Sunday, October 31, 2010

෴එන්න රහසක් කියන්න෴

එන්න එන්න...

ෂ්ෂ්ෂ්..... වැඩිය සද්ද කරන්න එපා....

අද අපි කට්ටියම එකතුවෙලා කෙනෙක්ව පුදුම කරමුද?

කාවද? කෝ කාවද?

අර ඉන්නේ දැක්කාද?



ෂ්ෂ්ෂ් කෑගහන්න එපා..එයාට ඇහෙයි..

(කට්ටියට රහසින්)අද එයාගේ උපන්දිනේ අපි එකතුවෙලා හොරෙන් හොරෙන් ගිහින් එක පාරටම කෑගහලා විෂ් කරමු...
එහෙනම් කට්ටිය ලැස්තියිනේ... ඔන්න
එකා....යි
දෙකා....යි
තුනා....යි


හා දැන් තාලේට කියමු..


හැපි බර්ත්ඩේ ටූ ‍යූ
හැපි බර්ත්ඩේ ටූ ‍යූ
හැපි බර්ත්ඩේ ඩියර් හසියෝ..
හැපි බර්ත්ඩේ ටූ ‍යූ...




එන්න එන්න කට්ටියම කේක් කන්න...................





එන්න මල්ලි එන්න නංගි නැගිටලා
මෙන්න අයියේ මෙන්න අක්කේ රස කථා
කේක් ගෙඩිය කපලා ගන්න
බීම එකක් හදලා බොන්න
එන්න මල්ලි එන්න නංගි නැගිටලා
එන්න අයියේ එන්න අක්කේ හැඩදමා
එලි වෙනකම් සින්දු කියමු රොක් වෙලා
ලෝකේ තියෙන හොදම පාටිය
එලි වෙනකම් අපේ ජොලිය
ගන්න කේක් ගන්න කේක් එක් වෙලා...


**************************************************************

දිගු ජීවන ගමන් මඟේ
විසි දෙවන සැතපුම් කණුව පසුකරන
අපගේ ආදරණීය සොහොයුරාට
සියලුම පැතුම් ඉටුවන
සුබම සුබ උපන්දිනයක් වේවා...!!


මුලු හදවතින්ම සුබපතන
අපි
෴සාඩම්බර හසී පවුල෴

Saturday, October 23, 2010

e-අටුවාව දියත් කළ වගයි

මම අළුත් වැඩක් පටන් ගන්න යනවා කියලා කිව්වා ඔයාලට මතක ඇති. ඒ තමයි ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක.

මම සති කීපෙකට කලින් ඔයාලට ඒක ගැන කියලා ඒකේ කටයුතු කීපයක් ගැනත් ඔයාලගේ අදහස් විමසුවා මතක ඇති.

ඉතින් e-අටුවාව කියන ඒ බ්ලොග් අඩවිය "දැනුමට විද්‍යුත් අටුවාවක්" කියන තේමාව යටතේ අද දහවල් 12.00 දියත් කෙරුණා.

බ්ලොග් අඩවිය ඇතුළත් කරගන්න කියලා ලාංකීය සිතුවිලි හා සිංහල බ්ලොග් කියවනයට යොමු කළ ඉල්ලීම්වලින් ලාංකීය සිතුවිලි ඉක්මණින් ප්‍රතිචාරය දක්වලා තිබුණා. ඒක නිසා මේ වෙනකොට ලාංකීය සිතුවිලිවලින් e-අටුවාව කියවන්න ඔයාලට පුලුවන්.

හා හා පුරා කියලා අටුවාවට ලිව්වේ මම හුඟාක් ආසාවෙන් ලියන්න බලාගෙන හිටිය බොල්තුඹේ සමන් දේවාලය ගැන.

-------------------------------------------------------------------------------------------------

සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.

ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

  • ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
[රාම කුමරුට දකුණු පසින් ඉන්නේ ලක්ෂ්මණ කුමරු]

කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.

රත්නපුරේ පිහිටි සබරගමු මහ සමන් දේවාලය

සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.

එහෙමනම් ඉතිහාසයත් එක්ක සම්බන්ධ කරුණු කාරණා ගැන දැනගන්න ඔයාලා දන්න දේ බෙදාගන්න රැඳෙන්න e-අටුවාවත් එක්ක.

