Monday, September 17, 2012

කපිලවස්තු සර්වඥ ධාතු වැඳීම, වැන්දවීම සහ තවත් කතා ගොඩා...ක්


මේ දවස්වල ලංකාවේ ඉන්න පොඩි ළමයාගේ පටන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා හැමෝම වගේ කපිලවස්තුපුරය ගැන දන්නවා හරියට කපිලවස්තුපුරේ ජීවත් වුණු මිනිස්සු වගේ. අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැනේ. ඒකට හේතුව හැමෝම දන්නවා. කපිලවස්තුපුරයේ ස්ථූපයකින් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා සතර නමක් පහුගිය දවසක ලංකාවට වැඩම කරවීමත් ලංකාවේ ස්ථාන කීපයකම ප්‍රදර්ශනය කිරීමත් එක්ක ලංකාවේ මාධ්‍යවලට පින් සිද්ධ වෙන්න හැමෝම වගේ මේ ගැන දැනගත්තා.

ඒ වගේමයි ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න හුඟක් බෞද්ධ ජනතාව ඒ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරපු ස්ථානවලට ගිහින් වන්දනා කරගත්තා. ඒ වගේමයි මම දැක්ක විදිහට අබෞද්ධ ජනතාව පවා මොකක්ද මේ කියලා බලන්න ආවා. 

මේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමත් එක්ක ඒ ගැන හුඟක් කතා එහෙට මෙහෙට ගියා. ලොකුම කතාව වුණේ ධාතු පෙන්නලා ඡන්දේ දිනන්න යනවා කියන එක. ඒ වගේමයි රනිල් ලොක්කා කියපු මේ සර්වඥ ධාතු නෙමේ කියන කතාවත් නැඟලා ගියා. බ්ලොග් අවකාශයෙත් ඒ ගැන නම් කතා ගියා. 

මේ කතා ඔක්කොම ටික එහෙම මෙහෙට කෙටියෙන් වනා ගෙන ගියේ සර්වඥ ධාතූන් වහන්සේලා සම්බන්ධ මගේ කතාව කියන්න පාර හදාගන්න. 


අගෝස්තු මාසේ බොල්ලෑගල මානෙල්වත්ත විහාරයේ මුලින්ම සර්වඥ ධාතු ප්‍රදර්ශනය තියෙද්දී අපේ ගෙවල් පැත්තට කිට්ටුව වුණත් මම ගියේ නැහැ. පෝලිම්වල තෙරපිලා බොරු කලබල කරලා සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා මලක් පහනක් පූජා කරන එක හොඳයි කියලා තමා මම හිතාගත්තේ. 

අපේ Logic මිස්ටත් මානෙල්වත්ත විහාරයේ සර්වඥ ධාතු වඳින්න යන්න VIP Pass එකක් ලැබිලා මට යන්න කතා කළත් මට යන්න හිතුණේ නැහැ. පස්සේ පෝලිම අල්ලගෙන එන්න කියලා කතා කළත් මම ගියේ නැහැ. 

ඔය කතාව දැනගත්තු කීප දෙනෙක් මට බැන්නත් එක්ක "උඹ මහ බෞද්ධයා වුණාට සර්වඥ ධාතු වඳින්නවත් ගියේ නැහැ. වැඩක් නැහැ උඹගෙන්" නම් වගේ කතා කියලා. එයාලටත් මම දීපු උත්තරේ වුණේ පෝලිම්වල තෙරපිලා හිත් නරක් කරගෙන සර්වඥ ධාතු වඳිනවාට වඩා ගෙදරට වෙලා බුදු ගුණ සිහි කරලා වඳින එක සැපයි කියලා. 

ඔයින් මෙයින් මානෙල්වත්ත පන්සලෙන් අනිත් තැනට සර්වඥ ධාතු වැඩැම්මුවාට පස්සේ තමා ටිකක් හරි කනක් ඇහිලා ඉන්න පුලුවන් වුණේ. ඒත් අන්තිමට කැලණි රාජ මහා විහාරෙට සර්වඥ ධාතු වඩම්මන කතාව ප්‍රසිද්ධ වීමත් එක්ක ආයි කට්ටියගෙන් බර බරේ කැලණියටවත් ගිහින් සර්වඥ ධාතු වැඳලා වරෙන් කියලා.

කලින් ප්‍රතිපත්තියේම සුපුරුදු විදිහට ඉන්න හිතුවත් ඒක ටිකක් වෙනස් කරන්න වුණා "රාජකාරිය දේවකාරිය වගේ" නිසා. කැලණි පන්සලේ සර්වඥ ධාතු අන්තිම වතාවට ප්‍රදර්ශනය කරන්න තීරණය කිරීමත් එක්ක එතැන ප්‍රථමාධාර කටයුතු ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ කැලණිය/ දෙල්ගොඩ සේනාංකයට පැවරුණා. මමත් ඒකේ සාමාජිකයෙක් වගේම නිලධාරියෙකුත් වෙන නිසා කැලණි පන්සලේ ප්‍රථමාධාර රාජකාරියට පිටත් වුණා. 


සර්වඥ ධාතු ප්‍රදර්ශනය පටන් ගත්තු අඟහරුවාදා උදේ 9 ට විතර අපි කැලණි පන්සලට ඇවිත් මකර තොරණ ඉස්සරහ අපි හැමදාම කැලණි පෙරහැරේ ප්‍රථමාධාර කටයුතුවලට ආපුවාම අපේ මධ්‍යස්ථානේ හදාගන්න තැනම tent එකත් ගහගෙන අපේ සේවය පටන් ගත්තා.


