Monday, May 7, 2012

ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි - ඉතිහාසයේ අප්‍රකට කතා 02


එක එක අය එක එක විදිහට වස් කවි කියනවනේ. වස් කවි කියන එක හොඳ දෙයක් වුණේ නැතත් මේ කියන්න යන්නේ නියමෙට වස් කවි වගේම කවිත් කිව්ව මහනුවර යුගයේ හිටිය ප්‍රකට හාමුදුරු නමක් ගැන කතන්දර කීපයක්.


කන්ද උඩරට රාජධානි සමයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් වැඩ සිටි කාලයේම මහනුවර වැඩ සිටිය ප්‍රසිද්ධ හාමුදුරු නමක් වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ගෝලයෙක් වුණු රඹුක්වැල්ලේ ධම්මරක්ඛිත හාමුදුරුවන්ගේ ගෝලයෙක් විදිහට හැදුණු කුංකුණාවේ හාමුදුරුවන්ගේ ඇත්ත නම් කුංකුණාවේ සුමංගල. ඒත් ප්‍රසිද්ධ වුනේ කුංකුණාවේ හාමුදුරුවෝ නමින්.


දැන් කාලේ ඉන්න ඒ නම පාවිච්චි කරලා වංචා වැඩ කරන ශ්‍රමණ වේශධාරීන් වගේ නෙමෙයි කුංකුණාවේ හාමුදුරුවන්ගේ වැඩ :)

මේ කුංකුණාවේ හාමුදුරුවෝ කිව්ව ප්‍රසිද්ධ වස් කවි කීපයක් නිධාන කතාත් එක්කම......

කුංකුණාවේ හාමුදුරුවන්ට හිතවත් උපාසිකාවක් පූජා කරපු පැදුරක් පැදුරු ආනේ දාලා තිබුණේ. දවසක් හාමුදුරුවෝ පැදුර අරන් බලද්දී ඒ පැදුර මීයෝ කාලා. ඒකේ කේන්තියටත් එක්ක හාමුදුරුවෝ මෙන්න මේ වස් කවිය කිව්වලු

මදමත් රූසිරු අඟනක් දුන්නා
පැදුර ගෙනත් තැබුවෙමි ආනේ
බැඳගත් වාදේ දෝ මට නොදැනෙයි
මීයා පැදුරට කළ මානේ

තෙදලත් දේවත බණ්ඩර සුරිඳුට
කවියක් කීවෙමි මේ මානේ
අදවත් මීයගේ තල්ල කඩාගෙන
පලයන් නින්නාදේ පූනේ

මේ කවිය කියලා අවසන් වෙනවාත් එක්කම පූසෙක් පැනලා ඒ මීයාව අල්ලා ගත්තලු

තව දවසක් හාමුදුරුවන්ගේ පන්සලේ පොල් ගස්වල කුරුම්බැට්ටි මීයෙක් කකා බිම දාන නිසා පොල් ගෙඩි හැදෙන්නේ නැති එක වළක්වන්න හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

මේකා මොකාදෝ මට නොදැනෙයි මේකා
කකා කුරුම්බා ගෙඩි බිම දමන එකා
විකා ඇට නහර මස් ලේ උරා කකා
යකා මහ සොහොන් උගේ දිවි හරින් මකා

කවිය අවසන් වෙනවාත් එක්කම පොල් ගහේ හිටිය මීයා මැරී වැටුණලු

ආයි දවසක හාමුදුරුවන්ගේ පන්සලේ වගාව විනාශ කරන ඌරෙක්ට මේ කවිය කිව්වලු

රටල ගෝනල කඩල කටුවල
ගහල හිඟුරල කොඬොල වල් අල
කිතල හිරිතල හබල කුකුළල
බතල කරටි ද කමින් හබරල


අමුද කුරහන් මෙනේරී උඳු
මෑ ද ගොවිතැන් නොයෙක පලවැල
මෙකල නැතිකළ සතුරු ඌරා
හෙළන් කලු පැදි යකුනි තෙද බල

පහුවෙනිදා උදේ බලද්දී පන්සල් වැට මායිමේ ඌරා මැරිලා හිටියලු

රජතුමාගේ බිසෝවරු හිටිය මාළිගාව එහෙමත් නැත්නම් පල්ලේ වාහල ඉස්සරහින් තියෙන පාරේ ගමන් කරන එක රාජාධි රාජසිංහ රජතුමා තහනම් කරලා තිබුණේ. ගියොත් සබ්බුව. 

එක දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මේ පාරේ වඩිනවා දැකපු රාජ පුරුෂයෝ ඒ ගැන රජතුමාට කියපු නිසා රාජාධි රාජසිංහ රජතුමා එතනට ඇවිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා " කවුද ඔබ වහන්සේට මේ පාරේ වඩින්න අවසර දුන්නේ ?"   කියල


" මට මේ ලංකාවේ කිසි පාරක වඩින්න කාගෙන්වත් අවසර ඕනේ නැහැ" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ එතන තිබුණු කොස් ගහ දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු

මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
 
කවිය අවසන් වෙනවාත් එක්කම කොස් ගහ හතරට පැළුණලු. "තමුන්ගේ මහ බඩ පලන්නෙත් ඔය විදිහට තමා" කියපු කුංකුණාවේ හාමුදුරුවෝ "මොකද කියන්නේ මම හතර පදයක් ගළපන්නද ?" කියලා අහපු ගමන් රාජාධි රාජසිංහ රජතුමා හොඳටම බයවෙලා හාමුදුරුවන්ගෙන් වැඳලා සමාව ගත්තලු :))


මේ කාලෙම තමා මහනුවර නාථ දේවාලේ වහළ උඩට බෝ අත්තක් පාත්වෙලා වහළේ අබලන් තත්වෙට පත්වෙන්න ගත්තේ. බෝ අත්ත කපන්නත් බැහැ වස් වදී කියලා ඒ වගේමයි අත්ත තියන විදිහටත් කැපුවොත් වහළෙටමයි කඩන් වැටෙන්නේ. අන්තිමට බෝ අත්ත අයින් කරන වැඩේට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පම් කළ උළු සෙවිලි පලවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩියා

කවිය අවසන් වෙනවාත් එක්කම ආපු චණ්ඩ මාරුතයකින් නාථ දේවාලේ වහළට පාත්වෙලා තිබුණු බෝ අත්ත කැඩිල ගිහින් උඩවත්ත කැළේට වැටුණලු

දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ පිට පන්සලකට වැඩිය වෙලාවේ ඒ පන්සලේ හාමුදුරුවරු හිටියේ නැහැ. හිටියේ ඇබිත්තයෙක් විතරයි. කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා ඇබිත්තයා ඒක විහිළුවකට ගත්තා. පස්සේ පන්සල ගාව අම්බලමකට ආපු කුංකුණාවේ හාමුදුරුවෝ මෙන්න මේ කවිය කිව්වලු

පන්සලේ සිටින දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරයි සඟ ගණ වන සණ්ඩා
තුන්කලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පැන් කළේ සේම උගෙ බඩ පුපුරන්ඩා

පන්සලේ හාමුදුරුවෝ පන්සලට වඩිද්දී ඇබිත්තයාගේ බඩ කළයක් වගේ ඉදිමිලා ඇබිත්තයා වැටිලා ඉන්නවලු. විස්තරේ දැන්ගත්තු පන්සලේ හාමුදුරුවෝ ඇබිත්තයා වෙනුවෙන් කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලපු නිසා මෙන්න මේ කවිය ඊළඟට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු කෝටුවකින් ඇබිත්තයාගේ බඩට තට්ටු කර කර


පන්සලේ වෙසෙන දික් බෙරවා දණ්ඩා
සන්සලේ කරපි සඟගණ රවටණ්ඩා
තුන්තලේ වෙසෙන දෙවියෝ පිං ගන්ඩා
පින් බලේ ලෙසට උගෙ පණ බේරන්ඩා

කවිය අවසන් වෙනවාත් එක්කම මළ මූත්‍රා පිට කරමින් ඇබිත්ත කොලුවගේ බඩේ ඉදිමිල්ල අඩුවුණාලු
මේ කාලේ කුංකුණාගේ හාමුදුරුවන්ගේ විරුද්ධකාරයක් වුණේ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ. දවසක් කුංකුණාවේ හාමුදුරුවෝ මුක්කං නිසා " කුණා කුණාමයි" කියලා මොරතොට හාමුදුරුවෝ කියපු ගමන් කුංකුණාවේ හාමුදුරුවෝ අනිත් පැත්තට " තොට තොටියා"    කිව්වා.


මේ තරහත් එක්ක මොරතොට හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වීමත් එක්ක කුංකුණාගේ හාමුදුරුවන්ට සබ්බුව දෙන්න සරණංකර සංඝරාජ හාමුදුරුවන්ව ලන්දේසී ආක්‍රමණයෙන් බේරගත්තු නිසා කුංකුණාවේ හාමුදුරුවන්ට දීලා තිබුණු වැල්ලාගල පන්සලෙන් කුංකුණාවේ හාමුදුරුවන්ව පන්නනවා. 

