Thursday, August 30, 2012

ගුරු තනතුර පරම්පරාවට යයි - හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 3 කොටස

 ගුරු අමර් දාස්

සීක් දහමේ විකාශනය ගැන කියන කතන්දරයේ අපි මේ වෙද්දී සීක් දහමේ ආරම්භකයා වුණු ගුරු නානක් සහ ගුරු අංගද් ගැන කතා කළා. ඒ වගේමයි ගුරු අංගද් දේව් තමන්ගෙන් පස්සේ සීක් දහමේ මීළඟ ගුරු විදිහට තමන්ගේ අනුගාමිකයෙක් වුණු 72 ක් පමණ වයසැති අමර් දාස්ව නම් කළා කියලත් මතක ඇතිනේ. 

අද කතාව එතන ඉදන්. 1552 මාර්තු 25 වෙනිදා ගුරු අංගද් දේව් මියයාමත් එක්ක ගොවියෙක් වගේම වෙළෙන්දෙක් වුණු ශ්‍රී තේජ් බහාන් බල්ලාගේ පුත්‍රයා වුණු ගුරු අමර් දාස් සීක්වරුන්ගේ ගුරු බවට පත්වුණා. තමන්ගේ මූලස්ථානය ගොයින්ද්වාල් සහීබ්වල පිහිටුවා ගත්තු ගුරු අමර් දාස් සීක් දහමේ ව්‍යාප්තිය උදෙසා එහේ ඉදන් කටයුතු කළා.

කුල භේදය පිටු දකින්න ලොකු සටනක් ගුරු අමර් දාස් සිදු කරලා තියෙනවා. ඒ යටතේ කුල භේදය පිටුදැකීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙතක් විදිහට ගුරු අංගද් දේව් හඳුන්වා දීපු "ගුරු කා ලන්ගාර්" හෙවත් හැමෝම එකට ඉඳගෙන ආහාර අනුභව කිරීමේ සිරිත තවත් හොඳින් අනුගමනය කරන්න ගුරු අමර් දාස් නියම කරනවා. 

 ගුරු අමර් දාස් සහ අක්බාර් අධිරාජයාගේ හමුව

ඒ වනවිට ඉන්දියාවේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන හිටිය මහා අක්බාර් අධිරාජයාත් 1567 දී ගුරු අමර් දාස්ව හමුවෙන්න ඇවිත් ගුරු කා ලන්ගාර් ක්‍රමය ගැන සතුටු වුණා. ඒ වගේමයි මුස්ලිම් නොවන අයගෙන් අය කෙරුණු ජෙසියා බද්ද ඉවත් කරන්නත් මේ අවස්ථාවේ අධිරාජයා පොළඹවා ගන්න ගුරු අමර්දාස් සමත් වෙනවා. 

ඒ වගේමයි හින්දු විවාහ ක්‍රමය වෙනුවට සීක්වරුන් සඳහාම වෙන්වුණු විවාහ ක්‍රමයක් "ආනන්ද් කරාජ්" නමින් නිර්මාණය කරපු ගුරු අමර් දාස් සති පූජාව තහනම් කරන්නත් කාන්තාවන් වේල් එකකින් මුහුණු ආවරණය කරගෙන ඉන්න ඕනේ කියන සිරිත පිටු දකින්නත් කටයුතු කරනවා.

සීක් දහම ව්‍යාප්ත කරන්න කාර්යක්ෂම ක්‍රියා පිළිවෙතක් නිර්මාණය කරපු ගුරු අමර් දාස් ඒ යටතේ "මඤ්ජි" නමින් ක්‍රමයක් ඇති කරනවා. මඤ්ජි ක්‍රමයේදී සිද්ධ වුණේ සීක් දහම ප්‍රචාරය කරන දේශකවරුන් පිරිසක් පුහුණු කරලා ඒ දේශකවරුන් මඤ්ජිස් හෙවත් ශාඛා 22 කට බෙදපු එක. 

 ගුරු අමර්දාස් සහ මඤ්ජිස් 22 නයික්වරුන්

ගුරුට අවනත නයික් නමින් හැඳින්වුණු ආගමික නායකයන් යටතේ මේ එක් එක් මඤ්ජිය පාලනය වුණා. ඒ යටතේ සීක් දහමේ ව්‍යාප්තිය නිශ්චිතව වටහා ගන්න වගේම පැහැදිලි ඉලක්කවලට අරගෙන යන්න පුලුවන්කම ලැබුණා.

1574 සැප්තැම්බර් 1 වෙනිදා ගුරු අමර් දාස් මියයනවා. ඊට කලින් තමන්ගෙන් පසුව මීළඟ ගුරු විදිහට ඔහු නම් කරන්නේ ඔහුගේ දියණිය වුණු බිබී භාණි සරණ පාවා ගත්තු භායි ජේතා නම් පුද්ගලයාව. ගුරු තනතුර හිමිවුණු භායි ජේතාව හැඳින්වුණේ ගුරු රාම් දාස් නමින්. 

 ගුරු රාම් දාස්

ගුරු රාම් දාස් අතින් සිදුවුණු වැදගත්ම කාර්යය විදිහට සැලකෙන්නේ ගුරු අංගද් දේව්ගේ සිහිනයක් වෙලා තිබුණු සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කර එය මැනවින් අවසන් කිරීමයි. ඒ අනුව 1574 දී සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයේ ගුරු රාම් දාස් පදිංචි වෙනවා. 

මුලින් "ගුරු දා චක්" නමින් හැඳින්වුණු ඒ නගරය පස්සේ චක් රාම් දාස් නමින් හැඳින්වෙනවා. පසුකාලීනව අම්රිත්සාර් නමින් ප්‍රසිද්ධ වෙන්නේත් මේ සීක්වරුන්ගේ ශුද්ධ වූ නගරයයි. ඒ නගරය ඇතුලේ ගුරු ද්වාර සහ "හර්මන්දිර් සහීබ්" නමින් ගොඩනැඟිල්ලකුත් ගුරු රාම් දාස් නිර්මාණය කරවනවා. 

 රන් දෙවොල

දෙවියන්ගේ මන්දිරය කියන තේරුම දුන්නු ඒ ගොඩනැගිල්ල තමා වර්තමානයේදී දර්බාර් සහීබ් "රන් දෙවොල" The Golden Temple නමින් හැඳින්වෙන්නේ. 

මේ හැරෙන්න සදාකාලික බවේ පොකුණ වශයෙන් හැඳින්වෙන සරෝවාර් කියන පොකුණ නිර්මාණය කරන්න ආරම්භ කරන්නේ ගුරු රාම් දාස්. 

ගුරු රාම් දාස් සරෝවාර් පොකුණේ ඉදිකිරීම් අධීක්ෂණය කරමින්

මේ ආකාරයෙන් ගුරු රාම් දාස් තමන්ගේ යෝධ ව්‍යාපෘති සිදු කරන්න මුදල් සොයාගැනීම සිදුකළේ "මසන්ද්" නමින් හැඳින්වුණු ක්‍රමයේ ආධාරයෙන්. ඒ යටතේ ගුරු වෙනුවෙනු අනුගාමිකයන්ගෙන් ආධාර එකතු කිරීමක් සිදු වුණා. 

ගුරු රාම් දාස් සහ අක්බාර් අධිරාජයා අතර තිබුණු සමීප හිතවත්කම නිසා එක අවුරුද්දක්ම පංජාබයෙන් අධිරාජයා වෙනුවෙන් ආදායම් බදු එකතු නොකරපු නිසා ගුරු රාම් දාස්ට තමන්ගේ යෝධ ව්‍යාපෘතිවලට ඒක පහසුවක් වුණා. 

මේ යෝධ ව්‍යාපෘති හැරුණාම ගුරු රාම් දාස් සීක් විවාහ ක්‍රමය වුණු ආනන්ද් කරාජ් සඳහා ගීතිකා රචනා කිරීමත් සිදු කරලා තියෙනවා. කොහොම නමුත් කලින් දක්වපු යෝධ ව්‍යාපෘති අවසන් කරන්න නම් ගුරු රාම් දාස්ට හැකිවෙන්නේ නැහැ. 

ඒවා සිදු කරන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වුණු ඔහුගේම පුත්‍රයා වුණු ගුරු අර්ජන් දේව් විසින්. 1581 සැප්තැම්බර් 16 වෙනිදා ගුරු රාම් දාස් මියයන්න කලින් අගෝස්තු 31 වෙනිදා තමන්ගේ පුත්‍රයාව මීළඟ ගුරු විදිහට පත්කිරීමත් එක්කම එතැන් පටන් ගුරු තනතුර පාරම්පරික වූ බවත් පේනවා.

ගුරු අර්ජන් දේව්

අර්ජන් දේව් ගුරු තනතුරට පත්වීමම විශේෂ සිදුවීමක් වෙන්නේ ගුරු කෙනෙකුගේ පුත්‍රයෙක් ඒ තනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව ඒක වෙන නිසා. තමන්ගේ පියා වුණු ගුරු රාම් දාස් ආරම්භ කළ හර්මන්දිර් සහීබ් සහ සරෝවාර් පොකුණේ කටයුතු නිමා කරන්නේ කලින් කිව්වා වගේම ගුරු අර්ජන් දේව් විසින්.

ඔහු කළ විශේෂම කාර්යය වෙන්නේ සීක්වරුන්ගේ පරම පූජනීය ශුද්ධ වූ ග්‍රන්ථය විදිහට සැලකෙන "ශ්‍රී ආදි ග්‍රන්ථ්" හෙවත් ශ්‍රී ගුරු ග්‍රන්ථ් සැකසීමයි. ගුරු නානක්ගේ සිට පැවත එන දේශනා සහ යාඥා ඇතුළත් වුණු මේ ග්‍රන්ථයේ ගුරු නානක්ගේ ගීතිකා 976 ක්, ගුරු අංගද් දේව්ගේ ගීතිකා 61 ක්, ගුරු අමර් දාස්ගේ ගීතිකා 907 ක්, ගුරු රාම් දාස්ගේ ගීතිකා 679 ක් සහ ගුරු අර්ජන් දේව්ගේ ගීතිකා 2041 ක් ඇතුළත් වෙනවා. 

ඒ වගේමයි භක්තිවාදය තුළ ශාන්තුවරුන් විදිහට සැලකුණු කබීර්, නාම්දේව් වගේ අයගේත් ගීතිකා මේ සඳහා ඇතුළත් වෙලා තිබුණා.

හර්මන්දිර් සහීබ්වල තැන්පත් කර ඇති ශ්‍රී ගුරු ග්‍රන්ථ්

1604 අගෝස්තු 16 ශ්‍රී ආදි ග්‍රන්ථ් හර්මන්දිර් සහීබ්වල උත්සවාකාරයෙන් තැන්පත් කරන්න ගුරු අර්ජන් දේව් කටයුතු කරනවා. තවමත් රන් දෙවොලේ තිබෙන පූජනීය වස්තුව විදිහට සැලකෙන්නේ මේ ග්‍රන්ථයයි.

