Saturday, October 9, 2010

අලින්ගේ අලි වැඩ


අලියා කියන්නේ ලංකාවේ අපිට හුඟක් සමීප සතෙක් නේ. ඉස්සර කාලේ ඉදන්ම අලි ගැන අපේ ඉතිහාසෙත් තියෙනවානේ. රජ්ජුරුවන්ට මංගල හස්තිරාජයා කියලා Official අලියෙක් හිටියානේ. අනුප්‍රාප්තිකයෙක් නැතිව රජතුමා මියගියාම මංගල හස්තියා සරසලා යැව්වාම රජකමට නියම උරුමක්කාරයා හොයා ගත්තා කියන කතා අහලත් ඇතිනේ. ඒ වගේම ලංකාවේ අලියා තමන්ගේ පක්ෂ ලාංඡනය බවට පත් කරගත්තු පක්ෂෙකුත් තියෙනවානේ.

ඒ වගේම පෙරහැරේ කරඬුව වඩම්මන්නත් අලියා යොදා ගත්තා. ඒ වගේම අලින් එක්ක බැදුණු කතාත් කොච්චර නම් තියෙනවාද ? "අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැහැ, අලියන්ට ළමයින්ට නලියන්න ඕනේ" කියලා හැදුණු උපහැරණ වගේම ලොකු මිනිස්සුන්ට අලියා වගේ කියන card එකත් ලංකාවේ අපි දානවානේ.

අලි ගැන තව හුඟක් කතා කරන්න පුලුවන්. ඒ ගැන සිංහල විකියේ වගේම ඉංග්‍රිසී විකියෙත් හුඟක් කතා තිබුණා. කැමති අයට ඒකත් බලන්න පුලුවන්. ඉතින් අද කතාවට එමුකෝ.....

මේ විදිහට අලි ගැන කෙටියෙන් කියන්න හිතුණේ අලි කරපු වැඩක් ගැන පහුගිය දවසක ඇස් දෙකටම දැකගන්න පුලුවන් වුණු නිසා. අපේ Logic මිස් අළුතින් ගෙයක් හදනවා. ඒකේ උළුවහු ජනෙල්වලට ඕනේ කරන ලී සපයා ගන්න ගස් කැපුවේ සර්ලගේ [සර් කිව්වේ මිස්ගේ husbandට] ගමෙන්. ඒ කියන්නේ පිළිමතලාවෙන්.

ලංකාතිලක රාජ මහා විහාරය

ඉතින් ගස් කපපු දිහාවට වාහනවලට යන්න අමාරු නිසා අලින්ට කියලා තමා කොටන් ඇද්දුවේ. අලියා කිව්වාට මූ අලියෙක් නෙමෙයි ඇතෙක්. මේ වැඩේ වුණු දවස්වල තමා ලංකාතිලක රාජ මහා විහාරයේ වාර්ෂික පෙරහැර තිබුණේ. ඒකට ආපු ඇතෙක් තමා මේ වැඩේට set කරගත්තේ.

ඇතත් ඉතින් නැහැ බැහැ නොකියා යස අගේට වැඩ කලා. මේ බලන්නකෝ එයාගේ වැඩ.

කොහොමද මම ලස්සනයිද ?

ආන් එහෙම හොඳ පුතා වගේ කොටන් ටික උස්සපන්........

මාමේ මේ කොටන් ටික බුරුල් වෙලා වැටෙනවානේ

ඇත්ගොව්වොත් back up එක දුන්නා

ප.ලි.: මේ වැඩේ නිසා ලංකාතිලක රාජ මහා විහාරේ එක්ක බැඳුණු පරණ කතා දෙක තුනකුත් දැනගන්න පුලුවන් වුණා. ඒවා එහෙමත් ඉස්සරහට කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