Thursday, October 21, 2010

කාඩිනල්වරයෙක් වුණු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ


මගේ sim එකේ අද දෙරණ News active කරලා තියෙන්නේ. ඒක නිසා හැමදාම වගේ එක එක ජාතියේ news එනවා. අද හැන්දෑවේ 4.46 ට message එකක් ආවා. මෙන්න මේ විදිහට.

The Pope has elevated
Colombo Archbishop Most Rev. Dr. Malcom Ranjith
as a Cardinal.
He becomes
the 2nd Cardinal from Sri Lanka.

මම කිතුණුවෙක් නොවුණත් මේක දැක්ක ගමන් මට ලොකු සතුටක් ඇතිවුණා. ඒ මේ ගෞරවය ශ්‍රී ලාංකිකයෙක්ට හිමිවුණු විශාල ගෞරවයක් නිසා ශ්‍රී ලාංකිකයෙක් හැටියටත් ඒ වගේම මනුස්සකම හඳුනන මනුස්සයෙක්ට ලැබුණු ගෞරවයක් නිසා මනුස්සයෙක් හැටියටත්.

ඉතින් මේ message එක මම මගේ කිතුණු යාළුවන් ඔක්කෝටම වගේ forward කළා. මොකද අපිටත් වඩා සතුටක් මේ ආරංචිය දැනගත්තාම එයාලා භුක්ති විඳින නිසා. ඊට පස්සේ මට ආපු reply වලිනුත් ඒක හොඳටම සනාථ වුණා.

අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2009 ජූනි මාසයේ කොළඹ අගරදගුරු පදවියට පත්වීමත් සමඟම බොහෝ දෙනා පලකළ අනාවැකියක් වුණේ ලංකාවෙන් මීළඟට පත්වෙන කාඩිනල්වරයා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් බවයි.


ඉතින් ඒ අනාවැකි සියල්ල සඵල කරමින් ශුද්ධෝත්තම XVI බෙනඩික් පාප් වහන්සේ විසින් ඊයේ දිනයේදී අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ව කාඩිනල්වරයෙක් ලෙස පත්කරනු ලැබුවා. මීට පෙර එම භාග්‍යය හිමිවෙලා තිබ්බේ එක් ලාංකිකයෙක්ට පමණයි.

අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්

ඒ හිටපු කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්ට. ශුද්ධෝත්තම VI වෙනි පාවුළු පාප් වහන්සේ විසින් 1965 වසරේදී අති උතුම් තෝමස් කුරේ හිමිපාණන්ව කාඩිනල්වරයෙක් ලෙස පත්කරනු ලැබුවා.

කාඩිනල්වරයෙක් කියන්නේ කවුද කියන එක ගැන කෙටියෙන් කතා කරනවා නම් ඒකට මුලින් රෝමානු කතෝලික ආගම සංවිධානය වුණු ආකාරය ගැන කතා කරන්න වෙනවා.


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිතුණු දහම ව්‍යාප්ත කරන්න ප්‍රධාන ශ්‍රාවකයන් 12 ක් ඇතුළත් කරලා සභාවක් පිහිටවනවා. මොවුන් 12 දෙනාව අපොස්තුලුවරුන් විදිහට වගේම "යවනු ලබන්නන්" විදිහටත් හඳුන්වනවා.

ශාන්ත පීතරතුමා

ඔවුන්ගේ ප්‍රධානියා ලෙස පත් කරන්නේ ශාන්ත පීතරතුමාව. එතුමා රෝමය මූලික කරගෙන කිතුණු දහම ව්‍යාප්ත කරන්න කටයුතු දියත් කරනවා. මෙහිදී ශාන්ත පීතරතුමන්ගෙන් පසුව එම තනතුරට පත්වෙන අයව පාප් වහන්සේ හෙවත් Pope යන නමින් හඳුන්වනවා.

මෙනිසා සමස්ත ලෝකවාසී කතෝලිකයන්ගේ නායකත්වය දරන්නේ පාප් වහන්සේයි. එතුමා විසින් අතීතයේ අපොස්තුලුවරුන් කළ කාර්යය ඉටු කරන්න ලෝකයේ විවිධ ප්‍රදේශවලට රාජගුරුප්‍රසාදීන්වරු පත් කරනවා.

