Sunday, December 30, 2012

අපේ රජවරු බයියන් කාපු හැටි


ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ.

කොහොම නමුත් මේ නාට්‍යය බලන සමහර උදවිය නම් කරන්නේ මේ නාට්‍යයේ කෑම හදන එකයි, ආහාර තරඟ පවත්වන එකයි, රජ්ජුරුවෝ කන එකයි ඇරෙන්න වෙන මොනවද පෙන්නන්නේ කියලා.

මේ නාට්‍යයේ හදන එක එක ජාතියේ කෑම වර්ග දැකලා අපේ අයත් ඉස්සරහට බීමත් ඉස්සෝ වෑංජනය, කැස්බෑ සුප්, එළවළු කීටයෝ, සූකර මාංශ වගේ එක එක කොරියන් කෑම හදන්න පටන් ගත්තොත් පුදුමයක් නෙමේ කියලා තමා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කිව්වේ.

ඉතින් කොරියාවේ රජවරු කෑවේ බිව්ව හැටි ගැන අපිට මේ නාට්‍යයෙන් හොඳ අවබෝධයක් ලැබුණත් අපි අපේ දේ ගැනත් වැටහීමෙන් ඉන්න ඕනේ නිසා අපේ රටේ රජවරු කෑවේ බිව්වේ කොහොමද කියලා අද ආගිය කතාවෙන් කියන්න ඕනේ කියලා තමා කල්පනා කළේ.

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්

අවුරුදු 19 ක් පමණ කාලයක් උඩරට රාජධානියේ II වෙනි රාජසිංහ රජතුමාගේ හිරකාරයෙක් විදිහට හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියපු කෘතියේ රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැන කියලා තියෙනවා. ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එදා හෙළදිව කියලා සිංහලයට පරිවර්තනය කරපු ඒ පොතෙන් තමා මේ උපුටා ගැනීම කරලා තියෙන්නේ.

"..මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත්මය. රජුගේ රාජකීය වතු පිටිවලින් මහ වාසලේ පරිභෝගය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පලා කොළ වර්ග හා පලතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසකට එක් වරකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුවද සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.

මෙලෙස දළදාවට දන් රැගෙන යන්නා සේම අතීතයේ රජුටද භෝජන ගෙන එන්නට ඇත

රජු භෝජනයද ගන්නේද විධිමත් ලෙසිනි. සුදු පාට පිළියෙන් වසන ලද මේසය, ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේය. නිල්වන් කෙසෙල් පතක් එලූ රත් රන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ කණමය භාජනයෙහිය. මේ මේසය මත, නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත් වඩන නිලමේද මුවෙහි මුඛවාඩම් බැඳගෙන සිටින්නේය....."

මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්.

"..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

"... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

II වෙනි රාජසිංහ රජතුමා

නොක්ස් කියන විදිහට උඩරට රජතුමාගේ රජ වාසළ මුළුතැන්ගෙයි සම්පූර්ණයෙන් සේවය කරලා තියෙන්නේ හොඳ පෙනුමක් තිබුණු කාන්තාවෝ. මුළුතැන්ගෙයි සේවයට කාන්තාවෝ බඳවාගන්න එක කාලෙකට රජතුමා අණ බෙරයක් පිටත් කරනවා. එතකොට රූමත්, තරුණ අස්වාමික වේවා සස්වාමික වේවා කාන්තාවක් මුළුතැන්ගෙයි රාජකාරියට තෝර ගත්තොත් ජීවිතාන්තය දක්වාම ඒ සේවයේ යෙදෙන්න ඕනේ. නොක්ස් උඩරට ජීවත් වූ කාලයේදී රූමත් පෘතුගීසි ජාතික කාන්තාවෝ කීප දෙනෙකුත් රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදිලා තිබෙනවා.

ජීවිතාන්තය දක්වාම රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන්න ඕනේ නිසා සමහර කාන්තාවන් සේවයෙන් පලා ගියොත් ඊට දඬුවම වශයෙන් දියේ ගිල්ලලා මරා දැමීම රජතුමා සිදු කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් සිරගත කිරීමත් සිදු කරලා තිබෙනවා.

මේ රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් වාසය කරලා තියෙන්නේ මහනුවර නගරය සහ ඒ ආසන්නයේ තිබුණු ගම්වල. ඒ ගම්වලට රාජකීය අවසරයක් නැතුව කාටවත් ඇතුල්වීම තහනම් කරලා තිබුණා. ඒත් කිසියම් වහලෙක් මේ ගම්මානයකට පලා ආවොත් ඔහුව නිදහස හිමිවීම ඒ කාලයේ සම්ප්‍රදායක් වෙලා තිබෙනවා.


නොක්ස්ගේ විමර්ශණයෙන් මග හැරුණු උඩරට රජුන්ගේ ආහාර සිරිත් කීපයක් පිළිබඳව මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය-මහනුවර යුගය කෘතියේ දක්වන විදිහට රජතුමා ආහාර ගන්නා ශාලාව හඳුන්වලා තියෙන්නේ "පාක ශාලාව" කියන නමින්.

ඒකේ ප්‍රධානියා වෙන බත්වඩන නිලමේ යටතේ මඩප්පුරාළ නමින් හැඳින්වුණු නිලධාරීන් දෙදෙනා සේවය කරලා තිබෙනවා. මඩප්පුරාළගේ රාජකාරිය වෙලා තියෙන්නේ රාජකීය මුළුතැන්ගෙයි සකස් කරපු රාජ භෝජනය පාක ශාලාවට ගෙනල්ලා රජතුමාගේ කෑම මේසය සකස් කරන එක. මඩප්පුරාළලාගේ රාජකාරියට රාජකීය මුළුතැන්ගෙයි පිහනරාළලා විදිහට හිටිය අයගේත් සහය ලැබිලා තියෙනවා.

උඩරට රාජධානියේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැනත් විස්තර අපට හමුවෙනවා. 1815 පෙබරවාරි 18 වෙනිදා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසේදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වුණු රජතුමාව 1816 ජනවාරි 25 වෙනිදා ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කෙරෙනවා.

කොළඹ වාසය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

වෙල්ලෝර් කොටුවේ පිටත් කෙරෙනකම් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු මන්දිරයක හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට එක් වේලකට ලැබෙන හාල් සේරු 8 ප්‍රමාණවත් නොවන නිසා ඒක හාල් සේරු 12 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ජෝන් ඩොයිලි දක්වනවා. හිතලා බලන්නකෝ එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද

උඩරට රාජධානි සමයේ තිබුනු රජතුමාගේ ආහාර ගන්න චාරිත්‍ර කුරුණෑගල යුගයේදී විතර ඇතිවෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්. එහෙම අනුමානයකට එන්න පාදක කරගන්නේ කුරුණෑගල යුගයේදි දෙව්රද දම් පසඟිනාවන් විසින් රචනා කරපු දළදා සිරිත කියන ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා.

අතීතයේ ඉදන්ම ලාංකීය රජවරුන්ට තමන්ට ලැබුණු ගරු සත්කාරවල ආකාරයටම දළදා වහන්සේටත් පුද සත්කාර කරන්න හුරු වෙලා හිටිය නිසා දළදා සිරිතේ දැක්වෙන විදිහට දළදාවට දානය සකස් කරද්දී අරක්කැමියන් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් පිළිගැන්වීමේදීත් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් ආදී කරුණු තිබීම නිසා ඒ කාලේත් රජවරුන් උදෙසා ඒ වගේ චාරිත කෙරෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
උඩරට කාලෙට කලින් හිටිය රජවරු කාපු බීපු හැටි ගැන තොරතුරු ටිකකුත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.
දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමා කාපු බීපු හැටි ගැන කතා කීපයක්ම මහාවංසයේ තියෙන නිසා ඒ කතා කීපයක් කියන්නම්. දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොයුරන්ට තාත්තා වුණු කාවන්තිස්ස රජතුමා බත් පිඬු කවපු කතාව අහලා තියෙනවානේ. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඉඳුල් කරපු කිරිබත් රත්තරන් භාජනයකට දමලා ඒකෙන් කිරිබත් පිඬ බැගින් රත්තරන් තැටියකට දමලා තමා දරුවන්ට කවන්න කාවන්තිස්ස රජතුමා අරගෙන තියෙන්නේ.

ඊළඟට පියාගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා කඬොල් ඇතාවයි විහාරමහාදේවියවයි දීඝවාපියට අරගෙන ගිය නිසා ඒකට විරුද්ධව දුටුගැමුණු රජතුමා සටනට පිටත් වුණු අවස්ථාවේදී මුල් වටයේ යුද්ධයෙන් දුටුගැමුණු රජතුමා පරාජයට පත්වෙනවා. ඒ අවස්ථාවේ පලා යද්දී දුටුගැමුණු රජතුමාට බඩගිනි වුණු අවස්ථාවේදී රජතුමා එක්ක හිටිය තිස්ස කියන ඇමතියා රන් තළියකට දමලා සළුවකින් ආවරණය කරලා තිබුණු බත් රජතුමාට පිළිගන්වනවා.

ළදරු කාලේ ඉදන්ම තමන් කන්න කලින් භික්ෂූන්ට අග්‍ර කොටස පුදලා අනුභව කරන්න රජතුමා පුරුදු වෙලා හිටිය නිසා තිස්ස ඇමතියාගේ කාල ඝෝෂණයෙන් එතැනට භික්ෂූන් වහන්සේලා වැඩම කරවනවා. රජතුමා තමන්ගේ බත් කොටසත් තිස්ස ඇමතිගේ සහ දීඝථූණිකා වෙළඹගේ බත් කොටසුත් ඔවුන්ගේ කැමැත්තෙන් රජතුමා විසින් භික්ෂූන්ට පූජා කරනවා.

මිරිසවැටිය දාගැබ

පසු කාලෙක රජතුමා භික්ෂූන්ට නොපිළිගන්වා අනුභව කරපු මිරිස් වෑංජනයක් ගැන සිහිපත් වෙලා තමන්ගේ ජය කොන්තය තැන්පත් කරලා මිරිසවැටිය දාගැබ සකස් කරනවා.

මේ කතා කීපය ඇරෙන්න මුල් යුගයේ හිටපු රජවරු කාපු බීපු හැටි ගැන නම් මට මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මහානාග යුව රජතුමාගේ අඹ කෑමේ ආශාවත්, සංඝතිස්ස රජතුමාගේ ජම්බු කෑමේ ආශාවත් වුණු හුටපට වගේම මහසෙන් රජතුමා මහා විහාරය විනාශ කරපු නිසා රජතුමා එක්ක යුද්ධයට ආපු මේඝවර්ණාභය ඇමති ඔහුට මලය දේශයෙන් ලැබුණු මිහිරි පානයක් සහ මාංශයක් රජතුමා එක්ක බෙදාගන්න ගිය කතාවත්, මහා විජයබාහු රජතුමා කැළයේ සැඟවෙලා හිටිය කාලේ කන්න කෑම ලබාගත්තු හැටි ගැන කියන කතාවත් ඕනේ නම් රජවරු කාපු බීපු හැටි කියලා ගන්න පුලුවන් වුණත් ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලයි මගේ අදහස.

මේ කතා ඇරෙන්න වෙන කතාවක් මතක් වුණොත් ඒක ඉස්සරහට කියන්නම්කෝ.

විශේෂ ස්තුතිය සරසවියේදී හොඳ හිතවතෙක් වුණු රුසිරු අයියාට. දවසක් මුහුණු පොතේ ගිය සංවාදෙකදී ලංකාවේ රජවරු කාපු බීපු හැටි ගැන ලියන්න කියලා යෝජනාව කළේ එයා තමා.  

මේ සටහන 2012 අවුරුද්දට ලියන අන්තිම සටහන නිසා මේ ගමන්ම උදාවෙන 2013 වසර සියලු දෙනාටම යහපත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 

Sunday, December 23, 2012

බුදුන්,ජේසුස්,විෂ්ණු,මහ්දි,දියසේන ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ?

බලාපොරොත්තු කියන එක ඈත අතීතයේ ඉදන්ම වර්තමානය දක්වාත් ඒ වගේමයි අනාගතය දක්වාත් ඉන්න මිනිස්සුන්ගේ හිත්වල තියෙන දෙයක්. මිනිස්සු එක එක දේවල් ගැන එක එක විදිහට බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ වගේමයි බලාපොරොත්තු තමා හුඟක් වෙලාවට මිනිස්සුන්ව ජීවත් කරවන්නත් මුල් වෙන්නේ.

මේ බලාපොරොත්තුව එහෙමත් නැත්නම් Hope ඇතිවුණු ආකාරය ගැනත් රසවත් ග්‍රීක දේව කතාවක් තියෙනවා.
 ගින්දර සොරකම් කළ වරදට සියුස් දුන් දඬුවම විඳින ප්‍රොමිතියස්

ග්‍රීක විශ්වාසය අනුව මැටියෙන් මිනිසාව නිර්මාණය කරලා මානව සමාජය ඇති කරන්න මුල් වෙන්නේ ප්‍රොමිතියස් කියන අර්ධ දෙවියා. බොහොම දක්ෂ කෙනෙක් වුණු ප්‍රොමිතියස් තමන් නිර්මාණය කරපු මිනිසා ගැන බොහොම කරුණාවකින් හිටියේ. ඒක නිසාමයි සියුස් කියන දෙවියන්ගේ රජතුමාට හොරෙන් දිව්‍ය ලෝකයේ තිබුණු ගින්දර මිනිස්සුන්ට දීලා ගින්දර භාවිතා කරන්න මිනිස්සුන්ව පුරුදු කරවන්නේ.

මිනිස් ලෝකයේ ජීවත් වෙන පිරිමියාගේ පාළුව නැති කරන්න සියුස් Hephaestus ලවා පැන්ඩෝරා නමින් බිරිඳකුත් හදලා දෙනවා. මේ කාන්තාව මිනිස් ලෝකෙට එද්දී සියලුම දෙවිවරු ඇ‍යට විවිධ ත්‍යාග දුන්නා කියලා කියවෙනවා. ප්‍රොමිතියස් තමන්ට කරපු ද්‍රෝහී ක්‍රියාවට පළිගැනීමක් විදිහට සියුස් පැන්ඩෝරාට මංජුසාවක් ලබාදීලා කුමන හේතුවක් මතවත් ඒක විවෘත කරන්න එපා කියලා උපදේශයකුත් දෙනවා.