මේ නිසා කුංකුණාගේ හාමුදුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට තමන්ට වුණු කරදරය කියන්නේ මෙන්න මෙහෙම

සෙනේ නැතිව කොහොමද අර ගත්තේ
මෙනේ තිබෙන දුක් පමණක් නැත්තේ
අනේ ඉතින් ඉඩමක් මට නැත්තේ
පෙනේ මෙ වග දෙවියන්ට මෙවැත්තේ

ලෙඩට නොවෙද සොඳ බෙහෙත් කරන්නේ
බඩට නොවෙද රස මුසු බත් කන්නේ
දුකට නොවෙද කවි පද තෙපලන්නේ
වෙහෙර නැතිව මම කොහොමද ඉන්නේ

පහටක් කුසල් නොකළෙමි සිත දරා ගෙනේ
ගහටක් විඳිමි කඳුලැලි ඇස පුරා ගනේ
කහටක් නැතිව කුස තුළ හිමිවරා නනේ
පිහිටක් මෙමට වෙනවද හිමි තුමා නනේ

පහරක් දෙන්ට වරදයි කවි තෙපලනවා
ඉහරක් නැතිව මැත කම් දොඩවනවා
අහරක් නැතිව කුස තුළ ගින් ඇවිලෙනවා
වෙහෙරක් දෙන්ට නැතිවද සමිඳුනි සොඳවා

මේ නිසා රජතුමා කුංකුණාවේ හාමුදුරුවන්ට අන්නම්පට්ටුව කියන පන්සල පූජ කරනවා. ඒකෙනුත් හාමුදුරුවන්ව පන්නන්න ගියත් රජතුමා ඒක වළක්වනවා. ඒ ගැන කවියෙන් කිව්වේ මෙහෙම


අන්නම්පට්ටුව කියා ලබාපූ
එය මය කීවට නැතැයි කියාපූ
වර්ගවෙලා මා අහකට කරපූ
ගුණෙන් කිවත් අපි නොදෙමු කියාපූ 

මෙහෙම වස් කවි වගේ ඒවාට කුංකුණාවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වුණත් ඒවා විතරක් නෙමෙයි හාමුදුරුවෝ ධර්ම ග්‍රන්ථත් සම්පාදනය කරලා තියෙනවා. ධම්ම චේතිය සූත්‍ර සන්නය, වෙහෙර විත්ති, රාම සංදේශය ඒවායින් කීපයක්

ඔන්න ඕවායි ඉතින් වස් කවි කිව්වලු :))


ප.ලි.: කුංකුණාවේ හාමුදුරුවෝ බිත්තර 49 ක වළඳපු හැටි, කුංකුණාවේ හාමුදුරුවෝ ලෙව්කේ දිසාව මට්ටු කළ හැටි අහලා තියෙනවද ? 

Saturday, May 5, 2012

සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන එක හරිද ???


Facebook එකේ සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා තියෙන photo එකකට මාව tag කරලා තිබුණා. ඒ වගේමයි මම member කෙනෙක් වෙලා ඉන්න FB group එකක wall එකේ තව member කෙනෙක් ලියලා තිබුණා සුබ වෙසක් දිනයක් වේවා කියලා.

ඉතින් දැන් මගේ ප්‍රශ්නය එහෙම වෙසක් දිනයට අපිට සුබ පතන්න පුලුවන්ද කියන එක.

අලුත් අවුරුද්දක් ලබද්දී අපි සුබ පතනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. උපන් දිනයක් දවසට අපි සුබ පතනව සුබ උපන් දිනයක් වේවා කියලා. එහෙම සුබ පතන්නේ අලුත් අවුරුද්ද හරි උපන් දිනය හරි නරක පැත්තට යන්න පුලුවන් නිසා. 

තව විදිහකට කිව්වොත් මේ මනුස්ස ජීවිතේට ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක කියන අටලෝ දහම පොදු දෙයක් වෙන නිසා. මේවායින් යහපත් දේවල් විතරක්ම වෙන්න කියලයි ඒ සුබ පැතීමෙන් අපි අදහස් කරන්නේ.

ඒත් වෙසක් දවසට එහෙම සුබ පතන්න ඕනේද ??? 


බෞද්ධයෝ පමණක් නෙමෙයි සමහර අන්‍යාගමිකයොත් පිළිගන්න විදිහට මේ දක්වා ලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම මිනිසාගේ ඉපදීම සිදුවුණේ වෙසක් පොහොය දවසේ.

ඒ වගේමයි මිනිස් සිතකට අවබෝධ කරගන්න පුලුවන් උතුම්ම සත්‍යය වගේම මිනිසෙකුට පත්වෙන්න පුලුවන් උතුම්ම තත්වයට ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා පත්වුණේ වෙසක් පොහොය දවසේ.

අවසාන වශයෙන් සොබා දහමට ගරු කරමින් ඒ ශ්‍රේෂ්ඨතම මිනිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දවසේ.


මේ වගේ උතුම් සිදුවීම් හැරෙන්න වැදගත් සිදුවීම් රැසක් වෙසක් පොහොය දිනවලදී සිදුවෙලා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලංකාවට වැඩම කිරීම වගේම සොළොස්මස්ථානයට අයත් මුල් ස්ථාන දෙක හැරෙන්න අනෙක් ස්ථානවලට වැඩම කරවන්නේ බුද්ධත්වයෙන් අටවෙනි වර්ෂයේ වෙසක් පොහොය දිනයේදී. සමනොළ කන්දේ ශ්‍රී පාදය පිහිටුවන්නේත් මේ ගමනේදී. රුවන්මැලි සෑයේ මූලික ඉදිකිරීම් කටයුතු දුටුගැමුණු රජතුමා අරඹන්නේත් වෙසක් පොහොය දිනයේදී.

ඉතින් මේ කරුණු සමාලෝචනය කරලා බලද්දී පැහැදිලියිනේ වෙසක් දිනය උතුම් වගේම සුබ දවසක් කියලා.

එතකොට ඒ වගේ සුබ දවසකට අමුතුවෙන් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා සුබ පතන්න ඕනේද ????

සමරන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් සමරන හැමදේම එකම අච්චුවට දාලා සාමාන්‍යකරණය කරන්න පුරුදු වුණු මිනිස්සු වෙසක් දවසටත් "සුබ වෙසක් මංගල්‍යයක් වේවා" සුබ පතන්න ගත්තේ ඔන්න ඔහොම වෙන්න ඇති. 

ඒ විදිහට බෞද්ධයන්ට වැදගත්කමක් තියෙන කොහොමත් සුබ දවසක් වුණු වෙසක් පොහොය වාණිජකරණයට හසුවුණු හැටි ගිය අවුරුද්දේ වෙසක් පෝය දවසේ මම කතා කළානේ "වෙසක් පෝය market වුණු හැටි" කියලා. 

ඉතින් සුබ දවසක් වුණු වෙසක් පෝය දවසේදීවත් බොරුවට හැමතැනම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා කිය කිය ඉන්නේ නැතුව ආමිෂ පූජාවක් කරන්න එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කරන්න. ඒ නැත්නම් මේ කතාවේ ඉන්න මනුස්සයායි ඔයයි අතර කිසිම වෙනසක් නැතිවෙයි. ඒ මොකද ඒ මනුස්සයා හරියට බුදු හාමුදුරුවෝ හඳුනාගෙනත් නැහැ උන් වහන්සේ දේශනා කරපු ධර්මය හඳුනාගෙනත් නැහැ

වෙසක් පෝය දවසේ බාර් වහලා නිසා හොර spot එකකින් සප්පායම් වුණු බොනපාට් කෙනෙක් පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ටයි ඒවට මේවට බැන බැන යද්දී දැක්කලු බුදු පිළිමයක්.

බුදු පිළිමේ දිහා බලාගෙන man කියනවලු " ඕන් බලන්නකෝ ඒ වැඩෙත් හැටි. ඔබ වහන්සේ ඉපදුණු, බුදුවුණු, පිරිනිවන් පාපු එකට අද බාර් වහල, මස් කඩ වහලා. මොකක්ද අප්පා මේකේ තේරුම ? මස් කෑල්ලක් කන්න අරක්කු ටිකක් බොන්නවත් නෑ"  කියලා කියවන්න ගත්තලු. 

ඒ ගමන් මිනිහා දැක්කාලු ඈතින් ජේසුතුමාගේ පිළිමෙකුත්. 

Man ජේසුතුමාගේ පිළිමේ ගාවට ගිහින් කියනවාලු "ඒකට ඔබතුමා නම් නම් රත්තරන්. ඉපදුණත් party, කුරුසේ ඇණ ගහලා මැරුවත් party" කියලා

එහෙම නම් කතාව අවසානයි. මේ කතාවේ සාරංශය මෙන්න


කිච්ඡො මනුස්ස පටිලාභො - කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවනං - කිච්ඡො බුද්ධානං උප්පාදො

මිනිසත් බව ලැබීම දුර්ලභයි. සත්වයින්ගේ ජීවිතය දුෂ්කරයි. ධර්මය ඇසීමද දුර්ලභයි. බුදුන් වහන්සේගේ උපතද දුර්ලභයි


ප.ලි.: බුදු දහම යැයි කියමින් බෞද්ධයන් කරන දේවල් ගැන මම මීට පෙර ලියපු සටහන් කියවන්න කැමති නම් මෙතනින් යන්න

Tuesday, May 1, 2012

ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය


ඇමරිකාවේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ එදා කට්ටියක් වාඩිවෙලා හිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා  ඇමරිකාවේ කොංග්‍රසය [අපේ රටේ විදිහට නම් පාර්ලිමේන්තුව] මඟින් සම්මත කරපු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත අත්සන් කරලා ඒක නීතියක් බවට පත් කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න. එදා කිව්වේ 2010 මාර්තු 23 වෙනිදා. 

