මේ දවස්වල උදේ ඉදන් හවස් වෙනකම් TV එකේ Radio එකේ වගේම පත්තරවලිනුත් මිනිස්සුන්ට කට පාඩම් වෙන තරමටම දානවා.
මුලින්ම මම කතා කරන්න යන්නේ මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ කියලා. මොකද මට කීප දෙනෙක්වම හම්බුණා සම්බුද්ධ ජයන්තියයි සම්බුද්ධත්ව ජයන්තියයි දෙකම එකක් කියලා හිතන.
මුලින්ම සම්බුද්ධ ජයන්තිය ගැන කතා කළොත් මේ 2555 වෙනි සම්බුද්ධ ජයන්තිය එහෙමත් නැත්නම් ශ්‍රී බුද්ධ වර්ෂ 2555. මේ 2555 ගණන් ගැනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේ ඉදන්. ඒ කියන්නේ තවත් තේරෙන විදිහට කිව්වොත් මේ වෙසක් පෝයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2555 වෙනවා.
එතකොට මොකක්ද මේ සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ. මේ වසරේ සමරන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය. මේ 2600 ගණන් ගැනෙන්නේ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයේ ඉදන්. මේ වෙද්දී බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600 ක් වෙනවා.
එතකොට මේ වෙන්නේ සංඛ්‍යා ගුණාකාරයක් පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේව සිහිපත් කිරීමක්. ඒත් මේ කාර්යය කොච්චර ඵලදායකද වැඩදායකද කියන එක මට ලොකු ගැටළුවක්. විශේෂයෙන්ම බෞද්ධයෝ විදිහට අපි හුඟාක් වෙලාවට බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නේ, ඒ වගේම කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරවලට වඩා හාත්පසින්ම වෙනස් විදිවලට. ඒ කරුණු එකින් එක විමසලා බලමු.
බුදුරජාණන් වහන්සේ කියන්නේ නිශ්ශබ්දතාවය අතිශයින්ම අගය කරපු උත්තරීතර ශාස්තෲවරයෙක්. ඒ වගේම උන් වහන්සේගේ මග අනුගමනය කළ ඒ කාලේ වැඩ සිටිය ශ්‍රාවකයන් වහන්සේලා නිහඬතාවය අගය කරපු හැටි ඒ අනුව කටයුතු කරපු හැටි ගැන ඕන තරම් උදාහරණ තියෙනවා.
උදාහරණයක් විදිහට බුදුරදුන්ගේ අග්‍ර උපස්ථායක විදිහට කටයුතු කරපු ආනන්ද තෙරණුවන් තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ක දේවකටසොබ්භ ස්ථානයට වැඩම කරපු වෙලාවේ එතැන සිටිය සන්දක කියන පිරිවැජියා තමන්ගේ පිරිසට මෙහෙම කිව්වාලු
"
කෑ ගහන්න එපා, ශබ්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයකු වූ ආනන්ද තෙරණුවන් එනවා. ඒ තෙරවරු නිහඬ බව, ශාන්ත බව ප්‍රිය කරනවා. ඒ නිසා හැම කෙනෙක්ම නිශ්ශබ්දව ශාන්තව සිටිය යුතුයි" කියලා.
ඒ වගේම බුදුරදුන් ඇතුළු මහා සංඝ රත්නයේ උපශාන්තව බව, ඉඳුරන් දමනය ගැන පැහැදුණු ඛෙණිය කියන ප්‍රසිද්ධ ජටිලයා බුදුපාමොක් මහ සඟනට දන් පිරි නැමුවා කියලා සුත්ත සේල නිපාත සූත්‍රයේ දැක්වෙනවා.
ඉතින් ඒ විදිහට නිශ්ශබ්දතාවය ප්‍රිය කරපු ශාස්තෲවරයාව සිහිපත් කරලා අපි කරන වෙසක් සැමරීම්වලදී අපි කරන්නේ විශාල ඝෝෂාවක්. දන්සලක් හරි පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් එතන තියෙන්නේම මහා ඝෝෂාවක් නේද ????
ඒ වගේම බුදු හාමුදුරුවෝ තරම් පරිසර හිතකාමී විදිහට කටයුතු කරපු වෙන ශාස්තෲවරයෙක් නැතුව ඇති. බුදු සිරිතේ ප්‍රධාන සිදුවීම් වෙන ඉපදීම, බුදුවීම, මංගල දම් දෙසුම පැවැත්වීම, පිරිනිවන් පෑම වගේ සිදුවීම් සිදුවුණේ උයන්වල එහෙමත් නැතිනම් ගස් කොළන් පිරිලා තිබුණු වටපිටාවක.
ඒ වගේම උන් වහන්සේ වාසය කළෙත් වේළුවනාරාමය, ජේතවනාරාමය වගේ උයන්වල පිහිටවලා තිබුණු ආරාමවල. තම්න්ගේ දේශනාවල උපමාවලටත් උන් වහන්සේ පරිසරය හුඟාක් වෙලාවට යොදා ගත්තා.