ශ්‍රී ලංකාව ප්‍රදේශ 11 කට බෙදලා ඒ ඒ ප්‍රදේශවලින් රාජගුරුප්‍රසාදීන්වරු පත් කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට රාජගුරුප්‍රසාදීන්වරුන්ට භාර දීලා තියෙන ප්‍රදේශ හඳුන්වන්නේ "පදවි" යන නමෙන්. උදාහරණ ලෙස කොළඹ පදවිය, යාපනය පදවිය විදිහට.

මේ රාජගුරු පදවි කීපයක නායකත්වය දරන්නේ අග්‍රරාජගුරුය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ කොළඹ පදවියේ ප්‍රධාන රදගුරුතුමා අග්‍රරාජගුරු තත්වය දරනවා.

බොහෝ විට ප්‍රධාන අගරදගුරු පදවි දරන්නන් අතරින් කාඩිනල්වරු තෝරා පත්කිරීම සිදු කරනවා. පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ විටෙක නව පාප් වහන්සේ තෝරා පත් කරගනු ලබන්නේ කාඩිනල්වරුන්ගේ ඡන්දයෙන් ඔවුන් අතරින්ම එක් අයෙක්ව.


ඉතින් කාඩිනල්වරයෙක් කියන්නේ විශාල ගෞරවයක් තියෙන තත්වයක් බව කියන්න ඕනේ.

අවසාන වශයෙන් මෙලෙස කාඩිනල් ධූරයකට තේරී පත්වුණු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ට සුභාශිංසන එක් කරන ගමන්ම එතුමන්ගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.



අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ව ඇතුළු තවත් 23 දෙනෙක් කාඩිනල් ධූරයට උසස් කිරීම සඳකා පැවැත්වූ උත්සවයේ දසුනක්


අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ජීවිත කතාව වගේම තවත් වටිනා තොරතුරු රැසක් තියෙන "දෙසතිය" කියන සඟරාව මේ post එක සකසන්න ලොකු උදව්වක් වුණා. ඒක download කරගන්න ඕනේ නම් මෙතන කොටන්න.

ප.ලි.: PDF file එකක් upload කරගන්නේ කොහොමද කියලා ලොකු ගැටළුවකින් හිටියේ. ඒ ගැටළුව ලෙහා ගන්න උදව් කරපු අශෝක්බරන් මිත්‍රයාටත්, ජේ.ඩී. ශේඩ් මිත්‍රයාත් ස්තුතියි.

ඒ වගේම මේ post එකේ අඩුපාඩු තියෙන්නත් පුලුවන්. ඒවා පෙන්වලා දෙනවා නම් ඒක ලොකූ................. සහයෝගයක් :)

Friday, October 15, 2010

නව ඉමක් සොයන නදීක ජයවර්ධන



ලංකාව කියන රට ගත්තාම වැඩියෙන්ම ඉන්නේ නායකයොයි ගායකයොයි කියලා තමා මට නම් හිතෙන්නේ. නායකයෝ ගැන කතාකරන එක හැමවෙලේම වගේ වෙනවානේ. ඉතින් ඒ දෙකොට්ඨාශයෙන් අද කතා කරන්න යන්නේ ගායකයෝ ගැන.

හතු පිපෙන්නා වගේ ගායකයෝ බිහිවෙන කාලෙක එක ගායකයෙක් ගැන තමා කතා කරන්න යන්නේ. ඔහු තමයි නදීක ජයවර්ධන. මතකයට එනවද කවුද මේ කියලා. නදීකගේ සිංදු නම් හුඟාක් අයට මතක තිබ්බාට මුලින්ම පුද්ගලයාගේ හැඩ හුරුකම් මතක් කරලා දෙන්න ඕනේ නේ.

මේ හාදයාව මතක් කරගන්න පුලුවන් මෑත කාලයේ සිද්ධිය හැටියට මට මතක් වෙන්නේ සිරස Super Star Season 3 programme එක වගේම ඒක ඉවර වුණාට පස්සේ විකාශය කරපු පහන් කන්ද කියන musical programme එක.

