
[ඡායාරූපය ලබාගත්තේ
දුමීගේ කට කහන කතා blog අඩවියෙන්]
ඊයේ රෑ සින්ඩියට ගොඩ වැදුණු ගමන් ඇහැ ගැටුණේ අපේ blog සහෘදයෙක් වන පූසන්ගේ බ්ලොග් ගඩොල් blog එකේ
"නිවන් සුව අත්වේවා!" නමින් දාලා තිබ්බ post එක. ඒකේ සඳහන් වුණේ
"තම තම නැණ පමණින්" බ්ලොග් අඩවිය පවත්වාගෙන කුමුදු පින්තු මහතා අභාවප්‍රාප්ත වුණා කියන එක.
Openarc ආයතනයේ අළුත් අවුරුදු උළෙලට සහභාගි වුණු කුමුදු පින්තු මහතා [ඡායාරූපය ලබාගත්තේ රජින්ද්‍ර ඩයස් සොයුරාගේ Facebook Account එකේ තිබුණු Photo Album එකකින්]
ඒක අහපු ගමන් මට මුලින්ම මොකුත් හිතාගන්න බැරිවුණා. එතුමා අන්තිමට තමන්ගේ blog එකට post එකක් ලියලා තිබ්බේ ජූලි 21. ඊට පස්සේ මොකුත් ලියලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් පින්තු මහත්මයා දවස් දෙක තුනකට සැරයක් අළුත් post එකක් දාන නිසා මටත් ගැටළුවක් තිබුණා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් ඒකට උත්තරේ මෙහෙම එකක් වෙයි කියලා නම් මට හිතුනේ නැහැ.
අන්තිමටම ඒ කියන්නේ ජූලි 21 වෙනිදා
"මිනීමල් හා මරණයට ඇති බිය" නමින් දාපු psot එකෙන් පින්තු මහත්මයා හුඟක් කතා කරලා තිබුණේ මරණය ගැන. ඒ වගේම තමන්ගේ මරණයත් ආසන්න බව.
එතුමා තමන්ගේ ගුරුතුමා වුණු
උත්තම සාදු ගැන කියපු කතාවේදී උත්තම සාදු අපවත් වෙන්න කලින් උත්තම සාදුව ළඟින් ඇසුරු කරපු හැමෝටම ඒක කියලා ගියා වගේ තමන් ජීවිතයෙන් සමුගන්න කලින් ව්‍යංගයෙන් ඒක ගැන තමන්ගේ බ්ලොග් සහෘදයන්ට කිව්වා කියලයි මට නම් හිතෙන්නේ.
ඒ post එකේ තිබුණු එක් කොටසක මෙහෙම තිබුණා.
"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"කුමුදු පින්තු මහත්මයා මගේ සැබෑ ජීවිතයේදී ගුරුවරයෙක් නොවුණාට සිංහල බ්ලොග් අවකාශය තුළදී ගුරුවරයෙක් වුණු බව කියන්න ඕනේ. බුදු දහම, පරිගණක තාක්ෂණය, ගණිතය, ජීවිතය ගැන එතුමා අපි හැමෝටම පාඩම් කියාදුන්නා කියන එක සිංහල බ්ලොග් අවකාශේ ඉන්න සෑම අයෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා කියන එක මට විශ්වාසයි.
එතුමා ගැන කතා කරද්දී මට විශේෂයෙන් මතක් වෙන සිද්ධියක් තමයි මේ.
අපේ Campus එකේ Computer Studies Subject එක කරන ළමයිට මේ දවස්වල උගන්වන්නේ C Language එක. ඒක තේරුම් ගන්න අමාරුයි කියලා තමා හුඟක් අය කිව්වේ. ඒ වෙලාවේ මට මතක් වුණේ කුමුදු පින්තු සර්ව. එතුමා C Language එක ගැන posts කීපයක් ලියලා තිබුණු බව මට මතක් වුණා. පස්සේ මම ඒ ටික මගේ යාළුවන්ට print කරලා දෙන්න කලින් ඒ ගැන කුමුදු සර්ගෙන් විමසීමක් කළා.
