මේ ඉන්නේ අපේ සීයයි මමයි අයියයි. සීයාගේ දකුණු අත පැත්තේ ඉන්නේ මම තමාඅපේ සීයා ගැන මම දවසක් පොඩි කතාවක් කිව්වා කට්ටියට සමහර විට මතක ඇති
"කට්ටියට එක එක කාඩ් වැටුණු හැටි, දාගත්ත හැටි ගැන කියපු කතාවක්" එක්ක. සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහන සහෘදයන්ගේ සීයලා ගැන posts කීපෙකුත් මෑත කාලයේ කියවන්න ලැබුණානේ. විශේෂයෙන්
අපේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කතන්දර සීයා ගැන කියපු කතාව කට්ටියට මතක ඇති.
අපේ සීයා ගැන කිව්වොත් මගේ කතන්දර කියන skill එක මට ආවේ අපේ සීයාගෙන්. කතන්දර, කවි, තේරවිලි වගේ ගොඩාක් දේවල් සීයා මට කියලා දුන්නා. ඒ වගේම සීයා හුඟාක් ආගම දහමට ලැදි කෙනෙක්. මාවත් පොඩි කාලේ ඉදන්ම පන්සල් එක්ක ගෙන ගිහින් මාවත් ආගම දහමට ලැදි මනුස්සයෙක් කලේ සීයා. අයියයි මායි දෙන්නව පොඩි කාලේ ඉදන්ම සිල් ගන්න එක්ක යන එක සීයා කළා. තාමත් හැන්දෑවට බුදුන් වැදලා පිරිත් කියන කාර්යය මට හුරු කළේ සීයා.
අපේ සීයා ගිහි පිරිත් කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් සීයා පිරිතකට ගියාම සීයා එනකම් මම බලාගෙන ඉන්නේ. මොකද සීයා අනිවාර්යයෙන් මටයි අයියටයි සූකිරි ගේනවා.
ඇත්තටම මම පොඩි කාලේදී අම්මා තාත්තා එක්ක ඉන්නවටත් වැඩියෙන් ඉන්න ආසා වුණේ සීයත් එක්ක. ඒ දවස්වල පාරේ යන කොල්ලෝ මාව අවුස්සන්න මට ඇහෙන්න කෑ ගහනවා "සීයා අපේ" කියලා. එතකොට මම උන්ට මදි නොකියන්න බනිනවා "සීයා මගේ" කියලා.
ඉතින් අපේ සීයා කියන්නේ අපේ තාත්තාගේ තාත්තා අවුරුදු 94 ක් ආයු වළඳලා තමා අපෙන් වෙන් වුණේ. සීයගේ 93 වෙනි උපන් දිනේ වෙලාවෙත් අපි මුණුබුරු සෙට් එක කිව්වේ සීයේ 100 ක් කොහොම හරි බැට් කරන්න ඕනේ කියලා. ඒත් 2005 අවුරුද්දේ මැයි මාසේ මුල් සතියේ ආච්චී (තාත්තාගේ අම්මා) අපෙන් වෙන්වුණා. ආච්චී අපෙන් වෙන්වෙලා සති 2 ක් යන්න කලින් සීයත් අපෙන් වෙන්වෙලා යන්න ගියා.
මට මුලින් කියන්න බැරි වුණානේ අපේ සීයාගේ නම ගුණසීල. නමේ හැටියටම තමන්ගේ ජීවිතේ ගත කරපු කෙනෙක් තමා අපේ සීයා.
ඉතින් මට සීයා ගැන මතකය ආයි අළුත් වුණේ දවසක් නිකම් කල්පනා කර කර ඉන්න වෙලාවක සීයා කියාදීපු කවි වගයක් මතක් වුණු නිසා.........
කන්දේ ගෙදර කළු සීයගේ සුදු රැවුල
නින්දේ සිටින විට කපලා හරි අවුල
පින්කම් ගොහින් පොඩි අයියා නිදි මරලා
හොඳටම නිදා ගත්තා උදයේ ඉදලා
මල්ලී කොහේදෝ ඉද දුවලා ආවා
ඇන්ඳා දැලි රැවුල මූණේ හැඩ තියලා
ඔළුවේ දමාගෙන මුට්ටියක් කළු පාට
කොළපත් මූණ බැඳගෙන යනවා රෑට
මේ කොළපත් යකා දවසක් හැන්දෑවේ
දැකලා උණ ගැනුණි නැන්දට කැස්බෑවේ
අපගේ විමල් මල්ලී හරි දඟ මල්ල
උදේ ඉදන් රෑ වෙනකම් දැඟලිල්ල
ආවා දිනක් ලොකු මාමා හෙට්ටිපොළ
බුලත්වලට කැව්වා ගම්මිරිස් කොළ
කොළ මැදිරියේ වෙද මාමගේ බෑග් එක
අත පත ගගා උන්නා මල්ලී දිනෙක
වෙද මාමා ලෙඩාගේ ඇඳ ලඟට ගොහින්
බෑගය ඇරිය කල ගෙම්බෙක් පැනපි එයින්
එදා පටන් වෙද මාමා අපේ ගෙට
ආවොත් අතේමයි බෑගය සෑමවිටමේ කවිවල සමහර පේළි අඩුයි. ඒවා මට දැන් මතක නැහැ. ඒ වගේම මේ කවි කවුරු හදපුවාද, තියෙන්නේ මොන පොතේද කියලා මම තාම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ.
ප.ලි.: සීයාගේ නම ගුණසීල ඒ වගේම සීයා හිටියා කියලා මම කිව්වනේ. ඒ වගේමයි සීයාගේ මුණුබුරාත් නම හසිත. නමේ හැටියට ඒ කොළුවා ඉන්නේම හිනාවෙලා සන්තොසෙන් :))