Friday, September 30, 2011

පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය


ළහිරු කිතලගම එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කවුඩව මම හොඳට අඳුනගන්නේ අපි හන්තානේ ගිය 1st Year Batch Trip එකෙන්. අපි ගිය බස් එකේ Leader එහෙමත් නැත්නම් බස්නායක වුණේ කවුඩා. බස් එකේ කට්ටිය හොඳට බලා කියාගෙන trip එක එක්කන් යන්න කවුඩා කටයුතු කළා. තව විදිහකට කිව්වොත් හොඳ නායකයෙක් විදිහට තමන්ගේ පිරිසව මෙහෙයවන්න කටයුතු කළා.

ඊට පස්සේ campus එකේදී පාරේ තොටේදී දකිද්දී බොහොම ලෙංගතුව හිනාවෙලා කතා කරලා යන මනුස්සයෙක් තමා කවුඩා. ඔය කාලේදීම තමයි මම දැනගත්තේ කවුඩා හොඳ කවි සිතුවිල තියෙන පොරක් බව.

Campus එකේම ඉන්න ඩොමා කියලා තව යාළුවෙක් Editor විදිහට ඉන්න http://pothpath.com/ web site එකේ කවි පිටුවේ කවුඩාගේ කවි දෙක තුනක්ම තියෙනවා මම දැක්කා. ඒ වගේම පොත් පත් කියවන, කවි ලියන හොඳ කලාබර පොරක් විදිහට තමයි මම කවුඩාව අඳුනගත්තේ.

ලඟදී දවසක campus එකේදී හම්බුණු වෙලාවක කවුඩා කිව්වා " මචං මම කවි පොතක් ලියලා තියෙනවා" කියලා පොතත් මට බලන්න දීලා පොතේ දොරට වැඩුම සැප්තැම්බර් 28 උදේ තියෙනවා ඒකටත් වරෙන් කියලා මටත් මතක් කළා.

මට කියන්න අමතක වුණා කවුඩාගේ ප්‍රියම්බිකාව අපිත් එක්ක Histroy Special කරන කෙනෙක්. ප්‍රියම්බිකාව අපිට පස්සේ invitation එකකුත් දුන්නා උත්සවේට එන්න කියලා.

ඉතින් එදා උත්සවේට තිඹිරියාගම බණ්ඩාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, කල්ප එරන්ද වගේ කිවිවරුත් ඇවිත් හිටියා. මේ කවි පොතේ තියෙන කවි ගැන එයාලගේ අදහස් එහෙමත් අපි ඇහුවා. නූතන කාව්‍යයේ පෙරගමන්කරුවෙක් වෙන ලකුණු කිතලගමගේ පොතෙන් පේනවා කියලා තමයි එයාලා කිව්වේ.

ඒ වගේම අපිට දැනගන්න ලැබුණු විදිහට මේ කවි බොහොමයක්ම ළහිරුගේ ජීවන අත්දැකීම්. ඒවා කවි සිතුවිලිවලට පෙරලන එක ඇත්තටම හපන්කමක් නොවැ :)


මමත් මේ කවි පොත කියෙව්වා. මේ කවි පොතේ පිදුමෙන්ම අව්‍යාජ කවියෙක්ගේ ලකුණු පෙන්වන්න මේ සුහුඹුල් කවියා සමත් වුණු බව පේනවා.

ගත වෙහෙස දවසේම
සොච්චම් පඩියට විකුණා
සැඳෑ කළුවර වැටෙන ජාමයේ
සක්මන් ගමනින් පියමැන විත්
වඩු ඉස්කෝලේ කඩෙන්
හාලුත්, පොලුත්
භූමිතෙල් බෝතලයකුත් අරගෙන
ඉතුරු නැතත් ණයට හෝ
රුපියල් විස්සේ නෙස්ප්‍රේ
පැකැට්ටුවකුත් ගෙනැවිත්
සුදු පාට කිරි එකක් සදා
ක්‍රීම් ක්‍රැකර් විස්කෝතුවකුත් සමඟ
මා අසළින් තබා
සිනාසුණා ඇය..............

එළිවෙනකම්ම නොනිදා
පාඩම් කරන මා දිහා බලාගෙන
හොර රහසේම දෑස් පිසදා සිනාසී.....
කුප්පි ලාම්පුව නිමෙන ජාමෙට
තෙල් ටිකක් වත්කොට ආලෝකය සදා
මගේ දිවියට සදා ආලෝකයක් වූ
සොළොස් කලා පිරි පුරසඳ ඇය ය.

වැලි කැට වේදනාවෙන් පුපුරු ගහන
ගිනියම් අව්වේ
බෝධිරාජ මාවතේ මහ පාරේ
යකඩ සමඟ දවසේම පොරබදා
ජීවිතය සොයනා ඔහු

අහිමි වූ පිය සෙනෙහසේ
හිස් තැන් පුරවන්නට
වේලාසනම පාසල් ගමනත්
අහවර කොට
අර පේන සමනල් කන්දටත් වැඩි
මහ බරක් අරගෙන කරට

යෞවන සිහින කුසුම් සුපිපෙන
කල දවස සරි වුණත්
ඒ මල්වලට ඔහේ පර වෙන්ට ඉඩ හැර
අඬුව, මිටියට, වෑල්ඩින් ලාම්පුවට
හැමදාම පෙම් බඳින
දයාබර ඔහු

දවසේ මෙහෙවර කිස
අහවර කොට
ඉඳුපා බේරෙන බෝ මළුවට
හැන්දෑවට පැමිණ
මලක් පහනක් තියා බුදු සාදුට
හැමදාම අපි වෙනුවෙන් පැතුම් පුරන
බෝසත් කෙනෙකුන් තරම්
තෙත් වූ හිතක් ඇති
යහළුවෙක් සේ ළඟින් සිටින
ආදරණීය ලොකු අයියා ඔහු ය.

ඉතින් වැඩි කතා ඕනේ නැහැ. නූතන කාව්‍යයේ පෙරගමන්කරුවක් වන්නට යන අපේ සහෘද ළහිරු කිතලගමට හෘදයාංගම සුභ පැතුම් එක්කරන ගමන්ම ඔයාලටත් ආරාධනා කරනවා මේ කවි පොත රස විඳින්න එන්න කියලා. ළහිරුගේ කවියකින්ම අවසන් කරන්නම්........

කවි ලියන්නට නොහැක මට නම්
කවි විඳින්නට හැකිය මනරම්
නුඹේ කවියට කිත් යසස් ලද
ආසි පතනෙමි මගේ සකි සඳ


ළහිරු කිතලගමගේ Facebook Account එකට

Monday, September 26, 2011

ඇසි පිය මානෙන් නික්මුණු මහේෂ් අයියා


ඊයේ Facebook එකට ගොඩවුණු වෙලාවේ දැක්කා මහේෂ් හසන්ත සිල්වාට හුඟක් අය නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. මට පුදුමත් හිතුණා.

මහේෂ් අයියා ඉන්නේ අපේ ගෙවල් පැත්තේමයි. හරිම හිත හොඳ කෙනා. අපිත් එක්ක ඉස්සර 234 බස් එකේ යන එන එක්කෙනෙක්. ඉස්කෝලේ වුණත් විෂය සමගාමී වගේම විෂය බාහිර වැඩ කටයුතුවලට බොහොම තදින් සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්.

අන්තිමට එයා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ Head Prefect වුණා. ඉස්කෝලෙන් out වුණාට පස්සේ Higher Studiesවලට එයා Australia ගියා කියලා දැනගන්න ලැබුණා.

දැනට මාස දෙක තුනකට කලින් අපේ Campus එකේදී මට මහේෂ් අයියාව හම්බුණා. නිවාඩුවකට ඇවිත් ඉන්නේ අපේ කැම්පස් එකේ එදා තිබුණු drama එකක් බලන්න ආවා කියලා තමා එයා කිව්වේ.

පස්සේ දවසක මට සිංහල Blog එකක් කියවන්න හම්බුණා. ඇසි පියක මහිම කියලා. ඒකේ තිබුණේ දැකලා පුරුදු දෙන්නෙක්ගේ phtos . ආහ් මට කියන්න අමතක වුණා. මහේෂ් අයියාගේ Girl friend මාත් එක්ක ඉස්සර ඉස්කෝලේ ගිය මගෙත් හොඳ යාළුවෙක්.

ඉතින් මහේෂ් අයියා එයාගේ ආදරේ වෙනුවෙන් ලියපු blog එක මම කියවලා facebook එකෙන් message එකක් යැව්වා blog එක ගැන කියලා. මම ඒ blog එකට comment කරන්න ගියත් මොකක් හරි අවුලක් නිසා ඒක කරන්න බැරිවුණා.

මම ඒකත් කියලා message එකක් දැම්මා. ඒකටත් reply කරලා තිබුණා මහේෂ් අයියා. ඒක තමයි මහේෂ් අයියා ගැන මට මතක තියෙන අවසාන සිද්ධිය. ඒත් මාස 3 කට විතර කලින්.