 සියුස් දුන් මංජුසාව අතැතිව සිටින පැන්ඩෝරා

හැබැයි සියුස් දැනගෙන හිටියා පැන්ඩෝරාට තියෙන කුතුහලේට මේක ඇරලා බලනවාමයි කියලා. ඇත්තටම ඒ විදිහටම තමා වැඩේ සිද්ධ වුණේ. ඒ මංජුසාවේ තිබිලා නපුර, අයහපත එළියට ඇවිත් මිනිස් ලෝකය පුරා ව්‍යාප්ත වුණා කියලා කියවෙනවා.

තමන්ගේ අතින් වුණු වැරැද්ද හදා ගන්න පැන්ඩෝරා මංජුසාව වහන්න ගියත් ඒක හරියන්නේ නැහැ. මේ අයහපත් දේවල් ඒ මංජුසාවෙන් පිටතට ගියා වගේම "එල්පිස්" නමින් හැඳින්වුණු බලාපොරොත්තුවේ ආත්මයත් මිනිස් ලෝකයට එක් වෙලා තිබුණේ. ඉතින් මිනිස් ලෝකයේ මොන තරම් අයහපත් දේවල් වුණත් බලාපොරොත්තු කියන එක මිනිස්සුන්ව ජීවත් කරවන්න සමත් වෙලා තියෙනවා.

ලෞකිකව තියෙන නොයෙක් බලාපොරොත්තු අතරේ ලෝකෝත්තර වශයෙනුත් මිනිස්සුන්ට බලාපොරොත්තු තියෙනවා. ලෝකෝත්තර වශයෙන් ගත්තාම විවිධ ආගම් වගේම දර්ශනයන් තුළින් ගැලවීමේ බලාපොරොත්තුව මිනිස්සුන්ට දීලා තියෙනවා. සමහර විටෙක ගැලවීම තමා තුළින්ම උදා කරගන්න හරි එහෙමත් නැත්නම් ගැලවුම්කාරයෙක් මාර්ගයෙන් තමන්ගේ ගැලවිම උදා කරගන්න හැටි ගැන විවිධ දර්ශන වගේම ආගම් තුළින් කතා කෙරෙනවා.

අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ඉන්න අනාගතයේ පහළවෙන ගැලවුම්කාරයෝ එහෙමත් නැත්නම් තමන්ට විමුක්තියක් සලසන්න පුලුවන් පුද්ගලයෝ ඒ වගේමයි තමන්ට ලෞකික සමෘද්ධියක් උදාකරන්න පුලුවන් පුද්ගලයෝ ගැනයි.

මතු බුදුවන අපේක්ෂාවෙන් තුසිතයේ වැඩ සිටින මෛත්‍රී බෝසතුන්

මුලින්ම බුදු දහමෙන් පටන් ගත්තොත් බෞද්ධයෝ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව අප්‍රමාණ භක්තියකින් ඉන්න බව බෞද්ධාගමික වතාවත්වලදී හොඳටම දැකගන්න පුලුවන්. බෞද්ධාගමික වතාවත් නිමා කරද්දී පුණ්‍යානුමෝදනාව සිදු කරන හාමුදුරුවෝ හුඟක් වෙලාවට වදාරන්නේ "මතු බුදුවන මෛත්‍රී බුදුන් දැක එකම සද්ධර්ම මණ්ඩපයකදී සදහම් ශ්‍රවණය කර නිවන් අවබෝධ කරගන්නට මේ කළා වූ කුසල කර්මය අප සැමටම හේතුවේවා වාසනා වේවා" කියලා.

මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සම්බන්ධව විස්තරයක් කළොත් මේ වෙද්දී කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියන බුදුවරුන් පහළ වුණු මහා භද්‍ර කල්පය නමින් හඳුන්වන මේ කල්පයේ අවසානයට පහළ වෙන්නට නියමිත බුදු හාමුදුරුවෝ තමා මෛත්‍රී බුදු හාමුදුරුවෝ. එතුමා මේ වෙද්දී බුද්ධත්වයට පත් වෙන්න සම්පූර්ණ කරන්න ඕනේ පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් පහළ වෙලා මතු බුදුවන අපේක්ෂාවෙන් වැඩ ඉන්නවා.

ගෞතම බුදු හාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් හමුවෙන්න වැඩම කරලා ඔවුන්ගේ මානය බිඳින්න යමක මහා ප්‍රාතිහාර්යය සිදු කළාට පස්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ආරාධනයෙන් අනාගත වංශ දේශනාව සිදු කිරීම සිද්ධ කරනවා. ඒ යටතේ තමා මීට පෙර බුදු වුණු බුදුවරුන් සම්බන්ධවත් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් සම්බන්ධවත් උන්වහන්සේ සවිස්තරව කරුණු දේශනා කරන්නේ.

බුදුන් වහන්සේ දේශනා කරන විදිහට ක්‍රමයෙන් මිනිස්සු සාරධර්ම අතින් පිරිහිලා දිව්‍ය ලෝක සැපත උදා කරගන්න මාර්ගය අවහිර කරගෙන අකුසල් ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මේ කාලයේදී තමන්ගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, ඥාතියා කියලා බලන්නේ නැතුව රාගී සිතෙන් හැසිරෙනවා. මේ විදිහට සමාජය ක්‍රමයෙන් දූෂිතම තත්වයට පත් වෙනවා.

එකිනෙකා මරා ගන්නත් මිනිස්සු පටන් ගන්නවා. මේ වගේ ඛේදනීය කාලයක සුළු පිරිසක් ගල් ගුහා ආදියේ සැඟවිලා ජීවිතේ බේරා ගන්න සමත් වෙනවා. එයාලා නැවත වරක් පන්සිල් මූලික කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. මේ සමඟම පිරිහිලා තිබුණු ආයු අපේක්ෂාව ක්‍රමයෙන් වැඩිවෙලා අසංඛ්‍යයක් දක්වාම වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වුණු ආයු අපේක්ෂාව ආයි පාරක් අසූ දහස දක්වා අඩු වෙන කාලයේදී තමා මෛත්‍රී බෝසතාණෝ උපදින්නේ.

මෛත්‍රී බෝසතුන්

කේතුමතී රාජධානියේ සංඛ කියන සක්විති රජතුමාගේ පුරෝහිතයා වෙන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණිය තමා බෝසතාණන් බිහි කරන්නේ. සිද්ධාර්ථ කුමාරයාගේ කුමාර දිවිය වගේම කුමාර දිවියක් ගත කරන මෛත්‍රී බෝසතාණෝ ගිහි ගෙය හැර ගිහින් දුෂ්කර ක්‍රියාව සිදු කරලා අවසානයේදී බුද්ධත්වයට පත් වෙනවා.

මෛත්‍රී බුදු හාමුදුරුවෝ ගැන වගේම ඒ කාලය ගැන ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් රචනා කරපු "මෙතේ බුදු සිරිත නම් වූ  අනාගත වංශය" කෘතියේ විස්තර රැසක් තිබෙනවා. මේ ඒ කෘතියෙන් කරපු උපුටා ගැනීමක්.

"....එසමයෙහි උපන්නා වූ සියලු මනුෂ්‍යයන්ට යස පිරිවර හා සැපයෙන්ද, ආයු වර්ණ බල සමෘද්ධියෙන්ද දිව්‍ය සම්පත්තියක් මෙන් අඩුවක් නොවන්නේය. මෙබඳු සියලු පංච කාම සැප කැමැති පරිද්දෙන් අනුභව කොට බොහෝ කලක් ඉක්මවා සුඛිතවූ මුදිතවූ සියලු සත්වයෝ ඒ සැපයෙන් නොපිරිහී පසුව ආයු කෙළවර මරණ මංචකයේ වැද හොත්තාහු සම්පත්තියෙන් උකටලී වන්නාහ. එසමයෙහි උපන් සත්වයන්ට අසූ දහසක් අවුරුද්දට ආයුෂ වන්නේය. ඒ තාක් කල් මුලුල්ලෙහ් ජීවත්ව වැඩ හිඳිනා වූ ඒ මෛත්‍රී සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ජන සමූහයා සංසාර සාගරයෙන් එතර කොට නිර්වාණ ක්ෂේම භූමියට පමුණුවන සේක..."

ඉතින් මෛත්‍රී බුදුන් පහළ වෙන සමයේ තියෙන සමෘද්ධිමත් බව නිසා වගේම බුදුවරයෙක් ජීවමානව දැකීම නිවන් අවබෝධ කරගන්න පහසුවක් කියලා විශ්වාස කරන මිනිස්සු අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන සවිස්තරාත්මකව මීට කලින් ලියපු සටහන් කීපයකින්ම කියලා තිබෙන නිසා ඒවාත් මෙතනින් ගිහින් බලන්න.

 දියසේන කුමාරයා

ලංකාවේ ගැමි ජන විශ්වාස අතරේ ලංකාවම එක්සේසත් කරලා තමන්ගේ පාලනය පිහිටුවා ගෙන බුදු දහමට ඉමහත් සේවයක් ඉෂ්ට කරන්න දියසේන කියලා රජතුමෙක් පහළ වෙනවා කියලා සංකල්පයක් තියෙනවා. 

මේ ගැන මුලින් කරුණු හමුවෙන්නේ කෝට්ටේ යුගයේදී. කෝට්ටේ යුගයේදී ලියවුණු කතුවරයා කවුද කියලා හරි හැටි හඳුනා ගෙන නැති පැරකුම්බා සිරිත කියන කාව්‍ය සංග්‍රහයේ දියසෙන් කුමාරයා ගැන සඳහනක් හමුවෙනවා. ඒ 116 වෙනි කවියෙන්.

කියග මැඟියැ එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා
නොය කිය'මුතු එ දිගැ බමුණැ සුමන සුරිඳු විසිනා
ගිය කලැ දෙ දෙහස් පන්සිය රජකු එතැ යි දියනා
කියවිණි තන් වැසියැ එ නම් පැරකුම් රජ මෙදිනා

සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ.

බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා. 

කෝට්ටේ රාජධානිය ආරම්භ කරපු වගේම ලංකාවම එක්සේසත් කරපු VI වැනි පරාක්‍රමබාහු රජතුමාව වර්ණනා කරන්න ලියපු පැරකුම්බා සිරිතේ රජතුමාව ලෝක නායකයෙක් එහෙමත් නැත්නම් දියසේන කුමාරයා විදිහට හඳුන්වපු බව පේනවා.

දියසේන කුමාරයා ගැන මුඛ පරම්පරාවෙන් පැවත එන කවි දෙකක් තමා මේ.

දිවයුරු කෙසර රැසැ සුරගුරු කටක රැසේ
සෙනසුරු වණිජ රැස බිඳිනෙතු මිතුන රැසේ
අඟහරු මකර රැසැ සිසිපුතු මීන රැසේ
නිසයුරු මේස රැසැ වත දියසෙන් පිවිසේ

මේ කවියේ තේරුම මේ විදිහට ගන්න පුලුවන්. සූර්යයා මුදුන් වෙලා බ්‍රහස්පති ග්‍රහයා කටක රාශියේ රඳද්දී සෙනසුරු ග්‍රහයා මිථුන රාශියේ රඳයි. අඟහරු ග්‍රහයා මකර රාශියේද චන්ද්‍ර ග්‍රහයා මීන රාදියේද රඳයි. චන්ද්‍ර ග්‍රහයා මේෂ රාශියට පිවිසෙන විටම දියසේනයන් පැමිණේ.

මේ කවියෙන් කියන්නේ දියසේන කුමාරයා පැමිණෙන අවස්ථාවේ තිබෙන ග්‍රහ පිහිටීම කියලා පැහැදිලියිනේ. හැබැයි මෙතන ගැටලුව තමා දියසේනයන්ගේ පැමිණීම කියලා කියන්නේ ඔහුගේ ඉපදීමද එහෙමත් නැත්නම් රජවීමද කියන එක නිශ්චිතව තේරුම් ගන්න බැරි එක.

මහියංගන වෙහෙරැ වැඩ නිමැ වූ දාට
කොහි යම් දෙසෙකැ සිටියත් දියසෙන්හු සෙට
දෙවියන් විසින් කැඳැවෙති කොත් පැලැඳුමට
හෙයියන් බසක් නො වැ මේ සස් බසෙකි සෙට

මේ කවියේ තේරුම තමා මහියංගණ විහාරයේ [ස්ථූපයේ] වැඩ අවසන් කළ දවසට එහි කොත් පැළඳුමට දෙවියන් විසින් දියසේනයන් කොහි සිටියත් එදිනට කැඳවනු ලබන බවයි. මෙය වෙනස් වන වචනයක් නොව ස්ථීරවම සිදුවන සත්‍යයක් වේ කියන එක.

මේ දියසේන සංකල්පය කෝට්ටේ රාජධානි කාලෙදී සුළුවෙන් තිබුණත් මහනුවර රාජධානි කාලේ වෙද්දී විශාල පිළිගැනීමක් තිබුණු මතයක් වුණු බව පෙනෙන්නට තිබෙනවා. මේ නිසා උඩරට භික්ෂූන් වහන්සේලා "සුමන සූත්‍රය" කියලා අලුත් සූත්‍රයක් රචනා කරපු බව පේනවා.

බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේදී සමනොළ කන්දේ තිබෙන දිවා ගුහාවේ ඉදන් සුමන සමන් දිව්‍ය රාජයාට මේ සූත්‍රය දේශනා කරපු බව දක්වන්න සුමන සූත්‍රය ආරම්භයට පාලියෙන් "එවං මෙ සුතං එකං සමයං භගවා සුමනකූටං දිවාගුංහ භගවන්තො දෙසිතං සුමන සුත්තංති...." යන කොටස එකතු කරලා තියෙනවා.

ඊට පස්සේ ඒ කාලයේ භාවිතා වුණු සිංහල භාෂාවෙන් බුදුන්ගේ ලංකාගමනය වගේම ලංකාවේ බුදු සසුන පිහිටුවීම සහ ශාසන ඉතිහාසය සම්බන්ධ කතා දක්වලා ඊට පස්සේ ලංකාවට ලන්දේසින් පැමිණෙනකම් ලංකා ඉතිහාසයත් සංක්ෂිප්තව සුමන සූත්‍රයෙන් දක්වලා තියෙනවා.

මේ සූත්‍රය අවසානයේදී කියවෙන විදිහට දඹදිව දහස් ගණන් සේනාව පිරිවරාගෙන අවුරුදු 13 ක් සම්පූර්ණ දඹදිවටම අධිපතියා වෙලා රජකම් කරන දියසේන රජතුමා ලංකාවට පැමිණිලා අනුරාධපුරයට ආශා වෙලා නගරය නැවත ප්‍රතිසංස්කරණය කරලා වෙහෙර විහාර නැවත ඉදි කරවලා අවුරුදු 22 රාජ්‍ය කරලා මිය යනවා කියලා දැක්වෙනවා.