මේ හැරෙන්න මසන්ද් ක්‍රමය වැඩි දියුණු කරපු ගුරු අර්ජන් දේව් සෑම සීක්වරයෙක්ම තම ආදායමෙන් දහයෙන් එකක් වාර්ෂිකව ගුරුට ගෙවිය යුතුයි කියලා නියම කළා. "දශ්වන්ඕ" නමින් ඒක හැඳින්වෙනවා. ඒ වගේමයි කර්තාර්පූර් සහ හර්ගෝබින්ද්පූර් නමින් අලුත් නගර දෙකකුත් සීක්වරුන් වෙනුවෙන් ගුරු අර්ජන් දේව්ගේ උපදෙස් මත ගොඩනැංවෙනවා.

ජහාන්ගීර් අධිරාජයා

මේ ආකාරයෙන් පංජාබය තුළ කටයුතු සිදුවෙද්දී ඉන්දියාව තුළ ගැටුම්කාරී තත්වයකට මග පෑදෙමින් තිබ්බේ. මහා අක්බාර් අධිරාජයා මියයාමත් එක්ක අධිරාජ්‍යය පැවරුණේ අක්බාර්ගේ පුතා වුණු ජහාන්ගීර්ට. ඒත් හුඟක් දෙනා විශ්වාස කළේ ජහාන්ගීර්ටත් වඩා අධිරාජ තනතුරු සුදුසු ජහාන්ගීර්ගේ පුතා වුණු කුෂ්රාව් කුමාරයාට කියලා. මේක නිසා ජහාන්ගීර් තමන්ගේ පුතා ගැන ලොකු සැකයකින් හිටියේ.

පියාට විරුද්ධව සේනා රැස් කරන්න පංජාබ් ප්‍රදේශයට ආපු කුෂ්රාව් කුමාරයාට ගුරු අර්ජන් දේව්ගේ සහයෝගය හිමිවෙනවා. ඒත් අවසානයේදී සිද්ධ වෙන්නේ ලාහෝර් ප්‍රදේශයේ පාලකයා කුෂ්රාව් කුමාරයාට විරුද්ධ වීමත් එක්ක ජහාන්ගීර් අධිරාජයා ලාහෝරවලට ඇවිත් කුෂ්රාව් කුමාරයාව සිරභාරයට ගත්තු වගේම කුෂ්රාව්ට උදව් කරපු අයට දරුණු වධ හිංසා කරලා මරණයට පත් කරපු එක.

 ගුරු අර්ජන් දේව්ව මරා දැමුණු ආකාරය

කුෂ් රාව්ගේ යුධ ව්‍යාපාරයට ගුරු අර්ජන් දේව් ආධාර ලබාදීපු නිසා ඒ වෙනුවෙන් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන්න කියලා ජහාන්ගීර් අධිරාජයා නියම කළත් ඒකට ගුරු අර්ජන් දේව් එකඟ වෙන්නේ නැහැ. මේ නිසා 1606 මැයි 30 වෙනිදා ලාහෝරයේදී ගුරු අර්ජන් දේව්ව ජහන්ගීර් අධිරාජයාගේ අණින් රත් කරපු ලෝහ තැටියක් උඩ වාඩි කරවලා මරා දමනවා.

ගුරු අර්ජන් දේව්ව දරුණු වධ හිංසා කරලා මරා දැමීමත් එක්ක සාමකාමී පිරිසක් වුණු සීක්වරු යුධකාමී පිරිසක් බවට පත්වෙන්න හේතු වෙනවා. ඒ සඳහා කටයුතු සූදානම් කරන්නේ ගුරු අර්ජන් දේව්ගේ එකම පුත්‍රයා වුණු ඒ වගේම මීළඟ ගුරු වුණු ගුරු හර්ගෝබින්ද්.

ඒ කතාව අපි ඊළඟට කියවමු.......

Sunday, August 26, 2012

හර්බජාන් සිං, මන්මෝහන් සිංලා 2 කොටස - ගුරු අංගද් දේව්

ගුරු අංගද් දේව්
මීට පෙර ලියපු ලිපියෙන් හුඟක් දෙනා ශීඛ්වරු ගැන යමක් දැනගත්තා කියලා දැනගන්න ලැබුණා. මේ තමයි එදා කතාවේ ඉතිරිය.

ගුරු නානක් දේව් මිය යන්න ආසන්න කාලයේදී තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන ශ්‍රාවකයන් පිරික්සලා බලලා තමන්ගේ අනුප්‍රාප්තිකයා එහෙමත් නැත්නම් මීළඟ ගුරු නම් කරනවා. ඒ ගුරු අංගද් දේව්. මෙතුමාගේ ඇත්ත නම වුණේ භායි ලේනා. භායි ලේනා උපත ලබන්නේ 1504 මාර්තු 31 වෙනිදා පංජාබයේ සරේ නාගාවලදී හින්දු ජාතික දෙමව්පියන්ට දාව.

බාබර්ගේ ආක්‍රමණ නිසා සිය පවුලත් එක්ක පංජාබයේ කදූර් සහීබ් ප්‍රදේශයට එන භායි ලේනාට දවසක් ගුරු නානක් දේව් ගැන අහන්න ලැබෙනවා. පසුව ජ්වලමුඛී කෝවිලට වන්දනා ගමනක් යන අතරතුරේදී භායි ලේනා තමන්ගේ කණ්ඩායමට නොදන්වා හොර රහසේම ගුරු නානක් දේව් වාසය කරපු කර්තාර්පූර්වලට එනවා.

එහිදී මුල් වරට ගුරු නානක් දේව් හමුවීමත් සමඟම තම ජීවිතයේ ඉතිරි කාලයේ එතුමා සමීපයේ ගත කරන්න භායි ලේනා තීරණය කරනවා. ඒ අනුව භායි ලේනා ඉතාමත් විශ්වාසීව වගේම හිතෛෂීව ගුරු නානක්ට සේවය කරනවා.

ඒ පිළිබඳව කතා කීපයක් ශීඛ් ග්‍රන්ථවල සඳහන් වෙනවා. පසුකාලීන භායි ලේනාව තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට ගුරු නානක් දේව් නම් කරන්නේත් මෙවැනි සිදුවීම් නිසා.

මඩ වළට විසිකළ ජොග්ගුව ගන්නා භායි ලේනා

එක් අවස්ථාවක ගුරු නානක් දේව් වතුර පුරවපු ජොග්ගුවක් මඩ වළකට විසි කරලා තමන්ගේ පුතුන්ට වගේම ප්‍රධාන අනුගාමිකයන්ට අණ කරනවා ඒක රැගෙන එන්න කියලා.

මෙහිදී ගුරු නානක් දේව්ගේ පුතුන් දෙදෙනා මේ කාර්යය ප්‍රතික්ෂේප කරන්නේ එය ගුරුගේ දරුවන්ට සුදුසු නොවන පහත් ක්‍රියාවක් කියලා. නමුත් භායි ලේනා මඩ වළට බැහැලා ඒ ජොග්ගුව අරන් එය සෝදලා පිරිසිදු කරලා පිරිසිදු වතුර පුරවලා ගුරු නානක් දේව්ට පිළිගන්වනවා.

තවත් අවස්ථාවක ගුරු නානක් අණ කරනවා තමන්ගේ ගෙදර කැඩුණු බිත්තියක් සකස් කරන්න කියලා. ගුරුගේ පුතුන් දෙදෙනා ඒ කාර්යය මග හරිමින් පෙදරේරුවන් ගෙන්වන්න යද්දී ගුරු නානක් කියන්නේ "මට ශිෂ්‍යයන් සිටින නිසා පෙදරේරුවන් අවශ්‍ය නැහැ" කියලා.

පස්සේ භායි ලේනා බිත්තිය හදන්න පටන් ගන්නවා. ලේනා බිත්තිය සාදා නිම කළාට පස්සේ ගුරු නානක් කියනවා ඒක ඇදයි නැවත හදන්න කියලා. බිත්තිය කඩලා නැවත ලේනා බිත්තිය ගොඩ නඟනවා.

මේ විදිහට තුන් පාරක්ම වෙනවා. ඒ වෙලාවේ ගුරු නානක්ගේ පුතුන් භායි ලේනා මෝඩයෙක් කියලා හාස්‍යයට ලක් කරද්දී ලේනා කියන්නේ "ස්වාමියාගේ කාර්යයන්ගෙන් සේවකයන්ගේ දෑත් සැමවිටම කාර්යබහුලව තිබිය යුතුයි" කියලා.

ඒ වගේම තවත් අවස්ථාවක ගුරු නානක්ගේ ගවයින්ට තණකොළ මිටි 3 ක් ගේන්න කියලා එතුමා නියම කරනවා. මෙයත් නිසි පරිදි ඉටු කරන්නේ භායි ලේනා. ඒ තණකොළ මඩ සමඟ තිබුණු නිසා භායි ලේනාගේ ඇඳුම් සියල්ල මඩවලින් තෙත් වෙනවා.

එය දැක්ක ගුරු නානක්ගේ බිරිඳ ඒ ගැන ගුරු නානක්ගෙන් ප්‍රශ්න කළාම එතුමා ප්‍රකාශ කරන්නේ "මේ මඩ නොවෙයි. දෙවියන්ගේ අධිකරණයෙන් නිසි තැනැත්තා තෝරා ගත් බවට පෙන්වන ඝන කහ වර්ණයයි" කියලා.

අවසන් පරීක්ෂණය විදිහට දවසක් ගුරු නානක් කැලෑවේ තමන්ගේ ශිෂ්‍යයන් එක්ක ගමන් කරද්දී රන් සහ රිදී කාසි ඉදිරියට විසි කරනවා. එය අහුලා ගන්න භායි ලේනා සහ භායි බුද්ධාව සොහොන් බිමට අරන් යන ගුරු නානක් එහි තිබෙන මළ සිරුරක් අනුභව කරන්න ඔවුන්ට නියම කරනවා.

බයට පත්වෙන භායි බුද්ධා පැනලා ගියත් භායි ලේනා ගුරු අණට කීකරු වෙලා මළ සිරුර අනුභව කරන්න එය ආවරණය කරලා තිබුණු රෙද්ද ඉවත් කළාම ප්‍රසාද් එහෙමත් නැත්නම් ශුද්ධ වූ ආහාර හමුවෙනවා. ඒව ගුරු නානක්ට පිළිගන්වන භායි ලේනා ගුරු නානක් ඉතුරු කළ කොටස අනුභව කරනවා.

