Sunday, September 26, 2010

අපේ සීයාගේ කවි

මේ ඉන්නේ අපේ සීයයි මමයි අයියයි. සීයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ මම තමා

අපේ සීයා ගැන මම දවසක් පොඩි කතාවක් කිව්වා කට්ටියට සමහර විට මතක ඇති "කට්ටියට එක එක කාඩ් වැටුණු හැටි, දාගත්ත හැටි ගැන කියපු කතාවක්" එක්ක. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන සහෘදයන්ගේ සීයලා ගැන posts කීපෙකුත් මෑත කාලයේ කියවන්න ලැබුණානේ. විශේෂයෙන් අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර සීයා ගැන කියපු කතාව කට්ටියට මතක ඇති.

අපේ සීයා ගැන කිව්වොත් මගේ කතන්දර කියන skill එක මට ආවේ අපේ සීයාගෙන්. කතන්දර, කවි, තේරවිලි වගේ ගොඩාක් දේවල් සීයා මට කියලා දුන්නා. ඒ වගේම සීයා හුඟාක් ආගම දහමට ලැදි කෙනෙක්. මාවත් පොඩි කාලේ ඉදන්ම පන්සල් එක්ක ගෙන ගිහින් මාවත් ආගම දහමට ලැදි මනුස්සයෙක් කලේ සීයා. අයියයි මායි දෙන්නව පොඩි කාලේ ඉදන්ම සිල් ගන්න එක්ක යන එක සීයා කළා. තාමත් හැන්දෑවට බුදුන් වැදලා පිරිත් කියන කාර්යය මට හුරු කළේ සීයා.

අපේ සීයා ගිහි පිරිත් කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් සීයා පිරිතකට ගියාම සීයා එනකම් මම බලාගෙන ඉන්නේ. මොකද සීයා අනිවාර්යයෙන් මටයි අයියටයි සූකිරි ගේනවා.

ඇත්තටම මම පොඩි කාලේදී අම්මා තාත්තා එක්ක ඉන්නවටත් වැඩියෙන් ඉන්න ආසා වුණේ සීයත් එක්ක. ඒ දවස්වල පාරේ යන කොල්ලෝ මාව අවුස්සන්න මට ඇහෙන්න කෑ ගහනවා "සීයා අපේ" කියලා. එතකොට මම උන්ට මදි නොකියන්න බනිනවා "සීයා මගේ" කියලා.

ඉතින් අපේ සීයා කියන්නේ අපේ තාත්තාගේ තාත්තා අවුරුදු 94 ක් ආයු වළඳලා තමා අපෙන් වෙන් වුණේ. සීයගේ 93 වෙනි උපන් දිනේ වෙලාවෙත් අපි මුණුබුරු සෙට් එක කිව්වේ සීයේ 100 ක් කොහොම හරි බැට් කරන්න ඕනේ කියලා. ඒත් 2005 අවුරුද්දේ මැයි මාසේ මුල් සතියේ ආච්චී (තාත්තාගේ අම්මා) අපෙන් වෙන්වුණා. ආච්චී අපෙන් වෙන්වෙලා සති 2 ක් යන්න කලින් සීයත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.

මට මුලින් කියන්න බැරි වුණානේ අපේ සීයාගේ නම ගුණසීල. නමේ හැටියටම තමන්ගේ ජීවිතේ ගත කරපු කෙනෙක් තමා අපේ සීයා.

ඉතින් මට සීයා ගැන මතකය ආයි අළුත් වුණේ දවසක් නිකම් කල්පනා කර කර ඉන්න වෙලාවක සීයා කියාදීපු කවි වගයක් මතක් වුණු නිසා.........


කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
නින්දේ සිටින විට කපලා හරි අවුල

පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා

මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා

ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
කොළපත් මූණ බැඳගෙන යනවා රෑට

මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ

අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල

ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ

කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
අත පත ගගා උන්නා මල්ලී දිනෙක

වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්

එදා පටන් වෙද මාමා අපේ ගෙට
ආවොත් අතේමයි බෑගය සෑමවිට


මේ කවිවල සමහර පේළි අඩුයි. ඒවා මට දැන් මතක නැහැ. ඒ වගේම මේ කවි කවුරු හදපුවාද, තියෙන්නේ මොන පොතේද කියලා මම තාම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.

