Showing posts with label පෘතුගීසීන්. Show all posts
Showing posts with label පෘතුගීසීන්. Show all posts

Sunday, August 19, 2012

Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15

 මුල්ලේරියා සටන

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම

මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.

සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම

ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා. 

මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර

මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා. 

මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා

පෙතන්ගොඩ උයන

පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.

රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.

සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.

හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]

ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.

ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න

 
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා

කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක. 

මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.

රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.

ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.

මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.

ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.

දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.

කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.

පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.

ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.

සීතාවක රජ මාළිගය තිබූ තැන වර්තමානයේදී

සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.

පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.

අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.

නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.

දොන් ජෝන් කුමරු Dom Joao de Candia

මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.

ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ  අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.

ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.

ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.

තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය  කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

 කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.

නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.

ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.

සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.

සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.

මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.

සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.

මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්

Saturday, May 19, 2012

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 04

Nossa Senhora das Portas do Ceu දේවස්ථානය

පෘතුගාලයේ ලිස්බන් දිස්ත්‍රික්කයේ තිබෙන නගරයක් තමා Telheiras කියන්නේ. ඒ නගරයේ ඉදිකරලා තිබෙන ප්‍රධාන කිතුණු පල්ලියක් තමයි Nossa Senhora das Portas do Ceu [ඉංග්‍රීසි අර්ථය -  Our Lady of Heaven's Door] 

මේ දේවස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ආරුක්කුවේ තිබෙන්නේ මෙවැනි සටහනක් 

"Foi construido pelo Principe de Candia"

මෙහි තේරුම තමයි මෙය [දේවස්ථානය] ඉදිකරන ලද්දේ කන්දේ කුමාරයා විසින් බවයි.

පෘතුගීසින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට හඳුන්වනු ලැබුවේ මේ Candia වදනින්. උදාහරණ ලෙස දැක්වුවහොත් 1652 දී පෘතුගාල රජු වුණු IV ජෝන් විසින් ලංකාවේ කන්ද උඩරට පාලකයා වුණු II රාජසිංහ රජුට එවූ ලිපියක ආමන්ත්‍රණය යොදන්නේ Nobre e Honrado Rey de Candia [සිංහල අර්ථය උතුම් වූත්, ගරු කටයුතු වූත් උඩරට රජු]
ඊළඟට අපිට නැගෙන ප්‍රශ්නය තමයි පෘතුගාලයේ වාසය කළ උඩරට කුමාරයා කවුද ? මොකක් නිසාද ඒ කුමාරයා පෘතුගාලයේ වාසය කළේ ? ඒ වගේමයි ඒ කුමාරයා පෘතුගාලයේ ක්‍රිස්තියානි පල්ලියක් ඉදිකරන්න හේතුව මොකක්ද ? [මේ අන්තිම ප්‍රශ්නේ නම් හුඟක් වෙලාවට අපිට ඇතිවෙන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලංකාවේ පාලකයා බෞද්ධයෙක් විය යුතුයි කියන පිළිගැනීම තිබෙන නිසා]

අද ආගිය කතාවෙන් එන අප්‍රකට ඉතිහාස කතන්දරය වෙන්වෙන්නේ ඒක කතාව කියන්න.

මේ කතාව ආරම්භ වෙන්නේ 1582 දී සීතාවක රාජසිංහ රජතුමා උඩරට ආක්‍රමණය කිරීමත් සමඟ. ඒ ආක්‍රමණය නිසා උඩරට පාලකයා වුණු කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ බිසව, පුතා, දියණිය වුණු කුසුමාසන දේවියත්, බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතාගෙන ත්‍රිකුණාමලයට පලා යනවා. 

ත්‍රිකුණාමලයේදී සිදුවෙන අභාග්‍ය සම්පන්න තත්වය වෙන්නේ වසූරිය වැළදිලා කරලියැද්දේ බණ්ඩාරත්, ඔහුගේ බිසවත්, පුත්‍රයාත් මියයාම. වසූරියෙන් ගැලවෙන්නේ කරලියැද්දේගේ දියණිය වුණු කුසුමාසන දේවියත් බෑණා වුණු යමසිංහ බණ්ඩාරත් පමණයි.