ගුරු නානක් දේව් ගුරු අංගද්ව දෙවෙනි ගුරු ලෙස නම් කිරීම

අවසානයේදී භායි ලේනා තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙසට නම් කරන්න තීරණය කරන ගුරු නානක් දේව් 1539 සැප්තැම්බර් 7 වෙනිදා භායි ලේනාව ස්පර්ශ කරලා අංගද් කියලා නම් කරනවා වගේම දෙවෙනි ගුරු විදිහටත් නම් කරනවා. අංගද් කියන එකේ තේරුම තමන්ගේම මසින් සෑදුණු අයෙක් එහෙමත් නැත්නම් තමන්ගේ කොටසක් කියන එකයි.

1539 සැප්තැම්බර් 22 ගුරු නානක් දේව් මියගියාට පසුව නැවතත් තමන්ගේ උපන් ගම වෙන කදූර් සහීබ් වෙත ගුරු අංගද් දේව් පිටත් වෙනවා. ඒ ගුරු නානක් දේව් ලබාදුන් දහමේ ශුද්ධ ලියවිලි වගේම සාරයත් සමඟ.

එහි සිට ශීඛ් දහම ව්‍යාප්ත කිරීමේ කාර්යය පටන් ගන්න ගුරු අංගද් අතින් විශාල වැඩ කොටසක් ඉටුවෙනවා. ඒ යටතේ ගුරු අංගද් දේව් දේව නාගරී එහෙමත් නැත්නම් සංස්කෘත අක්ෂරවලින් "ගුරුමුඛී" නමින් නව අක්ෂර මාලාවක් නිර්මාණය කරන්න සමත් වෙනවා.

ඒ ගුරුමුඛී අක්ෂර මාලාවෙන් "ගුරුභණී" ( ගුරුගේ භාෂිතය ) එතුමා ලියනවා වගේම ගුරු නානක් දේව්ගේ චරිතාපදානය සකස් කරන්න මුල් වෙන්නෙත් ගුරු අංගද් දේව්. ඒ සඳහා බායි බාලාගෙන් කරුණු සපයා ගන්නවා. ඒ වගේම "ගුරු ග්‍රන්ථ සහීබ්" හි අඩංගු වෙන ශ්ලොක් 63 ක් පමණ රචනා කරන්නේ ගුරු අංගද් දේව්.

කුඩා දරුවන්ට උගන්වන ගුරු අංගද්

කුඩා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්නත් ගුරු අංගද් දේව් කටයුතු කරනවා. එතුමා ලොකු කැමැත්තක් දක්වලාත් තියෙනවා කුඩා දරුවන්ට උගන්වන්න. තරුණයන් සඳහා "මාල් අඛාරා" නමින් ශාරීරිකව වගේම ආධ්‍යාත්මිකවත් සවිමත් කිරීමේ වැඩසටහනකුත් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා.

මේ විදිහට ශීඛ් දහමේ වර්ධනයට නව අංග හඳුන්වා දෙන ගුරු අංගද් දේව් ගුරු නානක් දේව් ඉදිරිපත් කළ "ගුරු කා ලන්ගාර්" එහෙමත් නැත්නම් එකට හිඳගෙන ආහාර අනුභව කිරීම හෙවත් නිදහස් සහභෝජනය ශීඛ්වරුන් අතර තව තවත් ජනප්‍රිය කරන්න කටයුතු කළා.

නිදහස් සහභෝජනය

මේ යටතේ ගුරුගේ සිටම සෑම ශීඛ්වරයෙක්ම එකට හිඳ ආහාර අනුභව කළා. මේකෙන් කුල භේදය පිටු දකින්න හැකිවුණා වගේම ශීඛ්වරු අතර සහෝදරාත්මක හැඟීම් ව්‍යාප්ත වෙන්න මුල් වුණා.

ගුරු අංගද් දේව්ත් සංචාරය කරමින් ගුරු නානක් දේව් ආරම්භ කරපු ශීඛ් මධ්‍යස්ථානවලට ගියා වගේම තවත් මධ්‍යස්ථාන 100 ක් පමණ ඇති කරන්නත් කටයුතු කළා.

ගුරු තනතුර ශීඛ් දහමේ ප්‍රබලතම වගේම වැදගත්ම තනතුර බවට පත්වෙලා තිබුණු නිසා ගුරු අංගද් දේව් එය මනාව තේරුම් අරගෙන ශීඛ්වරුන්ටම සුවිශේෂ අනන්‍යතාවක් ඇති වෙන විදිහට ශීඛ් දහම සංවිධානාත්මක දහමක් බවට පත් කරන්න මුල් අඩිතාලම දමනවා.

ගුරු අංගද් විසින් ගුරු අමර්දාස්ව තෙවෙනි ගුරු ලෙසට නම් කිරීම

තමන්ගේ ගුරුවරයා තමන් නම් කළා හා සමානවම කටයුතු කරන ගුරු අංගද් දේව් තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට අමර්දාස්ව නම් කරලා තමන්ට ගුරු නානක්ගෙන් හිමිවුණු ශුද්ධ ලියවිලි සියල්ලත් ගුරු අමර්දාස්ට භාර කරනවා.

1552 මාර්තු 29 ගුරු අංගද් දේව් මියයද්දී කදූර් සහීබ් ආසන්නයේ ශීඛ්වරුන් සඳහා නව නගරයක් ඉදිකිරීම ආරම්භ කරලා තිබුණේ එහි වැඩ පරීක්ෂාවට පත් කරලා තිබුණේත් ගුරු අමර්දාස්ව. පසු කාලීනව ශීඛ්වරුන්ගේ ප්‍රධාන මූලස්ථානය වගේම ශුද්ධ නගරය වෙන අම්රිත්සාර් නගරය ඉදිවෙන්න පටන් ගන්නේ ඒ විදිහටයි.

ඉතිරි ගුරුන් 8 දෙනා ගැන විස්තරේ බලාපොරොත්තු වෙන්න

Thursday, August 23, 2012

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන්

සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්

මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.

අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. 

ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා මලය මහ තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණු.

දවසක් දවල් දානය ලබාගන්න පිණ්ඩපාතයේ වැඩම කරපු මලය හාමුදුරුවෝ දැකපු මානෙල් මල් කඩන්න ගිය මනුස්සයෙක් තමන් ගාව තිබුණු මානෙල් මල් මිටි 8 ක් හාමුදුරුවන්ට පූජා කළා.


ඒ එක මල් මිටියක මානෙල් මල් 16 ක් පමණ තිබුණා. මේ මානෙල් මල් මිටි අටේ දඬු පාත්‍රය ඇතුළට තිබෙන විදිහට තබාගත්තු මලිය හාමුදුරුවන්ට මේ මානෙල් මල්වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම්කළු සොබාවයත් එක්ක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙනවා.

ඒ නිසාම උන්වහන්සේ කල්පනා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවද ? රුවන්මැලි සෑයට පූජා කරනවද ? එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා.

අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදු හාමුදුරුවන්ගේ දකුණු දළදාව වගේම සිදුහත් කුමාරයා තවුස් වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතු තැන්පත් කරලා තියෙන තව්තිසා දිව්‍ය ලෝකයේ "සිළුමිණි" සෑයට පූජා කරන්න. 

බුද්ධාලම්භන ප්‍රීතියත් එක්ක ක්ෂණිකව අහසට වඩින මලිය හාමුදුරුවෝ සුලු වේලාවකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාළිගාව වෙන වෛජන්ති ප්‍රාසාදය ඉදිරියට වැඩම කරවනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

යොදුනක වට ප්‍රමාණය තියෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලිය හාමුදුරුවෝ සෑ මළුවේ ඉද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් උන්වහන්සේට නමස්කාර කරනවා.

උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා "ශක්‍ර දෙව් රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවාද?" කියලා

ශක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දෙනවා "ස්වාමිනී, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව් වරක් සිළුමිණි සෑය වන්දනා කරන්න පැමිණෙනවා. අදත් එවැනි දිනයක්. ඔබවහන්සේ මඳක් රැඳී සිට බෝසතුන්වත් හමුවෙන්න" කියලා

ටික වේලාවකින් බලසම්පන්න දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක සෑ මළුවට පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා. 

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානපති හරිතාල තිස්ස කියලා.

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒකාවන්තිස්ස මහ රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු සද්ධාතිස්ස මහ රජතුමා කියලා. 

හතරවෙනියට බොහොම ප්‍රභාෂ්වර දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු දුටුගැමුණු මහ රජතුමා කියලා.


අවසාන වශයෙන් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන බොහොම ප්‍රභාෂ්වරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනට පැමිණෙනවා.

මලය හාමුදුරුවෝ දැකපු බෝසතුන් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා "ඔබවහන්සේ කුමන රටකින් වැඩියාද? කියලා. මලය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා තමන්වහන්සේ ලංකාද්වීපයේ ඉදන් වැඩම කළා කියලා.

ඊට පස්සේ ලංකාද්වීපයේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතුන් අහපුවාම මලය හාමුදුරුවෝ කියනවා "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" කියලා ප්‍රකාශ කරලා සිළුමිණි සෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලොව බලා පිටත් වෙනවා. මලය හාමුදුරුවෝත් සෘද්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා.

සීහලවත්ථු කතාවෙන් මේ කතාව උපුටාගෙන කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ සකස් කරපු මෛත්‍රී බුදු පියාණෝ කියන කෘතියෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.

කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න ඕනේ බුදුන් වහන්සේ දුටු පමණින් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන එකයි. 

බුද්ධ කාලීනව සිටිය වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධකාය දැකලා හැමදාම බුදුන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාවට පාරට වෙලා ඉන්න පටන් ගත්තා. ඊළඟට ඒකත් මදිවෙලා බුදුන් වහන්සේ වැඩ වසන ආරාමයේ පැවිදි වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න ඉන්න පටන් ගත්තා.


අවසානයේදී බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "කිං තෙ වක්ඛලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්ඛලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සෝ මං පස්සති" 

ඒ කියන්නේ "ඇයි වක්ඛලී මාගේ මේ කුණු සිරුර දිහා බලාගෙන ඉන්නේ. වක්ඛලී ධර්මය දකින්නා මා  [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි" කියලා

මේ අවවාදය අහපු වක්ඛලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ තමන්ට බැණ වැදුණා කියලා අතිශය කම්පා වෙලා ගිජ්ඣකූඨ පර්වතයට නගිනවා ඒක උඩින් පැනලා සිය දිවි නසාගන්න හිතලා. ගිජ්ඣකූඨය මුදුනින් බිමට පනින වක්ඛලී හාමුදුරුවන්ව බුදු හාමුදුරුවන්ගේ මහා කරුණා ඇසට හසුවෙලා උන්වහන්සේ සෘද්ධිමය බුදු රුවක් ඒ අසළ මවනවා.

