Thursday, April 1, 2010

හැමෝම හරි


මගේ කලින් post එකට හා පැටික්කි comment කරලා තිබ්බ එකට මම කරපු comment එක නිසා මට තව ලස්සන කතාවක් මතක් වුණා. මේක ඉස්සර කාලේ ගමක වෙච්ච සිද්ධියක්. හැබැයි කට්ටිය මගෙන් අහන්න නම් එපා මේක ඇත්ත කතාවක් ද කියලා. මාත් මේක කියෙව්වේ පරණ සිව්දෙස සඟරාවක තිබිලා.

ඕන් කතාව. පුරාණ ගම ගත්තහම ඒකේ වැදගත්ම තැනක් හිමිවුණු ආයතනයක් තමා පන්සල කියන්නේ. ගමේ ආරච්චි වගේ කට්ටිය හිටියට ගමේ පාලනයට වක්‍රාකාරව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ දායක වෙලා තියෙනවා. ඉතින් ගමේ රණ්ඩු සරුවල් පවා විසඳන එක නායක හාමුදුරුවෝ කරලා තියෙනවා.
දැන් නම් ඒවාට අධිකරණ තිබ්බත් මූලික මට්ටමෙන් ක්‍රියාත්මක වන සමථ මණ්ඩලයේත් සාමාජිකයෙක් විදිහට ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ ක්‍රියා කරනවා.

ඉතින් ඉස්සර කාලේ ගමක ඉඩමක් සම්බන්ධව දෙන්නෙක් අතර ආරවුලක් ඇතිවෙලා තියෙනවා. අපි කියමුකෝ මේ දෙන්නට හේතුහාමි, වීමන්හාමි යි කියලා. ඉතින් මේ ආරවුල සමථයකට පත් කරගන්න හිතාගෙන හේතුහාමි උදේම පන්සලට ගිහින් නායක හාමුදුරුවන්ට විස්තරේ කිව්වා.
"නායක හාමුදුරුවනේ, පරම්පරා ගාණක් තිස්සේ මට උරුම වෙලා තිබ්බ ඉඩමට උරුමකම් කියාගෙන වීමන්හාමි එනවා. ඒක අපේ පරම්පරාවේ ඉඩම්නේ හාමුදුරුවනේ" කියලා.
මේක අහගෙන හිටපු නායක හාමුදුරුවෝ කිව්වා "තමුන්නැහැ හරි හේතුහාමි" කියලා. මේ වෙලාවේ පන්සලේ හිටපු පොඩි හාමුදුරුවන්ටත් පුදුමයි නායක හාමුදුරුවෝ අනිත් මනුස්සයාගෙනුත් කරුණු කාරණා අහන්නේවත් නැතුව හේතුහාමි හරියි කියපු එක ගැන.

එදාම හැන්දෑ ජාමේ පන්සලට ආවා වීමන්හාමි. එයත් නායක හාමුදුරුවෝ හම්බවෙලා විස්තරේ කිව්වා.
"නායක හාමුදුරුවනේ, ඔය හේතුහාමිගේ ඉඩම අපේ මුත්තා කෙනක් හේතුහාමිගේ මුත්තෙක්ට වැඩ කරන්න දීපු එකක්. දැන් හේතුහාමි ඒකට අයිතිවාසිකම් කියන්න එනවා" කියලා. මේකත් අහගෙන හිටපු නායක හාමුදුරුවෝ කිව්වා "තමුන්නැහැ හරි වීමන්හාමි" කියලා. මේ කතාවත් පොඩි හාමුදුරුවෝ අහගෙන හිටියා. ඉතින් දෙන්නම හරි වෙන්න විදිහක් නෑ නේ.

පොඩි හාමුදුරුවොත් අන්තිමට එදා රෑ සැතපෙන්න කලින් නායක හාමුදුරුවන්ට වඳින්න ගිය වෙලාවේ නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා "අවසර නායක හාමුදුරුවනේ, අද උදේ හේතුහාමි ඇවිත් අර ඉඩම් ප්‍රශ්නේ ගැන කරුණු කියපුවාම හාමුදුරුවෝ කිව්වා තමුන්නැහැ හරි කියලා. හැන්දෑවේ වීමන්හාමි ඇවිත් කරුණු කියපුවාමත් හාමුදුරුවෝ කිව්වා තමුන්නැහැ හරි කියලා ඉතින් නායක හාමුදුරුවනේ දෙන්නම හරි වෙන්න විදිහක් නෑ නේ කියලා.

අන්තිමට නායක හාමුදුරුවෝ කිව්වා "ඔය උන්නාන්සෙත් හරි" කියලා.

6 comments:

  1. හසිතත් හරි....

    /බිඟුවා...!

    ReplyDelete
  2. හි!හි! ජොලි කතාවක් නෙ!

    ReplyDelete
  3. හරි කතාවක්නෙ ඒක..හෙ හෙ‍ හෙ..

    ReplyDelete
  4. බිඟුවාත් හරි හසිත ජයෙත් හරි..... :) :) :)

    ReplyDelete
  5. Raven ව මිස් වුණා. එයත් හරි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................