මියයන්නට පෙර කරලියැද්දේ බණ්ඩාර තමන්ගේ දියණිය විවාහ වෙන්න පුලුවන් වයසකට එනතෙක් [ඒ වෙද්දී කුසුමාසන දේවියට වයස අවුරුදු 4 යි] තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට උඩරට පාලනය කිරීමේ බලය යමසිංහ බණ්ඩාරට පවරනවා.

පසුව කොළඹට එන යමසිංහ බණ්ඩාරව ෆ්‍රැන්සිස්කානු ජූජකවරුන් සමඟ ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනු ලබනවා. 1588 ගෝවේදී යමසිංහ බණ්ඩාරව දොන් පිලිප් විදිහට බෞතිස්ම කරනවා. එහිදී යමසිංහ බණ්ඩාරගේ අනුග්‍රාහකයා හෙවත් මඤ්ඤා විදිහට ඉදිරිපත් වෙන්නේ එකල ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වුණු ෆර්නාවෝ තෙල්ලෙස් ද මෙනෙසස්. දේව මෙහෙය පවත්වන්නේ ගෝවේ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු විසෙන්ති ද ෆොන්සේකා. 

මේ අවස්ථාවේදීම අවුරුදු 10 ක් පමණ වයසැති යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා දොන් ජුවන්/ ජෝන් Dom Joao ලෙසත් වීරසුන්දර බණ්ඩාර මුදලිගේ පුත්‍රයා වුණු කොනප්පු බණ්ඩාර [පසුව I විමලධර්මසූරිය නමින් රජවුණේ] ඔස්ට්‍රියාවේ දොන් ජුවන්/ ජෝන් ලෙසත් බෞතිස්ම කරනවා

කොහොම වුණත් බෞතිස්ම නාමයන් මොකක් වුණත් යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර කියන නම්ම ඉදිරියටත් මම භාවිතා කරන්නම්.

බෞතිස්මයෙන් පසුවත් ගෝවේම සිටි යමසිංහ බණ්ඩාරට මාසෙකට පගෝදි 60 ක දීමනාවකුත් පෘතුගීසින්ගෙන් හිමිවෙනවා. ඒත් ඔහුගේ ඉල්ලීම වුණේ තමන්ගේ උරුමය වුණු කන්ද උඩරට රාජ්‍යය තමන්ට පවරලා දෙන්න කියන එක. කොහොම නමුත් ඒ අවස්ථාවේදී ඒ ඉල්ලීම ඉටුකරන්න පෘතුගීසීන් අපොහොසත් වෙනවා. 

 II පිලිප්

ඒ කාලයේ පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු II පිලිප් හමුවෙලා තමන්ගේ ඉල්ලීම කරන්න යමසිංහ උත්සහ කරද්දී II පිලිප් කරන්නේ මන්නාරම ආසන්නයේ දූපතක් යමසිංහට පවරලා දීපු එක.

මෙතන පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජු කියන යෙදුම ගැටළුවක් වෙන්න පුලුවන් නිසා ඒකත් පහදන්නම්. 1580 දී පෘතුගාල රජු වුණු හෙන්රි අනුප්‍රාප්තිකයෙක් නොමැතිව මියයාම නිසා ඒ වෙනකොට පෘතුගාල රජතුමාගේ සමීප ඥාතියෙක් වුණු ස්පාඤ්ඤයේ II පිලිප් රජතුමා පෘතුගාලයේත් රජතුමා බවට පත්වෙනවා. මේ පාලනය අවසන් වෙන්නේ IV ජෝන් විසින් ස්පාඤ්ඤ පාලනයෙන් පෘතුගාලය මුදවා ගැනීමෙන් පස්සේ

කොහොම නමුත් යමසිංහ සහ ඔහුගේ පුතා බෞතිස්ම වීම රඟපෑමක් දෝ කියන සැකයෙන්ම තමා I පිලිප් රජතුමා හිටියේ. ඒක නිසාත් උඩරට ආක්‍රමණයට පෘතුගීසි සහය ලබාදෙන්න රජතුමා අදිමදි කළා වෙන්න පුලුවන්. 