ඉතින් ඊයේ මේ කතාව දැක්ක ගමන් මම කතා කළේ ඩී.එස්. එකේ හිටිය මගේ යාළුවෙක්ට. එයාගෙන් ඇහුවාම තමයි එයා කිව්වේ අද උදේ තැඹිලිගස්මුල්ල හන්දියේදී මහේෂ් අයියා ගිය bike එක ලොරියක් එක්ක accident වෙලා. ඒ වෙලාවෙම එයා නැතිවුණා කියලා. දැනට body එක රාගම Hospital එකේ තියෙන්නේ කියලා.

ඊයේ රෑ ගෙදරට body එක අරන් ඇවිත් තිබුණා.

අද උදේ හරියටම දැනගන්න ලැබුණා accident එක වුණේ කොහොමද කියලා. ඊයේ තිබුණු match එකකට මහේෂ් අයියා bike එකේ යද්දී එයාට bike එකේ side stand එක අකුලන්න අමතක වෙලා තියෙනවා.


කිරිබත්ගොඩ-මාකොළ පාරේ තියෙන තැඹිලිගස්මුල්ල හන්දිය හරියේදී bike එක ලොරියක් overtake කරගෙන යන්න යද්දී bike එක ඇලවුණු පාරට side stand එක අකුලලා තිබ්බේ නැති නිසා ඒකට බර වැටිලා bike එක කරකැවිලා පෙරලිලා තියෙනවා.

ඒ ලොරියෙම tyre එකකට මහේෂ් අයියාගේ ඔළුව ප්‍රදේශය අහුවෙලා දරුණු විදිහට තුවාල වෙලා. සිද්ධිය දැක්ක අය කියලා තියෙන්නේ මොළේ කොටස් එහෙමත් එළියට ඇවිත් තිබුණා කියලා.

හිත හොඳ හැමෝමත් එක්කම හොඳින් හිටිය හැමෝටම උදව් උපකාර කරපු අවංක ආදරයක් තිබුණු මහේෂ් අයියා කාටවත් නොකියාම යන්න ගිහින්……....................

ඉතින් සුභ රාත්‍රියක් මහේෂ් අයියා

මහේෂ් අයියා ලියපු ඇසි පියක මහිම බ්ලොග් අඩවියට

මහේෂ් අයියාගේ facebook account එකට


විශේෂයි : Motor Bike වල යන අය ඔය Side Stand එක අකුලලා ගමන යන්න පටන් ගන්න මතක තියාගන්න



ප.ලි.: පුද්ගලයෙක්ගේ වියෝවක් ගැන මේ මාසෙට ලියවෙන දෙවැනි post එක මේක. මේ වෙද්දී අපේ Blog සහෘදයෝ තුන් දෙනෙක් අපෙන් සමු අරගෙන.

මුලින්ම කුමුදු පින්තු මහත්මයා, ඊළඟට අපි හැමෝම හොඳට දැනගෙන හිටිය ඉලංදාරියා එහෙමත් නැත්නම් දිළුම්, අද මහේෂ් අයියා.........

මාරයා ලියලා තිබුණු කුජ මාරුව ගැන post එක කියෙව්වාද ? කෝකටත් අපි කවුරු කවුරුත් පරිස්සම් වෙන ඕනේ කාලයක් මේක. හෙට අපිද කියන්න බැහැනේ.

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ කියලනේ කියන්නේ.....

Sunday, September 25, 2011

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකම

මේ ලෝකයෙහි පුද්ගලයන් හා දේවල් තුල නොයෙකුත් වෙනස් කම් ඇති බව අසාමාන්‍ය දෙයක් නොවේ. එය අප ජිවිතයෙහි මුල්කාලයේ සිටම අත්දැක ඇත්තෙමු. නමුත් ඒ වෙනස් කම් ගැන අප වැඩිදුරට සිතා නැතුවා විය හැකිය. ඒ සියළුම වෙනස් කම් බලපවත්වන්නේ ඒ ඒ දෙයට හා පුද්ගලයන්ට ආවේනික ගුණාත්මක බවට අනුවය.

කෙනෙකු නරක ගුණාංගයන්ගෙන් යුක්ත වන අතර තව කෙනෙකු යහපත් ගුණයෙන් යුක්තව පවතී. මෙසේ ‍හොද හා නරක ගුණයන් ලෙසින් ලොව පුරා විසිරී පැතිරී පවතී. මේ දේවල් හා පුද්ගලයන් පිළිබද ඇති ගුණාත්මක බව ලෝකයට විටෙක යහපත පිණිසද තව විටෙක විනාශය පිණිසද පවතින අතර ඒවා නිසා යහපත නපුරු දෙකම සිදුවිය හැකිය.

මේ අතර අසාමාණ්‍ය ගුණ දරණ පුද්ගලයන් හා දේවල්ද මේ ලෝකය තුල විටින් විට විද්‍යාමාන වේ. ඒ අතර මානුෂීය හැකියාවන් ඉක්මවා ගිය අධිමානුෂීය හැකියාවන්ගෙන් පිරි පුද්ගලයන් ද මේ ලෝකය තුල පහලවීමද අසාමාන්‍ය නමුත් කළාතුරකින් සිදුවන දෙයකි.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා එවැනි අසාමාන්‍ය ගුණ මහත්වයකින් හෙබී උත්තමයන්‍ වහන්සේලායි. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා තුල පවතීන ගුණය සාමාන්‍ය ලෝකයා හා සසදා බලන කල්හී අසාමාන්‍යද අසමද වන්නේ ය. ඒ එවන් ගුණ එවැනිම උතුමන් වහන්සේලා අතර පවතින අනෙක් ඉන් මෙහා පුද්ගලයන් කෙරෙහි දැක්ක නොහැකි දේ නිසාය.

අපගේ බුදුරජාණන් වහන්සේ මේ සියළු සත්වයන් අතරින් අග්‍රද ශ්‍රේෂ්ඨමද ගුණ දරණ සේක් උන් වහන්සේ එවැනිම් බුදුවරුන්ට සමාන වන ගුණ ඇති හෙයින් හා, වෙනත් කිසිවෙකුට සමාන කල නොහැකි හෙයින් අසමද, සමද වන සේක. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සයුර අනන්තවත්ව පැතිර පවත්නේ ය. ඒවා මේ මේ යැයි කියා පරිපුර්ණ ලෙස ප්‍රකාශ කල හැකි සමතෙක් මේ ලොව්හී නැත.

එසේ වුවද බුදුරජාණන් වහන්සේ හා තථාගත ශ්‍රාවකයන් වහන්සේලා එම ගුණ ස්කන්ධය ගැන ලෝකයට වටහා දීම පිණිස ගෙනහැර දක්වා ඇති අවස්ථාද ති‍‍බේ. ඒවා සමහරක්, අධික ශ්‍රද්ධාවෙන් යුතුව කරන ප්‍රකාශන ‍වන අතර තව සමහරක් ඒවා ප්‍රඥා සමුදුරෙහි කිමිදි කරන ලද විස්තර වේ. එවන් බුද්ධ ගුණ විග්‍රහයන් ගැන සලකා බලන අපට ඒවා මෙසේ කොටස් වශයෙන් දළ සටහනක් ඉදිරිපත් කල හැකිය.

ෂඩ් අසාධාරණ ඥාණ
චුද්දස බුද්ධ ඤාණ
සෝළස මහා ඥාණ

අට්ඨාරස ආවේනික බුද්ධ ගුණ

එකුන්විසි ප්‍රත්‍යවේක්ෂා ඥාණ

සමපනස් උදයව්‍ය ඥාණ
තෙසැත්තා ඥාණ
සත් සැත්තාඥාණ
අනන්තනය සමන්නාගත සර්වඥතා ඤාණ
යනාදී ලෙසිනි.

මෙම සෑම ඤාණ කොටසක්ම බුදුරජාණන් වහන්සේ තුල පැවැතී අසාමාන්‍ය හා අත්‍යුදාර වු අනු‍පමේය වු ගුණ සයුර ගැන යම්කිසි අවබෝධයක් ඇති කරදීම පිණිස කරන ලද බුද්ධ ගුණ සංග්‍රහයන් ය.

මෙහි එන තෙසැත්තා ඥාණයන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවන් ලෙස සැලකෙන පටිසම්භිදාමග්ග පාලියේ ‍ඥාණ කතා නිර්දේශය පුරා විස්තර සහිතව ලියැවී ඇත්තේ ය. එම තෙසැත්තා ඥාණයන් සිහිකොට බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය පිළිබදව අපට යම් දැනුමක් වැටහීමක් ලබා ගත හැකි වන අතර ඒ තුලින් අප තුල පවතින ශාස්තෲ ගෞරවය තවත් දැඩි කරගැනීමට හා ශ්‍රද්ධාදී ඉදුරන් වඩා ගැනීමට මහත් උපකාර පිණිස පවතිනු ඇත.