ලංකාවේ විදිහට නම් පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් නීතියක් වෙන්න කතානායකතුමා අත්සන් කරන්න ඕනේ. ඇමරිකාවේ නම් ඒකට ජනාධිපතිතුමා අත්සන් කරන්න ඕනේ. ලංකාවේ ජනාධිපතිට තියෙන වැඩ කන්දරාවත් එක්ක අනවශ්‍ය බරක් දාන්න ඕනේ නැහැ කියලා ජේ.ආර්. සීයා හිතන්න ඇති :))


ඉතින් ඒ කාමරයේ වේදිකාව මත තිබුණු මේසෙට පනත ගෙනත් තියපු ධවල මන්දිරේ වැඩ කරන ආන්ටි කෙනෙක් පෑන් 11 ක් තියෙන පෑන් පෙට්ටි 2 ක් මේසේ උඩින් ගෙනත් තිබ්බා.

ඇයි ෂැකද ? ආහ් බලන්න මුනියා ෂැක නම්.................... :))

ඊට පස්සේ බැරැක් ඔබාමා මහත්තයාත් උප ජනාධිපති Joe Biden එක්ක ඇවිත් පොඩි කතාවක් කළා. අපරාදේ කියන්න බැහැ ඒ මනුස්සයා කතාවක් කරද්දී Teleprompter පාවිච්චි කරනවා කියලා photos ගද්දී වුණත් පේන්න ගන්න පුලුවන්.

පස්සේ ඉතින් පනතට අත්සන් කරන්න වාඩිවුණා. වාඩිවුණත් හරි විසි කරපු පාන් කෑල්ල ගන්න වඳුරෝ ටික රොක් වුණා වගේ ඔබාමා වටේටත් කට්ටිය පිරුණේ නැතැයි. ඒත් ඔබාමා මහත්තයා සැලෙන්නේ නැතුව පනත අත්සන් කරන්න පටන් ගත්තා.

මෙන්න බොලේ වැඩක් හැම පෑනෙන්ම පොඩ්ඩ පොඩ්ඩ මේ මනුස්සයා අත්සන් කරනවා

අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා වගේ ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ ඉන්න දක්ෂ කැමරා ශිල්පියෙක් වෙන සෙනෙට් සභික Pat Leahy මැද්දෙන් මැද්දෙන් ෆොටෝ කෑලි දෙක තුනක් ගන්නත් අමතක කළේ නැහැ.

පෑන් 22 න්ම පොඩ්ඩ පොඩ්ඩ අත්සන් කරලා වැඩේ ඉවර කරපු ඔබාමා මහත්තයා අන්තිම 22 වෙනි පෑන පෙට්ටියට දැම්මා. ඕන් පෑන් 22 කින් ඔබාමා මහත්තයා කරපු අත්සන........



අන්තිමටම සිද්ධ වුණේ අර පෑන් 22 න් 19 ක්ම එතන හිටිය කීප දෙනෙක්ට ඔබාමා මහත්තයා බෙදල දීපු එක. මේ තමා ඇමරිකාවේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකතුමියට ඔබාමා මහත්තයා පෑන දීපු හැටි. 

ඔන්න ඕක තමා ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය. ඒත් කතාව් ඉවර නැහැ. මේ කතාව ඇසුරෙන් ඔයාලට හිතෙන ප්‍රශ්න මෙන්න මේවා වෙන්න පුලුවන් [ සමහර විට :)) ]

මේ යෝධයට පිස්සුද පෑන් 22 කින් එක අත්සනක් දාන්න ?
ඇයි මේ යකා මේකට පෑන් 22 ක්ම පාවිච්චි කළේ ?
එක පෑනෙන් අත්සන් කළාම මොකද වෙන්නේ ?
ඇයි පෑන් 22 ක් මේ වැඩේට ගත්තා නම් 19 ක් විතරක් බෙදුවේ ?
ඉතුරු පෑන් තුනට මොකද වුණේ ?
ඇමරිකාවේ පෑන් නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවාද ?
කවුද මේ පිස්සු වැඩේ පටන් ගත්තේ ?

ඔන්න මේ ප්‍රශ්නවලට උත්තර. මේ විදිහට පෑන් එකකට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා පනත් අත්සන් කරන සිරිත ආරම්භ කළේ 1933-1945 අතර කාලයේ ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්. 


ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන විශේෂ පනත් අත්සන් කරන්න තමා මේ විදිහට පෑන් ගොඩක් ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිතා කරන්නේ. ඒ විදිහට අත්සන් කරන්න ගන්න පෑන් ඒ පනත සකස් කරන්න, සම්මත කරන්න වෙහෙස මහන්සි වුණු අයට සමරුවක් විදිහට බෙදා දෙන්නත් කටයුතු කරනවා. 

ඒ වගේමයි එක පෑනක් ජනාධිපතිතුමාත් තවත් පෑන් දෙකක් ජනාධිපතිවරුන්ගේ පුස්තකාලයට වගේම ස්මිත්සෝනියන් කෞතුකාගාරයට එක් කරනවා

නමුත් මේ සිරිත අඛණ්ඩව හැම ජනාධිපතිවරයෙක්ම කරපු බවක් පේන්න නැහැ. ජනාධිපති රූස්වෙල්ට්ට පස්සේ හැරී එස්.ටෲමන් [1945-1953] කළත් ඊට පස්සේ මේ සිරිත වුණු බවක් පේන්න නැහැ. 


ඊට පස්සේ මේ සිරිත ආයි පටන් ගන්නේ ජනාධිපති ලින්ඩන් බී.ජොන්සන් [1963-1969]. ඒ කාලේ තමා වැඩිම පෑන් ගණනකින් පනතක් අත්සන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ 1964 සිවිල් අයිතිවාසිකම් පනත පෑන් 72 කින් ජොන්සන් ජනාධිපතිතුමා අත්සන් කිරීම.

ඇයි ෂැකද මුනියා ??? 

මෙන්න ඒකේ වීඩියෝ එකම 


හොඳට වීඩියෝ එක බලාගෙන ඉන්න මාටින් ලූතර් කිං ටත් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා පෑනක් දෙනවා. මොකද මේ පනත ගේන්න ඔහුත් විශාල උත්සහයක් දරපු කෙනෙක් නිසා

මේ ජොන්සන් ජනාධිපතිතුමාගේ සාමාන්‍ය අත්සන.


මේක තමා ඉතින් පෑන් 72 කින් අත්සන් කරලා තියෙන්නේ. 

 සමහර වෙලාවට අත්සනේ " i "අකුරක් එහෙම තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිතට තව පෑනකුත්
" t " අකුරක් තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිරස් ඉරට තව පෑනකුත් පාවිචිචි කරනවාලු. කොටින්ම ඔබාමා මහත්තයාත් පෑන් 22 කින් අත්සන් කරන්න කලින් දවසේ මිෂෙල් නෝනත් එක්ක පුරුදු වුණාලු :))

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මේ සිරිත වෙනස් කරලා විශේෂ පනත් එක පෑනකින් අත්සන් කරලා සංකේතාත්මකව පෑන් බෙදලා තියෙනවා. ඒ වගේමයි ජනාධිපති ඔබාමා මේ විදිහට පෑන් ගොඩකින් අත්සන් කරපු මුල්ම පනත මේක නෙමෙයි. මීට කලින් 2009 අවුරුද්දේ Lily Ledbetter Fair Pay පනත පෑන් 7 කින් අත්සන් කරලා තියෙනවා.

මේ සමරු පෑන්වලට හොඳ වටිනාකමක් වෙන්දේසිවලදී ලැබිලා තියෙනවා. 1965 ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිතුමා ජල පනත අත්සන් කරපු ගත්තු පෑනක් වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් 499.99 කට වෙන්දේසි වෙලා තියෙනවා. ලංකාවේ සල්ලිවලින් නම් ආසන්න වශයෙන් රුපියල්  65,000 ක් විතර :))

ඉතින් කතන්දරේ ඉවරයි. මේ කතාව මුලින්ම කතාව මුලින්ම මට කිව්වේ මගේ සහෘදයෙක් වෙන කසුන් තරංග පෙරේරා. මේ කතාවට අටුවා ටීක ටිප්පණි එකතු කරමින් කතාවේ අඩු තැන් පිරෙවෙව ඉසුරු නානායක්කාර සහෘදයා. දෙන්නටම ස්තුතියි :)

අපේ කතාව අන්තිමට ඉවර වුණේ ලංකාවෙත් මෙහෙම සිරිතක් ආවොත් කියන එකෙන්. එතකොට ඉසුරු කිව්වේ "ම.......... මාමා අත්සන් කරලා පෑන් බෙදන්නේ නැතිවෙයි. ඒකත් හොඳ ගාණකට විකුණයි" කියලා
 :))

ප.ලි.: ඔබාමා මහත්තයා ගැන මීට කලිනුත් කතා වගයක් ලිව්වා. කැමති නම් බලන්න. මෙන්න පාර

Sunday, April 29, 2012

II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ - ඉතිහාසයේ අප්‍රකට කතා 01

II රාජසිංහ රජතුමා 

කතාව ඇරඹෙන්නේ පෘතුගීසී බලය ලංකාවෙන් තුරන් කිරීම තමන්ගේ ඒකායන අරමුණ කරගෙන ඒකට II රාජසිංහ රජතුමා කටයුතු ආරම්භ කිරීමත් එක්ක. මේ සඳහා ලන්දේසීන්ගේ උදව් ගන්න රජතුමා 1638 දී ලන්දේසී අද්මිරාල් ඇඩම් වෙස්ටර්වෝල්ඞ් එක්ක ගිවිසුමකට එළඹෙනවා.