උඩරට සමය වෙද්දී රාජ්‍ය පාලනය වගේම ආගමික කටයුතුවලිනුත් පරිහානිකර තත්වයට ලංකාවට පත්වෙලා හිටිය නිසා අනාගතයේදී ලංකාව බබළවන පාලකයෙන් පහළ වෙන බව පෙන්වලා සියලු දෙනාගේ සිත් සතුටු කරවන එක මේ සූත්‍රය රචනා කරපු අයගේ අපේක්ෂාව වුණා කියලා හිතන්න පුලුවන්.

ඩී.එස්. සේනානායක අගමැතිවරයා

උඩරට යුගයේත් ඉහළ මට්ටමක තිබුණු දියසේන සංකල්පය නිදහස් ලංකාවේත් පස්සේ කාලේ ඇතිවුණා. නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වුණු ඩී.එස්. සේනානායක මහත්තයාත් තමන් දියසේන කුමාරයා බව හඟවන්න උත්සහ කරලා තිබෙනවා. තමන්ගේ නමේ මුල් අකුරු වෙන ඩී.එස්. [දොන් ස්ටීවන්] යන්නෙන් දියසේන යන්න හඟවනවා කියලා තමා ඒ කාලේ ප්‍රචාරේ ගිහින් තියෙන්නේ.

මහියංගණ ස්ථූපය

ඒ වගේමයි කලින් දක්වපු කවි දෙකෙන් අන්තිම කවියෙන් කියන විදිහට මහියංගණ දාගැබේ කොත් පැළැඳවිමට දියසේන කුමාරයා දෙවියන්ගේ ආරාධනයෙන් කැඳවෙන බව කිව්වත් මහියංගණ දාගැබේ පිළිසකර කිරීම් ආරම්භ කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමා. අවසානයේදී මහියංගණ දාගැබේ කොත් පැළැඳුම සිදු කරන්නේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා විසින්.

දියසේන කුමාරයා තමන් බව කියපු කෙනෙක් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් පාලන කාලේ ලංකාවේ ඉදලා තියෙනවා. ටිප් ටොප් නමින් හඳුන්වපු දත් බෙහෙත් වර්ගය විකුණපු එයාගේ ඇත්ත නම සිල්වා. 1895 දී විතර ගාල්ලේදී ඉපදුණු ටිප් ටොප් සිල්වා අර කලින් කිව්ව කවි දෙකෙන් මුල් කවියේ කියවෙන විදිහට රාශි පිහිටපු වෙලාවකලු ඉපදුණා කියන්නේ.

පස්සේ කාලේ තමන්ගේ නම වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර කියලා වෙනස් කරගත්තු ටිප් ටොප් ඩී.එස්., ඩඩ්ලි, බණ්ඩාරනායක, සර් ජෝන් වගේ අගමැතිවරුන් එක්ක හොඳ හොඳ සෙල්ලම් කරපු බව තමා කියවෙන්නේ. මේන් මෙතනින් ඒ වගේ කතා දෙක තුනක් බලා ගන්න පුලුවන්.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා

1956 දී ලංකාවේ අගමැතිවරයා බවට පත්වුණු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා දෙස, බස, රැස වෙනුවෙන් කරපු කටයුතු නිසා එතුමා අනාගතයේ පහළ වෙනවායැයි කියවුණු දියසේන කුමාරයා කියලා බොහෝ දෙනා හඳුන්වලා තියෙනවා. 2500 වැනි සම්බුද්ධ ජයන්තියත් ඒ කාලයේ පැවැත්වීම නිසා මේ අදහස බහුතරයක් පිළි අරගෙන තිබුණත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරපු බණ්ඩාරනායක අගමැතිතුමා ඒ දියසේන වෙන්නේ තමන් නොව ලංකාවේ පොදු ජනතාව කියලා ප්‍රකාශ කළා.

මේ දියසේන කතාවේ වර්තමාන තත්වය තමා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ දියසේන කුමාරයා කියන මතය. ඒ ගැන මම කියනවාටත් වඩා මෙන්න "මහින්ද රාජපක්ෂ යනු දියසේන කුමාරයාද ?" කියන ලිපියෙන් සවිස්තරාත්මකව බලන එක හොඳටම හොඳයි.

අපි ඊළඟට ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ආගම්වල අනාගතයේ පහළ වෙන ශාස්තෲවරුන් ගැන තියෙන කරුණු කාරණා ගැන හොයලා බලමු. පළමුවෙනියටම හින්දු දහම ගැන බලමු.
හින්දු ධර්මයේ ආගමික ග්‍රන්ථ කොටසක් වෙන පුරාණ ග්‍රන්ථවල ත්‍රීමූර්තියට අයත් දෙවියෙක් වෙන විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 පිළිබඳව සඳහන් වෙනවා. මේ අවතාර 10 න් 9 ක්ම මේ වෙද්දී මනුෂ්‍ය ලෝකයේ වරින් වර ධර්මය පරදවලා අධර්මය නැගී සිටපු අවස්ථාවන්වලදී පහළ වෙලා තියෙනවා.

ඒ විදිහට පහළ වුණු අවතාර 9 තමා මත්ස්‍ය, කුර්ම (ඉදිබුවා), වරාහ (ඌරා), නරසිංහ, වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ, බුද්ධ කියන අවතාර.

කල්කි අවතාරය දුර්ජනයන් විනාශ කිරීම

අනාගතයේ පහළ වෙන්න නියමිතව තිබෙන විෂ්ණුගේ අවතාරය තමා "කල්කි" අවතාරය. ඒ ගැන ශ්‍රීමත් භගවතම් ග්‍රන්ථයේ දක්වන්නේ මේ විදිහට.

යර්හ්‍යාලයෙෂ්වපි සතාං හරෙඃ කතාඃ ස්‍යුඃ
පාෂාණ්ඩිනො ද්විජ ජනා වෘෂලා නෘ දේවාඃ
ස්වාහා ස්වධා වෂඩිති ස්ම ගිරෝ න යත්‍ර
ශාස්තා භවිෂ්‍යති කලෙර් භගවාන් යුගාන්තේ

මේ ශ්ලෝකයේ අර්ථය මෙහෙමයි. කලියුගය අවසානය වෙද්දී දෙවියන් සම්බන්ධව කිසිම කතාවක් නැති වෙනවා. ශාන්තුවරු වශයෙන් හැඳින්වෙන පූජනීය පුද්ගලයන්ගේ ගෙවල්වල පවා දෙවියන් සම්බන්ධ කතා කිරීමක් නැතුව යනවා. ඒ වගේමයි මෙතෙක් කල් සමාජයේ බලය හිමිවෙලා තිබුණු බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය කියන ද්විජයන් [දෙවරක් උපන්] අතින් බලය අහිමි වෙලා රාජ්‍යයන් පාලනය කිරීමේ බලය හිමිවන්නේ පහත්ම කුලය වෙන ශුද්‍රයන්ට.

ඇමති ධූර ඒ වගේම සමාජයේ ඉහළ තනතුරුවලට පවා තේරී පත්වෙන්නේ ශුද්‍රයන්වයි. මෙහෙම වෙද්දී පරිත්‍යාගය වගේ යහපත් ගුණාංග ගැන මිනිස්සු අමතක කරනවා වගේම එහෙම වචනයක් ගැනවත් මිනිස්සු දන්නේ නැති වෙනවා. මේ කාලයේදී අයහපත පරාජය කරලා නැවත වරක් මිනිස් ලෝකයේ යහපත ස්ථාපනය කරන්න විෂ්ණු දෙවියන් කල්කි විදිහට පහළ වෙනවා.

කල්කි අවතාරය විස්තර කෙරෙන්නේ සුදු අශ්වයෙක් පිට නැගලා එන රතු වස්ත්‍රයකින් සැරසිලා එන පුද්ගලයෙක් විදිහට. කල්කිගේ අතේ තිබෙන කඩුවෙක් අධර්මිෂ්ටයන් මරා දමනවා කියලා තමා හින්දු ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ.

මේ කරුණු නිසා හින්දු බැතිමතුන් අනාගතයේ පහළ වෙන කල්කි අපේක්ෂාවෙන් තමා ඉන්නේ. 

ජේසුතුමා නැවත මිනිස් ලොවට පැමිණෙන ආකාරය

ක්‍රිස්තියානි එහෙමත් නැත්නම් කතෝලිකයන් අතරේත් මේ ආකාරයේ විශ්වාසයක් පවතිනවා. ජොහාන්තුමා හෝ වෙනත් කතුවරයෙක් විසින් දේවානුභාවයෙන් ලියන ලදැයි සැළකෙන කතෝලිකයන්ගේ ශුද්ධ වූ බයිබලයේ අවසන් කොටස වෙන එළිදරව්වේ ශුභාරංචියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන සඳහන් වෙනවා.

දෙවියන් වහන්සේව විශ්වාස නොකරමින් තමන් කරපු පව් ගැන පසුතැවිලි නොවී අධර්මයේ ගැලිලා ඉන්න මිනිස්සු විනාශ කරලා යහපත නැවත ඇති කරන්න තමා ඒ ආකාරයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම සිද්ධ වෙන්නේ.  

එළිදරව්වේ ශුභාරංචියේ 19 කොටසේ ඒ ගැන කියන්නේ මේ විදිහට

"....එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සත්‍යය යන නම් දරණ තැනැන්වහන්සේ [ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ] ඌ පිට වැඩහුන් සේක. උන්වහන්සේ දැහැමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක.

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

උන්වහන්සේගේ නේත්‍ර අග්නිජාලා මෙනි. උන්වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන්වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ හැඳ සිටිසේක. දෙවියන් වහන්සේගේ ධර්මයාණෝයැයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගික යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පසුපස්සේ ගියහ.

ජාතීන්ට පහර දෙනු පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඩින සේක....."

ජේසුතුමා සහ ස්වර්ගික සේනාවේ ආගමනය

කුරුසයේ ඇණ ගැසීමෙන් දින තුනකට පසුව උත්ථානය වුණු ජේසුස් වහන්සේ තමන්ගේ අනුගාමිකයන්ට අවවාද ආදිය ලබාදීලා ස්වර්ගය බලා නික්මුණාට පස්සේ නැවත වරක් මේ ආකාරයෙන් මිනිස් ලොවට පැමිණෙනවා කියලා තමා කතෝලිකයන්ගේ විශ්වාසය වෙන්නේ.

ඒත් මේක සිද්ධ වෙන දවසක් සම්බන්ධව නිශ්චිතව දක්වලා නැහැ. ඒක දේව රහසක් කියලයි කියවෙන්නේ. කොහොම නමුත් මිනිසා තුළ දෙවියන් වහන්සේ සම්බන්ධව විශ්වාසය නැතිවෙලා අධර්මයට වැඩි වශයෙන් යොමු වීමත් එක්කම මේ සිදුවීම් සිද්ධ වෙනවා කියලා තමා දැනගන්න ලැබුණේ.

රෝම අධිරාජ්‍යයෙන් ක්‍රිස්තියානි ධර්මයට වුණු පීඩනයෙන් අසහනයට පත්වුණු ජනතාව සැනසීමට එළිදරව්වේ ශුභාරංචියේ කොටස රචනා වුණා කියන අදහස ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අතින් බලද්දී ලංකාවේ සුමන සූත්‍රය රචනා වෙන්න හේතු වුණා වගේ තත්වයක් මේ අවස්ථාවේදීත් ඇතිවෙලා තියෙන වග හිතන්න පුලුවන්.

මහ්දිතුමාගේ නාමය මදීනාවේ මුස්ලිම් පල්ලියක සටහන් කර ඇති අයුරු

ඉස්ලාම් භක්තිකයනුත් මේ ආකාරයෙන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා/ මහ්දි අලෙයිහි සලාම්තුමා පිළිබඳව විශ්වාසයෙන් පසු වෙනවා. මෙතුමාගේ නම වෙන මහ්දි යන්නෙන් යහපත කරා කැඳවන්නා කියන එකත්, ඉමාම් යන්නෙන් නායකයා කියන එකත්, අලෙයිහි සලාම් යන්නෙන් අල්ලාගේ ශාන්තිය හිමිවන්නා කියන තේරුමත් ප්‍රකාශ වෙනවා.

ඉස්ලාම් දහමේ මීට පෙර සිටි නබිවරයා වුණු මොහමඩ් නබිතුමාගේ පරපුර වෙන කුරෙයිෂි ගෝත්‍රයේ උපදින මහ්දි අලෙයිහි සලාම්ගේ දෙමාපියන්ගේ නම් පවා මොහොමඩ් නබිතුමාගේ දෙමාපියන්ගේ නම්වලට සමාන වන බවයි කියවෙන්නේ.

ඉස්ලාම් කැලැන්ඩරයට අනුව හජ් මාසයේ 10 වෙනිදා සිකුරාදාවක් වෙන හජ්ජුල් අක්බර් අවුරුද්දකදී ඉමාම් මහ්දිතුමාව ලෝකයට ප්‍රකාශ වෙනවා කියලා තමා හදීස්වල දක්වලා තියෙන්නේ. ඒ වෙද්දී හජ් වන්දනාවේ යෙදෙමින් ඉන්න එතුමා තමා ඉමාම් මහ්දි කියලා මුළු ලෝකයටම ඇහෙන ශබ්දයකින් දැනුම් දෙනු ලැබෙනවා.

ඒ වෙද්දී ඉමාම් මහ්දිතුමාට වයස අවුරුදු 40 ක් පමණ වෙනවා. පුළුල් නළලක් සහ දිග නහයක් ඉමාම් මහ්දිතුමාට තිබෙන බව තමා කියවෙන්නේ.

මේ කාලය වෙද්දී ලෝකය පුරා තිබෙන සියලුම මුස්ලිම් රාජ්‍යයන් එකතු වෙලා මහ්දිතුමාගේ නායකත්වයට පත්වෙනවා. ඒ නිසා මහ්දි මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහටත් සැලකෙනවා. සමස්ත ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ කාලිෆ්වරයා විදිහට මුස්ලිම්වරුන්ට නිවැරදි මග පෙන්වීම මහ්දි අලෙයිහි සලාම් විසින් අවුරුදු 7 ක් සිදු කරනවා.