මෑත භාගයේ බුදු ගුණ සයුර තුල හැසිරුණු මහා යතිවරයන් වහන්සේලා අතර ප්‍රධාන තැනක් ගන්නා උතුම් ස්වාමීන් වහන්සේලා කීප නමක් වෙති. එයින් මාතර ඥාණාරාම මහෝපාධ්‍යාය නාහිමියෝ ප්‍රධාන තැනක් ගන්න බව කිව යුතුය. උන් වහන්සේගේ පාලී ගාථා ප්‍රබන්ධන හැකියාවෙන් හැඩ ගැන්වෙමින් ඉහත ඥාණ සමුදායෙන් තෙසැත්තෑ ඥාණ ගැන ගාථා සැත්තෑ තුනකින් වර්ණවත් බුද්ධ ගුණ වර්ණනාවක් කර ඇත්තේ ය.

නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ

එයින් පසුව ඒ තැන හිමි විය යුත්තේ නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේටය. නා උයනේ අරිය ධම්ම මාහා නාහිමිපාණෝ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු ගුණ සිහපත් කරන වාර ‍බොහෝය. ඒ මාහිමිපාණන් වහන්සේ විසින් බුදු ගුණ ගැන ලියා ඇති පොත් පත් බොහෝ ඇත්තේ ය. එසේම ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවසතොත්, බුද්ධ සහස්සනාමාවලී නැමැති පාලි ගාථා ප්‍රබන්ධයක් කල එස් එම් ගොඑන්කා ජී තුමන් ද මෑත බුදු ගුණ ලෝකය හමුවේ හඩනාගා කියන්නට වෙහෙසුන අය අතරට අයත් වේ.

මහමෙවුනා අසපු නිර්මාතෲ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ

එසේම ඉතාමත්ම මෑත ලක්දිව පුරා පැතිරීගිය මහමෙව්නා භාවනා අසපු තුලින්ද අපගේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන බොහෝ ග්‍රන්ථයන් සම්පාදනය වී ඇත්තේ ය. එයින් උපාලි ගෘහපති තුමන්ගේ ප්‍රකාශය අලලා කරන ලද ග්‍රන්ථ හා බුදු ගුණ සරල සිංහලට පෙරලා ගොඩ නගන ලද කාව්‍යයන් බොහෝමයක් අපගේ සිත් තුල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් උපදවනු ලබන්නේ ය.

මේ ඉහත සදහන් උතුම් ස්වාමීන් වහන්සේලා අතරින් නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධාන අනුසාසකත්වයෙන් නොඇසි , අභාවිතව යන මේ උතුම් බුදු ගුණ යලිත් සාමාන්‍ය ජනතාව අතර රැව් පිළිරැව් දීම පිණිසත්, ඒවා ගැන ගැඹුරින් විමසන අයට බුදු ගුණ සයුරෙහි කිමිදීම පිණිසත් , එම ගැඹුරු බුදු ගුණයන් සමාජගත කිරීම පිණිසත් තෙසැත්තෑඥාණ පුජා නමින් ආමිසමය බුද්ධ පුජාවක් ලෙස සමාජයට දායාද කරන ලදි.

මෙම තෙසැත්තෑ ඤාණ පූජාවේ මුලාරම්භය කිනම් අවධියකදී සිදුවුවාදැයි කිව නොහැකි මුත් වර්තමානයේ මෙම පුජාවන් පැවැත්වීම පිණිස ජනතාව පෙලගැසුනේ නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හා එම ඇසුරෙහි පසුවන භික්ෂුන් වහන්සේලාගේ ඇසුරින් බව කිව යුතුය.

මෙය උතුම් බුද්ධ වන්දනාවක් සේම බුදු ගුණ සජ්ඣායනා කිරීමේදී එයට සම්පුර්ණ අවධානය යොමු කොට සමාහිත සිතකින් එම පුජාවන්ට සම්බන්ධ විය හැකි නම් එවිට ඒ නිසා කියා ‍නිම කල නොහැකි සහන් සුවයක් හා අමිල වටිනාකමින් යුතු මහා පුණ්‍ය සම්භාරයක්ද රැස් කරගන්නට එය උපකාරවත් වෙනු ඇත. ජිවිතේ නොයෙක් දුක් කම්කටොලු මැද සියල්ල ඉවසා දරා සිටින්නට මහා බලයක් පිටුවහලක් ද වනු ඇත.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජාවේදී සජ්ඣායනය කරන බුද්ධ ඤාණ පිළිවෙලින් මෙසේය

1. සොතාවධානෙ පඤ්‌ඤා සුතමයෙ ඤාණං

2. සුත්‌වාන සංවරෙ පඤ්‌ඤා සීලමයෙ ඤාණං

3. සංවරිත්‌වා සමාදහනෙ පඤ්‌ඤා සමාධිභාවනාමයෙ ඤාණං

4. පච්‌චයපරිග්‌ගහෙ පඤ්‌ඤා ධම්‌මට්‌ඨිති ඤාණං

5. අතීතානාගතපච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං සඞ්‌ඛිපිත්‌වා වවත්‌ථානෙ පඤ්‌ඤා සම්‌මසනෙ ඤාණං

6. පච්‌චුප්‌පන්‌නානං ධම්‌මානං විපරිණාමානුපස්‌සනෙ පඤ්‌ඤා උදයබ්‌බයානුපස්‌සනෙ ඤාණං

7. ආරම්‌මණං පටිසඞ්‌ඛා භඞ්‌ගානුපස්‌සනෙ පඤ්‌ඤා විපස්‌සනෙ ඤාණං

8. භයතුපට්‌ඨානෙ පඤ්‌ඤා ආදීනවෙ ඤාණං

9. මුඤ්‌චිතුකම්‍යතාපටිසඞ්‌ඛාසන්‌තිට්‌ඨනා පඤ්‌ඤා සඞ්‌ඛාරුපෙක්‌ඛාසු ඤාණං

10. බහිද්‌ධා වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා ගොත්‍රභු ඤාණං

11. දුභතො වුට්‌ඨානවිවට්‌ටනෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

12. පයොගප්‌පටිප්‌පස්‌සද්‌ධි පඤ්‌ඤා ඵලෙ ඤාණං

13. ඡින්‌නවට්‌ටමනුපස්‌සනෙ පඤ්‌ඤා විමුත්‌ති ඤාණං

14. තදා සමුපාගතෙ ධම්‌මෙ පස්‌සනෙ පඤ්‌ඤා පච්‌චවෙක්‌ඛණෙ ඤාණං

15. අජ්‌ඣත්‌තවවත්‌ථානෙ පඤ්‌ඤා වත්‌ථුනානත්‌තෙ ඤාණං

16. බහිද්‌ධාවවත්‌ථානෙ පඤ්‌ඤා ගොචරනානත්‌තෙ ඤාණං

17. චරියාවවත්‌ථානෙ පඤ්‌ඤා චරියානානත්‌තෙ ඤාණං

18. චතුධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා භූමිනානත්‌තෙ ඤාණං

19. නවධම්‌මවවත්‌ථානෙ පඤ්‌ඤා ධම්‌මනානත්‌තෙ ඤාණං

20. අභිඤ්‌ඤාපඤ්‌ඤා ඤාතට්‌ඨෙ ඤාණං

21. පරිඤ්‌ඤාපඤ්‌ඤා තීරණට්‌ඨෙ ඤාණං

22. පහානෙ පඤ්‌ඤා පරිච්‌චාගට්‌ඨෙ ඤාණං

23. භාවනාපඤ්‌ඤා එකරසට්‌ඨෙ ඤාණං

24. සච්‌ඡිකිරියාපඤ්‌ඤා ඵුසනට්‌ඨෙ ඤාණං

25. අත්‌ථනානත්‌තෙ පඤ්‌ඤා අත්‌ථපටිසම්‌භිදෙ ඤාණං

26. ධම්‌මනානත්‌තෙ පඤ්‌ඤා ධම්‌මපටිසම්‌භිදෙ ඤාණං

27. නිරුත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා නිරුත්‌තිපටිසම්‌භිදෙ ඤාණං

28. පටිභාණනානත්‌තෙ පඤ්‌ඤා පටිභානපටිසම්‌භිදෙ ඤාණං

29. විහාරනානත්‌තෙ පඤ්‌ඤා විහාරට්‌ඨෙ ඤාණං

30. සමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා සමාපත්‌තට්‌ඨෙ ඤාණං

31. විහාරසමාපත්‌තිනානත්‌තෙ පඤ්‌ඤා විහාරසමාපත්‌තට්‌ඨෙ ඤාණං

32. අවික්‌ඛෙපපරිසුද්‌ධත්‌තා ආසවසමුච්‌ඡෙදෙ පඤ්‌ඤා ආනන්‌තරිකසමාධිම්‌හි ඤාණං

33. දස්‌සනාධිපතෙය්‍යං සන්‌තො ච විහාරාධිගමො පණීතාධිමුත්‌තතා පඤ්‌ඤා අරණවිහාරෙ ඤාණං

34. ද්‌වීහි බලෙහි සමන්‌නාගතත්‌තා තයො ච සඞ්‌ඛාරානං පටිප්‌පස්‌සද්‌ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ්‌ඤා නිරොධසමාපත්‌තියා ඤාණං