ඒ අනුව ති‍්‍රකුණාමලය, මීගමුව, ගාල්ල, කොළඹ, කළුතර, අඟුරුවාතොට, මන්නාරම ආදී ප‍්‍රදේශවල තිබුණු පෘතුගීසි බලකොටු යටත් කරගෙන හිටිය ලන්දේසීන් 1658 ජූනි මාසය වෙද්දී අවසාන පෘතුගීසි බලකොටුව වුණු යාපනය අල්ලා ගැනීමත් එක්ක ලංකාවේ පෘතුගීසී ආදිපත්‍යය නිමා වෙනවා. 

ඒත් අවසානයේදී 1638 ගිවිසුම උපායශීලීව භාවිතා කරමින් පෘතුගීසී ප‍්‍රදේශවල ලන්දේසි බලය තහවුරුවීමත් එක්ක රජතුමාට තම ප‍්‍රදේශ ලබා ගන්න ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න සිදුවුණු නිසා මිනිස්සු මේක හැඳින්වූවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. 

මේ සිදුවීමෙන් රජතුමාට වුණු අපකීර්තිය නිසාත් 1664 දී වාර්ෂිකව පවත්වා ගෙන ආපු මහනුවර ඇසළ පෙරහැර රජතුමා නැවැත්වීම වගේ හේතු මතත් රජතුමාට විරුද්ධව කැරැල්ලක රාවයක් ඒ අවුරුද්දේ ඇතිවෙමින් තිබුණේ.

ඒ වගේම 1664දෙසැම්බර් මාසේ වෙද්දී ලංකාවට ඉහළ අහසේ වල්ගා තරුවක් පෑයීමත් එක්ක කිසියම් අසුභ දෙයක් සිදුවෙන බවට රාවයක් උඩරට ඇතිවෙමින් තිබුණේ. අඹන්වෙල රාළගේ මූලිකත්වයෙන් ඒදඬුවාව, පැල්ලම්පිටිය, උඩබද්දාව කියන රදළ නායකයන්ගේ සහභාගීත්වය රජතුමාට විරුද්ධව කැරැල්ලක් මේ තත්වයත් එක්කම දෙසැම්බර් 21 ආරම්භ වෙනවා. මේ පිරිසගේ සැලැස්ම වෙන්නේ නිල්ලඹේ නුවර මාළිගාවේ හිටපු II වන රාජසිංහ රජතුමාව මරලා දාලා රජතුමාගේ පුත් කුමාරයාව රජ කරවන එක.

මේ දවස වෙද්දී පායලා තිබුණු වල්ගා තරුවේ වල්ගා කොණ කැරැල්ල පටන් ගත්තු බටහිර ප‍්‍රදේශයට යොමුවෙලා තිබුණයි කියලා මේ කාලේ ලංකාවේ හිරකාරයෙක් වෙලා හිටිය ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් කියනවා.

කැරලිකාරයෝ දෙසැම්බර් 21 රාත්‍රියේ නිල්ලඹේ මාළිගාවට කඩා පැනපු අවස්ථාවේදී හුඟක් රාජපුරුෂයොත් තමන්ගේ ජීවිතේ බේරගන්න කැරලිකාරයින්ට එකතු වෙනවා. විරුද්ධ වුණු අයව කැරලිකාරයෝ මරලා දානවා. කොහොම නමුත් කැරලිකාරයෝ රජ මාළිගාව ඇතුළට කඩා පනින්නේ නැතුව උදේ වෙනකම් බලාගෙන ඉන්නවා.

මේ වෙලේ කැරැල්ල ගැන රජතුමාට ආරංචි වීමත් එක්ක කැරලිකරුවන් රවට්ටන උපායක් විදිහට රජතුමා සිරි යහනේ නිදාගෙන ගෙන ඉන්න ආකාරයට නිදාගෙන ඉන්න රජතුමගේ දුක්ගන්නා රාළ කෙනෙක් විදිහට සේවය කරපු අලුවිහාරේ වනිගසේකර මහළු මුදලි ඉදිරිපත් වෙනවා. ආරක්ෂිතව රජතුමාට පලා යන්න ඉඩකඩ සලසන්නයි ඒ කාර්යය කරන්න ඔහු ඉදිරිපත් වෙන්නේ.

අලුවිහාරේ මුදලි රූපෙන් රජතුමාට සමාන වෙන නිසා ඒ කාර්යය තවත් පහසු වෙනවා. රාජාභරණවලින් සැරසිලා මුණින් අතට සිරි යහනේ අලුවිහාරේ මුදලි නිදා ගනිද්දී රජතුමා 50 ක පමණ පිරිසක් එක්ක මාළිගාව අසළ තිබුණු කන්දට පැනලා ගිහින් ගල උඩ කන්දට පළා ගිහින් ජීවිතය බේරගන්නවා.


කැරලිකාරයෝ උදේ රජතුමාගේ සිරි යහන් ගබඩාවට කඩා පැනලා රජතුමා වගේ නිදාගෙන හිටපු අලුවිහාරේ මුදලිව මරා දාලා රජතුමාව මැරුවා කියලා සතුටු වෙද්දී ඇරැව්වාවල දිසාවට සිහිපත් වෙනවා රජතුමා හා සමාන රූපයක් තියෙන අලුවිහාරේ වනිගසේකර මුදලි මාළිගාව ඇතුළේ හිටියේ නැහැ නේද කියලා.

රජතුමාගෙයි අලුවිහාරේ මුදලිගෙයි අතර වෙනස වෙන්නේ රජතුමාගේ කටේ දත් තියෙන එක විතරයි. මේ නිසා කුරුවිට රාළ මළ සිරුරේ කටට අත දාළ බලද්දී කටේ දත් නැති නිසා මේ මිය ගිහින් තියෙන්නේ අලුවිහාරේ මුදලි බවත් රජතුමා ජීවතුන් අතර කියලත් දැනගෙන කැරලි නායකයෝ ටික හුඟක් බය වෙනවා.

මේ නිසා ඉක්මණටම තමන්ගේ සැලැස්මේ ඊළඟ කොටසට යන්න හිතුව කැරලිකාරයෝ කන්දේ නුවරට ගිහින් එහේ හිටිය රාජ කුමාරයාගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍යය භාරගන්න කියලා. ඒත් කුමාරයා මේ ගැන මොකුත් නොකියා නිහඬව ඉදලා රජතුමාගේ සහෝදරියත් එක්ක රජතුමා ගාවට පලා යනවා.

සියලු වැඩ වැරදුණු බව දැනගත්තු කැරලි නායකයෝ තමන් කොල්ල කා ගත්තු වස්තුව මින්ස්සු අතර බෙදාදීලා හැංගෙනවා. ඒ වගේ ආරක්ෂාව හේතු කොටගෙන ඔවුනොවුන් අතරත් ගැටුම් වගේම මිනීමැරීම් සිද්ධ වෙනවා. මේ කාලය තුළ රජතුමා වෙනුවෙන් තවත් රදළ නායකයෙක් තමන්ගේ පිරිසත් එක්ක කැරළිකාරයන් මරා දමමින් මහනුවරට එනවා.

රජු සහ රදළ නායකයින්

රජතුමා ගල උඩ කන්දේ ඉද්දිම සියලුම කලබල සංසිඳෙනවා.රදළ නායකයෝ තමන්ගේ විරුද්ධවාදීන් පවා කැරලිකාරයෝ කියලා මරන්න ගත්තු නිසා රජතුමා නියම කරනවා කැරලිකාරයෝ කියලා සැක කරන හැම දෙනාම අත් අඩංගුවට ගන්න මරා දැමීම නවත්තන්න කියලා.

අවසානයේ ඒ ගැන තිබුණු මහ නඩුවෙන් කැරැල්ලට සම්බන්ධයි කියලා ඔප්පු වුණු හැමෝම හිස ගසා මරා දානවා වගේම දේපළ රාජ සන්තක කරනවා. කැරැල්ලේ නායකයා වුණු අඹන්වෙල රාළ දඬුවම් කරන්න සිංහල දඬුවම් ක්‍රම ප්‍රමාණවත් නැහැ කියලා රජතුමා තීරණය කරලා අඹන්වෙල රාළට දඬුවම් දෙන්න කියලා දම්වැල්වලින් බැඳලා ලන්දේසීන්ට යැව්වත් ලන්දේසීන් එයාව නිදහස් කරලා උඩරට රහස් ලබාගන්න ඔහුව තියාගන්නවා. 

මේ සිදුවීමත් එක්ක තමන්ගේ පුත් කුමාරයා තමන්ගේ බලයට බාධාවක් කියලා හිතලා රජතුමා පුතාට වස දීලා මරා දැමුවා කියලා කතාවක් පවතින්නේ. ඒකේ ඇත්ත කතාව මොකක්ද කියලා පස්සේ දවසක කියන්නම් :)

තමන් වෙනුවෙන් ජීවිතය පූජා කරපු අලුවිහාරේ මහළු මුදලිගේ මළ සිරුර දැක්ක රජතුමා ශෝකයෙන් හැඬුවා කියලත් ජන කවි කීපයක් තියෙනවා.
සැන්දෑවේ දොරකඩ ළඟ සිටපු සැටී
රාජ පණිවිඩෙන් වාසල සිටපු සැටී
කුරුවිටියට මද නුවණක් දීපු හැටී
යහන් ඇඳේ වැටිලා පණ දීපු හැටී

රන් රන් දලේ රත් රන් දල රිදී දලේ
ඉන්දලේ තුලේ ඉන්තුල පෙති අතුලේ
රන් කඳ මැදර රන් හවඩිය රනින් කළේ
රන් කඳ වනිසේකර මුදලි මාතලේ

පස්සේ රජතුමා අලුවිහාරේ මුදලිගේ දේහය රාජ ගෞරව සහිතව ආදාහනය කරලා හඟුරන්කෙත ගෙඩි ගෙයක් කෙරෙව්වා කියලා තමයි කියවෙන්නේ.

