චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ.
කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම තේමා වාදනයක් රස
විඳින්න ගත්තාම ඒක මගේ phone එකේ ringing tone එක විදිහට දා ගන්නවා. එතකොට දවසට කීප වාරයක්ම ඒක
අහන්නත් පුලුවන්නේ :)
මුලින්ම ගත්තොත් මම මේ දවස්වල රස විඳින තේමා වාදනයෙන්ම පටන් ගන්නම්.
ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිය සඳහා Hanz Zimmer කියන ජර්මන් ජාතික සංගීතඥයා නිර්මාණය කරපු තේමා වාදනය තමා මේ දවස්වල මම අහන්නේ. ඒ තේමා වාදනයේ තිබෙන විශේෂත්වය තමා විවිධ ශෛලීන් කීපයකින්ම ඒ තේමා වාදනය චිත්‍රපටිය පුරා යොදා තිබෙන ආකාරය.
මේත් ඒ වාදනයේම තියෙන තවත් වෙනස් ශෛලියක්
පහුගිය දවස්වල නරඹපු අපේ drama කරන set එක හදපු හෙවත් විසේකාරියෝ නාට්‍යය සඳහාත් මේ තේමා වාදනයේ ශෛලීන් කීපයම භාවිතා කරපු බව දැක්කා. තේමා වාදනයේ තියෙන අපූර්වත්වය නිසාම ඒ විදිහට භාවිතා කරන්න පුලුවන් වුණා කියන එක තමා මගේ අදහස.
Hanz Zimmer ගැන කතාවට ආපු නිසා එයා නිර්මාණය කරපු තවත් අපූරු ඒ වගේම මගේ සිත් ගත්තු තේමා වාදන කීපයක් ගැන කියන්නම්. Kung Fu Panda චිත්‍රපටිය අපි කාගේත් සිත් ගත්තු සජීවීකරණ චිත්‍රපටියක්. ඒ සඳහා Hanz Zimmer නිර්මාණය කරපු තේමා වාදනය තමයි මේ.
Mr. Bean නමින් ලෝ ප්‍රකට වුණු චරිතයට පණ දුන් රෝවන් ඇටික්සන් රඟන Johnny English චිත්‍රපටියේ තේමා වාදනය සඳහාත් Hanz Zimmer දායක වෙනවා. රොබී විලියම්ස් කියන සංගීතඥයත් ඒ සඳහා දායක වෙනවා.
Pirates of the Carribbean නමින් තිරගත වුණු චිත්‍රපටි සඳහාත් තේමා වාදනය නිර්මාණය කරන්නේ Hanz Zimmer විසින්ම තමා. මේ තේමා වාදනයත් හුඟක් වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති.
ඒ හැරෙන්න ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු චිත්‍රපටිය සඳහා නිර්මාණය කළ මේ තේමා ගීතයටත් මම කැමතියි. ලීසා ජෙරාඩ්ද මේ සඳහා දායක වෙලා තියෙනවා.
ටොම් කෲස් රඟපාන Mission Impossible චිත්‍රපටි මාලාවේ තේමා වාදනය හුඟක් අය ප්‍රිය කරන එකක්. රූපවාහිනියේ 1960 දශකයේදී විකාශය වුණු Mission Impossible ටෙලි නාට්‍යය මාලාව සඳහා Lalo Schifrin නිර්මාණය කරපු මේ තේමා වාදනය Mission Impossible චිත්‍රපටිය සඳහා Adam Clyaton සහ Larry Mullen Jr. සකස් කළා. ඒ තේමා වාදනය විවිධාකාරයෙන් භාවිතා වෙනවා දැකගන්න පුලුවන්.