35. සම්‌පජානස්‌ස පවත්‌තපරියාදානෙ පඤ්‌ඤා පරිනිබ්‌බානෙ ඤාණං

36. සබ්‌බධම්‌මානං සම්‌මා සමුච්‌ඡෙදෙ නිරොධෙ ච අනුපට්‌ඨානතා පඤ්‌ඤා සමසීසට්‌ඨෙ ඤාණං

37. පුථුනානත්‌තතෙජපරියාදානෙ පඤ්‌ඤා සල්‌ලෙඛට්‌ඨෙ ඤාණං

38. අසල්‌ලීනත්‌තපහිතත්‌තපග්‌ගහට්‌ඨෙ පඤ්‌ඤා වීරියාරම්‌භෙ ඤාණං

39. නානාධම්‌මප්‌පකාසනතා පඤ්‌ඤා අත්‌ථසන්‌දස්‌සනෙ ඤාණං

40. සබ්‌බධම්‌මානං එකසඞ්‌ගහතානානත්‌තෙකත්‌තපටිවෙධෙ පඤ්‌ඤා දස්‌සනවිසුද්‌ධි ඤාණං

41. විදිතත්‌තා පඤ්‌ඤා ඛන්‌ති ඤාණං

42. ඵුට්‌ඨත්‌තා පඤ්‌ඤා පරියොගාහනෙ ඤාණං

43. සමොදහනෙ පඤ්‌ඤා පදෙසවිහාරෙ ඤාණං

44. අධිපතත්‌තා පඤ්‌ඤා සඤ්‌ඤාවිවට්‌ටෙ ඤාණං

45. නානත්‌තෙ පඤ්‌ඤා චෙතොවිවට්‌ටෙ ඤාණං

46. අධිට්‌ඨානෙ පඤ්‌ඤා චිත්‌තවිවට්‌ටෙ ඤාණං

47. සුඤ්‌ඤතෙ පඤ්‌ඤා ඤාණවිවට්‌ටෙ ඤාණං

48. වොස්‌සග්‌ගෙ පඤ්‌ඤා විමොක්‌ඛවිවට්‌ටෙ ඤාණං

49. තථට්‌ඨෙ පඤ්‌ඤා සච්‌චවිවට්‌ටෙ ඤාණං

50. කායම්‌පි චිත්‌තම්‌පි එකවවත්‌ථානතා සුඛසඤ්‌ඤඤ්‌ච ලහුසඤ්‌ඤඤ්‌ච අධිට්‌ඨානවසෙන ඉජ්‌ඣනට්‌ඨෙ පඤ්‌ඤා ඉද්‌ධිවිධෙ ඤාණං

51. විතක්‌කවිප්‌ඵාරවසෙන නානත්‌තෙකත්‌තසද්‌දනිමිත්‌තානං පරියොගාහණෙ පඤ්‌ඤා සොතධාතුවිසුද්‌ධිඤාණං

52. තිණ්‌ණන්‌නං චිත්‌තානං විප්‌ඵාරත්‌තා ඉන්‌ද්‍රියානං පසාදවසෙන නානත්‌තෙකත්‌තවිඤ්‌ඤාණචරියා පරියොගාහණෙ පඤ්‌ඤා චෙතොපරිය ඤාණං

53. පච්‌චයප්‌පවත්‌තානං ධම්‌මානං නානත්‌තෙකත්‌තකම්‌මවිප්‌ඵාරවසෙන පරියොගාහණෙ පඤ්‌ඤා පුබ්‌බෙනිවාසානුස්‌සති ඤාණං

54. ඔභාසවසෙන නානත්‌තෙකත්‌තරූපනිමිත්‌තානං දස්‌සනට්‌ඨෙ පඤ්‌ඤා දිබ්‌බචක්‌ඛු ඤාණං

55. චතුසට්‌ඨියා ආකාරෙහි තිණ්‌ණන්‌නං ඉන්‌ද්‍රියානං වසීභාවතා පඤ්‌ඤා ආසවානං ඛයෙ ඤාණං

56. පරිඤ්‌ඤට්‌ඨෙ පඤ්‌ඤා දුක්‌ඛෙ ඤාණං

57. පහානට්‌ඨෙ පඤ්‌ඤා සමුදයෙ ඤාණං

58. සච්‌ඡිකිරියට්‌ඨෙ පඤ්‌ඤා නිරොධෙ ඤාණං

59. භාවනට්‌ඨෙ පඤ්‌ඤා මග්‌ගෙ ඤාණං

60. දුක්‌ඛෙ ඤාණං

61. දුක්‌ඛ සමුදයෙ ඤාණං

62. දුක්‌ඛ නිරොධෙ ඤාණං

63. දුක්‌ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං

64. අත්‌ථ පටිසම්‌භිදෙ ඤාණං

65. ධම්‌ම පටිසම්‌භිදෙ ඤාණං

66. නිරුත්‌ති පටිසම්‌භිදෙ ඤාණං

67. පටිභාන පටිසම්‌භිදෙ ඤාණං

68. ඉන්‌ද්‍රිය පරොපරියත්‌තෙ ඤාණං

69. සත්‌තානං ආසයානුසයෙ ඤාණං

70. යමක පාටිහීරෙ ඤාණං

71. මහාකරුණාසමාපත්‌තියා ඤාණං

72. සබ්‌බඤ්‌ඤුත ඤාණං

73. අනාවරණ ඤාණං

ඉමානි තෙසත්‌තති ඤාණානි. ඉමෙසං තෙසත්‌තතියා ඤාණානං සත්‌තසට්‌ඨි ඤාණානි සාවකසාධාරණානි; ඡ ඤාණානි අසාධාරණානි සාවකෙහි. ඉමේහී තේ සත්තිතියා ඤාණේහි සමන්නාගතං සම්මාසම්බුද්ධං තං සිරසා නමාමී

තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේදී ඒ ඒ බුද්ධ ඤාණයන් මුද්‍රණය කර ඇති කොඩි භාවිත කරන අතර ඒ අසළින් බුද්ධ ප්‍රතිමාවක් තැබීමද සිදු කරනු ලබයි. මේ එක් එක් ඤාණයන්ට පූජාවන් පවත්වන අතර එහිදී අෂ්ට පාන, චතු මධුර ආදී ගිලන්පසද, මල්, සුවඳ දුම්, පහන් ආදිය මෙන්ම පිරිකරද පූජා කරනු ලබයි. පසුව ඉහත දැක්වූ එක් එක් ඤාණය සජ්ඣායනය කරමින් ඒ එක් එක් ඤාණයට පූජා ද්‍රව්‍ය පූජා කරනු ලැබේ.

ඉමහත් ශ්‍රද්ධාවකින් ගෞරවයකින් සිදු කළ යුතු මෙන්ම සිදු කරනු ලබන පිංකමක් ලෙස මේ පිංකම හැඳින්විය හැක. මෙබඳු පිංකමක් සංවිධානය කරනු ලබන පිංවතුන්ගේ හැකියාව මත කරනු ලබන පූජාවන් විවිධ මට්ටම්වලින් කළ හැකි බවද දැක්විය හැක.

කැලණිය තර්ක මැදුරේ සිසුන්ටද උසස් පෙළ විභාගය වෙනුවෙන් ආශිර්වාද පතා මේ පිංකම වාර්ෂිකව පැවැත්වෙන අතර දෙවෙනි වරටත් කැලණිය පෙතියාගොඩ පුරාණ විහාරයේදී පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූප මේ සමඟ ඇත.

එම පිංකම මෙහෙය වන ලද්දේ වාරණ ශාන්ත තපෝවනවාසී පූජ්‍ය එප්පාවල සාගර සුමන හිමිපාණන් වහන්සේය. මේ ලිපිය සැකසීම සඳහාද උන් වහන්සේගෙන් නොමඳ සහයක් ලැබුණු අතර ඒ වෙනුවෙන් උන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන අතරම උන් වහන්සේගේ ශාසනික කටයුතු තව තවත් වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරමි.

මේ ලිපිය කියවා, ඡායාරූප දැක පහන් සිත් ඇතිකර ගැනීමට අන් අයට මග පෑදූ හරි අක්කාටත් පුණ්‍යානුමෝදනා එක් කරන අතරම මේ පිංකම සංවිධානය කළ කැලණිය තර්ක මැදුරේ දුලානි දිසානායක මහත්මියත්, හේමන්ත සරත්චන්ද්‍ර මහතා ඇතුලු සියලුම සිසුවියන්ටත්, දායක වූ සැමටත් පින් :)

සියලු දෙනා කරගත්තා වූ මේ උතුම් කුසල කර්මය නිර්වාණ මාර්ගය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා.............

