Sunday, June 17, 2012

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 07

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

වසර 2000 කට අධික කාලයක් පැවතුණා වූ ලාංකීය රාජාවලියේ අන්තිමයා බවට පත්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කර් වංශික රජතුමා. ඔහුගේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ 1815 පෙබරවාරි 14 වෙනිදා ඉංග්‍රීසින් සෙංකඩගල නගරය අත්පත් කර ගැනීමත්, ඊට පස්සේ පෙබරවාරි 18 මැද මහනුවර ගල්ලැහැවත්තේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් අල්ලා ගන්න ඉංග්‍රීසින් සමත් වීමත්, මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමත් හරහා.

මාර්තු 18 අත්සන් තබා අවසන් කෙරුණු උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."

හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.

පස්සේ 1816 ජනවාරි 24 හිටපු රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කරනවා. අන්තිම සිංහල රජතුමාට අන්තිමට මොකද වුනේ කියන එකත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්නම්.

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

මේ විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව රාජ්‍යත්වයෙන් පහ කරන්න මුල්වුණු පිරිසට කිසියම් ශාපයක් වැදුණාද කියන එක කතා කරන්නයි අද මේ සටහන වෙන්වෙන්නේ. අපි ඒක කරුණු කාරණාත් එක්කම සළකා බලමු.

ඇහැලේපොළ මහ නිළමේ

මේ කාර්යය සඳහා මූලිකම වුණු පුද්ගලයා වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් ධූරය දරපු ඇහැලේපොළ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ.

රජතුමා එක්ක වුණු විවිධ මතභේද වගේම රදළයන්ගේ කේළම් බස් නිසා රජතුමාත් එක්ක හිත් අමනාප කරගත්තු ඇහැළේපොළ 1814 මැයි හෝ ජූනි ඉංග්‍රීසීන් වෙතට පලා යනවා. මේ නිසා තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැළේපොළ පවුල කෲර මරණයක් අත් කර දෙන්නේ. ඇහැළේපොළගේ සහය නිසා ඇහැළේපොළගෙන් පසුව පළමු අදිකාරම් ධූරයට පත්වුණු මොල්ලිගොඩ මහ නිළමේගේ සහයත් ලබාගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා.

අවසානයේදී කලිනුත් කිව්වා වගේ 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නත් පසුව ලංකාවේම අධිපතියා වන්නටත් ඉංග්‍රීසීන්ට හැකිවෙනවා.

ඇහැලේපොළ උඩරට සිහසුන බලාපොරොත්තු වුණත් ඒක හිමිවෙන්නේ නැහැ. ඔහු පළමු අදිකාරම තනතුරට නැවත පත්වෙන්න කැමති වෙන්නෙත් නැහැ. ඔටුන්න හිමි කුමාරයාගේ රුව සහිත පදක්කමක් පිරිනමමින් ඇහැලේපොළට ගෞරව කරන්න ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් පොරොන්දු වුණත් ඒක සිදුවෙන්නේත් නැහැ.

අවසානයේදී සිදු වෙන්නේ 1818 උඩරට කැරැල්ල ඇරඹීමත් එක්කම සැකපිට ඇහැලේපොළව 1818 මාර්තු 2 සිරභාරයට අරගෙන කොළඹ නිවාස අඩස්සියේ තැබීම. 1825 ජූනි 6 වෙනිදා එවකට ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ නියමයෙන් ඇහැලේපොළ මහ නිළමේව මුරුසි දිවයිනට පිටුවහල් කරනවා

වසර 4 ක් පමණ මුරුසි දිවයිනේ ඇහැලේපොළ මහ නිළමේ ගත කරන්නේ තමන්ගේ මව්බිමෙන් ඇත්වෙලා වගේම කිසිම වැරැද්දක් නොකර.

ඇහැලේපොළ මහ නිළමේ සමඟම පිටුවහල් කරලා හිටිය පිළිමතලාවේ නිළමේ දවසක්දා ඇහැලේපොළ කල්පනා කර කර සක්මන් කරද්දී "මහ නිළමේතුමා නැතිවුණු යමක් සොයනවාද ?" කියලා අහනවා.

ඒකට ඇහැලේපොළ මහ නිළමේ පිළිතුරු දෙන්නේ "ඔව් මම මගේ නැතිවෙච්ච වටිනා කියන තරුණ කාලය හොයනවා" කියලා.

අන්තිමටම 1829 අප්‍රේල් 5 ඇහැලේපොළ මහ නිළමේ මියයනවා. එතකොට ඔහුට වයස අවුරුදු 56. නිරපරාදේ වැරැද්දක් නොකර කාත් කවුරුත් නැතිව මවුබිමෙන් ඈත්වෙලා මියයන්න ඔහුට සිදුවෙනවා.

ඇහැලේපොළ මහ නිළමේ දෙවෙනි වතාවට පිළිමතාලව දිසාවගේ අක්කා වුණු මීගස්තැන්න අදිකාරම් වැන්දඹු බිරිඳව 1815 මැයි මාසයේ විවාහ කරගත්තත් ඇහැලේපොළ දාව ඇයට දරුවන් උපදින්නේත් නැහැ. ඇහැලේපොළ මහ නිළමේ මුරුසියේ වාසය කළ කාලයේ ඇය මියගිය බවයි කියවෙන්නේ.

මොල්ලිගොඩ මහ නිළමේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බලයෙන් පහ කරන්න මූලික වුණු අනෙක් වැදගත් පුද්ගලයා තමා මොල්ලිගොඩ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාහල මුදියන්සේ.

1815 පෙබරවාරි 8 වෙනිදා ඉංග්‍රීසීන්ට එකතු වුණු මොල්ලිගොඩ පසුව ඉංග්‍රීසි පාලනය යටතේත් පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් තනතුරට පත්වෙනවා. 1818 උඩරට මහ කැරැල්ල මර්දනය කරන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා රික්ස් ඩොලර් 200 විශ්‍රාම වැටුපකුත් මොල්ලිගොඩට ලබාදෙන්න ඉංග්‍රීසි රජය කටයුතු කරනවා. ඒ වගේමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා සන්නසක් මඟින් විශාල ප්‍රදානයකුත් මොල්ලිගොඩට කරනවා.

ඒත් දැඩි ලෙසම මත්පැන්වලට ඇබ්බැහි වුණු මොල්ලිගොඩ මහ නිළමේ අකාලයේ මියයනවා වගේම ඔහුගේ පුතාත් මත්පැන්වලට ඇබ්බැහිවෙලා තරුණ කාලයේදීම මියයනවා. ඒකෙන් මොල්ලිගොඩ පෙළපතත් අහෝසි වෙනවා

රජතුමාව අල්ලා ගත් මැද මහනුවර ගල්ලැහැවත්තේ පිහිටුවා ඇති ස්මාරකය

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මැද මහනුවර ගල්ලැහැවත්තේදී අල්ලා ගත්තු කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ එක්නැළිගොඩ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් එක්නැළිගොඩ මහීපාල අක්‍රක් කුරුප්පු වික්‍රමසිංහ බස්නායක මුදියන්සේ.

රජතුමාව අල්ලාගත්තු අවස්ථාවේ බිසෝවරුන්ට හානි කරමින් ඔවුන්ගේ ඇඳුම් ඉරාදමන්නත් කන් පෙති ඉරා දමමින් කුණ්ඩලාභරණ ඉරා ගන්නත් තමන්ගේ පිරිසට ඉඩ දෙන්නේ ඔහු.

ඒ වගේමයි "වැල් පටක් කඩාගෙන ඇවිදින් මේ ඌරා බැඳ ඇද ගෙන යව්" කියලා තමන්ගේ මිනිසුන්ට අණ දීපු එක්නැළිගොඩ ඒ සඳහා මහ මුදලි දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි බාධා කරද්දිත් ගණන් නොගෙන රජතුමාගේ ඇඳුම් ඉරා දමා බිම දමාගෙන ඇදගෙන යනවා.

එක්නැළිගොඩ කරපු සේවය අගය කරලා ඉංග්‍රීසීන් මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිගේ මුහන්දිරම තනතුර  එක්නැළිගොඩට පිරිනමනවා. තමන්ගේ පුතා සහ බෑණා ඉංග්‍රීසි උගන්නවන්න ඉංග්‍රීසි රජයට බාරදෙන්නත් ඔහු කටයුතු කරනවා.

1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසින් මහත් සේවයක් කරන එක්නැළිගොඩ ඌවේ වැසියන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනි තබනවා පමණක් නෙමෙයි හිතු මනාපයට මිනිසුන් මරා දැමීම පවා කරනවා. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම එක්නැළිගොඩට පිරිනමනවා. 

ඒත් 1822 දී වයස අවුරුදු 39 ක් වුණු එක්නැළිගොඩ අකාලයේ මියයනවා. ඔහුට කරන ගරු කිරීමක් විදිහට එක්නැළිගොඩ පුත්‍රයාට සබරගමුවේ මහ සමන් දේවාලය බස්නායක නිළමේ ධූරය පිරිනැමුනත් අයහපත් කල් කිරියාව නිසාවෙන් බස්නායක නිළමේ ධූරයෙන් එක්නැළිගොඩ පුත්‍රයාව පහ කරනවා.

මේ අන්තිම පුද්ගලයා ගැන කතාව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලන්න ගිය කණ්ඩායමේ හිටිය වැලිඅංගා කියන පුද්ගලයා තමා මුලින්ම රජතුමාව අල්ලගන්නේ.

වැලිඅංගා රජතුමා ගාවට ගියාම රජතුමා කියනවා "අඩේ මේ වැලිඅංගා නේද?" කියලා.

ඒ වෙලාවේ වැලිඅංගා "දෙයියෝ බුදුවන්ට, එදා මෙහෙමයී අද මෙහෙමයි" කියලා රජතුමාට පයින් පාරක් ගහලා බිමට පෙරලනවා.

ඊට පස්සේ තමා රජතුමාගේ ඇඟ උඩට නැග ගත්තු අනිත් අයත් රජතුමාට ගුටි බැට දීලා රජතුමාව අඩපණ කරන්නේ.

