දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝ
තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත්
සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ
සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්‍රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා.
ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට
වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු
පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගලයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක.
ඒක කාගේවත් අණ කිරීමක්වත් බල කිරීමක්වත් නැතුව සිදුවුණු දෙයක්. ඒ උදාර පුද්ගලයා මියගියත් තමන්ගේ උදව්වට සිටිනවා කියන මිනිස්සුන්ගේ විශ්වාසය නිසාමයි ඒ විදිහට දේවත්වයෙන් සැලකුවේ.
මේ විදිහට දේවත්වයට පත් කරපු රජවරු ගැන හොයලා බැලුවොත් වංස කතා සාහිත්‍ය අනුව දුටුගැමුණු, සිරි සඟබෝ, මහසෙන්, IV අග්බෝ වගේ රජවරුන් දක්වන්න පුලුවන්.
මින්නේරි දෙවියන්ගේ යෝධ නිර්මාණය වූ මින්නේරි වැව
හැබැයි මේ රජවරුන්ගෙන් සෘජුවම දෙවි කෙනෙක් විදිහට වන්දනාවට පාත්‍ර වුණේ මහසෙන් රජතුමා විතරයි. අද දක්වාම පොළොන්නරු ප්‍රදේශයේ මින්නේරි දෙවියන් නමින් වන්දනාවට මහසෙන් රජතුමා පාත්‍ර වෙන්නේ ඒ ප්‍රදේශයේ එතුමා ඉදි කරවපු වාරි කර්මාන්ත නිසා වන සේවාව නිසාමයි.
ඒ හැරෙන්න මේ දක්වපු ලේඛනයේ අනෙක් රජවරුන් වන්දනීය පුද්ගලයන් විදිහට සළකපු බව පේන්නේ ඒ රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්ථූප නිර්මාණය කරපු නිසා වගේම භෂ්මාවශේෂ ඖෂධ වශයෙන් පවා මිනිසුන් භාවිත කරපු බවට සාධක හමුවෙන නිසා.
දක්ඛිණ ථූපයෙන් සොයාගත් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ
දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා දක්ඛිණ ථූපය නිර්මාණය කරපු කතාවයි කියවන්න
මෙතනින් යන්න
මේ හැරෙන්න සාහිත්‍ය මූලාශ්‍රවලින් හමුවෙන රාවණා රජතුමා, එතුමාගේ සහෝදරයා වුණු විභීෂණ, සමනොළ කන්දට අධිපති සුමන සමන්, කතරගම ප්‍රදේශයට අධිපතියා වූ මහාසේන වැනි පාලකයන්වත් පසුකාලීනව දේවත්වයේලා ඒ ඒ ප්‍රදේශවල වගේම ලංකාව පුරාමත් දැකගන්න පුලුවන්.
රංවල දෙවියෝ
මේ විදිහට සංක්ෂිප්තව කරුණු කතා කළේ අද කතාවට ප්‍රවේශයක් ගන්න. අද කතාවෙන් කියන්නේ එකම පවුලේ සහෝදරවරු වගේම එයාලගේ පුතාලා වගේම මුණුබුරාලා පිරිසක් දේවත්වයට පත්වුණු හැටි.
ශිව, පාර්වතී, ගනේෂ, ස්කන්ධ දේව පවුල
මම විශ්වාස කරන විදිහට සැබවින්ම ජීවත්වුණු එකම පවුලක පිරිසක් මේ විදිහට දේවත්වයට පත්වෙලා තියෙන එකම අවස්ථාව මේක වෙන්න ඕනේ. [හින්දු දේව පුරාණයේත් පවුලක් විදිහට දෙවිවරුන්ගේ ඥාති සබඳතා ගැන කතා කළත් ඔවුන් ආරම්භයේදී ඉදලාම දෙවිවරුන් විදිහටනේ හිටියේ]
කෝට්ටේ යුගයේ ලංකාව පාලනය කරපු VIII වීර පරාක්‍රමබාහු කියන රජතුමා ගැන ඔයාලා අහලා ඇතිනේ. අවසන් වරට ලංකාව එක්සත් කරපු රජතුමා වුණු VI පරාක්‍රමබාහු රජතුමාගේ පුතෙක් තමා මේ රජතුමා.