ඒ වගේම අලුවිහාරේ මුදලි තම ජීවිත පරිත්‍යාගයෙන් රජතුමාව ආරක්ෂා කරපු නිසා ඒකට සතුටු වුණු රජතුමා අලුවිහාරේ සන්නස මඟින් අලුවිහාරේ වනිගසේකර මුදලිගේ පුතාට මුදලි මැරී සිටිය රජතුමාගේ ඇඳ සහ එහි සලු පිළි වගේම ඉඩ කඩම්, ආභරණ, සේවක සේවිකාවන් ප්‍රදානය කරනවා. මෙන්න මෙහෙමයි ඒක අලුවිහාරේ සන්නසේ තියෙන්නේ.

"ශ්‍රී ස්වස්ති ශ්‍රී ඝණ ප්‍රශස්ත ශාසනාම්බරාඩම්බර ප්‍රවරෙනු බිම්බ ගම්භීර ඝර්මාංශු වංශ මණි මන්දිර ප්‍රදීපායමාන වූ උතුම් රාජසිංහ දේවස්වාමිදරුවාණන් වහන්සේ සිරිලක රාජ්‍ය ශ්‍රී පද ප්‍රාප්තවැ ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් දසරාජ ධර්ම ප්‍රථානුවර්තීව වැඩ හිඳ වදාරණ සමයෙහි ශක වර්ෂ එක්වා දහස් පන්සිය අනුහයට පැමිණි වර්ෂයෙහි

ඒදඬුවාවත් පැල්ලන්පිටියත් උඩුබද්දාවත් මෙම තුන්දෙනා ප්‍රධානව මෙම දෙවිමහාරාජෝත්තමයාණන් වහන්සේට නිල්ලඹේ හදි පෙරලි සම්ප්‍රාප්ත වූ කල්හි අලුවිහාරේ වනිසේකර මහලු මුදලියා ඇතුළු මාළිගාවේ යහං ඇඳේ අප්‍රසිද්ධවැ ඉන්ට සැලැස්සූ විට ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේම යයි සිතා සතුරන් විසින් ඒ මුදලියාට ඇන මැරූ කල්හි රාජපක්ෂ වාධිකමිං ආඪ්‍ය නිසා තමාගේ ජීවිත කාලය ඇර ඒ දෙවිමහරාජෝත්තමයාණන් වහන්සේ නිසා ජීවිතක්ෂයට පැමිණි කල්හි ඒ මුදලියා ආදාහනය කරවා

ඉක්බිති ඒ මහලු මුදලියාගේ පුත් හට එම වනිසේකර පටබඳවා ඉක්බිති ඒ මුදලියා හෙව මල යහන් ඇඳ එහි අතුල රත්පලසය රත්‍රං පෙස කොට්ට සලුවයි රිදී වැස නිම කළ ලංස දෙකයි කස්තාන දෙකයි තුවක්කු පහයි ඇත්දත් කාරකයයි රත්‍රං මාලයයි පේරස් මුද්දයි හැට්ට තොප්පි සහිත රාජ පලඳනාවයි මහ ගබඩාවෙන් ගෑණු හිර පස්දෙනයි පිරිමි පස්දෙනයි මාතලේ අලුවිහාරේ ගමේ ඒ මළ මහලු මුදලියාගේ ප්‍රවේනි වූ වැල්ලේකුඹුරේ බිජු පහමුණද වලකුඹුරේ බිජු දෑ මුණද ඊට අඩුක්කුවූ ගොඩමඩ හැටපස් අමුණේ ගං පංගුද මෙම සියල්ලටම

මිං ඉදිරි අහස පොළව ඉරහඳ පවතිනාතුරු දියතලා කන්ද පැලහිරි ගල නිල්ලඹේ ගල පවතිනා තුරු රජදරු කෙනෙකුන් විසින් වත් අවුලක් උධරණයක් නැතිව සුදස් සින්නක්කර සහද ප්‍රවේණි සැලැස්මට ගෝත්‍ර පරම්පරාව දක්වා භුක්ති විඳිනා ලෙසට අලුවිහාරේ ගමේ වනිසේකර මුදලියාට ජගද ඛිල ශිරො මාණිඛ්‍ය වූ උතුම් දීප චක්‍රවර්ති දේවස්වාමි දරුවාණන් වහන්සේගෙන් දියතිලක නුවරදී ලැබී වදාළ පනතයි..."

ඔන්න ඕකයි වන රාජසිංහ රජතුමාට රූපෙන් සමාන වුණු අලුවිහාරේ මුදලිගේ කතන්දරය.

අලුවිහාරේ පරපුර ලාංකීය රජවරුන්ට සේවය කළා වගේම ඊට පස්සේ ඉංග්‍රීසීන් යටතෙත් රාජ්‍ය සේවය මැනවින් ඉටුකළා. ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස්පතිවරයා වෙන්නෙත් අලුවිහාරේ පරපුරේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ.

ඒ වගේමයි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවල වගේම පාර්ලිමේන්තුවත් නියෝජනය කරපු අලුවිහාරේවරු ඉන්නවා. ඒ යටතේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණු ඇලික් අලුවිහාරේ දක්වන්න පුලුවන්. 

අලුවිහාරේවරුන්ගේ පවුල් සටහන මෙතනින් ගිහින් බලන්න පුලුවන්

පොඩි කුමාරිහාමිත් අහලා තිබුණු නිසා මේවා ගැන කොහොමද දන්නේ කියලා. විස්තර හොයාගත්තු පොත්පත් ගැනත් කියන්නයි කියලා හිතුවේ. මෙන්න විස්තර ටික

සිංහල සමාජ සංවිධානය, මහනුවර යුගය - මහාචාර්ය රැල්ෆ් පීරිස්. පරිවර්තනය : කේ.ඒ.ඩී. පෙරේරා
සරණඞකර සඞඝරාජ සමය - පූජ්‍ය පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සර හිමි
ඓතිහාසික මාතලේ අලුවිහාරය - පූජ්‍ය අලුවිහාරේ සරණංකර හිමි
එදා හෙළදිව - රොබට් නොක්ස්. පරිවර්තනය : ඩේවිඩ් කරුණාරත්න
ශ්‍රී ලංකාවේ ඉතිහාසය - 3 කොටස : අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
උඩරට විත්ති - පී.එම්.පී. අභයසිංහ

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්න වුණු පොරොන්දුව ඉෂ්ට කරන්න ඔන්න පටන් ගත්තා. ඉතිහාසයේ අප්‍රකට කතා ලියන්නේ නැද්ද කියලා හොයලා බලපු රූ අක්කාට ස්තුතියි :)

පොරොන්දු වුණු විදිහට ඉතුරු කතා වගේම තවත් අප්‍රකට කතා රැසක් ගැන ඉදියේදී ලියවේවි.

1.රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
2. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
3. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
4. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
5. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
6. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා

Saturday, April 21, 2012

ස්ත්‍රී මායමට හසුවුණු බෝසත් රන් මොණරා, ගෑණු මායමේ තරම :D


සමහරු උදේ ගෙදරින් පිටවෙන්න කලින් ආරක්ෂක ගාථාවක් විදිහට භාවිතා කරන, ඒ වගේම මේ වෙද්දිත් බෞද්ධ පූජනීය ස්ථානයකින් ආරක්ෂක ගාථාවක් විදිහට ඔයාලටත් හම්බවෙලා තියෙන

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


ගාථාව හැදුණු හැටි දන්නවද ? ඒකේ ආරම්භයත් දැනකියාගෙන ඉන්න එක වටින නිසයි මේ ගාථාවේ නිදාන කතාව කියන්න සූදානම.

මුලින්ම මේ ගාථාව තියෙන තැන කියන්නම්කෝ. මේ ගාථාව තිබෙන මෝර පිරිත පිරුවානා පොත් වහන්සේ තුළ 13 වන පිරිත ලෙස අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ දැන් මම කියන්න යන කතා පුවත පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ 158 වැනි ජාතක කතාව වන ස්වර්ණ මයුර ජාතකය තුළ අන්තර්ගත වෙනවා.

මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ.


බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මෙන්න මේ ගාථාව කියලා සූර්යයාට නමස්කාර කරනවා.

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු.

ඊළඟට මෙන්න මේ ගාථාවෙන් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට බෝසත් රන් මොණරා නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා


මේ ගාථාවේ තේරුම තමයි

යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා.

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා ආහාර සොයා යනවා. [මෝර පිරිතේ ඒ කොටස දක්වන්නේ මේ විදිහට "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා"]

සුවසේ දිවා කාලය ගත කරන බෝසත් රණ මොණරා සවසට හිරු බැස යද්දී පළමුවෙන් හිරු දෙවියන්ට නමස්කාර කරනවා.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං

තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං


මේ ගාථාව පොඩ්ඩක් වෙනස්. මේ ගාථාවේ තේරුම තමයි

ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.