පස්සේ මේ වැලිඅංගා කියන රජතුමාට පයින් ගහපු මනුස්සයාගේ කකුල කුණුවෙලා මැරුණලු. ඒ පරම්පරාවේ සියලු දෙනාම කකුලේ කුෂ්ට රෝගයක් නිසා මිය ගිහින් තියෙනවා.

මේ කතාව තමන්ගේ මග දිගට ජනකතා කෘතියට ලියපු ඩී.පී. වික්‍රමසිංහ මුල් ගුරුතුමාට මේ කතාව කියපු පුද්ගලයාගේන් වැලිඅංගාගේ පරපුරේ කෙනෙක්. අවුරුදු 14 ඉදන්ම කඩුවේගන් කියන කුෂ්ට රෝගය ඔහුගේ දකුණු කකුලේ තිබුණලු. එයාගේ සීයාටත්, තාත්තාටත් මේ ලෙඩේම තිබිලා එම රෝගය නිසා ලේ විෂවෙලාලු ඒ අය මිය ගිහින් තියෙන්නේ.

මේ තමා රජතුමා අල්ලා දෙන්න සම්බන්ධ වුණා කියලා නිශ්චිතවම හිතාගන්න පුලුවන් කීප දෙනෙක්ට සහ පවුල්වලට සිදුවුණු දේ.... මොකක් හරි සාපයක් වගේ දෙයක් පේන්න තියෙනවාද ???

මේ කරුණු ගැන කතා කරද්දී සමහර විට ප්‍රශ්නයක් එන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රට පාලනය කරද්දී අනුගමනය කරපු ක්‍රියාමාර්ග යහපත් ඒවාද කියලා. බොහෝ දෙනාගේ පිළිගැනීම එතුමා බොහොම කෲර පාලකයෙක් කියන එක.

ඒ විදිහට රජතුමා අනුගමනය කරපු යම් යම් ක්‍රියාමාර්ග ගැන රජතුමාට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණද ? මේ සියල්ලටම හේතුව රජතුමාමද ? සිංහල සෙබළුන් විසින් රජතුමාව අල්ලා ගත්තාට පස්සේ කරපු වද හිංසා සාධාරණද කියන ප්‍රශ්න මතු වෙනවා.

ඔටුණු පළදලා සිහසුන් අරා සිටින රජතුමාව හඳුන්වන්නේ "දේවයන් වහන්ස එහෙමත් නැත්නම් දෙයියෝ" යන නමින්. රජතුමා ජීවමාන දෙවියෙක් විදිහටයි සළකන්නේ. වැඩිහිටි, බාල භේදයක් නැතුව හැමෝම රජතුමාට නමස්කාර ක්‍රරනවා වගේම රජතුමා ඉදිරියේ දණ ගසාගෙන සිටින්නේ. කොටින්ම රජතුමා ඉදිරියේදී තමන්ට ආමන්ත්‍රණය කරගන්නේ "බලුගැත්තා" කියලා.

ඉතින් ඒ ආකාරයෙන් දේවත්වයෙන් සළකපු, වන්දනා කරපු රජෙක්ට සිංහල මිනිස්සු කරපු දේ හරිද? උඩරැටියන් මේ සම්බන්ධව පූර්ණ නිර්දෝෂී අයද  ? කියන එකයි ප්‍රශ්නය.

මේ කතාවට තවත් දේවල් එකතු වෙන්න ඕනේ. ඒවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව තවත් අප්‍රකට කතා ගැන තියෙන posts දෙකකින් ඉදිරියේදී ඉදිරිපත් වෙනවා. ඒක කියවලා බලලා ඔයාලත් හිතලා බලන්න රජතුමා වැරදිද එහෙමත් නැත්නම් රජතුමා හරිද කියලා එහෙමත් නැත්නම් ඊටත් වඩා වෙනස් උත්තරයක් ඔයාලා ගාව තියෙනවාද කියලා

ප.ලි.: රජතුමා ඇතුළු පිරිසට ගෞරවය, කරුණාව දක්වපු මහ මුදලි දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිගේ පරම්පරාවලට පස්සේ කාලේ මොකද වුණේ කියලා දන්නවනේ :)

99 comments:

  1. මෙතනට තම්බි මුදියන්සේ කියන තැනැත්තා සම්බන්ධ වුනා කියල මම අහල තියෙනවා. ඒ කතාව ඇත්තක්ද ? ඒ වගේම ඔහු රටේ ප්‍රධාන පුද්ගලයෙක් වෙලා හිටපු කෙනෙක්ගේ මුත්තෙක් කියන කතාවත් ඇත්තද?

    ReplyDelete
    Replies
    1. @ ඉඳුනිල්

      තම්බු මුදලි නමින් හැඳින්වුවාට එයාගේ ඇත්ත නම දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්න ගිය කණ්ඩායමේ ඔහුත් හිටියා.

      "ඒ වගේම ඔහු රටේ ප්‍රධාන පුද්ගලයෙක් වෙලා හිටපු කෙනෙක්ගේ මුත්තෙක් කියන කතාවත් ඇත්තද?"

      රජතුමා ඇතුළු පිරිසට ගෞරවය, කරුණාව දක්වපු මහ මුදලි දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිගේ පරම්පරාවලට පස්සේ කාලේ මොකද වුණේ කියලා දන්නවනේ....

      මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ටිකක් මම ප්‍රමාද කරනවා. බලමු තව කට්ටිය මේ ගැන දන්නවාද කියලා :)

      Delete
    2. තම්බී (දෙමලෙන් මල්ලී) මුදියන්සේ කියන්නේ ජේආර් පප්පා ගේ පරම්පරාවේ සීයා කෙනෙක්.

      එයා රජ්ජුරුවන් ගෙන් එක්කෝ හොරා ගත්තු නැතිනම් තෑගි ගත්තු රිදී ඔරලෝසුව පසුකාලෙක කටුගෙයි තිබිලා තියෙනවා.

      එකදාස් අටසිය ගණංවල මැද කාලේ ඉඳලා නවසිය ගණංවල මුල කාලේ වෙනකං පහතරට ළෙකු පවුල් කරාලා තියෙන එක වැඩක් තමයි තමන්ගේ පරම්පරා ගැණ විස්තර හොයලා, නරක අතහැරලා, හොඳ වැඩි කරලා පොත් ලියවා ගැනීම කුලියට ලියන අයට කියලා.

      තම්බි මුදියන්සේලා සහ නීලපෙරුමාල් කළුකපුගේ ලා කවුරුත් ඒ වගේ පොත් ලියාගත්තු අය වෙන්න ඕනෑ.

      හසිත ඒවා කියෝලා වගේ.

      Delete
    3. ඇයි මතක නැද්ද ජනාධිපතිවරණෙ කාලෙ මෙහෙම කථාවක් ගියා.

      අලුතින් පුරාණ පන්සලක තිබිලා පුස්කොළ පොතක් හොයාගෙන. ඒකෙ 1818 කැරැල්ල මෙහෙයවූයේ රාජපක්ෂ මුදලි කියලා ගිරුවා පත්තුවෙ මුදලි කෙනෙක්ලු. කැප්පටිපොළ නෙමෙයිලු. කැප්පටිපොළ පස්සෙ එකතුවුන නිසාලු ප්‍රසිද්ධ වුනේ. එයා අහවලාගෙ මුත්තෙක්ලු.

      ආන්න බලන්න හසන්ත, මේ රට බේරාගන්න සටන් කරපු රජ පරපුරක ලේ නේද?

      Delete
    4. @ කතන්දර Kathandara

      බොහෝ වෙලාවට ඒ ඔරලෝසුව රජතුමා දීපු එකක් වෙන්න පුලුවන්. රජතුමා සමඟ කොළඹ දක්වාම රජතුමාව ආරක්ෂා කරගෙන ආපු මේජර් හූක්ට රජතුමා දීපු රත්තරන් මුද්දකුත් මේ වනවිට මහනුවර කෞතුකාගාරයේ තියෙනවාලු.

      මේ ඔරලෝසු කතන්දරේ ගැනත් මම හොයලා බැලුවා. මම මුලින් හිතුවේ ඒක ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ තියෙන ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ කෞතුකාගාරයේ ඇති කියලා. නමුත් ඒක ජාතික කෞතුකාගාරයේ තියෙන බව පස්සේ දැනගත්තා

      බණ්ඩාරනායක සහ ජයවර්ධනලා ගැනත් මේ ඉතිහාසයේ කියවීම් කරගෙන යන ගමන්ම කියවන්න ලැබුණා..... එයාලත් බොහොම පරණ මිනිස්සු නොවැ :D

      Delete
    5. @ Anonymous

      රජ කාලේ රාජකීය උරුමයක් සෘජුවම නොතිබුණාම ප්‍රකට රජතුමෙක්ගේ පරම්පරාවට අල්ලලා අලුත් රජතුමා ඒ පරම්පරාවේ අයෙක් කියලා ඉතිහාසේ ලියන එක ඒ කාලෙත් වුණු දෙයක්. අද කාලෙත් ඒක යම් පමණකින් නොවුණොත් තමා පුදුමේ...

      ඔබ කියපු කතාව විහිළුවක් විදිහට පෙනුණත් යම් එකතු කිරීමක් කරන්නම්.

      1818 හිටිය රාජපක්ෂ මුදලි ගැන නම් මටත් දැනගන්න ලැබුනේ නැහැ. ඒක නිසා අලුතින් හමුවුණු පුස්කොළ පොතේම තමා ඕවා ඇත්තේ.

      රාජපක්ෂ පරම්පරාවේ දැනට දන්න විදිහට පරණම මනුස්සයා තමා දොන් ඩේවිඩ් රාජපක්ෂ කියන ගිරුවාපත්තුවේ ඉහළ වැලිකඩ කෝරළේ විදානේ ආරච්චි තනතුරු ඉසිලුව කෙනා.

      ඒ 19 වැනි සියවස අග භාගයේ ඉදන් 20 වැනි සියවසේ මුල් භාගයේ. එයාගේ පුතා තමා ජනාධිපති රාජපක්ෂගේ පියා වුණු ඩී.ඒ. රාජපක්ෂ

      Delete
    6. @ නොම්මර 17

      ජැකාට වගේ අහුවුණා නම් නියමම පොයින්ට් එක :D

      Delete
    7. @ හසිත,
      විහිළුවක් නෙමෙයි. දොරමඬලාවෙදි සූරියප්පෙරුම ලොක්කා කියපු කතාවක් ඕක. මට මතක හැටියට 2005දි.