Friday, October 8, 2010

සොඳුරු බව


සොඳුරු මතකයන් මිහිරියි හැමදාමත්
සොඳුරු මිනිසුන් සිහිවේවි හැමදාමත්
සොඳුරු දේ තව ඒවි ඉදිරියටත්
සොඳුරු බව ඒ තරමටම සොඳුරුයි අපි කාටත්


ප.ලි.: මම මුලින්ම කියලා ඇති කට්ටියට මම කවිකාරයෙක් නෙමෙයි, මට කවි ලියන්න බැහැ කියලා. ඒත් මට මෑත කාලේ හමුවුණු පුද්ගලයෙක් නිසා මම කවිකාරයෙක් වුණා කියලා තමා මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ දවස්වල ලියලා තියෙන කවිවලින් හොඳයි කියලා මට හිතෙන එකක් තමා මේ.......

මම කලින් බැරි මර ගාතේ ලියපු කවි බලන්න කැමති නම් මෙතන කොටලා බලන්න.

Wednesday, October 6, 2010

මොකක්ද බොලේ මේ DELBOTC


දවස් 4, 5 කට පස්සේ තමා මේ පැත්තේ කරක් ගහන්න එන්න පුලුවන් වුණේ. හදිසියේම ගිය බ්‍රහස්පතින්දා පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණු නිසා වැඩ ඔක්කොම අවුල් වෙලා තිබ්බේ. කතාව මෙහෙමයි. අපේ A/L Logic Class එකේ ගුරුතුමිය හැම බ්‍රහස්පතින්දාම කැලණිය රාජ මහා විහාරෙදී බෝධි පූජාවක් කරනවා. අපිත් ඒකට පුලු පුලුවන් වෙලාවට සම්බන්ධ වෙනවා.

ඉතින් ගිය සතියේ බ්‍රහස්පතින්දා බෝධි පූජාවට සම්බන්ධ වෙන්න හිතාගෙන මම මිස්ලගේ ගෙදරට ගියා. බෝධි පූජාවට ඕන කරන බඩු මුට්ටු ටිකත් මිස්ලගේ car එකට පටවන්න එහෙමත් මම උදව් වුණා.[කට්ටියට මේ car එක ගැන මතක ඇති. මිස් තන්තිරිමලේ ගිහින් කුඹුරක් හාන්න ගියේ මේ car එකෙන් තමා :))]

අන්තිමට ඔක්කොම එළියට බැස්සාට පස්සේ මිස් ගෙදර දොර lock කරන්න ගියා. ඒ දොරේ පොඩි අවුලක් තියෙනවා හයියෙන් අදින්න ඕනේ. ඒ නැත්නම් හරියට lock වෙන්නේ නැහැ. මමත් ඉතින් මිස්ගේ උදව්වට ගියා දොර වහන්න. මිස් එක පාරක් ඇද්දට හරි ගියේ නැති නිසා මිස්ට පැත්තකට වෙන්න කියලා මම එක පාරක් හයියෙන් ඇද්දා. ඒත් දොර හරියට වැහුණේ නැහැ.

Lock එක මේ වගේම නෙමෙයි ඒත් ටිකක් මේ වගේ lock එකක්

මාත් ඉතින් ආයි පාරක් දොර ඇරලා full වීරියම දාලා දොර වැහුවා විතරයි Lock එකේ handle එකත් කඩාගෙන ඒක මගේ අතට ආවා. ඒ ගමන්ම දකුණු අතේ දබර ඇඟිල්ල හරියෙන් කඩියෙක් කනවා වගේ වේදනාවකුත් ආවා. බැලින්නම් දබර ඇඟිල්ලේ උඩ ඉදන් පහළට තීරුවක්ම කැපිලා. ටික ටික ලේ ගලනවා. මේ වෙලාවේ තමා මට මම St. John Ambulance එකේ කරපු First Aid Course එකෙන් තුවාලයක් වුණාම කරන්න කිව්ව වැඩ පිළිවෙල මතක් වුණේ.



