකට පස්සේ ආගිය කතා මතක් වෙච්චි එක ගැන ගොඩක් සතුටුයි. ලියලා තියෙන විස්තරයත් බොහෝම වටිනවා. ලිපිය කියවගෙන යද්දි ප්‍රශ්න කීපයක් මතුවුණා.
ReplyDelete1.//වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමනවා.// උන් වහන්සේගෙන් පසුව සංඝරාජ පදවිය අහෝසි වී ගියාද?
2.//මේ සඟ පරම්පරාවල වැදගත්කම තමා මහානායක සහ අනුනායක පදවි හිමිවෙන්නේ මේ සඟ පරම්පරාවල භික්ෂූන් වහන්සේලාට පමණක් වීම.// මහානායක හිමිවරුන් සමස්ථ සඟ පරපුරේම නායකයන් ලෙස සළකන බවක් තමයි මට නම් පෙනෙන්නෙ. එහෙම වෙනවා නම් මහානායක ධූරයට පන්සල් කීපයකින් පැමිණෙන භික්ෂූන් වහන්සේලා පමණක් සුදුසුකම් කීම අසාධාරණයි වගේ. මේ ගැන හසිතගේ අදහස මොකක්ද?
3.//අතිගෞරවාර්හ මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක, හයගිරි විජයසුන්දරාරාම විහාරද්වයාධිපති අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේට// එක් එක් කොටසේ තේරුම දැනගන්න කැමතියි.
4.ධූරයට පත්වීමෙන් පසු මහනායක හිමියන්ට නිල නිවසක් ලැබෙනවාද? නැතිනම් කලින් පන්සලේම වැඩ වාසය කරනවාද?
ලිපියට ස්තුතියි.
හරී,
Deleteපරණ විදිහමයි ප්‍රශ්න පත්තරයක් :D
1. සංඝරාජ පදවිය කියන එකට සරණංකර සංඝරාජ හිමියන්ගෙන් පස්සේ පත් කරන්නේ කවුද කියන ගැටළුව තමා ලොකුවට ඇතිවෙන්නේ. විශේෂයෙන් මල්වතු අස්ගිරි උභය විහාර නොමනාපකම් නිසා ඒක වැඩිවෙනවා. පොදුවේ දෙපාර්ශවයම සරණංකර හාමුදුරුවෝ පිළිගත්තත් ඊට පස්සේ ඒ පාර්ශව දෙකෙන් එකකින් සංඝරාජකමට කෙනෙක් පත්වෙනවාට ගැටළුවක් තිබුණා. අනික් අතට රජතුමා මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ හාමුදුරුවෝ සහ අස්ගිරි පාර්ශවයේ මහානායක උරුලෑවත්තේ හාමුදුරුවෝ පත්කරද්දී ඒ දෙනම උප සංඝරාජවරුන් විදිහට තමා නම් කරන්නේ.
කොහොම වෙතත් තිබ්බටුවාවේ හාමුදුරුවෝ කලින්ම අපවත් වෙනවා. උරුලෑවත්තේ හාමුදුරුවන්ව පිළිගැනීමට අර්බුද එනවා. ඒකත් එක්ක සඟරජ තනතුරු අවලංගු වෙන මට්ටමට පත්වෙනවා.