      ජැකා ඉතින් සුද්ධෝධන රජතුමාවත් රාජපක්ෂ කරපු එකානෙ

      Delete
    8. @ Anonymous 1

      සූරියප්පෙරුම ලොක්කා කිව්වා නම් හිතා ගත්තැහැකි.

      …අනේ මන්දා කඩේ යනවා කියලා මෙච්චර කඩේ යනවද ???

      Delete
    9. @ Anonymous June 21, 2012 8:26 AM

      ජැකා රාජපක්ෂලා සුද්ධෝදන රජතුමාට සෙට් කළා මට තව කතාවක් හම්බුණා මේ ළඟදී. ගජබා රජතුමා තන්ජෝරය ආක්‍රමණය කරලා එහෙන් අල්ලාගෙන ආපු සොළී සිරකරුවෝ රුහුණේ ගිරුවා පත්තුව පැත්තටත් පිටත් කරලා තියෙනවාලු. එයාලගෙත් නෑයෝ වෙන්න පුලුවන් රාජපක්ෂලා :D

      Delete
    10. හලාවත මාදම්පේ කෝරාළ වුයේ රන්දෙනි කෙනෙක්. වරක් ඉංග්‍රීසීන් උඩරට ගිය වෙලාවේ වත්තල බලකොටුව බාරව ඉඳලා තියෙන්නේ JR ගේ මුත්තාලු. ආයුධත් තිබිලා නෑ. මෙයා කරලා තියෙන්නේ හමුදාවේ 50 ක් විතර අරගෙන මාදම්පේ කෝරලය වටලලා රෑක. දන්නවාද මොනවාද ආයුධ කියලා? ඇඹුල් පොල්පිති. ඒවා බාගයක් දුරට කපලා මිටෙන් අල්ලලා උඩ ඉඳන් හයියෙන් ගස්සාගෙන පහලට පාත් කරනකොට එන හඬ හරියට තුවක්කුවක් පත්තු වෙනවා වගේ. අපත් පුංචි කාලේ ඔය හොරා පොලිස් සෙල්ලම් කරන කොට ඕවා හදනවා. ඉතින් රන්දෙනි කෝරාළ හිතලා ඉංග්රීසි ආක්‍රමණයක් කියා. පැනලා දුවලා. මෙයා මාදම්පේ අල්ලාගත්තා. ඉංග්‍රීසින්ට පහලට ආවාම හරි සතුටුයිලු. පතොරමක්වත් පාවිච්චි නොකර මාදම්පේ අල්ලාගත්තාට.ඒ පාර තමයි මේ මුදියන්සේ පට්ටම දුන්නේ. ඔහු ඉන්දියාවේ සිට ආ ලස්කිරින්ග්නා බටයෙක්ලු.

      Delete
    11. එසේය ... ජූනියස් රිචර්ඩ් ජයවර්ධන
      J R

      Delete
  2. බෛහෙවින් ම අගය කරනවා...!

    ReplyDelete
    Replies
    1. @ Indranatha Thenuwara

      ස්තුතියි ඔබතුමාට :)

      Delete
  3. SRI WICKREMA RAJASINGHE RAJU KUDA DARUWANGEN PALIGATHTHU KROORA RAJEK. OHU KALA APARADA NISA OHUTA WINDAWANNA SIDU UNA. KUSHTA ROGAYA PARAMPARA GATHAWA THIBUNA BAWA KIYAWENAWA. MATH PAN WALA TA ABBAHI UNAMA AKALAYE MIYA YNATA WENAWA. WAYASA 56 DI MARUNE SWABAWIKAWA, HEART ATTACK EKKIN WENNA PULUWAN. PERA PAW PALADENNATH ATHI.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2

      රජතුමා සිදුකළා කියන ඇහැළේපොළ පවුලේ සංහාරය ගැන පහළින් අදහස් දක්වපු Mundeer කරුණු කියලා තියෙනවා.

      …ඒක සරලවම කිව්වොත් රදළයන් අතරේ වුණු ඇණ කොටා ගැනීම්වලට රජතුමා ලවා දඬුවම් කරවීමක් තමා මෙතන වෙලා තියෙන්නේ. බළලුන් ලවා කොස් ඇට බෑවීම කියන පිරුළ මෙතනට කදිමට ගැලපෙනවා. ඒ හැරෙන්න රාජද්‍රෝහී අපරාධකරුවෙක් වෙනුවෙන් මනු නීතිය ක්‍රියාත්මක කිරීමයි රජතුමා කරලා තියෙන්නේ.

      …රජතුමා මියයද්දී වයස අවුරුදු 52 ක් පමණ වෙනවා. මරණයට හේතුව හෘදයාබාධයක් නෙමේ උදරාබාධයක්.

      …මේ කරුණු සම්බන්ධව තවත් සටහන් දෙකක් ඉදිරියට එනවා. ඒවාත් අනිවාර්යයෙන්ම කියවලා බලන්න. මේ විදිහට කෙටියෙන් කියපුවා ඒවායින් සවිස්තරාත්මකව කතා කෙරෙනවා

      Delete
  4. අනේ ඉතින් කවදහරි මටත් මෙහෙම වෙයිද මන්දා.... :(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      …බලයේ ඉන්න කාලේ කරන වැඩත් එක්ක තමා ඒක තීරනය වෙන්නේ :D

      Delete
    2. @ ක්සැන්ඩර් | Xander

      අපේ රජාට එහෙම වෙන්නේ නැතිවෙයි අයියා. මිනිහා කෲර පාලකයෙක් නෙමෙයිනේ :D

      Delete
  5. මොකක් හරි දෙයක් පේන්ඩ තියනවා තමා. මට ප්‍රශ්ණයක් එනවා මේ උඩරට මිනිස්සු කොහොමද තමන්ගේ රජා හැටියට නායක්කාර් වංශික මළබාරියෙක්ව පිළිගත්තේ කියලා. හරිනම් ඒ ගොල්ලො විරුද්ද වෙන්ඩ ඕනා එතනදි නේද ?

    පලියෙ කියන කට්ටිය ගැන දන්නෑනේ.. ඒ අපි දන්න බණඩාරනායකලා හා ජයවර්ධනලද ?

    ReplyDelete
    Replies
    1. @ Senna

      නායක්කර වංශිකයෙක් රජකම තෝරාගන්න වෙන්නෙත් එකිනෙකා එක්ක කුලල් කා ගත්තු උඩරට රදළයන් නිසාම තමා.

      …නරේන්ද්‍රසිංහ රජතුමාගේ යකඩ දෝළියට කුමාරයෙක් හිටියත් ඒ කුමාරයාගේ මව ගොවි කුල වීමත් කුල මානයෙන් හිටිය රදලයන්ට උභය කුල පාරිශුද්ධ ක්ෂත්‍රීය කුමාරයෙක් රජකමට ඕන නිසාත් ඊටත් වඩා ඒ කුමාරයා රජවුණොත් යම් රදළයන් පිරිසක් බලවත් වෙන එකට ඒ වෙද්දී වැඩි බලයක් තිබුණු රදළයන් පිරිසක් අකමැති වීමත් නිසා තමා නායක්කර්වරු බලයට එන්නේ.

      …ඔබේ ප්‍රශ්නය නිසාම නායක්කර්වරුන් ගැනත් ලිපියක් ලියන්නයි අදහස. මේ වෙද්දී ඒකේ සෑහෙන ප්‍රමාණයක් ලියා අවසන්. කොහොම නමුත් මේ ගැන කියවෙන ඉදිරි ලිපි දෙකත් කියෙව්වා නම් ගැටළු රැසකට උත්තර ලැබේවි. කෙටියෙන් තමා මේ කරුණු කිව්වේ.

      පලියෙන් කියලා තියෙන්නේ අපි දන්නා බණ්ඩාරනායකලා සහ ජයවර්ධනලා ගැන තමා

      Delete
    2. නායක්කර් වංශිකයො ලංකාවට එන්නේ මුලින්ම සිංහල රජවරුන්ට ඉන්දියාවෙන් බිසෝවරු ගෙන ඒමත් එක්ක. කුමාරිකාවගේ සහෝදරයන් ට රජකම සඳහා එත්නින් හිමිකමක් ලැබෙනව රජතුමාට බලවත් සහෝදරයින් හෝ පුතුන් නොමැති නම්. මම හරිද හසිත.. ?

      Delete
    3. @ Chandana

      මේ කතාවට තව ටිකක් කරුණු එකතු වෙන්න ඕනේ අයියේ... මේ ගැන පෝස්ට් එක මම පබ්ලිෂ් කරලා තියෙන්නේ..... කියවලා බලන්න ඔයාගේ ප්‍රශ්නවලට සවිස්තරාත්මකව උත්තර තියේවි.

      බිසෝවරුන් දෙන්න ආපු නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි

      Delete
  6. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      …ස්තුතියි ඔබටත්. අනිත් සටහන් දෙකත් අනිවාර්යයෙන්ම කියවා බලන්න

      Delete
  7. ඇහැලේපොළ අධිකාරම කියන්නෙ මද්දුම බණ්ඩාරගෙ පියා නේද? ඔහු තව විවාහයක් කරගත්තද?

    "රජ කම් කෙරුවත් කළ කම් පලදේ"

    මේ කිව්වෙ රජාටම නෙමෙයි ඔක්කොම කට්ටියටත් එක්ක..

    මෙයින් පසු වෙනත් රජ කෙනෙකු ලංකාවේ පත් නොවුනේ ඇයි? ම අසා තිබෙනවා කැරලි නායකයින්ව රජු ලෙස සැලකුවා කියා..

    සාපයක් කියන්නේ රජු ඉන්දීය ජාතිකයෙක් නිසා මොකක් හෝ ගුරුකමක් කළා කියාද?

