Showing posts with label II රාජසිංහ. Show all posts
Showing posts with label II රාජසිංහ. Show all posts

Saturday, April 20, 2013

උඩරට රාජධානියේ හිටිය අලුත් දෙවියෝ - ඉතිහාසයේ අප්‍රකට කතා 19

සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ. 

උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල. 

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව

මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.

ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා. 

I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.

මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා. 


ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.

I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.

කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්. 

මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්. 

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්. 

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්

".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."

ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.

ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.  

උඩරට රාජධානි අවසාන සමයේ රාජකීය මුද්‍රාව

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
 
පෘතුගාල රාජකීය ලාංඡනය

උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ. 

ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.

 මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව

ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.

විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.

 මහනුවර නාථ දේවාලය

ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.

ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්. 

 විෂ්ණු දෙවියෝ

මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ  කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.

 කතරගම දෙවියෝ

මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.

 බදුලු කතරගම දේවාලය

මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.

III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.

මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.


අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.

සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.

“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර  මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”

මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.

වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.

හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට

බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින

තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා

දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා

මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.

 දොඩන්වල දේවාලය

පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.

ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.

 දොඩන්වල දේවාලය

විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.

නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.

මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.

ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.

මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.

ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.

නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html   
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062

ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D

ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)

Sunday, April 7, 2013

සිංහල අලුත් අවුරුද්ද මාර්තු 26 වෙනිදාද ???


ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D

අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.

වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.  

රොබට් නොක්ස් [කණිෂ්ඨ]

එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක.  ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.

නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක. 

කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය. 

අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ  අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.

සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය. 

අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ. 

අං ඇදීම

වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි. 

කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ. 

අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.

උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව

නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය. 

කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.

අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ. 

මහනුවර රජ මාළිගය

නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත. 

මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ. 

II රාජසිංහ රජතුමා සහ රදළ ප්‍රධානීන්

අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත. 

පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ. 

රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.

[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]

Sunday, December 30, 2012

අපේ රජවරු බයියන් කාපු හැටි


ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ.

කොහොම නමුත් මේ නාට්‍යය බලන සමහර උදවිය නම් කරන්නේ මේ නාට්‍යයේ කෑම හදන එකයි, ආහාර තරඟ පවත්වන එකයි, රජ්ජුරුවෝ කන එකයි ඇරෙන්න වෙන මොනවද පෙන්නන්නේ කියලා.

මේ නාට්‍යයේ හදන එක එක ජාතියේ කෑම වර්ග දැකලා අපේ අයත් ඉස්සරහට බීමත් ඉස්සෝ වෑංජනය, කැස්බෑ සුප්, එළවළු කීටයෝ, සූකර මාංශ වගේ එක එක කොරියන් කෑම හදන්න පටන් ගත්තොත් පුදුමයක් නෙමේ කියලා තමා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කිව්වේ.

ඉතින් කොරියාවේ රජවරු කෑවේ බිව්ව හැටි ගැන අපිට මේ නාට්‍යයෙන් හොඳ අවබෝධයක් ලැබුණත් අපි අපේ දේ ගැනත් වැටහීමෙන් ඉන්න ඕනේ නිසා අපේ රටේ රජවරු කෑවේ බිව්වේ කොහොමද කියලා අද ආගිය කතාවෙන් කියන්න ඕනේ කියලා තමා කල්පනා කළේ.

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්

අවුරුදු 19 ක් පමණ කාලයක් උඩරට රාජධානියේ II වෙනි රාජසිංහ රජතුමාගේ හිරකාරයෙක් විදිහට හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියපු කෘතියේ රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැන කියලා තියෙනවා. ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එදා හෙළදිව කියලා සිංහලයට පරිවර්තනය කරපු ඒ පොතෙන් තමා මේ උපුටා ගැනීම කරලා තියෙන්නේ.

"..මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත්මය. රජුගේ රාජකීය වතු පිටිවලින් මහ වාසලේ පරිභෝගය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පලා කොළ වර්ග හා පලතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසකට එක් වරකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුවද සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.

මෙලෙස දළදාවට දන් රැගෙන යන්නා සේම අතීතයේ රජුටද භෝජන ගෙන එන්නට ඇත

රජු භෝජනයද ගන්නේද විධිමත් ලෙසිනි. සුදු පාට පිළියෙන් වසන ලද මේසය, ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේය. නිල්වන් කෙසෙල් පතක් එලූ රත් රන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ කණමය භාජනයෙහිය. මේ මේසය මත, නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත් වඩන නිලමේද මුවෙහි මුඛවාඩම් බැඳගෙන සිටින්නේය....."

මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්.

"..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

"... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

II වෙනි රාජසිංහ රජතුමා

නොක්ස් කියන විදිහට උඩරට රජතුමාගේ රජ වාසළ මුළුතැන්ගෙයි සම්පූර්ණයෙන් සේවය කරලා තියෙන්නේ හොඳ පෙනුමක් තිබුණු කාන්තාවෝ. මුළුතැන්ගෙයි සේවයට කාන්තාවෝ බඳවාගන්න එක කාලෙකට රජතුමා අණ බෙරයක් පිටත් කරනවා. එතකොට රූමත්, තරුණ අස්වාමික වේවා සස්වාමික වේවා කාන්තාවක් මුළුතැන්ගෙයි රාජකාරියට තෝර ගත්තොත් ජීවිතාන්තය දක්වාම ඒ සේවයේ යෙදෙන්න ඕනේ. නොක්ස් උඩරට ජීවත් වූ කාලයේදී රූමත් පෘතුගීසි ජාතික කාන්තාවෝ කීප දෙනෙකුත් රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදිලා තිබෙනවා.

ජීවිතාන්තය දක්වාම රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන්න ඕනේ නිසා සමහර කාන්තාවන් සේවයෙන් පලා ගියොත් ඊට දඬුවම වශයෙන් දියේ ගිල්ලලා මරා දැමීම රජතුමා සිදු කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් සිරගත කිරීමත් සිදු කරලා තිබෙනවා.

මේ රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් වාසය කරලා තියෙන්නේ මහනුවර නගරය සහ ඒ ආසන්නයේ තිබුණු ගම්වල. ඒ ගම්වලට රාජකීය අවසරයක් නැතුව කාටවත් ඇතුල්වීම තහනම් කරලා තිබුණා. ඒත් කිසියම් වහලෙක් මේ ගම්මානයකට පලා ආවොත් ඔහුව නිදහස හිමිවීම ඒ කාලයේ සම්ප්‍රදායක් වෙලා තිබෙනවා.


නොක්ස්ගේ විමර්ශණයෙන් මග හැරුණු උඩරට රජුන්ගේ ආහාර සිරිත් කීපයක් පිළිබඳව මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය-මහනුවර යුගය කෘතියේ දක්වන විදිහට රජතුමා ආහාර ගන්නා ශාලාව හඳුන්වලා තියෙන්නේ "පාක ශාලාව" කියන නමින්.

ඒකේ ප්‍රධානියා වෙන බත්වඩන නිලමේ යටතේ මඩප්පුරාළ නමින් හැඳින්වුණු නිලධාරීන් දෙදෙනා සේවය කරලා තිබෙනවා. මඩප්පුරාළගේ රාජකාරිය වෙලා තියෙන්නේ රාජකීය මුළුතැන්ගෙයි සකස් කරපු රාජ භෝජනය පාක ශාලාවට ගෙනල්ලා රජතුමාගේ කෑම මේසය සකස් කරන එක. මඩප්පුරාළලාගේ රාජකාරියට රාජකීය මුළුතැන්ගෙයි පිහනරාළලා විදිහට හිටිය අයගේත් සහය ලැබිලා තියෙනවා.

උඩරට රාජධානියේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැනත් විස්තර අපට හමුවෙනවා. 1815 පෙබරවාරි 18 වෙනිදා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසේදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වුණු රජතුමාව 1816 ජනවාරි 25 වෙනිදා ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කෙරෙනවා.

කොළඹ වාසය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

වෙල්ලෝර් කොටුවේ පිටත් කෙරෙනකම් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු මන්දිරයක හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට එක් වේලකට ලැබෙන හාල් සේරු 8 ප්‍රමාණවත් නොවන නිසා ඒක හාල් සේරු 12 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ජෝන් ඩොයිලි දක්වනවා. හිතලා බලන්නකෝ එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද

උඩරට රාජධානි සමයේ තිබුනු රජතුමාගේ ආහාර ගන්න චාරිත්‍ර කුරුණෑගල යුගයේදී විතර ඇතිවෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්. එහෙම අනුමානයකට එන්න පාදක කරගන්නේ කුරුණෑගල යුගයේදි දෙව්රද දම් පසඟිනාවන් විසින් රචනා කරපු දළදා සිරිත කියන ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා.