මේ ආකාරයෙන් ඉමාම් මහ්දිතුමා ඊට පසුව පහළ වෙන ඊෂා අලෙයිතුමාට මිනිස් ලොව පහළ වෙන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා. මහ්දිතුමාගේ කාලය අවසන් වීමත් එක්ක ඊෂා අලෙයිතුමා මිනිස් ලොව පහළ වෙනවා. මුස්ලිම්වරු ඊෂා අලෙයිතුමා විදිහට හඳුන්වන්නේ කතෝලික බැතිමතුන් විසින් තමන්ව පාපයෙන් මුදවා ගන්න දෙවියන් වහන්සේගේ මිනිස් ලොවට එවූ තමන්ගේ පුත්‍රයා වෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි.

මේ නිසා ඊෂා අලෙයිතුමාගේ පහළ වීමත් එක්ක සමස්ත ලෝකවාසී කතෝලික ප්‍රජාවත් මුස්ලිම්වරුන් එක්ක එකතු වෙලා ඊෂා අලෙයිතුමාගේ නායකත්වය පිළිගන්නවා කියලා තමා මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වෙන්නේ. මේ කාරණය නිසාම කතෝලිකයන් විශ්වාස කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හා මුස්ලිම්වරුන් විශ්වාස කරන ඊෂා අලෙයිතුමාගේ පුනාරාගමනය සමාන බවයි පේන්නේ.

මිනිස් ලොවට පහළ වුණු ඊෂා අලෙයිතුමා මාරයා හෙවත් අයහපත වෙන දජ්ජල්ට එරෙහිව ඉමාම් මහ්දිතුමා එක්ක එකතු වෙලා සටන් කරනවා. දජ්ජල් පරාජය කිරීමෙන් පස්සේ ඉමාම් මහ්දිතුමා තමන්ගේ ජීවිතය අවසන් කරනවා.

ඊට පස්සේ ඊෂා අලෙයිතුමා වසර 40 ක් හෝ 45 ක් මිනිස් ලොව පාලනය කරන බවයි ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසය වෙන්නේ. ඊට පස්සේ එතුමාත් මිය යාමෙන් පස්සේ ක්‍රමයෙන් ඉස්ලාමයෙන් මිනිසුන් බැහැර වීමත් එක්ක තමා ඉස්ලාම් දහමේ දැක්වෙන විදිහට ලෝක විනාශය සිද්ධ වෙන්නේ.

අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දිතුමා සම්බන්ධව වගේම ඊෂා අලෙයිතුමා ගැනත් විස්තර රාශියක්ම හදීස් නමින් හඳුන්වන මොහොමඩ් නබිනායකතුමා විසින් වාචිකව දේශනා කරපු ඒ වගේමයි අනුමත කරපු දේවල් ඇතුළත් රචනා කරපු කෘතිවල ඇතුළත් වෙලා තිබෙනවා.

මේ ආකාරයෙන් හදීස්වල කරුණු තිබුණත් වරින්වර පුද්ගලයන් තමන් අනාගතයේ පහළ වෙන ඉමාම් මහ්දි නමින් හඳුන්වලා කටයුතු කරලා තියෙනවා.ඒ හැරෙන්න මේ වෙද්දිත් තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්නා පුද්ගලයින් ඉන්නා බවයි කියවෙන්නේ.  තමන් ඉමාම් මහ්දි කියලා හඳුන්වාගන්න එක නම් හරියට තමන් දියසේන කුමාරයා කියලා හඳුන්වා ගන්න තිබුණු වගේම තියෙන ආශාව වගේ කියලයි මට නම් හිතෙන්නේ.

මේ සියලුම අදහස් එකතු කරලා බලද්දී කිසියම් සමානකමක් නැත්තේමත් නැහැ. කොහොම නමුත් තමන්ගේ විමුක්තිය එහෙමත් නැත්නම් ගැලවීම උදා කර ගන්න එක හැමෝගේම වගේ ලොකු ආශාවක් බව නම් පැහැදිලියි.

ප.ලි.: දවස් ගාණක් තිස්සේ ඉදන් මහන්සි වෙලා මේ කතාව ලිව්වේ ආගිය කතාවේ පළවෙනි 200 වෙනි ලිපිය නිමිති කරගෙන. මේ දක්වා මට ලියන්න හයියක් වුණු හැමෝටම මගේ නිමක් නොවන ස්තුතිය :)

ප.ප.ලි.: මේ ලිපිය ලියද්දී හුඟක් වෙලාවට මම ස්වයං අධ්‍යයනයන් තමා සිද්ධ කළේ. ඒත් නොතේරුණු තැන් කියා දෙන්න උදව් වුණු අපේ කැම්පස් එකේ සංස්කෘත අධ්‍යයනාංශයේ හාමුදුරුවරුන්ටත්, ක්‍රිස්තියානි ධර්මය හදාරන මිතුරු මිතුරියන්ටත් ඒ වගේමයි ඉස්ලාම් ධර්මය සම්බන්ධ කරුණු රැසක් හොයාගන්න උදව් කරපු මුහුණු පොතෙන් හඳුනාගත්තු මොහොමඩ් රිසාන් සහ මොහොමඩ් අස්ෆාරන් කියන මිතුරන් දෙදෙනාටත් විශේෂ ස්තුතියක් හිමිවිය යුතුමයි. 

Saturday, December 1, 2012

නම් ගම් ටිකක මුල් සොයා

බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න තමා අද මම කල්පනා කළේ.

මීට කලින් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ශාක්‍ය වංශයට නම සකස් වුණු ආකාරය වගේම ශාක්‍ය ජනපදයේ අගනුවර වුණු කපිලවස්තුවට ඒ නම සකස් වුණු ආකාරයත් විශාලා මහනුවර මුල් කරගෙන වජ්ජි ජනපදයේ ගණ තන්ත්‍ර පාලනයක් ගෙනියපු ලිච්ඡවි රාජ වංශයට ඒ නම හිමිවුණු ආකාරය ගැනත් කතා කළා මතකයිනේ.

බරණැස ඉසිපතනය
මුලින්ම බුදු හාමුදුරුවෝ මංගල ධර්ම දේශනාව පවත්වපු බරණැස් නුවර පිහිටලා තිබුණු ඉසිපතනාරාමය එහෙමත් නැත්නම් ඉසිපතන මිගදායට නම සකස් වුණු ආකාරය බලමු. 

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු කරගත්තු ඒ වගේමයි විශාල දැනුම් සම්භාරයක් තිබුණු පුද්ගලයන් කොට්ඨාශයක් භාරතයේ ඈත අතීතයේ ඉදලා තිබෙනවා. ඔවුන්ව හැඳින්වූවේ සෘෂිවරු එහෙමත් නැත්නම් ඉසිවරු කියලා. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය, ආයුර්වේදය, යෝග ශාස්ත්‍රය වගේ බොහොම පැරණි විෂයයන් රාශියක්ම බිහි කරලා තිබෙන්නේත් මේ සෘෂිවරු.

දෙවිවරුන් සමඟත් සම්බන්ධතා පවත්වන්න හැකියාව තිබුණු සෘෂිවරු බොහොම බලවත් පිරිසක්. මේ සෘෂිවරුන්ට විවිධාකාරයේ සෘද්ධි බල එහෙමත් තිබුණු බව තමා කියවෙන්නේ. ඉතින් තමන්ගේ සෘද්ධි බලයෙන් අහසින් යන සෘෂිවරු  බිමට බසින එක ස්ථානයක් තමා මේ බරණැස් නුවර ඉසිපතන නමින් හඳුන්වපු ප්‍රදේශය. ඉසිවරුන් බිමට බසින එහෙමත් නැත්නම් පතනය වෙන ස්ථානය කියන තේරුමෙන් ඉසිපතනය කියන නම ලැබිලා තිබෙනවා.

පස්වග තවුසන් සහ මුවන් මංගල ධර්ම දේශනය ශ්‍රවණය කරන අයුරු
මිගදාය කියලා හඳුන්වලා තිබෙන්නේ මේ ප්‍රදේශය මුවන් සඳහා අභය දානය දීපු ප්‍රදේශයක් එහෙමත් නැත්නම් අභය භූමියක් වශයෙන් නම් කරලා තිබිලා තියෙනවා. මුවන් සඳහා අභය දානය දුන් කියන අදහසෙන් තමා මිගදාය කියන නම හැදිලා තියෙන්නේ.මිගදායේ අදටත් මුවෝ ඉන්නවා වන්දනාවේ යන අයට දැකගන්න පුලුවන්.

රජගහ නුවර නටබුන්
ඊළඟට බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වශයෙන් සැළකෙන්නේ බිම්බිසාර රජතුමා විසින් සිදුකරපු රජගහ නුවර පිහිටි වේළුවනාරාම පූජාව. බෞද්ධ සූත්‍රවල මේ ආරාමය හඳුන්වන්නේ වේළුවන කලන්දක නිවාපය කියලා. ඒ නම හැදුණේ මෙහෙමයි. 

උණ ගසට පාලියෙන් භාවිතා වෙන්නේ වේළු කියන පදය ඒ ආරාම භූමිය උණ ගස්වලින් පිරිලා තිබුණු නිසා වේළු වනය කියන නම යෙදිලා තිබුණා. කලන්දක නිවාපය කියන නම යෙදුණේ මේ වනය ලේනුන් සඳහා අභය භූමියක් වෙලා තිබුණු නිසා. පාලියෙන් ලේනාට කියන්නේ කලන්දක කියලා. නිදහස එහෙමත් නැත්නම් අභය දානය දුන් කියන අදහසෙන් නිවාප කියන කොටසත් එකතු වෙලා තමා කලන්දක නිවාප කියන නම ඇතිවුණේ.

කලින් කිව්වා වගේ වේළුවනාරාමය පිහිටලා තිබුණේ රජගහ නුවරනේ. මේ නුවර රාජගෘහ නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒකට නම හැදුණේ මේ නුවර රජවරු මහ ඇමතිවරුන්ගෙන් සමන්විත වෙන නිසාත්, නුවර වටේ වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ඣකූඨ කියන විශාල පර්වත පහෙන් සමන්විත වෙන නිසාත්, බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය සඳහා ගෙයක් හා සමාන වෙන නිසාත් ඒ අර්ථයෙන් රාජගෘහ කියන නම අරගෙන තියෙනවා. 

 ශ්‍රාවස්ති නුවර නටබුන්
කෝසල දේශයේ අගනුවර වුණේ සැවැත් නුවර. ශ්‍රාවස්ති කියන නමත් මේ නගරයට භාවිතා වෙලා තියෙනවා. ශ්‍රාවස්ති කියන නම හිමිවෙලා තියෙන්නේ ශ්‍රාවස්ති කියන සෘෂිවරයාගේ අසපු භූමියේ මේ නගරය නිර්මාණය කෙරුණු නිසා. 

මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීම
දැන් ඉතින් පුද්ගල නාම ටිකකුත් කිව්වා නම් හොඳයි වගේ. සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව වුණු මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ඒ නම හිමිවුණේ එතුමියට නම් තබන දවසේ දේහ ලක්ෂණ බලපු බමුණෝ ප්‍රකාශ කරනවා මේ කුමාරිකාව අනාගතයේ පුතෙක් බිහි කළොත් එයා සක්විති රජෙක් වෙන බවත් දියණියක් බිහි කළොත් ඒ දියණිය සක්විති රජෙක්ට අග මෙහෙසිය වෙන බවත් ඒ වගේමයි වෙනත් ස්ත්‍රියකගේ කුසෙන් බිහි වුණත් මේ කුමාරිකාව විසින් රැක බලා ගන්නා පුත්‍රයෙක් දෙවියන් අතින් පවා වැඳුම් ලබන්න සමත් වෙනවා කියලා. 

මේ නිසා පුත්‍ර ප්‍රජාවට පති කියන අර්ථයෙන් ප්‍රජාපතී කියන නම යෙදෙනවා. ගෝත්‍ර නාමය තමා ගෝතමී කියලා එකතු වෙන්නේ. 

සිද්ධාර්ථ කුමාරයාගේ මෙහෙසිය වෙන්නේ යශෝධරා දේවිය. එයට ඒ නම හිමිවුණේ උපන් දවසේ ඉදන් මහත් යසසක් දරපු නිසා. ඒ අර්ථයෙන් යසස් දරන කියන අර්ථයෙන් යශෝධරා කියන නම හිමිවෙනවා. 

කලිනුත් කිව්වා වගේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කරපු මගධයේ අධිපති බිම්බිසාර රජතුමාට නම හැදුණේ මෙහෙමයි. ස්වර්ණමය පැහැයක් ගත්තු අලංකාර සිරුරක් තිබුණු නිසා එතුමාට බිම්බිසාර කියන නම ලැබිලා තිබිලා. විශාල සේනාවක් එතුමාට තිබුණු නිසා සේනිය බිම්බිසාර කියන නමිනුත් හැඳින්වෙලා තියෙනවා. 

බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණු පස්සේ කාලේ බිම්බිසාර රජතුමාව මරණයට පවා පත් කරවපු අජාසත් රජතුමාට ඒ නම හිමිවුණේ මව් බිසව ගැබ් ගත්තු කාලයේම බිසවට දොළ දුකක් හට ගන්නවා රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න. ඒ දොළ දුක කිසිම පැකිලීමක් නැතුව බිම්බිසාර රජතුමා ඉෂ්ට කරනවා. 

 අජාසත් රජතුමා

ඒත් නිමිත් දන්න අය ප්‍රකාශ කරනවා බිසවට ලැබෙන දරුවා පුත්‍රයෙක් වුණොත් රජතුමාට විරුද්ධ අයෙක් වෙනවා. ඒ කුමාරයා තාත්තාව මරා දමලා රාජ්‍ය බලය ලබා ගන්නවා කියලා. මේක අහපු බිසව දරු ගැබ පහ කරන්න කරපු උත්සහය හරියන්නේත් නැහැ. අවසානයේදී පුත්‍රයෙක් බිහිවුණාම මව් කුසෙන් බිහි වෙන්නත් කලින්ම පිය රජතුමාට සතුරු වූ කියන අර්ථයෙන් අජාතවම සතුරු වූ කියන අදහසෙන් අජාසත් කියන නම මේ කුමාරයාට තියලා තිබෙනවා.

අදට මේ ඇති. හැමදාම බරසාර කතා නැතුව සරල දේකුත් කියන්න එපැයි.