    වැදගත් ලිපියක්.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. @ හරී

      …ඔව්, ඇහැලේපොල අදිකාරම් කියන්නේ මද්දුම බණ්ඩාරගේ පියා තමා. එයා 1815 මැයි මාසේදී පිලිමතලාවේ දිසාවේගේ [මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හිස ගසා දැමූ පිළිමතලාවේගේ පුතා ] අක්කා වුණු ඒ වගේම මීගස්තැන්න අදිකාරම්ගේ වැන්දඹුව වුණු පිළිමතලාවේ කුමාරිහාමිව විවාහ කරගන්නවා.

      …මෙයින් පසුව ලංකාවේ රජවරුන් පත් නොවුනේ 1815 ගිවිසුම හරහා සිංහලේ බ්‍රිතාන්‍ය රජතුමාට පවරලා දීපු නිසා. ඒත් 1818 කැරැල්ල වෙලාවේ ශ්‍රී කීර්ති මහ වාසල නමින් රජ කෙනෙකුත් 1820 ඇතුවුණු සුලු කැරැල්ලකදි විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් රජ කෙනෙකුත් ඒ වගේම 1848 කැරැල්ලේදී ගොන්ගාලේගොඩ බණ්ඩා ශ්‍රී වික්‍රම සිද්ධපති නමිනුත් රජවෙලා නම් තියෙනවා.

      …සාපයක් වුණා නම් ඒක වුනේ රජතුමා ඉන්දියානුවෙක් නිසා නම් නෙමේ සොබාදහමෙන්.

      Delete
  8. අද වගේම එදත් වන්දිබට්ටයෝ කරන අපරාදත් ලොක්කගේ ගිණුමට බැර වෙන විදිහක් මටත් හිතෙනවා,,අර පරම්පරා දෙක වෙන්න ඕනා වර්තමානයෙත් රටේ පාලනයට ගියේ නේද?

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      ඒ කාලේ වන්දිභට්ටයෝ කරපු වැඩ ගැන වගේම රජතුමාගේ ගිණුමට ඒවා බැරවුණු හැටි ඉදිරි ලිපි දෙකේ සවිස්තරව තියෙනවා.

      …ඔබ හරි. ඒ පරම්පරා දෙක තමා වර්තමානෙත් රටේ පාලනයට දායක වුණේ :)

      Delete
  9. තිස්ස අබේසේකර ලියූ In My Kingdom of the Sun and the Holy Peak කියවා තියේද?

    එයින් එක කතාවක් තියෙන්නේ ශ්‍රී වික්‍රම ගේ අවසන් කාලය ගැනයි.

    කවුරුත් කියවිය යුතු පොතක්.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      ස්තුතියි කසූ. පොත ගැන කිව්වාට වගේම ඒ සම්බන්ධ අනෙකුත් විස්තර කිව්වාට

      Delete
  10. "රජ කම් කළත් කළ කම් පල දිය යුතුයි" කියන තැන ඉන්න නිසා, ශ්‍රී වික්‍රම රාජසිංහ ට සිදුවූ දෙය ගැන කණගාටුවක් නැහැ මට නම්. නමුත් කණගාටුව තියෙන්නේ අපට යටත් ජාතියක් වෙන්නට සිදුවීම ගැනයි.

    ReplyDelete
    Replies
    1. @ තපස්

      …රජතුමා කලා යැයි කියලා කිව්වත් ඒවා සැබවින්ම රජතුමා කරපුවද ? ඒ වගේම මෙවැනි තත්වයක් උදාවුණේ ඇයි ? ඒකට වගකියන්න ඕනේ කවුද කියන කරුණු ඉදිරි සටහන් දෙකේ තියෙනවා. අනිවාර්යයෙන්ම කියවා බලන්න.

      Delete
    2. මට නම් හිතෙන්නේ රජුගේ බීමට වැටීම ඔක්කොම දේට මුල් උනා කියලයි
      ඒ අතින් රජු තමයි වැරදි කාරයා.... hmmmm

      Delete
    3. @ Tiraj Adikari

      එතකොට රජතුමාව බීමට ඇබ්බැහි කරපු මිනිස්සු වැරදි නැද්ද ??

      Delete
  11. මේ ටික මම කියෙව්වෙ ඩී.බී. විකුමසිංහයන්ගේ මග දිගට ජනකතා පොතත් බලන ගමන්..පල්ලෙහාට එනකොට ඒ පොත ගැනත් තියනවා..දන්නෙ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා...

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      …ඇත්තටම ඩී.පී වික්‍රමසිංහයන් ලොකු සේවයක් කරලා තියෙනවා ඒ ජනකතා එකතු කිරීමෙන්. පල් හෑලි කියලා ජනකතා අපිට අහක දාන්න බැහැ. මොකක් හරි සැබෑ කතාවක් පදනම් කරගෙන තමා ජනකතා ගෙතෙන්නේ. ඒකේ තාර බරක් තියෙනවා නම් ඒක ඇරලා ඇත්ත කතාව මතු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.

      Delete
  12. මේක කියවද්දි මට මතක් වුනේ මේ නව කතාව

    http://punchikumarihamigewalawwa.blogspot.com/2012/06/11.html

    ReplyDelete
    Replies
    1. @ අභීත

      මේ කතාවත් හරි අමුතු ජාතියක කතාවක් තමා :)

      Delete
  13. ඉතිහාසය පුරාම බැලුවොත් මේ වගේ පාවා දීම් වලින් තමා රජපෙලපත් හැදිලා තියෙන්නෙ. බල තණ්හාවෙන් මිනිස්සු අන්ධවෙන තරම ගැන සමහර වෙලාවට විශ්වාස කරන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      …ඒත් බොහෝ වෙලාවට මේ පාවාදීම් කරපු අයට යහපතක් වෙලා තියෙන බව නම් පේනවා අඩුයි අක්කේ.

      …ඇරිස්ටෝටල් දක්වපු විදිහට මිනිස්සු දැඩිව ඇලුම් කරන දේවල් වලින් එකක්ලු "බලය" කියන එක

      Delete
  14. @ඒකට ඇහැලේපොළ මහ නිළමේ පිළිතුරු දෙන්නේ "ඔව් මම මගේ නැතිවෙච්ච වටිනා කියන තරුණ කාලය හොයනවා" කියලා.

    මම අහල තියෙන්නේ ඇහැලේපොළ මහ නිළමේ ‍දුන් පිළිතුර වෙනස් විදියකට,
    "ඔව් මම අපේ ජාතියේ අභිමානය සොයනවා" කියලා.
    (එහෙම තිබිබ පොතේ නම මතක නැති වීම ගැන කණගාටුයි)

    එක්නැලිගොඩ කිව්වම මට මතක් වුණේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා.

    බණ්ඩාරණායක,ජයවර්ධන පරම්පරා මාරුවෙන් මාරුවට රට පාලනය කලානේ.

    ReplyDelete
    Replies
    1. @ ජයශ්‍රී

      …ඇහැලේපොළ මහ නිළමේ කරපු මේ ප්‍රකාශය මම උපුටා ගත්තේ මහාචාර්ය අනුර මනතුංග ලියපු ඇහැලේපොළ දෙවෙනි රජ්ජුරුවෝ කෘතියෙන්. ඒ කෘතියට මේ කරුණ උපුටා ගෙන තියෙන්නේ නුවර එළියේ හේමපාල මහතා ලියපු ඇහැලේපොළ මහ නිළමේ කෘතියෙන්.......

      …ප්‍රගීත් එක්නැලිගොඩත් ඉන්නවලු නේද ?

      …බණ්ඩාරනායක, ජයවර්ධන පරම්පරාවලට ලැබුණු භාග්‍යය තමා ඒක

      Delete
  15. ඉතාමත් විශිෂ්ට විග්‍රහයක්. මොනව වුණත් වැඳුම් පිඳුම් කරන කෙනෙකුට පයින් ගැසීමෙන් එය ස්වභාවධර්මයාගේ නීතීන් වලට එරෙහිව යාමක් විය හැකියි.

    ප.ලි: රාජසිංහ යනු රාවනගෙන් ජන්මය ලත් සිංහලයින්ගෙන් පැවත එන්නන්ට භාවිතා කල පදයක්. මෙන්න නිරුක්තිය.
    රා=රාවන, ජ=ජන්ම, සිංහ=සිංහලයා, "රාවජගෙන් ජන්මය ලත් සිංහලයා".
    රාවන සදා අමරණීයයි. වැඩි විස්තර මාගේ බ්ලොගයේ.

    ReplyDelete
    Replies
    1. @ මීවනපලානේ ජයරත්න

      …ඔබ මුලින් දක්වපු කරුණත් මම ඉස්මතු කරන්න උත්සහ කරපු එකක්. ඒක වැටහුණු එක ගැන සතුටුයි.

      …රාජසිංහ යන වදන සිංහයෙන්ගේ රාජයා විදිහටත් අර්ථ නිරූපණ දෙන්න පුලුවන් නේද ?

      Delete
  16. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව නේ ඉන්දියාවේ වෙල්ලෝරයට අරගෙන ගියේ. හිරකාරයෙක් විදිහට !
    අන්න එතන ස්මාරකය, දවසක් ටීවි එකේ පෙන්නුවා. අපෝ ඒක ඒ පැත්තේ මිනිස්සු විනාස කරනවා !
    කොටින්ම අච්චර වටින සිහිවටනේ ඉස්සරහා ළමයි සෙල්ලන් කරනවත් එක්කලා ! ඒ වගේ සිහිවටන සුරකින්න ඉන්දිය රජයෙන් වැඩපිලිවෙලක් නැද්ද මන්දා. (අපේ රටේ නම් පුරාවස්තු සුරකිනවා නෙහ්.)

    වෙනදා වගේම අදත් වටින ලිපියක් මල්ලි !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      …රජතුමාගේ වෙල්ලෝර් ගමන වගේම ඒ ස්මාරකය ගැන සවිස්තරාත්මක මීළඟ සටහනෙන් කියනවා අයියේ. අනිවාර්යයෙන්ම කියවන්න එන්න.

      …ඒ වගේමයි ඒ ස්මාරකය සුරකින්න මේ වෙද්දී ඉන්දීය රජයෙන් වැඩ පිළිවෙලක් අරගෙන තියෙන්නේ.....