අතීතයේ ඉදන්ම ලාංකීය රජවරුන්ට තමන්ට ලැබුණු ගරු සත්කාරවල ආකාරයටම දළදා වහන්සේටත් පුද සත්කාර කරන්න හුරු වෙලා හිටිය නිසා දළදා සිරිතේ දැක්වෙන විදිහට දළදාවට දානය සකස් කරද්දී අරක්කැමියන් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් පිළිගැන්වීමේදීත් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් ආදී කරුණු තිබීම නිසා ඒ කාලේත් රජවරුන් උදෙසා ඒ වගේ චාරිත කෙරෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
උඩරට කාලෙට කලින් හිටිය රජවරු කාපු බීපු හැටි ගැන තොරතුරු ටිකකුත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.
දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමා කාපු බීපු හැටි ගැන කතා කීපයක්ම මහාවංසයේ තියෙන නිසා ඒ කතා කීපයක් කියන්නම්. දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොයුරන්ට තාත්තා වුණු කාවන්තිස්ස රජතුමා බත් පිඬු කවපු කතාව අහලා තියෙනවානේ. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඉඳුල් කරපු කිරිබත් රත්තරන් භාජනයකට දමලා ඒකෙන් කිරිබත් පිඬ බැගින් රත්තරන් තැටියකට දමලා තමා දරුවන්ට කවන්න කාවන්තිස්ස රජතුමා අරගෙන තියෙන්නේ.

ඊළඟට පියාගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා කඬොල් ඇතාවයි විහාරමහාදේවියවයි දීඝවාපියට අරගෙන ගිය නිසා ඒකට විරුද්ධව දුටුගැමුණු රජතුමා සටනට පිටත් වුණු අවස්ථාවේදී මුල් වටයේ යුද්ධයෙන් දුටුගැමුණු රජතුමා පරාජයට පත්වෙනවා. ඒ අවස්ථාවේ පලා යද්දී දුටුගැමුණු රජතුමාට බඩගිනි වුණු අවස්ථාවේදී රජතුමා එක්ක හිටිය තිස්ස කියන ඇමතියා රන් තළියකට දමලා සළුවකින් ආවරණය කරලා තිබුණු බත් රජතුමාට පිළිගන්වනවා.

ළදරු කාලේ ඉදන්ම තමන් කන්න කලින් භික්ෂූන්ට අග්‍ර කොටස පුදලා අනුභව කරන්න රජතුමා පුරුදු වෙලා හිටිය නිසා තිස්ස ඇමතියාගේ කාල ඝෝෂණයෙන් එතැනට භික්ෂූන් වහන්සේලා වැඩම කරවනවා. රජතුමා තමන්ගේ බත් කොටසත් තිස්ස ඇමතිගේ සහ දීඝථූණිකා වෙළඹගේ බත් කොටසුත් ඔවුන්ගේ කැමැත්තෙන් රජතුමා විසින් භික්ෂූන්ට පූජා කරනවා.

මිරිසවැටිය දාගැබ

පසු කාලෙක රජතුමා භික්ෂූන්ට නොපිළිගන්වා අනුභව කරපු මිරිස් වෑංජනයක් ගැන සිහිපත් වෙලා තමන්ගේ ජය කොන්තය තැන්පත් කරලා මිරිසවැටිය දාගැබ සකස් කරනවා.

මේ කතා කීපය ඇරෙන්න මුල් යුගයේ හිටපු රජවරු කාපු බීපු හැටි ගැන නම් මට මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මහානාග යුව රජතුමාගේ අඹ කෑමේ ආශාවත්, සංඝතිස්ස රජතුමාගේ ජම්බු කෑමේ ආශාවත් වුණු හුටපට වගේම මහසෙන් රජතුමා මහා විහාරය විනාශ කරපු නිසා රජතුමා එක්ක යුද්ධයට ආපු මේඝවර්ණාභය ඇමති ඔහුට මලය දේශයෙන් ලැබුණු මිහිරි පානයක් සහ මාංශයක් රජතුමා එක්ක බෙදාගන්න ගිය කතාවත්, මහා විජයබාහු රජතුමා කැළයේ සැඟවෙලා හිටිය කාලේ කන්න කෑම ලබාගත්තු හැටි ගැන කියන කතාවත් ඕනේ නම් රජවරු කාපු බීපු හැටි කියලා ගන්න පුලුවන් වුණත් ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලයි මගේ අදහස.

මේ කතා ඇරෙන්න වෙන කතාවක් මතක් වුණොත් ඒක ඉස්සරහට කියන්නම්කෝ.

විශේෂ ස්තුතිය සරසවියේදී හොඳ හිතවතෙක් වුණු රුසිරු අයියාට. දවසක් මුහුණු පොතේ ගිය සංවාදෙකදී ලංකාවේ රජවරු කාපු බීපු හැටි ගැන ලියන්න කියලා යෝජනාව කළේ එයා තමා.  