ප.ලි.: සීයාගේ නම ගුණසීල ඒ වගේම සීයා හිටියා කියලා මම කිව්වනේ. ඒ වගේමයි සීයාගේ මුණුබුරාත් නම හසිත. නමේ හැටියට ඒ කොළුවා ඉන්නේම හිනාවෙලා සන්තොසෙන් :))

Saturday, September 25, 2010

ආගිය කතාව


Campus එකේ exam ඉවර වුණේ පෙරේදා. අන්තිම paper එකත් ලියලා hall එකෙන් එළියට බැස්ස වෙලේ පුදුම සැහැල්ලුවක් දැනුණේ. "ඒකත් එහෙමනම් ඉවරනේ" කියලා. Campus ඇවිල්ලත් අවුරුද්දක් ගෙවිලා ගියා කොහොමින් කොහොම හරි. ඉතින් ලබන මාසේ ඉදන් අපි 2nd Year කස්ටිය.

ඒ වෙලේ මට හිතුණු සිතුවිල්ලක් තමා මේ

විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
සුපුරුදු පරිදි ආයි
සරන්නට කාලයයි

පෙරේදා හැන්දෑවේ ගියා කියවන්න හොඳ පොත් ටිකක් ගන්න. 2 ට විතර එකට පොත් අරගෙන එළියට බහිද්දී 7 විතර වුණා. මම ගත්ත පොත් ටික තමා මේ......

චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය
මහගමසේකරගේ තුංමංහන්දිය
කුලසේන ෆොන්සේකාගේ ගිනි බිඳුම
ඛුෂ්වන්ත් සිංගේ අන්තිම දුම්රිය (කුලසේන ෆොන්සේකාගේ පරිවර්තනයක්)
භද්‍රජි මහින්ද ජයතිලකගේ ගෙත්සෙමෙනි සන්ධ්‍යාව
ෂ්‍යාම සෙල්වදොරේගේ අමුතු ඉලන්දාරියා (සුගතපාල ද සිල්වාගේ පරිවර්තනයක්)
උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ
නන්දසේන සූරියාරච්චිගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම්

ඉතින් මේ පොත් ටිකත් කියවන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස් ටිකේ මොකුත්ම බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ. ආගිය කතා ගොඩා......ක් තියෙනවා ලියන්න.

විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමා මේ දවස් ටිකේ මගේ ජීවිතේ මම හිතන විදිහට තිබුණු හොඳම දවස් ටික තමයි ගෙවෙන්නේ. ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න තමා උපරිම try එක.


ඉස්සරහට එන්න තියෙන සහ කරන්න තියෙන ඒවා බලද්දී ජීවිතේටම බලපාන තීන්දු තීරණ කීපෙකුත් ගන්න තියෙනවා. එකක් දෙකක් ගැන කිව්වොත් Campus එකේ 2nd Year එක පටන් ගත්තාම අපි තීරණේ කරන්න ඕනේ Special Degree එකක්ද General Degree එකක්ද අපි කරන්නේ කියලා.

Special Degree එක කරන අය තව අවුරුදු 3 ක් ඒ Special Degree එක කරන subject එක හදාරනවා. General Degree එක කරන අය තමන් 1st Year එකේ කරපු Subjects 3 හෝ 2 තවත් අවුරුදු 2 ක් හදාරනවා.......

අනිත් ජීවිතේටම බලපාන තීරණේ තවමත් ගනිමින් වගේම අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නේ. බලමුකෝ ඒක කොයි විදිහට වෙයිද කියලා....

අන්තිමට එක දෙයක් කියන්න තියෙනවා මගේ exam එකට සුභ පැතුම් එක් කරමින් හයියක් වුණු සිංහල බ්ලොග් අවකාශේ වගේම මුහුණු පොතේ යාළු මිත්‍රාදීන්ට ස්තුතියි. මෙවන් මිතුරෝ මට වාසනාවන්

එහෙමනම් හොඳ හොඳ ආගිය කතා පොදියකුත් එක්ක හමුවෙමු

Wednesday, September 1, 2010

විභාගේ පටන් ගන්නයි යන්නේ..........


මේ දවස්වල මට වැඩ ගොඩ වෙමින් තමා පවතින්නේ. Campus ගිහින් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ළඟයි. 1st Year එක ඉවර වුනේ අගෝස්තු 27 වෙනිදා. මේ දවස්වල Study Leave . Campus එකේ exam පටන් ගන්නේ සැප්තැම්බර් 14 වෙනිදා. ඊට කලින් IT paper එක තියෙනවා සැප්තැම්බර් 06. Exam පටන් ගන්න දවසේම හා හා පුරා කියලා මට පුරාවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ 21 ඉතිහාසය. 23 සමාජ විද්‍යාව. ඉංග්‍රීසි paper එකකුත් ඔක්තෝබර් 08 වෙනිදා තියෙනවා.

ඉතින් දැන් exam එකත් ළඟ නිසා පාඩම් කටයුතු උත්සවාකාරයෙන් පටන් ගන්න කියලා තමා හිතුවේ මේ සිකුරාදාට. වැඩ කටයුතු නිසා ඉස්සරහට බ්ලොග් කෙරුවාවට එන්න බැරිවෙයි.

සැප්තැම්බර් 23 ඉවර වුනාට පස්සේ මේ දවස්වලටත් හරියන්න ලියන්න තමා ඉන්නේ. කොටින්ම මේ දවස් ටිකට ආගිය කතා හුඟක් හොයා ගෙන තියෙන්නේ. ඒත් ලියන්න වෙලාවක් නැති එකයි තියෙන ගැටළුව. එහෙම නම් සැප්තැම්බර් 23 වෙනිදායින් පස්සේ නැවත හමුවෙමු.

හැමෝටම ජයවේවා !!!

Sunday, August 15, 2010

වේදිකා නාට්‍යයක් බලන්න ගියා


Campus එක ඉස්සරහ මේ සෙනසුරාදා ඒ කියන්නේ 14 වෙනිදා එල්ෆින්ස්ටන් හි නරි බෑනා සහ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නනවා කියලා poster එකක් ගහලා තිබ්බා. මේ දවස් ටිකේම එක දිගට වැඩ ගොඩ ගැහිලා ඒවා කර කර ඉදලා busy වෙලා හිටිය නිසා මම හිතුවා මේක බලන්න යන්න.

ඉතින් තනියෙන් යන්නත් බැහැනේ. Campus එකේ ඉන්න මගේ හොඳම යාළුවෙක්වත් set කරගෙන මම ගියා stage drama එක බලන්න. හැන්දෑවේ 3.30 ට තමා drama එක පටන් ගත්තේ. Tickets ගන්න ගියාම දැක්කා රු.1000, 500, 200 කියන ගණන්වලට tickets තියෙන බව. අපිට කොහෙන්ද රු.1000 tickest ගන්න සල්ලි. ඒක නිසා රු.200 tickets තමා අපි ගත්තේ


රු.200 ticketsවලට තිබ්බේ බැල්කනිය. සාමාන්‍යයෙන් film එකක් බලන්න ගියොත් බැල්කනි එකේනේ ගාණ වැඩි. ඒත් Stage Drama එකක් බලන්න ගියාම බැල්කනිය තමා ගාණ අඩුම :)

පස්සේ බැල්කනි එකට වෙලා වාඩි වෙලා ඉද්දී මම දැක්ක දෙයක් තමා හුඟක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවොත් එක්ක මේ නාට්‍ය බලන්න ඇවිත් හිටිය එක. හුඟක් පොඩි ළමයි එහෙමත් ඇවිත් හිටියා.

උදේ පාන්දර ඉස්කෝලේ ගිහින් හැන්දෑවට tution class යන ඒත් නැත්නම් රූප පෙට්ටිය ඉස්සරහට වෙලා කාටූන් බලලා ඊටත් පස්සේ මළ ගෙදරයි අරවයි මේවායි බලන පොඩි එවුන්ව මේ විදිහට හරි හොඳ රස වින්දනයකට හුරු කරන එක ඇත්තටම වැදගත් දෙයක් නේ.


ඇත්තටම නාට්‍ය පටන් ගත්තාට පස්සේ අපිටත් වඩා ඒක රස වින්දේ ඒ පොඩි ළමයි ටික. ඒ කට්ටියගේ කතා බහින් ඒ වගේම හිනා වෙන ඒවායින් මට නම් හිතුණේ රූප පෙට්ටියේ දකින විකාරවලට වඩා මේ නාට්‍ය බලලා ඒ පොඩි ළමයි ඇත්තටම සතුටු වුණා කියලා.

අන්තිමට නරි බෑනා නාට්‍යයෙන් පස්සේ ජසයා ලෙන්චිනා කෝලම පෙන්නුවා. ඒකට නම් එච්චර අය හිටියේ නැහැ. මොනවා වුණත් කෝලම් කියන්නේ ලංකාවේ තියෙන ගැමි නාට්‍ය සම්ප්‍රදායක්. ඒවා අභාවයට යන්නේ නැතිව ආරක්ෂා කරන වගකීම අපි සතුවයි තියෙන්නේ. අන්තිමට නාට්‍යය අවසන් වෙලා ගෙදර යන්න එලියට බැස්සේ වෙනදාට වඩා හොඳ හිතකින්

ජසයා හා ලෙන්චිනා කෝලම

හොඳ රස වින්දනයක් තියෙන වැඩකට ආවා කියන සතුටු සිතෙන්. ඔයාලත් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක වේදිකා නාට්‍යයක් බලන්න යන්න, චිත්‍ර, ඡායාරූප ප්‍රදර්ශනයක් බලන්න යන්න, හොඳ මට්ටමේ film එකක් බලන්න යන්න. හැමතිස්සේම පොතට හිරවෙලා ඉන්නේ නැතිව ඒ වගේ දේක නිරත වෙන එක නම් හරියට වටිනවා. ඒක තමා ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න මග.

ප.ලි.: මම ඊළඟට බඹර වළල්ල film එක බලන්න යන්න ඉන්නේ. හුඟක් අය කියනවා හොඳ film එකක් කියලා. ඉතින් ගිහිල්ලාම බලන්න ඉන්නේ.


http://bambarawalalla.com/

Sunday, August 8, 2010

Campus එකේ picketings


මේ දවස් ටිකේ Campus එකේ එක දිගටම picketings තිබ්බා. දැනට මාසෙකට විතර කලින් පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට විරුද්ධව campus එක ඉස්සරහ නුවර පාරේ picketing එකක් තිබුණා. මාත් ඉතින් නිකම් ඉන්න බැරුවට අපේ set එකත් එක්ක ඕකට ගියා. කැම්පස් ගිහිනුත් picketing එකකට ගියේ නැහැ කියන්නේ වැඩක් නැහැ මම හිතන විදිහට. මොකද කැම්පස් කියන්නේ picketing කරන අයගේ නිජබිම නිසා.

Picketing එකට යන උදවිය set වුණේ තෙල් බැම්ම ගාවට. එතනදී මහා ශිෂ්‍ය සංගමෙන් කෑ ගහන්න ඕනේ සටන් පාඨ තියෙන කොළ, පෝස්ටර් එහෙම බෙදලා දුන්නා. ඊට පස්සේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති අයියා මේ picketing එකේ අරමුණු පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් සටන් පාඨ කියමින් අපි කන්ද බැහැගෙන මහ පාරට ආවා.


සටන් පාඨ ටිකත් කියන්නම් නැත්නම් කිසි ගතියක් නැහැනේ මේ කතාවේ

අම්මේ තාත්තේ - මේ අහන්න
ඇදුරුතුමනි - මේ අහන්න
සේවක සොයුරනි - අහන්න
අධ්‍යාපනේ - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

IMF - ණය අරගෙන
උපාධි කඩ - ඇරඹෙනවා
අධ්‍යාපනේ - විකුණන්නට
සුදු බණ්ඩා - සැරසෙනවා

අපට ඉන්න - හොස්ටල් නෑ
ඉගෙන ගන්න - ශාලා නෑ
උගන්වන්න - ගුරුවරු නෑ
කෑම කන්න - කැන්ටින් නෑ
මුන්ට මේවා - තේරෙන් නෑ
සුදු බණ්ඩට - ඔළුවක් නෑ

පාසල්වල - විෂමතාව
ඇති කෙරුවේ - ආණ්ඩුවයි
කොමිස් ගිලින - නිලධරයන්
විෂමතාවේ - ප්‍රතිඵලයයි
විෂමතාව - නැතිකරන්න
දුන් පිළිතුරු - හරි කදිමයි

ගොවි කම්කරු - දරුවන් හට
සරසවි බිම - දැන් අහිමියි
කොළඹට කිරි - ගමට කැකිරි
අපි කිව්වේ - ඕක තමයි

මෙන්න මෙන්න - පුදුම වැඩක්
සුදු බණ්ඩගේ - පුදුම වැඩක්
සරසවි ටික - වහන වැඩක්
අධ්‍යාපනේ - නහන වැඩක්

සමරයාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මලකඩ ඇත
ඇමතියාට - ඔළුවක් ඇත
ඒක ඇතුළේ - මොළයක් නැත

දියව් දියව් - අපට දියව්
ඉගෙන ගන්න - අපට දියව්
දමව් දමව් - ඉහළ දමව්
මහපොළ තව - ඉහළ දමව්
දමව් දමව් - පහළ දමව්
බඩු මිල තව - පහළ දමව්
සිසුන් පෙළන - ජඩ මැරයන්
යවව් යවව් - ගෙදර යවව්

මහින්ද ලොක්කට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
සෙවල සමරෙටත් - එන්න කියාපිය
මේවට උත්තර - දෙන්න කියාපිය
බැරි නම් හකුළන් - යන්න කියාපිය

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ


මෙහෙම කෑ ගහමින් පහළට ගිය අපි පාර අයිනට වෙලා පැය භාගයක් විතර බොහොම සාමකාමී විදිහට අපේ විරෝධතාව දැක්වූවා. පස්සේ අපේ ශිෂ්‍ය සංගම් නායකයෝ කීප දෙනෙක් අදහස් දැක්වූවා. අවසානයේදී අපි විසිර ගියේ "ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා!!!" කියලා තුන් පාරක් කෑ ගහලා.

මේ picketing එක තියලා සති 2 ක් යන්න කලින් තවත් picketing එකක් තිබ්බා. ඒක තියන්න හේතුව වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර ශිෂ්‍යයාගේ මරණය.

මට මේ picketing එකට සහභාගි වෙන්න නම් බැරිවුණා. කැස්ස, හෙම්බිරිස්සාව වගේම උණ කියන තෑගි තුනම එක පාර හම්බවෙලා මම හරිම අමාරුවෙන් හිටියේ. Picketing එකකට ගියොත් අනිවා කෑ ගහන්න ඕනේ. අසනීප තියාගෙන කෑ ගහන්න බැරි නිසා මම මේකට නොගිහින් හිටියා. ඒත් ඒකේදී කියපු සටන් පාඨ තියෙන කොළයක් හම්බවුණා. ඒකේදී කෑ ගහලා තියෙන්නේ මේ විදිහට


අම්මේ තාත්තේ - මේ අහන්න
අයියේ අක්කේ - මේ අහන්න
සිසු ජීවිත - බේරගන්න
අපිත් එක්ක - එකතු වෙන්න

සරසවි ටික - වනසනවෝ
අහිංසකයෝ - මරවනවෝ
පොලිස් බ.......... - ගොරවනවෝ
පරිපාලනේ - බුදියනවෝ

මෙන්න බොලේ - ආණ්ඩුවක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
අපට ඕනේ - තීන්දුවක්
සාධාරණ - තීන්දුවක්

සංවේදී - පියා පියා
ආඩම්බර - පියා පියා
දැයේ එකම - පියා පියා
සිසුන් මරලා - ගියා ගියා

මෙන්න බොලේ - පොලීසියක්
මිනී මරණ - පොලීසියක්
සිසුන් මරණ - පොලීසියක්
සිසුන් මරණ - ආණ්ඩුවක්
පරිපාලනේ - ගේම් එකක්

රැකවරණය - ඉල්ලුවේ
ඇයි අපේ ලේ - හෙල්ලුවේ
අහිංසකයෝ - මරන්නේ
පොලීසියේ - බ..........නේ

කාගෙද මේ - ජීවිතේ
බිලි ගත්තේ - මාවතේ
මස් කන්නට - හාමතේ
සිසුන්ගේ ලේ - තොපෙ අතේ

මහින්ද ලොක්කට - එන්න කියාපිය
පච සුදු බණ්ඩට - එන්න කියාපිය
පොලිස් මහින්දට - එන්න කියාපිය
නිවැරදි දඩුවම් - දෙන්න කියාපිය

කපා කපා - කෑලි කපා
අප වළකනු - සිතනු එපා
ලේ හැලුනත් - පාර දිගේ
අපේ ගමන - අපි යනවා

අපි යන්නේ - කොයි පාරේ
ත්‍රිමා වෙනුර - ගිය පාරේ
අපි යන්නේ - කොයි පාරේ
නිෂ්මි බාලේ - ගිය පාරේ



මේවා තමා සටන් පාඨ. පොලිසියට සුනඛයාට සාමාන්‍යයෙන් භාවිතා කරන වචනේ දාලා තමා මේකෙදී ආමන්ත්‍රණය කළේ. කෝකටත් ඒක මම භාවිතා කරන්න ගියේ නැහැ. මොකද මේ ශිෂ්‍ය ඝාතනය හෙලා දකිමින් පෝස්ටර් අලවමින් හිටිය අපේ 1st year දෙන්නෙක්ව පොලිසියෙන් අල්ලන් ගිහින් හොඳ සබ්බුවක් දීලා තමා අත ඇරලා තිබ්බේ. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි නේ.

මේ කතාව කියන්න හේතුව වගේම මේ කතාවේ සමාලෝචනය ආදී විස්තරත් එක්ක මේ කතාවේ ඉතුරු ටික ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

ප.ලි.: මේ සටන් පාඨ දැමීමේ අරමුණ වුණේ මේ සිද්ධිය වාර්තා කිරීමක් විදිහට පමණයි. නැතුව මහා ශිෂ්‍ය සංගමේ හඬ සයිබර් අවකාශයේ පැතිරවීමක් හැටියට නෙමෙයි. ඒත් වක්‍රාකාරව ඒක සිදු නොවෙනවාත් නෙමෙයි.

Saturday, July 31, 2010

කවුරුන් හෝ මෙසේ ලියා තිබුණි.


මම මේ ලඟදී Campus Library එකෙන් "යුරෝපා ඉතිහාස සාරය" කියලා පොතක් ගත්තා. පොත නම් හුඟක් පරණයි. පොතේ ප්‍රථම මුද්‍රණය 1964 දී. පොත් ඒ කාලේ ඉදන්ම library එකේ තියෙන්න ඇති. මොකද විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පුස්තකාලය කියලා seal එකකුත් පොතේ වැදිලා තියෙනවා.

මේ පොතේ අන්තිම පිටුවේ කවුදෝ කවියක් ලියලා තිබ්බා මේ විදිහට.

සරසවිය ඉකි ගසයි
කිරි එරී පියවුරෙහි
සසල විය හද මඬල
සාර කළ විට ඒ ගත
දහදියෙන් රුධිරයෙන්
සුපිපි රත් හිරු පියුම
අවරගිර නොවේ පරවී ගියේ
විසුල ඒ පෙති දහර
නව පණක් ජීවයක්
ලබා දේ නවක දහසක් අයට
කෙසේ අප කරන්නද
ඔබට තුති උපහාර


Thursday, July 29, 2010

සේයා රූ කියන කතාව - ඔබාමා වත 2

ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව - ඔබාමා වත " මීට කලින් පළවුණා. මෙන්න ඉතුරු හරිය. ඒ වගේම මට ඊයේ ධවල මන්දිරයෙන් e-mail එකක් ආවා මේක දැකලා ඔබාමා මහත්තයාත් සතුටු වුණා කියලා. කාටද ඉතින් ආඩම්බර :))

මේ T-shirt එක ඔයාලා මටම ද මැස්සුවේ ? ඔයාලා නම් හරි ෂෝයි අනේ



කොහොමද ෂොට් එක ? මෙහෙම අස්සෙන් දාලා තමා ගහන්න ඕනේ.




දැක්කද සර් ෂොට් එක ? මෙහෙම නැවිලා ගහන්න ඕනේ. මේකට හොඳ පොරක් ලංකාවේ ඉන්නවා T.M ඩිල්ෂාන් කියලා. එයාව දවසක් ගෙන්න ගමු.



ඔහෙ හිටු හොර බල්ලා. මෙතන එක විදිහකට ඉන්න බෑ. ගාල කඩා ගත්ත හරකා වගේ දුවනවා මෙතන.




මේ ඉන්නේ කියන දේ අහන හොඳ බල්ලා



මේ මං ගාව ආයි කතා 2 ක් නෑ. ඕන් කිව්වා පස්සේ කියන්න එපා කිව්වේ නෑ කියලා



ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ. මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ...............



ඕන් මං කිව්වාට පස්සේ මම කිව්ව එක ඒ විදිහටම කියන්න ඕනේ එක අකුරක්වත් හලන්න බෑ, විදින්නත් බෑ




ඇත්තටම මහත්වරුනි, නෝනාවරුනි. මේකද මේ ???




ඕන් මම ලියනවා පුතේ. මේන් අයන්න, මේ ආයන්න. හා කියමු බලන්න මාත් එක්ක



ආ නංගී, යන විට පාරේ උකුල නැටෙන තාලේ හා හා :))



හප්පේ මොකට මෙච්චර ජාති මේ අන්කල් ඔළුවේ ගහන් ඉන්නවාද මන්දා



දැන් මේ පුංචි පුතාලා දුවලා මොකද කරන්න යන්නේ ? මගෙන් සප් එකක් එහෙම ඕනේද ?




දැන් ඇත්තටම ප්‍රාග්ධන ඌණතාවය එක්ක ඇතිවන සේවා වියුක්තිය නිසා ශ්‍රම අසංතුලනයක් ඇතිවෙලා ඒ යටතේ උද්ධමනකාරී ආර්ථිකය ඇතිවෙලා ඩොලරයේ අගය අඩුවෙද්දී මෙහෙම ගැටළු ඇතිවෙනවා. තේරුණා නේද උත්තරේ ?



ජෝඩුව තනි පංගලමේ මල් වෙඩි බලනවා වගේ. මල් 7 යි ආ




ලෝකෙට ලොක්කා මං තමයි ගම USA



සුදු මල්ලී මේ සැටිය ඔන්න ඔහෙන් අල්ලන්න. මේක තව ටිකක් මුල්ලට ගන්න. මෙතන හැරෙන්නවත් ඉඩක් නැහැ.




ඔයා නම් හොඳ ජනාධිපති මාමි කෙනෙක්



මේ Plane එකේ pilot මල්ලී කෙනෙක් ඉන්නවාද දන්නේ නැහැ




සර් දැන් අපි මේ උඩින් යන්නේ ? අඩේ ඇත්ත නේද මම මුලින් හිතුවේ විහිළුවක් කියලා




තමුසේ හරි වැඩකාරයෙක් නේ.



මල්ලී විහිළු නැතුව ඔයා කියන්න මේක ආයි බිමට බාන්නේ කොයි වෙලාවටද කියලා. මට නම් දැන් පරාණ බයයි



හිලරි කවුරුවත් අපිව දකීද දන්නේ නැහැ නේද ?




ඔය මල්ලිලා ටික කෑ නොගහා වාඩි වෙනවාද මම මගේ රජ කතාව කියන්න යන්නේ




මට බෑ අප්පා මම යනවා යන්න



මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි, මට අරන් යන්න ඇත්තේ ඔබේ මතකය විතරයි





මතු සම්බන්ධයි