මමත් කඩන් බිදගෙන Tap එක ගාවට ගිහින් තුවාලේ ගලාගෙන යන වතුරෙන් හේදුවා. පස්සේ බාහිරව තුවාලයක් වුණාම කරන treatment එකේ මුල් පියවරවල් ටික අනුගමනය කළා.

එක කෙටියෙන් හඳුන්වන්නේ DELBOTC කියලා


හැමෝගෙම අවබෝධයට ඒක කියන්නම්. මේ එක් එක් අකුරෙන් තේරුමක් එන්න තමා සකස් කරලා තියෙන්නේ.

D - Direct Pressure සෘජු පීඩනය
E - Elevation ඔසවා තැබීම.
L - Lay down හාන්සි කරවීම.
B - Bandage වෙළුමක් යෙදීම.
O - Other Injuries වෙනත් තුවාලවලට ප්‍රතිකාර කිරීම.
T - Treat for shock කම්පනයට ප්‍රතිකාර කිරීම.
C - Circulation චාක්‍රණය

මේ එකෙන් එක ගැන කතා කළොත් තුවාලයකින් ලේ ගලන එක වළක්වන්න දැන් ඉස්සර වගේ තිරිංග දැමීමක් කරන්නේ නැහැ. ඒ නිසා තුවාලය උඩ අත තියලා සෘජු පීඩනයක් ලබාදීලා ලේ ගලන එක නවත්තන එකක් තමා දැන් වෙන්නේ. ඒ වගේම තුවාලය තියෙන ස්ථානය හෘදය වස්තුවට වඩා ඉහළින් තබන්නත් කටයුතු කරනවා. ඉන් පසුව රෝගියාව පොළවේ දිගා කිරීමක් කරනවා.

ඊට පස්සේ තමා තුවාලය ආවරණය කිරීම කරන්නේ. පිරිසිදු රෙදි කඩකින් වුණත් මේ වැඩේ කරන්න පුලුවන්. මේ තුවාලයට අමතරව තවත් තුවාල තියෙන්න පුලුවන් නේ. ඒවා ගැනත් ඉන් පස්සේ අවධානය යොමු කරලා ඒවාට හැකි විදිහට ප්‍රතිකාර කරනවා.

මේ විදිහට වෙන ලේ ගලායාමක් නිසා මොළයට අවශ්‍ය ප්‍රමාණයට ලේ නොලැබීම නිසා කම්පන තත්වයකුත් ඇතිවෙන්න පුලුවන්. ඒකට අවශ්‍ය කරන පිළියම් එහෙමත් කරන්න ඕනේ. අවසාන වශයෙන් මේ ප්‍රතිකාර ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ලේ ගමනාගමනය හරියට වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කරපු වැඩ ටික ඔක්කොම ගඟේ මූදේ දැම්මා වගේ වෙනවා.

මේ සංකීර්ණ plan එකෙන් මම කළේ තුවාලේ හෝදගෙන ඇවිත් තුවාලේ උඩින් පිරිසිදු රෙදි කෑල්ලක් තියල තද කරලා [සෘජු පීඩනය] අත උඩට උස්සලා [පොඩි කාලේ පංතියේ නාම ලේඛනේ ලකුණු කරද්දී ඉන්නවා කියන්න අත උසන්නේ අන්න ඒ ගානට] පුටුවක වාඩිවෙලා හිටපු එක. ඊට පස්සේ ඉක්මණටම කට්ටිය මාව Doctor කෙනෙක් ගාවට අරන් ගිහින් තුවාලෙට බෙහෙත් දැම්මා. Doctor කිව්වා එච්චර ගැඹුරට කැපිලා නැහැ. ඒක නිසා මැහුම් දාන්න ඕනේ නැහැ කියලා.