හිටපු සෙනඟ තමා සෙනඟ. දැනගන්න ලැබුණු විදිහට එක පෝලිමක කොණ තිබුණේ බොල්ලෑගල මානෙල්වත්ත පන්සල හරියේ. තව පෝලිමක කොණක් තොරණ හන්දිය කිට්ටුවට වෙනකම් ඇවිත් තිබුණලු. ඒ වගේමයි මානෙල්වත්ත පන්සලේ සර්වඥ ධාතු ප්‍රදර්ශනේටත් ආවාට වඩා වැඩි පිරිසක් එදා කැලණියට ඇවිත් ඉන්න බව තමා ආරංචි වුණේ. 

අපිත් එක්ක කතා බහකට එකතු වුණු පොලිස් අධිකාරීතුමෙක් කිව්වේ කලින් දවසේ රෑ පෝලිම අල්ලන්න 50,000 කට කිට්ටු පිරිසක් පන්සලට ඇවිත් හිටියා කියලා. කොහොමද සර්වඥ ධාතු වඳින්න තියෙන උවමනාව.

පොලිසීයේ අය වගේම STF එකේ අය ගොඩක් මහන්සි වුණා පෝලිම්වල තෙරපීම් අඩු කරන්න, සෙනඟ පාලනය කරන්න වගේම හොරෙන් පෝලිම් පනින අයව වළක්වන්න.

අපි අපේ කට්ටියව කණ්ඩායම්වලට බෙදලා කැලණි පන්සලේ උඩ මළුවට ඇතුල් වෙන්න තිබුණු ප්‍රධාන දොරටු 3 ගාවට වගේම පහළ මළුවේ තැන් කීපෙකටම යොමු කළා. ක්ලාන්තය හැදුණු අය, කොන්දේ කැක්කුම්, කකුල් කැක්කුම්, ඔළුවේ කැක්කුම් තියෙන අය එමටයි. ඒ අයටත් පුලුවන් ආකාරයෙන් ප්‍රථමාධාර ලබාදෙන්න අපේ අය කටයුතු කළා. 


පෝලිම්වල තෙරපෙන තෙරපිල්ලට තමා හුඟක් අයට අමාරු. පෝලිමක් තල්ලු වුණු වෙලාවක වැටිලා ඔළුවක් පලා ගත්තු ආච්චි කෙනෙකුටත් අපේ අය ප්‍රථමාධාර දීලා කිරිබත්ගොඩ මූලික රෝහලෙන් කරපු සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගිහින් තිබුණා. 

ප්‍රථමාධාර කටයුතු වගේම අපි කරපු වටිනාම දේ වුණේ ඇවිදින්න අමාරු වගේම ශාරීරික ආබාධ තියෙන අයව අරගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරවන්න ධර්ම ශාලාවටම අරගෙන ගිය එක. පෝලිම්වල අමාරුවෙන් ඇවිත් අන්තිමට මකර තොරණ ගාව තියෙන පඩිපෙළ නගින්නවත් සමහර වයසක සීයලාට ආච්චිලාට පණ නැහැ. 


අපි කළේ එයාලව පඩි පෙළා නග්ගවලා එතන ඉදන් ධර්ම ශාලාවට යන්න තියෙන පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන යන එක.  

හැබැයි මේ වැඩේ අපි කළේ අපේ හිතු මනාපෙට නෙමෙයි. මකර තොරණ ඉස්සරහ ප්‍රදේශය භාරව හිටිය පොලිස් අධිකාරීතුමාගේ අවසරයෙන්.

ඒ වගේමයි ධර්ම ශාලාව ඇතුළේ ඉදන් ආපහු ප්‍රධාන මාර්ගය ඇවිදින්න අමාරු ආච්චිලා සීයලා අරගෙන යන එකත් අපි කළා. එක වෙලාවක් ඇවිදින්න අමාරු ආච්චි කෙනෙක්ව වඩාගෙනත් අරගෙන ගියා. ඒ ආච්චී අන්තිමට හොඳටම පින් දුන්නා අපිට. 

ඒ වගේමයි තව ආච්චි කෙනෙක්ව පහළ ඉදන්ම ධර්ම ශාලාව ගාවටම වත්තම් කරගෙන ආවාට පස්සේ අඬ අඬා "මහත්තයා මේ කරපු පිනෙන් බුදු බව ලබන්නම ඕනේ" කියලා කියපු එකත් මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. 

පෝලිම ගැනත් යමක් කියන්න ඕනේ. උදේ ඉදන් හවස 3 වෙනකම් VIP පෝලිමේ ගිහින් සර්වඥ ධාතු වන්දනා කරන්න ඉඩකඩ ලැබුණේ කැලණි පන්සලේ දායක දායිකාවන්ට. ඒත් ඒකෙත් හුටපටයක් වෙලා ටික වෙලාවක් ඒ පෝලිමත් නතර කරලා තිබුණා. 

ඔය වෙලාවේම තමා අපේ දවල් කෑම ලැබෙන්න කොහොමද කියලා බලන්න අපි හාමුදුරුවන්ගේ ආවාසේ පැත්තට ගියාම මට බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වෙන කස්සගේ මැස්ස ලියන කසුන් අනුරාධ මලයාවත් හම්බවුණේ. මිනිහා කැලණි පන්සලේ සැරම දායකයෙක්. 

දවල්ට කෑම නිකුත් කරන්න එක කරන්නේ ඇමති ආචාර්යතුමාගේ කට්ටිය කියලා තමා දැනගන්න ලැබුණේ. අන්තිමට වුණේ අපිට දවල්ට කෑම නැතිවුණු එක. පාන් ගෙනල්ලා තමා වේල පිරිමහ ගත්තේ.