කැලණිය තර්ක මැදුරින් පෙතියාගොඩ පුරාණ විහාරයේ පවත්වන ලද තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

මතුගම සුමග සමාධි අසපුවේ පැවැත්වුණු තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකමේ ඡායාරූපවලට යන්න

තෙසැත්තෑ බුද්ධ ඤාණවල අරුත සිංහලෙන් දැනගන්න

Friday, September 23, 2011

පුරහද කළුවරින් ආ වන්නිහාමි


ඊයේ දවල් TV දෙරණින් දැයෙන් සමුගත් ප්‍රවීණ රංගධරයෙක් වෙන ජෝ අබේවික්‍රමයන්ට උපහාර පිණිස එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පිළිබිඹු කරන “පුරහඳ කළුවර" චිත්‍රපටිය පෙන්නුවා.

මම ජෝ අබේවික්‍රම හඳුනාගන්නේ පුරහඳ කළුවර චිත්‍රපටියෙන්. මේ චිත්‍රපටිය පස්සේ කාලේ TV එකේ පෙන්නද්දී මටත් බලන්න පුලුවන් වුණා. එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පෙන්වන්නේ ඒ චිත්‍රපටියෙන් කියලා මම කියන්නේ එක්තරා විදිහටකට නිරපේක්ෂව. මොකද මම එතුමන්ගේ බලලා තියෙන එකම චිත්‍රපටිය වෙන්නේ පුරහඳ කළුවර නිසා.

ජෝ අබේවික්‍රමයන් පුරහඳ කළුවර චිත්‍රපටියේ වන්නිහාමි චරිතයට පණ පෙව්වේ නුවර කලාවියේ ගම්මානෙක ඉන්න සෑබෑම වන්නිහාමි විදිහටමයි. එතුමන් නොහිටියා නම් ඒ චරිතය කරන්න වෙනත් සුදුසු නළුවෙක් සොයාගන්න ප්‍රසන්න විතානගේට හැකිවෙයිද කියන එක මට සැකයක්.

චිත්‍රපටිය පුරාම ගැඹුරින් විහිදෙන පිය සෙනෙහස දැක්කාම මට නම් මතක් වෙන්නේ සිංහබාහු වේදිකා නාට්‍යයේ සිංහයා තුළ තමන්ගේ දරුවන් ගැන පවතින ස්නේහය.


පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

නාට්‍යධර්මී නාට්‍යයක පැවතුණ මේ ඇටමිදුළු දක්වා කිඳා බසින පිය සෙනෙහස අතිශය සාර්ථකව රිදී තිරයට ගේන්න ප්‍රසන්න විතානගේ සමත්වුණා. ඔහුගේ හිතේ මැවුණු චරිතයට ජෝ සාධාරණයක් කළා.

ඊට පස්සේ තමන් රිදී තිරයට පිවිසුණු මුල් කාලයේ වගේ නැවතත් හාස්‍යෝත්පාදක චරිතයකට දායක වෙන්න ජෝ අබේවික්‍රමයන්ට හැකිවුණේ සකිසඳ එළියස් නාට්‍යයේ ආරච්චි මහත්තයා විදිහට. ඒ නාට්‍යයට ප්‍රේක්ෂකයන් කොච්චර ඇඳිලා ගියාද කියනවා නම් ඒ ජනප්‍රියත්වය නිසාම ජෝ මහත්තයාගේ අදහසකින් සබඳ පබිලිස් නමින් තවත් නාට්‍යයක් නිෂ්පාදනය වුණා. ඒ නාට්‍යයටත් කෝරළේ මහත්තයා විදිහට සුළු චරිතයකින් දායක වෙන්න ජෝ මහත්තයා කටයුතු කළා.



සබඳ පබිලිස් නාට්‍යයේ කොටසක්

මෑත කාලීනව ජෝ මහත්තයා එහෙමම සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල දැකගන්න බැරිවුණත් DFCC බැංකුව වෙනුවෙන් කළ වෙළෙඳ දැන්වීමෙන් දෙක තුළිනුත් ඔහු සතු අසහාය රංග ප්‍රතිභාව ඉස්මතු වුණා.



ඔයාලටත් මතක ඇති DFCC බැංකුවේ මුදල් තැන්පත් කරන්න එන වැඩිහිටි ගැමියාගේ චරිතයත් ඒ වගේම බැංකුවේ ණයකින් අලුත් ලොරියක් ගෙන්න ගිය තමන්ගේ පුතා එනකම් මුණුබුරාත් එක්ක බලන් ඉන්න සීයගේ චරිතයත් ජෝ අබේවික්‍රමයන් කළා.

කොහොම නමුත් ජෝ මහත්තයා රඟපෑව "දෑස නිසා" චිත්‍රපටියෙනුත් විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා කියලා ඒක බලපු අය නම් කියනවා.



දෑස නිසා චිත්‍රපටියෙන් කොටසක්

මම නම් ඒක බලලා නැති නිසා කියන්න අමාරුයි. කොහොම නමුත් හාස්‍යෝත්පාදක චරිතයේ ඉදලා අතිශය භාවාත්මක චරිතය දක්වාම තමන්ගේ රංග ප්‍රතිභාව අරන් ගිය ඒ ශ්‍රේෂ්ඨ රංගධරයා අපෙන් සමු අරන් ඉවරයි. සිනමා විචාරයක් නොවුණත් ජෝ අබේවික්‍රමයන් ගැන හිතට ආපු අදහස් ටිකක් තමා මේ පෙළ ගැස්සුවේ.......

යෝධයන්ගේ පරපුර ඉවරවේගෙන දෝ යන්නේ කියලා මට මේ මෑතක ඉදන් හිතෙන්න අරන් තියෙන්නේ.............

කොහොම නමුත් ජෝ මහත්තයා ඔබට සුභ රාත්‍රියක්!!!



ප.ලි.: මට පොඩි කරුණු දෙක තුනක් මග ඇරිලා තියෙනවා. 2001 වගේ ආපු "අස්වැසුම" චිත්‍රපටියටත් ජෝ අබේවික්‍රමයන් රංගනයෙන් දායකවෙලා තියෙනවා.

ඒ වගේම 2009 දී මාත් බැලුව "අලිමංකඩ" චිත්‍රපටියෙත් ජෝ මහත්තයා හිටියා. ඒත් අලිමංකඩ චිත්‍රපටියේ නම් විනාඩි 3 ක් විතර වගේ කොටසකට පෙන්නන කඩේක මුදලාලි කෙනෙක්ට තමා එතුමා රංගනයෙන් දායක වුණේ.......

Tuesday, September 20, 2011

මිහස පත්තරේ


අපේ Campus එකේ Peace and Conflict Resolution කරන කොල්ලෝ කෙල්ලෝ set එක මේ දවස් ටිකේ එක දිගට Gym Canteen එකට වෙලා බර කයියක්. මාත් එතනින් යන ගමන් නිකමට ඔළුව දාලා බලද්දී තමයි මේ වැඩේ ගැන දැනගත්තේ.

අපේ Peace set එක ලංකාවේ තියෙන තව Campus කීපෙකම ඉන්න කොල්ලෝ කෙල්ලෝ එක්ක එකතු වෙලා මිහස සංවිධානය හදාගෙන තියෙනවා. මිහස කියන්නේ කෙටියෙන්, දීර්ඝව කිව්වොත් මිනිස් හදවත් සනහමු. මෙන්න මේ අදහසත් එක්ක යන අපේ set එකගේ කතාව මෙන්න මෙහෙමයි.

".............අපි ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා campus ඇවිල්ලා ඉගෙන ගන්න කෙල්ලෝ කොල්ලෝ ටිකක්. අපේ කවුරුත් රෝස මල් යහනා උඩින් BMW වලින් කැම්පස් වැඩම කරපු අය නෑ..........

හරිම සාමාන්‍ය අම්මලාගේ තාත්තලාගේ එක එක විදිහේ දුක විඳලා අද එකම තැනකට ඇවිල්ලා ඉන්නේ. මේ පොඩි ජීවිත කාලෙදී එකිනෙකා ගත කරපු ජීවිත එක එක විදිහයි. හැමෝම ජීවත් වෙන්න ඔයා වගේම හොඳ කට්ටක් කාපු අය.


ලංකාවේ අද දවසේ උපාධිකාරයන්ට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. හොඳට හෝ නරකට හරි ඒකේ අපිත් කොටස්කාරයෝ වෙලා. මේ ජීවිතේ හීනවලින් පුරෝගෙන... පුංචි කාලේ ඉදලාම එහෙමයි. කොච්චරක් නම් හීන හිතේ තියාගෙනද මේ පාරක් පාරක් ගානේ බස් එකක් බස් එකක් ගානේ කඩයක් කඩයක් ගානේ ජීවිතේ දිගේ අපි ඇවිදින්නේ.