හොඳම වැඩේ දොරේ Lock එකේ කැඩිච්ච handle එක මම මේ සිද්ධිය මතක් වෙන්නත් එක්ක සාක්කුවේ දාගෙන හිටියේ. ඒක සාක්කුවේ දාගෙන ආපු එක හොඳයි කියන්නේ Doctor ටෙට්නස් ගහන්න වෙයිද දන්නේ කියලා කියද්දී මම අමාරුවෙන් වම් අත සාක්කුවට දාලා handle එකේ කෑල්ල දුන්නා. පස්සේ Doctor කිව්වා මේක යකඩ නෙමෙයි නේ ඕනේ නැහැ ටෙට්නස් ගහන්න කියලා. අන්තිමට ඉතින් බෙහෙත් දාගෙන කැලණි පන්සලුත් ගියා බෝධි පූජාවට.

ඉතින් මේ දවස් ටිකේම හුඟක් වැඩ කටයුතු කළේ වම් අතින්. ඒක නිසා ඒකත් රිදෙන්න ගත්තා :)) කොහොම වුණත් අත් දෙකම එහෙමත් නැත්නම් එක අතක් නැති අය තමන්ගේ වැඩ කටයුතු කරගන්න කොච්චර මහන්සියක් වෙනවද කියන එක නම් යස අගේට මට තේරුණා.

හැමෝම වැඩ කටයුතු කරද්දී පරිස්සමෙන් කරන්න වග බලා ගන්න ඕනේ. හරිද ?

ප.ලි.: මේ ජරමරෙන් පස්සේ මම හිතා ගත්තේ ආයි නම් හයියෙන් දොරවල් වහන්න යන්නේ නැහැයි කියලා. මේ කතාවෙන් ඔයාලටත් ගන්න තියෙන ආදර්ශේ ඒක තමා. කොහොම වුණත් අර First Aid කරුණු ටිකත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. ඒවත් මතක තියාගෙන ඉන්න.


ප.ප.ලි.: අද මගේ උපන් දිනය. ඉතින් මම ජීවිතේ අවුරුදු 21 ක් නොදැවී බැට් කරලා තියෙනවා. ඉතුරු ටිකත් හිමින් සැරේ බැට් කරන්න තමා ඉන්නේ :))

අපේ සාඩම්බර හසී පවුලෙන් මට විශේෂයෙන්ම උපන් දින සුභ පැතුම් එක් කරලා තිබුණා. ඉතින් කොලු හසියා, කෙලි හසී, පොඩි හසියාට ගොඩා...................ක් ස්තුතියි :)

කොලු හසියාගේ හසියාගේ නවාතැන
කෙලි හසීගේ හසීගේ සිතුවිලි
පොඩි හසියාගේ හසිත කොල්ලගේ අවකාශය

Tuesday, September 28, 2010

සේයා රූ කියන කතාව - ඔබාමා වත 3

ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව - ඔබාමා වත, සේයා රූ කියන කතාව - ඔබාමා වත 2 " මීට කලින් පළවුණා. මෙන්න අන්තිම කොටහ.

ඔයාට ඉතින් දැන් මොකක්ද ඕනේ ? ඇමතිකමක්ද ? තානාපතිකමක්ද ? මණ්ඩල සභාපතිකමක්ද ?




අපි ඈතට ඈතට පා නගනා, ඝණ වනන්තරේ.............




ඉතින් පුතා මම මෙච්චර දවසක් අර පුටුවේ වැඩ ටික බොහෝම අමාරුවෙන් කළා. ඊළඟට ඉතින් ඔයාට තමා ඕක වැඩ ටික කරන්න තියෙන්නේ.........




ආ නංගිලා කොහොමද ?




අනේ දෙවියනේ මට වුණු වියෝයා..........




හරි හරි ඔයා දැන් කතා කළා ඇති හිමින් සැරේ බැහැලා යනවාද ? මගේ කතාව ඊළඟට




හරි හරි නංගි ඔයා ඔහෙන් වාඩි වෙලා ඉන්නකෝ අපි පස්සේ කතා කරමුකෝ..




මං ලස්සනයිද ?