 ගිජ්ඣකූඨය

ඒ අවස්ථාවේදී බිමට පතිත වෙමින් හිටිය වක්ඛලී හාමුදුරුවන්ට කතා කරන සෘද්ධිමය බුදු රුව "වක්ඛලී, මගේ අත ගන්න" කියලා ප්‍රකාශ කිරීමත් එක්ක බුද්ධාලම්භන ප්‍රීතියත් එක්කම වක්ඛලී හාමුදුරුවන්ගේ සිතේ ඇතිවන අධික ආකාරවතී ශ්‍රද්ධාවත් එක්කම උන්වහන්සේ උතුම් වූ රහත් බවට පත්වෙනවා.

අවසානයේදී තමන් වහන්සේගේ සෘද්ධිමය බලයෙන් වක්ඛලී හාමුදුරුවෝ බිමට වැඩම කරනවා.

ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දුටු පමණින් ධර්මය අවබෝධ කරගන්න නොහැකි බවත් අපි වටහා ගන්න ඕනේ.

ප.ලි.: කැලණිය මානෙල්වත්ත විහාරයේ මේ දිනවල ප්‍රදර්ශනය කරපු කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න යන්න කීප දෙනෙක්ම මට කතා කළත් ඇත්තම කිව්වොත් මට යන්න හිතුණේ නැහැ.

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති

Sunday, August 19, 2012

Arts Degree එකක් කළ මුල්ම සහ අවසාන සිංහල රජතුමා - ඉතිහාසයේ අප්‍රකට කතා 15

 මුල්ලේරියා සටන

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා ලිපියෙන් පොරොන්දු වුණු විදිහට යමසිංහ බණ්ඩාරගේ පුතා වුණු දොන් ජුවන් සමඟ එකතු වෙලා ගෝවේට පිටත් වුණු සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුබුරා වගේම අනුප්‍රාප්තිකයා වුණු නිකපිටියේ බණ්ඩාර කුමාරයා ගැන කතාව කියන්න තමා අද මේ සූදානම

මීට කලිනුත් I විමලධර්මසූරිය රජතුමා ගැන කතා කරද්දී සීතාවක රාජසිංහ රජතුමාගේ අවසානය ගැන කෙටියෙන් කතා කළානේ. ඒ කතාවම ටිකක් විස්තර කළොත් කොළඹ කොටුවට සීතාවක රාජසිංහ රජතුමාගෙන් එල්ල වෙන ප්‍රහාර නිසාම ඒකට පිළියමක් විදිහට නැවත වරක් උඩරට රාජ්‍යය ඇති කරලා සීතාවක රාජසිංහ රජතුමාට විරුද්ධ තවත් බල කඳවුරක් ඇති කරන්න පෘතුගීසීන් අදහස් කරනවා.

සීතාවක රාජසිංහ කොළඹ කොටුවට පහරදීම

ඒ අනුව යමසිංහ බණ්ඩාර යටතේ උඩරට රාජ්‍යය නැවත පිහිටෙව්වත් උපායශීලීව උඩරට රාජ්‍යය තමන් යටතට ගන්න කොනප්පු බණ්ඩාර සමත් වෙනවා. 

මේකත් එක්කම කොනප්පු බණ්ඩාර හෙවත් I විමලධර්මසූරිය රජතුමාට විරුද්ධව සතුරු කඳවුරු දෙකක් ඇතිවෙනවා. එකක් තමා පෘතුගීසින්ගේ කඳවුර. අනෙක් එක තමා තමන් යටතේ තිබුණු කන්ද උඩරට උදුරා ගැනීම නිසා ඒකෙන් කෝප වෙන සීතාවක රාජසිංහ රජතුමාගේ කඳවුර

මුලින්ම I විමලධර්මසූරිය රජතුමාත් එක්ක සටනකට එන්නේ සීතාවක රාජසිංහ රජතුමා. ඒ අනුව රාජසිංහගේ මහ සෙනෙවියා වගේම පුරෝහිතයා වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් යටතේ උඩරටට ආක්‍රමණයක් දියත් කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේක නිසා සීතාවක රාජසිංහ රජතුමාම හමුදාව සමඟ උඩරට ආක්‍රමණය කළත් විමලධර්මසූරිය දක්ෂ විදිහට සීතාවක සේනාව පරාජය කරනවා. 

මේ නිසා "එකොළොස් වයස පටන් හේවාකම් කළ මගේ ඉදිරියේ රජෙක් සිටියේ නැත. මෙහ්ඩා උඩරටට පැමුණුනු අය පින් ඇති කෙනෙක. මගේ පින් බල අඩුය" කියලා රාජසිංහ රජතුමා පසු බසිනවා

පෙතන්ගොඩ උයන

පසු බසින රජතුමා පෙතන්ගොඩ උයනට පැමිණුනාට පස්සේ උණ කටුවක් කකුලේ ඇනෙනවා. උණ කටුවේ විෂ වගේම තුවාලෙට කරපු ප්‍රතිකාරයටත් දොඩම්පේ ගණිතයා විෂ එකතු කළා කියනවා. අවසානයේදි රජතුමා මරණාසන්න වුණු නිසා රජතුමාව රාජකීය යාත්‍රාවෙන් කැලණි ගඟ ඔස්සේ සීතාවකට ගෙන එන්නට කටයුතු සිදුවෙනවා. කොහොම වුණත් හෝමාගම කෝරළයේ කිකිළි බිත්තර වැල්ලට පැමිණෙද්දීම රජතුමා මිය යනවා.

රාජාවලිය දක්වන විදිහට රජතුමා මිය ගිය දිනය වෙන්නේ ශක වර්ෂ එක්වාදහස් පන්සිය දහහතර අවුරුද්දේ මැදින් ගුරු දින හතවක් ලත් හතේ නැකත යෙදුණු දිනයයි. ව්‍යවහාර වර්ෂ ක්‍රමයට ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 1592 මාර්තු මාසයේදී තමා රජතුමා මියයන්නේ.

සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යයේ ඇතිවුණු අරාජික තත්වය පිටුදකින්න කටයුතු කරන්නේ එතුමාගේ දියණිය වුණු මැණික් බිසෝ බණ්ඩාරගේ දරුවන්. සොළී කුමාරෙක්ට විවාහ කරදීපු මැණික් බිසෝ බණ්ඩාරට රාජසූරිය සහ ජයසූරිය නමින් පුතුන් දෙදෙනෙක් හිටියා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

රාජසිංහ රජතුමාගේ මුණුපුරන් දෙදෙනා වහාම පැමිණිලා රජතුමාගේ දේහය ගෞරව සහිතව ආදාහනය කරනවා. ඊට පස්සේ වැඩිමහල් කුමාරයා වුණු රාජසූරිය රාජ්‍යත්වයට පත්වෙනවා. ඔහුගේ සහෝදරයා වුණු ජයසූරිය කුමාරයාට බෙලිගල් කෝරළය බාර කෙරෙනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට කදුරුගස් කපොල්ල ඇති ප්‍රදේශය බාර කෙරෙනවා.

හැබැයි මේ වෙද්දී මත්තමගොඩ ප්‍රදේශයේ සීතාවක මායාදුන්නේ රජ පවුලට අයිති වෙන පිරිසක් හිටියා. එයාලගෙන් ප්‍රධාන කෙනා වුණේ සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණිය වුණු ඒ වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ අක්කා වුණු මහා ටිකිරි බිසෝ අදහසින්. [ඇයගේ සැමියා වුණේ වීදිය බණ්ඩාර කියලා පෝල් ඊ. පීරිස් මහතා දක්වනවා. නමුත් වීදිය බණ්ඩාර සරණ පාවා දුන් සීතාවක මායාදුන්නේගේ දියණියගේ නම කුඩා ටිකිරි අදහසින්]

ඇයට මෑණියන් බිසෝ සහ මැණික් බිසෝ නමින් දියණියන් දෙන්නෙක් ඉන්නවා. මැණික් බිසෝ හරිනේෂවර කුමාරයා එහෙමත් නැත්නම් කීරිගම බණ්ඩාර සමඟ විවාහ වෙලා හිටියේ. ඔවුන් දෙදෙනාටත් පුතෙක් සහ දියණියක් හිටියා. නමුත් ඒ වෙද්දීමැණික් බිසෝත්, හරිනේෂවර කුමාරයාත් මිය ගිහින් හිටිය නිසා මේ කුඩා දරුවන් දෙදෙනා හැදුණේ මිත්තණිය වුණු මහා ටිකිරි බිසෝ අදහසින් සමීපයේ.

ඉහළින් කිව්ව කතාවේ නෑකම් එහෙම පැටලෙනවා වගේ නම් පහළ තියෙන පින්තූරේ උඩ ක්ලික් කරලා ඒක අධ්‍යයනය කරලා බලන්න

 
මායාදුන්නේ රජ පවුලේ පවුල් සටහන

සීතාවක රාජසිංහ රජතුමාගේ ආභාවයත් එක්ක තමන්ගේ සොයුරාගෙන් පස්සේ හිස්වුණු සිංහාසනය තමන්ගේ මුණුබුරා වෙන නිකපිටියේ බණ්ඩාරට ලබාදෙන්න මහා ටිකිරි බිසෝ අදහසින් කල්පනා කරනවා. මේක පහසුවක් වෙන්නේ අලුතින් පත්වුණු සීතාවක රජතුමා වුණු රාජසූරියට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පවා එතරම් පක්ෂපාතීත්වයක් නොදැක්වීම නිසා

කුමන්ත්‍රණය දියත් වෙන්නේ සීතාවක අලුත් රජතුමා වුණු රාජසූරිය සීතාවක රාජසිංහ රජතුමාගේ මරණයට වගකිව යුතුයි කියල සැක කරන දොඩම්පේ ගණිතයාගේ දියණියත් එක්ක සබඳතාවක් පවත්වන්න පටන් ගත්තු එක මහජනතාවගේ පිළිකුලට ලක්වීමත් එක්ක. 

මේ අතරවාරයේ බෙලිගල් කෝරළයේ හිටිය ජයසූරිය කුමාරයාට එල්ලවුණු ප්‍රහාරයක් නිසා එයා සීතාවකට පසුබසින්න කටයුතු කරනවා. අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් කදුරුගස් කපොල්ලේ ඉදන් සේනාව අරගෙන මත්තමගොඩින් නිකපිටියේ බණ්ඩාර කුමාරයා ප්‍රමුඛ පිරිසත් අරගෙන සීතාවකට පිටත් වෙනවා.

රජතුමාගේ හමුදාව එයාලට වැඩි මුදලක් ගෙවන්න පොරොන්දු වුණු එකතු වුණු නිසා රාජසූරිය අසරණ වෙනවා. අවසානයේදී කිණිස්සකින් ඇනලා රාජසූරියව ඝාතනය කරන අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් රාජසූරියගේ සහෝදරයා වුණු ජයසූරිය නිවාස අඩස්සියට පත් කරලා සීතාවක නව රජතුමා විදිහට නිකපිටියේ බණ්ඩාර [නිකපිටියේ අදහසින්] පත් කරගන්නවා.