ඒ වගේමයි මේ රජතුමා යාපනය කෝට්ටේ පාලනයට යටත් කළ සපුමල් කුමාරයාගේ සහෝදරයෙක්. කෝට්ටේ පාලනයට කන්ද උඩරට යටත් කරලා අම්බුලුගල ප්‍රදේශයේ තමන්ගේ පාලනය ගෙනගිය නිසා මේ කුමාරයාව මුලින් හැඳින්වුණේ අම්බුලුගල කුමාරයා කියලා.
කොහොම නමුත් තවත් මතයක් තමා සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයාගේ පරාක්‍රමබාහු රජතුමාගේ දරුවන් නෙමෙයි හදාගත්තු දරුවන් කියලා. කොහොමින් කොහොම හරි VI පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් රජතුමා වුණේ එතුමාගේ දියණිය වුණු උලකුඩය දේවියගේ පුත්‍රයා වුණු ජයබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා ජයබාහුව මරලා VI බුවනෙකබාහු නමින් රජවුණා.
එයාගේ ඇවෑමෙන් රජවුනේ පුත්‍රයා වුණු VII පණ්ඩිත පරාක්‍රමබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා එහෙමත් නැත්නම් බුවනෙකබාහුගේ සහෝදරයා වුණු අම්බුලුගල කුමාරයා VII පණ්ඩිත පරාක්‍රමබාහුව මරලා VIII වීර පරාක්‍රමබාහු නමින් රජවෙනවා.
මේ VIII වීර පරාක්‍රමබාහු එහෙමත් නැත්නම් අම්බුලුගල කුමාරයට බිසෝවරුන් දෙදෙනෙක් ඉන්නවා. මේ බිසෝවරුන් දෙන්නා සහෝදරියන්. අග බිසවට දාව ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු කියලා දරුවෝ තුන් දෙනෙකුත් අනෙක් බිසවට දාව සකලකලා වල්ලභ සහ තනිය වල්ලභ කියලා දරුවෝ දෙන්නෙකුත් හිටියා. ඒ හැරෙන්න රජතුමාට දියණියකුත් සිටි බව කියවෙනවා.
රජතුමා තමන්ගේ දරුවන්ට පාලනය කරන්න කෝට්ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ භාරදීපු බව කියවෙනවා. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු පියරජතුමා වෙනුවෙන් අගනුවරත් විජයබාහු රයිගමත් ශ්‍රී රාජසිංහ මැණික්කඩවරත් සකලකලා වල්ලභ උඩුගම්පොළත් තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයේත් පාලනය ගෙනියනවා.
පිය රජතුමාගේ ඇවෑමෙන් ධර්ම පරාක්‍රමබාහු කුමාරයා IX ධර්ම පරාක්‍රමබාහු නමින් රජවෙනවා. හැබැයි ඒක එහෙම නොවුණා කියලාත් ප්‍රබල විරෝධයක් තියෙනවා. කොහොම නමුත් මේ සහෝදර රජවරු පස් කට්ටුව බොහොම සමඟියෙන් පාලනය අරගෙන ගිය බව කියවෙනවා.
විශේෂයෙන් ලංකාවට පෘතුගීසීන් පැමිණියාට පස්සේ ඔවුන් සමඟ සබඳතා පවත්වද්දී වගේම ගිවිසුම්වලට එළඹෙද්දී සහෝදර රජුන් පස් කට්ටුව එකා මෙන් කටයුතු කරපු බව දැක්වෙනවා.