ඒවායේ Classical guitar එක play කරපු මහේන්ද්‍ර පැස්කුවෙල්ගේ [එයාවත් දන්නේ නැත්නම් තමා වැඩේ :))] එහා පැත්තේ වාඩිවෙලා base guitar එක play කරපු මහත හාදයා තමා නදීක ජයවර්ධන.


මුලින්ම නදීක අපි අතර ජනප්‍රිය වුණේ Hutch එකේ Theme song එකක් වුණු

" කියන්න කියන්න හද රැඳි මා සමඟේ
කියන්න කියන්න ඇති සැමදේ රිසි සේ "

කියන සිංදුවෙන්



පස්සේ තමා නදීක ඉරාජ් වීරරත්නත් එක්ක එකතු වෙලා නදී ගංගා තරණේ ගීතය ගායනා කරන්නේ.



නදී ගංගා තරණේ ගීතය මුලින්ම ගායනා කරන්නේ ලංකාවේ රොක් සංගීතයේ දැවැන්තයෙක් වෙන චිත්‍රාල් සෝමපාල. චිත්‍රාලුත් මේ ගීතය ගායනා කරන්න මුල් කරගන්නේ Jimmy Cliff ගායනා කරපු Many Rivers To Cross ගීතය. චිත්‍රාල් ගායනා කරනවාට වඩා වෙනස් විදිහකට නව සංගීත සංයෝජනයකින් තමා නදීක මේ ගීතය ගායනා කරන්නේ.

ඒ වගේම රජයෙන් තොරතුරු තාක්ෂණය දියුණු කරන්න දියත් කරපු e- ශ්‍රී ලංකා වැඩසටහනේ තේමා ගීතයේ සංගීත නිර්මාණයට වගේම ගායනා කරන්නත් නදීක දායක වෙනවා. ඒ ගීතය ගායනයට කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, කසුන් රණසිංහ, නුවන්ති ගුණසේකර එක් වෙනවා.

මෑත කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගයන්නත් නදීක එක් වෙනවා. ලංකාවේ ප්‍රථම වරට HD තාක්ෂණය යොදාගෙන නිර්මාණය වුණු ගීතය වුණු "සිහිනයක්" තමා නදීකගේ දෙවෙනි Visual Song එක වෙන්නේ. ඒකත් හුඟක් ජනප්‍රිය වුණු ගීතයක්.



නදීක ජයවර්ධනගේ නිර්මාණවල අග්‍ර ඵලය වෙන්නේ පසුගිය වසරේ එළි දක්වපු "සිහිනයක්" කියන Music Album එක.

සිහිනයක් Music Album එක download කරගන්න මෙතන කොටන්න.


ඒ album එකේ තියෙන සිංදුවලින් හුඟාක්ම ජනප්‍රිය වුණේ......

කියන්න කියන්න,
සිහිනයක්,
මට කියන්න,
මුතු කිරිල්ලී වගේ ගීත.

මාත් මුලින්ම සිහිනයක් album එක download කරගෙන ඇහුවේ උඩින් දක්වලා තියෙන සිංදු ටික විතරයි. ඒත් දවසක් මුලු album එකම ඇහුවාට පස්සේ තවත් නියම සිංදු මේ album එකේ තියෙන බව තේරුම් ගියා. ඒත් ඒවා රේඩියෝවේ, TV එකේ යන්නේ නැති නිසා අපි දන්නේ නැහැ නේ කියලත් හිතුණා.

මේ album එකේ තියෙන තවත් හොඳයි කියලා හිතුණු ගීතයක් තමා මේ

"නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ"



ඉතින් මේ album එකේ තියෙන අනිත් ගීතත් අහලා බලන්න. ඇත්තටම සංගීතයේ නව ඉමක් සොයාගෙන යන ගායකයෙක් ඒ ගීත අහපුවාම ඔයාලට දැක ගන්න ලැබේවි.


නදීක ජයවර්ධනගේ වෙබ් අඩවිය
නදීක ජයවර්ධන මුහුණු පොතේ

නදීක අයියා තවත් දිගු ගමනක් යන්න මගෙන් කෙටි සුභ පැතුමක් !!!