ඒ හීන එකින් එක හැබෑවෙන්නත් කලින් එකින් එක දුරස් වෙනකොට ඇස් දෙකට කදුළු පුරෝගෙන අපි අපිම ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙන්න ඔහේ බලාගෙන ඉන්න ඔයාටත් හිතුණද ?


මෙන්න මේ වගේ ප්‍රස්තුතයක් එක්ක තමා මිහස ගොඩනැගෙන්නේ.........


ඉපදිච්ච එකේ ණය මේ මහ පොළවට ගෙවන්න සූදානම් අපේ යෞවනය වෙනුවෙන් කැප වෙන්න මිහස සූදානම්....


දැනුම් සමාජයට නව නිර්මාණශීලී පරිකල්පනය තියෙන අලුතින් හිතන අලුතින් හැදෙන යෞවන පරම්පරාවක් තමා මේ. පරක්කු වෙන්න වෙලාවක් නැහැ. කාලය වේගයෙන් ගෙවෙනවා. හැම තත්පරයක්ම අපට වටිනවා.


මිනිසත්කම, ආදරය දෝතින් අරගෙන මිනිස් හදවත් සනසමු කියන පැතුමත් එක්ක මිහස කටයුතු කරනවා. අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසු කර යාමටය අපි දන්නේ එහෙමයි............."


මෙන්න මේ set එකේ අලුත්ම වැඩේ තමා මේ අදහස් සන්නිවේදනය කරන්න මිහස නමින්ම පුවත්පතක් නිකුත් කරන එක.

ජාත්‍යන්තර සාම දිනය යෙදෙන සැප්තැම්බර් 21 වෙනිදා කොළඹ 7 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී උදේ 8.30 මේ පුවත්පත හා හා පුරා කියලා නිකුත් කරන්න තමා මෙයාලගේ අදහස.


මෙදාට ප්‍රධාන දේශනය සිද්ධ කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය සරත් කොටගම මහතා.

ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය දයා එදිරිසිංහ මහතාත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ අංශාධිපතිනි මහාචාර්ය නයනි මැලගොඩ මහත්මියත් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ කථිකාචාර්ය ඉන්දික පෙරේරා මහතාත් මේකෙදී දේශන පවත්වන්න නියමිතයි.

අලුත් විදිහට හිතන රටේ අනාගතය බාරගන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ කරන වැඩකට අත හිත සවිය දෙන්න කැමති හැමෝටම සාදරයෙන් ආදරයෙන් ආරාධනා කරනවා සැප්තැම්බර් 21 වෙනිදා උදේ 8.30 කොළඹ 7 ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න කියලා.

ඔයාලට එන්න කියන්නේ Hall එක පුරවන්න, පුටු පුරවන්න නෙමෙයි. ඔබේ පැමිණීම ඇත්තටම වැදගත් නිසාමයි…………..



මිහස වෙබ් අඩවියට http://mihasayouthforpeace.org/

Friday, September 16, 2011

සඟ රස බස් - 3



සඟ රස බස් කියලා මම කතා දෙකක් ලිව්වා කාලෙකට ඉස්සර. ඒවා ඉතින් උපුටා ගත්තු කතානේ. අද කියන්න යන්නේ මමම අහපු සඟ රස බස් කීපයක්.

මම කාලයක් කඩවත පැත්තේ තිබුණු ඉංග්‍රීසි පංතියකට ගියා. ඒකේ හාමුදුරුවරු දෙනමකුත් හිටියා. Class එක පටන් ගත්තු මුලම දවස්වල වගේ interval එකකදී ආගිය තොරතුරු කතා කර කර ඉද්දී හාමුදුවරුන්ගේ නිකාය මොකක්ද කියන ප්‍රශ්නේ ආවා.

එක හාමුදුරු නමක් කිව්වා තමන් අමරපුර නිකායේ බව.

අනිත් හාමුදුරුවෝ හිනා වෙවී කිව්වා තමන් ඛුද්දක නිකායේ කියලා.

ඒක කියපු විදිහට අපි කීප දෙනාටත් හිනාගියා.

අනිත් හාමුදුරුවෝ ඇහුවා "මොකක්ද හාමුදුරුවනේ ඒ නිකාය. ලංකාවේ තියෙන්නේ අමරපුර, සියම්, රාමඤ්ඤ කියන නිකාය තුන විතරනේ" කියලා.

පස්සේ ඛුද්දක නිකායේ හාමුදුරුවෝ තමන්ගේ නිකාය ගැන විස්තරේ කළේ මෙන්න මෙහෙමයි."පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධ ධර්මේ නිකාය 4 කට බෙදුවනේ දීඝ නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මජ්ඣිම නිකාය කියලා. ඒවාට දාන්න බැරි ඉතුරු වුණු ජාතක කතා පාලිය, ධම්මපදේ, ථේර ථේරී අපදානේ වගේ ඒවා දැම්මේ ඛුද්දක නිකායටනේ.

ඒ වගේ මම ඉන්න පන්සලෙත් හැම නිකායේම වගේ හාමුදුරුවරු ඉන්නවා. ඒ නිසා අපි එකතු වෙලා අළුත් නිකායක් හදාගත්තා ඛුද්දක නිකාය කියලා :))

-----------------------------------------------------------------------------------------------

මෙන්න අනිත් කතාව. අපේ පන්සලේ දාන ශාලාවේ ඔරලෝසුව දැන් කාලයක් තිස්සේ ඉදන් වැඩ කරන්නේ නැහැ. කවුරුත් බැටරියක් දාන පාටකුත් නැහැ.

මම දවසක් ඕක පොඩි හාමුදුරුවන්ගෙන් අහපුවාම පොඩි හාමුදුරුවෝ කියනවා "හසිත අයියා දැක්කද ඔරලෝසුව නතර වෙලා තියෙන්නේ කීයටද කියලා මම බලලා කිව්වා 11.25 ට.

එතකොට හසිත අයියේ ඕන වෙලාවක අපිට දාන ශාලාවට ඇවිත් දානේ ගන්න පුලුවන්නේ. 11.30 කලින්නේ දානේ ගන්න ඕනේ. එතකොට කැපයි. අපි විද්‍යානුකූලව හිතලයි එහෙම කරලා තියෙන්නේ "
කියලා

-------------------------------------------------------------------------------------------------

අපේ දහම් පාසලේ පහුගිය අවුරුද්දේ තිබුණු ත්‍යාග ප්‍රදානෝත්සවේ කතාවක් මම මීට කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේකත් ඒ උත්සවේදීම සිදුවුණු සිද්ධියක්.

උත්සවේ ආරම්භ වෙන්න කලින් ධජ එසවීමක් තිබුණා. ඒකෙදී ජාතික කොඩිය ඔසවන්න අපේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හාමුදුරුවන්ටත් බෞද්ධ කොඩිය ඔසවන්න ලේඛකාධිකාරී හාමුදුරුවන්ටත් භාරවෙලා තිබුණේ.

ඉතින් සම්භාවනීය අමුත්තෝ ඔක්කොම වට කරගෙන ඉද්දී සභාපති හාමුදුරුවොයි, ලේකම් හාමුදුරුවොයි ධජ ඔසවන්න පටන් ගත්තා. සභාපති හාමුදුරුවෝ ජාතික කොඩිය ඔසවලා ලණුව කොඩි ගහේ ගැටගහන්න ගත්තා විතරයි කොඩිය කඩාගෙන බිමට වැටුණා.

හාමුදුරුවෝ හයියෙන් ඇද්ද නිසා නම් නෙමෙයි ඕක වුණේ. මම හිතන විදිහට අපේ දහම් පාසලේ අප්පුහාමිලා ගහපු බුලක් නිසා තමයි ඕක වුණේ :)

කොහොම හරි ලේකම් හාමුදුරුවෝ පරිස්සමට බෞද්ධ කොඩිය එසෙව්වා. අන්තිමට ජාතික කොඩිය නැතත් ජාතික ගීය ගායනා කරලා අමුත්තෝ උත්සව ශාලාවට පිටත් වුණා. නායක හාමුදුරුවරු උත්සව ශාලාවට වඩින ගමන් ලේකම් හාමුදුරුවෝ ඔක්කෝටම ඇහෙන්න හයියෙන් කිව්වා.


"අපේ සභාපති හාමුදුරුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේනේ. සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය කඩලා ගත්තා වගේ සභාපති හාමුදුරුවොත් සිංහ කොඩිය හයියෙන් ඇදලා කඩලම දැම්මා නේද ?" :))

------------------------------------------------------------------------------------------------

සම්බුද්ධත්ව ජයන්තිය තිබුණනේ. හැම පන්සලේම හරි හරියට පින්කම් කළානේ. අපේ පන්සලෙත් සතියෙම පින්කම් තිබුණා.