මේ සටහන 2012 අවුරුද්දට ලියන අන්තිම සටහන නිසා මේ ගමන්ම උදාවෙන 2013 වසර සියලු දෙනාටම යහපත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 

Sunday, June 3, 2012

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05

 කන්ද උඩරට රාජධානියේ ධජය

තරගය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරගය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරගාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්‍රදාය. 

ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා කියන්න දන්නේ නැති වුණත් මම දන්න විදිහට බාලදක්ෂ ව්‍යාපාරයේ නම් එහෙම දේවල් සිදුවෙනවා.

ඉස්සර මහා බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබුණු රටවල්වලින් වැඩිම රජුගේ බාලදක්ෂයින් බිහි කරපු බාලදක්ෂ සමූහයට "රජුගේ ධජය" [King's Flag] ලබාදීලා තිබෙනවා. මේ වරප්‍රසාදය මහනුවර ධර්මරාජ විද්‍යාලය 1917, 1918, 1919 කියන අවුරුදු තුනේම ලබාගෙන තිබෙනවා. 

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනාධිපති බාලදක්ෂයන් බිහි කරපු බාලදක්ෂ සමූහයට "ගුලාම් හුසේන් ධජය" ලබාදෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය මේ තරගය ආරම්භ කරපු වසරේ ඉදන්ම කීප වරක්ම එක දිගට මේ ධජය ලබාගත්තු නිසා ඒ සමූහය හැර අනෙක් සමූහවලින්ලු මේ සඳහා ගණනය කිරීම් සිදුවෙන්නේ

ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම අතින්ම හොඳම බාලදක්ෂ සමූහය සඳහා "දිවයින් ශූරතා ධජය" [Island Merit Flag] පිරිනමනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ හොඳම කණිෂ්ඨ බාලදක්ෂ කණ්ඩායමට "නගරාධිපති ධජය" [Mayor's Flag] පිරිනමනවා.

ඉර හඳ කොඩිය

ඉතින් මේ අද කතාවට ආවොත් මහනුවර යුගයේදීත් මේ වගේම හොඳම දිසාව සඳහා ඉර හඳ කොඩිය පිරිනමන එක රජතුමා විසින් සිදු කරලා තිබෙනවා. 

ඒ ඒ දිසාව භාරව හිටිය දිසාවේ, නිළමේවරු වගේම සාමාන්‍ය ජනතාව කරපු වීර ක්‍රියා ආදිය ගැන සළකලා බලපු රජතුමා දක්ෂතා දක්වපු දිසාවට ඒක අගය කිරීමක් විදිහට ඉර හඳ කොඩිය පිරිනමලා තිබෙනවා.

ඉර හඳ කොඩිය පැවරීමත් එක්කම ඒ දිසාව කන්ද උඩරට රාජ්‍යය තුළ ඒ කාලේ තිබුණු දිසා 12 න් ප්‍රධාන දිසාව බවට පත්වෙනවා. මේ ඉර හඳ කොඩිය ප්‍රධාන දිසාවට හිමි ධජය නිසා තමා එදා පටන් අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ දිසාවන්හින් කොඩි අරගෙන යද්දී පළමු කොඩිය විදිහට ඉර හඳ කොඩිය අරගෙන යන්නේ

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේදී ඉර හඳ කොඩිය මාතලේ දිසාවටත් සෙනරත් රජතුමාගේ කාලයේදී සත් කෝරළයටත් II රාජසිංහ රජතුමාගේ කාලයේදී සතර කෝරළයටත් හිමිවෙලා තියෙනවා. සතර කෝරළයට ඉර හඳ කොඩිය හිමිවීමත් එක්ක උඩරට රාජධානියේ අවසානය වෙනකම්ම තමන්ගේ දිසාව තුළ ඉර හඳ කොඩිය තබාගන්න සතර කෝරළය සමත් වෙලා තිබෙනවා.

සතර කෝරළේ ගැනත් ටිකක් කිව්වොත් ඒ දිසාවේ තිබුණු කෝරළ 4 වුණේ ගල්බඩ කෝරළේ, පරණ කුරු කෝරළේ, කිනිගොඩ කෝරළේ, බෙලිගල් කෝරළේ.

 දිසාවේවරයෙක්

අර කලින් කිව්ව විදිහට දිසා 12 ක් කන්ද උඩරට රාජධානියේ තිබුණත් ඒවායිනුත් සතර කෝරළය, සත් කෝරළය, ඌව සහ මාතලේ මහ දිසා විදිහට හඳුන්වපු නිසා ඒවායේ භාර දිසාවේවරුන්ව හඳුන්වලා තියෙන්නේ "මහ දිසාවේ" නමින්.