ප.ලි.: ඊළඟට පබ්ලිෂ් කරන පෝස්ට් එක තමා පෝස්ට් එක :D

Sunday, November 25, 2012

ශාක්‍යයන්ගේ ලේවලින් පුටු හෝදපු විඩූඪභ කුමාරයා

  කපිලවස්තුපුර නටබුන්

කලින් සතියක ලියපු අයියලා නංගිලා කසාද බැන්ද හැටි කියන බ්ලොග් සටහනෙන් ශ්‍රේෂ්ඨ රාජ වංශයක් විදිහට සැලකෙන් ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය ගැන කතා කළා මතක ඇති. ඒ වගේ ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය බොහොම ඛේදනීයයි කියලා මම කිව්වාත් මතක ඇති. ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය පිළිබඳව. 

කෝසල ජනපදය කියන්නේ ඒ කාලයේ භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයන්ගෙන් බලවත් ජනපද 4 ට අයිති වුණු ජනපදයක්. මේ ජනපදයේ අධිපතියා වුණු පසේනදී කෝසල එහෙමත් නැත්නම් ප්‍රසේනජිත් නමින් හඳුන්වපු රජතුමාට. බුදුන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයේ වැඩිම කාලයක් වාසය කරපු සැවැත් නුවර පිහිටලා තිබුණෙත් මේ කොසොල් ජනපදයේමයි.

 
සිරි පතුල් සිඹිමින් බුදුරදුන් වන්දනා කරන කොසොල් රජතුමා

ඉතින් කොසොල් රජතුමාත් බුදුන් සරණ ගිය උපාසකයෙක් වුණා වගේම බුදුන් වහන්සේට අසීමිත ගෞරවයක් දක්වපු බවත් කියවෙනවා. උත්පලගන්ධ හාමුදුරුවන්ගේ කතාවෙනුත්, මුල්ම බුදු පිළිමය තනපු හැටි ගැන කියපු කතාවෙනුත් අපි කොසොල් රජතුමා ගැන හුඟක් දේවල් මේ වෙද්දිත් කතා කරලා නොවැ තියෙන්නේ. 

මේ කොසොල් රජතුමා තමන්ගේ රජ මාළිගාව ආසන්නයේ දාන ශාලවක් කරවලා හාමුදුරුවරු 500 නමකට හැමදාම දානය පිළිගන්නනවා. හැබැයි මේ විදිහට හාමුදුරුවරුන්ට දානය පූජා කළත් විශ්වාසයෙන් ගෞරවයෙන් උන් වහන්සේලාට ඒවා පිළි ගන්වන ඒ වගේම වළඳන්න අවශ්‍ය පහසුකම් සලසන කවුරුත් එතැන හිටියේ නැහැ.


ඒක නිසා හාමුදුරුවරු කරන්නේ රජතුමාගේ දාන ශාලාවෙන් දානය අරගෙන තමන් වහන්සේලාට විශ්වාස උපාසක උපාසිකාවන්ගේ ගෙවල්වලට වැඩම කරවනවා දානය වළඳන්න. ඒ උපාසක උපාසිකාවනුත් දානය වළඳන්න තමන්ගේ ගෙදරට වැඩම කරන හාමුදුරුවන්ට ගෞරවයෙන් පිළි අරගෙන ආසන පනවලා රජතුමාගේ දාන ශාලාවේ දානය පරීක්ෂා කරලා බලලා ඒකේ වරදක් තියෙනවා නම් තමන්ගේ ගෙදර සකස් කරපු දානය පිළිගන්වලා අවශ්‍ය ඇප උපස්ථාන සිද්ධ කරනවා.

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී දවසක් රජතුමා විශේෂ ආහාරයක් ලැබිලා ඒක දාන ශාලාවට පිටත් කරවනවා හාමුදුරුවරුන්ට පූජා කරන්න කියලා. ඒත් දාන ශාලාවේ හාමුදුරුවරු කවුරුත් හිටියේ නැති නිසා ඒ ගැන කරුණු කාරණා හොයපු ඇමතිවරු රජතුමාට කියනවා රජතුමාගේ දාන ශාලාවෙන් දානය ගන්න හාමුදුරුවරු උන් වහන්සේලාට විශ්වාස ගෙවල්වලට වැඩම කරවලා ඒ දානය වළඳනවා කියලා.

මේ කතාව අහලා හොඳටෝම කේන්ති ගත්තු රජතුමා වහාම බුදු හාමුදුරුවන්ට බැහැ දැකලා බුදුන් වහන්සේට කියනවා.

"ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මධ්‍යස්ථ නැහැ. මම වගේ රජෙක් දෙන අග්‍ර වෙන දානයක් මගේ දාන ශාලාවේදී වළඳන්නේ නැතුව වෙන ගෙවල්වලට වැඩම කරවලා වළඳනවා. ඒකට හේතුව මොකක්ද?" කියලා.

මේ අවස්ථාවේදී බුදු හාමුදුරුවේ වදාරනවා "රජතුමනි ඔබතුමාගේ දානය අග්‍ර වුණත් විශ්වාසයක් නැහැ, ඒක නිසා භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට විශ්වාස ආදරයෙන් දෙන දානය වළඳනවා වගේම ඒවගේ අය ඉන්න ස්ථානවලදී දානය වළඳනවා" කියලා.

පස්සේ රජතුමා අහනවා "ස්වාමීනි භික්ෂූන් වහන්සේලා කාව හරි විශ්වාස කරන්නේ කොහොමද?" කියලා. බුදුන් වහන්සේ වදාරනවා "රජතුමනි සෝවාන් වුණු අය ගැන වගේම ඥාතීන් ගැන භික්ෂූන් වහන්සේලා හුඟක් විශ්වාස කරනවා" කියලා. 

මේ කාරණාව තදින්ම හිතට ගත්තු කොසොල් රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා මාළිගාවට ඇවිත් කල්පනා කරනවා මම බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වුණොත් නම් හැම හාමුදුරු කෙනෙක්ම මං ගැන විශ්වාස කරයි කියලා හිතලා තමන්ගේ සේනාව හුඟක් ප්‍රබල නිසා තමන් ප්‍රබල රජ කෙනෙක් වෙන හින්දාම ශාක්‍ය වංශයෙන් හොඳින් නැත්නම් නරකින් හරි කුමරියක් සරණ පාවා ගෙන බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් වෙනවා කියලා තීරණය කරනවා.

ඒ වෙද්දී ශාක්‍ය වංශයේ රජ දරුවන්ගෙන් ප්‍රධාන රජතුමා විදිහට කටයුතු කරන්නේ මහානාම කියන ශාක්‍ය රජතුමා. කොසොල් රජතුමා මහානාම රජතුමා හසුනක් යවලා කියනවා ශාක්‍ය වංශයට නෑයෙක් වෙන්න කැමතියි. ඒක නිසා මට සරණ පාවා ගන්න කුමරියක් එවන්න කියලා.

 කෝසල ජනපදයේ විශාලත්වය වගේම කපිලවස්තුවේ ප්‍රමාණයත් පේනවානේ 

මේ හසුන දකින මහානාම රජතුමා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ශාක්‍ය වංශයේ රජදරුවෝ උභයකුල පාරිශුද්ධ අය වෙන නිසා තමන්ගේ දරුවෙක් වෙන රාජ වංශයකට සරණ පාවා දුන්නොත් ඒක තමන්ගේ වංශයට කරපු නින්දාවක් වෙනවා. අනික් අතට කොසොල් රජතුමා වගේ බලවත් රජ කෙනෙක්ගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළොත් කොසොල් රජතුමා වෛරක්කාරයෙක් වෙලා ඉස්සරහට කරදර වෙනවා.

මේක නිසා මේ ගැටලුවෙන් බේරෙන්න මහානාම රජතුමා කරන්නේ මහා මුණ්ඩි කියන දාසිය තමන්ට දාව බිහි කරපු වාසභ ඛත්තිකා කියන ගැහැණු දැරිවියව දෙවඟනක් වගේ සරසවලා කොසොල් රජතුමාගේ දූතයන්ට භාර දෙනවා. 

මේ වෙලාවේ ශාක්‍යයෝ නම් හරි මායම්කාරයෝ. මීට කලින් කිසිම රජ කෙනෙක්ට තමන්ගේ දියණියක් සරණ පාවා දුන්නේ නැහැ. ඒත් දැන් කිසිම බාධාවක් නැතිව අපේ රජතුමාට පාවා දෙන්න යනවා. සමහර විට දරුකමට හදාගත්තු දියණියක් මේ විදිහට සරණ පාවා දෙන්න යනවාද දන්නේ නැහැ කියලා සැක හිතපු කෝසල රාජ දූතයෝ මේ සැකේ නිරාකරණය කරගන්න උපායකුත් කල්පනා කරනවා.

ශාක්‍ය රජ දරුවෝ තමන්ගේ ජීවිතේ නැතිවුණත් තමන්ගේ තත්වයට නොගැලපෙන අයත් එක්ක කෑම කන්නේ නැති නිසා කෝසල රාජ දූතයෝ මහානාම ශාක්‍ය රජතුමාට කියනවා "ස්වාමීනි අපේ අපේ රජතුමාට බොහොම බයයි. ඒක නිසා ඔබතුමා දියණියත් එක්ක ආහාර අනුභව කරනවා නම් අපිට කිසිම සැකයක් නැහැ" කියලා.

මහානාම ශාක්‍ය රජතුමා හා කියලා ඒ යෝජනාව පිළි අරගෙන සියලු දෙනාම ඉදිරියේ දියණියත් එක්ක ආහාර ගන්නම් කියලා ප්‍රකාශයක් කරලා තමන්ගේ ඇමතිවරුන්ට ප්‍රයෝගයක් කරන්න උපදෙස් දීලා වාසභඛත්තිකාව සරසවලා තමන් සමීපයට ගෙන්වනවා.

පස්සේ වාසභඛත්තිකාවගේ හිස අතගාලා බොරුවට කදුළු හළලා මහානාම රජතුමා "පුතේ කොසොල් රජතුමා සමීපයට ඔබව යවන්නයි මේ සූදානම. ආයි දකින්න සෑහෙන කාලයක් යනවානේ. අපි අන්තිමට පාරට බත් ටිකක් කමු" කියලා වාසභඛත්තිකාව අතට බත් තියෙන පිඟාන දෙනවා.

හැබැයි වාසභඛත්තිකාව බත් අනන්න ගන්න කලින් මහානාම රජතුමා බත් පිඬක් අනාගෙන කන්න යද්දි කටට ළං කරද්දීම රජතුමාගේ ප්‍රයෝගයේ විදිහට ඇමතියෙක් ඇවිත් පසල් දනවුවකින් ආපු හදිසි හසුනක් කියලා රජතුමාට හසුනක් පිළිගන්නනවා.

ඒ වෙලාවේ රජතුමා පුතා බත් කන්න කියලා වම් අතින් හසුන අල්ලාගෙන බත් පිඟානේ අත දමන්නේ නැතුව හසුන කියව කියව වාසභඛත්තිකාව බත් කාලා ඉවර වෙනකම් අනම් මනම් කියව කියව ඉන්නවා. අන්තිමට වාසභඛත්තිකාවත් එක්ක බත් කෑවා වගේ පේන්න අත හෝදනවා.

කෝසල රාජ දූතයන්ට මේ හොරේ අල්ලගන්න බැරිවෙනවා. ඉතින් එයාලත් වාසභඛත්තිකාව මහ පෙරහැරෙන් සැවැත්නුවර ගෙනිහින් කොසොල් රජතුමාට සරණ පාවා දෙනවා.

රජතුමාට වාසභඛත්තිකාව තමන්ගේ අගමෙහෙසිය කරලා තමන් දැන් බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලා බොහොම සතුටට පත් වෙනවා. ටික කාලයකට පස්සේ වාසභඛත්තිකා අග බිසව රජතුමාට දාව පුත් කුමරෙක් බිහි කරනවා.

 කෝසලයේ වීථි සංචාරය කරන කොසොල් රජතුමා

කොසොල් රජතුමා ඇමතිවරුන්ට නියම කරනවා මේ පිළිබඳව තමන්ගේ මව් බිසවට දැනුම් දෙන්න කියලා. මව් බිසව මේ ගැන අහලා සතුටු වෙලා "වාසභඛත්තිකාව අද ඉදන් මගේ පුතාට වල්ලභයි" කියලා කියනවා. මව් බිසවට මේ පණිවුඩය අරගෙන ගිය ඇමතියා පොඩ්ඩක් බීරි නිසා එයාට ඇහෙන්නේ "විඩූඪභ" කියලා. එයා රජතුමාට කියනවා කුමාරයාට මව් බිසව විඩූඪභ කියලා නම් තිබ්බා කියලා.

ඒ නම තමන්ගේ රාජ පරම්පරාවේ පරණ නමක් කියලා හිතපු රජතුමා ඒ නම තමන්ගේ පුත් කුමාරයාට හොඳයි කියලා පිළිගන්නවා. දාසියක් වෙලා හිටිය තමන්ට මේ විදිහට කොසොල් රජතුමාගේ අග මෙහෙසිය වෙන්න පුලුවන් වුණේ බුදු හාමුදුරුවෝ නිසා කියලා සතුටු වුණු වාසභඛත්තිකාවත් ඒ වගේමයි කොසොල් රජතුමාත් බුදු හාමුදුරුවෝ ගැන ගොඩක් පැහැදුණා.

මෙහෙම ටික කාලයක් යද්දී විඩූඪභ කියන්නේ කඩවසම් තරුණයෙක්. එයාට පේනවා හැමෝගේම මව් පාර්ශවයේ නෑයෝ ඉන්නවා. ඒත් තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ නැහැනේ කියලා. අම්මාගෙන්ම මේ ගැන අහන්න ඕනේ කියලා හිතපු විඩූඪභ තමන්ගේ මව් පාර්ශවයේ නෑයෝ ගැන වසභඛත්තිකා අග බිසවගෙන් අහපුවාම එයා කියනවා ශාක්‍ය වංශිකයෝ තමා තමන්ගේ නෑයෝ කියලා.

තමන්ගේ අම්මාගේ නෑයෝ බලන්න තකහනියේ ලෑස්ති වුණු විඩූඪභ කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක කිඹුල්වත් නුවරට ගියා. දාසියගේ පුත්‍රයා වුණත් කොසොල් රජතුමාගේත් පුත්‍රයා නොවැ. ඒක නිසා ශාක්‍යයෝ විඩූඪභව බොහොම ආදරයෙන් පිළි අරගෙන සංග්‍රහ ආදිය කලා.