ඒ වුණත් නිකපිටියේ ලාබාල වයසේ හිටිය නිස කුමාරයාගේ භාරකාරීත්වය මිත්තණිය වුණු මහ ටිකිරි බිසෝ අදහසින්ටත් රාජ්‍ය පාලනය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ටත් භාරවෙනවා.

අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ගේ හමුදා නායකත්වය යටතේ සීතාවකට එල්ලවුණු පෘතුගීසි පහරදීම් කීපයක්ම ව්‍යර්ථ කරන්න සීතාවක හමුදාවලට හැකිවුණා වගේම ඔරුතොටදී 1593 අප්‍රේල් සිද්ධ වුණු සටනින් විශිෂ්ඨ ජයග්‍රහණයක් සීතාවකට ලබාදෙන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට හැකිවුණා.

මේ නිසාම ආඩම්බර වුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හමුදා නායකයා වෙලාම ඉන්නේ නැතුව ඉදිරි කාලයේදී රජකමට පත්වෙන්න පුලුවන් සුදුසුකමක් ඇතිකරගැනීමේ අපේක්ෂාවෙන්දෝ සීතාවක රජතුමා වුණු නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියව සරණ පාවා ගන්න කල්පනා කරනවා.

ඒත් ඒ ඉල්ලීමට සුභදායී ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් මහ ටිකිරි බිසෝ අදහසින් මේ ඉල්ලීමට තදින්ම විරුද්ධ වෙනවා. හැබැයි ඒ වෙද්දිත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සරණ පාවාගෙන හිටියේ සීතාවක රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු රාජ හෙට්ටිගේ දියණියව.

දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල්වලින් වන්දනාකාරයෙක් විදිහට ලංකාවට ආපු මේ ආඬියාගේ වර්තමාන ඉල්ලීම් ගැන අපහාසයට ලක් කරන්න තමයි ඒ කාලයේදී අපි කවුරුත් දන්න "අතුරු මිතුරු දඹදිව තුරු" ගීතයත් හැදුණා කියන්නේ. ඒ කතාව අපේ බ්ලොග් සහෘදයක් වෙන චමී "අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා" කියන සටහනෙන් කියලා තියෙන්නේ.

කොහොම වෙතත් මේ අපහාස වගේම ඒ කාලයේ තිබුණු නොයෙකුත් කට කතා නිසා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ගේ ජීවිතේ බේරගන්න තමන්ට පක්ෂපාතී අයත් එක්ක මැණික්කඩවරට පැනලා ගිහින් සීතාවක බලය ලබාගන්න පෘතුගීසීන්ගෙන් ආධාර ඉල්ලනවා.

පෘතුගීසීන්ට පක්ෂ රජෙක් විදිහට ක්‍රියාකරන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් පොරොන්දු වුණු නිසා පෘතුගීසි කපිතාන් සතුටට පත්වෙලා රජුන් පාවිච්චි කරන කබායක් ට එවනවා. රාජාභිෂේක චාරිත්‍ර වාරිත්‍ර පවත්වලා ඒ අවස්ථාවේදී අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ජයවීර බණ්ඩාර නමින් රාජ්‍යත්වයට පත්වෙනවා.

ඒත් සූර්ය වංශික රජුන් විතරක් පිළිගන්න සිංහල ප්‍රධානීන් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අත හැරලා ආයි සීතාවක නිකපිටියේ බණ්ඩාරත් එක්ක එකතු වෙනවා. මේ නිසා අධෛර්යයට පත් නොවුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් තමන්ට පක්ෂ පිරිසත් එක්ක කෝට්ටේ රාජ්‍යයට ගිහින් ධර්මපාල රජතුමා බැහැ දැකලා පෘතුගීසි ආධාරක සේනාත් එක්ක සීතාවකට පහර දෙන්න සැප්තැම්බර් මාසයේදී පිටත් වෙනවා.

පෘතුගීසී සේනාවන්ගේ පැමිණීම ව්‍යර්ථ කරන්න බැරිවුණු තැන නිකපිටියේ බණ්ඩාර තමන්ගේ මිත්තණිය සහ පක්ෂපාතී පිරිසක් සමඟ සීතාවකින් දෙනවක කඳුකරය බලා පලා යනවා.

සීතාවක රජ මාළිගය තිබූ තැන වර්තමානයේදී

සීතාවකට කඩා වැදුණු අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් ප්‍රමුඛ පෘතුගීසි සේනා මාළිගාව ඇතුළු සෑම වැදගත් ස්ථානයකම තිබුණු වටිනා කියන භාණ්ඩ සියල්ලම කොල්ල කනවා. ඒ වගේමයි සඟවලා තිබුණු වස්තුව හොයාගන්න පවා අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් සමත් වෙනවා.

පලා ගිය නිකපිටියේ බණ්ඩාර ඇතුළු පිරිස පසුපස පෘතුගීසි භටයන් 150 ක් සමඟ හඹා ගිය අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් අවසානයේදී පතුල් පාන කඳුවැටිය පහු කරලා දෙනවකට යමින් හිටිය රාජකීය පිරිසව අත් අඩංගුවට ගන්න සමත් වෙනවා.

අත් අඩංගුවට ගත්තු නිකපිටියේ බණ්ඩාරව දොන් පිලිප් නමින් බෞතිස්ම කරලා ඔහුට අධ්‍යාපනය ලබාදෙන්න ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ට භාර කරන්න පෘතුගීසීන් කටයුතු කරනවා. ඒ අනුව මුලින්ම කොළඹ තිබුණු ශාන්ත අන්තෝනි විද්‍යාලයට නිකපිටියේ බණ්ඩාරව ඇතුළත් කෙරෙනවා.

නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරියවත් දෝන මරියා පෙරේරා නමින් බෞතිස්ම කෙරෙනවා. ඒ අවස්ථාවේදීවත් ඇයව සරණ පාවා ගන්න අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසි නිලධාරියෙක් වුණු සයිමන් පිඤ්ඤෝ කුමරියව විවාහ කරගන්නවා. නමුත් සීතාවක නාමික රජකමට අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල්ව පත් කෙරෙනවා.

දොන් ජෝන් කුමරු Dom Joao de Candia

මේ අතර වාරයේදී තමා මීට කලින් ලිපියකින් කතා කෙරුණු යමසිංහ බණ්ඩාරගේ පුත්‍රයා වගේම ඒ වෙද්දී උඩරට රජතුමා වශයෙන් හිටපු දොන් ජෝන් කුමාරයාව පෘතුගීසීන් කොළඹට ගෙන එන්නේ. පස්සේ ඔහුවත් අධ්‍යාපනය ලබාදෙන්න ශාන්ත අන්තෝනි විද්‍යාලයට ඇතුළත් කරනවා.

ටික කලකින් පෘතුගීසි විසුරේවරයා වුණු Matias De Albuquerque ගේ  අණින් සීතාවක හිමිකරු වුණු නිකපිටියේ බණ්ඩාර හෙවත් දොන් පිලිප්වත් උඩරට හිමිකරු වුණු දොන් ජෝන්වත් උසස් අධ්‍යාපනය සඳහා ගෝවේට පිටත් කරන්න ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල් වුණු දොන් ජෙරනිමෝ ද අසවේදු කටයුතු කරනවා.

ගෝවේවල තිබුණු College of Kings හි උසස් අධ්‍යාපනය ලබන්න නිකපිටියේ බණ්ඩාරව යොමු කෙරෙනවා. එහිදී ආරම්භයේදී දේව ධර්මය හා ලතින් භාෂාව හදාරන්න යොමුවුණු නිකපිටියේ බණ්ඩාර පසුව කලා උපාධියක් ලබාගැනීම සඳහාත් කටයුතු ආරම්භ කරනවා.

ඒ වෙද්දී දොන් ජෝන් College of Magi හි උසස් අධ්‍යාපනය ලබමින් හිටියේ. වසර 15 ක් පමණ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලුණු මේ කුමාරවරුන් දෙදෙනා අවසානයේදී ක්‍රිස්තියානි සහෝදරතුමන්ලා දෙදෙනෙක් බවට පත්වෙනවා.

තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියැලෙන්න ඒ දෙන්නාට තිබුණු උවමනාව නිසා 1610 දී පමණ ආන්ද්‍රේ ද ෆර්ටාඩෝ සහ අග්‍රරාජගුරු ප්‍රසාදීන් වුණු ඇලෙක්සියෝ මෙනෙසෙස් භාරයේ කුමාරවරුන් පෘතුගාලයට පැමිණෙනවා. ලිස්බන් වරායේදී මේ දෙදෙනාව පිළිගන්නේ ඔවුන් ගෝවේ වෙතට ගෙන එද්දී ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙලා හිටිය  කොන්ඩේ ද විඩිගුඑයිරා විසින්. 

කුමාරවරුන්ට වාඩිවීමට පසුපස ඇඳි සහිත පුටු පිරිනැමුණු අතර ගෞරවයෙන් ඔවුන්ගේ නිල නිවහන බවට පත් කර තිබුණු ලිස්බන්හි ශාන්ත ෆ්‍රැන්සිස්කෝ ද පොන්ටේවල තිබුණු පූජකාරාමයට ඔවුන් කැඳවාගෙන යනවා. 

III පිලිප්

මේ දෙදෙනාගේ පැමිණීම ගැන දැනගත්තු පෘතුගාලයේ රජතුමා වුණු III පිලිප් මේ දෙදෙනාව කොයිම්බ්‍රා නගරයේ වූ කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ශාන්ත පේදුරු සහ ශාන්ත පාවුළු විද්‍යාලවලට ඇතුළත් කරලා අධ්‍යාපනය ලබාදෙන්න නියම කරනවා.

 කොයිම්බ්‍රා විශ්වවිද්‍යාලය

ඒ වෙනකොටත් කලා උපාධියක් හදාරමින් හිටිය දොන් පිලිප් හෙවත් නිකපිටියේ බණ්ඩාර මේ යෝජනාවට කැමතිවෙලා කොයිම්බ්‍රා වෙතට පිටත් වුණත් ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් වෙන්න කලින් 1611 දී අසනීප වෙලා මිය යනවා. ඒක නිසා තමන්ගේ කලා උපාධිය සම්පූර්ණ කරගන්න නිකපිටියේ බණ්ඩාරට බැරිවුණු බවයි පෙනෙන්නේ.

නිකපිටියේ බණ්ඩාර ඒ විදිහට මියගිය නිසා සීතාවකට ඔහුගේ තිබුණු උරුමයේ හිමිකාරිය වගේම සීතාවක රාජසිංහ රජතුමාගේ උරුමය හිමිවුණේ නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරිය වුණු දෝන මරියා පෙරේරාට.