හවස 3 න් පස්සේ අනෙක් VIP Pass පාස් හම්බවුණු අය පෝලිමට එකතු වුණා. අන්තිමට VIP පෝලිමත් පන්සල් වත්තෙන් එළියටම ඇවිත් සාමාන්‍ය පෝලිමක් ගාණටම දික් වුණා. මොකද පුලුවන් හැම මනුස්සයාම කොහෙන් හරි VIP Pass එකක් හොයාගෙන ඒකෙන් පස් දෙනෙක් යන්න පුලුවන් නිසා පෝලිමට ඇවිත් තිබුණේ.

සාමාන්‍ය පෝලිම්වලත් නොතිබුණු හුටපට තමා ඒ පෝලිමේ වුණේ. එක පාරක් පන්සල වටේ යද්දී පෝලිම් පැනලා මොකක් හරි හුටපටයක් වෙලා කට්ටියක් හොඳටම බැන ගන්නවා. එකෙක් මහ හයියෙන් කිව්වා "තොපිලට ධාතු නෙමෙයි පෙන්නන්න ඕනේ, හොර හැත්ත" කියලා.... ඕන් අපේ අයගේ සම්මා වාචා :D

රෑ බෝ වෙද්දී පෝලිමේ අගක් හොයාගන්න නැහැ මිනිස්සු එක පොදියක් වෙලා පොර කනවා. ඒ වෙලාවේ එතන හිටිය අපි ඇහුණා STF එක්කෙනෙක් කෑ ගහනවා මේ පොඩි ළමයා කාගෙද කියලා. පේනවනේ පොර කන පොර කෑමට ළමයි පවා අතරමං වෙලා. මතක් වුණු වෙලාවේ මේකත් කියන්න ඕනේ FM දෙරණෙන් කරපු කාර්යාලයෙන් හැම තිස්සෙම වගේ කිව්වේ අතරමං වුණු කට්ටිය ගැන. ඕන් වෙන වැඩ


පෝලිමේ වුණු හුටපට නිසා අන්තිමට VIP Pass කැන්සල් කරපු බවත් දැනගන්න ලැබුණා. ඒත් මිනිස්සු පොරකනවා. තල්ලු කරගන්නවා එකී මෙකී නොකී විගඩම්. මේකට කට්ටිය බැහැලා තමා තත්වය සමනය කළේ. 

රෑ කෑමත් ඔයින් මෙයින් අපිට ලැබුනේ නැහැ. ඒක නිසා අපි කීප දෙනෙක් එළියෙන් මොනවා හරි කන්න යද්දී පොලිසිය ගාව ආච්චි කෙනෙක් ක්ලන්තේ දාලා වැටිලා ඉන්නවා. එයාට අමාරු පාට පෙනුණු නිසා බඩගිනි පැත්තක දාලා එයාවත් පුටුවක ඉන්දෝගෙන සෞඛ්‍ය මධ්‍යස්ථානෙට අරගෙන ගියා. ඒකෙන් මේකෙන් බඩගිනිත් නැතුව ගියා. 

ඊට පස්සේ ආයි එළියට ආපු වෙලාවේ ළමයෙක් හම්බෙන්න ඉන්න අක්කා කෙනෙක්ට අමාරු වෙලා ඉන්නවා දැක්කා. එයාව රෝහලකට යවන්න අපි කීප දෙනෙක්ම පාරට වෙලා වාහනවලට අත දදා නවත්තන්න හැදුවත් වැඩක් වුණේ නැහැ. 

නවත්තපු කීප දෙනෙක්ම විස්තරේ ඇහුවාට පස්සෙත් "අපි හයර් එකක් ඇවිත් ඉන්නේ අපිට බෑ" වගේ "අමන කතා" කියලා මග ඇරලා ගියා. ඕන් අපේ අයගේ මහ ලොකු මනුස්සකම. ශ්‍රද්ධාව දෝරේ ගලනවා ධාතු වඳින්න ඒත් ජීවිත දෙකක් බේරගන්න එන්නේ නැහැ. අපේ කටට හොඳ කුණුහරුප ආවත් කට පියාගෙන හිටියා. 

අන්තිමට මනුස්සකම දන්න මනුස්සයෙක් එයාගේ වාහනේ ඒ අක්කාව රෝහලකට ගෙනිච්චා.

පාරේ පෝලිම්වල ඉන්න සමහර අයත් එක්ක අපි කතා කරද්දී සමහරු පාන්දර දෙකේ තුනේ ඉදන් පෝලිම්වල ඉන්නේ. අපි එයාලා එක්ක කතා කරද්දිත් වෙලාවට හතට අටට විතර ඇති. හිතාගන්න පුලුවන්නේ පෝලිම්වල දිග.

තවත් සමහරු පෝලිම් පටලවාගෙන ධාතු වැඳිල්ලත් එපා වෙලා ගෙදර යන්න හදනවා. ඕන් ඔය වගේ ජාති ගොඩයි. 


රෑ 12 කිට්ටු වෙද්දී අපේ අයගෙනුත් හුඟක් අයට අමාරු එහෙට මෙහෙට ඇවිදලාම රාජකාරිය කරලා. අන්තිමට අමාරුම පොඩි එවුන්ට නිදාගන්න කියලා මකර තොරණ ගාව පඩිපෙළේ රාජකාරිය අපි භාර ගත්තා. අර කලින් කිව්ව එතැන හිටිය පොලිස් අධිකාරීතුමා පෝලිමේ ඉන්න නැතුව යන්න කියන සීයලා ආච්චිලාව අපි වත්තම් කරගෙන පඩිපෙළ නග්ගවලා පෝලිමේ එක්කගෙන යන්නේ නැතුව ධර්ම ශාලාව ගාවටම එක්කගෙන ගියා. 

