Showing posts with label වජ්ජි ජනපදය. Show all posts
Showing posts with label වජ්ජි ජනපදය. Show all posts

Wednesday, June 13, 2012

බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු

බුදුරදුන් හමුවට පැමිණි ශක්‍ර දේවේන්ද්‍රයා සහ මහා බ්‍රහ්මයා

දේව සංකල්පය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. ඒ වගේමයි ඒක බෞද්ධ දේව සංකල්පය කියලා කතා කරද්දීත් කිසිම වෙනසක් නැහැ විවාද සම්පන්න බව කලින් එකටත් වඩා වැඩියි.... 

මේ විවාදවලදී එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා "කවුද දෙවියන්ව දැක්කේ" කියන එක. ඒත් බුද්ධ කාලයේ ජම්බුද්වීපයේ වාසය කරපු මිනිස්සුන්ට දෙවිවරු දැකගන්න අවස්ථාව හම්බුණා කියන එක ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ මූලාශ්‍රය ගණනාවකම තිබෙනවා. හැබැයි ඒ අවස්ථාව හැම තිස්සේම ලැබුණු එකක් නෙමේ. 

 බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම

මේ විදිහේ එක් අවස්ථාව තමා බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලයේදී තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්ම පිටකය දේශනා කරලා  අවසානයේදී වස් කාලය නිමාවුණාට පස්සේ නැවත වරක් සංකස්ස පුරයට වැඩම කරපු අවස්ථාව. 

මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ තව්තිසාවේ ඉදන් සංකස්ස පුරයට වැඩම කළා කියන්නේ සුවාසූ දහසක් පමණ උසක් තිබුණු සත් රුවන් ඉණිමඟකින්. ඒ ඉණිමඟට දකුණු පසින් රන් තිබුණු ඉණිමඟෙන් දෙවිවරුත් වම් පසින් තිබුණු රිදී ඉණිමඟෙන් බ්‍රහ්මයොත් පහළට බැහැලා තියෙනවා.

සංකස්සපුරයට වැඩම කරන බුදුරදුන්

මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා "සියලු ලෝක ධාතුවේ සත්වයෝම මා දකිත්වා" කියලා.

ඒ අනුව සතර අපාය, මිනිස් ලොව, දෙව් ලෝක, බ්‍රහ්ම ලෝකවල සියලු දෙනාම බුදුන් වහන්සේව දකිනවා වගේම උන් වහන්සේගේ ආනුභාවය නිසාම මිනිසුන්ට අහසේ රැස්ව සිටින දිව්‍ය බ්‍රහ්ම සේනාව දැකගන්න පුලුවන් වෙනවා. මේ ප්‍රාතිහාර්යය ඒක නිසා හඳුන්වන්නේ "ලෝක විවරණ ප්‍රාතිහාර්යය" කියලා.

ඒත් ඉතින් හැම තිස්සේම දෙවියන් බලාගන්න බැරිවෙන නිසා ඒකට පිළියමක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

දීඝ නිකායේ මහා වග්ග කොටසේ තියෙන මහාපරිනිබ්බාන සූත්‍රයේ දක්වන විදිහට වජ්ජි රාජ්‍යයේ පාලකයන් වුණු ලිච්ඡවි රජදරුවන් බුදුන් වහන්සේ මුණ ගැහෙන්න අම්බපාලි වනයට පැමිණි අවස්ථාවේ ලිච්ඡවි රජවරු එනවා දැක්ක බුදුන් වහන්සේ දේශනා කරනවා

"යෙසං භික්ඛවෙ භික්ඛුනං දෙවා තාවතිංසා අදිට්ඨා, ඔලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, අවලොකෙථ භික්ඛවෙ, ලිච්ඡවීපරිසං, උපසංහරථ භික්ඛුවෙ ලිච්ඡවීපරිසං තාවතිංසසදිසන්ති"

මෙහි අර්ථය තමා "මහණෙනි, යම් භික්ෂු කෙනෙකුන් විසින් තවුතිසා වැසි දෙවියෝ නොදක්නා ලදහුද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවි පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට සම කොට සලකවු" කියන එක.
 
ඒක නිසා බුද්ධ කාලීනව මිහිපිට සිටි තව්තිසාවේ දෙවිවරුන් විදිහට ලිච්ඡවි රජවරුන් හඳුන්වන්න පුලුවන්. අද ආගිය කතාවෙන් කතා කරන්නේ එහෙම වෙන්න ලිච්ඡවියන් සතු වුණු විශේෂත්වය මොකක්ද කියලා.