මේ දිසාවන් 4 මහ දිසාවේකම බොහෝ විට හිමිවෙලා තියෙන්නේ කන්ද උඩරට රාජධානියේ හිටිය මහා අදිකාරම්වරුන් දෙදෙනාට හරි ජ්‍යෙෂ්ඨතම රදළයෙක්ට. උඩරට පරිපාලන ව්‍යුහයේ රජතුමාට පස්සේ හිටියේ මහා අදිකාරම්වරු.

මහා අදිකාරම්වරයෙක්

මහා අදිකාරම්වරුත් දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් පල්ලේ ගම්පහ මහා අදිකාරම් තමා පළවෙනි අදිකාරම්. උඩ ගම්පහ මහා අදිකාරම් තමා දෙවෙනි අදිකාරම්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සිය පත්තුවේ මහා අදිකාරම් කියලා තනතුරක් තමන්ගේ පාලන කාලයේ ඇති කරනවා

දිසාවන් 12 තමා සතර කෝරළය, සත් කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව

රටේ මහත්තයෙක්

මහනුවර නගරය ආසන්නයේ තිබුණු ප්‍රදේශ 9 ක් රටවල් නමින් හඳුන්වලා තියෙනවා. ඒවා තමා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම. රටවල් පාලනය කළේ රටේ මහත්තයා එහෙමත් නැත්නම් රටේරාළ කියන කෙනා

අවබෝධය පිණිස ඉතුරු දිසාවන් ටිකෙත් කොඩි ටික දාන්නම්. හැබැයි ඔක්කෝම නම් නැහැ

 සත් කෝරළය සිංහයා කොඩිය

ඌව දිසාව හංසයා කොඩිය

වෙල්ලස්ස දිසාව කොටියා කොඩිය

වලපනේ දිසාව මයුර කොඩිය

 නුවරකලාවිය දිසාව ගජසිංහ කොඩිය
 
 තුන් කෝරළය භේරුණ්ඩ මහ කොඩිය

මේ දිසාවන්වල කොඩි නම් හම්බුණේ නැහැ. ඒත් ඒ ඒ දිසාවන්වල කොඩි ටික මෙන්න

මාතලේ - සුදු මහ කොඩිය
සබරගමුව - පට රෙදි මහ කොඩිය
උඩ පළාත - නෙලුම් මල් මහ කොඩිය
බින්තැන්න - ගිරවා මහ කොඩිය
තමන්කඩුව - වලහා මහ කොඩිය


කොඩි ටික උපුටා ගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා ලියපු උඩරට මහ කැරැල්ල III කාණ්ඩය පොතෙන්

නිලධාරීන්ගේ පින්තූර ටික උපුටා ගත්තේ මහාචාර්ය රැල්ෆ් පීරිස් මැතිතුමා ලියපු සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

ප.ලි.: අද කතාව නම් ටිකක් අවුල් කියලයි මට හිතෙන්නේ. ඒත් අතරින් පතර වැදගත් තොරතුරු ටිකක් ඔයාලට කියවන්න ලැබුණා කියලා හිතනවා.

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම

Sunday, April 29, 2012

II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ - ඉතිහාසයේ අප්‍රකට කතා 01

II රාජසිංහ රජතුමා 

කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා.

ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප‍්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී අවසාන පෘතුගීසි බලකොටුව වුණු යාපනය අල්ලා ගැනීමත් එක්ක ලංකාවේ පෘතුගීසී ආදිපත්‍යය නිමා වෙනවා. 

ඒත් අවසානයේදී 1638 ගිවිසුම උපායශීලීව භාවිතා කරමින් පෘතුගීසී ප‍්‍රදේශවල ලන්දේසි බලය තහවුරුවීමත් එක්ක රජතුමාට තම ප‍්‍රදේශ ලබා ගන්න ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න සිදුවුණු නිසා මිනිස්සු මේක හැඳින්වූවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. 

මේ සිදුවීමෙන් රජතුමාට වුණු අපකීර්තිය නිසාත් 1664 දී වාර්ෂිකව පවත්වා ගෙන ආපු මහනුවර ඇසළ පෙරහැර රජතුමා නැවැත්වීම වගේ හේතු මතත් රජතුමාට විරුද්ධව කැරැල්ලක රාවයක් ඒ අවුරුද්දේ ඇතිවෙමින් තිබුණේ.

ඒ වගේම 1664දෙසැම්බර් මාසේ වෙද්දී ලංකාවට ඉහළ අහසේ වල්ගා තරුවක් පෑයීමත් එක්ක කිසියම් අසුභ දෙයක් සිදුවෙන බවට රාවයක් උඩරට ඇතිවෙමින් තිබුණේ. අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන් ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව කියන රදළ නායකයන්ගේ සහභාගීත්වය රජතුමාට විරුද්ධව කැරැල්ලක් මේ තත්වයත් එක්කම දෙසැම්බර් 21 ආරම්භ වෙනවා. මේ පිරිසගේ සැලැස්ම වෙන්නේ නිල්ලඹේ නුවර මාළිගාවේ හිටපු II වන රාජසිංහ රජතුමාව මරලා දාලා රජතුමාගේ පුත් කුමාරයාව රජ කරවන එක.