මේ වගේ තත්වයකදී තමා උඩරට හිටිය දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලි සීතාවක රාජසිංහට විරුද්ධව අරගලයක් ආරම්භ කරලා යමසිංහ බණ්ඩාරට උඩරට සිහසුනට ආරාධනා කරන්නේ.

මන්නාරම

මේ අතර වාරයේදී තමන්ගේ පෘතුගීසි හිතවත්බව පෙන්වන්න යමසිංහ බණ්ඩාර සහ ඔහුගේ පුතා වුණු දොන් ජෝන් නිල සන්නස් පත්‍රයක් සකස් කරලා තමන්ට පිරිමි දරුවන් නොමැතිව මිය ගියොත් උඩරට රාජ්‍යය පෘතුගාල රජුට අයිතියි කියලා පවරා දීමක් සිදු කරනවා. මේකට සාක්ෂි විදිහට මන්නාරමේ පෘතුගීසි කපිතාන් ඇතුළු පිරිසක් අත්සන් තබනවා.

1590 දී සීතාවක රාජසිංහ නැවත වරක් කොළඹ කොටුව වටලලා කරපු හානියත් එක්ක සීතාවක විරුද්ධව තවත් බල කඳවුරක් ඇතිකිරීමේ අපේක්ෂාවෙන් පෘතුගීසින් නැවත වරක් උඩරට රාජ්‍යය ඇතිකරන්න කල්පනා කරනවා. ඒ යටතේ යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර සමඟ පෘතුගීසි හමුදාවක් කන්ද උඩරටට පිටත් කරනවා. දොන් ෆ්‍රැන්සිස්කෝ විජයකෝන් මුදලිගේ සහයත් එක්කම 1591 දී යමසිංහ බණ්ඩාර හෙවත් දොන් පිලිප් ගන්නෝරුවේදී උඩරට රජතුමා විදිහට පත් කරනවා.

මේකට කොනප්පු බණ්ඩාරගේ නම් එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ටික දිනකින්ම යමසිංහ බණ්ඩාර අසනීප වෙලා මියයනවා. මෙහිදී සිදුවෙන්නේ යමසිංහ බණ්ඩාරට කොනප්පු බණ්ඩාර වසදීලා ඝාතනය කළා කියලත් කියවෙනවා.

 දොන් ජෝන් කුමරු Dom Joao de Candia

යමසිංහ මියයාමත් එක්ක ඔහුගේ පුතා වුණු දොන් ජෝන් උඩරට රජු විදිහට පත්කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ සමඟම කුඩා ළමයෙක් රජ කරවීම, කිතුණුවෙක් රජ කරවීම වැනි කරුණු මුල් කරගෙන උඩරට රදළ ප්‍රභූවරුන්ගේ වගේම නායක භික්ෂූන් වහන්සේලාගෙත් සහය ලබාගත්තු කොනප්පු බණ්ඩාර උඩරට කැරැල්ලක් ඇති කරනවා. 

 I විමලධර්මසූරිය

මේ නිසා දොන් ජෝන් රජතුමා සහ ඔහුගේ මිත්තණියත්, උඩරට සිටිය පෘතුගීසීනුත් ආරක්ෂාව පතා මන්නාරමට පසු බසිනවා. කොනප්පු බණ්ඩාර මේ පිරිසට බාධාවක් කරන්නේත් නැහැ. අවසානයේදී 1592 දී කොනප්පු බණ්ඩාර නොහොත් ඔස්ට්‍රියාවේ දොන් ජෝන් I විමලධර්මසූරිය නමින් උඩරට රාජ්‍යත්වයට පත්වෙනවා. අපි මේ ගැන කලිනුත් කතා කළානේ.

මන්නාරමට පසුබැස්ස දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට පිටත් කරනවා. කොළඹදී ඔහුට තවත් රාජකීය මිතුරෙක් එක්වෙනවා. ඒ සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර. ඔහුත් ඒ වනවිට කිතුණු දහම වැළැදගෙන දොන් පිලිප් නමින් බෞතිස්ම වෙලා හිටියේ. නිකපිටියේ බණ්ඩාරගේ කතාවත් ඉදිරියේදී කියන්නම්

මොවුන් දෙදෙනාව කොළඹ පිහිටි ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න පෘතුගීසීන් කටයුතු කරනවා. පසුව පෘතුගීසීන් විසින් මේ කුමාරයන් දෙදෙනාම ඉන්දියාවේ ගෝවේ නගරයට පිටත් කරනවා උසස් අධ්‍යාපනය සඳහා.