      Delete
  17. ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ලන්න ගිය වෙලාවේ රංගම්මා(මට මතක හැටියට) බිසවගේ
    කුණ්ඩලාබරණ කදාගනිද්දී ලේ තැවරුණු හැට්ටය තාමත් කටුගේ තියේලු නේද,හොරකන්කරලා නෑ මං හිතන්නේ :ඩ්, වෙනදා වගේම හුගක් වටිනා හොඳ ලිපියක්..

    ReplyDelete
    Replies
    1. මල්වානේ ගිවිසුම කියන්නේ උඩරට ගිවිසුමට නෙමෙයි ද??

      Delete
    2. ආ සහෝ, මල්වානේ ගිවිසුම ඇවිල්ලා නොටින්හැම් වලට මල්වානේ රඹුටන් පටවන ඩීල් එකකට ගහපු ගිවිසුමක්....

      Delete
    3. @ පුබුදු

      …ඔව් ඔබ හරි අග බිසවගේ නම වෙන්කත රංගම්මාල් තමා. ඇයගේ ලේ තැවරුණු හැට්ටය වගේම රජතුමාගේ ලේ තැවරුණු ඇඳුම් පැළඳුම් කීපයක් කොළඹ වගේම මහනුවර කෞතුකාගාරයේත් තිබෙනවා.

      …ඒවා කෞතුකාගාරයට ලැබුණු හැටි වගේම මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් මීළඟට එන සටහන් දෙකේ තියෙනවා. අනිවාර්යයෙන්ම කියවා බලන්න.

      …මල්වානේ ගිවිසුම කියන්නේ පෘතුගීසීන්ගේ පාලන සමයේදී කෝට්ටේ රාජ්‍යය තුළ සිදුවුණු ගිවිසුමක්. නමුත් එතන සැබවින්ම ගිවිසුමක් වුණාද කියන ප්‍රශ්නයත් තිබෙනවා.

      …එහිදී සිද්ධ වෙන්නේ කෝට්ටේ රාජධානියේ අන්තිම රජතුමා වුණු ධර්මපාල රජතුමා 1597 මැයි 27 මිය යාමත් එක්ක ඒ වෙද්දී ලංකාවේ සිටිය පෘතුගීසි කපිතාන් ජෙනරාල් ජෙරනිමෝ ද අසවේදු කෝට්ටේ සිංහල නායකයන් මල්වානට කැඳවලා 1583 නොවැම්බර් 4 ධර්මපාල රජතුමා කෝට්ටේ රාජ්‍යය තමන්ගෙන් පසු පෘතුගාල රජතුමා වුණු ස්පාඤ්ඤයේ පිලිප් රජතුමාට පවරපු ඔප්පුව ප්‍රකාශයට පත් කිරීම.

      …පස්සේ පැමින සිටි පිරිසගෙන් තෝරාගත්තු මුදලිවරුන් දෙදෙනෙක් කෝට්ටේ නව රජතුමා වුණු ස්පාඤ්ඤයේ පිලිප් රජතුමාට තමන්ගේ පක්ෂපාතීත්වය පළ කරලා දිවුරුම් දීලා තියෙනවා.

      …උඩරට ගිවිසුම කියන්නේ 1815 මාර්තු මාසේ 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී කියවන ලද ලංකාව ඉංග්‍රීසින්ට පවරා දුන් ගිවිසුම. මාර්තු 2 ඉදන් මාර්තු 18 දක්වාම වරින්වර උඩරට රදළ නායකයන් මේ ගිවිසුමට අත්සන් තැබීම සිදු කරනවා.

      Delete
    4. @ Anonymous 3

      සමහර විට ඉස්සරහට එහෙම ගිවිසුමක් ගහන්න බැරිකමකුත් නැහැ :D

      Delete
  18. මේ අප්‍රකට කතා නම් හරිම රසවත්. මට හිතෙන්නේ රජතුමාට ඇහෙලේපොල කුමාරිහාමිගේ ශාපය වැදුනු බවයි.

    //මේ සියල්ලටම හේතුව රජතුමාමද ?//

    රජෙක් උනාම තමන්ටත් කල්පනා කිරීමේ හැකියාව තිබිය යුතුයි නේද? මෝඩ විදියට බලය තබා ගැනීම සඳහා එක්, එක් අය කියන විදියට රූකඩයක් ලෙස ක්‍රියා කිරීම හරිද?

    //ඉතින් ඒ ආකාරයෙන් දේවත්වයෙන් සළකපු, වන්දනා කරපු රජෙක්ට සිංහල මිනිස්සු කරපු දේ හරිද?//

    මිනිසුන් දේවත්වයෙන් සලකන්ට ඇත්තේ, බයට වෙන්ට පුලුවනිනේද? රජෙකුට නියම ගෞරවයක් තිබුනා නම් එහෙම වෙයිද? මෙය ඕනෑම කෙනෙක් ලබා ගත යුතු තත්වයක් මිස, බලෙන් අයිතිකරගත හැක්කක්ද?

    ඉදිරි පෝස්ට් බැලීමට ආසාවෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      පොඩී කියපු කරුණුත් ඇත්ත තමා.

      …ඒත් ඒ කාලේ වෙද්දී රදළයන් රජතුමාගෙන් හුඟක් දේවල් වසන් කරගෙන තමා කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න පවා රාජ බලය ඔවුන් අනිසි විදිහට භාවිතා කරලා තියෙනවා. රජතුමාව රදළයන්ගේ සිරකරුවෙක් විදිහට තබාගන්න රදළයන් උත්සහ කළා. රජතුමා රදළ බලය බිඳින්න කටයුතු කළා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ මේ රට ඉංග්‍රීසින්ට නතුවීම.

      …රජතුමාට මිනිස්සු දේවත්වයෙන් සැලකුවේ බය නිසාම නෙමෙයි. රදළයන් රජතුමාට මේ විදිහට සැළකුවාට සුළු නිලධාරීන් රජතුමා වෙනුවෙන් දිවිඋ පුදන්න පවා සූදානම් වෙලා හිටියේ.

      …ඒ ඔක්කොම කතා ඊළඟ කතාවෙන් කියවන්නෝ...........

      Delete
  19. රාජා ටී බණ්ඩාරනායකගේ BETWIXT ISLES (2006) පොතේ ඇහැලේපොල ගැන මෙහෙම කියලා තියනවා.....

    "Ehelepola, who was supposedly had aspirations to be proclaimed the king of Kandy took the title "Friend of the British Government......"

    ඊට පස්සේ ඇහැලේපොලට වෙච්ච දේ ගැන මෙහෙම් කියනවා.....

    "On Brownrigg's instructions Ehelepola was cunningly summoned from his house in Kandy by D'Oyly, unexpectedly arrested without a charge being brought against him, and placed under house arrest in Colombo. Thus the single most important person who had helped the British capture the king and with him the Kingdom of Kandy was himself arrested on mere suspicion and held in custody for seven years in Colombo."...."Such was the ingratitude displayed by the British once the prized possession of Kandy was in their hands."

    ReplyDelete
    Replies
    1. @ Kandyan

      …අන්තිමට ඇහැලේපොලට මෙහෙම කියන්න වෙන්නේ ඔය නිසා තමා

      ඇහැලේපොළ මහ නිළමේ සමඟම පිටුවහල් කරලා හිටිය පිළිමතලාවේ නිළමේ දවසක්දා ඇහැලේපොළ කල්පනා කර කර සක්මන් කරද්දී "මහ නිළමේතුමා නැතිවුණු යමක් සොයනවාද ?" කියලා අහනවා.

      ඒකට ඇහැලේපොළ මහ නිළමේ පිළිතුරු දෙන්නේ "ඔව් මම මගේ නැතිවෙච්ච වටිනා කියන තරුණ කාලය හොයනවා" කියලා.


      ස්තුතියි ඔබේ උපුටනයන්ට. ඒ වගේමයි ඔබ කියපු පොතත් හොයාගෙන කියවන්න ඕනේ කියන එක මම හිතාගත්තා.

      Delete
  20. ඉතාම වටිනවා මල්ලියා...හරිම රසවත් විදියට ලියලා තියෙනවා...!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      …බොහොම ස්තුතියි ලබාදීපු සවියට :)

      Delete
  21. පාවාදීමේ ආදීනව....
    ඒ අය අතරින් නරකම කෙනා විදිහට මට නම් පෙනුනේ එක්නැලිගොඩ නිළමේ....
    මේ ඉතිහාස කතා කියවන්න මමත් හරිම කැමතියි.....

    ReplyDelete
    Replies
    1. @ දම්මි

      …හොඳ මිනිස්සු මම විශ්වාස කරන තරමින් නැහැ. බුදු හාමුදුරුවෝ රහතන් වහන්සේලා වගේ අය නම් හොඳ අය. අනිත් හැමෝම නරක අය. සමහරු හොඳ වෙන්න උත්සහ කරනවා සමහරු නරක් වෙන්න උත්සහ කරනවා. තවත් සමහරු ඔහේ ඉන්නවා.....

      …අනිත් ලිපි දෙකත් කියවන්න එන්න ඕනේ :)

      Delete
  22. ප්‍රශ්න තියනවා. ඒත් ඉතුරු එකත් එනකම්ම ඉන්නම්.

    ඇහැලේපොල අධිකාරම් තුමා සුදු අශ්වයෙක්ගේ පිට නැගල නුවර වටේම ඇවිද්දා නේද තමුන් රජ කරවාවී යන බලාපොරොත්තුවෙන්? ඒත් පස්සේ තමුන් රජ කරවන්නේ නෑ යන්න දැනගත්තාම අධිකාරම් තුමා බොහොම කිපුනා ලු.

    ජෝන් ඩොයිලිගේ කපටි මොලේ තරම අපේ නායකයන්ට තේරුනේ ඊටත් ගොඩක් පස්සේ.

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      ඉංග්‍රීසින් 1815 පෙබරවාරි උඩරට අල්ලා ගත්තු දවසේ ඉදන්ම ඇහැලේපොලට තේරෙනවා තමන්ට රජකම ලැබෙන්නේ නැහැ කියන එක. ඒ නිසා ඔහු පල්ලේගම්පහ අදිකාරම් ධූරය පවා ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමා කිසිවෙකුටත් නොදුන් ආකාරයේ පදක්කමකට සහ ඉංග්‍රීසි ආණ්ඩුවේ මිත්‍රයා කියන ගරු නමට ඔහු කැමති වෙන්නේ.