ඒත් වර්තමානයේ උන් වහන්සේ සිහිපත් කරලා කරන යම් යම් කටයුතුවලින් වෙන පාරිසරික විනාශය ගැන ඇත්තටම මට කණගාටුයි. තොරණ් ඉදිකරන්නම කොච්චර නම් පුවක් ගස් කපලා දානවා ඇද්ද ??? වෙසක් කාලයක් ඉවර වුණාට පස්සේ කොච්චර නම් කුණු කසළ ගොඩක් පරිසරයට එක් වෙනවද ???
දන්සල් හරි තොරණ් හරි පහන් කූඩුවක් තියෙන තැනක් හරි ගත්තොත් හුඟාක් වෙලාවට වෙන්නේ මහා විශාල ඝෝෂාවක් එතන ඇති කරන එක. ඒ වගේම අන්තිමට හොඳ මත්පැන් ජාතියකින් සප්පායම් වෙන එක. දන්සල් වගේ ඒවායේ නම් ගැටුම් ඇතිවෙන්නත් ඒක මුල් වෙනවා.
දන්සල්වල වෙන තව දෙයක් තමා දන්සල කරලා ඉවර වෙලා හොඳ බයිලා සිංදු ටික දාගෙන පැත්තම දෙවනත් වෙන්න dance කරන එක. එහෙම බලද්දී දන්සලෙන් වෙලා තියෙන්නේ හුඟාක්ම ආතල් ගැනිල්ලක් තමා.
ඒ වගේම පහන් කූඩුවක් හරි තොරණක් හරි ගත්තොත් ඒකෙන් ජාතක කථාවක් හරි බුදුරදුන් සම්බන්ධ වෙනත් කතාවක් ගැන කියවුණත් හුඟාක් දෙනා ඒවා බලනවාට වඩා අහනවාට වඩා වෙන අරමුණුවලට තමා මේවාට එන්නේ. තේරෙන්නම කිව්වොත් තොරණ කතා වස්තුව බලනවාට වඩා තොරණ බලන්න එන වස්තු බලන්න තමා හුඟාක් අය යන්නේ......
මේ වගේ අවස්ථාවලදී තවත් පිරිසක් කරන්නේ සිල් සමාදන් වෙන එක. වෙසක්, පොසොන් වගේ විශේෂ පෝයක් හරි සම්බුද්ධත්ව ජයන්තිය වගේ එකක් මුල් කරගෙන මෙහෙම සිල් ගත්තත් ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබෙනවාද කියන එක සැකයි.
එක් දිනයකට විතරක් මේ විදිහට සිල් සමාදන් වෙලා අනිත් දවස්වල සුපුරුදු විදිහට කටයුතු කරනවා කියන්නේ
අවුරුද්දේ එක දවසක් විතරක් නාලා අනිත් දවස් ටිකේ මඩේ ඉන්නවා වගේ වැඩක් ඒක තව පැත්තකින් අගය කිරීමක් කරන්නේ එක දවසකට හරි එහෙම කරන්න පුලුවන් වුණානේ කීයලා. අනේ මන්දා ඒක නම්................
පන්සලේ ධර්ම ශාලාවේ බොහෝ දෙනෙක් එක්ක හිරවෙලා පොඩිවෙලා සමාදන් වෙන ආරක්ෂා කරන අෂ්ඨාංග සීලයක් ගැනත් හිතන්න නම් අමාරුයි.
මේ වගේ ඒවා දැක්කම මට හිතෙන්නේ සිල් ගන්න එකත් දැන් trend එකක් එහෙමත් නැත්නම් විලාසිතාවක් වෙලාදෝ කියලා
හුඟාක් පන්සල්වලින් වුණත් සිද්ධ වෙන්නේ මිනිස් සිත් නිවාලන වැඩ නෙමෙයි. අනිත් පන්සලට වඩා හොඳ තමන්ගේ පන්සලේ වෙසක් පින්කම් කරන්න ඕනේ. වැඩි වැඩියෙන් පන්සල අලංකාර කරන්න ඕනේ, වැඩි වැඩියෙන් කොඩි දාන්න ඕනේ, මිනිස්සු වැඩියෙන් පන්සලට ගෙන්න ගන්න ඕනේ වගේ වැඩ.
වෙළෙන්දෝ වුණත් වෙසක් පොසොන් කියන්නේ තමන්ගේ ආදායම් මාර්ග තර කරගන්න හොඳ ඉල්ලමක් කියලා හිතලා වෙසක් කූඩු, වෙසක් කාඩ්, ආදිය විකුණලා හොඳ ගාණක් හම්බ කරගන්නවා. රූපවාහිනි, රේඩියෝ ආයතනවල අයත් වෙළෙඳ දැන්වීම් ආදියෙන් උත්සාහ කරන්නෙත් ගාණක් උපයගන්න. ඒක නිසයි මට හිතුණේ වෙසක් පෝයත් වාණිජකරණය වෙලා කියලා.