2. ඒකත් ඉතින් මහ සමාජේ හැටියට තමා. රට පාලනය කරන්නේ දේශපාලන පවුල්වලින් පැවතෙන අය. සේනානායකවරු, බණ්ඩාරනායකවරු, රාජපක්ෂවරු වගේ. ඒ වගේමයි අනියම් අන්දමින් ගොවි කුල අයව විතරක් රාජ්‍ය නායකයා විදිහට පත් කරන්නත් යුහුසුළු වෙනවා. ඉතින් සංඝ සමාජේ කියලා වෙනසක් නැහැ :D
3. මිහිඳ මහරහතන් වහන්සේ ලංකාවේ බුද්ධාගම පිහිටෙව්වාම දෙවනපෑතිස් රජතුමාගේ ඉදිකරපු පළමු ආරාමය මහමෙවුනා උයනේ ඉදිකරපු මහාවිහාරය. ඒ මහාවිහාර ශාසන පරම්පරාවෙන් එන බව හඟවන්න තමා "මහාවිහාර වංශික" කියලා කියන්නේ. ශ්‍යාමෝපාලි මහා නිකාය කියන්නේ මහනුවර යුගයේදී සියම් රටින් (ස්‍යාම දේශයෙන්) වැඩම කරවපු උපාලි හාමුදුරුවෝ උපසම්පදාව ස්ථාපනය කිරීමත් එක්ක ඒකට සම්බන්ධ වුණු භික්ෂු පාර්ශවය හඳුන්වන නම, අස්ගිරි පාර්ශවය කියන්නේ ඒ මහාවිහාර සංඝයාගෙන් කොටසක් දඹදෙණි කාලයේදී (මට මතක විදිහට)ආරණ්‍යගතව සිටිය ප්‍රදේශයක නමක් මුල්කරගෙන ඇතිවුණු ශාසන පාර්ශවයේ නම.
මහනුවර අස්ගිරි මහාවිහාර බිමේ තියෙන ප්‍රධාන පන්සල් දෙකක් තමා හයගිරි විහාරය සහ විජයසුන්දරාරාම විහාරය. මහානායක ධූරයට පත්වෙන නාහිමියනට ඒ විහාර දෙකේ අධිපතිකම ලැබෙනවා. හරියට පාප්තුමා රෝමයේ බිෂොප්වරයා වෙනවා වගේ.
අග්ගමහා පණ්ඩිත කියන්නේ බුරුම රජයෙන් ලැබුණු ගෞරව උපාධි නාමයක්. ශ්‍රී ධම්මදස්සී රතනපාල කියන්නේත් උන්වහන්සේට කාරක සංඝ සභාවෙන් ලැබුණු ගෞරව නාමයක්. මේ උන්වහන්සේගේ ශාසන පරම්පරාවේ හිටිය ප්‍රධාන භික්ෂූන් වහන්සේලා දෙනකමගේ නම්. උඩුගම බුද්ධරක්ඛිත තමා උන්වහන්සේගේ පැවිදි නම.
4. මල්වතු හෝ අස්ගිරි මහනාහිමිවරුන් වැඩ ඉන්නේ මල්වතු මහාවිහාර බිමේ හෝ අස්ගිරි මහාවිහාර බිමේ. ඒකේ ඇතුලේ ඒ ඒ ශාසන පරම්පරාවලට අයිති කුඩා පන්සල් රැසක් පිහිටලා තියෙනවා ඒ ශාසන පරම්පරාවට අයිති ප්‍රධාන පන්සලේ නමින්. සූරියගොඩ පන්සල, මැණික්දිවෙල පන්සල වගේ නම්වලින්. මහානායක හාමුදුරු නමක් වෙන්නේ ජ්‍යෙෂ්ඨ හාමුදුරු නමක් නිසා උන්වහන්සේට මේ වගේ පන්සලක අධිපතිකමකුත් කලින් ලැබිලා තියෙන නිසා ඒ පන්සලෙත් ඉන්නවා. ඒ හැරෙන්න නිල ආරාමයකුත් විහාර බිමේම තියෙනවා. ඒත් අමරපුර, රාමඤ්ඤ නිකාවල නම් එහෙම නිල ආරාම නැහැ මම දන්න තරමින්
ඉතාමත් වැදගත් ලිපියක්. නොදන්නා කරුණු ගොඩක් දැන ගන්නට ලැබුනා. මා අසා ඇති අන්දමට නම් මල්වතු පාර්ශව ග්‍රාම වාසි භික්‍ෂු පරපුරටත් අස්ගිරි පාර්ශවය ආරණ්‍ය වාසි භික්‍ෂු පරපුරටත් උරුම කියනවා.ඒ කාරණය ඇත්ත නම් ඒගැන විස්තර ටිකක් ලියනවාද .
