Tuesday, May 1, 2012

ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය


ඇමරිකාවේ ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ එදා කට්ටියක් වාඩිවෙලා හිටියේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා  ඇමරිකාවේ කොංග්‍රසය [අපේ රටේ විදිහට නම් පාර්ලිමේන්තුව] මඟින් සම්මත කරපු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිසංස්කරණ පනත අත්සන් කරලා ඒක නීතියක් බවට පත් කරන අවස්ථාවට සම්බන්ධ වෙන්න. එදා කිව්වේ 2010 මාර්තු 23 වෙනිදා. 

ලංකාවේ විදිහට නම් පාර්ලිමේන්තුව සම්මත කරන පනතක් නීතියක් වෙන්න කතානායකතුමා අත්සන් කරන්න ඕනේ. ඇමරිකාවේ නම් ඒකට ජනාධිපතිතුමා අත්සන් කරන්න ඕනේ. ලංකාවේ ජනාධිපතිට තියෙන වැඩ කන්දරාවත් එක්ක අනවශ්‍ය බරක් දාන්න ඕනේ නැහැ කියලා ජේ.ආර්. සීයා හිතන්න ඇති :))


ඉතින් ඒ කාමරයේ වේදිකාව මත තිබුණු මේසෙට පනත ගෙනත් තියපු ධවල මන්දිරේ වැඩ කරන ආන්ටි කෙනෙක් පෑන් 11 ක් තියෙන පෑන් පෙට්ටි 2 ක් මේසේ උඩින් ගෙනත් තිබ්බා.

ඇයි ෂැකද ? ආහ් බලන්න මුනියා ෂැක නම්.................... :))

ඊට පස්සේ බැරැක් ඔබාමා මහත්තයාත් උප ජනාධිපති Joe Biden එක්ක ඇවිත් පොඩි කතාවක් කළා. අපරාදේ කියන්න බැහැ ඒ මනුස්සයා කතාවක් කරද්දී Teleprompter පාවිච්චි කරනවා කියලා photos ගද්දී වුණත් පේන්න ගන්න පුලුවන්.

පස්සේ ඉතින් පනතට අත්සන් කරන්න වාඩිවුණා. වාඩිවුණත් හරි විසි කරපු පාන් කෑල්ල ගන්න වඳුරෝ ටික රොක් වුණා වගේ ඔබාමා වටේටත් කට්ටිය පිරුණේ නැතැයි. ඒත් ඔබාමා මහත්තයා සැලෙන්නේ නැතුව පනත අත්සන් කරන්න පටන් ගත්තා.

මෙන්න බොලේ වැඩක් හැම පෑනෙන්ම පොඩ්ඩ පොඩ්ඩ මේ මනුස්සයා අත්සන් කරනවා

අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා වගේ ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ ඉන්න දක්ෂ කැමරා ශිල්පියෙක් වෙන සෙනෙට් සභික Pat Leahy මැද්දෙන් මැද්දෙන් ෆොටෝ කෑලි දෙක තුනක් ගන්නත් අමතක කළේ නැහැ.

පෑන් 22 න්ම පොඩ්ඩ පොඩ්ඩ අත්සන් කරලා වැඩේ ඉවර කරපු ඔබාමා මහත්තයා අන්තිම 22 වෙනි පෑන පෙට්ටියට දැම්මා. ඕන් පෑන් 22 කින් ඔබාමා මහත්තයා කරපු අත්සන........



අන්තිමටම සිද්ධ වුණේ අර පෑන් 22 න් 19 ක්ම එතන හිටිය කීප දෙනෙක්ට ඔබාමා මහත්තයා බෙදල දීපු එක. මේ තමා ඇමරිකාවේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකතුමියට ඔබාමා මහත්තයා පෑන දීපු හැටි. 

ඔන්න ඕක තමා ඇමරිකාවේ ඔබාමා මහත්තයා පනත් අත්සන් කරන සූත්තර ක්‍රමය. ඒත් කතාව් ඉවර නැහැ. මේ කතාව ඇසුරෙන් ඔයාලට හිතෙන ප්‍රශ්න මෙන්න මේවා වෙන්න පුලුවන් [ සමහර විට :)) ]

මේ යෝධයට පිස්සුද පෑන් 22 කින් එක අත්සනක් දාන්න ?
ඇයි මේ යකා මේකට පෑන් 22 ක්ම පාවිච්චි කළේ ?
එක පෑනෙන් අත්සන් කළාම මොකද වෙන්නේ ?
ඇයි පෑන් 22 ක් මේ වැඩේට ගත්තා නම් 19 ක් විතරක් බෙදුවේ ?
ඉතුරු පෑන් තුනට මොකද වුණේ ?
ඇමරිකාවේ පෑන් නිෂ්පාදනයේ අතිරික්තයක් තියෙනවාද ?
කවුද මේ පිස්සු වැඩේ පටන් ගත්තේ ?