විවිධ මායාකාරී බලවේග මැඩලන්න, පිසාචයන් මරා දමන්න කටයුතු කරන පුද්ගලයෙක් වටා නිර්මාණය වුණු Van Helsing චිත්‍රපටියත් බොහෝ දෙනාගේ සිත් ඇදගත් එකක්. එහි තේමා වාදනය නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකන් ජාතික සංගීතඥ Alan Silvestri
ස්කෝට්ලන්තයේ සිටි වීරවරයෙක් වුණු විලියම් වොලස්ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කෙරුණු Braveheart චිත්‍රපටිය සමහර විට මතක ඇති. ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු මේ චිත්‍රපටියේ තේමා වාදනය නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ James Horner විසින්. මේ තේමා වාදනය නම් බොහෝ වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති.
Indiana Jones නම් චිත්‍රපටි මාලාවත් ලෝ ප්‍රකට චිත්‍රපටි මාලාවක්. එහි Indiana Jones and The Temple of Doom චිත්‍රපටියේ බොහෝ දර්ශන රූගත කෙරුණේ ලංකාවේ. ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් කීප දෙනෙකුත් එහි රඟ පානවා. ඉතින් මේ චිත්‍රපටියේ තේමා වාදනය නම් ඉතාමත් සුපුරුදු එකක්. ඇමරිකන් ජාතික සංගීතඥ John Williams විසින් නිර්මාණය කරපු මේක බොහෝ ත්‍යාග හෝ සම්මාන ප්‍රදාන උත්සවයන්හිදී වාදනය කෙරෙනවා.
ජේම්ස් බොන්ඩ් කියපු ගමන් අපේ මතකයට එන රහස් පරීක්ෂකවරයෙක්ගේ ක්‍රියාදාමයන් ඇතුළත් වෙන James Bond චිත්‍රපටි මාලාවේ තේමා වාදනයත් ඔබට මතක ඇති. මේ දක්වා James Bond චිත්‍රපටි 23 සඳහාම මේ තේමා වාදනය භාවිතා වෙලා තිබෙනවා. Monty Norman විසින් මෙය නිර්මාණය කරලා තිබෙනවා.
මෑත කාලයේ සිරස TV එකේ විකාශනය වුණු Pink Panther Cartoon එක හුඟ දෙනෙක්ට මතක ඇති. ඒ cartoon එකේ වගේම The Pink Panther චිත්‍රපටියේත් තේමා වාදනය වුණු මේක නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ Henry Mancini විසින්.
හිතාගන්න අමාරු අරුම පුදුම සිදුවීම් ගැන කතා කරපු X-Files කතා මාලාව ගැන හැමෝම වගේ දන්නවනේ. ඒ සඳහා ඇමරිකන් ජාතික සංගීතඥ Mark Snow නිර්මාණය කරපු තේමා වාදනයත් කතාවටම ගැලපෙන විදිහට අද්භූත බවකින් යුක්ත වෙනවා.
මායාකාරී බලවේගයක් තිබුණු මුද්දක් වටා ගෙතුණු Lord of The Rings චිත්‍රපට මාලාවත් හරි ප්‍රසිද්ධ එකක්නේ. නපුරේ ජයග්‍රහණය පරද්දන්න කුරුමිට්ටෝ, අසුරයෝ, සුරයෝ වගේම මිනිස්සු එකතු වෙලා කරන සටන වගේම නපුරට සහයක් ලබාදෙන්න හැකිවෙන බලවත් මුද්ද විනාශ කිරීම ගැන තමා මේ චිත්‍රපට මාලාවේ කොටස් 3 පෙන්වන්නේ.
කැනඩා ජාතික සංගීතඥ Howard Shore තමා මේ චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේ. මේ චිත්‍රපටියේ තියෙන වාදන කීපයකටම මම කැමතියි.
ඊළඟට ජාතික රූපවාහිනියේ විකාශය වුණු ෂර්වුඩ්යේ රොබින්හුඩ් නාට්‍ය මාලාව සඳහා භාවිතා වුණු වාදනයන් ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනමම සටහනක් විදිහට තමා කියන්න ඉන්නේ. මොකද ඒක මට ඒ තරමට රසවත්
ප.ලි.: තර්ක පිට තර්ක, ප්‍රශ්න පිට ප්‍රශ්න යන සටහන් ලියලා හති වගේ :D