මේ දවස වෙද්දී පායලා තිබුණු වල්ගා තරුවේ වල්ගා කොණ කැරැල්ල පටන් ගත්තු බටහිර ප‍්‍රදේශයට යොමුවෙලා තිබුණයි කියලා මේ කාලේ ලංකාවේ හිරකාරයෙක් වෙලා හිටිය ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් කියනවා.

කැරලිකාරයෝ දෙසැම්බර් 21 රාත්‍රියේ නිල්ලඹේ මාළිගාවට කඩා පැනපු අවස්ථාවේදී හුඟක් රාජපුරුෂයොත් තමන්ගේ ජීවිතේ බේරගන්න කැරලිකාරයින්ට එකතු වෙනවා. විරුද්ධ වුණු අයව කැරලිකාරයෝ මරලා දානවා. කොහොම නමුත් කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා පනින්නේ නැතුව උදේ වෙනකම් බලාගෙන ඉන්නවා.

මේ වෙලේ කැරැල්ල ගැන රජතුමාට ආරංචි වීමත් එක්ක කැරලිකරුවන් රවට්ටන උපායක් විදිහට රජතුමා සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට නිදාගෙන ඉන්න රජතුමගේ දුක්ගන්නා රාළ කෙනෙක් විදිහට සේවය කරපු අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි ඉදිරිපත් වෙනවා. ආරක්ෂිතව රජතුමාට පලා යන්න ඉඩකඩ සලසන්නයි ඒ කාර්යය කරන්න ඔහු ඉදිරිපත් වෙන්නේ.

අලුවිහාරේ මුදලි රූපෙන් රජතුමාට සමාන වෙන නිසා ඒ කාර්යය තවත් පහසු වෙනවා. රාජාභරණවලින් සැරසිලා මුණින් අතට සිරි යහනේ අලුවිහාරේ මුදලි නිදා ගනිද්දී රජතුමා 50 ක පමණ පිරිසක් එක්ක මාළිගාව අසළ තිබුණු කන්දට පැනලා ගිහින් ගල උඩ කන්දට පළා ගිහින් ජීවිතය බේරගන්නවා.


කැරලිකාරයෝ උදේ රජතුමාගේ සිරි යහන් ගබඩාවට කඩා පැනලා රජතුමා වගේ නිදාගෙන හිටපු අලුවිහාරේ මුදලිව මරා දාලා රජතුමාව මැරුවා කියලා සතුටු වෙද්දී ඇරැව්වාවල දිසාවට සිහිපත් වෙනවා රජතුමා හා සමාන රූපයක් තියෙන අලුවිහාරේ වනිගසේකර මුදලි මාළිගාව ඇතුළේ හිටියේ නැහැ නේද කියලා.

රජතුමාගෙයි අලුවිහාරේ මුදලිගෙයි අතර වෙනස වෙන්නේ රජතුමාගේ කටේ දත් තියෙන එක විතරයි. මේ නිසා කුරුවිට රාළ මළ සිරුරේ කටට අත දාළ බලද්දී කටේ දත් නැති නිසා මේ මිය ගිහින් තියෙන්නේ අලුවිහාරේ මුදලි බවත් රජතුමා ජීවතුන් අතර කියලත් දැනගෙන කැරලි නායකයෝ ටික හුඟක් බය වෙනවා.

මේ නිසා ඉක්මණටම තමන්ගේ සැලැස්මේ ඊළඟ කොටසට යන්න හිතුව කැරලිකාරයෝ කන්දේ නුවරට ගිහින් එහේ හිටිය රාජ කුමාරයාගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍යය භාරගන්න කියලා. ඒත් කුමාරයා මේ ගැන මොකුත් නොකියා නිහඬව ඉදලා රජතුමාගේ සහෝදරියත් එක්ක රජතුමා ගාවට පලා යනවා.

සියලු වැඩ වැරදුණු බව දැනගත්තු කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව මින්ස්සු අතර බෙදාදීලා හැංගෙනවා. ඒ වගේ ආරක්ෂාව හේතු කොටගෙන ඔවුනොවුන් අතරත් ගැටුම් වගේම මිනීමැරීම් සිද්ධ වෙනවා. මේ කාලය තුළ රජතුමා වෙනුවෙන් තවත් රදළ නායකයෙක් තමන්ගේ පිරිසත් එක්ක කැරළිකාරයන් මරා දමමින් මහනුවරට එනවා.

