Wednesday, July 20, 2016

වීමන් අලියා නිවන් ගියේ ය.......



මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. 

ඔහු කෙතරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා කල පටන් මා සිතට වැටී තිබුණේ 'ගෝල්ඩන් විලා' නමින් නම් කර තිබූ ඔහුගේ නිවසේ ආලින්දයේ එල්වා තිබූ ඡායාරූප හේතුවෙනි. බුදු සිරිත සිතුවම් කොට තිබෙන සාර්ලිස්ගේ සුප‍්‍රකට සිතුවම් කීපයක් සමග එක පෙළටම වාගේ ආලින්දයේ එල්ලා තිබූ ඡායාරූපයක් වූයේ බත් දුන් පියා වූ ඩඞ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යන නායකයන් අසුන්ගෙන සිටින වේදිකාවක කෙළවරකට වන්නට සිටි වීමන් හාමි ද අසුවන සේ ගත් ඡායාරූපයකි. 

මේ තරම් උග‍්‍ර යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' නිවන් යන්නට සිදුවූයේ 1970 දී පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූ හෙයිනි. බලවත් සමගි පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැකි වූ හෙයින් ලත් ජයග‍්‍රහණයෙන් උදම් වූ ගමේ සිරි ලංකාකාරයෝ යූ.ඇන්.පී. කාරයන්ට ද පාඩමක් ඉගැන්වීමට අමතක නොකළහ. 

දික්වෙල හන්දියේ කඩයක බිත්තියේ "වීමන් අලියාට නිවන් සුව ලැබේවා" යනුවෙන් සඳහන් පෝස්ටරයක් ඇලවුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ඉන් නොනැවතුණු සිරි ලංකාකාරයෝ පොත් අතු, කිතුල් අතු ආදිය ද ඒ අසළට ගෙනවිත් දමා තිබුණි. 

මෙය සැලවුණු 'වීමන් අලියා' එවකට තමා සන්තකයේ තිබූ ලයිෂන් තුවක්කුව මෝටර් රථයේ ඉදිරි අසුනේ පෙනෙන්නට දමාගෙන දික්වෙල හන්දියට පැමිණ පෝස්ටරය ඉරා සාක්කුවේ දමාගන්නට නොපසුබට විය. එපමණක් නොව ඒ අසළ ඇති ප‍්‍රධාන නගරය වූ මාවරමංඩියට ද පැමිණ වටයක් ගසා සියඹලාපේ නිවෙසට 'වීමන් අලියා' පැමිණියේ පරාජය මහ කජ්ජක් නොවන බව සිරි ලංකාකරයන්ට පෙන්වමිනි. 

ඉන් පසුවද සුපුරුදු ලෙස පක්ෂයට හිතැතිව කටයුතු කළ 'වීමන් අලියා' බොහෝ යූ.ඇන්.පී. කාරයන් පක්ෂය අමතක කළ මහින්ද රාජපක්ෂ යුගයේ වුව ද පක්ෂය සමග රැඳී සිටියේ ය. දෙවන වරටත් ඔහුට නිවන් සුව පතා දික්වෙල හන්දියේ පෝස්ටරයක් ඇලවුණේ 2003 වසරේ ය. ඒ සැබවින්ම ඔහු මියයාම හේතුවෙනි. 


කැපුවත් කොළ යූ.ඇන්.පී. කාරයෙකු වූ 'වීමන් අලියාට' අවසන් ගෞරව දක්වන්නට යූ.ඇන්.පී. අලි රැළේ මහ අලියා වන රනිල් වික‍්‍රමසිංහ පවා පැමිණියේ බියගම මන්තී‍්‍රවරයා සිටි කාලයේදී 'වීමන් අලියා' හිතවතෙකුව සිටි නිසා ය. රනිල් වික‍්‍රමසිංහ පක්ෂය දමාගිය ද පක්ෂය දමා නොයන කැපුවත් යූ.ඇන්.පී. කාරයන් වන 'වීමන් අලියාගේ' දරුවන් ඇතුළු සියලු ඥාතීන් ඉන් අමන්දානන්දයට පත් වූ වග අමුතුවෙන් කිවයුතු නොවේ. 'වීමන් අලියාගේ' කථාව ලේඛකයාට දැනගන්නට ලැබුණේ ද මේ අතරවාරයේදී ය.

ප.ලි. කලකට පසු නැවතත් ආගිය කතාවකින් ආගිය කතාවට පිවිසීම පිළිබඳ මා හට නිරතුරුව තර්ජන කරමින් වරෙක මරණීය තර්ජන පවා කළ ධනුල මල්ලී ඇතුළු සහෘදයන් අහිතක් සිතතැයි නොසිතමි :D

16 comments:

  1. ආ ගිය කතා තුල අලුතෙන් කතාවක් පල වී තිබෙනු දැකීමත් සතුටකි. :)

    ReplyDelete
  2. අවුරුදු 13ක් පරණ කතාවකින් හරි ආපහු දකින්න ලැබුනු එක මදැයි...

    ReplyDelete
  3. තව කතාවක් කියන්නකෝ!

    ReplyDelete
  4. ආයෙමත් යමක් ලියපු එක හොදා...

    ReplyDelete
  5. හොර අලියාත් දැන් ලියන්න පටන් අරන් තියෙන්නෙ.

    ReplyDelete
  6. හම්මේ ඇති යාන්තම්... ආපහු ලියනව කිව්වට මම විස්වස කලේ නෑ. කියවල කමෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
  7. අවුරුදු 13 ක් පරණ දේවලුත් දැන් ඉතිහාස කතා වෙලා නේද?
    කාලය මැව් වෙනසක අරුමේ!

    ReplyDelete
  8. වීමන් අලියාට නිවන් සුව පතමු, අවුරුදු දහතුනක් වුනත් අද නං හිටිය නං සතුටු වේවි. මෙහෙම හරි ආගිය කතාවකින් ආපු එක කියන්නේ ලොකු දෙයක්

    ReplyDelete
  9. වීමන් අලියාට සුභ ගමන්. අවුරුද්දකාට් එක පොස්ට් එක ගානේ දාන බ්ලොගක් දැක්කමයි.

    ReplyDelete
  10. කාලෙකට පස්සෙ වෙලකට බැහැලා

    ReplyDelete
  11. Read my blog if you wish
    http://kooltempo.blogspot.com/

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................