නායක හාමුදුරුවන්ටත් බරටම වැඩ. වෙසක් පෝය දවසේ උදේ ඉදන් පන්සලේ වැඩ බලන ගමන් ධර්ම දේශනා කීපයකටත් වඩින්න වුණා. හවස භක්ති ගීතයක් තිබුණා.

ඒකෙත් වැඩ බලන්න ආපු ගමන් නායක හාමුදුරුවෝ හොඳටම මහන්සි පිට මට කියනවා "බලනවා හසිත මේ දවස් ටිකේම එක දිගටම පින්කම්, බණ, පිරිත්. හරියට නිදාගන්නවත් වුණේ නැහැනේ. අනේ ඇත්තටම සිදුහත් බෝසතාණන් වහන්සෙත් බුදු වුණානේ" කියලා

------------------------------------------------------------------------------------------------

මේ කතා දෙක නම් කට්ටිය දන්නවත් ඇති. දවසක් හවස පන්සල් ආපු උපාසක අම්මා කෙනෙක් පොඩි හාමුදුරුවෝ ගැන චෝදනාවක් නායක හාමුදුරුවන්ට කරන්න ගත්තා.


"බලන්න නායක හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ පේර ගහට වඩිනවා, පොකුණට වඩිනවා. එහෙම හොඳද මම අහන්නේ" කියලා.

ටියුබ් ලයිට් කට්ටියට කියන්නේ පොඩි හාමුදුරුවෝ පේර ගහට නැගලා පොකුණට පනිනවා කියන එක තමා උපාසක අම්මා අර විදිහට කිව්වේ. හාමුදුරුවෝ සම්බන්ධ කටයුතුවලදී භාවිතා කරන්නේ වඩිනවා කියන වචනේ නිසයි මෙහෙම වුණේ :))

------------------------------------------------------------------------------------------------

මේත් ඒ වගේම කතාවක්. අලුත මහණ වුණු පොඩි හාමුදුරුවෝ කතා කරද්දී හුඟාක් වෙලාවට කනවා, ආවා, ගියා වගේ වචන පාවිච්චි කරන නිසා නායක හාමුදුරුවෝ අවවාද කළා.

"පොඩි නම දැන් හාමුදුරු නමක් නිසා කතා කරන්න ඕනේ ගිහි කාලේ වගේ නෙමෙයි. කනවා කියන එකට කියන්න ඕනේ වළදනවා කියලා, ආවා ගියා වගේ ඒවාට පාවිච්චි කරන්නේ වඩිනවා කියන එක. තේරුණාද පොඩි නම" කියලා.

ඔය සිද්ධියෙන් දවස් දෙක තුනකට පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සලට හයියෙන් දුවගෙන [වැරදීමක්... හයියෙන් වැඩගෙන] එනවා.

නායක හාමුදුරුවෝ ඇහුවා "මොකෝ පොඩි නම ?" කියලා.

පොඩි හාමුදුරුවෝ මෙහෙම කියනවා "ලොකු හාමුදුරුවනේ, මම පන්සලට වඩිද්දී බල්ලෙක් වැඩියනේ [ආවා] මාව වළදන්න [කන්න]. මමත් ඉතින් හයියෙන් වැඩගෙන වැඩගෙන එද්දී බල්ලත් හයියෙන් වැඩගෙන [දුවගෙන] එනවා. කොහොම හරි මම හයියෙන් වැඩිය නිසා සිවුරත් පාරට වැඩියා [ගියා] " කියලා

ප.ලි.: මේ කතා අපහාසයක් පිණිස නොව හුදෙක් කතා පිණිසම ලියූවක් බව පහන් සිත් ඇත්තෝ වටහා ගනිත්වා...............

Tuesday, September 13, 2011

නිකම් කතා තුනක්

පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.

එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)

මිස් car එකෙන් තන්තිරිමලේ කුඹුරක් හාපු හැටි

ආහ් මිස්ගේ car එක කිව්වාම මතක් වුණේ ඒ car එක ගැන ඔයාලා දන්නවා. අර අර තන්තිරිමලේ ගිහින් කුඹුරක් හෑවේ අන්න ඒ car එකෙන් තමයි :))

ඉතින් Book Launch එකට යන එන අතර තුර අපි කීපදෙනායි මිස් සහ සර් අතර වුණු කතා තුනක් තමයි මේ.....

------------------------------------------------------------------------------------------------

කතා අංක 1


මම : මිස් දන්නවාද මට දැන් Phone එකට දෙරණ newa alert එකක් ආවා. ලංකාවේ මිනිස්සු 40 ක් හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න යද්දී Navy එකෙන් අල්ලගෙන......

මිස් :කොහොමද එවුන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් තියෙන්නේ ?? උඩින්ද ???

මම : උඩින් යන එවුන්ව කොහොමද මිස් මුහුදේ ඉන්න Navy එකෙන් අල්ලන්නේ :)) ඔන්න මුහුදෙන් පනින එවුන්ව නම් අල්ලයි :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 2



Book Launch එකට එන්න කියලා අපිට call කරලා තමයි එන්න කිව්වේ. ඉතින් Invite කරන එක එක විදි ගැන කතාවක් ඇදිලා යද්දී තමා මේ කතාවට ආවේ.......

සර් : නුවර පැත්තේ නම් ආරාධනාවක් ලැබෙන්නේ නැතුව මොකක් හරි එකකට ගියාම කෙළින්ම මූණටම අහනවා "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා

ගිහාන් : එහෙම අහද්දී ඉතින් වළක් කපාගෙන පනින්න තමයි හිතෙන්නේ නේද සර්

මම : හැබැයි ඉතින් අපිට මෙහෙමත් කියන්න පුලුවන් චාටර් වෙන්නේ නැතිවෙන්න. එහෙන් අහද්දී "මොකද මේ පැත්තේ ආවේ උවමනාවකටද ?" කියලා කියන්න තියෙන්නේ "නෑ මේ උදැල්ලක් ඉල්ල ගන්න ආවේ" කියලා.

එතකොට උනුත් බලනවානේ මූ මොකටද උදැල්ල ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කියනවා "නෑ මේ පොඩි වළක් කපාගෙන ඒකට පනින්න" කියලා :))

----------------------------------------------------------------------------------------------

කතා අංක 3


Book Launch එක ඉවරවෙලා ආපහු ගෙදර යද්දී සර් එක පාරටම car එක නැවැත්තුවා. අපිත් එක පාරටම ගැස්සුණා මොකද සර් හදිසියේම කාර් එක නැවැත්තුවේ කියලා..........

සර් : බබා දැක්කද deepest sympathy බැනර් එක. අපි මේ මළ ගෙදරට පොඩ්ඩක් ගොඩවෙලා යමු

මිස් : පිස්සුද බබා ඔයා මේ මනුස්සයාව දන්නවා ???

සර් : නෑ බබා මම මේ නිකමට කිව්වේ [ සිනා :)) ]

ගිහාන් : යමු යමු සර්. අපි ඇඳන් ඉන්නෙත් සුදු ෂර්ට්නේ. අද තමයි දවස

සර් : ඒක නෙමෙයි ඇත්තටම මම මළ ගෙදරකට වැරදිලා ගිහින් තියෙනවා. පස්සේ තමයි දැනගත්තේ මම යන්න ඕනේ මළ ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියලා :))

------------------------------------------------------------------------------------------------

ප.ලි.: අපේ Logic Class එකේ තව හොඳ හොඳ කතා කියවන්න කැමති නම් යන්න Logic Class කතා

ප.ප.ලි.: ඉදිරියේදී පළවීමට නියමිත කතා ලැයිස්තුව මුහුණු පොතට එක් කළෙමි. හුදී පහන් ජන සංවේගයට මෙයටද එක් කරමි :))

1. සඟ රස බස් - 3
2. තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම
3. මහින්දාගමනයට මහා shot එකක්


Bindi අක්කා
කිව්වා හරිය. ලිස්ට්වලට කතා ලිවීම අපහසුය :))

රස කැමැත්තෝ රස විඳිත්වා..........

Saturday, September 10, 2011

වානගුරු සර්

Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්‍යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියලා කිව්වා.

මුල්ම category එකෙන් මම හුඟක් කැමති History ත් දෙවෙනි category එකෙන් කලු කපුටෝ සුදු කරන Logic ඒ වගේම අන්තිම category එකෙන් මටත් දේශපාලනේ කරන්න පොඩියට වගේ idea එකක් තියෙන නිසා Political Science ත් තෝරගත්තා.

Political Science එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාව period එක වෙලාවට අනිත් periods එහෙම කට් කරන අපේ අයියලා ටිකත් ඔක්කොම වගෙ පංතියේ හිටියා. මට තේරුණා සර් නම් පොරක් බව. Period එක වෙලාවට කට්ට කලු හැබැයි පට්ට සුදු දත් ටිකක් තියෙන වානගුරු සර් පංතියට ආවා.