විශේෂම කරුණක් දැක්වුවහොත් ධර්ම පරාක්‍රමබාහු ඇවෑමෙන් ඒ වෙද්දී හිටිය වැඩිමහල්ම කුමාරයා වුණු සකලකලා වල්ලභගෙන් සිහසුන් භාරගන්න කියලා ඉල්ලීමක් කරපු අවස්ථාවේ ඒක ප්‍රතික්ෂේප කරලා සිහසුන විජයබාහු කුමාරයට භාර කරන්නත් සකලකලා වල්ලභ ක්‍රියා කරනවා. තමන් අග බිසවගේ පුත්‍රයා නොවුණු නිසා ඉදිරියේදී රාජ්‍යයේ වියවුල් සහගත තත්වයක් ඇතිවෙයි කියලා එතුමා දූර්දර්ශීව ක්‍රියා කරපු බව පේනවා.
අපේ අද කතාවට සම්බන්ධ වෙන්නේ මේ සකලකලා වල්ලභ කුමාරයාත්, තනිය වල්ලභ කුමාරයාත් ඔවුන්ගේ දරුවනුත් තමා.
ධර්ම පරාක්‍රමබාහු සමයේ හලාවත ප්‍රදේශයට ගොඩ බැහැපු කයාල් පටුනෙන් ආපු අදිරාස රායන් කියන මුදලි සහ මුස්ලිමරුන් පිරිස රජතුමාගේ මුතුපරවල මුතු ලබාගන්නත් අලි ඇතුන් අල්ලන්නත් පටන් ගත්තා. ඒක වළක්වන්න රජතුමාගේ අණින් උඩුගම්පොළ හිටිය සකලකලා වල්ලභ තමගේ සහෝදර මාදම්පේ පාලකය වුණු තනිය වල්ලභත් එක්ක පිටත් වුණා.
අශ්වයෙක් පිට නැගුණු සකලකලා වල්ලභ සහ ඇතෙක් පිට නැගුණු තනිය වල්ලභ සේනාව මෙහෙයවලා අදිරාස රායන් ඇතුළු මුස්ලිම්වරුන්ව මරා දමනවා. ඒ ජයග්‍රහණය රාජාවලිය දක්වන්නේ "ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැඳ ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන..." ආදී වශයෙන්.
මේ කාලයේදීම උඩරට හිටිය සාමන්ත පාලකයා වාර්ෂික දැකුම් ගෙවන්නේ නැතුව ඔටුන්නක් තනාගෙන ස්වාධීන පාලකයෙන් වෙන්න යන ආරංචිය ලැබුණු නිසා මැණික්කඩවර හිටිය ශ්‍රී රාජසිංහ කුමාරයා ඒ තත්වය සමනය කරවලා නැවත වරක් උඩරට ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ යටතට පත් කරවනවා.
ඒත් ටික කාලකින්ම නැවත වරක් උඩරට කැරලි සහගත තත්වයක් ඇතිවෙන නිසා ඒක මර්දනය කරන්න පිටත් වෙන්නේ උඩුගම්පොළ සකලකලා වල්ලභ. කැරලිකරුවන් මර්දනය කරපු සකලකලා වල්ලභ කුමාරයා නැවතත් කෝට්ටේ බලය ඒ ප්‍රදේශවල පතුරවනවා.
මේ විදිහට දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකරන්න වගේම ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරන්නත් සකලකලා වල්ලභගෙන් ලොකු සේවයක් වූ බව පෙනෙනවා.
මුතුරාජවෙල වර්තමානයේදි
අත්තනගලු ඔයේ අතු ගංගාවක් වෙන කුඩා ඔය මිනුවන්ගොඩ වැගොව්ව ප්‍රදේශයේදි විශාල වේල්ලක් බැඳීමෙන් හරස් කරලා කෘෂිකර්මයට ජලය ලබාදෙන්න සකලකලා වල්ලභයන් කටයුතු කළා වගේම මුතුරාජවෙල සංවර්ධනය කරලා ඒ රාජකීය වෙල් යායෙන් විශාල අස්වැන්නක් ලබාගන්නත් කටයුතු කරපු බව කියවෙනවා.