රජු සහ රදළ නායකයින්

රජතුමා ගල උඩ කන්දේ ඉද්දිම සියලුම කලබල සංසිඳෙනවා.රදළ නායකයෝ තමන්ගේ විරුද්ධවාදීන් පවා කැරලිකාරයෝ කියලා මරන්න ගත්තු නිසා රජතුමා නියම කරනවා කැරලිකාරයෝ කියලා සැක කරන හැම දෙනාම අත් අඩංගුවට ගන්න මරා දැමීම නවත්තන්න කියලා.

අවසානයේ ඒ ගැන තිබුණු මහ නඩුවෙන් කැරැල්ලට සම්බන්ධයි කියලා ඔප්පු වුණු හැමෝම හිස ගසා මරා දානවා වගේම දේපළ රාජ සන්තක කරනවා. කැරැල්ලේ නායකයා වුණු අඹන්වෙල රාළ දඬුවම් කරන්න සිංහල දඬුවම් ක්‍රම ප්‍රමාණවත් නැහැ කියලා රජතුමා තීරණය කරලා අඹන්වෙල රාළට දඬුවම් දෙන්න කියලා දම්වැල්වලින් බැඳලා ලන්දේසීන්ට යැව්වත් ලන්දේසීන් එයාව නිදහස් කරලා උඩරට රහස් ලබාගන්න ඔහුව තියාගන්නවා. 

මේ සිදුවීමත් එක්ක තමන්ගේ පුත් කුමාරයා තමන්ගේ බලයට බාධාවක් කියලා හිතලා රජතුමා පුතාට වස දීලා මරා දැමුවා කියලා කතාවක් පවතින්නේ. ඒකේ ඇත්ත කතාව මොකක්ද කියලා පස්සේ දවසක කියන්නම් :)

තමන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු අලුවිහාරේ මහළු මුදලිගේ මළ සිරුර දැක්ක රජතුමා ශෝකයෙන් හැඬුවා කියලත් ජන කවි කීපයක් තියෙනවා.
සැන්දෑවේ දොරකඩ ළඟ සිටපු සැටී
රාජ පණිවිඩෙන් වාසල සිටපු සැටී
කුරුවිටියට මද නුවණක් දීපු හැටී
යහන් ඇඳේ වැටිලා පණ දීපු හැටී

රන් රන් දලේ රත් රන් දල රිදී දලේ
ඉන්දලේ තුලේ ඉන්තුල පෙති අතුලේ
රන් කඳ මැදර රන් හවඩිය රනින් කළේ
රන් කඳ වනිසේකර මුදලි මාතලේ

පස්සේ රජතුමා අලුවිහාරේ මුදලිගේ දේහය රාජ ගෞරව සහිතව ආදාහනය කරලා හඟුරන්කෙත ගෙඩි ගෙයක් කෙරෙව්වා කියලා තමයි කියවෙන්නේ.

ඒ වගේම අලුවිහාරේ මුදලි තම ජීවිත පරිත්‍යාගයෙන් රජතුමාව ආරක්ෂා කරපු නිසා ඒකට සතුටු වුණු රජතුමා අලුවිහාරේ සන්නස මඟින් අලුවිහාරේ වනිගසේකර මුදලිගේ පුතාට මුදලි මැරී සිටිය රජතුමාගේ ඇඳ සහ එහි සලු පිළි වගේම ඉඩ කඩම්, ආභරණ, සේවක සේවිකාවන් ප්‍රදානය කරනවා. මෙන්න මෙහෙමයි ඒක අලුවිහාරේ සන්නසේ තියෙන්නේ.

"ශ්‍රී ස්වස්ති ශ්‍රී ඝණ ප්‍රශස්ත ශාසනාම්බරාඩම්බර ප්‍රවරෙනු බිම්බ ගම්භීර ඝර්මාංශු වංශ මණි මන්දිර ප්‍රදීපායමාන වූ උතුම් රාජසිංහ දේවස්වාමිදරුවාණන් වහන්සේ සිරිලක රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තවැ ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් දසරාජ ධර්ම ප්‍රථානුවර්තීව වැඩ හිඳ වදාරණ සමයෙහි ශක වර්ෂ එක්වා දහස් පන්සිය අනුහයට පැමිණි වර්ෂයෙහි