ඊට පස්සේ නැවත වරක් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට නමස්කාර කරනවා.

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා

මේ විදිහට නමස්කාර කරන බෝසත් මොණරා නින්දට යනවා. [මෝර පිරිතේ අවසාන වාක්‍ය වෙන්නේ "ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති". ඒකේ තේරුම තමයි ඒ මොණරා පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේය]



මේ විදිහට ඒ ගාථා සජ්ඣායනය නිසා බෝසත් රන් මොණරා කිසිම බයක් නැතිව ආරක්ෂාකාරීව කටයුතු කරනවා.

දවසක් හිමාල වනයට ආපු බරණැස් නුවර ආසන්නයේ හිටපු වැද්දෙක් මේ රන් මොණරාව දැකලා ඇවිත් පස්සේ කාලෙක තමන් මැරෙන්න ආසන්න වුණු වෙලාවේ තමන්ගේ පුතාට කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා, ඒක දැනගෙන ඉන්න කියලා.

මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු ඛේමා බිසව හීනෙන් රන් මොණරෙක්ගෙන් බණ අහනවා දැක්ක නිසා හීනේ සැබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඒ විදිහේ රන් මොණරු ඉන්නවා කියලා වේදයෙන් දැනගන්න බරණැස රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලූම වැද්දෝ ගෙන්නලා අහනවා කැළෑවේදී රන් මොණරෙක් දැකලා තියෙනවද කියලා.

හැමෝගෙම උත්තරේ වෙන්නේ නැහැ කියන එක. ඒත් හිමාලෙදී බෝසත් රන් මොණරාව දැක්ක වැද්දගේ පුතා කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා කියලා තාත්තගෙන් දැනගන්න ලැබුණා කියලා.

ඉතින් ඊට පස්සේ රජතුමා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ අර වැද්දටම පංගාර්තු කරනවා.

වැද්දත් හිමාල වනයට ගිහින් දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සහ කළත් කලින් දක්වපු ගාථාවල ආනුභාවයෙන් බෝසත් රන් මොණරාව උගුල්වලට අසුවෙන්නේ නැහැ. අද අල්ල ගන්නම් හෙට අල්ලගන්නම් කියලා අවුරුදු හතක්ම උත්සහ කළත් වැද්ද අසමත් වෙනවා. හිස් අතින් ආපසු ගියොත් රජ්ජුරුවන්ගෙන් මැරුම් කන්න වෙන නිසා වැද්දා කැළේදීම මැරෙනවා.

තමන්ගේ දොළ දුක සංසිදුනේ නැති නිසා ඒ දුකෙන් බිසවත් මියයනවා. බිසව මියගිය දුක නිසා රජතුමා බෝසත් රන් මොණරා එක්ක කේන්ති අරගෙන "හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ඉන්න රන් මොණරගේ මස් කෑවොත් අමරණීය වෙනවා" කියලා රන් පතක ලියලා තියලා මියයනවා.

ඊට පස්සේ පරම්පරා හයකම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන ආසාවෙන් හිමාලයට වැද්දෝ යැව්වත් ඒ වැද්දෝ අසාර්ථක වෙලා හිමාලයේදීම මියයනවා, රජවරුත් දුකෙන් මියයනවා.

ඒත් හත්වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්න වැද්දෙක්ව තමයි වැඩේට යවන්නේ. උදේ හවස බෝසත් රන් මොණරා ගාථා ගායනා කරන නිසා උගුල්වල අසුවෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තු වැද්දා උපායෙන් බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරනවා.

බෝසත් රන් මොණරව කාමයෙන් මත් කරලා ගාථාව කියල එක වළක්වලා උගුලක අසුකරගන්න හිතපු වැද්දා උගුලක් ගාව උදේම සෙබඩක් බැදලා නාද කරවනවා.

උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මත්වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට පියාඹගෙන එද්දී උගුලේ අහුවෙනවා. පේනවා නේද ගෑණු මායමේ තරම :))

පස්සේ වැද්දා බෝසත් රන් මොණරාව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාරදෙනවා. හුඟාක් සතුටු වෙන රජතුමා බෝසත් රන් මොණරව තමන්ගේ සිංහාසනයේ වාඩි කරවනවා.

බෝසත් රන් මොණරා සහ බරණැස රජතුමා අතර ඇතිවුණු සංවාදය මෙහෙමයි


බෝසත් රන් මොණරා : රජතුමනි, මෙච්චර මහන්සිවෙලා මාව අල්ලගත්තේ ඇයි ?

බරණැස රජතුමා : රන් මොණර මස් කාපුවාම අමරණීය වෙනවා කියලා කියන නිසා අමරණීය වෙන්න මස් කන්න හිතාගෙනයි අල්ලගත්තේ

බෝසත් රන් මොණරා : මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය ඉන්නවද ?

බරණැස රජතුමා : ලෝකේ රන් මොණරෙකුට ඉන්නේ ඔබ විතරයි, ඒක නිසා මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය නැහැ

බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමාගේ කතාව පරස්පර විරෝධීනේ. මීට කලින් රන් මොණරෙක් හිටියෙත් නැත්නම් එහෙම අමරණීය වුණු කෙනෙකුත් නැත්නම් දැන් මගේ මස් කාපුවාම අමරණීය වෙයි කියලා කොහොමද හිතන්නේ ?

බරණැස රජතුමා : ඔබේ ශරීරය රන්වන් පාට නිසා රන් මොණරෙක්ගේ මස් කාපුවාම අමරණීය වෙනව කියලා අහලා තියෙනවා
බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමා මගේ මස් කන්නේ මරලද මරන්නේ නැතුවද ?

බරණැස රජතුමා : ඔබේ මස් කන්නේ ඔබව මරලා

බෝසත් රන් මොණරා : රජතුමනි ඔබේ ඒ කතාවත් පරස්පර විරෝධීනේ. මාව මරලා නම් මස් කන්නේ මමත් මියයනවා නම් මගේ මස් කන අය මිය යන්නේ නැතුව අමරණීය වෙන්නේ කොහොමද ? මහානුභාව සම්පන්න දෙවියෝ, බ්‍රහ්මයෝ වගේම ලෝකය බබුළුවන සූර්යයා හා චන්ද්‍රයාත් දවසක අන්තර්ධාන වෙනවා නම් මේ ලෝකේ සදාකාලික තියෙන්න පුලූවන් වස්තුවක් තියෙන්න පුලූවන්ද ?

මේ විදිහට බෝසත් රන් මොණරා රජතුමාට කරුණු කාරණා පහදලා දෙනවා.

පස්සේ රජතුමාට ගැටළුවක් ඇතිවෙනවා මේ විදිහට රන්වන් පැහැයක් මේ මොණරාට ලැබුණේ කොහොමද කියලා. ජාතිස්මරණ ඤාණය (පෙර ආත්ම භාව සිහි කිරීමේ නුවණ) තියෙන බෝසත් රන් මොණරා කියනවා තමන් මීට පෙර මේ නුවර සක්විති රජවෙලා හිටි බවත් ඒ කාලයේදී තමන් වගේම තමන්ගේ රටවාසීනුත් පංච සීලය ආරක්ෂා කරන්න පෙළඹුවා කියලා.

තමන් මියගියාට පස්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම දිව්‍ය සම්පත් විඳලා මිය ගිහින් කරපු කිසියම් අකුසලයක් නිසා තිරිසනෙක් වෙලා උපන්නත් පන්සිල් ආරක්ෂා කරපු ආනුභාවයෙන් රන්වන් රූපයක් ලැබුණා කියලා.

ඒ වගේම රජතුමාගේ මඟුල් පොකුණ හිස් කරවලා ඒකේ නිධන් කරවලා තිබුණු වස්තුවත් පෙන්වලා තමන්ගේ කතාවේ සත්‍යතාව තහවුරු කරවනවා.

මේ කතාවෙන් පස්සේ රජතුම හුඟාක් සතුටුවෙලා බරණැස් රාජ්‍යයම බෝසත් රන් මොණරාට පූජා කරනවා. ඒත් බෝසත් රන් මොණරා රාජ්‍ය රජතුමාටම පවරලා පන්සිල් රකින එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියාදීලා එයාලව පංච සීලයේ පිහිටවලා ආයි හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කරලා මිය යනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාලට පන්සිල් රකින එකේ ආනිශංස වැටහෙන්න ඇති. ඒ වගේමයි ඒ බෝසත් රන් මොණරා ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරපු ගාථා ඔයාලටත් ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරන්න පුලූවන්. තේරුමත් දැනගෙන මේ ගාථා භාවිතා කළොත් ඒ කාර්යය තවත් අර්ථවත් වේවි.