ප.ලි.: කට්ටිය බලනවාද දන්නේ නැහැ මේ මොකක්ද අද ලියලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ නදීක ජයවර්ධනගේ ජීවිත කතාවේ මුල් කොටස නේ. ඉතින් ඒකත් කතාවක් නේ.

ඒ වගේම ආගිය කතාවලින් කියන්න හදන දේවල්වල පරාසය පුළුල් කරන්න ගත්තු උත්සාහයක් තමා මේ. ඒක සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා.

Wednesday, October 13, 2010

අළුත් වැඩක්


මේ දවස්වල අළුත් වැඩක් පටන් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේ. ඒ තමයි ඉතිහාසය ගැන මූලිකව කතාබහ කෙරෙන අධ්‍යාපනික බ්ලොග් අඩවියක් පටන් ගන්න එක. මේ ගැන අදහස ඇවිත් දැන් ටික කලක් වෙනවා. ඒකට අළුතෙන් බ්ලොග් එකකුත් මම හැදුවා ඒ දවස්වලම.

අළුත් බ්ලොග් එකේ නම e-අටුවාව. ඒත් තිබුණු වැඩ කටයුතුත් එක්ක ඒක ගැන අවධානය යොමු කරන්න බැරිවුණා.

දැන් තමා ඒකට ඉඩ ප්‍රස්ථාවක් හම්බුණේ. ඉතින් ඔයාලගෙනුත් උදව් ඕනේ වැඩේ ලස්සනට කරන් යන්න. එකක් තමා ඒ බ්ලොග් එක ලියන්න ඕනේ කතා කරන භාෂාවෙන්ද ඒත් නැත්නම් ලියන භාෂාවෙන්ද කියන එක ගැන ඔයාලගේ ideas මට දැනගන්න ඕනේ.

අනික් එක තමා මොනවගේ කරුණු කාරණා ගැනද ලියන්න ඕනේ කියලා ඔයාලා හිතන්නේ කියන එක. ඉතින් මේ කරුණු දෙක ගැන ඔයාලගේ අදහස් දෙන්න පුලුවන් නම් සාර්ථකව ඒ බ්ලොග් එක කරන්න පුලුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

e-අටුවාව.............
"දැනුමට විද්‍යුත් අටුවාවක්"

ප.ලි.: කංචු අයියාත් මේ වගේ දෙයක් කරන්න කියලා මට කියලා තිබුණා. එයාටත් මගේ ස්තුතිය පිරිනමනවා මගේ ඔළුවේ තිබුණු idea එකට හයියක් වුණාට.

Saturday, October 9, 2010

අලින්ගේ අලි වැඩ


අලියා කියන්නේ ලංකාවේ අපිට හුඟක් සමීප සතෙක් නේ. ඉස්සර කාලේ ඉදන්ම අලි ගැන අපේ ඉතිහාසෙත් තියෙනවානේ. රජ්ජුරුවන්ට මංගල හස්තිරාජයා කියලා Official අලියෙක් හිටියානේ. අනුප්‍රාප්තිකයෙක් නැතිව රජතුමා මියගියාම මංගල හස්තියා සරසලා යැව්වාම රජකමට නියම උරුමක්කාරයා හොයා ගත්තා කියන කතා අහලත් ඇතිනේ. ඒ වගේම ලංකාවේ අලියා තමන්ගේ පක්ෂ ලාංඡනය බවට පත් කරගත්තු පක්ෂෙකුත් තියෙනවානේ.

ඒ වගේම පෙරහැරේ කරඬුව වඩම්මන්නත් අලියා යොදා ගත්තා. ඒ වගේම අලින් එක්ක බැදුණු කතාත් කොච්චර නම් තියෙනවාද ? "අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ, අලියන්ට ළමයින්ට නලියන්න ඕනේ" කියලා හැදුණු උපහැරණ වගේම ලොකු මිනිස්සුන්ට අලියා වගේ කියන card එකත් ලංකාවේ අපි දානවානේ.

අලි ගැන තව හුඟක් කතා කරන්න පුලුවන්. ඒ ගැන සිංහල විකියේ වගේම ඉංග්‍රිසී විකියෙත් හුඟක් කතා තිබුණා. කැමති අයට ඒකත් බලන්න පුලුවන්. ඉතින් අද කතාවට එමුකෝ.....