ඔය වෙලාව වෙද්දී අපිටත් හොඳ ගණන් හරියට කෑමකුත් නැහැ හිටගෙන ඉදලා යටි පතුල් එහෙම හොඳටම රිදෙනවා. ඒ ඔක්කෝටම වඩා නිදිමතයි. ඒත් වාඩිවුණොත් නින්ද යන නිසා ඇවිද ඇවිද මූණ හෝද හෝද පුලුවන් විදිහට වාරු නැති අයට උදව් වුණා. 

කියන්නත් අමතක වුණා ඒ රාජකාරියේ ඉන්න ගමන්ම තුන් හතර පාරක්ම සර්වඥ ධාතූන් වහන්සේලාත් වන්දනා කරගත්තා. 


ඊට පස්සේ පාන්දර ධර්ම ශාලාව සර්වඥ ධාතූන් වහන්සේලා ගාව ඉන්න වගේම ෆොටෝ කීපයකුත් ගන්න ලැබුණා. ඒ විදිහට ධර්ම ශාලාව ඇතුළේ හිටියේ කීප දෙනෙක්ම ඇතුළේදීත් ක්ලාන්ත වුණු නිසා එතනටත් අපේ සේවය ඕනේ වුණු නිසා. 

උදේ පාන්දර 5 ට විතර පැය භාගයක් විතර නිදාගන්න පුලුවන් වුණා. ඒත් ඇඟේ පතේ අමාරුව නම් ගියේම නැහැ.


උදේත් පුලු පුලුවන් විදිහට අපේ සේවය කළා. හැබැයි ඇත්තම කිව්වොත් ඒ වෙද්දී හොඳ ගණන්. හරියට කකුල් දෙකෙන් එල්ලලා කකුල්වලටයි යටි පතුල්වලටයි හොඳට පොලුවලින් ගැහුවා වගේ තමා කැක්කුම 

කොහොම නමුත් මම හුඟක් තැන්වල කිව්වා වගේම ධාතු වඳින්න ගිහින් හුඟක් අය කරගත්තේ පව්. ලෝභය, ද්වේෂය, පරුෂ වචන කීම වගේ නොයෙක් ජාතියේ පව් වැඩ තමා ධාතු වඳින්න ආපු එකෙන් හුඟක් අය කරගත්තේ.. 

ඒ වගේමයි ලංකාවේ මලය තෙරුනට හමුවුණු මෛත්‍රී බෝසතුන් කතාවේදී කිව්ව මේ ප්‍රකාශයම තමා මට ආයිත් කියන්න හිතෙන්නේ.  

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති


අන්තිමටම මේ ටික කියන්න ඕනේ. සර්වඥ ධාතූන් වහන්සේලා ඒ විදිහට තෙරපිලා පොරකාලා වඳින්න යන්න මම කැමති වුණේ නැතත් ඒකට මට පහසුවෙන් යන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා මොකක් හරි බලවේගයකට පෙනුණු නිසා හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් නිසා හරි මට හුඟක් පහසුවෙන් සර්වඥ ධාතූන් වහන්සේල එක පාරක් නෙමේ කීප පාරක්ම වන්දනා කරගන්න පුලුවන් වුණා. ඒ වගේමයි පැය කීපයක් ඒ අසළම ඉන්න පුලුවන් වුණා.  

අනෙක් කතාව තමා සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළාටත් වඩා සතුටක් මගේ හිතට එන්නේ අපි උදව් කරපු සීයලා ආච්චිලා අපිට පින් දීපු හැටි මතක් වෙද්දී. මොකද අපි ඒ දේවල් කළේ එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. හරියටම කිව්වොත් නිස්සරණාධ්‍යාශයෙන්. ඉතින් ඒ නිසා නිරාමිස සතුටක් මට ලබන්න පුලුවන් වුණා. ඒක මට හැමදාම මතක තියේවි.

ඩඩ්ලි සේනානායකගේ අවමඟුලට සෙනඟ ආ හැටි

ප්‍රථමාධාරකරුවෙක් විදිහට මගේ අවුරුදු 8 ක සේවා කාලය ඇතුලේ සහභාගි වුණු ලොකුම රාජකාරිය තමා මේක. ඉතින් රාජකාරි පැත්තෙනුත් මට මේක ලොකු අත්දැකීමක්. අපේ ප්‍රථමාධාර සර් කියපු විදිහට සර්ත් හිටපු අගමැති ඩඩ්ලි සේනානායක අභාවයට පත්වුණු වෙලාවේ එතැන ප්‍රථමාධාර රාජකාරි ගියාට පස්සේ මේ වගේ රාජකාරියකට ආවාමලු.

ප.ලි.: මට කලින් කියන්නත් අමතක වුණා. මේ කතාවේ විශේෂ පිදුම අපේ කැම්පස් එකේ සගයෙක් වගේ බ්ලොග් අවකාශයේත් සගයෙක් වෙන අමිල ගම්මුදලිට. 

පහුගිය දවස් ටිකේ ලියපු කතා ගැන මිනිහා කිව්වේ ඒවා නෙමෙයි මොකක් හරි ආතල් කතාවක් ලියපන්කෝ කියලා. මේ කතාවත් ඉතින් ආතල් කතාවක්ද මන්දා. උඹම කියවලා හිතපන් ලොක්කා 

58 comments:

  1. ඔය කලින් පැනගෙන නොගියට ගානට ලස්සනට ධාතුත් වැඳගෙන , අනුන්ටත් වන්දවල බරට බරේ පිනුත් රැස්කොරගෙන තියෙන්නේ.
    වාසනාවන්තයට , හේතුවන්තයට කොහෙන් හරි දොර ඇරෙනවා නෙව!
    :)

    ReplyDelete
  2. උබ පිනක් නේ කරගෙන තියෙන්නේ..