මැගී විද්‍යාලයේ දේවස්ථානය

ගෝවේ බාර්ඩෙස්වල පිහිටි මැගී විද්‍යාලයේදී [College of Magi] දේව ධර්මය හා ලතින් භාෂාව මේ කුමාරවරුන් අවුරුදු 15 ක් හදාරනවා. 

පසුව ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා බවට පත්වෙන මේ කුමාරවරු දෙදෙනා තවදුරටත් උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයාව සිටි කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

 III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා.

අවුරුදු 16 ක් විතර කාලයක් තමන් එක්ක හිටපු සගයාගේ අභාවයෙන් දැඩි කම්පාවකට දොන් ජෝන් පත්වෙනවා. ඒ නිසාමදෝ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උසස් අධ්‍යාපනය හදාරන එක ප්‍රතික්ෂේප කරන දොන් ජෝන් ලිස්බන්වලම රැඳී ඉන්නවා. 

1611 නොවැම්බර් 26 වන දින දොන් ජෝන් ක්‍රිස්තියානි පූජකතුමෙක් ලෙසට උසස් කිරීමත් එක්කම Moorish Quarte හි පිහිටි මාළිගයක් ඔහුගේ වාසස්ථානය බවට පත්වෙනව. එතැන් පටන්  කෘසෝද 4000 ක දීමනාවක් පෘතුගාල රජය විසින් දොන් ජෝන්ට ලබාදෙනවා.

1625 දී Telheiras ප්‍රදේශයෙන් ඉඩමක් මිළට ගත්තු දොන් ජෝන් එහි යාඥා ගෘහයක් ඉදි කරනවා. ඒ කාලයේදීම ඔහු Brotherhood Our Lady of Heaven's Door බිහි කරන්නට මූලික වෙනවා. එයින් අපේක්ෂා කෙරුනේ ෆ්‍රැන්සිස්කානු නිකායේ අභිවෘද්ධිය පිණිස කටයුතු කිරීමයි

 IV පිලිප්

1626 දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වලට යන දොන් ජෝන් පුද්ගලිකවම පෘතුගාලයේ මෙන්ම ස්පාඤ්ඤයේත් රජතුමා වුණු IV පිලිප්ව හමුවෙනවා. එහිදී කන්ද උඩරට රාජ්‍යය සඳහා තමන්ට ඇති හිමිකම දොන් ජෝන් විසින් IV පිලිප්ට පවරනවා. ඒ වගේම තමන්ට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව දැනුම් දීමත් එක්ක ඒක කෘසෝද 8000 ක් දක්වා ඉහළ නංවන්න IV පිලිප් කටයුතු කරනවා. 

ඒවගේම ස්පාඤ්ඤයේ ග්‍රැන්ඩී තනතුරකටත් දොන් ජෝන්ව පත් කරනවා වගේම රජතුමා ඉදිරියේ ආවරණය වී සිටීමේ අයිතියත් බිෂොප්වරුන්ගේ ආසන පේළියේ අසුන් ගැනීමේ අයිතියත් දොන් ජෝන්ට ලබාදෙනවා.

1580 දී ධර්මපාල රජතුමා විසින් කෝට්ටේ රාජ්‍යය පෘතුගාලයේ හෙන්රි රජතුමාට තෑගි ඔප්පුවක් මඟින් පිරිනැමීමෙන් පස්සෙත් මේ ආකාරයටම ධර්මපාල රජතුමාට පෘතුගාල රජය විසින් වාර්ෂිකව දීමනාවක් ලබාදීම සිදුවුණා.

පසුව Telheiras වෙත පැමිණෙන දොන් ජෝන් තමා මිළට ගත්තු ඉඩමේ පල්ලියක් සහ පූජකාරාමයක් ඉදිකරවීමේ කටයුතු ආරම්භ කරනවා ස්වර්ග දොරටුවේ අප ස්වාමි දුවගේ නාමයෙන් [Our Lady of Heaven's Door] නාමයෙන්. 