ඒ කොහොම නමුත් අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් හෙවත් ජයවීර බණ්ඩාරව පෘතුගීසීන් විසින් මරාදැමීමත් එක්ක සීතාවක තිබුණු නාමික පාලනයත් අවසන් වෙලා ඒ ප්‍රදේශයත් පෘතුගීසි පාලනයටම එක් කෙරෙනවා.

සැබෑ නිකපිටියේ බණ්ඩාරගේ කතාව ඒ විදිහට පෘතුගාලයේදී අවසන් වුණත් ලංකාවාසීන් අතර නිකපිටියේ බණ්ඩාර ගැන නැවත වරක් කතා කෙරෙනවා. ඒ 1616 දී පහතරට ප්‍රදේශයේ පුද්ගලයෙක් සීතාවකට උරුමකම් කියමින් පෘතුගීසීන්ට එරෙහිව ඇති කරපු කැරැල්ලත් එක්ක.

සීතාවක රාජසිංහ රජතුමාගේ මුණුපුරා වුණු නිකපිටියේ බණ්ඩාර තමන් කියලා හඳුන්වා ගත්තු ඒ පුද්ගලයා සාර්ථකව් පෘතුගීසි විරෝධී සටන මෙහෙයවනවා. මේ වෙද්දී උඩරට රජතුමා වුණු සෙනරත් වරින්වර උඩරටට එල්ලවුණු පෘතුගීසි ආක්‍රමණවලදී බියසුළු ලීලාවෙන් පලායෑම පමණක් කරන නිසා ඔහු උඩරට රදළයන් අතරේ අප්‍රසාදයට පත්වෙලා හිටියේ. මේ නිසා උඩරට රදළයන් බොහෝ දෙනෙක් නිකපිටියේ බණ්ඩාරට සහය දෙන්න කටයුතු කරනවා.

මේ අවස්ථාවේදී සෙනරත් රජතුමා තමන්ගේ සතුරා වුණු පෘතුගීසීන් පිටුදකින්න නිකපිටියේ බණ්ඩාර සමඟ එකතු වෙනවා වෙනුවට කළේ නිකපිටියේ බණ්ඩාරට තියෙන ජනප්‍රියතාවය නිසා තමන්ගේ සිහසුන තමන්ට අහිමි වෙයි කියලා බයවෙලා නිකපිටියේ බණ්ඩාරව මර්දනය කරන්න පෘතුගීසීන් එක්ක 1617 අගෝස්තු මාසයේදී ගිවිසුමකට එළඹුණු එක.

සෙනරත් රජතුමා පෘතුගීසීන් එක්ක එකතු වෙලා පොදු සතුරා වුණු නිකපිටියේ බණ්ඩාරව මර්දනය කළා වගේම තමන්ගේ සිහසුන රැකගන්නත් සමත් වුණා. ඒ වගේමයි තමන්ගේ පුත් කුමාරවරුන් තරුණ වියට එළඹෙනකම් උඩරට රාජධානිය සතුරු කරදරයකින් තොරව සුරක්ෂිතව තබාගන්නත් සමත් වෙනවා.

මේ සටහන ලියන්න පාදක කරගත්තේ පෝල් ඊ. පීරිස් මහතා රචනා කළ ලංකාව පෘතුගීසි යුගය 1 කාණ්ඩය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 වෙනි කොටස කියන පොත්

Friday, August 17, 2012

කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ???


ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.

ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ දොළොස්වන සියවස්වල ඇතිවුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් තමා භක්තිවාදය කියන්නේ. ඒ යටතේ සමානාත්මතාවය, සහෝදරත්වය වගේ කරුණු හුඟක් සාකච්ඡාවට වුණා.

ශංකරාචාර්ය


මේ භක්තිවාදයේ ප්‍රථම දාර්ශනිකයා වුණේ ශංකරාචාර්ය. මෙයාලගේ මූලික අරමුණු වුණේ හින්දු ආගමේ වුණු වෛෂ්ණව සහ ශෛව කියන නිකාය දෙක අතර වුණු පරතරය නැති කිරීම. කොහොම නමුත් ක්‍රමයෙන් භක්තිවාදය ඊටත් වඩා දුරක් ගියා. ඒ යටතේ සිදුවූ එක් දෙයක් තමා ශීඛ් දහම බිහිවීම.

ශීඛ් දහම ආරම්භ වෙන්නේ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් විදිහට වගේම පංජාබයේ හිටිය මුස්ලිම් සහ හින්දු දෙකොට්ඨාශය අතර සමඟියක් ඇති කරන්න. මධ්‍යකාලීන ඉන්දියාවේ හිටිය අග්‍රගණ්‍ය සමාජ සහ ආගමික ප්‍රතිසංස්කාරකයෙක් වුණු ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් තමා ශීඛ් දහම බිහිවෙන්න බලපාන්නේ.

ගුරු නානක් දේව්

ගුරු නානක් දේව්ගේ මතය වුණේ ආගම කියන්නේ අදහස්, න්‍යායන් රාශියක එකතුවක් නෙමෙයි ආගමික ගුරු කෙනෙක් යටතේ නිශ්චිත ප්‍රතිපදාවන් සමූහයක් අනුගමනය කරමින් ජීවත්වීමයි කියලා. මේ විදිහට ගුරු නානක් දේව් යටතේ හිටිය අනුගාමිකයෝ ශීඛ් එහෙමත් නැත්නම් ශිෂ්‍යයන් විදිහට හැඳින්වූවා.

වර්තමාන පකිස්ථානයේ බටහිර පංජාබයේ රායි බෝයි දි තල්වන්ද්වලදී (අද ඒ ප්‍රදේශය හඳුන්වන්නේ නන්කානා සහීබ් කියලා) 1469 අප්‍රේල් 15 ඉපදුණු ගුරු නානක් දේව් කුඩා කල හැඳින්වුණේ නානක් රායි නමින්. ඉගෙනීමට අති දක්ෂයෙක් වුණු නානක් සංස්කෘත, පර්සියන් ආදී භාෂාවලට කදිම හුරුකමක් දැක්වුවා. ඒ වගේම ගායනයටත් විශේෂ දස්කමක් දැක්වුවා.

හින්දු චාරිත්‍රයක් වන පුන නූල පැලඳීම පවා ප්‍රතික්ෂේප කළ එතුමා ක්‍රමයෙන් තරුණ වියට ආපු නානක් පවුලේ ව්‍යාපාර කටයුතුවලට උනන්දු නොවී සත්‍ය ඥානය සොයාගෙන යන්න පටන් ගත්තා. ඒ වගේම භාවනාවට විශේෂ ඇලුම්කමක් දැක්වුවා.

එතුමාගේ මේ ජීවන රටාව නිසා පියා සැළකිලිමත් වී විවාහයක් කරදීමට කටයුතු කළත් එතුමාගේ ජීවන රටාවේ වෙනසක් සිදුවුණේ නැහැ. වරක් පියා ව්‍යාපාර කටයුතුවලට ලබාදුන් මුදල්වලින් දුප්පතුන්ට ආහාර ලබාදීම නිසා පියා තදින්ම කෝප වුණා. මෙනිසා මෙතුමාගේ සොයුරියගේ ස්වාමියා සුල්තාන් දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ රැකියාවක් නානක්ට ලබා දෙන්නට කටයුතු කළා.

දෞලාත් ඛාන්ගේ ධාන්‍යාගාරයේ සේවය කරන නානක්

1507 අගෝස්තු මාසයේදී සුල්තාන්පූර් ලෝදි නගරය අසළ තිබුණු නදියේ ස්නානය කරන්න යන නානක් අතුරුදහන් වෙනවා. දෞලාත් ඛාන් නානක්ව හොයන්න කිමිදුම්කරුවන් යෙදෙව්වත් පලක් වෙන්නේ නැහැ. දින තුනකට පස්සේ ගං ඉවුරේ ඉන්න නානක් මුලින්ම ප්‍රකාශ කරන්නේ "හින්දූන් කියා හෝ මුස්ලිම් කියා හෝ පිරිසක් නැහැ" කියලා.

ඒ සමඟම ඇතිවන අවබෝධයත් සමඟ හින්දු දහම සහ ඉස්ලාම් දහම අතර එකඟතාවක් ඇති කරන්න නානක් කටයුතු කරනවා. එතන් පටන් ඔහුව ගුරු නානක් දේව් නමින් හඳුන්වනවා. රාජ සේවයෙන් ඉවත් වෙන ගුරු නානක් දේව් මර්දානා නම් සගයා සමඟ "උදාසිස්" නමින් හඳුන්වන ආගමික ස්ථාන වන්දනා කිරීමේ චාරිකාව පිටත් වෙනවා.

ඒ යටතේ පර්සියාව, තුර්කිය, ඉරාකය, මැකාවට ගිය ගුරු නානක් දේව් ඉන්දියාව පුරාමත් සංචාරය කලා. මේ චාරිකාවන් එක්ක ලෝකය ගැන හොඳ අවබෝධයක් ගන්න ගුරු නානක් දේව්ට පුළුවන් වෙනවා. මේ චාරිකාවේදී ලංකාවේ අනුරාධපුරයටත් එතුමා පැමිණෙනවා.

ක්‍රමයෙන් මහළු වියට පත්වෙන ගුරු නානක් දේව් පස්සේ පංජාබයේ කර්තාර්පූර්වලට ඇවිත් එහි ඉදන් ශීඛ් දහමේ උන්නතියට කටයුතු කරනවා. වරක් ඉන්දියාව ආක්‍රමණය කරන මෝගල් පාලක බාබුර්ගේ සිරභාරයට පත් වන්නට ගුරු නානක් දේව්ට සිදුවුණත් එතුමන්ම ඉක්මනින්ම නිදහස් කෙරෙනවා.


