Sunday, June 27, 2010

පොඩි හාමුදුරුවන්ගේ කාමරේ ගිනිගත්ත හැටි

අපේ දහම් පාසලෙන් පොසොන් පෝයට පොසොන් කූඩුවක් හැදුවා [වෙසක් කූඩුවක් නෙමෙයි] ඉතින් මේ මාසේ මුල ඉදන්ම කට්ටීය පන්සලේ ඉදන් කුඩුව හදන වැඩවල යෙදිලා හිටියා. වැඩ කටයුතු පටන් ගන්නේ කොහොමත් හැන්දෑවට. ළමයි ඉස්කෝලේ ගිහින් ගිහින් හැන්දෑවට එද්දී ගුරුවරු රස්සාවලට ගිහින් හැන්දෑවට පන්සලට ආවා මේ වැඩේ කරන්න. පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවරු දෙනම වෙන රාහුල හාමුදුරුවොයි, කාශ්‍යප හාමුදුරුවොයි මේ වැඩේට මාර සප් එකක් තමා දුන්නේ.


ඉතින් දැන් සති දෙකකට විතර කලින් දවසක අපි රෑ කුඩුවේ වැඩ කර කර ඉද්දි තේ ටිකක් බිව්වොත් හොඳයි කියලා හිතලා පන්සලේ වැඩ කටයුතුවලට ඉන්න තරිඳු මල්ලිට කිව්වා තේ ටිකක් හදන්න කියලා. තේ හදන්න පහළට ගිය [අපේ පන්සල තට්ටු විදිහට තමා තියෙන්නේ. චෛත්‍යය උඩම මළුවේ, බෝධිය ඊළඟ මළුවේ පල්ලෙහාටම වෙන්න තමා ආවාසය, දාන ශාලව එහෙම තියෙන්නේ] තරිඳු මල්ලි එක පාරටම කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" කියලා.

ඒ ගමන් ආයි කෑ ගහන්න ගත්තා "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා.

අපිටත් හිතාගන්න බැහැ මොකක්ද එක කියලා. සර්පයෙක් කෑවද ? හොරෙක් ඇවිත්ද මොකද දන්නේ නැහැනේ. අපි පල්ලෙහාට දුවන් යද්දී රාහුල හාමුදුරුවන්ගේ කාමරෙන් දුම් දානවා. කාමරේ lock කරලා තිබ්බේ. තරිඳු මල්ලි පොල්ලක් ගේන්න කියලා තියෙන්නේ කාමරේ දොර කඩන්න.

රාහුල හාමුදුරුවෝ කලබලේට දුවන් එද්දී යතුර වැටිලා. මේක නිසා අපි දොර කඩන්න යද්දී කාශ්‍යප පොඩි හාමුදුරුවෝ කකුලෙන් ගහලා දොර කැඩුවා [කොහොමත් ඒ හාමුදුරුවන්ට කරාතේ උණක් තියෙනවා] කාමරේ පොත් රාක්කේ ගිනි ගන්නවා. ඒක සිවිලිම ගාවට වෙනකම් තියෙන නිසා සිවිලිමත් ගිනි ගන්න යන්නේ.


කට්ටිය ටැප් එක ගාව ඉදන් පෝලිමක් හැදිලා වතුර භාජනවලට පුරෝ පුරෝ අතින් අතින් pass කරලා ගින්න නිවනවා. ඒ අතර වාරේ උඩ මළුවේ තිබ්බ හෝස් එක ගෙනල්ලා ටැප් එකට හයි කරලා ගින්න නිවන්න ගත්තා.

අන්තිමට ඉතින් කොහොමින් කොහොම හරි ගින්න නිවාගත්තා. ඊට පස්සේ කාමරේ තිබ්බ බඩු මුට්ටු ටික එළියට ගත්තා. පොත් රාක්කේ එහෙම පොත් ඔක්කොම ගිනි අරන්. පස්සේ මොකෝ ගිනි ගත්තේ කියලා බලද්දී රාහුල හාමුදුරුවෝ කිව්වා විස්තරේ

හාමුදුරුවන්ගේ කාමරේ ලයිට් පත්තු වෙන්නේ නැතුව අවුලක් වෙලා තියෙනවා. හිමින් සැරේ ඒක පොඩ්ඩක් check කරලා බලන්න තමා හාමුදුරුවෝ හිතලා තියෙන්නේ. හැන්දෑ වුණු නිසා හාමුදුරුවෝ පොත් රාක්කේ ඉටි පන්දමක් කරලා තමා කාමරේට එළිය අරන් තියෙන්නේ.

රෑට 7 ට විතර කූඩුව හදන වැඩේට කොල්ලෝ ටික ආපු නිසා හාමුදුරුවෝ කාමරේ lock කරලා කූඩුව හදන පන්සලේ උඩ මළුවට වැඩියා. හාමුදුරුවන්ට කොහොම හරි ඉටි පන්දම නිවලා යන්න අමතක වෙලා. ඒක නිසා තමා ගිනි අරන් තියෙන්නේ. හොඳ වෙලාවට තරිඳු මල්ලි තේ හදන්න පහලට ආවේ. ඒ ආවේ නැත්නම් මුළු ආවාසේම ගිනි ගද්දී තමා අපිට ඕක පේන්නේ.

මේ දවස්වල ආයි හාමුදුරුවන්ගේ කාමරේ හදන කටයුතු කරගෙන යනවා.