ඒ හැරෙන්න උඩුගම්පොළ රාජධානියට අයත් වෙලා තිබුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කරලා තියෙනවා.
සකලකලා වල්ලභයන් ස්නානය කළ පොකුණ තිබූ තැන වර්තමානයේදී
මේ ආකාරයෙන් රටවැසියා වෙනුවෙන් ඉමහත් සේවයක් කරපු සකලකලා වල්ලභයන්ව මරන්න කුමන්ත්‍රණයක් එතුමාගේම පුතුන් සත් දෙනා විසින් දියත් කරනවා. ඒ අනුව සකලකලා වල්ලභයන් ස්නානය සඳහා භාවිතා කරන පොකුණේ උල් සිටුවලා තියෙනවා පොකුණට බැස්සාම ඇනිලා මියයන විදිහට.
ඒත් පොකුණේ වතුරේ කළු බඹරෙක් ඉන්න ආකාරය දැකලා හොයලා බලද්දී මේ කුමන්ත්‍රණය හෙළිකරගන්න පුලුවන් වෙනවා. පුත්තු 7 දෙනා මරාදමන්න පියා තීරණය කලත් මවගේ උදව්වෙන් කුමාරවරු 7 දෙනා මාළිගාවෙන් පැනලා ගිහින් අලගල ප්‍රදේශයේ තිබෙන මහකන්ද ප්‍රදේශයේ සැඟවිලා ජීවත් වෙනවා.
මේ කුමාරවරුන් 7 දෙනාගෙන් එක් කෙනෙක් තමන්ට පුද සත්කාර කරන ජනතාවට පිහිට වෙනවා කියලා හිතාගෙන පර්වතයකින් පැනලා සියදිවි නසා ගන්නවා. පස්සේ ඒ කුමාරයා "කළු කුමාර දේවතා බණ්ඩාර " නමින් ප්‍රසිද්ධ වෙනවා.
තවමත් ඒ ප්‍රදේශවල වී අස්වනු කපාගෙන ඒවා ගෙවල්වලට ගන්න කලින් කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න කියලා කළු කුමාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්න කටයුතු කරනවා.
මේ තියෙන්නේ ඒ කියනවාය කියන කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න
"අවසර පස්වාන් දහසකට තිරහත් කාලයක් කප්පන් තිරයක් අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළු කුමාර දේවතා බණ්ඩාර දේවයන් වහන්ස, ඔබ වහන්සේ සකලකලා වල්ලකබාහු රජ්ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්ත නම් පියරජ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සළු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත් ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කේර්තියක් පාගෙන ඊරිය ගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මළුවේ තිබුණු තල්ගස් දෙක එකට ලණු අඹරවාපු තෙද කේර්තියක් පාගෙන අඩුක්කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළුකුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්ෂ උපද්‍රවල් දුරු කරවලා ආයෙත් එන අවුරුද්දේ අඟුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක්ෂ දෝෂයක් දේවදෝෂයක් පේන්ඩ ඉඩක් තියන්නේ නැතිව සකල ශරීර පංචස්කන්ධවල් දේවාරක්ෂාව බන්දවා දෙන්ඩ කළු කුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝ වේවා......"
කුමාරවාරුන් 7 දෙනාගෙන් බාලම කුමාරයා මේ සිද්ධි වෙද්දී බොහොම ලාබාල වයසේ තමා ඉදලා තියෙන්නේ ඒක නිසා ඒ කුමාරයාව හඳුන්වලා තියෙන්නේ "කිරි බොන ඈපාණෝ" කියලා. තරුණ වයසට ආපු මේ කුමාරයා මහකන්ද අසළ වුණු ගමකින් තරුණියක් සරණ පාවා ගන්න ගියත් ඒ තරුණියගේ දෙමාපියෝ මේ තරුණයා කාගේ කවුද කියලාවත් තොරතුරු දන්නේ නැති නිසා ඒ විවාහයට කැමති වෙන්නේ නැහැ.