වර්තමානයේදී ශීඛ් දහම සකස් වෙලා තියෙන්නේ ගුරු නානක් දේව්ගේ සහ තවත් ගුරුන් නම දෙනෙකගේ ඉගැන්වීම්වල එකතුවකින්. ගුරු නානක් දේව්ගේ ඉගැන්වීම් වුණේ මේ වගේ කරුණු
  • ඇත්තේ එක දෙවියෙකි (එක් ඔන්කාර්), ඒ දෙවියන් රූපයකින් සිතා ගත නොහැකිය (නිරන්කර්), දෙවියන් සනාතනිකය (අකල්), දෙවියන් වරද නොකරයි (අලක්ඛින්). විවිධ ආගම් විසින් දෙවියන් විවිධ නම්වලින් හැඳින්වූවද ඇත්තේ එකම දෙවියෙකි. මේ ඒකදේවවාදී අදහස ඉස්ලාම් දහමේ මූලිකම කරුණක් වුණා වගේම වෛදික සාහිත්‍යයේත් තිබුණු දෙයක්
  • සියලු ආගම් සමානය. එසේම දෙවියන් එක ආගමික නිකායකට අයත් නොවේ. විශ්ව සාධාරණ ජීවය බෙදන්නාය. "සත්නාම්" හෙවත් සත්‍යයේ නාමයෙන් මුළු ජීවිත කාලය පුරාම කටයුතු කරන්න.
  • දෙවියන් සමඟ එක් විය හැක්කේ යහපත් ක්‍රියාවන් මඟින් පමණි. හින්දු දහමේ එන කර්මවාදය ගැන මේ යටතේ පිළිගන්නවා. ගුරු නානක් දේව්ගේ ප්‍රසිද්ධ කියමනක් තමා "වචනවලින් ශාන්තුවරයකු හෝ පව්කාරයකු බිහි නොවේ. ඉරණම් පොතේ ලියා ඇත්තේ ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය පමණකි" කියන එක.
  • ප්‍රතිමා වන්දනය ගුරු නානක් දේව් ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කළා වගේම සියලුම ආගම්වල තිබුණු බාහිර පුද පූජා විධිත් ප්‍රතික්ෂේප කළා.
  • කාන්තාවන්ට ගෞරව කළ යුතු බව ගුරු නානක් දේව්ගේ මතය වුණා. ඒ ගැන එතුමාගේ ප්‍රසිද්ධ කියමනක් තමා "ඔවුන් රජුන්ට හා ආගම් කතෘවරුන්ට උපත ලබා දෙන්නේ නම් කාන්තාවන් පහත් යයි කිව හැක්කේ කෙසේද ?"
  • ලෞකික ජීවිතය හැර නොගොස් ගෘහස්ථයෙක් ලෙස ගුරුගේ ඉගැන්වීම් අනුව කටයුතු කර දෙවියන් කරා ළඟා විය හැක.
ගුරු නානක් දේව්ගේ මේ ඉගැන්වීම් "අසා - දි - වාර්" සහ "ජප්ජී සහීබ්" කියන එතුමා විසින්ම ලියපු පොත්වල අඩංගු වෙනවා.

ගුරු නානක් දේව් තම අන්තරගාමියා ලෙස ගුරු අංගද්ව පත් කිරීම

1539 සැප්තැම්බර් 22 දා පංජාබයේ කර්තාර්පූර්වලදී ගුරු නානක් දේව් මිය යනවා. ඊට කලින් තමන්ගේ පුතුන් දෙදෙනා වගේම ප්‍රධාන අනුගාමිකයන් කීප දෙනෙක්ව පරීක්ෂා කරලා බලන ගුරු නානක් දේව් තමන්ගේ අන්තරාගාමියා විදිහට ගුරු අංගද් දේව්ව නම් කරනවා.

හුඟක් දේවල් කතා කළානේ. ඉතිරි කොටස මීළඟ ලිපියෙන්. මේ ලිපියේ නොතේරුණු දෙයක් තියෙනවා නම් කියන්න. දන්න තරමින් උත්තරයක් දෙන්නම්.

මීළඟ ලිපිය එනකම් මේ පංජාබ් ගීතය අහලා බලන්න :)




මේ සටහන ලියන්න පාදක කරගත්තු මූලාශ්‍ර වුණේ

ඉතිහාස ධාරා - 1 කොටස, ක්ෂාවියර් පින්තු සහ ඊ.ජී.මියාල්
ඉන්දියා ඉතිහාසය - II කාණ්ඩය, නරේන්ද්‍ර කෘෂ්ණ සිංහ සහ අනිල් චන්ද්‍ර බැනර්ජි


ප.ලි.: මෙම ලිපි මාලාව ලිවීම අතපසු වූ නිසා එය නැවැත්වූ කොටස්වල සිට නැවතත් ලිවීම ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිමි. එයට ප්‍රවේශයක් ලෙසට මුල් කොටස් දෙක නැවත පළකිරීමට කටයුතු කළෙමි

Sunday, August 12, 2012

බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි


ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්‍රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. 


අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි

ලංකාවේ තිබෙන ස්ථූප අතුරින් උසින් තෙවැනි ස්ථානයට පත්වුණත් වැඩි වශයෙන් වන්දනාවට ලක්වෙන ස්ථූපය වුනේ ඇයි කියන එකත් ටිකක් විමසලා බලමු. ඒකට හේතුව තමා ලෝකය පුරා තිබෙන බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් නිධන්ව පවතින්නේ රුවන්මැලි සෑය තුළ වීම. 

ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා බෙදීම

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කොටස් 8 කට වෙන් කෙරුණු සර්වඥ ධාතුවලින් රාම ග්‍රාමයට ලැබුණු සර්වඥ ධාතු ද්‍රෝණය පසුව තැන්පත් කෙරුණු ස්ථූපය මුහුදට සෝදාගෙන ගිහින් ඒ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබුණු බවත් රුවන්මැලි සෑයේ ධාතු නිධානෝත්සවයට මේ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් වැඩමවූ බව තමා වංස කතා කියන්නේ.

මේ විශේෂත්වය නිසාම මහා ථූපය, අසදෘශ ථූපය නමින් රුවන්මැලි සෑය ගෞරව පිණිස නම් භාවිතා කෙරෙනවා. ඒ වගේමයි පෙර රජ දරුවන්ගේ පටන් මේ දක්වාම විවිධාකාරයේ පුද පූජාවන්ටත් රුවන්මැලි සෑය පාත්‍රවෙලා තිබෙනවා. 

රුවන්මැලි මහා සෑයේ හරස්කඩ සටහනක්
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka  කෘතියෙන්]

ඉතින් රුවන්මැලි සෑය ගොඩනගන්න ආරම්භ කරපු ආකාරය, ධාතු නිධන් කළ ආකාරය වගේම ස්ථූපයේ කටයුතු නිමා කළ ආකාරය ගැන වංස කතා තුළ කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධව විස්තර ඇතුළත් කෘතියක් පහත තිබෙන සබැඳියකින් භාගත කරගන්න ඔබට පුලුවන්]

ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව. 

රජරට රාජධානි බිඳවැටිලා නිරිත දිගට වෙන්න රාජධානි ගොඩනැගීමත් එක්ක ක්‍රමයෙන් රුවන්මැලි සෑය වගේම අනෙකුත් සිද්ධස්ථානවලට එතරම් රාජ අනුග්‍රහයක් වුණු බව පෙනෙන්න නැහැ. ඒත් නොවුණාම නෙමේ. ඒත් රජරට රාජධානි තිබුණු සමයේ තිබ්බ ශ්‍රී විභූතියට පත්කරන එක නම් බොහොම අසීරු වුණා. අවසානයට සිද්ධ වුණේ මේ ප්‍රදේශ ක්‍රමයෙන් වල් බිහිවෙලා මහජනයාගේ මතකයෙන් ඈත්වෙලා යන එක. 


වල් බිහිව පැවති රුවන්මැලි මහා සෑය

මේ වගේ පසුබිමක තමා 1873 දී ගම්පොළ ප්‍රදේශයේ ඉදන් අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන අවුරුදු 23 ක් පමණ වුණු තරුණ හාමුදුරුවෝ වල් බිහිවෙලා තිබුණු මේ මහා ථූපය දැකලා බොහොම කම්පාවෙලා නැවත වරක් පෙර රජ දරුවන්ගේ කාලයේ රුවන්මැලි සෑය තිබුණු ශ්‍රී විභූතියටම පත්කරන්න අධිෂ්ඨාන කරගන්නේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ සහයත් මේ කටයුත්තේදී උන්වහන්සේට හිමිවෙනවා.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි

ඒ අනුව 1884 දී රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී අනුරාධපුර දිසාපතිතුමාගේ දැනුවත් කිරීමෙන් මේ ගැන බලන්න ආපු ඒ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි තමන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් 1000 ක් රුවන්මැලි සෑය සංවර්ධනයට පරිත්‍යාග කරලා තිබුණේ. [ගිරිගෝරිස් රජ්ජුරුවෝ කියලා මිනිස්සු හඳුන්වපු මේ ආණ්ඩුකාරතුමා ලංකාවේ පැරණි උරුමය සුරකින්න හුඟක් කැපවුණු කෙනෙක්. 1876 දී කොළඹ ජාතික කෞතුකාගාරය ආරම්භ කරන්න මුල් වෙන්නේත් මෙතුමාම තමා] ඒ වගේමයි එවකට හිටිය බෞද්ධ දානපතියන් රාශියකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

 සෑ රදුන් වන්දනාවට පිවිසීමට තිබූ දොරටුව

මේ විදිහට කටයුතු සිදුවෙද්දී 1912 දී හදපු බැමිවල තිබුණු දෝෂයක් නිසා චෛත්‍යය කඩාවැටීමත් එක්ක සුමනසාර හාමුදුරුවෝ රුවන්මැලි මහ සෑ පිළිසකර කිරීමේ කටයුත්ත තාවකාලිකව නවත්තනවා. 

 කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි

ඒත් ඒ අවුරුද්දේම තමන් වහන්සේගේ සහයට ආපු ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි සම්බන්ධ වීමත් එක්ක එතුමාගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.

රුවන්මැලි සෑය සොයාගන්නා විට වූ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අයුරු පෙන්වන සැලසුමක්
[උපුටා ගැනීම James G. Smither ගේ Architectural Remains: Anuradhapura, Ceylon කෘතියෙන්]

රන්සිරිනෙල් වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඉරිදා දිවයිනේ ලිපි මාලාවක් පළවුනා. මෙන්න ඒවත් කියවන්නකෝ.

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03 
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04

දොන් හෙන්ද්‍රික් සිටුගේ

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අකුරැස්ස ප්‍රදේශයේ ධනවතෙක් වුණු දොන් හෙන්ද්‍රික් සිටුගේ රුවන්මැලි සෑයේ ඉදිකිරීම් කටයුතුවලට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීමත් සුවිශේෂී සිදුවීමක්. මේ ඒ ගැන ලංකාදීපේ තිබුණු කතාව. 

රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙන්න පෙර නාරංවිට සුමනසාර හාමුදුරුවෝ අපවත් වෙනවා. මීළඟට 1932 අවුරුද්දේදී මේ යෝධ ව්‍යාපෘතියට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු ඒ වගේම ඊට පස්සේත් සම්බන්ධ වෙලා හිටිය දොන් හෙන්ද්‍රික් සිටුගේත් මියයනවා. 

ගර්භ කොටසේ පිළිසකර කිරීමේ කටයුතු

ඊට පස්සේ මහා ථූපයේ හතරැස් කොටුවට මුල්ගල තැබීමෙන් පස්සේ රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ සභාපති විදිහට අමිල මෙහෙයක් කරපු කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිත් 1935 දී පමණ මියයනවා.

ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. 