මුලින්ම ලිච්ඡවියන්ගේ ආරම්භය ගැන හොයාලා බැලුවොත් ඒක බුද්ධෝත්පත්තියටත් එහා කාලයට දිව යනවා. බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ අග මෙහෙසියට දරුවෙන් බිහිවෙන අතර ඒ දරුවා මස් කුට්ටියක් විදිහටයි මෙලොව එළිය දකින්නේ.

මස් කුට්ටියක් බිහි කරපු එකෙන් අග බිසවට ලැජ්ජාවක් වෙයි කියලා හිතන සේවිකාවෝ මස් කුට්ටියක භාජනයකට දාලා ඒක හොඳින් මුද්‍රා තියලා ගංගා නම් ගඟේ පා කරලා දානවා. හැබැයි එයාලා ඒ භාජනයේ ලියනවා "බ්‍රහ්මදත්ත රජුගේ අග මෙහෙසියගේ ප්‍රජාව" කියලා.

ගඟේ පාවුණු මේ භාජනයක මුහුණ දෝවනය කරන්න ආපු තාපසයෙක් දකිනවා. තාපසතුමා භාජනය ගොඩට අරගෙන ඒකේ තිබුණු සටහනත් කියවලා භාජනය සුරක්ෂිතව තියලා තියනවා.

දවස් 7 කට පස්සේ භාජනයේ තිබුණු මස් කුට්ටිය දෙකට බෙදිලා ලස්සන කුමාරිකාවක් සහ කුමාරයෙක් හැදෙනවා. මේ දරුවෝ දෙන්නා දැකපු තාපසතුමාට ඇතිවුණු දරු සෙනෙහස නිසා තාපසතුමාගේ ඇඟිලිවලට කිරි එරෙනවා. ඒ කිරි බීලා තමා මේ දරුවෝ දෙන්නා පෝෂණය වෙන්නේ.

මේ විදිහට දරු දෙන්නාව පෝෂණය කිරීම වගේම රැකබලා ගැනීමත් තාපසතුමාට කරන්න සිදුවුණු නිසා පිණ්ඩපාතේ යන්න පවා එතුමා ප්‍රමාද වෙනවා. තාපසතුමා හැමදාම පිණ්ඩපාතේ යන ගොපළු ගමේ මිනිස්සු තාපසතුමාට කරදරයක්වත් වෙලාද කියලා බලන්න ආපුවාම මේ දරුවෝ දෙන්නාව රැක බලා ගන්න තාපසතුමාව දකිනවා

දරුවන් රැක බලා ගන්න වෙන එකෙන් ඔබතුමාගේ ආධ්‍යාත්මික ජීවිතයට බාධාවක් වෙනවා කියන ගම්වැසියෝ දරුවෝ දෙන්නා හදාගන්න බාරගන්නවා.  මේ දරුවන් දෙදෙනා රාජ කුමර කුමරියන් නිසාත් බොහොම පින් ඇති නිසාත් පරිස්සමෙන් බලාගන්න කියලා තාපසතුමාත් උපදෙස් දෙනවා.

ඉතින් කාලේ ගතවෙද්දී මේ දරුවෝ දෙන්නා තරුණ වයසට පත්වෙනවා. මේ දෙන්නාගේ විශේෂත්වය තමා ශරීරය ස්වභාවයෙන්ම කැඩපතක් වගේ ඇතුළ පේන එක. උදාහරණයක් විදිහට කිව්වොත් හරියට වීදුරු පෙට්ටියක් ඇතුලේ තියෙන දෙයක් පේනවා වගේ. ඒ තරම් සිනිඳු සමක්.

පූජාවලිය ඒක විස්තර කරන්නේ මෙහෙමයි

"මෙසේ වැඩෙන දරුවන් අනුභව කළ යම්ම භෝජනයෙක් දෑවාණ කරඬුයෙක තුබූ වස්තුවක් සේ බඩයට පෙනේමය. මෙසේ ඒ දරුවෝ අනුභව කළ කළ දෑ පිටතට පෙනෙන හෙයින්............"