පස් දෙනාම වැඩකාරයෝ




එන්න නංගි, එන්න මල්ලී, ගී ගයාලා ප්‍රීති වීලා සොමියේ නටලා..........




දැන් අපි හත් වාසි ද බලන්නේ නැත්නම් තව කෙනෙක් සෙට් කරගෙන ඕමියක්ම ගහනවාද ?




මොකක්ද අප්පා මේ කරදරේ ටිකක් ඉන්න දෙනවාකෝ නිස්කලංකේ.........




ඌයියා වෙයිද අනේ........




මල්ලී කතිර දාන්න, මම බෝල දාන්නම්




ඉස්සර අපේ තාත්තාට ලොකූ...... බඩක් තිබුණා




මෙයාට කවුරුත් කිව්වේ ඔබාමා, අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ....




දාන්නකෝ "ඔබේ" පහක්




හජිමේමෂිතේ. වතෂිවා නම එවා ඔබාමා දෙස්





හැංගිමුත්තෝ හැංගියෝ නොපෙන තැනක හැංගියෝ මං එනකොට දුවපියෝ




ජනාධිපති රස්සාව ගහලා ගිය දාට මේකක්වත් කරන්න පුරුදු වෙන්න එපායැ




මේ බලන්න මේක කොහොමද මෙයා ?





මල්ලි මේ ඔයා මගේ හොඳ යාළුවෙක් හන්දයි මම මේක ඔයාට හොරෙන්ම කියන්න හිතුවේ............





මල්ලි මට උළුදු වඩේ දෙකයි සීනි අඩුවෙන් දාපු ප්ලේන් ටී එකකුයි එවන්න





කොහොමද වැඩ





Sunday, September 26, 2010

අපේ සීයාගේ කවි

මේ ඉන්නේ අපේ සීයයි මමයි අයියයි. සීයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ මම තමා

අපේ සීයා ගැන මම දවසක් පොඩි කතාවක් කිව්වා කට්ටියට සමහර විට මතක ඇති "කට්ටියට එක එක කාඩ් වැටුණු හැටි, දාගත්ත හැටි ගැන කියපු කතාවක්" එක්ක. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන සහෘදයන්ගේ සීයලා ගැන posts කීපෙකුත් මෑත කාලයේ කියවන්න ලැබුණානේ. විශේෂයෙන් අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර සීයා ගැන කියපු කතාව කට්ටියට මතක ඇති.

අපේ සීයා ගැන කිව්වොත් මගේ කතන්දර කියන skill එක මට ආවේ අපේ සීයාගෙන්. කතන්දර, කවි, තේරවිලි වගේ ගොඩාක් දේවල් සීයා මට කියලා දුන්නා. ඒ වගේම සීයා හුඟාක් ආගම දහමට ලැදි කෙනෙක්. මාවත් පොඩි කාලේ ඉදන්ම පන්සල් එක්ක ගෙන ගිහින් මාවත් ආගම දහමට ලැදි මනුස්සයෙක් කලේ සීයා. අයියයි මායි දෙන්නව පොඩි කාලේ ඉදන්ම සිල් ගන්න එක්ක යන එක සීයා කළා. තාමත් හැන්දෑවට බුදුන් වැදලා පිරිත් කියන කාර්යය මට හුරු කළේ සීයා.

අපේ සීයා ගිහි පිරිත් කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් සීයා පිරිතකට ගියාම සීයා එනකම් මම බලාගෙන ඉන්නේ. මොකද සීයා අනිවාර්යයෙන් මටයි අයියටයි සූකිරි ගේනවා.

ඇත්තටම මම පොඩි කාලේදී අම්මා තාත්තා එක්ක ඉන්නවටත් වැඩියෙන් ඉන්න ආසා වුණේ සීයත් එක්ක. ඒ දවස්වල පාරේ යන කොල්ලෝ මාව අවුස්සන්න මට ඇහෙන්න කෑ ගහනවා "සීයා අපේ" කියලා. එතකොට මම උන්ට මදි නොකියන්න බනිනවා "සීයා මගේ" කියලා.