වානගුරු සර්

පාඩම් කියල දෙන විදිහත් සර්ගේ නියමයි. මගෙන් ප්‍රශ්න දෙක තුනක් අහලා මට ලියාගන්න බැරිවුණු notes එහෙමත් සම්පූර්ණ කරගන්න කියලා සර් කිව්වා. පංතියේ set එකෙන් දැනගන්න ලැබුනු විදිහට සර් NCC Captain කෙනෙක්. අලුතින් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. ශිෂ්‍ය භටයන් භාරව ඉන්නෙත් සර්ම තමා.

ඉතින් A/L කරපු අවුරුදු දෙකේ රසවත් සිද්ධි බොහොමයි. කොල්ලෝ සර්ට දාලා තිබුණු කාඩ් එක තමයි ඩැඩී. මොකද සර්ගේ නමේ මුල් අකුරු තුන තමයි D.A.D . ඒ වගේම ආදරේට වගේ "වානේ" කියලා නම කෙටි කරලත් කිව්වා.

සර් හැමෝටම එකම හැන්දෙන් තමා බෙදුවේ. පංතියේ ඉන්න කොච්චර දක්ෂ ළමයෙක් වුණත් වැරැද්දක් කළොත් දඬුවම් දෙන එක සර් කළා. මට ඒක හොඳටම මතක පංතියේ Political Science වලට හෙණම මීටරෙන් හිටිය ඕෂධිටත් මොකක් හරි සීන් එකකට දඬුවම විදිහට ඩෙස්ක් එක යටට රිංගන්න කියපු එක.

පංතියේ සර්ත් එක්ක කිසි ගේමක් නැතුව හොඳට ඉන්න නම් කරන්න තිබුණේ එකම එක දෙයක් "සර් පාඩම ඉගැන්වුවාම හොඳට ප්‍රශ්න අහන්න ඕනේ" ඒ method එක දැනගෙන හිටිය අපි කීප දෙනෙක්ම සර් එක්ක හොඳට හිටිය කිසි අවුලක් නැතුව.

එක පාරක් term test එකේ political science paper එක වෙලාවේ සර් පංතියේ ඉද්දිම මම මගේ එහා පැත්තේ හිටිය එකාට MCQ උත්තර ටික පෙන්නුවා.

පහුවෙනිදා උදේම සර් ඇවිත් අපි දෙන්නට කතා කරලා කියනවා "හසිතගෙත් MCQ paper එකේ 38 ක් හරි, අකලංකගෙත් MCQ 38 ක් හරි. හසිතගේ 14, 25 ප්‍රශ්න වැරදියි, අකලංකගෙත් ඒ ප්‍රශ්නම වැරදියි. මෙතන වුණේ මොකක්ද කියලා මම අනිවාර්යයෙන් හොයලා බලනවා" කියලා.

පස්සේ ඉතින් ඇත්තටම වුණු සිද්ධිය අකලංක සර්ට කිව්වා. පස්සේ සර් කියනවා "මට කේන්ති උඹලා දෙන්නා කොපි කරපු එකට නෙමෙයි. මෙතන මම පංතියේ ඉද්දිම උඹලා දෙන්නා මගේ කනෙන් රිංගලා මේ වැඩේ කරපු එකට" කියලා :))

කොහොම හරි අන්තිම දවස්වල අපි ඉස්කෝලේ යන්නෙත් නැහැනේ. සර් ගෙදරත් අපේ ළමයින්ව තියාගෙන ඉගැන්නුවා. මට නම් ඒවාට යන්න වුණේ නැහැ. මොකද මම කියලත් ඇති අපේ Logic මිස්ගේ නේවාසික පාඨමාලාවත් මට සෙට්වෙලා තිබුණනේ.

අපේ අන්තිම parents meeting එකේදී සර් අපේ තාත්තත් එක්ක මට පලු යන්න බැන්නා මම ඒ classes වලට ආවේ නැහැ කියලා. කොහොම හරි A/L Political Paper එක ලියලා ඉවරවෙලත් මම මුලින්ම සර්ට කතා කරලා paper එක ගැන විස්තරේ කිව්වා.

සර් ගැන මට තියෙන සොඳුරුම මතකය ගැන තමයි මේ කියන්න යන්නේ. මට උගන්වපු හැම ගුරුවරයෙක්ටම මම පොඩි තෑග්ගක් දුන්නා. තෑග්ග තමයි E.R. බ්‍රේත්වෙට් ලියපු To Sir with Love පොතෙන් මුදිත ගුණතිලක සිංහලයට පරිවර්තනය කරපු "ගුරු තරුව ඔබයි" පොත. මේ පොත ගැන මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. කැමති නම් කියවලා බලන්න.

To Sir with Love පොතෙන් තැනුණු චිත්‍රපටිය

ඒ වගේම මම පොතේ මුල් පිටුවේ පොඩි නිසඳැසකුත් ලියලා තිබුණේ.

පිපෙන්නට ළං වූ
මල් කැකුළකට
උපකාරයක් වූ
හිරු කිරණක් මෙන්
ජීවිතයේ බාධක මැද
අභියෝග මැද
ජයග්‍රහණය කර යන්නට
ඔබෙන් ලද මඟ පෙන්වීමට
ඔබට පිදෙන ප්‍රණාමයි
දයාබර ගුරු පියාණෙනි

ඒ දවස්වල ඒ කියන්නේ After A/L කාලේ අපි Senior Prefectsලා විදිහට ඉස්කෝලේ ඉන්න කාලේ. පොත දීලා දවස් දෙක තුනකට පස්සේ මට වානගුරු සර්ව හම්බුණා.

සර් කිව්වා "හසිත මෙච්චර කාලෙකට මගේ ගෝලයෙක්ගෙන් මට හම්බුණු අමතක නොවෙන තෑග්ගක් තමයි ඒ පොත. මම ඒක එක හුස්මට කියෙව්වා. ඇත්තටම වටින කියන පොතක්. මම ඒක Principalටත් ගිහින් දුන්නා කියවන්න. මගේ ගෝලයක් මට දීපු තෑග්ගක් කියලා"

පස්සේ A/L Results ඇවිත් මට Law Faculty යන්න පුලුවන්කම තියෙද්දිත් කැලණි Campus එකේ History කරන්න යන්න හදන එක ගැන සර් හුඟාක් දුක් වුණා වගේම දවසක් සර් පංතියක උගන්වන වෙලාවක මට එන්න කියලා පංතියේ ළමයින්ටත් මගේ කතාව කියලා මාව හුඟාක් වර්ණනා කළා.

අර කලින් කතාවේ ඉතුරු ටික වගේම හොඳම ටික තමයි මේ.

දවසක් ඕෂධී [අර ඩෙස්ක් එක යට රිංගලා හිටිය පොර] කතා කරලා කිව්වා. වානගුරු සර්ව දෙහිවල දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට transfer කරලා. සර් තමයි දැන් ඒ ඉස්කෝලේ අලුත් Principal කියලා.

මම සර්ට wish කරන්න call එක ගත්තාම සර් කිව්වා "මම හසිතට කතා කරන්න හිටියේ. අලුත් ඉස්කෝලෙට ගිහින් තමා දවස් තුනයි. ඉස්කෝලට ගිය මුල්ම දවසේ මම Staff meeting එකක් ගත්තා.

ඒකෙදී ඔයා මට දීපු පොත පෙන්නලා, ඒ පොත මට දීපු ගෝලයා ගැනත් කියලා හැම ගුරුවරයෙක්ටම ඒ පොත අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න කියලා මම කිව්වා"
කියලා......

ගෝලයෙක් විදිහට මට ඇත්තටම ඒ කතාව අහපුවාම හරිම සතුටුයි :)

ඉතින් තව තවත් දැයේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න සර්ට හැකිවෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා

සර් අලුත් ඉස්කෝලේ කරන වැඩ ගැන මේ එකෙන් දැනගන්න පුලුවන්

http://www.dehiwalacentral.edu.lk/

ප.ලි.: හදිසියේම මේ කතාව කියන්න මතක් වුණේ මගේ අම්මත් ගුරුවරියක්. අම්මලාගේ ඉස්කෝලේ ළමයි ගිය අවුරුද්දක් ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්මලාටත් දීලා තිබුණේ ඒ පොත. ඒක මේ ළඟදී කියෙව්වා. ඒකත් එක්කම ඒ පොතත් එක්ක බැඳුණු මගේ සුන්දර මතකයත් සිහිය ආවා.................

ප.ප.ලි.: ලියන්නම් කියලා කිව්ව කතා list එකෙන් පිට කතාවක් තමයි මේක. මහින්දාගමනය film එක ගැන post එක ලියලා ඉවරයී. ඒකේ තියෙන අඩුපාඩු ටික හරියටම නිවැරදි කරගත්තාට පස්සේ ඒක publish කරන්නම්.

තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම ගැන විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ. post එක ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඔක්කෝම comming soon :))

මුට මොකද වුනේ කියලා කීප දෙනෙක් හොයලත් තිබ්බා. ඒ හැමෝටමත් පින් :)