මේ විදිහට අලි ගැන කෙටියෙන් කියන්න හිතුණේ අලි කරපු වැඩක් ගැන පහුගිය දවසක ඇස් දෙකටම දැකගන්න පුලුවන් වුණු නිසා. අපේ Logic මිස් අළුතින් ගෙයක් හදනවා. ඒකේ උළුවහු ජනෙල්වලට ඕනේ කරන ලී සපයා ගන්න ගස් කැපුවේ සර්ලගේ [සර් කිව්වේ මිස්ගේ husbandට] ගමෙන්. ඒ කියන්නේ පිළිමතලාවෙන්.

ලංකාතිලක රාජ මහා විහාරය

ඉතින් ගස් කපපු දිහාවට වාහනවලට යන්න අමාරු නිසා අලින්ට කියලා තමා කොටන් ඇද්දුවේ. අලියා කිව්වාට මූ අලියෙක් නෙමෙයි ඇතෙක්. මේ වැඩේ වුණු දවස්වල තමා ලංකාතිලක රාජ මහා විහාරයේ වාර්ෂික පෙරහැර තිබුණේ. ඒකට ආපු ඇතෙක් තමා මේ වැඩේට set කරගත්තේ.

ඇතත් ඉතින් නැහැ බැහැ නොකියා යස අගේට වැඩ කලා. මේ බලන්නකෝ එයාගේ වැඩ.

කොහොමද මම ලස්සනයිද ?

ආන් එහෙම හොඳ පුතා වගේ කොටන් ටික උස්සපන්........

මාමේ මේ කොටන් ටික බුරුල් වෙලා වැටෙනවානේ

ඇත්ගොව්වොත් back up එක දුන්නා

ප.ලි.: මේ වැඩේ නිසා ලංකාතිලක රාජ මහා විහාරේ එක්ක බැඳුණු පරණ කතා දෙක තුනකුත් දැනගන්න පුලුවන් වුණා. ඒවා එහෙමත් ඉස්සරහට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

Friday, October 8, 2010

සොඳුරු බව


සොඳුරු මතකයන් මිහිරියි හැමදාමත්
සොඳුරු මිනිසුන් සිහිවේවි හැමදාමත්
සොඳුරු දේ තව ඒවි ඉදිරියටත්
සොඳුරු බව ඒ තරමටම සොඳුරුයි අපි කාටත්


ප.ලි.: මම මුලින්ම කියලා ඇති කට්ටියට මම කවිකාරයෙක් නෙමෙයි, මට කවි ලියන්න බැහැ කියලා. ඒත් මට මෑත කාලේ හමුවුණු පුද්ගලයෙක් නිසා මම කවිකාරයෙක් වුණා කියලා තමා මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ දවස්වල ලියලා තියෙන කවිවලින් හොඳයි කියලා මට හිතෙන එකක් තමා මේ.......

මම කලින් බැරි මර ගාතේ ලියපු කවි බලන්න කැමති නම් මෙතන කොටලා බලන්න.

Wednesday, October 6, 2010

මොකක්ද බොලේ මේ DELBOTC


දවස් 4, 5 කට පස්සේ තමා මේ පැත්තේ කරක් ගහන්න එන්න පුලුවන් වුණේ. හදිසියේම ගිය බ්‍රහස්පතින්දා පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණු නිසා වැඩ ඔක්කොම අවුල් වෙලා තිබ්බේ. කතාව මෙහෙමයි. අපේ A/L Logic Class එකේ ගුරුතුමිය හැම බ්‍රහස්පතින්දාම කැලණිය රාජ මහා විහාරෙදී බෝධි පූජාවක් කරනවා. අපිත් ඒකට පුලු පුලුවන් වෙලාවට සම්බන්ධ වෙනවා.