ඉතින් අපේ සීයා කියන්නේ අපේ තාත්තාගේ තාත්තා අවුරුදු 94 ක් ආයු වළඳලා තමා අපෙන් වෙන් වුණේ. සීයගේ 93 වෙනි උපන් දිනේ වෙලාවෙත් අපි මුණුබුරු සෙට් එක කිව්වේ සීයේ 100 ක් කොහොම හරි බැට් කරන්න ඕනේ කියලා. ඒත් 2005 අවුරුද්දේ මැයි මාසේ මුල් සතියේ ආච්චී (තාත්තාගේ අම්මා) අපෙන් වෙන්වුණා. ආච්චී අපෙන් වෙන්වෙලා සති 2 ක් යන්න කලින් සීයත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.

මට මුලින් කියන්න බැරි වුණානේ අපේ සීයාගේ නම ගුණසීල. නමේ හැටියටම තමන්ගේ ජීවිතේ ගත කරපු කෙනෙක් තමා අපේ සීයා.

ඉතින් මට සීයා ගැන මතකය ආයි අළුත් වුණේ දවසක් නිකම් කල්පනා කර කර ඉන්න වෙලාවක සීයා කියාදීපු කවි වගයක් මතක් වුණු නිසා.........


කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
නින්දේ සිටින විට කපලා හරි අවුල

පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා

මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා

ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
කොළපත් මූණ බැඳගෙන යනවා රෑට

මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ

අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල

ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ

කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
අත පත ගගා උන්නා මල්ලී දිනෙක

වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්

එදා පටන් වෙද මාමා අපේ ගෙට
ආවොත් අතේමයි බෑගය සෑමවිට


මේ කවිවල සමහර පේළි අඩුයි. ඒවා මට දැන් මතක නැහැ. ඒ වගේම මේ කවි කවුරු හදපුවාද, තියෙන්නේ මොන පොතේද කියලා මම තාම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.

ප.ලි.: සීයාගේ නම ගුණසීල ඒ වගේම සීයා හිටියා කියලා මම කිව්වනේ. ඒ වගේමයි සීයාගේ මුණුබුරාත් නම හසිත. නමේ හැටියට ඒ කොළුවා ඉන්නේම හිනාවෙලා සන්තොසෙන් :))

Saturday, September 25, 2010

ආගිය කතාව


Campus එකේ exam ඉවර වුණේ පෙරේදා. අන්තිම paper එකත් ලියලා hall එකෙන් එළියට බැස්ස වෙලේ පුදුම සැහැල්ලුවක් දැනුණේ. "ඒකත් එහෙමනම් ඉවරනේ" කියලා. Campus ඇවිල්ලත් අවුරුද්දක් ගෙවිලා ගියා කොහොමින් කොහොම හරි. ඉතින් ලබන මාසේ ඉදන් අපි 2nd Year කස්ටිය.

ඒ වෙලේ මට හිතුණු සිතුවිල්ලක් තමා මේ

විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
සුපුරුදු පරිදි ආයි
සරන්නට කාලයයි

පෙරේදා හැන්දෑවේ ගියා කියවන්න හොඳ පොත් ටිකක් ගන්න. 2 ට විතර එකට පොත් අරගෙන එළියට බහිද්දී 7 විතර වුණා. මම ගත්ත පොත් ටික තමා මේ......

චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය
මහගමසේකරගේ තුංමංහන්දිය
කුලසේන ෆොන්සේකාගේ ගිනි බිඳුම
ඛුෂ්වන්ත් සිංගේ අන්තිම දුම්රිය (කුලසේන ෆොන්සේකාගේ පරිවර්තනයක්)
භද්‍රජි මහින්ද ජයතිලකගේ ගෙත්සෙමෙනි සන්ධ්‍යාව
ෂ්‍යාම සෙල්වදොරේගේ අමුතු ඉලන්දාරියා (සුගතපාල ද සිල්වාගේ පරිවර්තනයක්)
උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ
නන්දසේන සූරියාරච්චිගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම්

ඉතින් මේ පොත් ටිකත් කියවන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස් ටිකේ මොකුත්ම බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ. ආගිය කතා ගොඩා......ක් තියෙනවා ලියන්න.

විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමා මේ දවස් ටිකේ මගේ ජීවිතේ මම හිතන විදිහට තිබුණු හොඳම දවස් ටික තමයි ගෙවෙන්නේ. ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න තමා උපරිම try එක.


ඉස්සරහට එන්න තියෙන සහ කරන්න තියෙන ඒවා බලද්දී ජීවිතේටම බලපාන තීන්දු තීරණ කීපෙකුත් ගන්න තියෙනවා. එකක් දෙකක් ගැන කිව්වොත් Campus එකේ 2nd Year එක පටන් ගත්තාම අපි තීරණේ කරන්න ඕනේ Special Degree එකක්ද General Degree එකක්ද අපි කරන්නේ කියලා.

Special Degree එක කරන අය තව අවුරුදු 3 ක් ඒ Special Degree එක කරන subject එක හදාරනවා. General Degree එක කරන අය තමන් 1st Year එකේ කරපු Subjects 3 හෝ 2 තවත් අවුරුදු 2 ක් හදාරනවා.......

අනිත් ජීවිතේටම බලපාන තීරණේ තවමත් ගනිමින් වගේම අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නේ. බලමුකෝ ඒක කොයි විදිහට වෙයිද කියලා....

අන්තිමට එක දෙයක් කියන්න තියෙනවා මගේ exam එකට සුභ පැතුම් එක් කරමින් හයියක් වුණු සිංහල බ්ලොග් අවකාශේ වගේම මුහුණු පොතේ යාළු මිත්‍රාදීන්ට ස්තුතියි. මෙවන් මිතුරෝ මට වාසනාවන්

එහෙමනම් හොඳ හොඳ ආගිය කතා පොදියකුත් එක්ක හමුවෙමු

Wednesday, September 1, 2010

විභාගේ පටන් ගන්නයි යන්නේ..........


මේ දවස්වල මට වැඩ ගොඩ වෙමින් තමා පවතින්නේ. Campus ගිහින් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ළඟයි. 1st Year එක ඉවර වුනේ අගෝස්තු 27 වෙනිදා. මේ දවස්වල Study Leave . Campus එකේ exam පටන් ගන්නේ සැප්තැම්බර් 14 වෙනිදා. ඊට කලින් IT paper එක තියෙනවා සැප්තැම්බර් 06. Exam පටන් ගන්න දවසේම හා හා පුරා කියලා මට පුරාවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ 21 ඉතිහාසය. 23 සමාජ විද්‍යාව. ඉංග්‍රීසි paper එකකුත් ඔක්තෝබර් 08 වෙනිදා තියෙනවා.

ඉතින් දැන් exam එකත් ළඟ නිසා පාඩම් කටයුතු උත්සවාකාරයෙන් පටන් ගන්න කියලා තමා හිතුවේ මේ සිකුරාදාට. වැඩ කටයුතු නිසා ඉස්සරහට බ්ලොග් කෙරුවාවට එන්න බැරිවෙයි.

සැප්තැම්බර් 23 ඉවර වුනාට පස්සේ මේ දවස්වලටත් හරියන්න ලියන්න තමා ඉන්නේ. කොටින්ම මේ දවස් ටිකට ආගිය කතා හුඟක් හොයා ගෙන තියෙන්නේ. ඒත් ලියන්න වෙලාවක් නැති එකයි තියෙන ගැටළුව. එහෙම නම් සැප්තැම්බර් 23 වෙනිදායින් පස්සේ නැවත හමුවෙමු.

හැමෝටම ජයවේවා !!!