ඔන්න මේ ප්‍රශ්නවලට උත්තර. මේ විදිහට පෑන් එකකට වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරලා පනත් අත්සන් කරන සිරිත ආරම්භ කළේ 1933-1945 අතර කාලයේ ඇමරිකාවේ ජනාධිපති වෙලා හිටිය ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්. 


ජාතික වශයෙන් වැදගත්කමක් උසුලන විශේෂ පනත් අත්සන් කරන්න තමා මේ විදිහට පෑන් ගොඩක් ඇමරිකානු ජනාධිපතිවරුන් භාවිතා කරන්නේ. ඒ විදිහට අත්සන් කරන්න ගන්න පෑන් ඒ පනත සකස් කරන්න, සම්මත කරන්න වෙහෙස මහන්සි වුණු අයට සමරුවක් විදිහට බෙදා දෙන්නත් කටයුතු කරනවා. 

ඒ වගේමයි එක පෑනක් ජනාධිපතිතුමාත් තවත් පෑන් දෙකක් ජනාධිපතිවරුන්ගේ පුස්තකාලයට වගේම ස්මිත්සෝනියන් කෞතුකාගාරයට එක් කරනවා

නමුත් මේ සිරිත අඛණ්ඩව හැම ජනාධිපතිවරයෙක්ම කරපු බවක් පේන්න නැහැ. ජනාධිපති රූස්වෙල්ට්ට පස්සේ හැරී එස්.ටෲමන් [1945-1953] කළත් ඊට පස්සේ මේ සිරිත වුණු බවක් පේන්න නැහැ. 


ඊට පස්සේ මේ සිරිත ආයි පටන් ගන්නේ ජනාධිපති ලින්ඩන් බී.ජොන්සන් [1963-1969]. ඒ කාලේ තමා වැඩිම පෑන් ගණනකින් පනතක් අත්සන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ 1964 සිවිල් අයිතිවාසිකම් පනත පෑන් 72 කින් ජොන්සන් ජනාධිපතිතුමා අත්සන් කිරීම.

ඇයි ෂැකද මුනියා ??? 

මෙන්න ඒකේ වීඩියෝ එකම 


හොඳට වීඩියෝ එක බලාගෙන ඉන්න මාටින් ලූතර් කිං ටත් මේ අවස්ථාවේ ජනාධිපතිතුමා පෑනක් දෙනවා. මොකද මේ පනත ගේන්න ඔහුත් විශාල උත්සහයක් දරපු කෙනෙක් නිසා

මේ ජොන්සන් ජනාධිපතිතුමාගේ සාමාන්‍ය අත්සන.


මේක තමා ඉතින් පෑන් 72 කින් අත්සන් කරලා තියෙන්නේ. 

 සමහර වෙලාවට අත්සනේ " i "අකුරක් එහෙම තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිතට තව පෑනකුත්
" t " අකුරක් තියෙනවා නම් සිරස් ඉරට එක පෑනකුත් තිරස් ඉරට තව පෑනකුත් පාවිචිචි කරනවාලු. කොටින්ම ඔබාමා මහත්තයාත් පෑන් 22 කින් අත්සන් කරන්න කලින් දවසේ මිෂෙල් නෝනත් එක්ක පුරුදු වුණාලු :))

ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් මේ සිරිත වෙනස් කරලා විශේෂ පනත් එක පෑනකින් අත්සන් කරලා සංකේතාත්මකව පෑන් බෙදලා තියෙනවා. ඒ වගේමයි ජනාධිපති ඔබාමා මේ විදිහට පෑන් ගොඩකින් අත්සන් කරපු මුල්ම පනත මේක නෙමෙයි. මීට කලින් 2009 අවුරුද්දේ Lily Ledbetter Fair Pay පනත පෑන් 7 කින් අත්සන් කරලා තියෙනවා.