ඉතින් ගිය සතියේ බ්‍රහස්පතින්දා බෝධි පූජාවට සම්බන්ධ වෙන්න හිතාගෙන මම මිස්ලගේ ගෙදරට ගියා. බෝධි පූජාවට ඕන කරන බඩු මුට්ටු ටිකත් මිස්ලගේ car එකට පටවන්න එහෙමත් මම උදව් වුණා.[කට්ටියට මේ car එක ගැන මතක ඇති. මිස් තන්තිරිමලේ ගිහින් කුඹුරක් හාන්න ගියේ මේ car එකෙන් තමා :))]

අන්තිමට ඔක්කොම එළියට බැස්සාට පස්සේ මිස් ගෙදර දොර lock කරන්න ගියා. ඒ දොරේ පොඩි අවුලක් තියෙනවා හයියෙන් අදින්න ඕනේ. ඒ නැත්නම් හරියට lock වෙන්නේ නැහැ. මමත් ඉතින් මිස්ගේ උදව්වට ගියා දොර වහන්න. මිස් එක පාරක් ඇද්දට හරි ගියේ නැති නිසා මිස්ට පැත්තකට වෙන්න කියලා මම එක පාරක් හයියෙන් ඇද්දා. ඒත් දොර හරියට වැහුණේ නැහැ.

Lock එක මේ වගේම නෙමෙයි ඒත් ටිකක් මේ වගේ lock එකක්

මාත් ඉතින් ආයි පාරක් දොර ඇරලා full වීරියම දාලා දොර වැහුවා විතරයි Lock එකේ handle එකත් කඩාගෙන ඒක මගේ අතට ආවා. ඒ ගමන්ම දකුණු අතේ දබර ඇඟිල්ල හරියෙන් කඩියෙක් කනවා වගේ වේදනාවකුත් ආවා. බැලින්නම් දබර ඇඟිල්ලේ උඩ ඉදන් පහළට තීරුවක්ම කැපිලා. ටික ටික ලේ ගලනවා. මේ වෙලාවේ තමා මට මම St. John Ambulance එකේ කරපු First Aid Course එකෙන් තුවාලයක් වුණාම කරන්න කිව්ව වැඩ පිළිවෙල මතක් වුණේ.



මමත් කඩන් බිදගෙන Tap එක ගාවට ගිහින් තුවාලේ ගලාගෙන යන වතුරෙන් හේදුවා. පස්සේ බාහිරව තුවාලයක් වුණාම කරන treatment එකේ මුල් පියවරවල් ටික අනුගමනය කළා.

එක කෙටියෙන් හඳුන්වන්නේ DELBOTC කියලා


හැමෝගෙම අවබෝධයට ඒක කියන්නම්. මේ එක් එක් අකුරෙන් තේරුමක් එන්න තමා සකස් කරලා තියෙන්නේ.

D - Direct Pressure සෘජු පීඩනය
E - Elevation ඔසවා තැබීම.
L - Lay down හාන්සි කරවීම.
B - Bandage වෙළුමක් යෙදීම.
O - Other Injuries වෙනත් තුවාලවලට ප්‍රතිකාර කිරීම.
T - Treat for shock කම්පනයට ප්‍රතිකාර කිරීම.
C - Circulation චාක්‍රණය

මේ එකෙන් එක ගැන කතා කළොත් තුවාලයකින් ලේ ගලන එක වළක්වන්න දැන් ඉස්සර වගේ තිරිංග දැමීමක් කරන්නේ නැහැ. ඒ නිසා තුවාලය උඩ අත තියලා සෘජු පීඩනයක් ලබාදීලා ලේ ගලන එක නවත්තන එකක් තමා දැන් වෙන්නේ. ඒ වගේම තුවාලය තියෙන ස්ථානය හෘදය වස්තුවට වඩා ඉහළින් තබන්නත් කටයුතු කරනවා. ඉන් පසුව රෝගියාව පොළවේ දිගා කිරීමක් කරනවා.

ඊට පස්සේ තමා තුවාලය ආවරණය කිරීම කරන්නේ. පිරිසිදු රෙදි කඩකින් වුණත් මේ වැඩේ කරන්න පුලුවන්. මේ තුවාලයට අමතරව තවත් තුවාල තියෙන්න පුලුවන් නේ. ඒවා ගැනත් ඉන් පස්සේ අවධානය යොමු කරලා ඒවාට හැකි විදිහට ප්‍රතිකාර කරනවා.