      …ඒත් තමන්ට "රජකම බලාන හිටි තමන්ට ගමක් වත් නොලැබිච්චි" කියලා මිනිස්සු හිනා වෙනවා කියලා ඇහැලේපොළ කම්පා වෙනවා.

      …ඔයා කියපු ඇහැලේපොල සුදු අශ්වයා පිටේ යන්නේ සඟවා තියපු දළදාව මහනුවර වඩම්මන්න 1815 අප්‍රේල් 7 කරපු උත්සවයේදී. එදා දළදාව වඩම්මන්න බැරි වුනත් සතර දේවාලයේ දේව රූප වඩම්මනවා.

      …කකුලේ ආබාධයක් කියලා පෙරහැරට නාපු ඇහැලේපොල අන්තිමට අස්සයෙක් පිටේ පෙරහැරට පිටුපසින් ගමන් කරනවා. මේක නිසා සමහර රදළයන් ඩොයිලිට පැමිණිලි කරනවා ඇහැලේපොළ රජතුමාව අනුකරණය කලා කියලා.

      …ඒ වගේමයි රජතුමාගේ රාජාභරණ ඇහැලේපොළ සඟවා ගෙන ඉන්නෙත් තමන් රජවෙයි කියලා හිතාගෙන. ඒ අවස්ථාවක එයා රාජාභරණ පලදාගෙනත් බලනවලු. ඒත් ඒ අපේක්ෂාව ඉටු නොවෙන නිසා ඒවා ඉංග්‍රීසීන්ට භාර දෙන්න පස්සේ කටයුතු කරනවා.

      …ඩොයිලි කියන්නේ බොහොම උපායශීලී අපේ භාෂාවෙන් කියනවා නම් "නියමම බුලට් එකක්" :D

      Delete
    2. ප්‍රශ්න ඔන්න ඉවරයි. :-) ඔය ජෝන් ඩොයිලි ගැන කතා නැද්ද? මිනිහා නොහිටින්න සුද්දෝ නුවර අල්ලන්න තාම වලිකනවා.

      Delete
    3. @ ක්සැන්ඩර් | Xander

      මේ ලිපිය ගැන hare අයියාත් කියපු දේවල් එක්කම උඩරට අල්ලන්න මාස්ටර් ප්ලෑන් එක ගහපු ජෝන් ඩොයිලි ගැනත් ලිපියක් ලියන්න හිතුණා. මිනිහා ගැනත් හුඟක් අප්‍රකට කතා තියෙනවා.

      …දැන් ඒ ලිපියත් ලියලා ඉවරයි. අන්තිම රජතුමාට අන්තිමට මොකද වුණේ කියලා මේ ඉරිදාට පළවෙන ලිපියට පස්සේ ඒ ලිපිය පළ කරන්නයි හිතාගෙන ඉන්නේ.

      Delete
  23. *
    මම අහලතියෙන විදියටත්, ඩී.පී. වික්‍රමසිංහ මහත්මය ලියපු " මග දිගට ජනකතා" කෘතියේ සමහර කතා අනුවත්, රාජසිංහ රජතුමාව පරිහානියට පත්කරපු (ඒ අනුව පිළිමතලාවේ හා සමානවම සිංහලේ අරාජික කරපු) පුද්ගලයා තමයි මොල්ලිගොඩ. හංවැල්ල සටනින් පැරදී වක්‍ර මාර්ගයකින් මහනුවර බලා යන රාජසිංහ රජතුමා සබරගමුවේදී හමුවී 'සතුටින් සිටීමේ විධි' හදුන්වාදී ඔහුව තම වසඟයට ගැනීමට තරුණ මොල්ලිගොඩ කටයුතු කර තියෙනවා. (මොහු යුද්ධය ට සහභාගීවීම මගහැර සිටියෙකු බවත් මේ අනුව සිතන්න පුළුවන්) . මොල්ලිගොඩ මහනුවරට ගෙන්වාගෙන මහාධිකාරම් ලෙස පත්කරගනීමෙන් අනතුරුව රාජසිංහ රජුගේ පරිහානිය වේගවත් වූ බව කියවෙනවා. සුරාව සහ ස්ත්‍රීන් වෙනුවෙන් දෙදෙනා එක්ව කාලය මිඩංගු කිරීමෙන් රාජ්‍ය පාලන කටයුතු අතපසු වූ බවත්, රජුගේ අවකල්ක්රියාවන් ගැන අනික් ඇමතිවරු කලකිරී සිටිබවත් එසේමයි. මේ කාලයේ සිදුවූ රජුගේ ගිණුමට බැරවූ අතවර සහ අඩන්තේට්ටම් කිරීම් බොහොමයක් රජුගේ නම විකුණමින් මොල්ලිගොඩ විසින් සිදුකල බවට සිතන්න පුළුවන්.

    ඩී.පී. වික්‍රමසිංහ මහත්මයගේ කෘතියේ එන එක් කතාවකට අනුව ඇහැලේපොල කුමාරිහාමි මේ දෙදෙනාගේ අයුතු යෝජනා වලට එකඟ නොවීම මද්දුම බණ්ඩාර ඇතුළු ඇහැලේපොල පවුලේ කෲර අවසානයට හේතුවෙලා තියෙනවා.

    ..... since Sri Wickrama Rajasinghe grown close to a few corrupt Adigarams and started acting irresponsibly, rest of the officials distanced themselves from the king. The king sensing the lack of loyalty around him and surrounded by insecurity started to destroy any suspected opponent. He obviously lacked what it took to be a King of Lanka. He was not someone prepared for the kingship from the childhood. Sometimes when he couldn't single out a possible threat, he would kill hundreds, hoping the one he wanted was among them. He confiscated the wealth of the Nobles in punishment for not displaying loyalty. He began to trust the lower classes and considered old-guard as his opponents. He changed sleeping rooms during the night and changed guards at will, to stop timing by any conspirators. He became indulgent in alcohol, and finally became an alcoholic due to the tension around him. Taking the opportunity Molligoda and others kept terrifying people of Senkadagala pretending to be carrying out king's orders. .......

    (බලනකොට හැමදාම වෙලාතියෙන්නේ එකම දේ. )

    ඉංග්‍රීසින් මහනුවර යටත් කරගැනීම නොවලක්වියහැකි බව පෙනුන අවස්ථාවේදී මොල්ලිගොඩ ඉංග්‍රීසින්ට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි රජුගේ වස්තුව හොයාගැනීමට බොහොම උදව්වෙලා තියෙනවා. සිංහලේට ද්‍රෝහී වූ අය හැටියට ප්‍රසිද්ද පිළිමතලාවේ, ඇහැලේපොල ආදීන් ඉංග්‍රීසින් විසින් සිරගත කරද්දී මොල්ලිගොඩ සහ නෑදෑයන් ඉංග්‍රීසින්ට සම්පූර්ණයෙන්ම ගැතිවසිටි බව කියවෙනවා. ඔවුන් ලබාපු තාන්න මාන්න අනුව ඒක ඔප්පු වෙනවා. මේ ලිපියේ කියවෙන සාපය නිසා හෝ වෙන හේතුන් නිසා හෝ මේ මොල්ලිගොඩ පවුලට වැඩිකාලයක් හොඳින් ඉන්න ලැබිල නෑ. මහ මොල්ලිගොඩ, පුතා සහ බැණා අඩුවසෙන්ම විවිධ හේතු මත මියගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. @ Mundeer

      ස්තුති ඔබටත් වටිනා කියන කරුණු කීපයක්ම එකතු කළාට.

      ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නාමයෙන් සාහසිකකම් කරන්න මුලින්ම පටන් ගන්නේ පිළිමතලාවේ අදිකාරම. ඊට පස්සේ තමා මොල්ලිගොඩ එන්නේ.

      ඒ වගේමයි ඇහැලේපොල ඛේදවාචකයට පාර කපන්නේත් මොල්ලිගොඩමයි. ඇහැලේපොළ රජතුමාට එවපු හසුන් විකෘති කරමින් ඒ වගේම ඇහැලේපොළ ගැන දූෂමාන ආරංචි පතුරවමින් දෙදෙනා කෙටවීම ආරම්භ කළෙත් මොල්ලිගොඩ. අවසානයේ වුණු දේ අපි හැමෝම දන්නවානේ.

      මේ සමබන්ධව අනික් කතා මීළඟ ලිපි දෙකෙන් කියන්නයි බලාපොරොත්තුව. අනිවාර්යයෙන් ඒවාත් කියවන්න එන්න

      Delete
  24. බොහොම ඉස්තුතියි ඔබට ,
    ඉතිහාසයේ ආගිය කතා අපවෙතට ගෙන ඒම පිලිබදව ...

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      …මේ අපේ ඉතිහාසයේ අප්‍රකට ආගිය කතා :)

      Delete
  25. ඉතිහාස කතාව කියවගන යන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා මල්ලි... '' සංසාර මන්දිර'' කියන පොත මෑතක කියවන්න ලැබුනා... සංසාර ගමන පුරාම අපි නෙලා ගන්නෙ අපිම වගා කරන දේවල අස්වැන්න නේද කියල හිතුණා ඒ පොත කියවද්දිත්.... රජතුමාට, නිළමෙවරුන්ට වගේම අපටත් මේ දේවල් අදාළයි කියල මට හිතෙනවා...

    ඔයාගෙ ලිපි ටික නිස්කලංක වෙලාවක කියවන්න ඕන...

    ReplyDelete
    Replies
    1. @ තරුරසී

      කන්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කරපු පොත නේද අක්කේ ?

      …සංසාර ගමන පුරාවට අපි වගා කරගන්නා දේ අපිට නෙලා ගන්න සිද්ධ වෙනවා. තල වපුරලා සහල් බලාපොරොත්තු වෙන්න බැහැ වගේම නරක වැඩ කරලා හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ.