ReplyDeleteසමරසේකර
සමරසේකරගේ සිතුවිලි,
Deleteඔව් එහෙම මතයක් තිබෙනවා. අස්ගිරි පාර්ශවය ආරම්භ වෙන්නේත් ඒ විදිහටම අස්ගිරි ප්‍රදේශයේ ආරණ්‍යයකට භික්ෂූන් වහන්සේලා වැඩම කිරීමත් සමග නිසා වගේම මල්වතු විහාරයේ භික්ෂූන් සමාජය සමග බොහෝ විට කටයුතු කිරීමත් එක්ක ඒ මතය ඇතිවෙලා තියෙනවා. ඒත් මල්වතු විහාරයට අයිති ආරණ්‍යයත් තියෙන නිසා. ඒ බෙදීම එතරම් පදනමක පිහිටා කෙරෙන බවක් පෙන්නනට නැහැ
වත්පිළිවෙත් ගැන නොදන්න කරුණු දැනගත්තා.. අගෙයි ලිපිය
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර,
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට:D
මීලග අස්ගිරි මහා නාහිමිත් කුරුණෑගල පැත්තේ පන්සලක නායක හාමුදුරුවෝ කෙනෙක්ම වේවිද? මල්වතු නාහිමියන් කුරුණෑගල රිදිවිහාරයේ නායක හාමුදුරුවෝ වීමත්. අපවත් වුනු අස්ගිරි නාහිමියනුත් කුරුණෑගල උඩුගම වීමත් නිසා මේ අස්ගිරි මල්වතු යන දෙමහා විහාර වලට කුරුණෑගල පැත්ත ලොකු සම්බන්ධයක් තියන බවක් පෙන්න තියනවා. කුරුණෑගල ධර්මය පැත්තෙන් මොකක්හරි විශේෂත්වයක් තියනවා වගේ මෑත කාලයේ බොහෝ කතා බහට ලක් වුනු මහමෙවුනාව ආරම්භ වන්නේ හා මුලස්ථානය තිබෙන්නේද කුරුණෑගල අවටය. තවද කිතුනුවන්ගේ බිෂොප්( අගරදගුරු ) කෙනෙකුද සිටි (කොලබ කුරුණෑගල හැරුනුකොට වෙනත් අගරදගුරු පදවි තිබේද?). කෙසේ වෙතත් මෙම ප්‍රදේශය ධර්මය හා බැදුණු විශේෂත්වයක් තියන බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.
ReplyDelete//කොලබ කුරුණෑගල හැරුනුකොට වෙනත් අගරදගුරු පදවි තිබේද?//
Deleteකතෝලික රදගුරු පදවි 12ක් තිබෙනවා.
http://dreamsofharee.blogspot.com/2013/10/blog-post.html
අගරදගුරු පදවි තිබෙන්නේ එකයි. ඒ කොළඹ අගරදගුරු පදවිය. ඊට අමතරව තවත් රදගුරු පදවි 11 ක් තිබෙනවා.
DeleteAnonymous,
Deleteකුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගේ විශේෂත්වයක් විදිහටයි මම ඒක දකින්නේ. අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ ගත්තත් බොහෝ අධ්‍යයන අංශවල ආචාර්යවරුන් බොහොමයක් වගේම ශිෂ්‍ය කණ්ඩායමවල බොහෝ පිරිසකුත් කුරුණෑගල අය
හසිත මල්ලි.. මේ තොරතුරු හරිම වටිනවා.. ඔබට බොහෝම ස්තූතියි මේ අගනා දැනුම් සම්භාරය බෙදා හදා ගත්තාට.. දිගටම ලියන්න.. අපි ආසාවෙන් බලනවා..