1639 ඔක්තෝබර් 20 ඉදිකරලා අවසන් වුණු මේ පල්ලිය ෆ්‍රැන්සිස්කානු පූජකවරුන්ට භාර දීපු දොන් ජෝන් දේවස්ථානයට ඒ අසළ තිබුණු උද්‍යානයක් පරිත්‍යාග කරනවා වගේම තමන්ට ලැබෙන දීමනාවෙන් වාර්ෂිකව කෘසෝද 1000 ක් ලැබෙන්න සලස්වනවා.

Moorish Quarte හි පිහිටි නිවහනේ ජීවත් වුණු දොන් ජෝන් සුසානා ද ආබෲ සමඟ ජීවත් වූ බව කියවෙනවා. ඒ සම්බන්ධතාවය නිසා දොන් ජෝන්ට දාව ගැහැණු දරුවෙක් පවා සුසානාට 1634 දී ලැබී තිබෙනවා. මාරියා ඇන්ටෝනියා නම් වූ ඒ ගැහැණු දරුවා පසු කලෙක කන්‍යා සොයුරියක් වූ බවයි කියවෙන්නේ.

වසර 64 ක් පමණ කාලයක් ජීවත් වුණු දොන් ජෝන්ව පෘතුගාල වැසියන් හඳුන්වන්නේ Black Prince නමින්. අවසානයේදී දොන් ජෝන් 1642  අප්‍රේල් 1 Moorish Quarte හි පිහිටි නිවහනේදී මිය යනවා. ඒත් දොන් ජෝන්ගේ ඉල්ලීම පරිදි ඔහුගේ සිරුර භූමදාන කරන්නේ ඔහු විසින් ගොඩනංවන ලද Nossa Senhora das Portas do Ceu දේවස්ථාන භූමියේ.

ඒ සොහොනේ තිබුණු පාෂාණමය කොටස් දෙකක් මේ වනවිට ලිස්බන්හි තිබෙන කාර්මෝ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙනවා.

දේවස්ථානයේ තුළ ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව

1708 දී පූජකවරුන් දොන් ජෝන්ව මිහිදන් කෙරුණු ස්ථානය කැණීම් කොට ඔහුගේ අස්ථි කොටස් කීපයක් සොයාගන්නවා. පසුව ඒවා මහත් ගෞරවයෙන් දේවස්ථානයේ පූජාසනය ආසන්නයේ කිරිගරුඬවලින් නිර්මාණය කළ සොහොන් ගැබක තැන්පත් කරනවා. එහි පහත සටහනද සටහන් කර තබනවා

"Quisacram hanc Mariae aedem fundavit hic Candiae Principis ossa Septiantur" 

[සිංහල අර්ථය - මෙහි වළ දමා ඇත්තේ මරියාතුමියට ගෞරව පිණිස මේ ශුද්ධ මන්දිරය තැනවූ කන්දේ කුමාරයාගේ ශරීර කොටස්ය]

වරින්වර භූමිකම්පා, සිවිල් යුද ප්‍රහාර ආදී ආපදා රාශියකට මුහුණ දීපු පෘතුගාලයේ ලිස්බන් නුවර Telheiras ප්‍රදේශයේ තිබෙන මේ Nossa Senhora das Portas do Ceu දේවස්ථානය කියාපාන්නේ තමන්ගේ මවු රටින් බැහැරව විදෙස් ආගමක් වැළදගෙන ඒ වෙනුවෙන් කටයුතු කරපු උඩරට රාජ්‍යයේ සිංහල රජතුමෙක් වුණු දොන් ජෝන්ගේ කතාන්දරයයි.........

Nossa Senhora das Portas do Ceu දේවස්ථානයේ ඡායාරූප බලන්න කැමති නම් මෙතනින් යන්න

මේ ලිපිය ලියන්නට මග පෙන්වීමක් සිදු කළ මල්මි අක්කාට විශේෂ ස්තුතිය :)

ප.ලි.: සමහර විට මම ලියන අන්තිම ලිපිය මෙය වන්නට පුලුවන්