      …මෙහෙම ඇහුවාට වරදවා වටහා ගන්න එපා. අක්කා ක්‍රිස්තියානි ධර්මය පිළිගන්න කෙනෙක් විදිහට සංසාර ගමනක් එහෙමත් නැත්නම් නැවත ඉපදීමක් ගැන පිළිගන්නවාද ???

      Delete
  26. ඉතාම වටිනා ලිපි පෙලක්... දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. @ Anonymous 4

      ස්තුතියි ඔබට. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගැන තවත් කතා දෙකක් ඉදිරියේදී පළවෙයි. ඒ වගේම ඉතිහාසයේ අප්‍රකට කතා තවත් ටික කලක් ලියවේවි

      Delete
  27. වෙලා ඉවර දෙයක් හින්දා ඉතිහාසෙ පාදක කරගෙන වර්තමානෙ විනාස කරගන්න එක වැඩක් නෑ කියල මට හිතෙන්නෙ. හැබැයි ඉතිහාසෙ කියන්නෙ ආයෙ ආයෙම රිපීට් වෙන එකක්. ඒ වගේම ඉතිහාසෙ කියන්නෙ මිනිස්සු හිතන විධිය, වැඩ කරන විධිය, ප්‍රතිචාර දක්වන විධිය වගේම වෙනස් වෙන විධිය ගැන ලොකු පාඩම් පොතක්. ඒක ඉගෙනගන්න ඕන ඒ නිසා.

    හැමදාම වගේ සුපිරි තමයි. සටහන වගේම කමෙන්ටුත් රසවත්.

    ඒ දවස් වෙද්දිත් සුද්දො මිනිස් සමාජ ගැන හැදෑරීම් කරල ති‍බුණා වෙන්න පුළුවන්. මම කියන්නෙ සමාජ විද්‍යාව වගේ විෂයක් ඔස්සේ සංස්කෘතීන් ගැන ලොකු කියවීමක් ඔවුන්ට තියෙන්න ඇති. ලෝකෙ ලොකු ප්‍රදේශයක බලය අල්ලගන්න නිකංම නිකං හමුදාවකට පුළුවන් වුණා වෙන්න බෑ. මිනිස් චරිත අධ්‍යයනය කරල ගහපු මාස්ටර් ප්ලෑන් බරගාණක් ඔය යුගයෙ ක්‍රියාත්මක වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      අනිවාර්යයෙන්ම අයියා ඉතිහාසේ රිපීට් වෙන නිසාම තමා ඒකේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ.

      …ප්‍රංශයේ නැපෝලියන් පරද්දපු ඉංග්‍රීසි හමුදාවට උඩරට අල්ලගන්න බැරුව ඉද්දී ඒකට උඩරට අල්ලා ගන්න මාස්ටර් ප්ලැන් එක ගහන්නේ තෝමස් මේට්ලන්ඩ් කියන ආණ්ඩුකාරයා.

      …එංගලන්තේ කේම්බ්‍රිජ් උපාධිධාරී ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ ඒ අතර වාරයේ. ඩොයිලි ලාංකීය භාෂා, සිරිත් විරිත් ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තා. ඊට පස්සේ රදළයන් භික්ෂූන් හා රජු ඔවුනොවුන් විරසක කිරීම, රදළයන් හා භික්ෂූන් ඉංග්‍රීසින්ට පක්ෂපාතී කරගැනීම ඔහු කළා. රජතුමාට මත්පැන් යවමින් සිහිමද අයෙක් කරවන්නේත් ඩොයිලි තමා.

      …අන්තිමට ඩොයිලිගේ මාස්ටර් ප්ලෑන නිසා තමා ලේ සොලවන්නේ නැතුව උඩරට අල්ල ගන්න පුලුවන් වෙන්නේ.

      …ඕකේන් මේකෙන් ඩොයිලි ගැනත් තියෙන අප්‍රකට කතා ලියන්න හිතුණා. ඒකෙන් උඩරට අල්ලන්න ගහපු මාස්ටර් ප්ලෑන් එක හොඳට විස්තර කරන්නම්.

      …ස්තුති වේවා තවත් මාතෘකාවක් මතක් කරලා දුන්නට :)

      Delete
    2. අහලා තියනවද සුද්දන්ගේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන දේ? තමුන්ගේ පාලන තන්ත්‍රය ගෙනියන්න ඔවුන් පාවිච්චි කලේ මේ ක්‍රමය. අදටත් මේ ක්‍රමය සාර්ථකයි. ඉතින් සුද්දෝ හිටිය හැමතැනම ඔය දේ අඩු වැඩියෙන් දකින්න පුළුවන්. අනික තමයි අරක්කු. සුද්දෝ ඔය අරක්කු පාවිච්චි කලේ බෙහෙතක් වගේ. තුන්වෙනි එක තමයි එංගලන්තේ දරුණු අපරාධකාරයෝ. උන්ව මේ වගේ කොළණි වලට එවලා මිනිස්සු අතර අවුල් හැදුවේ හිතා මතා මයි.

      Delete
    3. @ ක්සැන්ඩර් | Xander

      සුද්දා අනුගමනය කරපු ක්‍රමයම තමා අද මහින්ද රාජපක්ෂත් අනුගමනය කරන්නේ :)

      Delete
  28. ස්තුතියි හසිත..මාව මෙතනට එවපු අභිතටත් ස්තූතියි...මම අහල තියෙන්නෙත් ඇහැලේපොල කුමාරිහාමි ගැන වැරදි අදහසක් පහල වුනු මොල්ලිගොඩට ඒ අදහස ඉටු කරගන්න බැරි වුන නිසා ඇහෙලේපොල කුමාරිහාමි ගැන වයිරයෙන් ඒ පවුල විනාස කරන්න හිතන් රජතුමාට බොරු කේලම් කියපු බවයි..

    ReplyDelete
    Replies
    1. @ පුංචි කුමාරිහාමි

      එහෙම කතාවක් වගේම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් ඇහැලේපොළ කුමාරිහාමි ගැන සිතක් පහළ කරගෙන හිටියා කියන ජන කතාවක් ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මග දිගට ජනකතා පොතෙත් තියෙනවා...

      ඒ කොහොම වුණත් ඇහැලේපොළ සමඟ තිබුණු පුද්ගලික එදිරිවාදිකම නිසා රජතුමා සහ ඇහැලේපොළ කොටවන්න මොල්ලිගොඩ ලොකු වැඩ කොටසක් කරපු බව නම් ඇත්ත....

      ඊළඟ ලිපි 2 ත් කියවන්න එන්නකෝ. ඒ දෙකේ මේ ගැන සවිස්තරාත්මකව තියෙනවා

      Delete
  29. බොහොම ආසාවෙන් කියවන ලිපි පෙළක්. දිගටම ලියන්න ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න.

    මේ කියන බණ්ඩාරනායක පරපුර මුල් පුරුක වෙලා තියෙන්නේ නිට්ටඹුව ප්‍රදශයේ ජිවත් වුන "කත් කාරයෙක්". ඉංග්‍රීසින්ට ඕන උනා උඩරටට යන්න කෙටි පාරක් දැනගන්න. ඔවුන් දැනගෙන හිටපු පාර ඉතා දුර පාරක්. කත් කරුවා ගැන ඇහැ ගහගෙන හිටපු සුද්දෝ ඔහුගෙන් දැනගන්නවා කන්ද උඩ රටට යන්න පුළුවන් කෙටිම මාර්ගය. ඒ මාර්ගය නිසා ඉංග්‍රීසින්ට කන්ද උඩරටට යන්න ලේසි වෙනවා. ඒ කරපු සේවාව නිසා තමා කත් කාරයා ජිවත් උන ප්‍රදශයෙන් ඉඩම් තාන්න මාන්න ලැබෙන්නේ. ඔවුන්ගේ පර පුර උපතින් ගැමි ගති තිබුන නිසා වෙන්න ඇති රජතුමා අල්ල ගත් වෙලාවේ රදලයන් වගේ නැතුව කරුණාවන්ත වුනේ.

    හසිත මේ කරුණු සත්‍යක්ද. මම අහල තියෙන විදිය.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      මේ කතාව ඇත්තද කියලා කියන්න මම නම් දන්නේ නැහැ අයියා.

      ඒත් බණ්ඩාරනායක පරපුරේ මුල්ම තැනැත්තා විදිහට සැළකෙන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණියා කියන නීලපෙරුමාල් කළුකපුගේ කියන පුද්ගලයා. ඔහු 1590 දී පමණ නවගමුව දේවාලයේ කපු මහත්තයෙක් විදිහට හිටියා කියලා තමා සඳහන් වෙන්නේ

      Delete
  30. හරිම වටින ලිපියක් මල්ලී. . . ලිපිය වගේම කොමෙන්ටු ටිකත් හරිම රසවත් . . .

    කාලෙකට කලින් මම කොහේ හරි කියෙව්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ හරිම මානුෂික ගතිගුණ තිබුනු සුන්දර මනුස්සයෙක්ලු, මිනිස්සු ගැන හරියට හිත උනු වෙන කෙනෙක්ලු, ඇහැලේපොල කුමාරිහාමිගේ අහිංසක කමට සහ ලස්සනට හිත ගිහින් තිබුනත් කිසිම ආකාරයකින් බලපෑමක් කලේ නැතිලු,

    ඇහැලේපොල කුමාරිහාමියි දරුවෝ ටිකයි මරන්න තීන්දුව දුන්නු වෙලාවේ හොඳටම මත් වෙන්න බීලලු හිටියේ . .

    අදිකාරම් තුමා එක්ක තරහින් හිටි අපේ රදළයෝ ම රජතුමා බීලා වෙරිවෙලා ඉන්නවෙලාවක් බලලා නඩුව අහන්න ලෑස්ති කරලා "මෙන්න මෙහෙම කරමු කියලා" ඒ අයට කරන්න ඕන දේ කිව්වලු . . රජතුමා අසිහියෙන්ම " එහෙම කරපියව්" කිව්වලු . . .

    පස්සේ සිහිය තියෙන වෙලාවක බොහොම කම්පා වෙලා අඬ අඬ වගේ කිව්වලු "මම ඒ වගේ තීන්දුවක් කොහොම දුන්නද" කියලා . .