    ජය සහෝ !

    යන යන තැන ටෙන්ට් එක ගහන එක නම් අවුල් !

    ReplyDelete
  3. mmmm good article malli :)

    ReplyDelete
  4. ඔන්න හසිත නම් කියන නිම කරන්න බැරි තරම් පිනක් කර ගෙන තියනව.
    ඒ පින හින්දම වෙන්න ඇති කිසි අපහසුවක් නැතුව ධාතූන් වහන්සේලා වන්දනා කර ගන්න ලැබුනෙ.

    ReplyDelete
  5. samantha WickramasingheSeptember 17, 2012 at 7:37 AM

    Niymayi Hasitha!!!!

    ReplyDelete
  6. මගේනං පව්කාර සිත ඔය අඩි දෙක තුන ගිහිං ධාතු වඳින්න ඉඩ දුන්නේම නැත...
    ඒ දවස් දෙක මා විවිධාකාරයේ ඔල මොල ක්‍රියාවන්හි නිරත වෙමින් ගත කල ආකාරය අනේ මන්දා ඉතිං...
    ඒත් කමක් නෑ...
    ලංකාවේ තියෙන්නේ හොදම ධාතුවක්...
    දන්ත ධාතුව..
    මං යනවා ඒක වදින්න...
    ඇයි හත්තිලවුවේ මොන වෙඩිමක්ද...

    ReplyDelete
  7. ධාතු කෙසේ වෙතත්, උඹ කළ සේවය අගය කරනවා. මෝඩ මිනිස්සු....

    ReplyDelete
  8. ශ්‍රද්ධාව තිබුනට බුද්ධිය නැති අයයි, බුද්ධිය නැතිවට ශ්‍රද්ධාව නැති යයි ඉන්නකොට ඔහොම වෙනවා. ශ්‍රද්ධාව තියෙන අය යන්නන්වාලේ යනවා මිස ධර්මය අවබෝධ කරගෙන නෙවෙයි යන්නේ. 'බුද්ධිය' තියෙන අය අනික් අයට තමන් ශ්‍රද්ධාවන්තයි කියලා පෙන්නලා ලකුණු දාගන්න ට්‍රයි කරනවා..

    තමන් කරලා තියෙන සහ කරපු දේවල් හැටියට තමන්ට ලැබෙනවා නේ හසිත මලයෝ! මේ කතාව බෙදා ගත්තාටත් ගොඩක් පින්!

    ReplyDelete
  9. වෙලා තියනසිදුවීම් බැලුවාම, කොච්චර බැන්නත් මේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව අගය කරන්ට හිතෙනවා. ඒ වගේම තමා පුදුම කැපවීමකින් සේවය කල ඔබ හැමදෙනාම.

    // "මහත්තයා මේ කරපු පිනෙන් බුදු බව ලබන්නම ඕනේ" //

    මටත් ඒ ටිකම කියන්ට හිතෙනවා.:)

    ReplyDelete
  10. umba honda porak machang. that's all that matters in the end :)

    ReplyDelete
  11. //කොහොම නමුත් මම හුඟක් තැන්වල කිව්වා වගේම ධාතු වඳින්න ගිහින් හුඟක් අය කරගත්තේ පව්. ලෝභය, ද්වේෂය, පරුෂ වචන කීම වගේ නොයෙක් ජාතියේ පව් වැඩ තමා ධාතු වඳින්න ආපු එකෙන් හුඟක් අය කරගත්තේ.. //
    giya ewungen 99% katama apaaye doratu wiwara wenna athi...

    good work brother... proud of you

    ReplyDelete
  12. උබ නම් මලේ පිනක් කරගෙන තියෙන්නේ !
    උබට ජය වේවා

    ReplyDelete
  13. මට මේ කතාව කියවද්දි මතක් වුනේ අතීත බුදුවරයෙක්ගෙ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා හදපු චෛත්‍යකට මුලු රැයක් පුරා පහන් දල්වමින් ආලෝක පූජාවක් කරපු ගිහි ශ්‍රාවකයෙක්ගේ කතාවක්.

    ඇත්තට එදත් වෙන්න ඇත්තෙ මේ වගේ ම සිද්ධි දාමයක් වෙන්න ඇති. මේ ලියලා තියෙන ශෛලිය වෙනස් කරලා ඒ ආකාරයෙන් ලිව්වනම් කතා දෙකේ ම තියෙන්නෙ ධාතුන් වහන්සේ වන්දනාව ගැන.

    ඒ වගේ කතා වල අපි ඕන තරම් දකිනවා ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට කෙතරම් බාදා ආවත් ඒ සියල්ල මඟහැරී මුලික අරමුණයට යන්න පුලුවන් වෙන හැටි. ඒක බොහෝ දෙනා හිතන්නෙ ලියපු කෙනා, කියවන අයට ශ්‍රද්ධාව වැඩි වෙන්න ඒ විදිහට ලියන්න ඇති කියලා.

    දැන් හසිතගේ කතාව තවත් කල්ප ගාණකට පස්සෙ කව්රු හරි කිව්වොත් සමහරු සාධුකාර දෙයි, සමහරු එහෙම වෙන්න පුලුවන් ද කියලා හිතයි.

    මේ කතාවෙන් මම තේරුම් ගත්තෙ ඒකයි.

    ධාතුන් වහන්සේලා වන්දනාවට ආ පිරිසට උවටැන් කිරීමෙනුත්, බුදුපියාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමෙන් ලබා ගත් කුසලය හසිතට පහසුම ප්‍රතිපදාවෙන් නිවන අවබෝධ කරගැනීමට උපකාර වේවා!