ඒක නිසා ගමේ මිනිස්සු මේ දෙන්නාව හඳුන්වන්නේ "නිච්ඡවි" ඒ කියන්නේ සමක් නොමැති කියන අර්ථයෙන්. ඒක තමා ක්‍රමයෙන් "ලිච්ඡවි" බවට පත්වෙන්නේ. ඒ වගේමයි අතිශය පැහැපත් සමක් මේ දෙදෙනාටම හිමිවෙලා තිබුණා.

ඉතින් මේ දෙන්නාට ගැලපෙන වෙනත් අයව සොයාගන්න බැරි නිසා ගම්වාසීන් එකතු වෙලා මේ දෙන්නාව විවාහ කරවනවා. ඒ වගේම වාසය කරන්න ගමෙන් බැහැර ප්‍රදේශයක මාළිගාවකුත් ඉදි කරලා දෙනවා. මෙහෙම ජීවත් වෙන මේ දෙපළට දහසය වාරයක්ම නිවුන් දරුවන් ලැබෙනවා ගැහැණු සහ පිරිමි වශයෙන්. කාලයාගේ ඇවෑමෙන් එයාලත් විවාහ වුණාම දරුවෝ ලැබිලා මෙයාල ජීවත් වුණු කුඩා ගම ක්‍රමයෙන් නගරයක් වුණා.

මේ විදිහට තුන් වාරයක් ගම්මානය විශාල කරලා නගරයක් කරන්න වුණු නිසා මේ නගරය "විශාලා මහ නුවර" නමින් හඳුන්වන්න පටන් ගත්තා.

ඊතලයෙන් දක්වලා තියෙන්නේ වජ්ජි ජනපදය

මේ ජනපදයට වජ්ජි ජනපදය නමින් භාවිතා කරන්නත් පටන් ගත්තා. ඒකට හේතුව වුණේ අර මුලින්ම හිටියා කුමාරයයි කුමාරියි සෙල්ලම් කරන්න ගියාම ගමේ අනික් ළමයින්ට හොඳ හැටි ගුටි බැට දෙනවා. ඒක නිසා ගමේ ළමයින්ගේ දෙමාපියන් ආදරේට කියන්න පටන් ගත්තා "වජ්ජේ තබ්බා, වජ්ජේ තබ්බා" ඒ කියන්නේ මෙයාලව මෙහෙන් එලවන්න ඕනේ, එලවන්න ඕනේ කියලා.

ඒ වජ්ජේ කියන පදය මුල් කරගෙන තමා "වජ්ජි" කියන නාමය ඇතිවෙන්නේ.

මේ වජ්ජි රාජ්‍යය බුද්ධ කාලීන භාරතයේ තිබුණු සොළොස් මහා ජනපදයෙන්ගෙන් එකක් වුණා වගේම මෙහි තිබුණේ ගණ සංඝ රාජ්‍යයක් එහෙමත් නැත්නම් සමූහාණ්ඩු ක්‍රමයක්.

ඒ කාලයේ වජ්ජි රාජ්‍යයේ ලිච්ඡවි රජවරු 7707 හිටියා කියලා තමා බෞද්ධ මූලාශ්‍රය කියන්නේ.  එකම මවකගෙන් සහ පියකුගෙන් ආරම්භය වුණු නිසා මේ 7707 දෙනාම සමඟියෙන් සිටිය බවයි කියන්නේ.

මේ ලිච්ඡවියන්ගේ රාජ්‍ය පාලන මූලධර්මය වුණේ සප්ත අපරිහානි ධර්මය. ඒවා තමා
  • නිතර රැස්වීම.
  • සමඟිව රැස්ව, සමඟිව කටයුතු කර සමඟිව විසිර යාම.
  • නොපැණවූ නීති නොපැණවීම සහ පැනවූ නීති කඩ නොකිරීම.
  • වැඩිහිටියන්ට ගරු කිරීම සහ ඔවුන්ගේ උපදෙස් පිළිපැදීම.
  • කුල කාන්තාවන් ආරක්ෂා කිරීම.
  • පූජනීය ස්ථානවලට අවශ්‍ය අනුග්‍රහයන් අඛණ්ඩව සිදු කිරීම
  • මහණ බමුණන්ට රාජ්‍යය තුළ රැකවරණය ලබාදීම

ඉතින් ලිච්ඡවියන් සතු වුණු මේ ධර්මතා 7 බුදුන් වහන්සේ පවා අගය කරලා තිබෙනවා. මේ වගේ මූලධර්ම ඇතිකරගන්න නම් මොන තරම් බුද්ධිමත් බවක් ලිච්ඡවියන්ට තිබුණාද කියන එක හිතාගන්න පුලුවන්නේ. 
මේ කරුණු එදාට විතරක් නෙමෙයි අදටත් වලංගුයි. 