ඒ නිසා තමන් තරුණියට අරගෙන ආපු මාලය ඒ ගෙදර දොරේ එල්ලලා කුමාරයා ආපහු යන්න යනවා. ඒ සිද්ධියත් එක්ක දුන්නුමාලේ නමින් ඒ ගම හැඳින්වෙනවා. පස්සේ කාලේ ඒ ගමේ නම "දුනුමාලේ" බවට පත්වෙනවා.
මේ සිදුවීමෙන් පස්සේ ඉදන් ගමේ හරක් නැතිවෙන්න පටන් ගන්නවා. රාත්‍රියට අත්භූත හඬකින් ගමේ මිනිස්සුන්ට කියනවා නැතිවුණු හරක් හොයාගන්න නම් කිසියම් ස්ථානයක වුණු විශාල ගහක් මුල බත් මුට්ටියක් ගෙනත් තියන්න කියලා. බත් මුට්ටිය ගෙනත් තිබ්බාම පහුවදාම නැතිවුණු හරකා ලැබෙනවා.
මේ වැඩේ කළා කියන්නේ අර "කිරි බොන ඈපාණෝ" කියන කුමාරයාමලු. පස්සේ තමන්ගේ හිත ගත්තු තරුණියව ලබාගන්න හිතපු කුමාරයා දුනුමාලේ ගමෙන් ළමයෙක් පැහැර ගෙන ඇවිල්ලා එදා රෑ ගමේ මිනිස්සුන්ට අවතාරයක් වගේ ඇවිත් කිව්වලු නැතිවුණු ළමයා ඕනේ නම් තරුණියගේ නම කියලා එයා අතේ බත් මුට්ටියක් කැලෑවට එවන්න කියලා.
අන්තිමට නැතිවුණු ළමයාත් ලැබෙනවාලු. කොහොමින් කොහොම හරි මේ කුමාරයාගේ සෙල්ලම නිසා මිනිස්සු මේ බොරුව ඇත්තක් කියලාම හිතලා "දුනුමාලේ දේවතා බණ්ඩාර" නමින් හඳුන්වලා ඒ දෙවියන්වත් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම නමුත් මේ දුනුමාලේ දේව වන්දනාව ආරම්භ වුණු වෙනත් ආකාරයක් ගැනත් කතාවකුත් තියෙනවා.
පුත් කුමාරවරුන් මේ විදිහට දේවත්වයට පත් වෙද්දී එයාලගේ තාත්තා වුණු සකලකලා වල්ලභ දේවත්වයට පත්වුණු හැටිත් කියන්නම්.
කලින් කිව්ව විදිහට සකලකලා වල්ලභයක් කරපු විශාලම වාරි නිර්මාණය වුණු අත්තනගලු ඔයේ අතු ගංගාවක් වුණු කුඩා ඔය හරස් කරලා බැන්ද වේල්ල හඳුන්වලා තියෙන්නේ "අස්වානේ වේල්ල" කියලා.
ඉතින් මේ වේල්ල කාලයක් ගත වෙද්දී කීප වරක්ම අබලන් වෙලා තියෙනවා. සකලකලා වල්ලභයක් ලොකු වෙහෙසක් අරගෙන තියෙනවා මේ වේල්ල පිළිසකර කරන්න. අවසන් වතාවේ ඒක අසාර්ථක වීමත් එක්කම වේල්ල කඩාගෙන යනවා දැකපු සකලකලා වල්ලභ කම්පාවට පත්වෙලා ඒ වතුර පාරට පැනලා සිය දිවි නසා ගන්නවා. ඒක දැකපු එතුමාගේ බිසෝවරුත් ඒ වතුර පාරටම පැනලා මියයනවා.