ඊට පස්සේ ඉතින් විඩූඪභ ආපහු සැවැත් නුවරට එන්න පිටත් වුණා. මේ අතරවාරයේදී විඩූඪභගේ සොල්දාදුවෙක් තමන්ගේ කඩුව දාලා ඇවිත් ඒක අරන් එන්න ආපහු කිඹුල්වත් නුවරට ගියා. ඒ වෙලාවේ එයා දැක්කා විඩූඪභ කුමාරයා වාඩිවෙලා හිටිය පුටුව විඩූඪභට බැන බැන කිරිවලින් හෝදන සේවිකාවක්. "දාසියගේ පුතා දාසියගේ පුතා" කියලා තමා ඒ සේවිකාව විඩූඪභට බැන වදින්නේ.

පස්සේ කරුණු කාරණා දැනගත්තු සොල්දාදුවා මේ ගැන විඩූඪභට කියනවා. තමන්ගේ මව් පරම්පරාව ගැන මෙච්චර කල් රහසක් වෙලා තිබුණු කතාව අහපු විඩූඪභට හොඳටම කේන්ති යනවා.

ඒ වෙලාවේ එයා තමන්ටම පොරොන්දු වෙනවා තමන්ට අපහාස කරපු ශාක්‍යයන්ගේ ලේවලින්ම ශාක්‍යයන්ගේ පුටු ඔක්කෝම හෝදනවා කියලා.

මේ කාලය වෙද්දී කොසොල් රජතුමාටත් එච්චර හොඳ කාලයක් වුණේ නැහැ. මොකද රජතුමා තමන්ගේ හොඳම සේනාපතියා වුණු බන්ධුල සේනාපතියා වගේම එයාගේ දරුවන්ට නිස්කාරණේ සැකයක් ඇති කරගෙන මරා දමලා තිබුණේ. මේක නිසා රජතුමා බන්ධුල සේනාපතිගේ නෑයෝ හිතවත් කරගන්න බන්ධුල සේනාපතිගේ නෑයෙක් වුණු දීඝකාරායනව ප්‍රධාන සෙන්පතියා විදිහට පත් කළා.

බුදුරජ කොසොල් රජ හමුවක්

දවසක් කොසොල් රජතුමා බුදු හාමුදුරුවෝ බැහැ දකින්න ගිය වෙලාවක තමන් එක්ක ගිය දීඝකාරායන සෙන්පතියාට රාජකීය ආභරණ, මඟුල් කඩුව ආදී සියල්ල දීලා බොහොම සාමාන්‍ය විදිහට තමා ආරාමයට ඇතුල් වෙන්නේ.

ඒක අවස්ථාව කරගත්තු දීඝකාරායාන තමන්ගේ ඥාති සහෝදරයා මරපු පළිය ගන්න හොඳම අවස්ථාව මේක කියලා හිතලා රාජකීය භාණ්ඩ අරගෙන ගිහින් විඩූඪභ කුමාරයාව කෝසල ජනපදයේ රජතුමාට බවට පත් කරනවා.

බුදු හාමුදුරුවන් බැහැ දැකලා කතා බහ නිමා කරලා එළියට ආපු කොසොල් රජතුමා දකිනවා තමන්ගේ සේනාවේ කවුරුත් එතැන නැති බව. එක අශ්වයෙකුත් පරිවාර කාන්තාවකුත් විතරක් ඉතුරු කරලා තමා දීඝකාරායන එතැනින් යන්නේ. පස්සේ කොසොල් රජතුමා ආයි පාරක් තමන්ගේ රාජ්‍යය ගන්න උපකාරයක් ඉල්ල ගෙන තමන්ගේ බෑණා වුණු මගධ ජනපදයේ රජතුමා වුණු අජාසත්ත හම්බෙන්න රජගහ නුවර බලා පිටත් වෙනවා.

කොසොල් රජතුමා රජගහ නුවරට යද්දී රෑ බෝ වුණා. ඒ වෙද්දී වාසල් දොරටු වහලා තිබුණේ. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයට ඇතුල් නුවරට ඇතුල් වෙන්න බැරිවෙන්න සතර වාසල් දොරටු වහලා දානවා. ඒක නිසා කොසොල් රජතුමා වාසල් දොරටුව ගාව තිබුණු ශාලාවක රාත්‍රිය ගත කරද්දී හිතේ තිබුණු දුක වගේම අධික සීතල ඉවසාගන්න බැරුව මියයනවා. පහුවෙනිදා උදෑසන මේ ගැන දැනගත්තු අජාසත් රජතුමා කොසොල් රජතුමාගේ අවසන් කටයුතු උසස් අන්දමින් සිද්ධ කරනවා.

මේ අතරවාරයේ විඩූඪභ දීඝකාරායාන සේනාපතියාගේ උදව්වෙන් ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න සේනා අරගෙන පිටත් වෙනවා. මේ සිද්ධිය අලුයම් කාලයේදී මහා කරුණාවෙන් ලෝකය දිහා බලන බුදු හාමුදුරුවෝ දකිනවා.

විඩූඪභ ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ලොකු අකුසලයක් කරගන්න යන නිසා ඒකෙන් එයාව මුදවන්න බුදු හාමුදුරුවෝ ශාක්‍ය දේශයට විඩූඪභ ගමන් කරන මාර්ගයේ අතර මැද ස්ථානයක වැඩ ඉන්නවා. ශාක්‍ය දේශය බලා යන ගමනේදී විඩූඪභ දකිනවා සෙවණක් නැති ස්ථානයක අධික රස්නේ මැදම බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා.

 විඩූඪභගේ සේනාව හමුවීමට වැඩ සිටින බුදුන් වහන්සේ

සෙවණක් නැති ස්ථානයක වැඩ ඉන්නේ ඇයි කියලාම විඩූඪභ ඇහුවාම බුදු හාමුදුරුවෝ පිළිතුරු දෙනවා උපන් බිමෙන් හමා එන මඳ සුළඟෙන් පවා තමන් වහන්සේට සුවයක් දැනෙනවා කියලා.

බුදු හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශයත් එක්ක බුදු හාමුදුරුවෝ නිසා ශාක්‍ය ජනපදයේ සංහාරයට යන එක නතර කරලා විඩූඪභ ආපහු කෝසලය බලා පිටත් වෙනවා. දෙවෙනි වරටත් විඩූඪභ ශාක්‍ය ජනපදය ආක්‍රමණය කරන්න යද්දී කලින් සිද්ධිය ආයි පාරක් වෙනවා.

ඒක නිසා විඩූඪභ ආපහු කෝසලය බලා ගියත් තුන්වෙනි වතාවේ නම් බුදු හාමුදුරුවෝ මේ අකුසලයෙන් විඩූඪභ වළක්වන්න වැඩම කරන්නේ නැහැ. ඒකට හේතුව තමා ශාක්‍යයන්ගේ අකුසලයකුත් බලවත්ව ඉස්මතු වුණු එක.

අවසානයේදී සිද්ධ වෙන්නේ විඩූඪභ තමන්ටම පොරොන්දු වුණු විදිහට ශාක්‍යයන් සමූල ඝාතනය කරලා ශාක්‍යයන්ගේ ලේවලින් පුටු සියල්ලම හෝදනවා. මේ ශාක්‍ය සංහාරයෙන් ජීවිතය ගලවා ගන්නේ බොහොම ස්වල්ප පිරිසක්.

ඒ පිරිසේ තමා ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ බාල සහෝදරයෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍ර පණ්ඩු ශාක්‍ය කුමාරයා. පණ්ඩු ශාක්‍යගේ දියණිය තමා භද්දකච්චායනා කුමරිය. එයා තමා ලංකාවේ රජ වෙලා හිටිය පණ්ඩුවාසදේව රජතුමා අග බිසව වෙන්නේ.

ශාක්‍ය රජ පෙළපත ලක්දිව රජ පෙළපතට සම්බන්ධ වන අයුරු

ශාක්‍යයන්ව මේ විදිහට සමූල ඝාතනය කරපු විඩූඪභට මොකද වුණේ කියන එකත් කට්ටියට ප්‍රශ්නයක් ඇති. ශාක්‍ය ජනපදයේ ආක්‍රමණය නිමා කරලා ආපහු එන විඩූඪභ ඇතුළු සේනාව කරපු බරපතල අකුසල කර්මය නිසා එයාලා ගමන් කරපු රථවල රෝද කළුගල් තලාවකදී මඩේ එරුණා හා සමානව එරුණා කියලා බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා. දඹදිව වන්දනාවේ යන අය නරඹන්න යන එක් ස්ථානයක් තමා මේ විඩූඪභගේ රථ එරුණු කළුගල් තලාව.

විඩූඪභගේ රථ එරුණු ගල් තලාව

ඒ කළුගල් තලාවත් පහු කරලා කෝසලය බලා එද්දී රෑ බෝ වුණු නිසා අචිරවතී කියන ගංගා ඉවුරේ රාත්‍රිය ගත කරන්න කඳවුරු බඳින්න කෝසල සේනාව තීරණය කරනවා. ඒ වෙද්දී ලොකු පෑවිල්ලක් තිබුණු නිසා ගං ඉවුරේ මේ කඳවුර ඉදි කරනවා වගේම හුඟක් සොල්දාදුවෝ නිදාගන්නේ ගං ඉවුරේ.

ඒත් විඩූඪභගේ අකුසලයේ බලවත්කම කොච්චරද කියනවා නම් අකාලයේ වැහැපු වැස්සක් නිසා ඇතිවුණු ගංවතුරක් නිසා අචිරවතී ගං ඉවුරේ කඳවුරු බැඳගෙන හිටිය විඩූඪභ ඇතුළු සේනාව ගංවතුරට අහුවෙලා මියයනවා. හැබැයි සොල්දාදුවෝ කීප දෙනෙක් අරුම පුදුම විදිහට බේරෙනවා.

අජාසත්ත රජතුමා

මේ විදිහට කෝසල ජනපදය වගේම ශාක්‍ය ජනපදය අරාජික වුණු ඒ ප්‍රදේශ සියල්ලම මගධයේ අධිපතියා වුණු අජාසත්ත අත්පත් කරගන්නවා. ඊළඟට කලින් කතාවකත් කිව්ව විදිහටම වසර 16 ක යුද්ධයකින් පස්සේ වජ්ජි ජනපදයේ ලිච්ඡවියන් පරාජය කරලා ඒ ජනපදයත් ඈඳා ගන්නවා. මේ විදිහට අජාසත්ත භාරතයේ මගධය මුල් කරගෙන අධිරාජ්‍යයක් බිහි කරන්න කටයුතු කරනවා.

ඕන් ඔහොමයි ශාක්‍යයන්ගේ අවසානය සිද්ධ වුනේ...

ප.ලි.: කතාව කියන්න කරුණු හොයාගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේඅසදෘශ මහාදාන පූජා කතා කොටසෙන් වගේම දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ කෝසල රජතුමාගේ මරණය නම් කොටසෙන්

Sunday, November 18, 2012

ඉවරෙටම ඉවරයි ඕන්

ගුරු ගෝබින්ද් සිං

සීක්වරුන්ගේ ආගම ආරම්භ වුණු හැටි ගැන අපි මේ වෙද්දී සටහන් පහකින් කියෙව්වා.

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???

ගුරු අංගද් දේව්

ගුරු තනතුර පරම්පරාවට යයි

අවුරුදු 8 දී ගුරු හර් ක්‍රිෂන් වසූරියෙන් මියයයි

තවත් "ගුරු"වරයෙක්ව වධ දී මරා දැමෙයි


මේ ලිපි මාලාවේ අවසන් කොටස තමා අද ලියවෙන්නේ. තමන්ගේ පියා වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නාට පස්සේ 1665 නොවැම්බර් 24 ගුරු බවට පත්වුණු වයස අවුරුදු 9 ක් වයසැති ගුරු ගෝබින්ද් රායි සීක් දහමේ විප්ලවීය වෙනසක් සිදුකළ ගුරු විදිහට හඳුන්වනවා. අද දක්වාම පැවතෙන සීක්වරුන්ගේ ප්‍රධාන චාරිත්‍ර කීපයක් ඇති කරනුලැබුවේත් ගුරු ගෝබින්ද් රායි විසින්.

කුඩා කාලයේ ඉදන්ම ඔහු යුධ ශිල්පය මැනවින් හැදෑරුවා වගේම ගුරු මුඛී, හින්දි, සංස්කෘත, පර්සියන් භාෂාවල ප්‍රවීණයෙක් වුණා. මුල් කාලීනව ගුරු ගෝබින්ද් රායි මුස්ලිම් නායකයන් කීප දෙනෙක් සමඟ සිදු කරපු යුද්ධ කීපයක්ම සාර්ථක වුණා. මෙවැන් තත්වයක් එක්ක ගුරු ගෝබින්ද් රායිගේ ක්‍රියාකාරකම් තමන්ට තර්ජනයක් බව විශ්වාස කරපු මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් පිටත් කරපු සේනා කීපයක් විනාශ කරන්නත් ගුරු ගෝබින්ද් රායි සමත් වෙනවා. 

1699 දී තමන්ගේ අනුගාමිකයන්ට "හුක්මානමස්" හෙවත් අධිකාරී ලියුමක් පිටත් කරන ගුරු ගෝබින්ද් රායි 1699 අප්‍රේල් 13 ආනන්ද්පූර්හි පැවැත්වෙන සමුළුව සඳහා පැමිණෙන්න අණ කරනවා.

කෙස්ගාර්හ් සහීබ්

ආනන්ද්පූර්හි තිබුණු කුඩා කඳු ගැටයක තනපු කූඩාරමක ඉදන් ගුරු ගෝබින්ද් රායි තමන්ගේ පිරිස අමතනවා. [මේ කඳු ගැටය දැන් හඳුන්වන්නේ "කෙස්ගාර්හ් සහීබ්" නමින්] ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියලා ඔහු කියනවා.

තුන් වරක්ම ඒ ප්‍රකාශය කරද්දී දයා රාම් කියන අනුගාමිකයා ඉදිරියට එනවා. එයාව තමන් හිටිය කූඩාරමට කැඳවාගෙන යන ගුරු ගෝබින්ද් ටික වෙලාවකින් ලේ තැවරුණු කඩුව අතේ තියාගෙන ඇවිත් නැවතත් ගුරු වෙනුවෙන් දිවි පිදීමට කැමති අයට ඉදිරියට එන්න කියනවා. ඒ අවස්ථාවේත් එක් අයෙක් ඉදිරිපත් වෙනවා. ඔහුවත් ගුරු ගෝබින්ද් කූඩාරමට කැඳවාගෙන යනවා.