ReplyDelete-- මෝදිත --,
Deleteදිගටම ලියවුණේ නම් නැහැ. බොහොම ස්තුතියි අයියා අගය කිරීමට
වැලිවිට හිමියෝ උපසම්පදාව ආයෙත් සියමෙන් ගේනකන් අපේ රටේ උපසම්පදාඅ භික්ශූන් හිටියෙ නෑද,,අර මේ ටිකේ දසකොන් කියලා කතාවක් යනවා ඒකෙත් ඔය වැලිවිට හිමියන්ගේ සාමනේර අවදිය ගැන යනවා මේ ටිකේ,,ස්තූතී හසිත පාප්තුමා පත් උනු හැටි මතක් උනා ජන්ද වට කලු දුම් සුදු දුම්
ReplyDeleteItalyDilan,
Deleteඋඩරට රාජධානි කාලේ දෙවෙනි විමලධර්මසූරිය රජතුමා මුල්වෙලා රක්ඛංග දේශයෙන් උපසම්පදා භික්ෂූන් ගෙනවිත් මෙරට උපසම්පදාව පිහිටෙව්වත් ඒක වැඩි කලක් තිබුණේ නැහැ. කීර්ති ශ්‍රී රාජසිංහ කාලේ වෙනකොට හිටියේ සාමණේරවරු සහ ගණින්නාන්සේලා පමණයි. දස්කොන් නාට්‍යයේ සමහර කොටස් නම් ඉතිහාස කථාවේ නැහැ
පාප් තුමා පත්කර ගැනීමත්, මහානායක හිමියන් පත්කිරීමත් අතර යම් යම් සමානකම් තිබෙනවා. වටිනා ලිපියක්, මේ ටිකේ මමත් දැනගන්න ආසාවෙන් හිටපු විස්තර ටිකක්. ස්තූතියි හසිත.
ReplyDeleteආගිය කතා ආයෙත් ප්‍රාණවත් වීම ගැන සතුටු වෙනවා.
Gihan (ගිහාන්),
Deleteසමූහයකට නායකත්වය දෙන පුද්ගලයාගේ සමූහයේම කැමැත්තෙන් හෝ සමූහයේ බහුතරයේ කැමැත්තෙන් පත්විය යුතුයි නොවැ. ආගමික සංස්ථාවල ආගමික චාරිත්‍ර වාරිත්‍රත් එක්කත් ඒ කටයුතු බද්ධ වෙනවා
Weමම හිතන විදියට ඔය සගරජ හිමිවරුන් අතර දක්ශයින් කිහිප දෙනෙක් සැමදා අපේ මතකේ තියෙනවා..මඩිහේ පඤ්ඤාසීහ ..බලන්ගොඩ ආනන්ද මයිත්‍රිය..රේරුකානේ චන්දවිමල වගේ හිමිවරුන් හිටියෙ මොන නිකායෙද කියල වැඩි මතකයක් නැතත් උන්වහන්සේලාගේ ශාසනික සේවය විශිශ්ඨයි..
ReplyDeleteamila chathuranga,
Deleteමඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක හාමුදුරුවෝ වගේම අමරපුර නිකායේ පාර්ශ්ව 22 එක්වෙලා පිහිටුවා ගත්තු ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක හාමුදුරුවෝ. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනායක හාමුදුරුවෝ අමරපුර මහානිකයේ රාස්සගල පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වගේම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පළමු උත්තරීතර මහානායක හාමුදුරුවෝ. රේරුකානේ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ශ්වේජින් නිකායේ මහානායක හාමුදුරුවෝ. ඒ නිකායත් අමරපුර මහානිකායේ පාර්ශවයක්
හසිත මල්ලි ගොඩක් වටින ලිපියක්. කවදාවත් නොදැන සිටි විස්තර මේවා. මේ විදිහට නිදහස් ජාලයේ ලියලා තියන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ.....!
ReplyDeleteදුමී,
Deleteබොහොම ස්තුතියි අයියා අගය කිරීමට :D
හසිත මලයා..ඇයි දැන් ලියන්නෙ නැත්තෙ. ඔබේ අඩුව බ්ලොග් අවකාශය තුල හොදට දැනෙනවා. ඒ නිසා හැකි හැම වෙලාවෙම යමක් ලියන්න බලන්න. මේ තොරතුරු පළවෙනි වතාවට තමයි මම කියෙව්වෙ. ඒ වගේම මේ මහා නායක හිමිවරුන් අතරින් සියම් නිකායේ හිමිවරු ප්‍රධාන වෙනවා කියලා අදහසක් තියෙනවා මොකද දළදා වහන්සේගේ භාරකාරත්වය ඔවුනට හිමිව තිබෙන නිසා. ස්තූතියි තොරතුරු වලට
ReplyDeleteසිරාගෙ කාමරේ,
Deleteබ්ලොග් ලියවුනේ නැතත් පුවත්පත්වලට නම් ලිපි ලියවුනා අයියා. ඒත් පුලුවන් තරම් උත්සහ කරනවා. බලමුකෝ නේද ?