ඉතින් සකලකලා වල්ලභයන්ගේ මරණෙන් පස්සේ මිනිස්සු "අස්වානේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේමයි තවත් ජනප්‍රවාදයක් තමා සකලකලා වල්ලභයක් සමඟම මියගිය බිසෝවරු සත්දෙනාව තමා දුනුමාලේ බිසෝ බණ්ඩාර සත් දේවතා කට්ටුව නමින් වන්දනා කරන්නේ කියලා.
කොහොම නමුත් තවමත් ඒ ප්‍රදේශයේ පූජනීය ස්ථානවල කරන ආගමික කටයුතු අවසානයේදි ඒ ප්‍රදේශයට අධිපතිව වැඩ වාසය කරන "අස්වානේ" දෙවියන්ට පිං පැමිණවීමට ඒ ප්‍රදේශයේ ජනතාවගේ සිරිතක්.
මේ අතරේ සකලකලා වල්ලභයන්ගේ සහෝදරයා වුණු තනිය වල්ලභත් කලින් දක්වපු විදිහට රාජ්‍යයේ දේශපාලනික ස්ථාවරත්වයට ලොකු වැඩ කොටසක් කළා වගේම ආර්ථික ස්ථාවරත්වයටත් වැඩ කටයුතු කරලා තියෙනවා.
මහවැව
තමන්ගේ පාලන ප්‍රදේශය වුණු මාදම්පේ ප්‍රදේශයේ වාරි කර්මාන්ත කීපයක්ම කරවලා කෘෂි කර්මයට අවශ්‍ය ජලය ලබාදෙන්න තනිය වල්ලභයනුත් කටයුතු කරලා තියෙනවා. ඉන් ප්‍රධාන වාරි කර්මාන්තයක් වෙන්නේ "මහවැව" යි.
ඉතින් තනිය වල්ලභයනුත් මරණයෙන් පස්සේ ජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිටේ නැඟිලා සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිලා වේගයෙන් තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම වෙන්නේ.
තනිවැල්ලේ දෙවියන්ගේ අශ්වයා
මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කරලා තිබෙන දේවාලය තමා මේ තනිවැල්ලේ දෙවියන්ගේ දේවාලය වෙන්නේ. කෝට්ටේ යුගයේ පටන් තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දී.
ඒ කෙසේ නමුත් දේවාලයේ පෞරාණිකත්වය පෙන්වන වසර 250 ක් පමණ පැරණි බෝධි වෘක්ෂයකුත් දේවාල භූමියේ දක්නට ලැබෙනවා.
තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේත් එතුමාගේම මුණුබුරා අතින්. තනිය වල්ලභයන්ට හිටියේ දියණියක්. ඇය විවාහ වුණේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්.
අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේත් කලින් කිව්වා වගේ තමන්ගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතින්.
වීදිය බණ්ඩාර කියන්නේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක්. කෝට්ටේ බුවනෙකබාහු රජතුමාගේ දියණිය වුණු සමුද්‍රදේවි විවාහ කරගත්තු වීදිය බණ්ඩාර කෝට්ටේ රජ වාසලේ ප්‍රබල තනතුරු පවා දැරුවා. කෝට්ටේ රාජධානියේ අවසන් රජතුමා වුණු ධර්මපාල රජතුමා මේ දෙපළගේ දරුවෙක්.
සමුද්‍රදේවිගේ වියෝවෙන් පස්සේ වීදිය බණ්ඩාර සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණියක් වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ව විවාහ කරගන්නවා.
කෝට්ටේ රාජධානිය සමඟත් සීතාවක රාජධානිය සමඟත් අවසානයේදී ගැටුම් ඇතිකරගත්තු වීදිය බණ්ඩාර දැඩි පෘතුගීසි විරෝධියෙකුත් වුණා. තමන්ගේ සටන්වලට සහය ලබාගන්න යාපනයට පිටත් වුණු වීදිය බණ්ඩාර යාපනයේ රජතුමා සමඟ යුධ ආධාර ලබාගන්න ගිවිසුමකට එළඹුණා.