මේ සිදුවීම තවත් තුන් පාරක්ම වෙනවා.අවසානයේදී ඒ පස් දෙනාම කිසිම හානියක් නැතිව අලුත් ඇඳුම් ඇඳගෙන කූඩාරමෙන් එළියට එනවා. 

 ඛල්සා චාරිත්‍රය ඉටු කරන ගුරු ගෝබින්ද්

පස්සේ ගලා ගෙන එන වතුර යකඩ බඳුනකට එකතු කරපු ගුරු ගෝබින්ද් ඒ වතුරට "පටශස්" හෙවත් පංජාබයේ තිබෙන රස ගන්වන දේවල් දමලා ආදි ග්‍රන්ථ්හි තිබෙන ගීත ගායනා කරමින් ඔහුගේ කඩුවෙන් කලතනවා.

රස ගැන්වූ වතුර සහ යකඩ ඇතුලත් මේ දියරය "අම්රිත්" හෙවත් අමෘතය විදිහට ගුරු ගෝබින්ද් හඳුන්වනවා. ඒ අම්රිත් ජලය තමන්ගේ අසිපතෙන් ගුරු වෙනුවෙන් දිවි පුදන්න කැමති වුණු ගෝලයන් පස් දෙනාට ඉසලා ඔවුන්ව බෞතිස්ම කරනවා. ඔවුන්ව "පාන්ච් පියාරා" හෙවත් ආදරණීය පස් දෙනා යනුවෙන් ගුරු ගෝබින්ද් හඳුන්වනවා.

ඛල්සාව සහ ජයග්‍රහණය දෙවියන්ට හිමියි කියලා ප්‍රකාශ කරන ගුරු ගෝබින්ද් බෞතිස්ම වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා "ඛල්සා" හෙවත් පාරිශුද්ධ අය විදිහට හඳුන්වනවා. ඔවුන්ගේ නමේ අගට "සිං" හෙවත් සිංහයා කියන යෙදුමත් ඛල්සාවට ඇතුළත් කෙරුණු කාන්තාවන් සඳහා "කවුර්" හෙවත් කුමාරි කියන කොටස නමේ අගට යොදන්න කියලා උපදෙස් දෙනවා.

පාන්ච් පියාරා සඳහා ඇතුළත් වුණු ප්‍රධාන ගෝලයන් පස් දෙනා වුණේ බායි දයා සිං, බායි ධරම් සිං, බායි හිම්මත් සිං, බායි මොහ්කම් සිං සහ බායි සහීබ් සිං.

ගුරු ගෝබින්ද් ඛල්සාවට ඇතුළත් වීම

මීළඟට ප්‍රධාන ගෝලයන් පස් දෙනා ඉදිරියේ දණ ගහපු ගුරු ගෝබින්ද් තමන්වත් ඛල්සාවට ඇතුළත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහුවත් අම් රිත්වලින් බෞතිස්ම කළාට පස්සේ ඔහුත් ඛල්සාවට ඇතුළත් වෙනවා වගේම එතැන් පටන් ඔහුව "ගුරු ගෝබින්ද් සිං" නමින් හඳුන්වනවා. මේ ඛල්සා සහෝදරත්වයේ පියා විදිහට සීක්වරුන් හඳුන්වන්නේ ගුරු ගෝබින්ද් සිංව.

සභාව අමතන ගුරු ගෝබින්ද් සිං ප්‍රකාශ කරනවා මෙතැන් පටන් සියලු දෙනාම ජාති, කුල භේද නැති බවත් හින්දි හෝ මුස්ලිම් නමින් භේදයක් නැති බවත්, එකම සර්වබලධාරී දෙවියන් කෙරෙහි විශ්වාස තැබිය යුතු බවත්, සියලු දෙනාම සහෝදරත්වයෙන් ජීවත් විය යුතු බවත්. ඒ වගේම "ක" 5 ක් නම් කරලා හැමවිටම ඒවා පළඳින්න, පවත්වාගන්න කියලා නියම කරනවා.  

කංග, කර, ක්‍රිපන්

කචෙරා

"ක" පත තමා මේවා. කේශ් - නොකපන ලද හිස කෙස්, කංග - ලී පනාව, කර - ලෝහ වළල්ල, කචෙරා - දිග යට ඇඳුම, ක්‍රිපන් - තියුණු වකුටු වුණු කඩුව

මේ හැරෙන්න කුරෙහ්ට් 4 ක් හෙවත් නොකළ යුතු දේවල් හඳුන්වා දෙනවා. ඒවා වන්නේ හිස කෙස් කැපීම, කුතා [තහනම් කළ] මාංශ අනුභව කිරීම, දුම්කොළ හා මත්ද්‍රව්‍ය භාවිතය, පරදාර සේවනයයි.

මේ හැරෙන්න නොකපන ලද දිගු හිසකෙස් "දාස්තාර්" යනුවෙන් හැඳින්වෙන ජටාවෙන් ආවරණය කිරීමටත්, ප්‍රතිමා වන්දනාව නොකිරීමටත්, තමන්ගේ භක්තිය හා ආත්ම ගෞරවය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සටන් කරන්න සූදානමින් ඉන්න කියලාත් උපදෙස් දෙනවා.

මේ ආකාරයෙන් සීක්වරුන්ගේ අනාගතය වෙනුවෙන් පදනම දමපු මේ සමුළුව හඳුන්වන්නේ "වයිසාඛි අම්රිත් සංස්කාර්" යන නමින්.

සීක්වරුන්ව ශක්තිමත් කරමින් ගුරු ගෝබින්ද් සිංගේ නැගී ඒම හිමාල කඳුවැටියේ සිවාලික් ප්‍රදේශයේ හිටිය මහාරාජාවරුන්ට ප්‍රිය වුණේ නැහැ. ඒක නිසා කිහිප වතාවක් අහඹු ලෙස සීක්වරුන්ට පහර දුන්නත් ගුරු ගෝබින්ද් සිංගේ දක්ෂතාවය නිසා ඒවා ව්‍යර්ථ කරන්න පුලුවන් වෙනවා.

මේක නිසා මෝගල් ආධාර ලබාගෙන ගුරු ගෝබින්ද් සිංව පරාජය කරන්න කඳුකර මහාරාජාවරුන් සැලසුම් කළත් 1701 සිදුවුනු පළමු ආනන්ද්පූර් සටනෙන් මේ ඒකාබද්ධ හමුදාව පරාජය කරන්න සීක්වරුන්ට හැකිවෙනවා.

යුධ වදින ගුරු ගෝබින්ද් සිං

නැවත වරක් ඒකාබද්ධ පෙරමුණක් හදාගත්තු කඳුකර මහාරාජාවරු ගුරු ගෝබින්ද් සමඟ සටනට එළඹියා. එහිදී ගුරුට ලිපියක් යවමින් ඔවුන් දන්වන්නේ ගුරු වෙසෙන ආනන්ද්පූර් ප්‍රදේශය කඳුකර මහාරාජා කෙනෙක් වුණු අජ්මර් චාන්ද්ට අයත් බවත් ඒ වෙනුවෙන් මෙතෙක් නොගෙවපු බදු මුදල් ගෙවලා ආනන්ද්පූර් ප්‍රදේශය නැවත බාර දෙන්න කියලා.

ඒත් ගුරු ගෝබින්ද් සිං පිළිතුරු දෙමින් කියන්නේ තමන්ගේ පියා වුණු ගුරු තේඝ් බහදූර් මේ ප්‍රදේශය සම්පූර්ණ මිළ ගෙවලා මිළට ගත්තා කියන එක. ඊට පස්සේ සිදුවුණු දෙවෙනි ආනන්ද්පූර් සටනිනුත් කඳුකර මහාරාජාවරුන්ට සිද්ධ වෙන්නේ සුපුරුදු පරිදි පසු බසින්න. 

මේ නිසා ගුරු ගෝබින්ද් සිං සමඟ සමඟි ගිවිසුමකට එළඹෙන කඳුකර මහාරාජාවරු ඒ අනුව ගුරුට ආනන්ද්පූර්වලින් ඉවත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම පිළිගත්තු ගුරු ගෝබින්ද් සිං නිර්මොහ් ගම බලා පිටත් වෙනවා.

එතරම් සුරක්ෂිත නොවුණු මේ ගමේ ඉන්න ගුරුට පහර දෙන්න කඳුකර මහාරාජාවරු දෙන්නෙ කටයුතු කළත් ගුරුව පරදවන්න ඔවුන්ට හැකිවෙන්නේ නැහැ. මේ අතරවාරයේ තවත් කඳුකර මහාරාජාවරයෙක් සිර්හින්ද්වල හිටිය මෝගල් විසුරේවරයාගෙන් ආධාර ලබාගෙන ගුරුට පහර දෙනවා. මේ නිසා බසෝලි ගමට පසුබසින්න ගුරු ගෝබින්ද් සිංට සිදු වෙනවා. 

ටික දවසකට පස්සේ ගුරු ගෝබින්ද් සිං නැවත ආනන්ද්පූර් බලා යාමත් එක්ක ප්‍රාදේශීය මහාරාජාවරු කීප දෙනෙක්ම ගුරු සමඟ සමඟියෙන් ඉන්න තීරණය කරනවා. ඒ කොහොම වුණත් 1703-1704 කාලයේ නැවත වරක් කඳුකර මහාරාජාවරුන්ගේ මෙහෙයවීමෙන් වුණු තුන්වෙනි ආනන්ද්පූර් සටනිනුත් ජයගන්න ගුරු ගෝබින්ද් සිං සමත් වෙනවා. 

මේ පරාජයන් කිසිවකින් පසුබට නොවුණු කඳුකර මහාරාජාවරුන් නැවත වරක් මෝගල් අධිරාජයාගේ ආධාර ඇතිව ආනන්ද්පූර්වලට පහර දීමක් දියත් කරනවා. ඒ කාල සීමාවේදී සීක්වරුන් අස්වනු නෙළීමේ කටයුතුවල යෙදී හිටිය නිසා මේ ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්න අපහසු වෙනවා. ඒක නිසා ගුරු ගෝබින්ද් සිං තීරණය කරනවා ආනන්ද්පූර් අතහැර පසු බසින්න.

ආනන්ද්පූර්වලට කඩා වැදුණු සතුරු හමුදාව නගරය කොල්ල කාලා නැවත වරක් සිර්හින්දි බලා යද්දී පුදුම සහගත පහර දීමක් සිදු කරලා කොල්ල කාපු දේවල් නැවත ලබාගන්න ගුරුගේ හමුදාව සමත් වෙනවා. මේ නිසා නැවත වරක් ආනන්ද්පූර් වෙත ගුරු ගෝබින්ද් සිං පිටත් වෙනවා. 

කොහොම නමුත් මේ පිරිස නැවත වරක් සාර්ථකව ප්‍රහාරයක් දියත් කරලා ආනන්ද්පූර් වටලාගන්න සමත් වෙනවා. ගුරු ගෝබින්ද් මේ අවස්ථාවේදී සිරවෙලා හිටියේ. ඒ තත්වයත් එක්ක ආනන්ද්පූර් අතහැර යෑමේ අවස්ථාවක් කඳුකර මහාරාජාවරුන් ගුරුට ලබාදෙනවා. අනුගාමිකයන්ගේ ඉල්ලීමෙන් ඒක පිළිගත්තු ගුරු මුලින් හිස් ගැල් කීපයක් පිටත් කරනවා.

ඒවාට සතුරු ප්‍රහාර එල්ලවීමත් එක්ක ආනන්ද්පූර් අත්හැර යෑම ගුරු ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඊට පසුව කුරාණයේ නාමයෙන් කිසිදු හිරිහැරයකින් තොරව ගුරු ඇතුලු පිරිසට ආනන්ද්පූර් අතහැර යාමට ඉඩ දෙනවා කියලා මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවීමෙන් නැවත වරක් ගුරු ආනන්ද්පූර් අත හැර යන්න තීරණය කරනවා.

ආනන්ද්පූර් අතහැර යන ගුරු ගෝබින්ද් සිං ඇතුළු පිරිසට නැවත වරක් ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා ගුරුගේ පිරිස විසිරෙනවා. ඒ අතරවාරයේ සිර්සා ගඟ තරණය කරන්න ගුරුගේ පිරිසට සිදු වෙනවා.

 ගුරු ගෝබින්ද් සිං සිර්සා ගඟ තරණය කිරීම

මේ අවස්ථාවේදී ගුරුගේ මව සහ බාල පුතුන් දෙදෙනා වුණු ෆටේ සිං සහ සොරාවර් සිං ප්‍රධාන පිරිසෙන් වෙන්වෙනවා. මොවුන් තිදෙනාම සිර්හින්ද්හි මෝගල් පාලකයා වසීර් ඛාන්ට හසු වෙනවා. ඉස්ලාම් දහම වැළඳගන්න කියලා මොවුන්ට බල කළත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා ගුරු ගෝබින්ද් සිංගේ බාල පුතුන් දෙදෙනාව පණ පිටින් බිත්තියකට තබලා බිත්තිය බඳින්න නියම කරනවා.

 ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර

මේ ආකාරයෙන් ගුරුගේ  බාල පුතුන් දෙදෙනා මිය යනවා. ඔවුන් දෙදෙනාව බිත්තියට බැඳි ස්ථානයේ පසුව "ෆටේඝර්හ් සහීබ් ගුරු ද්වාර" නමින් ස්මාරකයක් නිර්මාණය කෙරෙනවා.

මේ අතරවාරයේ සතුරු ප්‍රහාර හමුවේ පසු බසින ගුරු ගෝබින්ද් සිං චම්කවූර් බලකොටුවේ ඉදන් සතුරන්ට මුහුණ දෙන්න හිතාගෙන චම්කවූර් වෙත ගමන් කරනවා. 1705 සිදුවන චම්කවූර් සටන සඳහා ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වෙන අජිත් සිං සහ ජුජාර් සිං සම්බන්ධ වෙනවා. ඒත් ඔවුන් දෙදෙනාත් සටනේදී මියයනවා.

චම්කවූර් සටනේ සිටින ගුරුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා

සටන ක්‍රමයෙන් අසාර්ථක වෙන ලකුණු පහළ වීමත් එක්ක ගුරු ගෝබින්ද් සිංව චම්කවූර් බලකොටුවෙන් ඉවතට රැගෙන යන්න අනුගාමිකයෝ තීරණය කරනවා. ඛල්සාවේ පැවැත්ම උදෙසා ගුරු ජීවත්වීම අනිවාර්යය දෙයක් වෙන නිසා මේ තීරණය ඔවුන් ගන්නවා.