මේ විදිහට කටයුතු කරලා වෙසක් පොහොය එහෙමත් නැත්නම් මේ වසරේ තියෙන 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය ඉවර වුණාට පස්සේ අපි ඇත්තටම මොකද කළේ කියලා හිතලා බලන්න වෙනවා.
2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියන වාක්‍යයේ
පිළිවෙතින් කියන කොටස ඇරෙන්න අනික් ටික වෙලා තියෙනවා කියලා හිතේවි. පහන් කූඩු හදන්න, තොරණ් හදන්න, දන්සල් දෙන්න පෙළ ගැසිලා හිටියත් පිළිවෙතින් පෙළ ගැසීමක් වුනාද කියන එක තම තමන්ගේ හදවතට තට්ටු කරලා අහන්න.
කලින් දක්වපු විදිහට කරන ආමිෂ පූජා බුදු හාමුදුරුවෝ බැහැර කළේ නැහැ. ඒත් උන් වහන්සේ වැඩියෙන්ම අගය කළේ ප්‍රතිපත්ති පූජාව. ඒ කොහොම වුණත් ආමිෂ පූජාවකින් වුණත් අපේක්ෂා කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තුනුරුවනේ ගුණ සිහිපත් කරලා කටයුතු කරන එක.
ඒත් මේ දවස්වල වෙන පහන් කූඩු, තොරණ්, දන්සල් වගේ කටයුතු වෙන්නේ ඒ ගුණයන්ට උපහාර විදිහට ඒත් නැත්නම් වෙන අරමුණුවලටද කියන එක විමසලා බලන්න ඕන දෙයක්
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා උපවත්තන සල් උයනේ සකස් කරපු යහනක සැතපිලා ඉදිද්දී බොහෝ දෙනා මල් සුවඳ දුම් ආදියෙන් උන් වහන්සේට පූජා පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ධම්මාරාම කියන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් රහත්වීමේ අපේක්ෂාවෙන් භාවනා කරන්න පටන්න ගත්තා.
ඒ බව බුදුරදුන්ට දැනුම් දුන්නාම උන් වහන්සේ වදාළේ නොයෙක් නොයෙක් ආමිෂ පූජාවන්වලින් තමන් වහන්සේ පුදනවාට වඩා ධම්මාරාම භික්ෂුව සිදු කරන ප්‍රතිපත්ති පූජාවෙන් තමා පිදීම වඩා උතුම් කියලා.
බුදුරදුන් වදාළ තවත් ප්‍රසිද්ධ කරුණක් වෙන්නේ
"යෝ ධම්ම පස්සති - වො මං පස්සති....." ආදී ලෙස දක්වපු ධර්මය දකින්නා බුදුන් දකී, බුදුන් දකින්නා ධර්මය දකී ප්‍රකාශය තවත් සැළකිල්ලට ගත යුත්තක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අනුව කටයුතු කරන එක තමා පිළිවෙතින් පෙළ ගැසීමට අදාළ වෙන්නේ.
අවම වශයෙන් මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් පංචශීලය ආරක්ෂා කරන්න පටන් ගන්නවා නම් පිළිවෙතින් පෙළ ගැසීමක් විදිහට ගන්න පුලුවන්.
බුදු දහම කියන එක පරම්පරාවෙන් එන වටිනා මැණිකක් පෙට්ටගමක දාලා ආරක්ෂා කරන විදිහටයි හුඟාක් අය පරිස්සම් කරන්නේ එහෙමත් නැත්නම් උප්පැන්න සහතිකේ ආගම බුද්ධාගම කියන එකට විතරයි හුඟාක් අය සීමාවෙලා තියෙන්නේ. ඒකෙන් මිදෙන්න මේ සම්බුද්ධත්ව ජයන්තියේ ඉදලාවත් උත්සාහ කරමු.
බුදුරජාණන් වහන්සේව සිහිපත් කරලා උන්වහන්සේට කරන හොඳම ගෞරවය එහෙමත් නැත්නම් පූජාව වෙන්නේ ඒක. ඒක කරන්න තව කල් දාන එක මෝඩකමක්. ලෝ වැඩ සඟරාවේ 28 වෙනි කවිය ඒකට උදාහරණයක්.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කි කලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මේ ඔක්කොම මේ දවස් ටිකේ වටපිටාවේ වෙන දේවල් එක්කම මට හිතුණු දේවල්. කොහොම වුණත් ඔයාලත් හිතලා බලන්න. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ ඉදන්වත් මේ ගැන ටිකක් හිතලා බලන්න.
කොහොම වුණත් මේ විදිහට කටයුතු කරන්න සම්බුද්ධත්ව ජයන්තියක්වත් වෙසක් පොහොයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ වෙන්නේ අපි ඒ මොහොතේ ඉදන් හරි ක්‍රියාත්මක වීම.