    තව තැනක තිබ්බා තීන්දුව දීලා ටික වෙලාවකින් ඩෝප් අඩුවෙලා තමන් දුන්නු තීන්දුව ගැන හොයලා බලලා ඒක වහාම නතර කරන්න කියලා පනිවිඩ යැව්වලු . .

    එක්කෝ අපේ අය උවමනාවෙන් පනිවිඩේ පරක්කු කරලා ගෙනෙහින් එහෙම නැති නම් තීන්දුව දුන්නු ගමන් ඒක වෙනස් වෙයි කියලා බයට (රජතුමාගේ ගතිගුණ ගැන දන්න නිසා) ඉක්මනට ම කට්ටියව මැරුවාලු . .

    මොකෝ හිතන්නේ සහ ඒ ගැන දන්නේ ඔයා?

    ReplyDelete
    Replies
    1. @ දුකා

      ඇහැලේපොළ පවුලේ තීන්දුවට රජතුමා බීමතින් සිටිය අවස්ථාවක අනුමැතිය දුන් කතාව මාත් අහලා තියෙනවා අයියා. ඒ වගේම ඒ තත්වය උදා කළේ උඩරට රදළයෝමයි. ඒ වගේ දඬුවමක් සුදුසුයි කියලා යෝජනා කළෙත් රදළයෝමයි. රදළයන් කරපු දේවල් නිසා වන්දි ගෙවන්න වුණේ රජතුමාට.

      …රජතුමාව කොළබට අරන් යද්දී සුළු සේවකයින් රජතුමාගේ කකුල් ඉඹිමින් ඇඩුවා කියනවා. ඒකෙන් වුණත් පැහැදිලියි ඉහළ රදලයන්ට රජතුමා එක්ක තරහක් තිබුණා ඇරෙන්න පහළ ජනතාවට එවැන්නක් රජතුමාඑ ක්ක තිබුණේ නැහැ කියලා.

      …ඉදිරියට පළවෙන්න තියෙන අනිත් කතා දෙකත් කියවන්න අයියා ඔයාගේ ගැටළු කීපයකටම සවිස්තරාත්මකව ඒවායින් පිලිතුරු ලැබේවි :)

      Delete
  31. හොඳ සටහනක්. වැලි අංගා ගේ කතාව මමත් අහලා තියෙනවා. ඇහැළේපොල ඛේදවාචකයට මේකත් හේතුවක් වුණාලු. ඇහැළේපොල කුමාරිහාමි කියන්නේ ඒ කාලේ හිටිය රූමත් ම කාන්තාවක්ලු. ඇය ව දැක්ක රජතුමාට ඈ ගැන ආසාවක් ඇතිවුණත් ඇය සස්වාමික නිසා දෙවරක් හිතලා උපායක් යෙදුවලු මෙහෙම. ඇහැළේපොල නිලමේ ව උසස්වීමකුත් එක්ක ම සබරගමුවෙ මහ දිසාව විදියට පත්කරලා වලව්වෙන් ඈත් කරනවා. ඒත් එක්කම දවසක් රජතුමා රෑ වෙලා දිසාවේ හම්බවෙන්න එන විදියට වලව්වට ඇවිත් ඇහැළේපොල කුමාරිහාමිට අයුතු යෝජනාවක් කරනවා. ඒක අහලා කෝපයට පත්වුණු ඇහැළේපොල කුමාරිහාමි අවමන් කරලා ("සේවකයන් කැඳවන්නට පෙර යව") ආදී වශයෙන් එළවනවා. රජතුමාට මේ ගැනත් හිතේ වෛරයක් තිබුණලු. ඊලඟට රජතුමා බීමතින් ඉද්දි තීන්දුව දුන්න කතාවත් පස්සෙ ඒ ගැන බොහෝ කම්පා වුන කතාවත් මමත් අහලා තියෙනවා! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      …ඔබ කිව්ව ඇහැලේපොළ කුමාරිහාමි සහ රජතුමා අතා වුණු කතාව මගදිගට ජන කතා කෘතියෙන් මම කියෙව්වා. ඒක එහෙම වෙන්නත් පුලුවන්. රජතුමා බීමතින් සිටිද්දී ඇහැලේපොළ පවුල වෙනුවෙන් තීන්දුව දුන්නා කියන එක ගැනත් තව තොරතුරු ඊළඟ ලිපියේ තියෙනවා. ඒකත් කියවන්න එන්න....

      …"ඇහැළේපොල නිලමේ ව උසස්වීමකුත් එක්ක ම සබරගමුවෙ මහ දිසාව විදියට පත්කරලා වලව්වෙන් ඈත් කරනවා."

      …මෙතන නම් එහෙම එකක් නෙමේ වෙන්නේ. 1808 දී උඩගම්පහේ අදිකාරම් වුණු මීගස්තැන්නේ මියගියාම ඒ තනතුරට ඇහැලේපොළව පත් කරනවා. ඒ පත් කරන්න කලින් ඔහු ඌවේ දිසාව විදිහටයි කටයුතු කරන්නේ.

      …කලින් උඩගම්පහ අදිකාරම් වුණු මිගස්තැන්නේ අදිකාරම්කමට අමතරව සබරගමුව සහ සත් කෝරළයේ දිසාව විදිහටත් කටයුතු කරනවා. ඇහැලේපොළත් උඩගම්පහ අදිකාරම් වුණාම සබරගමුවේ දිසාව තනතුරට පත් කෙරෙනවා. සත් කෝරළය නම් හිමිවෙන්නේ නැහැ.

      …මේකට හේතුව තමා සාමාන්‍යයෙන් අදිකාරම් කෙනෙක්ට අදිකාරම් ධූරයට අමතරව තවත් නිල කීපයක් විශේෂයෙන් ප්‍රධාන දිසාවක දිසාව ධූරය හිමි කරදීම සම්ප්‍රදාය වීම

      Delete
  32. මේ දේට මූලිකම හේතුව තමා සියවස් 3නක 4රක විතර ඉදන් ලංකාවේ රජ පෙලපත්වල අයත් ඉහල ප්‍රභු පන්තිවල අයත් තමන්ගේ බලයත් ධනයත් වඩවා ගැනීමට කරපු උත්සාහය තමා ටිකින් ‍ටික දළුදාල ඇවිදින් ඔය කියන තත්වයට ආවේ. බොහෝ දෙනෙක් අනාගතය ගැන නිසි දැක්මක් නැතිව කරපු අත්තනෝමතික ක්‍රියාවත් නිසා. ඒකට පරම්පරා ගනනාවක් වන‍්දි ගෙවපැ අපි තවමත් වන්දි ගෙවනවා. අපි කරපු මොඩකම් වලින් පරසුද්දො ගොඩක් ප්‍රයොජන ගත්තා. උන්ට ඒවා හරියට ඉස්තීර තැම්පතුවක් වගේ තවත් පොලිය ලබනවා.

    රජවරැ(නායකයෝ) ගොඩක් පරිස්ම් වෙන්න ඔන වන්දි බට්ටන්ගෙන් උන්තමා පිටට පිහියෙන් අනින්නේ.ඉතිහාසයෙම එක තමා‍ වෙලාතියෙන්නේ

    පොදුවේ තමා වරද බෙදෙන්නේ ගොඩාක් අය අතරේ වරද බෙදිලා යනවා
    ඒත් අදටත් ඔය ටිකම නැවත නැවතත් වෙන එක තමා දුක අපිටන් කතිරෙකින් හරි ඔකටම දායක වෙන්න වෙනවා

    මේ ගැන කියන‍්න තියෙන්නේ ඉතිහාසය කන්නද අහපු අයත් දැනටත් ඉතිහාසයට නිසිතැනක් නොදෙන අයත් ඔය අන්තිම සියවස් 5,6 හරියට අධ්‍යනය කරන්න කියන එකයි මොකද අද තියෙන ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර එතන තියෙනවා. ඉතිහාසයට මීට වඩා තැනක් පාසල් වලදි ලැබිය යුතුයි.
    පාර්ලිමේන්තුවට යන උන්දලාට නම් ඉතිහාසය කටපාඩම් කෙරෙවුවත් කමක්නෑ


    ගොඩාක් හොද වැඩක් ඉදිරියත් ජය....

    ReplyDelete
    Replies
    1. @ සම්පත්

      ඉඟුරු දීලා මිරිස් අරගෙනත් අත්දැකීම් තිබුණු අපේ අයට මේ අවස්ථාවේ දූර්දර්ශීව කටයුතු කරන්න බැරීවුණු එක ගැන කණගාටුයි. කිව්වත් වගේ ඒ මෝඩකම් අපේ ස්ථීර තැනපත් වෙලා වගේ තමා.

      …පාර්ලිමේන්තු යන ගොඩක් උන්දැලා කරන්නේ තමන්ගේ නම ඉස්සරහින් ගොන්කම් ගොඩක් ඉතිහාසෙට එක්කරන්න වෙර දරන එක විතරයි.

      …ස්තුති ඔබේ අදහස්වලට වගේම සුභ පැතුමටත්

      Delete
  33. යක්කු ගස් නගින වෙලාවට ආයෙත් ආවෙමි. වැඩි විස්තර ලබා දුන්නට ස්තුතියි හසිත..

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ඔන්න තවත් විස්තර ටිකක් දීලා තියෙන්නේ අයියේ :)

      Delete
  34. මට පේන විදියට කුල වන්සක්කාරයි කියන උඩරැටියෝ තමයි මහා පාවදෙන්නෝ

    ReplyDelete
  35. Resistance education, cardio as well as a superior diet program is essential for lean tone arms.


    Feel free to visit my web-site :: Góra strony

    ReplyDelete
  36. Yes, I have an understanding of you will discover several folding treadmills accessible within the
    marketplace.

    Also visit my web page ... simply click the next website page

    ReplyDelete
  37. දැන් ඉන්න අපේ ඇත්තෝත් කල්පනා කරන්න ඕන මීට වඩා නම්බුකාර විදිහට ඉතිහාසගතවෙන්ට!

    ReplyDelete
  38. නිවැරැදි මූලාශ්‍රයන් සොයා වැරැදි දේ බැහැර කර ඉතිහාසය සිදුවු පරිද්දෙන් සකසාලන්න ,
    සැමටම ජය ! ...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................