 බාබා සංගත් සිං ගුරු ලෙසට පෙනි සිටීම

ඒ යටතේ ගුරු වෙනුවෙන් බලකොටුවේ පෙනී ඉන්න බාබා සංගත් සිං ඉදිරිපත් වෙනවා. ගුරුගේ සන්නාහය ඇඳගන්න ඔහු ගුරු ජටාවේ පළඳින ආභරණයත් පැළඳගෙන ගුරු විදිහට පෙනී ඉන්නවා. ගුරු මච්චිවාරා ප්‍රදේශයට පිටත් වෙනවා. පස්සේ දවසේ බලකොටුව ආක්‍රමණය කරන මෝගල් සේනාව බාබ සංගත් සිං වගේම ඒකේ හිටපු සීක්වරුන්ව සමූලඝාතනය කරනවා.

මච්චිවාරා ප්‍රදේශයේ ඉදන් උතුරේ ප්‍රදේශ කීපයකට ගුරු ගමන් කරනවා. ඩිනා නම් ප්‍රදේශයේ ඉද්දී ගුරු ගෝබින්ද් සිංට මෝගල් අධිරාජයා වුණු ඖරංසෙබ් ලිපියක් එවමින් මේ තත්වයන් ගැන සාකච්ඡා කරන්න ඩෙකෑනයට එන්න කියලා ආරාධනාවක් කරනවා. තමන්ගේ පියාට අත්වුණු ඉරණම වගේම ඖරංසෙබ් සමඟ තමන් ඇතිකරගත් එකඟතා කඩවුණු ආකාරය සවිස්තරව දක්වමින් අධිරාජයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ගුරු පර්සියන් බසින් "සෆර්නාමහ්" නමින් ලිපියක් ලියනවා.

ටික කලකට පසුව තල්වන්දිවල ඉන්න ගුරු ගෝබින්ද් සිංව අත් අඩංගුවට ගන්න වසීර් ඛාන් කියන මෝගල් නිලධාරියාට අවශ්‍ය වුණත් තල්වන්දිවල නායකයෙක් වුණු චෞද්‍රි දල්ලාගෙන් ලිපියක් සහ ගුරු ගෝබින්ද් ලියපු ලිපිය ඖරංසෙබ්ට ලැබිලා තිබුණු නිසා සංහිදියාවකට කැමති වුණු මෝගල් අධිරාජයා ගුරුට කිසිම හිරිහැරයක් කරන්න එපා කියලා වසීර් ඛාන්ට නියම කරනවා.

ඒ වගේමයි ඩෙකෑනයේ හිටිය ඖරංසෙබ් අධිරාජයා ගුරු ගෝබින්ද් සිංව මුණගැහෙන්න කැමැත්ත පළ කරනවා. ඒක නිසා ඩෙකෑනයේ බලා පිටත් වුණු ගුරුට 1707 මාර්තුවල ඖරංසෙබ් මියගිය බව දැනගන්න ලැබුණු නිසා ආපසු පංජාබය බලා පිටත් වෙනවා.

මේ අතරවාරයේ මෝගල් සිහසුන වෙනුවෙන් ඖරංසෙබ්ගේ දරුවන් තිදෙනා අතර වෙන සටනේදී මුඅසාම් ගුරු ගෝබින්ද් සිංගෙන් සහය ඉල්ලා සිටිනවා. තමන්ගේ උපරිම සහය ඔහුට ලබාදෙන්න ගුරු කටයුතු කරනවා. අවසානයේදී තමන්ගේ සොයුරන් පරදවලා මුඅසාම් බහදූර් ෂා නම් මෝගල් සිහසුනට පත් වෙනවා.

බහදූර් ෂා සහ ගුරු ගෝබින්ද් සිං අතර වුණු හමුව

1707 ජූලි 23 අග්‍රාවලදී බහදූර් ෂා අධිරාජයා සහ ගුරු ගෝබින්ද් සිං අතර හමුවක් පැවැත්වෙනවා. "හින්ද් කා පිර්" හෙවත් ඉන්දියාවේ ශාන්තුවරයා කියන ගෞරව නාමය මෝගල් අධිරාජයා විසින් ගුරුට පිරිනමනවා. මේ ආකාරයෙන් මෝගල් අධිරාජයා සමඟ සුහදත්වය ගොඩනගා ගනිපු ගුරු ගෝධාවාරී ගංගා ප්‍රදේශය බලා පිටත් වෙනවා.

එහි වාසය කරපු මදෝ දාස් කියන තාපසයා ඛල්සාවට ඇතුළත් වෙන්න කැමැත්ත පළ කරනවා. ඔහුව ඛල්සාවට ඇතුළත් කරගන්න ගුරු ගෝබින්ද් සිං ගුරුභක්ෂ් සිං නමින් නම් කරනවා. ඔහු වඩාත් ප්‍රකට වෙන්නේ බන්දා සිං නමින්. ගුරු ගෝබින්ද් සිංගේ මරණයෙන් පස්සේ සීක්වරුන් මෙහෙයවන්නේ බන්දා සිං විසින්.

මේ කාලය වන විට සිර්හින්ද් ප්‍රදේශයේ මෝගල් නිලධාරියා වුණු වසීර් ඛාන් සමඟ මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා පවත්වන සබඳතා සම්බන්ධව ගුරු කළකිරීමෙන් හිටියේ. වසීර් ඛාන් ඒ වෙද්දී හොර රහසේ සීක්වරුන්ට පහර දෙමින් හිටියේ. ඒ වගේමයි සීක්වරුන්ගේ හිතවතෙක් වුණු පිර් බුදා ෂාහ් කැරලිකරුවෙක් විදිහට නම් කරලා මරා දමන්නත් වසීර් ඛාන් කටයුතු කරලා තිබුණේ. මේ ගැන ගුරු මෝගල් අධිරාජයාට දැනුම් දුන්නත් පිළිතුරක් ලැබුණේ නැහැ.

 ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා ලෙසට පත් කිරීම

ඒ අතරවාරයේ ගුරුට එරෙහිව මෝගල් අධිරාජයා සටන් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණු නිසා ගුරු ගෝබින්ද් සිං විසින් බන්දා සිංව ඛල්සාවේ අණ දෙන්නා විදිහට පත් කරලා සටනට සූදානම් වෙනවා.

මේ අතරවාරයේ වසීර් ඛාන් ගුරු ගෝබින්ද් සිංව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. පථාන්වරු ගෝත්‍රිකයන් වුණු ජම්ෂෙඩ් ඛාන් සහ වසිල් බෙග් කියන දෙන්නාව මේ සඳහා ඔහු යොදා ගන්නවා. ගුරුගේ ගෝලයන් විදිහට පෙනී හිටිය මෙයාලට නන්දෙද්වලදී ගුරුව ඝාතනය කරන්න අවස්ථාවක් ලැබෙනවා.

සවස යාඥාවෙන් පස්සේ විවේක ගනිමින් හිටිය ගුරු ගෝබින්ද් සිංගේ ශරීරයේ වම් පැත්තේ හදවත ආසන්නයට පිහියෙන් අනින්න ජම්ෂෙඩ් ඛාන්ට හැකිවෙනවා. දරුණුවට තුවාල වුණ තමන්ට පිහියෙන් ඇන්න ජම්ෂෙඩ් ඛාන්ව කඩුවෙන් මරා දමන්න ගුරු ගෝබින්ද් සිංට හැකිවෙනවා. ඒ වෙලාවේ ජම්ෂෙඩ් ඛාන්ගේ සහයට ආපු වසිල් බෙග් පලායන්න උත්සහ කරමින් හිටියේ. ඒත් සද්දෙට එතැනට ආපු සීක්වරුන් අතින් ඔහු මියයනවා.

ගුරුට තුවාල වුණු බව අහලා මෝගල් අධිරාජයා යුරෝපීය ශල්‍ය වෛද්‍යවරයෙක්ව ගුරුට ප්‍රතිකාර කරන්න එවනවා. ඒ අනුව නැවත විවෘත කෙරුණු තුවාලයෙන් අධිකව ලේ ගලන්න පටන් ගත්තු නිසා තදින් ඒක වෙලන්න වෛද්‍යවරයා කටයුතු කරනවා.

 ගුරු ගෝබින්ද් සිං විසින් ආදි ග්‍රන්ථ් මීළඟ ගුරු බවට පත් කිරීම

කෙසේ නමුත් තමන්ගේ අවසානය ආසන්න බව තේරුම් ගත්තු ගුරු ගෝබින්ද් සිං පුද්ගල ගුරු භාවය අහෝසි කරලා තමන්ගෙන් පසුව සීක්වරුන්ගේ ගුරු බවට පත්වන්නේ සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් දේව්ගේ පටන් ගුරුන්ගේ ගීතිකා ඇතුළත් වුණු ආදි ග්‍රන්ථ් නමින් හඳුන්වපු ග්‍රන්ථය බවට ප්‍රකාශ කරනවා. ඒ අනුව "ගුරු ග්‍රන්ථ් සහීබ්" වශයෙන් එය හඳුන්වනවා වගේම එය සීක්වරුන්ගේ ආධ්‍යාත්මික ගුරු ලෙසට සළකන්න කියලා ගුරු ගෝබින්ද් සිං නියම කරනවා.

ගුරු ගෝබින්ද් සිං සහ පුතුන් සිව් දෙනා

මේ ආකාරයෙන් පුද්ගල ගුරු භාවය අහෝසි කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් වුණත් ඒකට හේතුවෙන්න ඇත්තේ ගුරු ගෝබින්ද් සිංගේ අනුප්‍රාප්තිකයන් වෙන්න හිටිය පුතුන් 4 දෙනාම අකාලයේ මරණයට පත්වීම වෙන්න ඕනේ කියලා මතයක් පලවෙලා තියෙනවා.

ගුරු ගෝබින්ද් සිං මියයන්නේ 1708 ඔක්තෝබර් 7 නන්දෙද්වලදී. ඒ සමඟම ඔහුගේ දිල්බාග් නම් අශ්වයාත් මියයනවා. ගුරුව ආදාහනය කළ ස්ථානයේ "තක්ත් ශ්‍රී හසූර් සහීබ්" නමින් ස්මාරකයක් ඉදි කෙරෙනවා.

තක්ත් ශ්‍රී හසූර් සහීබ්

දක්ෂ රණශූරයෙක් වගේම පාලකයෙක් වුණු ගුරු ගෝබින්ද් සිං සීක්වරුන්ගේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ඛල්සාව තුළින් ඇති කරලා තිබුණේ. ඒ වගේමයි දක්ෂ ලේඛකයෙක් සහ කවියෙක් විදිහට ඔහු "වාචිත්‍ර නාටක්" නමින් ස්වයං චරිතාපදානයක් ඒ වගේම "ජප් සහීබ්" නමින් ග්‍රන්ථයකුත් රචනා කරලා තිබුණේ.

බන්දා සිං විසින් වසීර් ඛාන්ව මරා දැමීම

ගුරු ගෝබින්ද් සිංගෙන් පස්සේ සීක්වරුන්ගේ නායකයා වුණු බන්දා සිං සිර්හින්ද් අල්ලාගෙන වසීර් ඛාන්ව මරා දමලා ගුරු ඝාතනය කිරීම වගේම ගුරුගේ බාල පුතුන් ඝාතනය කිරීමේ පලිය ගන්නට සමත් වෙනවා. මේ සටන්වලදී මුස්ලිම්වරුන් දරුණු ලෙස ඝාතනය කරන්න සීක්වරුන් පෙළඹෙන්නේ පළිගැනීමේ චේතනාව දරුණුවට සිත තුළ තිබුණු නිසා.

බහදූර් ෂා

ඒත් සීක්වරුන්ගේ මේ කැරැලිකාරී සොබාවයෙන් කලබල වෙන මෝගල් අධිරාජයා වුණු බහදූර් ෂා සේනා පිටත් කරලා බන්දා සිං ඇතුළු පිරිස අත් අඩංගුවට අරගෙන දිල්ලියේදී හිස ගසා මරා දමනවා. බන්දා සිංගෙන් පස්සේ භායි මාන් සිං යටතේ එකතු වුණු සීක්වරුන් වරින් වර මෝගල්වරුන් සමඟ ගැටෙනවා.

ඇෆ්ඝන් ආක්‍රමණත් එක්ක මෝගල් බලය දෙදරා යන්නට වුණු නිසා සීක් බලය නැවත වරක් වර්ධනය වෙනවා. ඇෆ්ඝන් නායකයින් සීක්වරුන් මර්දනය කරන්න උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. වරින්වර මරාථයන් සමඟ මෝගල්වරුන් ගැටුණු නිසා ඒකෙනුත් වක්‍රාකාර වාසියක් සීක්වරුන්ට හිමිවෙනවා.

18 වන සියවස අග භාගය වෙද්දී මිසල් නමින් ප්‍රාදේසීය බල මණ්ඩල 12 ක් යටතේ සීක්වරුන් සංවිධානය වෙනවා. බලවත් සීක් නායකයින් මේ ප්‍රදේශ 12 පාලනය කරනවා. මේ මිසල්වලිනුත් රංජිත් සිං පාලනය කළ ප්‍රදේශය බලවත් තත්වයේ පසු වෙනවා.

 රංජිත් සිං

පසුව සීක් අධිරාජ්‍යයක් පිහිටවලා එහි අධිරාජයා බවට පත්වන්නත් රංජිත් සිං සමත් වෙනවා. නමුත් ඉංග්‍රීසීන්ගේ උපායශීලී ක්‍රියාකාරකම් නිසා රංජිත් සිංගේ ඇවෑමෙන් සීක් ප්‍රදේශත් ක්‍රමයෙන් ඉංග්‍රීසි ආදිපත්‍යයට ලක් වෙනවා.

එහෙම නම් දවස් ගාණක් තිස්සේ කියපු සීක්වරුන්ගේ කතන්දරේ නිමා වෙනවා. රැඳී සිටි, ප්‍රතිචාර දක්වපු හැම දෙනාටම ස්තුතියි 

මේ සටහන ලියන්න පාදක කරගත්තේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි
මූගල් ඉන්දියාව - ඩබ්.එම්.කේ. විජේතුංග

ඒ ඇරෙන්න අනික් ඔක්කොම අන්තර්ජාලයෙන් තමා 


ප.ලි.: ඊළඟට කියන්න හිතාගෙන ඉන්නේ අයියලා නංගිලා කසාද බැන්ද හැටි කතාවේ ඉතුරු කොටහ