මේ කතාව බුදුසරණ පත්තරෙත් තිබුණා. ඒක බලන්න මෙන්න පාර

මෝර පිරිත ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් මේ සබැඳියෙන් මහමෙව්නා අසපුවේ අඩවියට පිවිසෙන්න පුලුවන්. ඒ වෙබ් පිටුවේ පහළට වන්නට තිබෙන පිරිත් දේශනා කොටසේ 7 වෙනි පිරිත ලෙස මෝර පිරිත තිබෙනවා

මේ කතාව මම උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් විසින් රචනා කරපු "පූජාවලිය" කියන මාහැඟි ග්‍රන්ථයෙන්. මේ ග්‍රන්ථය මට කියවන්න ලබාදුන්නු පූජ්‍ය කරගස් ආරේ අරියධම්ම හිමියන්ටත් මම කරපු මේ කාර්යයෙන් කිසියම් කුසලයක් ඇත්නම් කොටසක් අත්වේවා..........
ප.ලි.: මීට කලින් මම ලියපු "පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය මනුස්සයෙක්" කතාවේත් අන්තිමට ඉහළින් තියෙන විදිහටම මම පුණ්‍යානුමෝදනාවක් කරලා තිබුණා.

ඒකට අපේ කතන්දර කියලා තිබුණා "මට මතක්වුනේ ඉස්සෙල්ලා හිඟන්නෙකුට රුපියල් පහක් දීලා විනාඩියකට පස්සේ ඒ පිනෙන් ඇදෙන්න කියලා ප්‍රාර්ථනය කරමින් රුපියල් විස්සකට ශනිදාවක් ගන්න අයවයි. පිණ කරලා තීන්ත වේලෙන්නත් කලින් රිටන් එක ගන්න සෙට් වෙලා ඉවරයි!" කියලා.

ඒකට පිළිතුරක් විදිහට කියන්න කැමතියි හිඟන්නන්ට සල්ලි දීලා ඒ පිනෙන් ටිකට් ගන්න අරන් ඒක ඇදෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම කියන්නේ "ස්වාර්ථ සාධනයක්". එතන තමන්ගේ පුද්ගලික ලාභය ගැන විතරයි සළකලා තියෙන්නේ.

ඒත් මම ඉදිරිපත් කරපු කතාව තුළින් ධර්ම දානයක් කරන්නයි උත්සහ කළේ. ධර්ම දානය කුසලයක් බව අමුතුවෙන් කාටවත් පහදලා දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒකට දායක වුණු පුද්ගලයෙක්ව සිහිපත් කරන්න ඒ අවස්ථාව මම යොදා ගත්තේ. ඒක හිඟන්නට සල්ලි දීලා ටිකට් ඇදෙන්න කියලා හිතන මිනිස්සුන්ගේ කතාවට සමාන කරන්න එපා කියන එක මතක් කරන්න කැමතියි.

ඒ වගේමයි තීන්ත වේලෙනකම් හුඟක් වෙලා බලන් ඉන්න ඕනේ වගේ, පින් කියන ජාතිය ලැබෙන්න හොඳ කාර්යයක් කරලා හුඟාක් වෙලා බලන් ඉන්න ඕනේ නැති බව කියන්න කැමතියි :) චේතනාව හොඳ නම් වැඩේ හරි

Sunday, April 15, 2012

හොරු අරන් ගිය අපේ අලුත් අවුරුද්ද. දුක තමා හසිත :(


ලංකාවේ ඉන්න සිංහල, දෙමළ හැමෝම අලුත් අවුරුද්ද සමරනවා. පිටරට ඉන්න සිංහල, දෙමළ අයත් අලුත් අවුරුද්ද සමරනවා. දුප්පත් වේවා පොහොසත් වේවා හැමෝම තමන්ට පුලු පුලුවන් හැටියට අලුත් අවුරුද්ද සමරනවා.

ඒත්...... අහිංසක අපිට මේ පාර අලුත් අවුරුද්දක් සමරනවා තියා කොටින්ම අලුත් අවුරුද්දක් නැති තරම්.....

කවුද මේ අපි කියන්නේ ? අපි කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න අහිංසක අපි.

ඇයි අපිට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ කාට හරි මතුවෙන්න පුලුවන්. ඔන්න ඒකටත් උත්තරයක් දෙන්නම්.

කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන වාර්ෂිකයේ විභාග කටයුතු තියෙන්නේ අප්‍රේල් 19 ඉදන්.


අප්‍රේල් 19 ඉදන් මැයි 16 විතර වෙනකම් විභාගේ තියෙනවා කියලා තමා ආරංචිය. ඉතිහාසය විශේෂවේදී කරන අපිටත් "පුදපි ගමන් කාපි යකා" කියලා අප්‍රේල් 20 ඉදන්ම විභාගේ තියෙනවා.

කොහොම නමුත් හැම නරක දේකම හොඳක් තියෙනවා වගේ අපිට විභාගේ තියෙන්නේ අප්‍රේල් 20, 24, 27. ඊට පස්සේ විභාගේ ඉවරයි. ආරංචි විදිහට නම් දෙවන අධ්‍යයන වාර්ෂිකය පටන් ගන්නේ මැයි 28. එහෙම් පිටින්ම මාසයක හොඳ නිවාඩුවක් තියෙනවා. කියන්න බැහැ ඒකටත් මොනවා වෙයිද කියලා.

ඉතින් ඔන්න ඔහොමයි අපේ අලුත් අවුරුද්ද කාබාසිනියා වුණේ :(

ඒ මොනවා වුණත් උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී, ලෝකවාසී සිංහල සහ හින්දු අයට සුභ අලුත් අවුරුද්දක් වේවා.... සාමය සතුට සෞභාග්‍යය දසත පැතිරේවා, කිරි පැණි ඉතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....

ප.ලි.: ඔය ඉතිරෙන කිරි පැණි ඉතුරු වුණොත් ටිකක් මටත් දෙන්න අරන් තියාගන්න :))

ප.ප.ලි.: දැන් කාට හරි හිතෙනවා නම් "මුට විභාගේ 20. ඒත් මූ ෆේස්බුක් අස්සෙයි, බ්ලොග් එක අස්සෙයි කැරකී කැරකී ඉන්නවා පාඩම් කරන්නේ නැතුව" කියලා. ඒකට උත්තරේ තමා මේක මම type කරලා publish වෙන්න දාලා තිබ්බ එකක්. මේක type කළේ අප්‍රේල් 8 ඉරිදා :))

ඒ වගේමයි ලබන සතියේ සෙනසුරාදාටත් ඒ කියන්නේ අප්‍රේල් 21 ටත් publish වෙන්න post එකක් set කරලයි තියෙන්නේ

Friday, April 6, 2012

පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක්


පණ පිටින් දිව්‍ය ලෝකේ ගිය කට්ටිය එහෙමත් නැත්නම් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙම දිව්‍ය ලෝකේ ගිය කට්ටිය ගැන අහලා තියෙනවද කියලා ඇහුවොත් උත්තරේ සමහර වෙලාවට ඔව් වෙන්න පුලූවන් සමහර විට නැහැ වෙන්නත් පුලූවන්.

ඔව් කියලා උත්තරේ දෙන අයට ගුත්තිල ජාතකයේ කියවෙන ගුත්තිල පඬිතුමාව මතක් වෙලා වෙන්න ඇති එහෙම කියන්න. ඒ හැරෙන්න නන්ද හාමුදුරුවන්ව බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝකයට එක්ක ගෙන ගිහින් දිව්‍යාංගනාවෝ පෙන්නපු කතාවත් අහලා ඇතිනේ.

මේ ඔක්කොමත් එක්කම බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා වරින් වර දිව්‍ය ලෝකවලට වගේම බ්‍රහ්ම ලෝකවලටත් වැඩිය බවට ත්‍රිපිටකය වගේම අනෙක් බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයවලින් අපිට විස්තර හමුවෙනවා.

මේ පිරිස් වගේම තවත් පණ පිටින්ම දිව්‍ය ලෝකේ ගිය පුද්ගලයෙක් ගැන විස්තරයක් හමුවෙනවා ගම්පොල යුගයේදී දේවරක්ෂිත ජයබාහු ධර්මකීර්ති හිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ චූලගල්ල වග්ගයේ පළමු කතාව වෙන චූලගල්ල වස්තුවේ. ඒ පුද්ගලයා තමයි සුළුගලු උපාසක. හුදී පහන් ජන සංවේගය උදෙසා බක් පොහොය නිමිති කොටගෙන ඒ කතා වස්තුව කියන්නයි මේ සූදානම.

ලංකාවේ දැදුරු ඔය ආසන්නයේ තියෙන ගමක් වුණු සුළුගලු ගමේ ඒ ගමේ නමින්ම විශාල විහාරයක් තිබුණා. ඒ විහාරයේ වැඩ වාසය කරපු භික්ෂූන් වහන්සේලාට නිරතුරුවම ගම් වැසියන් සිව්පසයෙන්ම පුද පූජා කළා. එක

දවසක් මේ විහාරයේ වැඩ වාසය කරපු මලියදේව මහ රහතන් වහන්සේට ( මේ මලියදේව මහ රහතන් වහන්සේ සම්බන්ධවත් කතා රැසක් තිබෙනවා. ලංකාවේ වැඩ සිටි අවසන් රහතන් වහන්සේ උන් වහන්සේ කියලයි විශ්වාස කරන්නේ) රාත්‍රියේදී බඩේ අමාරුවක් හට ගන්නවා.

ඒ බඩේ අමාරුව මීට පෙරත් හැදුණු අවස්ථාවක ඖෂධ වර්ග එකොළහක් දාලා හදන එකාදසයාගු කියන බෙහෙත් කැඳ වැළඳුවාම සනීප වුණු නිසා උන්වහන්සේ මේ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කොහෙන්ද කියලා දිවැසින් බලද්දී පෙනෙන්නේ සුළුගලු උපාසකගේ නිවසට වැඩම කළොත් ඒ බෙහෙත් කැඳ ලබාගන්න පුලූවන් කියලා.