දළදාවේ භාරකාරීත්වයටත් වඩා සියම් නිකායේ මහනාහිමිවරුන්ට ප්‍රධානත්වයක් හිමිවෙන්නේ දැනට පැරණිතම උපසම්පදාව තියෙන්නේ ඔවුන්ට නිසා. ඒ වගේමයි රාජානුග්‍රහය ලැබුණු දැනට තියෙන එකම නිකාය ඒක නිසා.
අනෙක් අතට මිහිඳු හාමුදුරුවෝ ආරම්භ කරපු අනුරාධපුර මහාවිහාර ශාසන පරම්පරාවට උරුමකම් කියන්නේත් සියම් නිකාය නිසා ඒ තත්ත්වය තවත් වැඩියි. මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකාය කියලා කියන්නේ ඒකයි
මලේ උඹට වෙලා තියෙන විදිහට අර බුකියෙ සංවාද වලට දාන කරුනුවත් ප්‍රශ්ණ උත්තර එක්ක මේකෙ අලවහන්, සුජීවය කරනව වගේ. එක අනාගතේ තොරතුරු හොයන අයට බොහොම වැදගත්.
ReplyDeleteඅර පුටුවෙන් නැගී සිටියාටවඩා උඹට ලොකු පිනක් මේ ලිපිය පලකිරීමෙන් ලැබුන කියල මම විශ්වාස කරනව!
ඉන්දික උපශාන්ත,
Deleteබොහොම ස්තුතියි අයියා අගය කිරීමට. දැනුම බෙදන්න එපැයි අපිට පුලුපුලුවන් හැටියට නේද :)
මේ විස්තරයට ගොඩක් ස්තුතියි හසිත මල්ලි .. අර හරී උඩින් අහල තියෙන ප්‍රශ්න ටිකම වගේ මටත් තියෙනවා .. පුළුවන් වෙලාවක උත්තර දාන්න .
ReplyDeletePathum Herath,
Deleteබොහොම ස්තුතියි අයියා අගය කිරීමට. සියලු පිළිතුරු එක් කර තිබේ :D
ඉතිහාසය නම් ඉතිං හසිත තමයි. අද කාලේ පත්තරයක වත් නැති වැදගත් විස්තරයක් ඉතා නිරවුල්ව සටහන් කිරීම ගැන ස්තුතියි. මේවා අනාගත සිසු පරපුරට ඉතා වටිනවා. අපේ රටේ අය දැනුම හංගන වටපිටාවක මේ වගේ සයිබරයට ඒ දැනුම එක් කිරීම වටිනවා.
ReplyDeleteඔබ ලැබූ පංති සාමර්ථයට සුබ පතන ගමන් දිගු ගමනක් යාමට වරම් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
සු දී ක,
Deleteබොහොම ස්තුතියි අයියා :D
ඉතාමත් වැදගත් ලිපියක් හසිත. නොදන්නා කරුණු රාශියක් දැන ගත්තා. ඔබට ස්තූතියි.
ReplyDeleteනිලූක කදුරුගමුව,
Deleteබොහොම ස්තුතියි:D
මේ දවස් වල ගොඩක්ම හිතට ආව ගැටලුවක්. ගොඩක් ස්තූතියි ලබා දුන්න කරුණු වලට.
ReplyDeleteගිමන් නිවන්නා,
Deleteබොහොම ස්තුතියි:D
වැදගත් ඒ වගේම බොහොම අපූරුවට පෙළගස්වපු විස්තරයක්..ස්තූතියි හසිත...
ReplyDeleteRavi,
Deleteබොහොම ස්තුතියි අයියා :D
වැදගත්..!
ReplyDeletekushan navodh,
Deleteඇත්තෙන්ම :)