රුවන්මැලි මහ සෑයේ ලෝහමය කොත

ඒ වෙද්දී රුවන්මැලි සෑයට පළඳවන්න කොතක් නිර්මාණය කිරීමේ බරපතළ කාර්යයටත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් අත ගහලා තිබුණේ. ඒ කාර්යය පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ යෙදෙන පිරිසකට රන්සිරිනෙල් වෙද රාළහාමි භාර කරලා තිබුණේ. ඒ යටතේ අඩි 26 ක් උස ඒ වගේම ටොන් 6 ක් පමණ බර ලෝහමය කොතක් නිර්මාණය කරවන්න ඔවුන් සමත් වුණා.

පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.

මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.

බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමියන්

කොත් වහන්සේ ඒ විදිහට නිර්මාණය කරගෙන යද්දී ගැටලුව වුණේ මේ කොතට ගැලෙපන චූඩා මාණික්‍යයක් හම්බ නොවුණු එක. පත්තරවල දැන්වීම් පළ කරලා අවුරුදු කීපයක්ම කොතට ගැළපෙන චූඩා මාණික්‍යයක් කපා ගන්න පළිඟුවක් හෙව්වත් හම්බුණේ නැති නිසා මේ සඳහා පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සහ දෙමටගොඩ මකුටාරාමයේ නිර්මාතෲ වගේම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක බුරුමයේ විනයාලංකාර නාහිමියන් හමුවෙලා මේ සම්බන්ධව උදව්වක් ඉල්ලන්න චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් කටයුතු කරනවා. 

මේ කාර්යයේ වටිනාකම තේරුම් ගත්තු විනයාලංකාර හාමුදුරුවෝ 1933 දී බුරුමයට වැඩම කරලා විශාල ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. රැන්ගුන් නුවරින් මැණික් සම්බන්ධ ප්‍රකට මෝගොක් නගරයට වඩින උන්වහන්සේට අවසානයේදී තමන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයේ පළිඟුවක් හම්බවෙනවා. යූ.ටො, දෝනන්ටේ, ෂන්ඨිදස් සහ  යූ.මට් කියන හතර දෙනාට අයිති වුණු මේ පළිඟුවේ වටිනාකම රුපියල් 6000 ක් පමණ වුණා. 


එයාල හතර දෙනා විනයාලංකාර හාමුදුරුවන්ට මේ පළිඟුව පරිත්‍යාග කිරීමත් එක්ක 1938 හාමුදුරුවෝ පළිඟුවත් අරගෙන ලංකාවට වඩිනවා. චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් ලංකාවේ පළිඟුවලට වඩා වැඩි දීප්තියක් තියෙන මේ පළිඟුව දැකලා හුඟක සතුටු වෙනවා. ඒත් ඊට පස්සේ ඇතිවෙන ගැටළුව තමා මේ තරම් විශාල පළිඟුවක් කපන්න තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබුණු එක. 

ඒ නිසා මේ පළිඟුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චූඩා මාණික්‍යය කැපීමේ ආධාරය චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විනයාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමත් එක්ක උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරලා මෝගොක් නගරයේ පළිඟු කපන ශිල්පීන්ට ඒ කාර්යය භාර කරනවා. 

පළිඟුව කපාගෙන යද්දී එක් පැත්තකින් අවශ්‍ය ප්‍රමාණය නොතිබුණු නිසා චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය ඇණ හිටිනවා. උත්සහවන්ත භික්ෂුවක් වුණු විනයාලංකාර හාමුදුරුවෝ පසුබට වෙන්නේ නැතුව ආයි පාරක් චූඩා මාණික්‍යයට අවශ්‍ය වෙන ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. 

කලින් පළිඟුව පරිත්‍යාග කරපු හතර දෙනාටම මේ පාරත් පළමු පළිඟුවටත් වඩා විශාල ප්‍රමාණයේ පළිඟුවක් ලැබිලා තිබුණා. ඒ තරම් විශාල පළිඟුවක් මීට පෙර මෝගොක් ආකරවලින් නොලැබුණු බව තමා කියවෙන්නේ. වටිනාම රුපියල් 8000 ක් පමණ වුණු ඒ පළිඟුව ඔවුන් විනයාලංකාර හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා. 

ඊට පස්සේ විනයාලංකාර හාමුදුරුවෝ පළිඟු කපන ශිල්පීන් ලවා උස අඟල් 18 ක් වට ප්‍රමාණය අඟල් 25½ වන විදිහට චූඩා මාණික්‍යයක් කප්පවනවා. මේ චූඩා මාණික්‍යයේ බර රාත්තල් 12½ ක් වුණා.

පළිඟුව කපලා අවසන් වුණාට පස්සේ ඒක නිකම්ම ලංකාවට භාර දෙන්නේ නැතුව රත්තරන් ආධාරකයක චූඩා මාණික්‍ය පිහිටවලා ඒක උඩ ධාතු කරඬුවක් කරවන්න විනයාලංකාර හාමුදුරුවෝ තීරණය කරනවා. ඒ යටතේ බුරුම බෞද්ධයන් බොහෝ දෙනා රත්තරන්, රිදී, මැණික් වගේම මුදල් මේ කටයුත්තට පරිත්‍යාග කළා. 

විනයාලංකාර හිමියන්ගෙන් මේ කටයුත්ත බාර ගත්තු මෝගොක් නුවර හිටිය ධනවත් බෞද්ධයෙක් මේ කාර්යයට අවශ්‍ය වෙන උපකරණ අලුතින්ම මිළයට අරගෙන රන්කරුවන් වගේම මැණික් කපන්නන් තමන්ගේ නිවසේ නවතාගෙන කටයුතු ආරම්භ කරනවා. 

ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ සැලැස්ම

මේ ආධාරකය රිදියෙන් වාත්තු කරලා රන් ආලේප කරලා ඒ ආධාරකය පුරාම මැණික් අල්ලලා ඒ මත චූඩා මාණික්‍යය පිහිටවලා චූඩා මාණික්‍යය මුදුනේ රත්තරනින් ධාතු කරඬුවක් නිර්මාණය කරලා ඒකත් රත්තරනින් ආවරණය කරලා ඒ මත ඉදන් සතර දිශාවට මැණික් වැල් හතරක් එන විදිහට තමා නිර්මාණය කරන්නේ. මාස 9 ක් කාලයක් මේ සඳහා ගතවෙනවා. 

මේ ස්වර්ණමය ආධාරකයේ උස අඟල් 13 ක් වෙනවා. මේ කටයුත්තට රත්තරන් රාත්තල් 12½ ක් රිදී රාත්තල් 152 ක් යොදා ගෙන තියෙනවා. ස්වර්ණමය ආධාරකයට මැණික් ගල් 4796 ක් සවි කරලා තියෙනවා. ඒ සෑම මැණික් ගලක්ම රුපියල් 25 කට වඩා වටිනාකමින් යුක්ත වුණා වගේම රුපියල් 12,000 ක වටිනාකමක් තියෙන මැණිකකුත් මේ අතර තිබෙනවා.

චූඩා මාණික්‍යය මුදුනේ තැන්පත් කරන්න විනයාලංකාර හාමුදුරුවෝ සර්වඥ ධාතූන් වහන්සේලා එකුන් දස නමක් [9] සූදානම් කරගෙන තබාගන්නවා. ධාතු කරඬුව සවිකරන්න බලාපොරොත්තු වුණු දවසේ ඒක කරන්න බැරිවුණු නිසා පසුවදා ඇවිත් ඒ සඳහා ධාතු තැන්පත් කරලා තිබුණු භාජනය විවෘත කළාම සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක් දැකගන්න පුලුවන් වෙනවා.  මේ සියල්ලමත් චූඩා මාණික්‍යය මුදුනේ තිබෙන ධාතු කරඬුවේ විනයාලංකාර හාමුදුරුවෝ තැන්පත් කරනවා. 

ශ්වේදගොන් චෛත්‍යය

අවසානයේදී නිර්මාණ කටයුතු නිමා කරපු ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය මෝගොක් නුවර ඉදන් විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනුවරට වැඩම කරවලා රැන්ගුන් නුවර පිහිටි ශ්වේදගොන් චෛත්‍යය සමීපයේ තිබෙන ගොඩනැගිල්ලක තැන්පත් කරලා බුරුමයේ ජනතාවට ප්‍රදර්ශනය කරනවා.

පස්සේ බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා වුණු ශ්‍රීමත් Archibald Douglas Cochrane විසින් රාජකීය භාණ්ඩයක් විදිහට මේ චූඩා මාණික්‍යය 1940 දී ලංකාණ්ඩුකාර ශ්‍රීමත් Andrew Caldecott ට විනයාලංකාර නාහිමියන් සහ බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා තුන් නමකුත් රුවන්මැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න බුරුම ශිල්පීන් පිරිසකුත් සමඟ පිටත් කර හරිනවා.

1940 මාර්තු 4 වෙනිදා මේ පිරිස ලංකාවට සැපත් වෙනවා. ඒ සමඟම රතු මැණික් කැට එබ්බවූ රිදී මල් බඳුනක්, ආධාරකයක් සහ වැස්මක් සහිත රිදී පාත්‍රයක්, චූඩා මාණික්‍යය වැසීමට වීදුරු ආවරණයක්, දළදාව ආවරණයට වීදුරු ආවරණයක් පරිත්‍යාග වශයෙන් බුරුමයෙන් ලංකාවට හිමිවෙනවා.

දෙමටගොඩ මකුටාරාමයේදී ප්‍රදර්ශනයට චූඩා මාණික්‍යය තබලා පසුව අනුරාධපුරය බලා වැඩම කරවනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජූනි 17 වෙනිදා පැවැත්වෙන රුවන්මැලි මහා සෑයේ කොත් වහන්සේ පැළැඳවීමේ පිංකමේදී බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ රුවන්මැලි මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්.

මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා. 

2011 වසරේදී ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය පිළිසකර කිරීමෙන් පසු

වසර 70 කට විතර පස්සේ මේ ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ පිළිසකර කිරීම් පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැල්පොල රාහුල හාමුදුරුවෝ විසින් සිදු කරලා 2012 මාර්තු 11 වෙනිදා ඒ කටයුතු නිමා කරනවා. 

පිළිසකර කිරීම් සිදුකළ ආකාරය

ඒ දවසේ නොමිලේ බෙදා හැරුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ  රචනා කරපු චූඩාමාණික්‍ය වර්ණනාව කියන සටහනෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.  

ඒ සමඟම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ රචනා කරපු "රුවන්මැලි මහා සෑය" ග්‍රන්ථයත් බෙදා හැරියා. ඒ කෘතිය මේ සබැඳියෙන් ගිහින් භාගත කරගන්න පුලුවන්. [මෙය ලබාදුන් ටිරාජ් අධිකාරි අයියාට පිං]

රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්න මෙතනින් යන්න.

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)