මේ සමරු පෑන්වලට හොඳ වටිනාකමක් වෙන්දේසිවලදී ලැබිලා තියෙනවා. 1965 ලින්ඩන් බී. ජොන්සන් ජනාධිපතිතුමා ජල පනත අත්සන් කරපු ගත්තු පෑනක් වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් 499.99 කට වෙන්දේසි වෙලා තියෙනවා. ලංකාවේ සල්ලිවලින් නම් ආසන්න වශයෙන් රුපියල්  65,000 ක් විතර :))

ඉතින් කතන්දරේ ඉවරයි. මේ කතාව මුලින්ම කතාව මුලින්ම මට කිව්වේ මගේ සහෘදයෙක් වෙන කසුන් තරංග පෙරේරා. මේ කතාවට අටුවා ටීක ටිප්පණි එකතු කරමින් කතාවේ අඩු තැන් පිරෙවෙව ඉසුරු නානායක්කාර සහෘදයා. දෙන්නටම ස්තුතියි :)

අපේ කතාව අන්තිමට ඉවර වුණේ ලංකාවෙත් මෙහෙම සිරිතක් ආවොත් කියන එකෙන්. එතකොට ඉසුරු කිව්වේ "ම.......... මාමා අත්සන් කරලා පෑන් බෙදන්නේ නැතිවෙයි. ඒකත් හොඳ ගාණකට විකුණයි" කියලා
 :))

ප.ලි.: ඔබාමා මහත්තයා ගැන මීට කලිනුත් කතා වගයක් ලිව්වා. කැමති නම් බලන්න. මෙන්න පාර

14 comments:

  1. ශා සැහේන වටින ලිපියක් නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා...

    ReplyDelete
  2. ලංකාවෙත් මෙහෙම පෑන් ගොඩකින් අත්සන් කරනවද දන්නේ නෑ. හික්ස් :)
    නොදන්න ගොඩක් දේවල් මේ ලිපියෙන් දැන ගත්තා. ස්තුතියි මලේ !!!

    ReplyDelete
  3. ෂා!!! මාරයි බං
    වටිනවා වටිනවා.....

    ReplyDelete
  4. මමත් පුරුදු වෙන්නොනැ ඔහොම පෑන් ගොඩකින් අත්සන් කරන්න..කවද හරි ප්‍රයෝජනයක් වෙයිනෙ..:D

    ReplyDelete
  5. කොහොමද අප්පා අත්සනක් කඩ කඩ, නවත්ත නවත්ත ගහන්නෙ ! මම හොඳ වෙලාවත ඇමෙරිකාවෙ ජනාදිපති වුනේ නැත්තෙ. මගෙ අත්සනනම් ඔහොම ගහන්ඩ බැහැ.

    ඔය වගේ ලොකු වැඩක් කරන තැනක පොඩි එකෙක් මොනවද කරන්නෙ ? ලොක්කා වගේ සාක්කු දෙකටත් අතදාගන..

    ReplyDelete
  6. නොදන්න කරුණු රාශියක් ඉගෙන ගත්තා. ඔබ සෑහෙන මහන්සියක් අරගෙන තියෙනවා මේ ලිපිය සම්පාදනය කරන්න. බොහොම ස්තුති යි.

    ReplyDelete
  7. මේ ගැනනම් ඇත්තටම මම දැන ගත්තේ අද.. අරහෙම පෑන් තොගයකින් අත්සන් කරන්න සෑහෙන පුරුදු වෙන්න එපැයි..

    ReplyDelete
  8. මට ඇල්ලුවේ නෑ අර "ඇයි ෂැකද මුනියා?" කැල්ල නං. මට නං සැකයි ඒකේ අදහස!

    ReplyDelete
  9. ගොඩක් ස්තුතියි නොදන්න දෙයක් ගැන දැනුවත් කලාට !!!

    ReplyDelete
  10. දැනගෙන උන්නේ නැහැ මේ ගැන . පිස්සුනේ සුටුස් ගාල අත්සන නොගහා . සැහෙන දිග ලිපියක් මල්ලි . ස්තුතියි ගොඩක්

    ReplyDelete
  11. අප්පුච්චියේ මෙහෙමත් වැඩක්.දැනගත්තෙත් අදනෙ.මට එහෙම ඔහොම කරන්න වුනානම් මට සුවර් එකටම අත්සන අමතක වෙනවා. :)))

    ReplyDelete
  12. ප්‍රතිචාර දැක්වූ සැමට ස්තුතියි.

    ලංකාවේ අපිට ඕක පුරුදු පුහුණු වුණාට වැඩක් නැහැනේ. ඇමරිකාවේ ජනාධිපති වෙන්න නම් ඇමරිකාවේ ඉපදිලා තියෙන්න ඕනේ.... :D

    කොහොම නමුත් ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක් බව නම් ඇත්ත. ෂැකද මුනියා කියන එක කතන්දරට ක්ලික් වෙලා වගේ. බරැක් හුසේන් ඔබාමාලුනේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................