පස්සේ වීදිය බණ්ඩාරගේ පැමිණීම නිමිත්තෙන් නල්ලූර් කෝවිලේ පැවැත්වුණු උත්සවයකදී අත් වැරැද්දකින් යාපන සෙබළෙක්ගේ ගිනි අවියක් පත්තු වුණා. කුමන්ත්‍රණයක් දෝ කියලා සැක හිතුව වීදිය බණ්ඩාර කඩුව අතට අරගෙන සටන් කරන්න පටන් ගත්තා. කොහොම නමුත් අවසානයේදී වීදිය බණ්ඩාරවත් ඔහුගේ අනික් පුත්‍රයා වුණු විජයපාලත් මරා දමන්න යාපන සෙබලුන්ට හැකිවුණා.
නල්ලූර් කෝවිල
වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි
"වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.
වීදිය බණ්ඩාරගේ දෙවෙනි විවාහය වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ගේ සොහොයුරෙක් වුණු ඒ වගේම සීතාවක මායාදුන්නේ රජතුමාගේ ශූර වීර පුත්‍රයා වුණු සීතාවක රාජසිංහ රජතුමා ගැනත් අපි හැමෝම හොඳින් අසා තිබෙනවා.
Arts Degeree එකක් කළ මුල්ම සහ අවසන් රජතුමා සටහනෙන් කිව්වා වගේම 1592 මාර්තු මාසයේදී සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යය පුරා ඇතිවෙන්නේ වියවුල් සහගත තත්වයක්. කෙසේ නමුත් ඒ රජතුමාවත්
"ගනේගොඩ දෙවියන්" නමින් දේවත්වයට පත් කරන්න ජනතාව කටයුතු කරපු බව පෙනෙනවා.
සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන
හාපිටිගම කෝරළයේ ගනේගොඩ දේවාලය සීතාවක රාජසිංහ රජතුමා ඉදිකළ දේවාලයක් වන අතර පසුව එතුමා දේවත්වයට පත් කළ පසුව වැඩ වාසය කරන්නේ එම දේවාලයේ යැයි ජනතාව විශ්වාස කර ඇති බව පේනවා.
මේ දෙවිවරුන්ගේ නෑකම් පැටලෙනවා නම් මේ ඡායාරූපය උඩ click කරලා බලන්න
මේ සහෝදර දරු මුණුබුරන්ගෙන් පසුව දේවත්වයට පත්වුණු පාලකයන් ගැන නම් සඳහනක් නැහැ. ඒත් කලින් කතාවකත් කිව්වා වගේ 1818 කැරැල්ලේ නායකයා වුණු කැප්පෙටිපොළ මහ දිසාවේතුමාව හිස ගසා මරා දැමීමෙන් පස්සේ
උඩ දුම්බර බිම්බියේ මොනරවිල අලුත් දෙවියෝ නමින් දේවත්වයට පත් කරපු බව පේනවා.
ඊට පස්සේත් හුඟක් පාලකයෝ දෙවිවරු වෙන්න උත්සහ කළා. තවමත් ඒකේ නම් අඩුවක් පේන්න නැහැ :D
සටහන ලියන්න පාදක කරගත්තේ දිවයින පුවත්පතේ පළවුණු පෘතුගීසීන්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය, ලංකාදීප පුවත්පතේ පළවුණු උඩුගම්පොළ රජුගේ හද දිනූ සම්බාගම, Daily News හි පළවුණු Sacred Festival at Thaniwella Devala කියන ලිපි වගේම රාජාවලිය, අලකේශ්වර සහ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය කියන පොත් කීපයයි.
ප.ලි.: මේ ලිපිය ලියවෙන්නේ කවදාදැයි උනන්දුවෙන් සොයා බැලුව
හරී අයියාටත් ස්තුතියි :)