    ReplyDelete
  14. ඔහොම පින් කර ගන්න ලැබෙන්නත් පින් කරල තියෙන්න ඕනි....

    ජය!!!

    ReplyDelete
  15. අර වයසක මිනිස්සුන්ට වගේම බබෙක් ලැබෙන්න හිටපු අක්කටත් උදව කරලා ලොකු පිනක් කරගෙන තියනවා කියල මට හිතෙනවා.අනික කොහොමින් හරි ධාතුන් වන්දනා කරන්නත් ලැබුනානේ.

    ReplyDelete
  16. ධාතු වන්දනා කතාව අමතක කලාම මේ කතාවට එන්නේ ලොකු වටිනාකමක්..මල්ලිගේ පින් අතේ වැඩ දැකලා අපේ සිතත් නිවුනා කිව්වොත් හරි. ප්‍රථමාධාර කණ්ඩායම් වල කැපකිරීම මහන්සිය ගැන මටත් අත්දැකීම් තියනවා..එයාල වෙන මහන්සිය ගැන කියන්න වචන නෑ වගේම ඒ ගැන ප්‍රසංශා කරන්නත් වචන මදි..

    මේ වගේ යහපත් පින් අතේ වැඩ වලට සහභාගි වෙන්න මල්ලිට දිගටම ඉඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  17. ලොකු පිනක් නෙවෙයි පින් ගොඩක් රැස් කරගෙන තියෙනවා, ඒ හින්ද ම වෙන්න ඇති පහසුවෙන් වන්දනා කරන්න ඉඩ ලැබුණෙත්!

    ReplyDelete
  18. අපේ මිනිස්සුන්ට මගේය,මම විතරමයි..කියන හැඟීම නිසා තමයි මේ හැමදෙයක්ම.
    කොහොම උනත් උඹ පිංකාරයා බං..!!

    ReplyDelete
  19. පෝස්ටුව නියමයි.කියලා තියෙන හැම දේමත් ඇත්ත.

    ඔහොම තෙරපි තෙරපි,බැන බැන වදින වැදිල්ල වැඩක් තියෙනවද කියලා මටනම් තේරෙන්නෙ නෑ. ඒ අතින් ඔයා පින්වන්තයි මල්ලි.

    ReplyDelete
  20. ඇත්තටම මමත් ඔය වගේ දේවලට යන්න හරිම අකමැතියි. මිනිස්සු හැසිරෙන හැටි දැක්කම තියෙන ලේ ටිකත් පිච්චෙනව විතරයි. ඊට වඩා හොඳා ගෙදරට වෙලා ඉන්නවා. කොහොම උනත් මලයට ධාතු වැඳගන්න ලැබුන එක ගැනනම් සතුටුයි.

    ReplyDelete
  21. ධර්මය අව‍බෝධ කර ගන්නයි, පින් රැස් කර ගන්නයි ලැබෙන අවස්ථා අත්හැර ගන්න එක කොයි තරම් පාපයක්ද? හසිත මල්ලි නම් අවස්ථාවෙන් උපරිම ප්රියෝජන අරන් බව පේනවා.

    සර්වඥ ධාතු වන්දනා කරන්න මිනිස්සු‍න්ගෙ තියෙන උනන්දුව ධර්මයේ පිහිටන්නත් තියෙවනවනම් අපූරුයි. ඔයාලගෙ කැපවීම අගය කරනවා මල්ලී. ඒ වගේම ඔයාගෙ ලිපියේ ශ්රධද්ධාවන්ත පින්වතුන්ට තමන්ගෙම හෘද සාක්ෂියත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
  22. සෑහෙන පිනක් කරගෙන තියෙන්නේ .කවදා ඉන්දියාවට යන්න ලැබෙයිද කවුද දන්නේ .මමත් සෑහෙන කට්ටක් කාලා දෙපාරක් ම ධාතු බැලුවා.මානෙල්වත්තෙදි නම් පට්ටම කට්ටක් කෑවේ. මේ තියෙන්නේ ගැන ලියපු එක

    ReplyDelete
  23. මමත් මේ දේවල් අත්දැක්ක නිසා ඒ ගැන කියන්න වෙහෙසෙන්නෙ නෑ... ධාතු පෙන්වන අතරතුර ඔබ කරපු සේවය නම් ඉතාමත් වටිනවා...

    ReplyDelete
  24. ගිලනුන්ට සත්කාර කිරීම මට සත්කාර කිරීමක් වැන්න කියලා බුදුආමුදුරුවොත් කියලා තියනවනේ

    ReplyDelete
  25. ඔච්චර පොර කකා බලන්ඩ යන්නෙ ඔය බුදුහාමුදුරුවන්ගෙ ධාතූන්ද ? එහෙමනම් දන්ත ධාතුවට තියන ගෞරවය, සැළකිල්ලම ඒවටත් තියෙන්ඩ ඕනා නේද ?

    මේ කතාව කියවපුවම මට තේරුනෙ ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ උප්පැන්න බෞද්ධයො කියන එක තමයි..

    හසිතලාගෙ පුන්‍ය කර්මයට මාගේ ප්‍රණාමය.

    ReplyDelete
  26. පින් අතෙ වැඩක්.............

    ReplyDelete
  27. වැඩි වැඩියෙන් ලැබෙනවා මේ කරන ඒවට.ජය !

    ReplyDelete
  28. එල මචන්..පින් අතේ වැඩක්..