මම කලින් කිව්වා වගේම බුදුන් වහන්සේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට දෙවිවරුන්ට සමාන කරන්නේ අතිශය සිනිඳු පැහැපත් සමක් පිහිටා තිබීම නිසා වගේම ගුණ ධර්ම අතිනුත් ඔවුන් ඉහළ මට්ටමක සිටිය නිසා.

ජෛන වර්ධමාන මහාවීර

ලිච්ඡවියන් සම්බන්ධ තවත් ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධ කාලීන භාරතයේ හිටිය ෂට් ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් වුණු උග්‍ර අවිහිංසාවාදී වර්ධමාන මහාවීර හෙවත් නිඝණ්ඨනාථ පුත්ත ලිච්ඡවියෙක් කියන එක. කේවලී තත්වයට වයස 42 දී පත්වෙන මහාවීර ජෛන දහම දේශනා කරනවා.

විශාලා මහනුවර කිව්වාම අපේ සිහියට නැගෙන තවත් කතාවක් තමා තුන් බිය කියන එක. ඒ යටතේ බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරවලා රතන සූත්‍රය දේශනා කිරීමෙන් පසුව තුන් බිය පහවෙලා නැවතත් සුපුරුදු යහපත් තත්වය ලිච්ඡවි රාජ්‍යයට උදාවෙනවා. මේ සිද්ධිය ගැන බුදුගුණාලංකාරය කෘතියේ ඉතාමත් අලංකාරව විස්තර කෙරෙනවා.

ලිච්ඡවියන් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර විශාලා මහනුවර ඉදිකළ ස්ථූපයේ නටබුන්

ලිච්ඡවි රාජ වංශිකයන්ගේ අවසානය ගැනත් කතා කළොත් බුද්ධ කාලීන භාරතයේ පැවති සොළොස් මහා ජනපදවලින් ප්‍රමුඛත්වයේ පසුවුණේ මගධ රාජ්‍යය. එහි අධිපතියා වුණු සේනිය බිම්බිසාර රජතුමාගෙන් පස්සේ පුතා වුණු අජාසත්ත තමන්ගේ පියා අනුගමනය කරපු අධිරාජ්‍යය ප්‍රතිපත්ති දිගින් දිගටම ගෙන ගියා.

ඒ අනුව තමන්ගේ ඇමතිවරුන් දෙදෙනෙක් වුණු සුනීධ සහ වස්සකාර ලවා ලිච්ඡවියන්ගේ සමඟිය බිඳ දාලා සප්ත අපරිහානි ධර්ම ලිච්ඡවියන් විසින් නොපිළිගන්නා තත්වයට පත් කරවන්න අජාසත්ත සමත් වෙනවා. අවසානයේදී වසර 16 ක් තිස්සේ පැවති අජාසත්ත ලිච්ඡවි සටන අවසන් වෙන්නේ අජාසත්තට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඒ විදිහටයි බුද්ධ කාලීනව මිහිපිට සිටිය දෙවිවරුන්ගේ අවසානය සිද්ධ වුණේ

ප.ලි.: විශාලා මහනුවර තුන් බිය ඇතිවීම වගේම අජාසත්ත ලිච්ඡවියන් පරාජය කිරීම කෙටියෙන් ලියලා තියෙන්නේ ඒක එච්චර වැදගත් නැහැ කියලා හිතුණු නිසා. මට මූලිකව කියන්න අවශ්‍ය කළේ ලිච්ඡවි රජ දරුවන්ව මිහිපිට සිටින දෙවිවරුන් විදිහට බුදුන් වහන්සේ හැඳින්වුවේ ඇ‍යි කියන එක ගැන විතරයි

මේ සටහන ලියන්න පාදක කරගත්තේ මයුරපාද පරිවේණාධිපත් බුද්ධපුත්‍ර හිමියන් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථය සහ නාඋයනේ අරියධම්ම හිමියන් විසින් සම්පාදිත රතන සූත්‍රාන්ත දේශනාව කියන ග්‍රන්ථය. මේ සඳහා කටයුතු කළ සියල්ලෝටම පින් අයිති වේවා !!!