"අපේ කැම්පස් එකේ [කැලණිය විශ්වවිද්‍යාලයේ] Computer Studies එහෙමත් නැත්නම් COST එක කරන කට්ටියට මේ දවස්වල උගන්වන්නේ C language එක. ඉතින් ඊයේ ඒ subject එක කරන කෙනෙක් එක්ක කතා කර කර ඉද්දී එයා කිව්වේ හරි අමාරුයි C language එක තේරුම් ගන්න. කිසි පොතක් සිංහලෙන් නැහැ කරගන්න අමාරුයි කියලා.
මට ඒ වෙලේ මතක් වුණේ ඔබතුමා C language එක ගැන blog එකේ posts කීපයක් ලිව්වා නේද කියලා. මම ඒ ටික ඔක්කොම print කරලා එයාට දෙන්න තමා හිතුවේ. ඒ ගැන ඔබතුමා දැනුවත් කරලා අවසර ගන්න තමා හිතුවේ. ඒ වගේම තව ඉදිරියටත් ඒ ලිපි පෙළ ලිව්වොත් ඒ අයගේ යහපතට හේතු වෙයි කියලා විශ්වාස කරනවා." ඒකට කුමුදු සර් දීපු පිළිතුර තමා මේ.
"කෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කිසිම දෙයකට අවසර ගන්න ඕනෑ නැහැ කාගෙන් වත්. මම ඒ ලිපි පෙළ ඉදිරියට ගෙන යන්න උත්සාහ ගන්නම්. දිරි ගැන්වීමට ස්තුතියි."
එහෙම කියලා නොනැවතුණු කුමුදු සර් මම එහෙම කියපු දවසට පස්සේ දවසේ ඒ කියන්නේ ජූනි 18 වෙනිදා C language එක ගැන posts 3 ක් එකවර පළකලා. මම ඒ වෙලේ එතුමාගෙන් ඇහුවා මේ වගේ තවත් ලිපි කීයක් විතර ලියන්න බලාපොරොත්තු වෙනවාද ? කියලා. ඒ වෙලේ කුමුදු සර්ගේ පිළිතුර වුණේ "සීයක් හමාරක්" කියන එක.
ඒත් අන්තිමට අපි කවුරුත් නොසිතූ වෙලාවක එතුමා අපෙන් සමුගත්තා.
මම අද Campus එකේදී කුමුදු සර්ගේ note එක මම බෙදලා දීපු යාළුවන්ටත් මේ සංවේගදායක ආරංචිය කිව්වා. එයාලත් දුක් වුණා මේ වගේ වටිනා ගුරුවරයෙක්ගේ අහිමි වීම ගැන.
මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි
"රූපං ජීරති මච්චානං - නාම ගොත්තං න ජීරතී" ඒ කියන්නේ
රූපය දිරයි, නාමය නොදිරයි. කුමුදු සර් සිංහල බ්ලොග් අවකාශයට කළ මෙහෙය සිංහල බ්ලොග් අවකාශය පවතින තුරා අපේ මතකයේ රැදිලා තියේවි.
ගුරු පියාණෙනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා....
යහපත් දේ කරන,
නොමගටම යන දරුවන් විවේචනය කිරීම,
ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.
අවිද්‍යාවේ ගිලී අන්ධව,
තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,
නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.
පෙන්වා මග,
නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,
සැබෑම ගුරු උතුමෙකි,
උත්තම මනුෂ්‍යයෙකි,
හෙතෙම ගුරු තරුවකි. -ගුරු තරුව ඔබයි-ප.ලි.: මට තියෙන එකම ගැටළුව හොඳ වැඩ කරන මිනිස්සු ඇයි ඉක්මනට මේ ලෝකය හැරයන්නේ කියලා. ඒකට උත්තරයක් මට හිතාගන්න බැහැ.

කුමුදු පින්තු මහත්මයාගේ ගෙදරට යන විදිහ දක්වන සිතියම උපුටා ගත්තේ
"සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත" බ්ලොග් අඩවියෙන්. ඒක අවමංගල්‍යයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අයට ප්‍රයෝජනයක් වෙයි.