අවසන් වශයෙන් කියන්න ඕනේ ඔය කොයි කවුරුත් හරියට සිහියෙන් ඒත් නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න කියලා තමා. යෝනිසෝ මනසිකාරය කියන්නේ එළඹ සිටින සිහිය. ඒ කියන්නේ තමන් දැන් කරන්නේ මේ කාර්යය කියලා අවබෝධයෙන් යුතුව කටයුතු කරන එක. ඒක හැම තිස්සේම වටිනවා. ඒක තියෙනවා නම් අපිට වෙන කරදර හුඟක් අඩුයි.

ප.ලි.: තරිඳු මල්ලී ඒ වෙලේ "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කෑ ගහද්දී පන්සල ගාව ගෙවල්වල ඉන්න හුඟක් අය හිතලා තියෙන්නේ පන්සලේ මොකක් හරි රණ්ඩුවක් වෙන්න ඇති කියලා.

අනික් කතාව තමා දැන් කට්ටිය තරිඳු මල්ලීව දැක්කාම "රාහුල හාමුදුරුවෝ ටෝච් එකක් ගේන්න" හරි "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න" කියලා කියනවා. එතකොට පොරට යකා නඟිනවා :)

14 comments:

  1. අපොයි, හරිම අපරාදයක් නෙව පොත් රාක්කෙට වෙලා තියෙන්නෙ. මට නම් කණගාටුම ඒක ගැන.

    ReplyDelete
  2. එලබ සිටි සිහිය වැදගත් ...............

    ඉන්න බැරි එකනේ කරුමේ..

    පොත් රාක්කේ නම් අපරාදේ.....පොත් ටික........

    ReplyDelete
  3. හා.............නේ හරි අපරාධයක් නෙ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  4. ඈති ජීවිත හානියක් නොවී ඔයින් ගියා

    ReplyDelete
  5. අප්පේ ඔයින් ගියා මදැයි

    ReplyDelete
  6. "රාහුල හාමුදුරුවෝ පොල්ලක් ගේන්න"
    කියල ඒ පොඩි එකාට කියවුනේ ලංකාවෙ අති බහුතරයක් දෙනා හදිසි ගින්නකදි ක්‍රියාකරන්න ඕනෙ කොහොමද කියල නොදැන ඉන්න නිසයි. අනික මම දන්න තරමින් නං නියම ගිනි ආරක්ෂන විදිවිධාන සහිත ගොඩනැඟිලි ලංකාවෙ ඇත්තේම නැති තරන් සහ පුද්ගලික නිවාස හදද්දි ඒ ගැන ගනං ගන්නෙම නෑ.
    එක අතකට මනුශ්ය ජීවිතේක වටිනාකමක් නැති රටකට මොන ගිනි ආර්ක්ෂනද...
    හාමුදුරුවන්ගෙ පොත් ටිකට උන දේයි, පොඩි එකාට කාර්ඩ් එකක් වෑටිච්ච එක ගැනනම් දුකයි....

    ReplyDelete
  7. @Ansh Lucky Sri Jay

    ඒක ඇත්ත අක්කේ. හාමුදුරුවන්ටත් අප්සට් පොත් රාක්කේ පොත්වලට ගිනි ඇවිලුණු එක. අපි දැන් හාමුදුරුවන්ට ආයි පොත් ටික ගන්න උදව් වෙන්න තමා හිතන් ඉන්නේ

    ReplyDelete
  8. @ඉලංදාරියා

    හැකිතාක් එලඹ ගෙන ඉන්න උත්සහ කරන්න එතකොට හරි යයි මම හිතන විදිහට.

    හාමුදුරුවෝ ප්‍රාචීන ප්‍රාරම්භය විභාගයට ලෑස්ති වෙමින් හිටියේ, ඒ වගේම 2012 උසස් පෙළ විභාගේත් කරන්න හිටියේ. ඒ පොත් තමා පිච්චුණේ.

    ReplyDelete
  9. @isimbuwa

    ලොකු අපරාධයක් තමා වුනේ. හාමුදුරුවෝ කිව්වේ විදිහට ඒ පොත් ටික ගන්න ආයි කොහොමත් 10,000 ක් විතර යයි කියලා. ප්‍රාචීන විභාගයෙයි, උසස් පෙළට ගන්න පොත් වගේකුයි තමා පිච්චුණේ.......

    ReplyDelete
  10. @NUWAN"s lane

    ඒක හැමෝගෙම වාසනාව තමා අයියා. තරිඳු මල්ලී තේ හදන්න ආපු නිසා ඔයින් ගියා....

    ReplyDelete
  11. @Hasitha ජයසූරිය

    ඒක තමා මල්ලී සිද්ධිය අහන කට්ටිය හුඟක් අය අන්තිමට කියන්නේ.........

    ReplyDelete
  12. @හසී

    ඒක තමා අක්කේ රුපියල් 10,000 ක විතර වටිනා කියන පොත් නේ...

    ReplyDelete
  13. @ඉන්දික උපශාන්ත

    කොහොම හරි පොල්ලකින් ගහලා හරි දොර කඩලා කාමරේ ගින්න නිවන්න්න තමා කොල්ලා හිතුවේ.

    කොහොමත් ඔයාගේ කතාවට එකඟයි. ගින්නකින් ආරක්ෂා වෙන ආකාරය ගැන නම් ලංකාවේ කට්ටියගේ දැනුම නම් ඇත්තටම දුර්වලයි. ඒවා ගැන අවධානයක් යොමු වෙන්න ඕනේ.

    තරිඳු මල්ලිට කොහොමත් හිටිය ගමන් ඔය වගේ අමුතු කාඩ් සෙට් වෙනවා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................