    ReplyDelete
  29. ලොකු සේවයක් කරලා තියෙන්නේ. කොහේ ගියත් ඉතින් අපේ මිනිස්සුන්ගේ කටවල් හදන්න බැහැ ඒවා ජාන වලින්ම එන ගති

    ReplyDelete
  30. අගය කරනවා මම!
    ජයෙන් ජය සහෝ!

    ReplyDelete
  31. ඇත්තට වදින්න ගියාට වඩා ලොකු පිනක් කරගෙන තියෙනව...

    ReplyDelete
  32. බොහොම හොඳ වැඩක්... ධාතු වන්දනාව ගැන ලියැවුණු වෙනස් විදියේ ලිපියක්...

    ReplyDelete
  33. වටිනා සේවයක යෙදිලා ධාතු වැඳලා පින් තොගයකුත් එකතු කරගෙන ඇවිත් තියෙන්නේ.

    ඒක නෙවෙයි මල්ලි, නරකද ලිව්වොත් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව ගැන..?

    ReplyDelete
  34. සහනාධාර පෝලිමකයි, මේ පොලිමෙයි වැඩි වෙනසක් නෑ කියල මම කියනවා. මොකද සහනාධාර කියන්නේ නිකං ලැබෙන දේ, එකට පෝලිං වල ඉන්න මගේ ජාතිය හරි කැමතියි, දක්ෂයි. ඉතිං මේකත් වෙහෙසෙන්නේ නැතිව පින් රැස් කර ගන්න පුළුවන් අවස්ථාවක් නිසා බොහෝ අය ඇත හැරියේ නෑ. කෙටි මාර්ඝ වලින් පින් හොයන්න බෑ. නිවනට ෂෝර්ට් කට් නෑ. පුරුවේ පින් තියෙන අයට තමයි ෂෝර්ට් කට් පෙන්නුම් කරන්නේ. හසිතලා එක් රැස් කරගෙන තියෙන පින් හා පූරුවේ පින් මේ කථාවෙන් හොඳටම පැහැදිලි වෙනවා. මට ඔය වාසනාව මිස් වුන පලවෙනි වතාව නෙවෙයි, 1978 දී කුඩා දරුවෙක් විදියට ඒ වෙනුවෙන් සැදී පැහැදී කල ඉදි කිරීමක් කල තැනක පෝලිමේ මුලටාම හිටගෙන ඉඳලත් දකින්න ලැබුණේ නෑ. ඉතිං මම පූරුවේ පින් අඩු පුද්ගලයෙක්. මේ පාර හිතුනේ වත් නෑ. ඒ පවට වෙන්න ඕනෑ. හැබැයි හසිතගේ සිතිවිල්ල මගේ හිතේ නිතරම තියෙන දෙයක්. ගෙදර පිං කිරීම.

    ReplyDelete
  35. අන්න නියම පිං අතේ වැඩ, මල් පූජකරලා නිවන් යන්න හදන අයට වඩා හුගක් වටිනවා
    අපේ මිනිස්සු ආගම අදහන හැටි ගැනනම් පොස්ට් තුනක් හතරක් ම ලියන්න පුළුවන් වේවි...

    ReplyDelete
  36. ඒ වයසක උදවියට උදවු කල එකම ලොකු පිනක් මචන් .....

    ReplyDelete
  37. ඔය තියෙන්නේ. ධාතූන් වන්දනාව ගැනවත් ඒකේ අරමුනු ගැනවත් නෙමේ, උඹලා කරපු සත්ක්‍රියාව උතුම්. ඒකේ මොකුත් යටි අරමුණු නැති නිසා. මිනිස්සු ලොකු මුලාවක ඉන්නවා මලේ. ඒකම යම් පිරිසක් ආයුධ බවට හරවගෙන, බොරදියේ මාළු බානවා. ඇත්තටම උඹලගේ ක්‍රියාව අගය කලයුතු දෙයක්..!



    බ්ලොග් රෝලක් හදා ගන්න හැටි කියලා දියන්කෝ මට.

    ReplyDelete
  38. පින් කියන්නේ ඕවාට තමා අයියේ.. ජය වේවා..

    ReplyDelete
  39. හොදම පින මලයා කරලා තියෙන දේ කියල හිතෙනවා.. අගය කරනවා මලයා උඹලගේ වැඩේ..

    ReplyDelete
  40. පින් කිරිල්ලයි,පින් කරන්න උදවු කිරිල්ලයි දෙකක්...
    ඒ අතින් උඹ නිවනට ගොඩක් කිට්ටු වුනා මචන්.උඹ මිනිස්සුන්ට ධාතු වදින්න කරපු උදවු නිසායි, පින් කරගන්න කරපු උදවු නිසායි,සංසාරෙ කවද හරි කිසි උත්සහයක් නැතුව නිවන අවබෝධ වෙයි පද හතරක් අහනකොට.
    බලන්න ආපු අයනම් පින් කෙසේ වෙතත් ගමකට පාප කර්ම කරගෙන හැඩයි.

    ReplyDelete
  41. අන්න උතුම්ම පිනක් කරලා.

    ReplyDelete
  42. ඇත්තටම හසිතලා කරපු වැඩේ ධාතු වන්දනා කලාට වඩා පිනක් .....!!!!

    මෙවැනි දෑ ඉදිරියටත් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා ...!!!

    ReplyDelete
  43. ප්‍රායෝගිකවම පිනක් කරගෙන තියනවා... උදව් ලබපු හැමෝගෙම හිත් වල ඒ දේවල් තියේවී...

    ReplyDelete
  44. ලොකු පින්කමක් කරගන්න අවස්ථාව ලැබිල..!සන්තෝසයි ඔබලා කරලා තියන සේවය ගැන..

    ReplyDelete
  45. ප්‍රථමාදාර කණ්ඩායසට එකතුවී එකගත්ත පිනම ඇති ධාතූන්වහන්සේලා වැඳගත්තටත් වඩා. සමහර අයට දවස් දෙකක් තිස්සේ ඉඳලත් ධාතූන්වහන්සේලා වැඳගන්න බැරි වූ අයත් හිටියා. කැලණිය නම් සංවිදානය අතින් සැළසුමක් තිබෙුණෙ නැහැ කියලයි බොහෝ දෙනෙක් කීවේ.

    ReplyDelete
  46. පින්වන්ත වැඩක්.. ඔබේ බ්ලොග් අඩවියෙන් වෙනස් ලිපියක් කියෙව්වේ අදයි....

    ReplyDelete
  47. මල්ලි ලොකු පින්කමක් කරගෙන . මානෙල්වත්ත පන්සල ඉස්සර ඔහේ කාලෙට වගේ තිබුනේ . දැන් සැහෙන වැදගත් පන්සලක් වෙලානේ . ගොඩක් විස්තර දැන ගත්ත . ස්තුතියි බොහොම

    ReplyDelete
  48. ම්ම්ම්ම් අයියා,,, පින් ගොඩයි නේ... ශික් අපි ඒ ලෙවල් කරද්දිනේ අපේ ඉස්කෝලේ ශාන්ත ජෝන් ප්‍රථමාධාර සේවේ පටන් ගත්තේ...නැත්නම් මාත් යනවා... :(

    ReplyDelete
  49. මම නම් නොගියෙම මගේ ශ්‍රද්ධාව ඔය පෝලිමකදී පිටාර ගලන්න ගන්න නිසා. ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක.
    හැබැයි අයියා නම් ලොකු පිනක් කර ගෙන..
    අලුත් වෙනසක්.. නියම පොස්ටුවක්..

    ReplyDelete
  50. ඔයිට හපන් වැඩ වාරියපොලදි වුනා. ඇත්තටම මේකෙදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට (වැඩිහිටියන්්ට) වෙනම පෝලිමක්් තිබුනනං බොහොම අගෙයි කියල මට හිතුනා.

    ReplyDelete
  51. මම සර්වඥ ධාතු ගැන පෝස්ට් කීපයක් කියෙව්වා පහුගිය ටිකේ. මේ සමහර විට ඒ ගැන ලියැවුනු හොඳම පෝස්ට් එක වෙන්න පුලුවන්. උඹලා එළ කොල්ලො කෙල්ලො සෙට් එකක් බව නම් නොකියා බෑ. උඹලා මේ කරගත්ත පිනම ඇති!

    හසිත් ඔය දරණාගම පාරෙ 234රෙ මමත් අනන්ත ගිහින් තියෙනවා, හුඟාක් ඉස්සර. ඔය ඉස්කෝලෙ නේද කරුණාරත්න අමරසිංහ කියන ගුවන් විදුලි නාට්‍ය ශිල්පියා ඉගැන්නුවෙ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  52. මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක.

    අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් පෝස්ට් එකේ වගේම මේකෙත් අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් එකතු කරන්න ප්‍රමාද වුණා. ඒත් පොතේ වැඩේ ඉවර වුණු ගමන් මට කරන්න තියෙන වැඩවලින් මුල්ම වැඩේ තමා posts දෙකටම උත්තර බඳින එක.

    ඒක නිසා එතෙක් ගැත්තාට අනුකම්පා කළ මැනවි.... :)

    ReplyDelete
  53. අදනේ අයියා මේක කියෙව්වේ. ඔයාල දවල්ට නොකෑව බව දන්නේ නෑනේ. මම හිතුව ආචාර්ය තුමාගේ කට්ටිය සංවිධානය කරපු නිසා කෑම හම්බෙලත් ඇති කියලා. ඕකට එදා දවසේ අවට මට නම් කිසිම පැහැදීමක් නෑ. මන් ඔයාට කිව්වනේ එදා ගොඩක් දේවල්. ජය

    ReplyDelete
  54. Would love to read about St.John's Ambulance Service,and your eperience there.

    ReplyDelete
  55. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
  56. මේකේ මම coments කියෙව්වා ඔක්කොම.
    දවසක් මෙහෙම කතාවක් අහන්න ලැබුණා.ධාතු ප්‍රදර්ශනයකට පව්ලක අම්මයි ළමයි ටිකයි යනවා.තාත්ත කියනවා අනේ ඔය ඇටකෑලි වලට වැඳලා මොනවා කරන්නද?.මෙන්න මෙහෙ ළමයි ටික එක්ක ගෙදරටවෙලා ඉන්න කියලා.එත් අම්ම ළමයි එක්ක ගිහින් ධාතු වැඳලා පින් රැස්කරගෙන එනවා.මෙයාලගේ මරණින් පස්සේ වෙන්නේ අම්මයි ළමයි ටිකයි දිව්‍යලෝකේ ඉපදෙනවා.තාත්තා පෙරේතයෙක් වෙනවා.
    මේක බුදුන්වහන්සේ දේශනා කරපු කතාවක්ද දන්නේ නෑ. මට අහන්න ලැබුනේ කපිලවස්තු ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය කරන දවස්වල ගියපු දොරමඩලාව වැඩසටහනකින්.
    ධාතු වඳින්න බැරිනම් පව් කරගන්නේ නැතුව කටවහගෙන ඉන්න එක තමා හොඳ....
    අයියත් ගොඩක් පින් රැස්කරගෙන ඉන්නේ....
    අයියටත් ලබන ආත්මේ දිව්‍යලෝකේ ඉපදිලා දිව්‍ය නංගිලා ටිකක් සෙට් කරගෙන සතුටින් කල් ගෙවන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................