ඒදඬුවාවත් පැල්ලන්පිටියත් උඩුබද්දාවත් මෙම තුන්දෙනා ප්‍රධානව මෙම දෙවිමහාරාජෝත්තමයාණන් වහන්සේට නිල්ලඹේ හදි පෙරලි සම්ප්‍රාප්ත වූ කල්හි අලුවිහාරේ වනිසේකර මහලු මුදලියා ඇතුළු මාළිගාවේ යහං ඇඳේ අප්‍රසිද්ධවැ ඉන්ට සැලැස්සූ විට ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේම යයි සිතා සතුරන් විසින් ඒ මුදලියාට ඇන මැරූ කල්හි රාජපක්ෂ වාධිකමිං ආඪ්‍ය නිසා තමාගේ ජීවිත කාලය ඇර ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේ නිසා ජීවිතක්ෂයට පැමිණි කල්හි ඒ මුදලියා ආදාහනය කරවා

ඉක්බිති ඒ මහලු මුදලියාගේ පුත් හට එම වනිසේකර පටබඳවා ඉක්බිති ඒ මුදලියා හෙව මල යහන් ඇඳ එහි අතුල රත්පලසය රත්‍රං පෙස කොට්ට සලුවයි රිදී වැස නිම කළ ලංස දෙකයි කස්තාන දෙකයි තුවක්කු පහයි ඇත්දත් කාරකයයි රත්‍රං මාලයයි පේරස් මුද්දයි හැට්ට තොප්පි සහිත රාජ පලඳනාවයි මහ ගබඩාවෙන් ගෑණු හිර පස්දෙනයි පිරිමි පස්දෙනයි මාතලේ අලුවිහාරේ ගමේ ඒ මළ මහලු මුදලියාගේ ප්‍රවේනි වූ වැල්ලේකුඹුරේ බිජු පහමුණද වලකුඹුරේ බිජු දෑ මුණද ඊට අඩුක්කුවූ ගොඩමඩ හැටපස් අමුණේ ගං පංගුද මෙම සියල්ලටම

මිං ඉදිරි අහස පොළව ඉරහඳ පවතිනාතුරු දියතලා කන්ද පැලහිරි ගල නිල්ලඹේ ගල පවතිනා තුරු රජදරු කෙනෙකුන් විසින් වත් අවුලක් උධරණයක් නැතිව සුදස් සින්නක්කර සහද ප්‍රවේණි සැලැස්මට ගෝත්‍ර පරම්පරාව දක්වා භුක්ති විඳිනා ලෙසට අලුවිහාරේ ගමේ වනිසේකර මුදලියාට ජගද ඛිල ශිරො මාණිඛ්‍ය වූ උතුම් දීප චක්‍රවර්ති දේවස්වාමි දරුවාණන් වහන්සේගෙන් දියතිලක නුවරදී ලැබී වදාළ පනතයි..."

ඔන්න ඕකයි වන රාජසිංහ රජතුමාට රූපෙන් සමාන වුණු අලුවිහාරේ මුදලිගේ කතන්දරය.

අලුවිහාරේ පරපුර ලාංකීය රජවරුන්ට සේවය කළා වගේම ඊට පස්සේ ඉංග්‍රීසීන් යටතෙත් රාජ්‍ය සේවය මැනවින් ඉටුකළා. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වෙන්නෙත් අලුවිහාරේ පරපුරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ.

ඒ වගේමයි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු අලුවිහාරේවරු ඉන්නවා. ඒ යටතේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ඇලික් අලුවිහාරේ දක්වන්න පුලුවන්. 

අලුවිහාරේවරුන්ගේ පවුල් සටහන මෙතනින් ගිහින් බලන්න පුලුවන්

පොඩි කුමාරිහාමිත් අහලා තිබුණු නිසා මේවා ගැන කොහොමද දන්නේ කියලා. විස්තර හොයාගත්තු පොත්පත් ගැනත් කියන්නයි කියලා හිතුවේ. මෙන්න විස්තර ටික

සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය - මහාචාර්ය රැල්ෆ් පීරිස්. පරිවර්තනය : කේ.ඒ.ඩී. පෙරේරා
සරණඞකර සඞඝරාජ සමය - පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
ඓතිහාසික මාතලේ අලුවිහාරය - පූජ්‍ය අලුවිහාරේ සරණංකර හිමි
එදා හෙළදිව - රොබට් නොක්ස්. පරිවර්තනය : ඩේවිඩ් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
උඩරට විත්ති - පී.එම්.පී. අභයසිංහ

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්න වුණු පොරොන්දුව ඉෂ්ට කරන්න ඔන්න පටන් ගත්තා. ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්නේ නැද්ද කියලා හොයලා බලපු රූ අක්කාට ස්තුතියි :)

පොරොන්දු වුණු විදිහට ඉතුරු කතා වගේම තවත් අප්‍රකට කතා රැසක් ගැන ඉදියේදී ලියවේවි.

1.රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
2. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
3. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
4. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
5. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
6. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා