Wednesday, June 20, 2012

සක්කර දෙවියෝ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන හැටි.. පට්ට පට පට :D


ගෑණු සම්බන්ධ නඩු මොන රටේද නැත්තේ. ඉතින් ඒක දිව්‍ය ලෝකෙත් නැති වෙන්න විදිහක් නැති හින්දා අපි කියමු ගෑණු සම්බන්ධ නඩු මොන ලෝකෙද නැත්තේ කියලා :)

ලෝකේ කිව්වාම මතක් වුණේ එහෙම නඩු රූපාවචර බ්‍රහ්ම ලෝකවල නම් නැතුව ඇති. මොකද රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ගේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැලුනේ. 

ඉතින් ආයි අද කතාවට ආවොත් ස්ත්‍රීන් සම්බන්ධ නඩු කිව්වාම දන්නවනේ ඉතින් ඒ නඩු ලේසි පහසු නැහැ කියලා. නිකම් ස්ත්‍රීන්ගේ එහෙම නම් දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු කොයි තරම් අමාරු ඇද්ද ?

ඒත් දිව්‍ය ලෝකේ ලොක්කා වෙන සක්කර දෙයියන්ට නම් ඕවා විසඳන එක හරිම simple plan එකක්. 

මෙන්න ඒ විදිහට විසඳපු නඩුවක කතාවක්

දෙවිවරු පහළ වෙනවා කියන්නේ ඕපපාතිකවනේ. එතකොට දිව්‍ය ස්ත්‍රීන් ඕපපාතිකව පහළ වෙද්දී කවුරු හරි දෙවි කෙනෙක්ගේ ඇඳක හරි සීමාවේ හරි පහළ වුණොත් ඒ දිව්‍ය ස්ත්‍රිය ඒ දෙවියන්ගේ බිරිඳ බවට පත් වෙනවා.

ඒත් සමහර වෙලාවල්වලට ඔය සීමාවල කෙළවර එහෙමත් නැත්නම් සීමා කීපයක් එකතු වෙන තැන්වල වගේ දිව්‍ය ස්ත්‍රීන් පහළ වුණාම දෙවිවරුවත් යුද්ධ කරගන්නවාලු දිව්‍ය ස්ත්‍රිය අත්පත් කරගන්න. එහෙම බලද්දී ඉතින් මනුස්ස ලෝකේත් එක්ක වැඩි වෙනසක් නැහැ :))

මේ වගේ යුද්ධ සිද්ධ වෙද්දී අන්තිමට වෙන්නේ දෙවිවරුන්ගේ නායක වුණු සක්කර දෙයියෝ මැදිහත් වෙලා මේවා  විසඳන එක. මේ නඩු විසඳිල්ල සිද්ධ වෙන්නේ "සුධර්මා" කියන දිව්‍ය සභාවේ.


පොත්පත්වල තියෙන විස්තරවලට අනුව මේ දිව්‍ය සභාවේ බිම ඉන්ද්‍රනීල මාණික්‍යවලින්ලු හදලා තියෙන්නේ. ඝන රන් බිත්ති සහ කණු තියෙන 500 යොදුන් උස ශාලාවක්ලු මේ සුධර්මා දිව්‍ය සභාව.

මේ වගේ අලංකාර දිව්‍ය සභාවක් පහළ වුණා කියන්නේ මිනිස් ලෝකේදී අම්බලමක් කරන්න රියනක් දිග ලී කැබැල්ල සුධර්මා කියන කාන්තාව පරිත්‍යාග කරපු පුණ්‍ය කර්මය නිසාලු

ඔන්න එක දවසක් බුදු හාමුදුරුවන්ගේ කාලයේදී කිඹුල්වත් නුවර හිටිය රෝහිණී කියන රාජ කුමාරිකාව මිය ගිහින් තුන් ගවුවක් උස රශ්මි ධාරා විහිදුවන දිව්‍ය ශරීරයක් යොදුන් 12 ක් දිග දිව්‍ය සළුවකින් වසාගෙන දිව්‍ය ලෝකයේ දෙවිවරුන් හතර දෙනෙක්ගේ සීමාවන්ට මැදිවෙලා පහළ වෙනවා.

මේ ආකාරයෙන් දිව්‍ය ශරීරයක් පහළ වෙන්න හේතුව තමා එයා මනුස්ස ලෝකේ හිටිය කාලෙදී විශාල භෝජන ශාලාවක් ඉදි කරලා තමන්ම ශාලාව පිරිසිදු කරලා අනෙක් කටයුතුවලටත් තමන්ම දායක වෙලා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට තමන් මියයන තෙක්ම දන් පිළිගන්වපු එක

කොහොම හරි මේ දිව්‍ය ස්ත්‍රිය "මට හිමිය, මට හිමිය" කියලා අර දෙවිවරු හතරදෙනාම පොරේ. අන්තිමට යුද්ධෙකටත් යන්න ලෑස්තිත් වෙලා පස්සේ කෝකටත් කියලා සක්කර දෙවියෝ ගාවට ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලා සිටිනවා.

සක්කර දෙයියෝ

සක්කර දෙවියන්ටත් තුන් කෙළක් විතර දිව්‍ය ස්ත්‍රීන් හිටියත් මේ දිව්‍ය ස්ත්‍රිය දැක්ක ගමන් එයා ගැන අධික ලෝභයක් ඇති කරගෙන මමම මෙයාව හිමි කරගන්නවා කියලා හිතපු සක්කර දෙවියෝ දෙවියෝ සතර දෙනාගෙන් මේ ප්‍රශ්නය ඇහුවා

ඒවා ටික පොතේ තිබුණු විදිහටම දාන්නම්. එච්චර අමාරු සිංහල නෙමෙයි :)

"මෑ දුටු වේලෙහි පටන් තොපට කුමක් සිතේද" කියලා

මෙන්න දෙවිවරු හතර දෙනා දීපු උත්තර හතර

"මෑ දුටු වේලෙහි පටන් ආකාශ ගංගාවක් නොපැකිළ දිවන්නා සේ මාගේ ප්‍රේම නමැති ගංගාව මෑගේ රූප නමැති තියග්ගලෙහි ධාරානිපාත වෙමින් සිටියේමයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝ යි යන ශෝකයනෙ මාගේ ළය පට පටයා ගැසෙන පරිදි සටන් බෙරක් ගසන්නා වැන්නැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑගේ කේශාන්තය පටන් පාදාන්තය දක්වා මෑගේ රූපශ්‍රී බලා මාගේ ඇස් හයා ගතත් නොහෙමි. දෑසි පිය සොලවා ගතත් නොහෙමි. එසේ හෙයින් ඇස් දෙක කකුළුවෙකුගේ ඇස් සේ මෑ කරාම නෙරී ගියේයැ"

"මෑ දුටු වේලෙහි පටන් මෑ නොලැබෙම්දෝ හෝයි යන සෝ දුකින් වැනි වැනී තිබෙන පරිදිත් දාගැබ් කැරැල්ලක් අග බැඳලු පතාකයක් හැම වේළෙහිම සුළං පහරින් පට පටයා ගැසි ගැසී ඔබ මොබ වැනි වැනී සැලෙන්නා වැන්නැ"

ඊට පස්සේ සක්කර දෙවියෝ අහනවා

"පින්වත්නි, මෑ නොලදුව නම් තෙපි සතර දෙනා මිය ද නොමියා ද" කියලා [මෙයා හම්බුණේ නැත්නම් තොපිලා 4 දෙනා මැරෙනවාද මැරෙන්නේ නැද්ද ?. මේ ප්‍රශ්නේ නම් මනුස්ස ලෝකෙත් අහනවා නේද ?? ඒකි හම්බුණේ නැහැ කියලා තෝ මැරෙනවාද කියලා කොල්ලෝ අහන්නේ :))  ]

ඒ ප්‍රශ්නේ දෙවිවරු හතර දෙනාම කියනවා නැහැ නැහැ අපි මැරෙන්නේ නැහැ කියලා.

පස්සේ සක්කර දෙවියෝ කියනවා

"පින්වත්නි, මේ දේවතා දුව දැන් ඉතින් මම නොලදිම් නම් මට මාගේ ශක්‍ර සම්පත්තියෙනුත් කම් නැත, වෛජයන්ත නම් ප්‍රසාදයෙනුත් කම් නැත, පාණ්ඩුකම්බලශෛලාසනාදියෙනුත් කම් නැත, දෙකෙළ පනස් ලක්ෂයක් පමණ ඇති මාගේ දිව්‍යංගනාවන්ගෙනුත් කම් නැත, දැන්ම මියෙන්නෙම් වේදැ" කියලා [කොහොමද සක්කර දෙයියන්ගේ තියෙන තණ්හාසේ]

මේ උඩින් ඉන්න හැන්ඩි කොල්ලා සක්කර දෙයියෝ

පස්සේ දෙවිවරු හතර දෙනාම මුහුණට මුහුණ බලාගෙන හිනාවෙලා සිරා කතාවක් කියනවා

"අපිත් තොපගේමය, මේ දෙවු ලොවත් තොපගේමය, එහි උපන් කෙනෙකුන් තොපගේමය, එක් දෙවු දුවක නිසා තොප වැනි දිව්‍යරාජයෙකු මළෝතින් අපටම අලාභය, සියලු දෙවියන්ගේ කාර්යාකාර්යයෙහි අප්‍රමාද වූ තොප වැනි දිව්‍යරාජයෙක් ලැබගත නොහැක්කේමය. ස්වාමීනි නොමියව, තොපට හිමි සැපත තෙපිම ගනුව, අප සතරදෙනාගෙන්ම තොපට සරණ දෙම්හ" කියලා ඒ දිව්‍යාංගනාව සක්කර දෙවියන්ටම සරණ පාවා දෙනවා. 

පස්සේ සක්කර දෙවියොයි, දිව්‍යාංගනාවයි, අර දෙවිවරු හතර දෙනයි සන්තෝසෙන් ජීවත් වුණාලු.........

ඊට පස්සේ තමා සක්කර දෙයියෝ මේ සිංදුව කියන්නේ :P


ඔන්න ඔහොමයිලු සක්කර දෙයියෝ දිව්‍ය ලොකේ දිව්‍ය ස්ත්‍රීන් සම්බන්ධ නඩු විසඳන්නේ :)

ප.ලි.: මේ කතාව උපුටා ගත්තේ දඹදෙණි යුගයේදී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරපු පූජාවලිය ග්‍රන්ථයෙන්. ග්‍රන්ථය සංස්කරණය කරලා තියෙන්නේ පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්

79 comments:

  1. lol... බලාගෙන ගියාම දිව්‍ය ලෝකෙයි මනුස්ස ලෝකෙයි වැඩි වෙනසක් නැ...
    ජනිත්

    ReplyDelete
  2. මෙහෙයි එහෙයි කියලා වෙනස මයේ හිතේ පොඩ්ඩක් උස වැඩි කම නේද? මොකද හසිත ඔච්චර උස වෙන්නේ? මටනම් දිවියලෝකේ කියද්දී නිකම් හෙන උස කණු තියන පරණ ග්‍රීක් දේවාලයක් වගේ හිතෙන්නේ.
    (මේ ගැන මම කලින් ලිව්වා වෙන කතාවක්)

    ReplyDelete
  3. මූ ගෑණු හොරෙක් නේ, නඩුත් සක්‍රයාගේ බඩුත් සක්‍රයාගේ!

    මෙන්න මං දෙව්ලොව ගිය වෙලේ දැකපු සීන් ගැන ලියපු කවියක්.

    දෙව් ලොව සැප කියන එම යෙදුමෙහි අරුත
    නිසැකව පසක් විය දෙව්පති දුටු මොහොත
    සුරඹුන් සත් දෙනෙකු ගේ සුකොමල ලලිත
    කම් සුව සිතූ ලෙස ලැබ ඔහු කල් යවත

    ReplyDelete
  4. ඒ දවසවල දඹදිව තිබුණු තත්වෙ වෙන්න ඕන දිව්‍ය ලෝකෙට ආදේශ කරලා තියෙන්නෙ, ඇඳුම් පැලඳුම්වල පටන්ම.

    ReplyDelete
  5. ගෑණු ගැවිච්චි තැන හුට්ටප්පරයක් නෙ...
    සක්කරයටත් ඉතිං. හහ්...
    අඩේ මටත් දිව්‍යපුත්‍රෙයක් වෙන්ට ආසයි බං... එතකොට මයෙ ඇඳ ලඟින් මතුවෙන එවුං මට නෙ. මනුස්ස ලෝකෙ වගේ ලොකු සීන් නෑනේ. :D

    ReplyDelete
  6. අනේ මන්දා මොනවා කියන්නද කියලා තේරෙන්නෑ..
    කොහොම වුනත් ශක්‍රදෙයියො කියලා කියන්නෙ නිකම් නෙවෙයිනෙ..:)

    ReplyDelete
  7. අනේ මේක නම් හරි අසාධාරණයි.
    පව් අර දිව්‍යාංගනාව. එයාට කැමති දෙවියෙක් තෝරාගන්න ඉඩ තියෙන්න ඕනෙනේ

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම උනා නම් අද එක දෙවිකෙනෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ, පේනවානේ අද අපේ කොල්ලොන්ට වෙලා තියෙන දේ!

      Delete
    2. මාධව .. දාන්න පහක් . .

      Delete
  8. ද්ව්‍යන්ගනවට කැමැති තීරණයක් ගන්න දුන්නනම් තමයි හොද... බලාගෙන යනකොට ලංකාවේ උන් හොදයිද මන්ද දිව්‍ය ලෝකෙට වඩා ...

    අදමයි මෙහෙ ආවේ දිගටම එන්නම් හොදේ..
    ජයවේව!!

    ReplyDelete
  9. මම හිතන්නේ උන්නාන්සෙ සෝවාන් වෙන්න කලින් සෙට් වුන එක්ක වෙන්න ඇති..
    බලාගෙන ගියාම දිවියලෝකෙත් උපදින්න හොඳ පොට් එකක් නෙමේ

    ReplyDelete
  10. කොහොමින් හරි ඇන කොටා ගන්නෙ මරා ගන්නේ නැතිව ඔයින් ගියා මදැයි!

    ReplyDelete
  11. බලාගෙන ගියාම හැම ලොකෙම ගෑනුන්ට ෆයිට් නේ, බලය තියෙන එකා තමයි අයිතිකාරයා!

    ReplyDelete
  12. ෂා මනුස්ස ලෝකෙ එක්ක වැඩි වෙනසක් නැහැනේ :D

    ReplyDelete
  13. හපොයි පොදු ස්ථාන වල පහළ වෙන අයට සක්‍ර දෙයියන්ගේම පිහිටයි.

    ReplyDelete
  14. ඒ දවසවල දඹදිව තිබුණු තත්වෙ වෙන්න ඕන දිව්‍ය ලෝකෙට ආදේශ කරලා තියෙන්නෙ, ඇඳුම් පැලඳුම්වල පටන්ම.

    ReplyDelete
  15. පවු නේද අනිත් දෙයියෝ 4 දෙනා ...

    ReplyDelete
  16. මේකෙ මාතෘකාව දැකපු ගමන් මටත් මතක් වුනේ මේ සිංදුව.....
    සුරලෝකේ මං සක්කර දෙයියෝ .. මෙහි පූරුවේ පිනට උපන්නේ..

    ReplyDelete
  17. අනේ පරසතු උයනෙත් අරවගේ දිව්‍යාංගනාවො කිහිප දෙනෙක් පහලවේවා!!!!

    ඒස්වාහං පොහ්....

    ReplyDelete
    Replies
    1. පොහ් නෙමේ පුහ්....... වචන වරද්දගන්ඩ එපා...හැරී පොටර් බලලා ඇතිනේ නේද?

      Delete
  18. එතකොට සක්‍රදේවෙන්ද්‍ර උන්නාන්සෙ මාර්ගපල ලාභියෙක් නෙමේද? මම දන්න හැටියට සක්කරදෙය්යෝ සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සෙ කෙනෙක්නෙ... පොඩි පැහැදිලි කිරීමක් කොරන්ඩකෝ හසිත මහත්තයෝ...(හසිත කියද්දි නිකං හසන්ත, හසන්න වගේ ගතියක් දැනෙනවා:D)

    ReplyDelete
    Replies
    1. හසිත අද නිවාඩු .. මං ඔන්නොහෙ කොරන්නම් ...

      සෝවාන් උනත් කාම රාගය නැති වෙන් නැහැ
      නමුත් මේක සෝවාන් වෙන්න කලින් වෙච්චි සින් කෝන් එකක් තමයි !

      Delete
  19. පව්.............. දිව්යාංිගනාවට අසාධාරණයක් වෙලා තියෙන්නෙ... එයා කැමති කාටද කියල කවුරුවත්ම හිතුවෙ නැ‍හැනෙ... දිව්යාලෝකෙ වෙලත් කාන්තාවට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැනෙ....

    ReplyDelete
  20. මට නම් හිතේනේ ශක්‍රයා ගහපු ගැටේට අනික් දෙවිවරු හතර දෙනා අහු වුණා කියලා. ඇහැට කණට පේන දිව්‍යාංගනාවන්ටත් මාර ඉල්ලුමක් නේ තියෙන්නේ. මෙහේ වගේම තමයි.

    ඒ කොහොම වුණත් අපේ හෙළ සාහිත්‍යයේ අනගි "පූජාවලියෙන්" ලියපු ලස්සන සටහනට ඔබට ස්තූතියි

    ReplyDelete
  21. එකසැරයක් වයසක මනුස්සයෙක් මට දිව්‍ය ලෝකෙ විස්තර කරනව, දිව්‍ය ලෝකයේ තියෙන්නෙ දිව්‍ය භෝජනය ඒව ඉතාමත් සරය ඒත් කන්න ඕන නැහැ බඩ පිරෙනවය, බීම රසය සුවඳය බොන්න කලින් බීම දිහා බැලුවම බඩ පිරෙනවය කියල.
    අන්තිමට මම ඇහුව දිව්‍යාංගනාවක් දැක්කම ඇතිද ....... ඕන නැද්ද දකිනකොට.....යනවද කියල. සීය වාෂ්ප උනා. :-)

    ReplyDelete
    Replies
    1. බුහ්හා.... සීයට සරමෙ කක්ක යන්න ඇති

      Delete
    2. යකෝ සීයලගෙන් ඕවා ඔහොම අහනවද . . .. හික්ස්

      Delete
  22. රාජ් කතාවක් කිව්ව හන්දා මටත් මතක් උනා දිව්‍යලෝක කතාවක්. ඒකත් ඔන්න ඔහෙ කියලා දාඤ්ඤං.

    සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කතාවක් කියන්නයි.

    මෙහෙදී යහපත් විදිහට ජීවිතෙ ගත කරපු මැන්ස් කෙනෙක්ට හිටියලු පට්ට චාටර් යාලුවෙක්. පොර අම්බානෙක ගහනවලු, රතු පාරවල් වලමලු රෑට. කරන්නෙ ජල්තර බිස්නස්ලු. කොච්චරවත් මිනිස්සුන්ට ගිනි දෙනවලු. ඒත් යහපත් යාලුවා මෙයාව කොහොමහරි හදාගන්න පුලුවන් වෙයි කියලා යාලුකම අතඇරියේ නෑලු. දවසක් දෙන්නා කා එකේ යන ගමන් කෝල් කරන්න ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුනලු. යහපත් යාලුවා දිව්‍ය ලෝකෙ ගියාලු.

    දිව්‍යලෝකෙ ගිහිල්ලා එහෙට ඩොකියුමන්ට් කාරිය බාර දීලා රාජකාරී වැඩකටයුතු ඉවර කලාම එක දෙයියෙක් ඇවිල්ලා එයාට දිනපතා කරන්න තියෙන රාජකාරිය ගැන කිව්වලු. එයාට කරන්න තියෙන්නෙ හෙන බලගතු දෙවිකෙනෙක්ගෙ විමානෙ අගතුගාන එකලු. පස්සෙ රාජකාරි පවරන දෙයියගෙ පස්සෙ වැටිලා මේ මනුස්සය දිව්‍ය කොසු ඉදල් එහෙමත් අරගෙන රාජකාරී කරන තැනට පිටත් උනාලු.

    යද්දි නේද! අර චාටර් යාලුවා, පොරත් ඇවිල්ලු දිවියලෝකෙ. මිනිහව දැක්කම අපේ යහපත් යාලුවය උඩ ගියාලු. වැඩිපුරම අප්සට් ගියේ මැන්ස් ඉන්න හැටි දැක්කමලු. මිනිහා එහෙදී ගහපු හැම ජාතියෙම අරක්කු වලින් බැරල් එක ගානේ ලැබිලලු. ඒ මදිවට පට්ට දිව්‍යාංගනාවකුත් ලගින් ඉන්නවලු. ඉතින් ඇඩෙනවනේ..... මේ මනුස්සයාටත් මල පැන්නලු. ඇයි මෙච්චර හොදට හිටපු මට අතුගාන්න ලැබිලා අර මිනිහට හෙන සැප ලැබුනේ කියලා.

    පස්සෙ අර මිනිහා තමන් එක්ක රාජකාරී පෙන්නන්න යන දෙයියගෙන් ඇහැව්වලු "ඇයි මට අර වගේ සැප ලැබෙන්නෙ නැත්තෙ මම මෙච්චර හොඳට ඉඳලත්" කියලා.

    එතකොට දෙයියා කිව්වලු, "ඔය මොන සැපැක්ද අනේ.... ඔතන නතිකර තියෙන්නෙ බොරුව...." කියලා.

    මිනිහට ඒක තේරුනෙ නැලු. මිනිහා ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා.

    දෙයියා කිව්වලු "ඔතන තියෙන හැම අරක්කු බැරල් එකකම අඩියෙ හෙන හිලක් තියෙනවා. වැඩෙ කියන්නෙ අර දිව්‍යාංගනාවගේ එහෙම නෑ" කියලා.

    මගේ කතාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හක්ක හක්ක හක්ක

      මරු කථවා...අදමයි ඇහුවෙ

      Delete
    2. ඒ හිලම ඕනෙද? කරන්න කොච්චර එව්වා තියෙනවද?

      Delete
    3. ඒ වුනාට මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගන්න බැරි වෙනවා නේද?

      Delete
    4. හිකිස්ය... අසා සිටියේ නම් නැත..

      Delete
  23. හිකිස් මරුනේ...මෙහෙ වගේමනේ....

    ReplyDelete
  24. මාර වැඩේනේ .අපෝ මනුස්ස ලෝකේ හොඳයි . දැන් ඔය හැම දෙය්යෝම කඩවසම්ද. නෑ මන් ඇහුවේ බැරි වෙලාවත් එහෙ ගියොත් කියල . මේවා නිකන් සාහිත්‍ය කතා වෙච්ච එක හොඳයි

    ReplyDelete
    Replies
    1. හී හී හී හී...බයවෙන්ට දෙයක් නෑ බින්දි. ඔක්කොම මාර හැන්ඩියෝලු. :D

      Delete
    2. Bindi,

      ඕවා නිකම් මේ ආතල් කතානෙ.. මටනම් හිතෙන්නෙ අපායයි, දිව්‍ය ලෝකෙයි දෙකම තියෙන්නෙ මේ ලෝකෙ සහ අපේ හිතේ..

      මොකෝ කියන්නෙ ?

      Delete
  25. මගේ සීමාවෙ මැවෙන්නෙ නෑනෙ මේ වගේ දිව්‍යාංගනාවක්....

    ReplyDelete
  26. eka nam atta.diwyaloketh upadinna hoda thanak newi wage.thawath sasara gamana wedi karaganna potak.manussa athmayedima mokak hari karan niwan dakinna balanna one..........

    ReplyDelete
  27. එක දෙවිකෙනෙක්ට දිව්්‍යාන්ගනාවන් ගොඩක් ඉන්නවද.. නැත්නම් සක්‍රයට විතරද..එහෙම.., කොහොම උනත් එතකොට දිව්්‍යලෝකෙ වැඩියෙන් යන්නෙ..කාන්තා පාර්ශවයද...????

    ReplyDelete
  28. මෝදර කාක දූපත හරියේ වගේ තමන්ගේ කෑල්ලවත් පරිස්සම් කර ගන්න බැරි ජාතියේ ඒරියා එකක්නේ බොලේ දිවිය ලෝකේ කියන්නේ . .

    ReplyDelete
  29. පට්ට පට පට නේන්නං.........
    බලන් ගිහාම දෙයියත් අර කවුද වෙලා :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  30. සක්කරයා වුනත් බලපං කරලා තියෙන වැඩේ කැත....

    ReplyDelete
  31. දෙවියෝ අතින් බැලුවාම කොල්ලෝ හොඳයිනේ.ලස්සන කෙල්ලෙක් දැක්කම මොකක්හරි කර්මාන්තයක් කොරල නිකන් ඉන්නව:D.දෙය්යෝ එහෙමද ,යුද්ධ කරන්නත් ගිහින්;)
    කතාව නම් ෆට්ටයි ආ!
    ජය වේවා!

    ReplyDelete
  32. හහා...රසවත් කතාවක් මල්ලී....
    සක්කරයා හරි වැඩනි කරන්නේ...
    අර දිව්‍යාංගනාව ගැන දෙවි වරුන් කියන දෙබස් වලට බඩ පැලෙන්න හිනා යනවා....ඒ කාලෙත් පට පට කතා කියලා තියෙනවානේ..

    ReplyDelete
  33. නඩුවක් උනත් අරන් යන්න ඕන හොද නඩුකාරයෙක් ගාවට.. නැත්නම් වෙන්නේ මෙහෙම දේ තමයි..

    ReplyDelete
  34. මම නම් යන්න කැමති බ්‍රහ්ම ලෝකයට, මොකද එතකොට වලි,රන්ඩු, යුද්ධ නැහැනේ, අපෝ.... දිව්‍යලොකයත් මහ ජල්තර තැනක්නෙ....හි හ් හි...(බුදු හාමුදුරුවො කියල තියෙනවනේ දෙවියොත් පෘතග්ජන ජිවින් කොටසක්ය කියල...........එ ගොල්ලොත් මාර බන්ධනයට යටයි කියල).......නියම කතාව.... ඔබට ජය....

    ReplyDelete
  35. චික්..සක්කරයත් ඔහොම හිටියට හෙන කපටි වල් කොල්ලෙක්...!! :D:D

    ReplyDelete
  36. හික්ස්...

    මට මතක් වුණේ අර නරියා සහ කේජූ කෑල්ලේ කථාව...

    අපූරු කතාව මල්ලි...

    ReplyDelete
  37. අච්චර දෙවිවරු හතර දෙනෙක් රණ්ඩු වෙන්නේ කෙල්ලෙක් හින්දා කියලා හිතෙන කොටත් දිව්‍යලෝකයටම ඇහෙන්ඩ හූ කියන්ඩ හිතෙනවා.

    සක්කරයා තමා දෙයියෝ කියන්නේ !!!

    ReplyDelete
    Replies
    1. මධූ... එයත් පිරිමියෙක්ලු. :D

      Delete
  38. දිව්‍ය ලෝකයේ පහල වෙන්නේ සීමාවක දි ද නැද්ද කියල දැන ගන්න විදිහක් ඇත්තෙම නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ඛන්ඩාංක වලින් හොයාගත්තෑකි.

      Delete
  39. හී..............වැඩිහලියක් ඇට්ටෙ ඒනම් ටනිකඩ ඩෙවිවලු වෙන්ඩ ඇති......

    ReplyDelete
  40. සක්‍ර දෙයියා නඩු අහන කතාව ඇහුවෙත් අදමයි.. මෙච්චර කල් අහලා තිබුනෙ උන්දැගෙ පස්ස රත්වෙච්ච කතා..

    මොකද දිව්‍යාංගනාවො අඩ නිරුවතින් ඉන්නෙ?

    ReplyDelete
  41. සක්‍රයාගේ කථාව කියවන කොට ඉතිහාස කථාවක් මතක් වුනා. හසිත ඉතිහාසය හදාරන හින්දා දන්නව ඇති කෝට්ටේ 7 වෙනි බුවනෙකබාහු රජ්ජුරුවන්ට හිටපු සෙනෙවියෙක් වන "බෝඹුවේ රාලහාමි" ගැන.වීදිය බණ්ඩාරගේ සතුරු සෙනෙවියෙක් හැටියටයි කියවෙන්නේ. ඒ කාලයේ ඌවේ අරගලයක් ඇතිවෙනවා. හේතුව වෙන්නේ "බටවල කුමාරිහාමි" කියන රූමත් කාන්තාව.ඇයව ලබාගන්නට ඌවේ බලවත් පවුල් දෙකක කුමරුවන් දෙන්නෙක් අතර ඇතිවන තරඟය අවසන් වෙන්නේ දෙපක්ෂය අතර ඇතිවූ බිහිසුණු සටනකින්. බුවනෙකබාහු රජ්ජුරුවෝ, බෝඹුවේ රාලහාමිව යවනවා මේ අරගලය මැඩ පවත්වන්න. බෝඹුවේ රාලහාමි, බල සේනා අරගෙන එන ආරංචියටම අරගලය සංසිඳෙනවා.ඊට පස්සේ බෝඹුවේ රාලහාමි කරන්නේ බටවල කුමාරිහාමි ගැන නඩුව විසඳන එක. අහන්න දෙයක් නෑ; සක්‍රයාගේ මෙතඩ් එකම තමයි.:)

    ReplyDelete
  42. //ඊට පස්සේ තමා සක්කර දෙයියෝ මේ සිංදුව කියන්නේ :P//
    අර කුඩේ අතෙන් අරං නටනේ සක්කර දෙය්යොද? :D

    මට මෙන්න මෙහෙම හිතුවිල්ලක් පහල උනා. අර වෙසක් පොසොන් කාලවලට දන් දෙන කට්ටියත් ඔය කියන දිව්‍ය ලෝකවල උපදී නේ.


    //තුන් ගවුවක් උස රශ්මි ධාරා විහිදුවන දිව්‍ය ශරීරයක් යොදුන් 12 ක් දිග දිව්‍ය සළුවකින් වසාගෙන දිව්‍ය ලෝකයේ දෙවිවරුන් හතර දෙනෙක්ගේ සීමාවන්ට මැදිවෙලා පහළ වෙනවා.//
    හපොයි මේ ටික කියවලා පහල උනු සිතුවිලි කියලා වැඩැක් නෑ. :)))

    ReplyDelete
  43. ශක්‍රයත් ඔහොමනම් ඇමතියො ගැන කවර කතාද ?