උදෑසන කරන බෝ මළු ඇමදීම් වගේ වත් නිමා කරපු උන්වහන්සේ සුළුගලු උපාසකගේ නිවෙසට පිඬු සිඟා වඩිනවා. විහාරස්ථානයේ ඉදන් සුළුගලු ගමට අහසින් වැඩිය ආකාරය වගේම ගමනේ වේගය උපමා තුනකින් දක්වනවා

නිල් නෙලුමක් තුඩින් අරගෙන අහසට නැඟුණු ගරුඬරාජයෙක් වගේ දික් කරපු අතක් නමා ගන්නා වෙලාවටත් කලින් සක්විති රජතුමාගේ අතට ගමන් කරන සිතුමිණි මැණික වගේ අහසින් සුළුගලු ගමට වැඩම කළා කියලා


පිළිවෙලින් පිඬු සිඟා වැඩිය මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසක දන්දීමටම හදලා තිබුණු ආසන ශාලාවට වැඩම කරලා අසුන් ගන්නවා. සුළුගලු උපාසක මලියදේව මහ රහතන් වහන්සේව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කතා බස් කරද්දී උන්වහන්සේට ශරීරාබාධයක් තිබෙන බව පෙනිලා ඒ බව ප්‍රශ්න කරනවා . උන්වහන්සේ තමන් වහන්සේට බඩේ අමාරුවක් තිබෙන බව හඟවනවා

එතකොට සුළුගලු උපාසක උන්වහන්සේට එකාදසයාගු කියන බෙහෙත් කැඳ තනන තෙක් වැඩ ඉන්න කියලා ආරාධනා කරනවා. මේ උපාසක අනාගතයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදින නිසා ඒකට අනුග්‍රහයක් විදිහට බෙහෙත් කැඳ පිසින තෙක් තව්තිසා දිව්‍ය ලෝකයට ගිහින් සිළුමිණි සෑය ( සිළුමිණි සෑය කියන්නේ සිදුහත් කුමාරයා තවුස් දම් පුරන්න ආරම්භ කරද්දී හිසකෙස් කපලා අහසට විසිකළ අවස්ථාවේ ඒ කේශ ධාතු තැන්පත් කරලා ශක්‍ර දේවේන්ද්‍රයා තනපු දාගැබ. පසුකාලීනව බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ කරපු සර්වඥ ධාතු බෙදීමේදී ලබා ගනිපු දන්ත ධාතුවකුත් මේ තුළ තැන්පත් කර තිඛෙනවා ) වන්දනා කරලා එමු කියලා මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකට කියනවා.

සිළුමිණි සෑය
වදින්න කැමති වුණත් අහසින් යන්නේ කොහොමද කියලා සුළුගලු උපාසක අහද්දී තමන්වහන්සේගේ ආනුභාවයෙන් කැඳවා ගෙන යන්නම් කියලා තමන් වහන්සේ වැඩ හිඳින සම්කඩේ වාඩි කරවලා අහසින් ගිහින් සිළුමිණි සෑයේ සත්රුවනින් කරපු සත්වෙනි දොරටුව ගාවට වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

ඒ අවස්ථාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු දිව්‍ය සේනාව පූජා භාණ්ඩත් අරගෙන පෙරහැරින් තුසිත පුරයේ ඉදන් සිළුමිණි සෑයට වන්දනා කරන්න වඩිනවා. ඒ දිව්‍ය පිරිසේ ඉදිරියෙන්ම වඩින දේවතාවෝ පස් දෙනෙක් මහ ආශ්චර්යකින් යුක්ත වෙනවා.

අලංකාර දිව්‍ය වස්ත්‍ර, දිව්‍යාභරණ, ශරීරාලෝකය, අලංකාර දිව්‍ය රථ යුක්තව ධජ පතාක දිව්‍ය සංගීත භාණ්ඩ ගත්ත දිව්‍ය පුත්‍රයෝ වගේම දිව්‍යාංගනාවන් පිරිවරා ගෙන තමයි මේ දේවතාවෝ පස් දෙනාම වඩින්නේ. අන් දෙවිවරුන්ට වඩා විශාල ආශ්චර්යක් මේ දේවතාවන්ට හිමිවුණේ ඇයි කියලා සුළුගලු උපාසක කරුණු විමසද්දී මලියදේව මහ රහතන් වහන්සේ ඒ දේවතාවන් පෙර අත් භවයේ කරපු පින්කම් දක්වනවා.

පෙර අත් භවයේ ලංකාවේ ඉපිදී සිටි මේ දේවතාවන්ගෙන් අවසාන දේවතාව හැර අනෙක් සිව් දෙනාම විවිධ ගම්මානවල සිටපු ගොපලූ දරුවෝ. මුල් ගොපලූ දරුවා හරකුන්ට තණ කවලා ආපසු එද්දී මල් දැකලා ඒවා කඩාගෙන පැළැඳගෙන එද්දී තුඹසක් දැකලා තමන් පැළැඳගෙන හිටි මල් සියල්ල බුදුන්ට පූජා වේවා කියලා හිතලා තුඹසට පූජා කරලා ඒ මල්වලට වතුරත් ඉසිනවා.

දෙවෙනි ගොපලූ දරුවා දැදුරු ගං ඉවුරේ වැල්ලෙන් දාගැබක් හදලා ඒකට මල් පූජා කරලා ඒ මල්වලට වතුර ඉසලා කොළ මඩුවක් හදලා සෙවණත් සපයනවා. තෙවැනි සහ සිව්වෙනි ගොපලූ දරුවන් කරන්නේ පෙර දක්වපු ක්‍රියාවමයි.

අවසන් දිව්‍ය පුත්‍රයා උපාසකයෙක්ව ඉදලා සංඝයාට ආසන ශාලාවක් කරවලා දන් දුන්නා වගේම ඒ වගේ ශාලා ඉදිකරන්නන්ට උදව් කරනවා. ඒ හැරෙන්න පොකුණු තනන්න වගේම බෝධි ප්‍රාකාර තනන්න උදව් කරනවා. බණ අසන්න මිනිසුන්ට ධර්මඝෝෂා කරනවා ඒ පිනෙන් මිහිර කට හඬ වගේම වගේම පන්සිල් ආරක්ෂා කරනවා ඒ පිනෙන් දිව්‍ය පිරිස්ද උතුරු සළුවක් ධර්මයට පූජා කළ පිනෙන් කප්රුක් පහල වුණු බවයි. මේ කරපු පින්කම් නිසා මේ ආකාරයේ දිව්‍ය සම්පත් ඒ දේවතාවෝ ලැබුවා කියලා මලියදේව මහ රහතන් වහන්සේ දක්වනවා.

අවසානයටම මහ පිරිස් සමඟ මහත් දිව්‍යානුභාවයෙන් වැඩම කරන්නේ මෛත්‍රී බෝසතාණෝ. උන්වහන්සේව මලියදේව මහ රහතන් වහන්සේ විසින් සුළුගලු උපාසකට හඳුන්වා දෙනවා. පස්සේ මෛත්‍රී බෝසතාණන් සමඟ සිළුමිණි සෑය වන්දනා කරන මලියදේව මහ රහතන් වහන්සේ සහ සුළුගලු උපාසක ආපසු පිටත් වෙන්න යද්දී තව තවත් පින්කම් කරන්නැයි සුළුගලු උපාසකට අවවාද කරන මෛත්‍රී බෝසතාණෝ දිව්‍ය වස්ත්‍ර යුගළයක් පිරිනමනවා.

අවසානයේ නැවතත් මලියදේව මහ රහතන් වහන්සේ සුළුගලු උපාසකගේ ගෙදරට දෙදෙනාම පැමිණිලා බෙහෙත් කැඳ වළඳලා නැවතත් විහාරයට වැඩම කරනවා.

මේ දිව්‍ය වස්ත්‍ර දකින ගම්වාසීන් විස්තර අහද්දී සුළුගලු උපාසක ඒවා ලැබුණු ආකාරය වගේම මෛත්‍රී බෝසතාණෝ සම්බන්ධව විස්තර කියලා සත් දවසක් ගම්වාසීන් සමඟ එක්වෙලා පින්කම් කරනවා. අවසානයේ අටවෙනි දිනයේ මියයන සුළුගලු උපාසක තුසිත දෙව් පුරයේ මෛත්‍රී බෝසතාණෝ සමීපයේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදිනවා.

ඉතින් මේ ආකාරයේ සුලු පින්කම් කරලා ලබාගත්තු දිව්‍ය සම්පත්ති ගැන සිතලා බලලා ඔබත් හැකිතාක් පින්කම් කරන්න. ඒ හැමවිටම පැහැදුණු සිතින් ඒවා සිදු කරලා යහපතක් ඉටු කරගන්න.

අවසානයේ නිර්වාණාවබෝධය පිණිස මේ කුසල සම්භාරයන් හේතුවේවා !!!

සද්ධර්මාලංකාරය කියවන්න කැමති නම් මෙන්න ඒකට පාර

ලංකාවේ තියෙන සිළුමිණි සෑය ගැන විස්තර මෙතනින්


මේ කළ සත් කාර්යයෙන් කිසියම් කුසලයක් මට වේ නම් මට සද්ධර්මාලංකාරය කියවන්න ලබාදුන් තිස්ස ලියනාරච්චි සොයුරාටත් එයින් කොටසක් අත්වේවා !!!

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා ලියවෙමින් පවතී