මේ විදිහට වෙන ලේ ගලායාමක් නිසා මොළයට අවශ්‍ය ප්‍රමාණයට ලේ නොලැබීම නිසා කම්පන තත්වයකුත් ඇතිවෙන්න පුලුවන්. ඒකට අවශ්‍ය කරන පිළියම් එහෙමත් කරන්න ඕනේ. අවසාන වශයෙන් මේ ප්‍රතිකාර ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ලේ ගමනාගමනය හරියට වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කරපු වැඩ ටික ඔක්කොම ගඟේ මූදේ දැම්මා වගේ වෙනවා.

මේ සංකීර්ණ plan එකෙන් මම කළේ තුවාලේ හෝදගෙන ඇවිත් තුවාලේ උඩින් පිරිසිදු රෙදි කෑල්ලක් තියල තද කරලා [සෘජු පීඩනය] අත උඩට උස්සලා [පොඩි කාලේ පංතියේ නාම ලේඛනේ ලකුණු කරද්දී ඉන්නවා කියන්න අත උසන්නේ අන්න ඒ ගානට] පුටුවක වාඩිවෙලා හිටපු එක. ඊට පස්සේ ඉක්මණටම කට්ටිය මාව Doctor කෙනෙක් ගාවට අරන් ගිහින් තුවාලෙට බෙහෙත් දැම්මා. Doctor කිව්වා එච්චර ගැඹුරට කැපිලා නැහැ. ඒක නිසා මැහුම් දාන්න ඕනේ නැහැ කියලා.


හොඳම වැඩේ දොරේ Lock එකේ කැඩිච්ච handle එක මම මේ සිද්ධිය මතක් වෙන්නත් එක්ක සාක්කුවේ දාගෙන හිටියේ. ඒක සාක්කුවේ දාගෙන ආපු එක හොඳයි කියන්නේ Doctor ටෙට්නස් ගහන්න වෙයිද දන්නේ කියලා කියද්දී මම අමාරුවෙන් වම් අත සාක්කුවට දාලා handle එකේ කෑල්ල දුන්නා. පස්සේ Doctor කිව්වා මේක යකඩ නෙමෙයි නේ ඕනේ නැහැ ටෙට්නස් ගහන්න කියලා. අන්තිමට ඉතින් බෙහෙත් දාගෙන කැලණි පන්සලුත් ගියා බෝධි පූජාවට.

ඉතින් මේ දවස් ටිකේම හුඟක් වැඩ කටයුතු කළේ වම් අතින්. ඒක නිසා ඒකත් රිදෙන්න ගත්තා :)) කොහොම වුණත් අත් දෙකම එහෙමත් නැත්නම් එක අතක් නැති අය තමන්ගේ වැඩ කටයුතු කරගන්න කොච්චර මහන්සියක් වෙනවද කියන එක නම් යස අගේට මට තේරුණා.

හැමෝම වැඩ කටයුතු කරද්දී පරිස්සමෙන් කරන්න වග බලා ගන්න ඕනේ. හරිද ?

ප.ලි.: මේ ජරමරෙන් පස්සේ මම හිතා ගත්තේ ආයි නම් හයියෙන් දොරවල් වහන්න යන්නේ නැහැයි කියලා. මේ කතාවෙන් ඔයාලටත් ගන්න තියෙන ආදර්ශේ ඒක තමා. කොහොම වුණත් අර First Aid කරුණු ටිකත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. ඒවත් මතක තියාගෙන ඉන්න.


ප.ප.ලි.: අද මගේ උපන් දිනය. ඉතින් මම ජීවිතේ අවුරුදු 21 ක් නොදැවී බැට් කරලා තියෙනවා. ඉතුරු ටිකත් හිමින් සැරේ බැට් කරන්න තමා ඉන්නේ :))

අපේ සාඩම්බර හසී පවුලෙන් මට විශේෂයෙන්ම උපන් දින සුභ පැතුම් එක් කරලා තිබුණා. ඉතින් කොලු හසියා, කෙලි හසී, පොඩි හසියාට ගොඩා...................ක් ස්තුතියි :)

කොලු හසියාගේ හසියාගේ නවාතැන
කෙලි හසීගේ හසීගේ සිතුවිලි
පොඩි හසියාගේ හසිත කොල්ලගේ අවකාශය