    ReplyDelete
  44. දෙය්යෝ ටික නම් සක්කරයාගේ කතාවෙන් නන්නත්තාර උනා කියමුකෝ... ඊළඟට දිව්‍යාංගනාව ආම්බාන් කරගත්තු හැටි ගැන කතාවේ නෑ නේ. අන්න එතනදී තමයි සක්කරයට වැඩ වරදින්නේ!

    ReplyDelete
  45. අඩේ මටත් දිවය ලෝකේ යන්න ආසයි වගේ :ඩ්
    හැමදාම වගේ විස්තරේ පට්ට

    ReplyDelete
  46. අද වෙනකං හිතං හිටියේ සක්කරයා හොඳ බුවෙක් කියලා....

    ReplyDelete
  47. ම්ම්ම්... කතාව නම් හොඳයි. ඒත් මට මෙහෙම දෙයක් හිතෙනවා. ශක්‍රයා කියන්නේ බුදුදහමේ සඳහන් වෙන ප්‍රධාන චරිතයක්. ශක්‍ර දෙවියන් ඇසූ ප්‍රශ්න ගැන කියවෙන සක්කපඤ්ඤ සූත්‍රය වගේ සූත්‍ර දේශනා පවා තියෙනවා, සක් දෙව් පදවිය කියන්නෙ කෙනෙකුට ලබාගන්න පුළුවන් උතුම් පදවියක්. ඔයා මේ ලියන ශෛලියෙන් ඒ වගේ දෙයක් හෑල්ලුවට, විහිළුවට ලක්වෙනවා වගේ නේද? ටිකක් හිතලා බලන්නකෝ!

    ReplyDelete
    Replies
    1. ශක්‍රයාට කරන්න හොඳනම්, කියන එක මොන ශයිලියෙන් කිව්වත් මොකද.

      Delete
    2. අනිවාරයෙන්ම ලහිරු ශක්‍ර දෙවි කම කියන්නේ දෙදෙව්ලොවට අධිපති අති වාසනාවන්ත දේව භවයක්. ඊට හාස‍ය දෑක්වීම ඉතා භයානකයි. අනෙක් අතර ශක්‍ර දෙවි උත්තමයන් වහන්සේ මාර්ග ඵල ලාභී උත්තමයෙක් නිසා ආර්‍ය් උපවාද කර්මය ද සිදුවිය හෑකිය. එබෑවින් අන් සෑම දෙනා මේ ගෑන සිතා බලන්න....

      Delete
  48. හසිත, මරු පෝස්ට් එක. මාත් කියවලා ගෙදර අයටත් කිව්වා.
    henryblogwalker the Dude

    ReplyDelete
  49. දෙවියොත් ඇඹරෙන තැනක නේ ගෑණු ප්‍රශ්න වලදී.

    ReplyDelete
  50. //සක්කර දෙවියන්ටත් තුන් කෙළක් විතර දිව්‍ය ස්ත්‍රීන් හිටියත් //
    බුදු අම්මෝ... මට නම් කලන්තේ වගේ.. ශක්‍රයා කොහොම මේ ගෑනු ටික නඩත්තු කලාද දන්නෑ.. ඒත් මෙච්ච්ර ගෑනු ඉඳලත් තිබ්බ තන්හාව.. :O

    ReplyDelete
  51. මදැයි කොලා. එහේ ගෑණු කෙහෙවලු පටලවා ගන්නේ නැතුවා වෙන්ටෑ. නේද මලයා

    ReplyDelete
  52. ශක්‍ර දෙවියන්ට අපවාද කිරීමෙන් වෑලකී සිටින්න එය සෑමට යහපතකි. දෙවියන්ගේ ක්‍රමයන් නොදෑන ඒවා කෙරෙහි අර්තකථන දීම ඉතා භයානකය...

    ReplyDelete
  53. ශක්‍ර දෙවි කම කියන්නේ දෙදෙව්ලොවට අධිපති අති වාසනාවන්ත දේව භවයක්. ඊට හාස‍ය දෑක්වීම ඉතා භයානකයි. අනෙක් අතර ශක්‍ර දෙවි උත්තමයන් වහන්සේ මාර්ග ඵල ලාභී උත්තමයෙක් නිසා ආර්‍ය් උපවාද කර්මය ද සිදුවිය හෑකිය. එබෑවින් අන් සෑම දෙනා මේ ගෑන සිතා බලන්

    ReplyDelete
  54. මේ යකා තුන් කෝටියක් කොහොම කන්ට්‍රෝල් කරනව ද මන්දා ..මෙහෙ එක මිනිහෙක්ට එක ගෑනියෙක් එක්ක ඩීල් කරගන්ඩ බැරුව ඉන්නවා :////

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................